ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ඒවාට ස්වාධීන පැවත්මක් නොමැත. සිතිවිලි සහ ආවේග වලට තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . ඒවායින් මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

සුබ අළුත් අවුරුද්දක් වේවා !.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2025-08-11

අළුත් අදහසක් .




අද දවල් අවුරුදු 18 ක්වත් නැති වගේ පේන පොඩි එකෙක් කරන බඩ ඉරිඟු කඩයක් හම්බුණා. මාත් එකක් ගත්තා. මේක රුපියල් 100 යි. හැබැයි එ‍් වෙලාවෙ දැක්ක දෙයක් නිසා පොඩ්ඩක් මේ ගැන ලියල දාන්න ඕනමයි කියල හිතුණා.

තම්බපු බඩ ඉරිඟු මම අ‍ාසම කෑමක්. එ‍් නිසා නිතරම කනවා. රසටත් වඩා බඩ ඉරිඟුවලට අ‍ාස එ‍්ක ස්වභාවික කෑමක් නිසා. ගහේ තියෙන ඉරිඟු කරල අරන් ලුණු වතුරෙ තම්බන එක විතරයිනෙ වෙන්නෙ. ෂෝට් ඊට් වර්ග වගේ ජාති හැට හුට හමාරක් දාලා තෙල්වල බැදලා හදන දේකට වඩා මේක පොඩ්ඩක්වත් බය නොවී කන්න පුළුවන් කෑමක්.
බඩ ඉරිඟු නිතරම කන නිසා මම දන්න දෙයක් තමයි එ‍්ක විකුණන සාමාන්‍ය විදිහ. මෙච්චර කාලෙකට ගත්ත හැම බඩ ඉරිඟුවක්ම අතට හම්බුණේ පොලිතින් බෑග් එකක දාලා. ගමනක් යන ගමන් හරියට අත හෝදන්න අමාරු නම් දූවිලි ගෑවෙන් නැතිව කන්න එ‍්ක හොඳ ක්‍රමයක්. හැබැයි ඉතින් රස්නෙ බඩ ඉරිඟුවක් පොලිතින් බෑග් එකේ දාල අල්ලගෙන ඉන්න ලේසි නැති බව දන්නවනෙ. අත පිච්චෙනවා.
හැබැයි මේ‍ පොඩි එකා පාවිච්චි කරන්නෙ වෙනස් ක්‍රමයක්. බඩ ඉරිඟු තම්බන මුට්ටියටම බඩ ඉරිඟුවෙ වටේ තියෙන මේ කොළෙත් ගලවලා දානවා. ටිකක් තැම්බුණාම කොළ ටික අරන් වෙනම ගොඩ ගහනවා. බඩ ඉරිඟු විකුණද්දි එ‍් වෙලාවෙ කන අයට අතට දෙන්නෙ මේ කවරෙ ඔතලා.
ලොකුවට කතා කර කර හිටියෙ නැති වුණාට එ‍් අ‍ැයි කියල අ‍ැහුවාම කිව්වෙ තැම්බෙන වතුරට මේ කවරෙ දැම්මාම බඩ ඉරිඟු වැඩිපුර රස වෙනවලු. අනික තැම්බුණාම මේ කවරෙ ඉරෙන්නෙත් නෑලු. පොලිතින් බෑග් එකකට රුපියල් 5 ක් දෙන්න ඕන නිසා මේ ක්‍රමේ ලේසියිලු.
මේක කන ගමන් මට කල්පනා වුණේ මේ පොඩි එකා මොන තරම් මොළේ තියෙන එකෙක්ද කියලා. කියපු කතාවෙ අ‍ැත්තක් තියෙනවා, අ‍ැත්තටම එ‍් බඩ ඉරිඟු සෑහෙන රසයි. කවරෙ තම්බපු නිසාද නම් දන් නෑ. හැබැයි රස වැඩි වෙන කතාව පැත්තකින්ම තිබ්බත් මේ ක්‍රමය මොන තරම් සාර්ථකද බලන්න.
ගොඩක් වෙලාවට බඩ ඉරිඟු තම්බන අය කරන්නෙ මේ කවරෙ සම්පූර්ණ ගලවලා පැත්තකට දාලා ඉරිඟු ටික විතරක් තම්බන එක. ඊට පස්සෙ පොලිතින් බෑග්වල දාල විකුණනවා. බඩ ඉරිඟු තැම්බුණාම තියෙන 80°-90°C උෂ්ණත්වය එක්ක එ‍්ක හිතකරද කියන එකත් ලොකු ප්‍රශ්නයක්. අනික අ‍ැත්තටම බෑග් එකට පිටින් අ‍ැල්ලුවත් අත පිච්චෙනවා.
මේ කවරෙ එ‍් අතින් මොන තරම් සාර්ථකද? වෙනම පොලිතින් බෑග් ඕන නෑ. අතේ දූවිලි තිබුණත් කවරෙන් අල්ලගෙන කන්න පුළුවන්. අනික බඩ ඉරිඟුවලම කවරෙ නිසා ගාණට එ‍්කෙ ප්‍රමාණයට එතිලා තියෙනවා. කිව්වා වගේම තැම්බිලා නිසාද මන්දා කවරෙ මාර හයියයි. උවමනාවෙන් ඉරන්න හැදුවත් ඉරන්න අමාරුයි. අනික දුම් දාන තරම් රස්නෙ ඉරිඟු කරලක් වුණත් මේ කවරෙන් අල්ලද්දි අත පිච්චෙන්නෙ නැහැ. රස්නෙ නිසා පොලිතින් බෑග් එක වගේ අහිතකර දෙයක් එකතු වෙන්නෙත් නෑ කියල ෂුවර්නෙ. අනික කන්න අ‍ාස හිතෙන හොඳ සුවඳක් පවා එනවා. බඩ ඉරිඟුව කාලා ඉවර වෙනකල්ම රස්නෙටත් තියෙනවා.
කාලා ඉවර වුණාට පස්සෙ හිතුණෙ එ‍්කෙ තවත් පැතිකඩ කීපයක් ගැන. එක අතකින් පොඩි එකාට හවසට විසි කරන්න ගොඩක් බඩඉරිඟු කවර ඉතිරි වෙන් නෑ. මොකද වැඩි හරියක් ගන්න අය අතේම යවනවනෙ. අපිට වුණ‍ත් කාලා මේක විසි කරද්දි ඕනම තැනක දාන්න වුණත් බයක් නෑ. පොලිතින් කවරෙක ඔතලා විසි කරොත් එ‍්ක පරිසර හානියක්. ඉරිඟු cob එක කන සතෙක්ට වුණත් පොලිතින් කැවෙන්න පුළුවන්. හැබැයි මේ කවරෙ එහෙම කිසිම බයක් නෑනෙ. 100% ස්වභාවික නිසා පරිසරයට කිසිම හානියක් නැතිව ඉබේම දිරල ගිහින් පොහොරකුත් වෙයි.
මට තියෙන ප්‍රශ්නෙ ලංකාවෙ බඩඉරිඟු තම්බලා විකුණන අයට මේ අදහස අ‍ැවිත් නැත්තෙ අ‍ැයි කියලා. කොටින්ම දුර ගෙනියන කෙනෙක්ට පොලිතින් බෑග් එකක දාලා දෙනකොට වුණත් මෙහෙම මේ කවරෙන් ඔතලා දුන්නා නම් පිච්චෙන එක අවම වෙනවා. පොලිතින් අංශු රස්නෙත් එක්ක බඩ ඉරිඟුවට එකතු වෙන එකත් නවතිනවා.
ඉතින් කවුරු හරි අහම්බෙන් මේක දැක්කා නම් එ‍් ගැනත් හිතන්න. Share කරත් කමක් නෑ, හැබැයි ඊටත් වඩා හොඳම දේ මේක මතක තියාගෙන ගිහින් තමන් බඩ ඉරිඟු කන වෙලාවට විකුණපු මනුස්සයාට මේ කතාව කියන්න. මේකෙන් ප්‍රයෝජනයක් ගන්න හොඳම ක්‍රමය වැඩි දෙනෙක් මේ ක්‍රමයට හුරු කරන එක.
එ‍්ක කන අපිටත් හොඳයි, පරිසරයටත් හොඳයි, විකුණන මනුස්සයාටත් වාසියි.  
ශාන්ත දේවප්‍රිය මුණු පොතට කල වියමනක්

A day in the life

2025-08-10

මුදලිඳු දොන් එලියස් අමරසිරි ජයසිංහ (සීනි මුදියන්සේ )


ගාල්ල දිස්ත්‍රික්කයේ සුන්දර ගිංගඟ නිම්නයට නුදුරුව ගාල්ල මාපලගම පාරට මායිම්ව විශාල ඉඩමක් මධ්‍යයේ සන්සුන් වටපිටාවක බ්‍රිතාන්‍ය යටත් විජිත ගෘහ නිර්මාණ ශෛලියට අනුව ඉදිවූ නිවසක් වෙයි.නාගොඩ වලව්ව ලෙස හැඳින්වෙන මෙම නිවස ඉදිකොට ඇත්තේ දහනවවෙනි සියවසේ අගභාගයේ ලංකාවේ විසු පළමු පන්තියේ කර්මාන්තකරුවෙකු , වැවිලිකරුවෙකු වූ
ගම්වාසීන් විසින් "සීනි මුදියන්සේ " යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ
මුදලිඳු දොන් එලියස් අමරසිරි ජයසිංහ විසිනි. 

2025-08-09

ශිෂ්‍යත්‍ව විභාගය


පහ වසර ශිෂ්‍යත්‍ව විභාගය හෙටයි.
අද අම්මලා දරුවන් සමග බෝධිපූජා පවත්වමින් පන්සල් වල ආශිර්වාද අපේක‍්ෂා වෙනන් පුද පූජා පවත්වති.


උපකාරක පන්තියේ ගුරුතුමන්ලා මුණු පොතේ සමාජ මාධ්‍ය තුල තම දරුවන්ට ඉහලින්ම සමත් වන්න දිරිය පතමින් සටහන් තබති.
පුරා වසර පහක් පාසලේ ගුරුභවතුන් විසින් දරුවා හය වසරට සුදානම් කරන්නට ගත් වෙහෙස බුදුන් දෙවියන් උපකාර පන්ති අත් කර ගෙන සිටී. 


අරුමය ඔවුන් දෙමව්පියනට අමතක වීමයිි.
ඔවුන් පලමු වසරේ සිට අධ්‍යාපන අවධි තුනකට බෙදා ගෙන පළමු නිපුනතා අවධි 48ක් දෙවන නිපුනතා අවධි 50 ක් තුන්වන නිපුනතා අවධි 52 ක් වශයෙන් ප්‍රධාන නිපුනතා අවධි 150 ක් පසු කරමින් හයවන වසරට ඔබේ දරුවා නිර්මාණය කර තිබිනි.


මේ සියල්ල ඉටුවන්නේ දරුවාත් සමග සිටින පන්ති භාර ගුරුවරුන් ගෙනි.
දරුවන් පාසලින් බාහිරව සම්මන්ත්‍රණ , අමතර පන්ති කරා යොමු කිරීමෙන් දැඩි පීඩාවට පත්වෙන බවක් සිතන දෙමව්පියන් සිටීදැයි සැක සහිතයි.


අධ්‍යාපනඥයන් කියනා හැටියට සංයුක්ත වයසේ සිටින මෙම සිසුන් දැඩි මානසික පීඩනයකට පත් කිරීමෙන් දරුවන් සහ ඔවුන්ගේ මනස අඩපනවේ.
අධ්‍යාපන ක්‍රියාවලියේ මුලික මනෝ විද්‍යාත්මක පදනම ක්‍රියා විරහිත කර දරුවා කායික මානසික චිත්තවේදී සහ සමාජීය වශයෙන් සමබර පෞරුෂයක් ඇති කරනවා වෙනුවට අසංවේදී දැඩි තරගකාරිත්වයෙන් යුතු මානසික අවපීඩනයට ලක්වු දරවෙකු නිර්මාණය කිරීමට දෙමව්පියන් නොදැනුවත් කමින් දරුවන් පීඩාවට පත් කිරීමට මග පාදා දෙනු ලැබේ. 


පසුගිය දිනක කෑගල්ලෙන් වෛද්‍ය පීඨ දරුවෙකු සියදිවි නසාගත් පුවතක් වාර්තා විනි. එතෙක් දුරක් ආ දරුවෙකුට සමබර පෞරුෂයක් නිර්මාණය කර ගැනීමට අවකාශ ලැබී තිබුනේ නම් එවැනක් සිදු නොවන්නට තිබිනි.
මෙවැනි සිද්ධීන් වරින් වර වාර්තා වන්නේ මන්දැයි දෙමව්පියන් විමසිය යුතු කරුනක් යයි සිතමි.






A day in the life

2025-08-08

මරානාසන්න මෙහොතේ.....




බුද්ධ දේශනාවට අනුව සෝතානුදත යනුවෙන් සූත්‍රයක් තිබෙයි. එය ඉතාමත් ම වැදගත් ය. බොහෝ වේලාවට බණ ඇසූ, බවුන් වැඩූ, ධර්මය වඩා, පින්කම් කළ, උපාසක උපාසිකාවන්ට මරණාසන්න මොහොතේ දී විවිධාකාර අනතුරු ඇති විය හැකි යි. ඇතැම් විට මොළයට හානිදායක විය හැකි යි. ඇතැම් විට ස්නායු ආබාධ විය හැකි යි. එවැනි හේතු මත සිහි මුළා වන්නට ඉඩ ඇත.

ඇතැම් විට දුශ්ශීල කෙනෙකුගේ අකුසල් බලවත් ව, සිහි මුළා විය හැකි යි. එලෙස සිහි මුළා වන්නා ඒකාන්තයෙන් අපායගාමී වෙයි. බුදුන් වහන්සේ ශීල විපත්ති අතර පෙන්වා වදාළේ, දුශ්ශීල වූවෝ සිහි මුළාව මරණින් මතු අපායගාමී වන බවයි. එය දුශ්ශීලයාට ලැබෙන විපාකය යි. 

නමුත්, කෙනෙක් හොඳින් සිල් රැක, දන් දී භාවනා කළ ද, ධර්මය දියුණු කළ ද , එවැන්නෙකුට වුව ද දුශ්ශීල ව සිහි මුළා විය හැකි යි. ඇතැම් විට අනතුරකින් ස්නායු ආබාධයක් ඇති විය හැකි යි. ඇතැම් විට මොළයේ ශල්‍ය කර්මයක් නිසා ක්‍රමයෙක් සිහි කල්පනාව ටිකෙන් ටික අඩු වී සිහිය නොඑන්නට ද පුළුවනි. 

ඇතැම් විට පාකින්සන් , කෝමා වැනි රෝගයන් නිසා මොළයේ ස්නායු මැරී යන්නට පුළුවනි. ඇතැමුන් හදිසි අනතුරු නිසා අවුරුදු ගණනාවක් දිවි ගෙවන්නේ තාක්ෂණික මෙවලම් තුළ යි. මේවා කායිකව සතර ධාතූන්ගෙන් හටගත් මේ ශරීරයට සෑදිය හැකි අනතුරු වෙයි. මෙවැනි ලෙඩ රෝග නිසා, බණ භාවනා කළ කෙනෙකු පවා සිහි මුළා විය හැකි යි. එවිට කෙනෙකුට මෙසේ සිතෙන්නට පුළුවනි. අනේ! එසේ වූ විට අප කළ පින්කම් එකක්වත් වැඩකට නැති වෙයි ද? සිහි මුළා ව මිය ගියොත් වැඩක් නෑ නේද? යනුවෙනි. 

 

බුදුන් වහන්සේ පෙන්වා දුන් සෝතානුදත සූත්‍රයට අනුව, පුද්ගලයන් සතර දෙනෙකු පිළිබඳ ව දිගු විස්තරයෙහි පළමුවැන්නා ගැන මෙසේ සඳහන් වෙයි. ‘මහණෙනි, එක් පුද්ගලයෙක් සිටී. ඔහු නවාංග ශාස්තෘ වශයෙන් මේ ධර්මයට අනුව සුත්ත(සූත්‍ර දේශනා), ග්‍යෙය( ගාථා සහිත සූත්‍ර දේශනා), ව්‍යෙයාකරණ(දේශනා), ගාථා, ඉතිවුත්ථක, ජාතක , අද්භූත ධම්ම (බුදුන් වහන්සේගේ හැකියාවන් පිළිබඳ දේශනා කළ දේ), වේදල්ල(රහතන් වහන්සේ අතර ධම්ම සාකච්ඡා), උදාන (බුදු මුවින් පළ කරන උදාන වාක්‍ය, රහතුන්ගේ උදාන- ථෙර ථේරී ගාථා) යනුවෙන් සඳහන් දේ නවාංග ශාස්තෘ ශාසනය යි. එනම්, අසූ හාරදහසක ධර්මස්ඛන්ධය යි. මේවා කොටස් කිහිපයකට දේශනාවල ශෛලිය අනුව බෙදා වෙන්කර ඇත. සමහර දේ පද සතරකින් කළ ගාථාවන් වෙයි. ඇතැම් ඒවා විස්තර ඇති ගාථා වෙයි. දීර්ඝ දේශනා, කෙටි දේශනා මඟින් නිතර බුදුන් වහන්සේගේ බණ ශ්‍රද්ධාවෙන් අසා, ඒවා මතක තබා ගන්නා සුතා (අසන) දතා(ඇසූ ධර්මය ධාරණය කර ගැනීම), වචසාපරිචිතා (නිබඳව ම වදනින් පුරුදු කරන), මනසානු පෙක්ඛිතා ( නිබඳව ම ධර්මය නුවණින් විමසන- යෝනිසෝමනසිකාරය) දිට්ඨියා සුප්පටිවිද්ධා( තමන්ගේ දෘෂ්ටිය ධර්මානුකූලව විවර වූ පැත්තට යොමු කරගන්නා දැක්ම) මෙලෙස බුදුන් වහන්සේ ගේ දේශනා අතර සූත්‍ර , අභිධර්ම, විනය දේශනා අසූ හාරදහසක ධර්මස්ඛන්ධය ගැන බණ අසා සූත්‍ර හෝ ගාථා ලෙසින් ඇති කරගන්නා දහම් දැනුම හොඳින් මතක තබාගෙන ධාරණය කරන , ධර්මය වචනයේ පුරුදු පුහුණු කරමින් භාවනා වශයෙන් වඩන, නුවණින් විමසන, ධර්මය කාලයක් පුරුදු පුහුණු කළ අයෙක් සිටිනවා. මොහු ගැන බුදුන් වහන්සේ වදාළේ, හොඳින් ධර්මය වඩන්නෙක් යම් හේතුවකින් සිහි මුළාව මිය ගියොත් , දුශ්ශීල නොවී ,ඇතැම් විට අනතුරකින් මොළයට හානි ව හෝ මොළයේ ශල්‍ය කර්මයකින් ස්නායු ආබාධයක් ඇති ව සිහි මුළාව මිය යා හැකි යි. 

ඇතැම් විට තාක්ෂණික මෙවලම් ආධාරයෙන් හෝ සිට මරණයට පත් විය හැකියි. බුදුන් වහන්සේ පෙන්වා වදාළේ සිහි මුළා ව මිය ගියේ නම්, මරණාසන්න මොහොතේ දේවතානුස්සතියක් වැඩීමෙන් හෝ , කළ පිනක් සිහි කරගැනීමෙන් හෝ , අසල සිටින කෙනෙකු මරණාසන්න පුද්ගලයාගේ කනට කර, අම්මාට මතක ද? මෙවැනි පින්කමක් කළා. ඒ නිසා දෙව් ලොව සිත පිහිටුවා ගන්න. , තාත්තා මෙවැනි පින්කමක් කළා නේද? ඒ නිසා දෙව් ලොව සිත පිහිටුවා ගන්නැ’යි ආවර්ජනය කළ ද තමන්ට සිහි නුවණ උපදවා ගත නො හැකිව , සිහි මුළාව මිය යන්නට පුළුවනි. 

බුදුන් වහන්සේ වදාළේ ‘මහණෙනි,ඔහු ජීවත් ව සිටියදී හොඳින් බණ අසා ධර්මය මතක තබාගෙන බණ භාවනා කර , රැස්කරගත් පින නිසා අන්‍යතර දේව නිකායක උපත ලබන බවයි. එනම්, තමන්ගේ පිනට අනුව කොතැනක හෝ දේව කොටසක උපත ලැබීමට භාග්‍යවත් වන බවයි. ඇතැම් විට භූමාටු දෙවියන් අතරට ඇදී යන්නට වුව ද පුළුවනි. ඇතැම් විට චාතුර්මහා රාජික දිව්‍ය කොට්ඨාශයක උපත ලබන්නට පුළුවනි. එසේ නැතිනම් අපමණ පිනක් මරණ මංචකයේ දී මතු වුණොත් , ජීවත්ව සිටිය දී කළ පිනට අනුව තව්තිසාවේ, හෝ තුසිත දෙව් ලොව හෝ කොහේ හෝ දිව්‍ය කොට්ඨාශයකට ඇදී යයි. බුදුන් වහන්සේ වදාළේ, ‘මහණෙනි, සිහියෙන් මිය ගොස් දෙව් ලොව උපත ලබන දේවතාවාට උපත ලැබූ මොහොතේ සිට ම තමන් කොහේ සිට ආවා ද? , මනු ලොව කෙබඳු පින්කමක් කළා ද? , තමන් මිය යද්දී මතුවූ පින කුමක් ද? මේ දිව්‍ය සැප සම්පත් ලැබුණේ කෙබඳු පිනක් නිසා ද? එලෙස පෙර දිවියේ කළ සියල්ල, සිහියෙන් මළ කෙනාට මතකයට නැඟෙයි. 

 

නමුත් මේ ඇත්තා මිය ගියේ කාලයක සිට සිහි කල්පනාව නොමැතිව වුව ද, කළ පින නිසා ම දිව්‍ය ලෝකයකට ඇදී යයි. බුදුන් වහන්සේ වදාළේ මේ තැනැත්තා දෙව් ලොව පහළ වුව ද පෙර මතකය නොමැති බවයි. තමන් පෙර කොහේ සිටියා ද? කෙබඳු පින්කම් කළාදැ’යි මතකයට නො නැගෙයි, තමන් දෙව් ලොව පහළව පෙර පින නිසා විශාල දිව්‍ය විමාන, දිව්‍ය සැප සම්පත් පහළ වෙයි. මේ නිසා විනෝදයෙන් සතුටෙන් නන්දන උයනට පැමිණ, දිව්‍ය සැපයට ඇලුම් කරමින් කාලයක් ජීවත් වෙයි. බුදුන් වහන්සේ වදාළේ ‘මහණෙනි, කාලයක් යද්දී ඒ පින්වතාට ටිකෙන් ටික පරණ මතකය ආවර්ජනය වන බව යි. 

 

මා පෙර මනු ලොව සිටියා නේද? පෙර මෙවැනි පින්කම් කළා නේද? මා විනෝදයෙන් මෙලෙස කාලය ගත කිරීම සුදුසු නැහැ නේද? අප්‍රමාදී ව ධර්මය වැඩිය යුතු‘යි, පංචකාමයන් අනිත්‍ය නේද? මා පෙර දිනයක මේවා සිහිකරගෙන තිබෙනවා නේදැ’යි තමන්ට ටික ටික පෙර මතකය කාලයක් යද්දී මතු වෙන්නට ගනියි. බුදුන් වහන්සේ වදාළේ, පෙර මතකය මතු වෙද්දී ඒ පුද්ගලයා දිව්‍ය කාමයන්ට ඇලී ගැලී සතුටෙන් කාලය ගත නොකර, අප්‍රමාදී ව ඉක්මනින් ම මාර්ග ඵල ලාභී දෙවිවරු සොයා යන බව යි. සුධර්මා දිව්‍ය සභාවට යයි, පෝය දිනට දෙවිවරු සමඟ ධර්ම සාකච්ඡාවට වඩියි, එහි දී බණ අසා, කල්‍යාණ මිත්‍ර දෙවි දේවතාවුන් සමඟ එකතුව නිවන් මඟ ගමන් කරයි. 

 

බුද්ධ දේශනාවට අනුව මනු ලොව ධර්මය වඩා සිහි මුළාව මිය ගිය ද, දෙව් ලොව උපත ලබා, රැකවරණය සකසාගෙන ධර්ම මාර්ගයට පිවිසෙන දේවතාවා සෝතානුදත සූත්‍රයට අනුව පළමු පින්වතා වෙයි.


 

ගලිගමුවේ ඤාණදීප හිමි.

උපුටා ගැනීමකි .


A day in the life

2025-08-06

Migraine




Depression / Migraine
කියන්නෙම විඳවීමක්
Migraine කිව්වාම සමහර මිනිස්සු දන්නෙවත් නෑ,

Migraine කියන්නෙම මහා ලොකු විඳවීමක්.. ඒක විඳින මනුස්සයා විතරයි දන්නේ ඒකේ අමාරුව.. මම අත්දැකීමෙන් දන්නවා Depression / Migraine හැදුනාම තමන්ට තමන්ව Control නෑ, සමහර සිදුවීම් එයාලගෙ මතකයෙත් නෑ.. තමන්වම මරාගන්න තරම් තරහ යනවා.. අව්වේ යන්න බෑ.. ලොකු සද්දයක් අහන්න බෑ.. හැමෝගෙන්ම ඈත්වෙලා තනියම ඉන්න බලනවා.. සමහර වෙලාවට කාටවත් හිතේ තියෙන කිසිම දෙයක් කියන්නේ නැතුව හැමදේම තද කරන් ඉන්නවා..
පුදුම දුකක් ඒ මිනිස්සු විඳින්නේ.....
සෙව්වන්දි කරුණාතිලක මුණු පොතට ලියලා තිබුනා.
මට මිග්රේන් හැදිලා මාර දුකක් වින්දා. මේ ටික කියවගෙන යන කොට සිහිපත් වුනේ මට වුන වින්නැහිය.
මම ඒ කාලේ වැඩ කලේ WALL TILE කර්මාන්තශාලාවක. වැඩ මුර තුනයි. බෙහෝමයක් වෙලාවට මම 6-2 සහ 2-10 වැඩ මුර සේවයේ යෙදෙනවා.
ගෙදර ඉදන් යන්න එන්න පැය දෙකක් ඕනි. ඒ කාලේ ගමනා ගමන පහසුකම් බොහෝම අඩුයි. ඉතින් හරි නින්දක් නැහැ. ඒ වගේම නිදා ගන්න කාල සටහනති සතියෙන් සතියට වෙනස් වෙනවා.
මේ දුෂ්කරතා අතරට කළමනකරනයේ හැසිරීමත් මට රුස්සන්නේ නැති පරිසරයක් නිර්මාණය වෙලා.ෙ
රැකියාවෙන් ඉවත් වෙන්න ඕන වුනත් එක පාරටම එහෙම තීරණයකට එන්න මට බැහැ. 
ජීවිතය අරගලයක.
මේ අතොරක් නැති පීඩනයන් මැද්දේ හිසේ කැක්කුමක් ඇතිවුනා.
උදේ පාන්දර හැදෙන වේදනාව කාලයත් සමග පැය විසි හතරේ වැඩ මුරයක් වගේ දවස පුරාම ........
වැඩට යන එක නතරවුනා..
ඇග ඉදිමෙන්න පටන් ගත්තා.....
ඇවිද ගන්නත් බැරි තරමට මහන්සියි.
මුල් කාලේ ඉදන්ම බටහිර ප්‍රතිකාර කලා අඩුවක් නැහැ. විශේෂඥ වෛද්‍යවරුන් කරා යොමු වුනා.
මේ හැම දෙනාම භාවිතා කරලා තිබුනේ වේදනාව සමනය කරන සහ විවේක ගන්වන ඖෂධ සමග විටමින් බී හෝ විටමින් බී සංයෝග.
අන්තිමේදී දේශීය වෛද්‍යවරයෙකුට යොමු වුනා.
එතුමන්ගේ ප්‍රතිකාර වලින් මා සුවපත් වුනා. තෙල් සහිත ආහාර වලින් වැලකෙන්න උපදෙස් ලැබුනා
මේ වන විට අසනීප නිසා රැකියාවෙන් ඉවත් වෙලා‍.
කත් සහනයක් වෙන්න ඇති.
ඔන්න මිග්රේන් වල තරම.

සෙව්වන්දි තවදුරටත් මෙහෙම කියනවා.
බෙහෙත් දුන්න පලියට ඒ මිනිස්සුන්ව හොඳ කරන්න බෑ.. බෙහෙත්වලින් හොඳ කරන්න පුලුවන් දෙයක් නෙවෙයි Depression / Migraine කියන්නේ. Stress එක උපරිම වැඩි උනු ගමන් නහයෙන් ලේ එන්න ගන්න මහ එපාම කරපු ලෙඩක් Depression, Migraine තියෙන මිනිස්සුන්ට ඕනේ මානසික නිදහස, ආදරය... හැබැයි එයාලට නැත්තෙම ඒ දේ.. ඒ මනුස්සයගේ හිත හැදෙන්න වචනයක් කතා කරන්න.. හිත හදන්න.. තනිවෙලා නෑ කියලා දැනෙන්න අරින්න..
ඒ මනුස්සයා නිකන්ම හොඳ වෙයි..
එහෙමත් බැරි නම් ඒ කෙනාට මානසික වදයක් වෙන්නැතුව ඔයා එයාගෙන් අයින් වෙලා ඉන්න..
එයාලට ඕනේ මානසික නිදහස, ආදරය.. ඒ වගේම තමන්ට කෙනෙක් ඉන්නවා කියන හැඟීම දෙන්න.. Depression / Migraine තියෙන ගොඩක් මිනිස්සු Overthinking අය..
එයාලා හැමදේම ගැන ගොඩක් හිතනවා.. ඒ වගේ මිනිස්සු කෙනෙක්ට ඇබ්බැහි උනොත් උනාම තමයි නවත්තන්නේ නෑ.. එයාලත් එක්ක කතා කරද්දි හරි පරිස්සමෙන් හිත නොරිද්දා කතා කරන්න..
ඒ හැදෙන ඔලුවේ කැක්කුම සාමාන්‍ය ඔලුවේ කැක්කුමක් නෙවෙයි..
දරාගන්න බැරි ඔලුවෙ කැක්කුමක්.. ඒ වෙලාවට ඔලුව බිත්තියේ ගහගන්න හිතෙන තරමට යන කේන්තිය දරාගන්න බෑ.. ඔයාලත් තවත් ඒ වෙලාවට ඒ කෙනාට කෑගහන්න ගියොත් වෙන්නේ එයාට හැමදේම තවත් එපා වෙන එක..
ඒම නොවෙන්න වග බලාගන්න.. බෙහෙත්වලින් නෙවෙයි හිතින් වගේම ඔයාලගෙ ආදරණීය වචනෙකින් සනීප කරන්න බලන්න.. බෙහෙත් කරන්න,
හැබැයි උපරිම ආදරේ දෙන්න එතකොට බෙහෙත්වලට කලින් එයාව ඉක්මනින් හොඳ වෙයි..
සෙව්වන්දි කරුනාතිලක සමග.
A day in the life

2025-08-05

ඇහැලේපොළ මහ නිලමේ .



ඇහැලේපොළ නිලමේ කියන්නේ මහනුවර රාජධානියේ අවසන් කාලයේ සිටි විවාදාපන්න චරිතයක්. සමහර ඉතිහාසඥයන් ඔහුට චෝදනා කරන්නේ ලංකාව ඉංග්‍රීසින්ට පාවාදීමට ඔහු මුල් වූ බව යි. ඇහැලේපොළ චරිතයේ නොදන්නා පැතිකඩ කිහිපයක් විමසා බැලීමට ගත් උත්සාහයක් තමයි මේ.
මාතලේ දිස්ත්‍රික්කයේ ‘ඇහැලේපොළ ගමේ උපන් ඇහැලේපොළ මහ නිලමේගේ පියා වූයේ පඩිකාර නිලමේ යි. මව කොස්සින්නේ කුමාරිහාමි වුණා. ඇහැලේපොළ අදිකාරම ක්‍රිස්තු වර්ෂ 1773 දී උපන් බවට ඉතිහාසය සාක්ෂි දරනවා. ඔහු විවාහ වුණේ පසුකාලීනව හට ගත් 1818 ඌවේ කැරැල්ලේ නායකත්වය ගත් කැප්පෙටිපොළගේ දිසාවගේ නැගෙණිය වූ මොනරවිල කුමාරිහාමි සමඟ යි.
පිළිමතලව්වේ අදිකාරම ඔහුගේ මාමා වුණා. මේ නිසා උඩරට රදළයන් අතර ඔහුට ඉහළ තැනක් හිමි වුණා. මධ්‍යම ප්‍රමාණයේ සිරුරකින් හෙබි ඇහැලේපොළ සාමාන්‍ය උසින් යුත් පුද්ගලයෙක් බව ඉංග්‍රීසි වාර්තාවලින් පේනවා . එකල සිරිත අනුව ඔහු කොණ්ඩය පස්සට පීරා බැඳ තිබුණා. මුහුණ වසා සිටි තද පැහැ රැවුළ මනා සේ කොට කර කපා තිබුණා. ඇහැලේපොළ විජේසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර අමරකෝන් නමින් තමයි ඔහුගේ සම්පූර්ණ නම තිබුණේ.
ක්‍රිස්තු වර්ෂ 1806 දී මීගස්තැන්නේ අදිකාරම් මිය යාමෙන් පසුව උඩගම්පහ දිසාවේ හැටියට රජු පත් කළේ ඇහැලේපොළ නිලමේ යි. ඇහැලේපොළ දෙවැනි වුණේ මහ අදිකාරම තනතුර දැරූ පිළිමතලාවේ නිලමේට පමණ යි. පිළිමතලව්වේ රාජද්‍රෝහී විම නිසා මරණයට පත් කිරීමෙන් පසු ශ්‍රි වික්‍රම රාජසිංහ රජු මහා අදිකාරම් ධුරයට පත් කළේ ඇහැලේපොළ යි. ඒ ක්‍රිස්තු වර්ෂ 1812 දී යි. එම පදවිය ලැබීමෙන් පසු ඔහුගේ නමට දීර්ඝ අභිධානයක් එක්වුණා. එම අභිධානය ඇහැළේපොළ සන්නසේ මෙසේ සඳහන්ව තිබෙනවා:
පුවර දනකර තෙජතෙජහිරාම උතුම් ශ්‍රී වික්‍රම රාජසිංහ අප දෙව්රාජෝත්තමයාණන් වහන්සේ සකල නාගරාග සම්පූර්ණ ​සෙංඛඬ ශෛලාභිධාන ශ්‍රී වර්ධන පුරයෙහි නවරත්න වර වීර රාජකීය වදාරණ සමයෙහි ශ්‍රී ලංකාධිපති එම දෙවි මහා රාජෝත්තමයාණන් වහන්සේ අග්‍රාමාත්‍ය පද ප්‍රාප්ත වූ හෙවත් රන් ආවුද මංඩපේ ලේකම් ගිලීමලේ බඹරබොටුව සාරාමරුනින්ද විද‌න විහාර දේවාල ගබඩාගම් හා සබරගමු දිශාව ඇතුළුව මහනුවර අධිකාරම් නිළය කරවන විසුඬ වරවංශාභිජාත ඇහැලේපොළ විජසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර සෙනෙවිරත්න අමරකෝන් පණ්ඩිත මුදියන්සේ …
මෙම වර්ණනාත්මක හේතු පාඨයෙන් පැහැදිලි වන්නේ ඇහැලේපොළ නිලමේ මහා අදිකාරම් ධුරයට පත් කරන්නට තරම් දැඩි විශ්වාසයක් රජු තුළ පැවැති බව යි. නැතහොත් සියලු විශ්වාසවන්තයන් රජුගෙන් ඉවත් වෙද්දී ඇහැලේපොළට ප්‍රධාන තනතුර බාර දී ඔහුගේ හිතවත්කම වැඩි කර ගැනීමට රජු සිතුවා වන්නටත් පුළුවන්. උඩරට සිංහාසනය නායක්කාර් රජවරුන් සතු ව පැවැතීම ගැන රදළවරුන් කලක් සිට පසුවුණේ නොකැමැත්තෙන්. ඇහැලේපොළ අදිකාරම්ගේ අදිටන වුණේ ද යළිත් උඩරට සිහසුන සිංහලයන් අතට පමුණුවා ගැනීමයි.
ඇහැලේපොළ අදිකාරම්ගේ දෙවෙනි අදිකාරම ලෙස පත්න සිටියේ උනම්බුව දිසාව යි. ක්‍රිස්තු වර්ෂ 1812 දී උනම්බුව මිය යෑමෙන් පසුව ඒ තනතුරට පත් කළේ අහැලේපොළගේ පරම හතුරකු වූ සත් කෝරළේ දිසාපති ධුරය හෙබ වූ මොල්ලිගොඩ යි. එය ඇහැලේපොළ අසතුටු කළ සිද්ධියක් බව නිසැක යි.
රජු, ඇහැලේපොළ අදිකාරම් සබරගමු දිසාව පාලනයට පාලනයටඉන් පසු පිටත් කළා. සබරගමුව ඊට පෙර පැවතියේ හිටපු මහඅදිකාරම් පිළිමතලව්වේ යටතේ යි. ඇහැලේපොළ සබරගමුවට පත්කර එවීමට හේතු වූ විවිධ කරුණු පැවසුණත් ජනප්‍රවාදයක එන්නේ ඇහැලේපොළ කුමාරිහාමිට හිත ගිය රජු ඇහැලේපොළ සබරගමුවට පිටත් කර යැවූ බව යි. කුමාරිහාමි අනියම් ඇසුරට රජු කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවත් කියවෙනවා.
සබරගමුවට පැමිණි ඇහැලේපොළ දිසාව පළාතේ කෘෂිකාර්මික කටයුතු දියුණු කරමින් සාමාන්‍ය ජනතාවගේ ශුභ සිද්ධිය උදෙසා කටයුතු රාශියක් කළා. ඔහු තාවකාලික ව පදිංචි ව සිටියේ රත්නපුර බටුගෙදර මුත්තෙට්ටුවෙගම යි. එය තල්අතු හෙවිල්ලූ තාවකාලික නවාතැනක් වුණා. ඒ නවාතැන අසල කොඩිතුවක්කු හතක් පිහිටුවා තිබුණු බවත් නිතිපතා මිනිසුන් 350ක් එහි ගැවසුණු බවත් ජෝන් ඩොයිලි සිය දිනපොතේ සඳහන් කරනවා. මේ අතර එම නවාතැන පිහිටි වත්තේ කම්හල් තනන ලෙසත් ඇහැලේපොළ උපදෙස් ලබාදී තිබෙනවා. ඉංග්‍රීසින් සිතා ඇත්තේ මේ කම්හල් තනන්නේ ආයුධ රැස්කිරීමට බව යි.
ඓතිහාසික ලේඛන අනුව, බටුගෙදරගම සබරගමුවේ දිසාපතිට අතිරේක ආදායමක් ලබා ගැනීම සඳහා නිල බලයෙන් ම අයත් නින්දගමක් වුණා. බටුගෙදර ග්‍රාමයේ අංගම්මන පිහිටි මිහිටිය කන්දේ පහත්බිමේ සිට අඩි 800 ක් ඉහළින් වැවක් තනා තිබෙනවා. එම වැවේ සිට ඇළකින් ජලය ගෙනවිත් ප්‍රදේශයේ අක්කර සිය දහස් ගණනක් වගා කරවූ බවත් පැවසෙනවා.
එම වැව් ජලය අදත් රත්නපුර ජනතාව ප්‍රයෝජනයට ලබාගන්නවා. තිරිවානාකැටිය බටුගෙදර ඔස්සේ ගලායන වේල්ල අදත් හඳුන්වන්නේ ”ඇහැලේපොළ වේල්ල’’ කියලයි. බටුගෙදර ගම්මානයේ සිටින අතර ඔහු අංගම්මන රජමහා විහාරයේ ගොඩනැඟිලි ඉදිකරවා එයට ඉඩම් ද පූජා කර තිබෙනවා.
වර්තමානයේ රත්නපුර පුරාවිද්‍යා කාර්යාලය පවත්වාගෙන යන දෙමහල් ගොඩනැඟිල්ල (ෆර්ගසන් විදුහලට යාබදව ඇති) ඇහැලේපොළ තම හිතගිය කාන්තාවන් ඇසුරු කිරීමට අන්තඃපුරයක් ලෙස භාවිත කළ බව පැවසෙනවා. ඉතා අලංකාර මේ ගොඩනැඟිල්ලේ ඉහළ මාලය දැව සොල්දරයකින් යුක්ත යි. සිංහල වාස්තු විද්‍යාව මෙන් ම ඉංග්‍රීසි වාස්තු විද්‍යා ලක්ෂණත් මෙහි දැකග හැකි යි.
මෙම ගොඩනැඟිල්ල පුරාවිද්‍යා ස්මාරකයක් ලෙසත් ප්‍රකාශ කර තිබෙනවා. සතුරු උවදුරු අවස්ථාවක දී පලා යාමට මේ වලව්වේ සිට කළුගඟට ආරක්ෂිත උමඟක් ඉදිකර තිබූ බවත් පැවසෙනවා. පසුගිය කාලයේ දී ඒඅසල ගොඩනැඟිලිවලට ගෙපල් කැපූ අවස්ථාවලදී උමං මාර්ගයක සලකුණු හමුව තිබීමෙන් එහි යම්කිසි සත්‍යතාවක් ඇති බව පේනවා.
රත්නපුර ජාතික කෞතුකාගාරය පිහිටුවා ඇති ඓතිහාසික ‘‘ඇහැලේපොළ වලව්ව’’ ඇහැලේපොළ අදිකාරම් බටුගෙදර නවාතැන් ගෙන සිටි කාලයේ තැනවූ බව ජනප්‍රවාදයේ පැවසෙනවා. ඊට පෙර සබරගමුව පාලනය කළ පිළිමතලව්වේ මහා අදිකාරම් එම ගොඩනැගිල්ල නිල කටයුතුවලට තැනවූ බවටත් විශ්වාසයක් පවතිනවා.
සබරගමුවේ සිටින අතර ඇහැලේපොළ දිසාව කන්ද උඩරට රාජ්‍යය නායක්කර් වංශිකයන්ගෙන් බේරා ගැනීමට ඉංග්‍රීසින් සමඟ සම්බන්ධතා ගොඩ නගමින් සාකච්ඡා කිරීම ආරම්භ කළා. ඉංග්‍රීසි නියෝජිත ජෝන් ඩොයිලි ඒ අතරින් ප්‍රධාන යි.
ඩොයිලිගේ ඔත්තුකරුවකු වන වත්තල අප්පු ඇහැලේපොළ වර්ෂ 1811 දී ‍ හමු වෙනවා. ඉන් පසු ඩොයිලි සහ ඇහැලේපොළ අතර හිතවත්කමක් ගොඩ නැඟෙනවා. ඇහැලේපොළ සබරගමුවේ රන්කරුවන් ලවා ඔටුන්නක් සහ රන් කඩුවක් තැනවීමට පටන් ගත් අතර ඔහු පැවසුවේ ඒවා හදන්නේ රජුට තෑගි කිරීමට බව යි. නමුත් රජුට එය ආරංචි වී තිබුණේ රජවීම සඳහා ඇහැලේපොළ කකුධ භාණ්ඩ තනවන බවයි. සතුරන්, ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට කේලාම් කියමින් ඇහැලේපොළ අමාරුවේ දමා ඒ තනතුර ලබා ගැනීමට උත්සාහ කළ අතර මොල්ලිගොඩ නිලමේ ඒ අතර මුල් තැනක සිටි රදළයෙක්.
1813 හා 1814 අවුරුදු ගෙවී ගියේ ඇහැලේපොළ හා රජු අතර අසමගිය තවත් වර්ධනය කරමින්. උඩරට රදලයන් රාශියක් ද රජුගෙන් ඒ වන විට ඈත්වෙමින් සිටියා. සබරගමුවේ ඇත්ගාල් පැවැත්වීමේ නියෝගය කඩ කිරීම, ඇලපාත නිලමේගේ දේපල ආරාවුල, ඉංග්‍රීසින් සමඟ රහසේ සම්බන්ධතා පැවැත්වීම වැනි කරුණු රාශියක් නිසා උරණ වූ රජු ඇහැලේපොළ අදිකාරම්ට රජ වාසලට එන ලෙස හසුන් පතක් එව්වා. ඒ වනවිට බදු බර නිසා සබරගමුවේ ජනතාව අතර නොසන්සුන් බවක් හටගෙන තිබුණා. තමා සුදානම් කළ තුටු පඬුරු නිමවා නොතිබු නිසාත් ඇහැලේපොළ දිසාව රජුට තල්පතක් යවමින් රජු හමුවීමට කල් ඉල්ලා සිටියා.
මේ තල්පත රැගෙන යන පණිවිඩකරු ගම්පොළ දී මොල්ලිගොඩ දිසාවට හමුවුණා. ඔහු කළේ එම හසුන්පත වෙනස් කර රජු කෝපවන පරිදි නැවත ලියා පණිවිඩකරු අත යැවීම යි. එය කියවූ රජුගේ කෝපය ඉහළ ගියා. මේ අතර සබරගමුමේ දිසාව තනතුරින් ඇහැලේපොළ ඉවත් කර මොල්ලිගොඩ දිසාව පත් කළ බව ඇහැලේපොළට ආරංචි වුණා.
එක්නැලිගොඩ නිලමේ ඇහැලේපොළගේ හසුන්පතක් රැගෙන ඩොයිලි 1814 දී හමුවුණා. රජුගේ අකටයුතුකම් නිසා වැසියන් විඳින පීඩාව ගැන යි එහි සඳහන් වුණේ. ඇහැලේපොළ තීරණය කර තිබුණේ රජු යළිත් තමන් කැඳවුවහොත් මහනුවරට නොයාමට යි. ඉංග්‍රිසින්ගේ උදව්වෙන් උඩරට රජු වීමේ අදහස මේ වනවිට ඔහු තුළ මතුවෙමින් පැවතුණා. ඇහැලේපොළ කටයුතු සංවිධානය කරමින් සිටියේ 1814 සිංහල අවුරුද්ද පසු වූ විගස ම රජු පන්නා දැමීමේ කැරැල්ල සබරගමුවෙන් ආරම්භ කර උඩරටට ව්‍යාප්ත කිරීමට යි.
එම කැරැල්ල සබරගමුවෙන් ආරම්භ කළ අතර ඒ සඳහා ඇහැලේපොළට පක්ෂපාතී සිය ගණනක් එක්වුණත් කැරැල්ල උඩරටට ව්‍යාප්ත කිරීමට තරම් ප්‍රමාණවත් මිනිසුන් සහ තුවක්කු තිබුණේ නැහැ. බලාපොරොත්තු වූ සහාය ඉංග්‍රීසින්ගෙන් ලැබුණෙත් නැහැ. මේ නිසා රජුගේ නියෝග මත සබරගමුවට පැමිණි මොල්ලිගොඩ පහසුවෙන් කැරැල්ල මර්දනය කළා. සටනේ දී අල්ලා ගත් සබරගමුවේ වැසියන් 47 දෙනෙක් මහනුවරට රැගෙන ගොස් උල හිඳුවා මරණයට පත් කර තිබෙනවා.
මොල්ලිගොඩගේ ප්‍රධාන අරමුණ වුණේ ඇහැලේපොළ අත්අඩංගුවට ගැනීම යි.
නමුත් එය සාර්ථක වුණේ නැහැ. වෙස්වලා ගත් ඇහැලේපොළ අදිකාරම රත්නපුර සිට අඟුලක නැගී කළුගඟ ඔස්සේ යාත්‍රා කොට රයිගම් කෝරළයේ ගල්පාත තොටුපළෙන් ගොඩබැස බේරී පලා ගොස් තිබෙනවා. ඉංග්‍රීසි පාලන පෙදෙසට ගිය ඔහුට ඉංග්‍රීසින්ගේ රැකවරණය ලැබෙනවා. පසුව ඉංග්‍රීසි ආණ්ඩුකාර බ්‍රවුන්රිග් ඔහු හමු වී රැකරවණය ලබාදීමට පොරොන්දු වුණා.
කෝපයට පත් රජු කළේ ඇහැලේපොළ කුමාරිහාමි සහ දරු තිදෙනා ම්ලේච්ඡ ලෙස මරණ දණ්ඩනයට පත් කිරීමට යි. නුවර කලාවියේ දිසාවේ තනතුර දැරූ පුස්සැල්ලේ නිලමේ ද ඇහැලේපොළ සමඟ ලිපි ගනුදෙනු කළ බවට චෝදනා කරමින් පවුල ද දරුවන් ද සමඟ මරා දැමුණා.


ඉංග්‍රීසින් 1815 දී උඩරට යටත්කර ගත් පසුවත් රජවීමේ සිහිනයක සිටි ඇහැලේපොළ පසුව ඉංග්‍රීසින්ගේ සැකයට භාජනය වීම නිසා මුරුසි දිවයිනට පිටුවහල් කළා. ඔහු මියගියේ 1829 දි යි.


 

-කුසුම්සිරි විජයවර්ධන මහතා roar media වෙබ් අඩවියට ලියූ ලිපියක් ඇසුරින්. 
A day in the life

2025-08-04

මම එන්නේ නෑ දාමහන යන්න


අගෝස්තු හතරවෙනිදා.
"ලෙඩ,රෝග යනු වැරදි ලෙස ජීවත් වෙනවාට පරිසරයෙන් ලැබෙන දඩුවමකි "
යැයි කියමනක් සහෝදර කමල් පී අලහකොන් පසුගිය දිනක ලියා තිබිනි.
මා තරම් වියපත් නුවද  ඔහුටත් හැට පැන ඇත.
ලෙඩ දුකට පත්වු පසු තරුන වියේ ඔරොත්තු දෙන තරමින් දැන් ඔරොත්තු දෙන්නේ නැත.
අස්ථියක් බිදුන හොත් පැටි වියේදී සතියක දෙකදී යා වුනත් දැන් මාස හතරක් පහක් බලා ගෙන සිටිය යුතුය.
සෙම්ප්‍රතිශ්‍යාවක් වුනත් බෙහෙතක් එහෙතක් කලත් සැනකින් සුවපත් වෙන්නේ නැත.
කොත්තමල්ලි ඉගුරු ටිකක් එක් කර  තම්බා පෙරා දුන් එක් කෝප්පයක් පානය කර සුවපත්වු කාලය ඉක්මවා ගොසින් දැන් නතර වෙන්නේ වෛද්‍යවරයෙකුගේ පෙති ගොඩක් ගිල දැමු පසුය.
කාලය එතරම් දුරට ගලා ගොස් ඇත.
මේ රඹුටන් වාරයයි.
වෙන අවුරුදු වලට වඩා පලදාව සරුසාරය.
ගස් රතුපාටින් , කහපාටින් වෛවරණ වෙලා විසිතුරුය.
වැඩි දියුණු කල වර්ග පැණි බේරෙන ලොද ගැලවෙන ප්‍රනීත රස කන්න කන්න තවත් කන්න හිතෙන සුළුය.
ටික දිනක සිට හිසේ කැක්කුම , හිසේ බරගතිය ,පෙනීම අවුල් සහගතවීමෙන් පටන් ගත් විප්ලවය ......
සිරුර සමබර නොවීම , අධික නිදිමත  නිසා වෛද්‍යවරයෙක් කර යොමු වීම දක්වා විජයාග්‍රාහී ගමනකට මග පෙන්වීය.
දියවැඩියාව පාලනය කරගත්තේ පෙති ගිල දැමීමෙනි.සීනි මට්ටම සාමාන්‍ය ලෙස පාලනය කරමින් සිටියෙමි.
දැන් ප්‍රමානය ඉක්මවා දර්ශකය රජ ගමනක් ගොසින්ය.
ඖෂධ මාත්‍රාව වැඩි කරමින් සීනී මට්ටම පාලනයට යටත් කර ගත්විට......
නැවතත් ශරීර කූඩුව බිම්ගතවිය.
රඹුටන් ගස් සිනාවෙන විට මට උරු ජුවල්ය.
මට ආයෙත් කමල් ගේ කතාව මතක් වෙන්නේ ටිකක් වෙනස්වය.
“තමන්ගේ තරම දැනගෙන කන්න බොන්න ඕනෑය.“
පුංචි මුණුපුරා ---පුංචියි කීවත් තුන වසරේ.
උගේ කතා ව්‍යාංගයෙන්ය.
“ඔන්න නොකිවුවයි කියන්න එපා“
“මම එන්නේ නෑ දාමහන යන්න “
“සීයට තනියෙන් තමයි යන්න වෙන්නේනේ.“
මේ තරවටුව කරන්නේ අපිට  කිට්ටුම ආදාහනාගාරය තිබෙන්නේ දාමහන බැවින්ය.
කමල් කීවේ ....
"තමාගේ තරම දැන ගැනීමට නම් ලෙඩ වෙන්නට ඕනෑ" ය කියා කියාය.
ඒකත් හැබෑව ය.
"මා නැතුව ලෝකය නොකැරකේ " යැයි අප සිතා සිටින්නෙමු.
නැත.

"අප නැතිවද ලෝකය කැරකේ".


A day in the life

2025-08-03

වතුර දාන්න මලක් පිපෙන තරමට




"ළමයෙක් කියන්නේ කුඩා වැඩිහිටියෙක් නොවේ. ඒ නිසා ඔහුට සෙමින්- ටිකෙන් ටික -සහ හොඳින් උගන්වන්න."
– Jean-Jacques Rousseau
ඉස්කෝලෙක ප්‍රින්සිපල්ගේ ඔෆිස් එකේ උඩම තැනක රූසෝ ගෙ මේ වාක්‍යය ගහල තියෙනව දැක්කා. ඒකත් එක්ක ආපු ගොඩාක් කමෙන්ට් දිහා බලද්දි මේක ලියන්නම ඕනේ කියලා හිතුනා. 

ඒකයි මේ සටහන.
අධ්‍යාපනය කියලා කියන්නේ හිස් භාජනයකට වතුර පුරවන එක නෙමෙයි. ඒක වැඩෙන මොලයක් පෝෂණය කරන්න වතුර වත්කරන එක. ඒක තවමත් වර්ධනය වෙමින් පවතින මනසක් හඳුනාගෙන, ආදරයෙන් මල් පිපෙනකන් ගොඩනඟන ක්‍රියාවලියක්.
රූසෝගේ ප්‍රසිද්ධ අදහස අද සෞඛ්‍යය විද්‍යාවෙන්, මනෝ විද්‍යාවෙන්, සහ අධ්‍යාපන විද්‍යාවෙන් ලස්සනට විස්තර කරනවා.
දරුවෝ ඉගෙන ගන්න විදිය- හිතන විදිය- එයාලගේ හැඟීම් කළමනාකරන විදිය- මේ ඔක්කොම වැඩිහිටියන්ගෙන් වෙනස්. එයාලගේ මොලය තාම වැඩෙමිනුයි පවතින්නේ. මේ වෙනස්කම් ඔලුවෙ තියාගෙනයි අපි එයාලට ඉගැන්විය යුත්තේ.

ඇයි දරුවෝ වැඩිහිටියන්ගේම කුඩා සතෙක් නොවන්නේ?
ස්නායු විද්‍යාඥයෝ පැහැදිලිවම පෙන්නලා තියෙනවා මනුස්සයෙක්ගේ පූර්ව මස්තිෂ්ක බාහිකය සම්පූර්ණයෙන්ම මෝරලා ඉවර වෙන්නේ වයස අවුරුදු විස්ස පැන්නට පස්සේ කියලා. මේ පූර්වමස්තිශ්ක බාහිකය තමයි අපේ ආවේග පාලනය කරන්න -සංවිධානය කරන්න - තර්කානුකූලව හිතන්න වග කියන්නේ.

ඒ හින්දා අපි ළමයෙක්ට උගන්වන්න ඕන, මොලේ නෑ හරි, මොලේ අඩුයි කියල හරි හිතාගෙන. මේ කාරණා තුන අපේ ඔලුවෙ තියා ගන්නම ඕන.

1. එයාලට අවධානය තියාගන්න පුළුවන් ප්‍රමාණය හරි කෙටියි.
2. ඒ වගේම එයාලා හිතාගන්නවා කෙලින්ම එයාලට දැනෙන දේ. ඒක ඇතුලේ හංගල කියන දේ එයාලට තේරෙන්නේ නැහැ.
3. ඒ වගේම එයාලට නැවත නැවත කියල දෙන්න- උදාහරණ සහිතව කියල දෙන්න- රූප සටහන් වලින් පෙන්නල දෙන්න- එහෙම නැත්නම් මෙහෙමයි වෙන්නේ කියලා ඇඳලා කියන්න මේ වගේ දේවල් අවශ්‍ය වෙනවා.
උදාහරණයක් විදිහට අවුරුදු හතක ළමයෙකුට 'ඔයා වගකීමෙන් වැඩකරන්න පුතා' කියලා කිව්වට වැඩක් නෑ. එයාට බෑග් එක අස් කරන්න- හැමදාම දත් මදින්න- සපත්තු හරි තැනින් තියන්න - වගේ චෙක් ලිස්ට් එකකින් එහෙම නැත්නම් පින්තූරවලින් ඒක කිව්වොත් එයා ඒ ටික පිළිවෙලට කරයි.

විද්‍යාඥයෝ පෙන්නන විදියට එයාලට වැඩ කරන්න ඕනේ මතකය හා අවදානය පවත්වා ගැනීමේ කාලය හරිම සීමා සහිතයි.
ඒ හින්දා දරුවෙක්ට මතක තියාගන්න පුළුවන් නව සංකල්ප තියෙන්නේ, එක වෙලාවකට එකක් විතර. එකපාර ගොඩක් දෙන්න ගියහම එයාලා කලබල වෙනවා වගේම එයාල ඒක අත ඇරලා දානවා. මල්පැලේකට වතුර වැඩිවුනාම කූණු වෙනව වගේ.
ඒ නිසා එකවර වැඩි දේවල් උගන්වන්න හොඳ නැහැ. ඒ වෙනුවට පියවරෙන් පියවර උගන්වන්න වෙනවා. 
ටිකෙන් ටික කියන්නෙ ඒකයි.
උදාහරණයක් විදිහට දශම, බාග සහ ප්‍රතිශත එකවර උගන්වනවට වඩා, ඒවා වෙන වෙනම, උදාහරණ සහ ක්‍රියාකාරකම් සමඟ ඉගැන්වීම වඩා විධිමත්. මොකද ඒවා ගැන අවුරුදු දහයක ළමයෙකුට තේරෙන්නේ නැහැ. අපි ඒවා හිමින් සීරුවේ තමයි එයාගේ මොළේට කා වද්දන්නේ? ඒ හින්දා අපි පහේ පන්තියේ ළමයෙකුට අනුකලනය උගන්වන්නේ නැහැ. අපි ඒකට එයා හෙමින් සීරුවේ සූදානම් වුණාට පස්සේ උසස් පෙළ පන්තියේදී ඒ ටික උගන්වනවා.
එයාලා ඉගෙන ගන්නේ ක්‍රියාකාරකම් සහ කුතුහලය තුළින් විමසා බැලීම තුළින්.
දරුවෝ හොඳින්ම ඉගෙන ගන්නේ එයාලට ලැබෙන අත්දැකීම් තුළින් වගේම ස්වභාවික පරිසරයේදී එයාල දකින දේවල් වලින්. එහෙම නැතුව බලෙන් පෙන්නලා උගන්වන පාඩම් වලින් නෙමෙයි. මේ ක්‍රියාවලිය තමයි මොන්ටිසෝරියේදි සිද්ධ වෙන්නේ. ඒකෙදි දරුවෝ එයාලගේ දැනුම හදාගන්නේ අත්දැකීම් වලින් කරලා බලලා.
උදාහරණයක් විදිහට අවුරුදු හයක ළමයෙකුට එක එක භාජනයකට අල්ලන වතුර දාරිතාව බලන්න විවිධ හැඩ තියෙන බාජන ටිකක් එක්ක වතුර ටිකක් දුන්නහම තේරෙනවා. පස්සෙ බැරියැ ආකීමිඩීස්ගේ සොයාගැනීම් ටිකත් එක්ක, ඒකට වෙනම සමීකරණ දාලා පෙන්නන්න.
එයාලා අත්දැකීම් තුළින් ඉගෙන ගන්නවා.
විශේෂයෙන්ම ක්‍රීඩාව හා ක්‍රියාකාරකම් තුළින්. ක්‍රීඩාව දරුවාගේ මොලේ සංවර්ධනය කරනවා වගේම එයාට මොළේ සියලුම කළමනාකාරීත්වය, නිපුණතා සහ නිර්මාණශීලීතාවයත් එක්ක පරිකල්පනයත් දියුණු කරනවා.
අපිට ඉගෙන ගන්න උනන්දු කරවන ලොකුම සාධකය තමයි හැඟීම්.
අපිට අපේ හැඟීම් පාලනය කරන්න උදව් වෙන ලිම්බික් සිස්ටම් එක දරුවන්ගේ පුදුම විදිහට ක්‍රියාකාරී‍යි. ඒ හින්දා එයාලා හැමතිස්සෙම හැඟීම් එක්ක තමයි ඉගෙන ගන්නේ. එයාලට ආතතිය බය ලැජ්ජාව වගේ දේවල් ආවොත් එයාලා ඉගෙන ගන්න එක අතැරලා දානවා.
ඒ හින්දා පන්ති කාමර ඇතුළෙ කරන සමහර දඩුවම්- හයියෙන් ළමයෙකුට කෑ ගහන එක- එහෙම නැත්තං දැඩි දඬුවමක් දෙන එක- හිත රිදෙන විහිලු කරන එක වගේ දේවල් හින්දා ළමයි කට වහගන්නවා. එයාලා ආපහු දිරිගැන්වෙන්නෙ නැහැ. එහෙම නැත්නම් ආපහු ගොඩනැගෙන්නෙ නෑ. ඒ වගේමයි ධනාත්මක දේවල් එක්කයි එයාලා විශ්වාසය ගොඩනගා ගන්නේ. ලොකු හරියක්, ඉමොජි එකක්, ප්‍රසංසාවක්, අත්පුඩියක්, පන්තියේ ඉස්සරහට කැදවීමක් එයාලව දිරි ගන්වනවා.

අපේ ඇඟ ඇතුලෙන්ම ඉගෙන ගන්ඩ ඕනේ කියලා එන දැනීම එහෙම ඇත්නම් මෝටිවේශන් එක.
එයාලා ඕනෑවට වඩා ආතතියට ලක් කිරීමෙන් වගේම එයාලට හැමදේම ඇඟිල්ලෙන් ඇන යන කරගන්ඩ යන එකෙන් එයාලා ඉගෙන ගන්නවට වඩා එයාලා කැමතියි එයාලා පිළිබඳ එයාලට අවබෝධයක් ඇවිල්ලා එයාලා ගැන විශ්වාසයක් ගොඩනැගීම තුළින් ඉගෙන ගන්න ලැබෙනවාට . ඒක අපි කියනවා ඇඟ ඇතුලෙන්ම එයාලව උද්දීපනය කරනවා කියලා.

ඒ වගේම ළමයෙක්ට එයාගේ තියෙන වර්තමාන හැකියාවන් එක්ක ඉගෙනීම වෙනස් වෙන්න ඕන. ඒ නිසා එයාගේ මට්ටම දැනගෙනයි අපි ඊට වැඩිය උඩ ලෙවල් එකේ ඒවා උගන්වන්න ඕනේ. එහෙම නොකළොත් ඊට වැඩිය අඩු දෙයක් ඉගෙන ගන්නකොට එයාලා කඩා වැටෙනවා වගේම එයාලා ඉගෙන ගන්න එක අත ඇරලා දානවා. ඒ උනාට තව කෙනෙක්ගෙ උදව්වෙන් එයාලව අපිට ඕනේ විදියට අඹන්ඩ පුළුවන්. එයාට අද අපි උදව් කරොත් හෙට එයා තනියෙන් නැගී සිටිනවා.
ළමයෙක් ව්‍යාකරණ සහිතව වාක්‍යයක් ලිව්වහම රතු පෑනෙන් එකෙ ග්‍රැමර් චෙක් කරනවට වඩා ඒකේ කොහොමද වාක්‍ය පටන් ගන්නේ- කොහොමද ඒකට උදව් කරන්නේ- එහෙම නැත්නම් වාක්‍යයක් ගොඩනගන්නේ කොහොමද- කියලා අපි ඒක ප්‍රැක්ටිස් කරන තරමටයි ඒක ළමයෙක් ඔලුවට යන්නෙ.
ඒ නිසා දරුවන්ට හෙමින් පියවරෙන් පියවර හොඳින් උගන්වන්න. මතක තියාගන්න ඕනේ කාරණය තමයි දරුවෙක් කියලා කියන්නේ හිස් භාජනයක් නෙමේ, පුළුවන් තරම් වතුර පුරවන්න. ඒක උස්සගෙන යන්න පුළුවන් ප්‍රමාණයට ටිකෙන් ටික පුරවන්න. ළමයා ලොකු වෙනකොට අපිට ගොඩක් පුරවන්න පුළුවන්. ඒ වගේම එයාලට උගන්වනකොට අපිට ගොඩක් වෙලාව යයි. අපිට එයාල ගැන සහකම්පනයෙන් හිතන්න සිද්ධ වෙයි වෙයි. ඒ වගේම එයාලට පහසුවෙන් ගොඩ නැගෙන්න පුළුවන් ක්‍රම අත්හදා බලන්න සිද්ධවෙයි. මතක තියාගන්න ඕන දේ තමයි එයාලාගේ මොළයෙන් එයාල තාම වැඩිලා ඉවර වෙලා නැහැ. එයාලා හරිම වෙනස් ජීවීන් කණ්ඩායමක්.

ඒ හින්ද රූසෝ දරුවොන්ට හිමින් පියවරෙන් පියවර හොඳින් උගන්වන්න කියලා කියනකොට ඒ මොන ඉස්කෝලෙද එහෙම කරන්නේ කියලා අහනවාට වැඩිය ඔයා උගන්නන ඉස්කෝලේ ඒ විදිහට කරන්න උත්සාහ කරන්න. ඒකට කාලයක් යාවි. ගොඩක් ඉවසන්න සිද්ධ වෙයි. ඒ වගේම ඒ ලමයා ඔයාගේ දරුවෙක් කියලා ඔයාට සහකම්පනයෙන් හිතන්න සිද්ධ වෙයි. ඒ හින්දා පුරවන්නම් වාලේ පුරවන්නැතිව අපිට ගෙනියන්න පුළුවන් ගානට ළමයෙක්ගෙ මොළේට දැනුම දෙන්න ඕන.
සෙමින්, හොඳින්, ආදරයෙන් උගන්වන්න
දරුවෙකුට උගන්වන්න ඕන මෙන්න මේ අභ්‍යන්තරයෙන් වර්ධනය වන මනසක් හඳුනාගෙනයි. ඔවුන්ට විභාගයක් සදහා පමණක් නොව, ජීවිතය සදහා උගන්වන්න ඕනේ.
අද අපි කරන්නේ මොකද්ද?
අද ලංකාවේත්, ලොවම පුරාත් ළමයින්ගේ අධ්‍යාපන ගමන වගේම ඔවුන්ගේ ළමා කාලයත්, අවධානයේ හා කාර්යබහුලත්වයේ පීඩනයක් යටතේ පැවැත්වෙන එකක් වෙලා තියෙනවා.
අධ්‍යාපන කරිකියුලම් එකට අදාලවත්, අමතර පන්ති ගමන්, අනවස්‍ය ඒත් ආකර්ශනීය විභාග සාධනයක්, මවිතයට පත් කරවන ඉලක්ක, සහ ඔබ-මම වගේම දෙමාපියන්ගේ බලාපොරොත්තු හින්දයි ඒ.

මේ හැම එකම එකට එකතු වුණාම ලැබෙන්නේ කුමක්ද?
*හෝඩිය උගන්වන්න කලින් අනාගතය සැලසුම් කරන වැඩසටහනක්.
*සිසුවෙකුට නොව, කුඩා වැඩිහිටියෙකුට සපයන ලද පාඩම්කිරිමක්.

අද ළමයින්ගේ දිනපතා කාලසටහන බලද්දි අපිටත් පිස්සු හැදෙනවා
උදේ පහමාරට විතර නැගිට්ට තැන ඉදන් එයාලා ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙන එකයි, ඉස්කෝලෙට යන එකයි, ඊට පස්සේ අමතර පන්ති වලට යන එකයි කාල බීල නිදාගන්න එකයි කරද්දී රෑ දහය වෙලා ඉවරයි. එයාලගේ කාල සටහනේ පැය 6ක්ම එයාලා ඉන්න ඉස්කෝලේ ඇතුලේ. ඒ හින්දා ඉස්කෝලේ ඇතුලෙදී එයාලගේ ඔලුව සංවර්ධනය කරන ක්‍රියාවලියේ බහුතරය කරලා තියෙන්න ඕනෑ.

ඒ අතරේ කාලසටහනට යටින් මේ ටිකත් සිද්ධ වෙනවා
තරඟකාරිත්වය
ආතතිය
පරස්පර සසඳීම්
අනුන්ගෙ හීන

අද අපි පුංචි දරුවන්න්ගේ විභාග ජයග්‍රහණයක් සදහා උන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම විකුණනවා.

අපි කොහොම කොච්චර වැරවීරිය දාලා ඉගැන්නුවත් මොලය ඉගෙන ගන්නේ තවත් විදිහකට.
මනසට එකවර දැනුම ගබඩා කරන්න පුළුවන් ප්‍රමාණය සීමිතයි.
අපි ඔවුන්ට විෂයන්, අමතර විෂයන්, සහ සපොර්ට් පැකේජ් එකක් එක්ක දවස පිරවූවට:
ඒ මනසක් -ඉගෙනගන්න එකක්.
ඒ මනසක් -ගැටෙන එකක්.

මේ අධ්‍යාපනයක් නොවෙයි – මේක යුද්ද පුහුනුවක්

ඒ හින්දා අනුකලනය උගන්නන්ඩ ඕනේ වයසට එනකම් අනුකලනය උගන්නන්න එපා. හැබැයි ඒක ඉගෙන ගන්න අවශ්‍ය පුංචි පුංචි දේවල් හෙමින් ටිකෙන් ටික පියවරෙන් පියවර ආදරයෙන් ළමයගේ මොළයට දැනෙන්න සලස්වන්න.

උගන්වන එකයි ළමයට එන බුද්ධියයි අතර ලොකු පරතරයක් තියෙනවා.
අද උගන්වන කරිකියුලම් එකෙන් දරුවාට දැනීමක් දෙනවාද?
නෑ. ඒක මොහොතකට විභාගයට ලියන්න පුළුවන් දේවල් දෙන්න උත්සාහ කරන එකක්.

විද්‍යාත්මක වශයෙන් Meaningful Learning කියන විදියට මතකයේ තබාගන්නෙ
අවබෝධයක් ඇතිවන දේවල්
සම්බන්ධතා සහ තේරුම් ඇති දේවල්
පුනරීක්ෂණ සහ ක්‍රීඩා සහිත දේවල්

ඒ වෙනුවට අද තියෙන්නේ මොකක්ද?
පුළුවන් තරම් උපරිමයෙන්ම ළමයාගේ ඔළුවට දාන්නම්. හැබැයි විභාගයට ලියාගන්න බැරි වුනොත් නං අපි ඒකට වග කියන්නේ නෑ. ඇති තරම් උගන්නලයි තියෙන්නේ.
උගන්නන්නෙම නැති ඉස්කෝලවලට මේ වාක්‍ය ගැලපෙන්නේ නැහැ. ඒ හින්දා එයාලා අඩුම ගානේ පොඩ්ඩක් හරි උගන්වන්න පටන් ගන්න


ආදරයෙන් උගන්වන්න.

අද තරඟයෙන් පීඩනයෙන් ගොදුරු වෙන ළමයෙකුට, අපේ ආදරේ, වටපිටාව, සහ උවමනා මනසක් විතරයි මතක වෙනෙ.
ඒ හින්දා දරුවෙකුට උගන්වනකොට මතකම තියාගන්න මේ උගන්නන්නෙ විභාගයකට නෙමෙයි දරුවෙකුට.
“මම ඔයාට උගන්වන්නේ විභාගය ජයගන්න නෙවෙයි. මම උගන්වන්නේ ජීවිතය ජයගන්න.”
එයාට වතුර දාන්න මලක් පිපෙන තරමට
එයා දකින හීනේ කොටස්කාරයෙක් වෙලා එයත් එක්ක හීනෙට යන්න. එහෙම නැතුව අනික් මිනිස්සුන්ගේ හීන වලට පාර කපන්න දරුවාව පාවිච්චි කරන්න එපා.

වෛද්‍ය කිලෝශිනී හෙන්දවිතාරන

 

A day in the life

2025-08-02

පළමුව තමන් විමසමු .






විවාහ වී ඉතා සතුටින් කාලය ගතකල යුවලක් සිය විසිපස්වැනි සංවත්සරය සැමරූවා.
ඉන් දින කිහිපයකට පසුව සැමියා විසින් එක කරුණක් වටහාගත්තා.
එනම් සිය බිරිඳගේ කන් ඇසීම දින කිහිපයක සිට ඉතාමත් දුර්වල මට්ටමකට පත්ව ඇති බව.
"සමහරවිට ඇයට ශ්‍රවනාධාරකයක් අරන් දෙන්න වේවි"
ඔහු සිතුවා.
නමුත් මේ පුද්ගලයාට සිතාගන්නට බැරිඋනා ඇයගෙන් ඒ පිලිබඳව ඇසිය යුත්තේ කොහොමද කියල.
"ඇය මාව වරදවා වටහා ගත්තොත්"
ඔහු තමාටම කියාගත්තා.

පසුව මේ පුද්ගලයා තීරණයකට එලැඹුනා.

එනම් පවුලේ වෛද්‍යවරයා මුනගැසී උපදෙස් ලබාගැනීමටයි.
විස්තරය සාවදානව අසාසිටි වෛද්‍යවරයා ඔහුට උපදෙස් කිහිපයක් ලබාදුන්නා.
එය ඇගේ කන් ඇසීම පිලිබඳව තහවුරු කරගැනීමටයි.
"ඔබ නිවසට ගොස් ඇගෙන් අඩි 20ක දුරක් ඈතට යන්න."
"සාමාන්‍යයෙන් ඔබ ඇයට කතාකරන ශබ්දයෙන්ම ඇයට කතාකරන්න."
"නිරීක්ෂනය කරන්න ඇයට ඔබව ඇහෙනවද කියල"
"ඇයට ඇහෙන්නෙ නැත්තන් දුර ප්‍රමාණය අඩි 10කට අඩු කරන්න.
මේ ආකාරයට ඇගෙන් ප්‍රතිචාරයක් ලැබෙන තුරුම උත්සහ කරන්න"
වෛද්‍යවරයා තවදුරටත් කතාකලා.
"අවසානයේ ඔබට ඇය ප්‍රතිචාර දැක්වූ දුර ප්‍රමාණයට අනුව අපිට ඇස්තුමේන්තු කරන්න පුලුවන් ඇයට අවශ්‍ය ශ්‍රවනාධාරකය පිලිබඳව"
උපදෙස් ලබාගෙන නිවසට ගිය සැමියා ඊලඟ දිනයේ සිය බිරිඳ දිවා ආහාරය සූදානම් කරමින් සිටිනු දුටුවා.
වෛද්‍යවරයාගේ උපදෙස් අත් හදා බැලීමට මෙය අවස්තාවක් බව මොහු සිතුවා.
අඩි විස්සක් ඇගෙන් දුරට ගොස් මෙසේ ඇසුවා.
"බබා දවල්ට මොනාද උයන්නෙ"
මොහොතක් ඇගේ ප්‍රතිචාරයක් වෙනුවෙන් ඔහු බලා සිටියා.
නමුත් ඇගෙන් කිසිම පිළිතුරක් ලැබුනේ නැහැ.
දෙදෙනා අතර දුර ප්‍රමාණය අඩි කිහිපයක් අඩුකොට නැවතත් එම ප්‍රශ්නයම ඇසුවා.
එවරද ඔහුට බිරිඳගෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබුනේ නෑ.
ඉන්පසුව ඔහු දුර ප්‍රමාණය අඩි 10කට අඩුකොට උත්සහ කලා.
නමුත් ඇයගෙන් එවරද කිසිම පිළිතුරක් ලැබුනේ නෑ.
පරතරය අඩි 5කට අඩුකොට ඔහු නැවතත් එයම ඇසුවා.
"බබා දවල්ට මොනාද උයන්නෙ"
නමුත් කිසිම ප්‍රතිචාරයක් නැහැ.
ඇගේ කන් ඇසීම ඉතාමත් දුර්වල මට්ටමකට පත්වී තිබෙන බව සිතා ඔහු කනගාටු උනා.
මෙවර ඔහු ඇය ලඟටම ගොස් ඇගේ පිටුපසින් හිටගෙන මෙසේ ඇසුවා.
"පැටියො,දවල්ට ඔයා උයන්නෙ මොනාද"
එවිට ඇය ඔහු දෙස හැරී බලා මොරදුන්නා.
"පස්වෙනි වතාවට.........
පස්වෙනි වතාවට මේ කියන්නෙ,
චිකන්,චිකන්,චිකන්,
ඔයා අනිවාර්යයෙන්ම හෙටම ගිහින් ඔයාගෙ කන්දෙක චෙක් කරගන්න"

බොහෝ අවස්තාවලදී ප්‍රශ්නය තියෙන්නෙ අපි ලඟ.
ඒත් අපි උත්සහකරනව තවත් කෙනෙකු පිට වරද පටවන්න,

නිවැරදි අවබෝධයක් නැතිව.
ඒ වගේම ගොඩාක් ලේසියි අනිත් අයගෙ වැරදි හොයන එක,
තමන්ගෙ දේවල් ගැන සොයල බලනවට වඩා.
අපිට අනිත් අයගෙ ගැටලුවක් තියෙනව කියල හිතෙන බොහෝවෙලාවට තීරණයකට එන්න කලින්,
අපේ අභ්‍යන්තරය ගැනත් අවධානය යොමුකරන්න ඕනෙ.
මන්ද,
බොහෝ අවස්තාවලදී ප්‍රශ්නය තියෙන්නෙ අපි ලඟනම් ඒකෙ පිළිතුරත් තියෙන්නෙ අපි ලඟමයි.

උපුටා ගැනීමකි.

A day in the life

2025-08-01

එන්.එම් ට එරෙහිව ෆීලික්ස්.


දේශපාලනයේ කලක් එකට සිටි එහෙත් මතවාදීව ප්‍රබල ලෙස ගැටුණු දේශපාලනඥයන් දෙදෙනෙක්..
ඔවුන් දෙදෙනාම මුදල් ඇමතිවරු ලෙස කටයුතු කර තිබෙනවා..
ඒ අතරින් ආචාර්ය එන්.එම්. පෙරේරා මුදල් ඇමතිවරයෙක් වශයෙන් විශිෂ්ටයි..
මේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට විශිෂ්ටතම කාර්යභාරයක් කළ මුදල් ඇමතිවරයා ලෙස 1970/1975 කාලය තුළ න් ඔහු මුදල් අමාත්‍ය ධුරය දැරූ සමයේ ඔහුගේ කාර්යභාරය හඳුන්වන්න පුළුවන්..

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් යුතුව 1970 බිහිවුණු සමගි පෙරමුණු රජය යටතේ,

දේශීය කෘෂි කර්මාන්තය සහ දේශීය කර්මාන්ත නගා සිටුවමින් ආර්ථිකය ශක්තිමත් කරමින් රට පාලනය කළ මුල් වසර පහ අවසාන වන විට විදෙස් ණයවලින් තොරව ආර්ථිකය අයවැය සමබර කිරීමට හැකි තරම් හොඳ තත්ත්වයක අප හිටියා..
ලෝකය පුරා දරුණු ආහාර හිඟයක් දුර්භික්‍ෂයක් පැතිර ගිය 1973 වසරේ ශ්‍රී ලාංකික ජනතාව ඉන් මුදවා ගැනීමට රජයේ දේශීය කෘෂිකර්මාන්තය පිළිබඳ ඒ කළ පවත්වාගෙන ගිය ප්‍රතිපත්තිය බොහෝ දුරට හේතු වුණා..
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය World Food and Agriculture Oganisation සංවිධානය විසින් ඒ වෙනුවෙන් රී ලංකා අග්‍රාමාත්‍යවරිය ඔවුන් පිරිනමන ඉහළම සම්මානය වූ " සිරිස් " පදක්කමෙන් පුදනු ලැබුවේ එම සංවිධානයේ මහ ලේකම් ආචාර්ය එඩ්වර්ක් සවුමා පුද්ගලිකවම ශ්‍රී ලංකාවට පැමිණයි..
එමෙන්ම මෙරට බොහෝ කර්මාන්ත ක්ෂේත්‍රවල විශාල පුනරුදයක් ඇතිවුණා..
යකඩ වානේ පිඟන් වීදුරු ටයර් පෙහෙකම්හල්
උදලු බැටරි බොහෝ ක්ෂේත්‍රවර කර්මාන්ත ඇති වුණා...
මුදල් අමාත්‍යවරයා වශයෙන් ආචාර්ය එන්.එම්. පෙරේරා ගෙන් ලැබුණු දායකත්වය අති විශාලයි.
මුදල් අමාත්‍යවරයා වශයෙන් ඔහු ඉදිරිපත් කරන අයවැය දෙස මුළු රටම බලා සිටියා.
සඟවාගෙන සිටින මුදල් එළියට ගැනීමට ඔහු එකල තිබුණු ලොකුම නෝට්ටුව වන රුපියල් සීයේ නෝට්ටුව අවලංගු කර නව නෝට්ටුවක් මුද්‍රණය කිරීම නිසා සඟවාගෙන තිබූ සල්ලි බොහෝ ප්‍රමාණයක් එළියට ආවා..
වර්තමානයේත් රජයට අවශ්‍ය නම් විශාල මුදල් ප්‍රමාණයක් සොයාගත හැකි අවස්ථාවක් ක්‍රියාමාර්ගය අනුගමනය කළොත් කරන්න පුළුවන්..
නමුත් පසුව මෙතෙක් කිසිම රජයක් එවැනි දෙයක් කරේ නෑ..
අවාසනාවකට මෙන් 1975න් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ලංකා සම සමාජ පක්ෂය අතර ඇතිවුණු යම් මත ගැටුම් තත්ත්වයක් නිසා ලංකා සම සමාජ පක්ෂයේ අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් රජයෙන් ඉවත් වුණා..
ඒවා අර්බුදයට යේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශවයේ ප්‍රබල ඇමතිවරයෙකු වූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා ද දායක වූ බවට එකල ප්‍රචාරයක් තිබුණා..
යටියන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය එන් එම් පෙරේරා මුදල් අමාත්‍ය ධූරයෙන් ඉවත්වද්දී,
1972 ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කළ අගලවත්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සම්පාදන සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරය දැරූ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වාත් පානදුර පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රවාහන අමාත්‍ය ඉදිරිය දැරූ ලෙස්ලි ගුණවර්ධනත්, අමාත්‍ය ධුර වලින් ඉවත්ව ගියා..
ඉන්පසුව මුදල් අමාත්‍ය ධුරයට පත් වූයේ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක..
ඔහු දක්ෂ දේශපාලනඥයෙක් වුවත් ආචාර්ය එන්.එම් .පෙරේරා ඇතුළු කණ්ඩායම රජයෙන් ඉවත් වීමෙන් සමගි පෙරමුණු රජයට වූ හානිය ඉතාමත්ම දරුණු එකක් වුණා..
ඉන් ටික දිනකට පසු සමග පෙරමුණු රජයේ අනෙක් පාර්ශය වූ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයත් සමග පෙරමුණු රජයෙන් ඉවත් වුණා..
ඒ නායක අකුරැස්ස පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර එස්.ඒ වික්‍රමසිංහ සහ මැද කොළඹ තුන්වෙනි පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය දුරය දැරූ පීටර් කේනමන් ඇතුළු කණ්ඩායමද සමගින්..
ලංකා සම සමාජ පක්ෂයේ අමාත්‍යවරුන් තිදෙනා ‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ අමාත්‍යවරයාත් අමාත්‍ය ධුර දැරූ අමාත්‍යංශ ඔවුන්ගේ කාලසීමාවලදී රටට අමතක නොවන මෙහෙයන් ඉටුකළා..
කුලී නිවැසියන්ට දීර්ඝ කාලයකට පසුව තම නිවාස අයිතිවීමේ නිවාස පනත ක් පිටර් කේනමන් විසින් ගෙන එනු ලැබූ අතර,
ප්‍රවාහන අමාත්‍ය ලෙස්ලි ගුණවර්ධනගේ පාලන කාලය තුළදී ලංගම සභාපති ධුරය දැරූ
ලංකා සම සමාජ පක්ෂයේ හිටපු අමාත්‍යවරයෙකුද වූ අනිල් මුණසිංහගේ පාලන කාලය ලංගම ඉතිහාසයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙනවා..
ලංකාව ඩොමිනියන් තත්ත්වයෙන් මිදී,
ස්වෛරී ජනරජයක් බවට පත්වූ 1972 ජනරජ ව්‍යවස්ථාව,
එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වූ අමාත්‍ය දුරය දැරූ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වාගේ නිර්මාණයක්..
1978 ව්‍යවස්ථාව මේ වන විට විසි තුන් වතාවක් පමණ සංශෝධනය කර ඇතත්,
1972 කොල්වින් ආර් ද සිල්වා සම්පාදනය කළ ජනරජ ව්‍යවස්ථාව 1978 ජේ ආර් යටතේ ගෙන ආ රට අර්බුද රැසකට මුහුණ දෙන ආණ්ඩු අවස්ථාව ගෙන එන තෙක් ,
එක් වතාවක්වත් සංශෝධනය කිරීමට සිදුවූයේ නැත්තේ විශිෂ්ටත්වය නිසායි.
1977 වසරේ ජේ.ආර්.ජයවර්ධනයගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂ රජය ඉතිහාසයේ නොසිතූ විරූ මහා බලයක් ලබා ගත්තේ සමගි පෙරමුණ තුළ ඇතිවූ බෙදීම තුළින් ඇතිවුණු කඩා වැටීම නිසායි...
ඒ සඳහා ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක අතින් යම් වරදක් සිදු වුණානම් එය ඉතිහාසයේ ඉතාමත් දරුණු වැරැද්දක්..
මන්ද 70/ 75 ගමන තව වසර දහයක් පහළොවක් යන්නට පුළුවන් වුණා නම්,
අද ඉන්දියාව ලැබූ ආර්ථික ජයග්‍රහණ ඊට කලින් අපට ලබාගන්නට තිබුණා..
1962 වසරේ රාජ්‍ය විරෝධී හමුදා කුමන්ත්‍රණයෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ බේරා ගැනීම සඳහා විශිෂ්ට කාර්යභාරයක් ඉටුකළ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක,
1971 කැරැල්ලෙන් පසුව අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව පිහිටුවීමේදීද මූලිකත්වය ගත්තා..
1970 වී මහ මැතිවරණයෙන් වැඩිම වැඩි ජන සංඛ්‍යාවකින් පාර්ලිමේන්තුවට පත්වුණේ ඔහුයි..
ඒ දුම්පේ ආසනයෙන් වැඩි ඡන්ද විසි දෙදහසකට වැඩි, වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින්.
එවර ඔහුගේ නාමයෝජනා පත්‍රයේ එක් අත්සනක් තබා තිබුණේ මගේ මවගේ පුංචි අම්මා..
එතුමිය මල්වානේ පදිංචිව සිටියා..
ඔහු නීති ක්ෂේත්‍රයේ කෙතරම් කීර්තියක් අත් කරගෙන තිබුණාද යන්නට හොඳම උදාහරණයක් තියෙනවා..
1971 කැරැල්ලෙන් පසුව ජවිපෙ නායක රෝහණ විජේවීර ඇතුළු කණ්ඩායම,
ෆීලික්ස්ටර්ස් බණ්ඩාරනායකගේ ප්‍රධානත්වයෙන් සිදුවුණු ක්‍රියාවලියකින් පසුව,
අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව පිහිටුවා ඒ යටතේ සිදුකරනු නඩු විභාගයෙන් පසුව සිරගත කෙරුණු ලැබුවා..
1978 වසරේ ජේ.ආර්.ජයවර්ධන රජය විසින් ම එම සිරගත කරනු ලැබූ සියලු දෙනා නිදහස් කරනු ලැබුවා...
ජනාධිපති කොමිසමක් මගින් ජනාධිපති
ජේ.ආර්. ජයවර්ධන විසින් බණ්ඩාරනායක මැතිණියගේත් ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතාගේත් තවත් කීප දෙනෙකුගේත් ප්‍රජා අයිතිය ඉතාමත් අත්තනෝමතික ලෙස අහෝසි කර දමා තිබුණා..
1982 වසරේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය ඉතාමත් දූෂිත ජනමත විචාරණයක් මගින් ජයවර්ධනගේ පාලනය විසින් වළක්වනු ලැබුවා..
එම ජනමත විචාරණය දූෂිත සහ නීති විරෝධී එකක් ලෙස නියම කරන මෙන් ඉල්ලමින් රෝහණ විජේවීර නීති මගට පිවිසුණා..
ඔහු ඔහුගේ නඩුව වෙනුවෙන් තෝරා ගත් නීතිඥයා වූයේ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකයි
අතීතයේ තමාගේ ප්‍රබල විරුද්ධවාදියෙකු වුවත් මෙම නඩු කටයුත්ත සඳහා වඩා සුදුස්සා ලෙස විජේවීර විසින් ෆීලික්ස්ව විශ්වාස කළා..
1983 ජූලි කලබල සමග රජය ඉතාමත් අසාධාරණ ලෙස ජනතා විමුක්ති පෙරමුණත් ලංකා සම සමාජ පක්ෂයත් ,
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයත්,
නව ලංකා සම සමාජ පක්ෂයත්,
තහනම් කිරීම නිසා ඉන් අනතුරුව ප්‍රසිද්ධ දේශපාලනයෙන් විජේවීර ඉවත් වී යාමත් සමගම එම නඩුවද ඉදිරියට ගියේ නැහැ..
අද උදෑසන හමු වූ මේ ඡායාරූපයත් සමගම ඉතිහාසය මතකයට ආනිසා මෙලෙස සටහන් කළා..
ආචාර්ය එන්.එම් පෙරේරාට ආචාර්ය උපාධි දෙකක් ආර්ථික ක්ෂේත්‍රය සම්බන්ධයෙන් තිබෙන ප්‍රාමාණික උගතෙක්...
ඔහු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්..
ආනන්ද කණ්ඩායමේ නායකයෙක්..
ක්‍රිකට් සල්ලි වලට යට නොවුණු යුගයක ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයෙක්.
ඔහු විපක්ෂයේ සිටියදී පවා ,
එවකට අගමැති ධුරය දැරූ ඩඩ්ලි සේනානායක අග්‍රාමාත්‍යවරයා යම් ගැටලු රජයට ඇතුළු අවස්ථාවලදී උපදෙස් ලබාගත්,
එමෙන්ම අගමැතිවරයාගේ ඉල්ලීම අනුව එම ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට උපදෙස් දුන්,
මහත්මා දේශපාලනයේ මිනිසෙක්..
මේ මිනිසුන් සතු පෞර්ෂය සහ උගත්කම නිසා ලෝකයේ ඕනෑම තැනක ,
ගෞරවනීය පිළිගැනීමකින් යුතුව,
ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ හැකියාවක් තිබූ බව අවිවාදිතව පක්ෂ විපක්ෂ සියලු දෙනා පිළිගන්නා සත්‍ය කරුණක්...
... ලාල් ද අල්විස්...
A day in the life