තෙරුවන් සරණයි .
ලොව දිනු පුවත දැනගෙන පින්වත් කුමරූ සත් පියුමන් පිපුණි පින් සුවඳින් මියුරූ සිහිකර යළිත් අසිරිය සිදුවූ අයුරූ සමරමු වෙසක් මෙවරත් මිතුරු
--- වේද ගීතයක්
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
ජීවිතය
සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.
විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි
ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.
රබීන්ද්‍රනාත් තාගෝර්
වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.
2022-07-30
හයිබ්‍රිඩ් ආණ්ඩු.
2022-07-28
සෙනෙහෙ කොලයක්
රාත්තිරියෙ හඳ එනකොට
යකඩ පොළුවලින් ඇතුළට
කලාවැවේ හඳ වතුරේ
ඔරු පැද්දා මතක් උණා.
හඳ වතුරට තෙමා වැටුණු
කෙහෙරැළි ටික ඈත්කරල
උඹේ මූණ බලා ඉන්න
කොච්චර නම් පිං පිරුවද.
කිළුටු ජම්පරේ ඇඳගෙන
මුළු දවසෙම යතු ගාලා
බෝඩරේට ඇවිදිල්ලා
හුස්මක් ගත්තේ හතරට.
ටැංකිය ළඟ අපි ඔක්කොම
ටින් අරගෙන නාන වෙලේ
උඹත් එක්ක වැවේ නාපු
ඒ සන්දිය හිතට ඇවිත්
කඳුළු එක්ක ,මං නෑවා.
වැව් කරෝල බැදල දාල
කිරිකොස් මාළුවක් එක්ක
රස කර කෑවට මං ,
උඹ ගෙනාපු මගෙ බත් එක...
මීට පස්සෙ උඹ නෑවිත්
තාත්ත එවපන් මෙහාට
ජේලර් කාරයා ගෙ ඇස්
උඹ පස්සෙන්මයි ඇවිද්දෙ .
පපු කැනැත්ත පත්තු උණා
විලංගුවට සාප කළා .
අච්චු කරපු සමහරුන්ට
හරියට වද දෙනව ඇතුලෙ
අයිස් ගහල ,දුමත් ඇදල
පිස්සො වගේ දඟලන අය
නෝන්ජලය කියලා මට
නමකුත් හදල නෙ බලහං.
උපන් දිනේ හෙටයි උඹේ
නෑ මට අමතක වෙන්නේ .
දුකයි මෙවෙලෙ ළඟින් ඉන්න
බැරි උණාට සමාවෙයන් .
කුසෙන් හෑල්ලු උණයිං පහු
රත්නත්තරයේ පිහිටෙන්
අපි යමු දළදා වඳින්න..
පොඩි එකාව වඩාගෙනම.
හොඳ කල්කිරියාව හින්ද
ටික දොහකින් නිදහස් වෙයි.
සමහරවිට මාසයකින්
නෑ ..නෑ ,හය මාසෙන්වත්
ඩොකට් එකත් යැවුවළු මගෙ
ලොකු මහත්තයට බලන්න.
හෙට ඉඳලා බත් පාටියෙ
වැඩට මාරුකලාළු මං
උඹෙ ඇස් දෙක හැම තිස්සෙම
හිතේ විදුලි කොටනව මගෙ.
මගේ සරමක් පොරවාගෙන
නිදාගනින් හීතල නං
ගම්බාරෙට පඬුරක් හෙම
ගැට ගහපං අපි වෙනුවෙන් .
රෝ.සි. ගේ මූණු පොතෙන්
2022-07-24
මතු ජාතියෙත් ඔබ මට වාසනාවන්.
පාට වරුන ඇති කුකුලනි
මම තොපට රනින් වළළු
තනවාලා දෙමි පයට
මේ අප දෙන්නා එක්වුනි රෑ තුන්යමට
ඉර දුටුවොත් නාඩන් කුකුලනි හෙට
සදට හොරෙන් සද මුදුනින් සාවෝ ගියා
ඉරට හොරෙන් ඉර මුදුනින් ගිරව් ගියා
මලට හොරෙන් මල මුදුනින් ඔමරු ගියා.
අපට හොරෙන් නුඹ දෑසට නොපෙනී ගියා
ගිරවුන් හැර ගියත් ඉර තනි නොවේවා.
සාවුන් හැර.............ගියත් නති සද තනිනොව්වා.
ඹඹරුන් හැර ගියත් මල තනිනොවේවා.
පිං ඇති ළදක් කර කාරෙට ලැබීයන්
රුවැති ගුනැති දූ දරුවන් ලැබීයන්
මේ ජාතියේ මං කල පව් ගෙවීයන්
මතු ජාතියේ හිමි සද ලෙස ලැබීයන්
සවි ඇති කළට උක් දණ්ඩේ පැණිසේමා.
සවි නැති කලට..................වැටකෙයියා රොඩු සේමා
වෙර නැති දා කෙතකට බැදි වැට සේමා.
අසරණදා ....................මල් යායේ කටු සේමා.
වැල්ලේ පිපෙන බිම් මල වාසනාවන්
ගොල්ලේ පිපෙන පන්මල වාසානාවන්.
දෙපොදාට පුන් සද වාසනාවන්
මතු ජාතියෙත් ඔබ මට වාසනාවන්.
2022-07-23
උදා අලුයම දෝත පා නුඹ පිළිගමී..
ගෙවා රෑ යම උදා අලුයම - දෝත පා නුඹ පිළිගමී.. |
2022-07-22
කරීම්ගේ අරගලය.
නැපෝලියන් විසින් මෙහෙයවන ලද ප්‍රංශ කැරැල්ලට ඊජිප්තුවේදී මොහොමඩ් කරීම් විරුද්ධ විය,
ප්‍රංශ හමුදාවේ අත්අඩංගුවට පත් මොහොමඩ් කරීම් හට මරණ දඩුවම නියම කලේය.
දඩුවම් නියම කිරීමෙන් පසුව ආපසු කැදවු මොහොමඩ් කරීම් හට නැපෝලියන් ජීවිතය ගලවා ගැනීමට අවස්ථාවක් ලබා දුන්නේය.
“ධෛර්යයෙන් හා ශක්තියෙන් ඔබේ රට ආරක්ෂා කළ මිනිසෙකු ඝාතනය කිරීමට නියම කිරීම ගැන මට කණගාටුයි. එසේ සිදු කිරීමෙන් මම ඔවුන්ගේ මව්බිම ආරක්ෂා කරන වීරයන් ඝාතනය කල බවට ඉතිහාස ගත වීමට මට අවශ්‍ය නැත ”
“ඔබ මගේ සොල්දාදුවන් ඝාතනය කිරීම සඳහා වන්දි ගෙවීමක් ලෙස රන් කාසි දසදහසක් ගෙවන්නේ නම් මම ඔබට සමාව දෙන්නෙමි”.
“මට මේ අවස්ථාවේ ප්‍රමාණවත් තරම් මුදල් නැත, නමුත් රන් කාසි ලක්ෂයකට වඩා වත්කම් ඇති වෙළෙන්දන්ගෙන් මට ණයක් තිබේ.” යයි මොහොමඩ් කරීම් නැපෝලියන්ට කීවේය.
“එසේ නම් ඔබේ මුදල් එකතු කිරීමට මම ඔබට කාලය ලබා දෙන්නෙමි. යයි නැපෝලියන් ඔහුට අවස්ථාව ලබා දුන්නේය. සිරකරුවෙකු වු මොහොමඩ් කරීම් විලංගුවලින් බැඳ සොල්දාදුවන් විසින් වෙළදපල වෙත කැදවා ගෙන ගියේය. රන් කාසි දස දහසක් එකතු කර ගැනීමට කරීම් වෙලෙන්දන් එකිනෙකා හමුවෙමින් ඔහුට නැපෝලියන් ගෙවීමට නියෝග කල වන්දි මුදල සදහන් කරමින් ආධාර පැතීය.
කරීම් විසින් උදව් උපකාර ලබා ගත් කිසිදු වෙලෙන්දෙක් ඔහුට යහපත් ප්‍රතිචාර නොදැක්වු අතර ඔහුට විවිධවු චෝදනා කරනු ලැබීය. ඇලෙක්සැන්ඩ්‍රියාවේ ආර්ථික තත්වය පිරීහිමට කරීම් ගේ ප්‍රතිපත්ති හේතුවු බව වෙලෙන්දන්ගේ මතය විය. කරීම්ගේ ක්‍රියාවන් නිසා වෙලෙන්දන්ගේ ව්‍යාපාර විනාශයට පත්වු බවට අවලාද නැගීය. කළකිරීමටත් අපේක්‍ෂා භංගත්‍වයටත් පත් කරීම් අවසානයේදී එක් රන් කාසියකුදු නොලබා නැපෝලියන් හමුවට පමුනුවනු ලැබීය.
“ ඔබ අපට විරුද්ධ වී අපේ සොල්දාදුවන් ඝාතනය කළ මට කනගාටු නැත . එහෙත් ඔබේ මව්බිමේ නිදහසේ වෙළඳාමේ යෙදෙන බියගුලු මිනිසුන් වෙනුවෙන් සටන් කර ඔබ ඔබේ ජීවිතය අනතුරට පත් කරගැනීම නිසා මට කනගාටු යැයි ” නැපෝලියන් පවසා ඇත.
2022-07-21
නස්රුදීන් - අවුරුදු ඇවිත්.
එයා ගමන් බිමන් යන්න භාවිතා කලේ බූරුවෙක්. නස්රුදීන්ගේ හැම කතාවකම මේ බූරු චරිතෙත් තනියට ඉන්නවා. නස්රුදීන් සංචාරකයෙක්. එක එක කාලෙට එක එක තැන පදිංචි වෙලා හිටිය බව කතා කියවන විට හැගෙන දෙයක්. මේ කියන දවස් වල නස්රුදීන් පදිංචිවෙලා හිටියේ බහු ජාතික , බහු ආගමික ගම්වාසීන් ඉන්න ගම්මානයක .
නස්රුදීන් නත්තල් සමරන කෙනෙක් නෙමෙයිනේ. නත්තල නැති නස්රුදීන් ජනවාරි පලවෙනිදා අළුත් අවුරුද්දත් සමරන්නේ නැහැනේ ඒත් අල්ලපු ගෙදර උදවියටත් ගමේ බොහොමයකටත් ජයටම මේ උත්සව දෙකම තියෙනවා. ඉතින් අවුරුද්දට ලෑස්ති වෙන අය පරණඇදුම් පැළදුම් වල ඉදන් ගෘහ භාණ්ඩ පවා වෙනස් කරලා ගෙවල් තීන්ත ගාලා පොලොව මැදලා හැඩ වැඩ කරනවා.
නස්රුදීන් නානාට නෝනාලා තුන්දෙනයි. නෝනලා තුන් දෙනාම එක පයින්ම අල්ලපු ගෙදර අනුගමනය කරන්න ඕන කියලා එක යුද්ධයයි. නස්රුදීන්ගේ මොලේ මඥ්ඥං වෙලා පිස්සු වගෙයි. එක පිස්සුවක්ය , හිතා ගන්න පුළුවන්නේ නස්රුදීන්ට “පිස්සු ට්‍රිබල්” වෙන විත්තිය.
නසුරුදීන්ට අවුරදු නැතිවුනත් නෝනාලා තුන්දෙනට ඇහුම් කන් දෙන්න
සිද්ධවුනා. ගෙදර තිබුන පාරම්පරික ගෘහ භාණ්‌ඩ පැත්තකට විසි කරල නවීන පන්නයේ ගෘහ
භාණ්‌ඩ ගෙනත් නවීන පන්නයටම තියන්න නස්රුදීන්ට සිද්ධ වුනා. .
නස්‌රුදීනුත් ගෙදර තිබුණ පැරැණි
ගෘහ භාණ්‌ඩ බුරු ගරාජයේ පැත්තකට දාලා නව පන්නයේ ගෟහ භාණ්ඩ ගෙදරට ගෙනාව. පහසු ගෙවීමේ ක්‍රමයට.
නස්රුදීන් අළුත් ගෘහ භාණ්ඩ ගෙනාවා කියලා ආරංචි වුණා විතරයි සිද්ධවෙන්න ඕන විදියටම
ගමේ හිටිය නෑදෑයොයි යාළුවොයි අසල්වැසියොයි නස්‌රුදීන්ගේ ගෙදරට එන්න ගත්තා. ඊළඟට
බඩු ගැනයි බඩු තියෙන තැන් ගැනයි තම තමන්ගේ විවේචන විග්‍රහ ඉදිරිපත් කරන්න පටන්
ගත්තා. නස්‌රුදීන්ට මේව අහල හිසේ රදේ හැදුනත් ඔහු බොහොම අමාරුවෙන් කටපියාගෙන
හිටියා.
අල්ලපු ගෙදර හාදය කමුර් ආවා. ඒත් එක්කම අසල්වාසී නවුෆරුත් ගොඩවුනා. “හා නස්‌රුදීන් නානා. අලුත් බඩු ගෙනැල්ලා වගෙ අනේ හොදයි. ඒ වුණාට මේව තියල තියෙන ක්‍රමේ නම් හරි නැහැ. කමුර් කිව්වා. මේක අහගෙන හිටපු නවුපර් ඌණ පූරණයක් කලා “මේ පුටු සෙට් එක නම් මෙතැනට කොහොමත්ම ගැලපෙන්නෙ නැහැ”.
කෙලවරක් නැහැ. තව තව අය එනවා. ඉමිටියාස් ෆවුසිත් එක්ක ආවේ ඉමිටියාස්ගේ
බුරුවත් එක්ක.”මේ අල්මාරියෙ කැටයම් පේන්නෙ නැහැනෙ ඔය තියල
තියෙන විදියට” ඒ ෆවුසිගෙ අදහස. “තව
ස්ටුල් එකකුත් තිබුනන් හොදයි “ඉමිටියාස්ගෙ අදහස.
මේ අතරේ නස්රුදීන්ගේ නෝනාලා තුන්දෙනා බරපතල වාදෙක. අළුත ගෙනා
ඩබල් ඇද තියන්න ඔනී කාමරේ ගැන.දෙන්නගෙම අදහස තම තමන් ගේ කාමරවලට ඩබල් ඇද ගෙනියන්න.
නස්‌රුදීන්ගෙ අලුත් බිරියගෙ අදහස අලුත් ඩබල් ඇඳ නම් හරියන්නෙම
තමන්ගෙ කාමරයට බව. ඒක මොනම ක්‍රමයටවත් ඒ කාමරයට නොගැලපෙන බව කීවෙ නස්‌රුදීන්ගෙ
පරණ බිරිඳ උම්මා.බලෙන්ම කතාවට එල්ලෙන තුන්වන නෝනා ෆරීනා. “කණ්‌නාඩි මේසෙ තියන්න ඕනෙ එන එන අයට පෙනෙන ලෙසටනේ……….? ” කියලා කණ්‌නාඩියෙන් තමන්ගෙ පිරිහෙන රූප සොබාව නරඹන ගමන් කීව්වා.
නස්රුදීන් හිතලා බැළුවා. බැලුවාම එක බඩුවට තියන්න ඔනී තැන් 10-12 ක් තියෙනවා. නස්‌රුදීන්ට කවුරුවත් තරහ කරගන්නත් හිතක් පහල වුනෙත් නැහැ. නස්රුදීන් හිතුවා කවුරුත් සතුටු වෙන ආකාරයට බඩු ටික තියන්න.
ඔන්න පසුවදාත් කට්‌ටිය එන්න පටන් ගත්තා.
නස්රුදීන්ට හරි කරදරයක්. එක එක්කෙනාට එකම පිළිතුර නේ දෙන්න තියෙන්න. කල්පනා කලා මේ ඔක්කොමටම එකවර පිලිතුරු දෙන්න .
පැය දෙක තුනක් මේ ගොල්ල වෙන වෙන කතා කිය කියා රදවගන්න නස්රුදීන්ට සැළසුම් කලා . මෙහෙම පැය දෙක තුනක්
යන කොට ඊයේ ආපු ඔක්කොම වගේ ගෙදරට රැස්වෙලා .
ඔක්කොටම
තියෙන්නේ එකම ප්‍රශ්නයයි.
ගෙදර කිසිම කාමරයක කිසිම බඩුවක්
නැහැ. නිකම්ම හිස් කාමර. කට්‌ටිය එකවරම වගේ ප්‍රශ්න කළා කෝ මේ ගෙදර තිබූ බඩු ටික.
එකක්‌වත් පේන්න නැහැනේ. මොකද කළේ ?. ඊයේ තිබුන ලස්සන බඩු වලට ?.
නස්රුදීන් ඔක්කොම පිරිස එක තැනකට
රැස් කරලා මෙහෙම කිව්වා .”ගෙනාපු අළුත්
බඩු තියන්න මේ ගෙදර කොතනකවත් පිලිවෙලක් නැහැනෙ. කොතන තිබ්බත් වැරැදිනේ”
. කියලා නස්‌රුදින්
කම්මුලට අත තියාගත්තා .
එහෙම කියලා “යමු පෙන්නන්න මම ඒව ලස්සනට අහුරලා තිබ්බා’”. කියලා මිදුල මැදින් ගේ පිටුපසට කණ්ඩායමම එක්කරගෙන ගියා.
එක්කරගෙන ගිහින් දර මඩුව පෙන්නුවා.
අනේ ඉතින් අද තේ එකක්වක්
දෙන්න විදියක් නැහැනේ !. කෙහෙවළු පටලවා ගෙන නෝනාලා තුන්දෙනත් ඒ ගොල්ලන්ගේ ගෙවල්
වලට ගිහිල්ලා කියලා අත්පුඩියකුත් ගහලා නස්රුදීන් හිනාවුනා.
අපි
අනුන්ගේ වැඩ වලට උපදෙස් දෙන්න යන්න හොද නෑ කියලා හිත හිතා තේ එකක්වත් නස්රුදීන්ගෙන්
නොලබාම ආපු අය ආපහු ගියා.
ඔන්න ඔහොම නස්රුදීන් බොහෝම
සැහැල්ළුවෙන් අළුත් අවුරුද්ද පටන් ගත්තා.නෝනාලා
තුන් දෙනත් එයාලගේ දෙමව්පියන් ලගට ගිහිල්ලානේ.
2022-07-18
විනයො නාම ශාසනස්ස ආයු !
මීදුම බෞද්ධයෙකි.
යතිවරුන් ඇසුරු කරන එහෙත් යතිවරුන්
තෝරා බේරා ගෙන ගෞරවණීය ලෙස සලකන බෞද්ධයෙකි. බුදුරජානන් වහන්සේ විසින් දේශනා කරන ලද
ධර්මය අසන විමසන සිතන බෞද්ධයෙකි. බෞද්ධයෙකු විසින් කළ යුතු යතිවරුන් වෙත කරනු ලබන ගෞරවනීය බව සමහර යතිවරුන්
විසින් කෙලෙසා ගෙන ඇතැයි සිතන බෞද්ධයෙකි.
කාලයා විසින් සිත් තුල මේ වෙනස ඇති කරවා ඇත්තේ ද
යතිවරුන් විසින් මයයි මීදුම සිතයි.
කාලයක සිට අපේ හාමුදුරුවරු දේශපාලනය ගැන උනන්දුවක් දක්වයි. පාලනයට සහභාගි වෙති. අතීතයේ හාමුදුරුවරු පාලනයට සම්බන්‍ධ නොවී උපදේශන සැපයු බව අප ඉතිහාසයේ
සදහන් වෙයි. . එහෙත් වර්තමානයේ සිදුව ඇත්තේ භික්ෂුව දේශපාලනයට මැදිහත්වී අවමානයට
ලක්වීමයි. අපේ හාමුදුරුවන් ගෞරාන්විතව වැඩ වාසය කරමින් අර්ථයෙන් ධර්මයෙන් උපදේශනය
කරනවා වෙනුවට දේශපාලනයට මැදිහත්ව කරන විකාරය දැන් දැන් මීදුම දකින්නේ අප්‍රසන්න කටයුත්තක් ලෙසයි. අපේ හාමුදුරුවරුන්
විනය ගරුක ද? ශික්ෂාකාමී ද? උන්වහන්සේලා පොලිස් නිලධාරීන් හා
ගුටි - බැට හුවමාරුවලට යති. ඇතැම් හාමුදුරුවරුන් විවිධ ඉල්ලීම්
ඉදිරිපත් කොට ඒ මත්තේ දිවි නසාගැනීමට යති. නැත්නම් දිවි නසා ගන්නා බවට තර්ජනය
කරති. මහ පාරවල් මැද උද්ඝෝෂණ කරති. දේශපාලකයනට තර්ජනය කරති. ප්‍රසිද්ධ ස්ථානවල උපවාස කරති. ඇතැම්
හාමුදුරුවරුන්ගේ හැසිරීම සමාජයට හිසරදයකි.අප්‍රසන්න
වෙති.බාල දේශපාලනය සමග හාමුදුරුවරුන් සම්බන්ධ වීම නිසා එතැන ඇතිවන්නේ බලවත් පටලැවිල්ලකි.
දේශපාලනයකට සම්බන්ධ වුවහොත් හාමුදුරුවරුන්ගේ
විනය මුළුමනින් ම පිරිහී යයි. ශ්‍රාවක ප්‍රජාවගෙන් ලැබෙන ගෞරවය ද
කෙළෙසී යයි.
“විනයො නාම ශාසනස්ස ආයු ! “
ශාසනය පවත්වා ගැනීමේ ප්‍රධාන සාධකය
විනයයි. එසේ හෙයින් ශාසනයේ ආයුකාලය පවතින්නේ විනයෙ පැවත්ම මතයයි බුදුරජානන් වහන්සේ අනු දැන වදාලේ එහෙයිනි.
විනය නැති තැන ශාසනය බිඳ වැටෙයි.
ශ්‍රී ලාංකික ජනතාවගෙන් බහුතරය බෞද්ධාගමිකයෝ
වෙති. ඔවුන්ගේ ජීවනය බෞද්ධාගම හා බැදි සිටී. පන්සල ඔවුන්ගේ ජීවිතයට මග පෙන්වන ආයතනයයි.
පන්සලත් ශාසනයත් දෙකක් නොවේ. ශාසනය
බිඳ වැටුණු කල රටත් - ජාතියත් දෙක ම බිඳ වැටෙයි.
“සබ්බ
දුක්ඛ නිස්සරණ, නිබ්බාණ සච්චි කරණත්වා”
“ මම සියලු දුක් කරදර නිමාකොට
නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා මහණකමට පිවිසියෙමි. යන්න පිලිගෙන මහනකමට පත්වන
හාමුදුරුවරුන් හට ලෞකික ජීවිතයේ දිනාගත යුතු දේ තිබිය හැකිද ?. එතුමන් අපත් සසරින්
එතෙර කිරීමට මග පෙන්වා එතුමන්ලාත් සසරින් එතරවීමට වීර්ය දැරිය යුතුයැයි මීදුම
සිතයි.
එහෙත් වෙන්නනේ උඩුගං බලා යාමකි. බලය සොයමින් යති. වීර වරුන් වීමට වලි
කති,ප්‍රසිද්ධිය වැළද ගනී. යාන වාහන වස්තු දේපල රැස්කරයි.
අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනයා
රාජකීය නායකත්වයට වඩා ආගමික නායකත්වය පිළිගනිති. එහි අදහස වන්නේ ආගමික නායකයනට
කන්දීමට බෞද්ධ ජනයා වැඩි උනන්දුවක් දක්වන බවයි. අදටත් තමන්ගේ පාඩුවේ ගමේ බෞද්ධයාට
අර්ථයෙන් - ධර්මයෙන් උපදේශන සපයමින් විමුක්තියක් අපේක්ෂා කරන භික්ෂුහු අනන්තවත්
සිටිති. උන්වහන්සේලා සියළු දුක්දොම්නස් දරා ගනිමින් සමාජ සුබසිද්ධිය සඳහා ද, අධ්‍යාත්මික
විමුක්තිය සඳහා ද සිය ජීවිතය කැප කර සිටිති. ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු නොවෙති.
පළමුවන ධර්ම සංගායනාව ඇතිවූයේ විනය
විරෝධී වචනයක් නිසා ය. එය සුභද්‍රගේ අභද්‍ර වචන ලෙස ඉතිහාසයට එක් වී තිබේ.
දෙවන ධර්ම සංගායනාව ඇති වූයේ ද විනය
විරෝධී කටයුතු දහයක් මුල් කරගෙන ය. එයින් හතරක් ම ශාරීරික අවශ්‍යතාවලට සම්බන්ධය.
එකල ඇතැම් භික්ෂූන් මී - රා පානය කොට රන් කහවනු අල්ලස් ලෙස ලබාගත් බව ද ඉතිහාසයේ
සඳහන් ය.
කුමක් වුව අපේ ශාසනය රැකීමට කරුණු දෙකක්
සම්පූර්ණ විය යුතු ය. පළමුවන්න භික්ෂූන්ගේ සංවරය ය. දෙවැන්න භික්ෂූන් කෙරෙහි ගිහි
බෞද්ධයන් දක්වන ගෞරවය යි.
භික්‍ෂුව සංවර නොවු කල ගිහියන්ගේ ගෞරවය
නොලැබීයයි. එවිට ශාසනයේ පැවත්ම විනාශවේ. සංඝරත්නය දේශපාලනය පසෙක තබා
ශාසනය ආරක්ෂා කරනු ඇතැයි බලාපොරොත්තුවුවත් එය සිතිවිල්ලකව බොදවන්නේ
කනගාටුවට පත්කරවමිනි.
2022-07-17
ඉස්කෝලේ
| ඩෙල්ෆ් දූපතේ පාසලක් |
එකමත් එක කාලෙක මේ
රටේ හිටපු පුංචි එවුවො
සුදු සපත්තු ,මේස් දාල
ජැන්ඩි පහට සුදු ඇඳගෙන
පොත් බෑග් එකත් අරගෙන
ගියාලු ඉස්කෝලේ ..
යාළු මාළු එකතු කරන්
ස්කූල් බස් එකේ නැගල
හිනා කවට උතුර උතුර
සීත සුළං ඇඟ දවටන්
ගියාලු ඉස්කෝලේ ...
අරලිය ගස් සුවඳ දිදී
මල් පාත්ති හිනාවෙවී
සුදු වැලි උඩ සිත්තම් ඇඳ
බුදු ගෙට වැඳලා හෙමිහිට
ගියාලු ඉස්කෝලේ .
එසෙම්බ්ලියෙ දි කවි කියන්න
කතා කියල ,රඟපාන්න
තාලෙට බෙර; උඩ පැන පැන
හනුමා වන්නම නටන්න
පන්තියෙ හොඳ ළමය වෙලා
අප්පුඩි මැද තෑගී ගන්න
ගියාලු ඉස්කෝලේ .
මල් ,මල් සාරිය පටලා
මුතු දෙපොටක් කරේ දමා
සාරිපොටෙන් දරුවො ඔතපු
ගුරු අම්මල ලඟ ඉඳගෙන
වටවී කවි ගී අහන්න...
අඩුකරන්න;බෙදාගන්න ...
ගුණ දහමින් ලොවදිනන්න
කොට තාප්පයෙන් පැනලා
ග්‍රවුන්ඩ් එකේ බැට් ගහන්න ,,,
හයේ පාරවල් දීලා
ලැබ් එකෙ වීදුරු බිඳින්න
ගියාලු ඉස්කෝලේ .
වෙරළු ,පේර ,ජම්බු පොකුරු
අතින් අතට මාරුකරන් ...
ඉටි ගෝනුස්සන් දවටා
ගෑණු ළමයි මැදට දාල ...
ටීචර් ගෙන් තැළුම් කන්න
ගියාලු ඉස්කෝලේ.
අන්තිම සීනුව ආවම
පුංචි උපාසකයො වගේ
“යෝ වද ,තං පව රො” ...කියල
කවට මූණු ඉඟි බිඟි මැද
“ආයුබොවන් ටීචර්” කියල
ආදරයෙන් ,ඉගෙනගන්න
ගියාලු ඉස්කෝලේ .
ඉස්සර එහෙමයි කියලා
අප්පච්චී මට කිව්වට
මවා ගන්නෙ කොහොමද මං
ගියෙ නෑනේ ....ඉස්කෝලේ !.
- රෝහිණි සිසිප්‍රිය ගේ මුණු පොතේ පලවු ගී පදවැල මීදුම සිත් ගත්තා.
මටත් හිතුනා මෙහෙම අදහසක්.
- අද අපි තනිවෙමින් ඉන්නවා.ඉස්කෝලේ අවුරුදු තුනකටත් වැඩි කාලයක් වහලා.දරුවන්ට ඉස්කෝලේ මතක නැතිවෙමින් යනවා. අපිව තාක්‍ෂණය විසින් දවසින් දවස සමාජයේ තනි කරමින් ඉදිරියට යනවා.අපේ දරුවන්ටත් ඒ ආනිශංශ වඩාත් වේගයෙන් ලැබෙමින් පවතිනවා. පුංචි පරපුර තාක්‍ෂණය වහාම ග්‍රහණය කර ගන්නවා.
- සෞන්දර්යාත්මක ඇසකින් ඈ දුටුවේ ඒ අභාග්‍යසම්පන්න අනාගතයි.
- මේ සීග්‍රයෙන් වෙනස් වෙන කාලයේ ඉස්කෝලය පෞරාණික ගොඩනැගිල්ලක් බවට පත්වේවි.
- "" ඉස්සර එහෙමයි කියලා
- අප්පච්චී මට කිව්වට
- මවා ගන්නෙ කොහොමද මං
- ගියෙ නෑනේ ....ඉස්කෝලේ !."
2022-07-16
අපි බලා ගෙන ඉමු.
මීදුම සිකුරාදා පල කල වියමනට ප්‍රතිචාර වශයෙන් තම
තමන්ගේ දේශපාලන කියවීම් දක්වලා තිබුනා. එවැනි සංවාදයක් ඇතිවීම ගැන මට සතුටුයි.
මේ පැය ඔරලෝසුවේ තප්පර කට්ට වගෙයි තප්පරයෙන්
තප්පරය ගලා එන ලාංකීය දේශපාලනයේ චලනය විවිධාකාර රට මවනවා..
අපි ප්‍රේක්‍ෂකයෝ .
අපි ප්‍රේක්ෂකත්‍වයට පත්වුනේ අපේක්‍ෂකයාගේ ලකුණත්
අංකයත් ඉදිරියෙන් ඡන්දයත්, මනාපයත් පළකල
මොහොතේ.ඉන් පසු අපේ අයිතිවාසිකම් අහිමි කරගෙන එකෙකුට ඒ අයිතිවාසිකම් බාර
දුන්නා.එහෙම 225ක් හැදෙන්න මග පෑදුනා.ජනාධිපතිවරණයේදී
වුනෙත් ඒ ටිකමයි.දාම් බෝර්ඩ් එකට දාමෙක් පත්තරගෙන ඌත් එක්ක තිබුන ඇයි හොදයිය දාමා
උනාට පස්සේ අහිමි කර ගත්තා
අපි නරඹන්නෝ බවට පත්වුනා. ඉන් පස්සේ ප්‍රජාතන්ත්‍රවාදී
රාමුව .තුල මේ කන්ඩායම අතර අපි නරඹන්නෝ පමනයි.
උන්ට උන්ගේ ඕනෑ එපාකම් මත පිස්සු නටන්නත් , මගුල්
නටන්නත් පුළුවන් මේ ක්‍රමය හදුන්වන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියලා.
මේ හින්දා මම මගේ දේශපාලන කියවීම කරන්නේ බොහෝම
පරිස්සමෙන්.
'අපි බලා ගෙන ඉදිමු. '
කියලා “මාර්ක්
සකර්බර්ග්” වියමනට ප්‍රතිචාර දැක්වු වේයන්ගොඩ
, -විශ්‍රාමලත්
පාඨශාලා ආචාර්ය කුරුප්පු මයාට මීදුම ප්‍රතිචාර දැක්වුවා. එතුමා ඒ
ප්‍රතිචාරයට අසතුට පල කලේ මෙහෙමයි.
“එපමණද ඔබතුමාගේ අදහස ලයනල් මහත්මා? කණගාටුයි.”
කියලා.
ඇත්තෙන්ම අපි හදිස්සි වෙන්න ඕන නැහැ. 20 වෙනිදායින් පසු උදා වෙන දවස ගැන අපිට කියන්න බැහැ. මේ අවපාතය ගැන කියවීම නිසා විසිවී ගිය මැති
ඇමතිවරු ගොඨා ගේ ආණ්ඩුවේ ඉන්නවා. ඔවුන්ගෙන් සමහරු කොරෝනා රැල්ල අවසාන වුනදා සිට
අදහස් පල කරමින් සිටියා. අර්බූදය ඔඩු
දුවන්න පටන් ගත්තා. ආර්ථික ඝාතකයා ලෙස හදුන්වා දුන් පී.බීත් මහ බැංකුවේ ආටිගල වැනි
රාජ්‍ය සේවකයෝ බොහෝමයක් මාර්තු වෙන කොට විසිවුනා.නැත්නම් ඉවත් වුනා. එතකොට ගොඩ එන්න බැරි තරමකට අපි තල්ලු වෙලා.
අරගලය හොදින් නිරීක්‍ෂණය කරන්න. පාලකයින් අපි
පාලනය කරගන්න අරගලය උර දෙනවා. ඒක නියමෙන් නොවෙන්න පුළුවන් . අනියමින්.
අපිට තෙල් නැහැ , ගෑස් නැහැ. ආහාර ,ඖෂධ නැහැ
නැත්නම් මිළ අහස උසට ගිහින් කවුරුවත් හාං කවිස්සියක්
නැහැ දරා ගෙන ඉන්නවා.
අපේ
මනස එතනට ගෙනල්ලා.
Anonymous said…
“ඔන්න
ලයනල්ලාගේ රනිල් හාමු වැඩ පටන් අරන්. මර්ධනය ආරම්භකරයි.
අරගලයේ සිටි නායකයිනි. ජීවිතය බේරා ගන්න රටින්
පලා යන්න.”
මේ
මීදුමට ලැබුන තවත් ප්‍රතිචාරයක්. කෙටිම පිළිතුර නම් මීදුම ජේ. ආර් ගේ නායකත්‍වයෙන් පසු එම පිළ අත් හැරි
බවයි.
අපි
කතා කරමු අපි ඉවසා ගෙන බලා ඉදිමු . අරගලයට බලපෑමක් කරන්න හැකිවුනාට අපිට එහෙම බල
පෑමක් කරන්න බැහැ. අපේ විශ්වාශය රැදිලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට කොටු වෙලා.
2022-07-15
මාර්ක් සකර්බර්ග්.
එඩ්වඩ් සැවරින් සමඟ මාර්ක්
සකර්බර්ග් කියන විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනාගේ නිර්මානයක් අද ජාත්‍යන්තර ව්‍යාප්ත
වු මහා ව්‍යාපාරයක්.2004 පෙබරවාරි මාසයේ සිට පේස්බුක් ආපු ගමන ලෝක සමාජයම
විප්ලවයකට පත් කරලා .
අපේ රටේ අදහස් විකාශණය කර ගන්නා
ජනප්‍රිය මාධ්‍යය මුණු පොත. එය නිවරදි විදියට භාවිතයට ගත්තොත් විශාල මෙහෙවරක්
කරගන්න හැකි මාධ්‍යයයක්. අපි අරගලයේ දී
බොහෝ අදහස් හුවමාරු කර ගත්තේ මූණු පොතෙන්. මේ අදහස් විවේචනයට ලක්වු අවස්ථා වගේම
තර්ජනයට ලක්වු අවස්ථා බොහෝමයි.
මම සීයා කෙනෙක්. 71 කැරැල්ල පටන්
ගන්න කොට මට 23යි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්‍ධ
වුනේ ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලන අදහස් වලිනුත් ඔළුව පුරෝගන. අපේ පවුලම තනි
අලියට වෙලා ඉන්න කොට අපේ තාත්තා කිව්වේ “ඔය
වයසේ වැරද්ද “කියලා.ඒත් කැරැල්ල ඇති වෙනකොට අඩියක් පස්සට අරන් රැදෙන්න තරම් දෙවරක්
හිතන තරුන මදයක් මට වගේම මා වටා සිටි අපේ වයසේ අයට තිබුනා. දැන් අපි ගෙවන්නේ අපෙන්
පස්සේ මේ තුන්වන තරුන පරම්පරාවේ උදවියත්
එක්ක.
දෙවෙනි පරම්පාරවටත් වඩා ඔවුන්
ආවේගශීලියි.ඔවුන් අඩියක් පස්සට ගන්නේ ඔක්කොම හරිගියාම. නැත්නම් විනාශ වෙලාම ගියාට
පස්සේ.
ඉතින් මම මගේ මූණු පොතේ පලකරන
අදහස් බොහෝම පරිස්සමෙන් කරන්නේ. මගේ කාලය වැයකරන්නේ සතුටෙන් ඉන්න. ඉතින්
මොකටද මේ තර්ජන ගර්ජන වලින් මගේ හිත පාරා
ගන්නේ ?.මම පේස්බුක් පිටු අතරින් දෑක්ක දෙයක් තමයි අන් මත ඉවසීමට නොහැකි කම. අන්
මත විවේචනය කිරීම අදහස් දැක්වීම හොද ලක්‍ෂණයක්.ඒත් කරන්නේ වැකියකින් දෙකකින් මූණටම
දමා ගැසීමෙන්. පැහැදිලි කිරීම් නැහැ. පැහැදිලි කලත් එම පැහැදිලි කිරීම් තුල පවත්වා ගෙන යන ස්වරූපය තර්ජනාත්මකයි. සමහර
විට අවිනීතයි. ඒවා පලකිරීම් කරන්නෙත් short and sweet ක්‍රමයට.
අද මාධ්‍ය මුද්‍රිත මෙන්ම විද්යුත්
මාධ්‍ය පාඨක ශ්‍රාවක සහභාගිත්‍වයකින් තොරවයි පවත්වා ගෙන යන්නේ. සති අන්ත පත්‍ර
බලන්න හැමදාමත් එකම ලේඛක පිරිසක් ලියන්නේ.එයාලගේ අදහස්. අපි බලන්නන් පිරිසක් වෙලා.
සංවාදයක් කරන්න ඊලග පිටපතෙන් වත් ඉඩක් නැහැ. සුනිල් මාධව වගේ මාධ්‍යවේදීන් තුල මීට
වඩා වෙනස් පිලිවෙතක් තිබුනා. මට මතක් වෙනවා දිවයින පත්‍රයේ අට වෙනි පිටුව.මේ හිදැස පුරවන්න මූණු පොතට විශාල වපසරියක් තියෙනවා..
මූණු පොතේ කෙටිකතා කොටස් වශයෙන් පලවෙන නවකථා , පද්‍ය නිර්මාන දේශපාලන අර්ථ නිරූපන.
අධ්‍යාපන, වෛද්‍ය වැනි විවිධ ක්‍ෂෙත්‍රවල
ලිපි ලේඛණ දැනටමත් පලවෙනවා.
ඇතැම් මුණු
පොතේ පිටු ජාති ආගම් අතර මතභේද ඇති කිරීමට,
දේශපාලන මතවාද අතර ගැටුම් ඇති කිරීමට යොදා ගෙන තියෙනවා. මෙය රටක් වශයෙන් ගත් කල තරමක් මතභේදකාරී තත්ත්වයක්.
මිනිසුන්ගේ හැගීම්වලට පහර ගැසීමටද තර්ජන හෝ හිරිහැර “Cyber bullying” කිරීමටද මෙම පිටු හසුරුවන්නන් කටයුතු කරනවා .
සමාජවාදී
රාමුවට සිදුවිය හැකි දේශපාලනික,
ආර්ථික බලපෑම් මත චීනයද , ආගමික මතවාදයට
හානියක් වේ යැයි උපකල්පනය කරමින් ඉරානය, ඇෆ්ගනිස්ථානය,
පාකිස්ථානය වැනි රටවලද මුණු පොත තහනම් කිරීම හෝ සීමා කිරීම දක්නට ලැබෙනවා .
අන්තර්ජාලය
නිදහස් මාධ්‍යයක් . ස්වයං අවබෝධය, ස්වයං විනය, අවංක බව භාවිතයේදී අත්‍යවශ්‍යමවෙනවා.. මුනු පොත භාවිතා කරන අය තම පලකිරීම් වල හොඳ නරක නැවත නැවතත් හිතා බලන්නේනම් බොහෝ ගැටළු
ඇතිවෙන්නේ නැහැ.
එහෙම
වුනහම මිතුරු පිටු වාරණය කිරීමකුත් අවශ්‍ය වන්නේ නැහැ.


















