Wednesday, July 24, 2024

සැතපෙන කුටියේ පොකුණ.






ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ සැතපෙන කුටියේ පොකුණ.

 

මේ තියෙන්නේ මොකක්ද කියලා ඔබ දැන් බලාවි.මෙය තියෙන්නෙත් දළදා මාලිගා භුමියේමයි. හැබැයි මෙය වන්දනාවේ යන කාගේවත් ඇස ගැටෙන්නේ නැහැ. මේ පොකුණක්. නිකම්ම පොකුණක් නොව රාජකීය පොකුණක්.
දැන් මෙය දළදා මාලිගා භුමියේ තිබෙනවා වගේ අපිට පෙනුනට රජසමයේ මේ භූමිය රජ මාලිගාවේ පරිශ්‍රය.
දළදා මාලිගාවට ගියාම රාජා ඇතා ගේ අනුරුව තියෙන කෞතුකාගාරයට ආසන්නව තියෙන රජ මාලිගාව ඔබ දන්නවා.ඒ අපිට දකින්න ලැබෙන්නේ අවසන් රජතුමා වු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ මාලිගාව වුණාට මහනුවර සිටි බොහෝ අපි දන්නා නොදන්නා රජවරුන්ගේ මාලිගාව තිබිලා තියෙන්නේ ඒ ස්ථානයේම තමයි.
දළදා මාලිගාව කියන්නේ රජතුමාගේ බුදුමැදුර. එය ඉස්සර තිබු⁣ණේ දළදා වහන්සේ වැඩසිටින කුටිය පමණයි. පස්සේ තමයි එක එක කොටස් එකතු වෙන්නේ.
ඉතින් දළදා මාලිගාවත් රජ මාලිගාවේම කොටසක්.1815 මහනුවර නගර සැලැස්ම බලනවිට රජ මාලිගාව යනු ගොඩනැගිලි සංකීර්ණයක්. රජතුමාගේ මාලිගාව වෙනම, රජතුමා සැතපෙන කුටිය වෙනම, එතුමා බෙහෙත් ගන්න.කුටිය වෙනම, සළු පළඳින කුටිය වෙනම. එහෙම තමයි මේ සියල්ල තිබිලා තියෙන්නේ. ඒ දැන් දකින රජ මාලිගාව පිටිපස්සට වෙන්න තමයි සියල්ල තිබිලා තියෙන්නෙ.
ඒ වගේම රජතුමා හමුවෙන්න එන රටවැසියා බොහෝම දුර ඉඳලා ආවම මහන්සිනේ.. ඒ නිසා ඒ අයට ගිමන් හැරලා රජතුමා හමුවෙනතුරු රැඳී ඉන්න රජ මාලිගාව අසලම මඩුවක් තිබුණා ඒකට කියන්නේ වෛසෙලියේ මඩුව කියලා. ඒ වගේම ඒ අසලම ළිඳක් තිබුණා. ඒ ළිඳට කියන්නේ වෛසේලියේ ළිඳ කියලා. මේ ළිඳ තවමත් රජමාලිගාව අසලම තියෙනවා. හැබැයි ඒක උඩින් වහලා තියෙන්නේ.
ඉතින් මේ සමග ඇති පොකුණ තියෙන්නේ මගුල් මඩුව පිටිපස්සේ. ඒ කියන්නෙ වර්තමානයේ රන් ආයුධ මණ්ඩපය අසල ඒ ඉදිරියේ තමයි මේ පොකුණ තියෙන්නේ. ඒ නිසා ඒ ප්‍රදේශයට වැඩි දෙනෙක් නොයන නිසා මේ පොකුණ ඇස නොගැටෙන්න පුළුවන්. ඔබ මගුල් මඩුව පිටිපස්සෙන් ජාත්‍යන්තර කෞතුකාගාරයට පිවිසෙනවානම් ඉන් වම් පැත්තට ගියාම රන් ආයුධ මණ්ඩපය ඉදිරිපිට මේ පොකුණ දැකගන්න පුළුවන්.
ඉතින් මේ පොකුණ අසලම තමයි රජතුමාගේ සැතපෙන ගේ තිබුණේ. සැතපෙන ගේ එක්කම තමයි රජතුමාගෙ සළු කුටිය තිබු⁣ණේ. ඒ කියන්නේ රජතුමා ඇදුම් අඳින තැන. ඒ කිට්ටුවම තමයි රජතුමාට ශාන්ති කර්ම කරපු ශාන්ති මණඩපය තිබුණේ..
ඉතින් මේ පොකුණ අද මෙහෙම කිබුණාට මෙය රජතුමා පාවිච්චි කරපු පොකුණක්. රජ තුමාගේ සැතපෙන කුටිය ඇතුලේම සිහිල ගේන්න මේ පොකුණ තිබුණා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සැතපෙන කුටිය ඉදිරිපිට මෙය තියෙන්නත් ඇති.ඒ කොහොම වුණත් රජතුමා මෙය පාවිච්චි කරපු පොකුණක්.
ඒ මාලිගාවට ගියාම වැඳල පුදලා දුවල එන්නේ නැතිව ඔය වගේ පෞරාණික දේවල් ගැනත් අවධානය යොමුකරලා බලලා එන්න
උපුටා පළකිරීමකි..
ස්තූතිය. ලිපිය සහ ජායාරූප මුල් හිමිකරුට
මනුසත් හෙළ දෙරණේ පුනරාගමනය Manushath Hela Derane Punaragamanaya

A day in the life

0 comments: