Tuesday, August 20, 2024

මුහුදක් අසලකවත් නැති ලීච්ටන්ස්ටයින් රාජ්‍යය


 


මුහුදක් අයිති නොමැති රටවල් එහෙම නැත්නම්, ලෑන්ඩ් ලෝක් රටවල් ගැන ඔබ අසා තිබෙන්න පුළුවන්. එවැනි රටවල්වලට මුහුදක් අයත් නොවන අතර වට වී තිබෙන්නේ අසල්වැසි රටවල්වලින් පමණ යි.
මුහුදක් නොමැතිව වෙනත් රටවල්වලින් පමණක් වට වී තිබෙන රටවල් 49ක් ලෝකය පුරා විසිරී තිබෙනවා. මෙවැනි රටවල් ආනයන, අපනයන ක්‍රියාවලියේ දී දැඩි අපහසුතාවලට ලක් වෙන්නේ ඔවුන් සතුව වරායන් නොමැතිකම හේතුවෙන්. රට කුමන පැත්තකින් හෝ මුහුදට නිරාවරණය නොවීම රට තුළ ආර්ථිකය දුර්වල කිරීමට බලපාන එක් සාධකයක්. එවැනි බොහෝ රටවල්වල ආර්ථිකය එතරම් යහපත් නෑ.


යම් රටක් වට වී තිබෙන රටවල් ද වට වී තිබෙන්නේ තවත් රටවල් කිහිපයකින්නම් එවැනි රටවල් හඳුන්වන්නේ ඩබල් ලෑන්ඩ් ලෝක්ඩ් රටවල් ලෙස යි. එවැනි රටවල් දෙකක් ලෝකයේ පිහිටා තිබෙන අතර, ඒවා මධ්‍යම යුරෝපයේ පිහිටි ලීච්ටන්ස්ටයින් හා ආසියානු කලාපයේ පිහිටි උස්බෙකිස්තානය ලෙස නම් කළ හැකියි.
රටවල්වලින් වට වීම ආර්ථිකය කඩා වැටීමට බලපාන හේතුවක් වුව ද, ලීච්ටන්ස්ටයින් යන රට එම කරුණු මුසාවක් බවට පත් කරමින් දළ දේශීය නිෂ්පාදිතය අතින් මෙන්ම පුද්ගල රැකියා නියුක්තික ප්‍රතිශතය ද ඉහළ මට්ටමක පවතින ප්‍රමුඛ පෙළෙහි රටක් ලෙස හඳුන්වා දිය හැකියි. ඉතින් අද ලිපිය ලීච්ටන්ස්ටයින් පිළිබඳව යි.


මධ්‍යම යුරෝපීය රටක් වන ලීච්ටන්ස්ටයින් බටහිරෙන් හා දකුණෙන් සීමා වී තිබෙන්නේ ස්විස්ටර්ලන්තයට යි. ස්විස්ටර්ලන්තයට ද මුහුදක් නොමැති අතර වට වී තිබෙන්නේ රටවල් කිහිපයකින් ය. ලීච්ටන්ස්ටයින්හි නැගෙනහිර හා උතුරු දේශ සීමා අවසන් වන්නේ ඔස්ට්‍රියාවෙන්. ඔස්ට්‍රියාව ද ගොඩබිමෙන් පමණක් වට වූ රාජ්‍යක් ලෙස නම් කළ හැකියි. මේ පිහිටීම හේතුවෙන් වට වී තිබෙන රටවල් ද වට වී තිබෙන්නේ ගොඩබිමෙන් පමණක් හෙවත් ඩබල් ලෑන්ඩ් ලෝක්ඩ් රටක් ලෙස ලීච්ටන්ස්ටයින් හඳුන්වනු ලබනවා.

ව. කි. මී. 160ක වැනි කුඩා ඉඩ ප්‍රමාණයක් මෙම රටට අයත් වන අතර, ලෝකයේ කුඩාම රටවල් අතරින් හය වන ස්ථානය ද, යුරෝපයේ පිහිටි කුඩාම රටවල් අතරින් හතරවන ස්ථානය ද හිමිකරගෙන සිටිනවා.
38,000කට ආසන්න කුඩා ජනගහනයකින් යුක්ත මෙම රට පාලනය සඳහා කොටස් 11කට බෙදා වෙන්කර තිබෙනවා. ප්‍රධාන නගරය ලෙස හඳුන්වන්නේ ෆදුට්ස්.
රටේ සුවිශේෂී කාරණයක් ලෙස සඳහන් කලොත් අපරාධ හා මිනීමැරුම් අඩු රටවල් අතරට මෙම රට ද ඇතුළත් වෙනවා. එහි අවසන් මනුෂ්‍ය ඝාතනය වාර්තා වෙන්නේ 1997 වසරේ දී යි. තව ද සිර කඳවුරුවල දිවි ගෙවන පිරිස ඉතා අඩු අගයක් ගන්නවා.
ඒ වගේම ලෝකය තුළ භාවිතා වෙන බොරු දත් කුට්ටම්වලින් 20%ක් සපයනු ලබන්නේ ලීච්ටන්ස්ටයින්හි කර්මාන්තශාලා විසින්. තව ද බොලිවුඩ් චිත්‍රපට කර්මාන්තය සමග මෙම කර්මාන්තශාලා බොරු දත් වෙළඳාම පිළිබඳව සම්බන්ධතා පවත්වනු ලබනවා.

මුළු රටේම වැසියන්ව වසරේ එක දිනයක රජ මාළිගයට කැඳවන අතර එම දිනය පුරා මුළු රජ මාළිගාවම උත්සවශ්‍රීයෙන් ඇලළී යාම ද මෙරට දකින්න පුළුවන් තවත් විශේෂ ලක්ෂණයක්.

වට වී තිබෙන රටවල් ද වට වී තිබෙන්නේ තවත් රටවල් කිහිපයකින් වූවත්, එය බාධාවක් නොකරගෙන ඉතා ඉහළ ආර්ථිකයකට හිමිකම් කියන කුඩා ලීච්ටන්ස්ටයින් රාජ්‍යය ලෝකයේ අනෙකුත් රටවලට මනා ආදර්ශයක්.
A day in the life

0 comments: