පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Monday, July 18, 2022

විනයො නාම ශාසනස්ස ආයු !



මීදුම බෞද්ධයෙකි. යතිවරුන් ඇසුරු කරන එහෙත් යතිවරුන් තෝරා බේරා ගෙන ගෞරවණීය ලෙස සලකන බෞද්ධයෙකි. බුදුරජානන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය අසන විමසන සිතන බෞද්ධයෙකි. බෞද්ධයෙකු විසින් කළ යුතු  යතිවරුන් වෙත කරනු ලබන ගෞරවනීය බව සමහර යතිවරුන් විසින් කෙලෙසා ගෙන ඇතැයි සිතන බෞද්ධයෙකි.

කාලයා විසින් සිත් තුල මේ වෙනස ඇති කරවා ඇත්තේ ද යතිවරුන් විසින් මයයි මීදුම සිතයි. කාලයක සිට අපේ හාමුදුරුවරු දේශපාලනය ගැන උනන්දුවක් දක්වයි. පාලනයට සහභාගි වෙති. අතීතයේ හාමුදුරුවරු පාලනයට සම්බන්‍ධ නොවී උපදේශන සැපයු බව  අප ඉතිහාසයේ සදහන් වෙයි. . එහෙත් වර්තමානයේ සිදුව ඇත්තේ භික්ෂුව දේශපාලනයට මැදිහත්වී අවමානයට ලක්වීමයි. අපේ හාමුදුරුවන් ගෞරාන්විතව වැඩ වාසය කරමින් අර්ථයෙන් ධර්මයෙන් උපදේශනය කරනවා වෙනුවට දේශපාලනයට මැදිහත්ව  කරන විකාරය දැන් දැන් මීදුම දකින්නේ  අප්‍රසන්න කටයුත්තක් ලෙසයි. අපේ හාමුදුරුවරුන් විනය ගරුක ද? ශික්ෂාකාමී ද? උන්වහන්සේලා පොලිස් නිලධාරීන් හා  ගුටි - බැට හුවමාරුවලට යති.  ඇතැම් හාමුදුරුවරුන් විවිධ ඉල්ලීම් ඉදිරිපත් කොට ඒ මත්තේ දිවි නසාගැනීමට යති. නැත්නම් දිවි නසා ගන්නා බවට තර්ජනය කරති. මහ පාරවල් මැද උද්ඝෝෂණ කරති. දේශපාලකයනට තර්ජනය කරති.  ප්‍රසිද්ධ ස්ථානවල උපවාස කරති. ඇතැම් හාමුදුරුවරුන්ගේ  හැසිරීම සමාජයට හිසරදයකි.අප්‍රසන්න වෙති.බාල දේශපාලනය සමග හාමුදුරුවරුන් සම්බන්ධ වීම නිසා  එතැන ඇතිවන්නේ බලවත් පටලැවිල්ලකි.

 දේශපාලනයකට සම්බන්ධ වුවහොත් හාමුදුරුවරුන්ගේ  විනය මුළුමනින් ම පිරිහී යයි. ශ්‍රාවක ප්‍රජාවගෙන් ලැබෙන  ගෞරවය ද කෙළෙසී යයි.

විනයො නාම ශාසනස්ස ආයු ! ශාසනය පවත්වා ගැනීමේ ප්‍රධාන සාධකය විනයයි.  එසේ හෙයින් ශාසනයේ ආයුකාලය පවතින්නේ විනයෙ පැවත්ම  මතයයි බුදුරජානන් වහන්සේ අනු දැන වදාලේ එහෙයිනි. විනය නැති තැන ශාසනය බිඳ වැටෙයි.

ශ්‍රී ලාංකික ජනතාවගෙන් බහුතරය බෞද්ධාගමිකයෝ වෙති. ඔවුන්ගේ ජීවනය බෞද්ධාගම හා බැදි සිටී. පන්සල ඔවුන්ගේ ජීවිතයට මග පෙන්වන ආයතනයයි. පන්සලත්  ශාසනයත් දෙකක් නොවේ.   ශාසනය බිඳ වැටුණු කල රටත් - ජාතියත් දෙක ම බිඳ වැටෙයි.

 “සබ්බ දුක්ඛ නිස්සරණ, නිබ්බාණ සච්චි කරණත්වා” “ මම  සියලු දුක් කරදර නිමාකොට නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා මහණකමට පිවිසියෙමි.  යන්න පිලිගෙන මහනකමට පත්වන හාමුදුරුවරුන් හට ලෞකික ජීවිතයේ දිනාගත යුතු දේ තිබිය හැකිද ?. එතුමන් අපත් සසරින් එතෙර කිරීමට මග පෙන්වා එතුමන්ලාත් සසරින් එතරවීමට වීර්ය දැරිය යුතුයැයි මීදුම සිතයි.

එහෙත් වෙන්නනේ උඩුගං බලා  යාමකි. බලය සොයමින් යති. වීර වරුන් වීමට වලි කති,ප්‍රසිද්ධිය වැළද ගනී. යාන වාහන වස්තු දේපල රැස්කරයි.

අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනයා රාජකීය නායකත්වයට වඩා ආගමික නායකත්වය පිළිගනිති. එහි අදහස වන්නේ ආගමික නායකයනට කන්දීමට බෞද්ධ ජනයා වැඩි උනන්දුවක් දක්වන බවයි. අදටත් තමන්ගේ පාඩුවේ ගමේ බෞද්ධයාට අර්ථයෙන් - ධර්මයෙන් උපදේශන සපයමින් විමුක්තියක් අපේක්ෂා කරන භික්ෂුහු අනන්තවත් සිටිති. උන්වහන්සේලා සියළු දුක්දොම්නස් දරා ගනිමින් සමාජ සුබසිද්ධිය සඳහා ද, අධ්‍යාත්මික විමුක්තිය සඳහා ද සිය ජීවිතය කැප කර සිටිති. ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු නොවෙති.

පළමුවන ධර්ම සංගායනාව ඇතිවූයේ විනය විරෝධී වචනයක් නිසා ය. එය සුභද්‍රගේ අභද්‍ර වචන ලෙස ඉතිහාසයට එක් වී තිබේ.

දෙවන ධර්ම සංගායනාව ඇති වූයේ ද විනය විරෝධී කටයුතු දහයක් මුල් කරගෙන ය. එයින් හතරක් ම ශාරීරික අවශ්‍යතාවලට සම්බන්ධය. එකල ඇතැම් භික්ෂූන් මී - රා පානය කොට රන් කහවනු අල්ලස් ලෙස ලබාගත් බව ද ඉතිහාසයේ සඳහන් ය.

කුමක් වුව අපේ ශාසනය රැකීමට කරුණු දෙකක් සම්පූර්ණ විය යුතු ය. පළමුවන්න භික්ෂූන්ගේ සංවරය ය. දෙවැන්න භික්ෂූන් කෙරෙහි ගිහි බෞද්ධයන් දක්වන ගෞරවය යි.

භික්‍ෂුව සංවර නොවු කල ගිහියන්ගේ ගෞරවය නොලැබීයයි. එවිට  ශාසනයේ පැවත්ම විනාශවේ.  සංඝරත්නය දේශපාලනය පසෙක තබා ශාසනය ආරක්ෂා කරනු ඇතැයි බලාපොරොත්තුවුවත් එය සිතිවිල්ලකව  බොදවන්නේ කනගාටුවට පත්කරවමිනි.







notes of imaginary

2 comments:

Anonymous said...

ලයනල් මහත්මා,

මින් පසු ඔබගේ බ්ලොග් අඩවිය අපගේ මාධ්‍ය මගින් ප්‍රචාරණය නවතා ඇත. එයට හේතුව නම් ඔබ විසින් බ්ලොග් අඩවියේ පාඨකයන් කෙරෙහි සිදු කරන නිගරුකිරීමය. දේශපාලන වශයෙන් අදහස් පළකිරීමෙන් වැලකි 'බලාගෙන සිටිනා' නිසාය.

අපගේ මෙම තීරණය නිසා ඔබගේ බ්ලොග් අඩවිය කියවීමට පැමිණෙන පාඨකයන් ප්‍රමාණය අඩුවන අතර, කොමෙන්ටුද අඩුවනු ඇත.

ඒ සම්බන්ධව අපට දොස් කියා පලක් නැත්තේ ඔබ සක්‍රියව අදහස් පල කිරීමෙන් වැලකි බලාගෙන සිටිනා නිසාය.

-රංග තේනුවර-ප්‍රධාන විධායක නිලධාරී. සිංහල බ්ලොග් සංසදය-

miduma said...


ඔබගේ තීරණය ගැන මම කථගාටුවෙමි. මා පාඨකයින්ට නිගරු නොකරමි. පාඨකයින් නොමැති නම් වියමන් පල කිරීමෙන් පලක් නැති බව මම දනිමි.

"දේශපාලන වශයෙන් අදහස් පළකිරීමෙන් වැලකි 'බලාගෙන සිටිනා' නිසාය." මෙයම හේතුවක් නම් මට කළ හැකි දෙයක් නොමැති තරම්ය. මම සක්‍රීය දේශපාලනයේ යෙදෙන පවුලක සාමාජිකයෙක්මි. ඔවුන් අතර මම උඩු ගං බලා පීනන සාමාජිකයෙක්මි. එහෙයින් අර්බූදකාරී මගේ අදහස් මම පලකිරීමෙන් වැලකී සිටින්නට ස්වයං තීරණයක් රැගෙන ඇත්තෙමි.

මෙතෙක් මීදුමට මග පෙන්වා ඇති ඔබට ස්තුතියි.