Saturday, January 04, 2025

පස්‌ගෝ රස චතුමධුර






Manel Abeysinghe

පස්‌ගෝ රස චතුමධුර සහිත ලක්‌වැසියන්ගේ ආහාර පාන.

ක්‍රි.ව. 1284 දී ලංකාවට පැමිණි දේශගවේෂකයකු වූ මාර්කෝපෝලෝ සහල්, කිරි හා මාංශ වර්ග ලක්‌වැස්‌සන්ගේ ප්‍රධාන ආහාරය විය යෑයි සඳහන් කර ඇත. මෑතක්‌ වනතෙක්‌ම අපේ පැරන්නෝ දිනපතාම මුදවන ලද කිරි ආහාරය සමඟ මුසු කර ගත්හ.
පොදුවේ ගත් කළ ප්‍රධාන ආහාරය බත වශයෙන් ප්‍රචලිත වුවද දවසේ තුන් වේලටම කුරුක්‌කන්, බඩඉරිඟු, මුං, මෑ, වැනි කටුසර ධාන්‍ය වර්ග භාවිතයට ගත් පිරිසක්‌ ලංකාවේ වියළි කලාපයේ ජීවත් වූහ. ඔවුන් ජීවත් වූ ප්‍රදේශයන් හි පැවති දේශගුණික තත්ත්වයන්ටත් එම ප්‍රදේශයන්හි පැතිර යන වසංගත රෝගවලටත් ඔරොත්තු දෙන කාය ශක්‌තියක්‌ ඇතිකර ගැනීම සඳහා කුරක්‌කන්, මුං, මෑ, ඉරිගු ආදී ධාන්‍ය ආහාරත් කිරි, ගිතෙල්, දුන්තෙල්, වෙඬරු, දීකිරි ආදී පස්‌ගෝ රසයනුත් ඔවුනට ලැබුණේ පිටිවහලකි.
කුරක්‌කන් පිට්‌ටු සමග මීකිරි මුසුකර කෑමට ගන්නා ගොවියා ව්‍යංජන පිසගැනීමේදී ගිතෙල්, දුන්තෙල් හෝ මී තෙල් යොදා ගනියි.
නැන්දේ මාමට බඩගිනි නැද් දෝ
රෑ ඉවු හැළියේ දන්කුඩ නැද් දෝ
ඒවා කන්නට දී කිරි නැද් දෝ
දීකිරි නැත්නම් කොහොමට කද්දෝ
යනුවෙන් ගැමි දරුවන් එදා ගැයූ ජනගීයෙන් කිරි ආහාරයක්‌ වශයෙන් ගැනීමේ වැදගත්කම කියාපායි.
සිංහල ජන සංස්‌කෘතියේ අනන්‍යතාව විදහා දක්‌වන කිරිබත පිසීම සඳහා පුරාණයේදී යොදා ගන්නා ලද්දේ එළකිරි හෝ මී කිරිය. පසුව එය පොල් කිරිවලට මාරු විය. පැරණි ලක්‌වැසියෝ කැකුළු හාලේ බතුත් සමඟ කිරි කෑමට ලොල් වූහ. ඇතමෙක්‌ ප්‍රධාන ආහාර වේලෙන් පසු අතුරු පසක්‌ ලෙස කිරි වැළ»හ.
කිරි නොමැති ආහාර වේල දුබල ආහාරයක්‌ ලෙස සැලකූ ගැමියෝ ගමේ කවර හෝ නිවසක කිරි නොමැති බව දැනගත හොත් ඔවුනට කිරි කොරහක්‌ දෙකක්‌ යෑවූහ.
දානමානාදී උත්සව අවස්‌ථාවලදී මෙන්ම මඟුලකදී ද කිරි අවශ්‍යම ප්‍රධාන ආහාරයක්‌ බවට පත්වී තිබිණි. දිගාමඩුලු බින්තැන්නේ මෙන් ම රුහුණේ ද මුදවපු කිරිවලට ලැබී තිබුණේ ප්‍රධාන ස්‌ථානයකි. එළකිරි පානයක්‌ වශයෙන් ආහාර වේලට එක්‌කර ගැනීමටත් වඩා "කිරිපුස්‌සා" ගිතෙල් කකාරා ගැනීම වැඩි වශයෙන් සිදුකෙරුණේ ගිතෙල් ශක්‌තිජනක ආහාරයක්‌ මෙන් ම ඖෂධයක්‌ වශයෙන් වැදගත් වූ හෙයිනි. 'ගිතෙල්' හා මී කිරිවලින් ගන්නා දුන්තෙල් ආහාරයට ගැනීමට පුරුදුව සිටි ලක්‌වැසියෝ බත්, පිට්‌ටු, රොටී හා මුසුකර ඒවා අනුභව කරති.
ව්‍යංජන රසවත් කිරීම සඳහා තෙම්පරාදු කිරීමට මෙන්ම මැල්ලුම් සඳහා ද ගිතෙල් හා දුන්තෙල් යොදා ගන්නා අතර භික්‌ෂූන් වහන්සේලා සඳහා දානය දීමේදී ද ගිතෙල් මිශ්‍ර ආහාර පාන පිළියෙළ කර ගනිති. ගැමුණු රජතුමාගේ දානමය පුණ්‍යකර්මයක්‌ ගැන සඳහන් කරන එක්‌ ඡේදයක ගිතෙල් ආහාර සඳහා යොදාගත් අන්දම දක්‌වා ඇත්තේ මෙසේ ය.
'සුසාළිස්‌ තැනක නිරන්තරයෙන් තෙල් උපුළුවා පිස කිරිබත් තබා දුන්හ. තවද සුසාළිස්‌ තැනෙක එළඟිතෙලැ බදනා ලද පුළු බදරා සමඟ සූප ව්‍යංජන සහිත බත් දුන්හ.
මහසෑ පින්කමට පැමිණි සඟුන් වැළඳු පාත්‍රා සේදු අභය වැවේ සතර'ඟුලක්‌ ඝනව ගිතෙල් මිදී සිටියේ ලු ය එක්‌ගතක සඳහන් වේ.'
මෙහි අතිශයෝක්‌තිය හැර දැමූවත් එකල ගිතෙල් ආහාරයක්‌ වශයෙන් බහුල ව භාවිත කළ බව පැහැදිලි වේ. ගිතෙල් මිශ්‍ර බත 'කල්‍යාණභත්ත' නමින් හැඳින්වේ. පස්‌ගෝ රසය සිංහලයන්ගේ ආහාරයෙහි අවශ්‍යංගයක්‌ බවට පත්ව තිබුණ බව දේශගවේශකයන්ගේ චාරිකා සටහන්වල පවා සඳහන් ව ඇත.
'ගිතෙල් හා කිරි නැති විටක ඔවුහු රහසේ අහර ගනිති.' යි මහුවාන් නමැති චීන ජාතිකයාගේ වාර්තාවක දක්‌වා ඇත. ගව සම්පත පිරිහී යැම නිසා වර්තමානයේදී පිරිසිදු ගිතෙල් බිඳක්‌ බෙහෙතකටවත් සොයා ගැනීම අසීරු කරුණක්‌ වී ඇත.
එහෙත් පෙර කළ පොහෝ දිනයන්හි බලු කපුටු දානය දීම සඳහා ද ගැමියන් ගිතෙල් මුසු කිරිබත් පිසූ බව පැවසේ. පැරණි ලක්‌ වැසියන් දී කිරි හෙවත් මුදවන ලද කිරිවලට අමතරව වෙඬරු ද ආහාරයට ගත් බව පැවසේ. වර්තමානයේ බටර් නමින් හැඳින්වෙන වෙඬරු සිංහලයන්ගේ ආහාර වට්‌ටෝරුවට ඇතුළත් ව තිබූ බව රොබට්‌නොක්‌ස්‌ සඳහන් කර ඇත්තේ මෙසේය. "කිරි උණුකොට වළඳක බහා තැබීමෙන් දී බවට පත්වෙන කිරි ඊට පසුදා උදැසන යොදය ගෙන බඳුනක බහා, ලී කඩකින් ගටගටා සැලීමෙන් පදම් වූ කල්හි, ඇතිලියක තබා දිය සින්දා ගැනීමෙන් පසු වෙඬරු සෑදෙන්නේ ය. එම වෙඬරු භාජනයක බහා පරිභෝගය පිණිස ගනු ලැබේ.
ආහාර පාන සඳහා කිරි ප්‍රයෝජනවත් වූයේ යම්සේ ද එළවළු සහ පලා වර්ග අපේ ආහාර වට්‌ටෝරුවේ ප්‍රමුඛස්‌ථානයක්‌ හිමි කරගෙන ඇත. හේන්වල හා ගෙවතුවල වගා කරන එළවළුවලට අමතර ව පලා වර්ග ආහාරයට එක්‌කර ගැනීම අපේ ගෘහනියන්ගේ සිරිතකි. බොහෝ විට ගමේ ඕවිටෙන් වනපෙතෙන් ඔවුනට පලා වර්ග හා පලතුරු සපයා ගත හැකි විය.
අප්‍රකට ජීවිතයක්‌ ගතකරද්දී වළගම්බා රජුගේ උප මෙහෙසිය පවා රජතුමාට පෝෂ්‍යදායක ආහාර වේලක්‌ සපයා දීම සඳහා වනපෙතට වැදුන බව ඉතිහාසයේ සඳහන් වේ. පරසතුරු උවදුරුවලින් බේරී තනසීවයන්ගේ නිවසේ සිටියදී රජතුමාට පෝෂ්‍යදායක ආහාර සපයා දීම සඳහා රජ මෙහෙසිය කැලෑ කොළ සෙවූ බව මේ අන්දමට පැවසෙන අතර සාලිය කුමරුගේ පෙම්වතිය වූ අශෝක මාලාවන්ගේ උසස්‌ වූ සූප ශාස්‌ත්‍ර ඥනය කෙරෙහි දුටුගැමුණු රජතුමා පැහැදීමට පත්වූ බව සද්ධර්මාරත්නාකරයෙන් හෙළිවේ. ඇය ඉතා පෝෂ්‍යදායක වූ ඖෂධීය කැඳක්‌ පිසීමට දැන සිටි බවත් ඉන් පිරිහී ගිය කාය ශක්‌තිය ඇත්තන්ගේ ශරීර ශක්‌තිය වර්ධනය වන බවත් සඳහන් වේ.
මස්‌ මාංශ ආහාරයට ගැනීමේ පුරුද්ද ලක්‌වැසියන් තුළ පුරාණයේ සිට පැවත එන්නකි. ගොවි යුගයට පෙර දඩයම් යුගයක්‌ ගත කළ මිනිසා ගොවිතැනට ඇබ්බැහි වුවද දඩයම අත්නොහැරියේ ය. අසල වනපෙත තුළින් ආහාරය සඳහා අවශ්‍ය දඩ මස්‌ ලබාගැනීම සිරිතක්‌ ව තිබුණු බව ඓතිහාසික තොරතුරුවලින් අනාවරණය වේ. ඌරන්, මුවන්, ගෝණුන්, වැනි විශාල වර්ගයේ සතුන් දඩයම් කර එම මස්‌ ආහාරය සඳහා ප්‍රයෝජනයට ගැනීම සාමාන්‍ය සිරිත ය. එහෙත් ඇතැම් විටක තලගොයින් වැනි සතුන් ද කුකුළන් ද වළිකුකුලන් ද මස්‌ පිණිස මරා ගත් බව පැවසේ.
අඩ ගැමුණු, ශිලා කාල, හා III කාශ්‍යප ආදී රජවරු සත්ව ඝාතනය සම්පූර්ණයෙන් ම තහනම් කළහ. නමුත් ආහාරයට ගැනීම සඳහා සතුන් මැරීම දීර්ඝකාලීන වශයෙන් නැවැත්වීමට නොහැකි වූ බව වරින් වර සත්ත්ව ඝාතනය පිළිබඳ තහංචි හා සීමා පැනවීමෙන් පැහැදිලි වේ.
පොහෝ දිනයන්හි අන්තඃපුරයට මස්‌ නො ගෙනෙන ලෙස VIII අග්බෝ රජ අණ කළ බව සඳහන් වේ. දඩයම් පිණිස වන වැදීම එකල රජ දරුවන් ඇතුළු ප්‍රභූන්ගේ සිරිතක්‌ ව පැවතිණි. සාමාන්‍ය ජනතාව ද ආහාර සඳහා මස්‌ ලබාගැනීම පිණිස වන වැදීම හෙවත් දඩයමේ යාම සිරිතක්‌ කරගෙන තිබුණි.
මත්ස්‍ය මාංශ ද ලක්‌වැසියන් සිය ආහාර වේල රසවත් කරගැනීම සඳහා යොදාගෙන ඇත්තේ කාලයක සිට ය. වන සතුන් දඩයම් කර ගන්නා මස්‌ දඩ මස්‌ හෙවත් ගොඩ මස්‌ ලෙස හැඳින්වෙන අතර දිය මස්‌ ලෙස හැඳින්වෙන්නේ මත්ස්‍ය මාංශ ය, හෙවත් මාළු ය. ක්‍රි. වර්ෂයෙන් අවුරුදු දෙතුන් සීයකට පෙර සිට ම මෙරට වැසියෝ මත්ස්‍ය මාංශ ආහාරයට ගත් අතර කරදිය හා මිරිදිය ධීවර කර්මාන්තයේ යෙදුණෝ ද පුරානයේ සිටම මෙරට විසූහ.
මෙරට විසූවන්ගේ ආහාර වට්‌ටෝරුවට ඇතුළත් ව ඇති රස කැවිලි වර්ග සිය ගණනක්‌ හෝ ඊටත් වඩා වැඩි විය හැකි තරම් ය. අතිරස, කොණ්‌ඩ කැවුම්, පැණි කැවුම්, හැඳි කැවුම්, නාරං කැවුම්, මුං කැවුම්, ආස්‌මී, කොළලාලු, අළුවා, අග්ගලා, තල ගුලි, හැළප, වැලිතලප, පුළුබදර, කොකිස්‌, දොදොල්, කිරි අළුවා, මුං ගුලි, පැණි වළලු ආදී විවිධ හැඩයෙන් හා රසයෙන් යුත් රස කැවිලි වර්ග ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්‌ වෙනස්‌ නම්වලින් හැඳින් වෙයි.
පුරා වසරක්‌ නරක්‌ නොවී තබාගත හැකි පරිදි පැණි කැවුම් හා කොණ්‌ඩ කැවුම් පිසීමට දත් ගෘහණියන් මහනුවර හා කෑගලු ප්‍රදේශවල සිටි බව පැවසේ. අවුරුදු පතා රාජකීය පෙනුම් කත් සඳහා එබඳු සුවිශේෂී කැවුම් සෑදූ බව කියති.
පලතුරු ආහාරයට ගැනීම හෙළදිව වැසියන්ගේ සිරිතක්‌ ව තිබුණ ද වගාවක්‌ වශයෙන් පලතුරු වැවීමක්‌ පුරාණයේ නොවීය. එහෙත් මෑත භාගයේදී අඹ, කෙසෙල්, පැපොල්, රඹුටන්, දෙහි, දොඩම්, අන්නාසි ආදී වගාවන් වශයෙන් සිදුකරන බව දක්‌නට ඇත.
පැරණි ගැමියන්ගේ හා දරුවන්ගේ ආහාරයට එක්‌වූයේ අඹ, දඹ, නාරං, දිවුල්, පේර, දොඩම්, හිඹුටු, මසං, බෝවිටියා, මොර, කොන්, පලු, වීර, වැල, වරකා ආදියයි. පැරණි සිංහලයන්ගේ ආහාර පාන පිළිබඳ කිසියම් අවබෝධයක්‌ ලබාගත හැකි වන්නේ ඈත එපිට පිටිසර ගම්මාන වලිනි. මීට අවුරුදු තිහ හතළිහකට පෙර තිබුණු දේශීය ආහාර වර්ග පිළියෙළ කර ගැනීමේ පුරුද්ද එම ගම්මානවලිනුත් බැහැර යමින් පවතින බව දක්‌නට ඇත.
යකැදුරන් විසින් දෙවියන් හා යකුන් උදෙසා තබන පූජා තට්‌ටුවලින් හා පිදේණිවලදී පැරණි ආහාර රටාව පිළිබඳ යම් ඡායාමාත්‍රයක්‌ දැක ගත හැකි වේ. ඇට ඇටි පහ, ගොඩ මස්‌, දිය මස්‌, හත් මාළුව හා කැවුම් එහි ඇත්තේ ය.
ඇට ඇටි යනු බදිනු ලබන ධාන්‍ය වර්ගය. හෙවත් පොරි ය. එහෙත් වර්තමානයේ ආහාරයට පොරි යොදා ගන්නේ දිගාමඬුලු බින්තැන්නේ වැසියන් පමණකි. පුරාණයේ ආහාරපාන පිළිබඳ කිසියම් අදහසක්‌ ලබාගත හැකි වන්නේ පැරණි සාහිත්‍ය ග්‍රන්ථ සඳහන් සංඝයාවහන්සේලා උදෙසා පිදූ දානමාන ගැන කෙරෙන විස්‌තර වලින් හා රජ ගෙදර කෑමබීම ගැන විස්‌තර වලිනි.
පැරණි සිංහලයන්ගේ ආහාර අතර වූ බත, කිරිබත, හත් මාළුව මිරිස්‌ වැටිය හෙවත් සම්බෝලය තවමත් නොනැසී පවතී, හත් වාළුව යනු එළවළු හත් වර්ගයක්‌ එකට මුසු කර පිසින ව්‍යංජනයකි. එය ප්‍රදේශයෙන් ප්‍රදේශයට මද වෙනස්‌කම් ඇතිව පිසගත්ත ද එළවළු මාෂ බෝග ආදී හත් වර්ගයක එකතුවකි. රසය ගුණය පමණක්‌ නොව සුවඳින් ද යුතු හත් මාළුව සිංහල ආහාර වට්‌ටෝරුවේ අනන්‍යතාව විදහා දක්‌වන ව්‍යංජනයකි.
මහනුවර රාජ්‍ය සමය වන විට රජු බොජුනෙහි ව්‍යංජන දෙතිසක්‌ තිබූ බව සඳහන් වේ. ඊට පෙර රාජ්‍ය සමයන් හිදී මෙම ව්‍යංජන ප්‍රමාණය හැටක්‌ හැට හතරක්‌ පමණ වූ බව ජනකතාවලින් කියෑවේ.
පැරණි ගැමි ගෘහණියෝ ව්‍යංජන වර්ග ක්‍රම පහකට සාදා ගනිති. එනම් හොද්ද, මාළුව, තියඹලාව, බැදුම, මැල්ලුමයි. හොද්ද ද එක්‌ එක්‌ ගෘහණියෝ තමනට සුවිශේෂී වූ ක්‍රමවේදයන්ට අනුව වෙනස්‌ වෙනස්‌ ආකාරයෙන් පිස ගනිති. ඉන් කිරිහොද්ද පිට්‌ටුවලට අනුපානී වේ.
උඩරටට විශේෂ වූ කිරිහොද්ද පොල් කිරි, ඉතුරු කොච්චි මිරිස්‌ හෝ අමු මිරිස්‌ යොදා දෙහි යුෂ හා ලුණු ස්‌වල්පයක්‌ මිශ්‍රකොට ගින්නෙන් නොපිස සකස්‌ කරගන්නා ව්‍යංජනයකි. රජවරු හා ප්‍රභූවරු අවසාන බත් පිඩ දෙක තුනක්‌ මේ කිරිහොද්ද සමග භුක්‌ති විඳිති. කිරිකොස්‌ කෑමට ද කුරහන් පිට්‌ටු, ඉරිගු පිට්‌ටු කෑමට ද කිරිහොද්ද යොදා ගනිති.
සීනි පිට්‌ටු කෑමේදී මේ කිරිහොද්දට මිරිස්‌ දෙහි යුෂ මුසු නොකොට සාදා ගනිති. බත් හෝ වෙනත් ප්‍රධාන ආහාර වේලක්‌ අනුභවයෙන් පසුව කිරි පැණි ද කැවිලි වර්ග ද අනුභව කර පලතුරු ස්‌වල්ප වශයෙන් කෑමට ගැනීම සිරිතකි.
පරසතුරු උවදුරු නියංසාය ආදී හේතූන් නිසා මෙරට දුගී දුප්පත් වැසියන් පීඩාවට පත්වූ අවදියේදී ඔවුන් කටුක ආහාරයෙන් පමණක්‌ සෑහීමකට පත්වූ බව ඉතිහාසයේ සඳහන් වේ. මෑත කාලයේදී පවා දුගී දුප්පතුන්ගේ ආහාර වේල කටුක දේවලින් සමන්විත විය. රොබට්‌නොක්‌ස්‌ ලාංකික ජනතාවගේ ආහාර පිළිබඳ දක්‌වා ඇති විස්‌තරය විමසීමේදී පැහැදිලි වන්නේ ද එබඳු දුර්භාග්‍ය සම්පන්න කාලයක විසූ දුප්පත් වැසියන්ගේ ආහාරපාන පිළිබඳව ය.
ඔවුන්ගේ කෑම ප්‍රමාණය හා ගන්නා ආහාර වර්ග ඉතා ස්‌වල්පයකි. ගෙදර ලුණුත් වතුරත් තිබේ නම් වැඩි දෙයක්‌ ගැන නොබලා ඉන් තෘප්තියට පත් වෙති. නිල් පලා කොළ ටිකක්‌ කඩා දෙහි ගම්මිරිස්‌ හා ලුණු ටිකක්‌ මිශ්‍ර කොට බත් හා අනා බඩපුරාම කති. කිසි කෙනෙක්‌ හරක්‌ මස්‌ නුබුදිති. එය නින්දාවක්‌ කොට සලකන හෙයිනි. මස්‌ මාංශ වඩා සුලභ නොවේ. මසක්‌ මාළුවක්‌ ලැබුණොත් විකොට මුදල් ලබාගැනීමට වෑයම් කෙරෙති. මේවා මිලට ගන්නෝ විදෙස්‌සෝ ය. බෙහෙවින් බලතල කළ රටේ ඇති ප්‍රනීත ආහාර හා මස්‌ මාංශ භුක්‌ති විඳින්නන් විදේශිකයන් බව කිව යුතුය. කටුක ආහාර ගැනීම හා පිරිමසා බිදීම නින්දාවක්‌ කොට නො සලකනු ලැබේ.
රොබට්‌ නොක්‌ස්‌ගේ විස්‌තරයෙන් දැක්‌වෙන පරිදි දුගී දුප්පත්කම නිසා හා අලස බව නිසා ඇතැම් ගැමියන් මෙවැනි කටුක ආහාර භුක්‌ති විඳින බව ප්‍රකට කරුණකි. එහෙත් සරුසාර කෙත්වතුවලින් සැදුන උඩරට හා පහතරට (දකුණේ) ගැමියනට පෝෂ්‍යදායක ආහාර වේලක්‌ සපයා ගැනීම අසීරු නොවේ. කොස්‌ දෙල් අල බතල මෙන් ම පලා වර්ග ද අඹ, කජු, පේර වැනි පලතුරු වර්ග ද සපයා ගැනීම දුෂ්කර කාර්යයක්‌ නොවේ.
ප්‍රධාන ආහාර වේලකින් පසු සිංහල ගැමියෝ බුලත් විටකින් ආහාර කිස නිමවති. බතින් බුලතින් සංග්‍රහ කොට නිමවීම පැරණි චාරිත්‍ර විධියකි. හුණු, දුම්කොළ වලින් හෝ බුලත් විට සැපීම අහිතකර නොවන අතර ඇතැම් ගැමියන් ප්‍රමාණය ඉක්‌මවා බුලත් සැපීමටත් හුණු හා දුම්කොල සැපීමටත් හුරුව සිටීම නිසා සෞඛ්‍ය ගැටලු මතුවී ඇත.
සිංහලයාගේ කට බුලත් විටකින් තොර නොවේ යෑයි මාහුවන් සටහන් කර ඇත්තේ එකල විසූ හැම වැසියෙක්‌ ම බුලත් විට හැපීමට පුරුදුව සිටි හෙයිනි.
තුන්වන මිහිඳු රජු බුලත් මඩුවක්‌ කරවා ඉන් ලැබෙන බද්දෙන් භික්‌ෂූන් වහන්සේලාට බෙහෙත් ද්‍රව්‍ය සැපයූ බව මහාවංශය ආදී වංශකතාවලින් හෙළි වෙයි.
සිංහල ජනයාගේ බුලත් හැපීමේ සිරිත කෙතරම් ප්‍රචලිතව ඇත්තේ ද යනු බුලත සිංහල සංස්‌කෘතියේ සුවිශේෂී අංගයක්‌ වී ඇති සැටියෙන් ම පෙනේ. මඟුලකට, දානයකට, පිරිතකට ඇරයුම් කිරීමේදී මෙන්ම ගොයම් කයියක්‌ සඳහා ඇරයුම් කිරීමේදී බුලත් අතක්‌ දීම අනිවාර්ය වේ.
බුලත නිසා සිංහල සංස්‌කෘතිය ඔප්නැංවී ඇතැයි කීම අතිශයෝක්‌තියක්‌ නොවේ. බුද්ධ පුජාවට පවා දැහැත් විටක්‌ තැබීමෙන් බුලත ආහාරයක්‌ වශයෙන් වැදගත් තැනක්‌ උසුලන බව පෙන්වන්නකි. රජු හට බුලත් මෙහෙ කිරීමට දළුමුර අප්පුහාමි නම් නිලධරයෙක්‌ සිටි බව සඳහන් වේ. ගැමුණු රජුට බුලත් මෙහෙ කළේ බුලත් යෝදයා ය. බුලත් විටේ තරම කියාපාමින් තවමත් සිංහල ගෙවල බුලත් තට්‌ටුව, කිල්ලෝටය, ගිරය ගෘහ භාණ්‌ඩ වශයෙන් ආලින්දය අරා ප්‍රදර්ශනය වෙමින් පවතියි.
මුලාශ්‍ර සහ ජායාරූප පත පොතින් සහ අන්තර්ජාලයෙන් එකතු කරනු ලැබුවා .හෙළ ආහාර රටාව පිලිබද ඔබේ දැනුම වැඩිකිරීමට සහ සංවේදී වීමට.
ස්තුතිය 'රාජ භෝජන'




0 comments:

Post a Comment

ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.

 

මීදුම Published @ 2014 by Ipietoon