ඔය පිස්තෝල දීපු කතා, ගිනි තියපු කතා සිදුවෙනකොට එක්කෝ අපි පොඩි ළමයි, එක්කෝ අපි නූපන් අය.
ශ්‍රී ලංකාවේ නූතන ඉතිහාසය ගැන (1948-2022) කියවගන්න තියෙන මූලාශ්‍ර ගොඩක් එක එක්කෙනාගේ දෘෂ්ටිකෝණ වලින් බලලා ලියපු ඒවා මිසක්, මධ්‍යස්ථ ඒවාම නෙමෙයි. ඒ නිසා අලුත් පරපුර බොහෝ අය දිහා බලන්නේ වෛරයෙන්. ඒක ඉතා නරක තත්වයක්.
ඒත් 2001දී පත්වුණු පාර්ලිමේන්තුවෙන් පස්සේ එවකට උග්‍ර එක්සත් ජාතික පාක්ෂිකයෙකු (දැන් ඉන්න බයි/ජෙබයි වගේ) වුණු එක්තරා පුද්ගලයෙකුගේ වීර කතා වලින් තමයි මම ගාමිණී ලොකුගේ ගැන අහගත්තේ. එතකොට පොඩි ළමයෙකු වුණත් මම තේරුම් ගත්තා ඒ මනුස්සයා නම් ඒ තරම් හොඳ මිනිහෙකු වෙන්න බැරි බව. ඒත් පාක්ෂිකයාට ඔහු වීරයෙක්.
එවකට නිදහස් පක්ෂය මූලික සන්ධානයේ හිතවාදීන් මේ මනුස්සයාට ඇඟිල්ල දිගුකරමින් කිව්වේ, "අහවලා මැරුවේ මූ ය, අහවල් මැර වැඩේ කළේ මූ ය", වගේ කතා. 2007 වර්ෂය ආවා. එතකොට මම යෞවනයෙක්.
ඔන්න ගාමිණී ලොකුගේ බල්ටියක් ගහලා මහින්ද රාජපක්ෂ ළඟට පැන්නා. ඊටපස්සෙ මොකද වුණේ? අර නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ (බැන බැන හිටපු) අයට ගාමිණී ලොකුගේ ආණ්ඩුවට ආපු එක මාර හයියක් වුණා. "මෙහෙම උනුත් ඉන්න ඕන, නැත්නම් ගම කන්ට්‍රෝල් නෑ", කියපු අයත් හිටියා. පිළියන්දල, කැස්බෑව, හොරණ පාතාලේ තද වුණා. කට්ටිය රස්සා ඉල්ලන්න ලියුම් අරගෙන ලොකුගේලගෙ ඔෆිස් ඉස්සරහ කැඹිරුවා. අපි එහෙම කළේ නෑ. අපේ ආඩම්බරය ඒක.
ඒත් එහෙම හිටපු නිසා අපි බැනුම් ඇහුවා. පොඩි පුතාලගේ අරගල වලට කලින්, 2007/08 ඉඳලා දූෂණයට භීෂණයට විරුද්ධව හිටගත්තු මම වගේ පොඩි කොල්ලන්ට නිදහස් සන්ධානේ පාක්ෂිකයන්ගෙන් "දේශද්‍රෝහීන්" කියලා අහගන්න වුණා.
ඊළඟට එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවො ටිකෙන් ටික ගාමිණී ලොකුගේ කරපු වැරදි හෙළිකරන්න පටන් ගත්තා. වීරයා කරපු අයම ලොකුගේව ද්‍රෝහියා කළා. ඒත් ලොකුගේ වැටුණේ නෑ. ආණ්ඩුවේ ප්‍රබල ඇමතිකම් දරන ගමන්ම ඔහුගේ දේශපාලන ගමන ඉස්සරහට ගියා. සන්ධානය ඔහුව රැක්කා. අපි දිගටම බැනුම් ඇහුවා.
අද 2025 ජුනි. ගාමිණී ලොකුගේ අන්තරා වෙලා. ඉස්සර ලොකුගේව රැකපු දෙපාර්ශවයටම දැන් ගාමිණී ලොකුගේව පේන්න බැරිවෙලා. ඔහුගේ දූෂණ, වැරදි ගැන බරටම කතාවෙනවා. ඔහුගේ මරණයට විහිළු කරනවා. සතුටු වෙනවා.
මරණයක් අයිති වෙන්නේ සොබාදහමට. මම කිසිම මරණයකදී කිරිබත් කෑවේ නෑ. මම කිසිවෙකුගේ මරණයට හිනාවෙන්නේ නෑ. ඒක ලෝක සාරධර්ම වලට පටහැනියි. ඒත් ලොකුගේගේ කාර්යාලය ඉස්සරහ ලියුම් අරගෙන හිටගෙන හිටපු දෙමව්පියන්ගේ දරුවන් මියගිය ලොකුගේට හිනාවෙනවා.
මේක ඇතුළේ ලොකු පණිවිඩයක් තියෙනවා.
දේශපාලකයන් ගැන නෙමෙයි, අපේ රටේ මිනිස්සු ගැන.
- අසංක හදිරම්පෑල.
A day in the life