පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-04-15

අලුත් අවුරුද්ද හා අපේ රටේ රෑපවාහිණී කලාව..

ඉස්සර පිපුණු එරබඳු මල් දැන් ගමේ කොතනකවත් දකින්න නැත. ඉස්සර අවුරුදු සමයට අඹ අත්තක , කොස් අත්තක බැඳපු ඔන්චිලා, දැන් දැන් ගෙවතු වල බැඳෙන්නේ නැත. බොහොමයක් වෙලාවට කොවුල් හඬ ඇහෙන්නෙත් රෑපවාහිණිය ඇතුලෙන් පමණි. එදා පැවැති ජන ක්‍රීඩා දැන් අවුරුදු උළෙලකදිවත් දකින්නේ නැත. ඒවත් දැන් නවීකරණය වෙලා. සමහර වෙලාවට අසභ්‍ය වෙලා. සංකර වෙලා. සමහරු ඒ අස්සේ වෙන වෙන ඇරියස් කවර් කර ගන්නවා.
අද දවස වෙනකොට විශේෂයෙන් ම අවුරුදු කියලා දෙයක් ඉතුරුවෙලා තියෙන්නේ කුඩා දරුවන් නිසාත්. වැඩිහිටියන් අමාරුවෙන් රකින පිළිවෙත්, යුතුකම් ටික නිසාත්. හැර වෙන දෙයකින් නොවේ. නමුත් 2000 අවුරුද්දෙන් පසු ඉපදුණ දරුවන් මේ සම්ප්‍රදායික හා පාරම්පරික දෙයින් , වේගයෙන් දුරස් වෙමින් ඉන්නවා. එය දරුවන් වෙතම පවරා විවේචනය කල යුත්තක් නොවේ. වැඩිහිටියන්ද බලධරයන්ද එකට එක්ව වගකිව යුතු දෙයකි. මෙය නම් රටේ, ජාතියේ, පරිහානියේ සලකුණකි.
අපේ රටේ රූපවාහිණි නාලිකා ටික උත්සහ කරමින් ඉන්නවා ‍රට තොට නොමැති අවුරුදු සිරියක් අයාසයක් ගෙන මවන්න. ඒත් ඒව තුලිනුත් ඒක එහෙමම වෙනවද කියලා, හිතා ගන්න බෑ.. හැබැයි එහෙම දෙයකුත් නොතිබුනානම්, මෙහෙමවත් අවුරුද්දක් දකින්න, අහන්න ලැබෙන එකක් නෑ.
අපේ රටේ සමහර රෑපවාහිණි නාලිකා හිතනවා ඔය අලුත් නළු නිළියෝ ටික පාට පාටින් අන්දවලා ගෙනාවම, රටම අසාවෙන් බලා ඉන්නව කියලා. එතකොට රටේම අවුරුදු සිරිය මැවෙනව කියලා. කිරි ඉතිරෙනවා කියලා. ඒක මෝඩ සිතුවිල්ලක්. එතැන ජනප්‍රිය සංස්කෘතිය හඹා යෑමක් හැර , සමාජ යුතුකමක් , වගකීමක් කියා දෙයක් නැත.
ඉස්සර එක ටෙලි නාට්ටියක් විකාශය වුනේ සතියට වතාවයි. තිබුනේ චැනල් දෙකයි තුනයි. ඒ කාලේ නළුවෙක් හෝ නිළියක් දකින එකයි, අද දකින එකයි, එක සමාන නෑ. අනිවාර්යයෙන් දෙකක්. නිතර දකින නිසම සමහර නළු නිළියෝ දැක්කම කිසිම හැගීමක්, ගෞරවයක් දැනෙන්නේ නෑ..
එහෙම සතියේ දවස් හතේම, චැනල් අට දහයක දකින නළු නිළියෝ අවුරුද්දටත් වැනල් හය හතක දකින කොට මටනම් අප්පිරියයි. එක චැනල් එකක දේවල් දැකලා ඇති වෙනකොට, අපි අනිකට මාරු කරනවා.ඒකෙත් එයාම දකින කොට කනා ( වාසනා ) මුට්ටියට ගහනවා වගේ, රෑප පෙට්ටියට ගහන්න හිතෙනවා. ඒක කරන්න බැරි නිසා කරන්නේ, රෑපවාහිණිය වහලා දාන එක.
මෙහෙම ගියාම බොහෝ මිනිසුන් ( දැනටත් වෙලා වගේ ) රූපවාහිණී බලන එක අත් හරියි. තත්වය තේරුම් අරගෙන එක නළුවෙක් එක නිළියක් , එක චැනල් එකකට විතරක් ගෙන්න ගන්නවනම්, ලොකු දෙයක්. එතකොට මේක තව ටිකක් දුරට අල්ලලා හිටී. ඇත්තටම නළුවෝ නිළියෝ හැර , ගායක ගායිකාවෝ හැර වෙන ගේන්න කෙනෙක් ඇත්තෙම නැද්ද ? අනේ මන්දා. මම දැකලා නෑ ඔය එක රූපවාහිනී අවුරුදු උත්සවයකටවත්, එක සාකච්ඡාවකටවත් කලාකරුවෙක්, කලාවට සම්බන්ධ වෙන කෙනෙක් හැර, වෙන මනුස්සයෙක් ව ගේනව.
තම පවුල් සංස්ථාවවත් රැක ගන්න බැරිවුන මිනිස්සු, තාමත් දෙතුන් පාර ජීවිතේ අත්හදා බලන මිනිස්සු, රෑප වාහිණිය ඇතුළට ඇවිත් පවුල ගැන, හැඳියාව ගැන , පත පොත බලලා අහුල ගත්ත කතන්දර කියනකොට ඇත්තටම අප්පිරියයි.
A day in the life

2024-04-14

වැඩ ඇල්ලීම , අත හැරීම හා අම්මා..




වැඩ ඇල්ලීම ,
අත හැරීම හා
අම්මා..
සාමාන්යයෙන් අපෙ අම්මා වැඩක් නොකර නිකරුණේ බලා ඉන්නා මොහොතක්, මගේ මතකයේ නැත. බලන බලන හැම වෙලාවක ඇය කුමන හෝ කටයුත්තක නියැලී සිටියාය.
කරන කිසිවක් ඇය උඩින් පල්ලෙන්, ආවට ගියාට සිදු කලේ නැත. විශේෂයෙන් ඇය පිරිසිදු කම ගැන මහ ඉහළින්ම සැලකිලිමත් වූවාය.

එතරම් තාක්ෂණික පහසුකම් ඒ කාලයේ රට තොට තිබුණේ නැත. තිබුණත් එවන් පහසුකම් අප නිවසට පැමිණ තිබුනේ නැත. සාමාන්යයෙන් දෛනිකව නිවසක සිදුවෙන සියළු කටයුතු සිදු කෙරුනේ අම්මාගේ අතිනි.
ඇය තුන් වේලටම බත් මාළුව පිසුවාය. මිදුල් අතු පතු ගෑවාය. නිවසේ සිට මීටර් තුන්සීයක හාරසීයක දුරක පිහිටි ළිදකට ගොස්, දවසේ හත් අට වතාවක් කළයක් හා බාල්දියක් පුරවා වතුර ගෙන ආවාය. අප පස් දෙනෙකුගේ කිළිටි රෙදි සෝදන්නට හා දිය නාගෙන එන්නට කිලෝ මීටර් බාගයකට වඩා දුර පිහිටි දොළකට ගියාය. ඊළග මොහොතේ දර කෑල්ලක් කඩා ගන්නට යාබද රබර් ඉඩමට වැදුනාය. එකල මිරිස් ටිකක් අඹරාගන්න , පොල් ටික ගාන්න අමතර විශේෂ උපකරණ තිබුනේ නැත. මේ එදිනෙදා කටයුතු කිසිවක් කාලය මදි කියාවත්, වෙහෙසයි , තෙහෙට්ටුයි කියා අම්මා කල් දැමුවේ නැත. ඔය කී වැඩ දහය දොළහ අස්සේ වුව, පැය භාගයක් සොයාගෙන අම්මා එකල ආතම්මා බලන්නට ද ගියාය.

එකල පැවැති පැය විසි හතර හා දැන් පවතින පැය විසි හතර යනු දෙකක් දැයි මට සැක සිතෙයි. වෙනදා මෙන් දැන් තුන් වේලටම, අප නිවසේ බත් ඉදෙන්නේ නැත. දිනපතාම රෙදි සේදෙන්නේ නැත. මිරිස් අඹරන්නට පොල් ගාන්නට එකල තරම් වෙහෙසක් අද දරන්නට දැන් සිදු නොවෙයි. එකල සතියකට වතාවක්වත් කැඩුණු මකුළුදැල්, දැන් මාස දෙකකට වතාවක්වත් කැඩෙන්නේ නැත. නාන්න රෙදි සෝදන්න, දැන් අප නිවසින් පිට යන්නේ නැත. නමුත් අද අපට කාලය මදි වෙයි. නැතිනම් අසනීපයක් , වෙනත් තෙහෙටුවක් මුල්වී දෛනික කටයුතු වලට බාදා පැමිණෙයි.

ආපසු හැරී බලද්දී අම්මා යනු විස්මිත කෙනෙකි. ශක්තිමත් කෙනෙකි. එක්කෝ අම්මා ඉඳහිටවත් අසනීප නොවුවාය. නැතිනම් අපට නොකියා ඉවසුවාය. රැයකදි පවා රෑ දෙගොඩ හරියේ නින්දට යන අම්මා, දවාලකදී ඉඳහිට වත් නින්දට නොගියාය. හරි හැටි පොත පත අධ්යාපනයක් නොමැති වුවත්, අම්මා ළග පැවැති දැනුම, කුසලතා, කාල කළමනාකරණ හැකියා වැඩ සැළසුම් කිරීම , මූල්ය පාලනය අපිට නුහුරුය. කොටින් ම අපට අම්මා සමඟ හැරෙන්නටවත් නොහැකිය.

මතකයේ හැටියට අම්මා වැඩ අත් හල අවස්ථා දෙකකි. එකක් අවුරුද්දේ නොනගතය වෙනුවෙනි. නැගත් පතේ කියවෙන ලෙසම නොනගතය එළඹෙද්දී , අම්මා ලිප ගිනි නිවා, අලු අස්කර වැඩ අතහරින්නේය. ඉස්පාසුවක් ලැබෙන එම පැය හතර පහේදී ඇය අප සමග පංච දැමීමට ආවාය. දවාලක නම් කැටයක් ගහන්නට ආවාය. එක්කෝ අප ඉස්සර කරගෙන පංසල් ගියාය. යළි ගිප ගිනි මොලවන මොහොතේ සිට වැඩ අරඹන ඇය, ඊළඟ වසරේ නොනගතය තෙක් වැඩ අත් නොහරින්නීය. ඉස්පාසුවක් නොලබන්නීය.

නොනගතයට නොවී ඊළගට ඇය වැඩ අත් හැරියේ මා කී දෙවන අවස්ථාවේදීය.
ඒ නොනගතයට මෙන් පැය පහ හයකට නොවේ.
එදින ඇය දවස් තුනකටම සියලු වැඩ අත් හැරියේය. එම කාලය තුල වෙන්දා මෙන් ඇය පංච දමන්නට හෝ කැට ගහන්න නොපැමිණියාය. පංසල් යන්නට නොපැමිණියාය. නමුත් අප පංසල් ගොස් පැවසීමෙන් පසු ස්වාමින් වහන්සේලා නිවසට වැඩියාය. සියල්ල දෙස ඇය නිසොල්මන්ව බලා සිටියාය. අවසානයේ ඇය නිවසින් බැහැරව ගියාය.
ඒ ගියායින් පසු යළි කිසි දවසක ඇය නිවසට පැමිණියේ නැත. එය ඉතා දිගු වැඩ අත් හැරීමකි. හැම අවුරුදු සමරන මොහොතක ම යළි යළි වැඩිපුර සිහිපත් වන අතහැරීමකි.
තරම් කැවුමක් කිරිබතක් බතක් මාළුවක් රස නොමැති මොහොතක පවා සිහිපත් වන අතහැරීමකි.
සදාකාලික අතහැරී යාමකි..

සුසන්ත පිටුවලගේ ...

A day in the life