Sunday, July 17, 2022

ඉස්කෝලේ


ඩෙල්ෆ් දූපතේ පාසලක්


එකමත් එක කාලෙක මේ

රටේ හිටපු පුංචි එවුවො

සුදු සපත්තු ,මේස් දාල

ජැන්ඩි පහට සුදු ඇඳගෙන

පොත් බෑග් එකත් අරගෙන

ගියාලු ඉස්කෝලේ ..

 

යාළු මාළු එකතු කරන්

ස්කූල් බස් එකේ නැගල

හිනා කවට උතුර උතුර

සීත සුළං ඇඟ දවටන්

ගියාලු ඉස්කෝලේ ...

 

අරලිය ගස් සුවඳ දිදී

මල් පාත්ති හිනාවෙවී

සුදු වැලි උඩ සිත්තම් ඇඳ

බුදු ගෙට වැඳලා හෙමිහිට

ගියාලු ඉස්කෝලේ .

 

එසෙම්බ්ලියෙ දි කවි කියන්න

කතා කියල ,රඟපාන්න

තාලෙට බෙර; උඩ පැන පැන

හනුමා වන්නම නටන්න

පන්තියෙ හොඳ ළමය වෙලා

අප්පුඩි මැද තෑගී ගන්න

ගියාලු ඉස්කෝලේ .

 

මල් ,මල් සාරිය පටලා

මුතු දෙපොටක් කරේ දමා

සාරිපොටෙන් දරුවො ඔතපු

ගුරු අම්මල ලඟ ඉඳගෙන

වටවී කවි ගී අහන්න...

අඩුකරන්න;බෙදාගන්න ...

ගුණ දහමින් ලොවදිනන්න

කොට තාප්පයෙන් පැනලා

ග්රවුන්ඩ් එකේ බැට් ගහන්න ,,,

හයේ පාරවල් දීලා

ලැබ් එකෙ වීදුරු බිඳින්න

ගියාලු ඉස්කෝලේ .

 

වෙරළු ,පේර ,ජම්බු පොකුරු

අතින් අතට මාරුකරන් ...

ඉටි ගෝනුස්සන් දවටා

ගෑණු ළමයි මැදට දාල ...

ටීචර් ගෙන් තැළුම් කන්න

ගියාලු ඉස්කෝලේ.

 

අන්තිම සීනුව ආවම

පුංචි උපාසකයො වගේ

යෝ වද ,තං පව රො” ...කියල

කවට මූණු ඉඟි බිඟි මැද

ආයුබොවන් ටීචර්කියල

ආදරයෙන් ,ඉගෙනගන්න

ගියාලු ඉස්කෝලේ .

 

ඉස්සර එහෙමයි කියලා

අප්පච්චී මට කිව්වට

මවා ගන්නෙ කොහොමද මං

ගියෙ නෑනේ  ....ඉස්කෝලේ !.

 

-    නැගණියකවු රෝහිණි සිසිප්‍රිය ගේ   මුණු පොතේ  පලවු ගී පදවැල මීදුම සිත් ගත්තා.

-     අද අපි තනිවෙමින් ඉන්නවා.ඉස්කෝලේ අවුරුදු තුනකටත් වැඩි කාලයක් වහලා.දරුවන්ට ඉස්කෝලේ මතක නැතිවෙමින් යනවා. අපිව තාක්‍ෂණය විසින් දවසින් දවස සමාජයේ තනි කරමින් ඉදිරියට යනවා.අපේ දරුවන්ටත් ඒ ආනිශංශ වඩාත් වේගයෙන් ලැබෙමින් පවතිනවා. පුංචි පරපුර තාක්‍ෂණය වහාම ග්‍රහණය කර ගන්නවා.

-   සෞන්දර්යාත්මක ඇසකින් ඈ දුටුවේ ඒ අභාග්‍යසම්පන්න අනාගතයි.

-   මේ සීග්‍රයෙන් වෙනස් වෙන  කාලයේ  ඉස්කෝලය පෞරාණික ගොඩනැගිල්ලක්   බවට පත්වේවි.

-       ""  ඉස්සර එහෙමයි කියලා

-         අප්පච්චී මට කිව්වට

-         මවා ගන්නෙ කොහොමද මං

-         ගියෙ නෑනේ  ....ඉස්කෝලේ !."

 



notes of imaginary

Saturday, July 16, 2022

අපි බලා ගෙන ඉමු.





මීදුම සිකුරාදා පල කල වියමනට ප්‍රතිචාර වශයෙන් තම තමන්ගේ දේශපාලන කියවීම් දක්වලා තිබුනා. එවැනි සංවාදයක් ඇතිවීම ගැන මට සතුටුයි.

මේ පැය ඔරලෝසුවේ තප්පර කට්ට වගෙයි තප්පරයෙන් තප්පරය ගලා එන ලාංකීය දේශපාලනයේ චලනය විවිධාකාර රට මවනවා..

අපි ප්‍රේක්‍ෂකයෝ .

අපි ප්‍රේක්ෂකත්‍වයට පත්වුනේ අපේක්‍ෂකයාගේ ලකුණත් අංකයත් ඉදිරියෙන් ඡන්දයත්, මනාපයත්  පළකල මොහොතේ.ඉන් පසු අපේ අයිතිවාසිකම් අහිමි කරගෙන එකෙකුට ඒ අයිතිවාසිකම් බාර දුන්නා.එහෙම  225ක් හැදෙන්න මග පෑදුනා.ජනාධිපතිවරණයේදී වුනෙත් ඒ ටිකමයි.දාම් බෝර්ඩ් එකට දාමෙක් පත්තරගෙන ඌත් එක්ක තිබුන ඇයි හොදයිය දාමා උනාට පස්සේ අහිමි කර ගත්තා

අපි නරඹන්නෝ බවට පත්වුනා. ඉන් පස්සේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව .තුල මේ කන්ඩායම අතර අපි නරඹන්නෝ පමනයි.

උන්ට උන්ගේ ඕනෑ එපාකම් මත පිස්සු නටන්නත් , මගුල් නටන්නත් පුළුවන් මේ ක්‍රමය හදුන්වන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියලා.

මේ හින්දා මම මගේ දේශපාලන කියවීම කරන්නේ බොහෝම පරිස්සමෙන්.

'අපි බලා ගෙන ඉදිමු. '

කියලා “මාර්ක් සකර්බර්ග්” වියමනට ප්‍රතිචාර දැක්වු වේයන්ගොඩ , -විශ්‍රාමලත් පාඨශාලා ආචාර්ය කුරුප්පු මයාට මීදුම ප්‍රතිචාර දැක්වුවා. එතුමා ඒ ප්‍රතිචාරයට අසතුට පල කලේ මෙහෙමයි.
“එපමණද ඔබතුමාගේ අදහස ලයනල් මහත්මා? කණගාටුයි.”

 කියලා.

ඇත්තෙන්ම අපි හදිස්සි වෙන්න ඕන නැහැ. 20 වෙනිදායින් පසු උදා වෙන දවස ගැන අපිට කියන්න බැහැ. මේ අවපාතය ගැන කියවීම නිසා විසිවී ගිය මැති ඇමතිවරු ගොඨා ගේ ආණ්ඩුවේ ඉන්නවා. ඔවුන්ගෙන් සමහරු කොරෝනා රැල්ල අවසාන වුනදා සිට අදහස් පල කරමින් සිටියා. අර්බූදය  ඔඩු දුවන්න පටන් ගත්තා. ආර්ථික ඝාතකයා ලෙස හදුන්වා දුන් පී.බීත් මහ බැංකුවේ ආටිගල වැනි රාජ්‍ය සේවකයෝ බොහෝමයක් මාර්තු වෙන කොට විසිවුනා.නැත්නම් ඉවත් වුනා.  එතකොට ගොඩ එන්න බැරි තරමකට අපි තල්ලු වෙලා.

අරගලය හොදින් නිරීක්‍ෂණය කරන්න. පාලකයින් අපි පාලනය කරගන්න අරගලය උර දෙනවා. ඒක නියමෙන් නොවෙන්න පුළුවන් . අනියමින්.

අපිට තෙල් නැහැ , ගෑස් නැහැ. ආහාර ,ඖෂධ නැහැ නැත්නම් මිළ අහස උසට ගිහින්  කවුරුවත් හාං කවිස්සියක් නැහැ දරා ගෙන ඉන්නවා.

අපේ මනස එතනට ගෙනල්ලා.

Anonymous said…

“ඔන්න ලයනල්ලාගේ රනිල් හාමු වැඩ පටන් අරන්. මර්ධනය ආරම්භකරයි.
අරගලයේ සිටි නායකයිනි. ජීවිතය බේරා ගන්න රටින් පලා යන්න.”

මේ මීදුමට ලැබුන තවත් ප්‍රතිචාරයක්. කෙටිම පිළිතුර නම් මීදුම  ජේ. ආර් ගේ නායකත්‍වයෙන් පසු එම පිළ අත් හැරි බවයි.

අපි කතා කරමු අපි ඉවසා ගෙන බලා ඉදිමු . අරගලයට බලපෑමක් කරන්න හැකිවුනාට අපිට එහෙම බල පෑමක් කරන්න බැහැ. අපේ විශ්වාශය රැදිලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට කොටු වෙලා.


notes of imaginary

Friday, July 15, 2022

මාර්ක් සකර්බර්ග්.



එඩ්වඩ් සැවරින් සමඟ මාර්ක් සකර්බර්ග් කියන විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනාගේ නිර්මානයක් අද ජාත්‍යන්තර ව්‍යාප්ත වු මහා ව්‍යාපාරයක්.2004 පෙබරවාරි මාසයේ සිට පේස්බුක් ආපු ගමන ලෝක සමාජයම විප්ලවයකට පත් කරලා .

අපේ රටේ අදහස් විකාශණය කර ගන්නා ජනප්‍රිය මාධ්‍යය මුණු පොත. එය නිවරදි විදියට භාවිතයට ගත්තොත් විශාල මෙහෙවරක් කරගන්න හැකි මාධ්‍යයයක්. අපි  අරගලයේ දී බොහෝ අදහස් හුවමාරු කර ගත්තේ මූණු පොතෙන්. මේ අදහස් විවේචනයට ලක්වු අවස්ථා වගේම තර්ජනයට ලක්වු අවස්ථා බොහෝමයි.

මම සීයා කෙනෙක්. 71 කැරැල්ල පටන් ගන්න කොට මට 23යි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්‍ධ වුනේ ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලන අදහස් වලිනුත් ඔළුව පුරෝගන. අපේ පවුලම තනි අලියට වෙලා ඉන්න කොට අපේ  තාත්තා කිව්වේ “ඔය වයසේ වැරද්ද “කියලා.ඒත් කැරැල්ල ඇති වෙනකොට අඩියක් පස්සට අරන් රැදෙන්න තරම් දෙවරක් හිතන තරුන මදයක් මට වගේම මා වටා සිටි අපේ වයසේ අයට තිබුනා. දැන් අපි ගෙවන්නේ අපෙන් පස්සේ මේ  තුන්වන තරුන පරම්පරාවේ උදවියත් එක්ක.

දෙවෙනි පරම්පාරවටත් වඩා ඔවුන් ආවේගශීලියි.ඔවුන් අඩියක් පස්සට ගන්නේ ඔක්කොම හරිගියාම. නැත්නම් විනාශ වෙලාම ගියාට පස්සේ.

ඉතින් මම මගේ මූණු පොතේ පලකරන අදහස් බොහෝම පරිස්සමෙන් කරන්නේ. මගේ කාලය වැයකරන්නේ සතුටෙන් ඉන්න. ඉතින් මොකටද  මේ තර්ජන ගර්ජන වලින් මගේ හිත පාරා ගන්නේ ?.මම පේස්බුක් පිටු අතරින් දෑක්ක දෙයක් තමයි අන් මත ඉවසීමට නොහැකි කම. අන් මත විවේචනය කිරීම අදහස් දැක්වීම හොද ලක්‍ෂණයක්.ඒත් කරන්නේ වැකියකින් දෙකකින් මූණටම දමා ගැසීමෙන්. පැහැදිලි කිරීම් නැහැ. පැහැදිලි කලත් එම පැහැදිලි කිරීම්  තුල පවත්වා ගෙන යන ස්වරූපය තර්ජනාත්මකයි. සමහර විට අවිනීතයි. ඒවා පලකිරීම් කරන්නෙත් short and sweet ක්‍රමයට.

අද මාධ්‍ය මුද්‍රිත මෙන්ම විද්යුත් මාධ්‍ය පාඨක ශ්‍රාවක සහභාගිත්‍වයකින් තොරවයි පවත්වා ගෙන යන්නේ. සති අන්ත පත්‍ර බලන්න හැමදාමත් එකම ලේඛක පිරිසක් ලියන්නේ.එයාලගේ අදහස්. අපි බලන්නන් පිරිසක් වෙලා. සංවාදයක් කරන්න ඊලග පිටපතෙන් වත් ඉඩක් නැහැ. සුනිල් මාධව වගේ මාධ්‍යවේදීන් තුල මීට වඩා වෙනස් පිලිවෙතක් තිබුනා. මට මතක් වෙනවා දිවයින පත්‍රයේ අට වෙනි පිටුව.මේ  හිදැස පුරවන්න මූණු පොතට විශාල වපසරියක් තියෙනවා.. මූණු පොතේ කෙටිකතා කොටස් වශයෙන් පලවෙන නවකථා , පද්‍ය නිර්මාන දේශපාලන අර්ථ නිරූපන. අධ්‍යාපන,  වෛද්‍ය වැනි විවිධ ක්‍ෂෙත්‍රවල ලිපි ලේඛණ  දැනටමත් පලවෙනවා.

 ඇතැම් මුණු පොතේ  පිටු ජාති ආගම් අතර මතභේද ඇති කිරීමට, දේශපාලන මතවාද අතර ගැටුම් ඇති කිරීමට යොදා ගෙන තියෙනවා.  මෙය රටක්  වශයෙන් ගත් කල තරමක් මතභේදකාරී තත්ත්වයක්. මිනිසුන්ගේ හැගීම්වලට පහර ගැසීමටද තර්ජන හෝ හිරිහැර “Cyber bullying” කිරීමටද මෙම පිටු හසුරුවන්නන් කටයුතු කරනවා .

සමාජවාදී රාමුවට සිදුවිය හැකි දේශපාලනික, ආර්ථික බලපෑම් මත චීනයද , ආගමික මතවාදයට හානියක් වේ යැයි උපකල්පනය කරමින් ඉරානය, ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය වැනි රටවලද   මුණු පොත තහනම් කිරීම හෝ සීමා කිරීම  දක්නට ලැබෙනවා .  

අන්තර්ජාලය නිදහස් මාධ්‍යයක් .  ස්වයං අවබෝධය, ස්වයං විනය, අවංක බව භාවිතයේදී අත්‍යවශ්‍යමවෙනවා..  මුනු පොත භාවිතා කරන අය   තම පලකිරීම් වල  හොඳ නරක නැවත නැවතත් හිතා බලන්නේනම් බොහෝ ගැටළු ඇතිවෙන්නේ නැහැ.     

එහෙම වුනහම  මිතුරු පිටු වාරණය කිරීමකුත්  අවශ්‍ය වන්නේ නැහැ.

     

 

 

 

notes of imaginary

අවනඩුවක් .


විදුලිය කපනවා. ජවිතේ අවුල්. ගෙදර  දොරේ කඩපිලේ කතාව මේ කැපිල්ල ගැන. මහජන උපයෝගීතා කොමිසම කියලා එකක් තියෙනවා . ඒකේ ලොක්කා රූපවාහිනියට ඇවිල්ලා රස කර කර කැපිල්ල ගැන කියනවා .A to Z කලාප ටිකක් එක්ක.

මේක අවනඩුවක් .එහෙම හිතලා අපේ එකෙක් මානව හිමිකම් කඩකරලා කියලා අපේ ගමේ කොල්ලන්ගේ අධිකරණයේ නඩුවක් ගොනු කලා කියමුකෝ...

නඩුව විභාග කරන්න දිනයක් ස්ථානයක් නියම වුනා.

පැමිණිලි කාරයෝ විත්තිකාරයෝ තම තමන්ගේ හරක්  දිගේලි කරලා කමතේ අධිකරණයරැස්වුනා අපේ ගමේ නඩුකාරයා තමයි හරමානිස්. මිනිහා මාසෙකට දෙකකට වරක් උසාවි යනවමයි. එක්කෝ කා එක්ක හෝ දඹරයකට ගිහිල්ලා නැත්නම් ඔය කසිප්පු ටිකක් පෙරලා වගේ දේවල් වලට. හරමානිස් කියන්නේ “ඇස්පීරියන්ස්” ගන්න යනවා කියලා.

කමතේ නඩුකාරයා වුනාට පස්සේ පොරගේ නම මාරුවුනා. හරමානිස් දැන් “හර්මන්” හර්මන්ගේ වැඩ කිඩ දැක්කම මතක් වුනේ හුණුවටයේ අසඩක්. හර්මන් හොදට බීලා වෙරි මරගාතේ  කෝට් බෑය ගසා බසා දාලා වී හුලං කරන අට්ටාලෙට නැගලා.

පිරිසේ හිටපු බබානිස් තමයි මුඩ්ලියර්. මුඩ්ලියර් උනාට පස්සේ පොරගේ නම” බබ් ඹ් නිස්” වෙලා.මුඩ්ලියර් බබ් ඹ් නිස් කල් දාන නඩු මුලින්ම කැදවලා කල්දාලා අධිකරණයේ තදබදය අඩුකරගත්තා. පයෝරිටි ලිස්ට් එකෙන් අද විභාගෙට තියෙන නඩුවක් කැදෙව්වා. බොහෝම සැරට නඩු අංක 20220410 ........විත්තිය ඊ .ලෙක්ට්‍රි සිටි ..............පැමිණිල්ල  ජහමනගේ බඩිගිනිස්.

පිට කොන්ද බඩට ඇළුනු  ජහමනගේ  බඩගිනිස් පන්මල්ලකුත් කිහිල්ලේ ගන්න ගෙන පැමිණිල්ල පැත්තේ හිට ගන්නවා.

අධිකරණයට ගරු කටයුතු ලෙස නොහැසිරීම ගැන. මුඩ්ලියර්  බබ් -ඕ- නිස්ට මල පැනලා. මොකක්ද ? මේ මල්ල -තියෙනවා ඕක එලියෙන් තියලා  - එනවා. හ්ම් . මේක ඉරිදාපොල නෙමෙයි - මේක අධිකරනය. ගෙරවිලි වැලයි.

 ජහමනගේ  බඩගිනිස්  බයාදුව  දෙකට තුනට නැමිලා විධානය ඉටු කරලා හාන්දුරුවනේ කියලා මුමුන ගමන් විනිශ්චාශනයට බයාදු බැල්මක් හෙලනවා.

විත්තිය - ඊ .ලෙක්ට්‍රි සිටි ගරු ගාම්බීරව “ ස්වාමීනී  පෙනීසිටිනවා ස්වාමිනී”  . කියලා බැබලි බැබලි විත්තිය පැත්තෙන්  හිටගන්නවා .  විත්තිය දැකලා මුඩ්ලියර්  බබ් -ඕ- නිස් ගල් ගැහිලා . පැමිණිල්ල කියවන්නත් බැරිව ගොත ගහනවා.

ජහමනගේ  බඩගිනිස් ගල් ගැහිලා බලා ඉන්නවා. විත්තිකාර ඊ .ලෙක්ට්‍රි සිටි ගෙන්  නඩුකාර හර්මන් වෙනුවෙන් මුඩ්ලියර් අහනවා තමන් මේ චෝදනාවට වැරදි කරුද නිවරදි කරුද කියල?.

අනේ ස්වාමීණි මම මේ මොනවත් දන්නේ නෑ මගේ පුර්වගාමියා තමයි මේ  සැලසුම් කලේ - මම පත්තු කලා විතරයි ස්වාමිණි

කවුද පුර්ව ගාමියා ඔහු වහාම කැදවනු . අධිකරනයේ මහ කලබලයක් පොලිසියේ මහත්තුරු, පන්සලේ ඉදලා උස මහත්තෙක් ඇදගෙන එනවා මෙන්න මෙයා තමයි පුර්වගාමියා ස්වාමිණි.  තමුන් ද මේ අපරාධය කලේ පුර්වගාමියාගෙනුත්  ප්‍රශ්නේ අහනවා .

මම මුලින්ම කිව්වා මෙහෙම ගියෝත් මේ වැඩේ කරන්න වෙනවා කියලා. ඒත් ඇහුවේ නෑ. කාලා බිලා ජොලි කරනවා. ඉතිරි ටික සනුහරේට බෙදලා දෙනවා විතරයි. ඉතින් කොහොමද ජහමනගේ  බඩගිනිස්ට අපරාධයක් නොවන විදියට වැඩ කරන්නේ ?. ”

ඒත් මම මේ සංගදිය කරන්න කිසිසේත්ම අනුබල දුන්නෙත් නෑ කරන්න කිව්වෙත් නෑ. අන්න අරයාගෙන් තමයි අහන්න ඕන කියලා කමතේ ලියක මානලා තිබුන පින්තූරයක් පෙන්නුවා.

නඩුකාර හර්මන් ආපහු හැරිලා බැළුවා. හොදටම දාඩිය දාන්න පටන් ගත්තා . කුල්ලක් අරන් පවන් ගහන්න සුළු සේවකයෙකුට අණ කලා.

උසාවියේ අවධානය වෙනත් පැත්තකට යොමු කරලා මේ ගැන හොයලා බලන්න  ඉන්න හොදම කෙනා ‍හොයා ගෙන එන්න කියලා අණ කලා. තොරතුරු විමසා සාක්‍ෂියක් ගන්න.පින්තූරේ ඉන්න කෙනා ඔරවා ගෙන ඉන්නවා වගෙයි හර්මන්ට පේන්නේ.

පොලිසියේ මහත්තුරුන්ට මතක් වුනා වැල් ආරච්චි. හර්මන්ගේ නියෝගයට වැල් ආරච්චි කැදවා ගෙන ආවා. උන්නැහේට පැමිනිල්ල ගැන කරුනු පහදලා මෙහෙම වෙන්න හේතුව මොකක්ද කියලා ඇහුවා. නැතිවුනාම වැඩියෙන් අරන් දෙන්න ඕනි. එකත් කරන් අමාරු නිසා කපන්න පටන් ගත්තා. එතුමා උත්තර බැන්දා.

නඩුව යන හැටි හොදනෑ කියලා ජහමනගේ  බඩගිනිස්ට හිතෙනවා. ඒත්  ඉතින්  මෙනවා කරන්නද ?  දැන් ඔහේ අහගෙන ඉන්නවා. නඩුකාර හර්මන්ටත්  කැරකිල්ල වගෙයි .  වැඩිදුර විභාගෙ පැයකට කල්දාලා තව දෙකක් දාගෙන ආයෙත් නඩුව කැදෙව්වා.

විත්තිය වෙනුවෙන් කරුණු පැහැදිලි කරගන්න එක එක අය කැදෙව්වා. ආ අය තවත් එක්කෙනෙක් ගැන කියලා ඇග බේරා ගන්නවා.

ඔහොම යන කොට  නඩුකාර හර්මන්ට , ලක්‍ෂපාන පැත්තේ වැදගත් පහේ මහත්තෙක් මතක් වුනා . සාක්ෂියක් ගන්න එතුමාත් කැදෙව්වා. එතුමාගෙන් ඇහුවා කවුද මේ පත්තුවෙන මල ඉලව්ව හැදුවේ ?. කියලා.

. “තෝමස් අල්වා එඩිසන් කියලා මහත්තෙක් තමයි ඕක හැදුවේ”  කියලා ඒ මහත්තයා උත්තර බැන්දා.

අම්මෝ අදට ඇති කියලා   නඩුකාර හර්මන් ට හිතුනා   “ වහාම තෝමස් අල්වා එඩිසන්” ඊලග නඩුවාරෙට කැදවන්න අණ දීලා නඩුව කල්දැම්මා.

ජහමනගේ  බඩගිනිස් මල්ලත් අරගෙන නඩුකාර හර්මන්ගේ උසාවියෙන් යන්න ගියා “ඒකත් එහෙමයි එහෙනම්” කියලා.  හර්මන් තවත් දෙකක් දාගෙන හරක් ටිකත් දක්ක ගෙන ‍වැනී වැනී ගෙදර ගියා.

 


notes of imaginary

Wednesday, July 13, 2022

නරිත් හිතන්න පටන් අරන් .

notes of imaginary

 

අපි ඉන්නේ ගිණි ගොඩක් උඩ.

මේක කොයිතැනකට ගිහින් නතර වෙයිද හිතා ගන්න බැහැ.

අදහස් දැක්වීමත් භයානක වෙන්න පුළුවන්.

මට පරණ කතාවක් මතක් වෙනවා.

මේක ඊෂොප්  කිව්ව කතාවක් කියලයි කියන්නේ.

ඊෂොප් ග්‍රීසියේ ක්‍රි.පු අටවන සියවසේ පමන ජීවත්වු

උපමා කතා කරුවෙක් ලෙසත් සැලකෙනවා.

කතාව දිග හරින්නම්.එක දිගටම අපි දකින්නේ බිහිසුනු දේවල්.

සමථයකට පත්වෙන්නේ නැති අරගලයක් සමග අපි නිදාගන්නවා .

අවදි වෙනවා.

එක් දිනක නරියෙක්

ගංවතුරකට අසුව ගැඹුරු දිය පහරකට අසුවෙනවා.

නරියාගේ ඇගේ වසා ලේ උරා බී

තරවුන සිටි කිනිතුල්ලන් පොකුරක්

සිරුරේ ජලයේ ගිලී නොමැති  උගේ පිටමතට එක් වෙනවා

නරියා වෑයමෙන්  ජලයෙන් ගොඩ වෙනවා.

මෙතනට පැමිනෙන ඉත්තෑවෙක්

නරියා ගෙන් විමසනවා

 “ යාළුවේ. මම කිනිතුල්ලන් පොකුර ගලවාදමන්නද ?” කියා.

එපා යාළුවා.

මේ කිනිතුල්ලන් රෑන මගේ ඇගේ ලේ උරා බී තර වෙලා ඉන්නේ.

මුන් ටික ගැලෙව්වොත්

තවත් කිනිතුල්ලන් රෑනක් මගේ ඇගට ගොඩවී

ලේ උරා බොන්න පටන් ගනීවී.

දැන් ඉන්න කිනිතුල්ලන් ලේ බී තරවී සිටින නිසා

උන් ලේ බොන්නේ අඩු වේගයකින්.                          

අළුතින් එන අය එන්නේ හාමතේ

උන් තරවෙන තෙක් වැඩි වේගයකින් ලේ බොන්න පටන් ගනීවී.

ඒ නිසා ඔය කිනිතුල්ලෝ ටික ඔහොමම හිටියාවේ.

ඉත්තෑවා එකත් ඇත්ත තමයි යාළුවා

කියලා නරියාගෙන් සමුගන්න හැදුවත්,

නරියා කිවුවා “ පොඩ්ඩක් ඉන්න යාළුවේ .

මගේ අදහස වෙනස් කලා “

මේ කිනිතුල්ලෝ ටික අයින් කරන්න මම ආයෙත් දියට බහින්නම්.

අළුත් කිනිතුල්ලෝ ටිකක් ඒවී . මාත් නැතිවෙලා යයි.

නරියා හිතන්න පටන් ගත්තා.


Friday, July 08, 2022

කාලය ගලා යන හැටි.


 

කාලය බොහෝ අරුමයන් මවනවා .වෙනස් වීම් සිදුකරනවා. යහපතට වගේම අයහපතට.  අපේ දැනුම සහ අවබෝධයේ තරම   කාලයේ අරුමයෙන් ඇති කරන්නේ විශාල පරතෙරයක්.

ජීවිතයෙන්  දශක පහක් හයක්   ආපසු ගමන් කල විට  අවුරුදු  පහලොවක දහ අටක පමණ ගැටවරයෙක්. එකලත් අදත් සමාජ විශ්වාශයන් බරපතල ලෙස අභියෝගයටත් වෙනස් වීම් වලටත් පත්වෙලා.

එදා අපිත් අද පුංචි දරුවෙකුටත්  ඇති අවබෝධය සහ  තාර්කික බුද්ධිය  විශාල පරස්පරයක් තියෙනවා කියලයි මට දැන් හිතෙන්නේ. අපි එදා  හිතලා තියෙන්නේ ගතානුගතිකව .

 

එක් එක් පවුල් වල  ජීවන රටා වෙනස් . අපි ගම්බද පදිංචි කරුවන්.  එකල ගොවියාගේ පුතු දෙමවව්පියන් අනුව ගොවිපලට  යනවා.   මවුපිය සහයට ගොවිපලට යන්නේ පෙළඹවීමකින් තොරවයි. මගේ පියා සාමාන්‍ය වෙලෙන්දෙක්. මමත් ඔහු පවත්වාගෙන ගිය වෙළද සැලට උදව්වට යාම පුංචිකාලේ සිටම සිදුවු දෙයක්. වයසේ තරමට සුළු සුළු අත් උදව් දීමෙන් ඇරඹී මේ කටයුතු පසුකාලය වන විට පියා අනුගමනයකිරීම දක්වා පුහුණුවක් වුනා.අධ්‍යාපනයට යොමු කලත් ජීවිතය වැලද ගත්තේ පියාගේ වෘත්තීය පුහුනුව.යි.

 

මේ මුලපිරීම බරපතල සාකච්ජාවක් සදහා වගේ පෙනුනත් වියමන්  වෙන්නේ වෙනත් සරල සිදුවීමක්.     තැතිගත් මනස මට කල හදියක් කීමටත් ,  අපේ පැරන්නන් ස්වභාව ධර්මය උපයෝගී කරමින් කල නිෂ්පාදනයක් හදුන්වා දිමටයි. ඒ අතර තවත් අතුරු කතාවකුත්  තියෙනවා.

 

මේ කතා  අවසාන විට ඔබ හිතාවි දෑන් සීයා වන මමත් ,   මගේ පුංචි මුණුපුරාත්  අතර වෙනස.

 

කතාවට ප්‍රවේශවුනේ තාත්තාගේ වෙළද සැලේ අත් උදව්වට ගිය බව කියමින් . පැතුරුන විශාල වපසරියක  අපේ තාත්තාගේ ගණුදෙණු කරුවන් විශාල පිරිසක් වාසය කලා. ගම් දහයක් දොළහක සිංහල ජනතාවත්   අක්කර දහසකටත් අධික ප්‍රදේශයක් පුරා පැතුරන තේ වතුයායක දමිළ ජනතාවත් මේ පිරිසට  අයත් වුනා. වතුයායේ    සේවය කල වතු ජනතාව හට ආහාර පාන වගේම ඇදුම් පැළදුම් වැනි අවශ්‍යතා මාසික ණය පදනම මත මිලදී ගත්තේ පියාගේ වෙළද සැලෙන්. සෑම මසකම දහවෙනිදා හෝ ඊට ආසන්න දිනක කම්කරු වැටුප් ගෙවන විට මටත් මගේ වසසේ සිටි මගේ නැන්දාගේ පුතාගේත් රාජකාරිය වුනේ කුඩා පොතක සටහන් කරගත් ඒ ඒ ගණුදෙණු , ණය  ගනුදෙණු කරුවන්ගෙන්   එක් රැස්කරගෙන ඒම සදහා ඔවුන් විසු නිවෙස් වලට යාමයි.

 

දින දෙකක් ගතවු මේ ගමන අපි දෙදෙනාට විනෝදමත් චාරිකාවක්. සෑම වාරයකම පෙර දින පිටත් වන  අපි දෙදෙනා ආපසු නිවෙස් වලට ඒමට සිදුවන්නේ  පසුදා  රාත්‍රී  දෙගොඩ හරියේ රාත්‍රී දොලහට එකට.

 

1976 දක්වා අවුරුදු විස්සකට අධික කාලයක් කරන ලද මෙම කාරිය අවසන් වුනේ සිරිමා ශාස්ත්‍රී ගිවිසුමෙන් වතු කම්කරුවන් ශ්‍රී ලංකාවෙන් පිටත්වීමත් සමගයි. එම වකවානුවේ ඉන්දීය පුරවැසි කම ලැබ මෙම  දමිළ ජනතාවගෙන් අඩකටත් වඩා පිරිසක් ඉන්දීයාවට පිටත්ව ගියා. එදා පැවති අක්කර දහසක් පමණවු වතුයාය අද වන විට අක්කර සීයයකට පමණ සීමා වීම ඇරඹුනෙත් මේ හේතුව නිසයි.

 

අතුරු කතාවත් සටහන් කරන්නම් .

 

ඉතින් ….. එක් දවසක චරෙිකාව අවසන් කරලා අපි දෙන්නා ඒ කිව්වේ මස්සිනාලා දෙන්නා මහ රෑ ඝණ අන්දකාරය මැදින්  ගෙදර එනවා. දැන් වගේ නෙමෙයි. විදුලි පන්දමට අතිරේක බැටරි කෑලි ගෙන යන්න අපිට ලැබෙන්නෙත් නැහැ. පෙරදා ගෙන ගිය විදුලි පන්දම් දෙකේ  බැටරි කලා මැදිරි එළි වගෙයි. බැටරි බැහලා. අතුරු පාරවල් ( ෂෝර්ට් කට් ) හරහා අපි ගමන ඉක්මන් කරනවා. තේ වතු යාය අවසන් වෙන්නේ වෙල් යායක් මැදින් වැටී ඇති අතුරු මගකින්.

අපි දෙන්නට ඇහෙනවා අමුතු සද්දයක්  ටකස් –  ටොකස්  , ටකස් –  ටොකස්  , ටකස් –  ටොකස් ” . නොනැවතීම ඇහෙනවා.

අපිට මතක් වෙනවා අපි ගමන් කරන අතුරු මාර්ගය පිළිබදව. ගම්මුන් බලි තොවිල් කර මල් තට්ටු ගෙනවිත් දමන තැන, යකුන් ප්‍රේතයන් අල්ලා ගෙන විත් ඇණ ගසන සුවිසල් ඇටඹ ගස. අපි නිශ්සබ්දයි. ගල් ගැහිලා. තීරණයක් නැතිව හිටිවන ඉන්නවා . ටකස් –  ටොකස්  , ටකස් –  ටොකස්  , ටකස් –  ටොකස් ” . නොනැවතීම ඇහෙනවා.

 

 අයියේ මස්සිනා මට කියනවා. මොකද කරන්නේ ?  අපි ආපහු යමු මම කියනවා . සැතපුම් භාගයක් විතර ආපසු  ගොස් අපි ආපසු හැරී ප්‍රධාන මාර්ගය තෝරා ගෙන  ඒ  ඔස්සේ යලිත් එනවා. ගමන සැතපුම් එකයි භාගයක් විතර දික්වෙනවා. මේ එන අතර වතු කම්කරුවන්ගේ සොහොන් කොත් කිහිපයක් පහුකරන්න ඕන. මේ සොහොන් කොත් අතර එක් සොහොනක් ගම් වැසියන් අතර සුප්‍රසිද්ධ සෙහොනක් තියෙනවා. හදුන්වන්නේ කනක්කයාගේ සොහොන කියලා.මේ කනක්කයාගේ සොහොන පහු කරන අපි දෙන්නාට ඉස්සරහට යන්න දෙන්නේ නෑ. පසු පසට තල්ලු කරනවා විශාල මාර ගස් විලාප දෙනවා. අපිට බුදු හාමුදුරුවෝ සිහිවෙනවා. ඉතිපිසෝ ගාථාව අපි මහ හයියෙන් ගායනා කරනවා.

වෑයමෙන් ඉස්සරහට තල්ලු වන අපි ඒ බාධකයත් ජය ගෙන යාන්තම් ගෙදරට එනවා.

 

පහුවදා දෙන්නටම සහලෝල උණ.තොවිලයක් නොකර බේරුනත් තෙල් සාත්තුවකින් යාන්තම් බේරුනා.මතක් වෙන කොටත් දැන්නම් හිනා යනවා.

සතියකට විතර පස්සේ අපි දෙන්නට ලැබුන විවේකයකින් මේ  “ටකස් ටොකස් ජංජාලේ සුලමුල හොයන්න ගියා කියමුකෝ . මහ දවලුත්  ටකස් –  ටොකස්  , ටකස් –  ටොකස්  , ටකස් –  ටොකස් ” . නොනැවතීම ඇහෙනවා. ඇහෙන්නේ වෙල් යායෙන්. හඩ ඔස්සේ ගිහින් බලපුවම දිය පාරකට සවි කර තිබු දිය උගුලතමන් ගේ රාජකාරිය ඉටු කරනවා. 

 

අපි පිටුපසට තල්ලු කල බල වේගය සොයාගන්න නම් සෑහෙන්න කාලයක් ගතවුනා. ජුනි සැප්තැම්බර් කාල පරාසය මේ ප්‍රදේශයට තද හුලං හමන කාලයක්.මේ කියන බිම් කොටස හරහා හමන තද සුළග වාහන වලට පවා ප්‍රතිරෝධ දක්වනවා. කනක්කයගේ සෙහොන’  පිහිටුවා තියෙන බෑවුම් සහිත මහා මාර්ගයේ ග මේ කාලවලට හමා යන හුළග හරි වේගවත්   . කනක්කයගේ සෙහොනඅදත් තියෙනවා. තද හුලං තියෙන දවස් වලට අදත් මේ හරියෙන් යන්න අපහසුයි. අපි දෙන්නට එදා  කනක්කයගේ සෙහොනේඅභිරහස නිරාකරනය කරගන්න බැරිවුනා. ඒ .රමට විචාරත්මක බවක් අපිට තිබිලා නැහැ.

 

අපේ පුංචි එකා මුනුපුරාට පොඩි අසනීපයක් හැදෙනවා. මම යෝජනා කරනවා පැටියෝ අහවල් සීයට කියලා වතුර ටිකක් මතුර ගෙන එන්නද කියලා. සීයේ එයාට පියාඹන්න පුළුන් වෙන්න මතුරන්න පුළුවන් ද ?. ” පුංචි එකා මගෙන් අහනවා.

 

එහෙමයි. කාලය වෙනස් වෙලා තියෙන්නේ. දැන් දරුවෝ අපේ කාලේ දරුවන්ට වඩා විමසිලිමත්.

 







notes of imaginary