පහුගිය කාලේ අවුරුදු 14-18 දරුවො එක්ක විවිධ වැඩසටහන් සහ හමුවීම් ඇතුළෙ කතා කරද්දි නීරික්ෂණය වුණු පොදු කාරණාවක් තියෙනවා. ඒ කාරණාව සිදුවීම් දෙකකින් ලියන්න පුළුවන්.
පළවෙනි සිදුවීමේ ඉන්න ගැහැනු දරුවට වයස අවුරුදු 15යි. ඇය සාමාන්‍ය පවුලක දුවෙක්. අවුරුදු 14දි තමයි ඇයට ඇයගෙ පෙම්වතාව මුණගැහෙන්නෙ. ඔහුත් ඇයගේ සමවයස් කෙනෙක්. එකම පාසලේ දෙන්නම ඉගෙනගන්නෙ. මේ දැරියගෙ ගෙදරට මේ සම්බන්ධෙ අහුවෙලා ඇය අසීමාන්තිකව ගුටි කාලා තියෙනවා. ඇගේ අම්මට, ඇගේ පෙම්වතාගෙ අම්මා බැනපු දවසෙ ( "දුවව හරියට හදාගත්තනම් දුව කොල්ලො එක්ක යාළුවෙයිද? වයසටද ඔයාගෙ දුවගෙ වැඩ" කියන වචන තමා ඇය කියන්නෙ) අම්මා ඇයව ගෙදර ඇදන් ඇවිත් දැඩි ලෙස පහර දෙනවා. දැන් ඒ සිදුවීමට මාස නමයක් වෙනවා. අම්මා තවමත් ඇය එක්ක කතා කරන්නෙ නැහැ. ඇයට උවමනා වුණේ අම්මව කොහොමද තමන් එක්ක ආයෙත් යාළු කරගන්නෙ කියලා අහගන්නයි. ඇගේ කතාව කියන අතරෙ ඇය තමන්ගෙ පෙම්වතා ගැන විස්තර කරේ මෙහෙමයි.
" එයා හරිම හොඳයි. අනිත් පිරිමි ළමයි වගේ අනවශ්‍ය දේවල් මගෙන් බලාපොරොත්තු වෙන්නෙ නැහැ. එයා හොඳට එයාගෙ වැඩත් කරගන්නවා. අනික මට දැන් ඉතුරුවෙලා ඉන්නෙ එයා විතරයි. මොකද අම්මා කියන දේ අහලා තාත්තයි මල්ලියි මාත් එක්ක කතා කරන්නෙත් නෑ දැන්. ඉතින් මම සම්බන්ධෙ නැවැත්තුවොත් මට කවුරුත්ම නැති වෙනවා. මම වරදක් හැටියට කරේ කෙනෙක්ට කැමති වුණ එක විතරයි. කොහේවත් ගිහිල්ලා අහුවෙලා හෝ වෙන දෙයක් කරේ නැහැ. ඒත් මට අම්මා බැන්නෙ මම මහා පවුකාරකමක් කරා වගේ. අම්මා නැන්දලට, පුංචිලට පවා මං ගැන කිය කිය මට ඇහෙන්න බනිනවා. මට ලැජ්ජයි හුඟක්. එහෙම බනිද්දි මට හිතෙනවා මට ඇත්තටම ඉන්නෙ මගේ බෝයිෆ්‍රෙන්ඩ් විතරමයි කියලා.
ඒත් සමහර වෙලාවට මට දුකයි. අම්මා මට කවදාවත් මම ආස ඇඳුමක් අඳින්න අවසර දීලා නැහැ. කලිසමක් ඇන්දත් මට බනිනවා. මගේ බෝයිෆ්‍රෙන්ඩුත් එහෙමයි. සමහර දාට මට හිතෙනවා එයත් මගේ ගෙදර අය වගේමයි කියලා. එයා මට කලිසම් අඳින්න තහනම් කරලා තියෙන්නෙ. එයා මට ගිය අවුරුද්දෙදිම කිව්වා මට ජොබ් එකක් කරන්න තහනම් කියලා. මම පන්තියේ තුන්වෙනියා. මම ආසයි කැම්පස් යන්න. ඒත් එයා එපා කියලා දැන්මම කියලා තියෙන්නෙ. මට බස් එකේ යන්නත් තහනම් අනිත් Boys Schoolවල අය යන නිසා. කෝච්චියේ තමයි මම යන්න ඕනේ. ඒකත් එයා දුර ඉඳන් බලන් ඉන්නවා. එයා මාව පරිස්සම් කරනවා කියලයි එයා කියන්නෙ. ඒත් මට දැන් මහන්සියි. අම්මත් මට ගහන්නෙ මාව පරිස්සම් කරගන්න බැරි වුණා කියලා. මෙයා මට නීති දාන්නෙ මාව පරිස්සම් කරන්න කියලයි. මට දැන් හිතෙනවා පරිස්සම් වෙනවා ඇරෙන්න මට කවදාවත් ජීවත්වෙන්න නම් බැරි වෙයි කියලා"
දෙවෙනි සිදුවීමේ ඉන්නෙ අවුරුදු 17ක ගැහැනු දරුවෙක්. කීර්තිමත් පවුලකට අයිති දුවෙක්. Gender ගැන පැවැත්වෙන දේශනයකට පස්සෙ අපි එක්ක කතා කරන්න බලන් හිටපු අය අතරෙ වඩාත් දක්ෂම කතාකාරිය මේ දුව. ඇය හිටියෙ ලොකු කලබලේකින්. ඇගේ කලබලේට හේතුව ගැන එයා කිව්වෙ මෙහෙමයි
" මේ සෙෂන් එක අසාධාරණයි. මේකට අනුව, අක්කට අනුව මගේ බෝයිෆ්‍රෙන්ඩ් හොඳ බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නෙමෙයි. එයා මට බස් එකේවත් වෙන පිරිමි ළඟ ඉඳන් යන එක තහනම් කරලා තියෙන්නෙ. එයා කියනවා එයා දන්නවා කියලා පිරිමි හිතන හැටි. මට ක්ලාස් එකේ හෝ පල්ලියේ දහම් පාසලේ පිරිමි යාළුවො ඉන්න ඕනේ නැහැ කියලා එයා කියනවා. මට එයත්, එයාට මමත් ඉන්නවනෙ කියලයි එයා කියන්නෙ. අපිට අපි දෙන්නා ඇතිලු. ගෑනු යාළුවො අලුතෙන් හොයාගත්තට කමක්නැහැ. ඒත් පිරිමි යාළුවො මොකටද? කියලා එයා අහනවා. කොටට අඳින කෙල්ලො ගැන කොල්ලො කියන ඒවා එයා දන්නවලු ඒ නිසා මම ඇඟ සම්පූර්ණයෙන් වැහෙන්න අඳින්න ඕනේ කියලා එයා කියනවා. ඒකෙන් වෙන්නෙ මාව ආරක්ෂා වෙන එකලු. මම ගමනක් යන්න කළින් අඳින ඇඳුම තීරණය කරලා ඒකේ ෆොටෝ එකක් එයාට මම අනිවාර්යයෙන්ම යවන්න ඕනේ. එයා එපා කිව්වොත් ඒ ඇඳුම මට අඳින්න බැහැ. එයා එක්ක අෆෙයාර් එක පටන් අරන් තාම මාස හයයි. මට දැන් හුස්ම ගන්නත් බැහැ වගේ. එයා නරක කෙනෙක් නෙමෙයි. එයා හොඳයි. එයත් කතෝලික. ආගම්වලිනුත් අපි ගැළපෙනවා. පවුල්වලිනුත් එහෙමයි. ඒත් මට තේරෙනවා මම වැඩියෙන් ආස ඉස්කෝලේ එන්න කියලා. ගෙදර ගිය වෙලේ ඉඳන් ෆෝන් එකෙන් අපි රණ්ඩු වෙනවා. මුකුත් නැත්‍තම් එයා මට මගේ වට්සැප් චැට් එකේ ස්ක්‍රීන් ශෙයාර් කරන්න කියලා ඒක හරි චෙක් කරනවා. මට එයාගෙන් හංගන්න මුකුත් තිබිලා නැහැ. එයා මට කරන නිසා මාත් දැන් එයාට තහනම් කරලා තියෙන්නෙ වෙන ගෑනු ළමයි එක්ක කතා කරන්න. අයියෝ මටම ලැජ්ජයි දැන්. මට එහෙම මනුස්සයෙක් වෙන්න ඕනේ නැහැ. මට ලැජ්ජයි මං ගැනම. මාත් දැන් එයා වගේම රණ්ඩු වෙනවා. මට හිතාගන්න බැහැ. මට මහන්සියි වගේ. මගේ තාත්ති හරිම ආසයි මට එක එක ඇඳුම් අරන් දෙන්න. මට දැන් තාත්තිව දැක්කම දුක හිතෙනවා. අද ගෙදරින් එද්දි මට හිතුණා තාත්ති දන්නවනම් මම එයා ගෙනත් දෙන ඇඳුම් අඳින්නෙත් වෙන කෙනෙක්ගෙන් අවසර අරන් කියලා, එයා අඬයි කියලා. මට ඒ වෙලේ හිතුණා දැන් ඇති මේ පිස්සුව කියලා. මම මොකද්ද කරන්න ඕනේ?"
මේ සිදුවීම් දෙකේ ඉන්නෙ දුවලා දෙන්නෙක් විතරක් නෙමෙයි. පුතාලා දෙන්නෙකුත් ඉන්නවා. දෙමව්පියොත් ඉන්නවා.
නව යොවුන් වියේ දරුවොන්ගෙ සම්බන්ධතා අහුවුණාම ඒ දරුවොන්ව අපරාධකාරයො හැටියට සලකන, ගෑනු ළමයින්ට නම් ' නැට්ටිච්චියො, විසේ, කුලප්පුව' වගේ කතා කියන දෙමව්පියො, නෑදෑයෝ සහ ගුරුවරු මේ කුඩා දූපත පුරාම ඉන්නවා. තමන්ගෙ පොඩි දුවගෙ/පුතාගෙ සම්බන්ධයක් ගැන දැනගත්තම අම්මෙක්/තාත්තෙක්/ වැඩිහිටියෙක් මෙහෙම හැසිරෙන ගෙදරක් ගැන හිතලා බලන්න.
- දරුවා එක්ක ඉඳගෙන කතා කරන ගෙදරක්
- දරුවට කෑ ගහලා, ගහනවා වෙනුවට "පුතා/ දූ ඇත්තටම ඒ දරුවට කැමතිද? ඇයි කැමති වුණේ" කියලා අහන ගෙදරක්
- පුතා/දූ හිතනවද ඔය තීරණේ ගන්න ඕන කරන ඔක්කොම විස්තර එයා ගැන ඔයා දන්නවා කියලා?
- පුතා/දූ සතුටෙන්ද?
- පුතා/දූ පාර්ට්නර් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනාද කියලා හිතලා තියෙනවද? හිතුවෙ නැද්ද? එහෙනම් දැන් හිතන්න. මේ කෙනා ගැළපෙනවද කියලා හොයාගන්න වෙනවනෙ
- පුතා/දූ එයා එක්ක කතා කරන්නෙ ෆෝන් එකෙන්ද? පුතාට/දූට පුළුවන්ද පාඩම් වැඩයි, ෆෝන් එකයි බැලන්ස් කරගන්න? ක්‍රමයක් ගැන හිතුවද?
සබඳතා ගැන මෙහෙම කතා කරන දෙමව්පියො සහ ගුරුවරු ඉන්න දූපතක් කොහොම තැනක් වෙන්න පුළුවන්ද?
මාත් දැන් ඒක නිතරම හිතනවා.
ඊළඟ කොටස.
අවුරුදු 14-19 පිරිමි දරුවො සැලකිය යුතු ප්‍රමාණයක් අතිශය බරපතල ලෙස තමන්ගෙ පෙම්වතියව ඉතා දැඩි ලෙස නීති දාලා පාලනය කරන්න හදන මානසිකත්වය කොහෙන් ආපු එකක්ද? කවුද ඔවුන්ට මේ ක්‍රමය ඉගැන්නුවෙ? කවුද ඔවුන්ට කියලා දුන්නෙ ආදරේ කරන්නෙ මේ විදිහටයි කියලා? කවුද ඔවුන්ට කිව්වෙ මේ බලහත්කාරය තමයි ප්‍රේමයක් හැටියට වර්ධනය වෙන්නෙ කියලා?
මේවට උත්තරත් මම නිතරම හිතනවා. අපි සාමුහිකව කල්පනා කළ යුතු ප්‍රශ්න නෙමෙයිද මේවා?
මීට මාස දෙකකට කළින් අපිට මුණගැහුණා අවුරුදු 18ක ගෑනු ළමයෙක්ව. ඇගේ පෙම්වතාට කේන්ති යන ඕනම වෙලාවක මේ දරුවගෙ මූණටමයි ඔහු පහර දෙන්නෙ. ඇය එක්ක කෙරුණු දීර්ඝ සංවාදයකට පස්සෙ ඇය මේ සම්බන්ධය දිගටම ගෙනියන්න හේතු ඇය බිම බලාගෙන පැහැදිලි කරා.
" මේක නවත්තනවා කිව්ව ගමන් එයා කියනවා එයා මැරෙනවා කියලා. මට බයයි. මම දන්නවා එයා මැරෙන්නෙ නෑ කියලා. ඒත් මං බයයි. අනික මං වෙනුවෙන් කතා කරන්න කෙනෙක් නෑ. අම්මා මට සම්බන්ධයක් තියෙනවා කියලා දැනගත්තම ඇති මාව මරන්න. (දීර්ඝ නිහඬතාවයකට පස්සෙ) එයා ළඟ මගේ ෆොටෝස් තියෙනවා. මම එයාව අත ඇරියොත් එයා ඒවා ෆේස්බුක් එකටයි, ටෙලිග්‍රෑම් ගෘප්ස්වලටයි දානවා කියලා තියෙන්නෙ. මාව බේරගන්න කවුරුත්ම නෑ"
ඇයගෙ මේ විස්තරය අහන් ඉඳලා අපේ කණ්ඩායමේ හිටපු නීතිඥ මිත්‍රයෙක් කියනවා " මට දැන් මගේ පොඩි කෙල්ල ගැනත් බයයි බං. ඒකිටත් දවසක හිතුණොත් අපි ළඟට ඇවිත් කිසි දෙයක් කියන්න බෑ කියලා? මේ කිසිදේකින් වැඩක් නැහැ නේද බං?" කියලා.
මේ රටේ දරුවොන්ට ආරක්ෂාවක් දෙන්න පුළුවන් ගෙවල්, පාසල්, ආගමික ආයතන, පොදු ප්‍රවාහන සේවා හෝ කිසිවක් නිර්මාණය කරන්න අසමත් වුණු වැඩිහිටියො තමන්ටම කියාගන්න ඕනේ නේද මේ කතාව?
'මේ රටේ පොඩි එවුන්ට හිතෙනවනම් අපි ළඟට ඇවිත් කිසි දෙයක් කියන්න බෑ කියලා? අපි තේරුම්ගන්නෙ නෑ කියලා? අපි කරුණාවන්ත හෝ ගෞරවණීය නැහැ කියලා? මේ කිසිදේකින් වැඩක් නැහැ නේද බං?'
ජූනි 26, 2024Shenu Perera
A day in the life
0 comments:
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.