Success is getting what you want. Happiness is wanting what you get.>

සාර්ථකත්වය යනු ඔබ කැමති දේ ලබා ගැනීමයි. සතුට යනු ඔබට ලැබෙන දෙය රැක ගැනීමයි.

Mind precedes all knowables, mind’s their chief, mind-made are they. If with a corrupted mind one should either speak or act dukkha follows caused by that, as does the wheel the ox’s hoof.

(වේදනාදි චෛතසික) ධර්‍මයෝ සිත පෙරටු කොට ඇතියහ. සිත ශ්‍රේෂ්ඨ කොට ඇතියහ. සිතින් ම උපදනාහ. ඉදින් පහන් සිතින් කියන්නේ නම් හෝ කරන්නේ නම් හෝ ඒ හේතුවෙන් සැපය ඔහු කැටුව යෙයි. නොහැර කැටුව යන සෙවණැල්ල මෙනි.

I think nature’s imagination is so much greater than man’s, she’s never going to let us relax.

ස්වභාවධර්මයේ පරිකල්පනය මිනිසාගේ පරිකල්පනයට වඩා බෙහෙවින් වැඩි ය, ඇය කිසි විටෙකත් අපට විවේකීව සිටීමට ඉඩ නොදේ.

But I say to you, Love your enemies and pray for those who persecute you, so that you may be sons of your Father who is in heaven; for he makes his sun rise on the evil and on the good, and sends rain on the just and on the unjust.

නමුත් මම ඔබට කියමි, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න, ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න, එවිට ඔබ ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන්ගේ පුත්‍රයෝ වන්නහුය. මක්නිසාද ඔහු නපුරටද යහපත් අයටද තම හිරු උදා කරවනසේක.

“….so whenever guidance comes to you from Me, then whoever follows my guidance, then there will neither be any fear on them nor will they grieve.” Ayat 38

"....එබැවින් මා වෙතින් ඔබට මගපෙන්වීම පැමිණෙන විට, කවුරුන් හෝ මාගේ මඟ පෙන්වීම අනුගමනය කරයිද, එවිට ඔවුන් කෙරෙහි කිසිඳු බියක් හෝ ශෝකයක් ඇති නොවේ." ආයට් 38.

Tuesday, May 27, 2014

ඕන කුදයක් ගහගත්තම අපිට මොකද ?

මේ දවස්වල දේශපාලන කතිතාව “ පොදු අපේක්‍ෂකයා ,ජනාධිපතිවරණය, සහ ඌව පලාත් සභා මැතිවරණය.
ඌවෙන් පස්සේ ජාතික මැතිවරණයක් තියෙනවා කියලා කාගෙත් කතා බහට ලක්වෙනවා. මොනවා කරන්නත් කේන්දර කාරයෝ නිවරදි මතයක් රාජ්‍ය පාලකයනට නිවේදනය කරන්න ඕණිනේ. අපේ රටේ පාලක නායක කාරකාදින් වගේම විපක්‍ෂයයි කියාගන්නා උදවියත් මහජනයාට වඩා විශ්වාශකරන්නේ කේන්දර කාරයෝනේ !.

 කේන්දර කාරයෝ තමයි මේ හැම එකටම තීරකයෝ වෙන්නේ.  ඡණ්දදායකයින්ගේ බඩගින්න නෙමෙයි.ඉහට වහලක් නැති එක නෙමෙයි. වතට ඇදුමක් නැති එක නෙමෙයි. 
දේශපාලන විචාරකයෝ කියලා කොටසක් ඉන්නවා . සති අන්ත සහ බදාදා වගේ දවස් වලට ජාතිකයයි කියාගන්න පත්‍රවල පිටු පුරවන.ඒයාලට තියෙන්නේ එක එක දේශපාලන පක්‍ෂවලට කඩේ යන එක. කිරල මැනලා විචාරකයක් කරනවාට වඩා අවිචාරයෙන් ලියන එක මෙයාලගේ කාර්යය. ඒවා කියවලා තීන්දු තීරන වලට එලඹෙන කොටස් ඔක්කොටම අංගොඩ ,මුල්ලේලේරියාව පැත්තටත්   ,පලාත් මහා රෝහල් වල විශේෂිත වාට්ටුවලටත් ගාල් වෙන්න සිද්ධ වෙනවා.
මේ ඊයේ පෙරේදා අපේ අසල් වාසියෙක් මගෙත් එක්ක මහත් තර්කයක. ඉන්දියාවේ මෝදි ජයග්‍රහණය කරලා කොන්ග්‍රස් එක  බැරි ගැහුනා වගේ ලංකාවෙත් මහින්ද මැදමූලනට පසුබස්සලා ‍රනිල් එනවා කියලා.

මම ඇහුවා ඉන්දියාවේ වගේ වාතාවරණයක් ලංකාවේ ඇතිවෙලා තියෙනවද ? කියලා. තාමත් එච්චරම දරුණුම නැහැ. කියලා උන්නැහේ කියනවා. එයාගේ කතාවට පදනම් වෙලා තිබුනේ “ උපුල් ජෝශප් ප්‍රනාන්දු” ගේ දේශපාලන විග්‍රහයක් . ආණ්ඩුවට කඩේ යන ඔය එක එක නම් වලින් ලියන උදවියගේ විග්‍රහත් ඒ වගේම තමයි. තාමත් ඒ ගොල්ල සිහින ලෝකවල පාවෙනවා.

මැතිවරණයක් තිබුනදාට ඒගොල්ල  මහපොලොවට කඩා වැටෙයි. අපි අහුලා ගන්න බලාගෙන ඉමු.
වෙඩි හඩ බෝම්බ පුපුරන නැතිවුනත් බඩ ගින්නට විසදුමක් නැහැ. රජයේ රැකියා නිවෙස්වලට ලැබුනත් ලැබෙන සොච්චම මාසේ විසි පස් වෙනිදා  ඉදන් ඊළග මාසේ දහවෙනිදා දක්වා  ගැණ ගන්න බැහැ.

අපේ අසල්වාසී සමාජවාදී සහෝදරයෙක් ඔච්චමට කියන්නේමේක සමාජවාදී රජයක්!.  ආදායම සම සමව  ජන සමාජයට බෙදා දීලා තියෙන්නේ ඔන්න ඔහොමතමයි කියලා !.දෙබීඩී ( එජාප + ශ්‍රීලනිප) ඡණ්දදායකයෙක්  කියන්නේ 2500 /= තියරි එකට යන්න කියලා. එතකොට බැලන්ස් වෙනවා විතරක් නෙමෙයි  ලැබෙන සොච්චම ඉතිරිත් වෙනවා කියලා.
2500 /= ප්‍රතිකාරයක් හැටියටත් භාවිතා කරණ වෛද්‍ය විශේෂඥයෙක් මටත් හමුවුනා අතුරු කතාවක් වුනත් මම ඒකත් කියන්නම්. මෙතෙක් කල් නොතිබුන මගේ එන්ජින් එක මාස දෙකකට ඉස්සෙල්ලා ෆුල් ඔප්ෂන් වෙලා. හෘද වස්තුවේ පුංචි වේදනාවක් ඇතිවෙලා හෘද රෝග විශේෂඥයෙක් හමුවුනා. එතුමා මට ඔෘෂධ නියම කරන ගමන් කිව්වේ බන්දුල ගුණවර්ධන ඇමතිතුමා හමුවෙලා 2500 /= ආහාර ලේඛණය ඉල්ලගෙන භාවිතා කරන්න ඒ  ගමන් අනුපානෙට “ හුලං බොන්න “ කියලා. අත්දුටුවයි සත්තයි ලෙඩ ඔක්කොම සනීප වෙනවා කියලා.

ආයෙත් ජනාධිපතිවරණය ගැන විචාරයට යොමුවෙමු. කවුරු දිනයිද කියලා. කවුරු දිනුවත් රටටත් රටවැසියාටත් යහපතක් නැත්නම් අනාගතේ ගැන හිත හිතා ඉන්නේ නැතිව ඕන දෙයක් වෙච්චාවේ කියලා ඇස් දෙක පියාගෙන කන් දෙක වහගෙන කට පියාගෙන ඉන්න එක තමා හොදම විචාරය කියලා සටහන් කරන ගමන් “ ඕන කුදයක් ගහගත්තම අපිට මොකද ? “ කියලා  සටහන හමාර කරනවා.




notes of imaginary

Wednesday, May 14, 2014

මම කම්පා වෙමි !.


අද වෙසක් පුන් පොහෝ දිනයයි. බුදුරජානන් වහන්සේගේ උපත, බුද්ධත්‍වයට පත්වීම, සහ පිරිනිවන් පෑම සිහිපත් කර බෞද්ධයෝ වන අපි  - අපේ පූජණියවු චින්තකයානන් ගුරුවරයානන් සිහිපත් කරන දිනය අදයි.වෙසක් සද  සිසිලස බෙදමින් මෝදු වන විටම බක් මාසයේ  කලබලකාරී අහස නිහඩ වෙයි. සාමකාමිවෙයි . ගහ කොල නලවන මද සුලගක් අපේ ගත  නිවා දමයි. වෙසක් සද අපේ සිත පහන් කරයි. මේ අසිරිය මැද  බුදුරජානන් වහන්සේගේ තෙමගුල සිහිපත් කර  අප සිත් උන් වහන්සේ වෙත බැති සිතින් නමස්කාර කරයි.

බුදුරජනන් වහන්සේ ජීවිතය විවරනය කරයි . මම දෙනෙත පියාගත් වනම ජීවිතය සිහිපත් කරමි.
 “ සබ්බේ සංඛාරා අනිච්චාති 
යදා පඤ්ඤාය ඵස්සතී
අථ නිබ්බින්දතී දුක්ඛේ
ඒසමග්ගෝ විසුද්ධියා “
සියළු සංස්කාරයෝ අනිත්‍යයය
ලොව පවතින සෑම දෙයක්ම වෙනස් වීමේ දහමට අනුව වැනසෙන බවත්  - ධර්මය සදාකාලික බවත් පහදා දෙයි
සබ්බේ ධම්මා අනත්ථාතී
යදා පඤ්ඤාය ඵස්සතී
අථ නිබ්බින්දතී දුක්ඛේ
ඒසමග්ගෝ විසුද්ධියා

තවදුරටත් බුදුන් වහන්සේ වදාළේ තමන්ට වැඳිය යුත්තේ හුදෙක් මලින්, සුවඳින්, පහනෙන් පමණක් නොවන බව සිහිපත් කරයි.  
තමන්ගේ ධර්මය අනුව ජීවත්වන්නේ නම් එය තමනට කරන වැඳීමක් වන බව සිහිපත් කරයි.

මගේ දෙනෙත තවමත් පියා ගෙනය.  පෙරහැරින් කුඩ කොඩි සේසත් වටිටි පුරා මල් සුවද පැන් සුවද කූරූ රැගත් දරු දැරියෝ පෙරටු කර ගත් වැඩිහිටියෝ පන්සල් බිම පුරා පිරෙයි. සුදුවතින් වසා ගත් සේලයන් නිසා වෙන් පන්සල් බිම හිම වලාකුලක් මෙනි.
පුදසුන මත පිදෙන මල් මොහොතින් මලාණික වෙයි. සුවද කූරූ දැවී අළු වි යයි.
“ සබ්බේ සංඛාරා අනිච්චාති ..................................................”
වැසී ගිය සුදු සේලයන්ගේ මනසින් එවැනි හඩක් නොනැගේ . මම සෙමින් මුමනමි
“සබ්බේ ධම්මා අනත්ථාතී .................................................. ඒ හඩ ඔවුනට නොඇසේ.

මම මනසින්ම අවාස ගෙට දිව යමි.  බුදුරජානන් වහන්සේ ආනන්ද හිමියන්ට මහා කාශ්‍යප හිමියන්ට අවසන් වරට දුන් උපදෙස සිහිපත් කරනට .

අනේ  ! අවාස ගෙය හිස්ව ඇති බව දකිමි.

සිංච  භික්‍ඛු ඉමං නාච - සිත්තා තෙ ලහුමෙස්සති
ජෙත්වා රාග ච දොසංච - තතෝ නිබ්බානමෙහිසි.

මහනෙනි,
මේ ශරීර නැවේ පිරි තිබෙන මිථ්‍යා විතර්ක නමැති ජලය ඉසලන්න.
එසේ ඉසීමෙන් නැව සැහැල්ලු වී ඔබ  නිවන් පුරට යන ගමන ලෙහෙසිවේ.
එහෙයින් ඔබගේ නැව බැද නවතා
රාග ද්වේෂ නැමති බැමිද කඩා දමා
නිවන් පුරට යන්න.
-       -   ධම්ම පදය.


අපේ හාමුදුරුවෝ අවාස ගෙයින් නික්ම ගොසිනි. උන්වහන්සේ නැව දියෙන් පුරවා ගෙන ආපසු ආවාස ගෙට නොවවිඩිනා අරමුනින් ඈතට ඈතට යන අයුරු  පියා ගත් අඩවන් දෑසට  කාන්දුවන වෙසක්  පුන් පෝදා සද එලියෙන්  මම දකිමි.

මම කම්පා වෙමි!. 




notes of imaginary

Monday, May 12, 2014

අනේ අපේ රට !



මේ පල කරන්නේ මැයි 12 වෙනිදා (අද ) දිවයින කතුවැකියයි. දේශපාලකයින් යයි කියා ගන්නා අමන චරිතවල ඇති උද්දච්ච කම ගැන තවත් අව - ලස්සන කතාවක් මෙයින් කියවේ. මහජන නියෝජිතයින් විය යුත්තේ කවුරුන්ද යන්න අනාගතයේදී වත් මහජනතාව මෙන්ම නායක කාරකාදීන් සිතා බැලිය යුතුය.
ජාතික ලැයිස්තුව සකස් විය යුත්තේ පාර්ලිමේන්තුවට නොයෙන උගත් මෙන්ම බුද්ධිමත් පිරිසගෙන් විය යුතු අතර අද එය එසේ සිදුවන්නේ නැත. ඡණ්දයෙන් එන අපතයෝ මෙන් තවත් රැලක් පාර්ලිමේන්තුවට නොමිලයේ එන මාර්ගයක් වී ඇත්තේ ජාතික ලැයිස්තුවයි. අනේ අපේ රට !


කොතරම් වයසට ගියද කොටළුවා අශ්වයකු වන්නේ නැත

......
කොතරම් නීචද යත් ලෝකය කොතරම් නරකද යත් මේ දිනවල හැම මළඉලව්වක්‌ම සිදුවන්නේ පොලිසියේ අවාසියටය. ගුටි කන්නේත් පොලිසියය. මැරුම් කන්නේත් පොලිසියය. කූඩුවෙහි ලගින්නේත් පොලිසියය. රණ්‌ඩු බේරන්නට යන්නෙත් පොලිසියය. අන්තිමේදී බේරන ලද රණ්‌ඩුවේදී අගතියට පත් පාර්ශ්වය ගසන පෙත්සම්වලින් මානව හිමිකම් කොමිසම් ඉදිරියට යමින් - එමින් චාටර් වන්නේත් පොලිසියය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සාමාජික, පත්කළ මන්ත්‍රීවරියකගේ ආරක්‍ෂාවට ගොස්‌ ඩුබායි ගිය ඇතැම් ගෘහ සේවිකාවකවත් නොලබන පහත් වධ බන්ධනවලට ලක්‌ව සිටින පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු ගැන සෙනසුරාදා (10 දා) "දිවයින" මුල් පුවතින් හෙළි කර ඇත. මන්ත්‍රීතුමියගේ හරක්‌ නාවන්නේත් මේ පොලිස්‌ නිලධාරීන්ය. ඇගේ මිදුල උදළු ගාන්නේත්, කොස්‌ කඩන්නේත් පොල් අහුලන්නේත්, මල් පාත්ති සුද්ද කරන්නේත්, කුඹුරු හාන්නේත් ඔවුහුය. කෑම උයන්නේත්, වළන් සෝදන්නේත් ඔවුහුය. (කෑම ඉවීමට වළන් සේදීමද සම්බන්ධ බැවින් මේ දෙකම එක පැකේජයක්‌ යටතේ එක කාරණයක්‌ බව පොලිස්‌ රාළහාමිලා දෙදෙනා මතක තබා ගත යුතුය. එසේම මල් පාත්ති සුද්ධ කිරීම පොල් ඇහිඳීම, මිදුල උදළු ගෑම, කුඹුරු හෑම යන හතරම "උද්‍යාන සේවා" යන තනි පැකේජයට අයත්ය.) අපි මේ මන්ත්‍රීතුමිය ගැන දනිමු. ඇය මෙතරම් පිස්‌සු කේස්‌ එකක්‌ යෑයි නිකමටවත් නොසිතුවෙමු. උත් 'තුංග' 'රණ' ශූරියක සේ මුව "කමල" අයා ඇය කවි කියනු අසා ඇත්තෙමු. ඇය මුළු ජීවිතයම වැය කළේ ශ්‍රී. ල. නි. ප. යට දර දිය ඇදීමට බවට ආරංචියක්‌ තිබේ. ආණ්‌ඩුව ඇය ලිස්‌ට්‌ එකෙන් පාර්ලිමේන්තුවට පත්කර යවන්නට ඇත්තේ චිරාත් කාලයක්‌ පුරා ඇය කළ මෙහෙවරට වන්දි වශයෙන් විය යුතුය. ඇය පාර්ලිමේන්තුවට යෑවූ ශ්‍රී ල.නි.ප. නායකයන් විසින් සිහිපත් කරනු ලැබිය යුතු වැදගත් කාරණයක්‌ තිබේ. එනම් කොතරම් වයස ගියද කොටළුවා කවදාවත් අශ්වයකු වන්නේ නැති බවය. පැටියා කාලයේදී අශ්ව පැටවකුගේ පෙනුමට සමාන වුවද කොටළුවා ලොකු මහත් වූ පසු නිතර පෙන්වන්නේ කොටළු හැසිරීම්ය.

එක අතකට පොලිසිය යොදා වුව කුඹුරු හෑම ඔවුන් නිකරුනේ සිටිනවාට වඩා පලදායක බව මන්ත්‍රීතුමිය කල්පනා කරන්නට ඇත. යුද්aධය ඉවර වී ඇති නිසා මන්ත්‍රීතුමිය මැරීමට එන කිසිවෙක්‌ නැත. එබැවින් පොලිසියට පින් බත් ගිල්ලවන්නේ මන්දැයි ඇය කල්පනා කරන්නට ඇත. මේ තත්ත්වයට පත්වෙමින් සිටින මැති ඇමැති ආරක්‍ෂක පොලිස්‌ නිලධාරීන් විශාල සංඛ්‍යාවක්‌ රට පුරා සිටිති. මේ මැති ඇමැතිවරුන් මරන්නට මොකෙක්‌වත් නොඑති. එසේ ආවත් ඒ එල්.ටී.ටී.ඊ. ය නොව එම මැති ඇමැතිවරුන්ගෙන් 'පොලු' කා ඔවුන්ගේ ගැටවලට රැවටී ඔවුන් මරාගෙන මැරෙමැයි අධිෂ්ඨාන කරගත් ඡන්ද දායකයන්ය. ආණ්‌ඩුවේ ඇතැම් කසි කබල් ඇමැතියකුට පොලිසියේ රාළහාමිලා දහයක්‌ පහළොවක්‌ ආරක්‍ෂාව දෙති. ඇමැති යන යන තැන ඩිපෙන්ඩර් රියවල නැගී රටේ තෙල් පෙට්‍රල් කා දමමින් පස්‌සෙන් දුවති. ඇමැතිගේ හාමිනේට පොළේ යන්නේ ඔවුහුය. ඇමැතිගේ ළමයින් පාසලට ගෙන යන්නේත් ඔවුහුය. ඇමැති ගෙදරට අමුත්තන් ආ විට තේ අල්ලන්නෙත් ඔවුහුය. ඇමැතිගේ බල්ලා දොස්‌තර ළඟට ගෙන යන්නේත් ඔවුහුය. එයට නම් අප විරුද්ධ නැත. මන්ද සමහර ඇමැතියකුට වඩා ඔහුගේ බල්ලා හැම අතින්ම ශ්‍රේෂ්ඨය. ඒ සතාට කලගුණ මතක තිබේ. තමාට මෙහෙයක්‌ කළ හැම කෙනෙකු ගැනම වෙන් වෙන්ව මතක තබාගෙන නගුට වැනීමට බල්ලාට හැකිය. මෙතැනදී තමා නගුට තමාට නොවනන්නේ නගුටක්‌ නැති නිසා බව කියමින් ඇමැතිට හිත හදා ගත හැකිය. .....

notes of imaginary

Sunday, May 04, 2014

දෙසතියක සිති - වලි


සිංහල සහ හින්දු අළුත් අවුරුද්ද ගෙවිලා ගිහින් මැයි දිනය බ්‍රහස්පතින්දා තිබුනා. කියවන ඔබට හිතෙනවා ඇති මොකක්ද මේ දෙකේ තියෙන සම්බන්‍ධය කියලා. මම මේ දෙකම දැක්කේ අරමුණු වලින් වෙනස්ව ගමන් කරන උත්සව දෙකක් හැටියට.
සිංහල සහ හින්දු අළුත් අවුරුද්ද  අපේ සංස්කෘතිකාංගයනට එකතුවුනේ කෘෂිකාර්මික ජීවන රටාවේ අස්වනු ගෙට ගෙන ඊලග කන්නයට සුදානම් වෙන්න ගත්ත පුංචි විවේකයක් ලෙසටයි. මේ විරාමය එක්තරා විදියකට සංක්‍රාන්ති සමයක්.
අප්රේල් මාසේ පටන් ගන්න “බක්මහ වැස්සට පෙර අස්වනු නෙලා ගෙන ගෙට  ගෙන බක්මහ වැස්ස තුරල් වෙන වෙසක් මාසේ දක්වා ගොවිතැන් කටයුතු වලට විරාමයක් ලැබෙනවා. අතමිට සරුවී අටු කොටු පිරවුන මෙ වකවානුවට ජ්‍යොතිශ වැදගත් කමක් ඇති සිද්ධාන්ත කිහිපයත් එකතු කරගෙන අළුත් අවුරුද්ද කිසියම් රටාවකට පිලිවෙලක් ගන්නවා. පරණ අවුරුද්දේ කරගෙන ආ වැඩ රාජකාරි නැකතකට අනුව අත්හැර දාලා සූර්යා මීන රාශියෙන මේෂ රාශියට පැමිණියායින් පසු නැවතත් අක්හරින ලද වැඩ රාජකාරි ආරම්භ කරනවා.
අද අපේ රටේ කෟෂිකාර්මික ආර්ථික රටාවක් නැහැ. හාම්පුතුන්ට තම ශ්‍රමය  කඹුරා මාසේ අන්තිමට සොච්චමක් අතට ගන්න ආර්ථිකයකට හුරුවෙලා තියෙන්නේ. මේ සොච්චම මාසේ අන්තිමට නැත්නම් මාසේ දහවෙනිදාට ලබා ගන්න පිරිසකුත් ,  දවස ගෙවෙන හැන්දෑ යාමයට අතට කීයක් හරි මිට මෙලවෙන  විශාල පිරිසකුත්  සිටින රටට උරුම වෙලා තියෙන්නේ එදා වේල ආර්ථිකයක්.

ඉතින් කොහොමද අවුරුදු සිරිත් විරිත් රැකිලා තියෙන්නේ.  මේ ආර්ථික රටාව තුල මුදලක් එකවර ලැබෙන්නේ නැහැ. අතට සොච්චමද ගත් සැනින් වාෂ්ප වෙලා යනවා.
අද අවුරුදු සිරිත් විරිත් වල වැදගත් කම අඩු වෙලා.

වැටුප් ලබන හැම කෙනාටම වැටුප අතට ලැබෙන සතියක් දෙකකට ඉස්සෙල්ලාම නොනගතය ලබනවා. ආහාර අනුභවය අත්හරින්න සිද්ධ වෙනවා. ලිප ගිනි මෙලවිල්ල පස්සට තියලා හිත ගිණි මොලවගෙන ඉන්න සිද්ධ වෙනවා. සියළු ගණුදෙනු අත්හැරලා බකං නිලා ගෙන ඉන්න සිද්ධ වෙනවා. මේ සියළු සිරිත් ගෙවිලා අවුරුද්ද ලබන්නේ මාසේ පඩි ගත්ත දාට. එදාට ගණු දෙනු කරලා මුදලාලිගේ ණය බිලිපතේ සිට විදුලි ,ටෙලිපෝන ආදී නානාවිධ බිල්පත් ගෙවලා ගණුදෙනු අහවර කරලා සම්බලයක් මිශ්‍ර බතක් කාලා වැඩ අරඹන්න සිද්ධ වෙලා තියෙනවා. 
මාසේ ගෙවෙනවා හැරිලා බලන කොට ආයෙත් නොනගතේ ලබලා.........................
උත්සවශ්‍රියෙන් .අවුරුද්ද සමරන්න කීයෙන් කීදෙනාටද පුළුවන්.


මැයි දිනෙත් ඒ වගෙයි කණපිට හැරිලා.  

අතීතයේ රතු කොඩිය අරගෙන ධනේෂ්වර පන්තියේ සූරා කෑමට එරෙහිව පෙළපාලි ගිය කම්කරු පන්තිය  අද මැයි දිනයදා ධනේෂ්වර පන්තිය සිංහාසනයේ තියන්න පෙලපාලි යනවා. “ .........දැන් ඉතින් නැගිටියව්  කියාගෙන. නැගිටින්න කියන්නේ කම්කරු පන්තියටද නිර්ධණ පන්තියටද ? කියලා කියන පන්තියට තේරුමක් නැහැ.
ඒ අස්සේ මහ හයියෙන් අත් දෙක උස්සලා “කාගෙද? මේ බලවේගේ - ....................................... “කියලා අපෙන් අහනවා. අපිට මතක් වෙන්නේ පලකරන්න බැරි උත්තර. මේ පෙලපාලි වල යන අය කීයෙන් කීදෙනාද දන්නේ මැයි දිනය ආරම්භ වෙන්න මුල්වු හේතුව මොකක්ද කියලා.

තම වැඩමුරය පැය 8කට සීමාකරන්නැයි, ඉල්ලමින් 1886 මැයි මස 01වැනදා කම්කරුවෝ පිරිසක් අමෙරිකාවේ චිකාගෝ නුවරට එක්වුනා වැඩවර්ජනයේ තීරණාත්මක දිනය වුයේ, 1886 මැයි මස 03වැනිදාය.එදින සේව්‍ය මෙහෙයවීමෙන් ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් පිරිසක් වැඩවර්ජනයට එල්ල කළ ප්‍රහාරයෙන් කම්කරුවෝ සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත් වුනා.ඊට විරෝධය පළ කරමින් යළිත් මැයි මස 4වැනදා කම්කරුවෝ පිරිසක් හේමාර්කට් චතුරශ්‍රයට එක් වුනා.එදින පොලිස් හා කම්කරුවන් වචන හුවමාරුවක පැටලුණු අතර එහිදී එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පොලිස් නිලධාරියකු මිය ගියා. මේ ගැටුම අවසන් වුනේ තවත් පොලිස් නිලධාරීන් 6දෙනෙකුට ජීවිත නැති කරමින් .

ඕගස්ටස් ස්පයිස්, ඇල්බට් පාර්ඩ්න්ස්, ඇඩෝල්ෆ් ෆීෂර්, ජෝර්ජ් එන්ගල්ස්, සැමුවෙල් ෆීල්ඩන්, ලුයිස් ලන්ග්, මයිකල් ස්ට්වැච් හා ඔස්කා නිබේ යන කම්කරු නායකවරු පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන නඩුවිභාගය අවසන් වුනේ ඔස්කා නිබේට වසර 15ක සිර දඬුවමක් ද සැමුවෙල් ෆීල්ඩන්, මයිකල් ස්ට්වැඩ් දෙදෙනාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හිමි කරමින් .

පැය 8ක සේවා කාලයක් ඉල්ලා අරගල කරමින් එලෙස රුධිරය වැගිරූ තම සගයින් සදාතනිකව සිහිකිරීමට 1889 වසරේ රැස් වූ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ තීරණය  සැම වසරකම මැයි 01 වැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස නම් කරමින් ප්‍රකාශයට පත්වුනා

ඒ.ඊ. ගුණසිංහගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට මැයි දිනය සමරනු ලැබුවේ, 1927 වසරේදී.
1933
වසරේදී කොළඹ ප්‍රයිස් පිටියෙන් ආරම්භ වු පෙලපාලිය ගාලු මුවදොර පිටියෙන් අවසන් කර ලංකා ඉතිහාසයේ ප්‍රථම මැයි රැළිය පැවැත්වුවා.1956 වසරේ මැයි දින සැමරුමේදි මැයි 1 වැනිදා මෙරට රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කලා..
සැමරිය යුත්තෝ අද නාමිකව ඉතිහාසයට එක්වෙලා. 

සමරන්නේ  පුම්බන්නේ බලයේ සිටින බලයට එන්න ඉන්න දේශපාලන ප්‍රතිරූප.අරගල කර හෝ ලබාගත යුත්තෝ බෙරිහන් දෙන්නේ දේශපාලනඥයින්ට බලය ලබා දෙන්න.
අද මැයි දිනයදාට දේශපාලනඥයෝ ගමනා ගමන පහසුකම් සලස්සලා අගනුවරට අරගෙන එන කම්කරුවන්ගේ නිර්ධණ පන්තිකයන්ගේ  අතට මත් වතුරවිදුරුවක් , බත් පතක් දීලා  එයාලගේ අතේ තිබුන රතු කොඩිය උදුරගන්නවා .උදුරාගෙන කම්කරුවන්ගේ නිර්ධණ පන්තිකයන්ගේ  කටට ප්‍රගස්ති ඔබලා විලංගු දාගෙන පෙලපාලිය ඉස්සරහින් ගිහින් ස්ටේජ් එකට නැගලා - පෙලපාලියේ තමුන් දක්කගෙන ආපු උදවියට දේශනා පවත්වනවා. 

ඒක අහගෙන ඉදලා අපේ ඇත්තෝ නිදිමරාගෙන ගම්බිම්වලට එනවා.

ඔන්න අද මැයිදිනය !.



notes of imaginary

Friday, May 02, 2014

තාමත් අපි සංසාරේ



අපේ බෞද්ධ ජනතාව  තරම් බණ අහන වෙනත් ආගමික ජනතාවක් ඉන්නවා කියලා මට හිතා ගන්න බැහැ. අපේ විද්‍යුත් මාධ්‍ය අපි නිදිකරවන්නෙත් අපි  අවදිකරන්නෙත් ආගමික වැඩ සටහන් වලින් ගමේ පන්සලේ හාමුදුරුවෝ පාන්දර පහට පටන් ගන්න ආගමික වැඩ සටහනෙන් අදාල නැතිවුනත් ගමම අවදි වෙන්න ඔනී.
ප්‍රවෘත්ති විශේෂාංග අහන බලන අපිට කොයිතරම් මිණිමැරුම් ,මංකොල්ලකෑම් ස්ත්‍රී දුෂණ වැන අපරාධ අහන්න ලැබෙනවද ?. ඉතින් මට හිතෙනවා මේ බණ කීමෙන් වෙහෙසිලා පලක් නැහැ. කියලා.
අද මේ වියමන කෙටුම්පත් කරන්නේ ගමේ පන්සලන් විසුරුවා හරින පිරිත් දේශනාව අහන ගමන්. කාලෙකට ඉස්සර ගෙවල් වල උදේ පාන්දර ක්‍රියාක්මක කරන ගුවන් විදුලි යන්ත්‍රය වහන්නේ නින්දට යනකොට. මේඔස්සේ තොරකෝංචියක් නැකිව ගලා ගෙන සිංදු ගෙවල් වල පාළුවට වගේ අහන්න ලැබෙනවා. දැන් දැන් එහෙම නෙමෙයි. උදේ පටන් නින්දට යන කම් බණ නාලිකාවකට යොමු වෙලා. අහනවද නැද්ද දන්නේ නැහැ ඒත්  ශ්‍රවණය කලත් නොකලත් ගෙදර ධර්ම මණ්ඩපයක් වෙලා. මේකත් අළුත් කලාවක් කියලා මට හිතෙනවා.
මේ පුර්විකාවට ලියවුනේ පුංචි රස කතාවක් කියන්න.
මාස කිහිපයකට ඉස්සර මගේ නැගණියක තම දියණියත් සමග සාප්පු ගිහිල්ලා. අම්මා දුවව මුණ ගැහෙන්නේ තම සේවා ස්ථානයේ සිට නගරයට ඇවිත්. අම්මත් සමග යන යන තැන දියණියට ධර්ම දේශණාවක් ඇහෙනවා. සාප්පුවක් සාප්පුවක් ගානේ එකම ස්වාමීන් වහන්සේ නමක් කරන ධර්ම දේශනාවමයි ඇහෙන්නේ. දුව හිතනවා හැමතැනම අද බණ දාලා. මොකක්ද මේ විශේෂත්‍වය කියන එක දුවට ගැටළුවක් ?.
සමහර සාප්පු වල නම් ඇතුල් වුනහම බණ ඇහුනේ නැහැ. සාප්පු සවාරිය එවර වෙලා වාහනේට නැග්ගහමත් අර බණ දේශනාව ආයෙත් ඇහෙනවා.
බලාපුවම අම්මා ගේ බෑග් එක ඇතුලේ තිබුන පුංචි රේඩියෝව මේ හපන් කම කරලා තියෙන්නේ.
තුන් තිස්පැයේම බණ අහන රටක ජීවත් වන අපි තාමත් සංසාරේ සැරිසරන්න අකුසල් රැස්කරමින් දවස ගෙවා දමන බවනම් හිතාගන්න පුළුවන්......... !.

notes of imaginary

Thursday, April 17, 2014

මහාචාර්ය විශාරද සනත් නන්ද සිරි සමග.



මාර්තු මාසේ අන්තිම සතියේ බ්‍රහස්පතින්දා. වෙලාව පස්වරු 6.00යි අපි රංග ශාලාවට ඇතුල්වෙලා අසුන් ගත්තේ හතට පටන් ගන්න නියමිත සනත් නන්ද සිරි මහත්මයාගේ ගීත සමුච්ඡයට සවන් දෙන්න. මහාචාර්ය විශාරද  සනත් නන්ද සිරි අපි එහෙම කියමු. නැත්නම් ආමන්ත්‍රනයේ අඩුවක් වෙනවා.
තැන  සබරගමුව විශ්ව විද්‍යාලයේ  සමාජ විද්‍ය පීඨයේ රංග ශාලාව. අසල්වාසියෙක් වන මට වසර කිහිපයක සිට හුරුපුරුදු තැනක් බවට පත්වෙමින් තියෙන්නේ මේ වගේ අවස්ථා නොපැහැර අරින නිසා. විශ්ව විද්‍යාල කුලයට අය කියන්නේ බෙලිහුල්ඔයට අපි ආවේ නැත්නම් තාමත් ඔය ගොල්ල ආදි වාසීන් කියලා.
කමක් නැහැ අපි දැන් ඒ පිහිටෙන් හරි අළු ගසා ගත් බයියන් බවට පත්වෙමින් සිටිනවා. මේ කතාව නන්දසිරියන්ට කීවා නම හැත්තෑවේ දශකයේ ආරට භාව ගීතයක් රසවිදින්න තිබුනා.

විකසිත වත කමලේ නෙත් බඹරුන් පැටැලේ
බැල්මට නෙතු සඟලේ සිතු සිතුවිලි පැටලේ 
ළඳුනේ......... මා දකිනා
සිහිනේ... හද සැලුණා.........  
මහාචාර්ය විශාරද  සනත් නන්ද සිරි තම හඩ අවදිකරන්න පටන් ගත්තා . අවුරුදු කාලෙට කොහා අඩලනවා .මට රිගිං  සෝන්ග් එකකින් ඇහුනේ මේ කොහාගේ හඩ නෙමෙයි. කපුටු රාල කෙනෙක්ගේ හඩක්. ගීතය ගයා අවසානයේ එතුමාගේ පසුතැවිල්ල ප්‍රකාශවුනා.

“මා ගැයූ විකසිත වත කම‍ලේගීතය ගැයුවේ මගේ මිතුරු ගායකයෙකුගේ පුතෙක්. එයා තමන්ගේ පියාගේ ගීයක් නොගයා මගේ ගීතයක් ගැයුවේ එයාගේ පියාගේ ගීතවලට වඩා මගේ ගීතය හොඳ නිසා විය යුතුයි. ඒ ගැන මම සතුටු වෙනවා.
ජනප්‍රිය ගීතයක් වෙනත් අයකු ගැයුවාට මුල් ගායනය නැතිවන්නේ නැහැ. විකසිත වත කම‍ලේගීතයෙන් මා අභිබවා ඔහු මතුවන්නේ නැහැ.
ඒත් මට පුංචි කනගාටුවක් තියෙන්නේ ඔහු මගේ මිතුරෙකුගේ පුතෙකු වීම නිසයි. අන්කල් මං මේ සින්දුව රිඟින් ටෝන් වලට කියනවාකියලා මට දුරකථන ඇමතුමක් දෙන්නවත් මේ ගායකයාට මා අමතක වීම ගැන විතරයි මම කනගාටු වන්නේ.”

අපේ රටේ බුද්ධිමය දෙපල නීතිය තුල ගායකයාට  ගීයක හිමි කමක් නැහැ.ගීය අයිති පද රචකාටයි සංගීත නිර්මානකරුවාටයි. ගීතයක්  ජනප්‍රිය වන්න ගායක ගායිකාවන් ප්‍රබල දායකත්වයක් ලබාදෙනවා.  මේ නීතිය ගායකයාටද අයිති විදියට ඉක්මනින්ම සංශෝධනය විය යුත්තක්.  
අඩ අදුරේ මට නැගුන සිතිවිල්ල අනිත් අයටත් නැගෙන්න ඇති.

ප්‍රේක්‍ෂකයන් අදුරේත් වේදිකාව විදුලි ආලෝකයෙනුත් පුරවලා. විදුලි පරිපාලකට  මහාචාර්ය විශාරද  සනත් නන්ද සිරියන්ගෙන් ඉල්ලීමක් “ මට  තනියෙන් ගයන්න බැහැ අර ගොල්ලෝ මට පේන්නේ නැහැ. ඒ ගොල්ල මට දකින්න ඕනී. ඉතින්  ශාලාවට ආලෝකය සපයන්න “ අදුරෙන් අඩ අදුරට මැරුවුන ශාලාව
එතැන් ඉදන් මහාචාර්ය විශාරද  සනත් නන්දසිරියන් ආධිපත්‍යට යටත් වුනා .

මේ ප්‍රථම වසන්තයයි
දිවි අරණේ මධුමල් පිපෙනා
බිඟු රැව් නැගෙනා.......
මේ ප්‍රථම වසන්තයයි........

සිත පවස දරා මිරිඟුව අතරේ 
දිය පහස පතා සිටියදි කතරේ 
ඔබ සිහිල් දොළක්‌ සේ පාවී....
වසන්තයක්‌ වී ආවේ.....

ගීතයක් ගයා අවසන්ව ඊලග ගීතයට යන්නේ ගීතය ඉපදුන හැටි විවරණය කරමින්. ඒ සදහා කථකයෙක් යොදා නොගත්ත මහාචාර්ය විශාරද  සනත් නන්දසිරියන්  ශ්‍රවක ජනී ංනයන්ගෙන් පිරී ගිය නේපත්‍යගාරය හා දොඩමළු වුනා. එයත් අපුරු අත්දැකීමක්.

එතුමන් පදවා ගිය රථයට වරින් වර වෙට්ටු දමමින් රිය පසුකර ගිය ත්‍රීවීලර් රියදුරෙක් “ සර් පස්ස පස්ස “ කීවාළු. එතුමා ත්‍රීවීලර්යේ පසු පස බැළු ටිට එහි “ වරදක් කළත් සිතකින් නොවේ
රිදවන්නෙ පළිගන්නෙ ඇයි.......” යන්න සටහහන් ව තිබු බවක් සියල්ලන් සිනා හඩ මැද පවසමින්
වරදක් කළත් සිතකින් නොවේ
රිදවන්නෙ පළිගන්නෙ ඇයි
ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්
මට මාගෙ ඇස්දෙක වගෙයි //
ඔබෙ ගිනි නිවා ඇගෙ හිත දවා
අප එක්වෙලා කුමටදෝ...//
වෙනසක් නොවී මගෙ හිස් අතින්
පිසලන්නෙ කොයි කඳුළ දෝ....
අසරණ ඔබයි තනිවුණු ඇයයි
මට ශාප කර යාවිදෝ...//
ඔබෙ ලෝකයෙන් ඇගෙ ලෝකයෙන්
සමුගන්න සිදුවේවි දෝ...
යන ගීතයට ජීවය සැපවුවා.

·        ගමේ කෝපි කඩේ
·        මා හද අසපුව කුසුමින් සැරසුව
·        මුළු ලොව මගෙන් අසාවී
·        පෙමාතුර හැඟුම්
·        විකසිත වත කමලේ
·        ඇව්ලුනු ගිනිදැල්
·        කොහෝ කොහෝ
·        ඈත එපිට ගම්මානෙන්
·        සහසක් පැතුමන්
·        යසෝදරා
·        සීත රෑ වසන්තේ
·        දඟකාර ඔය දෑස දුටුවා එදා
·        සොවින් පිරි මගේ හදවත
·        ආදරේ නෑ ආදරේ, කවුරැවත් නෑ
·        නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ
·        ගී අරණේ මධුමල් පිපෙනා....
·        ප්‍රථම වසන්තය
·        දූ අනුරාධා

නේපත්‍යාගාරය  මහාචාර්ය විශාරද  සනත් නන්දසිරියන් විසින් තමන් වෙත ඇද බැදගෙන සිටී ප්‍රේක්‍ෂක ජනී ජනයා එක් පිටුපස තව එකක් වෑහෙන රස කතා සමග ගැයෙන ගීතයන් ලොල් බැද සමාධි ගතවු  දැහැනෙන් මිදෙන්නී ගීතයෙන් ගීතයට ශාලාව අත්පොලොසන් හඩ ගුගුරුවමින් තම සතුට පලකරනවා .
හැත්තෑවේ දශකයේ මුලින්ම අප දුටු පිරිපුන් වියත්  මැදිවියත්  ඉක්මවා  අපටත් වඩා ඉදිරියෙන් පියමං කරන මහාචාර්ය විශාරද  සනත් නන්දසිරියන්ගේ රූපකාය තුල  ප්‍රේමණීය හඬ පෞර්ෂය නොනැසී  ශාලාව අත්පත් කරගෙන. ඒ හඬ රසික හදවත් දොවාගෙන ගංගාවක් සේ ගලායනවා. එතුමන් ගේ බොහෝ ගී තනුනිර්මාණ තුළ ද ඒ යෞවනය තවමත් නොනැසී පවතීනවා.
“ මගේ රටට දළදා හිමි සෙවනයි - මගේ දැයට දළදා හිමි සරනයි.  එන ගීතරාවයත් සමගින් වේදිකාවෙන් සමුගන්නා මහාචාර්ය විශාරද  සනත් නන්දසිරියන් තිරපටින් වැසී යද්දී වේදිකාව ඒක් හඩින් අත් පොලෙසන් හඩින් ගිගුම් දී නිහඩ වෙයි.වෙලාව 10.20 සටහන් වෙලා අපිව පැය 3.00 ගීතයෙන් දැහැන් ගත කල මහාචාර්ය විශාරද  සනත් නන්දසිරියන්ගේ වේදිකාවේ තිරයෙන් එහා සැගවුනා.
සිත පවස දරා මිරිඟුව අතරේ 
දිය පහස පතා සිටියදි කතරේ 
ඔබ සිහිල් දොළක්‌ සේ පාවී....
වසන්තයක්‌ වී ආවේ.....


මම තවමත් මුමුනනවා. 

notes of imaginary