ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

පොසොන් පෝය 29 වෙනිදා.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2025-09-07

බිනර පොහොය


නිිකිණි පොහොය ගෙවී බිනර පොහොය ලැබුවාය.

මට ඇත්තේ අදට නොගැලපෙන පොහොය සිතිවිල්ලකි.

බුදුරජානන් වහන්සේ සුජීවත්වු පරිසරය අපට අහිමිය. මොහොතින් මොහොත වැඩි වන ජනගහනයට අපි ජීවත් වන බිමට බර වැඩිය.වැඩිවන ජණගහණයට ඉඩදෙමින් ගස් වැල් අප ජීවත්වන පරිසරයෙන් සමුගෙන අවසන්ය.නැත්නම් සමු ගනිමින් සිටින්නේය.

මේ සමුගැනීම උන්වහන්සේ ජීවත්වු කාලයේ දේශගුණයද අපට අහිමි කර ඇත.

එකල නිකිණි මාසය ( අගෝස්තු ) වස්සාන සෘතුවේ දෙවන මාසය විය.වෙසක් , පොසොන් මාස වල තද වැසි නොලැබෙතත් ඇසළ නිකිණි මාස වැසි ලැබෙන මාස විය.

බිනර මාසයේ සිට ගොවිතැනට මහපොළව සුදානම් කරයි.

ගොවිතැන හා බැදුනු නිකිණි මාසය එසේ ගෙවී බිනර මාසය උදාවෙයි.පරිසරයට ආදරය නොකල , ගහ කොළට ආදරය නොකල මිනිසා පරිසරය පෝෂණය නොකල නිසා,පසු කාලයේ මේ සුන්දර මාසය “කිණි”හෙවත් වැස්ස ” නි”හෙවත් නැති මාසය බවට පත්විය.

අද දේශගුණ රටාව හාත්පසින්ම වෙනස්ය.

අද බිනර පොහොයයි.

වස්සාන සමයෙහි ‍එළඹෙන පෝය දිනයන් අතුරෙන් බිනර පෝය ද ශාසනික අංශයෙන් හා සාහිත්‍යය අතින් ද වැදගත් පෝය දිනයෙකි. අවුරුද්දේ එළඹෙන වැසි සාරමාසය අමුතු ශාන්ත ස්වරූපයක් උසුලන සමයක් වශයෙන් ප්‍රක‍ට ය. භික්ෂූන් වහන්සේලා බුද්ධ නියමය අනුව විහාරාරාමයන්හි නිබඳ ව වැඩ වෙසෙමින් බණ භාවනා කර්මයන් හි යෙදෙමින් ස්වකීය ශාසන පරමාර්ථයන් ඉටු කරගන්නා කාල පරිච්ඡේදයක් බව බෞද්ධ සාහිත්‍යය දෙස විමසන විට මැනැවින් පැහැදිලි වෙයි.

බුදුරජාණන් වහ්සේ වෙතින් අවවාද අනුශාසනා ලබාගෙන තම තමන් ගේ චරිතයනට සරිලන කර්මස්ථානයන් ඉල්වාගෙන විවේකී ප්‍රදේශයන් සොයා වැඩම කොට සුදුසු ස්ථානයන් හි වස් වසා භාවනා කර්මයන් හි යෙදී මාර්ග ඵලාවබෝධය ලබාගෙන පෙරවස් පවාරණය කොට බුදුරදුන් වෙත පෙරළා වැඩම කොට ස්වකීය ශාසන පරමාර්ථයන් ඉටුකරගත් අයුරු ප්‍රකාශ කොට උදන් ඇනූ භික්ෂූන් වහන්සේලා පිළිබඳ විස්තර සිය දහස් ගණනින් සොයා ගන්නට පිළිවණ.

විශේෂයෙන් වෙන කාලවලටත් වඩා විශේෂ වගකීමකින් යුතු ව උත්සාහයෙන් මහණ දම් පුරන, තමන්ට සිවු පසයෙන් උපස්ථාන කරන සැදැහැබර දායකයනට ද ශ්‍රද්ධාදී ගුණ ධර්ම වර්ධනය‍ට හා මාර්ගඵලාවබෝධයට හේතුවන දැහැමි අනුශාසනා කරන කාලයෙකි වස් සමය. හැම වෙහෙර විහාරස්ථානයක ම දිනපතා ම වාගේ නොයෙක් බණ පින්කම්වලින් හා වෙනත් සසුන් වැඩ වලින් පිරී ගිය සොම්නස් සුවය දනවන කාලයෙකි.

එසේ ම සරත් කාලයේ ආරම්භය ද බිනර ප‍සළොස්වක් පෝයෙහි සිට එළඹෙයි. සරත් කාලය හැම කවියෙකු විසින් ම වර්ණනා කරන ලද කවි සිත පුබුදු කරවන ලද ස්වභාවික සෞන්දර්‍ය්‍ය රසයෙන් අවට පරිසරය පවා ආලෝකවත් වී ගිය සමයෙකි. සරත් ඍතුවේ දක්නට ලැබෙන ස්වාභාවික දර්ශනයන් කවියන් කවි ඇසින් බලා නොයෙක් විසිතුරු ලෙස වර්ණනා කර ඇති අයුරු ගද්‍ය පද්‍ය සාහිත්‍ය කෘති වලින් පැහැදිලි වෙයි. මේ නයින් සලකා බලන කල්හි බිනර මාසය ශාසනික වශයෙන් ද සාහිත්‍ය අගය වශයෙන් ද සංස්කෘතික වශයෙන් ද වැදගත් කමකින් යුත් මාසයක් බව කිව හැකි ය.

මෙහෙණ සස්නේ ආරම්භය

බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් පුරයෙහි වූ නිග්‍රොධාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි මහාප්‍රජාපතී ගෞතමී තොමෝ උන්වහන්සේ වෙත අවුත් වැඳ එකත් පසෙක සිට අනගාරික ශාසනයෙහි පැවිද්ද මාගමුන් හට ඉල්ලා සිටියා ය. බුදුරජාණන් වහන්සේ ගෝතමියගේ ඉල්ලීම පළමු දෙවැනි තුන්වැනි වරටත් ප්‍රතික්ෂේප කළහ. ඉක්බිති බුදුරදුන් කිඹුල්වත් නුවරින් නික්ම විශාලා මහනුවර කූටාගාර ශාලාව වෙත වැඩි සේක. මහා ප්‍රජාපතී ගෞතමී තොමෝ රෝහිණී නදී තිරයෙහි දී පැවිදි වූ කුමරුවන් ගේ භාර්‍ය්‍යාවන් පන්සිය දෙනා සමග කෙස් කපා කසාවත් හැඳ කිඹුල්වත් නුවරින් පිටත් ව යොදුන් පනස් එකක් පමණ වූ දීර්ඝ මාර්‍ගය පා ගමනින් ම ගෙවා කූටාගාර ශාලාව වෙත පැමිණියා ය. ආනන්ද හිමියන් හට කරුණු කියා උන්වහන්සේ ගේ මාර්‍ගයෙන් කාන්තාවන් හට සසුන් පැවිද්ද ලබා‍දෙන ලෙස ඉල්ලා සිටියා ය.


ආනන්ද හිමියෝ බුදුරදුන් වෙත ගොස් “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මහාප්‍රජාපතී ගෞතමී තොමෝ පන්සියයක් බිසෝවරුන් පිරිවරා මෙහි පැමිණ බුදුරදුන් වහන්සේ ස්ත්‍රීන්ට පැවිද්ද‍ෙ නො දත්’යි අඬ අඬා දොරටුව සමීපයෙහි සිටින්නී ය. ස්වාමීනි, ස්ත්‍රීහු බුද්ධ ශාසනයෙහි අනගාරික වූ පැවිද්ද ලබත් නම් මැනවැ”යි අයැද සිටියහ. බුදුහු ආනන්ද හිමියන්ගේ ඉල්ලීම තෙවරක් ම ප්‍රතික්‍ෂෙප කළ හ. පසුව ආනන්ද හිමියන් ගේ බලවත් උත්සාහය නිසා කරුණු කියා මහා ප්‍රජාපතී ගෞතමී‍ය ප්‍රධාන කාන්තාවන්ට සසුන් දොර විවෘත විය. “ආනන්දය, ඉදින් මහා ප්‍රජාපතී ගෞතමී තොමෝ පැවිදි වනු කැමැත්තී නම් පෙර බුදුවරයන් ගේ ශ්‍රාවිකාවන් විසින් පිරූ අෂ්ට ගරු ධර්‍මයන් ඇය විසින් ද පිළිගත යුතු ය. එයම ඇයට පැවිද්ද හා උපසම්පදාව වන්නේ ය.


ගරු ධර්‍ම අට

*උපසම්පත්තියෙන් වස් සියයක් වූ මෙහෙණක විසින් වුව ද එදින ම උප සපන් වූ භික්ෂූහු දැකත් වැඳීම් ආදී ගෞරව දැක්විය යුතු ය.

*භික්ෂූන් නො මැති ප්‍රදේශයක් හි මෙහෙණක විසින් වස් නො වැසිය යුතු ය.

*අඩ මසක් පාසා මෙහෙණක විසින් භික්ෂූ සංඝයා ගෙන් පොහොය විචාළ යුතු යි. අවවාද දීමට පැමිණීම ද බලා පොරොත්තු විය යුතු ය.

*වස් අවසානයෙහි දී භික්‍ෂු භික්‍ෂුණී යන උභතො සංඝයා ඉදිරියේ පවාරණය කටයුතු යි.

*ගරු ඇවැතකට පැමිණි මෙහෙණක විසින් උභතො සංඝයා කෙරෙහි අඩ මසක් මානත පිරිය යුතු යි.

*අවුරුද්දෙන් පුහුණු වෙමින් ශික්ෂමානාවක් ව සිට පසුව උභතො සංඝයා ගෙන් උපසම්පදාව ලැබිය යුතු යි.

*කවර කාරණයක් නිසා හෝ මෙහෙණක විසින් භික්‍ෂු කෙනෙකු හට අක්‍රොෂ පරිභව නො කටයුතු යි.

*මෙහෙණියන් විසින් භික්‍ෂුන් හට අවවාද නො කටයුතු ය. භික්‍ෂූන් විසින් භික්‍ෂුණීන්ට අවවාද කටයුතු ය.


ආනන්ද හිමියෝ මේ ගරු ධර්‍ම අට බුදුරදුන් ගෙන් උගෙන මහා ප්‍රජාපතී ගෞතමිය වෙත එළඹ ගරු ධර්‍මයන් විස්තර කොට කියා “ඉදින් ඔබ මේ ගරු ධර්‍මයන් පිළිගන්නෙහි නම් එය ම ඔබට පිදි උපසම්පදාව වන්නේ යැ”යි ද කීහ. එබසට ගෝතමිය සකල ශරීරය ලොමු දහ ගන්වමින් පස්වනක් ප්‍රීතියෙන් පිනා බුදුරදුන් දිශාවට දොහොත් මුදුන් දී සිට “ආනන්ද ස්වාමීනි, යම් සේ අලංකාරයට කැමැති තරුණ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ජලස්නානය කොට, සමන් මල් දමක් ලදින් දෙ අතින් පිළිගෙන සන්තෝෂයෙන් සිරසෙහි තබා ගනී ද, එසේ ම මම භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ ධර්‍මයන් අට දෙන පිළිගනිමි” යි තුන්වරක් කීවා ය.

ඒ වචනය සමග ම මහා ප්‍රජාපතී ගෞතමිය ගේ මහණ කම විය. උපසම්පදා ශීලය ද විය. බුදුරජාණන් වහන්සේ ගේ නියමය පරිදි පන්සියයක් ක්‍ෂත්‍රිය කුමාරිකාවෝ ද භික්ෂු සංඝයාගෙන් උපසම්පදාව ලැබූහ. මෙසේ මෙහෙණ සස්නේ ආරම්භය බිනර පුන් පොහෝදා සිදු විය.
A day in the life

2025-09-06

දෙවුන්දර උපුල්වන් දෙවොලයි.


"මේ ස්ථානයට අප පැමිණි කල්හී,
චණ්ඩ මාරුතයක් ඇති විය.එය දේවාලය රැක.ගැනීමට මවන ලද්දකැයි
බොහෝ දෙනා කියන්නට වූහ.
එය බොරු කිරීමට දේවාලය නසන්නෙමැයි කප්පපිත්තා කීය.
පසුවදා නියමුවා ඔහුගේ නැවියන් සමඟ ගොඩ බැස්සේය.
වෙරළෙහි තිබූ පවුරු පදනම් බිඳ හෙළුහ.
දේවාලයට ඇතුල් වූහ.
එහි සිටි සියළු මෙහෙකරුවෝ දේවාලය හැර පියා සැඟවුනහ.
කිසි විරුද්ධතාවයක් නැතිව අපි එයට ප්‍රවිශ්ඨ වුණෙමු.
පලමුව දොර බිඳ හෙළුවෙමු.
.මැටියෙන් ,ලීයෙන් හා තඹෙන් කරන ලැබූ දේව රෑප හා වෙනත් පිළිම දහසක් පමණ තිබුණේය.ඒ සියල්ල ස්වර්ණාලේප කර තිබුණේය.
සියළු වහලවල් කඩා ගල් කණු පෙලද බිඳ හෙළුවෙමු.
අනතුරුව ගබඩා බිඳින්නට වීමු.
එහි තිබූ ඇත් දත්,තඹ,සඳුන්,රන්, රිදී ආභරණ හා
අගනා මාණික් වර්ග හා ගම්මිරිස් අතුළු සියළු වස්තු
පැහැරගෙන
ඉතිරි දේවලට ගිණි තැබුවෙමු!"
මේ පෘතුගීසි ජාතික "ද කූටෝ"විසින් තබනු ලැබූ සටහනකි.
මෙසේ ඔවුන් විසින් බිඳ දමනු ලබනුයේ
දෙවුන්දර උපුල්වන් දෙවොලයි.
"උපුල්වන් දෙවියෝ වූ කලී මෙරට ඇදහෙන දෙවිවරුන් දෙකොටසෙන්
"දේශීය දෙවියෙකි".
අනිකුත් වර්ගය නම් "හින්දු ආනයනික දෙවිවරු"ය.
මෙම දෙවියන් ගැන මහා වංශයේ සඳහන් වන්නේ,
"බුදුන් වහන්සේ කුසිනාරා නුවර උපවර්තන සල් උයනේ
පිරිනිවන් මඤ්චකයේ සැතපී සිටියදී
ශක්‍රයා අමතා ,
"අද විජය නම් කුමරා ලක්දිවට ගොඩ බසී.
ඔහු රැක ගන්න"යයි කියූ බවකි.
ශක්‍රයා විසින් එම කටයුත්ත උපුල්වන් දෙවියනට බාර කළැයි"මහා වංශය කියයි.
එහෙත් අපට උපුල්වන් දෙවියන් යළි මුණ ගැසෙන්නේ
1වන දප්පුල රජ සමයේය.
මුහුදේ පාව එන කිහිරි කොටයක් එතුමා සිහිනෙන් දකී.
එහි එයට අරක්ගත් උපුල්වන් දෙවියො හිදී.
එළෙස පාව එන්නේ රජුට එළඹ තිබූ කරදරවලින් බේරා ගැන්මටය.
රජු වෙරළට ගොස් එම කිහිරි කොටය ගෙන ඉන් පිළිමයක් නෙලා
මුහුද අසලම දේවාලයක් කරවීය.
ඉන් පසු එම පෙදෙස "දේව නගරය"විය.
පසුව එය සුඛොච්ඡාරනය උදෙසා "දෙවුන්දර "වීය.
"කිහිරැලි උපුල්වන්"යන්නද මෙම දෙවියන්ට කියති.
ඒ කිහිරි කොටයකින් නෙළු නිසා විය හැක.
මහාචාර්ය සෙනරත් පරණවිතාණයෝ පවසන්නේ,
"උත්පල යනු,සාගරයටත්,බටහිර දිසාවට අධිපති වරුණ දේවතාවාටත්
පැවසෙන්නකි.මහාවංශ කතුවරයා පාළී ස්වරෑපයට අනුව වරුණ දෙවියා හැඳින්වීමට යොදා ගත් නමකි "උපුල්වන්".
විජය ලංකාවට එන්නේ බටහිර දෙසිනි.
එනිසා ශක්‍රයා බටහිර දෙසටත්,සමුදුයටත් අධිපති "වරුණ දෙවියන්ට
විජය බාර කළ"බවයි.
1වන පරාක්‍රමබාහු රජු කළද උපුල්වන් දෙවියන් වාර්තා වේ.
රජුට කථා කරගන්නට බැරිවී,
උපුල්වන් දෙවියන්ට බාර වන ලෙස ,
දේවපතිරාජ ඇමති හට කියයි.
දෙවියෝ සිහිනෙන් පෙනී සිට ඇමතිහට පවසන්නේ
"කෙකටිය මලේ වක ඇරුනත්,රජුගේ විකල් බව නොඇරෙන"බවයි.
කී ලෙසම රජු එම රෝග තත්වය යටතේම මිය යයි.
උපුල්වන් දෙවියන් වඩා ජනප්‍රිය වන්නේ කෝට්ටේ රජ සමයෙහිදීය.
මෙකල ලියවෙන කෝකිල,පරෙවි,මයුර,තිසර වැනි සංදේශ කාව්‍යයයන්හිදී
පණිවුඩය ගෙන යන්නේ "උපුල් වන්"දෙවියන් වෙත ය.



උපුල් කුළුන වූ මෙන් ගුණයෙන් ලෙවු         පුස්න
කොපුල් අත දලැස ලෙස තෙද රස            ඉස්න
තෙපුල් ලෙන සුරිඳ රක්නා ලෙවු              සස්න
උපුල්වන් දෙවිඳු දැක දෙවු මේ                හස්න
(පරෙවි සංදේශය)


කමල් පී අලහකෝන් සහෝදරයා කලකට පෙර පලකර තිබු වියමනක්.

A day in the life

2025-09-05

JR ගැන කියවීමක්.


JR බලයට එනකොට ආණ්ඩුවෙ ඉඩම් සංචිතය විතරක් අක්කර මිලියන ගානක් තිබුනා. අත්කර 50 පනත 100 දක්වා වැඩි කරලා හිතවතුන්ට ඉඩම් කොල්ලකන්න දීලා බලං හිටියා, ප්‍රේමදාසගෙ අඹන්පොළ ඉඩමත් එහෙමයි. ලැවරියා විකුණලා අරං නෙමේ. ඒ විතරක් නෙමේ තමන්ගේ කනාටු පොල් ඉඩම් ටික සරුසාර ඉඩම් වලට වංචාවෙන් මාරු කරගත්තා.
රටේ නොතිබුණු කොටි, පාතාලේ, කුඩු යනාදී සියලුම අකටයුතුකම් ගෙනල්ලා බෝකරා.
රටේ වැඩිම දෙනෙකුට යැපෙන්න තියන ප්‍රධානම රැකියා⁣ව දේශපාලනය කරා. ඒ සඳහා පලාත් සබා වැනි අලුත්ම ක්‍රම සහ මනාප වැනි බලුපොර ගෙනල්ලා ජාතියම අනාතකරා.
කවරදාකවත් ලෝකෙ එක එකාට වහල්කම් නොකරපු ජාතියක ප්‍රධානම ආදායම් මාර්ගය වහල් සේවය මෙන්ම සාඩම්බර ලාංකික ගැහැණිය අරාබියට විකුණලා දැම්මා. දැං රංජලාගේ ප්‍රධාන සටන්පාටේ JRම තමා හැදුවේ.
ඡන්ද දූෂණ වංචා අලුත්ම ක්‍රම හඳුන්වා දුන්නා. කොටින්ම කියනවනම් තමන්ගේ opposition contestant ( විපක්ෂයේ තරඟකරු) කොබ්බෑකඩුව ඡන්දෙ දාන්න යනකොට ඒකත් හොරෙන් දාලා. වෙන රටක නම් ඡන්දෙ අහෝසි කරනවා. සිරිමාවොට ඉල්ලන බැරිවෙන්න ප්‍රජා අයිතිය අහෝසි කරනවා. ඔන්න දිනන හැටි.
පුතා රවී STF හදලා කොටි අඩවිය ආක්‍රමණය කරගෙන එනකොට දිඹුලාගල හාමුදුරුවෝ එක්ක ජන අනුපාතෙට අලුත් ගම්මාන හදාගෙන එනකොට කඩුවෙලින් මැරයො දාලා අහිංසක මිනිස්සුන්ට ගහනවා එදා අතපය අහිමි වූ අන්ත දුප්පත් මිනිස්සු අදත් ඉන්නවා. පුතාට තාත්තව තිත්ත වෙනවා. ( මාලිංග ගුණරත්නගේ පොත බලන්න)
ජූලි කලබල නිදහසේ කරගෙන යන්න දින 3ක් දෙන්නෙත් මෙයාම තමා.
කොහොමද ධර්මිෂ්ටර්ගෙ වැඩ... තව ලියන්න පුළුවන් පොතක් මෙයා ගැන.
අරකිව්වා වගේ දේශපාලන වහල් බවින් අන්ධ වූවන්ට නොව නිදහස් අදහස්
දරන්නට දැන ගැනීමටයි මේ ටික.
සෝමාලියාව වගේ තිබ්බ ලංකාව ගොඩ ගත්තේ JR කියලා එක මනුස්සයෙක් කියලා තිබුනා.
JR බලයට එනකොට ලංකාවට නිදහස ලැබිලා යාන්තමින් අවුරුදු 28යි. ඒ වෙනකොට අපි ඔරුවල වානේ සංස්ථාවේ ඇල්පෙනෙත්තේ ඉඳලා මහා පාලම් කාප්ප දක්වා සියලුම වානේ භාණ්ඩ දේශීයව නිපැදුවා.
ඉන්දියාවට වෙනම වර්ගයේ උදැල්ලක් කිඹුලා ලකුණෙන් තලය මහත ලංකාවේ හැදුවා. ඒවා එක දිගටම ඉන්දියානු ගොවියට ලංකාවෙන් යැවුනා.
Unique රේඩියෝව අපි හදලා ආසියාවේ රටවල් වලට අපනයනය කරා.
රටේ හැම ගමකම weaving mills දාලා අපේ රෙදි පිලි අවශ්‍යතාවය ගම් මට්ටමින්ම සපුරා ගත්තා. එතකොට මදුරු දැල් තිබුනා ඩියුරෝ කියලා සවි ශක්තිය අතින් ඉහලයි. දාස සමූහ ආයතනය තමා නිශ්පාදනය කලේ. දාසලා රාණි, සඳුන් සබන් දේශීය අමු ද්‍රව්‍ය වලින්ම නිපදවලා පිට රටටත් අපයනය කලා. අදත් චෙන්නායි වල බර්මා බසාර් ගිහිල්ලා අහලා බැලුවොත් රාණි සබන් වලට ලොකු ඉල්ලුමක් තියනවා. ඒ අර කියපු සෝමාලියා යුගයේ කල දේවල් තමා. JR, දාස මුදලාලි ශ්‍රී ලංකා කාරයා කියලා වැටෙන්නම ගහලා කුජීත කරලා දැම්මා.
අපේ ගෙවල් වල විතරක් නෙමේ කඩවල් හෝටල්වල භාවිතා උනේ පැරකුම්බා condensed milk. ලංකාවෙම තණ බිම් වලින් අපේ කිරි අවශ්‍යතාවය සපුරා ගත්තා. මුස්ලිම් ගොවි මහත්වරු පොලොන්නරුවේ විශාල වශයෙන් කිරි නිපැදවූවා . දැං ඒ ඔක්කොම වගේ පිටරටින් තොරම්බල් බඩු ගේන්න පුරුදු වෙලා.
ඒ කාලේ ⁣Proton car ලංකාවේ ගහන්න ඉඩක් ඉල්ලනකොට අපි දුන්නෑ මොකද අපි Upali Fiat එක හදන නිසා තව නොබෝදිනකින් saloon car එකක් අපි ලෝකෙට හඳුන්වා දෙන්නම් කියලා බලාපොරොත්තු තිබුණු නිසා. සෝමාලියාවේ කාර් හදනවද? JR ඇවිල්ලා සියල්ල විනාස කරලම දැම්මා. උපාලි විජේවර්ධනව මරලා දැම්මා රහසිගත විදිහට.(ප්‍රේමදාස ඒක කල බව කුප්‍රකටයි.)
කුබෝටා ට්‍රැක්ටරය අපේ දෙයක් අද කෝ??.
වරායෙන් අපනයනය වූ බඩු අතර පලයාකාට් සරොම් තොග ගණන් (containers ප්‍රසිද්ධ නැති යුගයක) ඩියුරෝ රෙදි පිලි තොග ගනන් යැවුවා, ලංකා සිල්ක්, බතික් අපේම අමුද්‍රව්‍ය වලින්. St.Bridget එකේ Sistersලා පට පණුවන්ගෙන් සිල්ක් නූල් අරන් රෙදි නිපදුවා. පස්සේ මේ වැඩේ ධර්මිෂ්ට නෑ කියලා ඒක නවත්තලා චීනෙන් ගේන්න මුස්ලිම් මුදලාලිලාට බාර දුන්නා.
අපි......
ලේලන්ඩ් වාහනේ ලංකාවට ඉන්දියාවෙන් එනකොට දාලා එව්වෙ කැළණි ටයරය ලොකුවට made in Sri Lanka කියලා ලියලා, පොඩි අපි සතුටට පත්උනා මේවා දැකලා. කැළණි ටයරය ඔය කියන සෝමාලියාවේ හදන Yokohama, Dunlop ලොප් කරලාම දාලා තිබුණු යුගයක් අපට තිබුනා. අපි බරවාහන දේශීයව හදාගන්න කාලය අත ලඟ කියලා හීන දැක්කා.
ලංකාව, සෝමාලියාවක් වෙලා තිබුනා කියන අය ලංකාවට ආසියාවේ ස්විට්සර්ලන්තය කියපු කාලක් තිබූ බව දන්නැතුව ඇති. ඔව් අපි චොකලට්  කර්මාන්තය පටන් අරං පිටරටවල පවා කොකෝවා වැව්වා ලංකාපුත්‍රයන් යටතේ ඒ රටවල මිනිස්සු වැඩ කරා. අපිට එහෙව් යුගයක් තිබුනා. දැන් ගෑණු ඇඟ විකුණලා ගේන සල්ලි වලින් ජපන් වාහන අරගෙන පදින තිරිසන් ජාතියක් කරලා දැම්මේ ඔය HRම තමා. JR ගෙන් පස්සෙ ආපු එකදු ජනාධිපති කෙනෙක්ටවත් මේ රටේ ගෑණු වහල් සේවයට යවන එක නවත්තන්න උවමනාවක් තිබුනෙ නෑ. එකම එක්කෙනෙක් ඒ වැඩේ ටිකාක් විතර control කරා එච්චරයි.
යූරී ගගාරීන් ලංකාවට එනවා මේ නිශ්පාදනය ආර්ථිකයක පිමි පනින ජාතිය ඇසින් දැක ගන්න. 59 කියුබානු විප්ලවය ඉවර කල චේ ගවේරාට පසු කාලෙක බාර දෙනවා විශාල වගකීමක් එරට ආර්ථිකය නගා සිටුවන්න. ඔහු තෝරා ගත් රටවල් කීපයකට එනවා සංවර්ධනය සැලසුම් හදාරන්නට. එවකට ආසියාවේ තෙවෙනි නිශ්පාදන ආර්ථිකය තිබුණු ලංකාවට; අර කියපු සෝමාලියාවටත් ඔහු අමතක නොකරම බලන්න එනවා. දැං මොකාද ලංකාවෙන් ඉගෙනගන්න එන්නේ? මන්දපෝෂණය ගැන නම් පුළුවන් වෙයි අද ආවොත් ඉගෙන ගන්න.
එතකොට සිංගප්පූරුව හදන්න පෙර ලී ක්වාන් කියනවා මම මලක්කාවේත් ලංකාවක් හදලයි පස්ස බලන්නේ කියලා. ඒ අරයා කියපු සෝමාලියාව එදා බැබලුණු අයුරුය. (ලී ක්වාන් ගේ Third world to first world පොත බලන්න)
කුඩා දරුවන් වූ අපි නිතරම අධ්‍යාපන චාරිකා ගියා පාසැල් වලින්. ඒ අපේ දේශීය කර්මාන්ත ශාලා නැරඹීමටයි. අද ලුණු ටිකත් ඉන්දියාවෙන්.
එදා අද මෙන් රෑපවාහීනී, mobile phones, laptops, flat screens යනාදී gadgets ලෝකෙම තිබුනෙ නෑ.
දැං සෝමාලියාවේත් ඕවා තියනවා ඒක නම් ⁣ඔය වගේ දේවල් කියවන්න හේතූවූ කාරණය, ඔබ විචාර බුද්ධිය මීට වඩා යෙදවිය යුතුයි. එකල ජර්මනිය, ජපානය වැනි රටවල් වලත් ඔය ගැජට් නෑ කොටින්ම කියනවනම් අද ඒවා සෝමාලියාවේ තියනවා. ඒ කියන්නෙ ඒ රටවලුත් ඒකාලේ සෝමාලියාව වගේ කියන එකද? මෙවන් දේ කතා කරන්නෙ ඔහුට කවදා හරි කවුරු හරි වැරදි අවබෝධයක් දී ඇති නිසයි.
මේ කිවූ කිසිම දෙයක් නාදුනන මා කීවාට පිළිනොගන්න. කරුණු ⁣තව දුරටත් සොයාබලා විශ්වාස කරන්න.
එකල අපිට තිබුණු ලොකුම ප්‍රශ්නයක් තමා ඉන්දියාවෙන් සහ මාලදිවයිනෙන් බෝට්ටුවල නැගලා නීති විරෝධී සංක්‍රමණිකයන්ගේ පැමිණීම. අද 1977ට පස්සේ, අපි නැව්වල පාවෙලා ජීවිත පවා නැති කරගෙන වෙන රටවල් වලට පනින ලැජ්ජා නැති ජාතියක් වෙලා. කවදද වැරදිලා තියෙන්නේ? ඒ දිනය අපිටනම් පැහැදිලියි.
තව මෙවන් දේ පොත් ගණනක් ලියතැහැකි. අද අපේ මිනිස්සු දැනුවත් වෙලා නැති තැන් අපි කතා කරන්න ඕනේ. නැත්තං ඒ ලමයි කොහෙන් දැනගන්නද? අද හෙට ඉතිහාසය ගැන උනන්දුව නැති කරපු දාට මේ දේවල් දන්න කෙනෙක් නැති වෙලා යයි. එදාට හැමෝම කියයි ලංකාව ඉස්සර සෝමාලියාව වගේ. කියලා. මැරෙන්න කලින් මේ ටික හරි ඉන්න එකාලට කියලා දීම වගකීමක් ලෙස දකින නිසා ලියා තබමි.
ලිඳ තුල ඉන්න මැඩියා තවත් එවැනිම වූ මැඩියන්ගේ ජක ජකය විතරක් අසා ඒ අනුව මුලු ලෝකය දන්නෙකු ලෙස කතාකරයි. නමුත් අඩුගානේ වතුර බොන්න එන මීහරකෙක්ගෙන් හරි යමක් අහන්න මොකද ඌ ගෙම්බට වඩා දුරක් ගොස් ඇත. අහම්බෙන් හරි මිනිසෙකු දුටුකල කතා කරන්න ජක ජක බාසාවෙන් නෙමේ මනුස්ස බසින්.

අදහස් හොයන්න, අසන්න, කියවන්න, හිතන්න පුරුදුවෙමු එතකොට ඔය එක එකා අපේ මිනිස්සුන්ව අන්දගෙන යන එක අඩුවේවි.
මෙසේ ලියා තැබීම සද්කාර්යක් මෙන්ම මෙය උපුටාගෙ ප්‍රචලිත කිරීමෙන් ජනතාවට යම් ආලෝකයක්  ලබා දී පිනක් කරගමු.
පරාක්‍රම සිරිමාන්න

A day in the life

2025-09-04

අපේ රතුතරුව .

සරත් මුත්තෙට්ටුවේගම -
‘අඩුකුලේ වුණත් එයාලත් අපි වගේ මිනිස්සු අප්පච්චි. එයාල ඉඳගත්තම පුටු කැඩෙනවායැ’’

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය ගැන සිතන විට අවංක චේතනාවෙන් රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටි මහජන නියෝජිතයන් ලෙස මගේ මතකයේ රැඳී ඇත්තේ ස්වල්ප දෙනෙකි . වර්තමානයේ නම් එවැන්නක් ගැන සිතීම පවා විහිළුවක් යැයි කීම නිවැරදි යැයි මම සිතමි. අවංකව දේශපාලනයේ යෙදුනු මිනිසුන් ගැන කතා කරනවිට මගේ මතකයෙහි රැඳී අව්‍යාජ මිනිසෙක් ගැන සදහන් කිරීමට මෙය කාලෝචිත අවස්ථාවක් යැයි මට හැඟේ . ඒ අන් කිසිවෙක් නොව කලවාන ආසනයෙන් පාර්ලිමේන්තුවට පැමිණි සරත් මුත්තෙට්ටුවේගම මහතාය.

1986 වසරේ මැයි 22 වැනිදා මෙලොවින් සමු ගෙන ගියද අදටත් දන්නා අයට මෙන්ම ඇසුරු කළ අයට ඔහු සැබෑ මහත්මයෙකි, ගුණගරුක මිනිසෙකි .
ඔහු මෙලොවින් සමුගත් දිනය මා හට අද මෙන් මතකය. එය ඉතාමත් ශෝකජනක පුවතක් විය. එවකට මා රත්නපුර කුරුවිට ප්‍රදේශයේ සේවයේ නියුතුව සිටියෙමි. මා සමග සිටි රත්නපුර ප්‍රදේශයේ සේවකයන් ඔහුගේ වියෝවෙන් බොහෝ සේ කම්පා වී වැළපුනෝය.
ඔහුගේ ගුණ සමරා ලියා තිබූ පුවරුවල සඳහන් වුයේ මෙවන් වැකියන්ය "අප්පෝ ඔබ මියගියේ නැත. මිය ගියේ අපය" "අප්පෝ ඔබ මතු බුදුවේවා" "ඔබ නැති රට සදා අඳුරේය " ‘‘සරත් අප්පො මතු බුදු වේවා’’ . රත්නපුර සහ අවට ප්‍රදේශයන්හි මාර්ග සියල්ලක්ම පාහේ මෙවන් ගුණ සමරුවලින් පිරී තිබුනේ ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ මානව හිතවාදියෙක් වූ නිසාය. එලෙස ශෝකය ප්‍රකාශ වූ වෙනත් අවස්ථාවක් මා මෙතෙක් දැක නොමැත. පහත සදහන් උපුටා ගැනීම (ලංකාදීප පුවත්පතින් ) ඒ සොඳුරු මිනිසා වෙනුවෙනි

ප: ලි:
මෙම උපුටනයේ සඳහන් ඇතැම් කරුණු මිණිපුර සිරිසේනයන් ලියු "සරත් මුත්තෙට්ටුවේගම - තිස් වසරක දේශපාලන සටන් ඉතිහාසය " කෘතියෙන් ලබාගෙන ඇති බව මට දැනගැනීමට ලැබුණා

වලව් ලෙන් දොර ජනතාවට විවර කළ මිණිපුර රතු තරුව

1986 වසරේ මැයි 22 වැනිදා උතුරට අඳුරු දිනයක් විය. යාපනය ප‍්‍රධාන උතුරේ සියලූ නගරවල වෙළෙඳසල්, කාර්යාල හා පාසල් වසා දමා සුදු කොඩි එසැවිණ. ජනතාව හැඟුම්බරව තම ශෝකය පළකළහ. බස්රථ ධාවනය නතර විය. සටන් විරාමයක්ද සිදුවිණ.
උතුරේ බැනර් එසැවිණ. ඒ ජනනායකයකු වෙනුවෙන් ශෝකය පළකිරීමටය. මෙම ජනනායකයා ද්‍රවිඩ ජාතිකයකු නොව දකුණේ සිංහලයකු වීම සුවිශේෂය සටන් නැවතුණේ පටු චේතනාවකින් නොව එම උතුම් පුද්ගලයාට හා ඔහුගේ දර්ශනයට ගරු කිරීමක් ලෙසිනි.
දකුණේ ද එලෙසම ශෝකය පළකිරීම සඳහා සුදු ධජ අහසට එසවිණ. ‘‘සරත් අප්පො මතු බුදු වේවා’’ සරත් ඔබ මිය ගියේ නැත මියගියේ අපයි’’ එහි සඳහන් වූ වැකිය. දකුණේත් උතුරේත් සාමාන්‍ය ජනතාව සරත් හදපත්ලෙන්ම අනුමත කළ බවට රත්නපුර පිට්ටනියට දස දිගින් ගැලූ මහජන ගංගාවෙන් පෙනී ගියේය.

ඔහු අන් කවරකුවත් නොව සමාජවාදී පිලේ කොමියුනිස්ට් නායකයකු වූ මහජන මන්ත්‍රී සරත් මුත්තෙට්ටුවේගම සහෝදරයාය.

එහෙත් උපතින් ඔහුට සමාජවාදී පසුබිමක් නොවීය. සබරගමුව රදල පරපුරේ බලවතකු වූ හර්බට් එක්නැලිගොඩ මුත්තෙට්ටුවේගම රටේ මහත්මයා ඔහුගේ ආඩම්බරකාර පියාය.
ප්‍රවේණිගත රදල බවින් ඔද්දල් වුවද රටේ මහත්මයා යුක්තිගරුක, සෘජුව තර්කානුකූලව සිතන, බණදහම් හා ශාස්ත‍්‍රිය ඥානයෙන් පිරිපුන්, එහෙත් දැඩි මාක්ස් විරෝධී ධනවාදියකු විය. ඔහු හිස නැමුවේ මහා සංඝයාට පමණි. එයම පුත් කුමරුට වාසනාව ගෙන ආවේය.

ගරාවැටෙන වලව්වෙන් මිල්ලවිටියේ නව නිවසට 1940 දී පිවිසුණු රටේ මහත්මයාගේ දරුපවුලේ ළඟම අනුශාසකයා වූයේ විද්‍යාවර්ධන පරිවේනාධිපති වූ ගොඩකුඹුරේ ශ්‍රී සුමනතිස්ස මහ නා හිමිපාණෝය. මව සමග පෙහෙවස් සමාදන්වීමට එහි ගිය සරත් අප්පො තුළද ‘දැහැමි සමාජයක්’ පිළිබඳ බීජය රෝපණය වන්නට ඇත. කුඩා වියේදිම මව සදහටම ඔවුන්ගෙන් වියෝවූයේ ඒ අංකුරය ඔහු තුළ ඉතිරි කරමිනි.
සිලියා මුත්තෙට්ටුවේගම මැතිනියගේ අභාවයෙන් පසු දරු දෙදෙනාට රැුකවරණය සැලසුවේ ඇගේ වැඩිමහල් සොයුරිය වූ ඉලේන් විජේසේකරය. මෑණිවරුන් දෙපොළගේ ද පියාගේද ආශිර්වාදය ඔවුන් මියගිය පසුවද තමන්ට ලැබෙන බව සරත්ගේ යටි හිත පැවසීය. බෝසත් පුතකු ලෙස මියයන තුරුම සරත් ඔවුන් සැමරීය.

සරත්ට ඇසුරට ලැබුණේ රදල පැලැස්තියේ දරුවන්ය. සමාජයේ දක්නට ලැබෙන ‘සතර පෙර නිමිති’’ පිළිබද ගැටලූ ඔහු විසඳාගත්තේ මිතුරන්ගෙන් නොව හාමුදුරුවන්ගෙන් විමසීමෙනි.
‘මේ ඔක්කොම අනිත්‍යයි සරත් අප්පො. තණ්හාවට පොදි බැඳගෙන හිටියට දවසක සේරම දාල යන්න වෙනවා. උසස් මිනිහෙක් වෙන්න නම් මෛත‍්‍රී චින්තනේ වවන්න ඕනැ. සමාජයේ සියල්ලටම සමාන අයිතිවාසිකම් තියෙන්න ඕනෑ. එතකොට තමයි සිත නිවී සැනසෙන්නෙ’’

ගුරුතලාව ශාන්ත තෝමස් විදුහල එදා බටහිරගැති ප‍්‍රභූවරුන්ගේ දරුවන්ට වෙන්ව තිබිණ. සරත් අප්පෝද මූලික අධ්‍යාපනය ලැබුවේ එහිදීය. ද්විතියික අධ්‍යාපනය ලැබුවේ ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහලෙනි. ඉන් පිටවූයේ උසස් ඉංග‍්‍රීසි සාහිත්‍යධරයකු ලෙසිනි.

1976 ගමේ පන්සලේ කොත් පැලැඳවීමේ උළෙලක් පැවැත්විණ. ප‍්‍රධාන ආරාධිතයා වූයේ ජනපති විලියම් ගොපල්ලවය. ආරාධනා කතාව කළේ සරත්ය.
ඔබතුමාගෙ පියා තමයි පන්සලේ දායක සභාවේ සභාපති වෙලා හිටියේ. දැන්වත් ඔබතුමා තනතුර භාර ගන්නවානම් හොඳයි’’ නාහිමියෝ යෝජනා කළහ. ‘‘අනේ හාමුදුරුවනේ, අපේ දෙවෙනි ආගම වගේ තියෙන පක්‍ෂ දේශපාලනේ අත් ඇරල නම් ඕවට එන්න බෑ. ජිවිත කාලෙ පුරාම කරන්න තියෙන ආගමික යුතුකම් ටික කරන්නම් කෝ.
සරත් දැඩිලෙස එම පොරොන්දුව ඉටුකළා පමණක් නොව තම පුත් ‘‘මෛත‍්‍රිද’’ ඊට යොමු කළේය. මහසඟරුවනට බැති උපහාර කළේය.
‘‘කොමිනියුස්ට් කාරයින්ට ආගමක් ධර්මයක් සංස්කෘතියක් නෑ’’ යන ධනවාදි ආකල්පය සරත්ගේ අසිමිත බොදු බැතිය තුළින් බොරු විය.

1935 අපේ‍්‍රල් 29 වැනිදා රටේ මහත්මයාට හා එම මැතිනියට දාව උපන් කුමරා පිළිබඳ වේලාපත්කඩ සැකැසුවේ බළංගොඩ ආනන්ද මෛත‍්‍රී ලොකු හාමුදුරුවෝය.
එදා ‘සරත් චන්ද්‍ර’’ හෙවත් සරත් අප්පො වූ දරුවා රට පිළිගත්තේ සරත් සහෝදරයා ලෙසය. සරත්ගේ එකම නැඟනිය මයුරාංගනීය. 1956 දී නීති විද්‍යාලයට ඇතුළුව සිටියදි ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ජාතික ශිෂ්‍ය සංගමයට සරත් බැඳුණේය.
දොස්තර සුගීශ්වර වික‍්‍රමසිංහ හා පීටර් කෙනමන් වැනි පක්ෂ නායකයන්ගේ දෙසුම් අසා සරත් විස්මයටත් කුතුහලයටත් පත්විය. සරත් නමැති රදල තරුණයා කොමියුනිස්ට්කාරයකු කිරීමට ඔවුන්ගේ ඇසුර සමත් විය. රත්නපුර දිසාවට සරත් සඳේ එළිය වැටෙන විට ඇන්. ඇම්. පෙරේරා නමැති සූර්යයා රුවන්වැල්ල නියෝජනය කරමින් සිටියේය.

1930 දී මෙරට පැතිරුණ දරුණු මැලේරියා වසංගතයට එරෙහිව යුද වැදුණු පිරිසට නායකත්වය දෙමින් සමසමාජ පක්‍ෂය බිහිවිය. ඒ අධිරාජ්‍ය විරෝධි සූරියමල් ව්‍යාපාරය තුළිනි. එහෙත් 1943 දී ලංකා කොමියුනිස්ට් පක්ෂය බිහිවිමෙන් පසු ශීඝ‍්‍රයෙන් වමේ තරුණ පිරිස එම පක්‍ෂය වැලඳගත්හ. රතු බළකොටු රත්නපුරයේදී ඉඳිවිය.
‘‘සරත් දැන් බොහොම වැඩියි. මිනිහ කොච්චර ජනප‍්‍රියද කිව්වොත් රත්නපුරේ උසාවියෙ නඩුත් වැඩියි. මිනිහව අවිස්සාවේල්ලට යවාගන්න තියෙනවා නං හොඳයි.
සරත්ට ඊර්ෂ්‍යා කළ අය රටේ මහත්මයා ලවා පුතුට අවවාද කිරීමට ගත් උත්සාහයට පියපුතු විරෝධය පළ කළේය.

අගමැති බණ්ඩාරනායකගේ ලිපියක් රැගෙන එදා රත්නපුර මන්ත‍්‍රී පළාත් පාලන හා සංස්කෘතික අමාත්‍ය ජයවීර කුරුප්පු මහතාද වලව්වට ආවේය.
‘‘අපේ පී. එම්. කියනවා සරත්ට අපේ පක්‍ෂයට බැඳෙන්න කියලා. එයා කැමතිනම් හෙට වුණත් රත්නපුරේ ආසනේ බාර දෙන්න කැමතිලූ’’
‘‘ඇමැතිතුමා, මං දේශපාලනය කරන්නෙ මගෙ හෘදය සාක්ෂියට එකඟවයි. ඒක වෙනස්කරන්න මටවත් බෑ සරත් දේශපාලන තනතුරු සහ වරදාන ප‍්‍රතික්‍ෂප කළේ එසේය.

තවත් බලා නොසිට තම ශක්තියෙන් උපරිම ඵල නෙලාගත යුතු යයි සරත් අප්පොට සිතිනි. ඒ නිසාම 1957 දී කුරුවිට කෝරලයේ උඩපත්තු ගම්සභාවේ පුස්සැල්ල සම සමාජ බළකොටුව එරෙහිව කොමියුනිස්ට් පක්ෂයෙන් සරත් ඉදිරිපත් විය.
පුස්සැල්ලේ ඒ. ඞී. කේ. චන්ද්‍රසේකර කපු මහත්තයා පරදා අලූතින් සටනට ආ සරත් අප්පො එම ඡන්දයෙන් දිනුවේය.
මේ කොමියුනිස්ට් බීජ රත්නපුරේ පැළ වුණොත් දිස්ත‍්‍රික්කයම විනාසයි’ යන සාවඥ වදන් සරත්ගේ ජනප‍්‍රියතාව හමුවේ ගොළුවිය.
‘‘ඔන්න සරත් අප්පෝ එනවා’’
තමන්ට පදවාගන ආ රිය වංගුවෙන් මතුවන විට ගැමියෝ සතුටින් කෑගැසූහ. සරත් වාහනයේ වේගය අඩුකොට ගැමියන් හා කතාබහ කළේය. නගරයට යන්නවුන් එහි නංවාගත්තේය. කොල්ලො කුරුට්ටෝ මඩ නාවර පිටින්ම වලව්වේ අප්පොගෙ රියේ නැඟ ආඩම්බරයෙන් එහා මෙහා ගියහ.

එහෙත් අවාසනාවක මහත!
එක්නැලිගොඩ මිල්ලවිටිය වලව්වේ පැරණි ගේට්ටුව පමණක් ගම්මුන්ට විවෘත නොවීය. පුතේ අපේ හත්මුතු පරම්පරාවක උදාවිය අඩුකුලේ එවුන් වලව්වේ පස්ස පැත්තෙන් මිසක් ඉස්සරහින් ඇතුළට වැද්දගත්තෙ නෑ. මේ පුටුවල ඉන්ඳව ගත්තෙ නෑ. අපට අවනම්බු කරන්න නම් එපා රටේ මහත්තයා කරදඬු උස්වූ පුතුගෙන් ඉල්ලා සිටියේය.

‘අඩුකුලේ වුණත් එයාලත් අපි වගේ මිනිස්සු අප්පච්චි. එයාල ඉඳගත්තම පුටු කැඩෙනවායැ’’ පුතාගේ පිළිතුරයි.

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි

A day in the life

2025-09-03

සොරගුනේ දේවාලය.


කොළඹ - බදුල්ල පාර සති අන්තවලට දීර්ඝ නිවාඩු ඇති සති අන්තවල වාහන වලින් පිරෙනවා. නුවරඑළිය ,බණ්ඩාරවෙල ,හෝර්ටන්තැන්න ඇල්ල, කූරගල කුඹල්වල යන සංචාරකයෝ මේ අතරමග හල්දුම්මුල්ලේ තියෙන සොරගුනේ දේවාලය අමතක කරනවා.

හේතුව ප්‍රධාන මාර්ගයෙන් හැරී අතුරුපාරක කිලෝමීටර හත අටක් යන්න තියෙන නිසා වෙන්න ඕන.

හල්දුම්මුල්ල - හාල්අටුතැන්න හන්දියේ ඉදිකර තියෙන ලොකු තොරණක් දකින්න ඇති . ඒ තොරන යටින් තියෙන මාර්ගය යටින්  තමයි සොරගුනේට යන්න තියෙන්නේ.

මේ ගම්වලට තියෙන නම් දිහා බලපුවහම ඒ නම් වල ඓතිහාසික බවක් ඇති අරුත් තියෙන්නේ.

වැලිපිස්ස , කළුපහන , වැලිපීල්ල, හල්දුම්මුල්ල ,හාල්අටුතැන්න බත්ගොඩ, සීලතැන්න වගේ නම් අමුතුයි වගේ හිතෙනවා ඇති.

ඌවට ආවේනිකවු නම් සමග සොරගුනේ ටත් තියෙන්නේ ඓතිහාසික බැදීමක්.

කතරගම දෙවියන් උදෙසා කැපවු ඌවේ පිහිටි ප්‍රධාන දේවාලයක් තමයි “ සොරගුනේ දේවාලය “ 


දුටුගැමුණු රජු කතරගම මහා දේවාලය ඉදිකල පසු ඌවේ ඉදිවු දෙවෙනි දෙවොල ලෙස ජනප්‍රවාදයට එක්වු  සොරගුනේ දේවාලය සොරගුනේ රජමහා විහාර පරිශ්‍රෙය් ඉදිවී තිබෙනවා.

වලගම්බා රජ දවස සොරගුනේ රජමහා විහාර කර්මාන්තය ආරම්භව තිබෙනවා.  ඉපැරණි විහාර ඉදිකිරීම්වලට අයත් ගල්කණු හා බාල්ක හා වෙනත් ගල් කැටයම් වල අවශේෂ අදටත් මෙම ස්ථානයේ තැන් තැන් හි දක්නට තියෙනවා. 

සංරක්ෂණය කරන ලද ධර්මශාලාව මෙහි ඇති ඓතිහාසික වටිනාකම විදහා දක්වන පුරාවස්තුවක්.  දෙමහල් ගොඩනැගිල්ලක් වන එය අලංකාර කැටයමින් යුතු ලී කණු යොදා ගොඩනගලා තියෙනවා. 

මේ දෙමහල් ගොඩනැල්ල දකින ඕනෑම කෙනෙකුට නිසැකවම ඇම්බැක්කේ දේවාලයේ ලී කැටයම් සිහිපත්වනවා.  මීට අමතරව මහනුවර යුගයේ දී ඉදිකරණ ලද කුඩා ස්ථූපයක් විහාරස්ථානයේ තියෙනවා.

සොරගුනේ රජ මහා විහාරයට වඩ  වර්ථමානයේ වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ඉපැරණි කතරගම දේවාලයි. 


ක්‍රි.ව. 16 වන සියවසේ දි මෙම ප්‍රදේශයේ සිටි ප්‍රාදේශීය පාලකයෙක් (යාපා නමින් හැඳින්වූ) විසින් මෙම දේවාලය කරවලා තියෙනවා.  ක්‍රි.ව. 17 වන සියවසේදී මැදගම සන්නසෙහි මේ පිළිබඳ විස්තර බලගා ලන්න පුළුවන්. දැනට කොළඹ කෞතුකාගාරයේ සංරක්ෂණයකොට තබා ඇති "සීමන්සකර විනෝදනී" නම් පුස්කොල පොතෙහි මෙම සන්නස ලියවිලා තියෙනවා.

යාපා  නම් ඇමැතිවරයකුගේ කටහඬෙ ඇති වුණ ස්වර අපහසුතාවය සුව වීමට භාරයක් වුන බවත් එම ස්වර අපහසුතාව ගුණ වු පසු භාරය ඔප්පු කිරීමට මෙම දෙවොල ඉදි කල බවත් ජන ප්‍රවාදයේ පැවත එන කතාවක්. 

ස්වර + ගුනේ = ස්වරගුණේ පසුකාලීනව සොරගුණේ ලෙසින් වහරට එක්ව තිබෙනවා. 

කතරගම ඇසළ මහා පෙරහැර අවසන්වු පසු සොරගුනේ දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර උත්සවශ්‍රීෙයන් පවත්වනවා.

මේ සොරගුනේ පෙරහැර සමයයි.

හල්දුම්මුල්ල -  කිරවනාගම මාර්ගයේ කි.මී. 8 ක් පමණ ගමන් කළ විට මෙම විහාරස්ථානයට සහ  දේවාලයට ළඟාවිය හැකියි. 

බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මැඳවෙල ග්‍රාම නිලධාරී වසමේ සොරගුනේ දේවාලය පිහිටා තියෙනවා.

+++++++ මේ වියමනට ඌණ පූරණයක් එකතු කරන්න තියෙනවා.

සොරගුනේ දේවාලය මුල් අවධියේ තිබිලා තියෙන්නේ පොල් අතු වහලක් සහිත එකල භාවිතා කල ඉදිකිරීම් ශිල්පයන් භාවිතා කල බිත්ති සහිතව.

එකල බෝගන්දල කියන්නේ සොරගුනේට කිමි තුන හතරක් දුරින් පිහිටි වනගත පෙදෙසක්.

මෙම පෙදෙසෙහි ආරන්‍යයක් තිබිලා තියෙනවා. එම ආරන්‍යය භාවිතා වෙලා තියෙන්නේ බණ භාවනා කරමින් සිටි පැවදි නොවුන උපාසක ඇත්තන්ගේ පින් බිමක් ලෙස.

මේ නටබුන් තාමත් බලා ගන්න තියෙනවා.

මෙතුමන්ලා හැදින්වූයේ “ ගණින්නාන්සේලා“ ලෙස.

එදවස සොරගුනේ දේවාලය පිහිටුවායින් පසුව මෙම ගණින්නාන්සේලා බෝගන්දල සිට සොරගුනේට දිනපතා වැඩ පිරිත් කියලා තියෙනවා.

ගමනා ගමන අපහසුතා නිසා නතර වන්න දේවාල බිම වඩාත් සංවර්ධණය කල බව පැවසෙනවා.

එනිසා වර්තමාන දේවාලය “ බෝගන්දල ගනින්නාසේගේ “ ඉදිකිරීමක් ලෙස සලකනවා.


දේවාලය අවට තියෙන වෑ එළිය , වල්මීතලාව ,මාළදොල ,හුණුතලාගල ,ගල්බොක්කවෙල ගම වගේ නම් තියෙන පුංචි පුංචි ගම්වටා ගෙතිලා තියෙන ඓතිහාසික කතා අතීත සංවර්ධිත පෙදෙසක් නිර්මාණය වෙනවා.

මේවා සොයායාම පුංචි ව්‍යාපෘතියක්.

බලමු මීදුමට ඒක කරන්න පුළුවන් වේවිද කියලා.



A day in the life

2025-09-02

උග්ගල් අළුත්නුවර කතරගම දේවාලය. - බලන්ගොඩ.



ලේඛනගත සටහන් අනුව පෙරහර ආරම්භය පිළිබඳ ඉතිහාසය ශතවර්ෂ ගණනාවක් ඈතට දිවයනව. පුස්කොල ලේඛනය පෙරහර විතරක් නෙවෙයි, වර්තමාන දේවාලයේ ආරම්භය හා ගොඩනැගීම පිළිබඳ විස්තරයකුත් සඳහන් වෙනව. ඒ අනුව ශක වර්ෂ 1504 නැතිනම් ක්‍රි.ව. 1582 දේවාලය කරවා මාස දහයකින් නිමකර එළඹුන ඇසල මස පෙරහර කළ බව ලියවී තිබෙනව.

ඒ අනුව මුල්වතාවට පෙරහර කරන්න ඇත්තෙ ක්‍රි.ව. 1583 වෙන්න ඕන.

මෙහෙම කියන්නේ ගුණසිංහ මහත්මයා. එතුමා ගැනත් කියලාම මගේ විකාර සිතිවිලි සටහන් බවට පත්කරන්නම්.

එතුමා බ්ලොගයක් කරනවා. ඒක කියවන්න “ උග්ගල් අළුත්නුවර දේවාලය පිලිබද බොහෝම තොරතුරු එතුමාගේ බ්ගොලයේ තියෙනවා.

පර්යේෂණ ග්‍රන්ථයක් වගේ බ්ලොගයක්.

https://sugv.wordpress.com/

පෙරහැර සංස්කෘතිය හා බැදුනු බොහෝ දේ එහි තියෙනවා.

ඒතුමාට ස්තුතියි.

වර්තමානයේ මම දකින දේ බොහෝම කණගාටුදායකයි.

අවුරුදු 1021 ක් පහුවෙලත් දේවාලය සතු බිමෙන් මතුවු කෝටි ප්‍ර කෝටි වටිනා මැණික් සම්පත දේවාලයේ දියුනුවට යොදවන්නේ නැතිව අතුරුදහන් වෙලා !.

බස්නායක නිළමෙලා එනවා යනවා. ( දේවාලයේ භාරකරුවෝ ). එක්කෙනෙක්ගේ ධුර කාලය පහයි. වර්තමානයේ සම්ප්‍රදාය. ඉතින් භාරකාරයෝ කීදෙනෙක් ඉන්න ඇත් ද ?.

දේවාලය දුප්පත් වෙලා. එයාලාට දෙයියෝ දීලා !.

දේවාලය අවට පදිංචි දේවාල රාජකාරි කරන විශාල පිරිසක් ඉන්නවා.ඇත්තෙන්ම මට හිතෙන හැටියට එයාලගේ පවුල් පරම්පරාවන් නගා සිටුවිමට දේවාල කිසිම උදව්වක් වෙලා නැහැ. ඒ පවුල් තාමත් එතනමයි.

වැඩවසම් යුගයේ ලක්ෂණයක් කියලයි මම දකින්නේ. බස්නායක නිළමේ උජාරුවට පෙරහැරේ යනවා. ආවතේවකාරයේ පිටුපසින් යනවා.

පෙරහැර එවර වුනාමත් ඒ වගෙයි.

මේ ගතානුගතික ක්‍රමවේදයන් වෙනස් වෙන්න ඕනි.

හැබැයි අපට උරුමවු ආගමික සස්කෘතියක් තියෙනවා කියලා අමතක නොකර.

දේවාලයේ ආදායම අඩුතරමින් දේවාලයේ දේව රාජකාරි කරන පවුල් සිය ගණණකයේ සුභ සාධනය සදහා යොදවන්න පුළුවන්. හිටපු භාරකරුවන්ට මෙවන් සිතිවිල්ලක් පහල නොවුනේ දේව කරුණාව ඒ පන්තියට උරුම නැති නිසාද කියලා හිතෙනවා.

දේවාල පරිශ්‍රය නිසන්සල හිත් නවතා ගත හැකි ශාන්ත දාන්ත පරිසරයක්. වාර්ෂික දේවාල පෙරහැර අවසන් වු පසු අත්හැර දමන දේවාල පරිශ්‍රය නැවත් සිහිපත් කරන්නේ ඊළග අවුරුද්දේ පෙරහැර සමයට.

බලන්ගොඩ බෙලිහුල්ඔය අතර පිහිටන අළුත්නුවර දේවාලය සංචාරක කේෂත්‍රය ගැන වැඩි උනන්දුවක් ඇති මෙකල අවධානයට යොමුවිය යුතු පූජණිය ස්ථානයක්.

මම අහල තියෙනවා අක්කර තිස්හයක් පමණ වණගහණය ඇති ඉඩම් දේවාලය සතුයි කියලා.

ඔබට මතක්වුනේ මේ වනාන්තරය මුදල් කරන්න කන්තාරයක් කරමු කියලා ද ?.

දේවාලයට ගැලපෙන ආගමික භුමියක් කරන්න විශාල පිරිවැයක් ඕන වෙන්නේ නැහැ. දේවාලයට ආදායමත් සැදැහැවතුන්ගේ සිත් සතන් නිවන ව්‍යාපෘතියකට හොද තොතැන්නක්.

තවත් මගේ හිතේ උපදින විකාර තියෙනවා.

මේවා කරන්න නිර්මාණත්මක භාරකරුවෙක් මේ බිම අධිපතිත්වයට පත්වෙන්න ඕන.

බිම හාරලා මුඩු කරලා මැණික් සම්පත සුරාකන්න සිත් පෙරදැරි කරගත් අධිපතිත්වයක මානසිකත්වයට වඩා තරුන නිර්මාණශිලිත්වයක් ඇති පුද්ගලයින්ගේ මානසිකත්වය වෙනස් කියලා මට හිතෙනවා.

එවැනි භාරකාරිත්වයක උරුමය “ උග්ගල් අළුත්නුවර දේවාලයට උරුමවේවා යි “ මම ප්‍රරාථනා කරනවා.

A day in the life

2025-09-01

Heart Attack -© Dr. Gayan Senevirathne


Heart Attack එහෙම නැත්නම් Myocardial Infarction එකක් උනාම, හදවතට රුධිරය ගලා යන නහර block වෙනවා. එතකොට හදවතේ මාංශ පේශිවලට ඔක්සිජන් හරියට ලැබෙන්නේ නෑ, ඒ නිසා හදවතේ පේශි වල සෛල මැරෙනවා.
මේක බරපතල තත්වයක්.

Heart Attack එකකදි රෝග ලක්ෂණ මොනවාද?
සාමාන්‍ය හාර්ට් ඇටෑක් එකකදී ලක්ෂණ බොහෝ විට බරපතලයි, හඳුනාගන්න ලේසියි:
පපුවේ බරපතල කැක්කුම
කැක්කුම වම් අත, උරහිස්, බෙල්ල විහිදීම
දහඩිය දැමීම
හුස්ම ගැනීමේ දැඩි අපහසුව
වමනය

මේ ලක්ෂණ එකපාරට එනවා, ඒ නිසා ගොඩක් දෙනෙක්ට ඒක හාර්ට් ඇටෑක් එකක් කියලා හඳුනාගන්න පුළුවන්.

ඒත් අද විශේෂයෙන් කියන්න යන්නේ වෙන දෙයක්. උඩ තියෙන රෝග ලකෂණ නැතුවත් heart attack එන්න පුලුවන්. 
ඒවට කියනවා Silent Myocardial Infarction කියලා.
Silent Heart Attack එකකදී හදවතට වෙන හානිය සාමාන්‍ය Heart Attack එකකදි වගේම තමයි. ඒත් රෝග ලක්ෂණ එන්නේ හරිම අඩුවෙන්, එහෙම නැත්නම් කිසිම ලක්ෂණයක් නැතිව.
ඒ නිසා Silent Heart Attack එකක් හැදුන ගොඩක් දෙනෙක් එහෙම එකක් තමන්ට හැදුනා කියලවත් තේරෙන්නේ නැහැ.

Silent Heart Attack එකකදි එන්න පුලුවන් රෝග ලක්ෂණ මොනවාද?
අධික තෙහෙට්ටුව (විශේෂයෙන් ව්‍යායාමකදී හෝ වැඩ කරද්දී)
හුස්ම ගැනීමේ අපහසුව
පපුවේ සැහැල්ලු අපහසුතාවයක් (කැක්කුමක් නෙමෙයි, බර ගතියක් වගේ)
අතපයේ දුර්වලතාවය
මේ රෝග ලක්ෂණ අපි ලොකුවට හිතන්නේ නෑ.
 
දියවැඩියාව (Diabetes) තියෙන අයට Silent Heart Attack එන්න වැඩි ඉඩක් තියෙනවා.
ඇයි ඒ?

දියවැඩියාව නිසා ස්නායු වලට හානි (neuropathy) වෙන්න පුළුවන්.
ඒ නිසා Heart Attack එකකදි එන කැක්කුම හඳුනාගන්න බැරිවෙනවා.
දියවැඩියා තියෙන අයට, පපුවේ කැක්කුම නැති වුණත්, අසාමාන්‍ය ලෙස තෙහෙට්ටුව, හුස්ම ගන්න අපහසුව වගේ ලක්ෂණ තියෙනවා නම්, ඒවා Silent Heart Attack එකක ලකුණක් වෙන්න පුළුවන්. ඒ නිසා වහාම වෛද්‍යවරයෙක් හමුවෙන්න.

Heart Attack එකකින් වළකින්න අපි මොනවද කරන්න ඕනේ ?

දියවැඩියාව, රුධිර පීඩනය, කොලෙස්ටරෝල් පාලනය කර ගන්න. (බෙහෙත් නිසි ලෙස ගන්න, රුධිර සීනි මට්ටම නිතරම පරීක්ෂා කරන්න.)
සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව.
දුම්පානය හා මත්පැන් නවත්තන්න.
බත්, සීනි, ලුණු අඩුවෙන්, එළවළු, පළතුරු වැඩිපුර කන්න.
දවසට මිනිත්තු 30ක් හෝ ව්‍යායාම කරන්න (ඇවිදීම, යෝගා, හෝ සැහැල්ලු ව්‍යායාම).
ස්ට්‍රෙස් එක පාලනය කරන්න.
රෝග ලක්ෂණ ගැන සැලකිලිමත් වෙන්න.

ඔයාට මේ ගැන ප්‍රශ්න තියෙනවද? "Dr.Gayan" page එකේ post එකට Comment එකක් දාන්න. පුලුවන් විදියට reply කරන්නම්.
සමාජය දැනුවත් කිරීම යුතුකමක් කියලා මම හිතන නිසා කාර්ය බහුල උනත් මේ වගේ දෙයක් ලියන්න වෙලාව වෙන් කරගන්නවා. මට පුලුවන් ලියලා දාන්න විතරයි. මගේ facebook පිටුවේ ඉන්නේ 14k ක විතර followers ගානක්. 
ඒ අය මේක දකී. 
මේ ලිපිය තව අයට දකින්න share කරන්න. කාටමහරි වැදගත් වේවි.
වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න
© Dr. Gayan Senevirathne
🗣Please share, not copy-paste, to keep the info accurate and updated.
🗣නිවැරදි තොරතුරු සඳහා Share කරන්න. Copy paste කරන්න එපා.
#DrGayan, #MedicalCare #HealthyLifestyle #healthtips #SilentMI_Gayan

A day in the life

2025-08-31

බණ්ඩාර ලා




නිමේෂ තිවංකර සෙනෙවිපාල විසින් රචිත පර්යේෂන වාර්තා ඇසුරින්..

උඩරට පළාත්වල බණ්ඩාර ලා බෙහෙවින් සුලබ ය. බණ්ඩාර යන්න නොයෙක් වගවාසගම් සමඟින් යෙදෙන අතර, එම නාමයේ ආරම්භයක් හෝ විකාශනයක් ගැන ස්ථිර මතයක් තවමත් ගොඩනැගී නැත. කෙසේ වෙතත්, බණ්ඩාර යන නමින් ම යමෙක් උඩරට වැසියෙකු යැයි ගම්‍ය වේ. 
මේ බණ්ඩාරලා ගැන විද්වතුන් අදහස් පළ කර ඇතත් ඒවා එතරම් තාර්කික ප්‍රවේශයන් ලෙස සැලකිය නොහැක. උදාහරණයක් ලෙස ආචාර්ය පරණවිතානගේ මතය වනුයේ පැරණි අභිලේඛනයන් හි එන, 'බඩගරික' යන්නෙන් 'බණ්ඩාර' යන්න සම්භවය වී ඇති බවත්, ඇතැම් විට මැලේසියානු 'භණ්ඩාර්' යන නාමයෙන් තත්සම වන්නට ඇති බවත් ය. මේ මතයට දෙස් දෙමින්, මහනුවර යුගයේ 'බණ්ඩාරගම්' යනුවෙන් මහා භාණ්ඩාගාරයට ආදායම්/සම්පත් රැස් කළ ගම්බිම් පැවති බවත් දක්වනු ලැබේ. එම ගම්මාන 'ගබඩාගම්' යනුවෙන් ද ව්‍යවහාර වේ.
'බණ්ඩාර' යන්න ද්‍රවිඩ 'පණ්ඩාරම්' යන්නෙන් සකස් වූවා වන්නට ද පිළිවන. හින්දු පණ්ඩාරම්ලාගේ කාර්යය වූයේ කෝවිල්වලට මල් අඩුක්කු කිරීම ය. අරාබියාවේ ද 'පන්දාර්' යනුවෙන් රාජවංශයක් පැවතුණි.

මේ හැරුණු විට 'බණ්ඩාර' යන්න ගොවිකුල ඇත්තන් අතර බෙහෙවින් සුලබ බව පෙනෙන්නට තිබේ. ඇත්ත වශයෙන් ම, 'බණ්ඩාර ඇත්තන්' යනුවෙන් ආමන්ත්‍රණය කරන ලද්දේ ගොවිගමයන් ය. බණ්ඩාරලා වනාහි කෙත්වතු හිමිව සිටි නිදහස් ගොවීන් ය. මේ නයින් බලන කල, 'රදල' යනුවෙන් පිම්බී ගියත්, 'බණ්ඩාර' නමක් යෙදේ නම් තෙමේ නිසැකයෙන් ම 'ගොවිගම' වන බව පෙනේ.

උඩරට පළාත්වල, විශේෂයෙන් ම පැරණි ලේඛණ පිරික්සන විට 'බණ්ඩාරවලිය' යනුවෙන් පාරිභාෂික වදනක් හමුවේ.
'වලිය' යනු 'ව<ලිය' නොව, 'ව>ලිය' විය යුතු ය. ඉන් ගම්‍ය වන අර්ථය නම්, 'සමූහය' යන්න ය. නැත්නම් 'සෙට් එක' යන්න ය. සරළව ම කිවහොත් 'බණ්ඩාරලා සෙට් එක' ය.
උඩරට බණ්ඩාරවලිය වනාහි එක ම අවුල් ජාලාවකි. ඒ පිළිබඳව හදාරන විට අගමුල් සොයාගැනීමට නොලැබේ. විටෙක, බණ්ඩාර හත්කට්ටුව ලෙස ද, බණ්ඩාර දොළොස් කට්ටුව ලෙස ද, බණ්ඩාර හැටහත් කට්ටුව ලෙසද, බණ්ඩාරවලිය ලෙස ද මේ ගැන කියවේ.
මේ වර්ගීකරණ අතරින් 'කට්ටු' යනුවෙන් හැඳින්වෙන තුන ම කංකාරි මඩුවේ ත්, යාතිකාවලත් ඇසේ. අනෙක වන, බණ්ඩාරවලිය පැරණි කඩයිම්වලත්, විත්තිපොත්වලත්, ලේකම්මිටිවලත් යෙදේ. සිඳුරුවානාබද උඩුනුවර බණ්ඩාරවලිය, මාතලේ මහදිසාවේ බණ්ඩාරවලිය යනාදි වශයෙන් ප්‍රාදේශීය බණ්ඩාරවලි රැසක් මට හමු වී තිබේ. යට කී 'කට්ටු' සහ 'වලි' ගැන කරන ලද විමැසුමේ දී පෙනී යන්නේ, 'කට්ටු' යනුවෙන් ව්‍යවහාර වන්නේ 'මල පසු දෙව් බවට පැමිණැවූ' පුද්ගල පිරිසක් වන බවත්, 'වලි' යනු ජීවමාන පෙළපත් වන බවත් ය. නුවර යුගයේ දී, උඩුනුවර හා යටිනුවර දෙපලාතට එවැනි බණ්ඩාර පවුල් දහඅටක් ප්‍රබල ව සිටියෝ ය. ඔවුන් පහත සඳහන් බණ්ඩාරලාගෙන් ආරම්භ වූවන් යැයි කියනු ලැබේ.
1. උරුලෑවත්තේ විජයසුන්දර බිසෝබණ්ඩාර
2. ගංගොඩ යාපා බණ්ඩාර
3. රඹුංගොඩ කුමාර බණ්ඩාර
4. දන්තුරේ තුනයාර බණ්ඩාර
5. පීලිගම කඳුරේ බණ්ඩාර
6. සිද්දවුලේ සෙනෙරත් බණ්ඩාර
7. උනම්බුවේ යාපා බණ්ඩාර
8. අලපලාවෙල අබේසිං බණ්ඩාර
9. අළුදෙණියේ මායිං බණ්ඩාර
10. යාලේගොඩ මහ බණ්ඩාර
11. පිලීගල්ල කුමාර බණ්ඩාර
12. සිඳගල නීලවතී බණ්ඩාර
13. පායිංගමුව ඉරුගල් බණ්ඩාර
14. කිරිබත්කුඹුර පණික්කි බණ්ඩාර
15. වෙලම්බොඩ විජයරාජ බණ්ඩාර
16. ඕකේවෙල සූරියදාස් බණ්ඩාර බ්‍රාහ්මණ රාළ
17. ඇරැව්වාවල කුමාර පනික්කි බණ්ඩාර
18. මාත්ගමුවේ සෙණෙකඳ බිසෝ බණ්ඩාර
මේ ලේඛනයට අමතරව තවත් බණ්ඩාරවලි ප්‍රාදේශීය වශයෙන් තිබෙන්නට පිළිවන. එවැනි කිහිපයක් මා සතුව ද පවතියි.

කෙසේ වෙතත්, බණ්ඩාරලා ගැන බොහෝ විස්තර වේ.
බණ්ඩාරලාගේ කාන්තාවෝ, බිසෝබණ්ඩාර ලා ය. එවැනි බිසෝබණ්ඩාරලා බොහෝ ය.
1. යටිගල්ඔලුවේ බිසෝබණ්ඩාර
2. කුඹල්ඔලුවේ බිසෝබණ්ඩාර
3. සෙණකඳ බිසෝබණ්ඩාර
4. නීලවතී බිසෝබණ්ඩාර
5. උඩුකිඳ බිසෝබණ්ඩාර
6. දුනුමාලේ බිසෝබණ්ඩාර
යනු ඉන් කිහිපයකි.

දරුවන්, 'කුමාරබණ්ඩාර' වේ. පිරිමින් විශේෂයෙහි, මහබණ්ඩාර, කුඩාබණ්ඩාර, ළමා බණ්ඩාර, ටිකිරිබණ්ඩාර වශයෙන් විශේෂණ් යෙදේ.
කෙසේ වෙතත්, බණ්ඩාර යන්න වැද්දන් කෙරෙහි ද යෙදි තිබේ. 'බණ්ඩාර වැද්දන්' ලෙස කංකාරියේ දී පිදෙන දෙවි කට්ටුවක් ද සිටී.

මාගේ විශ්වාසය නම්, බණ්ඩාර යන්න ගොවිගමයන් සඳහා හෙදුණු හුදු ගෞරව නාමයක් පමණක් වන බව ය. උඩරට ඇතැම් ප්‍රදේශවල, කිසියම් ගමකට අලුතින් පැමිණ බින්න බහින පිරිමියෙකු හැඳින්වීමට නිරායාසයෙන් ම බණ්ඩාර නම යෙදෙයි. දන්තුරෙන් ආ තැනැත්තා, දන්තුරේ බණ්ඩා(ර) ය. දුම්බරින් ආ තැනැත්තා දුම්බර බණ්ඩා(ර) ය. එය වර්තමාන ව්‍යවහාරයේ 'මහත්තයා' යනුවෙන් යෙදෙන ආමන්ත්‍රණයට සමාන යැයි මගේ විශ්වාසය වේ. 'බිසෝබණ්ඩාර' යනු ද එවැනි ම ය. ගොවිකුල කාන්තාවන් විෂයෙහි එය යෙදෙන්නට ඇතැයි සිතිය හැක.

සැබෑ හන්දුරු හෙවත් ව්‍යවහාරිත රදල උප කුලයේ කිසිවෙකුට 'බණ්ඩාර' යෙදී නැත. යම් රදල යැයි කියනු ලබන පෙළපතකට 'බණ්ඩාර' යන්න එකතු වී ඇත්නම් ඉන් ස්ඵුට වන්නේ ඔවුන්, ගොවිගම කුලයට අයත් බවත්, පසුව රාජප්‍රසාද ලබා හිමි වූ තනතුරුධාරින් වන බවත් ය.

උඩරට සැබෑ රදළ පේරුවේ පෙළපත්වලට 'බණ්ඩාර' යන්න එක් වී නැත. ඇතැම් විට පසුකාලීනව එකතු කරගෙන තිබිය හැකි වුවත් 1815ට පෙර සන්නස් ආදියෙහි එසේ යෙදී ඇති තැන් සෙවීම දුෂ්කර ය.
එවැනි පෙළපත්වලට උදාහරණ කිහිපයක් මෙසේ ය.
1. ඇහැලේපොල විජයසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර
2. කපුවත්ත විජයසුන්දර රාජකරුණා නවරත්න බණ්ඩාරනායක
3. කැප්පෙටිපොල රාජකරුණා චන්ද්‍රසේකර වාහල තෙන්නකෝන්
4. අමුණුගම දුම්බර රාජකරුණා සෙනෙවිරත්න අභයකෝන්
5. ඇරැව්වාවල සේනානායක භුවනෙකබාහු නාරායන රාජගුරු වාහල පණ්ඩිත
6. මාම්පිටියේ අමෘතහස්ත නවරත්න වික්‍රමසිංහ සේනානායක පණ්ඩිත වාහල
7. මුල්ලේගම හේරත් දවුන්ඩසේකර වික්‍රමසිංහ ඒකනායක අභයකෝන් පණ්ඩිත රාජපක්ෂ
8. රත්වත්තේ විජයවර්ධන සෙනෙවිරත්න පණ්ඩිත අභයකෝන් බන්ඩාරනායක
9. දුනුවිල රාජකරුණාධර ඒකනායක ඒකනායක ධර්මකීර්ති පණ්ඩිත වාහල
10. කොබ්බෑකඩුව රාජකරුණා රාජපක්ෂ නවරත්න වික්‍රමසිංහ සෙනෙවිරත්න දිසානායක
මේ අනුව බණ්ඩාර යන්න සැබෑ රදල පවුල් විෂයෙහි නොයෙදෙන බව වටහාගැනීම දුෂ්කර නොවේ.

නැවත බණ්ඩාර 'කට්ටු' දෙසට හැරෙමු.
උඩරට ප්‍රදේශවල මලවුන් දේවත්වයට පත්කිරීම සුලභව සිදු වී ඇත. හැටහත් කට්ටුව, දොලොස්කට්ටුව, හත්කට්ටුව ලෙස කාණ්ඩ කොට, පුදලබන්නේ ද එසේ මරණයෙන් පසු දෙවි බවට පත් වූ උඩරට වැසියෝ ය.
ටිකිරි බණ්ඩාර, හෙණකඳ බිසෝබණ්ඩාර, කුඹල්ඔලුවේ බිසෝබණ්ඩාර, යටිගල්ඔලුවේ බිසෝබණ්ඩාර, වන්නි බණ්ඩාර, ගඟේ බණ්ඩාර, නමනැති බණ්ඩාර, අලුත් බණ්ඩාර, කිවුලේගෙදර බණ්ඩාර, දුනුමාලේ බිසෝබණ්ඩාර ඇතුළුව එසේ මරණයෙන් පසු දෙවි බවට පත් බණ්ඩාරලා සිය ගණනක් සොයාගත හැකිය.
එමෙන් ම, අලුත්නුවර දේවතා බණ්ඩාර, ඉරරැස් බණ්ඩාර, සඳරැස් බණ්ඩාර, සූනියම් බණ්ඩාර, කලු බණ්ඩාර ආදි, ඉතිහාසයක් අපැහැදිලි පැරණි දෙවිවරු රැසකට ම ද 'බණ්ඩාර' ලෙස යොදා තිබේ.
මේ බණ්ඩාර දෙවිවරු සිය බලය පතුරුවා හරින්නේ කිසියම් සීමිත ප්‍රදේශයක් තුළ ය. ගඟේ බණ්ඩාර කොත්මලේ ද, ඉරුගල් බණ්ඩාර හන්තාන ද, වත්හිමි බණ්ඩාර කුරුණෑගල ද ආදි වශයෙන් බලය පතුරුවයි. සෑම බණ්ඩාර දෙවි කෙනෙකුට ම එවැනි බලප්‍රදේශයක් පැවති යි.

'බණ්ඩාර' යන්න උසස් කුලවතුන් සඳහා උඩරට ප්‍රදේශවල දී පොදුවේ යෙදුණු ගෞරවාන්විත ආමන්ත්‍රණයක් බව මා කියන්නේ මේ පදනමෙහි පිහිටා ය. ඒ ගැන දෙස්දෙන ලේඛණ රැසක් පවතියි.
කුල සම්ප්‍රදායන් කෙසේ වෙතත්, උඩරට පළාත්වල මානවවිද්‍යා පර්යේෂණයන්ට මෙවැනි අපූරු තැන් ගෝචර වී නොතිබීම සැබැවින් ම කණගාටුදායක කරුණකි.

(මෙතුමා විසින් ප්‍රකාශනයට පත් කරන ලද 'කන්ද උඩරට පැරණි පුස්කොළ ලියවිලි, කුරුණෑගල විස්තරය කියවන්න.)
ස්තුතිය 'Old images of Ceylon's 
A day in the life

2025-08-30

පෙලපත් .


ලංකාවේ ගොඩ දෙනෙක් පාවිච්චි කරන ජනප්‍රිය වාසගම් ...
පෙරේරා
මෙය ලංකාවේ වඩාත්ම භාවිත පෘතුගීසි පෙළපත් නාමවලින් එකකි. පෘතුගීසි යෙදුම:- Pereira (පෙරෙයිරා). අර්ථය:- ​‘පෙයාර්ස් ගස’
සිල්වා
සිල්වා’ යනු පෘතුගීසි නොව ලතින් වචනයකි (ලතින් බස සියලු යුරෝපා භාෂාවල මාතාව බව අපි දනිමු). ලතින් යෙදුම: Silva (සිල්වා). අර්ථය: ලන්ද, ලඳු කැලෑව, Silva යන්න විටෙක De Silva ලෙසද භාවිත වේ ‘De’ යන්න ඉංග්‍රීසි බසින් ගත්කල ‘Of’ යන අරුත දෙයි. ඒ අනුව ‘De Silva’ යනු ලන්දේ/ ‘ලඳු කැලෑවේ’ යනුවෙයි.
ද_මෙල්
පෘතුගීසි යෙදුම – De Mello (දෙ මෙල්ලෝ). අර්ථය – ‘මී පැණි’. ඒ අනුව De Mello හෙවත් De Mel යනු ‘මීපැණිහි’/‘මීපැණියේ’ යනුයි.
කෲස්
පෘතුගීසි යෙදුම: Cruz (කෲස්). අර්ථය – ‘කුරුසිය’. 100% ක්ම පාහේ ක්‍රිස්තියානින් වන පෘතුගාලයේ මෙබඳු ආගමික සංකල්පයක් පෙළපත් නාමයක් සේ යොද‌ා ගැනීම පුදුමයට කරුණක් නොවේ.
පීරිස්
පෘතුගීසි යෙදුම – Pires (පීරෙස්) – අර්ථය – පීරිසිය. මේ අනුව ‘පීරිසිය’ යනු වචනය මෙන්ම ‘කෝප්පය’ යන වචනයද පෘතුගීසි ආභාසයෙන් සිංහලයට නැඟිණැයි කල්පනා කළ හැකිය. පෘතුගීසි බසින් කෝප්පය Copo (කෝපෝ) යනුය.
පාරිස්
පෘතුගීසි යෙදුම: Paris (පරීස්). අප කළ විමර්ශනයට අනුව පෘතුගීසි බසින් පරීස් යනු ප්‍රංශයේ අගනුවර වන පැරීසියයි. පැරීසියේ කලක් තිස්සේ සාම්ප්‍රද‌ායිකව පෘතුගීසි සම්භවයක් සහිත ජන කොටසක් ජීවත් වෙති. මේ ජනතාව පෘතුගීසින් විසින් හඳුන්වනු ලැබුවේ ‘පරීස්’ යනුවෙනි. මේ සිංහල භාවිතයේදී මේ වාසගම ලැබූ අය ‘පාරිස්’ ලෙස හඳුන්වනු ලබති.
ඩයස්
පෘතුගීසි යෙදුම – Dias (දියාස්) – අර්ථය : දිනයන්. පෘතුගීසි බසින් Dia (දියා) යනු ‘දිනය’ යි dias (දියාස්) යනු එහි බහුවචනමය ස්වරූපයයි. මාගේ පෙර කී මිතුරා පෙන්වා දුන් ආකාරයට ‘දිනය උදා කරන’ (දිනකර) යන අර්ථයෙන් මෙම Dias යන්න ‘සූර්යයා’ ලෙසද අර්ථකථනය කළ හැකිය.
මෙන්ඩිස්
පෘතුගීසි යෙදුම – Mandaz (මන්දෙස්) Menendez (මෙනෙන්දෙස්). අර්ථය – ‘මෙනෙන්දෝ ගේ පුත්‍රයා’. මෙනෙන්දෝ යනු යුරෝපයට බලපෑ කතෝලික ශුද්ධවන්තයෙකු සේම රාජ කුමාරයෙකි. ඉංග්‍රීසි බසින් St.Hermangild (සා.හර්මන්පිල්ඩ්) ලෙස හඳුන්වන්නේත් මෙතුමාය. ක්‍රි.ව 6 වැනි සියවසේ ජීවත් වූ ස්පාඤ්ඤ රජකුමරෙකු වූ මෙතුමා කතෝලික විශ්වාසය උදෙසා දිවි පිදූ ප්‍රාණ පරිත්‍යාගියෙකි. මේ පෙළපත් නාමයේ අර්ථය එම ‘මෙනෙන්දෝගේ පුත්‍රයා’ යනුය.
ප්‍රනාන්දු / ප්‍රනාන්දු
යුරෝපයේ රටවල් රැසක පෙළපත් නාම හෝ පුද්ගල නාමයක් ද ලෙස ප්‍රනාන්දු යන්න ප්‍රකටය. පෘතුගීසි යෙදුම – Fernando (ෆර්නාන්දෝ). ජර්මානු රජ පෙළපතක් වන ෆර්ඩිනන්ඩ් (Ferdinand) යන්නෙහි පෘතුගීසි නාමය ලෙස ‘Fernando’ හැඳින්විය හැකිය. මෙම නාමයම Ferdinand ලෙස ජර්මන්, චෙක්, ලන්දේසි, ඉංග්‍රීසි, ප්‍රංශ මෙන්ම පෝලන්ත යන භාෂාවලින්ද Hernando (හෙර්නන්දෝ) ලෙස ස්පාඤ්ඤ භාෂාවෙන්ද නන්දෝර් ලෙස හංගේරියානු භාෂාවෙන්ද භාවිතවේ. ප්‍රනාන්දු යනු එහිම ලාංකේය ප්‍රකාශනයයි.
තවද තම ප්‍රනාන්දු යන පෙළපත් නාමය ‘ප්‍රනන්ද’ හෝ ‘පුරනන්ද’ යනුවෙන් වඩාත් දේශීයත්වයට නඟාගත් ස්වල්ප දෙනෙකු සේම තම නාමයේ මුල් පෙළපත් නාමය නමේ අගට ගෙන ප්‍රනාන්දු යන්න භාවිත නොකරන වර්ණකුලසූරිය, කුරුකුලසූරිය, මිහිඳුකුල සූරිය, වර්ණකුල, මිහිඳුකුල, කොඩිප්පිලි හෝ වීරක්කොඩි හෝ වැනි නම් දරන ප්‍රනාන්දුවරු ද සිටිති
නෝනිස්
ස්පාඤ්ඤ නාමය : ‘නූනෝ’/ පෘතුගීසි නාමය ‘නූනෙස්’. අර්ථය : ‘නුනෝගේ පුත්‍රයා’ මීට අමතරව මෙය පෘතුගීසි අරුතින් ‘නවවෙනි’ හෝ ‘සීයා’ යනුද වෙයි නූනෝ යනු 14 වැනි සියවසේ සිදු වූ කස්තීලියානු ආක්‍රමණයට එරෙහිව සටන් වැදී පෘතුගාලය බේරාගත් වීරෝදාර රණවිරුවෙකි ‘නූනෙස්’ ඔහුගේ පුත්‍රයා ලෙස අර්ථකථනය කෙරෙන අතර සිංහලයේදී එය ‘නෝනිස්’ නම් වෙයි
.
ගෝමස් / ගෝමිස්
මෙම පෙළපත් නාම දෙකම එකම ස්පාඤ්ඤ මූලාශ්‍රයකින් සම්භව වී යැයි සැලකිය හැකිය. ස්පාඤ්ඤ යෙදුම: විසිගොතික් සංකල්පයක් වූ ‘ගෝමා’ මෙහි මූල්‍ය ජර්මානු ‘ගුමා’ (Guma) යන්න අර්ථය:- ‘මිනිසා’. ඒ අනුව ‘​ගෝමෙස්’ යනු ‘මිනිස් පුත්‍රයා’ (මනුෂ්‍ය පුත්‍රයා) ලෙස ගත හැකිය.
ෆොන්සේකා
ලතින් මූලය : Fon+Sicca. අර්ථය : ​Fon (උල්පත) Sicca (වියළි බිම) වියළි බිමෙහි උල්පත තවද මෙය කාන්තාරයක ක්ෂේම භූමියකට ඉඟි කරයි.
කොස්තා
පෘතුගීසි යෙදුම: Costa (කොස්තා). පෘතුගීසි අර්ථය : ගං ඉවුර, බෑවුම, මුහුදු වෙරළ. ලතින් අර්ථය: පැත්ත, අයින, කෙළවර, අද්දර
වාස්
හංගේරියානු මූලය : Vass. අර්ථය – යකඩ. මෙමගින් කම්මල් රැකියාවේ නියුක්ත වූවන්, යපස් පතල්කරුවන් හෝ යකඩ භාණ්ඩ වෙළඳාමේ යෙදෙන්නන් අදහස් කෙරේ. එසේම මෙම පෙළපත් නාමය මගින් අති විශිෂ්ට චරිතයක්. ප්‍රබල විඳ දරා ගැනීමේ හැකියාවක්ද ප්‍රකාශ කෙරේ.
අල්විස්
ජර්මානු මූලය : Alfher (පුද්ගල නාමයකි). පෘතුගීසි නාමය: Alves ( අල්වෙස්). අර්ථය – අල්ෆර්ගේ පුත්‍රයා (Alves) ලංකාවේදී මෙය Alwis (අල්විස්) බවට පත් වී ඇත.
රුද්‍රිගු / රුද්‍රිගු
ස්පාඤ්ඤ මූලය – රොද්‍රිගෝ දියාස් දෙ වීවාර් (පුද්ගල නාමයකි) එකො​ළොස් වෙනි සියවසේ විශිෂ්ට හා කැපී පෙනුණු ස්පාඤ්ඤ සේනාධිපතියෙකු වූ මොහුගේ නාමයට ගෞරව පිණිස රොද්‍රිගු යන මොහුගේ නාමය පෙළපත් නාමයක් සේ පසුකාලීනව භාවිතයට ගැනුණු බව පෙනී යයි.
පුරාණ ජර්මානු බසෙහි Hroderic ලෙස හඳුන්වනු ලැබූ මේ නාමය ස්පාඤ්ඤ, පෘතුගීසි හා ඉතාලි භාෂාවලින් Roderico (රොදෙරිතෝ) ලෙසද කතෝලාන බසෙහි Roderic (රොඩෙරික්) ලෙසද ඉංග්‍රීසියෙහි Rod හා Roddy ලෙසද ප්‍රංශ බසෙහි රොද්‍රිගු (Rodrigue) ලෙසද පෘතුගීසි හා ස්පාඤ්ඤ භාෂාවලින් තවත් විටෙක Ruy,Rui හෝ Ruiz ලෙසද මේ නම භාවිත කෙරේ. සාමාන්‍ය සිංහල භාවිතයේදී රුද්‍රිගු නම් වන මේ පෙළපත් නාමය ඉංග්‍රීසිකරණ ලක්ව Rodrigo (රොඩ්රිගෝ) ලෙස වර්තමාන ‘පොෂ්’ ඉංග්‍රීසියෙහි (Posh English) භාවිත වේ.
සුවාරිස්
ජර්මානු මූලය :- Suero (සුඑ්රෝ). Su+heri ලෙස මේ වචනය කොටස් දෙකකට බෙදා දැක්විය හැකි නමුත් පෘතුගීසි විශේෂඥයන් පවා තවමත් ‘su’ යන්නෙහි අර්ථය කුමක්දැයි නිශ්චිත කරගෙන නැත. එහෙත් ‘heri’ හෙවත් ‘hari’ යනු ‘හමුදාව’ යි.
සොයිසා
පෘතුගීසි මූල්‍ය : Souza (සූසා). මුල් කාලයේ මේ නාමය යොදා ගැනුණේ පෘතුගාලයේ සූසා ගංගා නිම්නයේ පදිංචි වැසියන් හඳුන්වනු පිණිසය. මේ ගංගාවට Souza යන නම ලැබීමට ලතින් වචන දෙකක බලපෑමක් ඇතැයි සැලකේ. එනම් Salsus (ලවණමය) හෝ Saxa (ගල් සහිත) යන වචන දෙකම හෝ ඉන් එකක් හෝ ඊට බලපාන්නට ඇතැයි පිළිගැනේ. සොයිසා යැයි කී විට ලංකාවේ කාටත් සිහිවන නගරය මොරටුවයි.
අල්මේදා
අරාබි මූලය – ‘අල් මයිද‌ා’ (Al Maida). අර්ථය – කලක් ඉස්ලාමීය ආක්‍රමණයට යට වී සිටි ස්පාඤ්ඤයේ එක් නගරයක් අරාබින් විසින් හඳුන්වනු ලැබූයේ ‘අල් මයිදා’ යනුවෙනි. එහි අර්ථය ‘සානුව’ යනුය. ‘අල්මේයිදා’ ලෙස ස්පාඤ්ඤකරණයට ලක් වූ මේ පෙළපත් නාමයෙන් එම නගරයේ වැසියන් හඳුන්වනු ලැබීය. මෙම පෙළපත් නාමය ලංකාවේදී භාවිත වන්නේ ‘අල්මේදා’ වශයෙනි. ලංකාවට ගොඩබට ප්‍රථම පෘතුගීසි කප්පිත්තා වූයේ ලොරෙන්සෝද අල්මේදාය.
කබ්රාල්
ලතින් මූලය: Capralis (කප්‍රාලිස්). අර්ථය: එළුවන් ලගින තැන – මේ පෙළපත් නාමය එළුවන් බලාගන්නා පුද්ගලයෙකු හැඳින්වීමට යොදා ගත්තා විය හැකිය. ලංකාවේදී මෙය ‘කබ්රාල්’ ලෙස භාවිතවේ.
කොරයා Cora (කෝරා)
ලතින් මූලය – Cora (​කොරෙයා) අර්ථය – හදවත. ලතින් බසින් කොරියානු රාජ්‍යය හැඳින්වීමට යෙදෙන මේ යෙදුම හැරෙන්නට මෙම පෙළපත් නාමය සාධාරණීකරණය සඳහා සොයාගැනීමට අපට සොයාගත හැකි එකම සාධාරණ වචනය වන්නේ ‘හදවත’ යන අරුත දෙන ‘Cora’ (කෝරා) යන්නය. මේ අනුව ‘හෘදයාංගම’ වැනි අරුතකින් Cora (කෝරා) යන්න කොරයා’ ලෙස සකසාගත්තේදැයි කල්පනා කළ හැක.
පැස්කුවල්
පෘතුගීසි මූලය: Pascoa. අර්ථය – පාස්කුව (පාස්කු මංගල්‍යය). මෙම නාමය ‘පාස්කු මංගල්‍යය හා සබැඳි අරුතක් ගෙන එයි. ක්‍රිස්තියානින්ගේ ඉහළම තලයේ මංගල්‍යය නත්තල නොව පාස්කුවයි. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ දුක් විඳීම, මරණය හා උත්ථානය සමරන පාස්කු මංගල්‍යය නත්තලට වඩා වැදගත් මංගල්‍යය වෙයි. පැස්කුවල් යන පෙළපත් නාමය Pascoa (පාස්කොආ) යන පෘතුගීසි යෙදුම හා බැඳෙන බව මෙසේ තහවුරු වේ.
පෘතුගීසි ආභාසයෙන් මෙරටට ලැබුණු පෙළපත් නාම පිළිබඳ මා කළ විමර්ශනය ඵලදායක වී යැයි කල්පනා කරමි. එසේම තම පෙළපත් නාමය පිළිබඳ සැබෑ තතු දැන ගැනීම බොහෝ දෙනෙකුගේ සතුටට හේතුවිය හැකියැයි හඟීමි. එහෙත් මේ පෙළපත් නාම පිළිබඳ තවත් වෙනස් අර්ථකථන ද තිබීමට ඉඩ ඇත. තවත් එබඳු අධ්‍යයනයන් වේ නම් ඒවාත් මේ මොහොතේ කරළියට පැමිණේවායි පතමි.
ලාංකිකයන් වර්තමානයේ භාවිතා කරන වාසගම් නිර්මාණය වීම සඳහා දේශීය මෙන්ම විදේශීය බලපෑම් ද මූලික වී තිබේ. මේ ලාංකිකයන්ගේ දේශීයත්වය මූලික වී සකස් වූ වාසගම් කිහිපයක නිර්මාණය හා ඒවායේ අර්ථය පිළිබඳ කතාවයි.

සිංහලයන්ගේ වාසගම්වල බොහෝ විට මුදියන්සේ යන නාමය දැකගත හැකි අතර එය රජවාසල විසින් රාජ්‍ය සේවය සඳහා ලබා දුන් ගරු නාමයක් ලෙසයි සැළකෙන්නේ. එය ගරු නාමය ලබන්නාගේ නාමය සමඟ සම්බන්ධ වී ජයසේකර මුදියන්සේලාගේ වීරසේකර මුදියන්සේලාගේ ආදී වශයෙන් පෙළපත් නාමයන් සකස් වී ඇත.
විදානආරච්චිලාගේ යන වාසගම ද ඒ ආකාරයෙන් ම පුද්ගල නාමයන් සමඟ රජවාසල විසින් ලබා දුන් තනතුරු නාමයන් සම්බන්ධ වෙමින් නිර්මාණය වී ඇත.
අතපත්තු යන වාසගම නිර්මාණය වී ඇත්තේ පෘතුගීසීන්ට එරෙහිව සටන් මෙහෙය වූ වීදිය බණ්ඩාර විසින් නිර්මාණය කළ විශේෂ හමුදාවක් හේතුවෙනි. එම හමුදාව අතපත්තු හමුදාව ලෙස හැඳින්වූ අතර ඊට විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන් පමණක් සම්බන්ධ කරගත් බව කියැවේ. ඒ අනුව ඔවුන්ගෙන් පැවත එන්නන් අතපත්තු යන වාසගම ලැබ සිටී.
මේ අතර ඇතැම් ඉහළ කුල වල පිරිස් රජු විසින් ලබාදුන් ගරු නාමයට සිය ගම සම්බන්ධ කරගැනීම හේතුවෙන් ඔවුන්ගේ වාසගම් නිර්මාණය වී ඇත. ඉතිහාසයේ ප්‍රකට පිළිමතලාවේ මීගස්තැන්නේ ඇහැලේපොළ ආදී නිළමෙවරුන්ගෙන් පැවැත එන වාසගම් අද වන විටත් දැකිය හැකියි.
මේ අතර යුද්ධයේදී විශේෂ දස්කම් දැක්වූ පුද්ගලයන් වෙනුවෙන් රජ දරුවන් පිරිනැමූ නාමයන් සහිත වාසගම් රැසක් අද වන විට මෙරට තුළ භාවිතා වේ. ජයසූරිය යන වාසගම ජයග්‍රහණයේ සූර්යයා යන අර්ථයෙන්ද, ජයග්‍රහණයේ වීරයා යන අර්ථයෙන් ජයවීර යන වාසගම ද ලබා දී තිබේ. එවන් පරම්පරාවෙන් පැවත එන වෙනත් වාසගම් ලෙස යුද්ධයේදී වීරයා නොහොත් රණවීර රණ බිමේ සිංහයා යන තේරුම සහිතව රණසිංහ ද රජුගේ ආලෝකය හෙවත් වඩාත් සමීප යන්නෙන් කියැවෙන රාජසූරියත් රාජ්‍ය සේවයෙහි නිර්භීත රාජසිංහ වික්‍රමයන් සඳහා නොබිය වික්‍රමසිංහ, සිංහයකු වැනි වීරයෙකු ලෙස වීරසිංහ ජයග්‍රහණය වෙනුවෙන් සිංහයෙකු ලෙස කටයුතු කරන්නා යන අර්ථය ඇතිව විජේසිංහ ආදී නාමයන්ද ලබා දී තිබේ.
එසේම නරේන්ද්‍රසිංහ ගජේන්ද්‍රසිංහ ආදියද අතීත රජ දරුවන් විසින් ලබාදුන් වාසගම් නාමයන් වේ.
රජවාසල හා රාජ්‍ය පාලන ක්‍රියාවලිය හා බැඳී එන වාසගම් රැසක් ද පවතී. ඒ අතුරින් මොහොට්ටි ලේකම්වරයා යන අර්ථයෙන්ද (රාජ්‍ය මාලිගාවේ ලේකම්වරයා #මහමොහොට්ටි ලෙස)
කොඩිතුවක්කු යන වාසගම හිමිවී ඇත්තේ හමුදාවට සම්බන්ධ පිරිස් වලට වන අතර රෝදවලට සවිකල කුඩා කාල තුවක්කු හමුදාවේ සේවය කළ පිරිස එලෙස හඳුන්වා ඇත.
සෙනෙවිරත්න
සෙනෙවිරත්න යන වාසගම ඇති අය පෙර රජවරුන්ගේ සෙනවිකම කරපු අයගෙන් පැවතේ. සෙනවි+ රත්න= රජුට රටට හිතැති රත්නයක් බදු වූ එහි තේරුමයි. යුද්ධයට අණ දුන් ප්‍රධානීන් ද සෙනවිරත්න සමගින් අදාල තැනැත්තාගේ නම මුලට යොදා අමතා ඇත.
තවද කලාවැවේ සෙනෙවිරත්න කඩවර දෙවියන්ගේ පරපුරින් පැවතෙන බවටද මතයක් ඇත. කඩවර ගොල්ලේ සිට්නා පිරිසටත් සෙනෙවිරත්නයන් ලෙස හදුන්වා ඇත.
මේ අතර යුද්ධ භූමියේ දී මෙන්ම රජ මැදුරේ දී කොඩි දරන්නන් කොඩිකාර යන්නෙන්ද, හදාරන්නන් පලිහවඩන යනුවෙන්ද, සළු සම්බන්ධ කටයුතු කළ අය සඳහා #සළුවඩන යන වාසගම් ද නිර්මාණය වී තිබේ.
මේ ඇසුරෙන්ම රාජ්‍ය නිලයන් දරන්නන් උදෙසා අප්පු, රාළ, විදානගේ යන වාසගම එක් වී ඇති අතර ඒවාට පුද්ගලයන්ගේ හෝ ග්‍රාමීය නම් එක් කිරීමෙන් අද පවතින දිගු වාසගම් සහිත නම් නිර්මාණය වී ඇත.
ඇතැම් වාසගම් වල ඉදිරියෙන් විජේවර්ධන , රාජකරුණා ආදී නාමයන් කිහිපයක් පවතින අතර ඔවුන් රජ වාසල හා සම්බන්ධ ඉහළ හමුදා නායකත්වයන්ගෙන් පැවත එන්නන් බවයි පැවසෙන්නේ.
මේ අතර ගමරාළලාගේ , වර්ණකුල ආදී නාමයන් සකස්වී ඇත්තේ තමන් දැරූ ග්‍රාමීය තනතුරු හා රැකියාවන් අනුවයි.

#මරක්කල යන වචනය මුස්ලිම් ජනතාව හැඳින්වීමට යොදන බවට පිළිගැනීමක් ඇතත් ඉතිහාසයට අනුව මරක්කල යන්න දකුණේ සිංහල පෙලපත් නාමයක් ලෙසයි සැලකෙන්නේ. මරක්කාර් නමින් හැඳින්වූ අතීත යාත්‍රා වල සේවය කළ පුද්ගලයන් මරක්කලේ ලෙස හැඳින්වූ අතර මඩොල්දූව නවකතාවේ පවා මරක්කලහේ නමින් වාසගමක් ද දැක්වේ.
ඒ අනුව ධීවර කටයුතු වලට සම්බන්ධ ජනතාව මුල්කරගනිමින් අම්බලන්ගොඩ හා දකුණු පළාත ආශ්‍රිතව මහා මරක්කලගේ, අරස මරක්කලගේ, ආන්ද්‍ර මරක්කලගේ, පොඩි මරක්කලගේ, ලොකු මරක්කලගේ, මරක්කල එන්නඩිගේ ආදී සිංහල වාසගම් දැකිය හැකිය. ඒ අනුව අද සිංහලයන් දරන බොහෝ වාසගම් සිය පරපුරේ මුතුන්මිත්තන් විසින් දරන ලද නාමයන් තනතුරු හා ලැබූ ගෞරවයන් මත පදනම්ව සකස් වී ඇත.


මුලාශ්‍ර අන්තර්ජාලයෙන්.
සුුනිල් ප්‍රේමතිලක - පෙරදිග මුතු ඇටය
උපුටා ගැනීමකි
C e y l o n

A day in the life

2025-08-29

වීරකොන්ගම - ඩිංගිරිහාමි වීරකෝන්.




“බමරකන්ද ඇල්ල” ලංකාවේ උසම දිය ඇල්ලයි. 
ඇල්ල මගදී ඡෙදනය වී ඇති නිසාවෙන් සුන්දරත්වයට පොඩි හාණියක්ව ඇති සෙයකි.
මගේ අද කතාව ඇල්ල ගැන නොවේ.
ඇල්ල ලග “ කලුපහණ වලව්ව “ අශ්‍රිතව පවතින ජනප්‍රවාද පිළිබදවයි.

බමරකන්ද ඇල්ල නැරඹිමට යන මට වීරකෝන්ගම පසුකරන්නත් රැදෙන්නත් සිදුවුනේ ඇල්ලත් පරිසරයත් සිතින් විදින්නට සිදුවු අහම්බය හේතුවනි.
මේ ප්‍රදේශය පිලිබදව ක්‍රිව 1500 සමයේ පෟතුගීසි ආගමනය සිදුවු කාලයේ සිට එක්වු ජනප්‍රවාද රැසකි.එයට හේතු වන්න ඇත්තේ ඌවට ගමන් බිමන් සදහා යොදාගත් මග කලුපහණ හරහා වැටී තිබිම විය හැකිය.
ඌව සබරගමුව මායිමේ පිහිටි කලුපහන සෞම්‍ය දේශගුණයෙන් යුතු නෙත නිවන පරිසරයකින් යුතුය.

මගේ කතානායකයා ඩිංගිරිහාමි වීරකොන් ය.
මෙතුමන් වීරකෝන්ගම මුල් පදිංචිකරුවෙකු නොවු බව ජනකතාවකින් මා ඇහිද ගත් මුලාශ්‍රයකි. තවමත් එය නිවරදි කර ගැනීමට නොහැකිවීම අඩුපාඩුවක් බව සදහන් කරමු.
දෙවන රාජසිංහ රජු සමයේ , මෙතුමන් පදිංචි ප්‍රදේශයේ සිට මහනුවර බලා පිටත්ව තිබේ.
ඒ තමන් විසින් රචිත කාව්‍ය ප්‍රබන්ධයක් රජතුමාට ඔප්පු කිරීම පිණිසයි.
දින හත අටක් ගතවෙන මෙම ගමනට හතර පස්දෙනෙකුගේ කණ්ඩායමක් මෙතුමාට සහය වු අතර බලන්ගොඩ , බෙලිහුල්ඔය ,හපුතලය,වැලිමඩ බෝගොඩ පසුකර හාරගම හරහා මහනුවරට ලගා වීම ඔහුගේ අරමුණ වී තිබිනි.
මෙම ගමන් මග යොදා ගැණීමෙන් එතුමන් රත්නපුරයෙන් මෙපිට පදිංචිකරුවෙක් යයි මම උපකල්පනය කරන්නෙමි.

මේ ගමන අතරමග එක් දිනක් නවාතැන ලෙස කලුපහන තෝරාගෙන තිබු අතර කලුපහන ගම් ප්‍රධානියෙකුගේ නිවසක් සුදානම් කර ගත හැකි විනි.
කාමර කිහිපයක් සහ ආලින්දයක් එම නිවසේ තිබු අතර ආලින්දයේ පරිවාරකයන්ටත්, ප්‍රභුවරයාට ඇතුල් කාමරයකත් සුව පහසුව සැලසිනි.
ප්‍රභුවරයා හැඩි දැඩි සිරුරකින් මුහුනපුරා වවාගත් රැවුලකින් යුතු තේජවන්තයෙකු විය.
ගම් ප්‍රධානියාට රුමත් දියණියන් දෙනෙකු සිටි අතර ඔවුන් නිදන කාමර යාබද විය.
නින්ද යන නොයන මානයේ ප්‍රභුවරයාට තමාගේ හැඩිදැඩි සිරුරටත් කලු වැඩුන රැවුලටත් අපහාස මුඛයෙන් උසුලු විසුලු කරන කාන්තා හඩවල් දෙකක් ඇසුනත් ආන්තුකයෙකුවු ඔහු නිහඩව නින්දට වැටුනේය.

පසුදා ගමන් ආරම්භ කිරීමට පෙර තමන්ට උසුලු විසුලු කල යුවතියන් තේ ඇස ගැටෙන තැනක මෙම කවි පද තල්පතක ලියා තබා යාමට අමතක නොකලේය.
“පවුලෙන් ඔබගේ මම සත්කාර         ලැබුවා
රැවුලෙන් පිරි එකෙකයැයි අවමන්         ලැබුවා
අවුලෙන් මදරදගේ මගේ සිත උසි           ලෑවා
රැවුලෙන් වත පිසීමට ආපසු               එනවා”

කාලය ගතවිය. දෙවන රාජසිංහ රජු ඩිංගිරිහාමි වීරකෝන් අගයමින් කලුපහනින් ගම්වරයක් ප්‍රධානය කල අතර මුදලි තනතුරකට පත් කලේය. එම ගම්වරය වීරකොන්ගම වු අතර මුදලි ඩිංගිරිහාමි “ රැවුලෙන් වත පිසීමට ආපසු කලුපහනට පැමිණියේය.

“ඌව දිසාවේ කන්දපල්ල කෝරලේ වීරකෝන් ගම සමස්ත වික්‍රම බණ්ඩාර රාජාරාම වීරකෝන් වාහල මුදියන්සේ රාළහාමිලාගේ ඩිංගිරිහාමි වීරකෝන්” නමින් කලුපහන පැල පදියම්ව රාජ අණසක පවත්වාගෙන යමින් කලුපහන වාසය කලේය.
මේ නමින් නව පෙලපතක් ප්‍රදේශයේ තහවුරු කර ඇති බව කලුපහන වර්තමානය සාක්ෂි දරති.

මෙතුමන් කාන්තා ලෝලියෙකු බව තහවුරු වන තවත් පද පෙලක් මෙසේය.

“ ආරමින් බුරුලු ඇති දෙනුන්           දුටිමි
සූරමින් බුරුලු ඇති දෙනුන්           දුටිමි
පාර මන් වැරදි ආවා මතු             තේමි
වීරකෝන් මුදලි මම ඩිංගිරි           හාමි

සිලිටි මුස වරල මොණරිදු පිල්                රැසකි
නොවැටී තන මඩල ඇගේවත පුන්           සදකි
දැවටී ළංවෙන්නට ඇත්නම් මද                 යුදකී
ළපටි අගනන්ට මගේ සිත බොහොම           දුකී

සිත යට නැගුන ප්‍රේමය මගේ හද           රදවා
නුඹ මට කරපු අවමානෙට මම             ආවා
බද පිට ඉදන් රසමීයක පැණි               කෑවා
එතකොට හැඩලි කුකුළෙක් මගේ සිත      කෑවා

රණකාමියෙකු ලෙසද ඌව ඉතිහාසය තුල ලියවී ඇත්තේ පෘතුගීසින් හා සටන් වැදුන වෘත්තාන්ත වලය. අපි දවසක කියවමු.

A day in the life