ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

ලොව දිනු පුවත දැනගෙන පින්වත් කුමරූ සත් පියුමන් පිපුණි පින් සුවඳින් මියුරූ සිහිකර යළිත් අසිරිය සිදුවූ අයුරූ සමරමු වෙසක් මෙවරත් මිතුරු

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2024-01-25

පත්තිරිප්පුව නිර්මාණය කළ ඉංජිනේරුවා..

 


අද කියන්නේ රාජකීය ඉංජිනේරුවෙක් ගැන.

ඔහු සුවි⁣ශේෂි පුද්ගලයෙක්.ඒ වගේම කාගෙත් ගෞරව යට පාත්‍රවන කෙනෙක්.ඒ තමයි දෙවෙන්ද්‍ර මුලාචාරින්

දළදා මාලිගා පරිශ්‍රයේ රජවරුන් නඩු ඇසු මඟුල් මඩුව, පත්තිරිප්පුව, දිය අගල, වැවේ වළාකුළු බැම්ම, උල්පැන්ගේ ආදි හෙළ කලා නිර්මාණවල විශ්මිත සැලසුම් ශිල්පියා වූයේ මේ දේවේන්ද්‍ර මුලාචාරින්.ඔහු ගැන විස්තරයක් කියන්නයි මේ සුදානම. පුරාණ ලංකාවේ විශිෂ්ටම ඉංජිනේරුවා වන්නේ ඔහුයි. හන්දෙස්සේ දේවේන්ද්‍ර මුලාචාරි කියලත් ඔහු හැදින්වෙනවා.
ඉතින් දේවේන්ද්‍ර මුලාචාරින් කියන මේ සුවිශේෂි ඉංජිනේරුවා එහෙම නැත්නම් නිර්මාණ ශිල්පියා රජවරුන් තිදෙනෙකු යටතේ සේවය කරලා තියෙනවා. ඔහු ඉපදිලා තියෙන්නේ 1747 කියලයි සදහන් වෙන්නේ. ඒ කියන්නේ ශ්‍රී විජය රාජසිංහ රජතුමාගේ අවසාන කාලයේදි.
කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා, රාජාධිරාජසිංහ රජතුමා, ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා යටතේ දේවේන්ද්‍ර මුලාචාරින් සේවය කර තිබෙනවා. දේවේන්ද්‍ර මුලාචාරින්ගේ දක්ෂතා ගැන පැහැදුණු කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා 1780 දී දේවේන්ද්‍ර නාමය සමඟ මූලාචාරි යන පටබැඳි නාමය රන් නළල් පටක් සමඟ ප්‍රදානය කර තිබෙනවා.
රාජ සේවය නිසා ඔහුට ගම්වර රැසක් තෑගි ව‍ශයෙන් ලැබුණා. ඒ අනුව දේවේන්ද්‍ර මුලාචාරින් උඩුනුවර, අරත්තන ගමේ නිවෙසක් සාදා පදිංචියට ඇවිත් තියෙන බවත් කියනවා ඒ පරපුරේ අය අදටත් උඩුනුවර අරත්තන ගමේ ඉන්නවා.
ඉතින් මේ හන්දෙස්සේ දේවෙින්ද්‍ර මුලාචාරින් කරපු සුවිශේෂිම නිර්මාණය තමයි අටලැස් අටල්ල හෙවත් පත්තිරිප්පුව. ඒ සිංහලයේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන් විසින් පත්තිරිප්පුව සාදා ඇත්තේ රජුට නගර‍ය බැලීම, පිට්ටනියේ පැවැත්වෙන ක්‍රීඩා නැරඹීම ආදී අරමුණු මුල් කරගෙනයි.
දෙහිගම දියවඩන නිලමේගේ යෝජනාවක් අනුව රාජකීය මුළුතැන් ගෙය කඩා එම ස්ථානයේ තමයි මේ පත්තිරිප්පුව ඉදිකළේ. පත්තිරිප්පුවට දේවේන්ද්‍ර මුලාචාරින් දුන් සැලැස්මට රජතුමා ඉහළ කැමැත්තක් දක්වා තිබෙනවා.
ඒ වගේම රජවාසලට ආසන්නව අදත් දක්නට ඇති මඟුල් මඩුව හදලා තියෙන්නෙත් දේවේන්ද්‍ර මුලාචාරින් විසින්මයි. මුල් සැලැස්මට අනුව මඟුල් මඩුවේ දිග මීටර් 19.75 පළල මීටර් 11.65 ක්. විසිතුරු කැටයමින් යුක්ත කුලුනු හැට හතරක් තියෙනවා.‍ මඟුල් මඩුව උඩරට වාස්තු විද්‍යාවේ විචිත්‍රවත්ම නිර්මාණයක්.
එසේම මාලිගාව අසල ඇති කිරි මුහුද ලෙස හඳුන්වන වැව වටා ඇති වළාකුළු බැම්මත් දේවේන්ද්‍ර මුලාචාරින් ගේ නිර්මාණයක්.
දේවේන්ද්‍ර මුලාචාරින් රජමාලිගාවෙි ඔටුනු පට්ටල්, රන්කඩු පට්ටල්, සිංහාසන පට්ටල්, ආයුධ පට්ටල් යන පට්ටල්වල අධිපති ධුරය දරා තිබෙනවා. ඒ වගේම මේ ශිල්පියාගේ දක්ෂකමට ගරු කිරිමක් වශයෙන් රජ මාලිගාවේ විශේෂ ආසනයකුත් ඔහුට වෙන්කර තිබු බව සදහන් වෙනවා.
තව විශේෂ කරුණක් තිබෙනවා. මේ දේවේන්ද්‍ර මුලාචාරින් හා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ හැඩරුව එක සමාන බව සදහන් වෙනවා.මේ නිසාත් රජුගෙන් ඔහුට ලැබෙන සැලකිලි සත්කාර නිසාත් ඇමැතිවරුන් ඔහුට එරෙහිව රජුට කේලාම් කියු බව කියනවා.
ඔහුගේ ඇඳුමත් රජමාලිගාවේ මහ අධිකාරමගේ ඇඳුමට සමානයි. රජුගේ නියමය අනුව දේවේන්ද්‍ර මුලාචාරින් නිතර යන එනවිට "රියන්දණ්ඩ" පාවිච්චි කර තිබෙනවා. මේ නිසා අධිකාරම්වරුන් මොහුගේ ඇඳුම වෙනස් කරවා ගැනිමට උත්සහ දරුවත් රජතුමා ඊට කැමැත්ත දක්වා නැහැ.
කෙසේ හෝ මුලාචාරි හා රජු බිඳවිමට ඇමැතිවරු ක්‍රියාකර තිබෙනවා. ඉදිකිරිම්වලට ගෙනා ලී කොට කර එම ලී මුලාචාරියා විසින් ලී කෙටි කර ඇතැයි ඇමැතිවරු රජුට පවසා තිබෙනවා. මොවුන් මූලාචාරියාට විරුද්ධව රජුට කේලම් කියු නිසා රජු ද ඒවා විශ්වාස කොට මූලාචාරියාගේ දකුණු අතේ මාපට ඇඟිල්ල කපාදමන බවට නියම කළ බව සඳහන් වෙනවා.
මෙයින් කම්පාවට පත් මූලාචාරියා මහනුවර වැවට පැන දිවි නසා ගෙන තිබෙන බව ජනප්‍රවාදයේ සදහන් වෙනවා. ඒ 1812 දී. ඔහුගේ මරණයෙන් රජතුමා කම්පාවට පත්වු බවත් සදහන් වෙනවා.
අනාගත පරපුර වෙනුවෙන් නිර්මාණ රැසක් කර ඉතිහාස ගතවු මේ අසහාය නිර්මාණ ශිල්පියාගේ අවසානය එලෙස ශෝකජනක අයුරින් නිමාවි තිබෙනවා.
එසේම රජුගේ මේ නියමය නිසා දේවේන්ද්‍ර මුලාචාරින් හා පිරිස මහනුවරින් පලාවිත් නමත් වෙනස් කරගෙන ලියන්වල ප්‍රදේශයේ සැඟව ජීවත්වු බවට මතයකුත් ඇත. උඩුනුවර අරත්තන ගමේ තිබු දේවේන්ද්‍ර මුලාචාරින්ගේ නිවස දැන් කඩා වැටි ඇති බවයි දැනගන්නට ඇත්තේ. ඔහු පාවිච්චි කරපු ළිඳ, ‍පඩිපෙළක් ,නිවසේ තිබ‍ූ විශාල කුරහන් ගලක් ඉතිරිව තිබෙනවා. ඒ වගේ ම ඔහුට රජවරුන්ගෙන් ලැබුණු සන්නස් තවමත් ඒ පරපුරේ අය ළඟ සුරක්ෂිත තිබෙන බව සදහන්.
.
ධර්ම ශ්‍රි තිලකවර්ධන



A day in the life

2024-01-24

කපුටු සාත්තරේ ........



කොස් ගහේ අත්තකට වී නුඹ
කරව් කරලා කෑ ගහනකොට
අනේ අම්මප බයක් දැනෙනව
නෑයො එනවා කියනවද ඔය..

පුංචි සන්දියෙ මහගෙදර අර
සපු ගහේ ඉඳ කරව් කරලා
අත්තම්ම ගෙන් විසුමක්ම නෑ ......
ගෙවල් අස් කරලා දාන්නලු

දර වතුර කුස්සිය ට ගන්නලු
පොල් අත්ත වගෙ මිදුල අතුගා
තියෙන්ටම ඕනෑලු උන්දැට .
ලොක්කි ,ඒ වැඩවලට දස්සයි

මමයි දොර රෙදි අලුත් කෙරුවේ.
නෑයො එන සලකුණු කියන්න ට..
කලු කපුට හරි දස්සයා ලු නෙ.
තාත්තා කිරි පැණි ගෙනේවී

අටුවෙ වී මල්ලක් කෙටේවී
කිරි කොසුයි බල මාලු ඇඹුලයි
තවත් රස මසවුලු හදාවී.
ගෙජ්ජි සද්දෙට දුවන් ආවම

ලොකු තාත්ත ල ඇටඹ ගහ යට.
බරට කදමලු අරං ඇවිදින්
කාක්කෝ.......උඹෙ සාත්තරෙ හරි .!
ඒ එදා නේ......අද වෙනස් බං

සාත්තර මට එපා අද නම්.
ගේ හරියෙ නෑ හාල් ඇටයක්
ලූණු පලුවක්.......හාල්මැස්සෙක්.
නෑයො ආවොත් මං කපෝතියි

සීනි බෝතලෙ හේදුවා අද .

රෝ.සි.

2024.01.23.

වර්තමානයත් සමග ගලපනවිට ආගන්තුක සත්කාරයත් ජීවන වියදමට බරක් අපි පුංචි කාලෙ නම් මීට අවුරුදු පනහක් හැටකට ඉස්සර ආගන්තුක සත්කාරය සතූටක්. පිලිගැණීමට හේතුවක් . සාමය සමගියේ සංකේතයක් අදඒ් සියල්ල සිදී බිදී ගිහින් . තනිවෙලා හිරවෙලා අසහනයට පත්වෙලා..

කපුටු සාස්තරේ ගැනත් සදහන් නොකොලොත් අඩුපාඩුවක් . අපි පුංචි කාලේ කාක් කාක් කිව්වොත් කපුටෝ දහයක් දොළහක් අපි වටේ රොක් වෙනවා. ඒ්ත් අද කපුටු ගහනය බිංදුව වෙලා. ඉදහිට දකින කපුටු ජෝඩුවක් විතරයි ඉන්නේ.. මෙයාලට තාමත් බබාලා නැද්ද කොහෙද ?. ගොවිතැන් සදහා කෘෂිරසායන භාවිතය නිසා වෙලා තියෙන හාණිය. නෑදෑයෝ එයීද කියලා කොහොමද දෑන ගනන්නේ ?
SMS එක ඒ රාජකාරිය බාර අරන්.
සතුන් හොද සංනිවේදකයන්. සුනාමිය කලින්ම දැනගත්තේ සතුන්. ඒයාලගේ පණිවිඩය අපි හදුනාගත්තේ නැහැ.පැරණි ගොවි පරපුර කාලගුණ අනාවැකි අකුරට කිව්වේ සතුන්ගේ හැසිරීම් රටාවෙන් .
ඒ්වා ගැන අපේ පරපුරු හැදෑරීමක් නැහැ
කාලගුනය චන්ද්‍රිකාවලට බාරදීලා.

කපුටු කාක් දේශපාලන වේදිකාවේ 
අපි ගොරක දේන් දේන් 
කිය කියා බලා ඉන්නවා.

notes of imaginary

2024-01-23

කුණුහරුපෙට පෑනෙන් ඇන්නා

notes of imaginary "

 

















බණ්ඩා, උක්කුවා, සිවලිංගම්,
කාදර්...
මුන් ටික හතරෙ පන්තිය කෙරුවා
චාටර්...
තීරණයක් අරන් විදුහල්පති
පීටර්...
දැම්මා උන් හදන්නට 'මොළගොඩ' ටීචර්...

"අද සිට මටයි උඹලගෙ පන්තිය බාර...
කෙරුවොත් වැරදි, දෙනවා
වේවැල් පාර...
හතරේ ඉන්න ජඩ, නරි
පැටවුනි මාර...
හදනව නැතොත් මකනව
එකෙකුන් නෑර..."

"පළවෙනි පාඩමට 'පරිසරයයි
ගන්නේ...
ඕන ම ගැටලුවක් ඇතිනම්
විමසන්නේ...
අපි පරිසරය ගැන දැනගත
යුතු වන්නේ...
බැරි දේ කියාදෙන්නයි ගුරුවරු ඉන්නේ..."

හතරේ වුණත්, ඒ පැටවුන්
යක්කු වුණේ...
පළවෙනි පැනය විමසන්නේ
උක්කුවනේ...
"ගැහැනුන් හා පිරිමි මැවුවේ
මොක්කු අනේ...?
පිරිමින් හට මොකට, කිරි නැති කුක්කු තනේ...?"

ඇරඹෙනකොට ම පැන විමසුම
මුල හරිය...
සිවලිංගම්ගෙ පැනයත් පිළිතුරු
බැරි ය...
"බඩ මැද 'සින්න ඉල්ලෙයි' හිලකි ය, 'පෙරිය'...
මොකටද ටීච, මැවුවේ ෂාමියො
බුරිය...?"

ඊළඟ පැනය විමසයි කෙළවර
බණ්ඩා...
ඒකා තමයි කොල්ලන් අතරින්
දණ්ඩා...
හූනා වගේ හිටියට මහ
ඇනකොන්ඩා...
"ඇයි පිරිමින්ට විතරක් මැවුවේ ජු..............?"

'මොළගොඩ' ටීච පිළිතුරු බැරුවයි
උන්නේ...
බේරෙන මගක් නෑ උගුලෙන් ළමයින්නේ...
"යකුනේ, තොපි නරක වචනයි
දොඩවන්නේ...
දැනගනියවු !! තොපිට මම
දඬුවම් දෙන්නේ..."

"මම ගිය වෙලාවෙදි අද
ටොයිලට් එකට...
පස්සෙන් ඇවිත් උක්කුව අඩියට දෙකට...
සත්තයි ටීච, ගැහුවා
කකුළෙන්  පු............
හතරේ පන්තියට මුන් වගෙ උන් මොකට..?"

"තව කියනවද බොල, තොපි ඔය කැත වචන...?
ඕවා කුණුහරුප බව
ඉන්නේ නොදැන...
දණගහපියවු !! අවුවේ
ඩාදිය දමන...
හිටපිය ගිහින් එන්නම් වේවැල රැගෙන..."

කාදර් නැගිට පන්තියෙ පිටුපස ඉන්නා...
දන්නා බසින් ටීචට පිළිතුරු
දුන්නා...
"මං 'කුණුහපර' නොකියා පාඩුවෙ උන්නා...
මූ මගෙ 'කුණුහපරය'ට පෑනෙන් ඇන්නා..."

සැරවැර වෙන්න හැදුවට
මොළගොඩ ටීචර්...
ඒවා බොරු ය, හතරේ
පන්තිය චාටර්...
පන්තියෙ නොසණ්ඩාලයො
දැම්මෙම යෝකර්...
වෙන පන්තියක් දුන්නා
ටීචට පීටර්...🫢🫢
------------------------------------------------
-ප්‍රියංජිත් බාලසූරිය
 (2024.01.22)

2024-01-22

රදල රෙද්දක හුජ්ජ පැල්ලම්.........



මඟුල් මඩුවේ වළං පිඟන් සේදූ දාසයෙකුගේ
ඇසින් දුටු සාක්ෂිය නොහොත්
‍රදල රෙද්දක හුජ්ජ පැල්ලම්.........

කන්ද උඩරට දන්ත ධාතුව
පංච සීලය වඳිමිනා
එදා අටසිය පහළොවෙත් මං
දාසයෙක් සේ කැපවුණා

කන්නසාමිට කන්නසාමිට
දොන්ත දොමිකිට කියමිනා
කන්ද උඩරට පොන්ත ගිවිසුම
කුංචනාදෙන් ඇවිලුණා
 
ලොන්ත නිලමේවරුන් අළු යට
අඟුරු ටික තලුමරමිනා
කන්නසාමිගෙ බෙල්ල හිරකොට
තොණ්ඩු අඹරා ඇඹරුණා

සුද්දගේ ලොම් ඩිංග අද්දර
තප්පුලන පරයන් දිනා
ඇස් පනා පිට පත්තුවී ගිය
ගින්දරෙන් මං පිච්චුණා

එංගලන්තේ ජෝර්ජ් පප්පගෙ
කිරීටේ බල පෙන්වනා
බින්න බහිනා ගිවිසුමක් යට
කන්ද උඩරට යටවුණා

මඟුල් මඩුවේ වහල හොල්ලන
අස්ප කුර හඬ මතුවුණා
දවුල් බෙර සක් උදම් සද්දෙක
උගුල් ගිවිසුම්ගත වුණා

උගත් මල්වතු සේ ම අස්ගිරි
උසස් යතිවරු සමඟිනා
මොහොට්ටාලල මුලාදෑනිලා
පහත් වී තැන්පත් වුණා

තීන්දුවකින් තීන්දුවකට
වාන් දමනා වේදනා
ජෝන් ඩොයිලිගෙ හීන් නූලක
චූන් එක උඩ පාවුණා

තුවක්කු ද බයිනෙත්තු හිටගෙන
කුලප්පුව උඩ කැරකුණා
බුලත් විට කන මටත් ඇප නැත
මඩිස්සලයට කෙළවුණා

දනිස් වෙව්ලන ප්‍රභූවරු ටික
හුඹස් කටවල් අරිමිනා
විරිත්තනකොට රෙද්ද පල්ලෙන්
හැබැයි සුළුදිය බේරුණා

රට්ටු පාවා දීපු උන්ගේ
හක්කෙ බුදුරැස් මතුවුණා
පස්ස පැත්තට වස්තිකරගෙන
බොක්කෙ ගෙරි මස් දියවුණා

ලැජ්ජ බය උඩ ගෙජ්ජි බැඳගෙන
රට්ටු නටවන නැකතිනා
අම්මපල්ලා කජ්ජ පුහුලම
හුජ්ජ බරට ම රතුවුණා

ඉස් මුදුන් උඩ තුප්පොට්ටි බැඳ
රදල පිරිවර කැරකුණා
සුද්දගේ මස් කටු උරන්නට
බත් නොකෑ උන් වටවුණා

විද්ද වෙඩි සැර කාපු විරුවන්
සද්ද නොකර ම වැළලුණා
රෙද්ද උස්සන රදල බැලයන්
සුද්දගෙන් හුරතල් වුණා

අත්සනක් යට අත්සනක් යට
කප්පරක් ගින්දර උනා
හත්තිලව්වයි රදල රෙද්දක
හත්තිලව්වයි රදල රෙද්දක
හත්තිලව්වයි රදල රෙද්දක
හුජ්ජ පැල්ලම් මතුවුණා

පසුව ලියමි...........
වැඩ ඇරී මං ගෙදර එනකොට
හීන් අඩියක් ගේනවා
එදා මං දුටු හුජ්ජ පැල්ලම්
අදත් හැබැහින් පේනවා

කුමාර හෙට්ටිආරච්චි
notes of imaginary

2024-01-21

සහජීවනය


ඒ මට මතක විදියට අසූව දශකයේ මුල් බාගයේ මගෙ හිතවත් අයියා කෙනෙක් හිටීය කැළණි විශ්ව විද්‍යාලයේ උපාධියක් හදාරමින් .
එයා එක දවසක් කිව්ව කැම්පස් එකේ ව්ක්ටර්ගෙ ස' පෙන්නනවා කියල .කෙසේ හෝ පහුවෙනිදා ඒ ගැන අහද්දී එයා දීපු උත්තරේ තමයි ".නියමෙට ගියා මල්ලි හැබැයි පටන් ගැන්මෙයි ඉවර වෙද්දි යි " අපි ඔක්කොම රජවරු " කියන කොට හූව දැම්ම.අනික් ඒවට නම් කන පිරෙන්න් අත්පුඩියයි ව්ෂිල් පාරයි"කියල.එදා ඒක මට ගානක් නොවුනත් දැනුම් තේරුම් තියෙන වයසට එනකොට මට මේ සිද්දිය ගළපා ගන්න උනා තවත් සිද්දියක් එක්ක.

ඒ 1974-75 කාලෙ .ව්ක්ටර්ගෙ ස ඉහලම ජනප්‍රියත්වයෙන් දිවයින පුරා ප්‍රදර්ශනය වෙනවා.ඔය වෙනකොට යාපනය ව්ශ්ව ව්ද්‍යාලයේ සිංහල අංශයට පත් වෙලා එනවා මහාචාර්ය සුනිල් ආරියරත්නයන්.යාපනයේ අන්තිම සිංහල දිසාපති උන ලයනල් ප්‍රනාන්දු මහතාගේ සේවා කාලය .එතුමා ප්‍රවීණ කළාවේදිනි සෝමලතා සුභසිංහ මහත්මියගේ දයාබර සැමියා .මේ කට්ටිය එකතු වෙලා ස ප්‍රසංගය පෙන්නනවා යාපනය ව්ශ්ව ව්ද්‍යාලයේ .යාපනයේ කලාකාමී ජනතාව කෙතරම් ආදරයෙන් ප්‍රසංගය වැළඳ ගත්තද
කියනවානම් ශාලාව අතුරු සිදුරු නැතිව පිරිලා.සමහර උපකරණ (බෆල් සෙට් වගේ )
අයින් කරනවා ඔවුන්ට වාඩිවෙන්න ඉඩ හදන්න.හැබැයි එක දෙකක් උනා.එයල එදා අපි ඔක්කොම රජවරු සිංදුවට හූ තිබ්බේ නෑ .

සිංදුවෙන් සිංදුවට අත්පුඩි ගැහුවා .ව්ශ්ව ව්ද්‍යාලයේ පාලකයන් වේදිකාවේදී කිව්වේ මේ ඇහෙන සංගීතය අපේම ජීවන සංගීතයයි කියල .
ලයනල් ප්‍රනාන්දු මහතා යාපනයේ රාජකාරි කරන කොට එතුමාගේ මෑණියනුත් වාසය කර තිබෙන්නේ එතුමත් සමගම යාපනයේමයි.අවාසනාවකට එතුමිය ජීවිතයෙන් සමු ගත්තම දිසාපති පුතුනුවන් දැන් අවසන් කටයුතු කරන්න දේහය කොළඹට ගේන්න හදන කොට යාපනයේ ජනතාව මොකද කියල තියෙන්නේ ?
"සර් අම්මා හිටියෙ මෙහෙ අපිත්
එක්ක.ඔබතුමාට වගේම එතුමිය අපිටත් අම්මා කෙනෙක් .ඒක නිසා දේහය කොහේවත් ගෙනියන්න එපා . යාපනයේම භූමදානය කරන්න කියල.

මේ සිද්දියත් ඊට ආසන්න කාල වකවානුව කදී සිදු උනේ.එවකට අගමැතිණි සිරිමාවෝ මැතිණිය යාපනයේ සංචාරය කරනවා යාපනයේ විශ්ව ව්ද්‍යාලයේ ව්වුර්ත කිරීමේ උත්සවයකට .එය සංවිධානය කරන්නෙ එවකට යාපනයේ නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා මහතා .අගමැතිණිය පිලිගන්නට එදා යාපනයේ ජනතාව සූදානම් කරලා තිබුණේ හරිම සංවේදී ආකාරයකට .ඉතා දිග කොණ්ඩා තිබුණු තමිල් කාන්තාවන් පේළි දෙකකට බෙදිලා බිම ඇන තියාගෙන.

ඔවුන්ගේ කෙස් වලළු බිමට දාගෙන පලසක් වගේ හදල තියෙනවා මැතිණියට ඒ උඩ්න් ගමන් කරන්න කියලා.එතුමිය ඉතා සුහදසීලීව එම ආරාධනය ප්‍රතික්ෂේප කලාලු.යාපනයේ ජනතාව කවදත් මැතිණිය හදුන්වනු ලබන්නේ අම්මා කියල .දෑවැදි ප්‍රශ්නය ඉතා උග්‍ර ව තිබුණ යාපනයේ පලාතේ පියවරුන්ට දෑවැදි හොයාගන කරදරයක් නැතුව තම දූවරුන් ව්වාහ කරලා දෙන්න මැතිණියගේ වගා සංග්‍රාම වයාපාරය ඔවුන්ට ලොකු පිටුවහලක් වුනා කියන එදා හරි ජනප්‍රිය කතාවක් .1982

ජනාධිපතිවරණයේදී කොබ්බෑකඩුව මහත්තයව අල ලුණු මිරිස් වලින් හදපු මාලයක් දාල පිළි අරගෙන එතුමව ජයග්‍රහණය කලේ මුළු දිවයිනෙන්ම යාපනයේ ජනතාව පමණයි.ඒ අවුරුදු ගනනාවක් ගිහිල්ලාත් ඔවුන්ට අතීතය අමතක නොවුණු නිසා වෙන්නැති .
ඊටත් බොහොම කාලෙකට පස්සේ කස්ටම් එකේ අපේ අයියා කෙනකුට මාරුවක් ලැබෙන වා ත්‍රිකුණාමලය වරායට.එයා ටිකක් පිච්චර් පිස්සා.ඔය කාලෙදී එහේ චිත්‍රපට හෝල්වල පෙන්නුවේ "නීල කඩලින් ඕරිත්තිලයි"කියන චිත්‍රපටය .නම එහෙම උනාට මේකේ ප්‍රධාන චරිතය රගපෑවේ සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා මහත්තයා .පලාතේ ඒ වෙනකොටත් මතු වෙමින් තිබුණු අසහනකාරී තත්ත්වයන් උඩ අපේ අයියා දැන් බොහොම කුතුහලයෙන් බලා ඉන්නවා ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද වේව්ද කියල ගාමිණිට.ගාමිණිගේ රුව තිරයේ දිස්වුනා විතරයි නැගී ආ ව්ශිල් හඩ හා අත්පොලසන් නාදය අපේ අයියා කවදාකවත් දකුණේ හෝල් එක්කින් අහල තිබුණේ නෑ.

එහෙම දයාවෙන් කරුනාවෙන් සලකපු ජාතියක් ඊට අවුරුදු හතරකට පහකට පස්සේ
වෛරයේ අවි ඔසවා ගත්තෙ කොහොමද කියන එක මට නම් අදටත් ගැටලුවක් .පිටස්තර බලවේග මේ පිටිපස්සෙ හිටිය කියල හිතෙන්නේ කවදත් ඒ සහෝදර ජනතාවගෙ හදවත් තේරුම් ගැනීමේ හැකියාව මට තිබුණු නිසාමයි.

මේ 1989 90 වසර .මම සේවය කළේ කොලඹ ඉන්දියානු බැංකුවේ .අපේ බැංකුවේ මිතුරියක් ව්වාහ උනා .උත්සවය තිබුණේ යාපනයේ චුන්නාකම් වල.ඉන්දීය සාම හමුදාව යාපනයේ ඉන්න කාලෙ .යාපනයේ මිතුරෝ මට අරාදනා කරනවා යමු යාපනයේ කියල .හිතේ තිබුණු ආශාවට මාත් ඔවුන් සමග ගමනට එක් උනේ ගෙදරට අනුරාධපුරයේ යනවා කියල .දැන් මං විතරයි එකම සිංහලයා .මමත් තමිල් යාළුවෝ එක්කම ව්වාහ මංගල උත්සවයට සහභාගි වෙලා සද්ද නැතුව ඉන්නවා.දැන් දිවා බෝජන වේලාව .සැවොම බිම වාඩ්වෙලා කෙහෙල් කොලේ බත් කනවා පට්ට රසයි .ඊලගට පායාසම් බෙදනවා.මං කාපු පායාසමක් නෑනෙ.

මම ඇගිලි වලින් බත් කනවා වගේ පායාසම් කන්න හදනවා .කොහෙද පායාසම් ඇගිලි අස්සෙන් පයිනවා.ඇගිලි එකට තියලා හැන්දෙන් ගන්නවා වගේලු කන්න ඕනෑ .කවුද දන්නෙ ?
මේක බලන් හිටිය කෑම බෙදපු තරුණයෙක් .වේට්ටිය ඇදලා ටිකක් හැඩි දැඩි පෙනුම .හයියෙන් හයියෙන් ආව මං ලගට.මං ලග හිටිය තමිල් යාළුවාගෙන් අහනවා මෙයා සිංහලද කියල .මගෙ පපුවත් ට්ක ටික ගැහෙනවා.මිතුරත් අසරණ ව මූනෙම්ම පිලිතුරු දුන්නා.ආපු තරුණයා හයියෙන් කතා කරනවා.කාටද ව්ධානයක් දෙනවා .මං දැන් දෙයියෝ සිහිකර ගන්නවා .යන්තම් තේරුණේ සිංහල මුනියා කියල කියනවා විතරයි .මෙන්න බොලේ තරුනයෙක් එනවා හැන්දක් අරන්.තව තරුණයෙක් එනවා වතුර අරන්.අරයා කියල තියන්නෙ මෙයා සිංහල කෙනෙක් .පායාසම් කන්න හැන්දක් දීලා වතුර ටිකක් දෙන්න කියල .
එයාගෙ කටේ සද්දෙට මගුල් ගෙදර හැමෝම මං ලගට ආවා.මනාළ ජෝඩුව ගැන දැන් එයාලට නිනව්වක් නෑ.දැන් සමහරු මට බත් සෝරු බෙදනවා .සමහරු මෝරු,රසම් බෙදනවා .මට කන්නත් බෑ.

උත්සවය ඉවර වෙලා අපි බස් එකක් ගන්න හංදිය ට ආවා.දැන් යාලුවො ටික වෙච්චි සිද්දිය ගැන කතා වෙනවා .බස් නැවතුමේ අසල තිබුණු කඩයක මුදලාලි පුටුවක් අරං ඇවිත් කඩේ හෙවනකින් තිබ්බා.එයා යාළුවන්ට කියනවා සිංහල එක්කෙනාට වාඩිවෙන්න කියල .එයා කොලඹ පිටකොටුවේ කඩේක ඉස්සර වැඩ කරලා තියෙනවලු.මම හොඳට වාඩ්වෙලා එයත් එක්ක කතා කරන කොට අනික් යාළුවෝ ටික බස් එකක් එනකල් අව්වෙ කර වෙවී හිටිය .

අපි නැවත කොලඹ එන දවස උදාවුනා.කොලඹ දුම්රිය පටන් ගන්නෙ කන්කසංතුරෙන්.අපි යාපනයේ ඉදලා KKS යනවා .හවස නිසා වැඩි සෙනඟකුත් නෑ.අපිත් නිදහසේ කතා කර යනවා .මගෙ පහසුවට යාළුවෝ සිංහලෙනුත් කතා කරනවා .බස් එකේ හිටපු අම්මෙකුයි තාත්තෙකුයි එයාලගේ පොඩි දුවට (වයස අවුරුදු දහයක් විතර ඇති )
මාව පෙන්නනවා "සිංහල සිංහල "කියල .

දැන් අර පොඩි ළමයත් මාත් එක්ක හිනාවෙනවා.මං එයාට අත වනනවා.බස් එක KKS ලගාවන කොට අපි හරි යාළුවෝ .හැබැයි එක වචනයක්වත් කතා කරල නෑ.බස් එක ස්ටෑන්ඩ් එකට ලංවෙලා බහින්න කිට්ටු වෙනකොට ළමයා අම්මට මොකද්ද කියලා එයාගෙ මල්ලෙන් මිදි අහුරක් අතට ගන්නවා .ඒ කාලෙ යාපනයේ මිදි වාරෙ.මම බහින්න හදන කොටම එයා මගෙ ලගට ඇවිත් මිදි අහුර දීලා ආපසු අම්මා ලගට දුවගෙන ගියා .මිදි පොකුර මගෙ අතේ හිරවෙන කොට මගෙ දෑස් කදුලු වලින් තෙත් වෙලා.
එයාට ස්තුති පූර්වකව අත වැනුවත් ඒ රුව බොද වෙලයි පෙනුණේ .
මේ මම මගේ ජීවිතයේ ලබපු ඉතාම වටිනා කිසිදා අමතක නොවන උතුම්ම ‍තිලිණයකි.

බන්දුල පෙරේරා

notes of imaginary

2024-01-20

පත්තිනි - අතුරු කතාවක්


 


කෘෂිකර්ම සශ්‍රීකත්‍වය ගම්වාසීන්ගේ රෝග නිවාරනය වෙනුවෙන් පත්තිනි දෙවියන්ගේ පිහිට පතා කරනු ලබන ශාන්ති කර්මයට පහන් මඩු උත්සවය ලෙසින් හැදින්වෙනවා. අපේ ගමෙත් පත්තිනි දේවාලයක් තියෙනවා. මෙම දේවාලයට අවුරුදු දෙසියක පමණ ඉතිහාසයක් පවතින බවයි පැවසෙන්නේ.මෙම දේවාලයේත් වාර්ෂිකව පහන් මඩු උත්සවයක් පවත්වනවා.

අතීතයේ සිට පැවතෙන මෙම චාරිත්‍ර විධි ගම්මඩුව,දෙවොල් මඩුව,පූණ මඩුව,මල් මඩුව,ගිණිමඩුව,ගරා මඩුව ආදී වශයෙන් ප්‍රෙද්ශයෙන් ප්‍රදේශයට විවිධ නම් වලින් හදුන්වනවා.ඒ වගේම මෙම උත්සවය පවත්වන ආකාරයේද සුළු සුළු වෙනස් කම් දක්නට ලැබෙනවා.
“ මඩුව ” යන්න මණ්ඩපය යන්නෙන් අරුත් ගන්නනවා.
මේ යාතු කර්මයන් ද අපිට ඉන්දියාවෙන් ලැබුන ආභාෂයක්. ලංකාවේ දෙවෙල් මඩු ආරම්භය පිලිබද පුරා වෘත්තය මෙසේ පැවසෙනවා.

ඉන්දියාවේ චෝල රාජ්‍ය කාලයේ “සේරනාම් ” නම් රජුගේ උයනට ගෝනෙකු එන සිරිතක් තිබුනා මේ ගෝනා උයන පාළු කරන බැවින් රජු තම හේවායින්ට අණ කලා ඌ මරා දමන්නට.
හේවායින් ගෝනා අඹා යන විට ඌගේ පය පැකිලී අසල තිබු පොකුනට වැටී මරණයට පත්වෙනා. මෙම ගෝනා ගැබ්බර අවස්ථාවේ සිටි සතෙක්.අධික වේදනා විද රජු කෙරෙහි වෛරී සිතිවිල්ලෙන් ඈ මියයනවා.
මියගොස් එම උයනේ පොකුනේම මැඩියෙක්ව නැවත ඉපදෙනවා.

දිනක් රජතුමා උයන් කෙළියේ පැමින මෙම පොකුන අසලට එනවා. පොකුනේ පිපි මානෙල් මලක් නෙලා ගෙන සුවද ආග්‍රාරනය කරනවා.ඒ අවස්ථාවේ මැඩියා මල යට රිංගාගෙන සිට,රජුගේ නාසයට විෂක් නිකුත් කරනවා.
මේ හේතුවෙන් රජුට දරුණු හිසරදයක් ඇතිවෙනවා.මොනතරම් පිලියම් කලත් හිසරදය සුව නොවු රජු පීඩාවට පත්වෙනවා. රජතුමා දිනක සිහිනයකින් රුමත් කන්තාවක දකිනවා.

ඒ බව පසුදින තම පුරෝහිත බමුනාගෙන් මෙම සිහිනයේ අරුත විමසු කල ඔහු පිළිවදන් දෙන්නේ සිහිනයෙන් දුටු කාන්තාව පත්තිනි දේවිය බවයි.
ඇගේ සාපයකින් හිසරදය වැළදී ඇති බැවින් නිර්මල බුද්ධ ශාසනයත් සතර මහා දේවාලත් ඇති රටකට ගොස් දින හතක් දුගී මගී යාචකයින්ට දන් දී පත්තිනි දේවියට පිං පැමිණිය යුතු බවට පුරෝහිත බමුනා උපදෙස් දෙනවා.

මීට සුදුසුම රට ලංකාව බව පුරෝහිත බමුනා රජුට සැල කිරීමෙන් පසු රජු වත්තලින් මේ රටට පැමිනෙනවා.පලමුව කැලණියට ගොස් බුදුන් වැද රුවන්වැල්ලේදී දෙවොල් මඩුවක් කර පත්තිනිදේවියට පිංපෙත් දුන් බවත්, එදා පටන් රජුගේ හිසරුදාව සුව වු බවත් පැවසෙනවා.


notes of imaginary

2024-01-19

තාත්තා ගේ මරණය



ඔක්සිජන් ටැංකි යේ බලයෙන් හුස්ම ආයෙත් වැටෙන වා
පොරෝණාවේ ඉරුණු තැනකින් හීතලේ මට
දැනෙනවා
මා බලන්නට නාවෙ ඇයි තව ගින්දරෙන් හිත
තැවෙනවා
මයෙ පුතේ උඹ රූප පෙට්ටි යෙ ඉන්න වග නම් පේනවා .

ලේලි නාවත් කවුරු හරි අත සුප් එකක් හෙම
එවනවා
ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙ නැති මුත් බෙහෙත් ටික මට 
ලැබෙනවා
පුංචි සන්දියෙ උරහිසේ උඹ නිදාගත් හැටි
මැවෙනවා
අම්ම හීනෙන් ඇවිත් හෙමිහිට ,මගේ හිස
අතගානවා.

වෙන්කළා කිව් මහලු මඩමේ සල්ලි ටික ආපහු
ගනින්
එපා කරදර වෙන්න මින්පසු ,බරක් වෙන්නේ නෑ 
ඉතින්
අම්ම නිදියන සොහොන පාමුල ,පොඩි ඉඩක්තියෙනව 
ළඟින්
හෙටම යන්නම්,ඇදල දාලා මේ බටේ නාහෙන්
හොරෙන් .

රෝ.සි.
2024.01.16.

notes of imaginary

2024-01-18

සබරගමුවේ පුරාණ නින්දගම්



පුරාණ ලංකාවේ රදළයන් සතුව තිබූ ඉඩකඩම් හැඳින්වෙන්නේ නින්දගම් ලෙසය. ලංකාවේ වැඩිම නින්දගම් ප්‍රමාණයක් තිබූ ප්‍දේශය ලෙස සබරගමුව සැලකේ. රත්නපුර දිස්ත්‍රික්කයම නින්දගමක් ලෙස හැඳින්වුවද එහි වැරැද්දක් නැත. මේ නින්දගම්වල ජීවත් වූ ප්‍රභූවරුන් සහ ඔවුන්ට මෙහෙ කළ ජනපදවාසීන් අතර තිබූ සංස්කෘතිකාංග කිහිපයක් අදටද ජන සමාජයට ආගන්තුකය. 
දික්ගෙයි නැටුම එදා වලව් සමාජයේ තිබූ එවැනි නර්තනයකි. වලව්වාසී ප්‍රභූවරුන් සතුටු කිරීම සඳහා නින්දගම්වාසී කාන්තාවන් මෙම නැටුම නටන්නේ උඩුකය නිරුවත්වය. එය අද ඇතැම් ඉහළ පෙළේ හෝටල්වල සිදු කෙරෙන කැබරේ නැටුමට සමානය.

සබරගමුවේ ප්‍රධානීන් 13 දෙනකුට නින්දගම් ලැබුණේ මාතර කටුවන තිබූ ලන්දේසි බළකොටුව වටලා විනාශ කිරීමේ ජයග්‍රහණය වෙනුවෙනි. උඩරට රාජ්‍යයට අයත් සීමාවේ පිහිටි එකම ලන්දේසි බළකොටුව වූයේ මෙම කටුවන කොටුවය. අනෙක් සියලුම ලන්දේසි බළකොටු තිබුණේ පහත රටය. මේ නිසා කටුවන විනාශ කිරීම උඩරට මහ වාසලට අවශ්‍ය වී තිබුණත් එයට නිසි නායකත්වයක් ලබාදී සටන මෙහෙයවීමේ හැකියාවෙන් යුතු රණකාමී නිලමේවරුන් උඩරට හමුදාවේ සිටියේ නැත. මේ නිසා රාජසිංහ රජ්ජුරුවන් සිටියේ බලවත් කනගාටුවෙනි. සබරගමුවේ ප්‍රභූවරුන් පිරිසක් කටුවන කොටුව වටලා පහරදීමට තීරණය කරන්නේ මේ අතරවාරයේය.

කටුවන සටන යනු සිංහල රාජ වංශයේ අවසන් ජයග්‍රාහී සටන විය. මෙම සටනට කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ ආශිර්වාදය ලැබූ මුත් රජතුමා සටනට සහභාගි වූයේ නැත. ඒ වෙනුවට රජතුමාගෙන් ලැබුණේ තම ආශිර්වාදයත් දිසාවේලා දෙදෙනකු සහ භට පිරිසකුත්ය. මෙම සටනට සබරගමු ප්‍රභූවරුන් යටතේ පන්දහස් පන්සියයක හමුදාවක් ද දකුණු පළාතෙන් තිස් දහසක හමුදාවක් ද සහභාගි වූ බව කියැවේ.

දිගු සටනකින් පසු සටන ජයග්‍රාහීව අවසන් විය. එහි සිටි ලන්දේසි හමුදාව සමූල ඝාතනය කළ සබරගමු හමුදාව මාතර දිසාවේ පිහිටුවා තිබූ සෙසු ලන්දේසි බළකොටු වූ හක්මන, මාතර, මාර කඩේ ආදී මාතර සියලු ලන්දේසි බළකොටුවලටද පහර දුන්හ. ලන්දේසීන් දිවි බේරා ගත්තේ මාතර කොටුවට ඒකරාශිවීමෙනි.

මෙම ජයග්‍රහණයෙන් පසු කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ලන්දේසි බළකොටු බිඳ දමා එම ප්‍රදේශ තම රාජ්‍යයට ඈඳා දුන් සබරගමු ප්‍රධානීන් දහතුන්දෙනා කන්ද උඩරට මහ වාසලට කැඳවා ගරු බුහුමන් දක්වා ගම්වරද පිරිනැමීය.

ඔවුන්ට නිලමේවරුන් ලෙස උසස්වීම් ද පිරිනමා රාජකීය වරප්‍රසාද ද පිරිනැමීය. රාජකීය වරප්‍රසාද යනු රජකු ජීවත්වන ලෙසම ජීවත්වීම සඳහා නිලමේවරුන්ට ලබාදෙන අවසරයයි. රජු වෙනුවෙන් අයබදු අයකිරීම, නින්දගම් පාලනය කරමින් රජු වෙනුවෙන් අවශ්‍ය වේලාවට සටන් සඳහා සේනාංක කැඳවාගෙන ඒම, ජීවත්වීම සඳහා උළු සෙවිලි කළ වලව්වක් ඉදිකර ගැනීම ඒ රාජකීය වරප්‍රසාද අතරට ඇතුළත් වෙයි.

රජවාසලට ගිය නිලමෙලාට උණුසුම් පිළිගැනීමක් රජතුමාගෙන් ලැබිණි. එතෙක් සතුරා සමග සටන් කර හෙම්බත් වී සිටි කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජ්ජුරුවන් ලන්දේසි බළකොටුවක් අල්ලා ගත් නිලමෙලා පිළිගත්තේ උණුසුම් ලෙසය. මඩුවන්වෙල දිසාවේ තමන් කළ සටන විස්තර කරමින් රජතුමා නොමැතිව සටනට යෑම ගැන රජතුමාගේ සමාවද අයැද සිටියේය. රජතුමා සටනට ​ෙස්නාව එව්වා වුවත් රජු නොමැතිව සටන් කිරීම රාජ උදහසට ලක්විය හැකි හේතුවකි.

පළමු වරට තමාගේ සංවිධානයකින් තොරව නිලමේවරුන් පිරිසක් එක්ව සතුරු බළකොටුවක් අල්ලාගෙන ඇත. එම බළකොටුවේ සිටි සියලු ඕලන්ද සතුරන්ද මරා දමා එහි සිංහල කොඩිය ඔසවා තිබේ. උඩරට රාජධානියට අයත් කටුවන නමැති ප‍්‍රත්‍යන්ත දේශය සතුරාගෙන් මුදාගෙන උඩරට කිරීටයට යළිත් ලබා දී තිබේ. මෙය නම් මහත් වීරකමකි. 
‘‘හහ්.. හහ්.. තමුන් එහෙනම් තනියම සටනක් කළා.. ඈ..’’ රජතුමා රදළයන් දෙස බලා විමසුවේය.
“මගේ රාජධානියේ කවුරු වුණත් කමක් නෑ සතුරු බළකොටු බිඳිනව නම් මං ගම්වර පුදනවා.. ඔව් ගම්වර පුදනවා..’’ රජතුමා හිස ඔසවා මහ හඬින් ගුගුළේය. 
ඒ හඬ අසහාය ය. කිසිදා කිසිවකුට යටත් නොවූ රණ හඬකි. කීර්ති ශ්‍රී රාජසිංහ යනු එසේ මෙසේ බලවතකු නොවේ. සතුරා බියෙන් මුසපත් කළ රණ ශූරයෙකි. නුඹලා වැනි වීරයෝ තමයි මගේ රාජ්‍යයට අවශ්‍ය.. මේ කළ වීර වික‍්‍රමාන්විත සටන වෙනුවෙන් මම අදම නුඹලා නිලමේවරුන් ලෙස ඔසවා තබනවා.. නුඹලාට ගම්වර පුදනවා.. මා මෙන්ම සතුටින් ජීවත්වීම සඳහා වලව්වක් සාදා ගැනීම සඳහා අවසරය දෙනවා..’’ රජතුමා එසේ කියද්දී රදළවරු ප්‍රීතියෙන් පිනා ගියහ.

ඉන්පසු උදාවූයේ රජතුමාගේ ලාංඡනය එබ්බවූ තඹ උළු කැටය බැගින් රදළවරුන් අතර බෙදාදීමය. එය රදළකමේ සංකේතය ය. සුදු හුණු කපරාරු කළ වලව්වක් තනා ගැනීමටත් තඹ උළු කැටය මැදිකර උළුවලින් වහලය සෙවිලි කර ගැනීමටත් එමගින් අවසර ලැබේ. නිලමේ හෝ මුලාදෑනි නොවන කිසිවකුට උළු වහලයක හිමිකම නැත. ඒ මොහොතේ සිට නිලමේවරුන්ට එම හිමිකම ලැබේ. 
එවක් පටන් නිලමේවරු හැම දෙනා සබරගමුවේ ප‍්‍රභූවරු වූහ. ඔවුන්ට ගම්බිම්ද වලව් සාදා ගැනීමේ අවසරයද ලැබිණි. මඩුවන්වෙල, ඇමිටියගොඩ, කිරිඇල්ල ඇතුළු නිලමෙලා රජුගෙන් තෑගි ලැබුණු තඹ උළු කැට තබා තම වලව් පිහිටුවා ගත්හ.
 
ඇමිටියගොඩ ගුණතිලක අලහකෝන් ද කටුවන ලන්දේසි බළකොටුවෙන් ගලවා ගෙන ආ ස්මාරක ඔබ්බවා වලව්වේ බිත්ති බැඳගත්තේය. කළුගල් පලා බිමට ඇතිරුවේ කිසිදා ගිලා නොබසින අංගණයක් වලව්වට උරුම කර දෙමිනි.
“ඇමටියගොඩ ගුණතිලක අලහකෝන් තමයි මෙසේ රාජසිංහ රජ්ජුරුවන්ගෙන් රදළයකු ලෙස වරප්‍රසාද ලබා ගත්ත අපේ මීමුත්තා. මේ රාජ අනුග්‍රහයයත් සමග සබරගමු පළාතේ වලව් 13ක් ඉදිකර තිබෙනවා. මෙම වලව් සඳහා රාජකාරි වැඩ ලේඛන ද පවරා තිබෙන බව බ්‍රිතාන්‍යයන් යටතේ 1870 ලියවුණු කොමසාරිස් ලේඛණයේ සඳහන් වෙනවා.” අම්මඩුව, කුඩා කතරගම දේවාලයේ බස්නායක නිලමේ උදය ඇමටියගොඩ මහතා සඳහන් කරයි. ඔහු ඇමටියගොඩ වලව්වේ වත්මන් හිමිකරුය.

මෙම කටුවන සටන කෙරුණේ එවකට සංඝරාජ ධුරය දැරූ වැලිවිට අසරණසරණ සිරි සරණංකර නාහිමියන්ගේ අනුශාසනා අනුවය. වේහැල්ලේ ධම්මදින්න නායක හිමියන්ගේ මූලිකත්වයෙන් පන්සීයයක භික්ෂු පිරිසක් ද කටුවන සටන් බිමට ගියහ. මේ මහා සංඝරත්නයට උපහාරයක් ලෙස සටන් දිනූ ප්‍රභූවරු තමන්ට ලැබුණු නින්දගම් තුළ විහාරස්ථාන ද ඉදිකළහ. ඇමටියගොඩ නින්දගම තුළ ඇමිටියගොඩ විහාරයද මඩුවන්වෙල නින්දගම තුළ මඩුවන්වෙල විහාරය ද ඉදිකරන ලදී.

එක්දහස් පන්සිය පහේදී පළමු යුරෝපීය හමුදා සෙබළා ගාලු වෙරළට පය තැබූ තැන් පටන් ලක්දිව පාලන රටාවද වෙනස් වන්නට පටන් ගත්තේය. ගැමියාගේ සිරිත් විරිත්ද රදළ පාලකයන්ගේ සිරිත් විරිත්ද අතරට අලුතෙන් ආ සුදු ජාතික පාලකයන්ගේ රටවල සිරිත් විරිත්ද මුසුවෙන්නට පටන් ගත්තේය. 

පැරණි ලක්දිව ඉඩම් හිමිකම පැවැතියේ දෙයියන් හෙවත් රාජ්‍ය පාලකයා අතය. රට වැසියන්ට තිබුණේ ‘දෙයියන්ගේ’ ඉඩම්වල තමන්ට ඉන්නට පැල්පතක් සාදා ගැනීමේ හිමිකම පමණකි. ‘දෙයියන්’ හෙවත් රජුගේ රාජ්‍ය පාලන නීති රීති රට වැසියන් වෙත ගෙන යන නිලමේවරුන්ට ‘දෙයියන්ගෙන්’ ලැබුණු ඉඩම් කොටසක් විය. මේවා නම් කෙරුණේ නින්දගම් නමිනි. ජනයා පදිංචිව සිටි ගම්බිම් පිටින්ම නිලමේවරුන්ට නින්ද හිමිකම් කොට පවරා දීම සිදු විය. එදා පටන් මේ ගැමියන් රදළ නිලමේවරයාට සේවය කළ යුතු විය. නින්දගම් වාසීන්ට තමා පදිංචි ඉඩමේ හිමිකමක් තිබුණේ නැත. එහි සම්පූර්ණ හිමිකම රදළ හාම්පුතා සතු වූ අතර නින්දගම්වාසීන්ට තිබුණේ තමාගේ ඉහට සෙවනක් ලබාදීම වෙනුවෙන් තම රදළ හාම්පුතාට සේවය ලබාදීමය. 
නින්දගම් යායක ඒ ඒ කුල සඳහා වෙන වෙනම ඉඩම් යාය වෙන්ව තිබිණි. වළං සාදන අය සඳහා බඩහැල ගොඩැල්ලද යකඩ තලන්නන් සඳහා ආචාරි ගොඩැල්ලද ආදී වශයෙනි. තමා පදිංචිව සිටින ඉඩමේ වළක් කැපීමට පවා නින්දගම් හිමියාගෙන් අවසර ගැනීමට ඔවුනට සිදුවිය.

දික්ගේ නැටුම නින්දගම් වාසී කාන්තාවන් කළ යුතු පුරාණ රාජකාරියකි. රදළයන්ගේ නේත‍්‍ර සංතර්පණය පිණිස නින්දගම්වාසී මාණික්‍ය මහගේ පවුල්වල ගැහැනුන් දික්ගෙයි නැටුමට පැමිණිය යුතුය. ඒ සඳහා හිලව්වට ගොඩ මඩ ඉඩම් කට්ටියක් නින්දගමෙන් ලැබෙයි. එම ඉඩම් කට්ටියේ ගෙපැලක් හදාගත හැකිය. ගොඩ ඉඩමේ ගොඩ ගොවිතැන්ද මඩ ඉඩමේ මඩ ගොවිතැන්ද කළ හැකිය. එහෙත් පොළොවේ වෙනත් කිසිම ඉදිකිරීමක් හෝ පොළොව හෑරීමක් හෝ කළ නොහැකිය.

දික්ගේ නටන්නේ මාණික්‍ය මහගේ පවුල්වල ගැහැනුන්ය. මාණික්‍ය මහගේ පවුල් හතර වරිගයක් සබරගමුවේ ජීවත් වූහ. සබරගමුව මාණික්‍ය මහගේ ඉන් එක් පිරිසකි. මේ පවුල්වල ගැහැනුන්ගේ සේවය සැපයිය යුතු වූයේ මහ සමන් දේවාලයටය. දේවාලයේ පෙරහරටත් පෙරහරෙන් පසු නිලමේවරුන් සන්තෝෂ කිරීමටත් මේ පවුලේ ගැහැනු නැටිය යුතුය. ඊළඟට එගොඩ කුට්ටමේ මාණික්‍ය මහගේලා ය. හුණුවල මාණික්‍ය මහගේලා සහ හිරිකත්දෙණියේ මාණික්‍ය මහගේලා ඉතිරි පවුල් දෙකය. මේ පවුල් හතරේ ගැහැනු උදවිය රත්නපුර දිසාවේ නින්දගම් හිමි ප්‍රභූවරුන් සඳහා නර්තනයෙන් තම සේවය සැලසිය යුතු විය. ඉතා රූමත් මෙම කතුන් ඉලන්දාරින් පමණක් නොව මහල්ලන් පවා වශීකරගන්නා සුලු ය.

ඇමිටියගොඩ සන්නසට අක්කර නවදහසක් අයත්ව තිබූ බව කියති. ඇමිටියගොඩ නින්දගමද පුරාණ රාජකාරි ක‍්‍රමයට අනුව හැඩ ගැසුණු ගංගොඩැලි ගණනාවකින් යුතු භූමි ප‍්‍රදේශයක් විය. වලව්වේ හිමිකාරයෝ අක්කර නව දහසක භුමියේ ජීවත් වන ගැමියන්ගේ ප‍්‍රධානියාය. ප‍්‍රධානියාට වඩා හිමිකාරයාය. ඔවුන්ගේ සියලු ආවාහ, විවාහ සිදු කෙරෙන්නේ වලව්වේ ප‍්‍රධානියාට පවසා ඔහුගේ අවසරය ලැබුණොතිනි.

ගෙවල් කීපයක් ඇති තැන ගංගොඩය. වලව්වක් වටා මෙවැනි ගං ගොඩැලි කීපයක් තිබේ. මේ ගොඩැලිවල ජීවත් වන අය බණ්ඩර හාංදුරුවන්ගේත් වලව්වේ හාංදුරුවන්ගේ හා ඩිංගිරි අප්පොලාගේත් ප‍්‍රයෝජනයට තමාගේ රාජකාරි ඉටු කර දිය යුතුය. වලව්වේ හාංදුරුවන් කියන්නේ බණ්ඩර හාංදුරුවන්ගේ බිරිඳය. ඩිංගිරි අප්පෝ කියන්නේ වලව් හිමිකරුගේ නැගණියන් හෝ දියණියන්ය. මේ කාට කාටත් අවශ්‍ය දේ ඉටුකර දීම නින්දගම්වාසීන්ගේ රාජකාරිය ය. නින්දගමක් යනු කුඩා රාජ්‍යයකි. යටත් වැසියන් පිරිවරා ගෙන සිටින රජකමට සමානය. 

සබරගමුවේ බිහිවූ මුල්ම වලව් දහතුනේම දික්ගෙයි නැටුම් කාමර තිබූ බව විශ්වාස කෙරෙයි. මඩුවන්වල වලව්වේ දික්ගෙයි නැටුම් කාමරය අදට ද සුරක්ෂිතව පවතී.
දික්ගෙයි නැටුම් නැරඹීම වලව්වේ ප්‍රභූවරුන්ගේ වරප්‍රසාදයකි. බාහිර පුද්ගලයන්ට එය නැරඹීම තහනම්ය. සමහර වලව්වල දික්ගෙයි නැටුම් කාමරය ලෙස භාවිත වූයේ සුදු තිරවලින් වට කළ කාමරයකි. එසේ කළේ ද බාහිර අය ඇතුළුවීම වැළැක්වීම සඳහාය.
ප්‍රභූවරයකු වලව්වේ සංචාරය පිණිස පැමිණෙන අවස්ථාවේ ඔහු සතුටු කිරීම පිණිස දික්ගෙයි නැටුම් නැටීම සිදුවිය. අද මෙන් ගුවන්විදුලි, රූපවාහිනී හෝ සංගීතමය වැඩසටහන් නොවූ එකල වලව්වලට පැමිණෙන අමුත්තන් සතුටු කළේ ගැමියන් ඒකරාශි කර පවත්වන උත්සව මගිනි. එයට සහභාගි වන ගැමියෝ වලව්වේ නින්දගම්වල ජීවත් වන අය වෙති.

වලව්වට එන අමුත්තා බොහෝ විට තවත් ප්‍රභූවරයකු හෝ ආණ්ඩුවේ නිලධාරියෙකි. වලව්වේ හිමිකාරයා වන බණ්ඩර හාංදුරුවන් මෙවැනි රාජ්‍ය ප්‍රභූවරයකුගෙන් බලාපොරොත්තු වන වරප්‍රසාද ද තිබිය හැකිය. මේ නිසා රාජ්‍ය අමුත්තා සතුටු කළ හැකි ආකාරයේ නිවාඩුවක් තම වලව්වේදී ගත කිරීමට දීම බණ්ඩර හාංදුරුවන්ගේ අපේක්ෂාවය. මේ නිසා දඩමස් ඇතුළු රසමසවුලෙන් යුතු ආහාර ද කන පිනවන සංගීතය සහ නෙතු පිනවන නර්තනවලින් රාජ්‍ය අමුත්තා සතුටු කිරීමට නින්දගම් වලව් හිමි බණ්ඩර හාංදුරුවරු සැදී පැහැදී සිටියහ.
කනට සංගීතය ද නෙතට නර්තනය ද සපයන්නේ නින්දගම් වාසී ජනයාය. ගීත ගැයීම සඳහා පිරිමි ද නර්තන කටයුතු සඳහා කාන්තාවන්ද සහභාගි වෙති. මෙය එක් අතකින් අද භාවිත වන ආකාරයේ පැදුරු සාජ්ජයක් ලෙස ද සැලකිය හැකිය. පළමුව පිරිමි සීප ද කියති. එයට තාලය අල්ලති. සමහරු පැල්කවි කියති. කාන්තාවන්ගේ නැටුම එන්නේ ඉන්පසුවය. මෙම කාන්තාවන්ගේ ඇඳුමකින් වැසී ඇත්තේ යටිකය පමණි. උඩුකයට ඇඳුමක් නැත.

‘‘මෙම නැටුම තිබිල තියෙන්නේ මැද මිදුල අයිනේ කොටසක. සුදු රෙදිවලින් ආවරණය කරලයි මෙම කුටිය හදාගෙන තිබෙන්නේ. දේවාලවල දෙවියන් සතුටු කිරීම සඳහාත් රජුන් හා රදළයන් සතුටු කිරීම සඳහාත් දික්ගේ නැටුම නටා තිබෙනවා. දෙවියන් වර්ණනා කරමින් තමයි දේවාලවලදී නටල තියෙන්නේ. අදටත් ඒ වචන යොදා කරන ගීතිකා දේවාලවල ගැයෙනවා. අපේ ඇමිටියගොඩ වලව්වේ ආදි මුතුන් මිත්තන් දික්ගේ නැටුම නැරඹුව කියා සංකේතවත් වන ගිරයක් අදත් වලව්වේ තිබෙනවා’’ උදය ඇමිටියගොඩ මහතා සඳහන් කරයි.

ගිරයේ තල​ දෙකේ ඇත්තේ උඩුකය නිරුවත් ස්ත්‍රියක සහ පුරුෂයකුගේ කැටයම් දෙකකි.
උපුටාගත් තොරතුරු
මුල් අයිතිකරුට ස්තූතියි




notes of imaginary

2024-01-17

ඔන්ලයින් ප්‍රේමයක්...




අත්දැකීමක් හෙම නෙවෙයි.. පරිකල්පනයක් පමණයි

සැරිසරන අතරතුර
ෆේස්බුක් පිටුවේ
ඇඩ් ෆ්‍රෙන්ඩ් තීරුවේ
නුඹේ රුව දුටුවේ

සත්තමයි මගෙ හිතේ
විදුලියක් කෙටුවේ
දෙපාරක් නොහිතාම
රික්වෙස්ට් කෙරුවේ

ඇක්සෙප්ට් කළේ නුඹ
වැඩි දිනක් නොයවා
ලයික් හා කමෙන්ට්ස් දී
පෝස්ට් ටික කියවා

දෙන්නාම මේ ලෙසින්
එකක් නොවරදවා
ලව් ඉමෝජිය යොදා
පෙමට මුල පිරුවා

කොළ එළිය දැල්වෙද්දි
ස්ක්‍රීන් මතුයේ
හායි කියලා දිනක්
මැසෙන්ජර් දැමුයේ

හාර්ට් වරුසාවකිනි
පිළිතුරක් ලැබුයේ
එයින් පසු ඇරඹුණේ
අපේ පෙම බුකියේ

නුඹේ ප්‍රොෆයිල් එකේ
ලස්සනට තිබුණූ
ෆොටෝ අතරින් එකක්
ඩවුන්ලෝඩ් කෙරුනූ
දිවාරෑ එකලෙසින්
හිතින් පෙම් පිරුණූ
ස්ක්‍රීන් එකට ගෙන
කළේ වැඩිදියුණූ

හේතුවක් නොමැතිවම
ප්‍රතිචාර අඩුවී
ඔන්ලයින් ආවාම
ගියේ නුඹ සැඟවී
ෆ්‍රෙන්ඩ් කෙනෙක් ලෙසින්වත්
නොතබාම දැඩිවී

බ්ලොක් කළේ ඇයිද මා
වරද නැත හෙළිවී
දුකක් දැනුනත් හිතට
නුඹ ඩිලීට් කරලා
රීසයිකල් බින් යැව්වෙ
දෙපාරක් හිතලා

සදහටම මකන්නට
එතැනිනුත් යවලා
බැරිව ලතවෙමි තවම
ඇඟිලිතුඩු ඔබලා

- පී. ජී. ආරියපාල

අන්තර්ජාලය අසල්වාසීන්ගෙන් අප දුරස්කර ඈත ඈත නොහදුනන මිතුරු සමූහයක් අප දෑත මතට ගෙනවිත් ඇත. පර්චස් දහයේ ඉඩමේ කොටු පවුරු බැද එ් තුල සිරවු ජනී ජනයා හට අසල්වාසී සබදකම් වියකී අන්තර්ජාල සම්බන්ධතා සංවර්ධනය වන යුගයක නොයෙකුත් ඇබැද්දී වලටද මුහුන දෙන අවස්ථාද නැතිවාද නොවේ.

මුදල් පොලියට දෙන්නෝද භාණ්ඩ අලවි කරන්නොද ජනී ජනයා රවටන අවස්ථා සුලභය.

මානව සම්බන්ධතා නන්නත්තාර කර විනෝද වන සමහර උදවිය දේශපාලන ප්‍රචාරනයේදී තමන් දරන අදහස් නොදරන න් සියල්ලෝම නිර්ධය ලෙස පාච්චල් කරන අන්දම ඉතාමත් කනගාටුදායකය.

මේ පූර්විකාවට අදාල නොවුවත් මේ නිර්මාණය කියන්නේද අන්තර්ජාලය විසින් කරනු ලබන එක් විනෝද ක්‍රියාවයක් පිලිබදවය


notes of imaginary

2024-01-16

දහ අට වංගුව - රැවටුණු සුද්දා



ලංකාවේ තියෙන පාරවල් අතුරින් ඉතා විශේෂත්වයක් ගන්නා එක් මාර්ගයක් ගැන තමයි මේ කියන්න යන්නේ. සංචාරකයන් පවා ලංකාවට ආවොත් මේ දහඅට වංගුව අමතක කරන්නේ නැහැ. මොකද එහි ඒ තරම් සුවිශේෂීත්වයක් එහි ගැබ් වෙලා තියෙන නිසා. ලංකාවේ තියෙන A ශ්‍රේණියේ මාර්ග අතුරින් හැමෝම යන්න කැමති පාරවල් දෙකක් තියෙනවා. එයින් එකක් තමයි මහනුවර ඉඳලා යාපනයට යන A 9 මාර්ගය. අනිත් මාර්ගය තමයි මහනුවර ඉඳලා මහියංගනයට යන A 26 මාර්ගය. මේ මර්ගයේ තමයි අද අපි කතා කරන වංගු 18 තියෙන්නේ.
මෙහි ප්‍රපාතාකාර වැලමිට වංගු 18 ක් ඇති නිසා මේ මාර්ගයේ එක් වතාවක් පමණක් ගමන් කර ඇති අයෙක්ට වුණත් ඒ ගමන නම් කිසිදාක අමතක වෙන්නේ නැහැ.උඩුදුම්බර පොලිස් බල ප්‍රදේශයෙන් ඇරඹෙන දහ අට වංගුව අවසන් වෙන්නේ හසලක පොලිස් බල ප්‍රදේශයෙන්.ඉතින් කඳුකර ප්‍රදේශවල පහසුවෙන්ම මහියංගණයට ළඟා වෙන්න පුළුවන් පහසු මාර්ග සකසන්නට හැකියාව තිබුණත් මේ වගේ අසීරු මාර්ගයක් හදපු එක ගැන සොයන්නම වෙනවා. ඉතින් ඒ සඳහා මේ වංගුවේ අතීත කතාව සොයා බලන්නට වෙනවා.
අද වෙද්දි වංගු 17 ක් පමණක් දකින්නට ඇති දහ අට වංගුවේ අතීත කතාව ගැන විමසන්නටයි මේ සූදානම. මීට වසර ගණනාවකට කලින් යුරෝපීය ජාතීන් ලංකාව පැමිණිලා ලංකාවේ පාලනය ඔවුන් යටතට ගන්නට කටයුතු කළා. ඒ අතුරින් පෘතුගිසීන්ට ලන්දේසීන්ට නොහැකි වුණු කාර්යය ඉංග්‍රීසීන් විසින් සිදු කළා. ඉතින් ඉංග්‍රීසීන් ලංකාව යටත් විජිතයක් බවට පත් කර ගත් පසුව වතු වගාව ආරම්භ කරන්නට මුල් පිරුවා. තේ. රබර්, කෝපි ,සිංකෝනා ආදී මෙකී නොකී වගාවන් ව්‍යාප්ත කරන්නට කටයුතු කළා. ඒ වතු වගාව කඳුකරයේ ශීඝ්‍රයෙන් පැතිරිලා ගියා. ඒ අතරෙ යුරෝපීයන්ට තමන්ගේ නිෂ්පාදන ද්‍රව්‍ය කොළඹට අරගෙන යන්නට අවශ්‍ය වුණා. ඒ නිසා මාර්ග පද්ධතියක අවශ්‍යතාවය ඔවුන්ට දැණුනා. කොළඹ සිට මහනුවරට මාර්ගයක් සකස් කරන්නේ ඒ නිසාවෙන්.
නමුත් මේ අතරෙ දි ටොරින්ටන් සාමිවරයාගේ 1848 දී නව බදු ප්‍රතිපත්ති පැනවීම නිසා උඩරට කැරැල්ලක් නිර්මාණය වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔය අතරෙ 1850 දී පමණ හුන්නස්ගිරි පළාතෙත් තේ වගේම එනසාල් වගාවත් ආරම්භ වෙනවා. මේ හේතු නිසාම බ්‍රිතාන්‍යයන් මහනුවරින් මාර්ග නිර්මාණය කිරීම නතර කරන්න නොහැකි බව තේරුම් අරගෙන උඩුදුම්බර දක්වාම පාරවල් හැදුණා. ඒත් ඉතින් පාරවල් හදන එක ගැන වැඩි අවබෝධයක් ඉංග්‍රීසි ජාතිකයන්ට තිබුණේ නැති නිසා ඔවුන් මේ සඳහා පළාතේ ජනතාවගේ අදහස් දැන ගන්නට කටයුතු කළා.
එකල උඩුදුම්බර ගමේ ප්‍රධානීන් 4 දෙනෙක් වුණු ගම්පහ බස්නාහිර කෝරළේ, ගම්පහ නැගෙනහිර කෝරළේ,ගම් දෙකේ කෝරළේ,කන්ද පහළ කෝරළේ යන අය කැඳවාගෙන ඔවුන් සමඟ මේ ගැන සාකච්ඡා කර තිබුණා.මේ වෙද්දි මේ කෝරලේ හතරදෙනා තුළම ඉංග්‍රීසි ජාතිකයන් ගැන එතරම් පැහැදීමක් තිබිලා නැහැ.ඒකට ප්‍රධානම හේතුව තමයි උඩරට කැරැල්ල වෙලාවේ ඉංග්‍රීසීන්ගේ අත් අඩංගුවට පත් කඩහපොළ හිමියන්ට එරෙහිව නඩු අසා එක් දවසකින්ම වෙඩි තබා මරණයට පත් කිරීම. මේ නිසා කෝරළේ හතරදෙනා වැදි ගම්මානයෙන් ආපු කෙනෙක් සම්බන්ධ කරගෙන වැදි ගම්මානයට යන්න තියෙන අසීරුම මාර්ගය පෙන්වාදී තියෙනවා.කොහොමහරි හුන්නස්ගිරිය ඉහළටම නැගලා මහා බෑවුමක් එක්ක මහියංගණය දැක්කම ඉංග්‍රීසින් තීරණය කර තියෙනව වංගු සහිතව මාර්ගය ඉදි කරන්නට.
තවත් ජනප්‍රවාදයකට අනුව ඒ කාලේ ඉංග්‍රීසි ජාතිකයන්ගෙන් ගම්වල ගැහැණු දැරිවියො ආරක්ෂා කර ගන්නට ගම්මාන නැති කැලෑ ප්‍රදේශවලින් පාර පෙන්නන්න කතිකා කරගෙන තිබුණලු. ඉතින් කොහොමහරි ඒ මාර්ගය හදන්නත් ශ්‍රමය සූරාකෑවේ අපේම මිනිසුන්ගෙන්. ඒ කාලේ සෑම වැඩිහිටි පිරිමියෙක්ම සතියට දින 6 ක්ම නොමිලයේ පාරවල් තැනීමේ කටයුතුවලට සම්බන්ධ විය යුතු වුණා. එහෙම නැති වුණොත් සිලිං තුනක ඇඟ බද්දක් ගෙවන්නට සිද්ධ වෙලා තියෙනවා. පාර බද්ද කිව්වේ ඒකට.
කොහොමහරි උඩුදුම්බර ඉඳල නාසරුව,කෝවිල්මඩ, තවලන් තැන්න,තැම්මිටියාන,තිස්පන දක්වා මාර්ගය සැකසීමෙන් මේ දහ අට වංගුව නිර්මාණය වුණා. ඉතින් වරක් ඉංජිනේරු මහතෙක් පවසා තිබුණේ පළමුවැනි වංගුවේ ඉඳලා අන්තිම වංගුව දක්වා හරි කෙළින් නූලක් පහතට දැම්මොත් එහි දුර මීටර් 500 කටත් අඩුවන බවයි.ඉතින් වංගු 18 ම තියෙන්නේ උසින් කිලෝමීටර් භාගයකටත් වඩා අඩු දුරකින්. ඉතින් කිලෝමීටර් භාගයක් දුර නගින්න හෝ බසින්නට කිලෝමීටර් 7 ක දුරක් කන්ද වටේ සැරිසැරිය යුතු වෙනවා.
කොහොමහරි ඒ දහ අට වංගුවේ දෙවනි වංගුව ඉතාමත් අනතුරුදායක එකක් වුණු බවයි සඳහන් වෙන්නේ. එතන නතර කර වාහනය රිවස් නොකර කොහොමටවත් වංගුව පන්න ගන්න බැහැලු. එදා ගල් තාර යොදා තිබූ දහ අට වංගුව අද කාපට් ඇතුරූ සුවපහසු ආරක්ෂිත සුන්දර මාර්ගයක්.එදා මීටර් 3 ක් පමණ පළලින් යුක්ත මේ මාර්ගය අද මීටර් 8.5ක් පමණ පළලින් නිර්මාණය වී ඇත්තේ මංතීරු දෙකක් ද සමඟින්. ඒ වගේම පාලම් 9 ක් බෝක්කු 30ක් ඉදිකර තියෙනවා.
ඉතින් මේ මාර්ගය ඉදිකරන්නට එදා ගස් 5000 ක් පමණ කපා දමන්නට සිදුව තිබුණා. එයත් සමඟ අසරණ ජනතාවගේ දහඩියෙන් නිර්මාණය වුණු මේ මාර්ගය ලංකාවේ ඇති එක්තරා දුෂ්කරම මාවතක්. නමුත් හරිම සුන්දර ගමනක්.මේ මාර්ගය සකස් කිරිමේදී අපේ මිනිසුන් කී දෙනෙක් මරණයට පත් වෙන්නට ඇති ද. ඒ වගේම මේ කළු ගල් කඩන්නට සිදුව තිබුණේ පරිසරයට වගේම අවට පදිංචිකරුවන්ට හානිදායක වෙන විදියට.ඒ සඳහා සාම්ප්‍රදායික බෝර දැමීම් වගේම රසායනික ක්‍රමයටත් ගල් පුපුරවා තිබුණා.ඉතින් විශාල අභියෝගයන් රැසක් මැද එදා මේ මාර්ගය ඉදිකෙරුණා වගේම නැවත මාර්ගය පුළුල් කිරීමත් සිදු කෙරුණා.
අපේ රටේ ජාතික උරුමයක් වෙන මේ දහ අට වංගුවට වසර 30 කටත් අධික කාලයක් ගෙවී ගිහින්. ඉතින් හරි අපූරු ඉතිහාස කතාවත් සිහියේ තබාගෙන දහ අට වංගුවේ රවුමක් යන එක කොහොමටත් හොඳයි නේ.


උපුටා ගැනිමකි..
මුල් හිමිකරුට ස්තුතිය