Thursday, August 01, 2024

කිතුනුකමේ ගැඹුර



ඒ කාලයේ සෑම පල්ලියකම තිබූ ඉතා ගම්භීර හා පියතුමකු පමණක් අසුන් ගන්නා ආසනයකි කොමිසන් පුටුව. දැන් දැන් මේ ශුද්ධ වූ ආසනය බොහෝ දේවස්ථානවල පෙනෙන්නට නොමැති තරම්ය.

එහෙත් එය සමහර දේවස්ථානයන්හි විරාජමානව තිබෙනා අන්දම දුටුවිට අතීතය මෙනෙහිවීම නිතැතින්ම සිදුවේ. පියතුමා කොමිසන් පුටුවේ වාඩිගෙන කොමිසම අසනා විට, එළියේ සිට තමා කළ පාපක්‍රියා ප්‍රකාශ කරනා කිසිවකු හට වේවැල් දැල තුළින් පියතුමාව හරිහැටි නොපෙනේ. එහෙත් උන්වහන්සේගේ හඬ නිසල වුවද හොඳින් ශ්‍රවණයවේ.

මේ ක්‍රියාව අතිරහසිගත හා පෞද්ගලික වූ ක්‍රියාවකි. කොමිසන් පුටුව කොමිසන් ඇසීම සඳහා තැන්පත් කරන්නේ ද පල්ලියේ අයිනකය. ඒ හෙයින් පියතුමාගේ හා කොමිසම කරන්නාගේ හඬ කිසිවකු හට නෑසේ. එය ඒ තරමටම පෞද්ගලික දේව ක්‍රියාවකි.

කිතුනුකමේ ගැඹුර විදහා දැක්වීමට මේ වැනි ගාම්භීර භාණ්ඩ ද සභාව විසින් හඳුන්වා දී ඇත්තේ දේව තේජස ද විදහා දැක්වීමටය. මේ වන් පූජා භාණ්ඩ රැසක් ඕනෑම දෙව් මැඳුරක දේව සේවයට උපයෝගී කර ගනී. එය ආදියේ සිට පැවත එන සම්ප්‍රදායක් ද වේ.

කතෝලික සභාව තුළ මේ භාණ්ඩ ආශීර්වාදාත්මක භාණ්ඩය.

මේ පූජා භාණ්ඩ විශේෂයෙන්ම පරිහරණය කරනු ලබන්නේ පියතුමා ඇතුළු පූජා උදව් දරුවන් විසිනි.

ආසිරි පැන් ඉස බැතිමතුන් ආසිරි ගන්වන පැන් භාජනය, පියතුමා පමණක් පාවිච්චි කරනු ලබයි. ඒ අතර සීනුව, ආරක්ෂිත සත්ප්‍රසාද තැටිය, කුරුස සිරියස්, ඉටි පහන් කණු පූජා උදව් දරුවනගේ දෑතේ රැඳෙනා දේය.

දිව්‍ය පූජාව ඔප්පු කිරීම පිණිස පූජාසනය මත වැඩ රඳවන කාලිස් පාත්‍රය හා මිදි යුෂ කුසලානය පියතුමා විසින් දෙවිඳුනට ඔසවනා භාණ්ඩ අතර වේ.

දේව ස්තූතිය පිරිනමා දෙවිඳුන් හා ශුද්ධවරයන් නමදින ඉටි පහන ද දෙව්මැඳුරක ඕනෑම මොහොතක බැතිමතුනගේ පරිහරණයට තැබිය යුතුම තවත් පූජා භාණ්ඩයකි. ඕනෑම අයෙක් මෙම ඉටි පහන් තබා ඇති පෙට්ටියට මුදල් දමා ඉටි පහන් රැගෙන දෙව්මැඳුරේ යම් ආරක්ෂිත ස්ථානයක ඒවා දල්වා යැදීම පිණිස පහසුකම බැතිමතුනට සලසා දී ඇත. කතෝලික විශ්වාසයේ ගැඹුර දැල්වෙන ඉටි පහනේ දැල්ල තුළින් ද මනාව දැකිය හැකිය.

කතෝලික සභාව ගොඩනැඟෙන්නේ විශ්වාසය පෙරදැරිකොටගෙනය. එනම් ජේසු කල්වාරි ගමනින් පසුව තුන්වන දින උත්ථානවූ දිනයේ පටන්ය. කතෝලික සභාවේ ආරම්භය ජේසුගේ උත්ථානයය. කිතුනුවන්ගේ විශ්වාසය වසර දෙදහස් ගණනක් ගියද තවම නොනැසී පවතින්නේ මේ විශ්වාසය හේතුකොටගෙනය.

සීනු හඬ, ඉටිපහන් ආලෝකය, ගීතිකාව, යාඥාව, කතෝලික භාවයේ මහිමයය.

මේ අසිරිමත් කොටස් නොමැතිව කිතුනු කමක්ද නැත. එදා දෙව් මවුන් වන්දනාමාන සිදු කළේ හිස් පලඳනාවකින් හිස වසාගෙනය. එය ද කාන්තා පාර්ශ්වය විසින් පැලඳිය යුතු පූජා භාණ්ඩයක් බඳුය.

එහෙත් වත්මන් කාන්තා පරපුර මේ චාරිත්‍රයෙන් බැහැරව සිටිනා අන්දම දැකිය හැක. එහෙත් වැඩිහිටි කතුන් දෙව් මව් පිළිවෙත අනුගමනය කරනා අයුරු දෙව්මැඳුර තුළදී දකින්නට ලැබීම ද සතුටකි.

මේ වන් කුමක්හෝ පූජා භාණ්ඩයක් දිව්‍ය පූජාවට සහභාගි වන පිරිමි පාර්ශ්වයට ද යෝජනා කර පූජා වත්පිළිවෙතේ ගරු ගාම්භීර භාවය ඔප් නංවා ගැනීම සඳහා සභාව කටයුතු කළහොත් එයත් වටිනා පිළිවෙතක් වේ යැයි ලියුම්කරු සිතයි.

ලයනල් පී. පෙරේරා

දිවයින - ජුලි 31.


A day in the life

1 comments:

Ajith Dharma. said...

හිජාබ් එක වුනත් ගැහැනුන්ට කැමති නම් අඳින්න දෙන්න ඕනේ දෙයක් විතරයි