ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ඒවාට ස්වාධීන පැවත්මක් නොමැත. සිතිවිලි සහ ආවේග වලට තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . ඒවායින් මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

සුබ අළුත් අවුරුද්දක් වේවා !.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2024-09-30

වෙනසක් කරන්න පුළුවන් නේද?



හිරිපොද වැස්සක් එක්ක ගහකොළ තෙමෙන
සුන්දර දවසක අළුත් බලාපොරොත්තු දවසින්
දවස ටික ටික මල් පල ගැන්වෙන වෙලාවක්.
ඒ සතුට තව ටිකක් අර්ථවත් කරගන්න ඔබටත්
දායක වෙන්න පුළුවන් .
තමන්ගෙ ප්රොෆයිල් එකට ගියාම ඒකෙ තවමත්
එක එක අයට රිදවන විදිහෙ පෝස්ට්ස් වැඩිපුරම
තියෙනවනම් ඔබටත් වෙනසක් අවශ්යයි. පරණ
විදිහට තමන් ට විරුද්ධ දේශපාලන අදහස් තියෙන
අයට අවලාද නගන .ඔවුන් හාස්යයට හා උපහාසයට
ලක් කරවන නිර්මාණ දැන් අවසන් කළොත්
හොඳ නැද්ද? ඒ වෙනුවට තමන් ගේ ප්රදේශයේ
අඩපාඩු ;අළුත් නිර්මාණශීලී නිෂ්පාදන ; සුන්දර ගීතයක්
රට ගොඩ නැංවිය හැකි ව්යවසායක අදහස් ;වෙනත්
දියුණු රටවල ආදර්ශ ; අපේම දුර්වලතා ගැන හාස්යය
දනවන අහිංසක විහිළුවක් ..ඔබේ පිටුවේ පල කළ
හැකි නම් මොනතරම් වටිනවාද ?
ස්වභාව ධර්මය විසින් අනිවාර්යයෙන්ම දඬුවම හිමි
විය යුත්තාට දඬුවම් දෙනවාමයි. එය මෙසේ කළ යුතු යැයි
අප කෑ ගසා පෝස්ට්ස් දැමිය යුතුද ? එවිට ඔබත් .....
වරදකරුවන් ලෙස සමාජය හංවඩු ගසා ඇති ඔවුනුත්
එකම මල්ලේ නො වේද ?
වෙනස් විය යුත්තේ සිස්ටම් එක නම් ....සිස්ටම් එක
සකස්වන්නේ ඔබේත් මගේත් සිතුවිළි හා චර්යාවන්
අනුවය. නායකත්වය විසින් එය ඔප්පුකොට හමාරය.
අඩු වශයෙන් මුහුණු පොත ; රට ගොඩනැගීමට ශක්තිමත්
පවුරක් කරගැනීමට නම් ; සෑම දෙනාම එකතු කර ගැනීමට
ඔබේ පන්හිඳ මෙහෙයවිය යුතුයි නේද? සංයමයෙන් හා
ඉවසීමෙන් ඔබේ වචන යොදාගෙන මුහුණු පොත සරසන්න.
ඔබේ කාරුණික මග පෙන්වීම් නිසා තමන් ගේ
දේශපාලන චින්තනය යළි සකසා ගැනීමට එක් අයෙකුට
හෝ සිතුණොත් ....වෙනස එයම නොවේද?
අළුත් රටක් නිර්මාණය විය යුත්තේ හැම දෙනා ම
එකම අච්චුවට දැමීමෙන් නොව ...විවිධත්වයට ගරුකරමින්
සමානාත්මතාවය අගයමින් ...ලස්සණ රටකට
විවිධ හැඩයේ විවිධ ප්රමාණයේ ..විවිධ පාටින් යුත්
සියළුම දෑත් එකතු කර ගැනීමෙනි.
හැමදාම share වෙන එකම පෝස්ට් එක තමනුත්
Share කර තවෙකෙකුට රිදවනවා වෙනුවට ...අපේ
නිර්මාණාත්මක බව වැඩිකර ගණිමින් ...අනිකා ද
නායකයාගේ කකුලෙන් අදින්නකු නොව ..රට ගොඩ
දමන්නට අවංකවම වෙනස් වන කෙනෙකු කරන්නට
ඔබට අවශ්ය නම් ; ඔබ වෙනස් විය යුතුමයි.
එයට මානව දයාව දෙකෙන් පංගුවක් එකතුකර
ඔබේ වටිනාකම ඔබ ඉදිරිපත්කරන නිර්මාණය තුළින්
පෙන්වන්න .
වෙනසක් කරමු.
ඔබට ඒ සඳහා ශක්තිය මෙන්ම බලවත් අවශ්යතාවයක් ද
ඇති බව දනිමි.
“කළල් මඩෙන් මතුවී පිපෙන පියුමක් ”වෙන්න .
ඔබ මෙන්ම පරිසරය ද සුවඳවත් වනු ඇත.

 

රෝ.සි.
2024 .09.29.


A day in the life

2024-09-29

බණ්ඩාරලාගේ වගතුග




නිමේෂ තිවංකර සෙනෙවිපාල විසින් රචිත පර්‍යේෂන වාර්තා ඇසුරින්..
උඩරට පළාත්වල බණ්ඩාර ලා බෙහෙවින් සුලබ ය. බණ්ඩාර යන්න නොයෙක් වගවාසගම් සමඟින් යෙදෙන අතර, එම නාමයේ ආරම්භයක් හෝ විකාශනයක් ගැන ස්ථිර මතයක් තවමත් ගොඩනැගී නැත. කෙසේ වෙතත්, බණ්ඩාර යන නමින් ම යමෙක් උඩරට වැසියෙකු යැයි ගම්‍ය වේ. මේ බණ්ඩාරලා ගැන විද්වතුන් අදහස් පළ කර ඇතත් ඒවා එතරම් තාර්කික ප්‍රවේශයන් ලෙස සැලකිය නොහැක. උදාහරණයක් ලෙස ආචාර්ය පරණවිතානගේ මතය වනුයේ පැරණි අභිලේඛනයන් හි එන, 'බඩගරික' යන්නෙන් 'බණ්ඩාර' යන්න සම්භවය වී ඇති බවත්, ඇතැම් විට මැලේසියානු 'භණ්ඩාර්' යන නාමයෙන් තත්සම වන්නට ඇති බවත් ය. මේ මතයට දෙස් දෙමින්, මහනුවර යුගයේ 'බණ්ඩාරගම්' යනුවෙන් මහා භාණ්ඩාගාරයට ආදායම්/සම්පත් රැස් කළ ගම්බිම් පැවති බවත් දක්වනු ලැබේ. එම ගම්මාන 'ගබඩාගම්' යනුවෙන් ද ව්‍යවහාර වේ.
'බණ්ඩාර' යන්න ද්‍රවිඩ 'පණ්ඩාරම්' යන්නෙන් සකස් වූවා වන්නට ද පිළිවන. හින්දු පණ්ඩාරම්ලාගේ කාර්යය වූයේ කෝවිල්වලට මල් අඩුක්කු කිරීම ය. අරාබියාවේ ද 'පන්දාර්' යනුවෙන් රාජවංශයක් පැවතුණි.
මේ හැරුණු විට 'බණ්ඩාර' යන්න ගොවිකුල ඇත්තන් අතර බෙහෙවින් සුලබ බව පෙනෙන්නට තිබේ. ඇත්ත වශයෙන් ම, 'බණ්ඩාර ඇත්තන්' යනුවෙන් ආමන්ත්‍රණය කරන ලද්දේ ගොවිගමයන් ය. බණ්ඩාරලා වනාහි කෙත්වතු හිමිව සිටි නිදහස් ගොවීන් ය. මේ නයින් බලන කල, 'රදල' යනුවෙන් පිම්බී ගියත්, 'බණ්ඩාර' නමක් යෙදේ නම් තෙමේ නිසැකයෙන් ම 'ගොවිගම' වන බව පෙනේ.
උඩරට පළාත්වල, විශේෂයෙන් ම පැරණි ලේඛණ පිරික්සන විට 'බණ්ඩාරවලිය' යනුවෙන් පාරිභාෂික වදනක් හමුවේ.
'වලිය' යනු 'ව<ලිය' නොව, 'ව>ලිය' විය යුතු ය. ඉන් ගම්‍ය වන අර්ථය නම්, 'සමූහය' යන්න ය. නැත්නම් 'සෙට් එක' යන්න ය. සරළව ම කිවහොත් 'බණ්ඩාරලා සෙට් එක' ය.
උඩරට බණ්ඩාරවලිය වනාහි එක ම අවුල් ජාලාවකි. ඒ පිළිබඳව හදාරන විට අගමුල් සොයාගැනීමට නොලැබේ. විටෙක, බණ්ඩාර හත්කට්ටුව ලෙස ද, බණ්ඩාර දොළොස් කට්ටුව ලෙස ද, බණ්ඩාර හැටහත් කට්ටුව ලෙසද, බණ්ඩාරවලිය ලෙස ද මේ ගැන කියවේ.
මේ වර්ගීකරණ අතරින් 'කට්ටු' යනුවෙන් හැඳින්වෙන තුන ම කංකාරි මඩුවේ ත්, යාතිකාවලත් ඇසේ. අනෙක වන, බණ්ඩාරවලිය පැරණි කඩයිම්වලත්, විත්තිපොත්වලත්, ලේකම්මිටිවලත් යෙදේ. සිඳුරුවානාබද උඩුනුවර බණ්ඩාරවලිය, මාතලේ මහදිසාවේ බණ්ඩාරවලිය යනාදි වශයෙන් ප්‍රාදේශීය බණ්ඩාරවලි රැසක් මට හමු වී තිබේ. යට කී 'කට්ටු' සහ 'වලි' ගැන කරන ලද විමැසුමේ දී පෙනී යන්නේ, 'කට්ටු' යනුවෙන් ව්‍යවහාර වන්නේ 'මල පසු දෙව් බවට පැමිණැවූ' පුද්ගල පිරිසක් වන බවත්, 'වලි' යනු ජීවමාන පෙළපත් වන බවත් ය. නුවර යුගයේ දී, උඩුනුවර හා යටිනුවර දෙපලාතට එවැනි බණ්ඩාර පවුල් දහඅටක් ප්‍රබල ව සිටියෝ ය. ඔවුන් පහත සඳහන් බණ්ඩාරලාගෙන් ආරම්භ වූවන් යැයි කියනු ලැබේ.
1. උරුලෑවත්තේ විජයසුන්දර බිසෝබණ්ඩාර
2. ගංගොඩ යාපා බණ්ඩාර
3. රඹුංගොඩ කුමාර බණ්ඩාර
4. දන්තුරේ තුනයාර බණ්ඩාර
5. පීලිගම කඳුරේ බණ්ඩාර
6. සිද්දවුලේ සෙනෙරත් බණ්ඩාර
7. උනම්බුවේ යාපා බණ්ඩාර
8. අලපලාවෙල අබේසිං බණ්ඩාර
9. අළුදෙණියේ මායිං බණ්ඩාර
10. යාලේගොඩ මහ බණ්ඩාර
11. පිලීගල්ල කුමාර බණ්ඩාර
12. සිඳගල නීලවතී බණ්ඩාර
13. පායිංගමුව ඉරුගල් බණ්ඩාර
14. කිරිබත්කුඹුර පණික්කි බණ්ඩාර
15. වෙලම්බොඩ විජයරාජ බණ්ඩාර
16. ඕකේවෙල සූරියදාස් බණ්ඩාර බ්‍රාහ්මණ රාළ
17. ඇරැව්වාවල කුමාර පනික්කි බණ්ඩාර
18. මාත්ගමුවේ සෙණෙකඳ බිසෝ බණ්ඩාර
මේ ලේඛනයට අමතරව තවත් බණ්ඩාරවලි ප්‍රාදේශීය වශයෙන් තිබෙන්නට පිළිවන. එවැනි කිහිපයක් මා සතුව ද පවතියි.
කෙසේ වෙතත්, බණ්ඩාරලා ගැන බොහෝ විස්තර වේ.
බණ්ඩාරලාගේ කාන්තාවෝ, බිසෝබණ්ඩාර ලා ය. එවැනි බිසෝබණ්ඩාරලා බොහෝ ය.
1. යටිගල්ඔලුවේ බිසෝබණ්ඩාර
2. කුඹල්ඔලුවේ බිසෝබණ්ඩාර
3. සෙණකඳ බිසෝබණ්ඩාර
4. නීලවතී බිසෝබණ්ඩාර
5. උඩුකිඳ බිසෝබණ්ඩාර
6. දුනුමාලේ බිසෝබණ්ඩාර
යනු ඉන් කිහිපයකි.
දරුවන්, 'කුමාරබණ්ඩාර' වේ. පිරිමින් විශේෂයෙහි, මහබණ්ඩාර, කුඩාබණ්ඩාර, ළමා බණ්ඩාර, ටිකිරිබණ්ඩාර වශයෙන් විශේෂණ් යෙදේ.
කෙසේ වෙතත්, බණ්ඩාර යන්න වැද්දන් කෙරෙහි ද යෙදි තිබේ. 'බණ්ඩාර වැද්දන්' ලෙස කංකාරියේ දී පිදෙන දෙවි කට්ටුවක් ද සිටී.
මාගේ විශ්වාසය නම්, බණ්ඩාර යන්න ගොවිගමයන් සඳහා හෙදුණු හුදු ගෞරව නාමයක් පමණක් වන බව ය. උඩරට ඇතැම් ප්‍රදේශවල, කිසියම් ගමකට අලුතින් පැමිණ බින්න බහින පිරිමියෙකු හැඳින්වීමට නිරායාසයෙන් ම බණ්ඩාර නම යෙදෙයි. දන්තුරෙන් ආ තැනැත්තා, දන්තුරේ බණ්ඩා(ර) ය. දුම්බරින් ආ තැනැත්තා දුම්බර බණ්ඩා(ර) ය. එය වර්තමාන ව්‍යවහාරයේ 'මහත්තයා' යනුවෙන් යෙදෙන ආමන්ත්‍රණයට සමාන යැයි මගේ විශ්වාසය වේ. 'බිසෝබණ්ඩාර' යනු ද එවැනි ම ය. ගොවිකුල කාන්තාවන් විෂයෙහි එය යෙදෙන්නට ඇතැයි සිතිය හැක.
සැබෑ හන්දුරු හෙවත් ව්‍යවහාරිත රදල උප කුලයේ කිසිවෙකුට 'බණ්ඩාර' යෙදී නැත. යම් රදල යැයි කියනු ලබන පෙළපතකට 'බණ්ඩාර' යන්න එකතු වී ඇත්නම් ඉන් ස්ඵුට වන්නේ ඔවුන්, ගොවිගම කුලයට අයත් බවත්, පසුව රාජප්‍රසාද ලබා හිමි වූ තනතුරුධාරින් වන බවත් ය.
උඩරට සැබෑ රදළ පේරුවේ පෙළපත්වලට 'බණ්ඩාර' යන්න එක් වී නැත. ඇතැම් විට පසුකාලීනව එකතු කරගෙන තිබිය හැකි වුවත් 1815ට පෙර සන්නස් ආදියෙහි එසේ යෙදී ඇති තැන් සෙවීම දුෂ්කර ය.
එවැනි පෙළපත්වලට උදාහරණ කිහිපයක් මෙසේ ය.
1. ඇහැලේපොල විජයසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර
2. කපුවත්ත විජයසුන්දර රාජකරුණා නවරත්න බණ්ඩාරනායක
3. කැප්පෙටිපොල රාජකරුණා චන්ද්‍රසේකර වාහල තෙන්නකෝන්
4. අමුණුගම දුම්බර රාජකරුණා සෙනෙවිරත්න අභයකෝන්
5. ඇරැව්වාවල සේනානායක භුවනෙකබාහු නාරායන රාජගුරු වාහල පණ්ඩිත
6. මාම්පිටියේ අමෘතහස්ත නවරත්න වික්‍රමසිංහ සේනානායක පණ්ඩිත වාහල
7. මුල්ලේගම හේරත් දවුන්ඩසේකර වික්‍රමසිංහ ඒකනායක අභයකෝන් පණ්ඩිත රාජපක්ෂ
8. රත්වත්තේ විජයවර්ධන සෙනෙවිරත්න පණ්ඩිත අභයකෝන් බන්ඩාරනායක
9. දුනුවිල රාජකරුණාධර ඒකනායක ඒකනායක ධර්මකීර්ති පණ්ඩිත වාහල
10. කොබ්බෑකඩුව රාජකරුණා රාජපක්ෂ නවරත්න වික්‍රමසිංහ සෙනෙවිරත්න දිසානායක
මේ අනුව බණ්ඩාර යන්න සැබෑ රදල පවුල් විෂයෙහි නොයෙදෙන බව වටහාගැනීම දුෂ්කර නොවේ.
නැවත බණ්ඩාර 'කට්ටු' දෙසට හැරෙමු.
උඩරට ප්‍රදේශවල මලවුන් දේවත්වයට පත්කිරීම සුලභව සිදු වී ඇත. හැටහත් කට්ටුව, දොලොස්කට්ටුව, හත්කට්ටුව ලෙස කාණ්ඩ කොට, පුදලබන්නේ ද එසේ මරණයෙන් පසු දෙවි බවට පත් වූ උඩරට වැසියෝ ය.
ටිකිරි බණ්ඩාර, හෙණකඳ බිසෝබණ්ඩාර, කුඹල්ඔලුවේ බිසෝබණ්ඩාර, යටිගල්ඔලුවේ බිසෝබණ්ඩාර, වන්නි බණ්ඩාර, ගඟේ බණ්ඩාර, නමනැති බණ්ඩාර, අලුත් බණ්ඩාර, කිවුලේගෙදර බණ්ඩාර, දුනුමාලේ බිසෝබණ්ඩාර ඇතුළුව එසේ මරණයෙන් පසු දෙවි බවට පත් බණ්ඩාරලා සිය ගණනක් සොයාගත හැකිය.
එමෙන් ම, අලුත්නුවර දේවතා බණ්ඩාර, ඉරරැස් බණ්ඩාර, සඳරැස් බණ්ඩාර, සූනියම් බණ්ඩාර, කලු බණ්ඩාර ආදි, ඉතිහාසයක් අපැහැදිලි පැරණි දෙවිවරු රැසකට ම ද 'බණ්ඩාර' ලෙස යොදා තිබේ.
මේ බණ්ඩාර දෙවිවරු සිය බලය පතුරුවා හරින්නේ කිසියම් සීමිත ප්‍රදේශයක් තුළ ය. ගඟේ බණ්ඩාර කොත්මලේ ද, ඉරුගල් බණ්ඩාර හන්තාන ද, වත්හිමි බණ්ඩාර කුරුණෑගල ද ආදි වශයෙන් බලය පතුරුවයි. සෑම බණ්ඩාර දෙවි කෙනෙකුට ම එවැනි බලප්‍රදේශයක් පැවති යි.
'බණ්ඩාර' යන්න උසස් කුලවතුන් සඳහා උඩරට ප්‍රදේශවල දී පොදුවේ යෙදුණු ගෞරවාන්විත ආමන්ත්‍රණයක් බව මා කියන්නේ මේ පදනමෙහි පිහිටා ය. ඒ ගැන දෙස්දෙන ලේඛණ රැසක් පවතියි.
කුල සම්ප්‍රදායන් කෙසේ වෙතත්, උඩරට පළාත්වල මානවවිද්‍යා පර්යේෂණයන්ට මෙවැනි අපූරු තැන් ගෝචර වී නොතිබීම සැබැවින් ම කණගාටුදායක කරුණකි.
(මෙතුමා විසින් ප්‍රකාශනයට පත් කරන ලද 'කන්ද උඩරට පැරණි පුස්කොළ ලියවිලි, කුරුණෑගල විස්තරය කියවන්න.)
ස්තුතිය 'Old images of Ceylon's

A day in the life

2024-09-28

ගුරු තරුව




කවිය කියන්නේ යමක් කීම නෙමෙයි කියා ගන්න බැරි යමක් කීම....
(ගුරු තරුව වේදිකා නාට්‍යයේ ගීතයකි)

සාහිත්‍ය ගුරුතුමා : -

කිසි අදහසක් නොදිටිමි දෙන පහන සිළු........

සෙවණැලි වැටී ඇත ගෙයි හැම තැනම ගොලු.......
දොර හැර ගියෙමි රැහි පළඟැටි හඬය රළු........
මිදුලේ වියන ලදි සඳ රැස් පැදුරු මලු.......
 
සංගීත ගුරුතුමිය : -
වැටකොටු කුමට අලියෙකු හට වෙසෙන වනේ.......
මට මඩ වගුරු ලඟ පරසතු සුවඳ දැනේ.......
සිට දැන් නැතත් සිතුවත් හුරු අඳුරු කොනේ......
වට කලුවරක් මැද ඝන රැස් තරිඳු පෙනේ.......
 
සාහිත්‍ය ගුරුතුමා : -
කඳුගැට පපා දිලි මීදුම් සළු පාට..................
මට ඇති කලේ වෙනකිසිවක් නොව සීත......
ලය මුව මෙන්ම ගොලු වූවත් මගෙ දෑත.......
ඔබ සිහිකලෙමි ලඟ ඇති ඈත............
 
සංගීත ගුරුතුමිය : -
හඳ පලුවක් මතුවී නුඹ වත්තෙන්........
තරු කැට ඒ වට විසිරී ඇත්තෙන්.......
කෙටුවා වාගෙයි පුන් සඳ කැත්තෙන්........
කෙටුවේ කැත්තේ නොකැපෙන පැත්තෙන්........


අවසන් කවිය නාරංපනාවේ විමලරත්න කුමාරගම කවියාගේ රචනයකි



A day in the life

2024-09-27

ටැංකි මිනිසුන්




මෙම ගම්මානය වසර 1300ක කාලයක සිට මුහුදේ පාවෙමින් පවතී...
ලොව ඇති එකම පාවෙන ජනාවාසය මෙය බව පැවසෙයි... මෙම ප්‍රජාවේ ජනතාව ටංකාස් නැත්නම් ටැංකි මිනිසුන් ලෙස හඳුන්වන අතර මොවුන්ගේ ජනගහණය 7000 පමණ වෙයි...
අතීතයේ මොවුන් 'සී ජිප්සීස්' නැත්නම් මුහුදු අහිගුණ්ටිකයන් ලෙස චීන සහ බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වනු ලැබීය...
ඔවුන්ගේ සියළුම නිවෙස් මුහුදේ පාවෙමින් පවතියි... මෙම සියළුම බෝට්ටු නිවාස විසිත්ත කාමරය, නිදන කාමර, මුළුතැන්ගෙය සහ වැසිකිලි වලින් සමන්විත වෙයි... උපතේ සිට මඟුල් ගෙවල්, අවමංගල්‍ය උත්සව යනාදී සියළුම උත්සවයන් මේ බෝට්ටුවල පවත්වනු ලබන අතර ටැන්කි ගෝත්‍රයේ මිනිසුන්ගේ මුළු ජීවිතයම ජලය සහ මාළු වටා කැරකෙයි...
මෙම ගෝත්‍රික ජනතාව වැඩිපුරම ධීවර වෙළඳාමේ යෙදී සිටිති... තවත් බොහෝ දෙනෙක් ලුණු කර්මාන්තයේ වැඩ කරන අතර සමහරු මුතු මසුන් ඇල්ලීම සඳහා මුහුදේ කිමිදෙනු ලබයි...
වසර 1300 ක් තිස්සේ පැවත එන මෙම ටැංකි ජනතාව කිසි දිනක ගොඩබිම ජීවත්වී නැති බවට විශ්වාස කෙරේ...


ටැන්කා හෝ බෝට්ටු මිනිසුන් යනු දකුණු චීනයේ [2] සාම්ප්‍රදායිකව Guangdong, Guangxi, Fujian, Hainan, Shanghai, Zhejiang සහ Yangtze ගඟ දිගේ මෙන්ම Hong Kong සහ Macau යන වෙරළබඩ ප්‍රදේශවල කුණු කසළ මත ජීවත් වූ සාපරාධී ජනවාර්ගික කණ්ඩායමකි. . බෝට්ටු මිනිසුන් Guangdong වලින් පිටත වෙනත් විවිධ නම් වලින් හඳුන්වනු ලැබේ. බොහෝ දෙනෙක් දැන් වෙරළ තීරයේ ජීවත් වුවද, පැරණි පරම්පරාවේ සමහරු තවමත් ඔවුන්ගේ බෝට්ටු මත ජීවත් වන අතර ඔවුන්ගේ සාම්ප්‍රදායික ජීවනෝපාය වන මසුන් ඇල්ලීම කරති. ඓතිහාසික වශයෙන්, ටන්කාවන් සැලකුවේ කොන්කළ අය ලෙසය. ඔවුන් මුහුදේ ජීවත් වූ බෝට්ටු මිනිසුන් බැවින්, ඔවුන් සමහර විට චීන සහ බ්‍රිතාන්‍යයන් විසින් "මුහුදු ජිප්සීස්" ලෙස හඳුන්වනු ලැබීය.

 



 ටැන්කා සම්භවය දකුණු චීනයේ ස්වදේශික ජනවාර්ගික සුළුතරයන් වෙත ආපසු ලුහුබැඳිය හැකිය, ඔවුන් මුහුදේ රැකවරණය ලබාගෙන ක්‍රමයෙන් හැන් චීන සංස්කෘතියට අනුගත වූ බයියු ලෙස ඓතිහාසිකව හැඳින්වේ. කෙසේ වෙතත්, ටැන්කා ඔවුන්ගේ ස්වදේශික සම්ප්‍රදායන් බොහොමයක් හන් සංස්කෘතියේ දක්නට නොලැබේ.
වියට්නාමයේ සමහර ප්‍රදේශවල ද කුඩා ටැංකි සංඛ්‍යාවක් ජීවත් වේ. එහිදී ඔවුන් Dan (Đàn) ලෙස හඳුන්වනු ලබන අතර Ngái ජනවර්ගයේ උප සමූහයක් ලෙස වර්ගීකරණය කර ඇත.
 ටැන්ග් රාජවංශයේ නිල ලියු සොන්ග්යුවාන් (Liou Tsung-yüan; 柳宗元; 773-819) ට අනුව, අද පවතින Guangdong පළාතේ සහ Guangxi Zhuang ස්වයං පාලන ප්‍රදේශයේ බෝට්ටු වල Tanka ජනතාව පදිංචි වී සිටියහ.

"ටැන්" යනු බිත්තරය සඳහා කැන්ටෝනියානු පදයක් වන අතර "කා" යනු පවුල හෝ ජනතාව තවත් ව්‍යුත්පන්නයක් විය හැකිය "ටැංකිය" යන්නෙන් අදහස් වන්නේ කැන්ටනීස් භාෂාවෙන් කුණු හෝ විශාල බෝට්ටුව සහ "කා" යන්නෙන් පවුල යන්නයි. ටැන්කා යන පදය දැන් අවමානයක් ලෙස සලකනු ලබන අතර තවදුරටත් සාමාන්‍ය ව්‍යවහාරයේ නොමැත.[3] මෙම බෝට්ටු වැසියන් දැන් චීනයේ හඳුන්වනු ලබන්නේ "ජලය මත/ඉහළ සිටින මිනිසුන්" (චීන: 水上人; පින්යින්: shuǐshàng rén; Cantonese Yale: Séuiseuhngyàn),[4] හෝ "දකුණු මුහුදේ ජනතාව" (Chinese:䷺ 庵කැන්ටනීස් යේල්: නාම්හෝයියන්).[5][6][7][8][9][11][12] මෙම යෙදුමේ සම්මත ඉංග්‍රීසි පරිවර්තනයක් නොමැත. හොංකොං හි වියට්නාම සරණාගතයින් සඳහා සමාන යෙදුමක් සමඟ ව්‍යාකූල විය හැකි වුවද, "බෝට්ටු මිනිසුන්" යනු බහුලව භාවිතා වන පරිවර්තනයකි. "බෝට්ටු වාසීන්" යන යෙදුම 1999 දී හොංකොං විශ්ව විද්‍යාලයේ ආචාර්ය ලී හෝ යින් විසින් යෝජනා කරන ලද අතර, එය හොංකොං ඉතිහාස කෞතුකාගාරය විසින් එහි ප්‍රදර්ශනය සඳහා භාවිතා කර ඇත.[13]
ටැන්කා සහ කැන්ටනීස් යන දෙපිරිසම කැන්ටනීස් කතා කරයි.[14][15] කෙසේ වෙතත්, ෆුජියන් හි ජීවත් වන ටැන්කා කතා කරන්නේ මින් චීන භාෂාවයි.
"බෝට්ටු මිනිසුන්" යනු ටැංකියට පොදු යෙදුමකි. ටැන්කා යන නම භාවිතා කළේ කැන්ටනීස් ජාතිකයන් විසින් පර්ල් ගංගා ඩෙල්ටාවේ ටැංකිය විස්තර කිරීමට පමණි.
යැංසි ප්‍රදේශයේ ටැන්කා බෝට්ටු ජනතාව ධීවර පවුල් නවයක් ලෙස හැඳින්වූ අතර ගොඩබිම ජීවත් වන ටැන්කා පවුල් සාමාන්‍ය කුටුම්භ ලෙස හැඳින්විණි.
ඔවුන්ගේ ජීවන රටාව මත පදනම්ව මිනිසුන් වර්ග දෙකක් තිබූ අතර ඔවුන් තවදුරටත් විවිධ කණ්ඩායම්වලට බෙදා ඇත. හක්කා සහ කැන්ටනීස් ජීවත් වූයේ ගොඩබිමයි. Tanka (Hokkien භාෂාව කතා කරන Tanka සංක්‍රමණිකයන් ඇතුළුව බොහෝ විට Hoklo ලෙස වරදවා වටහාගෙන ඇත) බෝට්ටු මත ජීවත් වූ අතර ඔවුන් දෙදෙනාම බෝට්ටු මිනිසුන් ලෙස වර්ගීකරණය කරන ලදී.[16]
මුහුදේ වාසය කරන ටැංකිය සහ ගොඩබිම් වැසියන් අතර වෙනස්කම් හුදෙක් ඔවුන්ගේ ජීවන රටාව මත පදනම් වූවක් නොවේ. ගොඩබිම ජීවත් වූ කැන්ටනීස් සහ හක්කා සමහර විට ජීවිකාව සඳහා මසුන් ඇල්ලූ නමුත් මෙම ගොඩ ධීවරයන් කිසි විටෙකත් ටැංකි ධීවරයින් සමඟ මිශ්‍ර වී හෝ විවාහ වී නැත. ටන්කා කැන්ටනීස් සහ හක්කා සැමරුම් වලින් තහනම් විය.[17]
හොංකොං පිළිබඳ බ්‍රිතාන්‍ය වාර්තා, හොංකොං හි වෙසෙන හොක්ලෝ කතා කරන ටැංකි බෝට්ටු ඇතුළු ටැංකිය විස්තර කළේ "නොදන්නා කාලයේ සිට"ය.[18][19] ඇමෙරිකානා විශ්වකෝෂය චෝදනා කළේ ටැන්කා "ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට" හොංකොං හි ජීවත් වූ බවයි.[20][21][22]

භූගෝලීය ව්‍යාප්තිය

The Tanka people are found throughout the coasts and rivers of the following regions:[23]

Zhejiang: Zhoushan Archipelago, Taizhou Bay, Wenzhou Bay, Sanmen Bay, Hangzhou Bay, Xin'an River, Fuchun River, Lanjiang River[24]
Fujian: Min River Mouth, Fuqing Bay, Xinghua Bay, Quanzhou Bay, Amoy Bay, Zhangzhou Water Front
Guangdong: Jieshi Bay, Honghai Bay, Daya Bay, Dapeng Bay, Zhujiang River Mouth, Leizhou Bay, Lingding Sea, Zhanjiang, Wanshan Archipelago
Guangxi: You River
Anhui: Xin'an River
Jiangxi: Gan River
Hainan: Qiongzhou Strait, Sanya Bay
Beijing, Jiangsu, Henan, Hubei, Hunan: Grand Canal[25]
Shanghai: city river
Hong Kong: Kowloon
Macau: Macau Bay

---------https://en.wikipedia.org/wiki/Tanka_people

උපුටා ගැණීම
- ධම්මික සමරතුංග -
A day in the life

2024-09-26

ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා.






මේ ඨීකාව ලියන මො‍හොත් ඔබ කියවන මේ මොහොතත් අතර ලාකීය දේශපාලනයේ උඩුයටිකුරු වීම් සිදුවී තිබෙනු ඇත.

අපේ රටේ පහලවු දේශපාලන චරිත අතරින් ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා රට තුල විශාල පෙරලියක් කල නායකයෙකි. එතුමාගේ දේශපාලන යුග පෙරලිය කාලයත් සමග වයස් ගතව අකර්මණ්‍යවු බවක් මේ වන විට දකින්නට ලැබෙන දෙයකි.

ආසියාවේ රිදී සීනුව ලෙස ප්‍රසිද්ධ වුණු ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා ලංකාවේ සිව්වන අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්විය. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගයන් එක් කරමින් පොදුජන යුගයක් නිර්මාණය කිරීමට යෝජනා කළ සොලමන් බණ්ඩාරනායක 1959 සැප්තැම්බර් 26 වැනිදා සාහසිකයෙකුගේ වෙඩි පහරකින් මරණයට පත්විය.

ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලෙන් සිප්සතර හැදෑරූ බණ්ඩාරනායක, ඉන් අනතුරුව උසස් අධ්‍යාපන කටයුතු සඳහා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයයට ඇතුලත් වුණා. සාර්ථකව සිය අධ්‍යාපන කටයුතු නිමාකළ ඔහු නැවතත් ලංකාවට පැමිණියේ 1925 වසරේ දී යි. ඉන් පසුව නීතිඥවරයෙකු ලෙස සිය ජීවන වෘත්තීය ආරම්භ කළත් කෙටි කලකින්ම දේශපාලනය පිළිබඳව දැඩි උනන්දුවක් ඇතිවුණා. 1926 වසරේ දී ලංකා ජාතික සංගමයේ ලේකම්වරයා බවට පත්වුණු ඔහු එම වසරේ දීම ජාති හිතෛෂී පක්ෂයේ සභාපතිවරයා ලෙසත් තේරී පත්වුණා. එලෙස විවිධ ජාතික ව්‍යාපාර සමග අත්වැල් බැඳ ත් බණ්ඩාරනායක ජනතාව අතරට යමින් ඔවුන්ට සේවය කළේ සිය දේශපාලන දිවිය ආරම්භ කරමින්.

1926 වසරේ පැවති කොළඹ නාගරික මැතිවරණයෙන් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි ඔහු තරග කළේ මරදාන කොට්ඨාසය සඳහා යි. එහිදී ඔහු සටන් වැදුණේ කම්කරු පක්ෂයේ නායකයා වුණු ඒ.ඊ ගුණසිංහට එරෙහිව යි. කම්කරු පීඩිත පන්තියේ ජනතාව වැඩි වශයෙන් ජීවත් වන එවැනි ප්‍රදේශයක් ජයග්‍රහණය කිරීම බණ්ඩාරනායක වැනි රදළ නායකයෙකුට තරමක් දුෂ්කර කාර්යයක් බව බොහෝ දෙනෙකු සිතුවා. නමුත් ඉතා දුගී පැල්පත්වලට පවා ගොස් ක්‍රමානුකූලව සිය මැතිවරණ සටන දියත් කළ බණ්ඩාරනායක ටික කලකින් මරදාන කොට්ඨාසයේ සිටි ජනතාවගේ ආදරය දිනාගත්තා. එසේම එම ප්‍රදේශය සංවර්ධනය කිරීම සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ ඔහු මැතිවරණය ආසන්න වන විට ජනතා විශ්වාසය නොඅඩුව දිනාගෙන තිබුණා. එම නිසාම ප්‍රබල කම්කරු නායකයෙකු වුණු ගුණසිංහව වැඩි ඡන්ද 615කින් පරාජය කිරීමට ඔහුට හැකිවුණා.




1931 වසරේ දී හඳුන්වාදුන් ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය තුළින් ලාංකිකයන්ට සර්වජන ඡන්ද බලය හිමිවුණා. ඒ අනුව රාජ්‍ය මන්ත්‍රණ සභාව සඳහා නියෝජිතයන් තෝරාගැනීම සඳහා මැතිවරණයක් පැවැත්වුණා. එහිදී වේයන්ගොඩ ආසනය සඳහා තරග වැදුණු බණ්ඩාරනායක නිතරග ජයක් ලැබුවා. එම වසරේම දෙසැම්බර් 18 වැනිදා ලංකා ජාතික සභාවේ සභාපති ධූරයට පත්වුණු බණ්ඩාරනායක එම අවදියේ එම තනතුර සඳහා පත්වුණු ලාබාලම පුද්ගලයා වුණා. ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළ ක්‍රියාකාරී භූමිකාවක් ඉටුකල ඔහු, ලංකාවට පූර්ණ නිදහස ලැබීමට නම් රාජ්‍ය නිලධාරින් තිදෙනා සභාවෙන් පිටමං කළ යුතු බවත්, ඔවුන්ගේ ධුර අහෝසි කළ යුතු බවටත් ප්‍රකාශ කරනු ලැබුවා.

එසේම 1933 ජුනි 14 දින බණ්ඩාරනායක මහතා විසින් ඇමති මණ්ඩලය වෙත විශ්වාස භංග යෝජනාවක් ද ඉදිරිපත් කළා. ව්‍යවස්ථාදායක සභාව තුළත් වඩාත් ප්‍රගතිශීලී භූමිකාවක් ඉටුකළ ඔහු රාජ්‍ය මන්ත්‍රණ සභා කථානායක වැටුප රුපියල් 1800 සිට රුපියල දක්වා අඩුකළ යුතු බවටත් යෝජනා කළා.

1934 වර්ෂයේ දී එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ සභාපතිත්වයෙන් යුතුව සිංහල මහා සභාව ආරම්භ කළා. එය ආරම්භ කිරීමේ මූලික අරමුණ වුණේ භේද බින්න වී සිටි සිංහල ජාතිය සමගි කොට ජාතිමාමකත්වය වර්ධනය කරමින් ජාතික නිදහස් අරගලයට සවියක් ලබාදීමට යි. එලෙස ආරම්භ කළ සිංහල මහා සභාව දිවයින පුරාම ශාඛා මට්ටමින් ව්‍යාප්ත වුණේ ජනතාවගේ ආකර්ෂණය දිනාගනිමින්. පසුකලෙක සිංහල මහා සභාව එක්සත් ජාතික පක්ෂය පිහිටුවීමේ ආරම්භක රැස්වීමට සහභාගී වුණේ ප්‍රබල ජාතික සංවිධානයක් ලෙස යි. කෙසේ ‍වෙතත් එක්සත් ජාතික පක්ෂය හා සිංහල මහා සභාව එක්වීම සම්බන්ධව ඇතැම් බුද්ධිමතුන්ගේ විරෝධතා පැන නැගුනා. නමුත් බණ්ඩාරනායක ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කරනු ලැබුවේ, “ජාතික නිදහස උදෙසාත්, බ්‍රිතාන්‍යයන් හඳුන්වාදෙන පාර්ලිමේන්තු ක්‍රමය අනුව ඒකාබද්ධ පක්ෂයක් ඇතිකරලීම උදෙසාත් එසේ ක්‍රියා කළ බව” යි. අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ සභාපතිධූරයට ඩී.එස් සේනානායකව යෝජනා කරනු ලැබුවේත් බණ්ඩාරනායක විසින්.

1936 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේ දී නැවතත් වේයන්ගොඩ අසුන නිතරගයෙන් ජයග්‍රහණය කිරීමට ඔහුට හැකිවුණා. දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ පළාත් පාලන කාරක සභාවේ සභාපති ධුරයට නිතරගයෙන් තේරී පත්වුණා. බණ්ඩාරනායක එම තනතුරට තේරී පත්වීමට ප්‍රධාන හේතුව වුණේ එහි සාමාජිකයන් 5ක් සිංහල මහා සභාවේ සාමාජිකයින් වීම යි. එසේම දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභා අමාත්‍ය මණ්ඩලය තුළ සිටි ලාබාලම අමාත්‍යවරයා වුණේත් ඔහු යි. පසුකලෙක රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභානායක ධූරයේ වැඩ බැලීම සඳහා තෝරා පත්කරගත් ඔහු විශාල පොදු වැඩ කොටසක් ඉටුකළා

ඔහු ආරම්භ කළ සිංහල මහා සභාව එක්සත් ජාතික පක්ෂයට එක්වුණු නිසා 1947 වසරේ පැවති පළමු මහා මැතිවරණයේ දී බණ්ඩාරනායක තරග කළේ එක්සත් ජාතික පක්ෂයෙන්. එදා අත්තනගල්ල ආසනයෙන් තරග වැදුණු ඔහු සිය ප්‍රතිවාදී අපේක්ෂකයා වුණු සී. ගුණසේකරව පරාජය කළේ වැඩි ඡන්ද 26854කින්. ඉන් අනතුරුව ඇතිවුණු ඩී.ඇස් සේනානායක රජයේ සෞඛ්‍යය සහ පළාත් පාලන අමාත්‍යවරයා ලෙසින් තේරී පත්වුණු ඔහු සෞඛ්‍යය සේවය වෙනුවෙන් විසල් මෙහෙයක් ඉටුකළා. එසේම දක්ෂ කථිකයෙකු වුණු ඔහු පාර්ලිමේන්තුවේ මුල්ම සිංහල කථාව කළ මහජන නියෝජිතයා බවටත් පත්වුණා. පසුකලෙක එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ රජය සිංහල මහා සභාව බලාපොරොත්තු වුණු ආකාරයේ ගමනක් නොයන බව ඔහු වටහාගත්තා. එම කාරණය හේතු ලෙස දක්වමින් සිංහල මහා සභාවේ මාදම්පේ සම්මේලනයේ දී සම්මත කරගත් යෝජනා මාලාවක් අගමැති වෙත ඉදිරිපත් කළා. නමුත් අගමැතිගෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු නිසා බණ්ඩාරනායක විපක්ෂයට එක්වුණේ 1951 වසරේ ජූලි 12 වැනි දා යි.

ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා අස්වුණු බණ්ඩාරනායක සමග ඩී.ඒ. රාජපක්ෂ, ඒ.පී. ජයසූරිය, ජයවීර කුරුප්පු, ඩී.ඇස්. ගුණසේකර, ජෝර්ජ් ආර් ද සිල්වා යන මන්ත්‍රීවරුන් ද ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව විරුද්ධ පක්ෂය වෙත පැමිණියා. ඔහු 1951 සැප්තැම්බර් මස 02 වැනි දින “ශ්‍රී ලංකා නිදහස් පක්ෂය” නම්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිපත්තිය කරගත් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කළා. එහි සභාපතිවරයා මෙන්ම නායකයා බවට පත්වුණේ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක යි.

නව පක්ෂය පිහිටවාගෙන මාස 7ක් ගතවන විට මැතිවරණයකට මුහුණදීමට සිදුවුණු අතර එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 9ක් ජයග්‍රහණය කිරීමට සමත් වුණා. එවරත් අත්තනගල්ල ආසනය වැඩි ඡන්ද 32544කින් ජයග්‍රහණය කළ බණ්ඩාරනායක පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරයට පත්වුණා. 1952-1956 කාල සමය තුළ විපක්ෂනායක වරයා ලෙස කටයුතු කළ ඔහු සිය වගකීම මැනවින් ඉටුකළේ ජනතා ආකර්ෂණයත් ලබාගනිමින්.

1955 සැප්තැම්බර් 24 දින බණ්ඩාරනායකගේ නායකත්වය සහිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ලංකා සම සමාජ පක්ෂය නිතරග ගිවිසුමක් ඇතිකර ගත්තා. 1955 ඔක්තෝම්බර් 19 වන දින ඇන්.ඇම්. පෙරේරා සිංහල හා දෙමළ භාෂා රාජ්‍ය භාෂා ලෙස පිළිගැනීමට හැකිවන ලෙස රාජ සභා ආඥාව සංශෝධනය කළ යුතු බවට යෝජනා කළා. එවිට නැගී සිටි බණ්ඩාරනායක සිංහල භාෂාව පමණක් ලංකාවේ රාජ්‍ය භාෂාව වශයෙන් පිළිගැනීමට හැකි ලෙස සංශෝධනයක් ඉදිරිපත් කරනු ලැබුවා. එසේම 1955 දෙසැම්බර් 17 දින සිංහල බස ලංකාවේ රාජ්‍ය භාෂාව වශයෙන් පත්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුළුවක දී සම්මත කරගත්තා. එසේම සිංහල භාෂාව පමණක් ලංකාවේ රාජ්‍ය භාෂාව විය යුතු ය යන හඬින් එක්සත් භික්ෂු පෙරමුණ ඉදිරිපත් කළ “දස පනත” බණ්ඩාරනායක විසින් පිළිගනු ලැබුවා.

තම ඉදිරි ආණ්ඩුවක් මඟින් එය ඉටු කරන බවටත් ප්‍රතිඥා දුන්නා. ඒ අනුව භාෂා ප්‍රශ්නය ඉදිරියට පැමිණි නිසා 1956 පමණ වන විට සිංහල භාෂාව ලංකාවේ රාජ්‍ය භාෂාව විය යුතුයි යන මතය වර්ධනය වෙමින් පැවතුණා. එලෙස බණ්ඩාරනායක දේශපාලන පිටියේ පෙරළිකාරයෙකු ලෙස ඉදිරියට එන අතරතුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් යුතුව “මහජන එක්සත් පෙරමුණ” පිහිටුවාගනු ලැබුවේ 1956 වසරේ පෙබරවාරි 21 වැනිදා යි.
1956 වසරේ පැවති මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයකට ලක්වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණට විශිෂ්ඨ ජයක් හිමිකරදෙමින්. එවරත් අත්තනගල්ල ආසනය වැඩි ඡන්ද 41997කින් ජයග්‍රහණය කළ බණ්ඩාරනායක ලංකාවේ සිව්වන අග්‍රාමාත්‍යවරයා බවට පත්වුණා. එදා පංච මහා බලවේගය යන සංකල්පය සමගින් බලයට පැමිණි බණ්ඩාරනායක රජය හැඳින්වූයේ පොදු ජනයාගේ රජයක් ලෙස යි

බණ්ඩාරනායක ආණ්ඩුවේ ඇමතිවරියක වුණු විමලා විජේවර්ධන එවකට කැළණිය පන්සලේ විහාරාධිපති මාපිටිගම බුද්ධරක්ඛිත හිමි සමග අනියම් ඇසුරක් පවත්වා තිබෙන බවට රාවයක් පැතිරුනා. එය දැනගත් අගමැතිතුමා ඇතැම් අවස්ථාවල ඇමතිවරියට කළ විහිළු තහළු නිසා බුද්ධරක්ඛිත හිමි සහ අගමැති අතර විරසකයක් ඇතිවුණා. ඒ අනුව අගමැතිවරයාගෙන් පළිගැනීමට අදිටන් කරගත් බුද්ධරක්ඛිත හිමි, තල්දූවේ සෝමාරාම නම් භික්ෂුව යොදාගෙන බණ්ඩාරනායකට වෙඩි තබන්නේ 1959 වසරේ 25 වන දා යි. සිද්ධියෙන් අනතුරුව රෝහල්ගත කෙරුණු බණ්ඩාරනායක 1959 වසරේ සැප්තැම්බර් 26 වැනි දා සදහටම දෙනෙත් පියාගත්තා.




මෙ ලිපිය අන්තර්ජාලයෙනි .
A day in the life

2024-09-25

සල් ගස




සල් ගස කියන්නෙ බුද්ධ චරිතය හා බැඳුනු බුදුදහමත් සමග අප හඳුනාගත් ශාකයක්.
පූජනීය ශාකයක් ලෙසද බහුතරයක් හඳුන්වනව.
නමුත්,
"සල් ගහ කියලා ලංකාවේ බොහෝ දෙනෙක් හඳුන්වන්නේ ඉන්දියානු උපමහාද්වීපය කිට්ටුවකවත් නැති දකුණු ඇමරිකාව නිජබිම කර ගත් බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් 1881වර්ශයේ ලංකාවට හඳුන්වා දුන් ශාකයකට.
එනම් Couroupita guianensis යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන 'කාලතුවක්කු උණ්ඩ ගසට.
ඒ ගහට ඉංග්‍රීසියෙන් කියන්නේ කැනන් බෝල් ට්‍රී, මොකද එහි ගෙඩිය නැතිනම් ඵලය හරියට කාලතුවක්කු උණ්ඩයක් වගෙයි.
නමුත් මේ ශාකය ඉන්දියාවේ, ලංකාවේ තියා අඩුම තරමේ ආසියානු කලාපයේවත් ශාකයක් නොවෙයි. මෙය බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වා දුන් විසිතුරු ශාකයක් පමණයි.
සැබෑ සල් ශාකය පිරුණු සල් වනාන්තර අදටත් ඉන්දියාවේ දකින්න තියෙනව.Shorea robusta විද්‍යාත්මක නාමයෙන් සැබෑ සල් ශාකය හඳුන්වනව.

තෙක්ක ගසට සමාන අතු නොබෙදෙන කඳක් දැකිය හැකි මෙම ගසේ

පත්‍ර, 'කාලතුවක්කු උණ්ඩ ගසේ' පත්‍ර තරම් දිගටි නොවේ.
මල් තරමක් සුදු පැහැයෙන් යුතු වන අතර කුඩා මල් පිහිටයි.අතු අග මල් හට ගනී.
කඳ මත ගෙඩි හට නොගන්නා අතර කුඩා බීජයෙහි පියාපත් සහිතය(හොර බීජ මෙන්)
අප්‍රේල් මාසයේ මල් හට ගනී.
මීට වසර කීපයකට ඉහතදී නිසි පාරිසරික ක්‍රමවේද අනුගමනය කරමින් ශ්‍රී ලංකාවට රැගෙන ආ 'ඉන්දියන් සල්' බීජ පේරාදෙණිය රාජකීය උද්‍යානය තුළ රෝපණය කර බෞද්ධ විහාරස්ථාන අතර බෙදා දුන් බව ද ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.
අදටත් එම සල් ශාක විහාරස්ථාන කීපයක දක්නට ලැබෙනව.
ආගමික සම්බන්ධතාවයක් සමග යන ගසක් නිසා ජෛව විද්‍යාත්මක පසුබිම බැහැර කර ආගමික සංකල්පය මූලික කරගෙනම අධ්‍යනය කලත් අප සල් ලෙස හඳුන්වන ශාකය සල් නොවන බව තේරුම් ගන්න පුළුවන්.මං ඒ සම්බන්ද පොඩි උදාහරන කීපයකුත් කියන්නම්.
* පුරාණ විහාර සිතුවම්වල සල් ගස ලෙස සිතුවම් කල ගස දෙස බලන්න.එහි හැඩය අප සල් ලෙස හඳුන්වන කැනෝන් බෝල් ගසට සමානද???
* සිද්ධාර්තෝප්පත්ති අවස්ථාවේ මහාමායා දේවිය සල් අත්තල් අතින් අල්ලන් සිටින සිතුවම බලන්න.ඉද්ද ගැසුවාක් මෙන් සෘජුවම උසට වැඩෙන කැනොන් බෝල් ගසක අත්තක් එසේ අල්ලා සිටිය හැකිද??
* මහා පරිනිර්වානය සල් ගසක් මුල සිදුවූ බව සඳහන් වේ.මදක් සිතන්න.කැනෝන් බෝල් ගසක් යට සිටීම පවා අවධානම්.ගසේ ගෙඩියක් ඇඟට වැටුනොත් තියෙන අවධානම ඔබට සිතාගන්න පුළුවන් ඇති.පරිනිර්වාන මංචකයේ පවා මනා සිහියෙන් සිටින බුදුවරයෙක් කැනෝන් බෝල් ගසක් යට සැතපීමට තරම් අසිහියෙන් කටයුතු කරයිද??
* මහා පරිනිර්වානය වන විට සල් මල් බුදුන්වහන්සේ මතට වැටුනු බව බුද්ධ ඉතිහාසයේ සඳහන් වෙනව.කැනෝන් බෝල් මල් කීපයක් ශරීරය මතට වැටුනොත් නිරෝගී හැඩිදැඩි මනුස්සයෙකුට උවත් කෙලෙස දැනෙයිද??
*අවසන් වශයෙන් බුද්ධ පරිනිර්වානය සිදුවූ මාසය ලෙස සැලකෙන්නේ වෙසක් මාසයයි.වෙසක් මාසය වනවිට කැනෝන් බෝල් ගසේ මල් වරණ කාලයයි.ඒ කාලයට මල් හට නොගනී.මල් හට නොගන්නා කාලයක බුදුන්වහන්සේ වෙත මල් වැටුනේ කෙලෙසද???
ආගමික පදනම මතම බලන කෙනෙකුට උවත් යම්තාක් හෝ බුද්ධිමත්ම සිතිය හැකි ප්‍රාථමිකම තර්ක කීපයක් පමණයි මේ.මොහොතක් සිතන්න.පරම්පරාවෙන් ආ පමණින්,චිරාත් කාලයක් පැවත ආ පමනින්,තවකෙක් කිවූ පමනින් සියල්ල විස්වාස කිරීමට අප හුරුවී සිටින නිසා අද සමාජය තුල කිසිදු විමර්ශනශීලී භාවයකින්,තර්කයකින් තොරව මෙවැනි මතවාද බොහෝ දක්නට ලැබෙනව.ඒ හේතුවෙන් අප බොහෝ ශාක පිළිබඳව තවමත් දරන්නෙ වැරදි මතවාද..

ඉන්දියාව, බංග්ලාදේශය සහ නේපාලයේ දක්නට ලැබෙන Shorea robusta නමැති උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන 'ඉන්දියන් සල්' ශාකය සිදුහත් උපත හා සම්බන්ධ යයි සිතිය හැකි බව මහාචාර්ය සිරිල් විජේසුන්දර පවසයි. (BBC සිංහල ෆේස්බුක් පිටුවට පිවිසෙන්න )  නේපාලයේ අදටත් සල් වනාන්තර තිබෙනවා.ඒ ශාකය අපේ රටේ තිබෙන හොර, හල් වගේ ශාක කුලයට අයත් ශාකයක්. එය ආසියානු කලාපයේ තිබෙන හොඳම දැව ශාක තුනෙන් එකක්.නේපාලයේ මෙය දකින්න පුළුවන් නිසා සිද්ධාර්ථ කුමාරයා උපත ලැබුවේ මේ කියන සල් ගහක් යට කියන එක විශාල පිරිසක් පිළිගන්නවා ,"කෙසේ නමුත් සිද්ධාර්ථ කුමරු උපත ලද්දේ 'අසෝක' ගසක් යට බවට නේපාලයේ ඇතැම් ඉතිහාසඥයන් අතර මතයක් පවතින බව ද මහාචාර්ය සිරිල් විජේසුන්දර පෙන්වා දෙයි.

පුබුදු කැළුම් ජයතිස්ස

A day in the life

2024-09-24

ජනප්‍රිය වාසගම්





ලංකාවේ ගොඩ දෙනෙක් පාවිච්චි කරන ජනප්‍රිය වාසගම්

පෙරේරා
මෙය ලංකාවේ වඩාත්ම භාවිත පෘතුගීසි පෙළපත් නාමවලින් එකකි. පෘතුගීසි යෙදුම:- Pereira (පෙරෙයිරා). අර්ථය:- ​‘පෙයාර්ස් ගස’
සිල්වා
සිල්වා’ යනු පෘතුගීසි නොව ලතින් වචනයකි (ලතින් බස සියලු යුරෝපා භාෂාවල මාතාව බව අපි දනිමු). ලතින් යෙදුම: Silva (සිල්වා). අර්ථය: ලන්ද, ලඳු කැලෑව, Silva යන්න විටෙක De Silva ලෙසද භාවිත වේ ‘De’ යන්න ඉංග්‍රීසි බසින් ගත්කල ‘Of’ යන අරුත දෙයි. ඒ අනුව ‘De Silva’ යනු ලන්දේ/ ‘ලඳු කැලෑවේ’ යනුවෙයි.
ද මෙල්
පෘතුගීසි යෙදුම – De Mello (දෙ මෙල්ලෝ). අර්ථය – ‘මී පැණි’. ඒ අනුව De Mello හෙවත් De Mel යනු ‘මීපැණිහි’/‘මීපැණියේ’ යනුයි.
කෲස්
පෘතුගීසි යෙදුම: Cruz (කෲස්). අර්ථය – ‘කුරුසිය’. 100% ක්ම පාහේ ක්‍රිස්තියානින් වන පෘතුගාලයේ මෙබඳු ආගමික සංකල්පයක් පෙළපත් නාමයක් සේ යොද‌ා ගැනීම පුදුමයට කරුණක් නොවේ.
පීරිස්
පෘතුගීසි යෙදුම – Pires (පීරෙස්) – අර්ථය – පීරිසිය. මේ අනුව ‘පීරිසිය’ යනු වචනය මෙන්ම ‘කෝප්පය’ යන වචනයද පෘතුගීසි ආභාසයෙන් සිංහලයට නැඟිණැයි කල්පනා කළ හැකිය. පෘතුගීසි බසින් කෝප්පය Copo (කෝපෝ) යනුය.
පාරිස්
පෘතුගීසි යෙදුම: Paris (පරීස්). අප කළ විමර්ශනයට අනුව පෘතුගීසි බසින් පරීස් යනු ප්‍රංශයේ අගනුවර වන පැරීසියයි. පැරීසියේ කලක් තිස්සේ සාම්ප්‍රද‌ායිකව පෘතුගීසි සම්භවයක් සහිත ජන කොටසක් ජීවත් වෙති. මේ ජනතාව පෘතුගීසින් විසින් හඳුන්වනු ලැබුවේ ‘පරීස්’ යනුවෙනි. මේ සිංහල භාවිතයේදී මේ වාසගම ලැබූ අය ‘පාරිස්’ ලෙස හඳුන්වනු ලබති.
ඩයස්
පෘතුගීසි යෙදුම – Dias (දියාස්) – අර්ථය : දිනයන්. පෘතුගීසි බසින් Dia (දියා) යනු ‘දිනය’ යි dias (දියාස්) යනු එහි බහුවචනමය ස්වරූපයයි. මාගේ පෙර කී මිතුරා පෙන්වා දුන් ආකාරයට ‘දිනය උදා කරන’ (දිනකර) යන අර්ථයෙන් මෙම Dias යන්න ‘සූර්යයා’ ලෙසද අර්ථකථනය කළ හැකිය.
මෙන්ඩිස්
පෘතුගීසි යෙදුම – Mandaz (මන්දෙස්) Menendez (මෙනෙන්දෙස්). අර්ථය – ‘මෙනෙන්දෝ ගේ පුත්‍රයා’. මෙනෙන්දෝ යනු යුරෝපයට බලපෑ කතෝලික ශුද්ධවන්තයෙකු සේම රාජ කුමාරයෙකි. ඉංග්‍රීසි බසින් St.Hermangild (සා.හර්මන්පිල්ඩ්) ලෙස හඳුන්වන්නේත් මෙතුමාය. ක්‍රි.ව 6 වැනි සියවසේ ජීවත් වූ ස්පාඤ්ඤ රජකුමරෙකු වූ මෙතුමා කතෝලික විශ්වාසය උදෙසා දිවි පිදූ ප්‍රාණ පරිත්‍යාගියෙකි. මේ පෙළපත් නාමයේ අර්ථය එම ‘මෙනෙන්දෝගේ පුත්‍රයා’ යනුය.
ප්‍රනාන්දු
යුරෝපයේ රටවල් රැසක පෙළපත් නාම හෝ පුද්ගල නාමයක් ද ලෙස ප්‍රනාන්දු යන්න ප්‍රකටය. පෘතුගීසි යෙදුම – Fernando (ෆර්නාන්දෝ). ජර්මානු රජ පෙළපතක් වන ෆර්ඩිනන්ඩ් (Ferdinand) යන්නෙහි පෘතුගීසි නාමය ලෙස ‘Fernando’ හැඳින්විය හැකිය. මෙම නාමයම Ferdinand ලෙස ජර්මන්, චෙක්, ලන්දේසි, ඉංග්‍රීසි, ප්‍රංශ මෙන්ම පෝලන්ත යන භාෂාවලින්ද Hernando (හෙර්නන්දෝ) ලෙස ස්පාඤ්ඤ භාෂාවෙන්ද නන්දෝර් ලෙස හංගේරියානු භාෂාවෙන්ද භාවිතවේ. ප්‍රනාන්දු යනු එහිම ලාංකේය ප්‍රකාශනයයි.
තවද තම ප්‍රනාන්දු යන පෙළපත් නාමය ‘ප්‍රනන්ද’ හෝ ‘පුරනන්ද’ යනුවෙන් වඩාත් දේශීයත්වයට නඟාගත් ස්වල්ප දෙනෙකු සේම තම නාමයේ මුල් පෙළපත් නාමය නමේ අගට ගෙන ප්‍රනාන්දු යන්න භාවිත නොකරන වර්ණකුලසූරිය, කුරුකුලසූරිය, මිහිඳුකුල සූරිය, වර්ණකුල, මිහිඳුකුල, කොඩිප්පිලි හෝ වීරක්කොඩි හෝ වැනි නම් දරන ප්‍රනාන්දුවරු ද සිටිති
නෝනිස්
ස්පාඤ්ඤ නාමය : ‘නූනෝ’/ පෘතුගීසි නාමය ‘නූනෙස්’. අර්ථය : ‘නුනෝගේ පුත්‍රයා’ මීට අමතරව මෙය පෘතුගීසි අරුතින් ‘නවවෙනි’ හෝ ‘සීයා’ යනුද වෙයි නූනෝ යනු 14 වැනි සියවසේ සිදු වූ කස්තීලියානු ආක්‍රමණයට එරෙහිව සටන් වැදී පෘතුගාලය බේරාගත් වීරෝදාර රණවිරුවෙකි ‘නූනෙස්’ ඔහුගේ පුත්‍රයා ලෙස අර්ථකථනය කෙරෙන අතර සිංහලයේදී එය ‘නෝනිස්’ නම් වෙයි.
ගෝමස්/ගෝමිස්
මෙම පෙළපත් නාම දෙකම එකම ස්පාඤ්ඤ මූලාශ්‍රයකින් සම්භව වී යැයි සැලකිය හැකිය. ස්පාඤ්ඤ යෙදුම: විසිගොතික් සංකල්පයක් වූ ‘ගෝමා’ මෙහි මූල්‍ය ජර්මානු ‘ගුමා’ (Guma) යන්න අර්ථය:- ‘මිනිසා’. ඒ අනුව ‘​ගෝමෙස්’ යනු ‘මිනිස් පුත්‍රයා’ (මනුෂ්‍ය පුත්‍රයා) ලෙස ගත හැකිය.
ෆොන්සේකා
ලතින් මූලය : Fon+Sicca. අර්ථය : ​Fon (උල්පත) Sicca (වියළි බිම) වියළි බිමෙහි උල්පත තවද මෙය කාන්තාරයක ක්ෂේම භූමියකට ඉඟි කරයි.
කොස්තා
පෘතුගීසි යෙදුම: Costa (කොස්තා). පෘතුගීසි අර්ථය : ගං ඉවුර, බෑවුම, මුහුදු වෙරළ. ලතින් අර්ථය: පැත්ත, අයින, කෙළවර, අද්දර
වාස්
හංගේරියානු මූලය : Vass. අර්ථය – යකඩ. මෙමගින් කම්මල් රැකියාවේ නියුක්ත වූවන්, යපස් පතල්කරුවන් හෝ යකඩ භාණ්ඩ වෙළඳාමේ යෙදෙන්නන් අදහස් කෙරේ. එසේම මෙම පෙළපත් නාමය මගින් අති විශිෂ්ට චරිතයක්. ප්‍රබල විඳ දරා ගැනීමේ හැකියාවක්ද ප්‍රකාශ කෙරේ.
අල්විස්
ජර්මානු මූලය : Alfher (පුද්ගල නාමයකි). පෘතුගීසි නාමය: Alves ( අල්වෙස්). අර්ථය – අල්ෆර්ගේ පුත්‍රයා (Alves) ලංකාවේදී මෙය Alwis (අල්විස්) බවට පත් වී ඇත.
රුද්‍රිගු
ස්පාඤ්ඤ මූලය – රොද්‍රිගෝ දියාස් දෙ වීවාර් (පුද්ගල නාමයකි) එකො​ළොස් වෙනි සියවසේ විශිෂ්ට හා කැපී පෙනුණු ස්පාඤ්ඤ සේනාධිපතියෙකු වූ මොහුගේ නාමයට ගෞරව පිණිස රොද්‍රිගු යන මොහුගේ නාමය පෙළපත් නාමයක් සේ පසුකාලීනව භාවිතයට ගැනුණු බව පෙනී යයි.
පුරාණ ජර්මානු බසෙහි Hroderic ලෙස හඳුන්වනු ලැබූ මේ නාමය ස්පාඤ්ඤ, පෘතුගීසි හා ඉතාලි භාෂාවලින් Roderico (රොදෙරිතෝ) ලෙසද කතෝලාන බසෙහි Roderic (රොඩෙරික්) ලෙසද ඉංග්‍රීසියෙහි Rod හා Roddy ලෙසද ප්‍රංශ බසෙහි රොද්‍රිගු (Rodrigue) ලෙසද පෘතුගීසි හා ස්පාඤ්ඤ භාෂාවලින් තවත් විටෙක Ruy,Rui හෝ Ruiz ලෙසද මේ නම භාවිත කෙරේ. සාමාන්‍ය සිංහල භාවිතයේදී රුද්‍රිගු නම් වන මේ පෙළපත් නාමය ඉංග්‍රීසිකරණ ලක්ව Rodrigo (රොඩ්රිගෝ) ලෙස වර්තමාන ‘පොෂ්’ ඉංග්‍රීසියෙහි (Posh English) භාවිත වේ.
සුවාරිස්
ජර්මානු මූලය :- Suero (සුඑ්රෝ). Su+heri ලෙස මේ වචනය කොටස් දෙකකට බෙදා දැක්විය හැකි නමුත් පෘතුගීසි විශේෂඥයන් පවා තවමත් ‘su’ යන්නෙහි අර්ථය කුමක්දැයි නිශ්චිත කරගෙන නැත. එහෙත් ‘heri’ හෙවත් ‘hari’ යනු ‘හමුදාව’ යි.
සොයිසා
පෘතුගීසි මූල්‍ය : Souza (සූසා). මුල් කාලයේ මේ නාමය යොදා ගැනුණේ පෘතුගාලයේ සූසා ගංගා නිම්නයේ පදිංචි වැසියන් හඳුන්වනු පිණිසය. මේ ගංගාවට Souza යන නම ලැබීමට ලතින් වචන දෙකක බලපෑමක් ඇතැයි සැලකේ. එනම් Salsus (ලවණමය) හෝ Saxa (ගල් සහිත) යන වචන දෙකම හෝ ඉන් එකක් හෝ ඊට බලපාන්නට ඇතැයි පිළිගැනේ. සොයිසා යැයි කී විට ලංකාවේ කාටත් සිහිවන නගරය මොරටුවයි.
අල්මේදා
අරාබි මූලය – ‘අල් මයිද‌ා’ (Al Maida). අර්ථය – කලක් ඉස්ලාමීය ආක්‍රමණයට යට වී සිටි ස්පාඤ්ඤයේ එක් නගරයක් අරාබින් විසින් හඳුන්වනු ලැබූයේ ‘අල් මයිදා’ යනුවෙනි. එහි අර්ථය ‘සානුව’ යනුය. ‘අල්මේයිදා’ ලෙස ස්පාඤ්ඤකරණයට ලක් වූ මේ පෙළපත් නාමයෙන් එම නගරයේ වැසියන් හඳුන්වනු ලැබීය. මෙම පෙළපත් නාමය ලංකාවේදී භාවිත වන්නේ ‘අල්මේදා’ වශයෙනි. ලංකාවට ගොඩබට ප්‍රථම පෘතුගීසි කප්පිත්තා වූයේ ලොරෙන්සෝද අල්මේදාය.
කබ්රාල්
ලතින් මූලය: Capralis (කප්‍රාලිස්). අර්ථය: එළුවන් ලගින තැන – මේ පෙළපත් නාමය එළුවන් බලාගන්නා පුද්ගලයෙකු හැඳින්වීමට යොදා ගත්තා විය හැකිය. ලංකාවේදී මෙය ‘කබ්රාල්’ ලෙස භාවිතවේ.
කොරයා Cora (කෝරා)
ලතින් මූලය – Cora (​කොරෙයා) අර්ථය – හදවත. ලතින් බසින් කොරියානු රාජ්‍යය හැඳින්වීමට යෙදෙන මේ යෙදුම හැරෙන්නට මෙම පෙළපත් නාමය සාධාරණීකරණය සඳහා සොයාගැනීමට අපට සොයාගත හැකි එකම සාධාරණ වචනය වන්නේ ‘හදවත’ යන අරුත දෙන ‘Cora’ (කෝරා) යන්නය. මේ අනුව ‘හෘදයාංගම’ වැනි අරුතකින් Cora (කෝරා) යන්න කොරයා’ ලෙස සකසාගත්තේදැයි කල්පනා කළ හැක.
පැස්කුවල්
පෘතුගීසි මූලය: Pascoa. අර්ථය – පාස්කුව (පාස්කු මංගල්‍යය). මෙම නාමය ‘පාස්කු මංගල්‍යය හා සබැඳි අරුතක් ගෙන එයි. ක්‍රිස්තියානින්ගේ ඉහළම තලයේ මංගල්‍යය නත්තල නොව පාස්කුවයි. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ දුක් විඳීම, මරණය හා උත්ථානය සමරන පාස්කු මංගල්‍යය නත්තලට වඩා වැදගත් මංගල්‍යය වෙයි. පැස්කුවල් යන පෙළපත් නාමය Pascoa (පාස්කොආ) යන පෘතුගීසි යෙදුම හා බැඳෙන බව මෙසේ තහවුරු වේ.
පෘතුගීසි ආභාසයෙන් මෙරටට ලැබුණු පෙළපත් නාම පිළිබඳ මා කළ විමර්ශනය ඵලදායක වී යැයි කල්පනා කරමි. එසේම තම පෙළපත් නාමය පිළිබඳ සැබෑ තතු දැන ගැනීම බොහෝ දෙනෙකුගේ සතුටට හේතුවිය හැකියැයි හඟීමි. එහෙත් මේ පෙළපත් නාම පිළිබඳ තවත් වෙනස් අර්ථකථන ද තිබීමට ඉඩ ඇත. තවත් එබඳු අධ්‍යයනයන් වේ නම් ඒවාත් මේ මොහොතේ කරළියට පැමිණේවායි පතමි.
ජමික මනෝහර සුබසිංහ
මුලාශ්‍රය – ලංකාදීප පුවත්පත

---Zesty 


A day in the life

2024-09-23

ලෝලු හෙවත් පතරාජ / Cordia dichotoma





ලෝලු පුරාණ හෙළ වෙදකමේදී දිව ගුණ සහිත ඔසුවකි. විටෙක පළතුරක් ලෙස පරිභෝජනය කරනා ලෝලු ගසේ පොතු , කොළ , මල් , ගෙඩි , ඇට ආදිය එකසේ හෙළ වෙදකමේදී භාවිතා කරයි.

පතරාජ , පතරංග ආදී සිංහල නම් වලින්ද ඉංග්රීසියෙන් Indian Cherrry ලෙසට හඳුන්වනු ලබන ලෝලු 10m ක් දක්වා උසට අතු පැතිරී වැඩෙන දේශීය ශාකයකි. ඉලිප්සාකර පත්ර ඒකාන්තරව පිහිටන අතර කලාතුරකින් සම්මුඛ විය හැකි ය. අංකුර දැඩි බූවක් සහිතය. අග්රස්ථ පුෂ්ප මංජරිය සංයුක්ත ඒකාක්ෂයකි. එහි හට ගන්නා සුදු පැහැති මල් ද්වීලිංගික හෝ නිසරු පුෂ්ප සහිත විය හැකි ය. කහ සිට තැඹිලි දක්වා වර්ණයන්ගෙන් යුත් ඵලය අෂ්ඨිලයකි. ලංකාවේ ශුෂ්ක සහ අර්ධ ශුෂ්ක පළාත්වල ඉබේ වැවෙන ශාකයකි. ලෝලු Boraginaceae උද්භිද කුලයට අයත් ශාකයකි.

ලෝලු මල් සහ දළු රසවත් ව්යංජනයක් ලෙස සකසා ගත හැකි අතර ඉදුණු ගෙඩි පළතුරක් ලෙස කෑමට ගත හැකිය. ඵලාවර්ණයට අතුලතින් නානුමය මැලියම් විශේෂයක් පිහිටා ඇති අතර පෙර පරම්පරාවේ උදවිය ඒවා කඩදාසි වැනි දෑ ඇලවීම සඳහා භාවිතා කර ඇත. ඉදුණු ලෝලු ගෙඩිවල පැහැදිලිව දැකි හැකි විශේෂත්වයක් වන්නේ එහි මදය ඇලෙන සුලු ජෙලටීනමය ස්වරූපයක් ගැනීමය. ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව සහ මියන්මාරය වැනි රටවවල සාම්ප්රදායික ජනතාව තවමත් ලෝලු ගසේ මල් , කොළ , ගෙඩි , සහ පොතු ආහාර වශයෙන් සහ ඖෂධ වශයෙන් භාවිතයට ගනිති. ශ්රී ලංකාවේ ද ඇතැම් පළාත්වල ජනතාව කලාතුරකින් මෙම ගසේ දලු සහ මල් ව්යාංජනයක් හා ඉදුණු ගෙඩි පලතුරක් ලෙස ගන්නා අතර ඇතැම් පාරම්පරික සිංහල වෛද්යවරු මෙම ගස ඖෂධයක් ලෙස ප්රයෝජනයට ගනු ලබති. මධ්යම තායිලන්ත ප්රාන්තයක් වන ප්රානෙක්හොන්සි අයුත්තායා හි ප්රාන්ත ගස ලෙස සැලකෙන්නේ ලෝලු ගසය. මියන්මාරයේ පාවෝ ජාතිකයන් අතර මෙම ගසේ දලු ව්යාංජනය බෙහෙවින්ම ප්රචලිතය. මෙම ශාකය සතු ඖෂධීය සහ පෝෂණ ගුණ පිළිබඳ නූතන පර්යේෂණ වලින් තහවුරු ව ඇත.








ලෝලු වටිනා ශාක රසායනික වර්ග රාශියක් අඩංගු ඉතාම පෝෂණීය ආහාරයක් වෙයි. විශේෂයෙන් මෙහි ඇටවල ඉතාම දුර්ලභ සහ වටිනා මේද අම්ල සහ ඇමයිනෝ අම්ල (ප්රොටීන) කිහිපයක්ම අඩංගු වෙයි. මෙම පලතුර සහ පත්ර ඛනිජ ලවණවලින් පොහොසත්ය. විශේෂයෙන් දුර්ලභ ඛනිජ ලවණයක් වන ක්රෝමියම් අඩංගු වන බැවින් දියවැඩියා රෝගීන්ට බෙහෙවින්ම හිතකරය. කෙසේ වෙතත් ඉදුණු ලෝලු ගෙඩිවල ප්රතිපෝෂක අඩංගු වන බැවින් ප්රධාන ආහාර වේලකට පැයකට පෙර හා පසුව ලෝලු පලතුරක් ලෙස ගැනීම සුදුසුය.


ප්රභල ප්රතිජීවකයක් හා වේදනා නාශකයකි ලෝලු ශාකය. ලෝලු සාරය සතු තුවාල සුව කිරීමේ ගුණය මෙන්ම , එය සතු පුළුල් පරාසයක පැතිරුණු රෝග කාරක ක්ෂුද්ර ජීවීන් විනාශ කිරීමේ ගුණයත්, වේදනා නාශක ගුණයත් මීයන් ඇසුරින් සිදු කෙරී ඇති පර්යේෂණ වලින් සනාථව ඇත. ආහාර මාර්ග පද්ධතිය තුළ හට ගන්නා තුවාල සහ කල් ගිය වන සුව කිරීමේ හැකියාවක් සහ අල්සර් සහ කොලික් පේන් (Ulcers and Colic pain) තත්ත්වයන් නිසාවෙන් ගර්භාෂයේ , පිත්තාශයේ සහ උදරයේ හට ගන්නා දරුණු වේදනාවන් සමනය කරන්නටත් ලෝලු හොඳ ප්රතිකාරයක් බව තවත් පර්යේෂණයකින් හෙළි වී ඇත. මෙහි අන්තර්ගත වන ඇපිජෙනින් (Apigenin) වැනි ශාක රසායන සංඝටකවල බලපෑමෙන් මෙය සිදු වන බව විද්යාඥයින් ප්රකාශ කරයි.තරුණ බව රැක දෙයි. ලිංගික ශක්තිය වැඩි කරයි. ලෝලු පත්ර සහ ඇටවල සාරයෙහි අඩංගු වන ප්රබල ස්වාභාවික ප්රතිඔක්සිකාරක සතුව ඇති නිදහස් මුක්ත ඛණ්ඩක විනාශ කිරීමේ හැකියාව නිසාවෙන් තරුණ බව දිර්ඝ කාලයක් පවත්වා ගැනීමටත් වියපත්භාවය හා සම්බන්ධ ඔස්ටියෝ , ආතරයිටිස් , ඇල්සයිමර්ස් , හෘදයාබාධ , දියවැඩියාව , පෙනීමේ ආබාධ , පිළිකා රෝගාබාධවලින් වැළකී සිටින්නටත් ඉමහත් පිටිවහලක් ලැබෙන බව සොයාගෙන ඇත. ලෝලු පත්රවල මෙම හැකියාව සාපේක්ෂව වැඩි බව ද හෙළි වී තිබේ. එමෙන්ම ලෝලුවල ලිංගික ආශාව වැඩි කරන වාජීකරණ ගුණයක් ද තිබෙන බව තහවුරුව තිබේ.





රත්පිත්, ඇදුම, ප්රමේහ රෝග, බඩවැල්වල ඇති වන වේදනා, රක්ත අර්ශස්, ගෙඩි, වණ, මුඛ රෝග, අළුහම්, බිබිලි, කැඩුම් බිඳුම්, සර්ප විෂ ආදී රෝග අවස්ථාවන් සඳහා ප්රතිකාර කිරීමේදී ලෝලු ශාකයේ කොළ, දළු, ගෙඩි, ඇට, සුඹුලු ආදී කොටස් භාවිතා කරයි. ලොලු ශක්තිජනක, කෘමින් නසන, මුත්රකාරය, රුධිරය වර්ධනය කරන, අරුචිය, උගුර දැවිල්ල, මුත්ර දැවිල්ල ආදිය නසන, හෘදයට හිතකර ගුණ සහිතයි.


අම්ල පිත්තයට -
ගැස්ට්රයිටීස්‌ රෝගයට ලෝලු ගසේ පොත්ත ගලවා පිට සුඹුල හැර කෑලිවලට කපා වනේ දමා කොටා එහි යුෂ ලීටරයක් පමණ උදේ හවස අඬු කෝප්පයක් බැගින් පානය කිරීමයි.

හොරි දද කුෂ්ඨ වලට
සිරුරේ ඇති කල් ගිය ඔඩු දුවන ලද තුවාල , දද කුෂ්ට සුව කරන්නට හා ලේ වල විෂ නසන්නටත් සිරුරේ තැන්පත් මේදය දිය කර හරින්නටත් දියවැඩියා රෝගයටත් ලෝලු පොතු , කොළ , මල් , ගෙඩි මනා ගුණ දෙන බෙහෙතකි. එමෙන්ම ලෝලුවල වාජීකරණ ගුණයකුත් අන්තර්ගතය. ලෝලු ගසේ පොතු කැඩුම් බිඳුම් වෙදකමේ වෙලුම් පටි ලෙස කලකට ඉහත භාවිත කළේය.

මොළය රැක දෙයි...
දිර්ඝ කාලයක් තිස්සේ මොළයට සැපයෙන ඔක්සිජන් සහ පෝෂක කොටස් අඩු වීම නිසාවෙන් මොළයේ ඇති වන ආබාධ තත්ත්වයන් පාලනය කිරීමට ලෝලු සාරයට හැකියාවක් තිබෙන බව සොයාගෙන ඇත. ඉගෙනීමේ හැකියාව වැඩි කරන්නටත්, මොළයේ මනා ක්රියාකාරිත්වය සඳහාත් ලෝලු ආහාරයට ගැනීම ඉවහල් විය හැකි බව ඉන්ටර්නැෂනල් ජර්නල් ඔෆ් පාර්මසූටිකල් රිසර්ච් ඇන්ඩ් ඩිවලප්මන්ට් වෙබ් අඩවියේ පළ වූ පර්යේෂණ පත්රිකාවක සඳහන්ය.

අහිතකර කොලෙස්ටරෝල් සදහා
අධික තෙල් සහිත ආහාර ගැනීම නිසා දේහ බර වැඩි වේ. රුධිරයේ ට්රයිග්ලිසරයිඩ් සහ අඩු ඝණත්ව ලිපො ප්රෝටීන් (අහිතකර කොටලෙස්ටරෝල්) වැඩි වී, හිතකර කොලෙස්ටරෝල් අඩු වෙයි. දරුණු හදවත් රෝගවලට හේතු වන, හයිපර්ලිපිඩීමිය (Hyperlipidemia) යන නමින් හඳුන්වනු ලබන මෙම තත්ත්වය ඇතැම් උදවියට ජානමය හේතු නිසාවෙන් ද හට ගනී. ලෝලුවල සුලභව තිබෙන දල තන්තු පොලිනොලික සංඝටක , ටැනින් වර්ග සහ විශේෂයෙන් ඉදුණු ලෝලු ගෙඩි වල තිබෙන ඇලෙන සුලු පදාර්ථ නිසාවෙන් අහිතකර කොලෙස්ටරෝල් අඩු කරන්නටත් හිතකර කොලෙස්ටරෝල් වැඩි කරන්නටත් සුවිශේෂී හැකියාවක් ලැබී තිබෙන බව පර්යේෂණ වලින් හෙළි වී ඇත. තවද ලෝලු ආහාරයට ගත් මීයන්ගේ බර වැඩි වීම පාලනය වී තිබුණු බවද මෙම පර්යේෂණවලින් වැඩි දුරටත් හෙළි වී ඇත.

දරුණු අක්මා රෝගවලින් බේරෙන්නට...
ඇල්කොහොල් භාවිතය අක්මාව තුළ මේදය තැන්පත් වීම සහ දීර්ඝ කාලයක් තිස්සේ ලබා ගන්නා ඖෂධ සහ වස විස රසායනික ද්රව්යයන් නිසාවෙන් අක්මාවට හානි සිදු වීම නිසාවෙන් දරුණු අක්මා පිළිකා පවා ඇති විය හැකිය. හානි වූ අක්මාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා ලබා දෙන ඖෂධයක් වන සිලිමරීන් ඖෂධයට සමාන අක්මාව රැක ගැනීමේ ලක්ෂණ ලෝලු සාරය සතුව ද තිබෙන බව සොයාගෙන ඇත.

ලෝලු ගෙඩි සහ පත්ර සාරය ලබා දීමෙන් ගැබ් ගැනීම වැළැක්විය හැකි බවට මීයන් ඇසුරෙන් කර ඇති පර්යේෂණ වලින් සනාථ වී ඇත. දැනට භාවිත කෙරෙන කෘත්රිම හෝර්මෝනමය උපත් පාලන ක්රම වල දී මෙන් නොව, ලෝලු පත්ර සාරය ලබාදීම අත්හිටුවීමෙන් පසු නැවත ස්වාභාවික ලෙස ගැබ් ගැනීම කිසිදු පමාවකින් තොරව සිදු වන බව බ්රසීලියන් ජර්නල් ඔෆ් පාර්මොකොග්නොසිස් වෙබ් අඩවියේ පළ කෙරී තිබෙන එකී පර්යේෂණ පත්රිකාවෙ සඳහන් ය. මෙකී කාරණාව නිසා ගර්භනී බව පතන ස්ත්රීන් සහ ගර්භනී සමයේ මුල් මාස තුනේ පසු වන ස්ත්රීන් ලෝලු අනුභවයෙන් වැළකී සිටීම මැනවි.

* ලොලු කොල චූර්ණය හෝ කෂාය ඇදුම රෝගයට ප්රතිකාරයකි.
* රක්ත අර්ශස් සඳහා ලෝලු කොළ, දළු පිරිසිදුව අඹරා වියළි පුවක් ගෙඩියක පමණ ප්රමාණයක් ගෙන ගිතෙල් සමඟ මුසු කොට දවසට දෙවරක් කෑමට නියම කර ඇත.
* මුඛයෙහි හට ගන්නා තුවාල සහ බිබිලිවලට ලොලු කොළ යුෂ ආලේප කරයි.
* ලොලු ගසේ පොත්තෙහි ඇති සුඹුලු කෂාය කර එයින් කට සේදීම මුඛ දුර්ගන්ධය ඇතුළු මුඛ රෝග සඳහා ප්රතිකාරයකි.
* ලොලු ඇට චූර්ණය තල තෙලින් අනා ආලේප කිරීමෙන් අළුහම්, බිබිලි ආදිය සුව වෙයි.

දියවැඩියා රෝගයට , කැස්ස , හතිය වැනි රෝග වලට දාහය සහ ඌෂ්ණ රෝගවලින් සහනයක් ලබන්නටත් ලෝලු උපකාර වන බව පැවසේ. සැඩ හිරු කිරණින් බේරෙන්නට ලෝලු මල් අඹරා මීකිරි සමග මිශ්ර කර සම මත දිනකට දෙවතාවක් ගැල්වීම ඉන්දියානුවන් අතර භාවිතයට ගැනෙන ප්රතිකාරයකි.

ලෝලු ව්‍යංජනය

ලෝලු දලු ඇඹුලට හදාගත් විට කදිම ව්යාංජනයකි. අලකොළ ව්යාංජනය පිළියෙළ කරන ආකාරයට සකසා ගත හැකිය. ලෝලු මල් ව්යාංජනයට සකසා ගත හැකිය. මුංඇට ව්යාංජනය සකසා ගන්නා ආකාරයට එය සකසා ගත හැකිය ....

පූජ්‍ය අතුරුවැල්ලේ ධම්මානන්ද හිමි ( පිළිකුත්තුව ඓතිහාසික රජමහා විහාරය ) විසින් සිළුමිණ පුවත්පතේ පලවූ ලිපියකින් හා අන්තර්ජාලයෙන් හා ඖෂධීය ශාක සංග්‍රහය ඇසුරින් සකසන ලදි ...

මෙවැනි ස්වභාවික ශාක හඳුනා ගැනීමටත් විශේෂයෙන් ඒවා මතු පරපුර උදෙසා ආරක්ෂා කර දීමටත් උනන්දුවන්න !!! ශාක හා සබැඳි පාරම්පරික දැනුමද සමාජගත කිරීම සත් ක්‍රියාවකි. පැලයක් සිටුවමින් හා පරිසරයේ ඇති ශාක ආරක්ෂා කරමින් යුතුකම ඉටුකරන්න අදිටන් ඇති මිනිසුන් වෙමු . පණ පොදේ අයිතිකරුවන් ගහ කොළ වැලයි සොබාදහමමයි
Sarana Himi

A day in the life

2024-09-22

මට ඕන හරිහමං මිනිහෙක්...




මට ඕන
හරිහමං
මිනිහෙක්...
කළුවො
මට ඕනෑම
උඹ වාගේ
හිත හයිය මිනිහෙක්...
අවජාතකයි කියා
ලෝකයෙන් එළවගත්
උඹ වාගේ
අතිජාත
මිනිහෙක්...
කිඩාරම් මලකටත්
පුදසුනක් වෙන්ට හැකි
පපුතුරක්
උරුම වූ
මිනිහෙක්...
පුංචි නොදරුවෙකුටත්
නැළවිල්ල
වෙන්ට හැකි
කතන්දරයක් වගේ
මිනිහෙක්...
වියළි මහ පොළොවකට
වැස්ස වී සිහිල දෙන
උඹ වාගෙ
අගේ ඇති
මිනිහෙක්....
වනන්තර
දෙපළු කොට
කුංචනාදය දෙවන
දහිරියෙන් ලොව නගන
මිනිහෙක්...
කේඩෑරි අත් වලින්
සෙමෙන් හිස පිරිමදින
දේවතාවෙක් වගේ
මිනිහෙක්...
පාලුවට තනිකමට
පෙළෙන
අසරණ කමට
සත් සරණ වෙන්ට හැකි
මිනිහෙක්....
උරතලේ වැතිරිලා
ඉකිගසා
වැළපෙද්දි
නෙත් පිහින
රත්තරං
මිනිහෙක්...
විසල් මහ
අහස සේ
රොන් සුනක
සුවඳ සේ
ආත්මය සුව කරන
මිනිහෙක්...
මල් පියල්ලක
මෙළෙක
හංගාන හිත් කොණක
උන්නාට
රහ දන්න
මිනිහෙක්...
කළුවො
මට ඕනෑම
උඹ වාගේ
හරිහමං මිනිහෙක්....
- විජිතමාලි ආනන්දකුමාර -
A day in the life

2024-09-21

මහබඹා කෝලම









මහබඹා කෝලම සමන් දේවාල පෙරහැරේ එන සුවිශේෂී ම අංගයකි. මිනිසුන් එය "මහබඹා, මහබබා, මහබඹා කෝලම, මහ පඹයා" යනුවෙන් ද හදුන්වයි.
මහබඹා කෝලමට මුහුණු දෙකකි. එක් පැත්තක පියකරු, පැහැපත් මුහුණකි. එය දෙවිකෙනෙක් බදු ය. අනෙක් පැත්ත බියකරු පෙනුමැති යක්ෂ මුහුණකි. එහි නයි පෙන ද ඇත. දකුණතින් අමෝරා ගත් කඩුවකි. වමතින් ඉණට තබාගත් මල් කළඹකි.
මහබඹා කෝලම අඩි අටක් පමණ උස ය. මේ රූපය පෙරහැරෙහි ගෙන යන්නේ උණ ලී සැකිල්ල ඇතුළට රිංගා ගන්නා පුද්ගලයෙක් විසිනි. හේ යක්ෂ මුහුණ සහ පියකරු මුහුණ සැමට ම පෙනෙනා සේ කැරකි කැරකී ගමන් කරයි.
1852 වර්ෂයේ පළකර ඇති Illustrated London News සගරාවේ පළ වූ චිත්‍රයක දැක්වෙන්නේ එකල සමන් දේවාලය පෙරහැරේ මහබඹාගේ මූර්තීන් දෙකක් රැගෙන ගොස් ඇති බවයි. එමෙන්ම රාජසිංහ රජ දවස ද පෙරහැරේ මහබඹුන් දෙදෙනෙකු ගමන් කළ බව සදහන් වේ.
සමන් දෙවොල ආශ්‍රිත කතාපුවත්වලට අනුව, මහබඹා කෝලම පෙරහැරට එක් වී ඇත්තේ පෙරහැර ආරම්භ වූ සීතාවක රාජසිංහ රජ සමයේදී ම ය. රජතුමා පෙරහැරට සහභාගි නොවන අවස්ථාවල රජු සංකේතවත් කිරීම සදහා මහබඹා කෝලම ගෙනගිය බව එක් මතයකින් කියැවේ.
එහෙත් රජතුමා නියෝජනය කරමින් පෙරහැරේ ගමන් කරන්නේ බස්නායක නිලමේ වරයා ය. මහබඹාගෙන් නිරූපණය වන්නේ සීතාවක රාජසිංහ රජුගේ පාලන තන්ත්‍රයේ ගති ස්වභාවය හෙවත් හොඳ නරක බව සහ රාජ්‍ය පාලන ප්‍රතිපත්තිය වර්ෂයක් පාසා මහජනයාට මතක් කරදීම බව ද ප්‍රකට මතයකි.
සමන් දේවාලයේ දිය කැපීමෙන් අනතුරුව පැවැත්වෙන දිවා පෙරහැරේ ද මහබඹා රුව පෙරහැරේ ඉදිරියෙන් ම ගෙනයයි. මෙසේ මහබඹා කෝලම ඉදිරියෙන් ම ගෙනයාම තුළින් පෙරහැරේ සිත් ඇදගන්නා නිර්මාණ, නර්තන කෙරෙහි ඇති විය හැකි වස්දොස් මග හැරීමට අදහස් කළා විය හැකිය.
මූලාශ්රය - සබරගමු මහ සමන් දේවාලය සහ රත්නපුර සෙසු දේවාල, එච්.එම්. ජයන්ත විජේරත්න
A day in the life