රෑ එළිවෙනකම් වැස්ස. අද නම් පොඩ්ඩක් පායල.
හුණ්ඩුවක් විතර රාමුවක කොටුවෙලා ඉන්නකොට
වැස්සකින් පස්සෙ එළියට බහින්නවත් හිතෙන්නෑ.
මිදුලෙ හැමතැනම වතුර තාම.
මහගෙදර ඉන්නකාලෙ නම් රෑට වහිනව
කියන්නෙ උදේට මගුල්. පහුවදා ඉස්කෝලෙ නිවාඩු
නම් රජ මගුල්.
උදේට අතුපතු ගාල ,මුණ කට
සෝදල,ටිකක් ජල ක්‍රීඩා කරන්න පුළුවන් එදාට තමයි.
අපේ ගෙදරට හැරෙනකොටම කෙනෙක්
දකින්නෙ ,කළුගල් වලින් හදපු පාලමක්.ගෙදර පඩිපෙළ
පාමුලින් පටන්ගන්න ක්‍රෝටන් වැටිය ,එක පැත්තකින්
පාලම ගාවින් නතරවෙලා ආයෙත් ,පාලම පටන්ගන්න
තැන ඉඳල දෙපැත්තට බෙදිල යනව .
හොරගොල්ලෙ මිසි නැන්ද ගෙ ඉඩම ගාවට යනකම්ම රතු, කහ ,කොළ
මෙරුන් පාට ක්‍රෝටන් පඳුරු ගාණට කප්පාදු කළාම ;
අද කාලෙ තාප්පවලට වැඩිය පෙනුමයි. වම්පැත්තෙ
ක්‍රෝටන් වැටිය ගලපල්ලෙහේන ගෙදරට යන ගුරුපාර
ළඟින් නවතිනව.
නිල්පාට වතුර කන්දරාවක් අරගෙන ,බොහොම
නැළවිල්ලෙ ගලාගෙන යන ඇළ , අපි හැමෝගෙම රජ
දහන වගේ.මහ වැස්සකින් පස්සෙ ,ඇලට බහින තැන දිගට
දිගේ සිනිඳු වැලි කන්දක් හැදිල . නිල්පාට හීන්වැල්ලක්
හැමතැනම විසිරිලා .හරි සිනිඳුයි.
“ වතුර වැඩි ඇති...හොඳද?
පරෙස්සමෙන් බහින්නෙ .
චූටි පුතේ ,ඇහුනද?”
අම්ම ගෙ කටහඬ මැන්ගුස් ගහ පැත්තෙන් . එයා ඒ පැත්ත
අතුගානව.කූඩැල්ලන්ට බයේ ,මං ඒ ටික අතුගාන්න යන්නෙ
නෑ . ලොකු මල්ලියි ,මායි ,චුටිමල්ලිත් එක්ක ඇලට ගිහිං
ඇලේ නටන බව අම්ම දන්නව. ජෑම් බෝතල් දෙකක් අරගෙන
ඒ දෙන්නගෙ ආසාව තමයි ඇලට බැහැල මාළු අල්ලන එක.
ගල්පාඬි තමා වැඩිපුරම ඉන්නෙ. සාරිගප්පි ,බුලත් හපයො
එහෙමත් ඉන්නව .
රෙදි හෝදන ගල ත් තරමක් යටවෙලා .ඒ
තරමටවතුර වැඩියි.ඒත් වතුරෙම ගල උඩ වාඩිවෙලා කකුල් දෙක
වතුරට දාපු ගමන් ඉවරයි.ගල්පාඩි රොත්තක් ඇවිත් යටිපතුල්
කනව.
“ අම්මෝ !! මුන් එක්ක නම් බෑ .”
“ බහින්න ,වතුරට .” ලොකූ , මාළුවෙක් බෝතලේට
දාගන්න දඟලන ගමන් කෑගහනව. ගප්පින්ගෙ රතු,නිල් වරල්
හරි ලස්සණයි.හරියට සරුංගල් අහසෙ පාවෙනකොට වගේ .
ඇලට බැහැල අත්දෙක ගොටුවක් වගේ එකතුකලාම පොඩි
මාළු පැටව් අහුරක් අතට එනවා.
ඇලට බහින තැන දිග පොල් කොටේ උඩින් කකුල
තියාගන , ඇලට බහින දෙපැත්තෙ වැස්සට එකතුවුණු
නිල්පාට මිනිරන් වැල්ලෙන් කකුලෙ නියපොතු මදිනව මං .
මාළු therapy එකෙන් පස්සෙ scrub කරන්නෙ එහෙමයි.
ඒ කාලෙ අද වගේ නෙවෙයි.foot care solutions ගම්බද දරුවන්ට
සොබාදහමෙන්ම ලැබුණ. දත් මැද්දෙ අඟුරු කෑල්ලක්
ගලේ අතුල්ලල .
කළුපාට උකු දියරයෙන් අපූරුවට දත් සුදු උණා. අද signal charcoal
හරි colgate charcoal toothpaste හරි ගන්න සල්ලි ඕනෙ කළාට
එදා ලිපේ අළු අස්කරනකොට අඟුරු වෙනම තියල තියෙන නිසා ;
ගියා...ගත්ත ...ආව. මොනතරම් සරලද? වෙනදට ඇළ ඉවුර දිගේත්
සිනිඳු ,නිල්පාට මිනිරන් වැලි තියෙනව. වතුර වැඩිනිසා ඒව යටවෙලා .
ගොඩපර ගෙඩි දෙකක් ඇලේ ඉහළ ඉඳල ගහගෙන එනව.
ගමේ කට්ටිය කොණ්ඩෙට සාත්තුකරන්න මේ ගෙඩි තම්බල ,දෙහි
උළුහාල් එක්ක ඔළුවෙ ගානව. ඒව අමුවෙන් හරි ලොකුයි. ඉවුර
දෙපැත්තෙ යායට වැවිල .ඇලේ හැංගිලා වගේ ඉන්න පුළුවන් ,
ගෙදරට නොපෙනි,ඇළ දිගේ උඩහට ගියාම.. . ගොඩපර පඳුරු නිසා.
හැම ගහකම ,සුදුපාට ලොකු මල් පිපෙනව, සුවඳේ බෑ.පෙති පහයි. මැ
ද බට්ටෙකුයි ,රේණුයි තියෙනව.ඉර එළියට දිස්නෙ දිදී ,හුළං තාලෙට
නැළවෙනව .ගිරව් ඇවිත් රන්ඩුවෙවී මද කන්නෙ.
මං පොඩ්ඩක් ඇළ දිගේ ඉහළට ගියා .වතුර පාර සැරයි.
යන්න ටිකක් අමාරුයි.බට පඳුරු දෙපැත්තෙන්ම ඇළට නැවිල .ආරුක්කු
වගේ .හොරගොල්ලෙ ගේ ගාව වෙරළු ගහේ ගෙඩි වකාරෙට.ඉදුණු ගෙඩි
ඔඩොක්කුවක් දිය රෙද්දෙ ඔතාගෙන දඟයො දෙන්නටත් දුන්න.
එයාල මාළු දාපු බෝතල් දෙක ගල් උඩින් තියල ,ලොකු කතාවක් .
“ නානවද දුවේ ...”
නෑකමක් නැති උණාට අපි කියන්නෙ එයාට මිසි නැන්ද කියල .
එයා පාලම උඩ අපි දිහා බලාගෙන .
“ ආ ! ඔව් නැන්දෙ .”
“ පුතාල මාළු අල්ලලද ඔය”
“ ඔව්.මේ සෙල්ලමට.
“ ඔව්.මේ සෙල්ලමට.ආපහු ඇලට දානව.”
“ ඒක මිසක්. පව් වැඩ ...”
“මාත් සමුපෙට යන ගමන් .ගිහිං එන්නං.”
“ එහෙමද ? හා ..හා . හොඳයි.”
අපේ දෙන්නට පොඩ්ඩක් තරහ ගිහිං .
“ උන්දැටත් ඕනෙනැති කෙහෙම්මලක් නෑ .”
අපි වෙරළු කකා ,තරඟෙට බෝල ගල් අහුලනව.වතුර වැඩි උණාට
පාළමෙන් පහළට වතුර ගලන්නෙ පොඩ්ඩක් හෙමිහිට .අඩුවෙන්. ඇලේ
පාලම යට ඉඳල එහාට යනකොට ,අල ගෙඩි වගේ රවුම් ,ගල් හරියට .
මට වඩා හොඳ ,රවුම් ගල් ලොකූ අහුලලා තිබුණ . අපි ඒව මිදුලෙ
ෆාර්ම්ස් ගස් වටේ තියනව.
“හරි ,බඩගිනියි .නාමු ! නාමු!!”
“ අපෝ ,පොඩ්ඩක් ඉන්නවකො ..”
පොඩි දෙන්න පාලම උඩට දිව්ව. මං දන්නව , ඒ සෙල්ලම . දැන් වරුවකට
ගෙදර යන්න වෙන්නෙ නෑ .අද ඇලේ වතුර හොඳටම පිරිල .ඝෝෂාවත්
වැඩියි. දෙන්න ලෑස්ති වෙන්නෙ පාලම උඩට ගිහිං වතුරට පනින්න.
හුඟ කාලෙකින් මේ තරම් පිරෙන්නෙ. ඒක බලන් ඉන්න ආසයි.
හැබැයි අම්ම දැක්ක නම් ,මටයි බැණුම්.ඔළුව වදින්න තරම් අනතුරු දායක
ලොකු ගල් ,ඇළ මැද්දෙ නෑ . තටාකෙ වගේ බැඳල නිසා ,පහළට වතුර
අඩුවෙන් ගලන්නෙ.යන්තම් ජල ක්‍රීඩා ඉවරකරල ,නාගත්ත.
පඩිපෙළ පටන්ගන්න තැන ලොකු පැණි වරක ගහේ
බිම ඉඳලම ගෙඩි හැදෙනව. අපි නාගෙන ගෙදර යනකොට සුවඳක්
දැනුන නිසා නිකමට ,මං ගහ ළඟට ගියා . කුරුල්ලෙක් හොට ගහපු
වරකයක් ! පාතම තියෙන්නෙ .
“ වැස්සට ඉදෙන්නැති .වතුර රස ඇති ද දන්නෙ නෑ.”
චූටි මල්ලි අදිමදි කළා . මං නටුව හෙමින් කැරකුවා .
එදා අතුරුපසට ,පැණි බේරෙන පැණි වරක .!
අපි අද කොහේද මේ .කොන්ක්‍රීට් වනාන්තරේ ,ගුහාවක හිරවෙලා .
අග මුල නැති වැල් වගේ. දුවනවා ,දුවනවා ,දුවනවා .
නවතින්නෙ කොහොමද?
රෝ.සී ට
A day in the life
ජීවිතයෙන් දවසක් .
.png)






No comments:
Post a Comment