Thursday, July 28, 2022

සෙනෙහෙ කොලයක්








රාත්තිරියෙ හඳ එනකොට
යකඩ පොළුවලින් ඇතුළට
කලාවැවේ හඳ වතුරේ
ඔරු පැද්දා මතක් උණා.
 
හඳ වතුරට තෙමා වැටුණු
කෙහෙරැළි ටික ඈත්කරල
උඹේ මූණ බලා ඉන්න
කොච්චර නම් පිං පිරුවද.
 
කිළුටු ජම්පරේ ඇඳගෙන
මුළු දවසෙම යතු ගාලා
බෝඩරේට ඇවිදිල්ලා
හුස්මක් ගත්තේ හතරට.
 
ටැංකිය ළඟ අපි ඔක්කොම
ටින් අරගෙන නාන වෙලේ
උඹත් එක්ක වැවේ නාපු
ඒ සන්දිය හිතට ඇවිත්
කඳුළු එක්ක ,මං නෑවා.
 
වැව් කරෝල බැදල දාල
කිරිකොස් මාළුවක් එක්ක
රස කර කෑවට මං ,
උඹ ගෙනාපු මගෙ බත් එක...
මීට පස්සෙ උඹ නෑවිත්
තාත්ත එවපන් මෙහාට
 
ජේලර් කාරයා ගෙ ඇස්
උඹ පස්සෙන්මයි ඇවිද්දෙ .
පපු කැනැත්ත පත්තු උණා
විලංගුවට සාප කළා .
 
අච්චු කරපු සමහරුන්ට
හරියට වද දෙනව ඇතුලෙ
අයිස් ගහල ,දුමත් ඇදල
පිස්සො වගේ දඟලන අය
නෝන්ජලය කියලා මට
නමකුත් හදල නෙ බලහං.
 
උපන් දිනේ හෙටයි උඹේ
නෑ මට අමතක වෙන්නේ .
දුකයි මෙවෙලෙ ළඟින් ඉන්න
බැරි උණාට සමාවෙයන් .
 
කුසෙන් හෑල්ලු උණයිං පහු
රත්නත්තරයේ පිහිටෙන්
අපි යමු දළදා වඳින්න..
පොඩි එකාව වඩාගෙනම.
 
හොඳ කල්කිරියාව හින්ද
ටික දොහකින් නිදහස් වෙයි.
සමහරවිට මාසයකින්
නෑ ..නෑ ,හය මාසෙන්වත්
ඩොකට් එකත් යැවුවළු මගෙ
ලොකු මහත්තයට බලන්න.
 
හෙට ඉඳලා බත් පාටියෙ
වැඩට මාරුකලාළු මං
උඹෙ ඇස් දෙක හැම තිස්සෙම
හිතේ විදුලි කොටනව මගෙ.
මගේ සරමක් පොරවාගෙන
නිදාගනින් හීතල නං
ගම්බාරෙට පඬුරක් හෙම
ගැට ගහපං අපි වෙනුවෙන් .
 

රෝ.සි. ගේ මූණු පොතෙන් 


notes of imaginary

1 comments:

Anonymous said...

අපේ රටේ දැන් අපි දකින දේශපාලන ගැටුම මූලිකවම රෙෆරන්ඩම් ඩිමොක්‍රසි හෙවත් ජනමත ප්‍රජාතන්ත්‍රවාදය සහ රෙප්‍රසන්ටේෂන්ල් ඩිමොක්‍රසි හෙවත් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය අතර ගැටුමක්. පාරෙ ඉන්න පිරිස විශ්වාස කරනවා ඒ අයට ජනමතය තියෙනවා කියල. චන්දෙ අරන් පාර්ලිමේන්තු ගිය පිරිස විශ්වාස කරනවා ඒ අය ජන මතය නියෝජනය කරනවා කියල. බලය දියවන්නාවෙන් එලියට ගන්න හදන්නෙ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ පිරිස්.

මම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන නිසා මගේ උත්සාහය පාර්ලිමේන්තුව ඇතුලෙ ප්‍රශ්න විසදන්න. නිශ්චිත කාලයකට පස්සෙ මැතිවරණ පවත්වන්න. පාරෙ මතය ජනමතය විදිහට ගැනීම මුළාවක් වගේම භයානකයි කියන එකයි මගේ අදහස. හැම කෙනෙකුටම උවමනා විදිහට රටක් කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට මගේ කැමැත්ත යම් පිලිගත් නියෝජිත පිරිසක් අපව නියෝජනය කරන ක්‍රමයයි. ඒ අය අසාර්ථක නම් අපිට ඊලග වාරයේ ඔවුන් මාරු කළ හැකියි. ඔවුන්ගේ වැරදි තීරණ වෙනුවෙන් ඔවුන්ට ඊලග අවස්තාව අහිමි වන අතර අපගේ වැරදි තීරණය වෙනුවෙන් අපට එකග වූ නිශ්චිත කාලය දරාගැනීමට සිදුවෙනවා.

මේ අතර ප්‍රභූ නිර්ප්‍රභූ දේශපාලනයක් ගැනත් කතාවෙනවා. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය පිලිගන්නවා කියන්නෙම ප්‍රභූ නැත්තං එලිටිසම් එකක් පිලිගන්නවා කියන එක. තෝරා ගත් පුද්ගලයෙක් කියන එක තමයි ප්‍රභූවාදයේ පදනම. ඒක නරක දෙයක් නෙමෙයි අවශ්‍ය දෙයක්. ප්‍රභූවාදයට විරුද්ධ නිර්ප්‍රභූ අරගල කියන්නෙ තමන් වෙත ප්‍රභූත්වය පවරා ගැනීමේ වෑයමකට වැඩි යමක් නෙමෙයි.

උදා විදිහට පාරට බැහැපු පිරිස් විශ්වාස කරනවා ජනතාව වෙනුවෙන් තෝරාගත් පිරිස ඒ අය කියල. ඒ අය විසින් විවිධ නීති පනවනවා. සමහර අයව තහනම් කරනවා, දඩුවම් නියම කරනවා. රූපවාහිනී නාලිකා අතපත් කරගන්නවා. ඒ අය ස්වයං ප්‍රභූත්වයක් බුක්ති විදිනවා. මේ නිර්ප්‍රභූ වෙස්ගත් ප්‍රභූත්වයට වඩා පවතින නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රභූත්වය ඩිමොක්‍රටික් කියල මං හිතනවා.