Friday, March 22, 2024

නැකතේ කතාව

සිංහල අවුරුදු නැකැත් හෙවත් නකත් ගැන ග්රහ යුද්ධයක් ඇති වෙලා. ඒත් අහසෙ නොවෙයි ලංකාවෙ. ඒ ගැන කතා කරන්න ඉස්සෙල්ල නකත් ගැන වචනයක් කියන්න ඕන. අප බොහෝ දේ භාරතයෙන් ලබා ගෙන තියෙනවා. ඒත් සමහර දේ අපේ ම නිර්මාණ නැත්නම් සංස්කරණ එහෙමත් නැත්නම් අභිසංස්කරණ. නකත් හා ශූන්යයට සංකේතයක් ලබා දීම අපේ වැඩ හැටියටයි මට හිතෙන්නෙ. ශූන්ය ගැන කී දේ එහෙම නැත්නම් හිතලුව වැඩ කරනවාද කියා බලන්න වාතාවරණයක් නැහැ. ඒ සඳහා අවශ්ය මුදල් ලබා ගන්න විධියක් නැහැ.
නකත් කියන්නෙත් අප ලෝකෙට දුන් දෙයක්. අපේ බොහෝ දෙනා හිතන්නෙ නකත් කියන වචනය සංස්කෘත නක්ෂත්ර යන්නෙන් බිඳුණු එකක් කියලා. අද අප බටහිරට වඳිනවා වගේ කාලයක් භාරතයට වැඳලා තියෙනවා. අපි බටහිරින් හරි ඉන්දියාවෙන් හරි වෙනත් ඕනෑම රටකින් දැනුම අරන් අපේ බවට පත්කර ගන්න එකේ වරදක් නැහැ. වරද තියෙන්නෙ වැඳ වැටී අනුකරණය කිරීමේ. අප අභිසංස්කරණය කරන අපේ දැනුම් ලෝකෙට දෙන්නත් අපි මහන්සි වෙන්න ඕන.
සංස්කෘත මහාචාර්යවරයකු මට පැවසුවේ නක්ෂත්ර යන්නට සංස්කෘත භාෂාවෙන් නිරුක්ති නැති බව. ඉන්දියානුවන් නොකීවාට නක්ෂත්ර හදාගෙන තියෙන්නෙ නකත් යන්නෙන්. නකත් කියන්නෙ මෙරට නාගයන්ගෙ නිර්මාණයක්. නක යන්න නාග යන්නෙන් බිඳුණු එකක්. නාගයන් තමයි මුහුදු ගියෙ. ඔවුන්ට තමයි තරු බලල ගමන් මග කියන්න නකත් හදා ගන්න අවශ්ය වුණෙ. අප චුලෝදර මහෝදරගෙන් හා මණිඅක්ඛීක නා රජුගෙන් නවතින්න හොඳ නැහැ.
ඒ කුමක් වුණත් අවුරුදු නකත් හරි නැකැත් හරි සිංහල අවුරුද්දට බලපානවා. රාශි අපට බැබිලෝනියාවෙන් ලැබුණ වෙන්න පුළුවන්. අපට අවුරුද්ද ලබන්නෙ සූර්යයා මීනයෙන් මේෂයට යෑමත් සමග. අද ප්රශ්නය ඇවිත් තියෙන් කිරිබත් ටික මේසෙට යැවීම සම්බන්ධව. සූර්යයා යන්නෙ නැහැ පොළොව තමයි යන්නෙ කියා පඬි නැට්ටෙක් කියන්න පුළුවන්. පඬි නැට්ටන් කිසි දා සාපේක්ෂ කතා ඉගෙන ගන්න එකක් නැහැ.
ජ්යොතිෂය කියන්නෙ මිථ්යාවක් කියලත් පඬි නැට්ටන් කියාවි. කාල් පොපර් විද්යාවන් නොවන දැනුම් පද්ධති තුනක් ගැන කියනවා. මා එතරම් පොත් කියවල නැහැ. ඔය පොපර්ගෙ පොත මා කියවා ඇති එක් පොතක්. ඔහුට අනුව ජ්යොතිෂය මාක්ස්වාදය මනෝ විශ්ලේණය ඔහුගෙ නිර්වචන සංකල්ප අනුව විද්යාවන් නො වෙයි. පඬි නැට්ටන් ජ්යොතිෂය සම්බන්ධයෙන් ඒ පිළිගනීවි. අනෙක්වා විද්යා නොවේ යැයි කියන එකක් නැහැ. එහෙම කිව්වොත් ඒ අයට පැවැත්මක් නැහැ.
සිංහල අවුරුද්ද ගැන මා ලිපි රාශියක් ලියා තියෙනවා. මාක්ස්වාදයට මනෝ විශ්ලේෂණයට වඩා ජ්යොතිෂය වැඩ කරන බව මට පේනවා. ඒ සමහර ලිපි පොතක් හැටියටත් පළ කරල තියෙනවා. එහෙත් ජ්යොතිෂවේදීන් ඒ පොත කියවන්නෙ නැහැ. ඒ කොහොම වුණත් සූර්යයා තම ගමනෙ දි එක් අවස්ථාවක මීන රාශියෙන් මේෂ රාශියට යනවා. සංක්රමණය වෙනවා කියලත් කියනවා. ඒකට නොනගතේ කියල කියන්නෙ. නොනගතේ පූර්ව භාගයෙ අපි පන්සල් යනවා. අපර භාගයෙ නැකැත් අනුව ලිපි ගිණි මොළවනවා අනුභව කරනවා වැඩ අල්ලනවා සහ තවත් වැඩ.
මට කුඩා කල ප්රශ්නයක් තිබුණ නොනගතේ ගැන. නොනගතය කියන්නෙ නැකැත් නැති කාලය කියලයි කිවුවෙ. එහෙනම් ප්රශ්නය වුණෙ නොනගතේ අපර භාගයෙ නැකැත් ගන්නෙ කොහොමද කියල. ඒත් විද්යාව ඉගෙන ගන්න පටන් ගත්තට පස්සෙ ඒ මිථ්යා ගැන මා කරදර වුණෙ නැහැ. ඒත් ඊට අවුරූදු ගණනකට පස්සෙ මා ජාතිකවාදියකු වුණා. ජාතිකවාදියා කියන්නෙ කවුද කියල මා පස්සෙ කියන්නන්.
මට තේරුණා අපේ න්යාය (logic) අනුව නොනගතය කියන්නෙ න+අනගත බව. ඒ කියන්නෙ නෑවිත් නැත කියන එක. අනාගත කාලය කියන්නෙත් ඇවිත් නැති කාලය. නොනගතය පැය දොළහයි විනාඩි හතළිස් අටක් තියෙනවා. පැය දොළහයි විනාඩි හතළිස් අට කියන්නෙ සිංහල පැය නම් තිස්දෙකක්. ඒක රවුම් සංඛ්යාවක්. අපේ සංස්කෘතියෙ තිස්දෙක හැටහතර වගේ සංඛ්යා විශේෂයි. අපි අද හෝරාවට (hour) පැය කිවුවට අපේ පැය දැන් පැය නොවෙයි. කමක් නැහැ.
නොනගතය පැය දොළහයි විනාඩි හතළිස් අටක් වෙන්නෙ සූර්යයාට මීනය හා මේෂය අතර දේශසීමාව පහු කරන්න එ කාලය ගතවෙන නිසා. අපට සූර්යයා පේන්නෙ තැටියක් වගේ. ඒ තැටියෙ විෂ්කම්භයට ලක්ෂ්යයක් පහු කරන්න පැය දොළහයි විනාඩි හතළිස් අටක් යනවා. මෙවර නොනගතය අප්රේල් 13 අපරභාග 2.41 සිට අප්රේල් 14 අලුයම 3.29 දක්වා තියෙනවා. ඒ කාලයෙහි සූර්යයා මේෂ රාශියට ඇවිල්ලත් නැහැ. නෑවිල්ලත් නැහැ. මීන රාශියෙන් පිටවෙලත් නැහැ නැත්තෙත් නැහැ. නොනගතේ කියන්නෙ ඒක මිසක් නැකැත් නැහැ කියන එක නො වෙයි.
කොහොමත් හැම තිස්සෙම නැකැත් තියෙනවා. නැත්තෙ සුබ නැකැත්. ලිපි ගිනි මොළවන්නෙ සුබ නැකතට. පෝරුවට නගින්නෙ සුබ නැකතට. අපේ සංස්කෘතියට ඇවිත් තියෙනවා අදහසක් නොනගතයෙ අපර භාගයෙ සුබ නැකැත් ගන්න ඕන කියලා. ඒක කොහොම ආවද කියන්න මා දන්නෙ නැහැ. සිංහල අවුරූද්ද පොතෙත් කියන්නෙ ඒකයි. මා දැකපු ලිත්වල තියෙන්නෙත් එහෙමයි. ඒ නිසා තමයි මෙරට අවුරුදු නැකැත් හදන මණ්ඩලය රාත්රි 9.05න් පස්සෙ සුබ නැකැත් හදල තියෙන්නෙ. ඔවුන්ට අනුව සුබනැකැත් 13 වැනි දා රාත්රි 9.05ත් 14 වැනි දා අලුයම 3.29ත් අතර බලන්න ඕන. අර අදහස අනුව ඒකෙ වරදක් නැහැ.
ඒත් මට ප්රශ්නයක් තියෙනවා. අර අදහස හරිද? අප අලුත් අවුරුද්දට සුබ නැකැත් ගන්න ඕන නොනගතේ (සංක්රාන්ති සමයෙ) මධ්ය වෙලාවෙන් පස්සෙ ද නැත්නම් සංක්රාන්තිය අවසන් වීමෙන් පසුව ද කියන එක. මේ අවුරුද්දෙ නම් රාත්රි අප්රේල් 13 වැනි දා 9.05න් පසුව ද නැත්නම් 14 වැනි දා අලුයම 3.29න් පසුව ද? මෙය නිර්වචනය පිළිබඳ ප්රශ්නයක්. අලුත් අවුරූද්ද ලබන්නෙ සංක්රාන්තියෙ මැද ද නැත්නම් සංක්රාන්තිය අවසන් වුණාට පසුව ද?
මා නම් කැමති සංක්රාන්තිය අවසන් වුණාට පස්සෙ සුබ නැකැත් ගන්න. සංක්රාන්ති කාලය කියන්නෙ අලුත් අවුරූද්දවත් පරණ අවුරුද්දටවත් මුළුමනින් ම අයිති නැති කාලයක්. අනෙක් අතට සංක්රාන්තිය අවසන් වීමෙන් පසු සුබ නැකැත් ගත්තොත් සුබ නැකැත් ගැනීම සංක්රාන්තිය මැදත් අවසන් වීම අතරත් තියෙන පැය හයයි විනාඩි විසිහතරට කොටු වෙන්න ඕනත් නැහැ. පැය ගණනාවක් ම තියෙනවා සුබ නැකැත් ගන්න. රාත්රි කාලයෙ සංක්රාන්තිය (නොනගතය) අවසන් වුණත් ඉර පායන තුරු ඉන්න පුළුවන් සුබ නැකැත් ගන්න.
මට දැන ගන්න ලැබී ඇති ආකාරයට සමහර අවුරුදුවල සුබ නැකැත් අරන් තියෙන්නෙ නොනගතය අවසන් වුණාට පස්සෙ. අර සුබ නැකැත් නොනගතයේ අපර භාගයෙ ගන්න ඕන කියන අදහස ආවෙ කොහොමද කියන එක ප්රශ්නයක්. ඒත් සුබ නැකැත් එකකට වඩා තියෙන එකේ ප්රශ්නයක් නැහැ. අප කුඩා කල එලෙස නැකැත් කිහිපයක් තිබුණා. ගමේ ගෑණු උදවිය අම්මගෙන් අහනව මට ඇහිල තියෙනවා ඉස්කෝලෙ හාමිනේලා ගන්න නැකත මොකක් ද කියල. සමහර විට ඔවුන් ඉස්කෝලෙ හාමිනේ කියපු දේ අනුව කටයුතු කළා වෙන්න පුළුවන්. ඒත් පඬි නැට්ටන් නම් ඉස්කොලෙ හාමිනේගේ ලොකු පුතා කියන මිථ්යා විශ්වාස කරන්නෙ නැහැ. ඔවුන් ඩෙරීඩා ෆූකෝ ජිජැක් ලකාන් කියවපු අය. මා ඉතින් ජ්යොතිෂ පොතක්වත් කියවල නැහැ.
සුබ නැකැත් කිහිපයක් වෙනුවට එක නැකතක් හදන්නෙ වි ජ මු ලොකු බණ්ඩාර මහතා නිසා. ඔහු එය හොඳ හිතින් කළ එකක්. එහෙත් සිංහල සංස්කෘතියෙ තියෙන්නෙ විවිධත්වයක්. ඒ ඒ අය ඒ ඒ ආකාරයට කටයුතු කරනවා. පාරම්පරික වෙදකමත් එහෙමයි. මුළු ලෝකෙට ම එක ම පැනඩෝල් පෙත්ත නියම කරන්නෙ බටහිර විද්යාවෙ.


 
තවත් නිර්වචනයක් තියෙනවා. ඒත් අවුරූද්ද ගැන. බටහිර ක්රමයෙ අවුරුද්දකට දින 365.242190ක් වන අතර අපේ අවුරුද්දට දින 365.256363ක් තියෙනවා එය සායනය හා නිරායනය පිළිබඳ ප්රශ්නයක්. මේ වෙනස්වීම නිසා අපේ අවුරුද්ද ලබන දිනය අවුරුදු 70කට පමණ එක් දිනයක් ඉදිරියට යනවා. කලකට පෙර අවුරුද්ද අප්රේල් 12 වැනි දා ලබා තියෙනවා. තව ටික කලකින් එය අප්රේල් 15 වැනි දා වේවි.

 

වැඩි විස්තර සිංහල අවුරූද්ද පොතෙන් දැන ගන්න පුළුවන්. මට පොත විකුණ ගන්නත් ඕන.




A day in the life

Thursday, March 21, 2024

ආදර සැමරුම් !!!










ඇල්මෙන් ඒ ලෙවල් කරනට පාසැලට
අළුතෙන් රෙජිස්ටරයේ නම ලිවු පවට
රැග් එක දෙන්න ආ රංචුව දැක බයට
ලතා ඇදන් රිංගුවෙ වැසිකිළියකට .
අරලිය හෙවන කෙල්ලන්ගේ රජදහනයි
ටක්ෂොප් එකේ ලැවරිය උණු කැවුම් වගෙයි
“පෙත්තා”සර් ගේ පාඩම් ග්රීක් සමයි
සාහිත සමිතියේ ලේකම් ධුරය මමයි.
සිසිවන උවන ඉඟ සුග ගතහැකි මිටින
පද්මා දුටුව මනතින් පිස්සුව හැදෙන
ඩෙස් එක හූරලා ආදර වැකි ලියන
නම් පටබඳින කොල්ලන්ගෙන් නෑ නිවන .
සෙවනැළි අවදිනොමවන ප්රයිමරියෙ කොනේ
සෝමේ, දික්තලා සමගින් රඟනු පෙනේ
කොට බිත්තියෙන් විදුහල්පති ඔළුව පෙනේ
වේවැල් පාර අපි කාටත් වැදෙනු දැනේ .
සාහිත පාඩමේ “ පොර” මම ..පෙර සිටම
සැළලිහිණියේ දිය කෙළි වැණුමයි අරුම
හාමුදුරුවන් ,තිසරුන් ගැන දෙයි දෙසුම
ළඟ සිටි එකිය ඇන්නා මගෙ ඉලයටම .
කැඩෙටින් එකේ ලීඩර් හරි හැඩකාරයි
මුස්ලිම් උණත් හිනැහෙන විට මනමාලයි
උදයෙන් පංති අතුගෑමට එන චිත්ර යි
අපි දෙන්නාම රහසේ ලව් කලෙ ඌට යි
දම්මිල සුගත්ලා කෝ අද වෙරළු කැඩූ
පද්මේ වන්දි ගෙවනව අහුවෙලා කුඩූ
ඒ .එල් .පන්තියේ තව කවුරුන්ද අඩූ
කරුණාසීලි ස.තො.සේ . කිරනවලු බඩූ .
ගැටවර වියේ පාසල් මව් සෙවනෙ සිට
එකපත බෙදා එකටම කෑ රංචුවට
සරසවිවරම් ලැබුණේ ලොව දිනන්නට
දිනුවද පැරදුණා දැයි සැක සිතේ මට .!
රෝ.සි.
2024 .03.21 .

A day in the life

Wednesday, March 20, 2024

ජිවිතයට ස්තුති කරන්න .


අන්ධ නිසා තමන්ටම වෛර කළ තරුණියක් සිටියා. ඇය තම පෙම්වතාට හැර අන් සියල්ලන්ට ම වෛර කළා.. ඔහු නිතරම ඇය වෙනුවෙන් සිටියා. ඇය තම පෙම්වතාට පැවසුවේ ‘මට ලෝකය පෙනෙන්නේ නම් පමණක් මම ඔබව විවාහ කරගනිමි’ යනුවෙන්...
දවසක් කෙනෙක් ඇයට ඇස් යුගලක් පරිත්යාග කළා. දැන් ඇයට ඇගේ පෙම්වතා ඇතුළු සියල්ල දැකගත හැකිය. ඔහු ඇගෙන් ඇසුවේ, 'දැන් ඔබට ලෝකය පෙනෙන නිසා ඔබ මාව බඳිනවාද?' යනුවෙන්...
ගැහැණු ළමයා තම පෙම්වතා දෙස බැලූ විට ඔහු අන්ධ බව දුටුවාය. ඔහුගේ වැසුණු ඇසිපිය වල දසුනින් ඇය තිගැස්සී ගියා. මන්ද එවැන්නක් ඇය කිසිදා බලාපොරොත්තු වූයේ නැත!
තම ජීවිතයේ ඉතිරි කාලය ඔහු දෙස බැලීමේ සිතුවිල්ලේ ඇති භයානක බව දැනී ඇය ඔහු සමඟ විවාහ වීම ප්රතික්ෂේප කළා.. ඇගේ පෙම්වතා කඳුළු සලමින් ඇය හැර ගිය අතර දින කිහිපයකට පසු ඇයට ඔහු වෙන කෙනෙකු මගින් මේ සටහන එවීය...
"ඔබේ ඇස් හොඳින් බලාගන්න, මක්නිසාද ඒවා ඔබේ වීමට පෙර මගේ ඒවා විය...."
අපේ මොළය බොහෝ විට ක්රියා කරන ආකාරය මෙයයි.
තත්ත්වය වෙනස් වූ පසු පෙර ජීවිතය කෙබඳුද යන්නත්, වඩාත් වේදනාකාරී අවස්ථාවන්හිදී අපේ පැත්තේ සිටි අයත් ගැන මතක තබාගන්නේ ඉතා ස්වල්ප දෙනෙක් පමණි.
"ජීවිතය යනු තෑග්ගකි..."
ඔබ අද කාට හෝ අකාරුණික වචනයක් කියන්නට පෙර |කතාකිරීමට නොහැකි කෙනෙකු ගැන සිතන්න!
ඔබේ ආහාරයේ රසය ගැන පැමිණිලි කිරීමට පෙර | කෑමට කිසිවක් නැති කෙනෙකු ගැන සිතන්න!
ඔබේ ස්වාමිපුරුෂයා හෝ භාර්යාව ගැන පැමිණිලි කිරීමට පෙර |සහකාරියක්, සහකරුවෙක් ඉල්ලා සර්වබලධාරී දෙවියන්ට කන්නලව් කරන කෙනෙකු ගැන සිතන්න!
අද ඔබ ජීවිතය ගැන පැමිණිලි කිරීමට පෙර |අඩු වයසින් මිය ගිය කෙනෙකු ගැන සිතන්න.
ඔබ ඔබේ දරුවන් ගැන පැමිණිලි කිරීමට පෙර |දරුවන්ට ආශා මුත් වඳ කෙනෙක් ගැන සිතන්න.
|ඔබේ නිවස ගැන තර්ක කිරීමට පෙර, පිරිසිදු කර හෝ අතුගා නැති වීදියක වැටී ජීවත් වෙන පුද්ගලයින් ගැන සිතන්න.
ඔබ රථය පදවන දුර ගැන කෙඳිරිගාන්නට පෙර |තම පාද වලින් ඒ දුරම යන කෙනෙකු ගැන සිතන්න.
ඔබ වෙහෙසට පත්ව ඔබේ රැකියාව ගැන පැමිණිලි කරන විට |රැකියා විරහිතයන්, ආබාධිතයන් ආදී ඔබේ රැකියාව ඔවුන්ට තිබුණා යැයි සිතන අය ගැන හිතන්න.
මිතුර ලැබුණා වූ ජිවිතයට ස්තුති කරන්න!
Copied form Sagara Diyagama
All reactions:
Dinuka Deshapriya, Lal Karunasena and 7 others


A day in the life

Tuesday, March 19, 2024

ඩොලර් ඉපයීම



මේ දවස්වල ඩොලරයේ අගය බහිනවා. ඊයේ (මාර්තු 18) ඩොලරය රුපියල 300ට බැහැලා. එය රනිල්ගෙ හරි නන්දලාල්ගෙ හරි නොපෙනෙන ඉන්ද්රජිත් කුමාරස්චාමිගෙ හරි හපන්කමක් නම් නො වෙයි. අපි ණය ගෙවන්නෙ නැහැ. එතකොට ඩොලර් සංචිතය ඉහළ යනවා. ඩොලරයේ අගය වැටෙනවා. කවදා හරි ණය ගෙවන්න වෙනවා. ඒක 2027 දී ද ඊට පස්සේ ද කියන එක නොවෙයි ප්රශ්නය.

 

ඒ නොගෙවා ඉන්න කාලෙට පොලිය එකතු වෙන්නෙ නැද්ද? ඒ කියන්නෙ අවසානයේ දි අපි වැඩියෙන් ගෙවනවා ද? රනිල් 2027 වෙනකම් ජනාධිපතිවෙලා ඉන්න ගැටයක් ගහනවා ද? 2027 වන විට ඔහුට වයස අසූවට කිට්ටුයි. ඒ කාලයෙහි ඔහු දෙමළ වෙල්ලාලයන්ට බලය බෙදන්න සූදානම් වෙනවා ද?
ඒ හිතලු ලෙස අහන ප්රශ්න තමයි.

 ඒත් රනිල් පහුගිය අවුරුදු පනහක පමණ කාලයෙ ක්රියා කරල තියෙන ආකාරය බලන විට එවැනි ප්රශ්න හිතට එනවා. ඔහු කොළඹ මොටාවෙ ශිෂ්යයකු ව සිටි කාලයෙ සමසමාජ ශිෂ්ය නායකයා එම් ඒ ජස්ටින් මෙහෙය වූ ආකාරය මතක් වෙනවා. ඔහු ඒ අතින් නම් දක්ෂයෙක්. ඒ අවුරුදු පනස්පහකට පමණ පෙර. ඔහුට නැගෙනහිර පළාතෙ බෞද්ධ සිද්ධස්ථාන ලයිට්හවුස්.

කොහොමටත් අපේ ප්රශ්නය ආදායමට වඩා වියදම වැඩි වීම. අප ණයට කෑමට පුරුදු වී සිටීම. අපට අද ප්රසාරණය වුණු වැදගැම්මකට නැති මධ්යම පංතියක් ඉන්නවා. එදත් මධ්යම පංතිය එහෙමයි. ඔවුන්ට වැදගත් දෙයක් හිතන්න බැහැ. එහෙත් ඔවුනට හිතන්න පුළුවන් එක දෙයක්. ඒ තමන් ඉහළ පෙළේ චින්තකයන් කියා. අර කියන්න වගේ කතාව දෝලාවෙන්.
අපට පිටරට සමග වෙළෙඳාම් නොකර ඉන්න බැහැ. විජය පැමීණීමටත් පෙර මෙරටට වෙළෙඳුන් ඇවිත් තියෙන බව පැහැදිලියි. දන්න අතීතයේ කිසි දා අප ලෝකයෙන් වෙන් වෙලා ඉඳලා නැහැ. ඔය පඬි නැට්ටන් මහත් ආඩම්බරයෙන් කියවන දුපත් මානසිකත්වයක් මෙරට තිබිල නැහැ. විවිධ රටවල කාසි මෙරටින් හමුවෙන්නෙ. විවිධ රටවල දැනුම් මෙරට තිබුණා. පඬි නැට්ටන් හිතන්නෙ ඔවුන් තමයි ලෝකෙ වෙන දේ දන්නෙ කියා.
ඒත් මෙරට වැසියන්ට වෙනත් දුපත් මානසිකත්වයක් තිබුණා. ඒ මෙරට සංස්කෘතිය අනුව හිතීමේ මානසිකත්වය. අද වන විට ඊනියා උගතුන් අතර ඇත්තෙ අනුකාරක මානසිකත්වයක්. ඒ කොහොම වෙතත් අපට විදේශීය මුදල් සංචිතයක් අවශ්යයයි. අද වන විට අප විදේශ විනිමය උපයා ගන්නෙ ප්රධාන වශයෙන් අරාබිකරයේ කොරියාවෙ ඊශ්රායලයෙ වැඩ කරන ශ්රමිකයන්ගෙන්. අපනයන වලින් හා සංචාරකයන්ගෙනුත් විදේශ විනිමය ලැබෙනවා. ඒත් ඒ සියල්ල එකතු කළත් ආනයනවලට ඊට වඩා මුදලක් යනවා. ඒක පියව ගන්න අපි ණය වෙනවා. ඒ තමයි ණය චක්රය.
අපේ අපනයනවලින් එතරම් ශුද්ධ විදේශ විනිමයක් ලැබෙන්නෙ නැහැ. එයට හේතුව බොහෝ අපනයනවලට ආනයන අවශ්ය නිසා. සංචාරකයන්ගෙන් ලැබෙන විදේශ විනිමයත් අඩුයි. අපට එන්නෙ යහමින් වියදම් කරන සංචාරකයන් නො වෙයි. ඔවුන් සමහරු මෙරට සංචාරක ව්යාපාර පවත්වාගෙන යනවා!
විදේශ විනිමය උපයා ගැනීමට එක් එක් අය යෝජනා ඉදිරිපත් කරනවා. ඇතැම් ප්රබුද්ධ කාන්තාවන් යෝජනා කරනවා ගණිකා වෘත්තිය නීතිගත කරන්න කියා. පැරණි නගර ශෝභිනීලා ගැන කියාවි. කුමාරදාස රජු දවස සිද්ධිය කියාවි. ඒ තමන්ගෙ යෝජනාව තහවුරු කරන්න. ඒ කාන්තාවන් දැනටමත් කැමැත්තෙන් ඒ වෘත්තියෙ යෙදනෙවා ද කියා මා දන්නෙ නැහැ. කෙසේ වෙතත් බොහෝ දෙනා ශරීරය විකුණන්නෙ කැමැත්තකින් කියා හිතන්න එපා.
සංචාරකයන් අප රටට එන්න ඕන මෙරට ඇති විශේෂත්ව මොනවා ද? වෙනත් රටක නැති මෙරට ඇති දේ මොනවා ද? අපේ හෝටල් ගාස්තු වැඩි ද? අප තව තවත් ශ්රමිකයන් අරාබිකරයට කොරියාවට යවනවා ද? අපේ අපනයන වැඩි කර ගන්නේ කෙසේ ද? ආනයන අඩු කර ගන්නේ කෙසේ ද? අපට කෘෂිකාර්මික නිෂ්පාදන වැඩි කර එ අපනයනය කරන්න පුළුවන් ද? මෙරටින් යුරෝපයට ඕස්ත්රේලියාව නවසීලන්තය වැනි රටවල පදිංචියට යන අය සංකේන්ද්ර ගත ප්රදේශවලට ඇතැම් දේ අපනයනය කරන්න අවස්ථා ඇත් ද?
මෙරට දැන් බොහෝ මොටාවල තාක්ෂණික විද්යා පීඨ තියෙනවා. ඉන් පිටවෙන උපාධිධාරීන්ට විදේශ විනිමය ඉපයිමේ හැකියාවක් තියෙනවා ද? අපට ඉන්දියාව සමග තරග කරන්න බැරි වේවි. එහෙත් අපට වියදම අඩු කර ගැනීමේ හැකියාවක් තියෙනවා ද?
ඉහත සඳහන් ක්රමවලට හැරෙන්න විදේශ විනිමය ඉපයීමේ වෙනත් ක්රම තියෙනවා ද? පාරම්පරික වෙදකමට ආකර්ෂණයක් ඇති කරන්න පුළුවන් ද? පොහොර තහනම කළ ආකාරය කිසිසේත් ම සතුටුදායක නැහැ. ඒ ජයසුන්දරගේ තවත් ලණුවක්. එහෙත් අප දේශීය ගොවිතැනට යොමු වීමෙන් ආනයන යම් ප්රමාණයකින් අඩු කර ගන්න පුළුවන්. දේශීය දැනුම් පද්ධතිය දියුණු කිරීමට මෙතෙක් කිසිවකු ක්රමවත් වැඩ පිළිවෙළක් ආරම්භ කර නැහැ.
ඒ කෙසේ වෙතත් අපනයන වැඩි කිරීම මෙන් ම ආනයන අඩු කිරීම ගැනත් සැළකිලිමත් වෙන්න ඕන. අපේ අධිපරිභෝජනය නතර කිරීම අල්පේච්ඡ ජීවිතයකට හුරු වීම සහ තවත් දේ තියෙන්න පුළුවන්. ඒ අතර මියන්මා වැනි රටවල් සමග බද්ධ ව්යාපාර ආරම්භ කිරීමත් හිතන්න ඕන. මියන්මා රාජ්ය සේවය මෙරට රාජ්ය සේවයටත් වඩා අකාර්යක්ෂම බව අමතක කරන්නත් බැහැ. උදාහරණයක් ලෙස මියන්මාහි පොල් වගා තියෙනවා. එහෙත් ඔවුන් ඉන් කිසිම ප්රයෝජනයක් ලබන්නේ නැහැ. ඔවුන් සමග එකතු වීමෙන් රටවල් දෙකට ම වැඩදායක නිෂ්පාදන ආරම්භ කරන්න පුළුවන්. ඒ සඳහා තරමක කාලයක් ගතකිරීමට නම් සිදුවේවි.
මා මේ කිසිවක් හදාරල නැහැ. කවුරුන්වත් ඒ ගැන විධිමත් හැදෑරීමක් කරල තියෙනවා ද කියා දන්නෙත් නැහැ.
නලින්  ද  සිල්වා

A day in the life
 

මීදුම Published @ 2014 by Ipietoon