Saturday, August 31, 2024

යාපනයේ පතුළක් නැති ළිඳේ අබිරහස







යාපනයේ පතුළක් නැති ළිඳේ අබිරහස විසඳෙයි
බිත්ති නිර්මාණය වෙලා තිබෙන්නේ හිරිගල්වලින්
ළිඳේ යටම තිබෙන්නේ මුහුදු වතුර...
සොබා දහම තැන තැන අපූරු නිර්මාණ බිහිකරයි. ඉන්දියානු උප මහද්වීපයේ දකුණු කෙළවර පිහිටා ඇති ශ්‍රී ලංකාව යනු සොබා දහමේ තවත් අපූර්වතම නිර්මාණයක් බව නොරහසකි.
දූපතක් ලෙස පිහිටා ඇති ශ්‍රී ලංකාවේ උතුරේ පිහිටි යාපනය අර්ධද්වීපය මෙහි අපූර්වත්වය තවත් තීව්‍ර කරයි. වසර මිලියන ගණනක් පුරා නිර්මාණය වූ හුණුගල් ස්ථරයකින් යාපනය අර්ධද්වීපය නිර්මාණය වී තිබේ.
මේ භූමි නිර්මාණය තුළ හිරිගල් ආවාට හා ඛාදනය හේතුවෙන් නිර්මාණය වූ ගුහා හෝ දෝනා තිබිය හැකි බව භූ විද්‍යාඥයෝ විශ්වාස කරති.
බොහෝ දෙනකුගේ මතය වන්නේ යාපනයේ නීලාවරෙයි හන්දියට ආසන්නයේ පිහිටා ඇති සුවිසල් ළිඳ පතුළක් නොමැති මහ කුහරයක් බවයි. ඒ නිසා එය පතුළක් නොමැති ළිඳ යැයි හැඳින්වීමට ශ්‍රී ලාංකිකයෝ පුරුදුව සිටිති.
ඉතා දැඩි සංචාරක ආකර්ශනයක් දිනා ඇති මේ පතුළක් නැති ළිඳ ගැන ඇති කතාවකින් කියවන්නේ සටන් විරාම කාලයේ මේ ළිඳට වැටුණු පුද්ගලයකුගේ සිරුරක් සොයාගත නොහැකි වූ බවයි. දින ගණනකට පසු ඔහුගේ සිරුර කන්කසන්තුරේ මුහුදේ පාවෙමින් තිබිය දී හමුවූ බව ද පැවසේ.
“එක වතාවක් මෙතැනට ආපු තරුණයෝ වගයක් මේ ළිඳේ වතුර කොතැනට සම්බන්ධ වෙලා තියෙනවා ද කියා බලන්න දෙහි ගෝනියක් මේකට දැම්මා. මේ දෙහි මතුවුණේ කීරමලෙයි මුහුදෙන්” ගැමියකු එසේ කීවේය.
ඔවුන් පවසන්නේ මෙහි පතුල සෙවීමට ගත් සියලු‍ උත්සාහයන් ව්‍යර්ථ වී ඇති බවයි. ඇතැමුන් පවසන්නේ මෙය කිලෝ මීටර 04ක් දුරින් ඇති කීරමලේ පොකුණ හා සම්බන්ධ බවයි. තවත් පිරිසක් කියන්නේ මේ ළිඳට ජලය ලැබෙන්නේ මාතලේ ප්‍රදේශයේ උල්පත්වලින් බවයි.
මෙහි සත්‍ය අසත්‍යතාව සෙවීමේ ගවේෂණයකට මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා කණ්ඩායම අත ගැසූහ.
ඔවුන් පවසන්නේ මෙය ළිඳක් ලෙස හැඳින් වුව ද බැලූ බැල්මටම එය හුණුගල් ආවාටයක් බව පැහැදිලි වෙන බවයි. ඉතාමත් පිරිසිදු නිල්වන් ජලයෙන් පිරී ඇති මෙම ළිඳ ඉතාමත් ගැඹුරු බව මතුපිට සිට බලන්නකුට පවා අවබෝධ වන කරුණකි. ප්‍රදේශයේ ජනතාවගේ ජල අවශ්‍යතාව වසර සිය ගණනක් පුරා සපුරමින් පැවැති මේ ළිඳ අසල පැරණි දාගැබක නටඹුන් හා හින්දු කෝවිල් කිහිපයක් දක්නට ලැබේ. දාගැබේ නටඹුන් හේතුවෙන් මේ ස්ථානය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම් කර ඇත. මීටර 14.5ක් දිගැති හා පළල මීටර් 10.7ක් වන මේ ළිඳ වටා සිමෙන්ති යොදා ළිං බැම්මක් සකසා තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂිත දැලක් ද ඉදිකර තිබේ.
මෙම ගවේෂණය සඳහා හිරිගල් ගුහා සහ දෝනා ආශ්‍රිත කිමිදුම් කටයුතු කිරීමේ ප්‍රවීණයකු වන රුසියානු ජාතික වයිලි කෂ්කිනොව් මහතාගේ සහ ප්‍රවීණ කිමිදුම් ශිල්පියකු වන හික්කඩුවේ එම්.ජී. ප්‍රියන්ත මහතාගේ සහය ලබාගෙන තිබේ.
වයිලි මහතා වසර ගණනාවක සිටම ජලාශ්‍රිත උමං හා හිරිගල් ගුහා තුළට කිමිදුම් කටයුතු කිරීමේ පළපුරුද්දක් ඇති එවැනි කිමිදුම් සඳහා උපදේශකයකු මෙන්ම තාක්ෂණික කිමිදුම් කටයුතු පිළිබඳ පුහුණුව ලද අයෙකි.
වයිලි මහතා සහ ප්‍රියන්ත මහතා පළමුව මේ ළිඳට බැස්සහ. සියලු‍ ම ආරක්ෂිත ක්‍රමෝපායයන් අනුගමනය කරමින් මේ කටයුත්තට පිළිපන් දෙදෙනාගේ පළමු ඉලක්කය වූයේ ළිඳට බැස එහි වටේ පරීක්ෂා කිරීමයි. දෝනාවක් තිබේ නම් ඒ තුළින් ගමන් කිරීම දෙවැනි අදියරේ සිදුකිරීම අපේක්ෂාව විය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මුහුදු පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ මහතා මෙසේ කීවේය.
“මේ සැලැස්මට අනුව කිමිදුම් කටයුතු ආරම්භ කරලා මිනිත්තු අටක් වැනි කෙටි කාලයකින් ළිඳේ පහළට ගොස් තත්ත්වය පරීක්ෂා කර මතුපිටට ආපු වයිලි මහතා කීවා ළිඳෙහි වතුර නිශ්චලව පවතින බව. ඒ වගේම මීටර 10-20ත් අතර ගැඹුරේ දී ජලය අපහැදිලි බවත් එම ජලයේ මඩ අංශු පවතින බවත් ඔහු කීවා. ඉන්පසු පතුලේ ඇති ජලය ඉතා පැහැදිලි නමුත් මැද ස්ථරයේ මඩ අංශු නිසා හිරු එළිය නොවැටීමෙන් පතුළ අඳුරු බවත් කීවා.”
ඉන්පසු මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ඒ.එම්. දයානන්ද, එස්.එම්. නන්දදාස සහ රසික මුතුකුමාරණ යන තිදෙනා ද වයිලි සහ ප්‍රියන්ත සමඟ ළිඳ තුළට බැස කිමිදෙමින් පරීක්ෂා කරන්නට වූහ.
මෙහි ජලය මදක් කිවුල් ස්වභාවයෙන් යුක්තය. එසේ වුව ද ජලය පිරිසිදුය. මීටර 10-20 පමණ ගැඹුරට යන විට ජලයේ ලා දුඹුරු පැහැති මඩ අංශු මිශ්‍රවී තිබේ. එමෙන්ම ජලයේ කිවුල් ස්වභාවය මතුපිටට වඩා වැඩි බව ද මුතුකුමාරණ මහතා පවසයි.
තවත් ගැඹුරට යමින් මීටර 20 ගැඹුර පසුකරන විට ජලයේ පැහැදිලි බව යළි වැඩිවෙයි. මීටර 23-25ත් අතර ප්‍රමාණයේ දී ජලය ඉතා පැහැදිලි තත්ත්වයක පවතින බවත් එකවරම ජලයේ ලවණ ගතිය අතිශය ඉහළ යන බවත් ඔහු කීවේය. මුතුකුමාරණ මහතා පවසන්නේ මීටර 25න් පසු ජලය සම්පූර්ණයෙන්ම මුහුදු ජලය හා සමාන බවයි. එතැන් සිට ළිඳ පතුළට යනතුරුම දැඩි අන්ධකාරයක් පවතින අතර විදුලි පන්දම් නොමැතිව කිමිඳුම් කටයුතු කිරීම අපහසු කාර්යක් බව ද ඔහු පවසයි.
“මේ ළිඳේ ජලය සැලකූ විට ඉතාමත් අපූරු දසුනක් දක්නට ලැබුණා. ඝනත්වයෙන් වැඩි පතුලේ අැති මුහුදු ජලයත් ඉහළින් ඇති ඝනත්වයෙන් අඩු මිරිදියත් වෙන්වන මායිම මෙහි පැහැදිලිව දකින්නට ලැබෙනවා. එම ස්ථානයේ විදුලි පන්දම් ආලෝකයෙන් ලවණ අංශු භ්‍රමණය වන ආකාරය ඉතා ආකර්ශනීය දර්ශනයක්. ඒ වගේම ළිඳට වැටී තිබුණු ප්ලාස්ටික් වතුර බෝතල් සහ පොලිතීන් මලු‍ කිහිපයක් මේ ස්ථර දෙක වෙන්වන සීමාවේ ඉහළටත් පහළටත් ගමන් නොකර ස්ථාවරව පතින ආකාරය දක්නට ලැබුණා.”
පර්යේෂකයන් පවසන්නේ මෙහි ජලය ඉතා නිශ්චල බවයි. මතුපිට ජල මට්ටමේ සිට මීටර 40ක් පමණ ගැඹුරට ගිය විට ළිඳේ පත්ල හමුවී ඇත. වසර සිය ගණනක් පුරා ළිඳට වැටුණු ඇතැම් අපද්‍රව්‍ය මෙහි මැද එකතුවී තිබෙන්නේ කුණු ගොඩැල්ලක් ගැසූ ආකාරයෙනි. මේ අතර අසල ඇති බෝගසින් සහ අවට ශාකවලින් වැටුණු පත්‍ර හා රිකිලි රැසක් ඇති බව ඔවුහු කියති. ඒ අනුව ළිඳේ ගැඹුර අඩුම ස්ථානය ළිඳේ මැද බවට පත්ව ඇත.
ගවේෂකයන් වසන්නේ ළිඳෙහි කට ප්‍රදේශයට වඩා පතුළට යනවිට වට ප්‍රමාණය වැඩි වන බයි. ඒ අනුව පතුළට යන විට ගුහාවක් තුළට යන ආකාරයක් දක්නට ලැබෙන අතර මීටර 15ක් පමණ ගමන් කරන විට පහළට ලැබෙන ආලෝකය අඩු වෙයි. මෙහි බිත්ති නිර්මාණය වී ඇත්තේ හිරිගල්වලිනි. ඒ මත ඉතා සියුම් දුහුවිලි වැනි අංශු රැඳී තිබේ. ඉතා සුළු කැළඹීමකින් වුව ද ඒවා ලිහිල් වෙයි.
හුණුගල් ස්ථරයේ ස්වභාවය හා සැකැස්ම පරීක්ෂා කරමින් ගවේෂණ කණ්ඩායම ළිඳ පැති බිත්ති පවා ඡායාරූප හා වීඩියෝ ගතකර තිබේ. ළිඳෙහි බටහිර මායිමේ පතුලෙහි ගැඹුර මීටර 55කි. ජලයේ උෂණත්වය සෙල්සියස් අංශක 28-30ත් අතර ප්‍රමාණයක් බව ද ඔවුහු කියති.
“අපි මේ හිරිගල් බිත්තියේ සාම්පල කිහිපයක් ගත්තා. ඒවා පරීක්ෂා කිරීමේ දී මේ හිරිගල් ස්ථරය මයෝසීන යුගයට අයත් බව හඳුනාගත හැකි වුණා. ඒ හිරිගල් සාම්පල අතර කවච සහිත මුහුදු බෙල්ලන්ගේ ෆොසිල අවශේෂ දක්නට ලැබුණා” යැයි මුතුකුමාරණ මහතා කීවේය.
ගවේෂණය අවසන් කළ පර්යේෂකයන් පවසන්නේ මේ පතුලක් නොමැති බව පවසන ළිඳට හිරිගල්වලින් සෑදුණු පතුලක් තිබෙන බවයි. එමෙන්ම අවට ගම්වැසියන් සහ සංචාරක මඟ පෙන්වන්නන් පැවසුවාට මේ ළිඳ මුහුද හා කිසිදු සම්බන්ධයක් නොමැති බව ද අනාවරණය වී තිබේ.
මෙම පර්යේෂණය සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ස්ථානභාර නිලධාරි ඩබ්ලිව්.එම්. චන්ද්‍රරත්න මහතා, සමුද්‍ර පුරාවිද්‍යාඥයන් වන රසික මුතුකුමාරණ මහතා, චමල් කේ. ගමගේ මහතා, සමීර ප්‍රසංග කරුණාරත්න මහතා, නදීකා කුමාරි මහ්තමිය, මහින්ද කරුණාරත්න මහතා සහ චමිලා කුමාරි මහත්මිය යන කණ්ඩායම සහභාගි වූහ.
ඔවුන්ගේ ගවේෂණයෙන් යාපනය අර්ධද්වීපයේ පතුලක් නැති ළිඳේ අභිරහස විසඳී ඇත.
සජීව විජේවීර
ඉරිදා ලංකාදීප..
උපුටාගැනීමකි ස්තුතියි ..



A day in the life

Friday, August 30, 2024

බංගලි මතක

උදන් ප්‍රනාන්දු
මුලින් ම බංගලදේශයට යන කාලයේ මා ශිෂ්‍යයෙකි. අපගේ ප්‍රධාන සම්බන්ධතාවය තිබුණේ ශිෂ්‍ය සංවිධාන සමග ය. එකල ඒ ශිෂ්‍ය සංවිධාන දේශපාලන පක්ෂ ඔස්සේ බෙදී සිටි හා ඒවාට අනුබද්ධිත ඒවා විය. දෙපැත්තේ ම සිසු කණ්ඩායම් කුඩා පිස්තෝල හා පිහි ආදියෙන් සන්නද්ධ ව සිටි බව මතක ය. එක් කලක් ඩකා සරසවිය බිහිසුණු යුද පිටියක් වූයේ එකිනෙකාට විරුද්ධ ශිෂ්‍ය කණ්ඩායම් දෙක ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වෙනුවෙන් ප්‍රොක්සි යුද්ධයක් කළ නිසා ය. මේ කාලයේ ම ය ලංකාවේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයා වූ දයා පතිරණ ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කරනු ලැබුවේ. ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාර, විශේෂයෙන් විශ්ව විද්‍යාල මට්ටමේ, නවක වදය හා සමහර සිද්ධීන්වලදී ගුටිබැට හුවමාරු හා ඔලු පලා ගැනීම් වරින් වර සිදුකර ගත්ත ද, බංග්ලදේශයේත් තරම් ප්‍රචණ්ඩත්වයක් නොතිබුණ බවයි මගේ නිරීක්ෂණ ය. ඉහත කතා කරන කාලයේ ම මා තායිලන්තයේ තමාසාත් විශ්ව විද්‍යාලයට විද්‍යාලයට ද ගිය අතර, එහි තිබු ශිෂ්‍ය ප්‍රචණ්ඩත්වය හා ආයුධ භාවිතය අතින් ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය සිටියේ ප්‍රාථමික මට්ටමක ය. 87 89 කාලයේ අප සම්බන්ධයෙන් අප ඉතාමත්ම තීව්‍ර සංවර්ධනයක් අත්පත් කර ගත්ත ද, ඒ බිහිසුණු සමයේ ප්‍රධාන ක්‍රියාකාරිකයන් ශිෂ්‍ය ව්‍යාපාරයේ කොටසක් නොවූ බවයි මගේ වැටහීම.
ශිෂ්‍ය ව්‍යාපාර කටයුතු වලින් පසුව මම වෘත්තිය ජීවිතයට පිවිසුණු විට, බංගලි සිවිල් සමාජ හා රාජ්‍ය නොවන සංවිධාන සමඟ ඉතා කිට්ටු සම්බන්ධතාවයක් පැවැත්වීමි. ඒ වැඩ සඳහා මා එම රටට බොහෝ වාරයක් ගොස් ඇති අතර, ඊට අමතර ව බංගලි සිවිල් සමාජ නායකයන් සමඟ වෙන රටවල්වල පිහිටා ඇති ජාල හා සමුළු ගණනාවක කොටසක් වීමි. 1990 දශකයේ බංග්ලදේශ ආර්ථිකයේ හා සමාජ දේහයේ තීරණාත්මක සංඝටකයක් වූයේ සිවිල් සමාජ හා රාජ්‍ය නොවන සංවිධාන ය. විශේෂයෙන් ම සුභසාධන ආර්ථික කටයුතු, සෞඛ්‍ය හා අධ්‍යාපනය ඇතුළු, කටයුතු රජයට වඩා කරනු ලැබුවේ රාජ්‍ය නොවන සංවිධාන විසිනි. එම සංවිධානවල බජට්ටු රජයේ අයවැයට (අදාල ක්ෂේත්‍ර) වඩා වැඩි විය. එම නිසා රාජ්‍ය නොවන සංවිධාන හා ඒවායේ නායකත්වය බංගලි සමාජයේ ඉතා බලවත් ප්‍රභූ පිරිසක් වූහ. මේ නිසා ම ඔවුහු දේශපාලනය සමඟ ද ඈඳී සිටිය හ. ශිෂ්‍ය ව්‍යාපාරය මෙන් ම, රාජ්‍ය නොවන සංවිධානද ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ඔස්සේ බෙදී සිටි බව මතක ය. හසිනාගේ රජයක් පවතින විට, කලිඩාගේ හිතවත් රාජ්‍ය නොවන සංවිධාන මර්ධනයට ලක්වෙන අතර කලීඩා බලයට ආ විට සිදුවන්නේද එය ම ය.
2001 වසරේ මා ඩකා නුවරට ගියේ නීතිඥ සංවිධානයක් විසින් සක්කාරක භූමිකාවක් ඉටු කළ ආසියාතික රාජ්‍ය නොවන සංවිධාන රැස්වීමකට සහභාගි වීමට ය. එම රැස්වීමේ ප්‍රධාන සංවිධායකයා හා සත්කාරක ලෙස සිටියේ ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකු වූ හසන් අරීෆ් ය. කලක සිට අප අතර දැන හැදුනුම්කමක් තිබුණු අතර, හසන් මා ඇතුළු අනෙකුත් ජාත්‍යන්තර නියෝජිතයින් පිළිගත්තේ උණුසුම් ආකාරයට ය. හසන්ගේ සහායට හිටියේ තවත් ජ්‍යෙෂ්ඨ නීතීඥයෙකු වූ, ආදිල් (අදිල්යුර්) රහ්මාන් ඛාන් ය. අපගේ රැස්වීමේ මුල් දිනයේ මොවුන් දෙදෙනා ඉතාමත් ක්‍රියාකාරී වූ නමුදු දෙවන දිනයේ හසන් ද ආදිල් ද දක්නට නොලැබිණ. දවස අවසානයේදී අප මේ ගැන විමසීමේ දී ඔවුන් වෙනුවෙන් සංවිධාන කටයුතු කළ බංගලි නියෝජිතයන් අපට කීවේ, එදින උදෑසන හසන් නීතිපති (ඇටර්නි ජනරාල්) ලෙසත් ආදිල් නියෝජ්‍ය නීතිපති ලෙසත් දිවුරුම් දුන් බවත්, ඔවුන්ට ඒ සම්බන්ධයෙන් වගකීම් ඇති නිසා සෙසු වැඩසටහනට පැමිණිය නොහැකි බව යි. අප ඩකා නුවරට ගිය කාලයේ ය හසිනා මැතිවරණයෙන් පරාජය වී කලීඩාගේ ආණ්ඩුවක් පිහිටවනු ලැබුවේ.
බංග්ලදේශයේ මගේ තවත් සමීප මිතුරෙකු වූයේ ගණකාධිකාරයෙකු ලෙස මුලින් පුහුණුව ලද පසුව ජන මාධ්‍යවේදියෙකු හා සන්නිවේදනවේදියකු වූ ශාෆික්‍ රෙහ්මාන් ය. මා ඔහු දැන හඳුනා ගත්තේ ශාෆික් හසිනාගේ රජයේ මර්දනයට ලක් ව, රටින් පලා ගොස් එංගලන්තයේ විප්‍රාවාසී ව වෙසෙන කාලයේ ය. මොහුට එසේ පලා යාමට හේතුව වූයේ 'ජයි-ජයි-දින්' නමින් ඔහු සංස්කරණය කළ අතිශය ජනප්‍රිය ටැබ්ලොයිඩ් පත්තරය නිසා ය. ඒ පත්තරේ කිසිදු පූර්ණ කාලීන මාධ්‍යවේදියෙකු නොවී ය. කතෘගේ කාර්යය වනුයේ, පාඨකයන්ගෙන් ලැබෙන ලිපි, රචනා, කාටූන් ආදිය මනා සේ සකසා මුද්‍රණය කිරීම ය. පසුව සිටිසන්ස් ජර්නලිසම් කියා මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ වුණේ මේ වගේ දේවල් ය. කෙසේ හෝ මා 2001 ඩකා නුවරට පැමිණි විට, ඒ බව දැනගත් ශාෆික් කොහෙන්දෝ මතුවිය. එවිටයි මා දැනගත්තේ ඔහු කලිඩාගේ සහායට බංග්ලදේශයට පැමිණ සිටි බව. 2001 කලීඩාගේ ආණ්ඩුවේ මාධ්‍ය ඇමතිකම ශාෆික්ට පිරිනැමූ බව මා දැනගත්තේ වෙන මිතුරෙකු ගෙනි. කලකට පසු හමු වූ අපගේ මිත්‍රත්ව රියූනියනය සැමරීමට ශාෆික් මා කැඳවාගෙන ගියේ ඩකා නුවර අතිශය ප්‍රභූ අවකාශයක් වන 'ඩකා ක්ලබ්' එකට ය. යටත් විජිතවාදී ඇම්බියොන්සයකින් හෙබි එම අවකාශයට ගැලපෙන ඇඳුමක් මා නොඇඳ සිටි නිසා, එහි ම කුලියට ගත හැකි කළු සූට් එකක් හැඳ ශාෆික් සමග මා අඩියක් ගැසීමට ගියෙමි. ඒ ගත කළ පැය දෙක තුනේය මට පශ්චාත් උපාධි පාඨමාලාවකට වඩා ගැඹුරු දැනුමක් හා අවබෝධයක් ලැබුණේ බංගලි සමාජ බලතන්ත්‍රයේ හැඩරුව හා ගතිකයන් ගැන. අප වීථි පුරා දකින මහා විරෝධතා ජන ගඟ මෙහෙයවන, ඉංග්‍රීසියෙන් කියත්තොත්, 'ශේකර්ස් ඇන්ඩ් මුවර්ස්' කවුරුන් ද යන වග.
සිවිල් සමාජ හා රාජ්‍ය නොවන ක්ෂේත්‍රයේ වැඩවලින් අනතුරු ව, 2012 වසරේ පමණ සිට මාගේ වෘත්තීය සබඳතා තිබුණේ විශ්ව විද්‍යාල, පර්යේෂණ ආයතන හා තින්ක් ටෑන්ක සමග ය. මේවා රාජ්‍ය නොවන සංවිධාන තරම් ම තීව්ර ලෙස පක්ෂ දෙක ඔස්සේ බෙදී නොසිටියේ ය. ඒවායේ බොහෝ විට සිටියේ කලක් රාජ්‍ය හා තානාපති සේවයේ සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ය. ඔවුන්ගේ අවධානය පර්යේෂණ හා ප්‍රතිපත්ති සම්පාදනය ක්‍රියාවලියට බලපෑම් කිරීම නිසා කුමන පවතින ආණ්ඩුවක් සමග යාප්පුවෙන් කටයුතු කිරීම ඔවුන්ගේ සිරිත විය. මේ පිරිස් ද 'ඩකා ක්ලබ්' යන එන බලවත් නමුත් කුඩා ප්‍රභූ පිරිසේ කොටසක වූ හ. ඔවුන්ගේ බොහෝ දෙනා සිටියේ අපගේ කොළඹ හත මෙන් අවකාශයක වූ ධන්මොන්ඩියේ ය.
ඊයේ පෙරේදා මහාචාර්ය යුනුස්ගේ ප්‍රධානත්වයෙන් පිහිටවන ලද අන්තර්වාර පාලන කමිටුවේ සාමාජික සාමාජිකාවන්ගේ නම් හා ප්‍රොෆයිල මා පිරික්සූවේ මහත් ඕනෑකමකිණි. ඒ අතර මා වෘත්තීය මට්ටමෙන් කටයුතු කර ඇති දෙතුන් දෙනෙක්ගේ නම් දැකබලා ගත හැකි විය. ෆරීඩා අක්තාර් මහත්මිය එරට මුල් පෙලේ තින්ක් ටෑංකයක ප්‍රධානියා ලෙස සිටියා මතක ය. ලැයිස්තුවේ උඩ පහළ මා බැලුවේ ෂාෆික් රෙහ්මාන්ගේ නමත් එහි ඇති දැයි කියා ය. එසේ නොමැති කල මා, වහා මගේ මිතුරෙකුට කතා කර ඔහු ගැන විමසූ විට, මට දැනගන්නට ලැබුණේ හසිනාගේ පාලන සමයේ, දැඩි මර්දනය හා කෙනෙහිලිකම් නිසා ඔහු කලක් සිරගත ව සිට පසුව රටින් පිටව ගොස් ඇති බව යි. නමුත් මගේ මිතුරා කීවේ, වැඩි කල් නොගොස් ඔහු බංග්ලදේශයට සම්ප්‍රාප්ත විය හැකි බවයි. මාගේ තින්ක් ටෑන්ක සගයෙකු වූ ඩෙබප්‍රිය බටචර්යා (ප්‍රකට ආර්ථික විද්‍යාඥ හා කලින් රුසියාවේ බංග්ලාදේශ තානාපති) අන්තර්වාර ආණ්ඩු කමිටුවට එන ලෙස ආරාධනා කලත් එය ඔහු ඩිප්ලෝමැටික ව මග හැර ඇති බව මට දන්නට ලැබිණ. ඩෙබප්‍රිය වැන්නන් කුමන පක්ෂයක හෝ හුදු ඉත්තන් වීමට තරම් වැලේ වැල් නැති එන්ජීයෝ කාරයෙකු නොවන බව මා හොඳාකාර ව දන්නේ අප වසර අටක් පමණ සමී ව වැඩ කර ඇති නිසා ය. මාගේ දෑස් උඩ ගියේ, 2001 වසරේ මා ඩකා නුවරට ගිය විට සඳුදා රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් ව හිඳ, අඟහරුවාදා නීතිපති හා නියෝජ්‍ය නීතිපති වූ, පිළිවෙලින්, හසන් හා ආදිල් ද අන්තර්වාර පාලන කමිටුවේ සාමාජිකයන් බව දුටු විට ය. එක අතකට එලෙස පුදුම නොවිය යුතු බව ඊළඟ මොහොතේ ම මට අවබෝධ වූයේ මොවුන් දෙදෙනා ම 2001 දී ඛලීදා සියාගේ ඇපොයින්ටීලා වීම හා 2007 හසීනා නැවත බලයට ආ විට මොවුනට එළ ව එළවා පහර දුන් නිසා ය. පැරිසියේ සිට ආනයනය කළ අන්තර්වාර ආණ්ඩුවේ ලොක්කා මහැදුරු යූනුස් ද හසීනාගේ කාලයේ නානාවිධ කිරිමෙල් හා බදු නඩු ගණනාවක පැටළිණ. යූනුස් නිර්පාක්ෂික නොවන්නේ ඔහු නොබෙල් ත්‍යාගය ලත් කාලයේ ම 'නාගොරික් ශක්ති' නම් දේපාලන පක්ෂයක් තනන්නට මහත් වෙරක් දැරූ නිසා ය. එක්සත් ජනපදයේ හා බටහිර රටවල ඩාර්ලින් චරිතයක වූ යූනුස් ඔවුන්ගේ උපදෙස් පරිදි එම ව්‍යායාමය තරමක් තාවකාලික ව රිවර්ස් කළේ ය. යූනුස් ව්‍යාපාර අධිරාජ්‍යයේ පුරුකක් වූ ග්‍රාමීන් ටෙලිකොම් හි ට්‍රස්ටීවරියක වන නුර්ජහන් බෙගම් ද අන්තර්වාර් ආංඩුවේ සාමාජිකයකි. බංගලි සමාජයේ ස්වාධීන හා නිර්පාක්ෂික අයෙකු සෙවීම කළුනික සොයනවා වැනි ය. බංගලි සමාජය සැමදාම සිටියේ දෙකට බෙදී, හට්ටිය කේතලයට කළු ය කියමින් කේතලය හට්ටියට කළු ය කියමිණි.



A day in the life

Thursday, August 29, 2024

කෙම්ගෙඩිය හා ඉටිගෙඩිය





අතීතයේ විතරක් නෙමෙයි,අදටත් ගමේ ගොඩේ නගරයේ කියලා වෙනසක් නැතිව බොහෝ දෙනාගේ මුවින් පිටවන කතාවක් තමයි,"දන්න කෙංගෙඩියක් නෑ.." , " මොන ඉටිගෙඩියක්ද.." කියන වදන්.
ඔයාලා දන්නවනේ අපේ සිංහල සංස්කෘතිය තුළ කෙම් ක්‍රම බොහෝමයක් තිබුණ වග. ඔය.. ලෙඩක් දුකක් අසනීපයක් වුණාම ප්‍රසිද්ධියක් නැතිව කරන ගුරුකම් තියෙනවා නේද..අන්න ඒවට තමා කෙම් කියන්නේ.මේ කෙම කියන එක ගමේ උදවියට නම් අරුමැක්කක් නෙමෙයි.
අතීතයේ ඉතින් ගමේ හැම ගෙදරකම පාහේ ගව පට්ටියක් නම් වරදින්නේ නැහැ.සමහර අවස්ථාවල ගවයන්ගේ ඇඟේ පණුවන් පිරි සිටින තුවාල හට ගන්නවා.එහෙම උනාම කාටත් නොදැනෙන්න අබ ටිකක් මතුරලා ලිපට දැම්මම පණුවන් මැරී යනවා. ඒක එක්තරා කෙමක්.අන්න ඒ වගේ කාටත් නොදැනෙන්න හොර රහසේ හදන බෙහෙත් ගෙඩියකට තමයි මේ කෙම්ගෙඩිය කියලා කියන්නේ.
ඔන්න ඉතිම් උදේ පාන්දරම කුකුළා හඬලන්නට ඉස්සෙල්ලා ගෙදරින් පිටත් වෙන්න ඕනේ..ඊට පස්සේ අර කීව බෙහෙත් ගෙඩියට ඕනෑ කරන බෙහෙත් වර්ග ටික හොයාගෙන තමා ආපහු ගෙදර එන්නේ.ඊටත් පස්සෙ ඒ බෙහෙත් වර්ග තලලා හෙම අවශ්‍ය විදිහට සකස් කරගෙන තවාපු කෙසෙල් කොළේක ඔතනවා.පස්සේ ඒක ආයෙත් ගොක්කොල අරගෙන හරකාගේ බෙල්ලට දාන්න පුළුවන් මාලයක් විදිහට සකස් කරනවා. හැබැයි ඉතින් මේ එල්ලන බෙහෙත් ගෙඩියේ මොන මොන බෙහෙත් වර්ග ද තියෙන්නෙ කියලා දන්නේ වෙද මහත්මයා ම විතරයි. ඒකනි ඉතිම් කෙම කියන්නේ.ඇත්තටම මෙහෙම මේ විදියට බෙහෙත් ගෙඩිය කරේ එල්ලන්නේ හරකුන්ගේ කුර ලෙඩේ සුව කරන්නටලු.
ඔන්න ඔය විදියට කෙමක් මූලික කරගෙන හදන බෙහෙත් ගෙඩියට තමයි මේ කෙම්ගෙඩිය කියලා කියන්නේ. වහරන කොට කාලයත් එක්ක මේක කෙංගෙඩිය වෙලා.
ඉටිගෙඩිය
වර්තමානයේ බොහෝ දුරට දකින්නට නොලැබුනත්,එදා අතීතයේ අපේ මුලුතැන්ගේ,නැතිනම් කුස්සියේ යටලීයක හරි නැත්තම් බිත්තියක හරි අලවලා තියෙන කොහොල්ලෑ හරි මී ඉටි හරි එකතු කරපු ගුලියකට තමයි මේ ඉටිගෙඩිය කියලා කියන්නේ..
ඉස්සර අපේ පරණ ගෙදරත් කුස්සියේ ඔහොම එකතු කරපු කොහොල්ලෑ ගුලියක් තිබුණා. ඉස්සර ඉතිම් කලගෙඩියෙනේ තිබුණේ වතුර දාන්නේ .මට හොඳට මතකයි අපෙ අම්මා එක දවසක් වතුර කාන්දු වුණ හිල්වුන කලයකට අර ඉටිගෙඩියෙන් ටිකක් අරගෙන අර කාන්දු වෙන තැනට රෙදි කෑල්ලක් තියලා අලවලා ගින්දරෙන් රත් කරනවා.ආයි ඉතින් වතුර කාන්දු වෙන්නේ නෑ.. කලයකට විතරක් නෙමෙයි වළඳක් ලබු ගෙඩියක් එහෙම පුපුරලා ගියාමත් අතීතයේ මිනිස්සු ඔය දේ කරල තියෙනව .ඒ නිසා ඉතිම් ඒ දේවල් අපතේ නොයවා නැවතත් ප්‍රයෝජනයට ගන්න පුළුවන් .
ඔන්න ඔහොම තමා ඉතිම් කෙම්ගෙඩියයි,ඉටිගෙඩියයි හැදුණේ...
උපුටාගැනීමකි
ස්තුති සටහන අයිතිකරුට




A day in the life

Wednesday, August 28, 2024

දෛවය පුදුමාකාරයි.



මීගමුව ප්‍රදේශයේ එක්තරා තරුණයෙක් මේසන් බාස් කෙනෙක් ලගට ගියා මේසන් වැඩ ඉගෙන ගන්න.ඒත් මේ බාසුන්නැහේ වැඩ ඉගැන්නුවේ නැහැ, අත් වැඩ ගත්තා මිසක්.තරුණයට වුනේ බදාම අනන්න, උපකරණ සෝදන්න.මේ තරුණයාගේ නම උගෝ සිඤ්ඤෝ.උගෝ සිඤ්ඤෝ මේසන් වැඩ අත ඇරලා නාට්‍ය කණ්ඩායමකට සම්බන්ධ වුණා.නාට්‍ය කණ්ඩායම "මිනර්වා "නාට්‍ය කණ්ඩායම.නායකයා බී.ඒ. ඩබ්ලිව්. ජයමාන්න.මේ නාට්‍ය කණ්ඩායමෙන් නිශ්පාදනය කරපු නාට්‍යක් "කඩවුණු පොරොන්දුව". මේ නාට්‍ය චිත්‍රපටයක් බවට පත් කර ගන්න සියලු දෙනාම ඉන්දියාවට යනවා.
"කඩවුණු පොරොන්දුව"කියලා චිත්‍රපටයක් නිෂ්පාදනය කරලා 1947 ජනවාරි 21 වන දා ලංකාවේ ප්‍රථම චිත්‍රපටය ලෙස ප්‍රදර්ශනය කරනවා.මේ චිත්‍රපටයට රග පෑමෙන් සම්බන්ධ වුණු උගෝ සිඤ්ඤෝ හියුගෝ ප්‍රනාන්දු නමින් සිංහල සිනමාවට පැමිණෙනවා.
රග පෑමෙන්, ගීත රචනයෙන් සිනමාව වර්ණවත් කරපු හියුගෝ ප්‍රනාන්දු 1986 රංජන් රාමනායකගේ ප්‍රථම රංගනය රැගත් "ජය කොතනද"චිත්‍රපටය රූගත කරන අවස්ථාවේදී මට මුණගැසෙණවා. හියුගෝ ප්‍රනාන්දුට අපි කිව්වේ හියුගෝ මාස්ටර් කියලා. ඒ වන විට හියුගෝ මාස්ටර්ට වයස අවුරුදු 73ක්.
සෑම දවසකම රූගත කිරීම් අවසන් වෙලා චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න රාමනායක මහතාගේ නිවසේ රාත්‍රිය ගත කරන විට මම සිනමාවේ අතීත රසවත් තොරතුරු හියුගෝ මාස්ටර්ගෙන් විමසනවා.ඒ අවස්ථාවේ දී තමයි මට මේසන් බාස්ගේ කතාව කිව්වේ. හියුගෝ මාස්ටර් ප්‍රසිද්ධ නළුවෙක් වුණාට පස්සේ මේසන් බාස් හොයාගෙන ගිහින් පුළුවන් හැම වෙලාවෙම කීයක් හරි දෙනවාලු.මම ඇහුවා" ඇයි ඒ කියලා"?
"මේසන් වැඩ ඉගැන්නුවේ නැති නිසා"කියලා ඔහු කිව්වා."මේසන් වැඩ ඉගැන්නුවා නම් මම අද කවුරුත් දන්නේ නැති මේසන් බාස් කෙනෙක්.බාස් මට වැඩ එපා කරපු නිසා අද මම නළුවෙක් වෙලා හියුගෝ ප්‍රනාන්දු කියලා මුළු රටම දන්නවා."
හියුගෝ ප්‍රනාන්දු මේසන් බාස් කෙනෙක් වුණා නම් "මාතලන්" වැනි ජනප්‍රිය චිත්‍රපටයක රසවත් දෙබස් ලිය වෙන්නේ නැහැ.
1953 තිරගත වූ "ප්‍රේම තරගය" චිත්‍රපටයේ අදත් ජනප්‍රිය
"හොඳ හොඳම වේය ලොව කිසිම තැනක නැහැ නොහොද නරක දිනුවේ,
කැත ඉර්ශ්‍යමාන ගති නැති නිසාම අපි ප්‍රේම තරගෙ දිනුවේ"
ගීතය ලිය වෙන්නෙත් නැහැ.
********************************************************
මේ කතාවෙන් මම තේරුම් ගත්ත දේ තමයි කෙනෙක් ආසාවෙන් යන්න ඉන්න මාර්ගය තවකෙකු අවහිර කොට ඔහුට ඒ කාර්යය එපා කරවනවා නම් දෛවය විසින් ඔහුව වෙනත් මාර්ගයකට ගෙන ගොස් බලාපොරොත්තු වූවාටත් වඩා සාර්ථක ස්ථානයක තබන බවයි.
~හියුගෝ ප්‍රනාන්දු~
සටහන දයානන්ද රත්නසිරි.
උපුටා ගැනීමකි

A day in the life

Tuesday, August 27, 2024

මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළද සේවයයි.








ශ්‍රී ලංකාවේ රූපවාහිනිය භාවිතයට ආ මුල් කාලයේ විකාශනය වූ වෙළෙඳ දැන්වීම් රාශියක් අද දින අන්තර්ජාලයේ සංරක්ෂණය වී පවතී. මෝටර් රථයක් රුපියල් හයදාහකට පමණ අලෙවි කළ කාලයේ පටන්. සඟරාවලත්, පුවත්පත්වලත් පළවූ මුද්රිත වෙළෙඳ දැන්වීම් අද දිනත් අන්තර්ජාලයේ දැකගත හැකි වේ. එහෙත් පැරණි ගුවන් විදුලි වෙළෙඳ දැන්වීම් පොදු ජනයාට අසාගත හැකි ලෙස සංරක්ෂණය වී ඇති බවක් නොපෙනේ. ඒවා ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සංරක්ෂණය වී තිබිය හැකි නමුදු අන්තර්ජාලයේ නම් පහසුවෙන් සොයාගන්නට නැත.
අද දින වෙළෙඳ දැන්වීම් වලින් නිරන්තරයෙන් පිරීයන රූපවාහිනී තිරය මත අපි ඉඳහිට ටෙලිනාට්ය සහ වෙනත් වැඩසටහන් දකිමු. රූපවාහිනියේ පැමිණීමත් සමඟ ප්රදර්ශනය වන්නට ගත්තේ ඇස ඉලක්ක කොටගත් වෙළෙඳ දැන්වීම්ය. රේඩියෝවෙන් පාරිභෝගික සමාජය වෙත ඉදිරිපත් කරනු ලැබුවේ (ශ්රව්ය ගෝචර) කනට ඇසෙන වෙළෙඳ දැන්වීම්ය. ගුවන් විදුලි වෙළෙඳ දැන්වීම් ශ්රවණය ඉලක්ක කොට සෑදූ මේවා නිසා ඒවා අසාගන්නට ශ්රාවකයා ගුවන් විදුලි යන්ත්රය අසලටම එන්නට ඕනෑ නැත.
රූපවාහිනිය ජනමාධ්යයක් ලෙස ප්රචලිත වන්නට පෙර කාලයේ උදේ සිට රෑ වෙනතුරු බොහෝ නිවෙස්වල, කඩවල රේඩියෝව පණගන්වා තිබීම සාමාන්යයෙන් සිදුවිය. එකල FM චැනල බිහිව තිබුණේ නැත. තිබුණේ ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවය සහ ස්වදේශීය සේවාවයි.. කෙසේ වුවද සිංහලෙන් කනට ඇසෙන්නට උදේ සිට රෑ වනතුරු බොහෝ දෙනා සුසර කරගෙන උන්නේ වෙළෙඳ සේවයයි.
වෙළෙඳ දැන්වීම් ප්රචාරය වූයේ වෙළෙඳ සේවයේය. අප කුඩා කල සෙල්ලම් කරන විටත්, පාරේ යන එන විටත්, ගෙතුලට වී සිටින විටත් වෙළෙඳ දැන්වීම් කන වැකුණේ නිරායාසයෙනි. අධ්යාපන ක්රමවේදය අනුව 75% ක් මතක හිටින්නේ ඇසට පෙනෙන දේය. එහෙත් අරුමයකි, 60 – 70 කාලයේ අපට ඇසුණු වෙළෙඳ දැන්වීම් පසු කාලයේ දුටු වෙළෙඳ දැන්වීම්වලට වඩා අගේට මතකය. එකල අප ඇසුවේ අද මෙන් පැහැදිලි හඬ දෙන FM ස්ටීරියෝ හඬ නොවේ. විදුලිය තිබුණු බොහෝ නිවෙස්වල ප්රධාන විදුලියෙන් පණගැන්වෙන රේඩියෝ තිබිණි.
ඊට අමතරව නොයෙක් වර්ගයේ හා ප්රමාණයේ ට්රාන්සිස්ටර් රේඩියෝ භාවිත විය. මෙම වර්ග දෙකේම රේඩියෝවල ඇසුණේ අදට සාපේක්ෂව පැහැදිලි හඬ නොවේ. වායු කැළඹෙන කුරු කුරු හඬ ඕනෑම රේඩියෝවකට පොදු වූයේය. (ඒ මදිවාට අපි ඒවාට බද්දක්ද ගෙවූයෙමු.) කන බොන දෑ, පරිහරණය කරන දෑ යන මේ හැම භාණ්ඩයක් උදෙසාම වෙළෙඳ දැන්වීම් පැරණි වෙළෙඳ සේවයේ ප්රචාරය විය. අලෙවි කරන භාණ්ඩයේ වරුණ, වචනයෙන් කියා ප්රමාණවත් නොවන විට, අසන්නාගේ සිතේ හොඳින් සනිටුහන් කිරීමට ශ්රව්ය මාධ්යයේ නොයෙක් ක්රම උපයෝගී කර ගැනිණි. ඇතැම් භාණ්ඩවල මහිමය ගීයකින් කියැවිණි. ඇතැම් ඒවා ගැන නාට්යමය දෙබස්වලින් කියැවිණි. අද දක්වා බොහෝ විට භාවිත කරන උද්යෝගී (වෙළෙඳ) පාඨ එකල වෙළෙඳ දැන්වීම්වලද භාවිත වූයේය.
ගීයකින් කියූ වෙළෙඳ දැන්වීම් අතර හොඳින් මතකයේ සටහන් වූවකි (Durol) ඩියුරෝල් වෙළෙඳ දැන්වීම.
ඇඟ පතට පණ එන්න - ඩියුරෝල්
කඩිසරව ගැවසෙන්න - ඩියුරෝල්
යකඩ චෙරි රස ඇති - ඩියුරෝල්
මිහිරි විටමින් ටොනික් - ඩියුරෝල්
මෙම ගීයේ තනුවට උපයෝගී කර ගත්තේ බටහිර ශ්රාවකයන් අතර ජනප්රිය කැලිප්සෝ ගායකයකු වූ (අද අනූ ගණන්වල වයසේ පසුවන) හැරී බෙලාෆොන්ටේගේ (Harry Belafonte) ගේ Coconut woman ගීතයේ මැද එන තනුවයි.
Get your coconut water
Man it’s good for your daughter
Coco gotta latta iron
Make you strong like a lion
පොල්වල ගුණ කියන්නට භාවිත කළ Coconut woman ගීයේ තනුව, ඩියුරෝල්වල වරුණ කියන්නට භාවිත වූයේ ඒ ආකාරයටය. ඩියුරෝල්වල උද්යෝගී පාඨය වූ සිංහ සෙයියාවෙන් පිබිදෙන්න යන වැකියද Make you strong like a lion යන්නෙන් අනුවර්තනය කොට ගත්තක් බව පෙනේ.
පහත සඳහන් වන්නේ ස්වර්ණාභරණ වෙළෙඳ දැන්වීමක් උදෙසා ගුවන් විදුලියෙන් ප්රචාරය වූ ගීයකි. වෙළෙඳ දැන්වීමක් යැයි නොසිතෙන තරමට එම ගීය අපට කටට හුරැවිය. මෙය ගුවන් විදුලියෙන් වැඩිම කාලයක් නොකඩවා ප්රචාරය වූ දැන්විමද විය හැකිය.
මංගල මුදු, මාල වළලු, රන් අබරණ ලබාගන්න, විශ්වාසයි, කල් පවතියි, වගකීමට බැඳී සිටියි.
නෙත පිනවන රූ වඩවන අලංකාර මෝස්තරයි, ඔබත් යන්න මනාලියනි, ඔබෙ මංගල මුදුව ගන්න. වෝග් ජුවෙලර්ස්///
සුප්රසිද්ධ ගායක එම්.එස්. ප්රනාන්දුගේ ගීයක මුල්පද දෙකද ස්වර්ණාභරණ වෙළෙඳ දැන්වීමක් උදෙසා භාවිත කර ගැනිණි.
රත්තරනින් මාලයක් සදන්නම්
දිස්නෙ දෙන්න මැණිකක් යොදන්නම්
ග්ලූකෝරස නම් ජුජුබ්ස් වර්ගය උදෙසා භාවිත කළ ගීය කෙතරම් අසන්නන් අතරට ගියාදැයි කිවහොත් පසු කලෙක රූපවාහිනී වෙළෙඳ දැන්වීම් උදෙසාද, සුනිල් පෙරේරාගේ කටහඬින් ඒ ගීය උපයෝගී කර ගැනුණේය. රේඩියෝ වෙළෙඳ දැන්වීම්වල මුල් කාලයේ ඒ ගීය ගැයුණේ වෙනත් ගායකයකුගේ කටහඬිනි. එහි ඇත්තේ සරල පද දෙකකි.
ග්ලූකෝරස මාමේ, ග්ලූකෝරස මාමේ කොච්චර කෑවත් මදි මට, ග්ලූකෝරස කෝ? ග්ලූකෝරස මාමාගේ චරිතය එම ගීයෙන්ම හඳුන්වාදුන් චරිතයකි. ඒ වෙනුවෙන් කටහඬක් මුලදී වාදනය වූයේ නැත. එසේ වුවද අපට මැවී පෙනුණු ග්ලූකෝරස මාමා පසුව මෙසේ එම දැන්වීමට එකතු විය.
ග්ලූකෝරස පොඩිත්තන්ට හරි හොඳයි... ග්ලූකෝරස පොඩිත්තන්ට හරි ගුණයි... ග්ලූකෝ රස... ග්ලූකෝරස හරි රසයි
හැට ගණන්වල හරිත විප්ලවයෙන් පසු නව තාක්ෂණය වර්ධනය කිරීම උදෙසා, නේකවිධ කෘෂි රසායන හඳුන්වාදෙනු ලැබිණි. මෙම කෘෂි රසායන අලෙවිය බහුජාතික සමාගම් විසින් සිදුකරන ලදී. එම සමාගම් තම වෙළෙඳ දැන්වීම් ඉලක්කගත වෙළෙඳපොළ ඛණ්ඩයට (Market segment) නිසි පරිදි එල්ල කිරීමට සමත් වූයේය. ඒවා හඳුන්වාදිය යුතු වූයේ, ග්රාමීය ගොවි ජනතාවට නිසා ඔවුනට සමීප, පැල් කවි, ගොයම් කවි, සීපද තාල හා ශෛලිය ඒවාට යොදා ගැනුණේය.
ග්රැමොක්සෝන් ඉසින්නේ
හොඳට වතුර බඳින්නේ
පස්සේ පෝරු ගාන්නේ
වී ටික දැන් ඉසින්නේ
සීසෑමකින් තොරව ලහිලහියේ තම කුඹුරට වී ටික ඉහාගැනීම සඳහා සූදානම් කරන ආකාරය එම වෙළෙඳ දැන්වීමෙන් කියාපෑවේය.
1977 වසරේ එ.ජා.ප රජය බලයට පත්වූ අවධියේ ටික දවසක් යනතුරු වල්නාශක දැන්වීමක පහත පැල් කවියේ මුල් පදය යොදා ගැනුණේය.
ලස්සන හිමවතේ මාවී පැසෙන්නේ* එම වෙළෙඳ දැන්වීමේ එකී කවියේ දෙවැනි පදය කිසිවිටෙක කීවේ නැත. එය මෙසේය.
දුක් දෙන අලි ඇතුන් පන්නා හරින්නේ
දෙවැනි පදය කෙසේ වෙතත් පළමු කවි පදය කී වෙළෙඳ දැන්වීම ටික දිනකින්ම නැසී අතුරුදන් විය.
ගීත හෝ දෙබස් යොදාගැනීම වෙනුවට ඊ.එච්. කුරේ ගෘහභාණ්ඩ වෙළෙඳ දැන්වීම්කරැ වෙනත් භාෂා දෙකක් නිර්මාණාත්මක අයුරින් උපයෝගී කර ගත්තේය. වෙනත් කිසිම වෙළෙඳ දැන්වීමක ඒ ආකාරයෙන් වෙනත් භාෂා යොදා නොගැනුණු නිසා ශ්රාවකයාගේ මතකයේ එය හොඳින් රුඳුණේය.
නිවේදක:-
හින්දි භාෂාවෙන් මෙසේ කියයි.
හින්දි කටහඬ:- (හින්දි නොතේරෙන අපට ඇසුණේ මේ ආකාරයේ වදන් පෙළකි) - ශබර්දස් බික්රීපල් වී ජෝ ශාන්දාර් ෆර්නිෂර්.
නිවේදක:- මේ පිලිපීන භාෂාවෙන්
පිලිපීන කටහඬ:- සුපලිතන් කොන්ත හානම්... (ජීවිතේ පළමු වතාවට අප පිලිපීන භාෂාව ඇසුවේ මෙම දැන්වීමෙන්ය) මැද හරියේ පිලිපීන භාෂාවෙන් මොනවාදෝ කියා, එම වැකිය මෙසේ නිමාවෙයි.
ශයි එව් කුරේ ශාන් ශයිපාර සිඤ්ඤෝ
නිවේදක:- ලෝකයේ කුමන භාෂාවෙන් කෙසේ කීවත්* යනුවෙන් ආරම්භ කොට ඔහු එම ගෘහ භාණ්ඩවල අනගි බව සිංහලෙන් කියයි.
ඊට පිළිතුරු ලෙස මොරටු පුරවරයේම පිහිටි ගෘහ භාණ්ඩ ආයතනයක් වූ ලයනල් ෆර්නිෂර්ස් මෙවැනි දැන්වීමක් ටික කලකින්ම ප්රචාරය කළේය. ලෝකයේ වෙනත් භාෂාවලින් නොකීවාට සිංහල භාෂාවෙන් කී විට තේරෙනවා ඇත. හොඳම ලී බඩු....... යනුවෙන් එම ගෘහභාණ්ඩවල අනගි බව කියාපෑවේය.
ඇතැම් වෙළෙඳ දැන්වීම්වල මිහිරි නොවූ ශබ්ද නිර්මාණාත්මකව යොදාගැනුණි. මේ කියන වෙළෙඳ දැන්වීමේ ලී මෝලක ලී ඉරන ගොරහැඩි හඬක් මුලින්ම ඇසේ.
නිවේදක:- ඒ හඬ ඇසෙන්නේ මාලිගාවත්ත ලී මෝලෙනි. එය ඉතාම කෙටි සීමාවකදී ප්රබල පණිවුඩයක් නිකුත් කළ දැන්වීමක් විය. (මල් නම් ජයරත්න... ජයරත්න නම් මල් යන්න තවත් එවැනිම දැන්වීමක් විය.)
ගීතයක්, සංගීතයක් යන කිසිදෙයක් නැතිව මාලිගාවත්ත වෙළෙඳ දැන්වීමේ එකී ගොරහැඩි හඬ උපයෝගී කරගනු ලැබීය. අද පවා නින්දෙන් ගොරවන අයකුගේ හඬ ඇසෙන විට අපි, &ඒ හඬ ඇසෙන්නේ මාලිගාවත්ත ලී මෝලෙන් කියා කියන්නෙමු.
.
Credit goes to respicieve first owner
සමන් පුෂ්ප ලියනගේ
(මෙසේ පලවී තිබුණි )

A day in the life
 

මීදුම Published @ 2014 by Ipietoon