එදා මහනුවර මහමාර්ග පද්දතියට විශාල සේවයක් කල කැප්ටන් ඩෝසන්ගේ නවාතැනවූ ෆ්ලෝරන්ස් විලා අද නවීකරණයවූ පේරාදෙණිය තානායම.....
කොළඹ - මහනුවර පාර ඉදිකිරීමේදී කපිතාන් ඩෝසන් නැවතී සිටි ස්ථාන තුනක් අදටද ඉතිරිව තිබේ. ඉන් පළමුවැන්න වන්නේ අඹේපුස්ස තානායමයි. දෙවැන්න ගලිගමුව අඹන්පිටියේ ඩෝසන් බංගලාවයි. තෙවැන්න පේරාදෙණිය තානායමයි.
අද වන විටත් මේවා මතු පරපුර වෙනුවෙන් සුරැකීව පවතී.
කොළඹ - මහනුවර පාර ඉදිකෙරුණේ කොටස් දෙකකටය. පළමු කොටස පෑලියගොඩ සිට අඹේපුස්ස දක්වා විය. දෙවැනි කොටස අඹේපුස්සේ සිට ගලිගමුව, කෑගල්ල, මාවනැල්ල හරහා බලන කඳුමැදින් පේරාදෙණියටය. මේ කොටස් දෙක ඉදිකිරීමේදී මාර්ගය සැලසුම් කළ ප්‍රධානියා ලෙස කපිතාන් ඩෝසන් ස්ථාන කිහිපයක තාවකාලිකව නවාතැන් ගත්තේය. අඹේපුස්ස තානායම ඔහුගේ නිවස්නය ලෙස පාවිච්චි වීමෙන් අනතුරුව රජයේ සංචාරක නිවාසයක් බවට පත්විය.
අඹන්පිටියේ බංගලාවේ නැවතී පාර තැනීමේ කටයුතු මෙහෙයවමින් සිටි ඩෝසන් පිළිබඳව වැඩි විස්තර දන්නා කෙනෙක් අද ඒ ප්‍රදේශයේ සොයාගන්නට නැත. එහෙත් ජනප්‍රවාද අනුව කියවෙන්නේ ඔහු එහි නැවතී මිදුලේ ඉදිකළ දුරදක්නයක් මගින් පාරකැපීමේ කටයුතු නිරීක්ෂණය කළ බවය. තාවකාලික නිවාසයක් ලෙස සැකසුවද එය බොහෝ කාලයක් නොකැඩී පැවතුණි. අසල කන්දක සිට ගලා ආ ජල පහරකට පීලි සවිකර මෙම නිවාසයේ පාවිච්චිය සඳහා යොදා ගෙන ඇත.
පසුගිය කාලය වන විට ගරාවැටෙමින් පැවැති බංගලාව දැයට කිරුළ වැඩසටහන යටතේ ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාගේ මූලිකත්වයෙන් මේ වන විට පිළිසකර කර ඇත.
මාවනැල්ලෙන් පසු බලන කඳුවැටිය දිගේ පාර කැපුවේ බිහිසුණු ප්‍රපාතවලින් පිරි කඳු බෑවුම් අතරිනි. එතෙක් මහා ඝන වනාන්තරයක්ව තිබූ එහි මහා මාර්ගයක් කැපීම යනු ලෙහෙසි දෙයක් නොවේ. එකපැත්තකින් ඉංගිරිසි වැවිලිකරුවන්ගේ වගා කටයුතු සඳහා කඳු බෑවුම් එළි පෙහෙළිකර තිබූ අතර අනෙක් පසින් මහා මාර්ගය සඳහා කඳුබෑවුම් එළි පෙහෙළි කළ යුතු විය. මේ නිසා බලන කඳු බෑවුමේ වන වියන වේගයෙන් ශේෂවීගෙන ගියේය. එතෙක් නිල් පැහැති වන ගොමුවෙන් පිරී තිබූ කඳුයාය ඒ වන විට තිබුණේ ගුරු පැහැයෙනි.
බලනේදී ඩෝසන්ට අසීරු තීරණයක් ගන්නට සිදුවිය. එය මහපාර කැපීමේදී ඔහුට එතෙක් නොපැමිණි අභියෝගයකි. අවසන් රාජධානිය සමයේ බලන කඳුයාය හරහා ජනයා ඔබමොබ ගිය අඩිපාර තව තවත් විශාල කරමින් පාර කපාගෙන ආ ඩෝසන්ට ඊළඟට සිදු වූ බරපතළ අභියෝගය වූයේ මහා ගල්කුලකින් පාර හරස්වීමය. දැවැන්ත කඳු ශිඛර අතරින් අසීරු කුඩා මාවතක් පාදාගෙන ආ ඩෝසන්ට මෙය මහත් අභියෝගයක් වූයේ ගල්කුළ මගහැර පාර ඉදිරියට සැකසීමේ වෙනත් කිසිදු ක්‍රමයක් නොමැති නිසාය. ඔහු තම ශිල්පීය ඥානය එහිදීත් යොදා ගන්නට තීරණය කළේය. එනම් මහා ගල්කුළ විද පාර ඉදිරියට ගෙන යාමයි.
පාර හරස්කරමින් වැතිරි තිබූ මහා ගල් පර්වතය ගල් වෙඩි යොදා ඉවත් කිරීම ලෙහෙසි කර්තව්‍යයක් නොවීය. බිහිසුණු ප්‍රපාතයකට ආසන්නයේ ඇති පර්වතය ඉවත් කළ නොහැකි බව වටහා ගත් කපිතාන් ඩෝසන් එතෙක් ලංකා පොළොවේ නොකළ ඉංජිනේරුමය කර්මාන්තයක් කරමින් දැවැන්ත ගල් පර්වතය ගල්වෙඩි යොදා සිදුරු කර ඒ මැදින් මහා මාර්ගය ඉදිකළේය. කඩුගන්නාවේ ‘ගල විදපු තැන’ යනුවෙන් මෙම ස්ථානය රට පුරා ප්‍රකට විය.
ඒ වන විට කැන්ඩි ලෙස ඉංගිරිසියෙන් කටවහරට ගැළපෙන සේ හදාගෙන තිබූ සිංහලයන්ගේ කන්දේනුවර දක්වා යන මාවත කඩුගන්නාවෙන් පසු පිළිමතලාව ෙප්රාදෙණිය හරහා වැටී තිබුණේ තැනිතලා භූමියක් දිගේය. ඩෝසන් සහ බ්‍රිතාන්‍ය රාජකීය ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පේරාදෙණියේදී ඉතා දර්ශනීය ඉසව්වක් මැදින් එම මාවත ‘මහනුවර’ දක්වා යොමු කළෝය. මහවැලි ගඟෙන් එහා පැත්තේ තිබූ එම දර්ශනීය ඉසව්ව වැටී තිබුණේ රජ්ජුරුවන්ගේ රාජකීය මල්වත්ත අසලිනි. පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය ලෙස පසුව වඩාත් විශාල වී ස්ථාපිත වූයේ එම මල්වත්තය.
කපිතාන් ඩෝසන් මාර්ගයේ ඉතිරි කොටස ඉදිකිරීම සඳහා රාජකීය මල්වත්ත ඉදිරිපිට මහවැලි ගඟ පෙනෙන මානයේ තැනක තම තාවකාලික නිවාසය ඉදිකරගෙන එහි සිට මාවත ඉදිකිරීමේ ඉතිරි කොටස මෙහෙයවූයේය. අද පේරාදෙණිය තානායම ලෙස පවතින්නේ එදා කපිතාන් ඩෝසන් පාර හැදීම මෙහෙයවීම සඳහා නවාතැන් ගත් තාවකාලික නිවාසයයි.
සැන්දෑ කාලයට සිහින් මිහිදුම් කැරලි පාව එන පේරාදෙණිය ප්‍රදේශයේ මහවැලි ගඟ අසබඩ, රජුගේ මල්වත්ත අසල තාවකාලික නිවාසයක් ඉදි කර එහි නවාතැන් ගත් මේ ඉංගිරිසි ජාතිකයා සොබාව සෞන්දර්යයට බෙහෙවින් ආදරය කළ බව කියැවේ. ඒ බව පේරාදෙණිය තානායමේ පිහිටීම බැලූ විට වටහා ගත හැකිය.
පාර කපා අවසානවීමෙන් පසු මෙම තාවකාලික නිවාසය බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ සංචාරක නිවාසයක් ලෙස භාවිතා විය. පොදු ජනතාවගේ තානායමක් බවට එය පත්කෙරුණේ එයිනුත් පසුවය. තානායමේ ඉදිරිපස කාමරය ඩෝසන්ගේ කාමරය ලෙස අද දක්වාම භාවිත වෙයි.
ඉහත ඡායාරෑප 1900දී පමන ලබාගත් එවාය,
තොරතුරැ සම්පාදනය අන්තර්ජාලය ඇසුරින්
Lasantha Sampath Dissanayaka ......
" Everything from Ceylon To Sri Lanka"
වර්තමානයේ පේරාදෙණිය තානායම.
මුණු පොත- තිලක දයාසිරි කුමාර.
0 comments:
Post a Comment