හම්බන්තොට ඇති තෙත් කළාපය
රම්මල කන්ද
හම්බන්තොට දිස්ත්‍රික්කයේ බටහිර ගිරුවා පත්තුවේ වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි රම්මල හෙවත් රන්මලේ කන්ද පිහිටා තිබෙන්නේ. තංගල්ල නගරයේ සිට කිලෝ මීටර 34ක් දුරින්. මාතර සිට කිලෝ මීටර 52ක් දුරයි. විතාරන්දෙණිය, වීරකැටිය, කොටබෝධිය හරහා ජුලම්පිටිය පාරේ පැමිණ රම්මල් කන්ද පාමුලට එන්න පුළුවන්. කන්ද උසින් අඩි 2700ක් දක්වා පැතිර යනවා. කඳු අඩවිය විශාලත්වයෙන් වර්ග කිලෝ මීටර 268ක් වෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ උස ම තැන වන්නේ ද මේ කඳු මුදුන යි. රම්මල් කන්ද වටා පිහිටි පරිවාර කඳු ලෙස දෙනිය කන්ද, කරවිල කන්ද, මැද කන්ද, බෙංගමු කන්ද, හුළං කන්ද වේගිරිය කන්ද සැලකිය හැකි යි. එහි විශාලත්වය අක්කර 2000ක් පමණ වෙනවා.
11-12 සියවස්වලදී මේ අවට නිතර යුදගැටුම් සිදුවුණු අතර රණ මල යන්න පසුව රන්මල වූ බවට මතයක් පවතිනවා. කැලෑවෙන් වැසුණු කන්ද යන අරුතින් රන්මල වූ බව තවත් අදහසක්.
තෙත් කලාපයේ ගස්වැල්
හම්බන්තොට කියන්නේ නිතර ඉඩෝරයෙන් බැටකන ශුෂ්ක කලාපයට අයත් ප්‍රදේශයක්. නමුත් මේ දිස්ත්‍රික්කයේ පිහිටි නිවර්තන තෙත් වනාන්තරයක් තමයි රම්මලේ කන්ද කියන්නේ. වැඩි දෙනකු නොදැන සිටියත් මෙහි දැක ගත හැක්කේ තරමක සිසිල් දේශගුණයක්. මැයි සිට සැප්තැම්බර් දක්වා නිරිතදිග මෝසමින් ද නොවැම්බර්- දෙසැම්බර් මාස දෙකේ ඊසානදිග මෝසමින් ද මේ ප්‍රදේශයට වර්ෂාව ලැබෙනවා.
පහතරට නිවර්තන කලාපයේ වැවෙන හොර, බක්මී, මල්බුරුත, කුඹුක්, ඉඳි, කැකුණ, අංකෙන්ද, කිතුල් ආදී ශාක වර්ග රාශියක් මේ වනපෙතේ වැවෙනවා. වෙනිවැල්, කුඩුමිරිස ඇතුළු ඖෂධීය වැල් වර්ග රාශියක් ද දැකගත හැකි යි. රම්මල කඳුවැටියෙන් ආරම්භ වන සපුගහදොළ, බිසෝඇල්ල පිගලැල්ල දොළ ආදි දොළ මාර්ගවලින් කිරම ආර පෝෂණය වෙනවා. එහි ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශය වන්නේ රම්මල රක්ෂිත වනය යි.
ඉතිහාස පුවත්
මහාවංශයේ රම්මල කන්ද සඳහන් වන්නේ “සුවණ්ණමලය”නමින්. මේ ප්‍රදේශය ලංකා ඉතිහාසයේ මුලින් ම සඳහන් වන්නේ පළමුවන විජයබාහු රජ දවස යි. කුඩා කාලේ විජයබාහු කුමරු හා ඥාතීන් සතුරු සේනාවලින් ආරක්ෂාවීමට රම්මල අඩවියේ රෙමුණ හෙවත් සිත්නරු බිම් ප්‍රදේශයේ බුදල්නාවන් නම් පුද්ගලයාගේ රැකවරණය ලැබූ බව පනාකඩුව සන්නසේ සඳහන් වෙනවා.
සිත්තම් ගල්ලෙන
පළමුවන පරාක්‍රමබාහු රජ සමයේ සුගලා බිසව සමඟ පැවති සටන්වලදී රම්මල අඩවියේ කඳවුරු කිහිපයක් ම පිහිටුවා ගත් බව මහාවංශය සඳහන් කරනවා. මාවරල, බෙරලපනාතර, ඌරුබොක්ක, පුවක්දණ්ඩාව, බෝවල, කටුවන ආදී ස්ථාන නාමවලින් ඒ බව පැහැදිලි වෙනවා. රම්මල කන්ද ආශ්‍රිත ව සිත්තම් ගල්ලෙන, කටුවන ශ්‍රී මහා විහාරය, අඹගහහෙන් පුරාණ විහාරය ඇතුළු පැරණි විහාර කිහිපයක් ද දැකගත හැකි යි.
විජයබාහු කුමරු රම්මලේ කන්දේ “රෙමුණුගල කඳවුර” බැඳි බව සඳහන් වෙනවා. රම්මලට ආසන්නයේ ඇති බෝවලදී විජයබාහු කුමාරයා” ,“ලොකේෂ්වර” සමඟ යුද කොට ජය අත්පත් කර ගත් බව ද මහාවංශය විස්තර කරනවා.
බුද්ධ වර්ෂ 2234 වැන්නෙහි ලියූ “කොලවෙනිගම විහාර සන්නසේ සඳහන් වන්නේ දන්ත ධාතුව ටික කලක් රම්මලේ කන්දේ සඟවා පැවති බවයි. “බියට පත් මහ සඟන දන්ත ධාතූන් වහන්සේ ප්‍රධානව වස්තූන් ද ගෙන රහසින්ම කොලවින්න විහාරය අතහැර වන වැදී මහ හිමයන් පසු කර රෝහණ දේශය බද රංමලේ නමැති ගිරට පැමිණ එහි වූ ගුහාවක දන්ත ධාතූන් වහන්සේ සඟවා තබා….” යන පාඨයෙන් ඒ බව පැහැදිලි වෙනවා.
ස්තුතිය ' පහ දිනන හපන්නු
0 comments:
Post a Comment