Monday, July 01, 2024

මැණික්‌ කථා









 

  යල මහා දෙකන්නයම යස අගේට ගොවිතැන් කළ අපේ ගමේ 1990 දශකයේ මුල් හරියේ නියඟයක් ආවා.දැන් ඉතිං වි වගාව කරන්න බැරි නිසා ගොඩක් අය කථා වෙලා ඒ කුඹුරු වල මැණික් හොයන්න ගත්තා. මේ අකුරැස්සේ නගරයේ ඉඳලා කිලෝ මීටර් 15 ක් විතර දෙනියාය පාරේ යන විට ඇතුලට වෙන්න තියන ලස්සන ගමක් ය.ඉහළ සිට පහළට කඳු පන්තිවලින් ගලා ආ ඇළවල් ආශ්‍රිතව මේ කුඹුරුයායවල් සාදා තිබුනා. විශාල වශයෙන් තේ හා රබර් වගාව ද තිබුන අතර ඒවා රජයේ වතුයායන් ය. ඉංග්‍රීසින් ඒ කියන්නේ රන් පවුම් වතු රජයට පවරා ගැනීමත් සමග ඒවායේ හතර මායිම් හොයන්න කෙනෙක් නැති තරම් ය. ඒ නිසා ගොවිතැන් කරන කන්නයක් කන්නයක් පාසා ගමේ ගොවි මහත්තුරු රජයේ ඉඩමෙන් ටික ටික අල්ලා ගනිමින් ඔහුගේ කුඹුරේ ඇතුලතින් ඉඩම් කපමින් කුඹුරේ වපසරිය පුළුල් කරති. ඉහලින් ගලා එන ජල පහරවල් නිසා වැඩේ ලෙහෙසි වුණා. මේ කුඹුරුවල අඩි 5 ක් 6 ක් විතර යටට හාරන් යන විට මැණික් ඉල්ලම් දක්නට ලැබෙනවා.
නියඟය වගේම තමයි ඒ කාලේ භීෂණය කියලා එකක් තිබුන නිසා ඉස්කෝලේ යන්නේ නැහැ.ඉතිං මමත් ගියා මැණික් ගරන්න.මැණික් නොවුනත් ලැබෙන ගල් කැට හරියටම මැෂින් වලින් කපලා වගේ හරිම ලස්සනට ස්වභාවිකව ම නිර්මාණය වෙලා. ඒ වගේම අඟුරු,දිරා පත් නොවුණු ගස් කඳන් අරටු මේ පොළව යට තිබුණා..
දැන් මේ මැණික් ගරන්න මූලික වෙච්ච කෙනා ගේ සිත කොහොමද කියනවා නම් ගරන්න එකතු වෙන හවුල් කාරයොන්ට බෙදන මුදල තව දුරටත් අඩුකරන්න බිම්කොටස ට එක පංගුවක්, ආයුධ වලට, තවත් පංගුවක්, වගේම පොඩි එකෙක් වුණ මගේ ජොබ් එක උල්පත් ජලය ඉවත් කිරීම ඒකට කොටසක් හැබැයි මට දෙන්නේ නැහැ. අනිත් අයට කියන්නේ දෙනවා කියලා.ඉතිං මේ මල පෙරේත ගතිය නිසාමද දන්නේ නැහැ ලැබෙන ලැබෙන මැණික් කැට වල පලදු ( damaged ) නැතිනම් මැණික් ගල මැරිලා ලු. පුවක් ගෙඩියක් විතර ආර්නුල් කෑල්ලක් හම්බ වෙනවා (ඒ පැත්තේ භාෂාවෙන් ) ගෙදර ගිහින් දැන් බිරිඳ එක්ක හිමිහිට කථාවෙනවා
" හොඳ ගානක් ගන්න පුළුවන් අපේ කුඹුරු නේ.. අපිට වැඩි ගාන ''
කියලා. ඔන්න ඉතිං මැණික් බලන්න මුස්ලිම් වෙළෙන්දෝ එනවා.
"" මාත්තියා මේක ලොකු ගානක් ගන්න තිබුණා ඒත් ගල මැරිලා 2000/= උපරිමයෙන් දෙන්නම් ""
කියලා.. ඔහොම ඔහොම කිහිප දෙනෙක් බලලා අන්තිමට ගමට ආවා මනි බඩුකාරයෙක් එයා ගෙනාපු සේරම බඩු ටික දීලා රුපියල් 2000 දීලා අර ගල සහ තවත් පොඩි ගල් කෑලි ටිකක් අරන් ගියා... විවිධ අවස්ථාවල ඔහොම දේවල් වුණා. තවත් රසවත් සිද්ධියක් තමයි පතලට තේ හරි කෑම හරි අරන් එන අහිංසක ගැහැණු කෙනාගේ පිටින් යැවීම.
" ගල් කෑල්ල හම්බවෙන කොට "" ...... අක්කා ආවා නේ එහම ගෑනු පතලට එබෙන්න හොඳ නැහැ දැක්කනේ හම්බවෙච්ච මැණික පුපුරලා ''...
ඔන්න වැදගත් විදියට ලියන්නම් මෙතැන් සිට.
පෙර අපරදිග ලෝකයේ ලංකාව බැබළවීමට තරම් අපේ මැණික් සම්පත සමත් වෙලා තියෙනවා. ඒක අපි හැමෝම දන්නවා. (බ්‍රිතාන්‍ය රජ මාලිගාව සහ අනෙකුත් රටවල් වල ) ඉතිං
ලංකාවේ මැණික්‌ කර්මාන්තය අද ඊයේක නොව ඈත අතීතයේ සිට තිබුන වග ඓතිහාසික කරුණු කාරණා මගින් තහවුරු කරගන්න පුළුවන්.ඒ වගේම
මැණික්‌ කිව්ව ගමන් ඉතිං මතක් වෙන්නේ සබරගමු පළාතේ රත්නපුරය නේ.රත්නපුරයේ සමන් දේවාලය ද ඉදිවන්නේ මැණික්‌ සඳහා වූ භාරයක් හේතුවෙන් ලු.රත්නපුරේ මැණික් පුරවරයක් නිසා ඒ නමින් හදුන්වනවා.හැබැයි ඉතිං රත්නපුරය හැරුනම තවත් තැන්වල මැණික් තිබෙනවා.ඉස්සර ඒ කියන්නේ 1970 දශකයෙන් පස්සේ වගේ අවිස්‌සාවේල්ල, අකුරැස්‌ස. බළංගොඩ මැණික්‌ ත්‍රිකෝණය විදිහට හඳුනාගෙන .
ලංකාව ලෝකේ රටවල් එක්ක බැලුවම වාසනාවන්තයි 20% මුළු භුමි ප්‍රමාණයෙන් මැණික් ඉල්ලම් තියෙනවා.ඒ වගේම අපේ රටෙන් ලැබිච්ච මැණික් කිහිපයක් නිසා ලංකාවේ නම ලෝකේ පුරා පැතිරුනා.මේවා නිසා ලැබෙන ප්‍රතිලාබ විස්තර කරන්න ඕනේ නැහැ
අපේ රටට විදේශ විනිමය ලැබී රටේ සංවර්ධනයට එයින් රුකුලක් ලැබෙනවා කියන එක
ඓතිහාසික වශයෙන් ලංකාවේ මැණික් භාවිතය ගැන කරුණු අපි අහලා තියෙනවා නේ. අපේ රට හඳුන්වන්නේ මැණික් උපදින රට හෙවත්
"" රත්නදීප ( දිව්‍යාවදානය හා මණිමේඛලායි කෘතීන්)
ඒ වගේම බුදුන්වහන්සේ ලංකාවට දෙවන වරට වැඩියේ චූලෝදර, මහෝදර යන නා රජුන් අතර මැණික්‌ පුටුවක් නිසා වුණා කියන ආරවුල විසදන්න.ඒ වගේම මහා භාරතේ එන සිදුවීමකට අනුව ලංකාවේ රජු වූ විභීෂණ විසින් යුධීෂ්ධීර රාජයාට පුද පඬුරු, ඉතා වටිනා මුතු මැණික්‌ රාශියක්‌ යවා තිබේ.ඒ වගේම මහාවංශය අනුවද විජය රජ්ජුරුවෝ මධුරා පුරයෙන් කුමරිය ගෙන්වා ගන්න වටිනා මුතු මැණික්, තුටු පඬුරු වශයෙන් යවලා.පැරණි රජවරුන් ගේ සූසැට ආභරණ වලින් වැඩිහරියක් මැණික් වලින් අලංකාර කර ඇත.එසේම වර්තමානයේ වුවද ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ඔටුන්න අනුව හැම රජ කෙනෙක්ම මැණික් සහිත ඔටුනු පළදින්න ට ඇතැයි සිතිය හැකිය. ජනප්‍රවාදයක් අනුව දළදා වහන්සේ ආරක්ෂාව සඳහා දෙල්ගමුව රජමහා විහාරයේ තියෙන කාලේ කුරුවිට ප්‍රදේශයෙන් විශාල මැණිකක් ලැබිලා ඒකෙන් කොපුවක් නිර්මාණය කර දළදා වහන්සේ තැබුවාලු.පස්සේ සොරුන් ගනීවි කියලා ඒකට උඩින් නැවතත් ඇත් දළින් නිර්මාණය කළ කොපුවක් සකස් කරාලු.
මේ විදියට රාජකිය භාණ්ඩාගරයේ වගේම පුජනීය ස්ථානවල එකතු කිරීම,රාජකීයන් අතර හුවමාරුව, ආභරණා ලෙස පැළඳවීම සඳහා මැණික් සුලභව භාවිතා කළ බව දැකගත හැකිය.තවත් තැනක දේවානම්පියතිස්‌ස රජු ද අශෝක රජතුමා වෙත ඉන්ද්‍රනීල, වෛදුර්ය, රතුකැට වගේ මැණික් තුටු පඬුරු වශයෙන් යවා තිබේන බැව් අසන්නට ලැබේ..
නුවර යුගයේදී සියළුම මැණික් රජුට අයිති වු අතර මැණික් ගැරීමට රජුගේ අවසරය අත්‍යවශ්‍ය විය.රජුගේ ඔටුන්න සිංහාසන, කඩුකස්‌ථාන ඇතුළු ස්‌වර්ණාභරණ මැණික්‌ වලින් අලංකාර කොට තිබුණි.ජෝන් ඩේව් පවසන විදියට මරකත, රතු මැණික්‌, දියමන්ති වලින් රජුගේ ඔටුන්න සරසා තිබුණි ඒ වගේම ලංකාවේ මැණික්‌ ලැබෙන ප්‍රදේශ සහ එම පළාත් වලින් ලැබෙන මැණික්‌ මොනවා දැයි දක්වා ඇත. පුෂ්පරාග, වෛරෝඩි , රතු තිරුවාන, පුෂ්පරාග, තෝරමල්ලි, දියමන්ති, පද්මරාග, කිරිංචි, නිල්මිණි, කොරන්ඩම්, ගෝමේද වගේ මිල අධික සහ වටිනා කමින් අඩු මැණික්‌ ලැබෙන බව ඔහු දක්වයි.
පෘතුගීසි සමයේ සියළුම මැණික් රාජසන්තක වස්තුන් විය.එහි තොරතුරු ද ඇත.ඒ සඳහා රජය විසින් පත් කරනලද නිලධාරීන් සිටිය අතර එහි ප්‍රධානියා
" විදානේ '' විය
ඔහුට උදව්වට
""මොහොට්‌ටාල ' ' කෙනෙකුත් පත් කර සෑම ගමකට මුලාදෑනියෙක්‌, කනකපුල්ලේ කෙනෙක්‌ වගේම මැණික්‌ ගරන්නන් කිහිපදෙනෙක්‌ යොදා තිබුණි. ලංකාවෙන් සොයා ගන්නා මැණික් විකුණා ඇත්තේ ගෝවේදී හෝ කොචින්වලදී ය. ඔවුන් එම අදායම් තම යටත් විජිත රටවලට අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට යොදා ගෙන ඇත.
පැරණි පින්තුරයක් දැකලා ඒක හරියට උඹලා ගරලා අපිට දියන් වගේ සිතුන නිසා මේ සටහන ලිවුවේ.


A day in the life

0 comments: