ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ඒවාට ස්වාධීන පැවත්මක් නොමැත. සිතිවිලි සහ ආවේග වලට තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . ඒවායින් මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

සුබ අළුත් අවුරුද්දක් වේවා !.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2014-05-27

ඕන කුදයක් ගහගත්තම අපිට මොකද ?

මේ දවස්වල දේශපාලන කතිතාව “ පොදු අපේක්‍ෂකයා ,ජනාධිපතිවරණය, සහ ඌව පලාත් සභා මැතිවරණය.
ඌවෙන් පස්සේ ජාතික මැතිවරණයක් තියෙනවා කියලා කාගෙත් කතා බහට ලක්වෙනවා. මොනවා කරන්නත් කේන්දර කාරයෝ නිවරදි මතයක් රාජ්‍ය පාලකයනට නිවේදනය කරන්න ඕණිනේ. අපේ රටේ පාලක නායක කාරකාදින් වගේම විපක්‍ෂයයි කියාගන්නා උදවියත් මහජනයාට වඩා විශ්වාශකරන්නේ කේන්දර කාරයෝනේ !.

 කේන්දර කාරයෝ තමයි මේ හැම එකටම තීරකයෝ වෙන්නේ.  ඡණ්දදායකයින්ගේ බඩගින්න නෙමෙයි.ඉහට වහලක් නැති එක නෙමෙයි. වතට ඇදුමක් නැති එක නෙමෙයි. 
දේශපාලන විචාරකයෝ කියලා කොටසක් ඉන්නවා . සති අන්ත සහ බදාදා වගේ දවස් වලට ජාතිකයයි කියාගන්න පත්‍රවල පිටු පුරවන.ඒයාලට තියෙන්නේ එක එක දේශපාලන පක්‍ෂවලට කඩේ යන එක. කිරල මැනලා විචාරකයක් කරනවාට වඩා අවිචාරයෙන් ලියන එක මෙයාලගේ කාර්යය. ඒවා කියවලා තීන්දු තීරන වලට එලඹෙන කොටස් ඔක්කොටම අංගොඩ ,මුල්ලේලේරියාව පැත්තටත්   ,පලාත් මහා රෝහල් වල විශේෂිත වාට්ටුවලටත් ගාල් වෙන්න සිද්ධ වෙනවා.
මේ ඊයේ පෙරේදා අපේ අසල් වාසියෙක් මගෙත් එක්ක මහත් තර්කයක. ඉන්දියාවේ මෝදි ජයග්‍රහණය කරලා කොන්ග්‍රස් එක  බැරි ගැහුනා වගේ ලංකාවෙත් මහින්ද මැදමූලනට පසුබස්සලා ‍රනිල් එනවා කියලා.

මම ඇහුවා ඉන්දියාවේ වගේ වාතාවරණයක් ලංකාවේ ඇතිවෙලා තියෙනවද ? කියලා. තාමත් එච්චරම දරුණුම නැහැ. කියලා උන්නැහේ කියනවා. එයාගේ කතාවට පදනම් වෙලා තිබුනේ “ උපුල් ජෝශප් ප්‍රනාන්දු” ගේ දේශපාලන විග්‍රහයක් . ආණ්ඩුවට කඩේ යන ඔය එක එක නම් වලින් ලියන උදවියගේ විග්‍රහත් ඒ වගේම තමයි. තාමත් ඒ ගොල්ල සිහින ලෝකවල පාවෙනවා.

මැතිවරණයක් තිබුනදාට ඒගොල්ල  මහපොලොවට කඩා වැටෙයි. අපි අහුලා ගන්න බලාගෙන ඉමු.
වෙඩි හඩ බෝම්බ පුපුරන නැතිවුනත් බඩ ගින්නට විසදුමක් නැහැ. රජයේ රැකියා නිවෙස්වලට ලැබුනත් ලැබෙන සොච්චම මාසේ විසි පස් වෙනිදා  ඉදන් ඊළග මාසේ දහවෙනිදා දක්වා  ගැණ ගන්න බැහැ.

අපේ අසල්වාසී සමාජවාදී සහෝදරයෙක් ඔච්චමට කියන්නේමේක සමාජවාදී රජයක්!.  ආදායම සම සමව  ජන සමාජයට බෙදා දීලා තියෙන්නේ ඔන්න ඔහොමතමයි කියලා !.දෙබීඩී ( එජාප + ශ්‍රීලනිප) ඡණ්දදායකයෙක්  කියන්නේ 2500 /= තියරි එකට යන්න කියලා. එතකොට බැලන්ස් වෙනවා විතරක් නෙමෙයි  ලැබෙන සොච්චම ඉතිරිත් වෙනවා කියලා.
2500 /= ප්‍රතිකාරයක් හැටියටත් භාවිතා කරණ වෛද්‍ය විශේෂඥයෙක් මටත් හමුවුනා අතුරු කතාවක් වුනත් මම ඒකත් කියන්නම්. මෙතෙක් කල් නොතිබුන මගේ එන්ජින් එක මාස දෙකකට ඉස්සෙල්ලා ෆුල් ඔප්ෂන් වෙලා. හෘද වස්තුවේ පුංචි වේදනාවක් ඇතිවෙලා හෘද රෝග විශේෂඥයෙක් හමුවුනා. එතුමා මට ඔෘෂධ නියම කරන ගමන් කිව්වේ බන්දුල ගුණවර්ධන ඇමතිතුමා හමුවෙලා 2500 /= ආහාර ලේඛණය ඉල්ලගෙන භාවිතා කරන්න ඒ  ගමන් අනුපානෙට “ හුලං බොන්න “ කියලා. අත්දුටුවයි සත්තයි ලෙඩ ඔක්කොම සනීප වෙනවා කියලා.

ආයෙත් ජනාධිපතිවරණය ගැන විචාරයට යොමුවෙමු. කවුරු දිනයිද කියලා. කවුරු දිනුවත් රටටත් රටවැසියාටත් යහපතක් නැත්නම් අනාගතේ ගැන හිත හිතා ඉන්නේ නැතිව ඕන දෙයක් වෙච්චාවේ කියලා ඇස් දෙක පියාගෙන කන් දෙක වහගෙන කට පියාගෙන ඉන්න එක තමා හොදම විචාරය කියලා සටහන් කරන ගමන් “ ඕන කුදයක් ගහගත්තම අපිට මොකද ? “ කියලා  සටහන හමාර කරනවා.




notes of imaginary

2014-05-14

මම කම්පා වෙමි !.


අද වෙසක් පුන් පොහෝ දිනයයි. බුදුරජානන් වහන්සේගේ උපත, බුද්ධත්‍වයට පත්වීම, සහ පිරිනිවන් පෑම සිහිපත් කර බෞද්ධයෝ වන අපි - අපේ පූජණියවු චින්තකයානන් ගුරුවරයානන් සිහිපත් කරන දිනය අදයි.වෙසක් සද සිසිලස බෙදමින් මෝදු වන විටම බක් මාසයේ කලබලකාරී අහස නිහඩ වෙයි. සාමකාමිවෙයි . ගහ කොල නලවන මද සුලගක් අපේ ගත නිවා දමයි. වෙසක් සද අපේ සිත පහන් කරයි. මේ අසිරිය මැද බුදුරජානන් වහන්සේගේ තෙමගුල සිහිපත් කර අප සිත් උන් වහන්සේ වෙත බැති සිතින් නමස්කාර කරයි.

බුදුරජනන් වහන්සේ ජීවිතය විවරනය කරයි . මම දෙනෙත පියාගත් වනම ජීවිතය සිහිපත් කරමි.
“ සබ්බේ සංඛාරා අනිච්චාති
යදා පඤ්ඤාය ඵස්සතී
අථ නිබ්බින්දතී දුක්ඛේ
ඒසමග්ගෝ විසුද්ධියා “
සියළු සංස්කාරයෝ අනිත්‍යයය
ලොව පවතින සෑම දෙයක්ම වෙනස් වීමේ දහමට අනුව වැනසෙන බවත් - ධර්මය සදාකාලික බවත් පහදා දෙයි
සබ්බේ ධම්මා අනත්ථාතී
යදා පඤ්ඤාය ඵස්සතී
අථ නිබ්බින්දතී දුක්ඛේ
ඒසමග්ගෝ විසුද්ධියා

තවදුරටත් බුදුන් වහන්සේ වදාළේ තමන්ට වැඳිය යුත්තේ හුදෙක් මලින්, සුවඳින්, පහනෙන් පමණක් නොවන බව සිහිපත් කරයි.
තමන්ගේ ධර්මය අනුව ජීවත්වන්නේ නම් එය තමනට කරන වැඳීමක් වන බව සිහිපත් කරයි.

මගේ දෙනෙත තවමත් පියා ගෙනය. පෙරහැරින් කුඩ කොඩි සේසත් වටිටි පුරා මල් සුවද පැන් සුවද කූරූ රැගත් දරු දැරියෝ පෙරටු කර ගත් වැඩිහිටියෝ පන්සල් බිම පුරා පිරෙයි. සුදුවතින් වසා ගත් සේලයන් නිසා වෙන් පන්සල් බිම හිම වලාකුලක් මෙනි.
පුදසුන මත පිදෙන මල් මොහොතින් මලාණික වෙයි. සුවද කූරූ දැවී අළු වි යයි.
“ සබ්බේ සංඛාරා අනිච්චාති ..................................................”
වැසී ගිය සුදු සේලයන්ගේ මනසින් එවැනි හඩක් නොනැගේ . මම සෙමින් මුමනමි
“සබ්බේ ධම්මා අනත්ථාතී .................................................. ඒ හඩ ඔවුනට නොඇසේ.

මම මනසින්ම අවාස ගෙට දිව යමි. බුදුරජානන් වහන්සේ ආනන්ද හිමියන්ට මහා කාශ්‍යප හිමියන්ට අවසන් වරට දුන් උපදෙස සිහිපත් කරනට .

අනේ ! අවාස ගෙය හිස්ව ඇති බව දකිමි.

සිංච භික්‍ඛු ඉමං නාච - සිත්තා තෙ ලහුමෙස්සති
ජෙත්වා රාග ච දොසංච - තතෝ නිබ්බානමෙහිසි.

මහනෙනි,
මේ ශරීර නැවේ පිරි තිබෙන මිථ්‍යා විතර්ක නමැති ජලය ඉසලන්න.
එසේ ඉසීමෙන් නැව සැහැල්ලු වී ඔබ නිවන් පුරට යන ගමන ලෙහෙසිවේ.
එහෙයින් ඔබගේ නැව බැද නවතා
රාග ද්වේෂ නැමති බැමිද කඩා දමා
නිවන් පුරට යන්න.
- - ධම්ම පදය.




අපේ හාමුදුරුවෝ අවාස ගෙයින් නික්ම ගොසිනි. උන්වහන්සේ නැව දියෙන් පුරවා ගෙන ආපසු ආවාස ගෙට නොවවිඩිනා අරමුනින් ඈතට ඈතට යන අයුරු පියා ගත් අඩවන් දෑසට කාන්දුවන වෙසක් පුන් පෝදා සද එලියෙන් මම දකිමි.

මම කම්පා වෙමි!.

notes of imaginary

2014-05-12

අනේ අපේ රට !



මේ පල කරන්නේ මැයි 12 වෙනිදා (අද ) දිවයින කතුවැකියයි. දේශපාලකයින් යයි කියා ගන්නා අමන චරිතවල ඇති උද්දච්ච කම ගැන තවත් අව - ලස්සන කතාවක් මෙයින් කියවේ. මහජන නියෝජිතයින් විය යුත්තේ කවුරුන්ද යන්න අනාගතයේදී වත් මහජනතාව මෙන්ම නායක කාරකාදීන් සිතා බැලිය යුතුය.
ජාතික ලැයිස්තුව සකස් විය යුත්තේ පාර්ලිමේන්තුවට නොයෙන උගත් මෙන්ම බුද්ධිමත් පිරිසගෙන් විය යුතු අතර අද එය එසේ සිදුවන්නේ නැත. ඡණ්දයෙන් එන අපතයෝ මෙන් තවත් රැලක් පාර්ලිමේන්තුවට නොමිලයේ එන මාර්ගයක් වී ඇත්තේ ජාතික ලැයිස්තුවයි. අනේ අපේ රට !


කොතරම් වයසට ගියද කොටළුවා අශ්වයකු වන්නේ නැත

......
කොතරම් නීචද යත් ලෝකය කොතරම් නරකද යත් මේ දිනවල හැම මළඉලව්වක්‌ම සිදුවන්නේ පොලිසියේ අවාසියටය. ගුටි කන්නේත් පොලිසියය. මැරුම් කන්නේත් පොලිසියය. කූඩුවෙහි ලගින්නේත් පොලිසියය. රණ්‌ඩු බේරන්නට යන්නෙත් පොලිසියය. අන්තිමේදී බේරන ලද රණ්‌ඩුවේදී අගතියට පත් පාර්ශ්වය ගසන පෙත්සම්වලින් මානව හිමිකම් කොමිසම් ඉදිරියට යමින් - එමින් චාටර් වන්නේත් පොලිසියය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සාමාජික, පත්කළ මන්ත්‍රීවරියකගේ ආරක්‍ෂාවට ගොස්‌ ඩුබායි ගිය ඇතැම් ගෘහ සේවිකාවකවත් නොලබන පහත් වධ බන්ධනවලට ලක්‌ව සිටින පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු ගැන සෙනසුරාදා (10 දා) "දිවයින" මුල් පුවතින් හෙළි කර ඇත. මන්ත්‍රීතුමියගේ හරක්‌ නාවන්නේත් මේ පොලිස්‌ නිලධාරීන්ය. ඇගේ මිදුල උදළු ගාන්නේත්, කොස්‌ කඩන්නේත් පොල් අහුලන්නේත්, මල් පාත්ති සුද්ද කරන්නේත්, කුඹුරු හාන්නේත් ඔවුහුය. කෑම උයන්නේත්, වළන් සෝදන්නේත් ඔවුහුය. (කෑම ඉවීමට වළන් සේදීමද සම්බන්ධ බැවින් මේ දෙකම එක පැකේජයක්‌ යටතේ එක කාරණයක්‌ බව පොලිස්‌ රාළහාමිලා දෙදෙනා මතක තබා ගත යුතුය. එසේම මල් පාත්ති සුද්ධ කිරීම පොල් ඇහිඳීම, මිදුල උදළු ගෑම, කුඹුරු හෑම යන හතරම "උද්‍යාන සේවා" යන තනි පැකේජයට අයත්ය.) අපි මේ මන්ත්‍රීතුමිය ගැන දනිමු. ඇය මෙතරම් පිස්‌සු කේස්‌ එකක්‌ යෑයි නිකමටවත් නොසිතුවෙමු. උත් 'තුංග' 'රණ' ශූරියක සේ මුව "කමල" අයා ඇය කවි කියනු අසා ඇත්තෙමු. ඇය මුළු ජීවිතයම වැය කළේ ශ්‍රී. ල. නි. ප. යට දර දිය ඇදීමට බවට ආරංචියක්‌ තිබේ. ආණ්‌ඩුව ඇය ලිස්‌ට්‌ එකෙන් පාර්ලිමේන්තුවට පත්කර යවන්නට ඇත්තේ චිරාත් කාලයක්‌ පුරා ඇය කළ මෙහෙවරට වන්දි වශයෙන් විය යුතුය. ඇය පාර්ලිමේන්තුවට යෑවූ ශ්‍රී ල.නි.ප. නායකයන් විසින් සිහිපත් කරනු ලැබිය යුතු වැදගත් කාරණයක්‌ තිබේ. එනම් කොතරම් වයස ගියද කොටළුවා කවදාවත් අශ්වයකු වන්නේ නැති බවය. පැටියා කාලයේදී අශ්ව පැටවකුගේ පෙනුමට සමාන වුවද කොටළුවා ලොකු මහත් වූ පසු නිතර පෙන්වන්නේ කොටළු හැසිරීම්ය.

එක අතකට පොලිසිය යොදා වුව කුඹුරු හෑම ඔවුන් නිකරුනේ සිටිනවාට වඩා පලදායක බව මන්ත්‍රීතුමිය කල්පනා කරන්නට ඇත. යුද්aධය ඉවර වී ඇති නිසා මන්ත්‍රීතුමිය මැරීමට එන කිසිවෙක්‌ නැත. එබැවින් පොලිසියට පින් බත් ගිල්ලවන්නේ මන්දැයි ඇය කල්පනා කරන්නට ඇත. මේ තත්ත්වයට පත්වෙමින් සිටින මැති ඇමැති ආරක්‍ෂක පොලිස්‌ නිලධාරීන් විශාල සංඛ්‍යාවක්‌ රට පුරා සිටිති. මේ මැති ඇමැතිවරුන් මරන්නට මොකෙක්‌වත් නොඑති. එසේ ආවත් ඒ එල්.ටී.ටී.ඊ. ය නොව එම මැති ඇමැතිවරුන්ගෙන් 'පොලු' කා ඔවුන්ගේ ගැටවලට රැවටී ඔවුන් මරාගෙන මැරෙමැයි අධිෂ්ඨාන කරගත් ඡන්ද දායකයන්ය. ආණ්‌ඩුවේ ඇතැම් කසි කබල් ඇමැතියකුට පොලිසියේ රාළහාමිලා දහයක්‌ පහළොවක්‌ ආරක්‍ෂාව දෙති. ඇමැති යන යන තැන ඩිපෙන්ඩර් රියවල නැගී රටේ තෙල් පෙට්‍රල් කා දමමින් පස්‌සෙන් දුවති. ඇමැතිගේ හාමිනේට පොළේ යන්නේ ඔවුහුය. ඇමැතිගේ ළමයින් පාසලට ගෙන යන්නේත් ඔවුහුය. ඇමැති ගෙදරට අමුත්තන් ආ විට තේ අල්ලන්නෙත් ඔවුහුය. ඇමැතිගේ බල්ලා දොස්‌තර ළඟට ගෙන යන්නේත් ඔවුහුය. එයට නම් අප විරුද්ධ නැත. මන්ද සමහර ඇමැතියකුට වඩා ඔහුගේ බල්ලා හැම අතින්ම ශ්‍රේෂ්ඨය. ඒ සතාට කලගුණ මතක තිබේ. තමාට මෙහෙයක්‌ කළ හැම කෙනෙකු ගැනම වෙන් වෙන්ව මතක තබාගෙන නගුට වැනීමට බල්ලාට හැකිය. මෙතැනදී තමා නගුට තමාට නොවනන්නේ නගුටක්‌ නැති නිසා බව කියමින් ඇමැතිට හිත හදා ගත හැකිය. .....

notes of imaginary

2014-05-04

දෙසතියක සිති - වලි


සිංහල සහ හින්දු අළුත් අවුරුද්ද ගෙවිලා ගිහින් මැයි දිනය බ්‍රහස්පතින්දා තිබුනා. කියවන ඔබට හිතෙනවා ඇති මොකක්ද මේ දෙකේ තියෙන සම්බන්‍ධය කියලා. මම මේ දෙකම දැක්කේ අරමුණු වලින් වෙනස්ව ගමන් කරන උත්සව දෙකක් හැටියට.
සිංහල සහ හින්දු අළුත් අවුරුද්ද  අපේ සංස්කෘතිකාංගයනට එකතුවුනේ කෘෂිකාර්මික ජීවන රටාවේ අස්වනු ගෙට ගෙන ඊලග කන්නයට සුදානම් වෙන්න ගත්ත පුංචි විවේකයක් ලෙසටයි. මේ විරාමය එක්තරා විදියකට සංක්‍රාන්ති සමයක්.
අප්රේල් මාසේ පටන් ගන්න “බක්මහ වැස්සට පෙර අස්වනු නෙලා ගෙන ගෙට  ගෙන බක්මහ වැස්ස තුරල් වෙන වෙසක් මාසේ දක්වා ගොවිතැන් කටයුතු වලට විරාමයක් ලැබෙනවා. අතමිට සරුවී අටු කොටු පිරවුන මෙ වකවානුවට ජ්‍යොතිශ වැදගත් කමක් ඇති සිද්ධාන්ත කිහිපයත් එකතු කරගෙන අළුත් අවුරුද්ද කිසියම් රටාවකට පිලිවෙලක් ගන්නවා. පරණ අවුරුද්දේ කරගෙන ආ වැඩ රාජකාරි නැකතකට අනුව අත්හැර දාලා සූර්යා මීන රාශියෙන මේෂ රාශියට පැමිණියායින් පසු නැවතත් අක්හරින ලද වැඩ රාජකාරි ආරම්භ කරනවා.
අද අපේ රටේ කෟෂිකාර්මික ආර්ථික රටාවක් නැහැ. හාම්පුතුන්ට තම ශ්‍රමය  කඹුරා මාසේ අන්තිමට සොච්චමක් අතට ගන්න ආර්ථිකයකට හුරුවෙලා තියෙන්නේ. මේ සොච්චම මාසේ අන්තිමට නැත්නම් මාසේ දහවෙනිදාට ලබා ගන්න පිරිසකුත් ,  දවස ගෙවෙන හැන්දෑ යාමයට අතට කීයක් හරි මිට මෙලවෙන  විශාල පිරිසකුත්  සිටින රටට උරුම වෙලා තියෙන්නේ එදා වේල ආර්ථිකයක්.

ඉතින් කොහොමද අවුරුදු සිරිත් විරිත් රැකිලා තියෙන්නේ.  මේ ආර්ථික රටාව තුල මුදලක් එකවර ලැබෙන්නේ නැහැ. අතට සොච්චමද ගත් සැනින් වාෂ්ප වෙලා යනවා.
අද අවුරුදු සිරිත් විරිත් වල වැදගත් කම අඩු වෙලා.

වැටුප් ලබන හැම කෙනාටම වැටුප අතට ලැබෙන සතියක් දෙකකට ඉස්සෙල්ලාම නොනගතය ලබනවා. ආහාර අනුභවය අත්හරින්න සිද්ධ වෙනවා. ලිප ගිනි මෙලවිල්ල පස්සට තියලා හිත ගිණි මොලවගෙන ඉන්න සිද්ධ වෙනවා. සියළු ගණුදෙනු අත්හැරලා බකං නිලා ගෙන ඉන්න සිද්ධ වෙනවා. මේ සියළු සිරිත් ගෙවිලා අවුරුද්ද ලබන්නේ මාසේ පඩි ගත්ත දාට. එදාට ගණු දෙනු කරලා මුදලාලිගේ ණය බිලිපතේ සිට විදුලි ,ටෙලිපෝන ආදී නානාවිධ බිල්පත් ගෙවලා ගණුදෙනු අහවර කරලා සම්බලයක් මිශ්‍ර බතක් කාලා වැඩ අරඹන්න සිද්ධ වෙලා තියෙනවා. 
මාසේ ගෙවෙනවා හැරිලා බලන කොට ආයෙත් නොනගතේ ලබලා.........................
උත්සවශ්‍රියෙන් .අවුරුද්ද සමරන්න කීයෙන් කීදෙනාටද පුළුවන්.


මැයි දිනෙත් ඒ වගෙයි කණපිට හැරිලා.  

අතීතයේ රතු කොඩිය අරගෙන ධනේෂ්වර පන්තියේ සූරා කෑමට එරෙහිව පෙළපාලි ගිය කම්කරු පන්තිය  අද මැයි දිනයදා ධනේෂ්වර පන්තිය සිංහාසනයේ තියන්න පෙලපාලි යනවා. “ .........දැන් ඉතින් නැගිටියව්  කියාගෙන. නැගිටින්න කියන්නේ කම්කරු පන්තියටද නිර්ධණ පන්තියටද ? කියලා කියන පන්තියට තේරුමක් නැහැ.
ඒ අස්සේ මහ හයියෙන් අත් දෙක උස්සලා “කාගෙද? මේ බලවේගේ - ....................................... “කියලා අපෙන් අහනවා. අපිට මතක් වෙන්නේ පලකරන්න බැරි උත්තර. මේ පෙලපාලි වල යන අය කීයෙන් කීදෙනාද දන්නේ මැයි දිනය ආරම්භ වෙන්න මුල්වු හේතුව මොකක්ද කියලා.

තම වැඩමුරය පැය 8කට සීමාකරන්නැයි, ඉල්ලමින් 1886 මැයි මස 01වැනදා කම්කරුවෝ පිරිසක් අමෙරිකාවේ චිකාගෝ නුවරට එක්වුනා වැඩවර්ජනයේ තීරණාත්මක දිනය වුයේ, 1886 මැයි මස 03වැනිදාය.එදින සේව්‍ය මෙහෙයවීමෙන් ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් පිරිසක් වැඩවර්ජනයට එල්ල කළ ප්‍රහාරයෙන් කම්කරුවෝ සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත් වුනා.ඊට විරෝධය පළ කරමින් යළිත් මැයි මස 4වැනදා කම්කරුවෝ පිරිසක් හේමාර්කට් චතුරශ්‍රයට එක් වුනා.එදින පොලිස් හා කම්කරුවන් වචන හුවමාරුවක පැටලුණු අතර එහිදී එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පොලිස් නිලධාරියකු මිය ගියා. මේ ගැටුම අවසන් වුනේ තවත් පොලිස් නිලධාරීන් 6දෙනෙකුට ජීවිත නැති කරමින් .

ඕගස්ටස් ස්පයිස්, ඇල්බට් පාර්ඩ්න්ස්, ඇඩෝල්ෆ් ෆීෂර්, ජෝර්ජ් එන්ගල්ස්, සැමුවෙල් ෆීල්ඩන්, ලුයිස් ලන්ග්, මයිකල් ස්ට්වැච් හා ඔස්කා නිබේ යන කම්කරු නායකවරු පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන නඩුවිභාගය අවසන් වුනේ ඔස්කා නිබේට වසර 15ක සිර දඬුවමක් ද සැමුවෙල් ෆීල්ඩන්, මයිකල් ස්ට්වැඩ් දෙදෙනාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හිමි කරමින් .

පැය 8ක සේවා කාලයක් ඉල්ලා අරගල කරමින් එලෙස රුධිරය වැගිරූ තම සගයින් සදාතනිකව සිහිකිරීමට 1889 වසරේ රැස් වූ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ තීරණය  සැම වසරකම මැයි 01 වැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස නම් කරමින් ප්‍රකාශයට පත්වුනා

ඒ.ඊ. ගුණසිංහගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට මැයි දිනය සමරනු ලැබුවේ, 1927 වසරේදී.
1933
වසරේදී කොළඹ ප්‍රයිස් පිටියෙන් ආරම්භ වු පෙලපාලිය ගාලු මුවදොර පිටියෙන් අවසන් කර ලංකා ඉතිහාසයේ ප්‍රථම මැයි රැළිය පැවැත්වුවා.1956 වසරේ මැයි දින සැමරුමේදි මැයි 1 වැනිදා මෙරට රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කලා..
සැමරිය යුත්තෝ අද නාමිකව ඉතිහාසයට එක්වෙලා. 

සමරන්නේ  පුම්බන්නේ බලයේ සිටින බලයට එන්න ඉන්න දේශපාලන ප්‍රතිරූප.අරගල කර හෝ ලබාගත යුත්තෝ බෙරිහන් දෙන්නේ දේශපාලනඥයින්ට බලය ලබා දෙන්න.
අද මැයි දිනයදාට දේශපාලනඥයෝ ගමනා ගමන පහසුකම් සලස්සලා අගනුවරට අරගෙන එන කම්කරුවන්ගේ නිර්ධණ පන්තිකයන්ගේ  අතට මත් වතුරවිදුරුවක් , බත් පතක් දීලා  එයාලගේ අතේ තිබුන රතු කොඩිය උදුරගන්නවා .උදුරාගෙන කම්කරුවන්ගේ නිර්ධණ පන්තිකයන්ගේ  කටට ප්‍රගස්ති ඔබලා විලංගු දාගෙන පෙලපාලිය ඉස්සරහින් ගිහින් ස්ටේජ් එකට නැගලා - පෙලපාලියේ තමුන් දක්කගෙන ආපු උදවියට දේශනා පවත්වනවා. 

ඒක අහගෙන ඉදලා අපේ ඇත්තෝ නිදිමරාගෙන ගම්බිම්වලට එනවා.

ඔන්න අද මැයිදිනය !.



notes of imaginary

2014-05-02

තාමත් අපි සංසාරේ



අපේ බෞද්ධ ජනතාව  තරම් බණ අහන වෙනත් ආගමික ජනතාවක් ඉන්නවා කියලා මට හිතා ගන්න බැහැ. අපේ විද්‍යුත් මාධ්‍ය අපි නිදිකරවන්නෙත් අපි  අවදිකරන්නෙත් ආගමික වැඩ සටහන් වලින් ගමේ පන්සලේ හාමුදුරුවෝ පාන්දර පහට පටන් ගන්න ආගමික වැඩ සටහනෙන් අදාල නැතිවුනත් ගමම අවදි වෙන්න ඔනී.
ප්‍රවෘත්ති විශේෂාංග අහන බලන අපිට කොයිතරම් මිණිමැරුම් ,මංකොල්ලකෑම් ස්ත්‍රී දුෂණ වැන අපරාධ අහන්න ලැබෙනවද ?. ඉතින් මට හිතෙනවා මේ බණ කීමෙන් වෙහෙසිලා පලක් නැහැ. කියලා.
අද මේ වියමන කෙටුම්පත් කරන්නේ ගමේ පන්සලන් විසුරුවා හරින පිරිත් දේශනාව අහන ගමන්. කාලෙකට ඉස්සර ගෙවල් වල උදේ පාන්දර ක්‍රියාක්මක කරන ගුවන් විදුලි යන්ත්‍රය වහන්නේ නින්දට යනකොට. මේඔස්සේ තොරකෝංචියක් නැකිව ගලා ගෙන සිංදු ගෙවල් වල පාළුවට වගේ අහන්න ලැබෙනවා. දැන් දැන් එහෙම නෙමෙයි. උදේ පටන් නින්දට යන කම් බණ නාලිකාවකට යොමු වෙලා. අහනවද නැද්ද දන්නේ නැහැ ඒත්  ශ්‍රවණය කලත් නොකලත් ගෙදර ධර්ම මණ්ඩපයක් වෙලා. මේකත් අළුත් කලාවක් කියලා මට හිතෙනවා.
මේ පුර්විකාවට ලියවුනේ පුංචි රස කතාවක් කියන්න.
මාස කිහිපයකට ඉස්සර මගේ නැගණියක තම දියණියත් සමග සාප්පු ගිහිල්ලා. අම්මා දුවව මුණ ගැහෙන්නේ තම සේවා ස්ථානයේ සිට නගරයට ඇවිත්. අම්මත් සමග යන යන තැන දියණියට ධර්ම දේශණාවක් ඇහෙනවා. සාප්පුවක් සාප්පුවක් ගානේ එකම ස්වාමීන් වහන්සේ නමක් කරන ධර්ම දේශනාවමයි ඇහෙන්නේ. දුව හිතනවා හැමතැනම අද බණ දාලා. මොකක්ද මේ විශේෂත්‍වය කියන එක දුවට ගැටළුවක් ?.
සමහර සාප්පු වල නම් ඇතුල් වුනහම බණ ඇහුනේ නැහැ. සාප්පු සවාරිය එවර වෙලා වාහනේට නැග්ගහමත් අර බණ දේශනාව ආයෙත් ඇහෙනවා.
බලාපුවම අම්මා ගේ බෑග් එක ඇතුලේ තිබුන පුංචි රේඩියෝව මේ හපන් කම කරලා තියෙන්නේ.
තුන් තිස්පැයේම බණ අහන රටක ජීවත් වන අපි තාමත් සංසාරේ සැරිසරන්න අකුසල් රැස්කරමින් දවස ගෙවා දමන බවනම් හිතාගන්න පුළුවන්......... !.

notes of imaginary

2014-04-17

මහාචාර්ය විශාරද සනත් නන්ද සිරි සමග.



මාර්තු මාසේ අන්තිම සතියේ බ්‍රහස්පතින්දා. වෙලාව පස්වරු 6.00යි අපි රංග ශාලාවට ඇතුල්වෙලා අසුන් ගත්තේ හතට පටන් ගන්න නියමිත සනත් නන්ද සිරි මහත්මයාගේ ගීත සමුච්ඡයට සවන් දෙන්න. මහාචාර්ය විශාරද සනත් නන්ද සිරි අපි එහෙම කියමු. නැත්නම් ආමන්ත්‍රනයේ අඩුවක් වෙනවා.
තැන සබරගමුව විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍ය පීඨයේ රංග ශාලාව. අසල්වාසියෙක් වන මට වසර කිහිපයක සිට හුරුපුරුදු තැනක් බවට පත්වෙමින් තියෙන්නේ මේ වගේ අවස්ථා නොපැහැර අරින නිසා. විශ්ව විද්‍යාල කුලයට අය කියන්නේ බෙලිහුල්ඔයට අපි ආවේ නැත්නම් තාමත් ඔය ගොල්ල ආදි වාසීන් කියලා.
කමක් නැහැ අපි දැන් ඒ පිහිටෙන් හරි අළු ගසා ගත් බයියන් බවට පත්වෙමින් සිටිනවා. මේ කතාව නන්දසිරියන්ට කීවා නම හැත්තෑවේ දශකයේ ආරට භාව ගීතයක් රසවිදින්න තිබුනා.

විකසිත වත කමලේ නෙත් බඹරුන් පැටැලේ
බැල්මට නෙතු සඟලේ සිතු සිතුවිලි පැටලේ
ළඳුනේ......... මා දකිනා
සිහිනේ... හද සැලුණා.........
මහාචාර්ය විශාරද සනත් නන්ද සිරි තම හඩ අවදිකරන්න පටන් ගත්තා . අවුරුදු කාලෙට කොහා අඩලනවා .මට රිගිං සෝන්ග් එකකින් ඇහුනේ මේ කොහාගේ හඩ නෙමෙයි. කපුටු රාල කෙනෙක්ගේ හඩක්. ගීතය ගයා අවසානයේ එතුමාගේ පසුතැවිල්ල ප්‍රකාශවුනා.

“මා ගැයූ “විකසිත වත කම‍ලේ” ගීතය ගැයුවේ මගේ මිතුරු ගායකයෙකුගේ පුතෙක්. එයා තමන්ගේ පියාගේ ගීයක් නොගයා මගේ ගීතයක් ගැයුවේ එයාගේ පියාගේ ගීතවලට වඩා මගේ ගීතය හොඳ නිසා විය යුතුයි. ඒ ගැන මම සතුටු වෙනවා.
ජනප්‍රිය ගීතයක් වෙනත් අයකු ගැයුවාට මුල් ගායනය නැතිවන්නේ නැහැ. “විකසිත වත කම‍ලේ” ගීතයෙන් මා අභිබවා ඔහු මතුවන්නේ නැහැ.
ඒත් මට පුංචි කනගාටුවක් තියෙන්නේ ඔහු මගේ මිතුරෙකුගේ පුතෙකු වීම නිසයි. “අන්කල් මං මේ සින්දුව රිඟින් ටෝන් වලට කියනවා” කියලා මට දුරකථන ඇමතුමක් දෙන්නවත් මේ ගායකයාට මා අමතක වීම ගැන විතරයි මම කනගාටු වන්නේ.”

අපේ රටේ බුද්ධිමය දෙපල නීතිය තුල ගායකයාට ගීයක හිමි කමක් නැහැ.ගීය අයිති පද රචකාටයි සංගීත නිර්මානකරුවාටයි. ගීතයක් ජනප්‍රිය වන්න ගායක ගායිකාවන් ප්‍රබල දායකත්වයක් ලබාදෙනවා. මේ නීතිය ගායකයාටද අයිති විදියට ඉක්මනින්ම සංශෝධනය විය යුත්තක්.
අඩ අදුරේ මට නැගුන සිතිවිල්ල අනිත් අයටත් නැගෙන්න ඇති.

ප්‍රේක්‍ෂකයන් අදුරේත් වේදිකාව විදුලි ආලෝකයෙනුත් පුරවලා. විදුලි පරිපාලකට මහාචාර්ය විශාරද සනත් නන්ද සිරියන්ගෙන් ඉල්ලීමක් “ මට තනියෙන් ගයන්න බැහැ අර ගොල්ලෝ මට පේන්නේ නැහැ. ඒ ගොල්ල මට දකින්න ඕනී. ඉතින් ශාලාවට ආලෝකය සපයන්න “ අදුරෙන් අඩ අදුරට මැරුවුන ශාලාව
එතැන් ඉදන් මහාචාර්ය විශාරද සනත් නන්දසිරියන් ආධිපත්‍යට යටත් වුනා .

මේ ප්‍රථම වසන්තයයි
දිවි අරණේ මධුමල් පිපෙනා
බිඟු රැව් නැගෙනා.......
මේ ප්‍රථම වසන්තයයි........

සිත පවස දරා මිරිඟුව අතරේ
දිය පහස පතා සිටියදි කතරේ
ඔබ සිහිල් දොළක්‌ සේ පාවී....
වසන්තයක්‌ වී ආවේ.....

ගීතයක් ගයා අවසන්ව ඊලග ගීතයට යන්නේ ගීතය ඉපදුන හැටි විවරණය කරමින්. ඒ සදහා කථකයෙක් යොදා නොගත්ත මහාචාර්ය විශාරද සනත් නන්දසිරියන් ශ්‍රවක ජනී ංනයන්ගෙන් පිරී ගිය නේපත්‍යගාරය හා දොඩමළු වුනා. එයත් අපුරු අත්දැකීමක්.

එතුමන් පදවා ගිය රථයට වරින් වර වෙට්ටු දමමින් රිය පසුකර ගිය ත්‍රීවීලර් රියදුරෙක් “ සර් පස්ස පස්ස “ කීවාළු. එතුමා ත්‍රීවීලර්යේ පසු පස බැළු ටිට එහි “ වරදක් කළත් සිතකින් නොවේ
රිදවන්නෙ පළිගන්නෙ ඇයි.......” යන්න සටහහන් ව තිබු බවක් සියල්ලන් සිනා හඩ මැද පවසමින්
වරදක් කළත් සිතකින් නොවේ
රිදවන්නෙ පළිගන්නෙ ඇයි
ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්
මට මාගෙ ඇස්දෙක වගෙයි //
ඔබෙ ගිනි නිවා ඇගෙ හිත දවා
අප එක්වෙලා කුමටදෝ...//
වෙනසක් නොවී මගෙ හිස් අතින්
පිසලන්නෙ කොයි කඳුළ දෝ....
අසරණ ඔබයි තනිවුණු ඇයයි
මට ශාප කර යාවිදෝ...//
ඔබෙ ලෝකයෙන් ඇගෙ ලෝකයෙන්
සමුගන්න සිදුවේවි දෝ...
යන ගීතයට ජීවය සැපවුවා.


· ගමේ කෝපි කඩේ
· මා හද අසපුව කුසුමින් සැරසුව
· මුළු ලොව මගෙන් අසාවී
· පෙමාතුර හැඟුම්
· විකසිත වත කමලේ
· ඇව්ලුනු ගිනිදැල්
· කොහෝ කොහෝ
· ඈත එපිට ගම්මානෙන්
· සහසක් පැතුමන්
· යසෝදරා
· සීත රෑ වසන්තේ
· දඟකාර ඔය දෑස දුටුවා එදා
· සොවින් පිරි මගේ හදවත
· ආදරේ නෑ ආදරේ, කවුරැවත් නෑ
· නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ
· ගී අරණේ මධුමල් පිපෙනා....
· ප්‍රථම වසන්තය
· දූ අනුරාධා


නේපත්‍යාගාරය මහාචාර්ය විශාරද සනත් නන්දසිරියන් විසින් තමන් වෙත ඇද බැදගෙන සිටී ප්‍රේක්‍ෂක ජනී ජනයා එක් පිටුපස තව එකක් වෑහෙන රස කතා සමග ගැයෙන ගීතයන් ලොල් බැද සමාධි ගතවු දැහැනෙන් මිදෙන්නී ගීතයෙන් ගීතයට ශාලාව අත්පොලොසන් හඩ ගුගුරුවමින් තම සතුට පලකරනවා .
හැත්තෑවේ දශකයේ මුලින්ම අප දුටු පිරිපුන් වියත් මැදිවියත් ඉක්මවා අපටත් වඩා ඉදිරියෙන් පියමං කරන මහාචාර්ය විශාරද සනත් නන්දසිරියන්ගේ රූපකාය තුල ප්‍රේමණීය හඬ පෞර්ෂය නොනැසී ශාලාව අත්පත් කරගෙන. ඒ හඬ රසික හදවත් දොවාගෙන ගංගාවක් සේ ගලායනවා. එතුමන් ගේ බොහෝ ගී තනුනිර්මාණ තුළ ද ඒ යෞවනය තවමත් නොනැසී පවතීනවා.
“ මගේ රටට දළදා හිමි සෙවනයි - මගේ දැයට දළදා හිමි සරනයි. එන ගීතරාවයත් සමගින් වේදිකාවෙන් සමුගන්නා මහාචාර්ය විශාරද සනත් නන්දසිරියන් තිරපටින් වැසී යද්දී වේදිකාව ඒක් හඩින් අත් පොලෙසන් හඩින් ගිගුම් දී නිහඩ වෙයි.වෙලාව 10.20 සටහන් වෙලා අපිව පැය 3.00 ගීතයෙන් දැහැන් ගත කල මහාචාර්ය විශාරද සනත් නන්දසිරියන්ගේ වේදිකාවේ තිරයෙන් එහා සැගවුනා.
සිත පවස දරා මිරිඟුව අතරේ
දිය පහස පතා සිටියදි කතරේ
ඔබ සිහිල් දොළක්‌ සේ පාවී....
වසන්තයක්‌ වී ආවේ.....



මම තවමත් මුමුනනවා.
notes of imaginary

2014-04-16

ආයුධ මුවහත් වන්නේ රත් වූ විටය.

දෙමව්පියන් සහ ගුරුවරුන්  දරුවන් ගැන අතර විවිධ ගැටළු අසන්නට ලැබෙන කාලයක් බවට පත්වෙලා. මේ සම්බන්‍ධයෙන් අම්මලා තාත්තලට වගේම ගුරුවරුන්ටත් ඒක පාර්ශවිකව දෝෂාරෝපනය කරන්න අපහසුයි. යම් යම් බලසීමා ඉක්ම ගියෝ ජීවත්වෙන්නේ තමන් ගැන අධිතක්සේරුවෙන් යුතුව. පුත්තලමේ දේශපාලකයා ගැන උදාහරනයකට ගත්තෝත් මේ බව පැහැදිලි වෙනවා. ඒත් එක්සත් අමරිකා ජනපදයේ ජනාධිපතිවරයා කියන්නේ පලාත් සභා ඇමතියෙක් නෙමෙයි. බලන්න ඔබමා මුළු ලෝකෙටම දාන සෙල්ලම්. එහෙම ලෝකෙටම බලපැම් කරන්න පුළුවන් බලපරක්‍රමයක් තිබුන අමරිකාවේ දහසය වෙනි ජනාධිපති වුනේ ඒබ්‍රහම් ලින්කන් මැතිතුමා. එතුමා තම පුතා වෙනුවෙන් පාසලේ ගේට්ටුවෙන් එහාට යන්න බලපරාක්‍රමයක් නැති බව තේරුම් ගත්ත ජනාධිපති තාත්තා කෙනෙක්. එතුමා තම පුතා පාසලට ඇතුල් කල දවසේ ඔහුගේ පාසලේ විදුහල්පතිනියට ලිපියක් ඇරියා. මේ ලිපිය පසුකාලයේ ඉතාමත් ප්‍රසිද්ධ ලිපියක් බවට පත්වුනා. මේ ලිපිය කියවන්න.



ආදරණීය පාසල් ගුරුතුමිය වෙත,

අද පටන් මාගේ පුත්‍රයා ඔබගේ සෙවණේ පාසල් අධ්‍යාපනයට පැමිණෙනු ඇත. ටික දිනක් යනතුරු ඔහුට මේ පරිසරය අලුත් හා ආගන්තුක වනු ඇත. ඒ නිසා ඔහුව හොඳින් බලාගන්න. ඔහුට හොඳින් සෞම්‍ය ලෙස සලකන්න. ලොව පුරා දැනුම, මහද්වීප තරණය කරමින් නව ලොවකට යන සුවිශේෂී ගමන ආරම්භ කරන්නේ අද දින සිටයි. සෑම අසීරු ගමනකම දුක, වේදනාව, සතුට, අපාය, කුමන්ත්‍රණය ආදිය ගැබ්ව තිබේ. මේ ජීවිතය ගතකිරීමට විශ්වාසය, ආදරය සහ ධෛර්යය අවශ්‍ය වෙයි.
ඉතින් දයාබර ගුරුතුමියනි,
මේ මාගේ පුත්‍රයා ඔහුගේ අතින් අල්වාගෙන ප්‍රවේශමෙන් රැගෙන යන්න. ඔහු දැනගත යුතු දේ ඔහුට උගන්වන්න. සෑම නොමිනිසෙකුටම, සතුරකුටම, මිතුරකු සිටින බව ඔහුට උගන්වන්න.
දුෂ්ට මිනිසුන් සිටින නමුත් ඒ සෑම කෙනෙකුටම වීරයන්ද සිටින බව උගන්වන්න. ආත්මාර්ථකාමී බලලෝභී දේශපාලකයින් අතර, තම ජීවිතය පරාර්ථකාමීත්වය වෙනුවෙන් කැපකරන නායකයින් ද සිටින බව පහදා දෙන්න.
ඊර්ෂ්‍යාවෙන් ඔහු ඈත්කර තබන්න. නිහඬ සිනහවක පවතින අගය ඔහුට පහදා දෙන්න. සදාකාලික නොවන බව ඔහුට පහදා දෙන්න. ‍පොත්වල සුන්දරත්වය හා විශ්වයේ සුන්දරත්වය ඔහුට පහදා දෙන්න. අහසේ පියාඹන කුරුල්ලන්ගේ සුන්දරත්වය ඔහුට පහදා දෙන්න. දිවා කල පියඹනා මී මැස්සන් ගැන ඔහුට උගන්වන්න. කඳු මුදුන් හි පිපි ගී ගයන මල් ‍පොහොට්ටුවල සුන්දරත්වය ඔහුට පෙන්වන්න.
රැවටීමට, වංචාවකින් ලබන ජයට වඩා පරාජය ලැබිම ශ්‍රේෂ්ඨ බව ඔහුට උගන්වන්න. තමාගේ නිවැරදි අදහස් ගැනම දැඩි ලෙස විශ්වාසය තැබිමට උගන්වන්න. තමා වටා සිටින සියලු දෙනාම තමා වැරදි බව පවසද්දීත් තමාගේ මතය නිවරදි නම් එම මතය විශ්වාසය තැබිමට උගන්වන්න.
අනෙක් මිනිසුන්ට දයාව කරුණාව දැක්වීමට ද නපුරු තද ගති ඇති මිනිසුන්ට තදින් සැලකීමට ද උගන්වන්න.
මගේ දරුවා පිරිසක් පිටුපස යනවා වෙනුවට එහි ඉදිරියට යෑමට උගන්වන්න. සියලු මිනිසුන්ට සවන්දීමට ඔහුට උගන්වන්න. තෝරා බේරාගෙන නරකින් හොඳ වෙන්කර ගැනීමට උගන්වන්න. ඔහුට දුකින් සිටින විට සිනාසීමට උගන්වන්න. නෙත කඳුළුවල ලැජ්ජාව නොමැති බව උගන්වන්න.
තමා උගත් දැනුම සහ මොළයෙන් සොයා ගත් දේ අලෙවි කල දැනුම හදවත හා ආත්මය උකස් නොකිරීමට උගන්වන්න. තමාට මිලක් නියම කරනොගැනීමට උගන්වන්න. මෝඩ සහ අසත්‍ය ප්‍රකාශ හමුවේ දෙකන් නොඇසෙන ලෙස සිටීමට උගන්වන්න. තම මතය නිවැරදි නම් නිර්භීතව හොඳින් ඒ ගැන කතා කිරීමට හා නැඟී සිටීමට උගන්වන්න. පරාජය දරාගැනීමට උගන්වන්න. ජයග්‍රහණය විඳ ගැනීමට උගන්වන්න. හොඳින් මෘදු ලෙස ඔහුට සලකන්න.

ආයුධ මුවහත් වන්නේ රත් වූ විටය. ඔහුට ඒවා පහදා දෙන්න. ඔහුට අවශ්‍ය පරිදි හොඳින් මුවහත් කරන්න. පරාජය තුළ සැඟවුණු ජයග්‍රහණයන් පවතින බව උගන්වන්න. ඉවසීමට ඔහුට ධෛර්යය ලබාදෙන්න.”“ඉවසීම පුහුණු කිරීමට ඔහුට ධෛර්යය ලබාදෙන්න. ඉවසීමට ඔහුට නිර්භය බව ලබාදෙන්න. තමාට තමා ගැනම විශ්වාසය ඇති විය යුතුය. එවිට ඔහුට මිනිසුන් ගැන විශ්වාසයක් ඇති වනු ඇත. එවිට ඔහු දෙවියන්ද විශ්වාස කරනු ඇත.

මේ මා ඔබට දෙන විශාල අණයි. නියෝගයයි. ඔබට පුළුවන් ලෙස ඔහුව රැකබලාගන්න.
උපයා ගන්නා ශත දහය, ඇහිඳ ගන්නා ඩොලර් සියයකට වඩා වටිනා බව ඔහුට උගන්වන්න.
මාගේ හුරුබුහුටි කොළුගැටයා හොඳ හාදයෙකි.
ඒ මගේ පුතාය.

මෙයට,

ලින්කන්


මේ තරම් වියත් නුනත් අපේ දෙමව්පියන්ද නිහඩව කියන්න ඇත්තේත් බලාපොරොත්තු වුයෙත් මෙයමැයි මම සිතමි. පාසලෙන් දඩුවමක් ලැබ ගෙදර ආ මට ඒ බැව් පැමිණිලි කලදා මා විචාරා ගෙදරදී එම වරදට දෙවන වරටද දඩුවම් විදින්නට සිදුවිය. එතැන් සිට මම කිසිදාක පාසල ගෙදර ගෙන ආවේ නැත. එසේම මාද මගේ දරුවා පාසල ගෙදර ගෙන ඒමට අකමැතිවිය.

notes of imaginary

2014-04-15

විමල්ගේ ලෝකය.


  

මගේ අතින් පසුගිය මාසයක් හමාරක්  කාලේ වැදගත් යමක්  ලියවුනේ නැහැ. මම  සටහන් තබාගෙන ලියන්නේ නැහැ. හිතේ එකතු වෙලා delete වෙන්නේ නැතිව පල් වෙන ඒවා word  පිටුවක් තෝරා ගෙන දිය කරන එකයි සාමාන්‍ය පිලිවෙත. තොරතුරු හොයාගෙන ලියාපු ලිපි තියෙනවා නම් ඒ තොරතුරු මාස ගානක්  තිස්සේ desktop එකේ දුක් විදමින් සිට  පරිපුර්න වුවාට පසු පල කරපු ලිපි. එවැන්නක් කාලෙකින් කරන්න බැරිවුනා.

හේතුව මේ පිටුවේ පහලින්ම පලකරලා තියනවා. මම “සීයෝ” වුන හැටි කියලා.

පසු ගිය මාස එකහමාරක් මානස විල කැලබිලා. සියළු සිතිවිලි භයංකාර ලෙස කැරකෙන්න පටන් අරන් තිබුනා දිය සුළියක් වගේ.  පුංචි වේදනාවකට එහෙම කරන්න පුළුවන් නම් ලොකු දෙයකදී මොන වගේ අත්දැකීමක් ලැබෙයිද කියලා මට හිතුනා. මට පෙනුනා සුදු කොඩිවැල් ඇදපු සුදු වැලි අතුරපු පාළු පාරක් දිගේ හෙමි හෙමීට ඇදී යන පෙරහැරක මා පෙරටුව ගෙන යනවා. ඒත් එහෙම වුනේ නෑ.

 මට මේ අතරේ මතක්වුනේ මගේ මිත්‍රයා විමල්. තාත්තා සුරියබණ්ඩාර වුන නිසා නම අගට විමල් සුරියබණ්ඩාර කියලා සම්පුර්න නමින් තමයි විමල් තමුන්ව හදුන්වා දුන්නේ. විමල් තාත්තට කතා කලේ “ ලොකු ස්කෝලේ මහත්තයා”  කියලා. අම්මා “ ස්කෝලේ හාමිනේ ” වුනා. මේ දෙන්නා කළුතර දිස්ත්‍රික්කයෙන් බදුල්ල දිස්ත්‍රික්කයට  ගුරු පත්වීම් ලැබ 1950 ගනන් වල ඇවිත් බදුල්ල දිස්ත්‍රික්කයේ පැලපදියම් වුන ඇත්තෝ.ලොකු ස්කෝලේ මහත්තයාට  “ ස්කෝලේ හාමිනේ ” හමුවුනේ පලමු පත්වීම ලැබ ලොකු ස්කෝලේ මහත්තයාගේ පාසලට ආවට පස්සේ. දෙන්නම එකම දිස්ත්‍රික්කයේ වුනාට  ගම් පලාත් දෙකක.ඒ කාලේ ගමේ ප්‍රභුන් වුන මේ දෙන්නා දරුමල්ලන් තුන්දෙනෙක් හදා ගෙන ලොකු මහත්කරන ගමන්ම ප්‍රදේශයේ නමක් කියන ධනවතුන් බවටද පත්වෙලා තිබුනා .

විමල් මට හමුවුනේ  අසුවේ දශකයේ මුල් භාගයේ. ඒ  වන විට මේ උරුමයේ පාලක කොටස් කරු විමල්. මට අවුරුදු තිස්දෙකක් විතරවු  ඒ සන්දියේ විමල්ට අවුරුදු විසි හයක් විතර ඇති.  විමල් පවුලේ බඩපිස්සා. උසස් පෙල ලියලා HOLT තියලා ලොකු ස්කෝලේ මහත්තයාගේ ප්‍රවාහන ව්‍යාපාරයටයි, ගල් කොරියටයි යටවුන විමල් වැඩිමහල් සහෝදරි විවාහ වෙලා වැඩිමහල් සහෝදරයා පවුලෙන් වෙන් වෙන කොට කාරකාරෙට ගන්න මාමගේ දුවට පුංචි කා‍ලේ ඉදන්ම පෙම් බැන්දා. මාමට හිටියේ එකම දරුවයි. ඒ තමයි මාමගේ දුව.

මාමා “ කුණු ලෝභයා”.අපේ “ ස්කෝලේ හාමිනේ ”ගේ දේපලත් කොල්ල කාගෙන “ ඌ ලොකු මිනිහෙක් වුන වාඩුව පිරිමහන්න  මාමාගේ දුව බැදගෙන ඌට හොද පාඩමක් උගන්නනවා” කියලයි විමල් අපට කියන්නේ. අපි යාළුවෝ දෙන්න තුන්දෙනා මේ අදහස අනුමත කලේ හොද අදහසක් හැටියට.මේ කියන්නේ  බොරුවට. විමල් නෑනට පණට වගේ ආදරෙයි. 

ඒත්  ලොකු ස්කෝලේ මහත්තයායි  ස්කෝලේ හාමිනේ යි වගේම මාමයි නැන්දයි ජෝඩු දෙකම මේ මගුලට ඒ තරම් කැමති නැහැ. වැඩිමහල්ලෝ අතීරනේ නිසා  - දුව කැමතිත් නැහැ අකමැතිත් නැහැ. වැට උඩ. මේ හින්දා විමල් කියන්නේ “ඒකිට ගම්පලාතෙන් අළුතින් කොල්ලෙක් සෙට් වෙලා ”ඇති කියලා. 

මම විමල්ගේ ගෙදර ඉස්සෙල්ලම දවසේ ගියේ මේ අලකලංචි වලින් පුංචි පුංචි සුලි කුණාටු ගෙදරත් විමල්ගේ ඔළුවෙත් කැරකෙන කාලෙක. විමලුයි මායි  ගෙට ගොඩවුනා. විමල් මම සාලේ වාඩිකලා. “ ලොකු ස්කෝලේ මහත්තයා................”  විමල් කෑ ගහන්න පටන් ගත්තා. මට දෙයියෝ සිහිවුනා. මේ යකා තාත්තටනේ කතා කරන්නේ කියලා. “නැද්ද ?. ලොකු ස්කෝලේ මහත්තයාගේ සාක්කුවේ ගෙනාපු මොනවත් - මගේ යාළුවෙක් එක්කරගෙන ආවා ?. මට දෙවි දේවතාවුන් වහන්සේලා අසූ හාරදාහක පිහිට ඕන වුනා.

 ලොකු ස්කෝලේ මහත්තයා හිනාවේවී එලියට ආවා “ මේ ගල් මූසලයාගේ හැටි ඔහොම තමයි දරුවා!. ”  මගේ හිත යන්තම් නිවුනා.  ස්කෝලේ හාමිනේ..............  “ කුස්සිය පැත්තට එබිකම් කරලා “මේ දරුවට තේ එකක් හදන්කෝ ”කියලා ඇදලා පැදලා කිවුවා. මම හරි බරි ගැහිලා හොදට පුටුවේ වාඩිවුනා.

කාලය ඔහොම ගෙවිලා ගියා. පවුල් දෙක මේ අත්හරින්නේ නැති ප්‍රේමයට ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න තීරණය කලා. මේ අතරේ ආයෙත් විමල් ඔළුව අවුල් කරගෙන එහේ මෙහේ දුවන්න පටන් ගත්තා. නැන්දම්මයි මාමයි වගේම  ලොකු ස්කෝලේ මහත්තයායි  ස්කෝලේ හාමිනේ යි වචනයක් දෙන්නේ නැතිව නිසංසල ප්‍රතිතිපත්තියකට පත් වෙලා නෑනා වෙනද පරිදිම හීතල ප්‍රතිපදාව අනුගමනය කරනවා.  

එක දවසක විමල් නෑනගේ කේන්ද්‍රයයි විමල්ගේ කේන්ද්‍රයයි උස්සගෙන අපේ ගෙදර ආවා. විමල් කේන්ද්‍ර දෙක අරගෙන යන යන තැන කියනවළු ස්ත්‍රී කේන්ද්‍රයට විවාහ දෙකක් පෙන්නුම් කරනවා කියලා. එහෙම නම් විමල්  දික්කසාද වෙන්න ඕනී නැත්නම් විමල් අකාලේ මැරෙන්න ඕණි.අපි හිතුවා.

අපි කොයිකටත් කියලා ප්‍රදේශයේ ජ්‍යොතිෂ්‍ය කටයුතු පිළිබද ප්‍රසිද්ධ හිමි නමක් සොයා ගෙන ගියා. එතුමා කොළයක් අරගෙන එහාට මෙහාට ඉරි ඇදලා මොන මොනවදෝ ලියාගෙන ගිහින් කෙස් බාපු ඔළුව අතගගා පැය ගානක් ගැටළු විසදලා පුස්කොල කේන්‍ද්‍ර පිටපත් දෙක හකුලලා ආපහු දෙන ගමන් කිව්වා “ මහත්තයෝ අපි පැවිද්දෝ නේ ? . මේවා ගැන මොනවත් අනාවැකි කියන්න හොද නැහැනේ කියලා. ” 
අපි දෙන්නත් අකුලා ගෙන ගෙදර ආවා.ඒ යකා දන්න මගුලක් නෑ ...ලොකු බෝර්ඩ් එකක් එල්ලා ගෙන හිටියට . හාමුදුරුවන්ගේ කතාවට අපි තිරනයක් දුන්නා.

අපි යාළුවො තුන් හතර දෙනා විමල්ට කිව්වා “හැමෝම කියන නිසා ඕක හිතෙන් අස්කරගනින් රටේ වෙන කෙල්ලෝ ඉන්නවානේ” කියලා.  එක යාළුවෙක් කිවුවා. “විමල් , ඔය මගුලට කරනවා නම් උඹලා දෙන්නට හනිමූන් එකට මගේ බංග්ලෝ එක නම් දෙන්නනේ නෑ” කියලා ඌ නොබැදපු එවුවෝ බදින කොට උගේ බංගලාව හයර් කරපු Planter කෙනෙක්.  කන්ඩායමේ තව එකෙක්  “ අපි වෙන උපක්‍රමයක් යොදමු “කියලා යෝජනාවක්  කලා.  මේ යාළුවා අපි කණ්ඩායම ඇතුලේ විමල්ම හැදුන්වුනේ “ තෝ මිත්‍යදෘෂ්ඨිකයා. දෙමළා - තෝ අදහන්නේ කාටවත් එපාවුන දෙයියෙක්” කියලා. අවුරුද්දක් දෙකක් කාලය හෙමින් ගෙවී ගියා කාගෙත් විරෝධතාවය නිශ්සබ්දයකට පෙරළුනා.

කවුරුත් අනුමත නොකලත් විමල් දෙමළ මිත්‍රයාගේ “වෙන උපක්‍රමය යොදලා විවාහ වුනා.” Planterගේ බංගලාවේ හනිමුන් එක ගත කලා. අපේ පවුල් අතරට තවත් හොද ගුණ යහපත් යෙහෙලියක් එකතු වුනා. කාලයක් ගිහින් ලොකු පුතාත් ලැබුනට පස්සේ දික්කසාදේ ඉල්ලලා දෙන්නා වෙන්වුනා. ආයෙත් විමලුත් සුනේත්‍රත්  විවාහ වුනා.  තව දුවෙකුත් පුතෙකුත් පවුලට එකතු වුනා. පුංචි පුංචි අලකලංචි තිබුනත් දෙන්නා දෙමහල්ලෝ සතුටින් සාමදානයෙන් සහ  සුපුරුදු ලෙස විමල්ටම උරුමවු චර්යා රටාවෙන්  විනෝදයෙන් කාලය ගත කලා.

මට අවුරුදු හැටක්වු 2008 දී විමල්ට වයස අවුරුදු 54යි. විමල් ඒ වන  දූ දරුවනගේ අධ්‍යාපන කටයුතු පහසුවන්න සුනේත්‍රලාගේ මහ ගෙදරට පදිංචිය මාරු කරලා හිටියේ. දැන් ලොකු දරුවෝ දෙන්නා පිටරට රැකියාවලට නිවසින් බැහැර වෙලා . ගෙදර ඉදන් පුංචි කෙල්ල උසස් පෙල හදාරනවා.

2008 අවුරුද්දේ එක් අදුරු දවසක.,  බියකරු ලෙස අකුණු ගහ ගහා මහ හයියෙන් වැස්සා . විමල් වම් අත ටිකක් රිදෙනවා කියලා කෑ ගහන්න පටන් ගත්තා. විමල්ගේ විහිළුවක් කියලා  සුනේත්‍රා ගනන් ගත්තේ නෑ. විමල්ගේ වේදනාව හදුනා ගත්තේ ඩිංගක් පමා වෙලා. සුනේත්‍රා   විමල්ගේ වේදනාව තාවකාලිකව වලක්වන්න හිතාගෙන අතේ ඇගිලි ගාවා ඉදන් උර හිස ගාවට Declopanac jell එකක්  ඇතුල්ලුළුවා. සුවයක් නැති තැන රෝහලට එක්කරගෙන යන්න සූදානම්වුනා.වේදනාව අතර සුනේත්‍රාට කෑගහන විමල් “කෙල්ලේ ....අර මගේ මගුල් සූට් ගනින් .ඒක මට හෙට අදින්න ඕනී. නැත්නම්  මගේ ලෝභ කුණු මාමන්ඩියා උඹේ අළුත් මිනිහට මගුල්දාට ඒක අන්දයි. වගේ විහිළු කතා කියන්න පටන් ගත්තා . විමල්ගේ හැටි දන්න සුනේත්‍රා ඒවා විහිළු හැටියටම හිතට  ගත්තා.

රෝහලට යන අතර මගදී විමල් සුනේත්‍රාගේ උර හිස මත  සිට අපිත් , සුනේත්‍රාත් දු දරුවෝත් අතහැර .,............අපි අතරින් වෙන්ව යන්න ගියා. විමල්ගේ සදාකාලිකවු සැහැල්ලුව හිනාව එදා පරිද්දෙන්ම අදත් අපි අතර ඉතිරිවුනා.

එදා විමල්ගේ  මිත්‍යදෘෂ්ඨික මිතුරාගේ උපක්‍රමික උපදේශය පල දැරුවේත් නෑ .2014 අප්රේල් වන විටත්  කේන්ද්‍රයේ තිබු දෙවන විවාහය සුනේත්‍රා සොයාගෙන ආවෙත් නැහැ. සුනේත්‍රා මුණුපුරු මිණිපිරියන් අතර ආත්තම්මා වුනා.


Dr බෙහෙත් වට්ටෝරු ලියන හැම දවසෙත් , ඊලග දවසේ ගේන්න කියන රිපෝට් ගානත් දකින හැම දවසෙමත් මට හිතෙනවා විමල් කෙනෙක් වෙන්න. ඒත් හැම කෙනාටම විමල් කෙනෙක් වෙන්න පුළුවන්ද ?. මට විමල් කෙනෙක් වෙන්න වාසනාව තිබුනොත් මාත් පින් කල කෙනෙක් කියලා මට හිතනවා. 


notes of imaginary