Thursday, August 15, 2024

ක්‍රිස්තු පූර්ව 400 ශීතකරන





ක්‍රිස්තු පූර්ව 400 පමණ ජීවත් වූ අතීත මිනිස්සුත් "ශීතකරන" පාවිච්චි.කරලා තියෙනවා කියලා කිව්වොත් ඔබ ඒක විශ්වාස කරනවද?
විදුලිය සොයා ගැනීමටත් බොහෝ කාලයකට පෙර සිටි පර්සියානු (වර්තමාන ඉරානය) ජනයා "ශීතකරන" භාවිතා කරලා තියෙනවා. පර්සියානු බසින් මේවා "යක්චාල්" ලෙස හැඳින්වෙනවා. යක්චාල් යන්නෙහි තේරුම 'අයිස් වළ' යන්නයි.
වාෂ්පීකරණ සිසිලනකාරකයක් ලෙස ක්‍රියා කරන මේ ශීතකරණ ව්‍යුහය පොළවට ඉහළින් ගෝලාකාර හැඩයක් සහ භූගත ගබඩාවක් ලෙස කොටස් දෙකකින් සමන්විතයි. ඒ වගේම ඝන තාප ප්‍රතිරෝධී ඉදිකිරීම් ද්‍රව්‍ය වලින් භූගත අවකාශය හොඳින් පරිවරණය කර තිබෙනවා. මේ ගබඩා තුල ආහාර ද්‍රව්‍ය මෙන්ම අයිස් ද ගබඩා කර තිබූ බව සඳහන් වෙනවා.
මේ යක්චාල් ඉදිකර තියෙන්නේ බොහෝවිට කාන්තාර තුලයි. කාන්තාර දේශගුණයේ අඩු ආර්ද්‍රතාවයෙන් ජලය වාෂ්පීකරණය ප්‍රවර්ධනය වීම ඊට හේතුවයි. ඒ වගේම හිරු බැස ගිය පසු වාතයේ සිසිලන වේගයත් අනෙක් ගොඩබිම් ප්‍රදේශ වලට වඩා කාන්තාරයේදී වේගවත් වෙනවා. ඉහළ උන්නතාංශ වල පිහිටා ඇති සමහර කාන්තාර ප්‍රදේශවල රාත්‍රියේදී උෂ්ණත්වය හිමාංකයට වඩා පහත වැටෙනවා.
මේ වාෂ්පීකරණ සිසිලන පද්ධතිය ක්‍රියාත්මක වූයේ උල්පත් වලින් qanats නම් විශේෂ ජල මාර්ග හරහා ගෙන එන ජලය හරහා යි. මේ ජලය යක්චාල් අසලදී තටාක වලට එකතුවෙන අතර ශීත සෘතුවල රාත්‍රි කාලයේදී මේවා අයිස් බවට පත් වෙනවා. පර්සියානුවන් මේ අයිස් යක්චාල් තුල ගබඩා කරනවා. උණුසුම් කාලවලදී නම් අවට ඇති අයිස් කඳු වලින් අයිස් කඩා ගෙනවිත් තැන්පත් කරන්නත් ඔවුන් කටයුතු කරලා තියෙනවා.
යක්චාල් ඉදිකරලා තියෙන්නේ "සරූජ්" නම් අද්විතීය ජල-ප්‍රතිරෝධී බදාමයකින් වන අතර එය වැලි, මැටි, බිත්තර සුදුමද, අලුහුණු, එළු ලොම් සහ අළු නිශ්චිත අනුපාතයකින් යොදාගෙන සකස් කරලා තියෙනවා. ඒ බදාමය තාප හුවමාරුවට ප්‍රතිරෝධී වෙනවා වගේම සම්පූර්ණයෙන්ම ජලයට ද ප්‍රතිරෝධී වෙනවා. මේ කේතු හැඩැති ව්‍යූහය සාමාන්‍යයෙන් මීටර 18ක් පමණ උසයි.
මේ නිර්මාණය අතීත පර්සියානු ඉංජිනේරු ශිල්පයේ විශිෂ්ටත්වය ලෝකයට කියාපානවා.
අතීත මිනිසුන් ඔවුන්ගේ තාක්ෂණය තුල සොබාදහම ඉක්මවා නොයමින් සොබාදහමෙන් වැඩ ගන්නෙ කොහොමද කියලා අපිට හරි අපූරුවට පෙන්නලා දීලා තියෙනවා කියලා මේක දැක්කම හිතෙනවා නේද?
Chathranga Priyadarsana
meta.



A day in the life

0 comments: