ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

පොසොන් පෝය 29 වෙනිදා.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2025-09-16

කල්තොට 2 .


අපේ නවාතැන වුනේ බෙලිහුල්ඔය.
දැන් ඉරත් හැංගිලා. අපි ආපසු නවාතැනට එන්න පිටත් වුනා.
කල්තොට රස්නේ බෙලිහුල්ඔය සීතල දේශගුණය ගත නිවාවි.රජවකින් හැරිලා සමනල වැව - පඹහින්න මාර්ගයේ බෙලිහුල්ඔයට පුංචි දුරයි.
ඒ ගමන් මග ගැන දවසක කියන්නම්.
පහුවදා අපි යන්න තීරණය කලේ කල්තොට යන අතරමග හමුවුන ගල්ටැම්යාය , කූරගල සහ දූවිලි ඇල්ල හුණුගල් පොකුණ බලන්න.
බෙලිහුල්ඔය නවාතැනේ ඉදලා පිටත්වුනාම මුලින් අපි තන්ජන්තැන්න “ගල්ටැම්යාය “ හමුවෙනවා.



ගල්ටැම්යාය

තන්ජන්තැන්නේ න් දකුණු දෙසට හැරෙන බොරළු පාර ඔස්සේ මීටර් දෙසීයක් පමණ ගිය විට ගල්ටැම්යාය පුරාවිද්‍යා භූමියට ඇතුළු විය හැක. මෙම පුරාවිද්‍යා භූමිය 1951 වසරේ දී පවරා ගන්නා විට අක්කර 5ක පමණ භූමි ප්‍රදේශයක් වසා ගෙන තිබිනත් අද මෙය අක්කර 2½ කට සීමා වෙලා.

පෞරාණික ගොඩනැගිලි වලට අයත් ගඩොල් කැබලි ප්‍රදේශය පුරා පැතිරී තිබෙන අයුරු දැකගත හැක. මෙහි ගොඩනැගිලි ශේෂ අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිසංස්කරණය කරන ලද ස්ථූපයක් ද කොරවක්ගල්, පියගැට පෙළ, මුරගල් කැබලි කැටයමින් තොර සඳකඩ පහණක්ද අද දැකගත හැක.


කූරගල හා බුදුගල විහාර සංකීර්ණ සමඟ ඇති ගල්ටැම් යාය පුරාණයේ එකම විශාල ආරාම සංකීර්ණයක කොටස් විය හැකියයි සිතනවා.

පූජ්‍ය විකිළියේ නාරද හිමි විසින් රචිත “ඓතිහාසික රත්නපුර” ග්‍රන්ථයේ

“තන්ජන්තැන්නේ ගල්ටැම්යාය” යයි මෙකල භාවිතා කරන “කුරුදියවල විහාරය” යැයි කියන්නේ මෙතනටය. මෙතනද ගල්ටැම් බොහෝ ඇත.යයි සදහන්. කූරගල යෝග මධ්‍යස්ථානයට යෑම සඳහා පුරාණ මාර්ගය වැටී තිබුණේ ගල්ටැම්යාය අසලනි. එකී මග තැනින් තැන ගල් පඩිද බැඳ තිබිණි. ගල්ටැම්යාය නම් වූ කුරුදියවල විහාරස්ථානයේත් කූරගල යෝගාශ්‍රමයේත් දුරාතීතයේ ලොකු සම්බන්ධතාවයක් තිබූ බව එකී මාර්ගයෙන්ම පෙනෙනවා.

මෙම භූමියේ ඇති ගොඩනැගිලි අවශේෂ ක්‍රමානුකූලව සැලසුම් ගත කිරීමේදී පෙනී යන්නේ මෙය පංචායතනයක අවශේෂ ලෙස පෙනී යන බව පුරා විද්‍ය ගවේෂකයෙකු වන දයානන්ද බිනරගම මහතාගේ මතයයි. සමහර විටක හුදකලාව පිහිටුවන ලද පටිමාඝරයක් (පිළිම ගෙයක්) වෙනුවට පිළිමගෙවල් කිහිපයකින් සමන්විත පංචකුටි, පංචගෘහ, පංචවාස, පංචායතන යනුවෙන් හැඳින්විය හැකි බෞද්ධ ගොඩනැගිල්ලක නටබුන් ඓතිහාසික ගල්ටැම්යාය පුරාවිද්‍යා භූමියෙන් හඳුනාගත හැකිය.


දැනට පිළිම ගෙය ලෙස හඳුනාගත හැකි ගොඩනැගිල්ල දල වශයෙන් අඩි 50×50 ප්‍රමාණයේ චතුරස්‍රාකාර කුටියකි. එහි ඊසාන පැත්තේ අඩි 8 ක් පමණ දික් වූ ගල්ටැම් 5ක් දැකිය හැකියි.

ඒක සමානව වයඹ ප්‍රදේශයේ ද ගල්ටැම් කිහිපයකි. පිළිම ගෙය මධ්‍යයෙහි ගල්ටැම් සමූහයක් ද සිටුවන ලද ගල්ටැම් වල ශේෂ වූ පාදම් කොටස් ද දැකිය හැකියි. ගිනිකොන දෙසට වන පරිදි කොරවක් ගල් දෙකක් සහිත සඳකඩ පහනක් හා පියගැටපෙළ තුනක්ද ශේෂ වූ මුරගලක කොටසක්ද ද්වාරයේ ඉහළ පේකඩක කොටසක් ද දැකිය හැකියි.

මෙහි පංචායතන සැලැස්මට අනුව දකුණු, නිරිතදිග හා වයඹ දෙසට තවත් ගොඩනැගිලි කිහිපයක අවශේෂ ඇති අතර ඒවා ප්‍රදේශයේ ජනතාව විසින් ඉඩම් අත්පත් කර ගැනීම නිසා විනාශ වී ඇති අයුරු දැක ගැනීමට පුළුවන.

මෙම ස්ථානය පංචත ක්‍රමයට නිමැවූ ගොඩනැගිලි පහකින් සහ කුඩා සංරක්ෂිත ස්තූපයකින් සමන්විත වේ. එම ගොඩනැගිලි ආවරණය කරමින් ගඩොල් ප්‍රාකාරයක් ඉදිකර තිබී ඇති අතර එම ප්‍රාකාරයේ සිව් දිශා වලින් ඇතුළු වීම සඳහා ද්වාර මණ්ඩප සතරක් පැවති බව දැකගත හැකිවේ.

ප්‍රාකාරය තුල වූ ගොඩනැගිලි සියල්ලම ප්‍රතිමා ගෘහයන් ලෙස උපකල්පනය කළ හැකි වන්නේ ඊට සමාන නිර්මාණයන් මිහින්තලයේ 'මනිනාග මන්දිර' සහ ඉඳිකටු සෑය පුරාවිද්‍යා ස්ථාන වල දී දැකගත හැකි නිසාවෙනි.

මෙහි දක්නට ලැබෙන සඳකඩ පහන් සහ මුරගල් කැටයම් රහිත ඒවා වේ. දකුණු දිශානුගතව ඇති ස්තූපය, ප්‍රකාර බැම්මට පිටින් ඊට යාව ඉදිකර තිබීම විශේෂිත ය.

අපි ගල්ටැම්යායෙන් හුණුගල් පොකුණට යමු.

බලංගොඩ සිට කල්තොට පාරේ තංජන්තැන්න පසුකර කිලෝ මීටර එකහමාරක් ගියවිට හමුවන්නේ ගල්ලෑලිතොට යි. එහි සිට ඉද්දගල ආර අතුරු පාරේ තවත් කිලෝ මීටර එකහමාරක් ගමන් කර හමු වන වනය මැදින් තවත් කිලෝ මීටර එකහමාරක් පියමං කළ විට හුණුගල් පොකුණු පිරි බිමට පැමිණිය හැකි යි.






වලවේ ගඟේ දියඇල්ලක් වන දූවිලි ඇල්ල ආසන්නයේ තමයි මේ අලංකාර පොකුණු දකින්න ලැබෙන්නේ. මේවා පසුගිය කාලයේ දේශීය සංචාරකයන් අතර ඉතා ජනප්‍රිය ඉසව්වක් බවට පත්ව තිබුණා. විශාල වශයෙන් සංචාරකයන් ගමන් කිරීමට පටන් ගැනීමෙන් හුණුගල් තටාකවල ඉවුරු පවා විනාශ වන නිසා පසුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒවාට අනවසරයෙන් පිවිසීම නතර කළ බව වාර්තා වුණා

බලංගොඩ සිට කල්තොට පාරේ තංජන්තැන්න පසුකර කිලෝ මීටර එකහමාරක් ගියවිට හමුවන්නේ ගල්ලෑලිතොට යි. එහි සිට ඉද්දගල ආර අතුරු පාරේ තවත් කිලෝ මීටර එකහමාරක් ගමන් කර හමු වන වනය මැදින් තවත් කිලෝ මීටර එකහමාරක් පියමං කළ විට හුණුගල් පොකුණු පිරි බිමට පැමිණිය හැකි යි.

ඉද්දගල ආර වනාන්තරයේ දකින්නට ලැබෙන්නේ වියළි මිශ්‍ර කැලයක්.මුල්ගම, රජවක මහ වනය මැද හුණුගල් වර්ධනය වී ජලය සමඟ මිශ්‍ රවී හුණුගල් පොකුණු තැනී තිබෙනවා. මේ කැලය මැදින් කුඩා දොළක් ගලා බසින්නේ හුණුගල් තට්ටුවක් මතින්. එම දොළ පාර කිලෝමීටර් කිහිපයක් දුරට හුණුගල් තට්ටුව මතින් ගලාගෙන යනවා.. පසුව මෙම ජල මාර්ගය පිවිසෙන්නේ විවිධ වක්‍රාකාර හැඩයෙන් යුත් හුණුගල් පොකුණු වෙතට යි.



එහි ජලය පසුව එක්වන්නේ වලවේ ගඟට යි.

හුණූගල හරහා ගලා එන දොළ පාරෙන් නිර්මිත පොකුණු දකින්නට ලැබෙන්නේ හෙල්මළු ආකාරයට යි. කුඹුක් ගසින් පිරුණු වටපිටාවක ලොකු කුඩා තටාක විශාල සංඛ්‍යාවක් දැකගත හැකි යි.

‘‘ වර්ග අඩි 50-30 වැනි ලොකු තටාකවල සිට වර්ග අඩි 5, 10 දක්වා කුඩා තටාක මෙන්ම ගැඹුරින් අඩි 1, 2 සිට අඩි 12 දක්වා යුතු තටාක ද පිහිටා තිබේ. මෙම හුණුගල් තටාක අඩසඳාකාර ව පවතින අතර එහි දාරය දෘඩව පවතී. තටාකයේ අඩිය ද පැති බිත්ති ද හුණුවලින් ම නිර්මාණය වී පවතී. තටාකවල ජලය සුනිල්වන් පැහැයෙන් යුක්ත වුද පානය කිරීමට නොහැක්කේ හුණු අධික සාන්ද්‍රණයකින් පැවතීමෙන් හටගන්නා කඨින ස්වභාවය නිසාය (අසිරිමත් උඩවලව- ශ්‍රීලාල් නිශාන්ත හෙට්ටිආරච්චි, 49 පිට)

පොකුණු තිහකට අධික ව මේ ස්ථානයේ පිහිටා තිබෙනවා. පොකුණු වටා ඇති බැම්ම සෑදී ඇත්තේත් මෙම හුණුගල් වලින්ම යි. බැම්ම තනි හුණුගලින් තිබුණ ද එහි ජලය වැටෙන දිශාවට කුඩා කූරු ලෙස හිරිලඹ තැනී තිබෙන බව පේනවා.

පසුගිය කාලයේ මෙහි පැමිණි සංචාරකයයන් පොකුණුවල පිහිනීම නිසා අවුරුදු ලක්ෂ ගණනන් තිස්සේ නිර්මාණය වුණු පොකුණු හානියට පත්වීමට පටන්ගෙන තිබෙනවා.

පොකුණුවලට නුදුරින් වනය මැදින් හුණුගල අතරින් කඩාහැලෙන කුඩා දියඇලි දෙකක් ද පිහිටා තිබෙනවා. ප්‍රධාන හුණුගල් ඇල්ලේ උස මීටර් 40ක්. එය අවට පර්වතවල කොළ පාටින් පාසි බැඳී තවත් සුන්දරත්වය වැඩිවී තිබෙනවා.


තංජන්තැනෙන් දුවිලි ඇල්ලට යමු.

දූවිලි ඇල්ල හෝ වළවේ ගඟ නැගෙනහිර ඇල්ල ලෙස හඳුන්වනු ලබන දිය ඇල්ල උස මීටර් 40ක් පමණ විතර ඇති.

රථගාලේ සිට හොඳින් සකස් කල පඩි 300ක් පමණ පහලට ගමන කල විට සුන්දර දුවිලි ඇල්ල නැරඹුම් ස්ථානයට ලඟා විය හැක.


දුවිලි දිය ඇල්ල කඳු මුදුනේසිට ඇද හැලී ගැඹුරු ජල තටාගයක් පාමුල නිර්මාණය කර ඇත. විසුරුවා හරින ලද සියුම් ඩ්‍රිබ්ලට් දූවිලි වලාකුළක් ලෙස පරිසරයේ පාවී යයි. සංගීතයක් මෙන් ජලකද ඇද හැලෙන රාවය ඇසෙයි.

ප්‍රදේශයේ ඇති පොහොසත් ජෛව විවිධත්වය දුවිලි ඇල්ල ආශ්චර්යමත් පරිසරයට තවත් එක් කරයි.

අද දවසේ ගමන නිමා කිරීමට අපි කූරගල ට යමු.

මුස්ලිම් බැතිමතුන්ගේ පූජනීය ස්ථානයක් ලෙස තමයි පැවතුණේ. ඔවුන්ගේ ආගමික වතාවත් එහි සිදුවුණා. එහි පසුගිය කාලයේ කළ විවිධ ඉදිකිරීම නිසා පෞරාණිකත්වයට හානි සිදුවූ බව නම් අමුතුවෙන් කිවයුතු නැහැ. තවමත් කූරගල මුස්ලිම් පල්ලියක් සහ ශාන්තුවරයකුගේ ලෙස සැලකෙන සොහොන්කොත් දෙකක් ද දැකගත හැකියි.

පිහිටීම

කඳුවැටි, වනාන්තර, කෙත්වතුවලින් වටවූ රමණීය බිමක තමයි කූරගල පිහිටා තිබෙන්නේ. කඳු පාමුල සිට ඉහළට ගමන් කිරීමට පියගැට තනා තිබෙනවා.

විකිලියේ නාරද හිමි සහ වටද්දර ඤාණිස්සර නාහිමියන් කූරගල ගැන සොයා බලා බෞද්ධ නටබුන් ආරක්ෂා කර ගැනීමට උත්සාහ කර තිබෙනවා. අනතුරුව ගැටඅරළුවේ සංඝරක්ඛිත නාහිමියන් ද, පසුව මෑත කාලයේ රාජකීය පණ්ඩිත දෙල්තොට ධම්මජෝති නාහිමියන් ද මෙම ඓතිහාසික පූජා භූමියෙහි බෞද්ධ උරුමය රැක ගැනීම සඳහා කටයුතු කර තිබෙනවා.







මහ සෑයක් ඉදිකෙරේ

2013 දී ගෝඨාභය රාජපක්ෂ එවකට ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වශයෙන් සිටි අවධියේ දී මෙහි අනවසර ඉදිකිරීම් රාශියක් ආරක්ෂක අංශයන් විසින් ඉවත්කෙරුනු අතර, වර්ෂ 2019 වර්ෂයේ දී වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මැදිහත්වීමෙන් පානීය ජල නළ පද්ධතිය, පියගැට පෙළ හා විදුලිය ලබාදීම සිදුව තිබෙනවා.

මෑතක දී නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති වතුරකුඹුරේ ධම්මරතන හිමියන් වෙත මෙහි භාරකාරීත්වය පැවරුණා. ඒ හිමියන්ගේ මැදිහත්වීමෙන් කූරගල බෞද්ධ ප්‍රබෝධය යළි ඇතිකිරීමේ කටයුතු ආරම්භවී වර්තමානයේ සංවර්ධිත කුරගල බොෟද්ධ මධ්‍යස්ථානයක් බවට පත්ව තිබෙනවා.

පර්වත දෙකක්
පොදු වහරේ කූරගල යනුවෙන් මෙම ස්ථානය හැඳින්වූවත්, මෙහි ප්‍රධාන ගිරිශිඛර දෙකක් දැකගත හැකියි. ඒ කූරගල හා හිටුවන්ගල කියන පර්වත යි. කඳු මුදුන ආසන්නයේ වම්පස බෑවුමේ පූර්ව බ්‍රහ්මී අක්ෂර සහිත ප්‍රධාන ලෙන් සංකීර්ණය පිහිටා තිබෙනවා. දකුණු පසින් හිටුවන්ගල කන්දේ ගල්ගුහා පිහිටා තිබෙනවා.
මෙම බිමේ ඓතිහාසිකත්වය ගැන සැලකිල්ලට ගත් හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සී. ඊ. ගොඩකුඹුර 1971 අගෝස්තු මස 11 වැනි දින ගැසට් පත්‍රය මඟින් පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙසට කූරගල නම්කර තිබෙනවා.
බස්නාහිරින් රටා මවමින් ඉර බැසයනවා. කුරගල කන්ද උඩ සිට කල්තොට ගොවිජනපදය හරිත වර්නයෙන් මවන්නේ සිත නිවන දර්ශණයක් .
අපි නැවතත් නවාතැනට........





A day in the life

2025-09-15

දේවාල හටන

පෙරහැරත් පටන් ගන්න ලගයි.

පසුගිය මාස කිහිපය රත්නපුරේ අවධානය අරන් ගිහින් තිබුනේ සමන් දේවාලය ඒ වගේම අළුත්නුවර දේවාලය දෙසට.
කවුද නව භාරිකාරිත්වයට පත් කරන්නේ කියලා ලොකු ප්‍රශ්නයක් ? .
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයෙක් ඉන්නවා.
මේ මහත්තයත් රත්නපුර දිස්ත්‍රික්කය නියෝජණය කරනවා.
ඉතින් . මේ දේවාල දෙකට සමන් දෙවින්ගෙයි කතරගම දෙවියන්ගෙයි ඇල්ම බැල්මට අමතරව අමාත්‍යවරයාගේ ඇල්ම බැල්මත් තිබුනා කියලයි මට හිතෙන්නේ.
සමාවෙන්න පෘතග්ජන සිතිවිලිවලට.
පලමුවෙන්ම මේ දේවාල දෙකටම වැඩ බලන බස්නායකවරු දෙදෙනක් පත් කලා. 
ඒ අමත්‍යාංශ ලේකම් තුමාගේ රාජකාරිය.
ඒ පත්කිරීම තුල අනාගත බලාපොරොත්තු තිබුනා.
කවුරුත් කතාවුනේ මේ දෙන්නා රාජ -පාක්ෂිකයෝ කියලයි.
විහාර දේවාලගම් පනත කියලා පනතක් තියෙනවා.
පනත අනුව භාරකාරිත්වය පවරන්න ඡණ්දයක් තියනවා. දිස්ත්‍රික්කයේ ප්‍රා දේශිය ලේකම්වරු දේවාලය අයිති විහාරස්ථාන වල විහාරාධිපතිවරු, දේවාලයන්හි බස්නායකවරු හට ඡණ්දය හිමිවෙනවා.
ඔවුන් තමයි ඡණ්දදායකයෝ.

අපේක්ෂකයෝ ඉදිරිපත්වෙනවා. මෙයාලටත් සපුරාලන්න ඕන සුදුසුකම් තියෙනවා.
මේවා වෙනස් විය යුතුයි කියලයි මට හිතුනේ.
තාමත් බ්‍රිතාන්‍යය පාලන යුගයේ සිට පැවත් එන විහාර දේවාලගම් පනතට යම් යම් සුළු වෙනස්කම් සිදුවී තිබුනත් කාලීනව වර්තමානයට සුදුසු ලෙස පනත වෙනස් වෙලා නැහැ.
ඒ මගේ මතය.

රත්නපුර සමන් දේවාලයේ බස්නායක ධුරය පිළිබදව කරන කතාබහේදී ඒ බව මම දුටුවා.
නව බස්නායක තුමාගේ මුත්තා කෙනෙක් “ පෙරේරා “ කෙනෙක් වීමත්
පරපුර පිළිබදව අවලාදයකුත් අපේ සහෝදරවරු මතු කරනවා.
එසේ සහෝදරවරු එවන් මතයක් මතුකිරීමම පනත වෙනස් කිරීමට එක් බීජයක් වෙනවා කියලයි මම හිතන්නේ .
සම - සමාජයක සිතුම් පැතුම් ඇතිව “ සිස්ටම් චේන්ජ් “ එකක ඉන්න අපිට හත්මුතු පරම්පරාවම රදළයෝ වීම භාරකාරිත්වයට තරග කිරීම සුදුසුකමක් වෙනවා නම් එය මෙකලට ගැලපෙන්නේ නැහැ.

මේ කතාබහ අළුත්නුවර කතරගම දේවාලයේ භාරකාරිත්වය පැවරීමේ ඡණ්ද විමසීම දෙසට හැරෙමු.
මගේ අවධානය සහෝදරවරුන්ගේත් පනතත් , භාරකාරීත්වයට තරගවැදුන අපේක්ෂකයන්ට සහ  ,භාරකාරිත්වයට පත්කිරීමේ ඡණ්දය අයිතිය තිබුන සුවිශේෂවු ඡණ්දදායකයින්ටත් යොමු වුනා.

පැහැදිලිවම අපේක්ෂකයෝ කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන්. ඒ එයාලගේ අනාගත දේවාල සංවර්ධණ ව්‍යාපෘති අගය කිරීමෙන්.
මගේ ජීවිත කාලය තුලම දේවාල භුමියෙන් මතුවු මැණික් සම්පත සූරා කෑ
බස්නායකවරු. මොහොට්ටාලලා පිළිබද අත්දැකීම් තියෙනවා.
අටුවා ටීකා නොලිවුවත් දේවාල පරිශ්‍රයට ගියාම ඒ බව තේරෙනවා.
ක්‍රිව 1582 දී දේවාලය කරවා ජනතා අයිතියට පත්කල බව ඉතිහාසය කියනවා
අවුරුදු හාරසිය පනහකට ආසන්න දේවාලයේ සංවර්ධණය කොහොම වෙන්න ඇත් ද ?
තවමත් ..........................................
ඒත් දේවාලයට අයත් භුමියෙන් ගොඩ ගත් මැණික් සම්පත කෝටි ප්‍ර කෝටි වෙනවා.
ඉන් බිම් පංගුව 10 % ක් ලැබුනත් කොයි තරම් මුදලක් ද ?.
දේවාලයට අරක්ගත් දෙවිවරු අහක බලාගෙන ........!

මේ සම්පත දෙස බලාගෙන තරග බිමට ආ අපේක්ෂකයෝ එක් කොටසක්.
අනිත් ගොඩේ හිටියේ එක් කෙනයි.

ඔහු වෘත්තීයෙන් ඉංජිනේරුවරයෙක්.මොරටුව විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්වරයෙක් .පශ්චාත් උපාධි හා ඩිප්ලෝමාධාරියෙන්. ILO සහතික ලත් පුහුණුකරුවෙක්.
කරුමෙට රාජ්‍ය - පාක්ෂික සහෝදරයෙක් !.
ඔහුගේ පස් අවුරුදු සංවර්ධණ සැලස්මත් දේවාලයේ ආදායම නිර්ව්‍යාජව ආයෝජණය කරන අන්දමත් ව්‍යාපෘති වාර්තාවේ තිබුනා.
ඒත් ඔහුට ඡණ්දයකදී යෙදිය යුතු සිව් වැදැරුම් ක්‍රම පිලිබද දැනුමක් තිබුනේ නැහැ.
දානය ,දණ්ඩනය . වගේ දේවල්.
පුර්ව ආදර්ශ දීලා තිබුනා තම අධ්‍යාපනය ගැන ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවේ ඉන්න සහෝදරවරුන්.
ඒ නිසා මේ අධ්‍යාපන සුදුසුකම් වටිනාකමින් ගිලිහුනාද ? 
මට හිතෙන විකාර.

ඡණ්දදායකයෝ වැඩි පිරිසක් ප්‍රාෙද්ශීය ලේකම්වරු. ඔවුන් රාජ්‍ය පරිපාලන විභාගය සමත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලත් විද්‍යාර්ථීන්.
විහාරාධිපති ස්වාමීන් වහන්සේලා දැන උගත් පඩිවරුන්.

මට හිතෙන හැටියට දානය පුජා කරපු අපේක්ෂකයින් ගේ දාන පාරමිතාව අනුව දේවාල භාරකාරිත්වය තීරණය වුනා.

දණ්ඩනය සහෝදර කණ්ඩායමේ අමාත්‍ය මාත්‍යයන් අතින් ඉටුවෙන්නත් ඇති.
දානය ,තම අධ්‍යාපනයත් ගෞරවයත් රැක ගත් සහෝදරයා පූජා නොකරන්න ඇති.
ඔහුට අළුත්නුවර දේවාල සැලස්ම අකුලා ගන්න සිද්ධවුනා.

ආණ්ඩුවත් ඡණ්ද දායකයින් පිලිබදව අවධානය යොමු කරන්න ඕනි.
විහාරාධිපතිවරු , බස්නායක නිළමේවරු බැහැර කරමු.
ප්‍රා ලේකම්ලා රාජ්‍ය ප්‍රතිපත්ති ජනතාවට ගෙන යන අතරමැදියෝ.
මෙයාලත් ආංඩුවට වලංගු නැද්ද ?. 


අපි දේවාල භුමිය වෙන්දේසි කරමු.


A day in the life

2025-09-14

කන්ද ගිණි අරන්.







අපි ඉන්නේ කදු යායකට වටවෙලා...

“ ඒ කන්දත් අපේ තමයි - මේ කන්දත් අපේ තමයි “ ලෙස්ටර්ගේ සංදේශය චිත්‍රපටියේ බණ්ඩාර කියන්නේ මේ කදුයායට.

මේ කදුයාය දැන් අපට ( ගමට ) අයිති නැහැ.

අඩවි වන දෙපාර්තමේන්තුව  වන සම්පත අයිති කරගෙන.

වන ජීවි දෙපාර්තමේන්තුව සත්ව ජීවින් අයිති කරගෙන.

දැන් එයාල තමයි අයිතිකාරයෝ .

අනවසරයෙන් කැලෑවට ගියොත් නඩු ගොඩයි.

කන්ද ගිණි අරන්.

කාගේ හෝ නොසන්ඩාල වැඩක් .......

නැත්නම් ලැව් ගින්නක් ඇතිවෙන්න මේ මානා පතනේ ඉඩක් නැහැ.

දුම දකින කොටම ඈත හිටින අපි අයිතිකාරයින්ට අමතරව සමනල වැව පොලිසියට කතා කලා.

දුරකතන ක්‍රියා විරහිතයි.

අයිති නැති වැඩවලට අතදාලා අත පුච්චා ගන්න බැහැ. අත්දැකීම් තියෙන හින්දා ඔහේ බලා හිටියා.

දැන් දවස් දෙක තුනක් තිස්සේ කන්ද ඇවිලි ඇවිලි  හුලං අතට ගින්න පැතිරෙනවා.

අපි බලා ඉන්නවා.

මේ සැප්තැම්බර් මාසේ. අද 15 වයි.

තව සතියකින් දෙකකින් මෝසම් වැස්ස අපිටත් මේ කදු යායටත් ලැබෙනවා.

යන්ත්‍රෝපකරන නොතිබුන කාලේ කුඹුරු හෑවේ . ගොයම් පෑගුවේ මී හරක්ගෙන් .

මේ කදුයායට ගමේ මිනිස්සු ආදරෙයි.

ගොයම් වැඩ එවර වුනාම මී හරක් දක්කා ගෙන ගිහින් මේ කදුයායේ තැනින් තැනට මුදා හරිනවා.

ඒ කාලේ ගම්මුන්ට අයිති මී හරක් පට්ටි කිහිපයක් තිබුනා.

ගම්මු එකතු වෙලා ගින්දර පැතිරිලා නොයන්න ගිණි පටි යොදනවා. ඒ  වපසරියෙන් එහාට ගින්න පැතිරෙන්නේ නැහැ.

සැප්තැම්බර මාසේ වැස්ස බලා ගෙන කන්දට ගිණි තියනවා . වියලි ,මේරු මානා ගිණිගෙන කන්ද කළු පාට වෙනවා.වැස්ස වහිනවා. සතියක් හමාරක් යන කොට ලා සුහුබුල්  මානා දළු දාලා කන්ද කොළ පාට වෙනවා.

ගැමියෝ කන්දට මුදා හරින මී හරකුන්ගේ අහාරය සපන්නේ ඒ විදියට.

අද කන්ද පයිනස් වගාවෙන් වැහිලා.

ගොවියෝ යන්ත්‍රෝපකරන වලට හුරු වෙලා.

කන්දට අතහැරපු හීලෑ මී හරක් වල් මී හරක් වෙලා.

ගැමියන්ගේ අවධානය කන්දෙන් ගිලිහිලා.

අළුත් අයිතිකාරයෝ රජයේ සේවකයෝ නේ..

කන්ද ගිණි ගන්නවා.............


A day in the life

2025-09-13

කෙන්ගෙඩිය


අවුරුදු කාලෙට පස්සෙ අපේ අත්තම්මා හදනවා අපූරු ව්‍යාංජනයක්. පුංචි පුංචි කැකිරි ගෙඩි වගේ ගෙඩි අපේ කුරුඳු ගස් පුරාම තියෙනවා .අත්තම්මා ඒව කඩල තමයි හදන්නෙ. ඒකට කිව්වෙ කෙංගෙඩි කියල .මං දන්න කෙංගෙඩියක් නැති නිසා පොඩි කාලෙ ඔව්ව හාරාවුස්සන්න ගියේ නැහැ .ඒ කාලෙ අපිට ඊට වඩා වැදගත් වැඩ තිබ්බ. අපි මහ උන් උනාට පස්සෙන් පහු තමයි ඔය කෙංගෙඩිය ගැන අහගත්තෙ.

ඔයාල හැමෝම දන්න කෝවක්කා තමයි මේ. සමහරු තෙලං කැකිරි කියලත් කියනවා. Ivy gourd , tindora යන නම්වලින් විදේශ රටවල්වලත් හඳුන්වනවා. ගොඩක් අය කෝවක්ක කියපු ගමන් මතකෙට ගන්නෙ දියවැඩියාව . රුධිරයේ සීනි මට්ටම අඩු කරගන්න සුපිරි කෑමක් කියල . ඊට අමතරව තවත් ගුණ ගොඩාක් මේ කෙංගෙඩියෙ තියෙනවා . අපි අද කාලෙ කන්නෙම වහනෙ. මේ විෂ වර්ග වලින් වගේම බෝ නොවන රෝගවලට ගන්නා සමහර බෙහෙත් වලින් අක්මාවට හානි සිද්ධ වෙනවා. කෝවක්කා අක්මාවටත් හොඳ ඔසුවක් . අපිට පුංචි කාලෙ තුවාලයක් උනාම ඉදිච්ච කෝවක්කා ගෙඩියක් දෙකක් කන්න දෙනවා. තුවාලය ඉක්මනින් හොඳවෙනවා. ප්‍රතිඔක්සිකාරක බහුල මේ කෙංගෙඩියේ ඔසු ගුණ බොහෝමයි. වයසට වඩා තරුණ පෙනුමක් ලබාගන්නත් මේ කෙංගෙඩියෙන් පුලුවන් කියනවනෙ.

මට තියෙන ප්‍රශ්නෙ ඒක නෙමෙයි . මේ කෝවක්කා කොල කෑම ලංකාවෙ ජනප්‍රිය උනාට ගෙඩි කන්නෙ නැහැ . හරිම බයයි මේ ගෙඩිවලට. ගොඩාක් අය කියනවා මේවා කටේ තියන්න බෑ තිත්තයි, ක්ෂණිකව සීනි මට්ටම පහල බහිනව කියල . හැබැයි ලොව පුරා වසන ඉන්දියානු ජනතාව අතරේ හරිම ජනප්‍රිය කෑමක්. ලමයි පවා කනවා. කෝවක්කයි,බණ්ඩක්කයි කියන්නෙ එයාලගෙන් බේරගන්න බැරි ජාති දෙකක්. මම මේ ගැන වැඩිදුර විස්තර හොයද්දි දැනගත්තා ලංකාවෙ කෝවක්කා වර්ග දෙකක් තියෙනවා කියල .
කැලෑවේ හැදෙන තික්ත කුණ්ඩී (තිත්ත රසැති)
ගම් ආශ්‍රිතව හැදෙන මධුර බිම්බී ( කිරි රසැති )

අපේ අත්තම්මලා උයන්න ගන්නේ මේ තිත්ත නැති වර්ගය තමයි . ලඟදි දවසක කුරුඳු බහුල ප්‍රදේශයක නෑ ගමනක් ගිය මට කුරුඳු ගස් පුරාම තිබුණු කෝවක්කා දකින්න ලැබුණා. හිත ක්ෂණයෙන් අත්තම්මා ගාවට ගියා. කඩාගත්ත ගෙඩි 12ක් විතර. ඒ ගෙදර හිටියා වයසක මාම කෙනෙක් මම වගේම ගහ කොල ජීවිතේ කරගත්ත . ඒ මාමා කියපු විදියට මම ඉව්වා.

වැදගත්ම දේ ගොඩක් මෝරලා නැති මධ්‍යස්තව පැසුණු ගෙඩි ගන්න එක.මුලින්ම පිපිඤ්ඤා වල තිත්ත අරින විදියට මේ චූටි ගෙඩිවල නැට්ට ලඟින් චූටි පෙත්තක් කපල අතුල්ලලා තිත්ත ඇරියා. ඒ මාම කිව්වා ගෙඩියේ මුල සහ අග පෙති දෙකක් කපල අයින් කරල මැද කොටස විතරක් ගන්න කියල . "ඔලුවයි වලිගෙයි අයින් කරොත් සර්පයෙක්ව උනත් කන්න පුලුවන් පුතේ " කියලයි ඒ මාම කිව්වෙ. ඊට පස්සෙ මේ කෙංගෙඩිය තරමක් මහත පෙති කපල පොල් වතුරට දැම්මා. වතුර බේරල ඕනෙ කරන අඩුම කුඩුම එක්ක තෙලට දාල මිටිකිරි ටිකක් එකතු කරල හින්දලා ගත්ත.ගොරක කෑල්ලකුත් දාල ඇඹුලට හැදුවේ. කාල බැලුවම හිතුවෙ මොකාද යකෝ මේක තිත්තයි කියපු එකා කියලයි . අත්තම්මා මට හැම කෙංගෙඩියක්ම,හැම කෙහෙල්මලක්ම කවල තියෙන නිසා කට හුරුවෙලාද මන්ද ?. වෙන්න බෑ.

දැන් ඉතින් හොඳම හරිය. ෆේස්බුක් කමෙන්ට් වල ඕසෙට තියෙනවා සීනි බහිනවෝ,මැරෙනවෝ කියල . කෝකටත් මම ගෙඩි පහක විතර ප්‍රමාණයක් බත් එක්ක කෑව.මාරම රසයි. හත්පණේ කිරිහාමි වගේ සැරින් සැරේ අතත් පයත් සීතලද බලනව .උදේ නැගිට්ටම දන්නෙ මැරිල නෑනෙ කියල . උදේ බත් කද්දි ඉතුරු ටිකත් කෑව.අතිශය සාමාන්‍යයයි. මම දියවැඩියාව හෝ වෙනත් විශේෂ රෝගාබාධයක් නැති නිරෝගී කෙනෙක්

අත්තම්මා අවුරුදු කාලෙ ඉවරවෙනවත් එක්කම මේ කෙංගෙඩිය හැදුවෙ පැණිරස කාල කාල හිටපු අපේ සීනි මට්ටම පාලනය කරන්නම වෙන්න ඕන. උන්දැලට කලට වේලාවට, ඒ ඒ වකවානුවලට ගැලපෙන්න ආහාර සකස් කිරීම ගැන තිබ්බ දැනුම ඒ ගැන උපාධියක් කරලවත් අපිට ගන්න බැහැ . සතියකට දෙකකට වතාවක් , පමණ දැන මේ වගේ දේවල් ආහාරයට එකතු කරගන්නවානම් බෙහෙත් පෝලිම්වල ඉන්න ඕන වෙන්නෙ නැහැ . එහෙනම් අපි නිරෝගී ජාතියක් .ඖෂධ පාවිච්චි කරන අය නම් වෛද්‍ය උපදෙස් අනුව ගන්න එක හොඳයි.

ඉන්දියානුවන් පාවිච්චි කරන කෝවක්කා සහ අපේ ඒවා අතර වෙනසක් තියෙනවාද කියලත්, ඒ වගේම ඔයාලට කෝවක්කා ගැන තියෙන අත්දැකීම් මොනවද කියලත් දැනගන්න කැමතියි. ඉතින් ඔයාල දන්න කෙංගෙඩියක් මටත් කියන්න  .

ඒ වගේම නෑ ගමනක් ගියාම මුණගැහෙන අත්තල,අත්තම්මලා එක්ක පොඩි කයියක් ගහන්නත් අමතක කරන්නෙපා.එයාල ගාව තියෙන දැනුම වැළලෙන්න නොදී උකහාගන්න

උපුටාගැනිමකී 
ස්තූතියි මුල්හිමිකරුට

උපුටා පලකිරිම නන්දා විජේතුංග.

A day in the life

2025-09-12

අවලස්සනවූ ලස්සනම අම්මා!


ගැහැණිය සුන්දර වන්නට සිහින දකින්නී ය. කමනීය වන්නට, ප්‍රිය උපදවන්නට කැමැති ඈ, කැඩපතින් ඒ රූබර ශෝබනත්වය දකින්නට ප්‍රියැත්තී ය. මේරී ඈන් බෙවන් නම් වූ ඇය, ඊට වෙනස් එකියක නොවිණි. ලස්සන සුන්දර ගැහැණියක වී, ආදර කුටුම්භයක, සදාදර උණුසුමට පෙම් කල ඈ, 'අවලස්සන්නම ගැහැණිය' කියා කිරුළු පලන්නට සිහිනෙකිනිදු නොසිතන්නට ඇත. නමුත්, හිතවත, මේරි ඈන්ගේ දෛවය ලියැවී තිබුනේ ඒ සරළ, සුන්දර අපේක්ෂා ඇගෙන් උදුරා ගන්නට ම ය!
ලන්ඩනයේ දරිද්‍රතාවයෙන් පීඩිතව ගිය ඉසව්වක, 1874 හී ඈ, මේරි ඈන් වෙබ්ස්ටර් නමින් උපත ලබා තිබිණි. ඈ හැරුනු කොට තවත් දරුවන් සතක් වූ පවුල නේක දුක් දෝමනස්සයන් විඳි බැව් කීම, 19 වන ශතවර්ෂයේ ලන්ඩනය පිළිබඳ අනේක කතන්දර කියවා ඇති ඔබට අරුමයක් නොවේ යැ දනිමි. ඈ ළමා කාලය දුප්පත් කමින් දුක්පත් විය. ඊට ම පිළියම් සෙවූ, හෘද සවි දිරිය දියණිය යන්තම් මුහුකුරා එත් ම, සිය දුගී පවුලට සවියක් ම වෙමි යැ සිතූයේ ලන්ඩනයේ රෝහලක සාත්තු සේවිකාවක් වී කුඩා සොච්චමක් උපයා, සිය පවුලේ දරීද්‍රීය අග සවි කොට තැබී ය.
කල් යත් ම, යෞවනයෙන් සුන්දරත්වයට පත් ඈ, ඇවතුමෙන් පැවතුමෙන් කෝළ සුරතල්, මෘදු එකියක විය. ජීවිතය සරි ආදරයෙන් පුදන්නට ආදරබර පිරිමි සෙවණක් සහ ඒ උන් ආදර සෙවණේ රැකෙන්නට, රැකී සෙනෙහසින් වැඩෙන්නට, දරු මල්ලන් පිරි, කුඩා පවුලක් පැතූ ඈ, ඒ ඔබ්බෙන් වූ සංකීර්ණත්වයක් නොපැතීය.
ඒ ප්‍රාර්ථනා මුදුන් පත් ව, විසි නව හැවිරිදි වියේදී, ඇයට තෝමස් බෙවන් මුණ ගැසිනි. මල් සාප්පු සේවකයෙකු වූ ඔහු ආදරබර ස්නේහවන්ත පුරුෂයෙකු වූයෙන් ඈ පැතූ ලෝකයෙන් අඩක් ඔහු හමු වී සම්පූර්ණ විය. 1903 හි දී උන් විවාපත් වූ අතර, එතැන් පටන් ඈ මේරි ඈන් බෙවන් නම් විය.
සන්තුෂ්ටි ලෝකය සම්පූර්ණ කරවමින් උන් දරුවන් සතරක් ලදි. කොල්ලන් දෙදෙනෙක් සහ කෙල්ලන් දෙදෙනෙක් වූයෙන් අම්මා ට ද, තාත්තාට ද, දැන් ඒ සරි සතුටක් තව නැත. සියල්ල මුලින් උදුරා දමමින්, අහෝ ඒ සුන්දර කුඩා ආදර නිවහනට, දෛවයේ රුදුරු අදුරැති සෙවනැල්ලක් වැටින! ඉන් සියලු කාරණා වෙනස් විය.
පළමුව පැමිණියේ උග්‍ර හිසරදයකි. ඉරුවාරදයකැ සිතූ මේරි එය දරා, ගෙදර වැඩ පළහි නියුතු විය ඉන් පසු දැඩි පේශීමය විඩාවක් හා අස්ථිමය වේදනාවක් පැමිණිනි.
මේරි ඈන් ට වෛද්‍යමය පිරික්සුමක් අවැස්සේය. ඒ සම්බන්ධව එකළ වූ වඩා හොඳ වෛද්‍ය පිළිවිසීමක්, නොඑසේ නම් විශේෂඥ පරීක්ෂාවක්, රෝග ලක්ෂණ විසින් මේරි රිදවා ඉල්ලා සිටීය. නමුත් ඊට උන් සතු සරි වත්කමක් නොවිණි. උපන් දා සිට නිදහස් සෞඛ්‍ය සේවයේ සෙවණ යට හුන් ඔබ, ඉතිහාසයයේ මේ දුක් දෝමනස්සයන් අත් නොවිඳින්නේ ය. හිතවතුනි එය මහා වාසනාවකි. මේරි ඈන් ඒ වාසනාව අත් නොවින්දා ය. වෛද්‍යවරයෙකු ගේ ඇස නොගැටී ම, දිනෙන් දින කාරණා උග්‍ර විය.
මේරි ගේ සුන්දර පෙනුම ටිකෙන් ටික වෙනස් වී යන බවක් පෙණිනි. සුකොමළ ගැහැණු වුවනත විකෘති කරවා හකුපාඩා විශාල වී, නිකට දීර්ඝනය විය. නාසය සහ කන් දිනෙන් දින වර්ධනය වන බවක් පෙණිනි. සම්පූර්ණ මුහුණම ප්‍රමාණයෙන් විශාල වී ගිය අතර හිස් කබල විකෘති ස්වරූපයකට ඇද විය. මුහුණෙහි සරි වෙනස්කම් ශරීරය පුරාම සිදුවිය. අතුල් සහ පතුල් ක්‍රමයෙන් විශාල විය. උරහිස් අතිශය පුළුල් විය. කල්යත්ම, මේරි ගේ ලලනාමය ස්වරූපය ඇගෙන් ඉදිරී ගොස් රළු පිරිමි ස්වරූපයක් ඉස්මතුව, ඈ තවදුරටත් පෙනුමෙන් ස්ත්‍රියක නොව, ස්ත්‍රී ඇදුම් ඇඳි අවලස්සන පිරිමියෙකු යැ පෙන්වන රූප විකෘතියක් ඉස්මතු විය.
මේරි ගේ දුක්ඛිත සිතැඟි කෙසේ වන්නට ඇති ද? අස්ථි විශාල වී, මාංශ පේශී ඇඹරී, ඛන්ඩරා ඇදී රිදවී වේදනා ගෙනදුන් ශාරීරික දුහ්ඛය පසෙකින් තබමු. ඇගෙන් දිනෙන් දින උදුරා දැමෙන, ඇයට ඈ හඳුනාගත නොහැකි වී යන රූප විපර්‍යාසයේ දුක්ඛී අවලස්සන ඈ ජීවත්වන සෑම ක්ෂුද්‍ර මොහොතක්ම දැවි දැවී රිදවන, මහා පාපී ගෝරණාඩුවක් ව ඈ වටා සැරිසරන්නට ඇති.
ඈ වේදනාව පරයා නැඟි මහා ලජ්ජා සිතුවිල්ලකින් වෙලී සිය ආදර සැමියා දෙස ශෝකී ව බලන්නට ඇති. කැඩපතින් ඈ දකින විරූපි විකාරය, හිමි දෙනෙත් අග ද දිසෙනා බව දත්තෙන්, ඒ අභිමුව ආදරය පළා යතියැ ඈ මහත් බිය ගන්නට ඇති. දරුවන් අම්මා කියා නොකියතැ ඈ නිස්කාරණව තැවෙන්නට ඇති. ශෝකී වේදනා ඈ සිතු රිදුවා, තළා පෙළා, අසරණ කොට, හැඬවුම් වාර සියක් දහසක් උපද්දවා, ඒ කඳුලේ ඈ බලාපොරොත්තු, පෙර කියූ ඒ පුංචි බලාපොරොත්තු, දිය කර හරින්නට ඇති.
නමුත් තෝමස්, ඔහු නොවේ එක් බිඳුවකින් හෝ වෙනස් වී ගියේ. ඒ ආදරයේ පුරුෂයා පෙර සිතැඟි පරයා ඇයට ආදරය කරන්නට විය. රැකවරණය සළසා දෙන්නට විය. කුදු මහත් සෑම කර්තව්‍යයේම ඈ ට සවියක්ව, ඈ සමඟින්ම හිඳ, ඈට පෙරටත් වැඩියෙන් ස්නේහවන්ත විය. ඒ සියල්ලට වැඩියෙන්, පෙර සේ ම, මේ මා ප්‍රිය බිරින්දෑ ය කියා, සාඩම්බරයෙන් අතින් අල්ලා, පෙර ගිය හැම ගමනක් බිමනක් ම ඈ හා දැනිදු යනෙන්නට විය. ඉතිහාසයේ වූ මහා ප්‍රේමවන්තයෝ නම් මේ ය! මහා ප්‍රේමවන්තයෝ කවි, ගී හී නොලියවී, ආදර කතා ජේද පිට ජේද වල නොරැදී, පුරාවෘත කතාන්දර රූප රාමුවක නොඉදී, කුඩා කුටුම්භ වල රැඳිණි.
නමුදු මේරි ඈන් බෙවන් තවදුරටත් අවාසනාවන්ත විය. ඒ ආදරයේ දුප්පත් ස්වාමියා අකාලයේ මිය ගියෙන් දරුවන් සතර දෙනෙකු සමඟින්, පැන්සයක් අතේ නැති ඈ හුදෙකලාව අසරණ විය.
සැමියා මියෙන්නට පෙර, බොහෝ කොට දුක් මහන්සි වී, පිළියෙල කරදුන් වෛද්‍ය පරීක්ෂණ, පිරික්සන හී ප්‍රතිඵල ඈ වෙත ලැබී තිබිණි. ඇයට මානව වර්ධක හෝමනයේ (growth hormone) අධිස්‍රාවය නොඑසේ නම් කූටවිකටය (Acromegaly)නම් අවාසනාවන්ත රෝගී තත්වය හටගෙන තිබිණි. ඊට කොයි ලෙසකින් හෝ එකළ ප්‍රතිකාර නොවිණි. ඉන් දෙකෙන් එකක් විසඳා ගත් මේරී, රෝගයේ සුවවීම පිලිබඳ වූ බලාපොරොත්තු අත් හැරියේ, ළමුන් ලොකු මහත් කොට ජීවිතය හැකි තාක් උන් වෙනුවෙන් ජීවත්වීමේ බලාපොරොත්තුවේ එල්බ ගත්තාය.
උන් රකින්නට රැකියාවක් කරනු තියා අසරණ ස්ත්‍රියට එලියට අඩි තබන්නට හෝ ඉඩක් නොලැබිණි. කොල්ලන්ගේ උසුලු විසුලුය; විසිල් පහරය. මිනිසුන්ගේ අප්‍රිය ඉපැද්දූ බැලුම් ය. ගැහැණුගේ කම්මුලට අත එසැවී ගිය ඇස් විශාල කරගත් බලා සිටීම් ය. ඈ ට ඒ ඉවසා දරාගත හැකිය. නමුත් ඈ ඒ ඉවසූ මුදු, කිසිදු රැකියාවක් ඈ අවලස්සන රූපය ඉවසා දරා සිටියේ නැත. රැකියා ඉල්ලා ගිය හැම තැනින් ම ඈ පන්නා දැමිණි. දරුවන් රකිනුයේ කෙසේ ද? අම්මා තැවිණි. ලතැවිණි. පෙර ලස්සන ඇස් අග කඳුලු පිරිණි; අවලස්සන කම්මුලක් ඔස්සේ ඒ උණුසුම් බිඳුවක් ගලාහැළිණි. නමුදු බොහෝ කඳුලැලි ගල් ගැසිනි. ඉන් මාතෘත්වයේ මහා විරියක් ඉපැදිනි. දරුවන් ඇස අග කඳුලක් නොරන්දමි. ඈ සිතට දිරි ගන්නට ඇති.
මේ අතර ලන්ඩනයේ 'අවලස්සනම ගැහැණිය' තේරීමේ තරගයක් පැවැත්වෙන්නට යතැයි ඇයට ආරංචි විය. දෙවරක් නොසිතූ ඈ, සාගින්නෙන් දැවුනු පොඩිවුන් වෙනුවෙන්, ඒ නින්දා සහගත තරගයට ඉදිරිපත් විය. ඈ ඉන් ප්‍රථම ස්ථානය ලබා ගති.
මොහොතකින් ඈ ලන්ඩනය දෙදරවා ප්‍රකට විය. 'ස්ත්‍රී මුර්ගයා' යන මැයෙන් ඈ පිළිබඳ බොහෝ තීරු ලිපි, විශේෂාංග ලිපි ලියැවිණි. මාධ්‍යකරුවෝ අසනීපයක් හේතුකොට රූපය වෙනස් වී ගිය, පෙර සුන්දර වූ මේ ස්ත්‍රියගේ, අවලස්සනෙහි ස්භාවය විස්තර පිට විස්තර කරමින් කාරණා උලුප්පා දක්වමින් ඒ කුණු රසය දිව ගෑ පාඨකයා වෙත ලියා තබන්නට විය. විරූපී ස්ත්‍රී මුර්ගයාට කාර්ටූන් ඇදිණි. සමච්චලයට ලක් කෙරිණි. පරිභව කෙරිණි.
මේරි ඉන් සැලී ගියේ නැත! ඈ සිය අවලස්සන සිය අවියම කරගන්නට විය. තරගයෙන් ජයගෙන ප්‍රකට වූ ඈ, ප්‍රසිද්ධ සන්දර්ශනයන් හී, වේදිකාවන් හී, සැණකෙලියන් හී, සිය අවලස්සන පෙන්වා, මුදලක් උපයා ගන්න ට විය. මුදල් ගෙවා අවලස්සන ස්ත්‍රිය බලන්නට මිනිසුන් පැමිණිනි. ඉන් උන් කිසියම් වූ ප්‍රහර්ෂය ලද බැව් පෙණිනි. 1920 වනවිට මේරි ගෙ අවලස්සනයේ කතාන්දරය ලන්ඩනය පසුකර එංගලන්තය පුරා පැතිරිණි. ඉන් එහා ඒ පුවත යුරෝපයටත්, ඇමෙරිකා එක්සත් ජනපදයටත්, සැනෙකින් සැලවිය.
මේරි ඈන් බෙවන් වෙත ඇමෙරිකාවට පැමිණෙන මෙන් ආරාධනා ලැබිණි. ඒ කෝනිඅයිලන්ඩ් හී 'Dreamland' නම් සුප්‍රකට තේමා උද්‍යානයේ හිමිකරු වූ සෑම් ගම්පෙට්ෂ් ගෙනි. ඈ දරුවන් සිව් දෙනාම ගෙන එහි ලඟා විය. ඇයට එහි නිත්‍ය රැකියාවක් හිමි විය.
ඒ රැකියාව නින්දා සහගත ලෙස සරළය. ඇයට තිබුනේ දහසක් වූ ප්‍රේක්ෂකයින් මැද නිවේදකයෙකු විසින් ඈ ගේ අවලස්සන අරඹයා සිදුකරන, විහිළු තහලු, උසුලු විසුලු සහ කවට සරදම් මෙන් ම, ලැජ්ජා සහගත ප්‍රකාශ දරාගනිමින් තව තවත් තම අවලස්සන විදහා පෑමය. විසුළු මූණු මවා පෑමය. සිනහවට කාරණයක් වී පය අද්දා ගමන් කිරීමය. ඒ කරන ඈ, අතිශය නින්දිතාකාරයක විසුලු ඇදුමෙන් සරසවා තිබිණි. හිතවත, මේ සියල්ල ඈ සිනහවකින් දරා ගත්තා ය. ඉන් මුදලක් උපයා ගත්තා ය. ඒ තම දරුවන් වෙනුවෙන් කැප කලා ය.
ඒ මේරි නම් වූ අම්මා ය; මේරි නම් වූ ලස්සන අම්මා ය!!
ඈ හා සම තවත් මිනිසුන් එම සන්දර්ශනයේ විය. ඒ අතර රැවුල් වැවීගත් කන්තාවක, අතිශය මිටි මිනිසෙකු, බද්ධ නිවුන්දෙදරුවෙකු, යෝධ සිරුරැති පිරිමියෙකු ආදි නොයෙකුත් උන් විය. ඒ සැම උපතින් කිසියම් අඩුවක් ලදව ඉපිද ඒ පවට, සිනාහවෙහි මූලයක් වී, පව් ගෙවනා මිනිස් ජීවිත විය. ඒ අතර අපේ මේරි ද විය. අහෝ ඈ ඊට යන්තම් දශක එකහමාරකට පෙර සම්පූර්ණ සාමාන්‍ය ජීවිතයක් ගෙවූ, සැමියෙකුගේ ආදර ස්නේහයෙන් සුරතල් වූ සුන්දර ගැහැණියක බව ඔබට තව මතකද? ඈ විරූපීත්වය දැක ගන්නට ආ සෙනඟ අතරත ආදරණීය යුවළක් දැක, ඇයට උන්ගේ අතීත ආදර මතක, මතක් වී ගියේ දැ කියන්නට නොදනිමි. බාග දා, ඒ වන විටත් ඈ හැඟීම් ගල් ගැසී දෘඩව ගිය, හුදු අවට අසංවේදීත්වයේ කඩතුරාවකට මුවාවී ගත්, නිද්‍රා සන්‍යාසයකට සම වැද සිටින්නට ඇත!
ඈ කාටවත් අත නොපා දරුවන් උස් මහත් කොට, උගන්වා, සන්තුෂ්ටියේ ඵල නෙලා ගති. පුතුන් සහ දුව දෙදෙනා සමඟ ඇය සිටිනා එක් ජායාරූපයක් වෙයි. එහි ඒ දරුවන් ලස්සනට හැඳ පැලඳ සිටී. පෘෂ්ඨිමත්ව වැඩී සිටිනු පෙනෙන්නට තිබේ. ඒ ඇගේ මව් සෙනෙහස් අරගලයේ සාක්ෂ්‍ය වේ. සියක් දහසක් මිනිසුන්ගේ සිනහාපාසය මැද ඈ ඉපැයූ සාධරණ මුදලෙහි ඉපැයුම වේ. දරු සතර වෙනුවෙන් ඈ ඇගේ ගෞරවයේ, ආඩම්බරයේ, ආත්මාභිමානයේ මිල ගෙවී ය. නමුත් ඒ සතුටිනි. හෘද පුරෝගත් සතුටිනි. මන්ද ඈ එක් සුන්දර අම්මා කෙනෙකු වූ බැවිනි.
ඇක්‍රොමෙගලියේ සංකූලතාවයන්ට ගොදුරුව ඈ 1933 හි දී, සිය සුන්දර දිවි සැරියට සමුදුනි. ඒ වනවිට ඈ පනස්නව හැවිරිදි විය. ඇගේ අවසාන ඉල්ලීම ලෙස ඈ අවසන් කටයුතු ඈ මව් රට වූ එංගලන්තයේදී සිදු කරන්නට දරුවන් වගබලා ගති. ඉන් එහා ඒ දරුවන් පිළිබඳ කාරණා අප්‍රකටය. උන් ඈ මවගේ මහා උත්සහයට, වඩා උපරිම සාධාරණයක් ඉටු කොට සුන්දර ජීවිත හතරක් ගෙවන්නට ඇතැයි සිතන්නට කැමැත්තෙමි. ඒ එසේ ම වන්නට, මේරි නම් වූ ඒ අම්මා ද ප්‍රාර්ථනා කරන්නට ඇත.
මේරි ඈන් බෙවන් කියූ විට ඒ හා බැඳී ගිය ආදරබර සැමියෙකු හමු වේ. ඒ ආදරය සෑම ස්වාමිපුරුෂයෙකුගේ ම සිත හිරිවට්ටන තරමට ම ප්‍රබල ය. අති මහත් ය. ගෞරවනීය ය. බිරිඳකට ඒ මහා ආදරය වාසනාවකි. මේරි, එනයින් ඔබ වාසනාවන්තියක විය.
මේරි ඈන් බෙවන් කියූ විට සිත සවි දිරිය ගැහැණියක හමුවේ. ජීවිතයේ සියලු බලාපොරොත්තු සුන්ව ගිය කල, සිතදිරිය ඉතිරි කරගන්නට පහසුවකින් නොහැක්කේය. ඊට මහා ධෛර්යයක් තිබිය යුතු ය. මේරි, එනයින් ඔබ දිරිය වන්තියක විය.
මේරි ඈන් බෙවන් කියූ විට, මට අම්මා කෙනෙකු හමුවේ. ඒ අම්මා, උන් අවලස්සනය කියූ විට කඳුලක් නොහෙලා සිනහවක් පෑවා ය. නින්දිතම විසිලුවට, ගොරහැඩිම අපහාසයට, හිස නමා ස්තූතියි කියා කීවා ය. ගර්වය උගසට තබා, සොච්චමක් උපයා, සන්දර්ශනය අවසානයේ අම්මා වේදිකාවෙන් බැස ගියා ය. ඒ ඇගේ සාගිනියැති දරුවන් වෙතය. 'අම්මා' කියා උන් අමතන හඬ, අම්මේ, සන්දර්ශනයේ මහා ගෝරනාඩුව පරයා ඔබට ඇසුණා නොවෙද? ඉතිං එතකොට, සකල ලෝකයම, ඔබ පාමුලැති අබැටක් නොවෙ ද අම්මේ? මේරි, එනයින්, ඉතිහාසය කෙසේ ලීවද ඔබ සුන්දරම අම්මා කෙනෙකු විය!
මේරි ඈන් බෙවන් නම් එක් මෑණියක ගේ ආදරණීය කතාව, සියලුම ආදර අම්මාවරුන් ට, උපහාරයක් ම වන්න ට, ඉතිං ලියා තබනෙමි.
අම්මේ, ඔබ තරම් සුන්දර තවෙකෙක් නැත්තේය!!!
Copied
මුල් හිමිකරුට ස්තුතිය 

.A day in the life

2025-09-11

කල්තොට - 1

වළවේ ගග කල්තොට පාලම


පාට පාට බස් එකක , නැගලා යන සිංදුත් එක්ක පාර දිගේ ට්‍රිප් යන අයගෙන් ලංකාවේ සුන්දර තැන් මග හැරෙනවා.
මේවා හොයා ගෙන යන්නත්, නිවාඩු පාඩුව රස විදින්නත් ඕන තැන්.
ඩිංගක් අතීතය හාරා අවුස්සලා බලනවා නම් ලස්සන ලස්සන කතාන්දර මතු වෙන තැන්.
බලන්ගොඩින් කල්තොට පාරට හැරෙන්න.....
ඔයාලට ඉස්සෙල්ලම හමුවෙනවා ගල්ටැම්යාය, “ කූරගල “
ඉන්පස්සේ “දුවිලි ඇල්ල“ , හුණුගල් පොකුණු පහුකරගෙන බෙල්ලන්ගල කන්ද බහින කොට
(මේවා ගැන ආයෙත් ලියන්නම්.)
කල්තොට මුණගැහෙනවා.
පාසල් , පොලිසිය, ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ,මුලික රොහල ......පුංචි නගරයක්.

මෙතනදි පාර දෙකට බෙදෙනවා
කල්තොට වාසීන් දකුණු ඉවුර සහ වම් ඉවුර ලෙසයි මේ මාර්ග හදුන්වන්නේ.
අපි මුලින්ම දකුණු ඉවුර දිගේ යමු.

කල්තොට පුරාන විහාරය පහු කරලා ......

බුදුගල රජ මහා විහාරය ,

වැලිපොතයාය ඇල්ලෙපොල යාය , කුකුල් අඩිය මංකඩ,.......නයිගල , දියවින්න කපුගල දක්වා යන මේ ගමන සශ්‍රීක කෙත් වතු පහුකර ගෙන යන කොළපාට ගමනක්.

දකුණු ඉවුර ඇල දිගේ වළවේගගෙන් එන ජල කන්දරාව මේ කෙත්වතු සරුසාරකරනවා.

කපුගල ජලවිදුලි බලාගාරයෙන් කටුපත්ඔයට එකතුවෙන ජලය කපුගල දියවින්න ඇල්ලපොල යාය දෙසට යොමුවෙනවා.




අපි කපුගලින් මෙපිට දුටු දේ ගැන කතාකරමු.

කල්තොටට 1042 – 1043 දී විකුම් පාණ්ඩි හෙවත් වික්‍රම පාණ්ඩ්‍ය නම් කුමාරයකු ලංකාවට පැමිණ කලතිත්ත (කල්තොට) රජ කළ බව වාර්තාගත වාර්තාවක සඳහන් වෙනව.

ඒත් අපට නිගමනය කරන්න වෙන්නේ ඊටත් එහා ගිය ඉතිහාසයක් කල්තොටට තිබුන බවයි.

කල්තොට ඓතිහාසිකව වඩාත් සම්බන්ධවන්නේ තිස්සමහාරමයට කියලයි මට හිතෙන්නේ.

කාවන්තිස්ස රජ සමයේ පුරාවෘත්ත හා කල්තොට බැදී තියෙනවා.ක්‍රි.පුර්ව 205 -161. රෝහනයේ මාගම රාජ්‍ය සමයේ වළවේ නිම්නයේ සරුසාර කෙත්වතු කල්තොට තිබුන බවට සාධක තියෙනවා.

කල්තොට සිට කපුගල මාර්ගයේ කි. මී. හතර හමාරක් ගමන් කරන විට මාර්ගය වම්පසින් විහිදෙන කඳුගැටයක් ආශ්‍රිතව බුදුගල පධානඝර ආරණ්‍ය භූමිය හමුවෙනවා. පධානඝර කියන්නේ භික්ෂූන් වහන්සේලා භාවනායෝගීව වැඩ වාසය කල ගොඩනැගිලි වලටයි.

එම පුරාවිද්‍යා බිමට යාබදව බුදුගල ලෙන් විහාරයත් පිහිටා තිබෙනවා. මෙහි පාමුලින් ගලා යන්නේ වලවේ ගඟේ ජලයෙන් පිරුණු කල්තොට සිට එන දකුණු ඇළ මාර්ගයයි.

බුදුගල පාමුල සිට කඳු මුදුනට යනතෙක් විවිධ උස් මට්ටම්වල සකස් කළ පියගැට පේළි පිහිටා තිබෙනවා. පාමුල සිට ඉහළට යනතෙක් පැරණි ආරණ්‍යවාසී භික්ෂුන් වහන්සේලා බණ භාවනා කිරීමට යොදාගත් පධානඝර ගොඩනැගිලි දැකගත හැකියි.

රිටිගල, අරන්කැලේ, මානාකන්ද වැනි ආරණ්‍යවලත් මේවා දක්නට ලැබෙනවා. ඒ අනුව බුදුගල ක්‍රි. ව. 5-6 සියවස්වල රාජ්‍ය අනුග්‍රහය ලැබූ පුදබිමක් වශයෙන් පැවති බව සැලකිය හැකියි.

අද මෙහි නටබුන් රාශියක් වනයට යටවී තිබෙන අතර ඉන් ගොඩනැගිලි කීපයක් සංරක්ෂණය කර තිබෙනවා.

වළගම්බා රජු සමයේ බුදුගල රජ මහා විහාරය නැවත පිලිසකර වු බවයි ප්‍රෙද්ශවාසීන්ගේ මතය.

බුදුගලින් අපි දියවින්නට යන අතර පබ්බතාරාම රජමහා විහාරය හමුවනවා.

පබ්බතාරාමය
පබ්බතාරාමය

මෙම විහාරස්ථාන දෙකම කූරගල මහා ආරාමයේ කොටසක් ලෙස විශ්වාස කරනවා. දේවමාළිගාව පිටුපස කඳු දෙසට කෙළින්ම බැලූ විට, කඳුකරයේ අනෙක් පැත්තෙන් ප්‍රවේශ විය හැකි කූරගල පර්වතයේ මුදුනේ ඇති නව ස්තූප ගොඩනැගිල්ල ඔබට දැකගත හැකිය.

පුරාණ කාලයේ භාවනානුයෝගී භික්ෂූන් විසින් පබ්බතාරාමයේ පුරාණ ගුහාවල භාවනානුයෝගීව වැඩ වාසය කර තිබෙනවා.

මෙම ගුහාව විශාල වන අතර කටාරම් සහිතයි.

වර්තමානයේ වැලිපොතයාය 1 කොටස ලෙසයි පබ්බතරාම විහාරය පිහිටි ප්‍රෙද්ශය හදුන්වන්නේ.

වැලිපොතයාය පසුකර දියවින්න දෙසට යනවිට “ නයිගල “ හමුවෙනවා. නයිගල පුරාවස්තු විසිරුන නිරාවරණය නොවු බිම් පෙදෙසක්. කලකදී ඉහත ප්‍රභුවරයෙකු භාවිතා කල සපත්තුවක් නයිගල ගොවි මහතෙකුට හමුවී තිබුනා.

නයිගල පහුකරන අපි දියවින්නට ලගා වෙනවා.


දියවිනි ඇල්ල



දියවින්න ඇල්ල මහාමාර්ගයට ඉතා කදිමට ඈතින් කඩාහැලෙන සොඳුරු දසුන දැකගන්න පුළුවන්. ඇල්ල ආසන්නයට යාමට නම් ගමේ විදුහල අසලින් වැටී ඇති කොන්ක්‍රීට් දැමූ අතුරු මාවතේ දියඇල්ල අසලට කි. මී. දෙක හමාරක පමණ දුරක් තිබෙනවා.

මෙම මාවතේ අවසාන කිලෝමීටරය වැටී ඇත්තේ වනබද වටපිටාවක් මැදින්.

දියඇල්ල පාමුල පිහිටා තිබෙන්නේ දේවගිරි ලෙන් විහාරයයි. එහි ලෙන්වල සෙල්ලිපි කිහිපයක් ද තිබෙනවා. විහාරය අසල සිට අඩිපාරක කඳුබෑවුම තරණය කර ඇල්ල අසලට යාහැකියි.

බලංගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ සිට එන ගලා බසින දොළ පහරවල් එකතුවී දෙහිපිටිය, බෝවත්ත, මොලමුරේ ආදී ගම්මානවල ජලයෙන්ද පෝෂණය ලබන දියවිනි ඔය දියවිනි කන්දෙන් පහළට කඩා හැලෙනවා. ඇල්ලේ උස අඩි 200ක්.

තනි ඉන්නක් සේ පහළට වැටෙන නිසා එයට “ දිය ඉන්න“ යන නම ලැබී පසුව දියවින්න වූ බවයි පැවසෙන්නේ.

පසුව කටුපත් ඔයට වැටෙන මෙම ජල දහරාව ඇල්ලෙපොල යාය දක්වා ගොවි බිම් සරුසාර කරමින් වලවේ ගඟට එක්වෙනවා

දියවින්න දේවගිරි විහාරය අසලින් කැලේ මැදින් අඩි පාරක කිලෝමීටර දෙකක් ගමන් කරනවිට මහා පර්වත අතරින් දියඇලි මවමින් ගලා බස්නා දොළ පාරක් අද්දර සොඳුරු වටපිටාවක ගල් ලෙන හමුවෙනවා.

කලක් ආරන්‍යවාසී භික්ෂුන් වහන්සේලා මෙම ගල්ලෙනෙහි භාවානුයෝගීව වැඩවාසය කර තිබෙනවා.

අපි ආපහු කල්තොට දෙසට ආවොත් වළවේ ගගෙන් නාලා වම් ඉවුරඇල දිගේ වැටි ඇති පාර දිගේ මැදබැද්දට ,නෙළුයාය ,වේලිඔයට ත් වේලිඔය පාලමෙන් එගොඩ වුනාම මොනරාගල දිස්ත්‍රික්කයේ මායිමටත් යා හැකියි.

අළුත්වැව , හම්බෙගමුව හමුවන්නේත් වේලිඔය පාලමෙන් එගොඩදී.
තව දවසක දියවින්නේ සිට කපුගල බෙලිමාලියද්ද , පොල්මුරේ පහු කරගෙන වැලිගෙපොලට එමු.


A day in the life


2025-09-10

හුචක්කුව .


මොට්ටුන්නේ නායක හාමුදුරුවන්ගේ "හුචක්කුව"
The “huchakku” (blasted junk)
දැනට ශ්‍රී ලංකාවේ පවත්වා ඇති විශාලතම රාජ්‍යනායක සමුළුව 1974 දී පවත්වන ලද නොබැඳි ජාතීන්ගේ සමුළුව හෙවත් Non-Alliance Movement (NAM) යි. 1961 දී ඇරඹූ සාමාජික රටවල් 120 සහ නිරීක්ෂක රටවල් 17කි න් යුක්ත එම සංවිධානයේ 5වෙනි සමුළුව පවත්වන ලද්දේ එහි ආරම්භක සාමාජික රටක් වූ ශ්‍රී ලංකාවේදී ය. ඒ 1976 අගෝස්තු 16-19 දිනවල ය.
The largest international state conference ever held in Sri Lanka remains the 1976 Non-Aligned Movement (NAM) Summit. The NAM, founded in 1961, then consisted of 120 member states and 17 observer nations. Its 5th Summit was held in Sri Lanka from August 16–19, 1976, as Sri Lanka was one of its founding members.
එම සමුළුවේ ප්‍රධාන ආධ්‍යාත්මික උපදේශක වූයේ මාගේ එක් ගුරුදේවයන්වහන්සේ නමක් වූ, ආසියානු බෞද්ධ සාම සම්මේලනයේ (Asian Buddhist Conference for Peace - ABCP) ගරු සභාපති වූ, අස්ගිරි පාර්ශ්වයේ සියනෑ හාපිටිගම් දෙකෝරලයේ ප්‍රධාන සංඝනායක විනයාචාර්ය මොට්ටුන්නේ ශ්‍රී සෝමානන්ද නායක ස්වාමීන්ද්‍රයන්වහන්සේ ය. මේ කියන කතාව එළියට ආවේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය, අනුර බණ්ඩාරනායක මහත්මා සහ උන්වහන්සේ අතර ඇතිවූ සංවාදයක දී ය. මා සිටියේ උන්වහන්සේ සමඟ ය. ඒ කොළඹ රෝස්මීඩ් පෙදෙසෙහි නිවසේදී ය.
The chief spiritual advisor of that summit was one of my own revered teachers, Most Venerable Mottunne Sri Somananda Nayaka Thero, who was the Chairman of the Asian Buddhist Conference for Peace (ABCP) and the Chief Sanghanayaka (Head of the Sangha) of Siyane–Hapitigam Dekorale of the Asgiriya Chapter.
This story came to light during a conversation between Prime Minister Sirimavo Bandaranaike, Mr. Anura Bandaranaike, and the Nayaka Thero. I was present with him at the time, at Mrs. Bandaranaike’ private residence in Rosmead Place, Colombo.
කවදත් මොට්ටුන්නේ සඟ පරපුරේ පංසල් විශේෂයෙන්ම උදම්මිට ශ්‍රී සුමනාරාමය සහ මොට්ටුන්නේ කිරීටාරාමය ආණ්ඩුවෙන් වරදාන වරප්‍රසාද සතයකුදු නොගත් අතර සමුළුවට නායක හාමුදුරුවෝ සහභාගි වූයේ පංසලේ තිබුණු බකල් ගහන රෝද තිබුණු ඉදිරිපසින් ජැක් ගසා ස්ටාට් කරන පරණ කාරයකිනි. එය හිල්මන් විය යුතුය (එහි සන්නාමය මට මතක නැත).
The Mottunne monastic lineage—especially Udammita Sri Sumanarama and Mottunne Kiritarama temples—had never accepted even the slightest material benefit or favor from the government. The Nayaka Thero attended the summit in his old car, the kind you had to start by cranking it in front with a handle. It was probably a Hillman (though I don’t quite remember the exact brand).
නායක හාමුදුරුවන්ගේ කාරය ගාල් කර තිබුණේ ද රාජ්‍ය නායකයන්ගේ වාහන ගාල් කර තිබූ තැනය. සමුළුව අවසන් වී රාජ්‍ය නායකයන් වාහනවලට නැගීමට එද්දී නායක හාමුදුරුවන්ගේ කාරය ස්ටාට් කරගැනීමට නොහැකිවීම නිසා වී.අයි.පී. රථ භාරව හිටි නියෝජ්‍ය පොලිස්පතිවරයාට යකා නැග්ගේය. ඒ වනවිට නායක හාමුදුරුවෝ බණ්ඩාරනායක මැතිණිය සහ යුගෝස්ලාවියානු ජනාධිපති මාෂල් ටිටෝ සමඟ සමුළු ගොඩනැගිල්ලේ සිට වාහන ගාල්කර ඇති තැනට ඇවිදගෙන එමින් සිටියහ.
This car of the Nayaka Thero was parked in the same area where the state leaders’ vehicles were stationed. When the summit concluded and the state leaders came out to get into their vehicles, the Nayaka Thero’s car failed to start. The Deputy Inspector General (DIG) in charge of VIP transport began swearing in frustration.
යකා නැග සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා අසරණව ‘කාගෙද මේ හුචක්කුව' යනුවෙන් කෑ ගැසූ අතර ඉක්මනින් ටිටෝ මහතාට සමුදුන් මැතිණිය පය ඉක්මන් කර වාහනය දෙසට පැමිණ 'ඔය මේ අපේ නායක හාමුදුරුවන්ගේ කාරෙක, ස්ටාට් වෙන්නේ නැත්නම් තල්ලු කරලා හරි උස්සගෙන ගිහින් හරි උදව් කරන්න.' සන්සුන් වූ නිළධාරියා 'හොඳයි මැඩම්' කියා කණිෂ්ඨ පොලිස් නිළධාරීන් ලවා වාහනය තල්ලු කර ඉවත් කර දුන්නේය.
Just then, Nayaka Thero, who was walking towards the vehicle area along with Prime Minister Sirimavo Bandaranaike and Yugoslav President Marshal Tito, approached the car. The helpless DIG, exasperated, shouted, “Whose blasted junk (‘huchakku’) is this?”
Quickly, Madam Bandaranaike, who had just bid farewell to President Tito, stepped toward the car and said:
“This is our Nayaka Thero’s car. If it won’t start, push it or lift it if you must—just help him!”
The startled officer replied, “Yes, Madam,” and immediately ordered junior police officers to push-start the car and move it out of the way.
'කෝ පොඩි හාමුදුරුවෝ නායක හාමුදුරුවන්ට මම සමුළු කාර් එකක් පරිත්‍යාග කළා ගන්න බෑ කිව්වනේ පොදු දේපළ කියලා,' ඒ මැතිණියගේ හඬයි.
“Little Reverend, I asked your guru to accept the car I offered for the summit? He rejected the offer saying it was ‘public property,’” Madam Bandaranaike said with a playful tone.
'අපේ හුචක්කුව අපට හොඳයි;' නායක හාමුදුරුවෝ සිනාසෙමින් එසේ කී විට මැතිණියට සහ අනුරට හිනාව නතරකර ගන්නට නොහැකි විය. 'අම්මා කලකින් ඔච්චර හිනාවුනේ,' ඒ අනුරගේ වචනයි.
Our ‘huchakku’ is good enough for us,” the Nayaka Thero replied with a smile. Madam Bandaranaike and Anura both burst into laughter, unable to stop. “Amma (Mother) hasn’t laughed this much in a long time,” Anura said.
ඊට පෙර අවස්ථාවකදී නායක හාමුදුරුවන් අසනීප වූ විට මැතිණියගේ කාර්‍යාලය විසින් රුපියල් 200 ක් වියදම් කළ අතර කාර්‍යාලය එපා කියද්දීම නායක හාමුදුරුවෝ එම මුදල ආපසු පියවූයේ එය අකැප නිසාය. (එකල රුපියල් 200 විශාල මුදලකි). එය මැතිණිය විසින් තම පෞද්ගලික මුදලින් දුන්බව පසුව මැතිණිය විසින්ම ස්ථිර කළ ද නායක හාමුදුරුවෝ එම මුදල ආපසු ගැනීම තරයේම ප්‍රතික්ෂේප කළහ. එම සිද්ධිය රෝස්මීඩ් සංවාදයේදී මතුවින. 'පොඩි හාමුදුරුවෝ තමුන්නාන්සේගේ ගුරු හාමුදුරුවෝ හරිම ආඩම්බරයි, රෝස්මීස් ඇවිල්ලම සල්ලි ආපහු දීලා ගියා,' මැතිණිය කිව්වේ සිනාසෙමින් වැඳගෙනය.
On another occasion, when the Nayaka Thero once fell ill, Madam Bandaranaike’s office spent Rs. 200 for his treatment. As soon as he learned of it, the Nayaka Thero immediately reimbursed the amount because he believed it was improper to use state funds (at the time, Rs. 200 was a considerable sum). Even when Madam Bandaranaike later clarified that it was from her personal funds, he firmly refused to take it back.
This incident also resurfaced during the Rosmead Place conversation. Laughing, Madam Bandaranaike said jokingly, “Little Reverend, your teacher is so proud—he even came to Rosmead Place just to return the money.”
හුචක්කු කතාව මගේ ජීවිතයේ සරලබව සඳහා බොහෝ බලපෑවේය.
This “huchakku” story profoundly influenced my own love for simplicity.
(කැළණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ ශාස්ත්‍රපති උපාධි විභාගයට මා උත්තර ලිව්වේ පාකර් තීන්ත පෑනකිනි. ඒ මා මහණ වී මුල්ම දානය මට පිරිනැමූ මැතිණිය මට පූජා කළ පෑනකි. ඒ යුගෝස්ලාවියානු ජනාධිපති ටිටෝ මහතා මැතිණියට දුන් සමරුවකි.)
(For my Master’s degree exam in Pali and Buddhist Studies at the Postgraduate Institute of the University of Kelaniya, I wrote my answers with a Parker ink pen. That pen was offered to me by Madam Bandaranaike herself as my very first alms gift after my ordination. It was a souvenir given to her by President Tito of Yugoslavia.)
රටක ජාතික ඉතිහාසය මෙන්ම කෙනෙකුගේ පෞද්ගලික ජීවන ඉතිහාසය සුන්දරය. ඉතිහාසය ජීවනාලියෙහි කොටසකි. ඒ නිසාය මෙය ලිව්වේ.
The history of a nation, like the personal history of an individual, is beautiful. History is part of the living stream of life. That is why I have written this.
-දේදුනුපිටියේ උපනන්ද
A day in the life

2025-09-09

සියැටල්





"නිල් අහසත් පොළොවේ උණුසුමත් විකිණීම හෝ මිලදී ගැනීම සඳහා වූ ඔබගේ අදහස අපට නුහුරු වන්නේය. සුළෙඟ් නැවුම් බව හෝ ජලයේ කාන්තිය අපට අයිති නොවේ නම් ඒවා මිල කිරීමට හෝ මිලදී ගැනීමට ඔබට හෝ අපට හැකියාවක් නැත.

මේ මිහිතලයේ සෑම බිම් අඟලක් ම මගේ පරපුරට ශුද්ධ වූ වස්තුවකි. දිලිසෙන දේවදාර ගසක හැම කිනිත්තක්ම, වැලිතලාවලින් පිරී ගිය සෑම වෙරළක්ම, අඳුරු වනාන්තරවල තිබෙන සෑම මිහිදුම් වලාවක්ම, සිහින් හඬින් ගී ගයන සෑම කුඩා ප්රාණියෙක්ම මගේ මිනිසුන්ගේ මතකයේ හා අත්දැකීම් සමුදායේ පූජනීය වස්තූහු වන්නෝය. 
ගස් අතරින් විහිදී යන සෑම අඩිපාරක්ම මිනිසා පිළිබඳ ස්මරණය රැගෙන යන්නේය. සුදු මිනිසුන් වූ ඔබගේ මළගිය ඇත්තෝ මරණයෙන් පසු තම මව්බිම අමතක කොට දෙව්ලොව සැරිසරති. 
මහ පොළොව රතු මිනිසාගේ මෑණියන් වන බැවින් අපගේ මළගිය ඇත්තෝ මේ සුන්දර මිහිතලය අමතක නොකොට මෙහිම රැඳෙන්නෝය. අපි මිහිතලයේ කොටසක් වන්නෙමු. මිහිතලයද අපගේම කොටසක් වන්නේය. සුගන්ධවත් පුෂ්පයෝ අපගේ සොහොයුරියෝය. පිනිමුවා, අශ්වයා, මහරාජාලියා, මේ සියල්ලෝම අපගේ සහෝදරයෝ වෙති. ගිරිශිඛරද, තණ බිම්වල තෙතමනයද, පෝනියාගේත් මිනිසාගේත් සිරුරේ උණුසුමද යන මේ සියල්ලම එකම පවුලකට අයත් වන්නේය.

ගංගාවෝ අපගේ සොහොයුරෝ වෙති. ඔවුහු අපගේ පිපාසය සංසිඳවති. අපේ ඔරුද පාරුද ගෙන යති. අපගේ දරුවන් පෝෂණය කරති. අපි මේ භූමිය ඔබට විකුණුවහොත් මේ ගංගාවන් අපගේත් ඔබගේත් සහෝදරයන් බව අමතක නොකරනු මැනවි. ඔබේ දරුවන්ටද එය කියාදෙනු මැනවි. එතැන් සිට වෙනත් ඕනෑම සහෝදරයකුට දක්වන කරුණාව ගංගාවලටද දක්වනු මැනවි.

ගිරි ශිඛරය වසා සිටින හිමිදිරි මිහිදුම, උදාවන හිරු ඉදිරියේ පලා යන්නාසේ සුදු මිනිසාගේ ආක්රමණය ඉදිරියේ රතු මිනිසා හැමවිටම පලා ගොස් ඇත. එහෙත් අපගේ පියවරුන්ගේ භස්මාවශේෂ අපට පූජනීය වන්නේය. ඔවුන්ගේ සොහොන්බිම් අපට පූජනීය බිම් වන්නේය. එහෙයින් මේ කඳු මේ තුරුලතා සහ මේ බිම අපටම කැපවූ භූමියකි. 
සුදු මිනිසුන් වන ඔබ අපගේ සිරිත් විරිත් නොදන්නා බව අපි දනිමු. ඔබට එක් බිම් කඩක් තවත් බිම් කඩකට වඩා වෙනස් නොවේ.."

- රතු ඉන්දියානු නායක සියැටල්

****
A day in the life

2025-09-08

ගලගම පත්තිනි දේවාලය සහ පත්තිනි අන්දරය.



කුඹල්මුල්ල බොල්තුඹ      දේවාලේ
අලුත්නුවර ගලගම      දේවාලේ
කිරිඳිගල ද මොරහැල      දේවාලේ
සිද්ධ පත්තිනි අණ ඇත හැමවේලේ

මේ බලන්ගොඩ ඇති පත්තිනි දේවාල  හයක් පිලිබදව ජනකවියෙකු කල ප්‍රබන්ධයකි.
ගලගම පත්තිනි දේවාලය පිහිටා ඇත්තේ ඉඹුල්පේ ප්‍රාලේ කොඨටාශයේ යක්දෙහිවෙල ග්‍රානි වසමේය.
දේවාලයත් දේවාල බිමත් අවට පුරානයේ පදිංචිව සිට ඇත්තේ යක් - දෙස්සන් විය යුතුය.ඔවුන් පදිංචිව සිටි බිම අවට ඇති වෙල්යාය යක්දෙහිවෙල ලෙස නම් වෙන්න ඇත. මේ වෙල්යාය අදත් සරු සාර වෙල්යායක් ලෙසින් අපට දකින්ට හැකිය.
දේවාලයේ ආවතේව කල කපුරාලලාගෙන් පැවත එන පරපුර අදත් දේවාලය අවට පදිංචිකරුවෝය.
ඔවුන් “ ගලගම කපුරාලලාගේ “ පෙලපත් නාමය භාවිතා කරන පිරිස්ය.
එහෙත් අද මෙම පරපුරේ අය දේවාල භාරකාරීත්වයෙන් ඈත්ව වෙනත් පිරිසකට භාරකාරිත්වය පැවරී ඇත.
මෙම වෙනස්කම් මීට අවුරුදු අසූවකට අනූවකට පෙර සිදුව ඇති බව වහරෙ පවතින්නක් වන අතර එය දේපල පිලිබද ගැටලුවක් ලෙසද කතා බහට එක්ව ඇත.
දේවාලය ඓතිහාසික පසුබිම පෘතුගීසි සමය දක්වා දිවයන්නකි.
ඈපා වරුන් මාපාවරුන් රාජ්‍යපාලනයට සම්බන්ධව සිටි එම යුගයේ එකල ගම්ප්‍රධානියෙකුගේ මුලිකත්වයෙන් මේ දේවාලය ඉදිවුවායැයි ජනප්‍රවාදයේ සදහන්ය.
කෙසේ නමුත් අවුරුදු දහසක පමණ අතීත හිමිකමක් තිබුනද භෞතික වශයෙන් දේවාල පරිශ්‍රයක් ලෙස දියුණුවට පත්ව නැත.
මෙයට හේතුව වන්නට ඇත්තේ දේවාලය සතු සම්පත් පෞද්ගලික පරිහරණයට පත්වීමයැයි උපකල්පනය කරන්නට සිදුව ඇත.

ගලගම පත්තිනි දේවාලය

දේවාලය පත්තිනිය උදෙසාය.
කවුද ? මේ පත්තිනිය .

අතීතයේ  ඉන්දියාවේ විසූ “කන්නගිය“  නම් කාන්තාව විවාහ වූයේ ධනවත් එමෙන්ම ස්ත්‍රී ලොලියෙක්වු  සෙල්ලක්කාර පාලග කුමරුන් සමඟය. 

මේ පැවතුම් නිසාම  දුප්පතෙක් බවට පත්වු  තම සැමියාගෙන් වෙන්වෙන්නට කන්නගියට සිතුණේ නැත. 

මුදල් නැතිව කල්පනා කරමින් සිටින සැමියාට, ඈ ඇගේ පයේ රැඳුණු රන් පා සලඹ ගලවා දී එය විකුනා මුදල් ගන්නා ලෙස කීවාය. 

වටිනා පා සළඹක් අතැතිව එය විකුණන්නට යන පලග කුමරු හොරෙක් යැයි සිතා පඩි රටේ රාජ පුරුෂයන් අත්අඩංගුවට ගන්නේ පාලග කුමරු අත තිබූ රන් සලඹ රජ බිසවකගේ යැයි සිතාය. මේ අනුව පඩි රජු පාලග කුමරු මරන්න නියම කළේය. 

මෙය දැනගත් කන්නගී තම සැමියා සොයා පඬි දේශයට ගියාය. 

පඬි දේශයට යාමට ගගකින් එතර විය යුතුය.

ගගෙන් එගොඩ කිරීමට තොටියා ප්‍රතික්ෂේප කළාය.  ඇය තම මුද්ද ගගට වීසි කොට තමන්ට ගගෙන් එතර වීමට මගක් තනන ලෙසින් අධිෂ්ඨාන කළාය, 

ගග දෙබෑවීය. 

ඒ හරහා ඇය පඬි රටට ගියාය. ඒ වනවිට පාලග කුමරුහට මරණ දඩුවම ක්‍රියාත්මක කර ඇති බව ඇයට දැනගන්නට ලැබිණී. 

වේදනාවට පත් කන්නගිය  තම වම් පියයුරුව කඩා දමා පඬි රජුට සාප කළාය. 

මුළු පඬි පුරයම ගිනිගෙන දැවිණි. කුඩා ළමුන්, ගැබිනි මවුවරුන් හා සතුන් පමණක් නොදැවී ශේෂ විය. ආපසු එන ගමනේදී තම මෙගොඩ නොකළ තොටියාටද ඈ ශාප කළාය. ඒ ඔහුගේ පරම්පරාවම ලෙඩ දුක් 64 කින් වෙලා ගන්නා ලෙසය. (පැපොල, සරම්ප දද කුෂඨ වැනි දෙයියන්ගේ ලෙඩ) ඒ කන්නගීගේ අධිෂ්ඨානයේ බලයෙන් තොටියාගේ පරපුරද දඩුවම් වින්දාය.. 

පසු කාලයේදී කන්නගී දක්ෂිණ භාරතයේ දෙවඟනක් බවට පත්වූවාය.

ඉපදුණු දවසේ ඉඳන් දරුවා පෝෂණය කරන්න අම්මා කෙනෙක්ට කිරි එරෙන්නේ කෙසේදැයි පහදන්නට විද්‍යාවට බැරිය. ඒ ආකාරයෙන් මේ ලෝකයේ භෞතිකව ඔප්පු කරන්න බැරි බොහෝ දේ නැතැයි කිව නොහැකිය. 

තම දරුවාට සුදුසු සහකාරියක හෝ සහකරුවකු මුණ ගැසේවායි පතන්න මවුපියවරුන් පත්තිණි දෙවියන් වැඩ සිටින දේවාල වලට යති. තමන්ටත් අම්මා කෙනෙක් වීමේ වරම් දෙන්නැයි පත්තිනි දෙවියන්ට බාර වෙති. දරුවන් කුස දරාගත් මව්වරුන් පත්තිනි දේවාලවලට පැමිණෙන්නේ දහස් ගණනිනි. දරුවන් ඇකයේ හොවාගත් අම්මලා දරුවා අපල උපද්‍රව වලින් ආරක්ෂා කර දෙන ඉල්ලා යාතිකා කරති. දරුවෝ ලෙඩ ඇඳේ දුක් විඳිද්දී එදෙස බලා සිටිය නොහී පත්තිනි දෙවියන් හමුවට පැමිණෙන මව්වරු පියවරු බොහෝය. ගිලන් වී රෝහල් යහන මත වැතිර සිටින තම දරුවාට නිරෝගී සුවය පතා වැඳ වැටෙන මවුපියවරුන් අනන්තය. විවාහයට කලින් පත්තිණි මෑණියන් ඉදිරිපිටට පැමිණ භාරහාර වන අයද විභාග සමත්වීමට පිහිට ඉල්ලන අයද සිටිති.

බෞද්ධ සාහිත්‍යයේ කියැවෙන අයුරින් පත්තිනි දේවිය බුද්ධාංකුර මාතාවකි. ඇය මතු බුදු බව උදෙසා පාරමී පුරන්නීය. පිනි බිඳුවෙන්, නුග පතින්, ගිනි කන්දෙන්, දෙමට මලෙන්, රන් අඹයෙන්, කදුරු පොත්තෙන්, දිය බුබුළෙන්, හෙණ සැරයෙන්, සිඟා රැල්ලෙන් පත්තිනි දෙවඟන අවතාර මවන බව කියැවෙයි. පත්තිනි මෑණියන් අඹෙන් උපන්නා යැයි සැලකෙන නිසා ඇයට තබන පූජා වට්ටියේ පලතුරු අතර අඹ ගෙඩි මඟ හැරෙන්නේ නැත. එසේම ගිනිගත් පඬි රාජ්‍යයේ බෙලි උයන් ද ඇගේ ශාපයට අසුවූ හෙයින් පත්තිනි පූජාවකට බෙලි පළතුර එකතු කරනු නොලැබේ. ඇය පුදන්නේ කහමල් වලිනි.


කන්නගිය යන්න සාමාන්‍යයෙන් ව්‍යවහාර වන්නකි.දේවනායගී, කනක බිසෝ, ශ්‍රි මහා පත්තිනි, සිරිමා පත්තිනි, වීර පත්තිනි, අම්මා දේවිය, පත්තිනි දේවි, කිරි අම්මා, මා පත්තිනි, හළඹ කුමාරි කිරි අම්මා, හඳුන් කුමාරි කිරි අම්මා යන විවිධ නම් වලින් පත්තිනි දේවිය හඳුන්වයි.



A day in the life