තෙරුවන් සරණයි .
ලොව දිනු පුවත දැනගෙන පින්වත් කුමරූ සත් පියුමන් පිපුණි පින් සුවඳින් මියුරූ සිහිකර යළිත් අසිරිය සිදුවූ අයුරූ සමරමු වෙසක් මෙවරත් මිතුරු
--- වේද ගීතයක්
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
ජීවිතය
සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.
විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි
ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.
රබීන්ද්‍රනාත් තාගෝර්
වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.
2024-02-01
කුළු පේ කිරීම
බලන්නකෝ මේ ඡායාරෑපය දිහා .
පෙර කාලයේ ලොකු කතාවක් ගමට කිවිව මේ ලියක රදවපු කුල්ල
ඉස්සර අපේ ගම්වල තිබුන ගෙවල්වල දැන් වාගේ කාමර ගොඩක් තිබුනෙ නෑ. ඒවාට තියා ගෙට ඇතුල්වෙන තැනවත් තුස්සියටවත් දොරවල් තිබුනෙ නෑ. දොර වෙනුවට පැලැල්ලක් තමා තිබුනෙ දොරට හේත්තු කරන්න.හැම ගෙදරකම පිරිමි බොගෝ රැයවල් ගතකලේ හේනෙ නැතිනමි කුඹුරේනෙ සත්තුන්ගෙන් අස්වැන්න රැක ගන්න හන්දා. එතකොට විවාහකයන්ට කෝ ඉඩක් විවාහයේ සතුට විදින්න.
එයාලට ඒ සතුට විදින්න උනේ දවල් කාලෙමයි. හිතන්නකෝ මහ දවාලෙ දොරක්වත් නැති හැම තිස්සෙම ගෙට පිටඅය ගොඩවෙන තැනක ඒ සතුට විදින්න හිත හදාගන්නෙ කොහොමද කියලා ඒක හරි අමාරු වැඩක්.
අනේ මටනම් බෑ අන්න ඒකට විසදුම තමා මේ කුල්ල.
කාගෙහරි ගෙදරක මිදුලෙ මේ රුපයේ පෙනෙනවා වගේ ලියක කුල්ල රදවලා තිබනොත්. ගමේ කිසිම කෙනෙක් මේ මිදුලට අඩියක් තිබ්බෙම නෑ. ගමේ හැමෝම දැනන් උන්නා මේ ගෙදර දෙමහල්ලො මේ මොහොතේ රතිසැප විදිනවා කියලා .
ඒකට එයාලා කිව්වා කුළු පේ කරනවා කියලා හරි අපුරැයි නේද?.
අපිත් අද ඉදලා කියමුද? කුළු පේ කරන්න යමු මැණිකෙ කියලා ගෙදර නෝනට.
ඔයාල මේවගේ අතීත රසකතා අහන්න ආසයි කියල සටහන් කරල තිබුනොත් ආයෙත් දවසක ලියන්නම්
මුහුනු පොතට ලියුවේ කපිල සේන.
2024-01-31
වසර විසි අටකට පෙර අඳුරු මතකයෙන්.......
ජනවාරි 31 දිනට ශ්රී ලංකා මහ බැංකුව කොටි බෝම්බ ප්‍රහාරයට ලක්ව අවුරුදු ( 1996 ) විසි අටකි. එදින බැංකුවේ සේවයේ නියුක්ව සිටි සහෝදර ධර්මදාස වෙල්හේනගේ සහෝදරයා ගේ සටහනක්වු අත්දැකීම පහතින් පලවේ..
එදා 1996 ජනවාරි 31 දිනයයි. මම මහ බැංකුවේ බිම්මහළත් පළමුමහළත් අතර අතුරු මහළෙහි සේවයේ යෙදීසිටියෙමි. වේලාව උදේ 10.30 පසුවන්නට ඇත. බිම් මහළේ රාජකාරියේ යෙදීසිටි නාවික හමුදා නිළධාරියාගේ මැෂින් තුවක්කුවෙන් එක දිගට වෙඩිහඬ ඇසෙන්නට විය. අසාමාන්‍ය ශබ්දයෙන් කලබලවූ අපි බිම්මහළ දෙස බලන්නට වීමු. පහළ සිටි කවුදෝ මහ හඬින් බෝම්බ ලොරියක් බැංකුව ඇතුලට එන්න හදනවා යැයි කෑගසමින් මැදි මහළට වේගයෙන් නගිනු දුටුවෙමු. ඒ සමග අපි සියලු දෙනාම මැදි මහළේ පිටුපසට දුවන්නට පටන් ගතිමු. සියල්ලෝම පහළට බසින පඩිපෙළ ලඟ සිරවුනි.ගතවූයේ නිමේෂයකි.මහා බිහිසුණු හෙණහඬකි.
අපි සියල්ලෝම මොහොතකට සිහි නැතිවූවාසේය.මුලු ගොඩනැගිල්ලම සෙලවෙනවා දැණුනි.ඇස් ඇරී බලනවිට අපි මුලින් සිටි පෙදෙසම කඩාවැටී විශාල ආලෝකයක් පැතිරී තිබුණි. ඒ මොහොතේ අපේ ගොඩනැගිල්ලේ වීදුරු සහ බිත්ති කැඩී කුඩුවී විශාල ශබ්ද නඟමින් පහළට වැටෙමින් තිබුණි.මා සිටි ස්ථානයේ සියලු දෙනාම අණතුරක් නොමැතිව සිටි බව පෙනුනද සියල්ලෝම හඬමින් කෑගසමින් ඉක්මනින් පහළට බසින්නට උත්සාහකරමින් සිටියේය. මමද අමාරුවෙන් පහලට තල්ලුවී බිමට බැසගතිමි. තුවාලවූ අපගේ සහෝදර සහෝරියන් ගේ වේදනා හඬ දසතින් ඇසෙන්නට විය.ගොඩනැගිල්ලේ වීදුරු බිමට වැටෙනහඬ තවමත් ඇසේ,ඉදිරිපස කොටසේ සිට විශාල දුමක් ඉහළට නගිනු පෙනුනි. මා ඇඳසිටි සුදුකමිසයේ තැනින් තැන විශාල ලේ පැල්ලම් වූ බව දුටුවේ මුහුද අසල පාරට පැනගත්විටය.පෙරපිණකින්දෝ මට තුවාල නොතිබුණි,තදවී බිමට බසිද්දී අනෙකුත් සොහෝයුරන්ගේ ලේ තැවරී තිබුණි. මොහොතක් දුම් නැගිමින් තිබුනු බැංකුව දෙස බලාසිටියා මතකය.
අප සමග සේවයේ නියුතු සහෝදර සහෝදරියන් 41 ක් ජීවිත අහිමි වූ බව දැනගත්තේ පසුවය.තවත් දෑස් අන්ධව අංග විකලව තවමත් දුක්විඳින සියගණනකි.මහබැංකුව අවට සිට මෙලොවින් සමුගත් සහ තුවාල වු අය බොහෝය.වසර ගණනක් දහවල් කෑම මේසයේ සතුටු සාමීචියේ යෙදීසිටි, නොදන්නා සමහර විෂය කරුණු අපට කියාදුන්, ඇවිදින පුස්තකාලයක් වැනිවූ අපේ හොඳම මිතුරෙකු වූ නිමල් පීරිස් මහතා අකාලයේ ජීවිතයෙන් සමුගෙනය. තවත් එවැනි හැකියාවන් තිබූ කිහිප දෙනෙකුම අප අතරින් සමුගෙනය. ඒ අභාග්‍ය සම්පන්න ශෝචනීය සිදුවීම වී අදට අවුරුදු 28 කි. මා මියයන තෙක් මේසිදුවීම මතකයේ රැඳී පවතී.
ජීවිතයෙන් සමුගත් අපේම සහෝදර සහෝදරියන්ට සංසාරේ කිසි දිනක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවායි පතමි. සියලු දෙනාටම නිවන් සැප ලැබේවා...!මේ සිදුවීමෙන් අබල දුබළ ව තවමත් ජීවත්වන සහෝදර සහෝදරියන්ට තෙරුවන් බෙලෙන් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු.
2024-01-30
වැව් කතාවක්..
ඒ අනුව වර්තමානයේ පවතින සම්මතයට අනුව මුළු ලොවටම හා හා පුරා කියා වාරී ශිල්පය හදුන්වා දුන් ප්‍රථම වැව වන්නේ අභය වැවයි
වැවක් යනූ උස්බිම් දෙකක් යා කර ඇළක් කර බැදි බැම්මකින් යුත් ජලය එක් රැස් වන ස්තානයයි.ඒ අනුව හෙළදිව ගංගා 103ක් කේන්ද්‍ර කොට ගෙන වැව් අමුණු දස දහස් ගණනක් ඉදි කිරීමට අපගෙ අතීත රජ දරුවන් කටයුතු කර ඇත.රජරට පුරාවට පමණක් වැව් පන්දහස්කට වඩා ඉදිකොට ඇත.අහසින් පොළොවට වැටෙන එකම දිය බිදක් වත් මහමුහුදට ගලා නොයා යෑමට ඉඩ නොදි මහ පොළවෙම රදවා ගෙන වියළි රජරට තෙත් කිරීම එකල වැවක ප්‍රධාන රාජකාරීය වූවේය..
ඒ අනුව වැව් සංස්කෘතිය හරහා ආරම්භ වූ කෘෂිසංස්කෘතිය මානව සංස්කෘතියකි.බීම්ට නෑමට පමණක් නොව සතා සීපාවන්ගෙ පැවත්මටද වැව අවශ්ය විය.එකල වැව් වර්ග කිහිපයක් තිබි ඇත ගම්වැව්,යෝධවැව්,ලන්දේවැව්,කුළුවැව් ලෙසින් ගම්වැව් යනු එක ගමක ඇති වැවකි.අදටත් රජරට ප්රදේශයේ බොහෝ ගම් වල වැවක් දෙකක් දක්නත ඇත.එලෙසින්ම බොහො ගම්වල අවසානය වැව ලෙසින් ද තිබේ උදා ගලෙන්බිදුනුවැව,කෝන්වැව ,දිවුල්වැව ලෙසින්. ලන්දේවැව් යනු වියළි කලාපයේ සතුන් දිය බීමට ගම්මාන වලට පැමිණීමට වැලක්වීම සදහා වනාන්තරය තුල ඉදි කල වැවකි.කුළු වැව් යනු විශාල වැවක ආරක්ෂකයාය.ප්‍රධාන වැවට වර්ෂා කාලය තුලදී ගලා එන විශාල ජල කද එක් වරම ප්‍රධාන වැවට ගලා ඒම වලක්වා ක්‍රමයෙන් වේගය අඩු කර රොන් මඩ තැන්පත් කරගෙන පිරිසුදු ජලය පමණක් වැවට ගලා ඒමට සලස්වන වැවය.ස්වාභාවික ඇළක් හෝ කදු වැටි දෙකක් එක් කර බදින අද බැම්මෙන් නිර්මාණය වන වැව නිකම්ම නිකම් වැවක් වූයේ නැත.ඊට සොරොව්ව,බිසෝ කොටුව, මඩ සොරොව්ව ,වාන ,රළපනාව, ඉහත්තාව ,තාවූල්ල ලෙසින් බොහෝ අංග රැසක් අයත් වූය.
වැවක ප්‍රධනම අරමුණ වූයේ විශාල ජලය ප්‍රමාණයක් රදවා තබා ගැනීමයී.අතීතයේ අද මෙන් යන්ත්‍ර සූත්‍ර වලින් සකස් කරන ලද ඒවා නොවෙයි.මිනිස් ශ්‍රමය,අලි ඇතුන්, හරකුන්, යොදා තලා බැම්මට අවශ්ය පරිදි සකස් කර ඇත.විශාල ජල කදක් වූවද ගබඩා කරගැනීමට අවශ්ය ආරක්ෂක ක්‍රම යටතේ සකස් කොට ඇත.අතීතයේ විශිෂ්ටතම ජල කළමනාකරණ සදහා වැවක වැදගත් ම අංගය වූයේ සොරොව්වයි.වැවේ ජලධාරීතාවය වැඩිවත්ම සොරොව්ව මගින් පිට කරන ජලයේ පීඩනය අවම කිරීම සදහා බිසෝකටුව නිර්මාණය කර ඇත.බිසෝ කොටුවෙ ඇති අවකාශය හේතූවෙන් ජලය ඉහළ ගමන් කොට ජල පීඩනය අවම කිරීම හේතූවෙන් වැව් බැම්ම ආරක්ෂා වේ.වැවේ ආරක්ෂකයාය වන්නේ වානයී වැවක උපරිම ලෙස ජලය දරා අතිරික්ත ජලය පිට කිරීම වානේ ක්රයාවලියයි.වැවක පැවත්ත්ම් ඇත්තේ ඉහත්තාව මතය.ඒය වැවේ පෝෂක ප්‍රදේශය වෙයි.වර්ෂා කාලය තුල වැවට ජලය ගලා එන්නේ ඉහත්තාව තුලින් වෙ.ඒ අනුව පැරණි ජනයා මහත් භක්තියෙන් ආරක්ෂා කරන ලදි කිසිවිටක කැලය එළි පෙහෙළි කිරීම නොකලේය.එම නිසා වැව් ඉහත්තාව නිතරම තෙතමනයෙන් පැවතුණි එම නිසාම වන සතුනට ආහරද සුලබව තිබිණ.මීට අමතරව වැව් බැම්මේ ආරක්ෂාව සදහා කළුගලින් රළපනාව සකස් කොට තිබිණ .
අතීතයේ වැව බලා කියා කටයුතු කරන ලද්දේ ගමරාළ විසිනි.එකළ වැව කේන්ද්‍ර කොට ගෙන ගම්මාන බිහි විය.ගම්මානයක් හා වැවක් අතර තිස්බඹය යනුවෙන් කොටසක් විය එය කට්ටකාඩූව ලෙසින්ද හදුන්වා ඇත.එ හදිසි අවස්තාවකදි බැම්මට පස් සපයා ගැනීම සද ඉතුරු කර තිබිණ .ගම්මානයේ ඉදිරිපිට වෙල් යායයී.එක රව්මට ඉදි වූ ග්ම්මානයේ සොරෝව්ව ආසන්නයේ ගෙදර හිමි වූයේ ගමරාළට හ විදානෙටයි.ගමරාළ හා විදානේ දින දෙක තුනකට වරක් ප්ර්ධාන ජලය ගලා බසින වේලී දිගේ ගමන් කොට ජලය මදි පාඩූ කුඹුරු පිලිබදව සොයා බලා ඔව්න්ට අවශ්ය ජලය සැපයීමට කටයුතු කරේය.මෙසෙ ගමරාළ හා විදානේ විසින් වැවේ ජලය කළමනාකරණය කිරීම නිසා කන්න අවසානයේ සෑම ගොවියෙකුම ඔව්න්ට සලාරිස් වශයෙන් වී කොටහක් ලබාදීමට පුරුදු වී සිටියේය.මීට අමතරව වැවෙන් නෙලාගන්නා මුකුණුවැන්න දිය බෙරලිය නෙළුම් අල, ඕළු හාල් වැනි ආහරද හේතූවෙන් වැව සම්පතක්ම විය.
එලෙසින් ම වැව හිදි යන කාලය තුල වැව් බැම්ම කෙටීම වැව් බැම්ම සේදී ගොස් ඇති තැන් සදහා පස් පුරවා බැදීම වැනි රාජකාරී සැම ගොවියෙකුටම පැවරුණු රාජකාරී වෙයි.එසේ නොකරන ගොවීන් සදහා නීතීය ක්රියාත්මක කරවන්නේ වැව් ලේකම් විසිනි .ඔහු ගම්මුලාදෑනීයාගේ සහය ඇතිව ගම්සභා උසාවිය දක්වා ඔව්න් ගෙන ගොස් දඩ නියම කරණු ලැබිණ .සමහර විටක දිය තහංචිය නමින් දිය ලබා නොදීමේ ක්‍රියාමාර්ගද අරන් ඇත.
එසේ වැව හා කෙරෙන සිරිත් විරිත් මෙන්ම වැව් රාජකාරිය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් කටයුතු කිරීමේන් වැව සදහටම ගැමි සමාජයෙන් සමුගත්තේය.
එහෙත් අද වැව අයිති රාජ්‍ය ආයතන මගින් වැවේ ප්‍රථිසංස්කරණ කටයුතු කිරීමට ලබා දෙන්නේ දේශපාලූවන්ගේ හෙංචයින්ටය.එය අධීක්ෂණය කිරීමට සිටින රාජ්‍ය නිළධාරීන් ද එම කොන්ත්‍රාත්කරුවන් ගේ සුරතලුන් බවට පත් වන්නේ කොන්ත්‍රාත් මුදලින් ලබා දෙන සියයට 1\10 ක් වූ මුදල් කුට්ටි නිසාම ය.එම හේතූවෙන් වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු නියම ප්‍රමිතියකින් තොරව නිමා වීමයී.ඊටත් වඩා හානීය කියන්නේ මෙම කොන්ත්‍රාත්තුව ලැබෙන්නේ ගමේ ගොවි සංවිධානයටය එහෙත් එම කොන්ත්‍රාත්තුව සිදු කරන්නේ දේශපාලන හෙන්චයියන් විසිනි එ වෙනුවට ගොවි සංවිධානයේ ගිණුමට %05 ක කොමිස් මුදලක් ලැබෙන අතර එම මුදල් අහිමි වේ යැයි බියෙන් වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු කෙසෙ වූවත් බිහිරි අලීන් හා අන්ධයින් මෙන් සිටීමට ගමේ ගොවි සංවිධානයේ නිළධාරීන් කටයුතු කරයි.අහෝ වැවට වූ කේදවාචකය ගමේ වස්තුව , ගමෙ උරුමය රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කෙළිබඩුවක් බවට පත්කර ඇත්.මෙම තත්වය මත නිළධාරීන් ගෙ හොද්ද බොර වීම හේතූවෙන් ගොවියාට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ න් ලැබෙන නියෝග දෙස බලාගෙන හූල්ලා බලා සිටීමට සිදුවී තිබේ.පැරණි ජනයාගේ වස්තුව වූ වැව අද රජයේ පමණක් නොවෙයි විදේශීය ණය දෙන සමාගම් වල කෙළිබඩුවක් වී ඇත
ගමක සිරිය
Wathsala Priyanthi Nanayakkara
2024-01-28
වටද්දර ඤණිස්සර නායක හාමුදුරුවෝ.
කූරගල සැබෑ භාරකරු වූයේ උන්වහන්සේය.. ඉතා දුෂ්කර කලක උන්වහන්සේ එහි වැඩවිසූහ.. බහුභාණ්ඩික භික්ෂූන් අතර අල්පේච්ඡ හිමිනමක් වූහ.. උන්වහන්සේ විසින් පුරාවිද්යාව සහ ජනකථා අතර සම්බන්ධය ඔප්පු කල අවස්ථා සිය ගනනක් මම අත්විඳ ඇත්තෙමි.. කල්තොට වෙනම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයක් කරන්නට මට අදහස දුන්නේ් මහාද්වීප පාවෙමින් ගිය ආකාරය සහ ඉන්දියාව යුරේසියාවේ ගැටෙද්දී එහි ප්රතිඵලයක් ලෙස බෙල්ලන්ගල කන්ද ඉහලට එසවුනු ආකාරය පහදා දෙමින් වසර මිලියන ගනනක් පැරණි බෙල්ලන් ගොඩබිමෙහි ඇති ආකාරය පහදාදීමෙන් පසු ඇතිවූ කථාවකදීය..
ආචාර්ය ගිලියන් ජුලෙෆ් බලංගොඩදී සුලං බලයෙන් යකඩ උනුකරන උඳුන ප්රතිනිර්මාණය කලේ වටද්දර නායක හාමුදුවන්ගේ උපදෙස් පරිදිය.. එම උඳුන යලි ඉදිකිරීම සිහිවන්නට බලංගොඩ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ එහි අනුරුවක් සහ පුවරුවක් ඉදිකරන්නට මා කටයුතු කලේ උන්වහන්සේ කවුරුන්දැයි නොදන්නා අයට දැනගන්නටය..
වටද්දර හාමුදුරුවන් දැනුම් ගබඩාවකි.. එහි ඵල ප්රයෝජනය ගන්නට තරම් බුද්ධියක් බලංගොඩ මිනිසුන්ට තිබුනු බවක් මා අත්විඳ නැත.. ප්රාඩෝ වල යන, ගල්මත සිංහයින් හදන, වටිනා සිවුරු දරන, නායක තනතුරු වලින් වැජබෙන සංඝ සමාජය නිසා ඇස් නිලංකාරබුනු බලංගොඩයෝ සෙරෙප්පු නොදා පයින් යන, ලොකු අයියාගේ කඩෙන් එලවළු රොටියක් කහට එකක් වළඳන, කියන්න තියෙන දේ මූණටම කියන, දේශපාලන නායකයාට සහ පාරේ බුදියන හිඟන්නාට එකසේ සලකන වටද්දර හිමියන්ට සැළකුවේ වැඩිය අවුස්සානොගෙන සිටියයුතු ස්වාමීන්වහන්සේ නමක් ලෙස බව මගේ මතකයයි..

ලංකාවේ මිනිස්සු ගල් පිළිම සහ බොල් පිළිම වෙන්ව හඳුනාගන්නා දිනක උන්වහන්සේ ගැන මීටවඩා ආදරයෙන් සිහිපත් කරනු ඇත.. බලංගොඩ උරුමය ඇත්තේ කොන්ක්රීට් සිංහයන් තුල නොව වටද්දර හිමියන් මැදිහත්ව ප්රතිනිර්මාණය කල ලෝකයටම එකක් වන ස්වභාවික සුළගෙන් තනි පියවරෙන් වානේ නිපදවන තාක්ෂණය ඇති උඳුන් වල බව කවදාහෝ කවුරුන්හෝ ලියනු ඇත..
උන්වහන්සේට නිවන් සුව පතනවා වෙනුවට ඒ මහා දැනුම යලි බෙදන්නට දැනුමේ වටිනාකම දන්නා රටක උපදීවායි පතන්නට මට සිත් වෙයි..
වටද්දර ඤණිස්සර අපේ නායකහාමුදුරුවන්ට නිවන් මගට යොමුවන සුගතිගාමී භවයක් ලැබේවායි පතමි..
සටහන - Champika Nirosh (හිටපු ප්රාදේශීය ලේඛම්)
ආචාර්ය ගිලියන් ජුලෙෆ් බලංගොඩදී සුලං බලයෙන් යකඩ උනුකරන උඳුන ප්රතිනිර්මාණය කලේ වටද්දර නායක හාමුදුවන්ගේ උපදෙස් පරිදිය.. එම උඳුන යලි ඉදිකිරීම සිහිවන්නට බලංගොඩ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ එහි අනුරුවක් සහ පුවරුවක් ඉදිකරන්නට මා කටයුතු කලේ උන්වහන්සේ කවුරුන්දැයි නොදන්නා අයට දැනගන්නටය..
වටද්දර හාමුදුරුවන් දැනුම් ගබඩාවකි.. එහි ඵල ප්රයෝජනය ගන්නට තරම් බුද්ධියක් බලංගොඩ මිනිසුන්ට තිබුනු බවක් මා අත්විඳ නැත.. ප්රාඩෝ වල යන, ගල්මත සිංහයින් හදන, වටිනා සිවුරු දරන, නායක තනතුරු වලින් වැජබෙන සංඝ සමාජය නිසා ඇස් නිලංකාරබුනු බලංගොඩයෝ සෙරෙප්පු නොදා පයින් යන, ලොකු අයියාගේ කඩෙන් එලවළු රොටියක් කහට එකක් වළඳන, කියන්න තියෙන දේ මූණටම කියන, දේශපාලන නායකයාට සහ පාරේ බුදියන හිඟන්නාට එකසේ සලකන වටද්දර හිමියන්ට සැළකුවේ වැඩිය අවුස්සානොගෙන සිටියයුතු ස්වාමීන්වහන්සේ නමක් ලෙස බව මගේ මතකයයි..
ලංකාවේ මිනිස්සු ගල් පිළිම සහ බොල් පිළිම වෙන්ව හඳුනාගන්නා දිනක උන්වහන්සේ ගැන මීටවඩා ආදරයෙන් සිහිපත් කරනු ඇත.. බලංගොඩ උරුමය ඇත්තේ කොන්ක්රීට් සිංහයන් තුල නොව වටද්දර හිමියන් මැදිහත්ව ප්රතිනිර්මාණය කල ලෝකයටම එකක් වන ස්වභාවික සුළගෙන් තනි පියවරෙන් වානේ නිපදවන තාක්ෂණය ඇති උඳුන් වල බව කවදාහෝ කවුරුන්හෝ ලියනු ඇත..
උන්වහන්සේට නිවන් සුව පතනවා වෙනුවට ඒ මහා දැනුම යලි බෙදන්නට දැනුමේ වටිනාකම දන්නා රටක උපදීවායි පතන්නට මට සිත් වෙයි..
වටද්දර ඤණිස්සර අපේ නායකහාමුදුරුවන්ට නිවන් මගට යොමුවන සුගතිගාමී භවයක් ලැබේවායි පතමි..
සටහන - Champika Nirosh (හිටපු ප්රාදේශීය ලේඛම්)
ඡායාරුප - Sidusankha Vidupathi
2024-01-27
අධිවේගී මාර්ග

මම දන්න විදිහට ලංකාවෙ අධිවේගී මාර්ග design කරලා තියෙන්නේ පැයට කිලෝමීටර් 120ක උපරිම වේගයකට යටත්ව. ඒ කියන්නෙ ඔය අධිවේගී මාර්ග වල සාමාන්ය තත්ත්වයට වඩා දුර්වල රියැදුරෙකුට, සාමාන්ය තත්ත්වයට වඩා දුර්වල වාහනයක වංගු, කදු, පල්ලම් වල ආරක්ශිතව යන්න පුලුවන් උපරිම වේගය පැ.කි.මී 120යි. එහෙම පාරක නීත්යානුකූලව යන්න පුලුවන් උපරිම වේගය පැ.කි.මී 100 යි. ඒකට කියන්නෙ posted speed කියලා. එහෙම අඩු අගයක් දාන්නෙ අධිවේගී මාර්ගය භාවිතා කරනන්නගෙ ආරක්ශාවට.වාහනයකට තමන් ඉදිරියේ තියෙන යම්කිසි බාධකයක් දැකලා වාහනේ සම්පූරනයෙන් නවත්වාගන්න අවශ්ය දුරට කියන්නෙ stopping sight distance කියලා. මේ stopping sight distabce එකට කොටස් දෙකක් අඩංගුයි. පලවෙනි එක brake reaction distance. දෙවෙනි එක braking distance.Brake reaction distance කියන්නෙ තමන් ඉදිරියේ තියෙන යම්කිසි බාධකයක් දැකලා ඇහැ විසින් මොලේට පණිවිඩයක් යවලා මොලේ කකුලට බ්රේක් ගහපන් කියලා පැණිවිඩය යවන්න ගතවන කාලය තුල වාහනය ඉදිරියට ගමන් කරන දුර. Below average driver කෙනෙක්ට මේ සදහා තත්පර 2.6 ක් ගතවෙනවා AASHTO guidelines වලට අනුව. ඒ කියන්නෙ දල වශයෙන් පැයට කි.මී 100 ට යන වාහනයකට බ්රේක් ගහන්න හිතනකොටම මීටර 69.5 ක් ගිහිල්ලා. තරුණ රියැදුරෙක් නම් මීටර 42 ක් වගේ යනවා.Braking distance කියන්නෙ brake එක පෑගුවට පස්සෙ වාහනේ සම්පූර්ණයෙන් නතර වෙනකොට මන්දනයෙන් වාහනේ ඇදිලා යන දුර. මේකත් below average vehicle එකකට පැයට කි.මී 100 කින් යද්දි සාමාන්යයෙන් මීටර්115 ක් වගේ දුරක්.එතකොට පැයට කි.මී 100 ක වේගෙන් යද්දි අපිට හදිස්සියෙන් බ්රේක් ගහලා වාහනේ නවත්තගන්න ඕනෙ උනොත් උපරිම වශයෙන් මීටර් 185ක් විතර ඕනෙ වෙනවා. වාහනේ අලුත් නම් රියැදුරා තරුණ නම් ඉක්මනින් ප්රතික්රියා දක්වන කෙනෙක් නම් මේක මීටර් 100-120ක් විතර වෙනකල් අඩු වෙයි. මේ දුර වැස්ස දවසක් නම් තවත් වැඩි වෙනවාඔය ටික කියලා කතාව පටන් ගත්තේ තත්වේ බරපතල කම ගැන අවබෝධයක් දෙන්න. හයිවේ එකේ වම් ලේන් එකේ බරවාහන ඉතාම සෙමින් ගමන් කරනවා. ඔවුන්ව පසු කරන සමහරක් වාහන දකුනු මන්තීරුවෙන් එන වාහන ගැන තැකීමක් නොකර ක්ශ්ණිකව දකුනු මන්තීරුවට දානවා. එතකොට ඒ මන්තීරුවේ අධිවේගයෙන් එන වාහන වලට නවත්තගන්න තරම් දුරක් වෙලාවක් ඉතුරු වෙන්නෙ නෑ. ඒ නිසා බොහොමයක් අනතුරු වෙනවා. ඊලග එක තමයි අධිවේගයේ ගොඩක් වාහන නියමිත දුර පවත්වා ගන්නෙ නෑ. අවම වශයෙන් වාහන දෙකක් අතරේ මීටර් 100ක් වත් දුරක් පවත්වා ගන්න. එතකොට ඉදිරියේ වාහනය හදිසියේ නැවතුනත් ඔබත් ඔබේ වාහනයේ ගමන් කරන සියල්ලත් ආර්ක්ශිතයි.තුන්වෙනි එක තමයි රාත්රි කාලයේ අධිවේගයේ පහ දල්වා නොමැති කම. සාමාන්යයෙන් රාත්රියට අපිට පේන්නේ අපේ වාහනයේ headlight එක වදින දුර විතරයි. ඒ නිසා රෑට අර Stopping sight distance එක 180ක් උනාට ඇත්තටම ඔයාට ඉදිරියේ මොකක් හරි බාධාවක් පේන්නෙ headlight එක වදින මීටර් පනහක හැටක දුරක් විතරයි. ඒ නිසා ඔයා පැයට කි.මී 100 ට ගියත් ඔයාට ඉස්සරහ යන වාහනේ ටේල් ලයිට් වැඩ කරන්නෙ නැත්නම්, එයා යන්නෙ ඉතාම සෙමින් නම් ඔයාට ඉතාම සුලු දුරක් සහ කාලයක් පමණයි තියෙන්නෙ මන්තීරු මාරු කරන්න සහ වේගය අඩාල කරන්න. ඒ නිසා රාත්රියට මේ තත්තවය ඉතාම බරපතලයි. ඒත් එක්කම රාත්රියට නිදිමතත් එක්ක අපේ reaction time වැඩි වෙනවා. ඒත් එක්කම brake reaction distance වැඩි වෙනවා. ඒ නිසා රාත්රියට අධිවේගය භාවිතා කරනවනම් ඉතාම පරීක්ශාකාරී වන්න.ඒත් එක්කම බලධාරීන්ගෙන් ඉල්ලන්නෙ මෙන්න මේ දේවල් ක්රියාත්මක කරන්න1. අධිවේගයට අවම වේග සීමාවක් පනවන්න.2. ඇතුලු වෙන සෑම වාහනයකම ටේල් ලයිට් වැඩ කරනවාදැයි සොයා බලන්න.3. දෙයියන්ගෙ නාමෙන් රෑට විදුලි පහන් පත්තු කරන්න මොකක් හරි පිලියමක් යොදන්න.රියැදුරන්ගෙ ඉල්ලන්නෙ1. ඉස්සරහ වාහනේ පස්ස ඉඹින්න බලාගෙන පදින්න එපා. නියමිත ආරක්ශාකාරී දුර තියාගන්න.2. වම් ලේන් එකේ පැයට කි.මී 40ට කොට කොටා යන්න එපා. එහෙනම් සාමාන්ය පාර පාවිච්චි කරන්න.3. දකුනු ලේන් එක ඉස්සර කිරීමට විතරක් යොදාගන්න. වාහනයක් ඉස්සර කල සැනින් නියමිත දුරකින් පසු නැවතත් වම් ලේන් එකට මාරු වෙන්න.4. ලොරි වල පසුපස් ක්රෑශ් බාර් සවි කරන්න. එවිට පිටිපස්සෙන් ඇවිත් හැප්පුනොත් ඒ වාහනයේ airbag on වෙන විදිහට crash bar එකේ වදින්නෙ. වාහනේ අස්සට ගිහින් රියැදුරාගේ ඔලුව ට්රේලර් එකේ වදින්නෙ නෑ.5. Headlight, Taillight සහ signal light වැඩද බලන්න. ඒවා හරියට භාවිතා කරන්න. ඉස්සර කරනවනම් මංතීරු මාරු කරනවනම් signal light භාවිතා කරන්න.6. 100kmph නම් 100kmph වලට යන්න. සල්ලි තිබ්බ පලියට, බලය තිබ්බ පලියට 150kmph වලට යන්න එපා. Physics වලට සල්ලි බලය අදාලම නෑ.ඔය පහලින් තියෙන්නෙ එක එක වේගයට අදාල වාහනේ නවත්වන්න අවශ්ය දුරවල්
සටහන - Chamod Hettiarachchi
Accident1st
2024-01-26
මගේ වැඩේ ඉවර කරලාද බන්
පොඩ්ඩේ සීයා නැති උනේ හරියටම අවුරුදු අසූ පහකින් මට අද වගේ මතකයි ඒ වෙලාවේ ලග හිටියේ මම නිසා මැරිලා මල් ශාලාවටත් දාලා තමයි මම ගෙදරට පණිවුඩය දුන්නේ මාත් දවස් කිහිපයක්ම රෝහලේ හිටපු නිසා මල් ශාලාවට පස්සේ යනවා කියලා ගෙදර ඇවිත් නා ගන්නකොටම චුට්ටේ සීයා ආවා පොඩ්ඩේ සීයායි චුට්ටේ සීයායි කියන්නේ නිවුන්නු මොනා උනත් චුට්ටේ සීයා හෙනම අවුලෙන් හිටියේ ඒක මට හොදටම තේරුණා
'සිරිලෝ මගේ වැඩේ ඉවර කරලාද බන්'
'සිරිලෝ මගේ වැඩේ ඉවර කරලාද බන්'
චුට්ටේ සීයා හැම වෙලාවෙම එහෙම තමයි කතා කරන්නේ එයා කාගේ වැඩක් උනත් ඕනම දේකදී මගේ කියන වචනේ දාලා කතා කරන්නේ අනික් උන්ටනම් බයිලා වගේ ඒත් ඉතින් පවුලේ අයටනම් තේරෙනවා සීයා අහන්නේ මොකක්ද කියලා .
දැන් උනත් සීයා "මගේ වැඩේ ඉවර කරලාද බන් " කියලා ඇහැව්වේ පොඩ්ඩේ සීයාගේ මිනිය ගේන්න පුලුවන්ද කියලා දැනගන්න.
ඒ දවස් වල තමයි ඔය කලර් ප්රින්ට් බැනර් ආපු මුල් කාලේ මල්ශාලාව ළඟ එකක් තිබ්බ නිසාම මම ගෙදර ආවෙත් පොඩ්ඩේ සීයාගේ පොටෝ එකක් අරන් යන්න ප්රින්ට් එකක් ගන්න තනියම යන්නම් කියලා කිව්වට මොකො චුට්ටේ සීයා මල් ශාලාවට යන්නම ඕන කියලා කියපු නිසා වීල් එකක දාගෙන එක්ක ගියා මොනා උනත් එක බඩවැල කඩාගෙන ආපු තමන්ගේම නිවුන් සහෝදරයානේ පට්ටම දුකක් ඇති මල් ශාලාවෙත් එම්බාම් කරණ මහතුන් මාමාව මම කාලයක් තිස්සේ දන්න නිසාම වැඩිය අවුලක් උනේ නෑ ඒ වැඩ ටික කරගන්න ඒත් එක දිගට දවස් ගාණක් නිදි මරපු නිසාම පහල තේ කඩේට යන්නම් කියලා චුට්ටේ සීයා මිනිය පටවන වෑන් එක ගාව තියලා.
" චුට්ටේ සීයා මම පොඩ්ඩේ සීයාගේ පොටෝ එක එහා පැත්තේ කඩේට දීලා එන්නම් බැනර් එක ගහන්න මම තේ එකකුත් බීලම එන්නම් ඔයත් එනවද නැත්තම් "
කමක් නෑ සිරිලෝ මගේ වැඩේ ඉවර කරගෙන එන්නම්.
චුට්ටේ සීයා දන්නවා මම සිගරට් එකක් බොන්න යන බව ඒක නිසාම එන්න බෑ කියන්න ඇති මල් ශාලාවෙන් එලියට ඇවිල්ලා එහා පැත්තේ උඩ තට්ටුවේ බැනර් ගහන තැනට ගිහින් චුට්ටේ සීයාගේ පොටෝ එකකුත් දීලා පහලට ආවා තේ කඩේ තිබුණේ බැනර් ගහන තැනට කඩ තුනක විතර දුර තේ කඩේට ගිහින් දුමක් අරගෙන කඩේ පිටිපස්සට ගිහින් පාරවල් දෙකක් විතර අදිනකොට බැනර් ගහන තැන එකා බුදු අම්මෝ කියාගෙන උඩ තට්ටුවේ ජනේලයේ වීදුරුවත් කඩාගෙන බිමට පැනපු පාර දුමක් දාගෙන හිටපු දෙතුන්දෙනාම ඒ පැත්තට දිව්වා.
බැනර් ගහන තැන කොල්ලා පැනපු පාර කකුල ඇමෙට් වෙලා වෙලාවට කැඩිලා නෑ අපි දෙතුන් දෙනාම ඌට කිට්ටු කරලා උස්සලා ගත්තා විතරයි මූ එතකොටත් දාඩියෙන් පෙගිලා වගේ හිටියේ.
මොකද යකෝ හොල්මනක් දැක්කා වගේ බයවෙලා තෝ මම එහෙම අහනකොටත් මේකා තොල්පොටවල් වලින් මතුරනවා වගේ
ත.. තමුසේ බැනර් එක ගහන්න ගෙනල්ලා දිපු පොටෝ එකේ හිටපු වයසක මිනිහගේ හොල්මන එක පාරම මයේ ඉස්සරහින් මතු ..... කියනකොටම චුට්ටේ සීයාත් එතැනට ආවා බැනර් ගහපු එකා ආපහු චුට්ටේ සීයා දකිනකොටම සිහිනැතිව ගියා උනේ මොකක්ද කියලා මට තේරුණා හිටපු දෙන්නා තුන්දෙනා බැනර් ගහන එකාව උස්සන් ගිහින් තේ කඩේ බංකුවක හාන්සිකරලා මම චුට්ටේ සීයා එක්ක මල් ශාලාව පැත්තට එන ගමන් වැඩි හොදටත් එක්ක මොකද උනේ ඇහැව්වා.
" චුට්ටේ සීයා මොකෝ උනේ ඔයාට මම වෑන් එක ගාවනේ ඉන්න කිව්වේ කියලා "
හිටියා බන් බැරිම තැන එම්බාම් කොරණ තැනට ගිහින් උගෙන් ඇහැව්වා "මයේ වැඩේ ඉවරද කියලා" ඒක මයේ දිහා කන්න වගේ බලන් ඉදලා බිම පත බෑවුනා කියපන්කෝ දෙපාරක් විතර කතා කොරා හා හූවක් නැති නිසා උබ බැනර් ගහන තැන ඇති කියලා එතැනට ගියා බැනර් එක සෝක් එකට තිබුණා මයේ එකා පණ පිටින් වගේ මම ඉතින් උගෙන් ඇහැව්වා පුතේ "මයේ වැඩේ ඉවර කරාද කියලා" ඒකා උත්තර දෙන්නේ නැතිව අම්මව මතක් කොරාන බැනර් එකත් බිම දලා අර වීදුරු ජනේලයත් කඩාගෙන බිමට පැන්නා කියපන්කෝ.
හිනා වෙවී අහගෙන හිටියට පස්සෙනේ මතක් උනේ මහතුන් මාමා තකහනියම එම්බාම් කාමරේට ගිහින් බැලින්නම් මහතුන් මාමට තාමත් සිහිය නෑ වතුර ටිකක් මූණට ඉහලා සිහිය අරගෙන සැබෑවටම පොඩ්ඩේ සීයා සහ චුට්ටේ සීයා ගැන විස්තරේ කියලා පොඩ්ඩේ සීයාගේ බොඩියේ වැඩ ටික පිළිවෙළක් කරාන ගෙදර ගෙනාවා.
හැම දේම හොදට උනත් පොඩ්ඩේ සියා භූමිදානේ කරලා හත් දවස යන්න කලියෙන් චුට්ටේ සීයත් නැති උනා බැනර් එකේ මරණ දිනේ විතරක් වෙනස් කරලා එහෙම්ම තිබ්බා සමහර විට නිවුන්නු ඉපදෙන්නෙම එකට යන්නම වෙන්න ඇති.
අයිති නැති අකුරු. අඩයාලම
අයිති නැති අකුරු. අඩයාලම
2024-01-25
පත්තිරිප්පුව නිර්මාණය කළ ඉංජිනේරුවා..
ඔහු සුවිශේෂි පුද්ගලයෙක්.ඒ වගේම කාගෙත් ගෞරව යට පාත්රවන කෙනෙක්.ඒ තමයි දෙවෙන්ද්ර මුලාචාරින්
දළදා මාලිගා පරිශ්රයේ රජවරුන් නඩු ඇසු මඟුල් මඩුව, පත්තිරිප්පුව, දිය අගල, වැවේ වළාකුළු බැම්ම, උල්පැන්ගේ ආදි හෙළ කලා නිර්මාණවල විශ්මිත සැලසුම් ශිල්පියා වූයේ මේ දේවේන්ද්ර මුලාචාරින්.ඔහු ගැන විස්තරයක් කියන්නයි මේ සුදානම. පුරාණ ලංකාවේ විශිෂ්ටම ඉංජිනේරුවා වන්නේ ඔහුයි. හන්දෙස්සේ දේවේන්ද්ර මුලාචාරි කියලත් ඔහු හැදින්වෙනවා.
ඉතින් දේවේන්ද්ර මුලාචාරින් කියන මේ සුවිශේෂි ඉංජිනේරුවා එහෙම නැත්නම් නිර්මාණ ශිල්පියා රජවරුන් තිදෙනෙකු යටතේ සේවය කරලා තියෙනවා. ඔහු ඉපදිලා තියෙන්නේ 1747 කියලයි සදහන් වෙන්නේ. ඒ කියන්නේ ශ්රී විජය රාජසිංහ රජතුමාගේ අවසාන කාලයේදි.
කීර්ති ශ්රී රාජසිංහ රජතුමා, රාජාධිරාජසිංහ රජතුමා, ශ්රී වික්රම රාජසිංහ රජතුමා යටතේ දේවේන්ද්ර මුලාචාරින් සේවය කර තිබෙනවා. දේවේන්ද්ර මුලාචාරින්ගේ දක්ෂතා ගැන පැහැදුණු කීර්ති ශ්රී රාජසිංහ රජතුමා 1780 දී දේවේන්ද්ර නාමය සමඟ මූලාචාරි යන පටබැඳි නාමය රන් නළල් පටක් සමඟ ප්රදානය කර තිබෙනවා.
රාජ සේවය නිසා ඔහුට ගම්වර රැසක් තෑගි වශයෙන් ලැබුණා. ඒ අනුව දේවේන්ද්ර මුලාචාරින් උඩුනුවර, අරත්තන ගමේ නිවෙසක් සාදා පදිංචියට ඇවිත් තියෙන බවත් කියනවා ඒ පරපුරේ අය අදටත් උඩුනුවර අරත්තන ගමේ ඉන්නවා.
ඉතින් මේ හන්දෙස්සේ දේවෙින්ද්ර මුලාචාරින් කරපු සුවිශේෂිම නිර්මාණය තමයි අටලැස් අටල්ල හෙවත් පත්තිරිප්පුව. ඒ සිංහලයේ අවසන් රජු වූ ශ්රී වික්රම රාජසිංහ රජ්ජුරුවන් විසින් පත්තිරිප්පුව සාදා ඇත්තේ රජුට නගරය බැලීම, පිට්ටනියේ පැවැත්වෙන ක්රීඩා නැරඹීම ආදී අරමුණු මුල් කරගෙනයි.
දෙහිගම දියවඩන නිලමේගේ යෝජනාවක් අනුව රාජකීය මුළුතැන් ගෙය කඩා එම ස්ථානයේ තමයි මේ පත්තිරිප්පුව ඉදිකළේ. පත්තිරිප්පුවට දේවේන්ද්ර මුලාචාරින් දුන් සැලැස්මට රජතුමා ඉහළ කැමැත්තක් දක්වා තිබෙනවා.
ඒ වගේම රජවාසලට ආසන්නව අදත් දක්නට ඇති මඟුල් මඩුව හදලා තියෙන්නෙත් දේවේන්ද්ර මුලාචාරින් විසින්මයි. මුල් සැලැස්මට අනුව මඟුල් මඩුවේ දිග මීටර් 19.75 පළල මීටර් 11.65 ක්. විසිතුරු කැටයමින් යුක්ත කුලුනු හැට හතරක් තියෙනවා. මඟුල් මඩුව උඩරට වාස්තු විද්යාවේ විචිත්රවත්ම නිර්මාණයක්.
එසේම මාලිගාව අසල ඇති කිරි මුහුද ලෙස හඳුන්වන වැව වටා ඇති වළාකුළු බැම්මත් දේවේන්ද්ර මුලාචාරින් ගේ නිර්මාණයක්.
දේවේන්ද්ර මුලාචාරින් රජමාලිගාවෙි ඔටුනු පට්ටල්, රන්කඩු පට්ටල්, සිංහාසන පට්ටල්, ආයුධ පට්ටල් යන පට්ටල්වල අධිපති ධුරය දරා තිබෙනවා. ඒ වගේම මේ ශිල්පියාගේ දක්ෂකමට ගරු කිරිමක් වශයෙන් රජ මාලිගාවේ විශේෂ ආසනයකුත් ඔහුට වෙන්කර තිබු බව සදහන් වෙනවා.
තව විශේෂ කරුණක් තිබෙනවා. මේ දේවේන්ද්ර මුලාචාරින් හා ශ්රී වික්රම රාජසිංහ රජතුමාගේ හැඩරුව එක සමාන බව සදහන් වෙනවා.මේ නිසාත් රජුගෙන් ඔහුට ලැබෙන සැලකිලි සත්කාර නිසාත් ඇමැතිවරුන් ඔහුට එරෙහිව රජුට කේලාම් කියු බව කියනවා.
ඔහුගේ ඇඳුමත් රජමාලිගාවේ මහ අධිකාරමගේ ඇඳුමට සමානයි. රජුගේ නියමය අනුව දේවේන්ද්ර මුලාචාරින් නිතර යන එනවිට "රියන්දණ්ඩ" පාවිච්චි කර තිබෙනවා. මේ නිසා අධිකාරම්වරුන් මොහුගේ ඇඳුම වෙනස් කරවා ගැනිමට උත්සහ දරුවත් රජතුමා ඊට කැමැත්ත දක්වා නැහැ.
කෙසේ හෝ මුලාචාරි හා රජු බිඳවිමට ඇමැතිවරු ක්රියාකර තිබෙනවා. ඉදිකිරිම්වලට ගෙනා ලී කොට කර එම ලී මුලාචාරියා විසින් ලී කෙටි කර ඇතැයි ඇමැතිවරු රජුට පවසා තිබෙනවා. මොවුන් මූලාචාරියාට විරුද්ධව රජුට කේලම් කියු නිසා රජු ද ඒවා විශ්වාස කොට මූලාචාරියාගේ දකුණු අතේ මාපට ඇඟිල්ල කපාදමන බවට නියම කළ බව සඳහන් වෙනවා.
මෙයින් කම්පාවට පත් මූලාචාරියා මහනුවර වැවට පැන දිවි නසා ගෙන තිබෙන බව ජනප්රවාදයේ සදහන් වෙනවා. ඒ 1812 දී. ඔහුගේ මරණයෙන් රජතුමා කම්පාවට පත්වු බවත් සදහන් වෙනවා.
අනාගත පරපුර වෙනුවෙන් නිර්මාණ රැසක් කර ඉතිහාස ගතවු මේ අසහාය නිර්මාණ ශිල්පියාගේ අවසානය එලෙස ශෝකජනක අයුරින් නිමාවි තිබෙනවා.
එසේම රජුගේ මේ නියමය නිසා දේවේන්ද්ර මුලාචාරින් හා පිරිස මහනුවරින් පලාවිත් නමත් වෙනස් කරගෙන ලියන්වල ප්රදේශයේ සැඟව ජීවත්වු බවට මතයකුත් ඇත. උඩුනුවර අරත්තන ගමේ තිබු දේවේන්ද්ර මුලාචාරින්ගේ නිවස දැන් කඩා වැටි ඇති බවයි දැනගන්නට ඇත්තේ. ඔහු පාවිච්චි කරපු ළිඳ, පඩිපෙළක් ,නිවසේ තිබූ විශාල කුරහන් ගලක් ඉතිරිව තිබෙනවා. ඒ වගේ ම ඔහුට රජවරුන්ගෙන් ලැබුණු සන්නස් තවමත් ඒ පරපුරේ අය ළඟ සුරක්ෂිත තිබෙන බව සදහන්.
.
ධර්ම ශ්රි තිලකවර්ධන2024-01-24
කපුටු සාත්තරේ ........
කොස් ගහේ අත්තකට වී නුඹ
කරව් කරලා කෑ ගහනකොට
අනේ අම්මප බයක් දැනෙනව
නෑයො එනවා කියනවද ඔය..
පුංචි සන්දියෙ මහගෙදර අර
සපු ගහේ ඉඳ කරව් කරලා
අත්තම්ම ගෙන් විසුමක්ම නෑ ......
ගෙවල් අස් කරලා දාන්නලු
දර වතුර කුස්සිය ට ගන්නලු
පොල් අත්ත වගෙ මිදුල අතුගා
තියෙන්ටම ඕනෑලු උන්දැට .
ලොක්කි ,ඒ වැඩවලට දස්සයි
මමයි දොර රෙදි අලුත් කෙරුවේ.
නෑයො එන සලකුණු කියන්න ට..
කලු කපුට හරි දස්සයා ලු නෙ.
තාත්තා කිරි පැණි ගෙනේවී
අටුවෙ වී මල්ලක් කෙටේවී
කිරි කොසුයි බල මාලු ඇඹුලයි
තවත් රස මසවුලු හදාවී.
ගෙජ්ජි සද්දෙට දුවන් ආවම
ලොකු තාත්ත ල ඇටඹ ගහ යට.
බරට කදමලු අරං ඇවිදින්
කාක්කෝ.......උඹෙ සාත්තරෙ හරි .!
ඒ එදා නේ......අද වෙනස් බං
සාත්තර මට එපා අද නම්.
ගේ හරියෙ නෑ හාල් ඇටයක්
ලූණු පලුවක්.......හාල්මැස්සෙක්.
නෑයො ආවොත් මං කපෝතියි
සීනි බෝතලෙ හේදුවා අද .
රෝ.සි.
2024.01.23.
වර්තමානයත් සමග ගලපනවිට ආගන්තුක සත්කාරයත් ජීවන වියදමට බරක් අපි පුංචි කාලෙ නම් මීට අවුරුදු පනහක් හැටකට ඉස්සර ආගන්තුක සත්කාරය සතූටක්. පිලිගැණීමට හේතුවක් . සාමය සමගියේ සංකේතයක් අදඒ් සියල්ල සිදී බිදී ගිහින් . තනිවෙලා හිරවෙලා අසහනයට පත්වෙලා..
කපුටු සාස්තරේ ගැනත් සදහන් නොකොලොත් අඩුපාඩුවක් . අපි පුංචි කාලේ කාක් කාක් කිව්වොත් කපුටෝ දහයක් දොළහක් අපි වටේ රොක් වෙනවා. ඒ්ත් අද කපුටු ගහනය බිංදුව වෙලා. ඉදහිට දකින කපුටු ජෝඩුවක් විතරයි ඉන්නේ.. මෙයාලට තාමත් බබාලා නැද්ද කොහෙද ?. ගොවිතැන් සදහා කෘෂිරසායන භාවිතය නිසා වෙලා තියෙන හාණිය. නෑදෑයෝ එයීද කියලා කොහොමද දෑන ගනන්නේ ?
SMS එක ඒ රාජකාරිය බාර අරන්.
සතුන් හොද සංනිවේදකයන්. සුනාමිය කලින්ම දැනගත්තේ සතුන්. ඒයාලගේ පණිවිඩය අපි හදුනාගත්තේ නැහැ.පැරණි ගොවි පරපුර කාලගුණ අනාවැකි අකුරට කිව්වේ සතුන්ගේ හැසිරීම් රටාවෙන් .
ඒ්වා ගැන අපේ පරපුරු හැදෑරීමක් නැහැ
කාලගුනය චන්ද්රිකාවලට බාරදීලා.
කපුටු කාක් දේශපාලන වේදිකාවේ
අපි ගොරක දේන් දේන්
කිය කියා බලා ඉන්නවා.
notes of imaginary
notes of imaginary
2024-01-23
කුණුහරුපෙට පෑනෙන් ඇන්නා
notes of imaginary "
බණ්ඩා, උක්කුවා, සිවලිංගම්,කාදර්...මුන් ටික හතරෙ පන්තිය කෙරුවාචාටර්...තීරණයක් අරන් විදුහල්පතිපීටර්...දැම්මා උන් හදන්නට 'මොළගොඩ' ටීචර්..."අද සිට මටයි උඹලගෙ පන්තිය බාර...කෙරුවොත් වැරදි, දෙනවාවේවැල් පාර...හතරේ ඉන්න ජඩ, නරිපැටවුනි මාර...හදනව නැතොත් මකනවඑකෙකුන් නෑර...""පළවෙනි පාඩමට 'පරිසරයයිගන්නේ...ඕන ම ගැටලුවක් ඇතිනම්විමසන්නේ...අපි පරිසරය ගැන දැනගතයුතු වන්නේ...බැරි දේ කියාදෙන්නයි ගුරුවරු ඉන්නේ..."හතරේ වුණත්, ඒ පැටවුන්යක්කු වුණේ...පළවෙනි පැනය විමසන්නේඋක්කුවනේ..."ගැහැනුන් හා පිරිමි මැවුවේමොක්කු අනේ...?පිරිමින් හට මොකට, කිරි නැති කුක්කු තනේ...?"ඇරඹෙනකොට ම පැන විමසුමමුල හරිය...සිවලිංගම්ගෙ පැනයත් පිළිතුරුබැරි ය..."බඩ මැද 'සින්න ඉල්ලෙයි' හිලකි ය, 'පෙරිය'...මොකටද ටීච, මැවුවේ ෂාමියොබුරිය...?"ඊළඟ පැනය විමසයි කෙළවරබණ්ඩා...ඒකා තමයි කොල්ලන් අතරින්දණ්ඩා...හූනා වගේ හිටියට මහඇනකොන්ඩා..."ඇයි පිරිමින්ට විතරක් මැවුවේ ජු..............?"'මොළගොඩ' ටීච පිළිතුරු බැරුවයිඋන්නේ...බේරෙන මගක් නෑ උගුලෙන් ළමයින්නේ..."යකුනේ, තොපි නරක වචනයිදොඩවන්නේ...දැනගනියවු !! තොපිට මමදඬුවම් දෙන්නේ...""මම ගිය වෙලාවෙදි අදටොයිලට් එකට...පස්සෙන් ඇවිත් උක්කුව අඩියට දෙකට...සත්තයි ටීච, ගැහුවාකකුළෙන් පු............හතරේ පන්තියට මුන් වගෙ උන් මොකට..?""තව කියනවද බොල, තොපි ඔය කැත වචන...?ඕවා කුණුහරුප බවඉන්නේ නොදැන...දණගහපියවු !! අවුවේඩාදිය දමන...හිටපිය ගිහින් එන්නම් වේවැල රැගෙන..."කාදර් නැගිට පන්තියෙ පිටුපස ඉන්නා...දන්නා බසින් ටීචට පිළිතුරුදුන්නා..."මං 'කුණුහපර' නොකියා පාඩුවෙ උන්නා...මූ මගෙ 'කුණුහපරය'ට පෑනෙන් ඇන්නා..."සැරවැර වෙන්න හැදුවටමොළගොඩ ටීචර්...ඒවා බොරු ය, හතරේපන්තිය චාටර්...පන්තියෙ නොසණ්ඩාලයොදැම්මෙම යෝකර්...වෙන පන්තියක් දුන්නාටීචට පීටර්...🫢🫢
------------------------------------------------
-ප්‍රියංජිත් බාලසූරිය
(2024.01.22)
2024-01-22
රදල රෙද්දක හුජ්ජ පැල්ලම්.........
මඟුල් මඩුවේ වළං පිඟන් සේදූ දාසයෙකුගේ
ඇසින් දුටු සාක්ෂිය නොහොත්
රදල රෙද්දක හුජ්ජ පැල්ලම්.........
කන්ද උඩරට දන්ත ධාතුව
පංච සීලය වඳිමිනා
එදා අටසිය පහළොවෙත් මං
දාසයෙක් සේ කැපවුණා
ඇසින් දුටු සාක්ෂිය නොහොත්
රදල රෙද්දක හුජ්ජ පැල්ලම්.........
කන්ද උඩරට දන්ත ධාතුව
පංච සීලය වඳිමිනා
එදා අටසිය පහළොවෙත් මං
දාසයෙක් සේ කැපවුණා
කන්නසාමිට කන්නසාමිට
දොන්ත දොමිකිට කියමිනා
කන්ද උඩරට පොන්ත ගිවිසුම
කුංචනාදෙන් ඇවිලුණා
ලොන්ත නිලමේවරුන් අළු යට
අඟුරු ටික තලුමරමිනා
කන්නසාමිගෙ බෙල්ල හිරකොට
තොණ්ඩු අඹරා ඇඹරුණා
සුද්දගේ ලොම් ඩිංග අද්දර
තප්පුලන පරයන් දිනා
ඇස් පනා පිට පත්තුවී ගිය
ගින්දරෙන් මං පිච්චුණා
එංගලන්තේ ජෝර්ජ් පප්පගෙ
කිරීටේ බල පෙන්වනා
බින්න බහිනා ගිවිසුමක් යට
කන්ද උඩරට යටවුණා
මඟුල් මඩුවේ වහල හොල්ලන
අස්ප කුර හඬ මතුවුණා
දවුල් බෙර සක් උදම් සද්දෙක
උගුල් ගිවිසුම්ගත වුණා
උගත් මල්වතු සේ ම අස්ගිරි
උසස් යතිවරු සමඟිනා
මොහොට්ටාලල මුලාදෑනිලා
පහත් වී තැන්පත් වුණා
තීන්දුවකින් තීන්දුවකට
වාන් දමනා වේදනා
ජෝන් ඩොයිලිගෙ හීන් නූලක
චූන් එක උඩ පාවුණා
තුවක්කු ද බයිනෙත්තු හිටගෙන
කුලප්පුව උඩ කැරකුණා
බුලත් විට කන මටත් ඇප නැත
මඩිස්සලයට කෙළවුණා
දනිස් වෙව්ලන ප්රභූවරු ටික
හුඹස් කටවල් අරිමිනා
විරිත්තනකොට රෙද්ද පල්ලෙන්
හැබැයි සුළුදිය බේරුණා
රට්ටු පාවා දීපු උන්ගේ
හක්කෙ බුදුරැස් මතුවුණා
පස්ස පැත්තට වස්තිකරගෙන
බොක්කෙ ගෙරි මස් දියවුණා
ලැජ්ජ බය උඩ ගෙජ්ජි බැඳගෙන
රට්ටු නටවන නැකතිනා
අම්මපල්ලා කජ්ජ පුහුලම
හුජ්ජ බරට ම රතුවුණා
ඉස් මුදුන් උඩ තුප්පොට්ටි බැඳ
රදල පිරිවර කැරකුණා
සුද්දගේ මස් කටු උරන්නට
බත් නොකෑ උන් වටවුණා
විද්ද වෙඩි සැර කාපු විරුවන්
සද්ද නොකර ම වැළලුණා
රෙද්ද උස්සන රදල බැලයන්
සුද්දගෙන් හුරතල් වුණා
අත්සනක් යට අත්සනක් යට
කප්පරක් ගින්දර උනා
හත්තිලව්වයි රදල රෙද්දක
හත්තිලව්වයි රදල රෙද්දක
හත්තිලව්වයි රදල රෙද්දක
හුජ්ජ පැල්ලම් මතුවුණා
කප්පරක් ගින්දර උනා
හත්තිලව්වයි රදල රෙද්දක
හත්තිලව්වයි රදල රෙද්දක
හත්තිලව්වයි රදල රෙද්දක
හුජ්ජ පැල්ලම් මතුවුණා
පසුව ලියමි...........
වැඩ ඇරී මං ගෙදර එනකොට
හීන් අඩියක් ගේනවා
එදා මං දුටු හුජ්ජ පැල්ලම්
අදත් හැබැහින් පේනවා
කුමාර හෙට්ටිආරච්චි
notes of imaginary










