මඟුල් කපුරාළ ගමේ කාටත් ඕනෑකරන කෙනෙක්. ගමේ ළමිස්සියො ගෙදරටම නාකිවෙන්ඩ දෙන්නෙ නැතුව කරකාර බන්දල දෙන්න එයා ගන්න දහිරිය බොහොම ලොකුයි. ඉස්සර ගමේ ලැජ්ජ බයට හැදිච්ච ළමිස්සියො කොල්ලෙක් දිහා ඇහැක් ඇරලා බලන්නත් බොහොම කුලෑටියි. ඒ හින්දා ඒ ගොල්ලන්ට දීගතල දෙන වයස ආවත් කොල්ලෙක් එක්ක සම්බන්ධයක් හදාගන්න දහිරියක් නැහැ. වෙනකක් තියා ගමේ ලොකුමහත් වෙච්ච දැරියන්ට දෙමාපියො වැඩිහිටියො තහංචි දාලයි තිබුණේ.
පෝයට පන්සලට ගියා ඇරුණම වෙන කොහෙවත් එළිපහළියට ගියේ නැහැ. ඒ හින්දා එහෙම සම්බන්ධයක් හදාගන්නවා කියන එක කවදාවත් හරියන එකක් නෙමෙයි.
එහෙම වුණත් ගොයම් කැපිල්ලෙදි ගොයම් පෑගිල්ලෙදි බැත හුළං කිරිල්ලෙදි වගේ ගමේ අය එකතුවෙන තැන්වලදී ගැටවරයා ඇහැට කනට පේන ගැටිස්සියො අතරෙ පයුරු පාසානකම් ඇතිවෙලා ඒවා කසාදෙ දක්වා ලියලලා නොගියා නෙමෙයි.
එහෙම ඇතිවෙච්ච සම්බන්ධකම්වලට දෙමාපිය වැඩිහිටියො එරෙහි වුණාම කාටත් රහසෙ කොල්ලයි කෙල්ලයි හඳපානෙ පැනල ගිය කතන්දරත් තිබුණ. එහෙම හොර පැනලා ගිය ඈයෝ ආයි කවදාවත් කුලේට වැද්ද ගත්තෙ නම් නැහැ. ඒගොල්ලො මඟුලකට මරණකටවත් ගෙන්න ගත්තෙ නැහැ. මඟුල් මේසෙක එකට ඈදි ගත්තෙ නැහැ. ඒ හින්දා හොරා පැනල යන්ඩ දහිරිය තියෙන අයත් බොහොම අඩුවුණා.
මෙහෙම වටාපිටාවක මඟුල් කපුරාළ කෙනෙකුගේ උදව්ව ගමේ උස්මහත්වෙච්ච දැරිවියො ඉන්න දෙන්න දෙමාල්ලන්ට නැතුවම බැරි වුණා. මඟුල් කපුරාළ පලයකාට් සරමක් කළු කෝට් බෑයක් ඇඳලා කළු කුඩයක් කිහිළි ගන්නාගෙන තමා ගෙවල්වලට හක්කලං කොලේ. ඒ හින්දා ඈත තියලම මඟුල් කපුරාළ අඳුනාගන්න කාටත් බැරි වුණේ නැහැ. ගෙදරකට දවස් දෙක තුනක් මඟුල් කපුරාළ ගොඩවුණොත් මාස දෙක තුනකින් ඒ ගෙදර මඟුල් ගෙදරක් වෙනවග කවුරුත් සහසුද්දෙන්ම දැනගන්නවා.
කෙන්ද කන්ද කරන්නත්, කන්ද කෙන්ද කරන්නත් මඟුල් කපුරාළලා හරි දස්සයො. ගෙදරවල නාකිවෙන මළපොතේ අකුරක්වත් නොදන්න එච්චර පෙනුමක් නැති ළමිස්සියො කොහොම කොහොම හරි විව්චූරණ දාලා අල්ලපු ගමේ ගොවිතැන්බත් කරන අතමිටසාර තරුණයකුට පන්ගරාර්තු කරන්ඩ කපු උන්නැහැට පුළුවන් වෙනවා.
මඟුල් තුලා සිද්ධ කරල දෙනවට කපුරාළ එහෙම ලොකු ගාස්තුවක් අයකළේ නැහැ. මිනිහට ගාස්තුව ගෙව්වෙ මඟුල් දවසෙ ප්‍රසිද්ධියෙමයි. මඟුල් උත්සවේදි කතා පවත්වන දැනමුත්තො මඟුල් කපුඋන්නැහැගෙ සේවෙ අගය කරලා එයාට යම් තුටුපඬුරක් එදාට නෑදෑයො ඉස්සරහම පිරිනැමුවා. බොහොම වෙලාවට මේ මුදල දුන්නෙ මනමාලිගෙ පාර්ශවයෙන් වුණත් දෙපැත්තෙන්ම ගාස්තු ගත්තු කපටි කපුරාළලත් හිටියා.
ඒකාලෙ මඟුල් දවසෙ මනමාලිගෙ පාර්ශවයෙන් මනමාලයට දෑවැද්දක් දුන්නා. ඒක බොහොම වෙලාවට මඟුල් තීන්දු වෙන්ඩ ඉස්සරම ගාන කීයද කියලා තීරණය වෙනවා. ඒ දෑවැද්දත් දුන්නා මඟුල් ගෙදරදි ප්‍රසිද්ධියෙමයි. කොහොම වුණත් තමුන්ගෙ ගතමනාව ලැබෙන්නේ දෑවැද්දෙ බරේ හැටියට වන දන්න මඟුල් කපුඋන්නැහේ උත්සාහ කළේ කොහොමින් කොහොම හරි දෑවැද්ද වැඩි කරලා දෙන්නයි.
මඟුල් කපුරාළ කරල දුන්න මඟුල් එහෙම අතරමගදි කැඩුණේ නැහැ. මිනිහත් ගමේ හරි අහල ගමක හරි කෙනෙක් හින්දා බොරු කරලා රවටලා මඟුල් ප්‍රස්ථා කෙරුණේ බොහොම අඩුවෙන්.
කොහොම වුණත් එදා කාලේ මඟුල් කපු උන්නැහැගෙන් වෙච්ච සේවෙ නම් මෙතෙකයි කියලා කියන්ඩ බැහැ.
උපුටා ගැනීම ; deshya.lk

0 comments:
Post a Comment