Monday, November 06, 2023

මින්නේරිය වැව


මින්නේරිය වැව පොළොන්නරුව දිස්ත්රික්කය තුල තුල පිහිටා ඇති විශාල වැවක්. එය මින්නේරිය නදිය හරස්කොට ඉදිකරවන ලද්දේ ක්රිස්තු වර්ෂ 286 දී මහසෙන් රජතුමා (ක්රි ව 276-303 ) විසින්.
වර්ග කිලෝමීටර 18.9 ක පමණ වපසරියකින් යුතු වැව වෙත, මහවැලි ගඟේ සිට ඇලහැර ඇල ඔස්සේ ජලය ගලා ඒම සිදුවෙනවා. වාසබා රජතුමා විසින් ඇලහැර ඇල යෝජනා ක්රමය ආරම්භ කර ඇති අතර මහසෙන් රජු වර්තමානයේ තත්වය දක්වා එය ගොඩ නංවා තියෙනවා.
ක්රි.ව. 1856, බ්රිතාන්ය ජාතික ආණ්ඩුකාරවරයෙකු වූ Henry Ward විසින් මින්නේරිය වැව විස්මිත නිර්මාණයක් බවට වාර්ථා කොට තියෙනවා.
මින්නේරිය වැව මහසෙන් රජතුමා විසින් ඉදි කරවීම ගැනත් ජනප්රවාද කීපයක් තියෙනවා.
ක්රි. ව. 276 දී පමණ මහසෙන් කුමරු අනුරාධපුර රාජධානියේ සිහසුනට පත් වෙන්නේ ඔහුගේ වැඩිමහල් සොහොයුරු දෙටුතිස්‌ රජුගේ අභාවයෙන් පසුව යි.
වෛතුල්යවාදය මුල්කර ගත් සංඝමිත්ර තෙරුන්ගේ බහට වැඩ කර මහසෙන් රජතුමා මුලදී මහා විහාරය අමනාප කරගත්තේය. එය බොහෝ ප්රශ්නවලට මුල්විය. අගනුවර වූ අනුරාධුපුරයේ රැඳී සිටින්නට බැරි තරමට වාතාවරණය දරුණු වූ බැවින් හබරණ කැකිරාව මාර්ගයේ රිටිගල කන්දේ තාවකාලික මාළිගාවක් ඉදිකර පදිංචියට මහසෙන් පැමිණි බවක් කියවෙනවා.
ජනප්රවාදවල සඳහන් වෙන ආකාරයට මේ කාලයේදී එක ප්රදේශයක ගවයන්ගෙන් දොවා ගත් කිරි ඉතා රසවත් බව ආරංචි වෙනවා. ඒ ගැන තවදුරටත් සොයා බැලූ විට නියං සමයේ තණ කෑමට මුදාහරින ගව පට්ටි ඉතා ඈතට ගොස් තණ කොළ කා වතුර බී පැමිණෙන බවත් දැනගැනීමට ලැබෙනවා.
ගවයන්ගේ පිටේ තල ඇට පිරවූ සිදුරු සහිත ගෝනි බැඳ යවන ලෙස රජු අණ කරන්නේ මේ ප්රදේශය සොයාගැනීමේ අරමුණෙන්. පින්න හේතුවෙන් දින කිහිපයකින් අනතුරුව තල ඇට පැළ වී තිබූ අතර, එම මාර්ගය ඔස්සේ ගොස් ගොනුන් තණ කෑ ප්රදේශය සොයාගැනීමට හැකියාව ලැබෙනවා.
මෙවන් නියං සමයක වුව ද ජලය රැඳී තිබෙන මේ ප්රදේශයේ වැවක් තනවා කුඹුරු අස්වද්දන්නට සුදුසු බව රජු විසින් තීරණය කරනවා.
වියළි කලාපයක් වූ මේ පළාතේ තිබූ විශාල ප්රශ්නය ජලය හිඟකමයි. කුඩා වැව් රැසක් සාදා ලොව දැවැන්තම ගඩොල් ව්යුහය වූ ජේතවනාරාමය චෛත්ය කර්මාන්තයට අත ගසා තිබූ මහසෙන් රජ ලැබුණු මේ ආරංචියෙන් සතුටට පත්වී තිබේ. ඒ බිමේ පස මැටි ගතියෙන් සාර ජලය කාන්දු වී නොයන ආකාරයේ බිමක් බවද ඒ වන විටත් එහි ජලය පිරී තිබීමෙන් සනාථ වී ඇත.
ඒ භූමිය දෙපස කඳු දෙකක් තිබෙන නිසාත් දෙක අතර හොඳ සවි ඇති තිරිවානා තට්ටුවක් තිබෙන නිසාත් ඒවා යාකර බැම්ම තැනිය හැකි බවත් ඒ බවත් සනාථ විය.
මේ ආශ්රිත ව වැල් මී තිබුණු බැවින් එළදෙනුන් ඒවා ආහාරයට ගැනීමෙනුයි කිරි රසවත් වී ඇත්තේ. ඒ හේතුවෙන් එම ගම, “මිහිරි කිරි තිබූ ගම” හෙවත් “මිනිහිරිගම”ලෙසත්, පසු ව “මින්නේරිය” ලෙසත් හැඳින්වූ බව ජනප්රවාදවල සඳහන් වෙනවා.
තවත් කතාවක සඳහන් වෙන්නේ මෙම ප්රදේශයේ ඉතා සරුවට මෙනේරි වැවුණු බැවින් මෙනේරිගම පසු ව මින්නේරිය වූ බව යි.
රජු විසින් නළුදෑකඩ රාළ නැමැති විශ්ව කර්ම වාරි තාක්ෂණවේදියා සමඟ දහසක පිරිසක් වහා ඒ බිමට යවන ලදී.
මින්නේරිය ප්රදේශය එකල යක්ෂ ගෝත්රිකයන්ගේ භූමියක් වූ අතර එහි නායකයන් දෙදෙනෙක්ගෙන් එක් අයෙක් වැව සෑදීමට විරුද්ධ වූ හෙයින් ඔහු ව මරා දැමීමට රජු කටයුතු කලා.
දෙවන නායකයා සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව වැව සෑදීමට ඔහු තම කැමැත්ත පළ කරනවා. නමුත් වැව සාදා නිම කිරීමට ප්රථම, සෑම දිනෙකම එකම ස්ථානයකින් වැව් බැම්මේ කොටසක් කැඩීයාම සිදුවෙනවා. මෙය දිගින් දිගටම සිදු වූ බැවින් රජු ඉතා අසීරුතාවයකට පත් වෙනවා.
බොහෝ කලක් මේ සඳහා උත්සාහ කරන නමුත් වැවේ වැඩ නිම කිරීමට මහසෙන් රජුට හැකි වන්නේ නෑ. මේ අතරවාරයේ සිහිනෙන් රජු කරා පැමිණෙන මියගිය යක්ෂ නායකයා
"තොපි මගේ අඩවියට ඇවිත් මා මරා දැම්මා රාජ ලේ ඇති බිල්ලක් දෙන තෙක් ඕක හදන්න දෙන්නේ නෑ"යැයි පවසනවා.
(තවත් ජනප්රවාදයකට අනුව නම් රජතුමා එම කරුනු දැනගන්නේ නැකැත් කරුවන් ලවා ඒ ගැන සොයා බැලූ විටකදියි. මේ කාර්යය සාර්ථක කර ගැනීමට නම් රජකුමරවකු වැවට බිලිදිය යුතු බව නැකැත් කරුවන් කියා සිටියාලු.)
එහෙත් මහසෙන් රජුගේ බිසව තම පුතු බිල්ලට දීමට අකැමැති වුණා. මේ නිසා රජතුමා කනස්සල්ලට පත් වුණා.
රජු විසින් මෙය රාජකීය පවුලට දැනුම් දීමෙන් අනතුරුව රජුගේ සොයුරිය වන බිසෝ බණ්ඩාර කුමරියගේ පුත්රයාව ඒ වෙනුවෙන් බිලි දීමට හැකි බව බිසෝ බණ්ඩාර දේවිය පවසනවා.
අවසානයේ දී කුඩා රාජ කුමාරයාව බිලි දීමෙන් පසුව වැවේ කටයුතු අවසන් කළ හැකි වුණාලු.
තවත් ජනප්රවාදයකට අනුව අංග සම්පූර්ණ රජ ඇඳුමෙන් සැරසූ ඒ කුමාරයා මව විසින්ම රජුට භාර දෙනවා. එහෙත් අවසානයේ දරුවා බිලි නොදී ඒ වෙනුවෙන් ප්රයෝගයක් කොට වළසෙකු බිලිදී බැම්ම සෑදුවාලු. මෙය නළුදෑකඩරාළලා විසින් කරන ලද ප්රයෝගයක් යැයි ඉතිහාස පොත් පත්වල සඳහන්වෙනවා.
ප්රයෝගයන් නොදත් රජ ඒ දරුවාගේ මරණය පිළිබඳව අධීක ශෝකයෙන් පසුවුනා. එය දැනගත් පිරිස සමාව ඉල්ලා තමන් කළ ප්රයෝගය හෙළි කොට දරුවා රජ ඉදිරියට පමුනුවනවා. බේරාගත් ඒ හිඟුරණ බණ්ඩාර කුමාරයා නැවත රජු ඉදිරියට පමුණුවන තෙක් කලක් සඟවා තබන ලද්දේ හිඟුරක්ගල මුදුනේයි. මියගිය යක්ෂ නායකයා වූ නළුවා ප්රයෝගය දැන ගත්තත් රජුගේ උදාර පරමාර්ථය හමුවේ ඔහු රජුට සමාව දුන් බවත් කියැවෙනවා.
මින්නේරිය වැවේ බිසෝ කොටුව තනන ලද්දේ තනිකර කළු ගලෙන්.
හෙළයන් වාපි තාක්ෂණයේ කූට ප්රාප්තිය සනිටුහන් කළේ මහසෙන් රජුගේ කාලයේදී යැයි පුරාවිද්යාඥ ප්රාඥ ආචාර්ය සෙනරත් පරණවිතානයන් පවසා තිබෙනවා. එහි අරුතක් ඇත්තේ මින්නේරිය දැවැන්ත වැවක් වූවත් එහි බැම්ම පොඩි වැවක තරමේ එකක් බැවිනුයි. නළුදැකඩ රාළ ඉතිහාසගත වන්නේ ඒ නිසායි.
තවත් ජනප්රවාදයකට අනුව කවුඩුල්ල වැව සෑදීම ගැනත් අපූරු කතාවක් තියෙනවා.
එදා මහසෙන් රජතුමා රාජකීය උත්සවයකින් අනතුරුව මින්නේරිය වැවේ වැඩ අවසන් කර දියවර මුදා හරින දවසේ බිසෝ බණ්ඩාර කුමරිය තම වැඩිමහල් සොහොයුරා වන මහසෙන් රජුට ත්යාගයක් දීමට අවශ්ය බව පවසා මින්නේරිය නුදුරුව මැදිරිගිරිය ප්රදේශය කරා රජු ව එක්ක යනවා.
වනාන්තරයෙන් වට වූ මනරම් ප්රදේශයක මින්නේරිය වැවට වඩා විශාල වැවක් බිසෝ බණ්ඩාර කුමාරිය විසින් කරවා තිබූ අතර, රජු මින්නේරිය වැව කරවන කාල සීමාව තුළ තමන් කවුඩුල්ල නම් මෙම වැව කරවූ බව කුමරිය ප්රකාශ කරනවා.
ඒ සමගම ඇය තම නිර්මාණය ගැන වහසිබස් කියන්නත් අමතක කරන්නේ නැහැ.
අයියා විසින් තැනූ කුඩා මින්නේරිය වැව නෑබිලියකට උපමා කරන ඇය “අයියාගේ නෑබිලියට මම කොරහක් තැනුවෙමි යි “ ප්රකාශ කරනවා. මෙම ප්රකාශයෙන් මහත් සේ කිපෙන මහසෙන් රජු තමන් යටතේ සිටි යක්ෂ ගෝත්රිකයන් යොදවා වැව විනාශ කිරීමට කටයුතු කළ බව ජනප්රවාදයේ සඳහන්. තමන් ඉතා මහන්සියෙන් නිර්මාණය කරවූ වැව විනාශ වීම දරා ගැනීමට නොහැකිව කුමරිය වැවේ සොරොව්ව අසලට පැන දිවි නසා ගත්තාලු.
තම නැගණිය දිවි නසා ගැනීමත්, ජනතාවගෙන් එල්ල වූ අප්රසාදයත් හේතුවෙන් විනාශ වූ කවුඩුල්ල වැව නැවත ගොඩනැංවීමට රජු කටයුතු කරනවා.
ඒ අනුව ඉතිහාස මුලාශ්රවල කවුඩුල්ල වැව කරවූයේ මහසෙන් රජු ලෙස සඳහන් වුව ද, මැදිරිගිරිය ආශ්රිත ගම්වල වෙසෙන ජනයා පවසන්නේ මේ නිර්මාණයේ හිමිකාරිත්වය හිමිවිය යුත්තේ බිසෝ බණ්ඩාර කුමරියට බව යි.
මින්නේරිය ප්රදේශයේ ගොවි ජනයා මින්නේරිය ඉදිකළ මහසෙන් රජු “මින්නේරි දෙවියන්” ලෙස දේවත්වයෙන් අදහනවා සේ ම, මැදිරිගිරිය ප්රදේශයේ ජනතාව බිසෝ බණ්ඩාර කුමරිය, ”බිසෝ බණ්ඩාර දේව මෑණියන්” ලෙස දේවත්වයෙන් සිහිකරනු ලබනවා.
මහසෙන් රජතුමා විශාලම ප්රමාණයේ වැව් තැනීමේ ආරම්භක පාලකයා ලෙස මහාවංශය සදහන් කරනවා. එතුමා වැව් 16ක් හා ඇළ මාර්ගයක් නිර්මාණය කළ බවත් එහි සදහන්.
මහසෙන් රජු විසින් ජලාශ 16 ක්; (මානිහිර, මහගම, චලුර, ඛාන්, මහමනි, කොකාවත, ධම්මාරාම, කුඹලක, වැනාන, රත්මලාකන්දක හෙවත් රතුමළකණ්ඩු, තිස්ස වාඩමාණ හෙවත් තිස්සමදමාක, වේලන්ගාවිට්ටි, මහගල්කා, සීරා, මහදාරගල්ලක හෙවත් මහදාරගලාකා, කලපසනා) සහ පබ්බතන්ත ඇල ඉදිකල බව සදහන්.
මෙහි සදහන් රතුමළකණ්ඩු අද පදවිය ජලාශය ලෙසත් තිස්සමදමාක අද කවුඩුල්ල ජලාශය ලෙසත්, මහදාරගලාකා අද නාච්චාදුව ජලාශය ලෙසත් හඳුනාගෙන කියෙනවා.
ඒ අනුව මින්නේරිය වැව, කණදරා වැව, කවුඩුල්ල වැව, මහගල්කඩවල වැව. හුලුගල්ල වැව, හිරාමුල්ල වැව, හුරුළු වැව, මාමිණියා වැව, මාගල් වැව, කළවාණ වැව, මෙරවාපිය වැව ආදී වැව්ද පබ්බතන්ත ඇල සහ රිදීබැඳි ඇල වැනි ඇල මාර්ගද රිදීබැඳි අමුණ ද ඉදිකරවා ඇත.
වාරි කර්මාන්තයට කළ විශිෂ්ඨ සේවය නිසාම ජනතාව අතර දේවත්වයට පත්ව තිබෙනවා. මහසෙන් රජු මියගොස් දෙවි කෙනෙකු වී ඉපිද වැව් ඉස්මත්තේ වාසය කරන බවට ගැමියන් විශ්වාස කරන්නට වුණා. අවුරුදු දෙදහසකට පසුවත් මින්නේරි දෙවියන් ලෙස අදටත් පුදනු ලබන්නේ මහසෙන් රජතුමායි.
වැව පිරුණු විට අක්කර 4560 පමණ වෙනවා.
මින්නේරිය වැව පිහිටා තිබෙන්නේ ඊසාන දිග මෝසමෙන් වැසි ලැබෙන වියලි කලාපය ලෙස හඳුන්වන දේශගුණික කලාපයේයි. නුවරගල කඳුපන්තියෙන් ඇරඹෙන කිරි ඔය සහ වැවට වයඹ දෙසින් වූ කඳු මතින් ඇදී එන බටු ඔයේ ජලය එම කලාපය තුලින් වැව පෝෂණය කරන මුත් එම දියවර වසර පුරා වැව ජලයෙන් පුරවා තැබීමට අපොහොසත්. විශේෂයෙන්ම යල් කන්නය වන විට ගොවිතැන සඳහා අවැසි ජලය සැපයීමට නම් වෙනත් ජල ප්රභවයක් ගැන සලකා බැලීමට සිදුවෙනවා. මේ අවශ්යතාව වටහා ගත් පැරණ්නන් ඒ සඳහා කදිම පිළියමක් යෙදූවා.
එනම් නිරිත දිග මෝසමෙන් වැසි ලැබෙන දුම්බර කඳුවැටියේ ජල පෝෂක ප්රදේශ හරහා ගලා එන අඹන් ගඟේ ජලය සැතපුම් 25 ක පමණ ඇල මාර්ගයක් හරහා වියලි කලාපයේ පිහිටි මින්නේරිය වැව කරා රැගෙන ඒමයි. වැව යනු ජලය රැස් කරන ටැංකියක් ලෙස හෝ ඇල යනු එක් තැනකින් වෙනත් තැනකට ජලය ගෙන යන කානුවක් ලෙස නොසිතූ ඔවුන් ඇලහැර සිට මින්නේරිය දක්වා කඳු වැටි දෙකකට මැදිව පිහිටි සම බිම සරුසාර කෙත් යායක් බවට පත් කලේ එම මුලු දුර පුරාම කෙත් බිම් සඳහා ඇලහැර ඇල මගින් දියවර සැපයීමෙන්.
ඒ වගේම ඇලහැර ඇලේ වම් ඉවුර දෙසින් පිහිටි කෝඳුරුවාව කඳු පංතියේ සිට ඇදී එන කෝන්ගැට ඔය, හීරටි ඔය, බකමූණන්ගේ ඇල,කෝට්ටපිටිය ඔය, අත්තනකඩවල ඔය වැනි ජල මූලාශ්ර මගින් රැගෙන එන අමතර ජලයෙන් ඇලහැර ඇල තව දුරටත් පෝෂණය වෙනවා. එම ඔයවල් ඇල හා එක්වන ස්ථාන වල ශක්තිමත් ගල් අත්තිවාරම් සහ ගල් බැමි දමා වේගයෙන් ගලා එන එම ජලපහරවල් වලින් ඇලේ බැමි වලට වන හානිය වලක්වා තියෙනවා. එසේම විශාල ජලස්කන්ධයක් ඇතුළු වන ස්ථාන වල වතුර උතුරා යෑම පිණිස අඩි 50 පමණ පළල් වූ ගල්වානවල් සාදා තිබීලා තියෙනවා. කුඹුරු වලට වතුර ගැනීම සඳහා සෑදූ සොරොව්ද ගලින්ම නිර්මිතයි.

face book .


notes of imaginary

Saturday, November 04, 2023

ඇල්ලගාව පත්තිනි දේවාලය


පෙරදී මහසුමනගේ දේව රාජ්යය ලෙසත් පොළොන්නරුව රාජ්ය සමයෙන් පසුව සපරගමුව නමිනුත් හැඳින්වෙන බස්නාහිර පළාතේ දේශ සීමාවන් වෙන් වන තැන රත්නපුර-පානදුර පාරේ වර්තමාන දුම්බර පාලමට ඉතාම නුදුරුව මහපාර අයිනේ පිහිටා තිබෙන මෙම දේවාලය ඇල්ලගාව පත්තිනි දේවාලය නමින් හැඳින්වේ මෙම දේවාලයේ ඉතිහාසය වසර 414 ක් පමණ ඈත සීතාවක යුගය දක්වා දිවෙයි .රා.ව. 1587 දී දෙවනගල රතනාලංකාර මහතෙර සාමි හා ගම්පොල රාජගුරු ධර්ම කීර්ති අනුතෙර සාමින් ඇතුළු මහා සංඝයා හා රදළවරුන් එක්ව කොනප්පු බණ්ඩාරට රාජ්යය ලබාදීමට රහස් කුමන්ත්රණයක් කරන වග ආරංචි වී කිපුණු සීතාවක රාජසිංහ රජ සහබාගිවූ සංඝයා වහන්සේ සිර භාරයට ගැනීමටත් සිවුරු හරවන්නටත් විහාර ගම් හේවාගම් කිරිමටත් පටන් ගත්හ එයින් බියට පත් සංඝයා භයින් පලාගියහ මෙම කුමන්ත්රණය සඳහා එක්වූ ප්රධාන පෙලේ සංඝයා වහන්සේලා 129 ක් දෙනම බැගින් එකට ඈදා සීතාවක ගඟේ කණමැදිරියන්වෙල ස්ථානයේ ගිල්වා මැරවූ බවත් එම භික්ෂුන් සතුව තිබු පන්සල් පොළොවට සමතලා කරවා ඒවායේ තිබු දහම් පොත්පත් ගිනිබත් කරවීය
ලපටි වියේ සිටම පත්තිනි දේවතාවිය කෙරේ ඇල්මක් තිබු රජු ඉන්පසුව පළමුවරට දෙහිගම්පල් කෝරලයේ මැදගොඩ පත්තිණි දේවාලයක් කරවීය මේ වන විට දිගම්පත කෝරලයේ විශාල ප්රදේශයක් අල්ලාගෙන සිටි පෘතුගීසින් හා යුද පිණිස රජතුමා ලැගුම් ගෙන සිටි කිරගම් කන්දේ ද 1589 පත්තිණි දේවාලයක් කරවූ රජු එයට රනින් කල පත්තිනි හළඹක් හා දේවාභරණ පුදා සිය යුධ සේනාංකයෙහි සිටි දේවස්තෝත්ර දත් මහනුවර අවධියේ ලොකු රාල නම් අයකුට ඇල්ලේ කපුරාලලාගේ යන පෙළපත් නාමය පට බැඳ ඔහු මෙම දේවාලයෙහි කපු තනතුරට පත් කළේය
එහි නඩත්තුව සඳහා ගඟෙන් මෙගොඩින් කුරුවිට කෝරලේ යටිපව්ව කොට්ඨාශයට අයත් ගොඩමඩ ගහකොලවලින් යුත් අක්කර 400 ක් ද නින්දගම් කොට දුන්නේය රජුගේ නියමයෙන් මේ සියලුම කටයුතු කර ඇත්තේ රජුගේ කුළුපඟ මුදලිවරයකු වූ එවකට රත්නපුර ප්රදේශය පාලනය කල මාතොට මනම්පේරි මුදලි පරපුරේ අයකු වූ ලොකු බණ්ඩාර මනම්පේරි නැමැත්තා විසිනි .කළු ගඟෙන් මෙගොඩ ගොඩේ සිට මෙම දේවාලයට යන බැතිමතුන් එකල ගියේ කළු ගඟේ පැනිගල් ඇල්ල යන ස්ථානයෙන් ඔරුවල නැගී මහත් ආයාසයක් විඳගෙනය එකල මේ ප්රදේශයේ අදට වඩා ගංවතුරෙන් හා පිටාර ගැලීමෙන් ගඟ රළු වන නිසා කලක් ගතවූ පසු බැතිමතුන්ගේ පහසුව තකා එතෙක් දිගම්පත කෝරලයේ කිරගම් කන්දේ තිබු දේවාලය වෙනස් කර කුරුවිට කෝරලයට අයත් දැනට පාර අයිනේ තිබෙන දේවාලය ඉහත්තෙන් වර්තමාන දේවාලකන්ද නමින් හැඳින්වෙන කන්දට ගෙනවිත් ඇත කලක් යාමේ දී එය ද වෙනස් කොට වර්තමාන දේවාලය තනා ඇත.
සටහන අයිතිකරුට ස්තුතියි 🙏


notes of imaginary

ඉදිරි දෙසතියේ උමං යුද්ධයක්



රෆා පිවිසුම විවෘතයි.
ගාසා තීරය හා ඊජිප්තුව අතර දේශසීමාවේ ඇති රෆා පිවිසුම් මාර්ගය මේ වන විට විවෘත කර ඇත්තේ රෝහල් ප්රතිකාර අවශ්ය වන පලස්තීන තුවාලකරුවන් හා ගාසා තීරයේ කොටු වී සිටින විදේශිකයන් ඉවත්කර ගැනීම සඳහාය. එසේම ගාසා තීරයේ ජීවත්වන ද්විත්ව පුරවැසියන්ටද රෆා පිවිසුම හරහා ගමන් කිරීමට ඉඩ සලසා ඇත. දේශසීමා රහිත වෛද්යවරු (Doctors Without Borders) පවසන්නේ තුවාල ලැබූවන් 20,000 කට වැඩි පිරිසක් තවමත් ගාසා තීරයේ සිරවී සිටින බවයි.
රෆා පිවිසුම විවෘත කිරීමට ඊජිප්තු රජය අවසානයේ එකඟ වූයේ කටාර් හා ඇමෙරිකා එක්සත් ජනපදයේ මැදිහත්වීමෙනි. මේ සඳහා ඊජිප්තුව, ඊශ්රායලය පමණක් නොව හමාස් සංවිධානය එකඟ කරවා ගැනීමට අදාළ මැදිහත්කරුවන්ට හැකි වී ඇත. කෙසේ නමුත් ඊජිප්තුව එකඟ වී ඇත්තේ බරපතළ තුවාළ ලැබූ ගාසා වැසියන් භාර ගැනීමට පමණි. තවද පිවිසුම කෙතරම් කාලයක් විවෘතව පවතිනු ඇත්ද යන්න පිළිබඳව නිවේදනය කර නැත.
ජබාලියා සරණාගත කඳවුරට ප්රහාරයක්.
ඊශ්රායල හමුදාව මේ වන විට ගොඩබිමෙන්, මුහුදෙන් හා ගුවනින් ගාසා තීරයට ප්
රහාර එල්ල කරමින් ඇත. කලාපයේ පිහිටා ඇති විශාලතම සරණාගත කඳවුර වූ ජබාලියා වෙත දිනපතා ගුවන් ප්රහාර එල්ල වෙමින් පවතී. එකී ප්රහාරවලින් කඳවුරේ 200 දෙනෙකු පමණ මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කර තිබුණි. සෞදි අරාබිය ඇතුළු අරාබි කලාපයම මේ ප්රහාරය දැඩි ලෙසින් හෙළා දැක ඇත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පවසන්නේ මෙම ප්රහාරය යුද අපරාධයක් විය හැකි බවයි. එහිමානුෂීය කටයුතුපිළිබඳ ලේකම්වරයාට අනුව ඊශ්රායලයේ ම්ලේච්ඡ ක්රියාවන්ට එරෙහිව ලෝකයට කිසිවක් කළ නොහැක. එසේ නැත්නම් ඊට එරෙහි වීමට කැමැත්තක් නැත. පසුගිය සතියේදී ගාසාහි අල් අහ්ලි බැප්ටිස්ට් රෝහලට එල්ල වූ ගුවන් ප්රහාරයකින් ද පලස්තීනුවෝ 471 දෙනෙකු මියගියහ. මෙම ප්රහාරය ඊශ්රායලය විසින් සිදුකළ බව පලස්තීනය පැවසුවද ඊශ්රායල හමුදා පවසන්නේ එය හමාස් සංවිධානයේම වැරදුණු කුරුමානමක් බවයි.
ජබාලියා ප්රහාරය පිළිබඳව දසතින් විරෝධය එල්ල වෙද්දී ඊශ්රායල ආරක්ෂක අංශද ඊට ප්රතිචාර දක්වා ඇත. ගුවන් ප්රහාරය එල්ල කළේ නිවැරදි හමාස් ඉලක්කයකට බව හමුදා ප්රකාශකයා පවසයි. ජබාලියා සරණාගත කඳවුර පිහිටි භූමියට යටින් හමාස් උමං මාර්ගයක් ඇති බවත් ප්රහාරයෙන් හමාස් අණදෙන නිලධාරියෙකු වූ ඊබ්රාහිම් බියාරි මිය ගොස් ඇති බවත් ඊශ්රායල හමුදා ප්රකාශකයා පවසයි. බියාරි යනු පසුගිය ඔක්තෝම්බර් 7 වෙනිදා ඊශ්රායලය තුළට කඩාවැදී සිවිල් ජනතාවට එරෙහි ම්ලේච්ඡ ප්රහාරය එල්ල කළ ත්රස්තවාදී නායකයෙකු බව ඔහු වැඩිදුරටත් පවසයි. ඊට අමතරව ගාසා තීරයට එල්ල කරන ලද තවත් ගුවන් ප්රහාරයකින් හමාස් යුද ටැංකි නාශක මිසයිල බලකායේ අණදෙන නිලධාරී මුහම්ම්ද් අසාර් මරා දැමූ බව පැවසේ. හමාස් ත්රස්තවාදීන් විසින් පලස්තීන සාමාන්ය ජනතාව පලිහක් ලෙස භාවිතා කරමින් සිටින බව ඊශ්රායලය දිගින් දිගටම ප්රකාශ කරයි. ජබාලියා ප්රහාරයෙන් තමන්ගේ ප්රාණ ඇපයේ සිටි විදේශිකයන් ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකු මිය ගිය බව හමාස් සංවිධානය ප්රකාශ කර ඇත. මේ අනුව ජබාලියා සරණාගත කඳවුරද හමාස් ක්රියාකාරකම් සිදුවූ ස්ථානයක් බවට වූ ඊශ්රායල තර්කය බැහැර කළ නොහැක.
මානුෂික සටන් විරාමයක්
වහාම ඊශ්රායලය සහ හමාස් සංවිධානය අතර මානුෂීය සටන් විරාමයක් ඇති විය යුතුයැයි ඉල්ලා සිටිමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය යෝජනාවක් සම්මත කර තිබේ. ගාසා තීරයට අවශ්ය ආධාර ප්රවේශ වීමට ඉඩ ලබා දෙන ලෙසත් එයින් ඉල්ලා ඇත.
යෝජනාවට පක්ෂව ශ්රී ලංකාව ඇතුළු රටවල් 121ක් ඡන්දය දුන් අතර ඊශ්රායලය සහ එක්සත් ජනපදය ඇතුළුව රටවල් 14ක් ඊට විරුද්ධ වී ඇත. මහා බ්රිතාන්යය, කැනඩාව හා ඉන්දියාව ඇතුළු තවත් රටවල් 44ක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. ඔක්තෝබර් 7දා ඊශ්රායලයට එල්ල කළ “ත්රස්තවාදී” ප්රහාරය සම්බන්ධයෙන් හමාස් සංවිධානය වඩාත් පැහැදිලිව හෙළා දකින සංශෝධනයක් හඳුන්වා දුන් කැනඩාව, එම සංවිධානය විසින් අල්ලාගෙන සිටින ප්රාණ ඇපකරුවන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා සිටියේය.
මානව වර්ගයාට අඳුරු දිනයක්
මේ අතර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හමුවේ උද්වේගකර කතාවක් පැවත්වූ එක්සත් ජාතීන්ගේ ඊශ්රායල තානාපති ගිලාඩ් එර්ඩන් මෙම යෝජනාව දැඩිව විවේචනය කළේය. යෝජනාව මඟින් ඊශ්රායල-පලස්තීන යුද්ධයක් පිළිබඳව හුවා දක්වා ඇති මුත් මෙය කිසිසේත්ම එවැන්නක් නොවන බවත් ඊශ්රායලය මේ අවස්ථාවේ සිදුකරන්නේ සමූලඝාතක,මිනීමරු හමාස් ත්රස්තවාදයට එරෙහි සටනක් පමණක් බවත් ඔහු සඳහන් කළේය. මුළු ලොවම තමන්ට එරෙහිව සිටියද හමාස් ත්රස්තවාදය මිහිපිටින් තුරන් කර මිසක් ආපසු හැරීමක් නැති බව ඔහු සපථ කළේය. එය නූතන නාසිවාදයට එරෙහිව ඊශ්රායල නීතිය මඟින් තම හමුදාවන්ට ලැබී ඇති අත්හළ නොහැකි වගකීමක් බව තානාපතිවරයා ප්රකාශ කළේය.
“මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ මානව වර්ගයාට අඳුරු දිනයක්. හමාස්වරු කිසිදිනෙක පලස්තීනුවන්ගේ ජීවිත ගැන සැළකුවේ නැහැ. ඔවුන්ට සාමය හෝ සාකච්ඡා අවශ්ය නැහැ. ඔවුන්ගේ එකම අරමුණ ඊශ්රායලය විනාශ කිරීම හා මිහිපිට වෙසෙන සියලුම යුදෙව්වන් මරා දැමීම පමණයි. අප ඔවුන් විනාශ කිරීමට හැකි සියලුම උපක්රම භාවිතා කරනවා. "
දරුවන් ඉදිරියේ දෙමව්පියන්ද දෙමව්පියන් ඉදිරියේ දරුවන් ද කුරිරු වධ හිංසාවන්ට ලක්කර මරා දැමූ බවත්, තරුණියන් දූෂණය කර මරාදමා ඔවුන්ගේ නිරුවත් සිරුරු ගාසා තීරයේ මාවත් දිගේ රැගෙන ගිය බවත් ඒවා වීඩියෝ කර සමාජ මාධ්ය ඔස්සේ බෙදා හැර ඇති බවත් ඔහු ප්රකාශ කළේය. යුදෙව්වෙකු නොවන තායිලන්ත ජාතිකයෙකු වධ හිංසා කරමින් මරා දමන වීඩියෝවක් මහාමණ්ඩලය හමුවේ ප්රදර්ශනය කළේය. මෙවැනි සාහසික ම්ලේච්ඡත්වය වීඩියෝගත කර ලොවට බෙදා හැරීමේ අරමුණ ලෝකයා තැති ගැන්වීම හැර වෙනත් කුමක්දැයි ප්රශ්න කළේය.
"සටන් විරාමයකින් සිදුවන්නේ හමාස්වරුන්ට නැවත සංවිධානය වී ඊශ්රායලයට ප්රහාර එල්ල කිරීමට හැකි වීම පමණයි. අපි ඊට ඉඩ දෙන්නේ නැහැ. මේ ආරක්ෂක මණ්ඩල යෝජනාවේ කිසිතැනකහමාස් ත්රස්තවාදීන් විසින් මරා දැමූ ඊශ්රායල ජාතිකයන් හෝ විදේශිකයන් ගැන සඳහන් වන්නේ නැහැ. නමුත් මම ඔවුන් වෙනුවෙන් මගේ කාලයෙන් මිනිත්තුවක් වෙන් කරනවා." එර්ඩන් මහතා එසේ කියමින් තම වේගවත් ප්රකාශය නිමා කළේය.
ඊශ්රායලය තතිවෙයි.
පලස්තීනුවන් හෝ ඊශ්රායල ජාතිකයන් හෝ මියයන්නේ කවුරුන් වුවද මෙම අර්බුදය මානව වර්ගයා මුහුණ දෙන මහා නස්පැත්තියක් බවට පත්ව ඇත. ලිපිය ලියන මොහොත වන විට පලස්තීනුවන් 9061 ක් ගැටුමෙන් මියගොස් ඇති අතර ඔක්තෝබර් 7 වැනිදා හමාස් ප්රහාරයෙන් ඊශ්රායලය තුළ පුද්ගලයන් 1400 කට වඩා මියගොස් ඇති බව වාර්තා වෙයි. ගැටුමෙන් සෑම මිනිත්තු 10 කට වරක් පලස්තීන ළමයෙකු මියයන බව Save the Children සංවිධානය පවසයි. කෙසේ නමුත් මියගිය ප්රමාණය පිළිබඳව හමාස් සංවිධානය ඉදිරිපත් කරන සංඛ්යාලේඛන පිළිගත නොහැකි තත්ත්වයක ඇති බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්රකාශ කර ඇත. අවසන් කටයුතු කිරීමට සූදානම්ව සුදු රෙදිවලින් ආවරණය කර ඇති ව්යාජ මළ සිරුරුවල වීඩියෝද සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වෙමින් ඇත. හමාස් සංවිධානය ජාත්යන්තර ප්රජාවේ අනුකම්පාව අපේක්ෂාවෙන් මෙවැනි මවාපෑම් සිදුකරන බවට සමාජ මාධ්යයන් ඔස්සේ චෝදනා එල්ල වෙමින් පවතී. කෙසේ නමුත් දැන් මෙය හමාස් සංවිධානය හා ඊශ්රායල හමුදා අතර යුද්ධයක් පමණක් නොව ලෝකයේ සෑම කලාපයකටම හිසරදයක් වූ ගැටුමකි.
ශුද්ධෝත්තම ප්රැන්සිස් පාප් වහන්සේ පවසන්නේ මෙය එකට ජීවත් විය යුතු ජනවර්ග දෙකක් අතර අවාසනාවන්ත ගැටුමක් බවයි. වහාම ඔස්ලෝ ගිවිසුම ක්රියාත්මක කර රාජ්යයන් දෙකක විසඳුමට පිවිසෙන ලෙස උන්වහන්සේ ඉල්ලා ඇත. 1947 එක්සත් ජාතීන්ගේ යෝජනාව ක්රියාත්මක වී එවකට පලස්තීනය හා ඊශ්රායලය නම් වූ රාජ්ය දෙකක් පිහිටුවීමට හැකි වූවානම් අද මේ විනාශය සිදුවන්නේ නැත. බොහෝ ජාතීන් පිළිගන්නා පරිදි ගැටුමෙන් මිදීමට ඇති එකම මාර්ගය එයයි.
මේ අතර හමාස් ත්රස්තවාදය ප්රතික්ෂේප කරමින් ඊශ්රායලයට පක්ෂපාතීත්වය දැක්වූ රාජ්ය පවා ජබාලියා ප්රහාරය හෙළා දකිමින් ප්රකාශ නිකුත් කර ඇත. ආජන්ටිනා විදේශ අමාත්යාංශය ප්රකාශ කරන්නේ ආත්මාරක්ෂාව සඳහා ඊශ්රායලයට ඇති අයිතිය පිළිගන්නා නමුත් ජාත්යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය හා සන්නද්ධ ගැටුම් හේතුවෙන් සිවිල් ජනතාව ආරක්ෂා කිරීමේ වගකීමෙන් මිදීම යන කාරණා ඒ අයිතියෙන් වැසියනොහැකි බවයි.ආජන්ටිනාවේ රාජ්යතාන්ත්රික ප්රතිචාරය පැමිණෙන්නේ අනෙකුත් ලතින් ඇමරිකානු රටවල් ඊශ්රායලයට එරෙහිව රාජ්ය තාන්ත්රික ක්රියාමාර්ග ගැනීමෙන් පසුවය. පසුගියදා බොලිවියාව ඊශ්රායලය සමඟ රාජ්ය තාන්ත්රික සබඳතා අත් හරින බව නිවේදනය කළේය. එසේම කොලොම්බියාව සහ චිලී රාජ්යය ඊශ්රායලයේ සිටින ඔවුන්ගේ තානාපතිවරුන් උපදේශනය සඳහායැයි පවසමින් ආපසු කැඳවා ඇත.මෙක්සිකෝව සහ බ්රසීලය වැනි අනෙකුත් ලතින් ඇමරිකානු රටවල් ද සටන් විරාමයක් ඉල්ලා ඇත.
එසේම මැද පෙරදිග රාජ්යයක් වූ ජෝර්දානයද මේ වන විට ටෙල්අවිව් සමඟ රාජ්යතාන්ත්රික සම්බන්ධකම් අත්හැර ඇත. ඇමෙරිකානු ජනාධිපතිවරයාද පෙන්වා දී ඇත්තේ ප්රාණ ඇපකරුවන් මුදවා ගැනීමටනම් විරාමයක් අවශ්ය වනු ඇති බවයි. ඔහු අදහස් කරන්නනේ සටන් විරාමයක් නොවේ. ඔහුගේ පක්ෂයේ සාමාජිකයන්ගෙන් එල්ල වන පීඩනය හමුවේ බයිඩන් මහතාට එසේ කීමට සිදුව ඇති බව කිව හැකිය. හමාස් ග්රහණයේ ඇති ප්රාණ ඇපකරුවන් අතර ඇමෙරිකානුවන් කිහිප දෙනෙකුත් සිටිති. රෆා පිවිසුම විවෘත කිරීම පිළිබඳව ඊජිප්තුවට ප්රශංසා කළ බයිඩන් මහතා ගැටුම්වලදී සිවිල් වැසියන් ආරක්ෂා කරන ලෙස ඊශ්රායලයට දිගින් දිගටම බලපෑම් කරන බව ද පැවසීය. ඕස්ට්රේලියාව ද ඊශ්රායලයෙන් ඉල්ලා ඇත්තේ ඔක්තොම්බර් 7 පරහාරයට පරතිචාර දැක්වීමේදී සංයමයෙන් කටයුතු කරන ලෙසයි.
ඊශ්රායලය පවසන්නේ ගාසා තීරයේ හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ප්රාණ ඇපකරුවන් සංඛ්යාව 242 ක් බවයි. තායිලන්ත රජය පවසන්නේ ප්රාණ ඇපයේ සිටින තම පුරවැසියන් නිදහස් කර ගැනීම සඳහා හමාස් සංවිධානය සමඟ සෘජුවම කතා කළ බවයි. තායි ප්රාණ ඇපකරුවන් 25 දෙනා “නියම වේලාවට” නිදහස් කරන බවට සහතිකයක් ලැබුණු බව තායි බලධාරීහු ප්රකාශ කරති.
මේ අතර හමාස් සංවිධානයට එරෙහිව සටන් කිරීම සඳහා ජාත්යන්තර සන්ධානයක අවශ්යතාවය පෙන්වා දුන් ප්රංශ ජනාධිපති එම්මෑනුවෙල් මැක්රොන් හට රුසියාව දෝෂාරෝපණය කර තිබේ. ජනාධිපති පුටීන් කියා සිටියේ එවැනි පියවරක් ආතතිය උත්සන්න කිරීමට හා ගැටුමට සම්බන්ධ වීමට අනෙකුත් පාර්ශවයන් වෙත කරන බලකිරීමක් වනු ඇති බවයි.
උමං යුද්ධයක්
ඊශ්රායල හමුදා මේ වන විටත් ගාසා තීරයට ඇතුළු වී ඇත. එහි ප්රධාන නගරය වූ Gaza City වට කර ඇත. ඊශ්රායල හමුදාවන්ට තිබූ බරපතලම අභියෝගය වූයේ හමාස් සංවිධානය විසින් ඉදිකර ඇති උමං මාර්ග පද්ධතියයි. පසුගිය දා හමාස් ප්රාණ ඇපයෙන් නිදහස් වූ 85 හැවිරිදි යොචාවෙඩ් ලිෆ්ෂිට්ස් මහත්මිය විස්තර කළේ හමාස් භටයන් විසින් තමන්ව “මකුළු දැල් වැනි යෝධ උමං පද්ධතියක්” හරහා කිලෝමීටර කිහිපයක් පොළව යටට රැගෙන ගිය බවයි. ඊශ්රායල හමුදාවට අනුව ඔවුන්ගේ ප්රාණ ඇපකරුවන් මේ වන විට රඳවා ඇත්තේ මෙකී උමං මාර්ග තුළයි. හමාස් ගැන අධ්යයනය කර ඇති හමුදා විශේෂඥයන් මෙකී උමං මාර්ග හඳුන්වන්නේ දරුණු බෝම්බ ප්රහාර මාලාවකින් පසුව වුවද හමාස් සටන්කාමීන්ට තවදුරටත් රැකවරණය ලැබිය හැකි ප්රබල ආරක්ෂක බංකර පද්ධතියක් ලෙසයි.
කෙසේ නමුත් මෙම අසීරු අභියෝගය ජයගැනීම සඳහා වූ දැවැන්ත ඊශ්රායල හමුදා මෙහෙයුම ආරම්භ කිරීමට දැන් සූදානම් වෙන බව නිරීක්ෂණය වේ. තම හමුදාවන්ට නතු වූ ගාසා තීරයේ බිම් කොටස්වල හමාස් උමං මාර්ග එකින් එක විනාශ කිරීමට ඊශ්රායල හමුදා ඉංජිනේරුවන් පුළුල් මෙහෙයුමක් ආරම්භ කර ඇත. මේ සඳහා රොබෝ යන්ත්ර සහ පුපුරණ ද්රව්ය භාවිත කිරීමට සැලසුම් කර ඇත. හමාස් මර උගුල් පුපුරවා ත්රස්තවාදීන් සියලු දෙනා මරා දමන බව ඊශ්රායලය පවසයි.
මරාගෙන මැරෙන පරම්පරාවක්
ගාසා තීරයට ඇතුළු වුව හොත් ඊශ්රායලයට අමතක නොවන පාඩමක් උගන්වන බැව් කී ඉරානය තවමත් සන්නද්ධ මැදිහත් වීමක් සිදුකර නැත. නමුත් ඉරානයේ සහාය ලබන යේමනියේ හූති සංවිධානය හා ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ගැටුමට මැදිහත් වී ඇත. වර්තමානයේ යේමනයේ බලය හොබවන්නේ හූති සංවිධානයයි. යේමනියේ සිට ඊශ්රායලය වෙත බැලැස්ටික් මිසයිල හා ඩ්රෝන ප්රහාර එල්ල කරමින් ඇත. කෙසේ නමුත් ඊශ්රායලයට එරෙහිව එක් බලවේගයක් ලෙස නැඟී සිටින ලෙස ඉරානය ලෝකයේ අනෙකුත් ඉස්ලාමීය ජාතීන්ගෙන් ඉල්ලා ඇත. ඊශ්රායලය මේ මොහොතේ තමන්ට හැකි උපරිම දුරකට සටන මෙහෙයවන බව පෙනෙන්නට තිබේ. බොහෝ විට එය ගාසා තීරයේ උතුරු කොටස තම පාලනයට නතුකර ගැනීමක් විය හැකිය. හමාස් සංවිධානයද හමුදාමය වශයෙන් දුර්වල විය හැකිය. නමුත් හමාස් යනු හුදු සංවිධානයකට වඩා වැඩි යමකි. එය විනාශ කළ නොහැකි මතවාදයක් වන අතර උපක්රමශීලීව ත්රස්තවාදයට යොමු වීමේ ඉඩකට බැහැර කළ නොහැක. ආගමික අන්තවාදය ගුරු කොට ගත් රාජ්යයන් විසින් එම මතවාදය තවදුරටත් පෝෂණය කරනු ඇත. ගාසා තීරය ඊළඟ පරම්පරාවේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් හෝ ජිහාඩ්වාදීන් බිහි කිරීමට තෝතැන්නක් වනු ඇත. කෙසේ නමුත් යුද්ධයට දීර්ඝකාලීන ජයග්රාහකයන් නොමැති බව කිව යුතුය.

notes of imaginary

Thursday, November 02, 2023

බෙලිහුල්ඔය

++++පද පෙල සුරංග බණ්ඩාරයන්ගේ .
සීතල මහඑළිය සිය මවුතුමිය කොට
සිරිපා සිසිල ලද තුරුලිය වදුලු යට
විදහාලමින් සුදු පෙනපිඩු ඔසරිපොට
බෙලිහුල්ඔය ගලයි මනහර රුවින් සිට
වැසිදින වලදි තිමිරය අතරින් බේරී
හාගල අද්දරදි තව දියවැල් මේරී
සියුමැලි රටාවෙන් රළු සෙල්තල සීරී
නව හැඩමවයි මේ සුන්දර හැඩකාරී
රූසිරි මවා ලොව අමුතුම කලාවක
පහනක් තනා සුවිසල් සෙල් තලාවක
දල්වනු පිණිස තෙල් හිගවුනු වෙලාවක
පුරවා තිබේ දිය කොළපැහැ ගුලාවක
තානායම අසල ඇති පාලමට යටින්
සැරසී ගියත් සුපුරුදු සුදු ඔසරි පටින්
විටෙකදි වෙනස්වී රූසිරි එහෙම පිටින්
රුදුලෙස පහරදෙයි ඇයසිය අතින්කටින්
ළෙංගතුකමින් සිට සියදහසක් වාර
ඇය හා සබැඳි සැමටම කර උපකාර
අවසානයේ මෙතුවක් සපැමිණි පාර
සමනල වැවට ජීවිතයම දෙයි බාර


 


notes of imaginary

Wednesday, November 01, 2023

ඇය



කඳු යායට ඔබින් සරතැස නිවාලන
මුදු මඳ පවන් සනසා තුරු පත් සලන
වියපත් හිරු සිඹියි රත් දෙකොපුල සොඳින
රන්වන් සිතුවමකි වැව අසබඩ හිඳින .
රළ පෙළ සසළ වෙයි වැව් තාවුලේ ඇනී
බිඟු කැළ ගී ගයති කුමුදක සුවඳ දැනී
මඳනල කියඹු වැල් හා දඟ කරනු පෙනී
සුලකළ වටොර නෙත් සළෙළුන් වැළඳ ගනී .
දිය කාවුන් ඉගිළ යති සුළි නංවාලා
ගිරවුන් කුඹුක් අතු මත පළසක් වියලා
තනි වූ ඔරු කඳක් එගොඩට යන ලීලා
ඇයගේ දෙපා වෑ කණ්ඩිය මත රැඳිලා .
සිතිජය රේඛාව කෙළවර වන බැද්දේ
විළිකුන් හිරු මඬල වැටිලා වැව මැද්දේ
අත වූ රෙදි බරට පුළුලුකුලත් පැද්දේ
දිය බිඳු වැටෙන ගෙල ලැම මා මන බැන්දේ .
පළුගස් මංඩියේ සුපුරුදු සෙවනැල්ලේ
මා නෙත් ඇගේ නෙත් යාවුණි එක එල්ලේ
තොල්පෙති ලිහී මතුවුණු පෙම් හසරැල්ලේ
නාමල් සුවඳ දැනුණා මට ඇගෙ.... කොපුලේ.
රෝ.සි.

ඈ රෝ. සි .මුහුණු පොතේ හැදින්වෙන්නේ එහෙමයි. නිතර නිතර නිර්මාණ එකතු කරන කිවිදියක්.විශ්‍රාමික විදුහල්පතිනියක් , අධ්‍යාපන නිළධාරිනියක් . එමෙන්ම අධ්‍යාපනවේදිණියක්.
පරිසරය මවා ගෙන ලියන පදවැල් නිතර ඇගේ පෑන්තුඩින් මැවෙනවා.
මෙයත් ඇයගේ අපුරු නිර්මාණයක්.
මට සිහිපත්වුනේ විමලරත්න කුමාරගමයන්ගේ හැඩරුව.




notes of imaginary

Tuesday, October 31, 2023

ස්වර්ගයෙයි අපායෙයි වෙනස!



ස්වාමි කෙනෙක් ශිව දෙවියන් හමුවට ගොස් කතාබහක යෙදී සිටියා.
”දෙවියනි, මං කැමතියි, ස්වර්ගයයි, අපායයි මොන වගේද කියලා දැන ගන්න.” ඔහු දෙවියන්ට කීවා.
ශිව දෙවියන් ස්වාමිව දොරවල් දෙකක් ළඟට එක්ක ගියා.
දෙවියන් ඉන් එක දොරක් ඇරියා. ස්වාමි ඒ තුළින් එබී බැලූවා.
ඒ කාමරය මැද ලොකු කවාකාර මේසයක් තිබුණා. ඒ මේසය මැද ලොකු ඉස්ටු බඳුනක් තිබුණා. ඒ බඳුනෙන් රස වෑහෙන සුවඳකුත් නිකුත් වුණා. ඒ කෙතරම් මිහිරි සුවඳක් ද කීවොත් ස්වාමිගේ කටටත් කෙළ ඉනුවා.
ඒ වට මේසය වටා වාඩි වී සිටි පිරිස කෙසඟ සිරුරින් යුත් රෝගී පෙනුමක් ඇති අයයි. ඔවුන් බොහෝ කලකින් කෑම නොකෑ අය මෙන් සිටියේ දැඩි හාමතෙන්.
ඔවුන් සැමදෙනා අතේ ම හැන්දක් බැගින් තිබුණා. ඒත් ඒ හැඳිවල මිට හරිම දිගයි. ඒ වගේ මිට දිග හැඳි ඊට පෙර ස්වාමි කවදාවත් දැක තිබුණේ නෑ. ඒ හැඳි හැම එකක් ම ඒ අයගෙ අත්වලට බැඳලයි තිබුණේ. ඒත් ඔවුන් හැමදෙනාටම පුළුවන්කම තිබුණා, මේසය මැද තිබුණු බඳුනට තමන්ගේ හැන්ද දමලා හැන්ද පිරෙන්න ඒ රස වෑහෙන ආහාර අර ගන්න. ඒත් ඒ හැඳිවල මිට දිග හින්දා ඒ ආහාර තමන්ගේ කටට දමා ගන්න ඔවුන්ට පුළුවන්කමක් තිබුණේ නෑ. ඒ නිසා කෑම නැතුව ඒ අය ලතවෙවී තමයි, හිටියෙ. ඒ කෑමට ඇති ආසාව ඔවුන්ගෙ මුහුණුවල තිබුණා. ඒත් කන්නට නොලැබීම ගැන ලොකු කනස්සල්ලක් ඒ මුහුණුවල ඇඳිල තිබුණා.
ඒ දර්ශනය දුටු ස්වාමිගෙ ඇඟ කිලිපොළා ගියා. ඔවුන් විඳි වේදනාව හා සංතාපය ස්වාමිට තදින් දැනුණා.
ශිව දෙවියන් ඒ දොර වසා දැම්මා.
”ඒ ඔබ දැක්කේ අපායයි.” ශිව දෙවියන් කීවා.
ශිව දෙවියන් ඊළඟ දොර ළඟට ගියා. ඒ දොර ඇර ස්වාමිට පෙන්නුවා.
ඒ කාමරයත් කලින් කාමරය වගේමයි. ලොකු කවාකාර මේසයත් ඒ මැද සුවඳ හමන ස්ටුවලින් පිරි විශාල බඳුනත් කලින් කාමරයෙ විදියට ම තිබුණා. ඒ ආහාර සුවඳ නිසා ස්වාමිගේ කටට කලින් වගේ කෙළ ඉනුවා.
ඒ මිනිසුන්ගේ අත්වලටත් අර වගේම දිග මිට ඇති හැඳි තිබුණා. ඒත් එහි උන් පිරිස නිරෝගීව මෙන් ම පුෂ්ටිමත්ව සිටියා. ඔවුන්ගේ මුහුණු සතුටින් ඉතිරිලා ගොස් තිබුණා. ඔවුන් සිනාසෙමින් එකිනෙකා හා කතාබහේ යෙදෙමින් සිටියා.
ස්වාමිගේ මුහුණේ පරශ්නාර්ථයක් ඇඳුණා. ”දෙවියනි, මට මේක තේරෙන්නේ නැහැ.” ස්වාමි කිව්වා.
”ඒක හරිම සරල දෙයක්.” ශිව දෙවියන් කීවා. ”ඔවුන්ට ඒ සතුට ලැබිලා තියෙන්නේ ඔවුන් හඳුනා ගෙන තියෙන පුංචි දෙයක් නිසයි. ඔබට පේනවද ඔවුන් ඒ හැඳිවලින් එකිනෙකාට කවා ගන්නවා. කෑදර ආත්මාර්ථකාමී අය හිතන්නේ තමන් ගැන විතරයි.” ශිව දෙවියන් කීවා.
(ඉන්දියානු ජන කතාවක්)


notes of imaginary