තෙරුවන් සරණයි .
පොසොන් පෝය 29 වෙනිදා.
--- වේද ගීතයක්
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
ජීවිතය
සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.
විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි
ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.
රබීන්ද්‍රනාත් තාගෝර්
වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.
2022-08-04
මහ දිග කතාවක් නෙවෙයි...විනාඩි 18යි
2022-08-03
අග්ගලා තියෙනවා නම් ගමුකෝ - මහාචාර්ය සෙනරත් පරනවිතාන.
මීදුම කතා කරන්නේ එතුමාගේ සේවය ගැන නොවේ. එතුමා
අපට ඉතිරි කල රසකතා කිහිපයක් ගැනය. මේ රස කතා තුලද ඇත්තේ ද එතුමාගේ පෞරුසත්වය
හා බුද්ධියේ නිම් වලළුයි.
1956 පිහිටවු රජයේ සංස්කෘතික අමාත්‍යාංශය
මගින් පවැත්වු පළමු සාහිත්ය උලෙල උත්සවශ්‍රීයෙන්
කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙනේදී පැවත්වුනා. මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තා වුනේ
එවකට අගමැති එස් ඩබ්. ආර් ඩී . බණ්ඩාරනායක මැතිතුමා. එතුමා ගේ දේශණයෙන් පසු ඇමතුම
තිබුනේ මහාචාර්ය සෙනරත් පරනවිතාන. මහතාට. එතුමා දේශණය පටන් ගත්තේ මෙහෙමයි.
“මුලාසනේ හාමුදුරුවන්ගෙන් අවසරයි , පණ්ඩිත
සභාවෙන් අවසරයි ,දේශපාලන කතාවෙන් පස්සේ , කෝට්ටේ ඉතිහාසය ගැන මට අද කථා කරන්න
සිද්ධවෙලා තියෙනවා “ කියලා තම දේශණය පටන්
ගත්තා. බණ්ඩාරනායක මහතාත් වේදිකාවේ ඉන්නවා. රටේ ඉහලම බලවතා දේශපාලකයා. ඒත්
පරණවිතාන මහත්තයාගේ අභිමානය ඊට ඉහලින් .තියෙන බව අවසර ගැණිමේ වචන පේලි දෙක තුනේ
හැංගිලා තිබුනා.
ඒ එතුමාගේ හැටි.
තවත් දවසක ගුවන් විදුලියේ සාකච්ඡාවකට මෙතුමා
සහභාගි වෙනවා. මාතෘකාව “බුදු පිළිම වහන්සේ.”
ගොරහැඩි කළු ගලකින් ශාන්ත බුදු පිළිමයක් නිර්මාණය කලේ කොහොමද ? වැනි පැතිකඩ
කිහිපයකින් බුදුන් වහන්සේගේ පිළිම ගැන සාකච්ඡා වුනා. මේ සාකච්ඡාවට මාපලගම විපුලසාර හාමුදුරුවොත් මංජු ශ්රීමහත්තයත්
.මහාචාර්ය සෙනරත් පරනවිතාන මහත්තයත් සහභාගි වුනා.මේ සාකච්ඡාව යන අතරේ සංවාදකයා
මහාචාර්ය තුමාට ආරධනය කරනවා. ලංකාවේ බුදු පිළිම වල ඉතිහාසය ගැන මහාචාර්ය තුමාගේ අදහස කියන්න කියලා.
මහාචාර්ය තුමා කියනවා “ ලංකාවේ මුල්ම බුදු පිළිම
බොහෝම අඩුයි. හේතුව හුගාක් දෙනා බුලත් විටට කාලා .” කියලා.
ඊට පස්සෙයි කතාව පැහැදිලි කරන්න පටන් ගත්තේ.
ලංකාවේ බුදු පිළිම බොහෝමයක් හදලා තියෙන්නේ හුණු
ගලෙන්. ඒ ගල් පුච්චාපුවම විටට කන හුණු නිෂ්පාදනය වෙනවා. අපේ මිනිස්සු බුලත්
කන්න රුසියෝ.ඒ ගලෙන් හදපු බොහෝ බුදු පිළිම
විනාශ වෙලා කැඩුණු බිදුණු කොටස් මේ සදහා යොදවා ගෙන තියෙනවා.කියලා එතුමා පැහැදිලි
කරනවා.අපි පුරා විද්‍යාවේ වැඩ කරන කාලේ මෙවැනි උදවිය අල්ලා ගෙන දඩුවම් කරලත්
තියෙනවා.
එතුමාගේ කතාව
සාධාරනිකරණීය කලා
රාමා රාවනා සීතා වෘතාන්තය ගැන විවිධ මත
තියෙනවා.පරනවිතාන මහතාගේ මතය වුනේ රාමායනය සාහිත්ය ග්රන්ථයක් විනා ඉතිහාස ග්රන්ථයක්
නොවන බවයි. ඉතිහාසය ගොඩනැගීමේදී මූලාශ්‍රවන්නේ සෙල් ලිපි , කාසි ,පෞරාණික නටබුන්
මිස සාහිත්ය නොවන බව එතුමාගේ මතය වුනා. එකල පැවති සම්මන්ත්‍රණයකදී මේ පිළබදව
කරුණු ඉදිරිපත් කල එතුමා සහභාගී වී සිටි වියතුන්ගෙන් ප්රශ්න තිබේදැයි විමසුවා.
එක් වියතෙකු විසින් ඔහු නුවර එළිය ප්‍රදේශයේ
පිහිටි රාවනා ඇල්ලට ගිය බවත්,එහි ඇති ගල් ගුහාවක රාවනා විසින් සීතාවන් රදවා ගෙන සිට ඇති බවත්, එම ගල් ලෙන ආශ්‍රිතව
ඔවුන් භාවිතා කල බෙහෙත් හේත් තවමත් ඉතිරිව ඇති බවත් ඔවුන් ආහාරයට ගත් අග්ගලා වැනි
ගුලි විශේෂයක් හමු වු බවත් පැවසුවා . ඒ නිසා රාමායනය සාහිත්ය ග්රන්ථයක් නොවන
බවත් එය ඉතිහාස ග්රන්ථයක් බවත් තරයේ ප්‍රකාශකලා.
මෙම ප්‍රදේශයේ හමුවන ලිහිල් පාෂාණ ගුලි සීතා
අග්ගලා ලෙස හදුන්වනවා. හෝර්ටන් තැන්නේ අනවසර මැණික් ගරන්නන්ගේ කැණීම් වලදීද මෙම
පාෂාණ ගුලි හමුවෙනවා මේවා පාෂාණ නොවන බවත් රාවනා සීතා විසින් ගත් ආහාර වල ඉකොටස් බවයි වියතා ගේ තර්කය වුනේ..
පරනවිතාන මහතා වාඩි වී සිටි අසුනෙන් නැගිට මෛක්‍රපෝනය
ලගට ආවා. “ අග්ගලා තියෙනවා නම් ගමුකෝ බලන්න . එතුමාගේ පිළිතුර වුවේ එපමනයි. සභාව
එක හඩින් සිනා පැතුරුවා. වියතා පසු බැස්සා.
මුලසුනේ විශ්ව විද්‍යාලයක උප කුලපති වරයෙකු සිටි
එක් දේශනයකදී එතුමා තම දේශණය ආරම්භ කලේ මෙහෙමයි. “ මුලසුනේ උප කුලපති තුමාගෙන්
අවසරයි. උප කුලපති කියලා සංස්කෘතිකයේ කියන්නේ හොර මිනිහටයි.මම මේ කතා කරන්න යන්නේ
හුග දෙනෙක් කියවන්න බෑ කියලා අත් හැර දාපු ඉණ්දු නිම්නයේ රූපාක්ෂර කියවීම ගැනයි.
එතුමා දේශණය කරගෙන ගියා . ඒත් දේශණයට ප්රවිශ්ඨ
වුනේ හොර මිණිහා අමතලා.
රාජා
ධර්මපාල මහතා විසින් 1988 ඔක්තෝම්බර් මස “තුලන “ කලාපයට සැපයු ලිපියක් මුලාශ්‍ර කර
ගන්නා ලදී.
2022-08-02
හේන්පිටගෙදර ශ්‍රී ඥාණසිහ හිමියන්ගේ චරිතාපදානයෙන් බිදක්.
2022-07-31
පොටිච්ච වැල්
ශිල්පයා වට කොට කරගත් ගෙතුන සත්‍ය කතා අපමනය. නිතරම උරයක් ( ගෝණියක් ) කරෙ ඇති ශිල්පයා ගමේ ඇවිදගෙන යන අතර එක් ගැමි ගෙදර වත්තක ඔහුගේ දවසේ වියදම තියෙනු දුටුවේය.කඩුල්ල පාමුල උරය තබා ගෙට ගොඩ වැදුන ඔහුට නිවැසි මහළු කාන්තාව පමනක් සිටිනු දක්නට ලැබුනේය.ඇගේ සැමියා එවිට බැහැරක ගොස් සිටි බව ශිල්පයාගේ නිරීක්‍ෂණයට ලක්විය.
ආ ගිය කතා අතර තේ උගුරක්ද බී “ නැන්දේ
, මම බෙහෙතක්
සොගෙන ආවේ. මේ වත්තේ එහෙම නැද්ද “ ?. පොටිච්ච වැල් කාරිය ”
අනේ මන්දා ළමයෝ මම දන්න “ පොටිච්ච
වැලක් ” නෑ තියෙනවා නම් හොගෙන පලයන් නැන්දා උත්තර
බැන්දේය.
නැන්දා ගෙන් සමුගත් ශිල්පයා අවසරද ලැබුන බැවින්
බිය සැකකින් තොරව වත්ත පහලට ගියේය . “ පොටිච්ච වැල් ” වලින් උරය පුරවා ගෙන ඉක්මන් ගමනින් ඉඩමෙන්
පසු බැස්සේය.
සැමියා නිවසට පැමිනීමෙන් පසු ශිල්පයා පැමිණි බවත්
පැමිණි කාරණයත් විස්තරය දිගහැරියේය. ඔහුට එක වරම වත්ත පහල වැටී එක් කරගෙන නොතිබු “
පොටිච්ච වැල් ” ටික සිහිපත් විය. ඉන්තේරුවෙම්ම දැන් ලෙලි ගසා
මුදලාලිගේ කඩයටත් එතනින් මුදල් බවට පත්ව කසිප්පු
පොලටත් ශිල්පයා විසින් බැර කරන්න
ඇතැයි සිතු ඒ පිලිබද මතකය අත්හැර දැමුයේය.
වත්ත පහල වැටී තිබු පොල් ටික අහිමි කර ගත් නැන්දා “ පොටිච්ච වැල් ” ඖෂධයට යොදා ගන්නා රෝගය කුමක්දැයි කල්පනා කරන්නට විය.
“ශිල්පයා ” …..උගතෙකු නොවීය. කුලියක් මලියක් කරමින් කීයක් හෝ සොයා ගෙන දවස ගෙවු ඔහු නිතරම බීමතින් සිටියේය. කුලියක් මලියක් නොලැබුනදාට “ කිසියම් ශිල්පයක් දක්වා ගතමනාව සොයාගන්නා ඔහු එය නිල හෝ නිල නොවන මත්පැන් සදහා දිය කර හරින ලද්දේය.නැතිවු හරකෙකු හෝ වත්තක භව භෝගයක් ගැන විපරම් කරන ගැමියෙකු හට නිතතින්ම ශිල්පයා ද සිහිවිය.ගම් ප්‍රදේශයේ ඇලක දොලක මසුන් හට ජීවත්වීමේ අයිතියපිළිබද තීරකයාද ශිල්පයා ම විය.
පනස් වන වියේදී පමණ කිසියම් අබග්ගයකින් එක් පාදයක
අස්ථියක් බිදී කිහිලි කරුවක ආධාරය පතන්නට ඉතිරි ජීවිත කාලයේදී ඔහුට සිදුවිය. එක්
රැයක එකට කා බී නිදාගත් සගයෙකු විසින් ඒ කිහිලි කරුවම ගෙලට සිරකිරීම නිසා ශිල්පයක්
නොදක්වාම ශිල්පයා මිය පරලොව ගියාය.
2022-07-30
හයිබ්‍රිඩ් ආණ්ඩු.
2022-07-28
සෙනෙහෙ කොලයක්
රාත්තිරියෙ හඳ එනකොට
යකඩ පොළුවලින් ඇතුළට
කලාවැවේ හඳ වතුරේ
ඔරු පැද්දා මතක් උණා.
හඳ වතුරට තෙමා වැටුණු
කෙහෙරැළි ටික ඈත්කරල
උඹේ මූණ බලා ඉන්න
කොච්චර නම් පිං පිරුවද.
කිළුටු ජම්පරේ ඇඳගෙන
මුළු දවසෙම යතු ගාලා
බෝඩරේට ඇවිදිල්ලා
හුස්මක් ගත්තේ හතරට.
ටැංකිය ළඟ අපි ඔක්කොම
ටින් අරගෙන නාන වෙලේ
උඹත් එක්ක වැවේ නාපු
ඒ සන්දිය හිතට ඇවිත්
කඳුළු එක්ක ,මං නෑවා.
වැව් කරෝල බැදල දාල
කිරිකොස් මාළුවක් එක්ක
රස කර කෑවට මං ,
උඹ ගෙනාපු මගෙ බත් එක...
මීට පස්සෙ උඹ නෑවිත්
තාත්ත එවපන් මෙහාට
ජේලර් කාරයා ගෙ ඇස්
උඹ පස්සෙන්මයි ඇවිද්දෙ .
පපු කැනැත්ත පත්තු උණා
විලංගුවට සාප කළා .
අච්චු කරපු සමහරුන්ට
හරියට වද දෙනව ඇතුලෙ
අයිස් ගහල ,දුමත් ඇදල
පිස්සො වගේ දඟලන අය
නෝන්ජලය කියලා මට
නමකුත් හදල නෙ බලහං.
උපන් දිනේ හෙටයි උඹේ
නෑ මට අමතක වෙන්නේ .
දුකයි මෙවෙලෙ ළඟින් ඉන්න
බැරි උණාට සමාවෙයන් .
කුසෙන් හෑල්ලු උණයිං පහු
රත්නත්තරයේ පිහිටෙන්
අපි යමු දළදා වඳින්න..
පොඩි එකාව වඩාගෙනම.
හොඳ කල්කිරියාව හින්ද
ටික දොහකින් නිදහස් වෙයි.
සමහරවිට මාසයකින්
නෑ ..නෑ ,හය මාසෙන්වත්
ඩොකට් එකත් යැවුවළු මගෙ
ලොකු මහත්තයට බලන්න.
හෙට ඉඳලා බත් පාටියෙ
වැඩට මාරුකලාළු මං
උඹෙ ඇස් දෙක හැම තිස්සෙම
හිතේ විදුලි කොටනව මගෙ.
මගේ සරමක් පොරවාගෙන
නිදාගනින් හීතල නං
ගම්බාරෙට පඬුරක් හෙම
ගැට ගහපං අපි වෙනුවෙන් .
රෝ.සි. ගේ මූණු පොතෙන්
2022-07-24
මතු ජාතියෙත් ඔබ මට වාසනාවන්.
පාට වරුන ඇති කුකුලනි
මම තොපට රනින් වළළු
තනවාලා දෙමි පයට
මේ අප දෙන්නා එක්වුනි රෑ තුන්යමට
ඉර දුටුවොත් නාඩන් කුකුලනි හෙට
සදට හොරෙන් සද මුදුනින් සාවෝ ගියා
ඉරට හොරෙන් ඉර මුදුනින් ගිරව් ගියා
මලට හොරෙන් මල මුදුනින් ඔමරු ගියා.
අපට හොරෙන් නුඹ දෑසට නොපෙනී ගියා
ගිරවුන් හැර ගියත් ඉර තනි නොවේවා.
සාවුන් හැර.............ගියත් නති සද තනිනොව්වා.
ඹඹරුන් හැර ගියත් මල තනිනොවේවා.
පිං ඇති ළදක් කර කාරෙට ලැබීයන්
රුවැති ගුනැති දූ දරුවන් ලැබීයන්
මේ ජාතියේ මං කල පව් ගෙවීයන්
මතු ජාතියේ හිමි සද ලෙස ලැබීයන්
සවි ඇති කළට උක් දණ්ඩේ පැණිසේමා.
සවි නැති කලට..................වැටකෙයියා රොඩු සේමා
වෙර නැති දා කෙතකට බැදි වැට සේමා.
අසරණදා ....................මල් යායේ කටු සේමා.
වැල්ලේ පිපෙන බිම් මල වාසනාවන්
ගොල්ලේ පිපෙන පන්මල වාසානාවන්.
දෙපොදාට පුන් සද වාසනාවන්
මතු ජාතියෙත් ඔබ මට වාසනාවන්.
2022-07-23
උදා අලුයම දෝත පා නුඹ පිළිගමී..
ගෙවා රෑ යම උදා අලුයම - දෝත පා නුඹ පිළිගමී.. |
2022-07-22
කරීම්ගේ අරගලය.
නැපෝලියන් විසින් මෙහෙයවන ලද ප්‍රංශ කැරැල්ලට ඊජිප්තුවේදී මොහොමඩ් කරීම් විරුද්ධ විය,
ප්‍රංශ හමුදාවේ අත්අඩංගුවට පත් මොහොමඩ් කරීම් හට මරණ දඩුවම නියම කලේය.
දඩුවම් නියම කිරීමෙන් පසුව ආපසු කැදවු මොහොමඩ් කරීම් හට නැපෝලියන් ජීවිතය ගලවා ගැනීමට අවස්ථාවක් ලබා දුන්නේය.
“ධෛර්යයෙන් හා ශක්තියෙන් ඔබේ රට ආරක්ෂා කළ මිනිසෙකු ඝාතනය කිරීමට නියම කිරීම ගැන මට කණගාටුයි. එසේ සිදු කිරීමෙන් මම ඔවුන්ගේ මව්බිම ආරක්ෂා කරන වීරයන් ඝාතනය කල බවට ඉතිහාස ගත වීමට මට අවශ්‍ය නැත ”
“ඔබ මගේ සොල්දාදුවන් ඝාතනය කිරීම සඳහා වන්දි ගෙවීමක් ලෙස රන් කාසි දසදහසක් ගෙවන්නේ නම් මම ඔබට සමාව දෙන්නෙමි”.
“මට මේ අවස්ථාවේ ප්‍රමාණවත් තරම් මුදල් නැත, නමුත් රන් කාසි ලක්ෂයකට වඩා වත්කම් ඇති වෙළෙන්දන්ගෙන් මට ණයක් තිබේ.” යයි මොහොමඩ් කරීම් නැපෝලියන්ට කීවේය.
“එසේ නම් ඔබේ මුදල් එකතු කිරීමට මම ඔබට කාලය ලබා දෙන්නෙමි. යයි නැපෝලියන් ඔහුට අවස්ථාව ලබා දුන්නේය. සිරකරුවෙකු වු මොහොමඩ් කරීම් විලංගුවලින් බැඳ සොල්දාදුවන් විසින් වෙළදපල වෙත කැදවා ගෙන ගියේය. රන් කාසි දස දහසක් එකතු කර ගැනීමට කරීම් වෙලෙන්දන් එකිනෙකා හමුවෙමින් ඔහුට නැපෝලියන් ගෙවීමට නියෝග කල වන්දි මුදල සදහන් කරමින් ආධාර පැතීය.
කරීම් විසින් උදව් උපකාර ලබා ගත් කිසිදු වෙලෙන්දෙක් ඔහුට යහපත් ප්‍රතිචාර නොදැක්වු අතර ඔහුට විවිධවු චෝදනා කරනු ලැබීය. ඇලෙක්සැන්ඩ්‍රියාවේ ආර්ථික තත්වය පිරීහිමට කරීම් ගේ ප්‍රතිපත්ති හේතුවු බව වෙලෙන්දන්ගේ මතය විය. කරීම්ගේ ක්‍රියාවන් නිසා වෙලෙන්දන්ගේ ව්‍යාපාර විනාශයට පත්වු බවට අවලාද නැගීය. කළකිරීමටත් අපේක්‍ෂා භංගත්‍වයටත් පත් කරීම් අවසානයේදී එක් රන් කාසියකුදු නොලබා නැපෝලියන් හමුවට පමුනුවනු ලැබීය.
“ ඔබ අපට විරුද්ධ වී අපේ සොල්දාදුවන් ඝාතනය කළ මට කනගාටු නැත . එහෙත් ඔබේ මව්බිමේ නිදහසේ වෙළඳාමේ යෙදෙන බියගුලු මිනිසුන් වෙනුවෙන් සටන් කර ඔබ ඔබේ ජීවිතය අනතුරට පත් කරගැනීම නිසා මට කනගාටු යැයි ” නැපෝලියන් පවසා ඇත.
2022-07-21
නස්රුදීන් - අවුරුදු ඇවිත්.
එයා ගමන් බිමන් යන්න භාවිතා කලේ බූරුවෙක්. නස්රුදීන්ගේ හැම කතාවකම මේ බූරු චරිතෙත් තනියට ඉන්නවා. නස්රුදීන් සංචාරකයෙක්. එක එක කාලෙට එක එක තැන පදිංචි වෙලා හිටිය බව කතා කියවන විට හැගෙන දෙයක්. මේ කියන දවස් වල නස්රුදීන් පදිංචිවෙලා හිටියේ බහු ජාතික , බහු ආගමික ගම්වාසීන් ඉන්න ගම්මානයක .
නස්රුදීන් නත්තල් සමරන කෙනෙක් නෙමෙයිනේ. නත්තල නැති නස්රුදීන් ජනවාරි පලවෙනිදා අළුත් අවුරුද්දත් සමරන්නේ නැහැනේ ඒත් අල්ලපු ගෙදර උදවියටත් ගමේ බොහොමයකටත් ජයටම මේ උත්සව දෙකම තියෙනවා. ඉතින් අවුරුද්දට ලෑස්ති වෙන අය පරණඇදුම් පැළදුම් වල ඉදන් ගෘහ භාණ්ඩ පවා වෙනස් කරලා ගෙවල් තීන්ත ගාලා පොලොව මැදලා හැඩ වැඩ කරනවා.
නස්රුදීන් නානාට නෝනාලා තුන්දෙනයි. නෝනලා තුන් දෙනාම එක පයින්ම අල්ලපු ගෙදර අනුගමනය කරන්න ඕන කියලා එක යුද්ධයයි. නස්රුදීන්ගේ මොලේ මඥ්ඥං වෙලා පිස්සු වගෙයි. එක පිස්සුවක්ය , හිතා ගන්න පුළුවන්නේ නස්රුදීන්ට “පිස්සු ට්‍රිබල්” වෙන විත්තිය.
නසුරුදීන්ට අවුරදු නැතිවුනත් නෝනාලා තුන්දෙනට ඇහුම් කන් දෙන්න
සිද්ධවුනා. ගෙදර තිබුන පාරම්පරික ගෘහ භාණ්‌ඩ පැත්තකට විසි කරල නවීන පන්නයේ ගෘහ
භාණ්‌ඩ ගෙනත් නවීන පන්නයටම තියන්න නස්රුදීන්ට සිද්ධ වුනා. .
නස්‌රුදීනුත් ගෙදර තිබුණ පැරැණි
ගෘහ භාණ්‌ඩ බුරු ගරාජයේ පැත්තකට දාලා නව පන්නයේ ගෟහ භාණ්ඩ ගෙදරට ගෙනාව. පහසු ගෙවීමේ ක්‍රමයට.
නස්රුදීන් අළුත් ගෘහ භාණ්ඩ ගෙනාවා කියලා ආරංචි වුණා විතරයි සිද්ධවෙන්න ඕන විදියටම
ගමේ හිටිය නෑදෑයොයි යාළුවොයි අසල්වැසියොයි නස්‌රුදීන්ගේ ගෙදරට එන්න ගත්තා. ඊළඟට
බඩු ගැනයි බඩු තියෙන තැන් ගැනයි තම තමන්ගේ විවේචන විග්‍රහ ඉදිරිපත් කරන්න පටන්
ගත්තා. නස්‌රුදීන්ට මේව අහල හිසේ රදේ හැදුනත් ඔහු බොහොම අමාරුවෙන් කටපියාගෙන
හිටියා.
අල්ලපු ගෙදර හාදය කමුර් ආවා. ඒත් එක්කම අසල්වාසී නවුෆරුත් ගොඩවුනා. “හා නස්‌රුදීන් නානා. අලුත් බඩු ගෙනැල්ලා වගෙ අනේ හොදයි. ඒ වුණාට මේව තියල තියෙන ක්‍රමේ නම් හරි නැහැ. කමුර් කිව්වා. මේක අහගෙන හිටපු නවුපර් ඌණ පූරණයක් කලා “මේ පුටු සෙට් එක නම් මෙතැනට කොහොමත්ම ගැලපෙන්නෙ නැහැ”.
කෙලවරක් නැහැ. තව තව අය එනවා. ඉමිටියාස් ෆවුසිත් එක්ක ආවේ ඉමිටියාස්ගේ
බුරුවත් එක්ක.”මේ අල්මාරියෙ කැටයම් පේන්නෙ නැහැනෙ ඔය තියල
තියෙන විදියට” ඒ ෆවුසිගෙ අදහස. “තව
ස්ටුල් එකකුත් තිබුනන් හොදයි “ඉමිටියාස්ගෙ අදහස.
මේ අතරේ නස්රුදීන්ගේ නෝනාලා තුන්දෙනා බරපතල වාදෙක. අළුත ගෙනා
ඩබල් ඇද තියන්න ඔනී කාමරේ ගැන.දෙන්නගෙම අදහස තම තමන් ගේ කාමරවලට ඩබල් ඇද ගෙනියන්න.
නස්‌රුදීන්ගෙ අලුත් බිරියගෙ අදහස අලුත් ඩබල් ඇඳ නම් හරියන්නෙම
තමන්ගෙ කාමරයට බව. ඒක මොනම ක්‍රමයටවත් ඒ කාමරයට නොගැලපෙන බව කීවෙ නස්‌රුදීන්ගෙ
පරණ බිරිඳ උම්මා.බලෙන්ම කතාවට එල්ලෙන තුන්වන නෝනා ෆරීනා. “කණ්‌නාඩි මේසෙ තියන්න ඕනෙ එන එන අයට පෙනෙන ලෙසටනේ……….? ” කියලා කණ්‌නාඩියෙන් තමන්ගෙ පිරිහෙන රූප සොබාව නරඹන ගමන් කීව්වා.
නස්රුදීන් හිතලා බැළුවා. බැලුවාම එක බඩුවට තියන්න ඔනී තැන් 10-12 ක් තියෙනවා. නස්‌රුදීන්ට කවුරුවත් තරහ කරගන්නත් හිතක් පහල වුනෙත් නැහැ. නස්රුදීන් හිතුවා කවුරුත් සතුටු වෙන ආකාරයට බඩු ටික තියන්න.
ඔන්න පසුවදාත් කට්‌ටිය එන්න පටන් ගත්තා.
නස්රුදීන්ට හරි කරදරයක්. එක එක්කෙනාට එකම පිළිතුර නේ දෙන්න තියෙන්න. කල්පනා කලා මේ ඔක්කොමටම එකවර පිලිතුරු දෙන්න .
පැය දෙක තුනක් මේ ගොල්ල වෙන වෙන කතා කිය කියා රදවගන්න නස්රුදීන්ට සැළසුම් කලා . මෙහෙම පැය දෙක තුනක්
යන කොට ඊයේ ආපු ඔක්කොම වගේ ගෙදරට රැස්වෙලා .
ඔක්කොටම
තියෙන්නේ එකම ප්‍රශ්නයයි.
ගෙදර කිසිම කාමරයක කිසිම බඩුවක්
නැහැ. නිකම්ම හිස් කාමර. කට්‌ටිය එකවරම වගේ ප්‍රශ්න කළා කෝ මේ ගෙදර තිබූ බඩු ටික.
එකක්‌වත් පේන්න නැහැනේ. මොකද කළේ ?. ඊයේ තිබුන ලස්සන බඩු වලට ?.
නස්රුදීන් ඔක්කොම පිරිස එක තැනකට
රැස් කරලා මෙහෙම කිව්වා .”ගෙනාපු අළුත්
බඩු තියන්න මේ ගෙදර කොතනකවත් පිලිවෙලක් නැහැනෙ. කොතන තිබ්බත් වැරැදිනේ”
. කියලා නස්‌රුදින්
කම්මුලට අත තියාගත්තා .
එහෙම කියලා “යමු පෙන්නන්න මම ඒව ලස්සනට අහුරලා තිබ්බා’”. කියලා මිදුල මැදින් ගේ පිටුපසට කණ්ඩායමම එක්කරගෙන ගියා.
එක්කරගෙන ගිහින් දර මඩුව පෙන්නුවා.
අනේ ඉතින් අද තේ එකක්වක්
දෙන්න විදියක් නැහැනේ !. කෙහෙවළු පටලවා ගෙන නෝනාලා තුන්දෙනත් ඒ ගොල්ලන්ගේ ගෙවල්
වලට ගිහිල්ලා කියලා අත්පුඩියකුත් ගහලා නස්රුදීන් හිනාවුනා.
අපි
අනුන්ගේ වැඩ වලට උපදෙස් දෙන්න යන්න හොද නෑ කියලා හිත හිතා තේ එකක්වත් නස්රුදීන්ගෙන්
නොලබාම ආපු අය ආපහු ගියා.
ඔන්න ඔහොම නස්රුදීන් බොහෝම
සැහැල්ළුවෙන් අළුත් අවුරුද්ද පටන් ගත්තා.නෝනාලා
තුන් දෙනත් එයාලගේ දෙමව්පියන් ලගට ගිහිල්ලානේ.


















