ඇමේසන් වනාන්තරයේ වසර 2,500කටත් වඩා පැරණි නගර සංකීර්ණයක් අනාවරණය වෙයි...
අපගේ පෘථිවියේ තවමත් නොදන්නා රහස් බොහෝමයක් ඇති බවට තවත් සාක්ෂියක් සපයමින්, ඇමසන් වනාන්තරයේ පුරාණ අතීතය පිළිබඳ අවබෝධය සම්පූර්ණයෙන්ම වෙනස් කරන විස්මිත සොයාගැනීමක් ඉක්වදෝරයේ, ඇමේසන් වනාන්තර සීමාවේ උපනෝ නිම්නයෙන් (Upano Valley) වාර්තා වෙනවා. එනම්, දියුණු ලේසර් සිතියම්කරණ තාක්ෂණයක් වන Lidar (Light Detection and Ranging) තාක්ෂණය භාවිත කරමින්, පුරාවිද්‍යාඥයන් පිරිසක් විසින් වසර 2,500කටත් වඩා පැරණි, අති විශාල හා සංකීර්ණ නගර ජාලයක් සොයාගෙන තිබෙනවා.
මෙය ඇමේසන් වනාන්තරයෙන් මෙතෙක් සොයාගෙන ඇති පැරණිතම සහ විශාලතම නාගරික ජනාවාස ලෙසයි සැලකෙන්නේ.
ලෝක ප්‍රකට Science සඟරාවේ ප්‍රකාශයට පත් කර ඇති, මේ අනාවරණයෙන් පෙන්නුම් කරන්නේ, කලින් විශ්වාස කළාට වඩා බොහෝ කලකට පෙර, ඇමසන් කලාපය විශාල, සංකීර්ණ සමාජයන්ට නිවහනක් වී ඇති බවයි. මෙය දීර්ඝ කාලයක් තිස්සේ පැවති "ඇමසන් වනාන්තරය යුරෝපීය සම්බන්ධතා වලට පෙර දියුණු සමාජයන් විසින් ජනාවාස වී නොතිබුණි" යන මිථ්‍යාව බිඳ දමනවා.
Lidar තාක්ෂණය කියන්නේ ගස්වල වියන හරහා විනිවිද යමින් බිම් මට්ටමේ ඇති ව්‍යුහයන් නිරීක්ෂණය කිරීමට හැකි වන පරිදි නිර්මාණය කරන ලද නවීන තාක්ෂණයක්. මේ තාක්ෂණය මගින් වර්ග කිලෝමීටර් 300ක් පුරා පැතිරුණු විශාල නගර පහක් ද ඇතුළුව ජනාවාස 15ක් මෙහිදී අනාවරණය වෙලා තියෙනවා.
මෙහිදී ලිඩාර් සමීක්ෂණයේ රූප මගින් සංවිධානාත්මක මිනිස් ක්‍රියාකාරකම්වලින් පිරුණු භූ දර්ශනයක් හෙළි වී ඇති අතර මේවාට චාරිත්‍රානුකූල මධ්‍යස්ථාන, සංවිධානාත්මක අසල්වැසි ප්‍රදේශ, මාර්ග පද්ධති, සෘජුකෝණාස්‍රාකාර මැටි වේදිකා 6,000 කට වඩා මෙන්ම සහ ටෙරස් ආකාරයේ ගොවිබිම් සහ ජලාපවහන පද්ධති ද ඇතුළත් වෙනවා.
පර්යේෂකයන් පවසන්නේ මේ ව්‍යුහයන් අවම වශයෙන් වෙනස් ජනාවාස 15කට අයත් බව සහ, ඒවා පළල්, සෘජු මාර්ග පද්ධතියකින් සම්බන්ධ වූ බවයි. CNRS හි පුරාවිද්‍යාඥයෙකු වන පර්‍යේෂණයේ සම-කර්තෘ ඇන්ටොයින් ඩොරිසන් පවසන්නේ මේ පුරාණ සමාජයේ සංකීර්ණත්වය මනාව පෙන්නුම් කරන්නේ එහි අතිශය දියුණු වීදි ජාලය මගින් බවයි.
සාමාන්‍යයෙන්, ස්වභාවික භූ දර්ශනයට අනුව මාර්ග ඉදිකිරීම සාමාන්‍ය දෙයක් වුනත් ඩොරිසන් පෙන්වා දෙන්නේ, මේ පුරාණ ඇමේසන් ජනයා තමන්ගේ මාර්ග පද්ධතිය භූ දර්ශනය අනුගමනය කිරීමට වඩා සෘජු කෝණවලින් (right angles) තරණය කිරීමට හැකි වන පරිදි, ඉතා ප්‍රවේශමෙන් සහ සැලසුම් සහගතව ඉදිකර ඇති බවයි. මෙය සරල පාරවල් කිහිපයකට එහා ගිය, අතිශය සංකීර්ණ ඉංජිනේරු ශිල්පයකින් යුක්ත නාගරික සැලසුමක් වූ බවට සාක්ෂි දරනවා.
මෙයින් අදහස් වෙන්නේමේ පුරාණ ශිෂ්ටාචාරයට නූතන නගර සැලසුම්කරණයට සමාන සංකීර්ණ සැලසුම්කරණ හැකියාවක් තිබී ඇති බවයි. ඒ වගේම, සෘජු කෝණ සහිත වීදි ජාලයක් තැනීමට සැලකිය යුතු ශ්‍රමයක්, තාක්ෂණික දැනුමක් සහ සංවිධානාත්මක හැකියාවක් අවශ්‍ය වෙනවා. එයින් පෙන්නුම් කරන්නේ ඉහළ මට්ටමේ සමාජ සංවිධානයක් ඔවුන් සතුව තිබූ බවයි. භූමි ප්‍රදේශයේ බෑවුම් සහ ස්වභාවික බාධක නොතකා, සෘජු මාර්ග ඉදිකිරීමට යම් ආකාරයක ඉංජිනේරුමය දැනුමක් ද ඔවුන් සතු වෙන්නට ඇති. ඒ අනුව මේ වීදි හුදෙක් ගමන් කිරීමට පමණක් නොව, සමහරවිට නගරයේ අංශයන් වෙන් කිරීමට, චාරිත්‍රානුකූල පෙරහැරවල් සඳහා හෝ වෙනත් සංකීර්ණ නාගරික කාර්යයන් සඳහා යොදා ගන්නට ඇති බවයි පුරාවිද්‍යාඥයින් ගේ මතය වෙන්නේ.
කාබන් කාල නිර්ණයට අනුව (radiocarbon dating), මේ ජනාවාස ක්‍රිස්තු පූර්ව 500 (BCE) සිට ක්‍රිස්තු වර්ෂ 600 (CE) දක්වා කාලය තුළ පැවති බව තහවුරු වී තියෙනවා. මේ කාල රාමුව, රෝම අධිරාජ්‍යය සහ ග්‍රීක ශිෂ්ටාචාරයන් පැවති කාලයට සමීප යි. පර්යේෂකයන්ට අනුව,මේ පුළුල් සංකීර්ණය ක්‍රි.පූ. 500 සිට ක්‍රි.ව. 600 දක්වා කිලමෝප් සහ උපනෝ සංස්කෘතීන්ට අයත් පුද්ගලයින් විසින් වාසය කර ඇති බව විශ්වාස කෙරෙනවා. පදිංචිකරුවන් බොහෝ විට කෘෂිකර්මාන්තය, ඉරිඟු සහ බතල වගා කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි ඔවුන්ගේ අදහස වෙන්නේ.
මීට පෙර, විද්‍යාඥයන් උපකල්පනය කළේ පුරාණ දකුණු ඇමරිකානුවන් "ඇමසන් වනාන්තරයේ සංචාරක ජීවිත ගෙවමින් හෝ කුඩා ජනාවාසවල ජීවත් වූ" බවයි, නමුත් පර්යේෂකයන් ඇස්තමේන්තු කරන්නේ අලුතින් සොයාගත් නගරවල "දස දහස් ගණන් නොව ලක්ෂ ගණන්වල" ජනගහනයක් සිටි බවයි.
මේ සොයාගැනීම, කොලොම්බස් පැමිණීමට පෙර ඇමසන් සංස්කෘතීන්ගේ පොහොසත්, සංකීර්ණ උරුමය පිළිබඳව අලුත් කතාවක් අපට කියනවා. එයින් පැහැදිලි වන්නේ, දේශගුණය සහ භූගෝලීය පිහිටීම අනුව අභියෝගාත්මක පරිසරයක් වූ ඇමසන් වනාන්තරයේ පවා, පුරාණ ජනයා සැලකිය යුතු නාගරික හා සමාජ සංවිධාන ගොඩනගා ඇති බවයි. මෙය පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ සන්ධිස්ථානයක් වන අතර, මීට පෙර නොසිතූ අන්දමින්, ඇමසන් වනාන්තරයේ සැඟවුණු තවත් බොහෝ පුරාණ ශිෂ්ටාචාරයන් තිබිය හැකි බවටත් යෝජනා කරනවා.
ඒ අනුව අනාගත පර්යේෂණ මගින්, මේවාට සමාන හෝ ඊටත් වඩා විස්මිත සොයාගැනීම් වාර්තා වීමට ඉඩ තියෙනවා.
උපුටාගැනීමකි
1 comments:
මේ ලිපිය හොඳයි මේ දිනවල ලියන ලිපියකට
Post a Comment