Monday, July 18, 2022

විනයො නාම ශාසනස්ස ආයු !



මීදුම බෞද්ධයෙකි. යතිවරුන් ඇසුරු කරන එහෙත් යතිවරුන් තෝරා බේරා ගෙන ගෞරවණීය ලෙස සලකන බෞද්ධයෙකි. බුදුරජානන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය අසන විමසන සිතන බෞද්ධයෙකි. බෞද්ධයෙකු විසින් කළ යුතු  යතිවරුන් වෙත කරනු ලබන ගෞරවනීය බව සමහර යතිවරුන් විසින් කෙලෙසා ගෙන ඇතැයි සිතන බෞද්ධයෙකි.

කාලයා විසින් සිත් තුල මේ වෙනස ඇති කරවා ඇත්තේ ද යතිවරුන් විසින් මයයි මීදුම සිතයි. කාලයක සිට අපේ හාමුදුරුවරු දේශපාලනය ගැන උනන්දුවක් දක්වයි. පාලනයට සහභාගි වෙති. අතීතයේ හාමුදුරුවරු පාලනයට සම්බන්‍ධ නොවී උපදේශන සැපයු බව  අප ඉතිහාසයේ සදහන් වෙයි. . එහෙත් වර්තමානයේ සිදුව ඇත්තේ භික්ෂුව දේශපාලනයට මැදිහත්වී අවමානයට ලක්වීමයි. අපේ හාමුදුරුවන් ගෞරාන්විතව වැඩ වාසය කරමින් අර්ථයෙන් ධර්මයෙන් උපදේශනය කරනවා වෙනුවට දේශපාලනයට මැදිහත්ව  කරන විකාරය දැන් දැන් මීදුම දකින්නේ  අප්‍රසන්න කටයුත්තක් ලෙසයි. අපේ හාමුදුරුවරුන් විනය ගරුක ද? ශික්ෂාකාමී ද? උන්වහන්සේලා පොලිස් නිලධාරීන් හා  ගුටි - බැට හුවමාරුවලට යති.  ඇතැම් හාමුදුරුවරුන් විවිධ ඉල්ලීම් ඉදිරිපත් කොට ඒ මත්තේ දිවි නසාගැනීමට යති. නැත්නම් දිවි නසා ගන්නා බවට තර්ජනය කරති. මහ පාරවල් මැද උද්ඝෝෂණ කරති. දේශපාලකයනට තර්ජනය කරති.  ප්‍රසිද්ධ ස්ථානවල උපවාස කරති. ඇතැම් හාමුදුරුවරුන්ගේ  හැසිරීම සමාජයට හිසරදයකි.අප්‍රසන්න වෙති.බාල දේශපාලනය සමග හාමුදුරුවරුන් සම්බන්ධ වීම නිසා  එතැන ඇතිවන්නේ බලවත් පටලැවිල්ලකි.

 දේශපාලනයකට සම්බන්ධ වුවහොත් හාමුදුරුවරුන්ගේ  විනය මුළුමනින් ම පිරිහී යයි. ශ්‍රාවක ප්‍රජාවගෙන් ලැබෙන  ගෞරවය ද කෙළෙසී යයි.

විනයො නාම ශාසනස්ස ආයු ! ශාසනය පවත්වා ගැනීමේ ප්‍රධාන සාධකය විනයයි.  එසේ හෙයින් ශාසනයේ ආයුකාලය පවතින්නේ විනයෙ පැවත්ම  මතයයි බුදුරජානන් වහන්සේ අනු දැන වදාලේ එහෙයිනි. විනය නැති තැන ශාසනය බිඳ වැටෙයි.

ශ්‍රී ලාංකික ජනතාවගෙන් බහුතරය බෞද්ධාගමිකයෝ වෙති. ඔවුන්ගේ ජීවනය බෞද්ධාගම හා බැදි සිටී. පන්සල ඔවුන්ගේ ජීවිතයට මග පෙන්වන ආයතනයයි. පන්සලත්  ශාසනයත් දෙකක් නොවේ.   ශාසනය බිඳ වැටුණු කල රටත් - ජාතියත් දෙක ම බිඳ වැටෙයි.

 “සබ්බ දුක්ඛ නිස්සරණ, නිබ්බාණ සච්චි කරණත්වා” “ මම  සියලු දුක් කරදර නිමාකොට නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා මහණකමට පිවිසියෙමි.  යන්න පිලිගෙන මහනකමට පත්වන හාමුදුරුවරුන් හට ලෞකික ජීවිතයේ දිනාගත යුතු දේ තිබිය හැකිද ?. එතුමන් අපත් සසරින් එතෙර කිරීමට මග පෙන්වා එතුමන්ලාත් සසරින් එතරවීමට වීර්ය දැරිය යුතුයැයි මීදුම සිතයි.

එහෙත් වෙන්නනේ උඩුගං බලා  යාමකි. බලය සොයමින් යති. වීර වරුන් වීමට වලි කති,ප්‍රසිද්ධිය වැළද ගනී. යාන වාහන වස්තු දේපල රැස්කරයි.

අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනයා රාජකීය නායකත්වයට වඩා ආගමික නායකත්වය පිළිගනිති. එහි අදහස වන්නේ ආගමික නායකයනට කන්දීමට බෞද්ධ ජනයා වැඩි උනන්දුවක් දක්වන බවයි. අදටත් තමන්ගේ පාඩුවේ ගමේ බෞද්ධයාට අර්ථයෙන් - ධර්මයෙන් උපදේශන සපයමින් විමුක්තියක් අපේක්ෂා කරන භික්ෂුහු අනන්තවත් සිටිති. උන්වහන්සේලා සියළු දුක්දොම්නස් දරා ගනිමින් සමාජ සුබසිද්ධිය සඳහා ද, අධ්‍යාත්මික විමුක්තිය සඳහා ද සිය ජීවිතය කැප කර සිටිති. ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු නොවෙති.

පළමුවන ධර්ම සංගායනාව ඇතිවූයේ විනය විරෝධී වචනයක් නිසා ය. එය සුභද්‍රගේ අභද්‍ර වචන ලෙස ඉතිහාසයට එක් වී තිබේ.

දෙවන ධර්ම සංගායනාව ඇති වූයේ ද විනය විරෝධී කටයුතු දහයක් මුල් කරගෙන ය. එයින් හතරක් ම ශාරීරික අවශ්‍යතාවලට සම්බන්ධය. එකල ඇතැම් භික්ෂූන් මී - රා පානය කොට රන් කහවනු අල්ලස් ලෙස ලබාගත් බව ද ඉතිහාසයේ සඳහන් ය.

කුමක් වුව අපේ ශාසනය රැකීමට කරුණු දෙකක් සම්පූර්ණ විය යුතු ය. පළමුවන්න භික්ෂූන්ගේ සංවරය ය. දෙවැන්න භික්ෂූන් කෙරෙහි ගිහි බෞද්ධයන් දක්වන ගෞරවය යි.

භික්‍ෂුව සංවර නොවු කල ගිහියන්ගේ ගෞරවය නොලැබීයයි. එවිට  ශාසනයේ පැවත්ම විනාශවේ.  සංඝරත්නය දේශපාලනය පසෙක තබා ශාසනය ආරක්ෂා කරනු ඇතැයි බලාපොරොත්තුවුවත් එය සිතිවිල්ලකව  බොදවන්නේ කනගාටුවට පත්කරවමිනි.







notes of imaginary

Sunday, July 17, 2022

ඉස්කෝලේ


ඩෙල්ෆ් දූපතේ පාසලක්


එකමත් එක කාලෙක මේ

රටේ හිටපු පුංචි එවුවො

සුදු සපත්තු ,මේස් දාල

ජැන්ඩි පහට සුදු ඇඳගෙන

පොත් බෑග් එකත් අරගෙන

ගියාලු ඉස්කෝලේ ..

 

යාළු මාළු එකතු කරන්

ස්කූල් බස් එකේ නැගල

හිනා කවට උතුර උතුර

සීත සුළං ඇඟ දවටන්

ගියාලු ඉස්කෝලේ ...

 

අරලිය ගස් සුවඳ දිදී

මල් පාත්ති හිනාවෙවී

සුදු වැලි උඩ සිත්තම් ඇඳ

බුදු ගෙට වැඳලා හෙමිහිට

ගියාලු ඉස්කෝලේ .

 

එසෙම්බ්ලියෙ දි කවි කියන්න

කතා කියල ,රඟපාන්න

තාලෙට බෙර; උඩ පැන පැන

හනුමා වන්නම නටන්න

පන්තියෙ හොඳ ළමය වෙලා

අප්පුඩි මැද තෑගී ගන්න

ගියාලු ඉස්කෝලේ .

 

මල් ,මල් සාරිය පටලා

මුතු දෙපොටක් කරේ දමා

සාරිපොටෙන් දරුවො ඔතපු

ගුරු අම්මල ලඟ ඉඳගෙන

වටවී කවි ගී අහන්න...

අඩුකරන්න;බෙදාගන්න ...

ගුණ දහමින් ලොවදිනන්න

කොට තාප්පයෙන් පැනලා

ග්රවුන්ඩ් එකේ බැට් ගහන්න ,,,

හයේ පාරවල් දීලා

ලැබ් එකෙ වීදුරු බිඳින්න

ගියාලු ඉස්කෝලේ .

 

වෙරළු ,පේර ,ජම්බු පොකුරු

අතින් අතට මාරුකරන් ...

ඉටි ගෝනුස්සන් දවටා

ගෑණු ළමයි මැදට දාල ...

ටීචර් ගෙන් තැළුම් කන්න

ගියාලු ඉස්කෝලේ.

 

අන්තිම සීනුව ආවම

පුංචි උපාසකයො වගේ

යෝ වද ,තං පව රො” ...කියල

කවට මූණු ඉඟි බිඟි මැද

ආයුබොවන් ටීචර්කියල

ආදරයෙන් ,ඉගෙනගන්න

ගියාලු ඉස්කෝලේ .

 

ඉස්සර එහෙමයි කියලා

අප්පච්චී මට කිව්වට

මවා ගන්නෙ කොහොමද මං

ගියෙ නෑනේ  ....ඉස්කෝලේ !.

 

-    නැගණියකවු රෝහිණි සිසිප්‍රිය ගේ   මුණු පොතේ  පලවු ගී පදවැල මීදුම සිත් ගත්තා.

-     අද අපි තනිවෙමින් ඉන්නවා.ඉස්කෝලේ අවුරුදු තුනකටත් වැඩි කාලයක් වහලා.දරුවන්ට ඉස්කෝලේ මතක නැතිවෙමින් යනවා. අපිව තාක්‍ෂණය විසින් දවසින් දවස සමාජයේ තනි කරමින් ඉදිරියට යනවා.අපේ දරුවන්ටත් ඒ ආනිශංශ වඩාත් වේගයෙන් ලැබෙමින් පවතිනවා. පුංචි පරපුර තාක්‍ෂණය වහාම ග්‍රහණය කර ගන්නවා.

-   සෞන්දර්යාත්මක ඇසකින් ඈ දුටුවේ ඒ අභාග්‍යසම්පන්න අනාගතයි.

-   මේ සීග්‍රයෙන් වෙනස් වෙන  කාලයේ  ඉස්කෝලය පෞරාණික ගොඩනැගිල්ලක්   බවට පත්වේවි.

-       ""  ඉස්සර එහෙමයි කියලා

-         අප්පච්චී මට කිව්වට

-         මවා ගන්නෙ කොහොමද මං

-         ගියෙ නෑනේ  ....ඉස්කෝලේ !."

 



notes of imaginary

Saturday, July 16, 2022

අපි බලා ගෙන ඉමු.





මීදුම සිකුරාදා පල කල වියමනට ප්‍රතිචාර වශයෙන් තම තමන්ගේ දේශපාලන කියවීම් දක්වලා තිබුනා. එවැනි සංවාදයක් ඇතිවීම ගැන මට සතුටුයි.

මේ පැය ඔරලෝසුවේ තප්පර කට්ට වගෙයි තප්පරයෙන් තප්පරය ගලා එන ලාංකීය දේශපාලනයේ චලනය විවිධාකාර රට මවනවා..

අපි ප්‍රේක්‍ෂකයෝ .

අපි ප්‍රේක්ෂකත්‍වයට පත්වුනේ අපේක්‍ෂකයාගේ ලකුණත් අංකයත් ඉදිරියෙන් ඡන්දයත්, මනාපයත්  පළකල මොහොතේ.ඉන් පසු අපේ අයිතිවාසිකම් අහිමි කරගෙන එකෙකුට ඒ අයිතිවාසිකම් බාර දුන්නා.එහෙම  225ක් හැදෙන්න මග පෑදුනා.ජනාධිපතිවරණයේදී වුනෙත් ඒ ටිකමයි.දාම් බෝර්ඩ් එකට දාමෙක් පත්තරගෙන ඌත් එක්ක තිබුන ඇයි හොදයිය දාමා උනාට පස්සේ අහිමි කර ගත්තා

අපි නරඹන්නෝ බවට පත්වුනා. ඉන් පස්සේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව .තුල මේ කන්ඩායම අතර අපි නරඹන්නෝ පමනයි.

උන්ට උන්ගේ ඕනෑ එපාකම් මත පිස්සු නටන්නත් , මගුල් නටන්නත් පුළුවන් මේ ක්‍රමය හදුන්වන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියලා.

මේ හින්දා මම මගේ දේශපාලන කියවීම කරන්නේ බොහෝම පරිස්සමෙන්.

'අපි බලා ගෙන ඉදිමු. '

කියලා “මාර්ක් සකර්බර්ග්” වියමනට ප්‍රතිචාර දැක්වු වේයන්ගොඩ , -විශ්‍රාමලත් පාඨශාලා ආචාර්ය කුරුප්පු මයාට මීදුම ප්‍රතිචාර දැක්වුවා. එතුමා ඒ ප්‍රතිචාරයට අසතුට පල කලේ මෙහෙමයි.
“එපමණද ඔබතුමාගේ අදහස ලයනල් මහත්මා? කණගාටුයි.”

 කියලා.

ඇත්තෙන්ම අපි හදිස්සි වෙන්න ඕන නැහැ. 20 වෙනිදායින් පසු උදා වෙන දවස ගැන අපිට කියන්න බැහැ. මේ අවපාතය ගැන කියවීම නිසා විසිවී ගිය මැති ඇමතිවරු ගොඨා ගේ ආණ්ඩුවේ ඉන්නවා. ඔවුන්ගෙන් සමහරු කොරෝනා රැල්ල අවසාන වුනදා සිට අදහස් පල කරමින් සිටියා. අර්බූදය  ඔඩු දුවන්න පටන් ගත්තා. ආර්ථික ඝාතකයා ලෙස හදුන්වා දුන් පී.බීත් මහ බැංකුවේ ආටිගල වැනි රාජ්‍ය සේවකයෝ බොහෝමයක් මාර්තු වෙන කොට විසිවුනා.නැත්නම් ඉවත් වුනා.  එතකොට ගොඩ එන්න බැරි තරමකට අපි තල්ලු වෙලා.

අරගලය හොදින් නිරීක්‍ෂණය කරන්න. පාලකයින් අපි පාලනය කරගන්න අරගලය උර දෙනවා. ඒක නියමෙන් නොවෙන්න පුළුවන් . අනියමින්.

අපිට තෙල් නැහැ , ගෑස් නැහැ. ආහාර ,ඖෂධ නැහැ නැත්නම් මිළ අහස උසට ගිහින්  කවුරුවත් හාං කවිස්සියක් නැහැ දරා ගෙන ඉන්නවා.

අපේ මනස එතනට ගෙනල්ලා.

Anonymous said…

“ඔන්න ලයනල්ලාගේ රනිල් හාමු වැඩ පටන් අරන්. මර්ධනය ආරම්භකරයි.
අරගලයේ සිටි නායකයිනි. ජීවිතය බේරා ගන්න රටින් පලා යන්න.”

මේ මීදුමට ලැබුන තවත් ප්‍රතිචාරයක්. කෙටිම පිළිතුර නම් මීදුම  ජේ. ආර් ගේ නායකත්‍වයෙන් පසු එම පිළ අත් හැරි බවයි.

අපි කතා කරමු අපි ඉවසා ගෙන බලා ඉදිමු . අරගලයට බලපෑමක් කරන්න හැකිවුනාට අපිට එහෙම බල පෑමක් කරන්න බැහැ. අපේ විශ්වාශය රැදිලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට කොටු වෙලා.


notes of imaginary

Friday, July 15, 2022

මාර්ක් සකර්බර්ග්.



එඩ්වඩ් සැවරින් සමඟ මාර්ක් සකර්බර්ග් කියන විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනාගේ නිර්මානයක් අද ජාත්‍යන්තර ව්‍යාප්ත වු මහා ව්‍යාපාරයක්.2004 පෙබරවාරි මාසයේ සිට පේස්බුක් ආපු ගමන ලෝක සමාජයම විප්ලවයකට පත් කරලා .

අපේ රටේ අදහස් විකාශණය කර ගන්නා ජනප්‍රිය මාධ්‍යය මුණු පොත. එය නිවරදි විදියට භාවිතයට ගත්තොත් විශාල මෙහෙවරක් කරගන්න හැකි මාධ්‍යයයක්. අපි  අරගලයේ දී බොහෝ අදහස් හුවමාරු කර ගත්තේ මූණු පොතෙන්. මේ අදහස් විවේචනයට ලක්වු අවස්ථා වගේම තර්ජනයට ලක්වු අවස්ථා බොහෝමයි.

මම සීයා කෙනෙක්. 71 කැරැල්ල පටන් ගන්න කොට මට 23යි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්‍ධ වුනේ ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලන අදහස් වලිනුත් ඔළුව පුරෝගන. අපේ පවුලම තනි අලියට වෙලා ඉන්න කොට අපේ  තාත්තා කිව්වේ “ඔය වයසේ වැරද්ද “කියලා.ඒත් කැරැල්ල ඇති වෙනකොට අඩියක් පස්සට අරන් රැදෙන්න තරම් දෙවරක් හිතන තරුන මදයක් මට වගේම මා වටා සිටි අපේ වයසේ අයට තිබුනා. දැන් අපි ගෙවන්නේ අපෙන් පස්සේ මේ  තුන්වන තරුන පරම්පරාවේ උදවියත් එක්ක.

දෙවෙනි පරම්පාරවටත් වඩා ඔවුන් ආවේගශීලියි.ඔවුන් අඩියක් පස්සට ගන්නේ ඔක්කොම හරිගියාම. නැත්නම් විනාශ වෙලාම ගියාට පස්සේ.

ඉතින් මම මගේ මූණු පොතේ පලකරන අදහස් බොහෝම පරිස්සමෙන් කරන්නේ. මගේ කාලය වැයකරන්නේ සතුටෙන් ඉන්න. ඉතින් මොකටද  මේ තර්ජන ගර්ජන වලින් මගේ හිත පාරා ගන්නේ ?.මම පේස්බුක් පිටු අතරින් දෑක්ක දෙයක් තමයි අන් මත ඉවසීමට නොහැකි කම. අන් මත විවේචනය කිරීම අදහස් දැක්වීම හොද ලක්‍ෂණයක්.ඒත් කරන්නේ වැකියකින් දෙකකින් මූණටම දමා ගැසීමෙන්. පැහැදිලි කිරීම් නැහැ. පැහැදිලි කලත් එම පැහැදිලි කිරීම්  තුල පවත්වා ගෙන යන ස්වරූපය තර්ජනාත්මකයි. සමහර විට අවිනීතයි. ඒවා පලකිරීම් කරන්නෙත් short and sweet ක්‍රමයට.

අද මාධ්‍ය මුද්‍රිත මෙන්ම විද්යුත් මාධ්‍ය පාඨක ශ්‍රාවක සහභාගිත්‍වයකින් තොරවයි පවත්වා ගෙන යන්නේ. සති අන්ත පත්‍ර බලන්න හැමදාමත් එකම ලේඛක පිරිසක් ලියන්නේ.එයාලගේ අදහස්. අපි බලන්නන් පිරිසක් වෙලා. සංවාදයක් කරන්න ඊලග පිටපතෙන් වත් ඉඩක් නැහැ. සුනිල් මාධව වගේ මාධ්‍යවේදීන් තුල මීට වඩා වෙනස් පිලිවෙතක් තිබුනා. මට මතක් වෙනවා දිවයින පත්‍රයේ අට වෙනි පිටුව.මේ  හිදැස පුරවන්න මූණු පොතට විශාල වපසරියක් තියෙනවා.. මූණු පොතේ කෙටිකතා කොටස් වශයෙන් පලවෙන නවකථා , පද්‍ය නිර්මාන දේශපාලන අර්ථ නිරූපන. අධ්‍යාපන,  වෛද්‍ය වැනි විවිධ ක්‍ෂෙත්‍රවල ලිපි ලේඛණ  දැනටමත් පලවෙනවා.

 ඇතැම් මුණු පොතේ  පිටු ජාති ආගම් අතර මතභේද ඇති කිරීමට, දේශපාලන මතවාද අතර ගැටුම් ඇති කිරීමට යොදා ගෙන තියෙනවා.  මෙය රටක්  වශයෙන් ගත් කල තරමක් මතභේදකාරී තත්ත්වයක්. මිනිසුන්ගේ හැගීම්වලට පහර ගැසීමටද තර්ජන හෝ හිරිහැර “Cyber bullying” කිරීමටද මෙම පිටු හසුරුවන්නන් කටයුතු කරනවා .

සමාජවාදී රාමුවට සිදුවිය හැකි දේශපාලනික, ආර්ථික බලපෑම් මත චීනයද , ආගමික මතවාදයට හානියක් වේ යැයි උපකල්පනය කරමින් ඉරානය, ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය වැනි රටවලද   මුණු පොත තහනම් කිරීම හෝ සීමා කිරීම  දක්නට ලැබෙනවා .  

අන්තර්ජාලය නිදහස් මාධ්‍යයක් .  ස්වයං අවබෝධය, ස්වයං විනය, අවංක බව භාවිතයේදී අත්‍යවශ්‍යමවෙනවා..  මුනු පොත භාවිතා කරන අය   තම පලකිරීම් වල  හොඳ නරක නැවත නැවතත් හිතා බලන්නේනම් බොහෝ ගැටළු ඇතිවෙන්නේ නැහැ.     

එහෙම වුනහම  මිතුරු පිටු වාරණය කිරීමකුත්  අවශ්‍ය වන්නේ නැහැ.

     

 

 

 

notes of imaginary

අවනඩුවක් .


විදුලිය කපනවා. ජවිතේ අවුල්. ගෙදර  දොරේ කඩපිලේ කතාව මේ කැපිල්ල ගැන. මහජන උපයෝගීතා කොමිසම කියලා එකක් තියෙනවා . ඒකේ ලොක්කා රූපවාහිනියට ඇවිල්ලා රස කර කර කැපිල්ල ගැන කියනවා .A to Z කලාප ටිකක් එක්ක.

මේක අවනඩුවක් .එහෙම හිතලා අපේ එකෙක් මානව හිමිකම් කඩකරලා කියලා අපේ ගමේ කොල්ලන්ගේ අධිකරණයේ නඩුවක් ගොනු කලා කියමුකෝ...

නඩුව විභාග කරන්න දිනයක් ස්ථානයක් නියම වුනා.

පැමිණිලි කාරයෝ විත්තිකාරයෝ තම තමන්ගේ හරක්  දිගේලි කරලා කමතේ අධිකරණයරැස්වුනා අපේ ගමේ නඩුකාරයා තමයි හරමානිස්. මිනිහා මාසෙකට දෙකකට වරක් උසාවි යනවමයි. එක්කෝ කා එක්ක හෝ දඹරයකට ගිහිල්ලා නැත්නම් ඔය කසිප්පු ටිකක් පෙරලා වගේ දේවල් වලට. හරමානිස් කියන්නේ “ඇස්පීරියන්ස්” ගන්න යනවා කියලා.

කමතේ නඩුකාරයා වුනාට පස්සේ පොරගේ නම මාරුවුනා. හරමානිස් දැන් “හර්මන්” හර්මන්ගේ වැඩ කිඩ දැක්කම මතක් වුනේ හුණුවටයේ අසඩක්. හර්මන් හොදට බීලා වෙරි මරගාතේ  කෝට් බෑය ගසා බසා දාලා වී හුලං කරන අට්ටාලෙට නැගලා.

පිරිසේ හිටපු බබානිස් තමයි මුඩ්ලියර්. මුඩ්ලියර් උනාට පස්සේ පොරගේ නම” බබ් ඹ් නිස්” වෙලා.මුඩ්ලියර් බබ් ඹ් නිස් කල් දාන නඩු මුලින්ම කැදවලා කල්දාලා අධිකරණයේ තදබදය අඩුකරගත්තා. පයෝරිටි ලිස්ට් එකෙන් අද විභාගෙට තියෙන නඩුවක් කැදෙව්වා. බොහෝම සැරට නඩු අංක 20220410 ........විත්තිය ඊ .ලෙක්ට්‍රි සිටි ..............පැමිණිල්ල  ජහමනගේ බඩිගිනිස්.

පිට කොන්ද බඩට ඇළුනු  ජහමනගේ  බඩගිනිස් පන්මල්ලකුත් කිහිල්ලේ ගන්න ගෙන පැමිණිල්ල පැත්තේ හිට ගන්නවා.

අධිකරණයට ගරු කටයුතු ලෙස නොහැසිරීම ගැන. මුඩ්ලියර්  බබ් -ඕ- නිස්ට මල පැනලා. මොකක්ද ? මේ මල්ල -තියෙනවා ඕක එලියෙන් තියලා  - එනවා. හ්ම් . මේක ඉරිදාපොල නෙමෙයි - මේක අධිකරනය. ගෙරවිලි වැලයි.

 ජහමනගේ  බඩගිනිස්  බයාදුව  දෙකට තුනට නැමිලා විධානය ඉටු කරලා හාන්දුරුවනේ කියලා මුමුන ගමන් විනිශ්චාශනයට බයාදු බැල්මක් හෙලනවා.

විත්තිය - ඊ .ලෙක්ට්‍රි සිටි ගරු ගාම්බීරව “ ස්වාමීනී  පෙනීසිටිනවා ස්වාමිනී”  . කියලා බැබලි බැබලි විත්තිය පැත්තෙන්  හිටගන්නවා .  විත්තිය දැකලා මුඩ්ලියර්  බබ් -ඕ- නිස් ගල් ගැහිලා . පැමිණිල්ල කියවන්නත් බැරිව ගොත ගහනවා.

ජහමනගේ  බඩගිනිස් ගල් ගැහිලා බලා ඉන්නවා. විත්තිකාර ඊ .ලෙක්ට්‍රි සිටි ගෙන්  නඩුකාර හර්මන් වෙනුවෙන් මුඩ්ලියර් අහනවා තමන් මේ චෝදනාවට වැරදි කරුද නිවරදි කරුද කියල?.

අනේ ස්වාමීණි මම මේ මොනවත් දන්නේ නෑ මගේ පුර්වගාමියා තමයි මේ  සැලසුම් කලේ - මම පත්තු කලා විතරයි ස්වාමිණි

කවුද පුර්ව ගාමියා ඔහු වහාම කැදවනු . අධිකරනයේ මහ කලබලයක් පොලිසියේ මහත්තුරු, පන්සලේ ඉදලා උස මහත්තෙක් ඇදගෙන එනවා මෙන්න මෙයා තමයි පුර්වගාමියා ස්වාමිණි.  තමුන් ද මේ අපරාධය කලේ පුර්වගාමියාගෙනුත්  ප්‍රශ්නේ අහනවා .

මම මුලින්ම කිව්වා මෙහෙම ගියෝත් මේ වැඩේ කරන්න වෙනවා කියලා. ඒත් ඇහුවේ නෑ. කාලා බිලා ජොලි කරනවා. ඉතිරි ටික සනුහරේට බෙදලා දෙනවා විතරයි. ඉතින් කොහොමද ජහමනගේ  බඩගිනිස්ට අපරාධයක් නොවන විදියට වැඩ කරන්නේ ?. ”

ඒත් මම මේ සංගදිය කරන්න කිසිසේත්ම අනුබල දුන්නෙත් නෑ කරන්න කිව්වෙත් නෑ. අන්න අරයාගෙන් තමයි අහන්න ඕන කියලා කමතේ ලියක මානලා තිබුන පින්තූරයක් පෙන්නුවා.

නඩුකාර හර්මන් ආපහු හැරිලා බැළුවා. හොදටම දාඩිය දාන්න පටන් ගත්තා . කුල්ලක් අරන් පවන් ගහන්න සුළු සේවකයෙකුට අණ කලා.

උසාවියේ අවධානය වෙනත් පැත්තකට යොමු කරලා මේ ගැන හොයලා බලන්න  ඉන්න හොදම කෙනා ‍හොයා ගෙන එන්න කියලා අණ කලා. තොරතුරු විමසා සාක්‍ෂියක් ගන්න.පින්තූරේ ඉන්න කෙනා ඔරවා ගෙන ඉන්නවා වගෙයි හර්මන්ට පේන්නේ.

පොලිසියේ මහත්තුරුන්ට මතක් වුනා වැල් ආරච්චි. හර්මන්ගේ නියෝගයට වැල් ආරච්චි කැදවා ගෙන ආවා. උන්නැහේට පැමිනිල්ල ගැන කරුනු පහදලා මෙහෙම වෙන්න හේතුව මොකක්ද කියලා ඇහුවා. නැතිවුනාම වැඩියෙන් අරන් දෙන්න ඕනි. එකත් කරන් අමාරු නිසා කපන්න පටන් ගත්තා. එතුමා උත්තර බැන්දා.

නඩුව යන හැටි හොදනෑ කියලා ජහමනගේ  බඩගිනිස්ට හිතෙනවා. ඒත්  ඉතින්  මෙනවා කරන්නද ?  දැන් ඔහේ අහගෙන ඉන්නවා. නඩුකාර හර්මන්ටත්  කැරකිල්ල වගෙයි .  වැඩිදුර විභාගෙ පැයකට කල්දාලා තව දෙකක් දාගෙන ආයෙත් නඩුව කැදෙව්වා.

විත්තිය වෙනුවෙන් කරුණු පැහැදිලි කරගන්න එක එක අය කැදෙව්වා. ආ අය තවත් එක්කෙනෙක් ගැන කියලා ඇග බේරා ගන්නවා.

ඔහොම යන කොට  නඩුකාර හර්මන්ට , ලක්‍ෂපාන පැත්තේ වැදගත් පහේ මහත්තෙක් මතක් වුනා . සාක්ෂියක් ගන්න එතුමාත් කැදෙව්වා. එතුමාගෙන් ඇහුවා කවුද මේ පත්තුවෙන මල ඉලව්ව හැදුවේ ?. කියලා.

. “තෝමස් අල්වා එඩිසන් කියලා මහත්තෙක් තමයි ඕක හැදුවේ”  කියලා ඒ මහත්තයා උත්තර බැන්දා.

අම්මෝ අදට ඇති කියලා   නඩුකාර හර්මන් ට හිතුනා   “ වහාම තෝමස් අල්වා එඩිසන්” ඊලග නඩුවාරෙට කැදවන්න අණ දීලා නඩුව කල්දැම්මා.

ජහමනගේ  බඩගිනිස් මල්ලත් අරගෙන නඩුකාර හර්මන්ගේ උසාවියෙන් යන්න ගියා “ඒකත් එහෙමයි එහෙනම්” කියලා.  හර්මන් තවත් දෙකක් දාගෙන හරක් ටිකත් දක්ක ගෙන ‍වැනී වැනී ගෙදර ගියා.

 


notes of imaginary