තෙරුවන් සරණයි .
පොසොන් පෝය 29 වෙනිදා.
--- වේද ගීතයක්
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
ජීවිතය
සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.
විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි
ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.
රබීන්ද්‍රනාත් තාගෝර්
වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.
2026-01-26
අම්මෙකුගේ සටහනක්
2026-01-25
පාන්දර හතරට අවදි වෙන්න .
ඔන්න අද මම ඔයාලට කියන්න යන්නේ කතාවක්.
අපි හැමෝම දන්නවා දවස පුරාම වැඩ කරලා මහන්සි වුණාම අපේ ඇඟට විවේකය ඕනේ කියලා. හැබැයි ඔයා දන්නවද ඔයා නිදාගන්න වෙලාව අනුව ඔයාගේ මොළය ක්‍රියා කරන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා කියලා?

1. මොළය හෝදන වොෂින් මැෂින් එක වැඩ පටන් ගන්නේ රෑ 10ට
ඔයා දන්නවද දවස පුරාම ඔයා හිතන පතන දේවල් නිසාත්, ගන්න තීරණ නිසාත් ඔයාගේ මොළය ඇතුළේ විවිධ විෂ වර්ග (Toxins) එකතු වෙනවා? මේවා හරියට කර්මාන්තශාලාවකින් පිටවෙන අපද්‍රව්‍ය වගේ. මේ අපද්‍රව්‍ය අයින් කළේ නැත්නම් තමයි අපිට ඉක්මනින් අමතක වෙන්නේ, තරහා යන්නේ, සහ ඔළුවේ කැක්කුම හැදෙන්නේ.
විද්‍යාඥයෝ සොයාගෙන තියෙනවා Glymphatic System කියලා පද්ධතියක් අපේ මොළයේ තියෙනවා කියලා. මේක නිකම් වොෂින් මැෂින් එකක් වගේ. හැබැයි මේ මැජික් මැෂින් එක උපරිම වේගයෙන් වැඩ කරන්නේ ඔයා රෑ 10ට විතර තද නින්දට ගියොත් විතරයි.
ඔයා රෑ 10ට නිදාගත්තම, මොළයේ සෛල අතර තියෙන ඉඩ වැඩි වෙලා, මොළය ඇතුළේ තියෙන දියර වර්ග වේගයෙන් ගලාගෙන ගිහින් අර විෂ වර්ග ඔක්කොම සෝදලා දානවා. ඔයා රෑ 12 වෙනකම් ෆෝන් එක බල බල ඉඳලා නිදාගත්තොත් වෙන්නේ අර වොෂින් මැෂින් එකට කරන්ට් එක නැති වෙනවා වගේ වැඩක්. එතකොට උදේට ඇහැරෙන්නේ හරියට හෝදපු නැති කිළුටු රෙදි මිටියක් වගේ බර වෙච්ච ඔළුවකින්!
2. ෂෝට් ටර්ම් මෙමරි එක හාඩ් ඩිස්ක් එකට සේව් කරන වෙලාව
අපි දවස පුරාම දකින, අහන, ඉගෙන ගන්න දේවල් මුලින්ම ගබඩා වෙන්නේ තාවකාලික තැනක Short-term memory කියන්නේ ඒකට. මේවා ස්ථිර මතකයන් බවට පත් කරන්න නම් මොළයට නිදහසේ කාලය ඕනේ.
රාත්‍රී 10 ඉඳන් පාන්දර 4 වෙනකම් කාලය ඇතුළත මොළය කරන්නේ හරියට ෆයිල් ඕගනයිස් කරනවා වගේ වැඩක්. වැදගත් දේවල් මොළයේ හාඩ් ඩිස්ක් එකට ඒ කියන්නේ Long-term memory සේව් කරනවා, අනවශ්‍ය කුණු දේවල් ඩිලීට් කරලා දානවා.
ඔයා විභාගයකට පාඩම් කරන කෙනෙක් නම්, රෑ එළිවෙනකම් පාඩම් කරනවට වඩා රෑ 10ට නිදාගෙන පාන්දර 4ට නැගිටලා බලන්න. ඔයාට පුදුම හිතෙයි ඔයාගේ මතක ශක්තිය දියුණු වෙලා තියෙන විදිය දැක්කම.
අද කාලේ අපිට තියෙන ලොකුම ප්රශ්නය තමයි Stress එක. මේකට ප්‍රධානම හේතුවක් තමයි ශරීරයේ තියෙන Cortisol කියන හෝමෝනය.
අපි රෑ 10ට විතර නිදාගත්තම, අපේ මොළය ස්වභාවිකවම මේ Stress හෝමෝන මට්ටම අඩු කරනවා. ඒ වෙනුවට සතුට ඇති කරන හෝමෝන නිපදවන්න ගන්නවා. ඔයා රෑ 10ට නිදාගෙන පාන්දර 4ට ඇහැරුණොත්, ඔයාගේ හිතට දැනෙන ඒ පුදුමාකාර සැනසීම, ප්රබෝධය වෙන කිසිම වෙලාවක ලබන්න බැහැ.
පාන්දර 4ට නැගිටින කෙනෙක් දවස පටන් ගන්නේ ලෝකයට වඩා පැය කිහිපයක් ඉදිරියෙන් ඉඳගෙන. ඒකෙන් ලැබෙන ආත්ම විශ්වාසය ඔයාගේ මුළු දවසම සාර්ථක කරනවා.
4. ලස්සන වෙන්න ඕනෙද ?
මේක නම් අපේ නංගිලාට වගේම මල්ලිලාටත් ගොඩක් වැදගත් වෙයි. රාත්‍රී 10ත් පාන්දර 2ත් අතර කාලය තමයි ශරීරයේ Growth Hormone සහ සෛල අලුත්වැඩියා කරන ක්‍රියාවලිය උපරිමයෙන්ම සිද්ධ වෙන්නේ. මේකට කියන්නේ "Beauty Sleep" කියලා.
හම පැහැපත් වෙනවා. ඇස් යට කළු වීම අඩු වෙනවා. අනවශ්‍ය ලෙස මහත් වීම පාලනය වෙනවා (Weight loss). ඉතින් ලස්සන වෙන්න ක්‍රීම් වර්ග ගානවට වඩා රෑ 10ට නිදාගන්න එක දහස් ගුණයක් වටිනවා නේද?
5. පාන්දර 4ට ඇහැරෙන එකේ තියෙන රහස මොකක්ද ?
බොහෝ සාර්ථක මිනිස්සු, ලෝකය හොල්ලපු නායකයෝ හැමෝම පාන්දර 4ට ඇහැරෙන පුරුද්ද තියාගෙන හිටියා. පාන්දර 4 කියන්නේ පරිසරයම නිශ්ශබ්ද, ඔක්සිජන් උපරිමව තියෙන වෙලාවක්.
මේ වෙලාවට අපේ මොළයේ Alpha waves ක්‍රියාකාරීත්වය වැඩියි. ඒ කියන්නේ මොළය උපරිම නිර්මාණශීලී මට්ටමක තියෙන්නේ. ඔයා ලියන කෙනෙක් නම්, අලුත් දෙයක් හිතන කෙනෙක් නම්, මේ වෙලාව තමයි ඔයාගේ මොළයේ "සුපිරි බලය" පාවිච්චි කරන්න පුළුවන් හොඳම වෙලාව.
ඉතින් අපි කොහොමද මේ පුරුද්ද ඇති කරගන්නේ ?.
දන්නවා, එකපාරටම රෑ 10ට නිදාගන්න එක ලේසි නැහැ. මොකද අපි දැන් "ෆෝන්" වලට ඇබ්බැහි වෙලා. හැබැයි මේ පොඩි ටිප්ස් ටික ට්‍රයි කරලා බලන්න:
රාත්‍රී 9 වෙද්දී ෆෝන් එක පැත්තකින් තියන්න ෆෝන් එකේ නිල් ආලෝකය (Blue light) නිසා මොළයට හිතෙනවා තවම දවල් කියලා. එතකොට නින්ද යන්නේ නැහැ.
කලින් රෑ කෑම කන්න නින්දට පැය 2කට කලින්වත් කෑම කාලා ඉවර කරන්න.
පුංචි අරමුණක් තියාගන්න "මම හෙට පාන්දර 4ට ඇහැරිලා මට ආසම දෙයක් කරනවා" කියලා හිතන්න.
ජීවිතේ දිනන්න ඕනේ නම්, ලෝකය දිනන්න කලින් ඔයාගේ මොළය දිනන්න ඕනේ. ඒකට කරන්න තියෙන ලේසිම සහ නොමිලේම ලැබෙන බෙහෙත තමයි මේ රාත්‍රී 10 - පාන්දර 4 නින්ද.
අද රෑ ඉඳන්ම මේක ට්‍රයි කරලා බලමුද ?
මේ වටිනා තොරතුරු ඔයාගේ යාළුවන්ටත් බලන්න Share කරන්න අමතක කරන්න එපා. මොකද අපේ රටේ ගොඩක් අය රෑ එළිවෙනකම් ෆෝන් එකේ ඉඳලා තමන්ගේ වටිනා මොළය විනාශ කරගන්නවා
ලියුවේ - අමුතු.
2026-01-24
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ - ගුණෙ අයියගෙ මඟුල් ගෙදර
ඔන්න ගුණේ කසාද බඳින්නයි යන්නේ මිනිහා අපේ අතීසාර මිත්‍රයෙක්..
යාළුවො ගොඩයි , සරත් බාරගත්තා මිනිහගෙ ගෝලබාලයොත් දාගෙන හෝම් කමිංග් එකේ වැඩ සූදානම් කරන්න , ඔන්න දවස් දෙකකට කලින් ඉඳලා මනමාලයගෙ ගෙදරට සරත්ගෙ සෙට් එක බැහැලා වැඩ කරලා...අපි ඉතිම් හරියට අදාල වෙලාවට මිසක් කලින් ගිහිල්ලා චාටර් කන්නෙ නෑනේ.
අපිට ඉන්වයිට් කරලා තිබුනේ රෑ කෑමට...අපි ඉතිම් වෙලාවට ගියා
ආයෙ අඩුපාඩුවක් නෑ ගමම හෙල්ලෙන්න වැඩේ කරලා සරතා සහ ගෝලයෝ " හොඳටම කරලා"
මිදුලේ පොඩි ස්ටේජ් එකකුත් ගහලා මියුසික් ගෲප් එකකුත් ප්ලේ කරනවා...ඔන්න අමුත්තන්ටත් සිංදු කියන්න වාරයක් ආවා...අපේ සරතත් හෙන ගායකයා...ගෝලයෙක් පැනලා අපේ සර්ගෙන් පලවෙනි සිංදුව කියලා මයික් එක අරගෙන සරතා අතට දුන්නා...
දැන් ගෲප් එකේ උන් සින්දුවට රෙඩි වෙනවා..චිං චුන් ඤැං ටියුන් කරනවා ...කොහේදෝ ඉඳලා ආපු එකෙක් , සරතගෙ අතින් මයික් එක උදුරලා වගේ අරගෙන , පලමු ගීතය මනමාල පාර්ශවයෙන් කියලා වෙන මෝලෙකුට දුන්නා...ඔන්න සරතගෙ ගෝලයට මල පැන්නා ඒ වෙනකොට චංඩියත් බඩේ නේ.
.....අඩෝ අපි දවස් ගානක් මෙහේ වැඩ , අපේ සර්ට දීපං.....හරිනේ
අම්මට සිරි ! දැන් ස්ටේජ් එකේ වලිය පහලටත් ආවා...කට්ටියක් බේරන්න යනවා එකම ජරමරයයි....අලුතින් එන්ටර් වෙන උන් වලිය මොකක්ද කියලා දන්නෙත් නෑ , ඔක්කොගෙම බඩේ චංඩියා වැඩ
මනමාලයාගෙ ගම උඩුපිල කියමු ,
අඩෝ ! යටිපිලේ උන් උඩුපිලට ඇවිත් පාට් දාන්න ආවොත් අම්මට හැ#%$* න් නෝනො පගයෝ ..ඩෝං #&@ පටෝං @#& එහෙට මෙහෙට පුටුත් විසි උනා...දැන් කලබලේ බලන්න මනමාල ජෝඩුවත් එලියට ආවා...හරිනේ
මනමාලයටත් මල පැන්නා....මේ කතාව මෙතනින් නවත්තමු.
දැන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලිය තියෙන්නෙත් උඩුපිල - යටිපිල වලියක් විදියට , මඟුල කැඩෙන සයිස් එකෙන් වලිය නැගලා යනවා.
රනිල් අධ්‍යාපන ඇමති කාලේ පිහිටවපු එක වැදගත් ආයතනයක් තමයි මහරගම NIE
( national institute of education )
දැන් ඒගොල්ලන්ගෙ මූලික වැඩේ
curriculum & teacher training කිවුවොත් වැරදි නෑ...තව පර්යේෂණ අරවා මේවා කරනවා තමයි
ඔය අස්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 13 සංශෝධනය ආවම රේඛීය හා පලාත් කියලා කතාවකුත් එන නිසා NEC කියලා එකකුත් පිහිටෙවුවා( National Education Commission )
දැන් NEC එක තමයි→ policy level වැඩවල බලධාරියා
NIE → curriculum & teacher training කරන
tool එක කිවුවොත් වැරදි නෑ...MOE තමයි අවසානයේ implementation කරන්නේ..
තව විදියකට කිවුවොත් NEC කියන්නේ:
“Policy brain” එක
කෝකියො ගොඩයි සුප් එක වඳයි .
ආයෙ මාතෘකාවට එමු.
.2013 ඉඳලා ක්‍රියාත්මක project එකකුත් තිබුනා NEC එක ඔය සල්ලි වියදම් කරන ගමන් ඉතිම් පොඩි පොඩි වැඩ කලා ඔය තොරතුරු තාක්ෂණ විශයන් වගේම තාක්ෂණ වේදී විශය දහරාව වගේ ඒවා කරන අතරේ
E- Engineering
පස්සෙ ඕකට Aesthetics කියලා කෑල්ලකුත් ඇවිල්ලා STEAM කියලා පදනම සකස් උනා.
ADB එකත් ඇ.ඩො. මිලියන 400 ක් අනුමත කලා ( අවු.26 කින් ගෙවන්න 0.5% පොලියට )
ඔන්න ඉතිම් අපේ මහරගම NIEපොරවල වැඩේ පටන්ගත්තා
අත දිගෑරලා වියදම් කරන්න සල්ලිත් තියෙනවා නේ .
ඒ අස්සේ ඔන්න ගෝඨ ගොබ්බයා ජනාධිපති උනා .
වියත් මගෙන් සේදරද මොකෙක්ද එකෙක් දාලා ඉක්මනින් ප්‍රොජෙක්ට් රිපෝට් එකක් දීලා අර ඩොලර් මිලියන 400 යේ ඉතුරු මුදල ගනින් කිවුවා .
වලං කඩේට පැන්න හරක් සේදර NIE එකේ පඬියො කර කර හිටපු වැඩ නවත්වලා ,
NIE එකෙක් ඉඳලා නෑ ,
උනුත් කලේ පෙලපොත් කොටස් වලට කඩලා මොඩියුල් හැදුවා .
වැඩේ ඉක්මන් කරන්න පිට හාදයොත් හයර් කරලා දඩි බිඩියට කරලා ( සල්ලිත් තියෙනවා නේ ) ඔන්න ඒ අස්සේ ගෝල්ෆේස් අරගලය ඇවිල්ලා ගොබ්බ ගෝඨාට ගහලා පැන්නුවානේ...වැඩේ එහෙමම ඇණහිටලා , ගෝඨාත් නෑ සේදරත් නෑ මොඩියුලත් නෑ...2022 රනිලා ආවට මෑන්ට ඒ වෙලාවේ තිබුනේ වෙන මරාලයක් නිසා 2024 වෙනකම් වැඩේ ඇදි ඇදී තිබිලා.
ඔන්න ඒ අස්සේ පුනුරුද පප්පලා ආවානේ මුන් ඉතිම් අනුන්ගෙ ළමයින්ට උප්පැන්න ලියන්න හපන්නු නේ , හතර මායිම් මුකුත්ම බැලුවෙ නෑ , නවත්වපු තැනින් ඉතුරුටික ඉක්මනින් ඉවර කරලා ඇ.ඩො. මිලියන 400 න් ඉතුරුවෙලා තිබුනු තව මිලියන 280 ද කොහෙද ගන්න හදිසි උනා...හෙරනි මේවා ඉතිම් අලින්ගෙ අපේ වැඩ කියන්න ගිහිල්ලා හොඳ එකෙන් කෙලෝගත්තා...පෙලපොත් මොඩියුල් කරන්න NIE එවුන් පිට එවුවොත් හයර් කරපු නිසා මොකා වැරැද්දුවද හොයන්නත් ලේසි නැති වෙලා.
ඒ මදිවට ඇත්ත කතාව ඔය කියන STEAM පාදක ප්රතිසංස්කරණයකුත් මේකෙ නෑ
විධිමත්ව තිබුනු පෙලපොත් වලිනුත් එහෙන් මෙහෙන් කෑලි හැලිලා එකම අච්චාරුවක් වෙලා තියෙන්නේ.තව ලියන්න ගොඩක් දේවල් තියෙනවා comments වලින් ඇහුවොත් විතරක් ලියන්නම් අනෙක් හැම කේෂත්‍රෙය් වගේම අධ්‍යාපනයෙත් තිබුනු පුකත් නැතිකරන්නයි මුන් යන්නේ...
රටේ දරුවන්ට .
| අජිත් මුණසිංහ. |
2026-01-23
සීතලයි නේද ?.
මම හිතා ගෙන ඉන්නේ දුරුත්තේ සීතල කියලා. කොහොමත් අපිට ( මධ්‍යම කදුකරයට ) දුරුතු මාසේ සීතලයි.
සීතල දුරුත්ත ගැන නොයෙක් නිර්මාණ පවා තියෙනවා නේ.
අපිට අප්‍රේල් මුල බක් මහ වැස්ස ලැබෙන කම් වහින්නේ නැහැ.
අප්‍රේල් ඉර ලගින් ගමන් ගන්න පටන් ගන්න නිසා දැඩි රස්නයක් විදින්න පුලුවන් වෙනවා.
මේ අවුරුද්ද ගැන කාලගුණ අනාවැකි පලවෙන්නේ වෙනත් මානයකින්.
ඇෆීලියන් (Aphelion) ලෙසින් හදුන්වන ග්‍රහයෙක් සූර්යා වටා ගමන් කරන විශේෂ සංසිද්ධියක් දැන් ආරම්භ වෙලා තියෙනවා.
සූර්යාගෙන් ඉතා දුරින් පිහිටියත් මෙම චාරිකාවේ බලපෑම් අපිට දැනෙන්න පටන් අරන්.
අගෝස්තු මාසය දක්ව මේ දේශගුණික වෙනස පැවතේයැයි අනාවැකි පලකරනවා.
අපිට සීතල දැනෙන්න පටන් අරන් තියෙන්නේ මේ නිසා නම් අගෝස්තු වෙනකම් ශිතල දේශගුණයක් අත් විදින්නට හැකි වෙනවා.
පෘතුවියත් සූර්යාත් අතර දුර ආලෝක මිනිත්තු පහක්. කිලෝමීටර් වලින් කිව්වොත් කිමි කෝටි නවයක්.
ඇෆිලියන් ගේ මැදිහත්වීම තුල මෙම දුරු කිලෝමීටර් 15.2 දක්වා වැඩිවෙනවා. ප්‍රතිශතයක් ලෙස 66% කට වැඩි දුරක්.
මේ හේතුවෙන් වායු ගෝලය තවත් සීතල වෙනවා.
සීතලට හැදෙන රෝගාබාධ අපිව සොයා ඒවි.
වගාවන්ගේ අස්වැන්නටත් බලපෑම් ඇති වේවි.
මේ කතාව තවත් විමසා බැලුවා.
දකුණු අප්‍රිකාවේ වාර්තාවක මෙසේ සදහන් වනවා.
අගෝස්තු දක්වා පවතිනු ඇතැයි කියනු ලබන “APHELION සංසිද්ධිය” හේතුවෙන් දකුණු අප්‍රිකාව රට පුරා සීතල කාලගුණයක් අත්විඳිනු ඇතැයි ව්‍යාජ ලෙස පවසමින් ප්‍රෝඩාකාරී කාලගුණ පණිවිඩයක් පැතිර යමින් පවතිනවා..
කාලගුණ විද්‍යාඥ ඇනට් බෝතා පවසන්නේ
"පෘථිවියේ APHELION -
එය සූර්යයාගෙන් වඩාත්ම දුරින් පිහිටි විට එහි කක්ෂයේ ලක්ෂ්‍යය - 2025 ජූලි 3 වන දින ප.ව. 3:54 ට (SA වේලාවෙන්) සිදුවනු ඇත. පෘථිවිය APHELION හි සූර්යයාගෙන් තරමක් දුරින් පිහිටා ඇති බව සත්‍ය වුවද, එය උෂ්ණත්වයේ හදිසි හෝ දැඩි පහත වැටීමක් ඇති නොකරයි. සෘතු මෙහෙයවනු ලබන්නේ පෘථිවියේ අක්ෂයේ ඇලවීමෙනි, සූර්යයාගෙන් ඇති දුර නොවේ."
2026-01-22
හයේ සංගුව
පිඹිනවා වගෙ ඇහෙනවා මට
පැට්ටේරියේ හයේ සංඟුව
ඔබ එතැයි මග බලනවා මම
නැවතිලා පෙර උන්නු වංඟුව
මේ තමයි ඉරණම අපේ දැන් දුක්
වෙන්නෙ ඇයි අනේ බම්ඹුව
ලත වුනොත් හිත හිතා මේ ගැන
සුදෝ මට හැමදාම බිංදුව
මව් පියන්ටත් දුක හිතී ඇති
දැන් එදා ගැන මටත් පිම්ඹුව
උං ඉතිං හැමදාම දුන්නේ
මගේ දිවියට අඩුම ලංසුව
හිත හදාගෙන අයින් වෙමු අපි
තවත් මග තොට නොවී සංඩුව
එහෙම බැරිනම් පැනල යමු අපි
පස්සෙ හොඳවෙයි නේද වස්තුව
කාන්ති ඉපලවත්තයන්ගේ නිර්මාන කාර්යයක්.
මට මතක් වුනේ අපේ ගම් නියම් ගම් වතු අධිරාජ්‍යයට යට වෙලා තිබුන මීට දශක පහකට හයකට ඈත අතීතය.
ඒ සරු සාර තේවතු , කර්මාන්තශාලා , වතු සේවකයින් පදිංචිව සිටි වතු නිවාස අද වල් වැදිලා.
ඒ වෙනුවට අළුත් වගාවන් ඇති වෙලත් නෑ. වතු ආශ්‍රීතව ඇති වෙලා තිබුන ගම්වැසියන්ගේ ආර්ථිකයත් බිද වැටිලා.
වෙනත් වෙනත් ආර්ථික රටාවන්ට ඔවුන් හුරු පුරුදු වෙලා.
ඒ සරු සාර තේ වතු තිබුනන් මේ වගේ හයේ සංගුව ඇසේවි.
“එහෙම බැරි නම් පැනල යමු අපි
පස්සේ හොදවෙයි නේද වස්තුව “
කියලා හිතන්නත් තිබුනා.
සංගුවට පෙර කාලයේ භාවිතාවුනේ තප්පුව.
තප්පුව වතු දෙමළ ජනතාවගේ වාදන භාණ්ඩයක් . ඒක් වෙනම සංගීත භාණ්ඩයක්. අපේ බෙරේ වගේ ..
2026-01-21
1972 වසරේ හයවැනි ශ්‍රේණියේ ප්රතිසංස්කරන.
නිසි අධ්‍යයනයකින්,
සැබෑ අරමුණකින් තොරව,
ජනතාවගේ සිතේ සැක සංකා ඇතිවන ආකාරයේ සිදුවීම් සහිතව,
කඩිමුඩියේ කරන කටයුතු සාර්ථක නොවන බවට තවත් උදාහරණයක් ලෙස එය ඉතිහාසයට එක් වුණා.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරන විට නිදහසින් පසුව ප්‍රථම වතාවට මෙරට
පාසැල් අධ්‍යාපන ක්ෂේත්රයේ තුළ සිදු වූ විශාලතම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට පාසල් ශිෂ්‍යයන් වශයෙන් ප්‍රථම වරට මුහුණ දීමට සිදු වූයේ අපටයි..
ඒ 1972 වසරේ හයවැනි ශ්‍රේණියේ...
එතෙක් පැවති අධ්‍යාපන ක්‍රමය අනුව දහවැනි ශ්‍රේණියේදී මුහුණ දුන් අපොස සාමාන්‍ය පෙළ
G C E (O/L) / General Certificate of Education Ordinary Level විභාගය වෙනුවට 09 වැනි ශ්‍රේණිය අවසානයේදී මුහුණ දෙන ජාතික පොදු අධ්‍යයන සහතික පත්‍ර National Certificate of General Education ( N C G E ) විභාගය වෙනුවෙන්..
නව විෂය නිර්දේශය වසර දෙකක් තිස්සේ සාකච්ඡා කර ඇරඹූ එකක්..
එතෙක් සාමාන්‍ය පෙළට විද්‍යා විෂය තුනට කඩා ඉගැන්නුවත්, Physics Chemistry Biology ,
නව ක්‍රමය යටතේ 09 වැනි ශ්‍රේණිය අවසානයේ පෙනී සිටින ප්‍රධාන විභාගයේදී,
එම විෂයන් තුනම එක්කර විද්‍යාව Science යනුවෙන් වූ විෂයේ ප්‍රශ්න පත්රයකට මුහුණ දීමට සිදුවුණා..
එමෙන්ම ඉතිහාසය භූගෝලය ප්රජාචාරය වැනි විෂයන් එකට එක්කර සමාජ අධ්‍යයනය විෂය නිර්මාණය කර තිබුණා.
සමාජ අධ්‍යයනය විෂය තුළ ඉතිහාසයට ඇති තැන අඩුකර තිබුණේ නැහැ..
එහි වැඩිම කොටස වෙන්කර තිබුණේ ඉතිහාසයටයි..
එමෙන්ම එම විෂය ඉගෙනීමේදී වඩාත් සිත් ගන්නා සුළු ආකාරයට
දරුවන්ගේ සිතට ඇතුල්වීම සඳහා ප්‍රායෝගික
වැඩසටහන් ඇතුළත් කර තිබුණා..
ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමඟ පරිසරය සහ සමාජය වෙත ගොස් ඉගෙන ගැනීම සඳහා පාඩම් රැසක් එයට අන්තර්ගතව තිබුණා..
මට මතක විදියට එම විෂය අපේ බොහෝ දෙනා අතර ජනප්‍රිය වුණා...
( ඉන් වසර නවයකට පසුව 1984 වසරේ ගුරු වෘත්තියට පිවිසි මම,
මගේ පත්වීම විද්‍යා ගුරු පත්වීමක් වුවත්,
මා එවකට සේවය කළ අම්පාරේ දුෂ්කර ප්‍රදේශයක පාසලේ සමාජ අධ්‍යයනය ගුරුවරයෙක් නැති කාල සීමාවකදී,
ස්ව කැමැත්තෙන්ම එම එම විෂය භාරගෙන ඉගැන්වීම් කටයුතු කළේ විෂයට පාසල් ජීවිතයේ තිබුණු ඇලුම් බව නිසාම වන්නට ඇති..
එමෙන්ම එවර එම පාසලේ හොඳම ප්‍රතිඵලය සඳහන් වූයේ එම විෂය වෙනුවෙන් )
එමෙන්ම නවවැනි ශ්‍රේණියේදී මුහුණ දෙන විභාගයට විෂයයන් දහයක් ඇතුළත් වූ අතර ප්රාග් වෘත්තීය විෂය එක සහ දෙක යනුවෙන් අලුත් විෂයන් දෙකක් ඇතුලත් කර තිබුණා..
එම විෂයන් දෙකට කෘෂිකර්ම කර්මාන්ත ක්ෂේත්රයන් ඇතුලත් වන පරිදි විෂයන් ගණනාවක් තිබූ අතර එයින් දෙකක් තෝරා ගත යුතුව තිබුණා..
කෘෂිකර්මය යටතේ ප්‍රායෝගිකව අනිවාර්යයෙන් කළ යුතු වැඩ කොටසක් එයට අන්තර්ගත වුණා..
ඒ සඳහා ප්‍රදේශයට ගැලපෙන පරිදි තෝරා ගත යුතු වගාවන් නම්කර තිබුණා..
එමෙන්ම අනෙක් ප්රාග් වෘත්තීය විෂයට ශිෂ්‍යයන්ට සමාජයේ යම් රැකියා ක්ෂේත්රයකට අදාල කර්මාන්තයක් ,
ප්‍රදේශයට අදාළ කර්මාන්තයක්,
ප්‍රායෝගිකව ඉගෙන ගැනීම සඳහා විෂය නිර්දේශය සකස් කර තිබුණා..
උදාහරණයක් වශයෙන් කොහු කර්මාන්තයට අදාළ පාපිසි නිපදවීම අපේ ගම් ප්‍රදේශයේ පාසලක් විසින් කරා මට මතකයි..
පොල් ලෙලි තලා කොහු ලබා ගැනීමේ සිට ලණු අඹරා එම ලණුවලින් පාපිසි නිර්මාණය කිරීම දක්වා එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් එම කටයුත්තේ එදා නිරත වුණා..
එම කොහු වලට ඩයිවර්ග දමා විවිධ වර්ණ සහ රටා තුළින් අපූරු පාපිසි නිර්මාණය කර තිබුණා මට මතකයි..
ඒවා වෙළඳපොළට ඉදිරිපත් කිරීමට තරම් හොඳ තත්ත්වයේ නිර්මාණ වුණා..
සමහර පාසල් වල රේඩියෝ අලුත්වැඩියාව කාර්මික කටයුතු වඩු කර්මාන්තය වැනි දේ ද එම විෂය තුළට ගොනුකරගෙන කටයුතු කළ බව මතකයි..
එම විෂය නිර්දේශය යටතේ 1975 වසරේ දී NCGE විභාගයට අපට පෙනී සිටීමට සිදුවුණා..
එම විභාගයට පෙනී සිට සමත් වෙන අයගේ උසස් පෙළ විෂය නිර්දේශයද වෙනස් කර තිබුණා..
GCE (A/L) වෙනුවට Higher Natural Certificate of Education ( HNCE) විභාගයට සරසවි ප්‍රවේශය සඳහා පෙනී සිටීමට සකස් කර තිබුණා..
උසස් පෙළ ඉගෙන ගැනීමේ දී පළමු වසරේ දී විද්‍යා අධ්‍යාපනය විෂය ධාරාව හැදෑරීමේදී ගණිත, ජීව විද්‍යා ශිෂ්‍යයන් එකම විෂය නිර්දේශයක් ඉගෙන ගත් අතර ඊළඟ වසර දෙකේදී ධාරා දෙක වෙනම බෙදී ඉගෙන ගැනීමට සකස් කර තිබුණා..
ඒ තිබුණු තවත් සුවිශේෂත්වයක් නම් විද්‍යා විෂය ධාරාවෙන් ඉගෙන ගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද
මව් බස ඉංග්‍රීසි සහ සංස්කෘතික උරුමය යන විෂයන් තුනට අනිවාර්යයෙන් පෙනී සිටීමට සිදුවීමයි...
ඒ අනුව උසස්පෙළ කවර විෂය ධාරාවක් ඉගෙන ගත්තත් සංස්කෘතික උරුමය ඉංග්‍රීසි සහ මව්බස යන විෂයන් එම විෂය නිර්දේශයට ඇතුල්වී තිබුණා.
සංස්කෘතික උරුමය යටතේ මෙරට ඉතිහාසය සහ රටට දරුවෙකුට ඇලුම් කරන මනසක් ඇතිවිය හැකි ආකාරයට විෂය නිර්දේශය සකස්වී තිබුණා..
එමෙන්ම උසස් පෙළ කවර විෂය ධාරාවක් යටතේ ඉගෙන ගත්තත් ව්‍යාපෘති විෂය නැමැති විෂයද අනිවාර්ය කර තිබූ අතර ව්‍යාපෘති විෂයට සතියේ එක් දිනක එක ළඟ කාල පරිච්ඡේද හතරක් වෙන් කර තිබූ අතර,
විදුහල පැවති ප්‍රදේශයේ යම් සමාජ සේවා හෝ සංවර්ධන කටයුත්තක් ව්‍යාපෘතියක් ලෙස තෝරා ගෙන වසර දෙකක් තුළදී නිම කිරීමට ඒ සැලසුම් කර තිබුණා..
අප ඒ සඳහා තෝරා ගෙන කටයුතු කළේ ,
රිච්මන්ඩ් විදුහලට සැතපුම් දෙකක් තුනක් පමණ ඈතින් පිහිටි වටරැක ග්‍රාමයේ ඒ වන විට තිබුණු බරවා රෝගය මර්ධනය කිරීමේ ව්‍යාපෘතියක්..
ගාල්ල සෞඛ්‍ය අධිකාරි කාර්යාලය සමඟ එක්ව අප විසින් සකස් කරනු ලැබූ වැඩසටහනක් යටතේ එම ව්‍යාපෘතිය ඉතාමත් සාර්ථක ලෙස කරගෙන ගිය බවද මතකයි.
එම විෂය භාරව කටයුතු කළ බණ්ඩාර සර් ඒ සඳහා අපට මග පෙන්වීම සහ මෙහෙයවීම කළ ආකාරයද විශිෂ්ට බව සඳහන් කළ යුතුයි..
ඔහු අපේ සංස්කෘතික උරුමය විෂය භාර ගුරුවරයා ලෙසද ඉතාමත් හොඳින් හිතට දැනෙන්න එන විෂය ඉගැන්නුවා.
( මංකොල්ල කරුවෙකු විසින් මගේ අත බැදි ඔරලෝසුව කඩා ගත්තේ ද එම ව්‍යාපෘති විෂයට වට රැක යන ගමනකදී බව සඳහන් විස්තරයක් මම මීට පෙර මුහුණු පොතටද කර තිබුණා)
ව්‍යාපෘති විෂයේ සහ සංස්කෘතික උරුමය ඉංග්‍රීසි සහ මව්බස විෂයන්හි ලකුණු සරසවි පිවිසුමට කෙලෙස අදාල වේදැයි අපට හරියටම අද කිව නොහැක්කේ,
එම අධ්‍යාපන ක්‍රමය 1977 වසරේ බලයට පත් වූ රජය විසින් නැවත වෙනස්කර ය පැරණි ක්‍රමයට සමාන ක්‍රමයකට යාම නිසයි..
ඒ නිසා එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් බලාපොරොත්තු ඉලක්කය කරා එදා පරපුරට යෑමට නොහැකි වුණා..
වසර පහක් කිසිදු ගැටලුවකින් තොරව එම නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වීමෙන් පැවතුනා.
ඒ 1977 නැවතත් වෙනස් වීමේ හේතුවෙන් අපේ උසස් පෙළ කාලය වසර තුනහමාරක් පමණ දිගට ඇදී ගියා..
අතරමගදී වෙනස් වූ විෂය නිර්දේශය නිසා අපට නැවතත් පැරණි ක්‍රමයට උසස් පෙළට මුහුණ දීමට සිදුවුණා..
ඒ නිසා 1979 වසරේ අපොස උසස් පෙළ විභාග දෙකක් පැරණි දේශය සහ අතුරු නිර්දේශය වශයෙන් පැවතිය අතර සරසවි වලට සිසුන් බදවා ගැනීමේ දී යම් ගැටළු සහගත තත්ත්වයක් උදාවුනා...
කෙසේ වෙතත් එය කණ්ඩායම් දෙකටම සාධාරණයක් වන පරිදි අවසානයේ විසඳා ගත් බවද මතකයි..
එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් සිටියේ ද නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් සිටියේද ගුරු වෘත්තියෙන් සිය ජීවිතය ඇරඹූ නිහතමානී සරල මිනිසුන් දෙදෙනෙක්..
ආචාර්ය අල්ලාහජ් බදුර්දීන් මහමුද් මහතා ගම්පොළ සහිරා විදුහලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කර තිබූ අතර ,
මාතර ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි නියෝජ්‍ය අමාත්‍ය ධුරය දැරූ බී.වයි .තුඩාවේ මහතා ද ගුරු වෘත්තියෙන් ජීවිතය ඇරබූ කෙනෙක්.....
විශේෂයෙන්ම මෙහිදී මට අද හිතෙන දෙයක් තිබෙනවා..
ආචාර්ය බර්දුදින් මහමුද් මැතිතුමා මුස්ලිම් ජාතිකයෙක්..
රටක අනාගතයේ තීරණය වන අධ්‍යාපන ප්‍රතිපත්තියක් වෙනස් කළේ ඔහු අධ්‍යාපන ඇමතිවරයා වශයෙන්..
එහෙත් ගැටලුවක් ඇති නොවන පරිදි සියලු දෙනාගේ සිත් දිනාගෙන,
අත්දැකීම් වලින් සපිරි සිය නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟින්,
අධ්‍යාපන ක්ෂේත්රයේ විද්වතුන් බොහෝ දෙනා සමගින් සාකච්ඡා කරමින්,
ඒ සඳහා වසර දෙකකට ආසන්න කාලයක් ගනිමින් ,
කෙතරම් දක්ෂ ලෙස එම කටයුත්ත ඉටුකරනු ලැබුවාද යන කරුණ වර්තමානයේ ඇතිවන අර්බුදකාරී තත්ත්වයන් සමඟ සිහියට නැගෙනවා..
ඔවුන් සැබෑ ශ්‍රී ලාංකිකයින්....
සමාජයට අනාගතයට තදින් බලපාන,
යම් සුවිශේෂී කටයුත්තක් කරන විට ,
එය සාර්ථක වීමට ,
එයට මූලිකත්වය ගන්නා පුද්ගලයන් පිළිබඳව, සමාජයේ තිබෙන විශ්වාසය ඉතාමත් වැදගත් වෙනවා...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සාමාජිකයකු වූ ආචාර්ය බදු දීන් මහමුද් මහතාත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ඉදිරි පෙළ නායකයෙකු වූ බි වයි තුඩාවේ මහතාත්
එවකට අග්‍රාමාත්‍ය ධුරය දැරූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියත්,
මව්බිමටත්,
![]() |
| ප්‍රේමදාස උඩුගම මහතා |
එවකට අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ධුරය හෙබවූ ආචාර්ය ප්‍රේමදාස උඩගම මහතා ද විශිෂ්ට අධ්‍යාපනඥයෙක්..
... ලාල් ද අල්විස්....
2026-01-20
කියන්න සුළඟේ,
කියන්න සුළඟේ, ඔබ කොයි සිට දෝ එන්නේ?
සැරින් සැරේ හෙමින් ඇවිත්, හයියෙන් යන්නේ
කියන්න සුළඟේ, ඔබ කොයි සිට දෝ එන්නේ?
සැරින් සැරේ හෙමින් ඇවිත් හයියෙන් යන්නේ
කොහෙන් කොහොම ආවත් මොකටද විමසන්නේ?
වනන්තරේ ඔබ දැක නැති තැනකිනි එන්නේ
හමන තාලයටද ගහේ අතු කොල නැටුවේ
අතරමගදි ඔබ එනවිට මොනවද දුටුවේ
හමන තාලයටද ගහේ අතු කොල නැටුවේ
අතරමගදි ඔබ එනවිට මොනවද දුටුවේ
ගොපලු පුතෙක් ගියා උදේ ගවරැල දක්කා
මට අත වන වන කුඹුරක් නැටු හැටි දැක්කා
සමගි වෙලා තැන තැන යනවාලු එක රැලේ
කැලය මැදදි සත්තු දැක්කේ නැද්ද මද නලේ
සමගි වෙලා තැන තැන යනවාලු එක රැලේ
කැලය මැදදි සත්තු දැක්කේ නැද්ද මද නලේ
කුරුලු මවක් නැති උනු පොඩි පැටවෙකු සෙව්වා
තුරුලු කරන් මුව දෙන පැටියට කිරි පෙව්වා
බුදුන් ගේ සිරිපාය තියැයි ලොව පරසිද්දේ
සමන් ගිර වටේ සුළඟේ ඔබ ගියේ නැද්ද
බුදුන් ගේ සිරිපාය තියැයි ලොව පරසිද්දේ
සමන් ගිර වටේ සුළඟේ ඔබ ගියේ නැද්ද?
ඔබත් ළමයෝ මේ අහන්නේ මොනවද මන්දා
අදත් උදෑසන මා සිරිපාදය වැන්දා
රටක් බලා හැමට සිසිල බෙද බෙද දෙන්න
මටත් ඇහැකි නම් ඔබ මෙන් තැන තැන යන්න
රටක් බලා හැමට සිසිල බෙද බෙද දෙන්න
මටත් ඇහැකි නම් ඔබ මෙන් තැන තැන යන්න
Kiyanna Sulange · Karunaratne Abeysekera · Clarence Wijewardena

















