ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

පොසොන් පෝය 29 වෙනිදා.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2025-10-25

ජනතාව අකමැති කිසිම දෙයක් කරන්නේ නෑ




ජනතාව අකමැති කිසිම දෙයක් කරන්නේ නෑ 
- එක තමයි ලොකුම බොරුව....
ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ඇතුලේ වැඩ කරන්න පුළුවන් ක්‍රමය මොකක්ද ?
ආහ්, ඒක තමයි බහුතර කැමැත්ත.
මේ බහුතර කැමැත්ත කියන්නේ ආසන්නව 51% යි. 
අනිත් 49% ය අකමැති උනත් ඒ වැඩේ කරන්න පුළුවන්.
2/3 ක බලයක් කියන්නේ ආසන්නව 65% ක් වගේ. 
ඒ ප්‍රමාණයක් ජනතාවගේ කැමැත්ත තියෙනවා නම් මුළු රටම උනත් වෙනස් කරන්න පුළුවන්. ව්‍යවස්ථාවේ සිට වෙනස් කරන්න පුළුවන්.
ජනමත විචාරණයක් තිබුනොත් ජනතාවගේ සෘජු ඡන්දයෙන් 51% ක් ගත්තොත් ඒකත් ගොඩ.
ඒ කියන්නේ මේ සෑම අවස්ථාවකදීම අකමැති ජනතාවක් ඉන්න පුළුවන්. හැමෝම එකඟ වෙන දේවල් පවතින්නේ නැති තරම්.
දැන් මේක මනින්නේ කොහොමද ?
ඒකට තමයි ඡන්ද තියෙන්නේ.

ස්විස්ටර්ලන්තයේ වගේ සෘජු ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක වෙන රටවල නම් වාර්ෂිකව පැවැත්වෙන ඡන්ද වලින් විවිධ ප්‍රතිපත්ති වලට ජනතාවගේම කැමැත්ත අහනවා. 
ඇමෙරිකාවේ උනත් හැම අවුරුද්දේම නොවැම්බරයේදී ඡන්දයක් තියන්න පුළුවන්.
 
අපේ රටේ ඕක කෙරෙන්න ඡන්ද ජනාධිපති, පාර්ලිමේන්තු, පළාත් සභා හා ප්‍රාදේශීය සභා ඡන්ද වලින්.
ජනමත විචාරණයක් තිබිලා තියෙන්නේ එක පාරයි. 
ඒ ජේ ආර් ගේ කාලේ.
කොච්චර ඡන්දයක් උනත් වෙනත් කෙනෙකුගේ මානව හිමිකමක් උල්ලංඝනය වෙන අන පනත් හදන්න රජයකට බෑ. විශේෂයෙන් සුළු ජාතීන්ගේ අයිතීන් මහ ජනතාවගේ බහුතර බලයෙන් ආරක්ෂා වෙන්නේ එහෙම.
ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ සැකැස්ම.

දැන් විධායකයයි, 2/3 කුයි තියෙන ආණ්ඩුව කියනවා නම් ජනතාවගේ කැමැත්ත නැති කිසිම දෙයක් කරන්නේනෑ කියලා, ඒ අය මේ කැමැත්ත මැන්නේ කොහොමද ? ඒක මනින්න නම් ඡන්දයක් ඕනේ. ඒ ඡන්දය තියලා අවශ්‍ය බලය අරගෙන්ත් ඉවරයි.
දැන් මේ එන පොඩි පොඩි ප්‍රතිරෝධ වලට මුහුණ දෙන කොට ඒ අණ පනත් අකුල ගන්න හදන්නේ ඇයි? 
කොහොමත් විරුද්ධ පිරිසක් ඉන්නවා. 
ඒක 49% ක් වෙන්නත් පුළුවන්. ඒත් කරන්න පුළුවන්.
එහෙනම් නොකර ඉන්නේ?
එක්කෝ බොරු කියන ස්ට්‍රැටජිය දිගටම ක්‍රියාත්මක කරනවා. දැන් බොරු කියලා පස්සේ කරනවා. 
විශේෂයෙන් එළැඹෙන පළාත් සභා ඡන්දයට පස්සේ.
නැත්නම් ජනප්‍රියවාදීන් හෙවත් populist culture එකේ දේශපාලකයෝ පොඩි ජන ප්‍රතිරෝධයටත් බයයි. 
අර තමන්ට පිස්සුවෙන් වගේ ආදරේ කරන අය නැති වෙනවට බයයි. 
මේ අයට කවදාවත් ප්‍රතිසංස්කරණ කරන්න ලැබෙන්නේ නෑ. 
මොකද ප්‍රතිරෝධයක් දරන්න බෑ.
රට තියෙන්නේ ඓතිහාසික මංසන්ධියක. 
අභ්‍යන්තර දේශපාලනය සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කල යුතු මංසන්ධියක. ඒකට තිබෙන සුබ මොහොත උදා වෙලා පහුවෙමින් යනවා. 
නැකැත පහු වෙලා පහන දල්වලා වැඩක් නෑ. 
අසුභයි.
 
ඉතිං අවසානයේ මම නිතර කියපු කතාවක් මතක් වෙනවා.
' ඔබ කිසිවක් වෙනස් කරන තුරු කිසිවක් වෙනස් නොවේ '
Meaningful change එකක් මේ රටට අවශ්‍යයි. 
Populist culture එකෙන් මිදිලා ඒ වෙනස් කම් කරන්න ඔබට ධෛර්යය තිබිය යුතුයි.
Great Transformation එක කරන්න පුළුවන් වෙන්නේ එතකොට. 
නැතිනම් කුණු බක්කියේ ඉඩ තියෙනවා.














පැතුම් කර්නර්
A day in the life

2025-10-24

නස්රුදීන් - ඉරට වඩා හද ප්‍රයෝජනවත්.


මුල්ලා නස්රුදීන් ගේ කතා බොහොමයක් උපහාසයට බරයි.

පුංචි කතාවක් ඇතුලේ ලොකු කතාවක් කියනවා.

බොරුවකට එහා ගිය තර්කාණුකුල සත්‍යය ඒ කතාතුල තියෙනවා.

අපේ රටේ වර්තමානයට ගලපා ගන්න පුලුවන් වන තේමා එමටයි.

දවසක් ගම් මැද්දේ තම බූරු වාහනෙන් ඇවිද ගෙන යන නස්රුදීන්ට  හිතෙනවා තේ එකක් බොන්න.

වට පිට බලමින් යන කොට තේ කඩයක් දකිනවා.

තේ කඩ ගම්වැසියෝ පාලු කපන තැන්නේ.

වාඩි වෙලා ප්‍රිය සල්ලාපයේ යෙදෙන අය , දාම් අතක් ඇදලා සතුටු වෙන අය 

තේ කඩේ පිරිලා.

නස්රුදීන්ට සෙනග දැක්කම සතුටුයි. සතුට වැඩිකමට වාඩි වෙන්න ආසනයක් හොයන ගමන් කාටත් ඇහෙන්න

" ඉරට වඩා හද අපට ප්‍රයෝජනවත් නේ " කියලා කිව්වා

නස්රුදීන්ට ඕන උනේ වෙහෙස නිමා ගන්නත් එක්ක පුංචි සංවාදයක් ඇති කර ගන්න.

අපිත් ඔය මොනවත් මාතෘකාවක් නැතිව ඉන්න කොට හාගන්න මාතෘකා වේදිකාවේ පණ්ඩිතයෝ වගේ දිගාරලා දාන්නේ ?.

දැන් එක එක්කෙනා කසු කුසුව.

එතන හිටපු ඉහ නිකට පැහුණු වයසක පොරක් 

ඇයි ? . මුල්ලා එහෙම කියන්නේ  .

නස්රුදීන්ටම ප්‍රශ්නේ හරවා යොමු කලා.

“ඇයි ?.  ඉතින් අපට දවාලට වඩා රෑටනේ එළිය ඕනෑ කරන්නේ” කියලා නස්රුදීන් පිළිතුරු දුන්නා.

ඇත්ත නේන්නම් රෑට නේ කරුවල .....කවුරුත් හිතන්න පටන් ගත්තා.


******අපිත් ඉර එළිය යට කාලයක් ගත කරලා හදපාන යට ජීවත් වෙන්න පටන් ගත්ත ජාතියක් නේ.

A day in the life

2025-10-23

දූෂණය විසින් විනාශ කල අධිකරණය සහ නීතීඥ වෘත්තිය:



බ්‍රිතාන්‍ය පාළනය විනය රැක්කේය. 
ආණ්ඩුකාරයාද නීතියේ ආදිපත්‍යයට යටත් කරන ලදී. සුද්දා හැදූ ව්‍යවස්ථාවෙන් විනිසුරන්ගේ ස්වාධීනත්වය ඉහලින්ම ආරක්ෂා කලේය. බලතල බෙදීමේ සිද්ධාන්තය සහ අධිකරණයේ ස්වාධීනත්වය ගරැ කරමින් ආණ්ඩුකාරයා හමුවේ නොව තවත් විනිසුරෙකු හමුවේ දිවුරැම් දීමේ නිදහස විනිසුරන්ට ආරක්ෂා කර තිබිණ.
 
බ්‍රේස්ගර්ඩල් නඩු තීන්දුව එවකට අධිකරණයේ ස්වාධීනත්වට තහවුරැ කරන හොඳම උදාහරණයයි.
එවකට අගවිනිසුරැ සිඩ්නි ඒබ්‍රහම්, ආණ්ඩුකාර ටර්න්බුල් දන ගස්වා මූලික මිනිස් අයිතිවාසිකම් රැකීම හා වතු කම්කරැ අයිතීන් ගැන කොල්වින්, එන් එම් සමග ප්‍රසිද්ධියේ ගෝල්ෆේස් පිටියේ ජනතාව ඇමතීමේ ‘වරදට’ බ්‍රේසිගර්ඩල්ව අල්ලා පිටුවහල් කිරීමට ආණ්ඩුකාරයා නිකුත් කල නියෝගය අවලංගු කිරීමට පෞරුෂත්වයක්  විය. එම අසාධාරණ අයුක්ති සහගත තීන්දුව අවලංගු කිරීමට අගවිනිසුරැ පෞරුෂය ලබා දුන්නේ අධිකරණයේ ස්වාධීනත්වය රකින ලද සුද්දා හඳුන්වාදුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි.
 
අපේ රටේ දූෂිතයන් හැදූ ව්‍යවස්ථාවෙන් අධිකරණය 1+225 ට යටත් කර දන ගස්වා එවැනි සෘජු තීරණ ගැනීමේ පෞරැෂය අධිකරණයට සම්පූර්ණයෙන් අහිමි කරන ලදී. එහෙයින් අරගලයේ කෘර අමානුෂික පහරදීම් ලොවට වාර්ථා කල බ්‍රිතාන්‍ය ජාතික කෙලී ෆේසර්ට යුක්තිය සාධාරනත්වය ඉටු කිරීමට අධිකරණය සම්පූර්ණයෙන් අසමත් විය. දැනට වසර ගනනාවක් ඇය නිවාස අඩස්සියේය. ඇයගේ නඩුවට පෙනී සිටි නීතීඥයා නාගානන්ද වූ හෙයින් වත්මන් ජනාධිපති අනුර දිසානායකටද ඇය වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමට වඩා නාගානන්දගෙන් වාඩුව ගැනීම වැදගත් වී ඇත.

සුද්දාගේ ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුව සම්මත කල අසාධාරණ අයුක්ති සහගත නීති අවලංගු කිරීමේ බලය අධිකරණය සතු ව. එම බලය සෘජුව පාවිච්චි කරමින් අධිකරණය එවැනි අයුක්ති සහගත නීති අවලංගු කලේය. ඒ සුද්දාගේ ව්‍යවස්ථාවෙන් බලතල බෙදීමේ සිද්ධාන්තය, ජනතාවට වගකීම හා විනිවිද භාවයේ සිද්ධාන්තය සහ සියල්ලට ඉහලින් නීතියේ ආදිපත්‍ය ආරක්ෂා කිරීම නිසාය.
 
නවසිය තිස් ගනන්වල අධිකරණය හා අද අධිකරණය එහි ස්වාධීනත්වය, නීතීඥ වෘත්තියේ විනය, නීති ගරුක බව අහසට පොලව මෙනි. එකල අවංකකමට, නොසැලෙන සෘජු බවට විශාල වටිනා කමක් විය. නමුත් අද එම ගුනාංග අඥාණ බහුතර මතය අනුව මෝඩකමකි. දූෂණයට ලක්වූ අධිකරණයේ මතයද එයමය.
 
සුද්දාගේ ව්‍යවස්ථාව අවලංගු කර පද්දාගේ ව්‍යවස්ථාව පැමිණි පසු මොකද වුනේ?
 
අධිකරණය දන ගස්වා ස්වාධීනත්වය අහෝසි කර 1+225 ග්‍රහණයට යටත් කරන ලදී. කථානායක අත්සන් කල පසු (ව්‍යවස්ථාව 80) ජනතා පරමාධිපත්‍ය බලය එළිපිට උල්ලංඝණය කර 225 සම්මත කරන ලද නීති විරෝධී ව්‍යවස්ථා විරෝධී ජනසම්මතවාදය එලිපිට උල්ලංඝණය කරන ලද නීති අවලංගු කිරීමේ බලය අධිකරණයට සම්පූර්ණයෙන් අහිමි කලේය. අධිකරණය ජනාධිපති හමුවේ දන ගස්වා යටත් කරන ලදී (ව්‍යවස්ථා විරෝධී, ජනසම්මතවාදයට 100% ක් පටහැනි ජාතික ලැයිස්තු ව්‍යවස්ථාව (99අ) සංශෝධනය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ ක්‍රමවේදය එලිපිට උල්ලංඝණය කරමින්, අඩුම තරමින් 2/3 බහුතර මනාපයක් නැතිව 1988 මැයි 4 වන දින සම්මත කරන ලදී. එවැනි ව්‍යවස්ථා විරෝධීව සම්මත කරන ලද නීති පමනක් අවලංගු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලය ආරක්ෂා කර ඇති නමුත් [ව්‍යවස්ථාව 82(6)] 2025 ජනවාරි 10 දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විනිවිද පදනම පවරන ජාතික ලැයිස්තු නඩුව නඩුව විභාග කිරීමට දිනයක් නියම කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අදටත් අසමත් වී ඇත.#

පාසැල් ලමයි විදුහල්පති හමුවේ දනින් වැටී ශිෂ්‍ය නායක කම් භාරගන්නා තැනට විනිසුරන්ගේ ස්වාධීනත්වය සම්පූර්ණයෙන් අහිමි කර ඇත. ජනාධිපති ජයවර්ධන හමුවේ දනින් වැටී දිවුරුම් දීම ප්‍රතික්ෂේප කල අගවිනිසුරු නෙවිල් සමරකෝන් තමන්ට ජනාධිපති හමුවේ දනින් වැටීමට බලකිරීම නඩු තීන්දුවක් මගින් තරයේ විවේචනය කරමින් ජනතාවගේ දැනගැනීමට ප්‍රසිද්ධ කර අගවිනිසුරු ධූරය හැර දමා ඔස්ට්‍රේලියාවෙ පදිංචියට යාමට සිදු විය.

නීතිඥ වෘත්තියේ (රජයේ/පෞද්ගලික) විනය, නීති ගරැකත්වය අහෝසි වීම

අද වනවිට ජනරජයේ නීතිපති අධිකරණයේ ස්වාධීනත්වය කාණුවට දමා ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු වලින් 225 බැඳී නොසිටින බවට කථානායකට නීති විරෝධී ව්‍යවස්ථා විරෝධී උපදෙස් දීමට තරම් නීතිපති ධූරයේ ගෞරවය කෙලෙසා ඇත.ජනතා පරමාධිපත්‍ය බලය එළිපිට කෙලෙසා, උල්ලංඝණය කරමින් 2017 සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත වූ පළාත් සභා චන්දය පවත්වන ලෙස බලකරමින් ශ්‍රේෂ්ඨාධිකරණය 2017 සැස්තැම්බර් 8 වන තීන්දු ප්‍රකාශ කරන ලදී. එම නඩු තීන්දුව කාණුවට දමා පලාත් සභා චන්දය (වික්‍රමසිංහ, සජබෙ එවකට එජාප, ජවිපෙ සහ TNA) සාමූහිකව එක්ව) නීතිපති ජයසූරියගේ වංක සහයෝගයෙන් අවලංගු කරන ලදී.
 
දූෂණ කොමිසම, නීතිපති, පොලිස්පති, රේගු අධ්‍යකිෂ ජනරාල් පොල්පිති බවට පත් කිරීම
මේ වනවිට දූෂණ කොමිසම, දෙපාර්මේන්තු ප්‍රධානීන් (නීතිපති, පොලිස්පති රේගු අධ්‍යක්ෂ ජනරාල්) කොඳු නාරටිය කඩා සුළඟට වැනෙන පඬරැල් බවට පත් කර ඇත. බරපතල දූෂණ අපරාධ නඩු කිසිවක් සම්බන්ධව දූෂණ අපරාධ නීතිය බලගැන්වීමට දූෂණ කොමිසම අසමත්ය. බිලියයන හතේ මංත්‍රීන් 224 ක් සම්බන්ධ දූෂණ අපරාධ නඩුව ඒ අතර ප්‍රධාන තැනක් ගනියි.
රේගුවේ උපදෙස් වලට පටහැනිව කෝටි ගනන් රාජ්‍ය අරමුදල් වංචා කිරීම පිළිබඳ නඩු රජයේ බලපෑමට නීතිපති විසින් නීතිය කාණුවට දමා ඉල්ලා අස්කර ගැනීම තවත් හොඳම උදාහරණයකි.
 
රැපියල් බිලියන 16 BMW බදු වංචා නඩුවටද එම ඉරණම අත්කිරීමට නීතිපති සංජය රාජරත්නම් හා සුමති ධර්මවර්ධන උත්සාහ කරන ලදී. නමුත් මහජන අයිතිය බලගන්වමින් එම නඩුව පැවරෑ නීතීඥ නාගානන්දගේ සෘජු මැදිහත්වීම හා නීතිපති රාජරත්නම්ව සෘජුව ප්‍රශ්ණ කිරීම හා නීතිපතිට එරෙහිව දූෂණ අපරාධ නීතිය බලගැන්වීම හමුවේ නීතිපතිට හකුලා ගැනීමට සිදුවිය. එම නඩුවේ අවසන් තීන්දුව ප්‍රකාෂ කර දැනට වසර ගනනකි. නමුත් දූෂණයේ ගොදුරක් බවට පත්වී ඇති රටේ එම අපරාධයට සම්බන්ධ චූදිතයෝ අදත් නිදැල්ලේය.

නීතීඥ වෘත්තිය වශ්‍යා වෘත්තියටත් වඩා පහලය ඇද වැටීම

පුද්ගලික අංශයේ නීතීඥයන්ද බුරැතු පිටින් (සියල්ලන් නොවේ) නීතිය අතට ගෙන ක්‍රියා කිරීම හමුවේ දූෂණය ඉහවහා ගොස් ඇත.
‘අපි (අධිකරණය, නීතීඥඑකට වැඩ කරන අය අපේ ප්‍රශ්ණ පිටට නොදී අපි විසඳගමු’ කියන තැනට නීතී‍්ඥ වෘත්තියේ ගෞරවය නීතීඥ සංගමයේ සභාපති රජිව අමරසූරිය විසින්ම ප්‍රසිද්ධියේ අධිකරණය හමුවේ ප්‍රසිද්ධියේ ප්‍රාකර කෙලෙසන ලදී. නිවටකමට යටවී, නීතියේ ආදිපත්‍ය හා වගන්තීය ගරැත්වය බල්ලාට දමා ජනතාවගේ දැඩි අප්‍රසාදයට නීතීඥ වෘත්තිය ලක්කර ඇත. 
ජනාධිපති නීතීඥ මුස්තාපාට ඇස් දෙකක් කණ් දෙකක් ඇත. 
නීතීඥ වන්නිනායකගේ වන්නි සන්නිය හා ප්‍රසිද්ධියේ වෘත්තීය ගෞරවය කෙලෙසී  ඇති බව ඔහු හොඳින් දුටුවේය. 
එසේ තිබියදී පොලිස් දෙපාර්මේන්තුව වෘත්තිය කෙලෙසන ලද සහ නීතියට ඉහලින් පෙනී සිටිමින් ගල්කිස්ස අධිකරණයේදී තම රාජකාරිය කල පොලිස් නිලධාරියකුව 
බාධා කරමින් ඔහුට ප්‍රසිද්ධියේ පරුෂ වචනයෙන් නින්දා අපහාස කර නීතීඥ වෘත්තිය කෙලෙසන ලද 
සහ පොලිස්  නිලධාරියාව දින තුනක් බන්ධනාගාර ගත කිරීමට නීතීඥ වෘත්තිය සමිපූර්ණයෙන් අවභාවිතා කල නීතීඥ වන්නිනායක අත් අඩංගුවට ගැනීමේ රිට් ආඥාවක් ලබාගැනීමට තරම් මුස්තාපා නොබියව කිසිම ලැජ්ජාවක් නැතිව ඉදිරිපත් වූයේ කෙසේද ? .
නීතියේ ආදිපත්‍යය දූෂණය නම් රකුසා විසින් ගිල දමා ඇති හෙයිනි.

මෙවැනි ඉතාම පිළිකුල් සහගත මෙන්ම ඉතාමත් කනගාටුදාකය පරිසරයක මේ රටේ ජනතාව සම්පූර්ණයෙන් අතරමංය. 
අධිකරණයේ ස්වාධීනවත්වය බිඳවැටීම හා සිතාගත නොහැකි අසීමිත දූෂණය සමස්ථ නීතී ක්ෂේත්‍රය බිලිගැනීම හමුවේ නිදහස්, නිවහල් නීති ගරැක පුරවැසියන් මෙන්ම නිරිව්‍යාජ අවංක නීතීඥ ප්‍රජාවේ සුළුතරයද සම්පූර්ණයෙන් අසරණය.

නීතීඥ නගානන්ද කොඩිතුවක්කු .















සටහන.
නීතීඥ නගානන්ද කොඩිතුවක්කු .
A day in the life

2025-10-22

නස්රුදීන් - එල්ලුම් ගහේ.


ස්රුදීන් සුල්තාන්වරයාගේ සේවකයෙක්ව හිටි කාලේ  ,සුල්තාන්වරයා තීරණය කලා “දැඩි දඬුවම් දීමෙන් රටේ සියලු වැරදි මුලිනුපුටා දැමිය යුතුයි කියලා.

හරියට අවරුදු හැත්තෑ හයක් තිස්සේ රට විනාශ කලායයි ස්ලෝගන් එකක් හදලා නීති අන පනත් හරියට තිතටම අවුරුදු හැත්තෑ හයක් තිස්සේ රට විනාශ කරපු පාර්ශවයට ක්‍රියාත්මක කරනවා වගේ.

ක්‍රියාත්මක කරන පාර්ශවය පුංචි පුංචි විනාශ කරාට ගනන් ගන්න දෙයක් නැහැ.

කතාව වැරදි පාරක යනවා.


අපි සුල්තාන්වරයාගෙයි නස්රුදීන් ගෙයි කතාවට හැරෙමු.

සුල්තාන්වරයාගේ සංකල්පය අනුව  හිතුවා බොරු කියන අයටත් මරණ දඩුවම පමුනුවන්න ඕන කියලා.

නස්රුදීන් මේ මතයට එකග වුනේ නැහැ. .

එහෙම වුනොත් බොරුවෙන්ම ජීවත් වෙන නසුරූදීන්ට කලින්ම පරලොව යන්න වෙනවනේ.

අපේ රටේ නම්..........එකෙක් ඉතිරි වෙන්නේ නෑ.


නගරයත්   පිටත ජනාවාසත් මායිම් වෙලා තිබුනේ ගගකින්. නගරයට ඇතුල්වෙන කඩවත පාලමක් පිහිටලා තිබුනා. මේ පාළමෙන් විතරයි නගරයට ඇතුල් වෙන්න පුලුවන් වුනේ.

සුල්තාන්වරයා පාලමෙන් එගොඩ නගරයට  ඇතුල් වෙන තැන එල්ලුම් ගහක් ස්ථාපනය කලා.

කාර්ය මණ්ඩලයකුත්  කාර්යාලයකුත් පිහිටෙව්වා. 

අල්ලස් දූෂණ කොමිසම ,CID , FCID වගේ තියෙන ආයතන  වලට වගේ බලතල දුන්නා.

ඔන්න දැන් වැඩේ ක්‍රියාත්මකයි.

දැන් නගරයට ඇතුල්වන පිටවන හැමදෙනාගෙන්ම ප්‍රශ්න කරනවා. 

බොරු කියනවද  ? නැද්ද ?කියලා.


හොද වෙලාවට සුල්තාන්වරයාට පක්ෂපාත උදවිය ගැන දන්නා කාර්ය මණ්ඩලය ඒ අය ෂේප් කරලා ඇරියා.

අනිත් අයට වුනේ මේ උගුලට මූණ දෙන්න.

කවුරු හරි  බොරුවක් කිව්වොත් , අනන්‍යතාව සැඟවුවහොත් ඔහුට හෝ ඇයට හිමි වුණේ මරණ දඬුවම.

නස්රුදීන් මේ තීරණයට විරුද්ධ වුණ බව මුලින්ම කිව්වනේ.

විරුද්ධ වෙලා නිකම්ම හිටියේ නෑ. මේ තීරණය ආපහු අකුලා ගන්න මොකක් හෝ උප්පරවැට්ටියක් යොදන්න ඕනි කියලා දහ අතේ කල්පනා කලා.


අපෙත් ඔය සමරිසි වගේ පනත් හෝල්ඩ් වෙන්නේ.


සුරුදීන් හිතුවේ   වරදේ පරිමාණයට අනුව දඬුවම් නියම කළ යුතු බවයි. නීතිය හැම වරදකටම සමානව දඩුවම් නියම නොකළ යුතු බවයි.

වැරදි සහමුලින් ඉවත් කළ නොහැකි බවත් පාලනය කිරීම පමණක් කළ හැකි බව නස්රුදීන්ගේ මතය වුනා. 

මිනිසුන් යහපත් වීම, “සියලු දෙනාගේ යහපත උදෙසා තම ඇතැම් හැසිරීම් පාලනය හා වෙනස් කර ගැනීමේ වැදගත්කම” ගැන ඔවුන්ගේ ආකල්පමය වර්ධනයකින් හා සදාචාරාත්මක සංස්කෘතියක් ජනිත කරගෙන පවත්වා ගැනීමෙන් පමණක් කළ හැකි බව, නීතිය – ආගම- අධ්‍යාපනය ආදිය ඊට මග පෙන්වීම පමණක් සිදු කළ යුතු බව නස්රුදීන් හිතුවා..

තවද ඥානවන්ත ගුරුවරුන්ගේ මග පෙන්වීමෙන්, භාවනාව ආදී යම් ක්‍රියාපිළිවෙත් අනුගමනයෙන්, තම අන්තර්ඥානය අවධි කර ගැනීමෙන් සත්‍යය දකින මිනිසා ස්වභාවයෙන්ම යහපත් තත්වයට ලඟා වන බවත්, එසේ නොමැතිව යහපත මිනිසුන් මත බලෙන් පැටවීම කළ නොහැකි බව නස්රුදීන් පැවසුවා

.

සුල්තාන්වරයා සමුප්‍රදායික නායකයෙක්.

නායකයෝ  නායකත්වය සමගම උද්දච්චකම අහංකාරකම ආරෝපනය කර ගන්නා අයනේ.

සුල්තාන් වරයා  නස්රුදීන්ගේ  උපදෙසට සවන් දුන්නේ නැහැ.

තම තීරණය ක්‍රියාත්මක කළා.


දිනක් නස්රුදීන් නගරයෙන් පිටතට ගියා.

හොද වෙලාවට සුල්තාන්වරයාගේ කාර්ය මණ්ඩලයට නස්රුදීන් අවධානයට ලක්වුනේ නැහැ.

එහෙත් ආපසු එනවිට නම් බේරුමක් නැති වුනා.

එල්ලුම් ගස අසල දී   සුල්තාන්වරයාගේ කාර්ය මණ්ඩලය ඔහුගෙන්  ප්‍රශ්න කළා.

කොහෙද තමුන් යන්නේ?
“මම එල්ලුම් ගහට යනවා.” 

නස්රුදීන් උත්තර දුන්නා..
“ඒක බොරුවක්.”
“එහෙනම් මාව එල්ලපල්ලා.”
“එත් තමුන්ව එල්ලුවොත් ඒ කියපු එක ඇත්තක් වෙනවා.”


මේ සංවාදය නිරාකරණය කර ගන්න අන්තිමට සුල්තාන්වරයා ලගටම යන්න සිද්ධවුනා.

නස්රුදීන් කරුණු කාරනා ඉදිරිපත් කරමින් සුල්තාන්වරයාට මෙහෙම කිව්වා.
“ ඇත්ත හා බොරුව කියන දෙකේ ස්වභාවය දැන් ටිකක් වැටහෙනවා නේ ? කියලා.


සුල්තාන්වරයා නිතීය රිවස් කර ගත්තා.

කාර්ය මණ්ඩලය  ආපසු කැදෙව්වා.

කාර්යාලය වසා දැම්මා.

ඒත් ජනතා මුදල් අපතේ හැරියා කියලා චෝදනාවක්  .....
කවද හරි ඊළග සුල්තාන්වරයා අරගෙන එයි කියලා හිතන කොට හීන් දාඩිය දාන්න පටන් ගන්නවා.

A day in the life

2025-10-21

රජ කාලේ කොළඹ නුවර පාර


උඩරට රාජධානි කාලේ පටන් කොළඹ සිට මහනුවරට වැටී තිබුණේ කැලණි ගංගා නිම්නය ඔස්සේ විහිදුණු අඩිපාරක්. මේ පාරේ අශ්වයකු පිටේ ගමන්කිරීමට හෝ දෝලාවක ගමන් කිරීමට තමයි රාජ්‍ය නිලධාරින්ට සිදුවුණේ. අවිස්සාවේල්ල -රුවන්වැල්ල හරහා මාඔය නිම්නය දක්වාත්, එතැන් පටන් බලන කපොල්ල හරහා ගොස් මහනුවර දක්වාත් තිබූ මේ මාර්ගය දුර වැඩි වගේ ම දුෂ්කර බවින්ද අධික වුණා.
එ නිසා කරත්තවලට ගමන් කළ හැකි පාරක් මහනුවරට කැපීමට ඉංග්‍රීසි ආණ්ඩුවට අවශ්‍ය වුණා. ඒ කෝපි, තේ වැනි වාණිජ බෝග කොළඹ වරාය දක්වා පහසුවෙන් ප්‍රවාහනය කිරීමට යි.
සුද්දෝ නුවර පාර කපති
කොළඹ – මහනුවර මාර්ගයේ ඉදිකිරීම් 1820 තරම් කාලය වනවිට ආරම්භ වී පැවතුණා. මෙරට මාර්ග ඉදිකිරීමට ඉංග්‍රීසින් ගෙන ගිය වැඩපිළිවෙළ අනුව කොළඹ සිට ප්‍රථමයෙන් ආරම්භ කළ මාර්ගය ලෙස නුවර පාර ඉතිහාසගත වෙනවා. 1818 කැරැල්ලේ දී මහනුවරට පිවිසීමට පහසු මාර්ගයක් නොතිබීමේ අඩුව ඉංග්‍රීසි පාලකයකයන්ට තදින් දැනුණා. පළමු මාර්ගය නිසා එය අංක ගතකර ඇත්තේ A-001 ලෙස යි. බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර සර් විල්මට් හෝර්ටන්ගේ මූලිකත්වයෙන් තමයි නුවර පාරේ ඉදිකිරීම් පටන් ගත්තේ.
සම්පූර්ණ පාරේ ම අධීක්ෂණය බාර වුණේ කැප්ටන් විලියම් ඩෝසන්ට යි. නුවර පාරේ පළමු කොටස දිව යන්නේ බස්නාහිර තැනිතලාව ඔස්සේ.කොළඹ සිට අඹේපුස්ස දක්වා එහි මුල් කොටස ඉදිකිරීම සිදුවුණා. දෙවන අදියර අඹේපුස්සේ සිට කඩුගන්නාව දක්වා තැනීම විශාල අභියෝග මැදයි කරන්නට සිදුවුණේ. වරකාපොළ සිට අඹන්පිටිය දක්වාවූ සැතපුම් එකොළහක දුර ප්‍රමාණයේ ඉදිකිරීම් මේජර් තෝමස් ස්කිනර්ගේ අධීක්ෂණය යටතේ සිදුවුණා. එම කොටස ඉදිකිරීමට සහභාගිවූ එවකට තරුණ ඉංජිනේරු මේජර් තෝමස් ස්කිනර් ලංකාවේ පනස් වසක් නම් කෘතියේ එහිදී විඳි දුෂ්කර ත්‍රාසජනක අත්දැකීම් විස්තර කරනවා.
අලි, කොටි, සර්පයන්, කූඩැල්ලන් වැනි සතුන් හමුවේත්, ඇළ, දොළ, ගංගා, ගිරිදුර්ග, වැනි බාධක මැදත් ඔවුන් නුපුහුණු කුලීකරුවන් සමඟ පාර කැපීම සිදු කළා. මැලේරියාව වැනි වසංගත රෝග පාරේ වැඩවලට විශාල බාධාවක්වුණු බව සඳහන් වෙනවා.
මැලේරියාව නිසා ස්වදේශීය කම්කරුවන් මෙන් ම ඉංග්‍රීසි නිලධාරින් ද මිය ගියා. කොළඹ- නුවර පාර තැනීමේ දී දූෂ්කර ම කොටස වුණේ කඩුගන්නාව දුර්ගය හරහා පාර කැපීම යි. ගල්පර්වත ඉවත්කරමින් දැඩිබෑවුම හරහා වනාන්තරය ඔස්සේ පාර තැනිය යුතු වුණා. මහවැස්සත් එයට නිතර බාධා කළා.

කැප්ටන් ඩෝසන්

පාර කැපීමට කැප්ටන් ඩෝසන් දිවා රාත්‍රී දෙකේ ම එක දිගට ම වෙහෙසුණු බව වාර්තා පවසනවා. නුවර පාර කඩුගන්නාවට ආසන්න වුණු විට කැප්ටන් ඩෝසන් උණ රෝගය වැලඳීමෙන් අසාධ්‍ය වෙනවා. ඔහුට ප්‍රතිකාර කිරීමට කොළඹට රැගෙන ගියත් මරුවාගෙන් ඔහුට ගැලවීමට ලැබෙන්නේ නැහැ. කැප්ටන් ඩෝසන් වර්ෂ 1829 මාර්තු 28 වැනි දින කොළඹ දී මරණයට පත්වෙනවා. කඩුගන්නාව දුර්ගයේ පිහිටි කළුගල විදතැනූ උමං මාර්ගය කැප්ටන් ඩෝසන්ගේ සංකල්පයක්.
ඔහුගේ මරණය ගැන මේජර් ස්කිනර් මෙසේ සටහන්කර තිබෙනවා:
“1829දී මගේ හිතෛෂී මිත්‍රයෙක් අභාවප්‍රාප්ත විය. ඒ සමඟම අගනා නිලධරයෙකුගේ සේවයද අහිමිවිය. ඒ වූ කලී රාජකීය ඉංජිනේරු හමුදාවේ අණදෙන නිලධර කපිතාන් ඩබ්ලිව්.ඩෝසන්ය. මේ අසරණයා මියගියේ මගේ අතෙහිය. මුළු දිවයිනම ඔහු වෙනුවෙන් ශෝකවිය. ඔහු ඇඳින සිටිය යමෙක්වීද ඔහු ඒ තැනැත්තාට බෙහෙවින් ඇලුම් කළේය. ඩෝසන්ගේ කනිෂ්ඨ තත්ත්වය ගැන නොසිතා රාජකීය ඉංජිනේරු හමුදාවේ අණදෙන නිලධාරී පදවියට සර් එඩ්වඩ් බාන්ස් විසින් තෝරාගන්නා ලදී. ඔහුගේ කාර්යක්ෂමබවෙහි විශිෂ්ට ජයග්‍රහණයක් වූ කඩුගන්නාව දුර්ග මාර්ගය මුදුනේ ඔහු සිහිවීම පිණිස ස්මාරකයක් ඉදිකළේ ඒ හේතුවෙනි.”
( ශ්‍රී ලංකාවේ පනස් වසරක්- විලියම් ස්කිනර්)
කඩුගන්නාව ගල් පර්වතය පුපුරා ඉවත්කර මාර්ගය තැනීමට හැකියාව තිබුණත් ඉංග්‍රීසින් එය කපා ඒ මැදින් පාර තැනුවේ උඩරට සිංහලයන් තුළ පැවති අභිමානවත් විශ්වාසයක් බිඳ දැමීමට බව පැවසෙනවා. ගල විද පාර සැකසීමත් සමඟ ඒ විශ්වාසය බිඳ වැටී තිබෙනවා. එම විශ්වාසය නම් දළදාවහන්සේ හිමිකර ගන්නාතුරු හා ගලවිද කන්ද කපා උඩරටට පාරක් කපන තුරු උඩරට රාජධානිය ආක්‍රමණිකයන්ට අල්ලා ගැනීමට බැරි බව යි.
මෙම ගල විදපු ස්ථානයේ තිබෙන සමරු පලකයේ මෙසේ සටහන්කොට තිබේ.
“කොළඹ – මහනුවර මාර්ගය ඉදිකිරීම් භාරව කටයුතු කරනලද ඉංග්‍රීසී ජාතික ඉංජිනේරු කැප්ටන් විලියම් ෆ්‍රැන්සිස් ඩෝසන් විසින් ස්වාභාවික චමත්කාරයට හානි නොවන පරිදි මෙම අපූර්ව නිර්මාණය වර්ෂ 1828- 1830 වර්ෂවල නිමකොට තිබේ.”

-- රාවණා පුරාවෘත්තය.

A day in the life



2025-10-20

දීපාවලී - අදුර නසා අලෝකවත් වෙමු.



හිණ්දුන් වර්ෂය පුරාවට පවත්වන එක් එක් ආගමික උත්සව අතරට එක්වන එක් ආගමික උත්සවයකි දීපාවලි උත්සවය.

දීපා යනු පහනයි + ආවලී යන්නෙන් පේලිය හැදින්වේ. දීපා + ආවලි පහන් පේලියක් අරුතෙන් දීපාවලිය වහරට එක්විනි.

මානව ඉතිහාසයේ ශත වර්ෂ තුන්සිය පනහක් පමණ පැරණි හිණ්දු සංස්කෘතිය තුල හැඩ වැඩ ගැන්වෙමින් ඝණ අදුර දුරලා ආලෝකය ලබා ගැනීම තේමාව වු හිණ්දුන් භෞතික ජීවිතය සන්තරපණය කිරීමට වඩා ගැඹුරු අධ්‍යාත්මික ජීවිත දර්ශණයක පිහිටා කටයුතු කරති.

ලොව අදුර නසා ආලෝකවත් කිරීම

ජීවිතයේ අයහපත පලවා හැර යහපත ළං කරගැනීම

ඉවසීම ප්‍රගුණ කිරීම බෙදා හදා ගැනීම

ජීවිතයට නව ආරම්භයක් අපේක්ෂා කිරීම

මිනිස් ජීවිතවල නපුර සහ වේදනා දුරලා ආලෝකය කරා එළැඹීම අපේක්ෂාවෙන් දීපවාලි සැමරීමෙන් අපේක්ෂා කරති.


දීපාවලි දිනය සැමරීම උදෙසාද විවිධ පුරාවෘත්ත ඇත.

අසුරයන් පරදවා සුරයන් ජයග්‍රණය කිරීමේ සංසිද්ධිය ඒ කතා අතුරින් ඉතා ප්‍රකටම කතා පුවතයි.

විෂ්ණු දෙවියන් විසින් ලක්ෂ්මිය බේරාගත් දිනය ලෙස හා ලක්ෂ්මි දෙවියන්ගේ උපන් දිනය ලෙසද ක්‍රිෂ්ණ දෙවියන් විසින් නරකාසුර මරා දැමූ දිනය ලෙසද දක්වා ඇත.

ජෛන මහාවීර නිර්වාණාවබෝධය ලැබූ දිනය ලෙසත් සමහර පොතපතෙහි සඳහන්ය.

මේ අතීත පුරාවෘත්ත සමඟ සැමරෙන දීපවාලි උත්සවය හින්දූන්ගේ චන්ද්‍ර දින දර්ශනයට අනුව නව වසර ආරම්භ වන්නේ ඔක්තෝබර් මාසයේය. ඒ අනුව ඔක්තෝබර් මැද සිට නොවැම්බර් මැද තෙක් එක් දිනයක් දීපවාලි උත්සවය පැවැත්වීමට නියම කර ගනී. නමුත් සමහර අවස්ථාවලදී එය චන්ද්‍රයාගේ පිහිටීම අනුව වෙනස් වේ.


හින්දු සංස්කෘතිකාංග අතර කෝලම් රටා ප්‍රධාන තැනක් ගන්නා ඉතාමත් අලංකාර හා සියුම් නිර්මාණයකි. කෝලම් රටා ඇඳීම වැඩි වශයෙන් සිදුවන්නේ හින්දු තරුණියන් අතිනි.

වර්ණගන්වන ලද සහල්, සහල් පිටි හෝ වර්ණවත් මල් පෙති භාවිතයෙන් මෙම කෝලම් රටා නිර්මාණය කරයි.

දීපවාලි සැමරුමේ අදාළ කටයුතු වැඩිපුරම සිදු කෙරෙන්නේ කාන්තාව නිසා දීපවාලි දිනයේදී පවුලේ කාන්තාවට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ඔවුන් විසින් මනා සංයමයකින් යුතුව අඳිනු ලබන කෝලම් සඳහා මල් භාවිත කරනු ලබන්නේ සුවඳ එක් කිරීම සඳහාය. නමුත් එම නිර්මාණ සඳහා බහුල වශයෙන් භාවිත කරනුයේ වර්ණ ගන්වන ලද සහල් සහ සහල් පිටිය. එලෙසින් සහල් පිටි භාවිත කිරීමේ අරමුණ වන්නේ එමඟින් අලංකාරයක් එක් කිරීම මෙන්ම කූඹින් වැනි කුඩා සතුන් හට ඒවා ආහාරයක් වශයෙන් ලබා දීමයි.

ඉන්දියාවේ දින පහක දීවාලි උත්සවය ආරම්භ වන්නේ “දියාස්” යනුවෙන් හදුන්වන ඉටිපන්දම් සහ තෙල් ලාම්පු වැනි සාම්ප්‍රදායික සැමරීම් ක්‍රම භාවිත කරමිනි. දීපවාලි උත්සවය වටා බැදුණු සංස්කෘතික අංග රාශියක් ඇත. විවිධ කැවිලි වර්ග මෙකල අතිශය ජනප්‍රියය. රසගුල්ලා, පැණි වළලු, ගුලාබ් ජමූන්, ලඩ්ඩු, ගාජර් කා හල්වා, පයාසාම්, ජලේබි ආදී රස කැවිලි සකස් කරයි. ඒ වගේම රසකැවිලි බහාලූ ඇසුරුම් සමඟ නෑදෑ හිත මිත්‍රයන් බැලීමට යෑම තවත් එක් විශේෂ චාරිත්‍රයකි.


දීපවාලි උත්සවය පැවැත්වෙන දිනයේ හින්දුන් සිය පවුලේ සියලු දෙනාම එකතු වී තමන්ටත් ලෝකවාසීන්ටත් යහපත උදාවනු ඇතැයි අපේක්ෂාවෙන් විවිධ පුද පූජා පවත්වති.

ඒ අනුව හින්දු භක්තිකයන් විසින් සමරන දීපවාලි උත්සවයේ දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණ නිසාම ලෝකයේ බොහෝ දෙනාගේ අවධානයට ලක්ව ඇති තවත් එක් ආගමික උත්සවයක් ලෙස දීපවාලි උත්සවය සඳහන් කළ හැකිය.

 - ශෂී ගමගේ  

 - මව්බිම

A day in the life

2025-10-19

මාතර හරිස්චන්ද්‍ර


මාතර හරිස්චන්ද්‍ර නිෂ්පාදන කියන්නේ ලංකාවේ ඉතා පැරණි ඒ වගේම ඉතා ප්‍රසිද්ධ වෙළෙද නාමයක්. මේ සටහනේ තියෙන්නේ ඒ ව්‍යාපාරය ආරම්භ කළ සී. ඒ. හරිස්චන්ද්‍ර මහතාගේ බොහෝ දෙනා නොදත් ජීවිත කතාවෙන් බිදක්.

සී. ඒ. හරිස්චන්ද්‍ර දරුවා ඉපදුණේ "මාතර සිටුවරයා ලෙස එකල හැඳින්වුණු ඕදිරිස් සිල්වාගේ හතර වැනි පුත්‍රයා විදියට. කර්නල් සී. ඒ. ධර්මපාල මේ හරිස්චන්ද්‍ර තවත් සහෝදරයෙක්.
සිටුවර තාත්තා හරිස්චන්ද්‍ර දරුවා ඉගැනුමට යැව්වේ මාතර ශාන්ත තෝමස් විද්යාලයට. ඉන් පස්සේ හරිස්චන්ද්‍ර ධර්මපාල සහෝදරයන් දෙදෙනා ම කොළඹ නාලන්දා විද්යාලයට ඇතුළු කළා.

හරිස්චන්ද්ර දරුවා තුළ ව්යාපාරියකු වීමේ කිසි ම ලකුණක් තිබුණේ නැහැ. ඔහු පොත් කියවීමට දැඩි සේ නැඹුරු වුණු නිහඩ ළමයෙක්. ඇත්තටම අග හිඟකම් දුක් වේදනා හරිස්චන්ද්‍ර ශිෂ්‍යාගේ ළමා වියට කිසිදු සම්බන්ධකමක් නෑ.
හරිස්චන්ද්ර ශිෂ්‍යයා නාලන්දෙන් කොළඹ යුනිවසිටි කොලීජියට ඇතුළු වුණා. පොත පතේම ගැලී සිටි ශිෂ්යයා යුනිවසිටි කොලීජියට තේරීම පුදුමයක් නෙමෙයි. ඔහු ඉගෙන ගත්තේ ආර්ථික විද්යාව. දාස් ගුප්ත නැමැති ඉන්දියන් ගුරුවරයා මේ ශිෂ්යයාට දවසක් මෙහෙම කිව්වා.
" හරිස්චන්ද්ර..... මෙහෙන් පිට වෙලා ගිහින් අනිත් අය වගේ රස්සාවකට යන්න එපා. ඔයාට හරියන්නෙ ව්යාපාර ලෝකය. ඒ අඩි පාරේ යන්න."

හරිශ්චන්ද්ර ශිෂ්යයාට මේ වචන හරි ම ප්රහේළිකාවක්. තාත්තා විශාල ව්යාපාරිකයෙක් වුණත් වෙළෙඳාම ගැන මේ තරුණයා තුළ කිසිම අදහසක් ආසාවක් තිබුණේ නෑ. නමුත් දාස් ගුප්ත ආචාර්යවරයාගේ වචන කීපය හරිස්චන්ද්ර තරුණයාගේ ජීවිතය වෙනස් කළා. 1938දි යුනිවසිටි කොලීජියේ ඉගෙනුම අවසන් කළ හරිස්චන්ද්ර තරුණයා ආපහු මාතර මහගෙදරට ආවා. 
ඒ වෙළෙදාම් කරන්න හිතාගෙන.
ඒ වන විට මාතර බ්රෝඩ්වේ සිනමාහලත් එහිම තිබු පොත්හලත් අයිතිව තිබුණේ හරිස්චන්ද්‍රගේ තාත්තට. පොත පතේම ගැලී සිටි පුතාට සිනමාහලත් පොත් සාප්පුවත් භාරදීම සුදුසුම දෙය බැව් තාත්තා කල්පනා කළා.
දැන් සී. ඒ. හරිස්චන්ද්ර,සිනමා හලේ සහ පොත් සාප්පුවේ කළමනාකරු. පරණ පුරුද්ද අත් හැරුණෙ නෑ. හරින්ද්ර සාප්පුවේ තියෙන පොත් කියවන්න පටන් ගත්තා.
 
එක දවසක් සාරියකින් හැඩ වැඩ වුණ මනා පෙනුමැති යුවතියක් පොත් සාප්පුවට ගොඩ වුණා. මේ තරුණිය හරිස්චන්ද්ර තරුණයාගේ සිත විදුලියක් වගෙ සසල කළා. මේ විදියට දෙතුන් විටක් ම පොත් ගන්න ආපු මේ යුවතියත් හරිස්චන්ද්රත් අතර ආධ්යාත්මික සබඳතාවක් ගොඩනැගෙන්න පටන් ගත්තා.
ඇය ගුරුවරියක්. නම කොන්දේර්ලියා හාන්ති. මේ සබඳතාව හරිස්චන්ද්ර පවුල් ඒකකය තුළ විශාල අර්බුදයක් මතු කළා.
 
"ඔය කසාදෙට ඉඩ දෙන්න බෑ."
සිටුවර තාත්තත් සහෝදර සහෝදරියනුත් හරිශ්චන්ද්රට විරුද්ධ වුණා.
"කමක් නෑ.. මං මේ යුවතිය කසාද බදිනවා."
 
හරිස්චන්ද්ර තරුණයාගේ ඉරණමේ පළමු කොටස තීන්දු කළේ දාස් ගුප්ත ගුරුවරයා. ඔහුගේ ඉරණම දෙවන වරට වෙනස් කළේ පොත් සාප්පුවේ දී මුණ ගැසුණු මේ පාසල් ගුරුතුමිය විසිනුයි. හරිස්චන්ද්ර තනි තීන්දුවෙන් ගුරුවරිය කසාද බැන්දා. සිටුවර පියාගෙන් හා මහගෙදරින් ලැබිය යුතු ධනස්කන්ධය අත් හැරල දැම්මා.
ඔහුගේ විවාහ ජීවිතය ඇරඹුණේ කිසි දු වත්කමක් නැති හිස් පසුම්බියකින්. මේ ඉඩම් ඔප්පුව තියලා සල්ලි අරං ඔයා මොනව හරි දෙයක් පටන් ගන්න."
 
දස අතේ කල්පනා කරමින් සිටි සැමියා අතට හාන්ති බිරිද තමන් සතු ඉඩම් ඔප්පුව දුන්නා. ඒ ඔප්පුව හරිස්චන්ද්ර රු. 500කට උගස් කළා. ඔහු ජීවිතය නැවත පටන් ගත්තේ රුපියල් පන්සීයෙන්. කුඩා වී අඹරන යන්ත්රයක් මිලට ගත් හරි මාතර නගරයේ දෙමළ කඩයක් පිටුපස කුඩා තැනක වී මෝලක් පටන් ගත්තා. වී බුසලක් කොටන්න ඔහු අය කළේ ශත දෙකයි. ව්යාපාරය නරක නෑ. මේ අතර තවත් අයෙක් වී මෝලක් පටන් ගත්තා. එතන වී බුසලක් කොටන අය කළේ ශතය යි. හරිස්චන්ද්ර වී මෝල බලා ඉඳිද්දී වැටෙන්න පටන් ගත්තා.
"නමුත් මම ශතේට වී කොටන්නෙ නෑ. මගේ ගාන ශත දෙක ම තමයි."
 
මෙන්න මේ කාලෙදි තමයි දෙවන ලෝක යුද්ධය පටන් ගත්තේ. යුද්දේ නිසා හාල්වලට ලොකු ඉල්ලුමක් ආවා. ආණ්ඩුව හාල් මෝලින් මිල ගණන් කැඳෙව්වා. ටෙන්ඩර් කතා කළේ සුද්දෙක්. අනෙක් හාල් මෝල් හිමියන් බොහෝ දෙනකුට නැති සුදුසුකමක් හරිස්චන්ද්රට තිබුණා. ඒ තමයි ඉංග්රීසි දැනුම. හරිස්චන්ද්ර සුදු නිලධාරියත් එක්ක කතා කළා. සුද්ද ඇවිත් හරිස්චන්ද්රගෙ වී මෝලෙන් වී කොටවල අල්ලට අරං පරිකෂා කළා. ටෙන්ඩරේ හම්බ වුණේ හරිස්චන්ද්රට. එතැන් සිට ආණ්ඩුවට හාල් සපයන දකුණේ ප්රධාන කොන්ත්රාත්කරු වුණේ හරිස්චන්ද්ර. කොළඹ හාල් වෙළෙඳ පොළේ නො.1ට වැටුණේ හරිස්චන්ද්ර හාල්. ඒ එක්ක ම ආණ්ඩුවට අවශ්ය දැව කොන්ත්රාත්තුවකුත් ලැබුණේ හරිස්චන්ද්රටමයි.
 
දැන් ව්යාපාරය ලොකුයි. මාතර බංගලාවත්ත අයිති ව තිබුණේ තමන්ගේ සහෝදරයා වන කර්නල් සී. ඒ. ධර්මපාලට. හරිශ්චන්ද්ර සිය සහෝදරයාගෙන් ඉඩම මුදල් දී අරගත්තා. අදත් හරිස්චන්ද්ර කර්මාන්තායතනය තියෙන්නේ ඒ ඉඩමෙ.
අලුත් දේවල් සොයා යාමේ ආශාවක් හරිශ්චන්ද්ර මහත්මයාගේ හිත තුළ තිබුණා. ඒකට හුඟක් ම බලපෑවේ පොතපත කියවීම. ටයිම්ස්, නිවිස්වීක් වගේ සඟරා තැපෑලෙන් ගෙන්වාගෙන කියවීමේ පුරුද්දක් ඔහු තුළ තිබුණා. ලෝකයේ කාර්මීකරණය, යන්ත්ර සූත්ර දියුණුව කෙතරම් දැයි මේ ඉංග්රීසි දොර කවුළු අතරින් ඔහුට පෙනුණා.

කුරක්කන් පිටි හෝර්ලික්ස් බෝතල්වල බහා විකිණිම ඔහු ආරම්භ කළේ 1953 දී. නමුත් කුරක්කන්වල වැලි සහමුලින් ම ඉවත් කිරිම අමාරු දෙයක් වුණා. මේ අතරේ කොළඹ ජපන් වෙළඳ භාණ්ඩ ප්රදර්ශනයක් පැවැත්වුණා. හරිශ්චන්ද්ර මහත්තයා ඒ ප්රදර්ශනයෙන් පෙනේරයක් මිලට ගත්තා. පෙනේරයක් කිව්වට ඒක වැලි හලන රැයිසියක් වගේ එකක්. කෙටූ කුරක්කන් පිටි මේ රැයිසිය වගේ යන්ත්රයෙන් හැලුව. එක වැලි කැටයක් නැති ව හොද පිටි ඉතිරි වුණා.
මේ විදියට කුරක්කන්, උඳු, මිරිස්, කෝපි, ගම්මිරිස් වගේ කුඩු කරපු ද්රව්ය හරිස්චන්ද්ර නමින් වෙළඳපොලට එන්න පටන් ගත්තා. සතුන්ගේ ඇටකටු කොටා ඒ පොහොර ගොවීන් කීප දෙනකුට දීලා හරිශ්චන්ද්ර මහත්තය අස්වැන්නේ වෙනස බැලුවා. ගෙරිකටු පොහොර හරිශ්චන්ද්ර නමින් වෙළෙඳ පොළට ගියේ ඉන් පස්සේ. හරිස්චන්ද්ර තවත් අහදාබැලීම් කළා. සිප්පි කටු කුඩු කරලා කුකුළු කෑම හැදුවා. තෙල් හා මේද සංයුක්ත මණ්ඩලය මේ කුකුළු කෑම මිලට ගත්තා. ඒ පාර කොප්පරා මෝලක් දැම්මා. දවසට පොල් තෙල් බවුසර් හතරක් කොළඹ වරායට යවන තරමට කොප්පරා මෝල දියුණු වුණා.
 
මේ වන විට ලංකාවේ සබන් වෙළෙඳාම තිබුණෙත් විදේශීය කොම්පනියක් අතේ. හරිශ්චන්ද්ර මහත්තයා කොප්පරා මෝලෙන් ඉතුරු වෙන තෙල් වලින් සබන් හදන්න පටන් ගත්තා. ඒ 1962 අවුරුද්දේ. සල්බාර් සබන් තාමත් මිනිස්සුන්ට මතක යි. කුමාරි, සමන්, නාමල් ආදී සුවඳ සබන් ඒ ඔක්කොම හරිශ්චන්ද්ර සබන්.

එච්. ආර්. ජෝතිපාල මේ වන විට තරමක ජනප්රිය ගායකයෙක්. හරිශ්චන්ද්ර මහත්තයා ජෝතිපාල තමන් අතට ගත්තා. පඩිය රු.800 යි. ජෝතිපාලට තිබුණේ හරිශ්චන්ද්ර වෑන් එකේ නැගල ගිහින් තැනින් තැනදි ලවුඩ්ස්පිකරයෙන් සිංදු කියන එක විතරයි. තරුණ ගෑනු ළමයි වෑන් එක වටේ පිරෙන්න පටන් ගත්තා. හරිශ්චන්ද්ර සුවද සබන් රට පුරා ගියේ ඒ විදියටයි.
ඔබට මතක ද එක කාලයක් තිබුණා ගස් යට වැටෙන රබර් ඇට ගෝනි ගණනින් මිලට ගත්තු යුගයක්. එදා රබර් ඇට මිලට ගත්තේ හරිස්චන්ද්ර මහත්තයා. රබර් ඇට මදේ හින්දවල තෙල් ගත්තා. ඒවා සායම් වර්ග හදන පිටරට කොම්පැනියකට යැව්වා. ඉතිරි වන මද කුකුළු කෑම බවට පත් කරලා මේ රටේ බෙදා හැරියා. ඔහු හැම විට ම කලේ ඒ වගේ දේවල්.

"කිසිම දෙයක් නාස්ති කරන්න එපා."
 
ඔහුගේ ව්යාපාරික ලෝකයේ එක් ආදර්ශ පාඨයක් වුයේ එය යි.
ගමන් යන අතරෙ දී ආනමාළු කෙසෙල් ගෙඩි කෑම ඔහුගේ පුරුද්දක්. ඉතිරි වන ලෙලි ඔහු පාරට විසි කළේ නැහැ. ඒවා වාහනයේ පැත්තකින් තබාගත්තා. අතරමග දී හරකෙක් දුටු විට වාහනය නවතා ආනමාළු කෙසෙල් ලෙලි ඔකොම හරකට දෙනවා. ඒක ඔහු කිසිවක් නාස්ති කරන්න එපා කියන ආදර්ශ පාඨය අනුව කළ දෙයක්.

දස දිසාවගෙන් ගලා එන උල්පත්වලින් පොකුණක් පිරෙන්න වගේ හරිශ්චන්ද්ර සමාගමට ආදායම් ගලා එන්න පටන් ගත්තා. දවසක් හරිශ්චන්ද්ර මහත්තයා තමන්ගේ පැරණිම සේවකයකු වු පීරිස්ට කතා කලා.
''පීරිස්.. දැන් අපිට සල්ලි වැඩි යි.''
පීරිස් විස්මිත වුණා, සල්ලි වැඩියි කියන ව්යාපාරිකයෙක් කොහෙද ඉන්නේ.
"පීරිස් අපි අපේ සේවකයන්ට බෝනස් දෙකක් දෙමු."
වැඩි සල්ලි තමන්ගේ මඩියේ තර කරගන්නවා වෙනුවට හරිශ්චන්ද්ර මහත්තයා 750ක් වූ තම සේවකයන්ට අවුරුද්දකට බෝනස් හතර දක්වා වැඩි කළා. මේ සා විශාල ආයතනයක් වුවත් පිළිගත් විශ්වවිද්යාලයකින් උපාධිය ලැබු එකම ඉංජිනේරුවෙක්වත් ඔහු ළඟ සේවයට ගෙන තිබුණේ නෑ. හරිශ්චන්ද්ර මහත්තයගේ එකම ඉංජිනේරුවා වුයේ ඉස්කෝලේ පහට වත් නොගිය කොණ්ඩ බැදපු උදේනිස්. උන්නැහේට යන්ත්ර සූත්ර විෂයෙහි අසාමාන්ය දැනුමක් තිබුණා.

උදේනිස් වයසට ගියෙත් මිය ගියෙත් හරිශ්චන්ද්ර එකේදිම යි. අතපය බැරි වෙන කොට හරිශ්චන්ද්ර මහත්තයා තම ඉංජිනේරුවාට ආයතනය ඇතුළේ කාමරයක් දුන්නා.
"උදේනිස් වැඩ කරන්න ඕන නෑ. විවේකෙන් ඉන්න." උදේනිස්ට මැරෙන තුරුම පඩිය ලැබුණා.
සේවක අර්ථ සාධක ක්රමය රජය විසින් හදුන්වා දුන්නේ 1958 දී. නමුත් හරිශ්චන්ද්ර මහත්තයා තමන්ගේ සේවකයන්ට අර්ථ සාධක දෙන්න පටන් ගත්තේ 1953 දී.
උපරිම පඩි ගෙවන්න. උපරිම විදියට වැඩ කරන්න.

ඒ හරිශ්චන්ද්ර මහත්තයගේ දෙවන තුන් වන ආදර්ශ පාඨ දෙක. ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ විදියට ලැබුණු වැටුප පමණයි ඔහු අතට ගත්තෙ. පඩි ගන්න ශත 10 මුද්දරේටත් ඔහුගේ වැටුපෙන් ශත දහයක් අඩු කරන්නැයි ඔහු උපදෙස් දීලා තිබුණා.
එස්. කේ. වික්රමසිංහ, පිලිප් ගුණවර්ධන, එන්. එම්. පෙරේරා, බර්නාඩ් සොයිසා වැනි දේශපාලන කෘතහස්තයන් ඔහුගේ මිතුරන් වුණා. ලංකා බැංකුවේ අධ්යක්ෂ ධුරය ලංගම අධ්යක්ෂ ධුරය තෙල් හා මේද සංයුක්ත මණ්ඩලයේ සභාපතිකම වැනි තනතුරු ඔහු වෙත ගලා ආවා.

එලෙස ව්යාපාරික ලෝකයේ මුදුන් තැනක සිටිය ද තනතුරු කොතෙක් ලැබුණ ද මිල මුදල් කෙතරම් තිබුණ ද යස ඉසුරු භුක්ති විදීමේ අශාවක් ඔහු තුළ තිබුණෙ නෑ.
ඔහුට තිබුණේ සුදු අත් කොට කමිස 4 ක් සුදු ඩ්රිල් කලිසම් 4 ක් පමණ යි. ඔහුගේ ජීවිතය කෙතරම් සරල දැයි දැනගන්නට එය හොද උදාහරණයක්.
ජීවිතයේ අවසාන භාගයේ ඔහු ඔත්පලව ඇඳට වැටුණා. කෑම රුචිය වඩවනු පිනිස බ්රැන්ඩි හැන්දක් දෙකක් දෙන්නැයි දොස්තර උපදෙස් ලැබුණා.
" ජීවිත කාලයේ ම අරන් ආපු ප්රතිපත්තියක් මරණයට බයේ කඩන්නෙ මොකටෙයි, මට බ්රැන්ඩි හැන්දක්වත් එපා." 1985දි මේ අල්පේච්ඡතාවෙන් යුත් සිටුවරයා ජයවර්ධනපුර රෝහලේ දී අවසන් හුස්ම හෙලුවා.

බැංකු කටයුතු, චෙක්පත් අත්සන් කිරිම් ලියකියවිලි, මුණ ගැසෙන්නට එන අමුත්තන් ආදී දහසක් කටයුතු අතරේ ඔහු අත් නොහළ එක් දෙයක් තිබුණා. ඒ තමයි පොත් කියවීම.
ඔහුට සිටියේ දූවරුන් ම හතර දෙනෙක් පමණ යි. කමලා, විත්රා, පද්මිණි, සහ මාලනී පද්ම ප්රභා. ඔහු මේ දූවරුන් හතරදෙනාගෙ කාමර හතර පිරෙව්වේ ඇස කණ පිනවන විච්චූරණ භාණ්ඩවලින් හෝ රත්තරන් බඩුවලින් හරි නෙමෙයි. පොත්වලින්. කාමර හතරට ම පොත් රාක්ක හතරක් පිර වු මේ තාත්තගෙන් දූවරු හතර දෙනාට ලැබුණු ලොකු ම දායාදය වුයේ උගත්කම නැමැති මිල කළ නොහැකි දායාදය යි.

ඔහුගේ ජීවිත කතාවෙන් ගත හැකි ආදර්ශ මිල කල නොහැකිය.නැවත නැවත කියවා අවධාරණය කර ගත යුතු කරුනු මතක තබා ගනිමින් ඒවා ඔබේ සාර්ථකත්වයට උපයෝගී කර ගැනීම වටී.

උපුටා ගැනීම : දුක දිනා ජය ගත් මිනිස්සු
චන්ද්රසිරි දොඩන්ගොඩ
දිවයින කර්තෘ මණ්ඩලය
A day in the life

2025-10-18

නස්රුදීන් - යතුරු කැරැල්ල


නස්රුදීන් යනු දහතුන්වන සියවසේදී තුර්කියේ ජීවත් වූ මුල්ලා කෙනෙකි.(ඉස්ලාම් සූෆි පූජකයෙක්).

නස්රුදීන් කලක් රජතුමාගේ(සුල්තාන්වරයාගේ) පුරෝහිතයාව සිටියේය.

නස්රුදීන් කලින් කලට නෙයෙක් වෘත්තීන් නියෝජණය කල බව ඔහුගේ කතා කියවන විට අපට ඒත්තු ගැන්වේ.

ඔහු අපේ අන්දරේ මෙන් චරිත ලක්ෂන පෙන්වන අතර අරාබියට හුරු කතා ඔහුගෙන් අසන්නට ලැබේ.

අන්දරේ ගෙන් අසන්නට ලැබෙන්නේ අපේ රටට හුරු කතාවන්වේ.

නස්රුදීන් සමග කොටලුවෙක් සිටි බවත්, මෙම කොටලු වාහනයෙන් ඔහු ගමන් බිමන් ගිය බවත් කියවේ.

දවසක් මේ දෙදෙනා ගමෙන් දුර බැහැරක ගමනක් ගොස් ආපසු එන විට රෑ බෝවිනි.

ඔවුන්ට ගමන් කරන්නට සිදුවුයේ ඝන කැලෑවක් මැදිනි.

සොර සතුරන්ගෙන් අනතුරක් වේදැයි බියත්. සතා සර්පයින්ගෙන් අනතුරක් වේදැයි ඇති වුන බිය නිසා ලහි ලහියේ ආවත් අදුර  තව තවත් දැඩි විනි.

කරුමෙට එළියක්ද නොතිබිනි. 

වෙහෙස මහන්සියත් දැඩිවිනි.

මෙසේ ඇවිදිමින් එන අතර  යාන්තම් කැලෑ මණ්ඩිය පසුවී එළිමහනකට පැමිනෙන්න හැකිවිනි.

එලිමහනට පැමිණි නස්රුදීන් වෙහෙස නිවා ගැණීමට ගසක් මුල වාඩි ගන්නා අතර තම ඉණ වටා අත ගා " යතුරු කැරල්ල " ඇත්දැයි බලන විට එය අතුරුදන්ව ඇති බව දැනිනි.

නස්රුදීන්ට ආපසු අදුරු මග ඔස්සේ ගොස් යතුරු කැරල්ල සෙවීම නිෂ්ඵල කටයුත්තකැයි සිතිනි.

වන සතුන් සොර බිය  ඝණ අදුර සිහිපත් වන විට ආපසු යාම නම් කළ නොහැක්කකි. 

තමන් සිටි එළිමහන ආලෝකමත් බැවින් මේ බිමේ සෙවීම මැනවැයි සිතා හැම තැනම යතුරු කැරැල්ල සොයමින් සිටින විට තවත් මගියෙක් නස්රුදීන් ආ මගින්ම එතනට පැමිනියේය.

මගියා නස්රුදීන්ගෙන් මොනවා සෙයන්නේ දැයි විමසු විට ,.යතුර කැරල්ල නැතිවු බවත් එය සොයනා බවත් පැවසිනි.

ඉතින් ,  මෙතනම කොයින්ද ඒක ?. 

එළිය තියෙන්නේ මෙතන විතරයි නේ . ඝන අන්ධකාරේ හොයලා වැඩක් තියනව ද ?. 

උන්නැහේ  , හෙට  එළිය වැටුනහම හොයා ගන්නවා යයි පැවසු මගියා නස්රුදීන්ගෙන සමුගති.

මේ කතාව නස්රුදීන්ගේ ප්‍රඥා මහිමය හෙලි නොකලත් ඔහුගේ බොහෝ කතා ඔහුගේ ප්‍රඥාවත් බව ප්‍රකට කරයි.

නසුරුදීන් සමගත් තව දවසක් දෙකක් ගත කරමු.

A day in the life

2025-10-17

රාජ්‍ය සේවයේ මැද ලේයරය.


රටට බරක් වී ඇති රාජ්‍ය සේවයට තවත් පුද්ගලයින් 70,000 ක් බඳවා ගැනීමට රජය තීරණය කර ඇති බව ජනපති අනුර කුමාර දිසානායක මැතිතුමා රත්නපුර දිස්ත්‍රික්ක සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී ප්‍රකාශ කළේය.
 
රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම වශයෙන් තීරූ -- ලේයර් තුනකි. ශීර්ෂය වන විධායක තීරූව සංඛ්‍යාවෙන් කුඩා ය. මැද තාක්ෂණික නිලධාරී තීරුව සංඛ්‍යාවෙන් එයට වඩා විශාල විය යුතු නමුත්, කම්කරු ශ්‍රේණියේ ප්‍රමාණයට වඩා අඩු විය යුතුය. කලමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද මේ ආකෘතිය ‘සේවක මණ්ඩල පිරමිඩය’ යි.
මේ සමඟ ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් සකස් කරන ලද 2025 ජනවාරි වන විට ලංකා රාජ්‍ය සේවයේ පිරමිඩය යි. එය තවදුරටත් පිරමිඩයක් නොව, මස් කඩ මුදලාලිගේ වට්ටක්කා බඩකි. මේ බඩ තවත් ලොකු කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානයක මැතිතුමා මෙසේ ප්‍රකාශයට පත් කළේය.
 
//අපේ රාජ්‍ය සේවය බිඳ වැටිලා තියෙනවා. රාජ්‍ය සේවයේ උඩ තියෙනවා. පහළ තියෙනවා. මැද ලේයර් එක නෑ. ඒ අය තමයි, තාක්ෂණ නිලධාරීන්, කලමනාකරුවන්, නීතිඥයින්, ඒ අය තමයි මැද ලේයර් එක. මැද ලේයර් එක නැතුව රාජ්‍ය සේවය දුවවන්න බෑ. ඒ නිසා අපි පහුගිය කාලයේ තීරණයක් ගත්තා ඒවා පුරවන්න. අවුරුදු පහ හයකට මේවා පුරවලා නෑ. දැනටමත් අපිට අනුමැතිය ඇවිත් තියෙනවා 70,000 ක්. මේ මැද ලේයර් එක පුරවන්න. ඔක්කොටෝම අපි අනුමැතිය දීලා තියෙනවා.

මුදල් අමාත්‍යාංශයේ, කලමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් මේ වන විට අනුමත කර ඇති රාජ්‍ය සේවක සංඛ්‍යාව ලක්ෂ 17 ඉක්මවයි. 2017 දී මංගල සමරවීර අමාත්‍යවරයා විසින් බඳවා ගැනීම් සඳහා යම් සීමාවන් පැනවූ අතර, කෝවිඩි අර්බුදය, ආර්ථික අර්බුදය හේතුවෙන් පුරප්පාඩු සඳහා බඳවා ගැනීම අවම වී ඇත. අද රජයේ ඒකාබද්ධ අරමුදලින් වැටුප් ලබන සැබෑ රාජ්‍ය සේවක සංඛ්‍යාව ලක්ෂ 14 ට මදක් අඩුය. එය රටේ ශ්‍රම බලකායෙන් 15% කි.
1990 දී ලක්ෂ 6.5 ක් රාජ්‍ය සේවක සංඛ්‍යාව අද, ලක්ෂ 17 ක් දක්වා වැඩිවූයේ, සේවක අවශ්‍යතාවයට වඩා දේශපාලනඥයින් හා නිලධාරීන් විසින් රැකියා රජයේ රැකියා සහනාධාර වශයෙන් ලබාදීම නිසා ය. මේ අනවශ්‍ය පිරිසෙන් බහුතරය උපාධිධාරීන්ය. කිසිදු උසස්වීම් වැඩසටහනක් අහිමි ‘සංවර්ධන නිලධාරීන් (ඩී.ඕ.)’ ය.
 
රාජ්‍ය සේවකයින් රටට බරක් බව පත්වූයේ අනවශ්‍ය ලෙස රාජ්‍ය සේවයේ මැද තීරුව පිරවීම නිසාය. රැකියා විරහිත උපාධිකාරීන් උද්ඝෝෂණය කරන විට, කිසිදු අවශ්‍යතාවයක් හෝ එලදායීත්වයක් තබා වාඩිවන්නට පුටුවක් හො නොමැති ලබා නොදී තනතුරු සඳහා රාජ්‍ය සේවයට බඳවා ගැනීමය. දැන් මේ අයගෙන් ගන්නා වැඩක් නැති නමුත් වැටුප් ගෙවන අතර, සතියකට දිනක් හෝ දෙකක් පමණක් සේවයට වාර්තා කරති.
 
ජනාධිපතිතුමාගේ ‘රාජ්‍ය සේවයේ උඩ තියෙනවා. පහළ තියෙනවා. මැද ලේයර් එක නෑ’. කියන කතාව, සංඛාලේඛන වශයෙන් නම් සම්පූර්ණයෙන්ම වැරදි බව මේ රූපයෙන් පෙනේ. සේවක පිරමීඩයේ මැද වට්ටක්කයක් තරම් පිම්බී තිබිය දී, මේ වැරදි අදහස ජනාධිපතිතුමාට ලබාදුන් රාජ්‍ය නිලධාරීන් කවුද? නිශ්චිතවම ගරු ජනාධිපතිතුමා ඉතා නිවැරදිව පැවසූ පරිදි, මේ කතාව ලියා ඇත්තේ ‘පුටුවට ඒ කැපෑසිටිය නැති’ කෙනෙකි!
 
නැවත රූපසටහන බලන්න. 
රාජ්‍ය සේවය පිරී ඇත්තේ තැබිළි පැහැයෙන් දැක්වෙන මැද ලේයර් එකෙනි. අද රාජ්‍ය සේවයේ පිරමිඩයේ මුදුණ (උඩ ලේයර් එක) 9% කි. තැඹිලි පාට මැද ලේයර් එක) 58% කි. ප්‍රාථමික ලේයර් එක 33% කි. අද රාජ්‍ය සේවයේ ලොකුම ප්‍රශ්නය මේ 58% ක්වන මැද ලේයර් එකය. එයට පිළිතුර මැද ලේයර් එක 25% කින් වත් කපා දැමීම බව හුලංගමුව වැනි උපදේශකවරු දනිති. මේ ගැන නිල වාර්තා රැසක් ඇත. ඉහත වගුව ද අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් සකස් කරන ලද්දකින් උපුටා ගත්තකි. අතැඹුලක් සේ දන්නා උදය ආර් සෙනෙවිරත්න, ජිනසිරි දඩල්ලගේ වැනි විශේෂඥයින් ද ඇත. ඔවුන් ලියූ වාර්තා ද ඇත.
 
රටක්, සමාගමක් නැත්තම් කර්මාන්ත ශාලාවක් පවා තමන්ට අවශ්‍යවන සේවක සංඛ්‍යාව හා සේවකයින් වර්ග මොනවා ද යන්න වාර්ෂිකව හෝ අර්ධ වාර්ෂිකව ගණනය කරනු ලබයි. රාජ්‍ය සේවයේ වසර 5 කට වරක් කාර්ය මණ්ඩල සමාලෝචනයක් සිදු කළ යුතුය. වසර 12 කට පසුව 2024 දී ‘කාර්ය මණ්ඩල සමාලෝචනයක්’ සිදු කළේය.
දැනට උසස්වීම් අහිමි, සතියකට දවසක් වැඩට එන නිලධාරී අතුරින් අත්‍යවශ්‍ය කාර්මික සේවා සඳහා පුද්ගලයින් අන්තර්ග්‍රහණය කර හෝ නව පත්වීම් ලබාදී මේ ප්‍රශ්නය නිට්ටාවට සුව කර ගත හැකිය.
 
ප්‍රතිපත්තිය කුමක් ද?
 
2025 ජනවාරි මස ආණ්ඩුවේ උපදේශකවරයෙකු ලෙස කටයතු කළ දුමින්ද හුලංගමුව පැවසූවේ රාජ්‍ය සේවකයින් ලක්ෂ 7 දක්වා අඩු කළ යුතු බව ය. හිටපු ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න ගේ කමිටු වාර්තාවේ රාජ්‍ය සේවය සංඛ්‍යාව ලක්ෂ 10 ක් විය යුතු බව දැක්වේ. මේ වසරේ ජනවාරි 1 දින පැවසූ පරිදි රාජ්‍ය සේවය සැබෑ ඩිජිටල්කරණය වන්නේ නම්, රාජ්‍ය සේවයට අවශ්‍ය ලක්ෂ 2 කට අඩු ප්‍රමාණයකි.
දැන්, මේ වසර මුල දී ලබාදුන් පොරොන්දුව අනුව රාජ්‍ය සේවය ඩිජිටල්කරණය වන්නේ නැත.
ජනතාව පෙළමින් අයකර ගන්නා බදු කිසිදු ප්‍රතිඑලයක් නොමැතිව වැටුප් සඳහා වියදම් කර දැමීම රජය තීරණය කර ඇත.
 
ඇත්තමට ගැටළු මොනවාද?
 
රාජ්‍ය සේවක සංඛ්‍යාව එලදායී වන්නට නම්, කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුව මහ පොලොවේ අවශ්‍යතා කෙරෙහි වැඩි අවබෝධයකින් කටයුතු කළ යුතුයි. උදාහරණයක් ලෙස, දැනට පළාත් සභාවලට ජාතිය ගොඩ නැගීමේ බද්ධ (NBT) අය කිරීමක් සිදු නොවන නිසා, බදු නිලධාරීන් (tax officers) අවශ්‍ය නැත. නමුත්, පළාත් සභාව වැඩි වැඩියෙන් ‘මත ප්‍රකාශ ලබා දී ආදායම් ලබාගැනීමට’ තක්සේරුකරුවන් (වැලිවර්ස්) සංඛ්‍යාව වැඩි විය යුතුය. පලාත් සභා බදු නිලධාරී තනතුරු යටපත් කර, තක්සේරු තනතුරු ස්ථාපනය වන්නේ නැත.
 
අනුර කුමාර මැතිතුමා මේ තත්වය ඉතා හොඳින් අවබෝධ කර ගෙන ඇති බව එතුමන්ගේ රත්නපුර කතාවේ එක් කොටසකින් පැහැදිලිවේ. නමුත්, ප්‍රශ්නයට පිළිතුර නව බඳවා ගැනීම් යැයි රාජ්‍ය නිලධාරීන් නැවත විධායකය රවටා ඇත.
 
එතුමන්ට නිලධාරීන් කරුණු ඒත්තු ගන්වා ඇත්තේ, මැද ලේයර් එකට 70,000 ක් අලුතෙන් බඳවා ගැනීම නම් නැවතත් සිදුවන්නේ දේශපාලන අවශ්‍යතාව, උවමනාව අනුව සේවක මණ්ඩල පිරමීඩයේ වට්ටක්කා බඩ ගෙඩිය තවත් මහත් කිරීම ය.
 
ලංකාවේ කේෂ්ත්‍ර නිලධාරීන් වර්ග 103 ක් පවතී. 2023 ජනාධිපති කාර්යාලය මගින් සිදු කරන ලද සමීක්ෂණයෙන් මේ බව හෙළිකර ගන්නා තෙක් මෙම වර්ග සංඛ්‍යාව ප්‍රමාණය ගැන හෝ අවබෝධයක් තිබුණේ නැත. මෙයින් අඩකට වඩා යල්පැනගිය, අවශ්‍ය නොවන තනතුරු අහෝසි කළ යුතුව ඇත.
 
2025 ජනවාරි 1 දින පැවසූ පරිදි, ඉදිරි වසර කිහිපයේ රාජ්‍ය ප්‍රතිපත්තියේ ඩිජිටල්කරණය (digitalization) ට ලොකු අගයක් ලැබෙන්නේ නම්, එයට අනුරූපව රාජ්‍ය සේවයේ ව්‍යුහාත්මක වෙනස්වීමක් සිදු විය යුතුය. රටේ පවතින අප්‍රමාණ වූ දත්ත, භාවිතයට ගත හැකි ඩිජිටල්කේතකරණයට හෝ තවමත් ඇරඹී නැත.
 
පිරමීඩය වට්ටකයක් වූයේ කෙසේ ද?
 
රාජ්‍ය සේවයේ පිරමිඩය විකෘති වූයේ ආයතන, දෙපාර්තමේන්තු හා කිසිදු සේවා ස්ථානයක් නොමැතිව පවා අවිධිමත් ලෙස උපාධිධාරීන් බඳවා ගැනීම නිසාය. 2017 සිට මෙම වෘකෘතිය අවසන් කිරීමට පියවර ගෙන තිබුණි. සේවක පිරමීඩයේ මැද කොටස පිරී උතුරා ගොස් ඇත්තේ ඌණ සේවා නියුක්ති උපාධිධාරීන්ගෙනි. මේ අහිංසකයින්ට නිශ්චිත වැඩ ලැයිස්තුවක් තබා වාඩිවෙන්නට පුටුවක් හෝ නැත! කිසිදු උසස්වීම් ක්‍රමවේදයක් නැත. ප්‍රශ්නය ඇත්තේ එතැනය.
2025 වස‍ර ආරම්භ‍යේ දී, රාජ්‍ය සේවය කුඩා කිරීම සඳහා පාලකයින්ගේ අවධානය යොමු විය. මාස 10කට පසුව, දැන් අලුතෙන් 70,000 ක් බඳවා ගැනීමට යයි.
 
මෙය දේශපාලන ප්‍රශ්නයක් නොව වැරදි තොරතුරු මත සකස් වන රාජ්‍ය ප්‍රතිපත්තියකි. අද අලුතෙන් බඳවා ගන්නා රාජ්‍ය සේවකයෙකුට ජීවිත කාලය පුරා වැටුප් ද, දීමනා ද මිය යන තෙක් විශ්‍රාම වැටුප් ද, විටෙක කාලත්‍රයා මිය යන තෙක් ජනතා බදු මුදලින් වැන්දඹු අනත්දරු දීමනා ද ගෙවීමට සිදු වන්නේය.
 
රජිත් කීර්ති තෙන්නකෝන්. .
A day in the life

2025-10-15

පුහු මානය



ඉතා සුපසන් සෙන් ගුරුවරයෙක් හිටියේය. 
ඔහූ බොහෝ ප්‍රසිද්ධ වූයේ මිනිසුන්ගේ පුහු මාන්නය බිඳලන්නෙක් ලෙසයි. 
දිනක් ඔහු ගමනක යද්දී බොහෝ රෑ බෝ විය. ඔහු නැවතීමට තැනක් හොයාගෙන දිගටම ගමන් කළේය.
ඔහුට ඈත සකුරා මල් අතු අතරින් විරාජමාන වූ මාළිගයක් දිස් විය. 
පළාතේ ප්‍රධාන සමුරායිවරයා ජීවත් වූයේ එම මාළිගයෙහිය. 
සෙන් ගුරුතුමා මාළිගාවේ දොර අසළට සැපත් වෙත්ම සමුරායි වරයා ඔහුව හඳුනා ගත්තේය.

"සුබ සැන්දෑවක් ගුරුතුමනී, මගෙන් මොනවද කෙරෙන්න ඕනෙ?"
සමුරායි වරයා ගුරුතුමාව පිළිගත්තේය.
"අද රෑට මට මේ අම්බලමේ නවාතැන් ගන්න පුළුවන්ද ?"
ගුරුතුමා ඔහූගේ අවශ්‍යතාව පැවසීය. ගුරුතුමාගේ වචනවලට සමුරායි වරයා මහත් සේ කිපුණි.
"මේක අම්බලමක් වුනේ කොහොමද​? මේක මගේ පරම්පරාවෙ මාළිගාව​."
සමුරායි වරයා මාළිගයේ අගය පහදන්නට විය.
"ඒකට මට සමාවෙන්න​. ඔබට කලින් මෙහෙ හිටියෙ කවුද​ කියල දැනගන්න පුළුවන්ද?"
ගුරුතුමාගෙන් ප්‍රශ්නයකි.
"මගේ පියා"
සමුරායි වරයා ගුරුතුමා අසන සෑම ප්‍රශ්නයකටම ආඩම්බරයෙන් පිළිතුරු දෙන්නට විය
"දැන් ඔහු කොහේද?"
"ඔහු මිය ගිහින්"
"හොඳයි. ඊට කලින් මෙහෙ හිටියෙ කවුද​?"
සෙන් ගුරුතුමා ඊ ළඟ ප්‍රශ්නය ඇසීය.
"මගේ සීයා"
"දැන් ඔහු කෝ?"
"ඔහුත් මිය ගිහින්"
සෙන් ගුරුතුමා සමුරායි වරයා දෙස බලා මඳ සිනාවක් පෑය.
"ඇයි ගුරුතුමනි"
එවර ප්‍රශ්නය සමුරායිවරයාගෙනි.
"මේ මාළිගය, මිනිස්සු කාලෙන් කාලට පදිංචි වෙලා ඉඳල එක කාලෙක අතහැර දමා යන ගොඩනැගිල්ලක්. හරියට අම්බලමක් වාගේ."

සමුරායි වරයාගෙ පුහු මාන්නය බිඳ වැටුනේ එලෙසිනි.

ජීවිතයේ ලැබෙන තනතුරුත් සමහරුන්ට මාළිගා මෙනි. ඔවුහු ඒවා තදින්ම බදා ගනිති. ඒත් ඒවා තාවකාලික අම්බලම් මෙනි. පැමිණියා සේම පිටව යා යුතුය. දුක-සතුට, ලාු භ-අලාභ, යස-අයස, නින්දා -ප්‍රශංසා යන අටලෝ දහමින් කම්පා නොවී පිටව යා හැකිනම් එය යමෙකු ලබන භාග්‍යයකි.

සතුටින් අත හරින මිනිස්සු ස්වභාවයෙන්ම බදාගන්නන්ගේ පුහු මාන්නය බිඳ වට්ටති.


 -----Shanaka Madhushan Liyanagama 

A day in the life