ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

ලොව දිනු පුවත දැනගෙන පින්වත් කුමරූ සත් පියුමන් පිපුණි පින් සුවඳින් මියුරූ සිහිකර යළිත් අසිරිය සිදුවූ අයුරූ සමරමු වෙසක් මෙවරත් මිතුරු

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2023-08-21

භීෂණය සමග මාස පහක්.

 


 1971  විමුක්ති සටනට සිරිමාවෝ මැතිණිය ප්‍රතිචාර දැක්වුයේ සානුකම්පිතවය. විමුක්තිකාමීන් ප්‍රචන්ඩවුවත් මැතිනියගේ හමුදාවන් ප්‍රචණ්ඩවුයේ බැරිම අවස්ථාවන්හිදී පමනක්යයි මට සිතෙයි. එතුමියගේ රජය  පුනරුත්තාපනය කෙරෙහි වැඩි බරක් තැබුයේය.

එහෙත්  88 -89 කැරළි සමය වඩාත් ප්‍රචණ්ඩකාරී විය.දෙපාර්ශවයම අකාරුණිකව කටයුතු කලේය. රජයක් තම ජනතාව හිතුවක්කාරයයි සැලකෙන්නේ නම් වදයට වේදනාවට පත් කර මරා දමන්න සැළසුම් කරයි නම් එය ම්ලේච්ඡ කටයුත්තක් ලෙස හැදින්වීම හැර වෙන හැදින්වීමක් නැත.

 ප්‍රේමදාස රජය හිතා මතා ඒ කටයුත්ත සිදුකලේය. මහ මගදී ඔහුත් වෙනත් ආකාරයකට හෝ වන්දි ගෙවීය.

ජනතා විමුක්ති පෙරමුනේ අවදිවීමත් - ප්‍රභාකරන්ගේ අවදිවීමත් එක සමාන කර දැක්විය නොහැක.

88- 89 සමයේ කිසිදු  විචාරයක් නොමැතිව තරුණයින් අත් අඩංගුවට ගත්තේය. වද හිංසා පැමිණවීය ම්ලේච්ඡ අන්දමින් මරණයට පත් කලේය.

මේ කතාව හිංසනයට පත්වු මීදුමගේ සහෝදර මිත්‍රයකුගේ කතාවයි. දේශපාලනය කොයිතරම් අමිහිරිද යන්න පසක් කර ගන්න  ඔහු දින තුනකදී පලකල වියමන් තුනක් මූණු පොතෙන් උපුටා ගෙන  සම්පුර්න කතාවක් ලෙස  මම  පලකලෙමි.

ඔහු මට සමාවනු ඇත.

💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥

මේ වගේ සිදුවීම් හුඟ දෙනෙකුට අත්විඳින්න නොලැබෙන නිසාත් නොකියා නොලියා හිටියොත් මාත් එක්කම ඒවා වැළලිලා යන නිසාත් ...ඔන්න අහගන්නකෝ

එතකොට මම බදුල්ලෙ උඩවෙල ම.ම. විදුහලේ ගුරුවරයෙක්.හිටියෙ විනීතගම. මූණ පුරා රැවුල වවාගෙන,කොණ්ඩෙත් වවාගෙන ටිකක් අමුතුයි තමා.කොහොම වුනත් එක්තරා දවසක හවස දූට පාටපෙට්ටියක් ගේන්න දෙකේ කනුවට යන්න පාරෙ ඉන්නකොට ආමි එකෙන් අල්ලන් ගියා.

 

(මේටිකත් මාරයි.ලියන්න යනදේට බාධාවක්නෙ.ඒහින්ද කතාවට යන්නම්)

 

මම ගෙනිහින් දැම්මෙ old dhuuthiyan club එකේ stage එකේ යට අඩි3 1/2 ක් විතර උස කලුවර කාමරයක.එක දොරයි ඒකත් වහලා මුරදාල.අපි 30 ක් විතර ඒක අස්සෙ .12×15 විතර කාමරයක්.ඉන්න අය අඩු වැඩි වෙනවා.ගිය අය ආයෙ කවදාවත් ආවෙත් නෑ.

කන්න දෙන්නයි වැසිකිළි එක්ක යන්නයි දෙසැරයක් දොර අරිනවා.ඒවා පෝලිමේ සන්නද්ධ රැකවරන ඇතුව

මාස දෙකක් විතර යන්න ඇති.ගෙදර අය දන්නෙ නෑ මම ජීවතුන් අතරද කියලා වත්.

එක දවසක් උදේ 11 ට විතර දොර ඇරුන කව්ද සිරිපාල.

වරෙන් එළියට.

ගලවපන් කමිසෙ. කතාකළා ඇතුලෙම කෙනෙකුට

බැඳපන් මුගේ ඇස්දෙක.

ගලෝපිය තොගේ කමිසෙත්

බැඳිපිය මුගේ අත්දෙක පිපස්සට කරලා.

අල්ලා ගත්තවැලමිටට උඩින්

වරෙන්

ඕං ඉතින් මම යනවා.කණා වගේ.කකුල් ඇගිලි හැම එකේම ඇනෙනවා ඌයි වත් කියන්නයැ.අව්ව වැටෙනව හෙවන එනවා ඇඟට දැනෙනවා කටහඬවල් ඇහෙනවා .

විනාඩි 6,7කින් හෙවන තැනකට ගෙනාවා.ඇදගෙන ගියා ටිකක් අස්සකට වගේ.

ඉඳගන් ඔතන

කකුලෙන් එහා මෙහා කරල බැලුවා.දෙපැත්තෙ මොනවහරි බඩුවගේ.පොඩි හිස් මැදක්.

ඉඳගන්

ඉඳගන්න බෑ බිම.අත් බැඳලා පේන්නෙත් නෑනෙ .

එහෙමම පාත් උනා. පෙරේතය පොලොවෙ ගැහුව වගේ පස්සබිම ඇනිල උඩුබැල්ලෙන් පෙරලුනා.කෙළින් වෙන්න බෑ.කව්ද අතින් ඇදල කෙළින් කළා.

ටික වේලාවකින් කීප දෙනෙකුගේ බර සපත්තු හඬ.නැවතුනා.

කෝ අරූ.

මගේ ඉස්සරහට යකඩ කෑළි ගොඩක් බරට වැටුනා.

කියපන් ඇත්ත.උඹ ගැන සේරම අපි දන්නවා.

තෝ නේද මලංගම හයිටෙන්ෂන් කණුව කැපුවෙ.

නෑ

මම දන්නෙවත් නෑ එහෙම එකක්.

තෝ දන්නෙ නෑ.එහෙම තමයි තොපි කියන්නෙ.

තෝ නායකයෙක්.

තව ගොඩක් දේවල් ඇහුවා.ඒ එකක්වත් මං දැනනගෙන හිටියෙ නෑ.

මුගෙන් මෙහෙම අහල දැනගන්න බෑ.

එල්ලපන් මූ.

 දිගු නිහැඬියාවක්.පිටත බොහෝ හඬවල්.ජීප්,බයික්,සපත්තු,කුණුහරුප,ඇමතීම්,නියෝග අරවා මේවා ....

දැන් මාව එල්ලනු ඇත.කකුළේ මහපටැගිලි දෙක එකට ගැටගසා ඇඟිලි දෙකෙන් ඔලුව පහලට සිටින සේ උඩ එල්ලා පහර දෙන බවත්,ගෝනියකින් මුහුණ වටට ඔතා යටින් ගිණිකබලක් තබා එයට මිරිස් දමන බව ඒ වදයට ලක් වූ තරුණයෙක් කී අයුරු මට මතක් වේ. මා එයට මුහුණ දීමට හිත හදා ගත යුතුය. බංකුවක මුනින් නිදිකරවා අත්දෙක යටින් ගැට ගසා දෙතුන් දෙනෙකු ඇඟ දිගට වාඩි වී සිලිබෑගයකට පෙට්රල් දමා

එය බෙල්ල ළඟින් සිරකර අල්ලා සිටින බවත් සමහරු එවිට දඟලන වේගෙට ඇග දිගට ඉන්න උනුත් විසිවෙන බවටත් කී කතාවක් හා ඒආදී නොයෙක් වද ගැන මගේ හිතේ එක වැලට මතු විය.

මේ කව්ද?....අර ගුරුතුමා නේද.කව්ද මෙහේට ගෙනාවෙ. නිවුනු කට හඬක්.මම පිළිමයක් වී ඇත.

ඔහු මගේ ඇස් බැඳ තිබූ රෙද්ද පහතට කළේය.අත්දෙකද ලිහුවේය.. තරුණ භටයෙක්.මගේ අම්මත් ගුරුවරියක් ඔහු කීවේය.අතතිබූ ගිණි අවිය ඇඳ ඉහළ කෙලවරේ තැබීය.මා සිටියේ කූඩාරමකය. එය ගබඩාවකි.ඔහු නරසිංහය.ගම මාතලේ බව කීවේය.මට බොන්න වතුර කෝප්පයක්ද ඔහු දුන්නේය.

මං ඉන්න වෙලාවට ඔහොම ඉන්න.මං නැත්නම් අත් දෙක බැන්ද විදිහට පලවාගෙන පස්සට කරගෙන ඇස්දෙකත් වහගෙන ඉන්න. ඔහු උපදේශයක් දුන්නේය.

කෝ ඉස්කෝලෙ මහත්තයා.දවල්ට කෑවෙ නෑ නේද.ඉන්ඩ මං කෑම එකක් ගේන්නම්. ඒ සිල්වාය.කුස්සිය භාරව සිටි නිළදරයයි.කුමන හේතුවක්ද නොදනිමි ඔහුද මට ලෙන්ගතු ව සිටියේය.

ටික වේලාවකින් ලොකූ බත් පිඟානක්ද ගෙන ඔහු පැමිණියේය.ඔහු මගේ අත් ඇස් බැඳ තිබූ රෙදි අහකටම දැම්මේය

ඇයි මූ ලිහුවෙ.බොම්බඩි මහීපාල.ගබඩාවෙ ලොක්කා.

ඒව බැඳගෙන කන්න පුලුවනෑ.උදේටත් මේ මනුස්සයට කෑම නෑ.සිල්වා උත්තර දුන්නේය.

කන්න ගත්තද කෙසේවත් කෑ නොහැක.ගිලෙන්නේද නැත. මම පිගාන ආපසු දුනිමි.ඇයි කන්න බැරිද...මේ මස් කෑලි ටිකවත් කන්න.මම ඉතා අමාරුවෙන් ඒටික ගිල දැම්මෙමි.නරසිහ මහතා යළි ආවේය.

සිල්වා මගේ අත් ඇස් බැඳීමට සූදානම් විය.

ඔහොම තිබුනාවෙ.මං ඉන්නවා. නරසිංන්හ කීවේය..

පැයකට පමණ පසු අත් බැඳ ගන්න.මම එළියට යනවා. ඔහු ගියේය.මම අතරින් පේන ලෙස ඇස් බැඳ ගතිමි.අත් පටලවා ගතිමි.තල්ලු වී ගොස් ගොඩගසා ඇති කාකිගෝනි ගොඩට පිට හේත්තු කර ගතිමි.

මේ ගබඩාවට නිතර භටයෝ ආහ.මූ මොකද මෙතන.මූ කව්ද, ඇයි මූ,මම නොසෙල්වී හිඳිමි.

මා සිටි කූඩාරමට ආසන්නයේ නිලධාරී නිවාසයකි.ඇමතුම් වලින් එය පැහැදිලි විය.

වැලිමඩ ප්රදේශයෙන් තරුණයින් පිරිසක් අල්ලා ගෙනවිත් ප්රශ්ණකරන පහරදෙන කෑගහන හඬ මට ඇසේ.

ටික වේලාවකින් භටයින් දෙදෙනෙකු දෙපසින් අල්ලා ගත් තරුණයෙක් මා සිටි කූඩාරමට ඇදගෙන ආවේය.ඔහුගේ ඇඟේ තිබුනේසස්පෙන්ඩරය පමණි

ඔහුට ඉතා බරපතල ලෙස පහර දී තිබුනි.කන්නාඩියක් මුහුණට අල්ලා බලපිය තොගෙ මූණෙ හැටි .කිව්වෙ නැත්නම් මූණ පට්ට ගහනව තොගේ.වේගවත් පහරක් ඔහුගේ මුහුණට එල්ල කරමින් නිළධාරියා ගෙරවීය.ඔහුගේ මුහුණේ තැනින් තැන හම ගැලවී ගොස්

කියපිය

මං දන්....නෙ ...න්.... නෑ...සර්.ඔහු ඉතා වේදනාවෙන් බැගෑපත් හඬින් කෙඳිරි ගෑවේය.තවත් පාරවල් තොගයක් ඇඟපුරා පතිත විය.පහර දෙද්දී ඔහු මහා හයියෙන් කෑගෑවේය. කෑගහද්දී උදලු මිටක් වැනි ලීයක් ඔහුගේ කටේ එබුවේය.එවිට ඔහුගේ හඬ දියේ ගිලුනු එකෙකුගේ මෙන් විය.

මගේ ගැලවුම්කරු යළි ආවේය.කීමටත් පෙර ඇස්වැස්ම උඩට කර ගතිමි.මට දැන් ඔහු හොඳින් පෙනේ.ඔහු අවුරුදු 28ක තරමේ තරුණයෙකි..කොණ්ඩයපොකුටුය අවුල්වී මුහුණටද බේරී ඇත.කඩවසම්ය. වැදගත් පෙනුමක් ඇත.

මූ බලා ගන්නවා.සිවිල් ඇඳුමෙන් සිටි අයෙකුට පවරා අර දෙදෙනා අනෙක් තරුණන් සිටි දෙසට ගියේය.

ටික වේලාවකින් ඒ පැත්තෙන් ලොකු ජයග්රාහී හිනාවල් ගොඩක් ඇසුනි.

අඳුර ගලමින් තිබුනි.ඒයි ලයිට් එක දාපන්.

නරසිංහ මුරට සිටි අයට කීය.

බෑ බං CO ගෙ කාමරේ ස්වීච් තියෙන්නෙ. නරසිංන්හ නැගිට ගියේය.යළි අර සිනාහඬ වඩා උත්කර්ශවත්ව ඇසුනි.මුරට සිටිඅයද එළියට ගියේ සිනාව කුමක් දැයි බලන්නට විය හැක.

විදුලියකටත් වඩා වේගයෙන් සෙවනැල්ලක් මා සිටි ඇඳ ලඟට පැන යළි ආපසු පැන්නේය. හෙළිකොප්ටරයක් මගේ ඔලුව උඩින් යන්නා වැනි ගිගුම් හඬකින් කන් දෙක පුපුරා ගියේය.මම මැරුනා සේ බිම දිගාවීමි.

 වෙනදා වෙලාවට දොර ඇරුනේ නැත.පැය දාහතරක් පහලොවක් සියල්ල දරා ගත යුතුය.ශරීර කෘත්යය,තිබහ,බඩගිණි,සියල්ලේ තීරකයා ඔවුන්ය.ඒවා එහෙම ඉවසා සිටියේද යන්න අද මටත් ප්රශ්ණකි.

දොර ඇරුනි.වරෙව් දහයක්

දරා ගැනීම අපහසුම දහ දෙනා පළමුව. එය අපේ තීරණයකි.මූණ සේදීම වැසිකිළියාම, නෑම, මේ කාලය තුළ කරගත යුතුය.කාලය විනාඩි10ට අඩුයි.

මට අද වෙනදාට වැඩිවෙනස් උවමනාවක් ඇත.ඊයේ සිටියේ කොහිද ඒ සිදුවීම් වූයේ කොතැනද මොනවද එහි සලකුණු,....

තෝ ඕක ඇතුළෙ ලව් කරනවද වර එළියට.

සියල්ල අතරමග නවතා එළියට ආවෙමි.මුහුණ සෝද්ස්න අතරේ අවට පිරික්සා බැලීමි.

කාකි රෙදි ටෙන්ට් එක.ස්තිර කාමර පෙළක්..ඒ අතර අඩි දහයක පමණ ඉඩක්.

උදේ ආහාරයෙන් පසු යලිත් කූඩුවේ දොරගුලු වැටුනි.වොට්ස් දහයක පමණ බල්බයට කළ හැක්කේ

යාන්තම් මුහුණක් හඳුණාගත හැකි එළියක් දීම පමණි.තිබෙන කුඩා ඉඩෙහි දිගස්වීම හැර වෙන කළ හැක්කක් නැත.

පැයක් ගතවෙන්නට ඇත.හදිසියේ දොර ඇරුනි .

මෙසේ ඇරෙන්නේ ගෙනත් දමන්නට හෝ ගෙන යන්නටයි

කොයිකද ඊයෙ අරන් ගිය එකා.මට නැගිට්ටුනි.

වර ඉතින්

බැඳිපිය මුගෙ අත්දෙක. වරෙන්

මම ඔහුගේ අණ අනුව යමි.කාමර පේළියේ ඉස්තෝප්පුව.නිළධාරීන් කීපදෙනෙක් ඇඳිපුටුවල ඈඳිගෙන.

දණ ගහපන් සොල්දාදු උන්නැහේගෙ හඬ.

බලු කුක්කෙක් ගානට දණ ගසා ගෙන.

ඊයෙ තමුසෙද ටෙන්ට් එකේ හිටියෙ

ඔව්

මොනවද එතන වුනේ

මම දැක්කෙ නෑ.මගේ ඇස් බැඳලා තිබුනේ

මොකුත්ම දැක්කෙ නැද්ද

නෑ සර්

ඇහුනෙ මොනවද

එකප්රටම හෙලිකොප්ටර් එකක් ඔලුව උඩින් යනව වගේ ඇහුන. ඊටපස්සෙ කිසි සද්දයක් නෑ.කෑගහනව ඇහුනා.පස්සෙ කට්ටිය එහෙට මෙහෙට දුවනව ඇහුනා.

එච්චරද

ඔව් සර්

හැබැයි උඹ ඔයිට වඩා එක වචනයක් හරි කියලා තිබ්බොත් ඒ උඹේ අවසානෙ.කවුරු ඇහුවත් එච්චරයි හොඳද...

ඔව් සර්.

හ්ම්...අරන් යනව මෙයා.

අප්පේ..... දැක්ක ටික කිව්වනම් එදා මම ආපහු නොඑවන බව පසු කලෙක මට හමුදාභටයෙක්ම කීවේය.

එදින රාත්රියේ සිදුවූ සියල්ල දැන ගත හැකි විය.අතිරේකව පැමිණ සිටි හමුදා භටයින් පනහකට පමණ ආහාර පිසින්නට අර දමිළ තරුණයින් ගෙනගොස් තිබුනි.ඔවුන් සියල්ල අහුලාගෙන විත් තිබුනි..

ප්රශ්ණ කර ඇත්තේ වැලිමඩින් අල්ලා ගෙන ආ තරුණයින් තිදෙනෙකු ගෙනි.මාදුටුවේ ඉන් එක් අයෙකි.එක් අයෙකු වදදීමේදී තොරතුරු හෙළිකර ඇත.ඔවුන් සිනාසී ඇත්තේ ඒ වේලාවලයි.මුරට සිටි අය ඒ සිනාහඬ බලන්නටය එළියට බැස ඇත්තේ.නරසිංහ මහතා ලයිට් එකදාන්න එලියට ගියේ වෙපන් එක ඇඳ අසල හිබියදීය.මේ ක්ෂණයේ ඔහු ක්රියාත්මක විය.ඒ තුවක්කුවගෙන ඔහු හතර වටේ කීපදෙනෙකුම මරා දමා අවියද දමා කටුකම්බි පොටවල් නවයකට උඩින් පැන පැනගොස් ඇත.ඔහු වැලිමඩ සන්නද්ධ අංශයේ නායකයා බවට හඳුනාගෙන ඇත.ඔහු ලැඟටම ගොස් පාවාදුන් තරුණයස්ගේ ඔලුව කුඩුවීයනනම වෙඩිතබා ඇත.ඉහළ නිළදාරීන් ඇතුලු හය දෙනෙක් ඔහු අතින් මැරුම් කා ඇත.පළමු වරට ක්ෂණික විහිදුම් බලකායේ දෙදෙනෙකු එකවර මැරුම් කා ඇත්තේ මෙහිදීය.

එදින රාත්රියේ ඇඳිරි නීතිය දමා බදුල්ල පීරා සෙව්වත් ඔහු සොයා ගත නොහැකි වී ඇත.

එදින දහවල මට සුවිශේසී දහවලක් විය.

මාස දෙක හමාරකට පසු මට දරු තිදෙනා හා බිරිඳ දකින්නට කතා කරන්නට අවස්ථාව ලැබුනි.ගෙදර පිසූ බත් කටක රහ බලන්නට ලැබුනි.

“ඊයෙ මැරුණෙ නැත්නම් ඉස්කෝලෙ මහත්තයා ආයෙ මැරෙන්නෙ නෑ.මට ටෙන්ට් එකේ ඉඳලා කාමරේට යන ටිකවත් ෂුවර් එකක් තිබුනෙ නෑ.“

කඳවුර භාර පර්සි මහතා ලතාට කියා තිබුනි.

මම මෙහි මාස පහක්,පොලීසියේ මාසයක් ප්ලැටූන් එකේ(මස්කඩේ) දින දෙකක් මාස හයක් වධකාගාරගතව සිටියෙමි.

ගතවන හැම දවසම මරුවා සමග වාසේ විය.


notes of imaginary

2023-08-20

අපේ සිංහල .




සිංහල භාෂාව යනු ලෝකයේ එක් කුඩා රටක, කුඩා පිරිසක් පමණක් භාවිත වන අතිශය නොවැදගත් භාෂාවක් බව බොහෝ දෙනා විශ්වාස කරති. ඒ කතාවේ ඇත්ත නැත්ත කුමක්දැයි කරුණු සහිතව විමසා බලමු.
1. ලෝකයේ භාෂා 7000ක් පමණ ඇත. මව්භාෂා ලෙස ඒවා භාවිත කරන ජන සංඛ්‍යාව අනුව මේ භාෂා පෙළ ගැස්වූ විට (චීන, ස්පාඤ්ඤ, ඉංග්‍රීසි, හින්දි, බෙංගාලි ආදී ලෙස) සිංහල භාෂාවට හිමිවන්නේ එහි ඉහළම ස්ථානයක් වන 68 වන ස්ථානයයි.
2. සිංහල භාෂාව මව්භාෂාව ලෙස කතා කරන මිලියන 17ක් පමණ ලෝකයේ ජීවත් වෙති. අනෙකුත් භාෂා කතා කරන ජනගහනය සමග සසඳන කල එය කුඩා අගයක් නොව අතිශයින් විශාල අගයකි.
3. ගූගල් සමාගම පරිවර්තන සේවා සපයා ඇත්තේ ලෝකයේ භාෂා 7000ක් අතරින් ප්‍රමුඛ භාෂා 109කට පමණි. සිංහල භාෂාවද ඒ 109ට ඇතුළත් වේ.
4. සිංහල යනු චීන, හීබෲ, දෙමළ, සංස්කෘත, ග්‍රීක, ලතින්, ඊජිප්තු ආදී වූ ලෝකයේ පැරණිම භාෂාවන් අතරට අයත් වන භාෂාවකි.
5. පැරණි බව පමණක් නොවේ. එය අඛණ්ඩව පරිණාමය වන සජීවී භාෂාවකි. අද වන තුරුත් තමන්ගේ පැවැත්ම ජයග්‍රාහීව තහවුරු කරගෙන සිටින භාෂාවකි. ලෝකයේ ඇතැම් පැරණි භාෂා අද වන විට සපුරා අභාවයට ගොස් තිබුණද සිංහල භාෂාව ඒ ඉරණමට ගොදුරුව නැත.
6. අවුරුදු 2300කට පෙර අපේ මුතුන් මිත්තෝ අපේ භාෂාවෙන් ගද්‍ය රචනා ලිවීමට සමත් වූහ. මේ අගය මීට වඩා ඉහළ බවටද බොහෝ වාද විවාද තිබේ.
7. අවුරුදු 1500කට පෙර සිට අපේ මුතුන් මිත්තෝ අපේ භාෂාවෙන් කවි ලියූ බවට සාක්ෂි බොහෝය. භාෂාවේ සියුම්තම ස්ප්‍රීතුව ලෙස සැලකෙන කවි ලිවිය හැක්කේ ඉතාම දියුණු භාෂාවකින් පමණි.
8. දැනට හමුවන පැරණිම සිංහල කවි වන සීගිරි කුරුටු ගීවල වයස සලකා බැලුවද ඒවා වසර 1300කට වඩා පැරණිය.
9. අනුරාධපුර යුගයේ සිට ආරම්භ වූ දියුණු ගද්‍ය සාහිත්‍යයක් අපට ඇති අතර, ඒ හා සමකාලීනව එවැනි සම්භාව්‍ය සාහිත්‍ය කෘති බිහිකළ භාෂාවක් ලෙස දකුණු ආසියාවේම ඇත්තේ සංස්කෘත භාෂාව පමණි.
10. මනා සංවිධානයක් සහිත තමන්ටම අනන්‍ය වූ දියුණු අක්ෂර මාලාවක් පැවතීමද සිංහල භාෂාවේ විශේෂ ලක්ෂණයකි. නමුත් ඉංග්‍රීසි ඇතුළු ලෝකයේ බොහෝ ප්‍රමුඛ භාෂාවන් රාශියකට තමන්ගේම වූ අක්ෂර මාලාවන් නැත.
11. ඉංග්‍රීසි, ප්‍රංශ, ස්පාඤ්ඤ, ඉතාලි, ජර්මන්, නෝර්වේ ඔස්ටි්‍රයා ආදී යුරෝපයේ ප්‍රබල භාෂා 150ක පමණ ප්‍රමාණයක් තම අක්ෂර මාලා ලෙස භාවිත කරනුයේ ලතින් අක්ෂරය. නමුත් ලතින් භාෂාව අද භාවිතයේ නැති තරම්ය.
12. සංස්කෘත, හින්දි, ඇතුළු භාෂා 16ක් පමණ තම අක්ෂර මාලාව ලෙස දේවනාගරී අක්ෂර භාවිත කරයි. නමුත් දේවනාගරී යනු අක්ෂර මාලාවක් මිස යනු භාෂාවක් නොවේ.
13. ඇ, සහ ඈ යන ශබ්ද සඳහා අක්ෂර රූප හෙවත් ඇ කාරය ලෝකයට හඳුන්වා දෙන ලද්දේද සිංහලයන් විසිනි. බොහෝ භාෂාවල ඇ, ඈ ශබ්ද නිරූපණය සඳහා විශේෂිත සංකේත නොමැති අතර, ඇතැම් භාෂාවල ඇ, ඈ යන ශබ්ද පවා ඇතුළත් නොවේ.
14. සිංහල භාෂාවේ ප්‍රකාශන ශක්තිය අතිශයින්ම ඉහළය. සියවස් ගණනාවකට පෙර රචනා වූ සද්ධර්මරතනාවලිය, ජාතක පොත, ගුත්තිල කාව්‍යය වැනි කෘති දෙස බැලුවද ඒ බව පැහැදිලිව පෙනේ.
15. අක්ෂර සංකේත හරහා විශාල පරාසයක ශබ්ද රාශියක් ඉතා නිවැරදිව නිරූපණය කිරීමේ හැකියාව සිංහල භාෂාව සතුය. නමුත් ඉංග්‍රීසි ඇතුළු බොහෝ භාෂාවල අක්ෂර හා ශබ්ද අතර පැහැදිලි තර්කානුකූල සම්බන්ධයක් දක්නට නැත. මේ අනුව සිංහල යනු ලෝකයේ ඇති භාෂා අතරින් අතිශයින්ම ශබ්දානුගත භාෂාවකි.
16. නිරන්තර පරිණාමයට ලක්වීමද සිංහල භාෂාවේ තවත් සුවිශේෂී ලක්ෂණයකි. කුඩා දරුවන්ට තබන සිංහල නම් දෙස බැලීමෙන් වුවද මේ බව පැහැදිලිව හඳුනාගත හැකිය. ඉංග්‍රීසි බසින් දරුවන්ට තබන නම් වසර සියවස් ගණන් පැරණි ඒවා වුවද සිංහල පුද්ගල නාම දශකයෙන් දශකයට අලුත් වීම සිදුවේ.
17. යටත්විජිතවාදයේ බලපෑම් සහ තර්ජන මැද ලෝකයේ ඇතැම් ස්වදේශික භාෂා මේ වන විට සපුරා අහෝසි වී තිබේ. තුර්කි බස, පිලිපීනයේ ටගලොග්, වියට්නාමයේ චූනෝම්, ඉන්දියාවේ මුන්දා ආදී භාෂා රාශියක් මේ වන විට තම අක්ෂර මාලා වෙනුවට ලතින් අක්ෂර භාවිත කරති. එහෙත් බොහෝ බලපෑම් තර්ජන මැද සිංහලය තවමත් සිය අඛණ්ඩ පැවැත්ම තහවුරු කරගැනීමට සමත් වී තිබේ.
සිංහල යනු ලෝකයේ කුඩා දූපතක අසරණ අනාථ භාෂාවක් යැයි සිතා සිටින ළිංමැඬියන් තමන්ගේ භාෂා උරුමය ගැනත් ලෝකයේ වෙනත් භාෂා ගැනත් මේ කරුණු අවධානයට ගැනීම වැදගත්ය.
උපුටාගැනීමකි




notes of imaginary

2023-08-18

මේක ටිකක් පරණ කතාවක්.


රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ දෙවර්ෂ පාලනසමයේ සිදුවුවක් .

උතුරු මැද පලාතේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී උත්තමයෙකු සහ විදුහල්පතිවරයෙකු මේ කතාවේ පාත්‍රවර්ගයා වෙනවා. විදුහල්පතිවරයා විශ්‍රාමව වසර ගනනාවකට පසු මීට තෙවසරකට පෙර දිවංගත වුනා.එවකට තරුන ප‍හේ මන්ත්‍රී උත්තමයා නම් තාම වේදිකාවේ රග දෙනවා.

මීදුමට නෑකම් කියන විදුහල්පති වරයා සෘජු චරිතයක්

ජනප්‍රිය විදුහලක විදුහල්පතිවරයෙක් ලෙස කටයුතු කිරීම අසීරුකටයුත්තක් බව දෙමව්පියන් නොදන්නා කරුණක් විය හැකියි. පන්තියකසිටිය යුතු උපරීම ශිෂය සංඛ්‍යාවද ඉක්මවි ගිය පසුත් සිසුන් ඇතුලත් කරගැණිම අසීරු කටයුත්තක් වන අතර සිසුන් සංඛ්‍යාව වැඩිවු විට ගුරුවරුන්හට තම සිසුන්ගේ ක්‍රීයාකාරකම් අගයමින් ඉගැන්වීමේ කටයුතු පවත්වා ගෙන යාම අසීරු බව දෙමව්පියන් අදහන්නේ නැත.

තම විද්‍යාලයේ සිසුන්ගේ අධ්‍යාපනය සහ අධ්‍යාපන ප්‍රමිතීන් විනය මුල්තැන ලා සලකන දඩබ්බර පන්නයේ අයෙකුවු විදුහල්පතිතුමා යකාටවත් තම අදහස් වෙනස් කරන්නට කැමති .කෙනෙක් නෙමෙයි.රාජකාරි ජීවිතයේ ගත්ත සමහර තීන්දු තීරණ රස කර මෙනෙහි කරමින් විශ්‍රාම ජීවිතය සුවබර ව ගෙවන්නට හැකි වුනේ විශාල සේවයක් සිසු පරපුර වෙනුවෙන් ඉටු කල නිසා කියලා මීදුම හිතනවා.

හිටපු ජනාධිපති වරයෙකු ගේද නිජ බිමවු මේ ප්‍ර දේශයේ , බලවත්වු පක‍්ෂයක මන්ත්‍රී වරයෙකු ඔහුගේ බලපරාක්‍රමය පැවති කාලයක මේ විදුහල්පති තුමා රාජකාරි කලේ ප්‍ර දේශයේ ජනප්‍රිය පාසලක. මෙකල මන්ත්‍රී තුමා ගේ පාර්ශවය බලවත්ව තිබු නිසා මන්ත්‍රීතුමාද සර්ව බලධාරි ව වැජඹුනා.

මේ කියන වකවානුවේ මන්ත්‍රීතුමාගේ ගෝල බාලයෙකුට තම දරුවා මේ විදුහල්පති තුමා පාලනය කල විදුහලට ඇතුලත් කර ගැණිමට අවශ්‍ය වුනා විදුහල්පති වරයා හමුව අයදුම්පතක් දී. ඉල්ලීමක් කලද පන්තියේ සිසුන් ප්‍රමානය වැඩි නිසා ඉල්ලුම් පත නිෂ්ප්‍රභාවුනා. පසුව මංත්‍රී උත්තමයා මගින්ද දිගින් දිගට ඉල්ලීම් කලත් විදුහල්පති වරයාගේ තීරණය වෙනස් වුනේ නැහැ.

මන්ත්‍රී තුමාටත් මේ වැඩේ හිසරදයක් වුනා. ලජ්ජාවටත්කාරණයක් වුනා. එක් දවසක තම පැජරෝවට මංත්‍රී ගෝලයාද නන්වා ගත් මන්ත්‍රීතුමා පැමිණ විදුහල්පතිවරයා සොයා කාර්යාලයට කඩා වැදුනා.

එතැන් සිට සිදුවීම එතුමා දිවංගත වන තෙක්ම අතීත රසමුසු තැන් සිහිපත් කරමින් විදුහල්පතිවරයා රස වින්දේ ඉමහත් සතුටින් .

කෝ මේකේ විදුහල්පති ?. මංත්‍රීතුමා බෙරිහන් දෙනවා.
ආයුබොවන් !
මංත්‍රීතුමා. විදුහල්පතිතුමාගේ තැන්පත් හඩ.
වාඩිවෙන්න නෙමෙයි මොනවද තමුසේ කරන මේ වැඩේ ?. මෙයාගේ ළමයා අදම පාසලට ඇතුලත් කර ගන්න ඕනි .

මංත්‍රීතුමා , පන්ති කාමරවල ඉඩ නැහැ පන්තියේ ලමයි හතලිහකට වැඩියි. ඒ නිසා තවත් පන්තියට බරක් වෙන්න ලමයි බාරගන්න බැහැ.
තමුසේගේ කතා වලින් වැඩක් නැහැ මේ ලමයා ගන්න ඔනී.
මට නම් ඒ වැඩේ කරන්න බැහැ.
විදුහල්පති තුමාගේ සෘජු බාවයට මන්ත්‍රී උත්තමයාට අන්තිමේදී මල පැන්නේය.තම ගෝල බාලයන ඉදිරියේදීම හෑල්ලු වීම ඉවසන්න බැරිවුනා.

තමුසේ අමුඩයක් ගස්සලා මේ ස්කොලෙන් පන්නන්නේ තේරුනාද ? තමුසේ කතා කරන්නේ කා එක්කද ?
විදුහල්පති තුමාත් අත ඇරියේ නැහැ.
‘මෙච්චර වෙලානම් මංත්‍රීතුමාත් එක්ක.‘
මංත්‍රීතුමා , මම මෙහේට ආවේ දකුණු පලාතේ ඉදන් . 
මගේඅප්පච්චි ගොවියෙක්. 
කුඹුරු පිටි වගේම හරකා බාන අප්පච්චිගේ උරුමේ.

අප්පච්චි වැඩපලට ඇන්දේ අමුඩේ. 
මාත් මෙහේට ( උතුරුමැද පලාතට ) එන්න ඉස්සෙල්ලා අප්පච්චීගේ වැඩපලට උදව් උනේ අමුඩේ ගහගෙන.

ඉතින් ඔබතුමාට අරුමයක් උන මේ අමුඩේ මට නම් අරුමයක්නැහැ.
ගම්මුකෝ රෙදිකෑල්ලක් දැන් අමුඩයක් ගහන්න !.

මේ වනවිට මංත්‍රීතුමාගේ ගෝරණාඩුවට වටාපිටාවේ ගුරුවරුන්ද කාර්යාලයට රොක්වෙලා. විදුහල්පතිවරයාගේ දේශණාවට මන්ත්‍රී උත්තමයාට කට උත්තර තිබුනේ නැහැ.
පිරිස මැද මංත්‍රීතුමා කරකවලා අතහැරියා .වගේ අන්දමන්ද වෙලා.
මංත්‍රී තුමා ගෝලයාත් නංවා ගෙන මේ දඩබ්බරයාට හොද පාඩමක් උගන්නම් යයි සිතා ගෙන පලාත් අධ්‍යාපන කාර්යාලය දක්වා පසුබැස්සා.

මෙකල කොන්ද පණ නැති විදුහල්පතිවරු , නියෝජ්‍ය විදුහල්පතිවරු තමන් දුන් සාක්‍ෂි කට උත්තර දිවුරුම් පෙත්සම් මගින් අස්කර ගන්නා රටක මේ විදුහල්පතිවරයාට තිබුනේ නොනැමෙන කෂේරුවක් වීම නිසාඋතුරු මැද පලාතේ සිට මධ්‍යම පලාතට ක්‍ෂණික මාරුවක් ලැබ කොට්ටමෙට්ට අකුලාගෙන යාමට එදා සිදුවුනා.

රනිල්ගේ දෙවර්ෂ පුර්ණය අවසානයේ මන්ත්‍රී උත්තමයාට පාර්ලිමේන්තුව අත්හැර ගෙදර නතරවන්න සිදුවුනා. විදුහල්පතිවරයා මධ්‍යම පලාතේ සිට නැවත එම පාසලටම විදුහල්පතිවරයා ලෙස පත්ව පසු කාලයේ අධ්‍යාපන නිලධාරියෙක්ව විශ්‍රාම ගියා.

ජීවතුන් අතර සිටි කාලයේත් අර මන්ත්‍රීවරයා ඔහු හැදුන්වුයේ ගරු සරු නැතිව නමින් පමනයි.

notes of imaginary

2023-08-12

කෑලි කැඩිය හැකියි පුංචි දූපතක්

න්දක් වුණත් නාය යා හැකිය
අන්ධකාර රාත්රියක
හිතුවක්කාර කුණාටුවකට හසුව
ලන්ද පාමුල මලක්
තැලී පොඩිවී ගොසිනි
ආර්ථික කුණාටුවකට
කෑලි කැඩිය හැකියි පුංචි දූපතක්
කොඳු නාරටිය කඩා බිඳ දමමින්
සමතලා කළ හැකිය ආත්මය
මේ එහෙව් කාලයක්
පපු කැවුතු පවා හප කරන
යක්ෂ ප්රේතයින්ට රජවෙන්ට ඉඩ දුන්න
ආර්ථික අයුක්තියේ උණ්ඩයෙන්
වෙඩි තිබ්බෙ වැඩ කරන මිනිසුන්ට
ඇවිලුණේ පොඩි උන්ගෙ බඩගින්න
මහ එවුන් රයිෆලය අත ගගා
දැවටුවා ලේ බිංදු වහගන්න සුදු රෙද්ද
ආර්ථික යුක්තිය
ගඳ ගහන වීදියේ කුණු ගොඩක
ලන්ද පාමුල මලක්
තැලී පොඩිවී ගොසිනි
මහ කඳු ද නාය ගොස් අවසන්ය
- සෝමලතා හේරත් මැණිකේ
(කවි නොවේ )

notes of imaginary

2023-08-09

වැස්ස




අතීතයෙ සිටම කෘෂිකාර්මික කටයුතු පවත්වා ගෙන යාමට පහසු වනසේ කාලරාමුවක් තිබු බවත් ,එකල යල කන්නය පිට දඩ හස ලෙසත් මහ කන්නය අකල හස ලෙස සහ මැද කන්නය මද හස ලෙසත් හදුන්වා ඇති බව තෝනිගල සෙල් ලිපියේ සදහන් වනවා

කෘෂිකාර්මික කටයුතු  පහසුවටත් නියමිත කාලරාමුවකට පවත්වා ගෙන යාම සදහා මෙලෙස වර්ෂය කාර්තු තුනකට බෙදා ගෙන තියෙනවා.මෙසේ බෙදීමේදි සැලකිල්ලට ගෙන ඇත්තේ කාලගුනයයි.

කටයුතු අරම්භ කිරීමටත් - අස්වනු නෙලා ගන්නා කාලයටත් අතර කාලය  කන්නයක් ලෙස නම් වෙනවා.

යල කන්නය

පලමුවන අන්තර් මෝසම>> මාර්තු සිට අප්රේල් දක්වා දිවයිනේ සියළුම ප්‍ර දේශවලට වැසි ලැබේ.

නිරිත දිග මෝසම  >>>>  මැයි සිට සැප්තැම්බර් දක්වා තෙත් කලාපයට වැසි ලැබේ. (සිරිපාදේ අවාරය)

පෙර මහ >>>>>>>>>>>> යල කන්නයටත් මහ කන්නයටත් අතර කන්නය. මෙම කන්නයේ මාස තුනක වයසකින්  අස්වැන්න ගත හැකි බීජ වගා කරන ලදී

මහ කන්නය

දෙවෙනි අන්තර මෝසම >>> ඔක්තෝම්බර් සිට පෙබරවාරි දක්වා දිවයින පුරා වැසි ඇතිවේ. ( සංවහන වැහි)

ඊසාන දිග මෝසම     >>>>>  දෙසැම්බර්  සිට පෙබරවාරි දක්වා වියලි කලාපයට වැහි ඇතිවේ.

ගොවීන් අනුගමනය කරන වගා සැලසුම ගැන අවබෝධයක් ලබා ගැනීමට උපකාරී .වෙනවා.

මේ වසර ප්‍රමානවත් වැසි නොලැබීම නිසා ගොවීන් අගෝස්තු මාසය ආරම්භ වන විටම ජල අර්බූදයකට මුහුන පාන්නට සිදුවී ඇති බව නිරීක්‍ෂණයයි.

අප්රේල් 15 – 20 විට ගොයම් කපා අස්වැන්න නෙලා ගත්තා යයි උපකල්පනය කරමු.

මැයි මස අවසන් වන විට බීජ වපුරා හෝ සිටවා අවසන් කල යයිද සිතමු.

ජුනි ජුලි අවසන් වන විට ගොයමට දින 60 – 75 ක් අතර කාලයකි. අද අගෝස්තු08 අට වෙනිදාය. උඩ වලව ගොවීන් ජලය ඉල්ලන්නේ තවත් සති දෙකකටය. අප්රේල් 10 ට අස්වනු නෙලා ගත්තා නම් මේවගා සැලැස්මේ සති යක් - දින 10 ක වෙනසක් ඇතිකර ගන්න පුළුවන් ඒත් සිංහල අළුත් අවුරුද්දත් සමග සති තුන හතරකින් තමයි ගොවි බිම් ගැන සොයා බලන්නේ.

සමනල වැව පෝෂිත වන ප්‍ර දේශයට වැසි ලැබෙන්නේ පලමුවන අන්තර් මෝසම වන මාර්තු සිට අප්රේල් දක්වා කාලයේත් දෙවෙනි අන්තර මෝසම  වන  ඔක්තෝම්බර් සිට පෙබරවාරි දක්වා කාලයෙත්   වන අතර මැයි සහ ජුනි මාසවල සුළු ප්‍රමානයක වැසිත් ලැබෙනවා . මෙම වැහි ගංගාවලට ජලය එකතු වීමට තරම් ප්‍රමානවත් නැහැ

සමනල වැව ප්‍රධාන ඉලක්කය.වුනේ විදුලි බලය උත්පාදනය කිරීමයි. සමනල වැව ආරම්භ කරන අවදියේ ඇති කරගත් සක්‍යතා වාර්තාවල මේ බව සදහන් වෙනවා.මෝසම් දෙකකින් සමනල වැවට ජලය ලැබෙනවා.පලමුවන අන්තර් මෝසමත් දෙවන අන්තර් මෝසමත් විශේෂයි.

2012 වර්ෂයේත් මේ ප්‍රෙද්ශයට නියගය බල පෑවා මෝසම් වැසි ලැබුනත් හරියට සක්‍රීය වුනේ නැහැ. අඩු ජල පලදාවක් ලැබුන නිසා සමනල වැව සිදී ගියා. මේ වසරේදී ලැබුනේ එවන් අත්දැකීමක්.

අපට ස්වභාව ධර්මයට පිටුපාන්න බැහැ. එහෙත් වර්තමානයේ අභියෝග කරන්න පුළුවන්.කාලගුණ දෙපාර්තමේන්තුවට මේ තත්වය කලින් අවබෝධ කර ගන්න හැකියාව තියෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට , ගොවි ජන දෙපාර්තමේන්තුවට සැලසුම් හදා ගෙන පහල මට්ටමකට ගේන්න පුළුවන් .ඒ ආයතන අකාර්යක‍්ෂමයි. ගොවීන්ට ව්‍යාප්ත සැලැස්මක් නැහැ. ඔවුන් අයාලයේ යනවා.

බලයට කෑදරවු දේශපාලන- ඥයින්  වතුර බොරවු පසු මාළු බානවා. දැන් ජලයට කරන තර්ජන වර්ජන අතුහැරලා විදුලිය නෑ කියලා පොළු මුගුරු ඔසවා ගනීවි.

අපේ රටේ හැටි.......................................................


notes of imaginary

2023-08-08

ඒකා නං යකා ලියු කවි.







සකා - ලක බලලා..!"
""""""""""""""""""""""""""""""""""
"ගෙදර ඇවිත් යන්න එන්න.."
බිරිඳ මැසේජ් කරල මෙන්න
කෝල් එකක් අරන් දැන්ම..
බලන්නෝනි.. මොකද අවුල..?
විස්තරයක් නැති හින්දා
පස් සැරයක් රිං කෙරුවා..
"ඔබ අමතන ග්රාහකයා
ගෙන් ප්රතිචාරය නැතුවා"..!
"ලේට් වෙලා" බැරි හන්දා
"ෂෝට් ලීව්"වක් දැම්මා..
"ලෝන් පාර"වැඩ කෙරුවා
කෝච්චියෙන් මං යනවා..!
ස්ටේෂන් පැත්තෙ අන්න
පුදුම දෙයක් වෙයි නොදන්න
දිස්නෙ දෙනව ඇස් රිදෙන්න
විස්තර කර බැහැ කියන්න...!
ශෛලාසන මස්ථකයේ
වැඩ ඉඳගන සක් දෙයියෝ
පටන් ගත්තු දේශනාව
අහන්න හිතෙනව ආයේ...
"රකින්න මේ පුන්ය භූමි
බැලුම් හෙලා ගෙන සිටියා..
මගෙන් පවා වැඳුම් ගත්ත
උතුම් රටක් කෙළසනවා"..!
රජුන් පුහු මානයෙන් පිම්බී
පෙලද්දී ජනතාව මෙලෙසින්..
තොපිත් උන්ටම බලේ දෙනවා
වගක් නැති මීහරක් විලෙසින්..!
රටම උගසට සින්න කරවා
කෙළින්නේ පිස්සුයැයි පෙනුනා..
යකුන්නෙන් මුලු රටම ගලවා
හරින්නෙමි තුන් බියම පලවා..!
සුදම් දේසෙට උවම් කළහැකි
බුදුන් තෙවරක් වැඩිය පින්බිම..
අදින් පසු යලි මගේ අණසක
නොදෙන්නෙමි.. වනසන්න දිවයින..!"
සිව් වරම් දෙවිවරුන් අතරේ..
සක් දෙවිඳු හඬ නගයි මෙලෙසේ..!
"ලෝකෙටම තොපි නය වෙලා
එදා වේලට කඹුරලා..
වහල් මනසින් මිදෙන්නට නම්
අනුන්ගේ දේ තොපට තහනම්..!
මෙතැන් සිට මේ රටේ අග් මුල්
පිරිස්සනවා දිවැස් බලයෙන්..
අනුන්ගෙන් ගත් සියලු දෑ ගෙන
දමන්නෙමි මහමෙර දෙබෑකර..!"
● සක් දෙවිඳුගේ දෙසුම අවසන
චෙක් කරන්නට සැදුනි පෝලිම..
අනුන්ගේ කිසි දෙයක් මාලඟ
නැති බැවින් මට නම් බයෙක් නැත..!
කොල්ල කෙඳිරි ගාන නිසා
"ඔෆිස් එකෙන්" එන්න කලින්
පිල්ලි ගැසූ "හාෆ් ෂීට්"..
දෙයියන්නෙත් දෑස් වසා
කුණු කානුවෙ "දොයිය බබා.."!
ගෙදර යන්න හදිස්සියට
මං පෝලිමෙ ඉස්සරහම..!
බෑග් එකත් හිස් හින්දා
ඒක මේසෙ උඩ තිබ්බා
පළවෙනි සිකුරිටි දෙයියා
මුලින්ම මාදෙස බැලුවා..!
කේශ අන්තයේ ඉඳලා
පාද අන්තෙ තෙක් බලලා
නලල ටිකක් රැලි කරලා
ඔලුවට පාරක් නෙලුවා ..!
තගේ වයස හැටට වැඩියි
"කෙසේ" තාම පාට කලුයි
හිසේ ගාල නොවෙද "හෙනා"..?
දෙයියන්ටත් ගියා හිනා..!
"හෙනා" තොපේ දෙයක් නෙමේ..?
ඉංදියාවෙ දෙයක් විනා..
ඉවත් කරනු පිනිස "හෙනා"
හිසත් මගේ බූ ගෑවා..!
කණ්නාඩිය ඇදල අරන්
චෙක් කෙරුවා දිවැස් හෙලන්
මේක ඇවිත් "සුවිස් රටෙන්"..!
තොපට අයිති නෑ එබැවින්..
කටත් විවර කර බැලුවා
"දත් සැට්" ගලවනු".. කීවා..
අප්සෙට් කට මක් කොරන්ද..?
චීනගෙ බූදලේ ඒක..!
කතරගම ගිය වෙලේ
අපල දුරුවන ලෙසින්..
කපුව බෙල්ලේ එතූ
කහ පාට නූල් පොට..
"හුටස් ගාලා"කඩා දැම්මේ
ඉංදියාවේ එකක් හින්දලු..!
ඇතුලෙ තාම බැලුවෙම නෑ
පිටින් බලාගන යනවා..
කකුලට ත්රිශුලෙන් ඇනලා
සෙරෙප්පු ගලවා බැලුවා..!
"ඉටැලි මොඩල්" ලියා තිබේ..
"ෂැංහයි" කියලයි කීවේ..!
පිටින් බලල නම් ඉවරයි
ඇතුලට දැන් එබෙන හැඩයි..
බොත්තම් ගලවන්න කලින්
ෂර්ට් එකත් ඇදල අරන්..
කොලරේ හරවා බැලුවා
ඒකත් චිනගේ ගොඩෙයි..!
බැනියම දැන් හොලෝනවා
"වෙලෝන"යැයි මං කිව්වා..
ගලෝනවා.. බලන්න..යැයි
දෙයියා මට සැර වූවා..
මෙලෝ දෙයක් පේන්න නෑ
දූවිලි කුණු වලින් වෑහී..
බැලූ නිසා දිවැස් හෙලා
පියෑඹුවා මගෙන් මිදී..?
කලිසම ගලවන්න කලින්
පෙනුනා "ලෝගෝ" පිටතින්
පැන්ඩා දැක්කා එතුලින්
ගැලවුනි කලිසම ඔලුවෙන්..!
"ලීස්"කෙරූ ෆෝන් එකත්
පැන්නා කලිසම් කකුලෙන්..!
විජ්ජාවක් වගේ වුනත්
ලැජ්ජාවක් දැනුනි හිතට
පැන්නා පැන්ඩා එලියට..
(පැන්ඩා කීවෙ "ලෝගෝ)
දැන් තියෙන්නෙ උපන් ඇඳුම..!
පැන්ඩ වුන්නෙ මගෙ කරුමෙට..!
හැං ගෙන්නට තැනක් කොහෙද..
හංගන්නට දෙයක් තියෙද..?
මං ඉන්නේ බිම් බලාන..
තෙමිච්ච කුකුළෙක් ගානට..!
● ඇඳිවත අයිතියත් අද චීනා සතුය
නිරුවත රැකගැනීමත් දැන්නම් සැකය
මුනිවත රකිමි මට කට උත්තර නැතිය
පරිනත වන්ට පෙර මැරුනානම් හොඳය..!
කටමැත දෙඩූ පාලකයන් මට සිහිව
පටපට ගගා පුපුරනවා දැන් පපුව
එතකොට වැදී ඇඳ ගැට්ටේ මගෙ ඔලුව..
මට ඇහැරුනා.. අතගා බැලුවා "හෙලුව"..!
* එකා යකා අමු හෙලුවෙන්..😫

notes of imaginary

2023-08-04

ගතවු සතිය.


අපේ රටේ විපක්‍ෂය හැම දේටම විපක්‍ෂයි.කටුක විවේචන ඉදිරිපත් කරනවා. පොලොවේ පැලකරගන්න බැරි දේවල් ගැන කතා කරනවා. යහපත් දේ යහපත් ලෙසත් අයහපත් දේ අයපත් දේ අයපහත් ලෙස දකින්නත් යහපත් ලෙස කටයතු කරන්න මග පෙන්වන්නත් කැමති නැහැ.

ආණ්ඩු පක්‍ෂයත් ඊට දෙවෙනි නැහැ. ඔවුන් සියල්ල දත් පණ්ඩිතයන් ලෙසයි කටයුතු කරන්නේ විකල්ප මත පිලිකෙව් කරනවා.ඇහුම්කන් දෙන්නේ නැහැ. මර්ධණයෙන් තර්ජනයෙන් පාලනය කර ගන්න උත්සහා කරනව මිසක් නිවරදි වෙන්න කැමති නැහැ.

කුංකුණාවේ හාමුදුරුවෝ මෙහෙම කියනවා.
 
 “ අනේ කූඹියනේ තොපටත් රජෙක් ඉන්නේ 
අපට නැ ඉන්නේ - 
ඒ නිසයි අප තැවෙන්නේ 
රජෙක් ලැබුනොත් පෙරහැර කරඤ්ඤම් 
සාධුකාරයෙන් ගිගුම් දෙන්නම් “ කියලා. ඒක අපිට නම් හීනයක්.



මමත් බෞද්ධයෙක්. වන්දනාව දෙවනුවත් ධර්මාවබෝදය කරගනු පිණිස උත්සහා දරන බෞද්ධයෙක්. කෙටියෙන්ම බුදුන් සහ දහම් සරණ යන තෙරුවනක් නැති බෞද්ධයෙක්.

මෙලෙස මුලින්ම සටහන් කරන්න අදහස් කලේ බෞද්ධාගම විවේචණය වන අදහසක් පල කිරීම පාපකර්මයක්  නිසා.

විදුලි බල මණ්ඩලය විසින් මිහින්තලා විහාරස්ථාණයට සපයන ලද විදුලිය වෙනුවෙන් ඉදිරිපත්  වු ලක්‍ෂ හතලිස් එක්  හාරසියයක  මුදලක විදුලි  බිල් පතට මුදල් නොගෙවීම නිසා විදුලිය විසංධි කරලා. ඊයේ මිහින්තලාව  අදුරේ. පන්දම් එළියෙන් මිහින්තලාව නගින විදේශික කණ්ඩායමක් ප්‍රවෘත්ති අතර දැක්කා  . විගණනය නොවන විහාරස්ථානයේ ආදායම කොතෙක් ද කියා අපි දන්නේ නැහැ. මෙම විදුලි බිල ඉන් සොච්චමක් වෙන්නත් ඇති.

එක් එක් ප්‍රචාරාත්මක දේශපාලන - ඥයින්ට මේ ප්‍රවෘත්තිය රස මසවුලක්. ඔවුන්ගේ විග්‍රහ තුල ජාතිහිතෛෂී භාවයත් බෞද්ධාගමට හිතැති බවත් සමග ඔවුන්ගේ අභිලාෂය දොරේ ගලනවා.

හොරුන් කල දේ නැවත නැවතත් කල යුතු නැහැ. හොරකම් කරන්න ඉඩ දිය යුතුත් නැහැ.නාස්තිය දුෂණය පිටුදැකිය යුතුයි. එමෙන්ම පාලනය විය යුතුයි. රනිල්ගේ පාලනය තුල මේ කටයුත්ත පාලනයට පත්ව ඇත්දැයි තාමත් පැහැදිලි නැහැ.ඔහුගේ කාර්ය මණ්ඩල මුහුණු දැක්කම මේ ගැන අවබෝධයකට පැමිණිය හැකියි. සමහර  සිද්ධීන් පාලනය කරන අයුරු සාධරන අපක්‍ෂපාති ස්වරුපයක් නැහැ.

ඩවළවේ ගොවීන්ට කෘෂිකාර්මික කටයුතු වලට ජලය නැහැ. ගොවිතැන් පාළුවෙනවා. ගොවීන්ගේ ආර්ථිකය අවදානමේ. ඔවුන් සත්‍යග්‍රහ කරනවා. ගොවි සමිති නායකයින් නිරීක‍්ෂණ චාරිකා වල යෙදෙන ගමන් ගොවීන්ගේ දුෂ්කරතාවය විකුණනවා. ආණ්ඩුව එක එක බහු බූත අතහරිනවා. විපක්‍ෂ නායකයින් දෙවියන්ට කියලා ආණ්ඩුවට ශාප කරනවා.

 සමනල වැව ජලාශයෙන් උඩවළව ජලාශයට ජලය නිකුත් කලොත්  මේ  ගැටළුව විසදන්න පුළුවන් ගොවීන් කියනවා.  විදුලි බලධාරීන් කියන්නේ එසේ ජලය නිකුත් කලොත් දින නවයකින් -  දකුණට පැය දෙකක් විදුලිය කපන්න සිදුවෙන බවයි.

සමනල වැව ජලාශයට ජලය සපයන ජල පෝශක ප්‍රෙද්ශයට  පසුගිය ජනවාරි සිට ප්‍රමානවත් වැසි ලැබුනේ නැහැ. අප්රේල් වැස්සත් වෙනදාට වඩා අඩක්වත් තිබුනේ  නැහැ. 2012 අවුරුද්දේ මේ වගේ කාලගුණයක් මේ ප්‍රෙද්ශයට තිබිලා තියෙනවා. ඊට පස්සේ මේ අවුරුද්දේ තමයි මෙවගේ තත්වයක් ඇතිවෙලා තියෙන්නේ. සෑම වර්ෂයකම  මැයි සිට සැප්තැම්බර් දක්වා වියළි කාලගුණයක් මේ ප්‍ර දේශයට පවතිනවා. වැසි බලාපොරොත් වන්න බැහැ. ඒ  පසුගිය මාස කිහිපයේ තත්වය. සැප්තැම්බර - දෙසැම්බර් කාලයෙත් මාර්තු -මැයි අතර කාලයෙත් නිසි පරිදි වැස්සොත් සමනල වැව උතුරනවා. සමනල වැව නිර්මාණය කරලා තියෙන්නේ මෝසම් දෙකෙන්ම ජලය වැවට ලැබෙන භුමි ප්‍රෙද්ශයක. 

මේ පල කලේ  සමනල වැව ලග ඉන්න මීදුමට තියෙන අත්දැකීම්.

අපේ රටේ ගොවි ජන, කෘෂිකර්ම දෙපාර්තමේන්තු තියෙනවා. කාලගුණ දෙපාර්තමේන්තුවක් තියෙනවා.කෘෂිකර්ම නිෂ්පාදන පරීක්‍ෂණ කියලා නිළදාරි පිරිසක් ඉන්නවා. ගොවිජන කොමසාරිස්ලා ඉන්නවා.ගොවිජන ප්‍රාෙද්ශීය නිලධාරීන් කියලා කොටසක් ඉන්නවා. මේ හැම එකකටම රාජ්‍ය ඇමතිලා ඇමතිලා ඉන්නවා

ඒත් ගොවිතැන් ආරම්භ කළ යුතු කාලයක් - අස්වනු නෙලා ගත යුතු කාලයත් පිළිබදව පුරෝකථනය කර සැලසුම් කරන්න මොළයක් ( යාන්ත්‍රණයක් ) නැහැ.මු ළ සිට යන්යෙ නැතිව අග ඉදන් මුලට එන්න හදනවා.

වේදිකාවේ බේගල් අතහරින නරි රැළක් විතරක් ශිල්ප දක්වනවා.

 

notes of imaginary

2023-08-03

වස් ආරාධනාව සමඟ බැඳි සිරිත් විරිත්




අප ගෞතම බුදුරජාණන් වහන්සේ ඇසළ පුර පසළොස්‌වක පොහොය දිනෙක ඉසිපතන මිගදායේදී ප්‍රථම ධර්ම දේශනය වන “ධම්මචක්‌ක පවත්තන” සූත්‍රය පස්‌වග තවුසන්ට දේශනාකර ඔවුන්ට ඒහි භික්‍ෂු භාවයෙන් පැවිදි උපසම්පදාව ලබාදෙන ලදී. පසුදින එනම් “අවපෑලවියදා” බුදුරජාණන් වහන්සේ එම පස්‌වග භික්‍ෂූන් සමගින් පෙර බුදුසිරිත අනුගමනය කරමින් එම ඉසිපතන මිගදායේම වස්‌විසීම ආරම්භ කරන ලදී. මෙය උන්වහන්සේගේ ප්‍රථම “වස්‌සුපගමනය” හෙවත් බස්‌ සමාදන්වීමයි. එතැන් සිට පන්සාලිස්‌ වර්ෂය තිස්‌සේම ඇසළ පුර පසළොස්‌වක පොහොය දින හෝ අවපෑලවිස? වස්‌ සමාදන් වූහ. එපමණක්‌ නොව එය අනෙකුත් භික්‍ෂුන් වහන්සේලාටද අනුගමනය කරන ලෙස දැන වදාළහ. ප්‍රථම වස්‌විසීම බුදුරජාණන් වහන්සේ කිසිවෙකුගේ ආරාධනාවකින් තොරවම සිදුකළ අතර පසුව සමහර උදවියගේ ආරාධනා මත සිදුකර ඇති බවද පෙනේ. මෙම ක්‍රමය වර්තමාන කාලය දක්‌වාම පැවතගෙන එන ආගමික චාරිත්‍රයක්‌ බවට පත්ව ඇත.
ඇසළ මාසයෙන් ආරම්භ වන අධික වර්ෂා කාලය තුළ ගම්නියම් ගම්වල සංචාරය කිරීම නතර කර ඒ. ඒ. ආරාම තුළ හෝ විහාරස්‌ථානවල රැඳී සිටින ලෙසත්, එම තෙමස තුළ චීවර, පිණ්‌ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය යන සිව් පසයෙන් නොඅඩුව ඇප උපස්‌ථාන කරන බවට උපසම්පදා භික්‍ෂුන් වහන්සේ වෙත ගෞරවයෙන් ආරාධනා කිරීම වස්‌ ආරාධනාවයි.
සෑම වර්ෂයකම ඇසළ පර පසළොස්‌වක පොහොය දින සිට ඉල්මස පුර පසළොස්‌වක පොහොය දින දක්‌වා උපසම්පදා භික්‍ෂුන් වහන්සේ වස්‌ සමාදන්වනු ලබන වස්‌සාන සමයයි. මෙහිදී පෙරවස්‌ විසීම හා පසුවස්‌විසීම යනුවෙන් ක්‍රම දෙකක්‌ද වේ. ඇසළ පුර පසළොස්‌වක පොහොය දින වස්‌ සමාදන්වීම “පෙරවස්‌” සමාදන්වීමයි. යම්කිසි පාලනය කළ නොහැකි හේතුවක්‌ මත එදින “පෙරවස්‌” විසීමට නොහැකි වූ උපසම්පදා භික්‍ෂුන් වහන්සේ “නිකිණි” පොහොය දින වස්‌ සමාදන්වීම පසුවස්‌ සමාදන්වීමයි. මෙය බුද්ධ නියමයකි. ඒ අනුව “පෙරවස්‌” සමාදන් වූ භික්‍ෂුන් වහන්සේ අඛණ්‌ඩව තෙමසක්‌ ගතකර වප් පුර පසළොස්‌වක පොහොයදින මහා පවාරනයෙන් වස්‌ හමාර කරනු ලැබේ. පසුවස්‌ විසූ භික්‍ෂුන් වහන්සේ අඛණ්‌ඩව තෙමසක්‌ වස්‌ මාසිකව සිට “ඉල්” පොහොය දින වස්‌ පවාරණය සිදුකරයි. මේ අනුව පොදුවේ ගත්කල “වස්‌සමය” සාර මාසයක්‌ ලෙස ගැනේ.
මෙම කාල පරාසය තුළදී බුද්ධ නියමය පරිදි උපසම්පදාලත් භික්‍ෂුන් වහන්සේ කවුරුන් විසින් හෝ ආරාධනා කළත් නොකළත් වස්‌ ගිවිසිය යුතුය. එසේ නොකළහොත් එය වරදක්‌ වන්නේය. එකල බුදුරජාණන් වහන්සේට අනේපිඩු මහ සිටුතුමා විශාඛා මහ උපාසිකාව මෙන්ම රජදරුවන්ද වේරඤ්ඤා බ්‍රාහ්මණයා වැනි අයලුන් විසින්ද වස්‌ ආරාධනා කර ඇතිව පැහැදිලිය. එහෙත් ප්‍රථම වස්‌ විසීමත් හත්වෙනි වස “තව්තිසා දෙව්ලොව” වස්‌ විසීමත් බුදුරජාණන් වහන්සේ ස්‌ව කැමැත්තෙන්ම කරන ලද බව පෙනේ.
භික්‍ෂූන් වහන්සේ වෙත වස්‌ ආරාධනා කිරීමේදී අනුගමනය කළයුතු චාරිත්‍ර ක්‍රමයක්‌ද ඇත. බුලත්කොළ (දැහැත්) කිහිපයක්‌ ගෙන එය ගොටුවක ආකාරයෙන් සකස්‌කර සුදු ලේන්සුවකින් වසා ඒ ඒ භික්‍ෂුන් වහන්සේ වෙත පිළිගන්වනු ලැබේ. මෙසේ පිළිගැන්වීමේදී එම පිරිසේ අයෙකු විසින් එසේ පිළිගැන්වූයේ කවර කරුණක්‌ නිසාද යන කාරණය හඬනගා ප්‍රකාශ කළ යුතුයි. පින්වත් ස්‌වාමීන් වහන්ස මෙතැන් සිට ඉදිරිතුන් මාසය මුළුල්ලේ මේ විහාරස්‌ථානයේ රැඳී සිටින ලෙස ආරාධනා කරමි. එම කාලය තුළ දායකයන් වන අපි ඔබ වහන්සේලාට අඩුවක්‌ නොකර සිව්පසයෙන් උපස්‌ථාන කරමි. එම කාලය තුළ අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන සේක්‌වා. මීට සමාන ආකාරයෙන් එම ඉල්ලීම කළයුතුය. “දැහැත්ගොටු පූහ්ව” යනු මෙයයි.
මේ සමගම සිවුරක්‌ පූජා කිරීමද කරනු ලැබේ. ඒ සඳහා තුන් සිවුරෙන් කවර සිවුරක්‌ වූවද යොදාගත හැකිය. එහි කිසිදු වරදක්‌ නැත. දෙපට සිවුර, තනිපට සිවුර, අඳන සිවුර යන තුන් සිවුරෙන් කවර සිවුරක්‌ ගෙන වස්‌වසන සියලුම භික්‍ෂුන් වහන්සේ වෙත මෙසේ පූජා කිරීම වැසිසළු පූජාව” නමින් හැඳින්වේ. මෙය බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි කාලයේ විශාඛා මහ උපාසිකාව බුදුරජාණන් වහන්සේගෙන් කරන ලද ඉල්ලීමක්‌ මත අනුදැන වදාල ක්‍රමයකි. එක්‌ වැසි සමයක භික්‍ෂුන් වහන්සේ පිරිසක්‌ ධාරානිපාත වර්ෂාව මැද තෙතබරිත වූ සිවුරුවලින් යුක්‌තව විහාරයට වඩිනු දුටු විශාඛාවට ඇතිවූයේ මහත් වේදනාවකි. ඒ අනුව බුදුන් වහන්සේ වෙත ගොස්‌ නමස්‌කර කර ඉමියා මහං භන්තේ, සංසස්‌ස යාවජීවං වස්‌සික සාටිකං දාතං” යනුවෙන් ජීවිතාන්තය දක්‌වා භික්‍ෂුන් වහන්සේවෙත වැසිසළු පූජා කිරීමට මම කැමැත්තෙමියි ප්‍රකාශ කළාය. අද දක්‌වාම මෙම ක්‍රමය අනුගමනය කරනු ලැබේ.
දැනට වසර තිහ හතළිහකට පමණ පෙර මෙම දැහැත්ගොටු හා වැසිසළු පූජාකිරීම ඉතාමත් වැදගත් පුණ්‍යෝත්සවයක්‌ ලෙස ඒ ඒ විහාරස්‌ථාන වෙත එම ගම්වල, නගරවල සැදැහැවත් දායක දායිකාවන් සිය ගණනින් ඒකරාශීවී ඉතා උසස්‌ අයුරින් සිදුකළහ. එහෙත් අද මේ කටයුත්ත සඳහා සහභාගි වන්නේ අතේ ඇඟිලි ගණනටත් අඩු පිරිසකි. එය ඉතා කනගාටුදායක සිද්ධියකි.
ලංකාව ඇතුළු පිරිසිදු ථෙරවාදී බුදුදහම පවතින රටවල භික්‍ෂුන් වහන්සේට වස්‌ ආරාධනා කිරීමේදී දැහැත් ගොටුවක්‌ පූජාකරන අතර සමහර රටවල මල් පොකුරක්‌ හෝ මල් වට්‌ටියක්‌ පූජාකර වස්‌ ආරාධනා කරන බව අසා ඇත. ඉන්දියාවේද සමහර වැදගත් ආගමික කටයුතුවලදී මල්වලට ලැබෙන ගෞරවය ලංකාවේදී ලැබෙනුයේ බුලත්වලටය. මේ නිසා අපේ රටේ වැදගත් ආගමික හෝ සංස්‌කෘතික කටයුතු වලදී බුලත් පිරිනමා ආරාධනා කරති. එමනිසා භික්‍ෂුන් වහන්සේට වස්‌ ආරාධනා කිරීමේදී බුලත් හෙවත් දැහැත් භාවිත කරන අතර, පෙරකී පරිදි මල් වට්‌ටිය හෝ මල් පොකුර සංකේතවත් කරමින් එම දැහැත් ගොටුවට මල් කිහිපයක්‌ දැමීමේ සම්ප්‍රදායක්‌ පවතී.
චෛත්‍යයක්‌ ඉදිකිරීමේදී මුල්ගල් තැබීමේ අවස්‌ථාව හා සමාන වැදගත්කමක්‌ භික්‍ෂුන් වහන්සේට වස්‌විසීම සඳහා වස්‌ ආරාධනා කිරීමේ අවස්‌ථාවට හිමිවේ. මෙය මහත්ඵල මහානිසංස ලැබෙන උතුම් පිංකමකි. තෙමස ඉක්‌මවීමෙන් පසු “කඨින චීවර” පූජාකිරීමේ පිංකම චෛත්‍යයක්‌ ඉදිකළ පසු කොත පැළඳවීම හා සමාන උතුම් පුණ්‍ය ක්‍රියාවකි.
අප ගෞතම බුදුරජාණන් වහන්සේට දොළොස්‌වෙනි මස ගතකිරීම සඳහා ආරාධනා කරනු ලැබුවේ වේරඤ්ඤා බ්‍රාහ්මණයා විසිනි. ඒ අනුව භික්‍ෂුන් වහන්සේ 500 ක පිරිසක්‌ සමඟ වේරඤ්ඤා ගමට වැඩම කළහ. එහෙත් ආරාධනා කළ බ්‍රාහ්මණයාට මෙය අමතක වී එම තුන්මාසය තිස්‌සේ ඉතා දුෂ්කර පැවැත්මක්‌ ඇතිව ගතකිරීමට සිදුවී ඇත. මෙවැනි තත්ත්වයන් වර්තමානයේද දක්‌නට ලැබේ. සමහර දායක පිරිස්‌ මෙම වස්‌ තෙමස තුළ තමාට හිමි සලාක දානය පිරිනැමීමට අමතක කරන අවස්‌ථා අප අත්දැක තිබේ. ඒ නිසා වේරඤ්ඤා බ්‍රාහ්මණයා අනුගමනය නොකර නිතර විහාරස්‌ථානය ගැන හා වස්‌ සමාදන්වී ඇති භික්‍ෂුන් වහන්සේ කෙරෙහි සැලකිලිමත්ව කටයුතු කිරීමට අදිටන් කරගත යුතුය. මෙම කාලය “පුණ්‍ය කාලය” ලෙස සලකා කටයුතු කරමු.
වස්‌ ආරාධනාව හා ඒ සමඟ බැඳි සිරිත් විරිත්:
වස් ආරාධනය
භික්‍ෂූන් වහන්සේට වස් ආරාධනා කරනු ලබන්නේ දායකයන් විසිනි. ඒ අනුව විහාරස්ථානයේ වැඩ වසන භික්‍ෂූන් වහන්සේට මෙන්ම වෙනත් විහාරස්ථානවල භික්‍ෂූන් වහන්සේටත් ආරාධනා කිරීමට හැකිය. විහාරස්ථානයට පැමිණෙන දායක මහත්වරු බුදුන් වැඳ භික්‍ෂූන් වහන්සේට දැහැත් පිළිගන්වා වස් විසීමට ආරාධනා කරති. මෙම දැහැත් පිළිගැන්වීම සාමාන්‍ය දැහැත් වට්ටියක බුලත් තබා ආරාධනා කරන පිළිවෙළට වඩා වෙනස් ය.
මේ සඳහා බුලත් කොළ දහයක් පමණ ගෙන රවුමට තබා එකිනෙක සම්බන්ධවන ආකාරයට ඉරටු ගසා දැහැත් ගොටුව සකස් කරනු ලැබේ. එය අලංකාර නිර්මාණයකි. එහි මැදට පුවක්, හුණු සහ එනසාල් වැනි සුවඳ ද්‍රව්‍ය දමනු ලැබේ.
එක භික්‍ෂූන් වහන්සේ නමකට නම්, එක ගොටුවක් ප්‍රමාණවත් ය. එහෙත් භික්‍ෂූන් වහන්සේ හතර නමකට ආරාධනා කරනු ලබන්නේ නම්, එවැනි දැහැත් ගොටු හතරක් අවශ්‍ය ය. එයින් පසුව භික්‍ෂූන් වහන්සේට දැහැත් ගොටුව පිළිගන්වා දායක තැන විසින් පහත සඳහන් ආකාරයට ආරාධනා කළ යුතු ය. මේ තුන් මාසයේ අප විහාරයේ අප කෙරෙහි අනුග්‍රහය පිණිස වස් වාසය කරන ලෙස ගෞරවයෙන් ආරාධනා කරමි යනුවෙනි.
එයින් පසුව භික්‍ෂූන් වහන්සේ පහත සඳහන් වාක්‍යය ප්‍රකාශ කිරීමෙන් ආරාධනාව පිළිගනිති.
ඉමස්මිං විහාරෙ ඉමං තෙමාසං වස්සං උපෙමි,
ඉධ වස්සං උපෙමි,
ඉධ වස්සං උපෙමි,
ඉධ වස්සං උපෙමි යනුවෙනි. (උපෙමි, එළඹෙති)
වස් දානය
වස් තෙමස තුළ භික්‍ෂූන් වහන්සේට දානය පිළිගැන්වීමට දායකයෝ බාර ගනිති. ඒ අනුව හීල් දානය, දවල් දානය, සවස ගිලන් පස දානය සපයමින් ඔවුහු උන්වහන්සේට සංග්‍රහ කරති. මෙම වස් කාලය තුළ සවස් කාලයේ දී දායකයෝ විහාරස්ථානයට පැමිණ මල්පහන් පූජා කරති. ධර්ම සාකච්ඡා කරති. භික්‍ෂූන් වහන්සේ ඔවුන්ට ධර්ම දේශනා කරති. සතර පොහොය දිනවල විශේෂ ධර්ම දේශනා පවත්වති.
කඨිනය
කඨින යන්නෙහි තේරුම තද, කර්කෂ යනුයි. මෙම වචනය නොසැලෙන, නොබිඳිය හැකි, සිදුරු කළ නොහැකි කුසල කර්මයකටද ව්‍යවහාර කැරේ. තවද දෙපට සිවුර, තනිපට සිවුර, අඳන සිවුර යන සිවුරු වලින් එක් සිවුරක් අරමුණු කරන නිසා සිවුරට කඨින යන නම ලැබෙයි. පිනද කඨින නම් වෙයි. කඨිනය නොසැලෙන, නොබිඳෙන, ස්ථිර, ප්‍රසංශා කටයුතු ඒක ඝන ආනිසංස ඇති පිනකි. එබැවින් බුදුරජාණන් වහන්සේ,
“පඨවි රිව නජාතු කම්පනේ නචලති. මේරු රිවානි වායුනාං වජිර මිව නභිිජ්ජතෙ ඝනං තම්ද මතො කඨිනන්ති චුච්චති”. යනුවෙන් කඨිනානිශංස වදාළහ.
මහ පොළොව මෙන් කම්පා නොවන මහාමේරුව වායුවෙන් සෙලවීමට නොහැකි සේ වජිර (දියමන්ති) පව්ව බිඳ දැමීමට නොහැකි සේ තද වූ බැවින් කඨිනය යැයි කියනු ලැබේ යනු, මෙහි සාමාන්‍ය තේරුමයි.
කඨිනය සිවුරක් නිමිති කරගෙන ඇති ප්‍රඥප්තියකි. සිවුරක්, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ රස ඔජා යන දෙයින් යුක්ත ය. මේ වස්තුවෙන් කළ නොහැකි ආකාරයට බැඳි ඇති හෙයින් එය කඨින නම් වෙයි.
කඨින වස්ත්‍රය
මෙය ‘කඨින දුස්සං’ නමින් හැඳින්වෙයි. ඇතැම්හු දුස්සං යන්න චීවර යනුවෙන් ද හඳුන්වති. පෙර දවස චීවරයක් සකස් කර ගැනීමට සොහොනක, කසල ගොඩක් හෝ ඇති අන් අයිතියක් නැති වස්ත්‍රයක් ලබාගෙන ඇත. එය පිරිසුදු කර පඬු පොවා සිවුරක් කොට ගත්හ. පසු කාලය වන විට සුදු වස්ත්‍රයක් මිලදී ගැනීම සිදුවිය. වර්තමානයේ මේ සඳහා කහ පැහැති වස්ත්‍ර තෝරා ගැනෙයි. අතීතයේ කපු නෙළා, නූල් සකසා එදිනම වස්ත්‍රයක් සකස්කර කපා, මසා, කඨිනය සඳහා අවශ්‍ය සිවුර පිළියෙළ කර ගැනිණි.
කඨිනය බාරගත් අයගේ නිවසේ සිට කඨින වස්ත්‍රය පෙරහරකින් වඩමවා ගෙන යනු ලැබේ. එය අනියම් කාලයේ දී හිස තබාගෙන, ඉමහත් ගෞරවයෙන්, “ඉමං කඨින දුස්සං භික්‍ඛු සංඝස්ස දේම” යනුවෙන් ප්‍රකාශ කරමින් සංඝයා වහන්සේට පූජා කිරීම සිදුවෙයි.
කඨින වස්ත්‍රය එළනු ලබන්නේ ගිහියකු විසිනි. සිවුර සකස් කිරීම සඳහා නියම කරන ලද රාමුවක් ඇත. ඒ අනුව එම වස්ත්‍රය කපා මසා සිවුර පිළියෙළ කැරෙයි. සිවුර මැසීමට කපන කැබෙල්ලක්, සුගත් වියත් හතරකි. චීවරය මීටර් දහයකි. සමහර විට අට හමාරකි. භික්‍ෂූන් වහන්සේගේ උස අනුව චීවරය පිළියෙළ කර ගැනීම සිදුවෙයි.
සුවසේ සැපසේම ධර්මාවබෝධය පිණිස ම හේතූපනිශ්‍රය
වේවා
(උපුටාගත් ලිපියකි )

notes of imaginary