Monday, August 24, 2015

අන්දා - මන්දා .


මායි - මගේ දේශපාලන දර්ශණයයි  දෙකක් වුනා .අල්ලපු ගෙදර කොල්ලා පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරනවා කිවාම.
 උගේ මූණ නිතර දෙවේලේ මුඩිච්චි වෙනවා. ඒ  නිසා මටත්  කර කියා ගන්න දෙයක් නැතිව ගියා.මගේ දේශපාලන දර්ශණය පැත්තක තියලා  සන්ධාණයෙන් පාර්ලිමේන්තු යන්න වලි කාපු කොල්ලාට සහයෝගය දුන්නා.මේ මහා පාවා දීම ගැන නොයෙක් විවේන ආවත් කවුරුත් කරන්නා වාගේ මාත් ආර්මාර්ථකාමී වුනා.මට දර්ශණයට වඩා කොල්ලා ලොකු වුනා.
ඉස්සර ගෙදර අක්කා අවුරුදු ගානක් නිදා ගෙන ඉදලා ජනවාරි අටවෙනිදා විප්ලවයෙන් පස්සේ එළියට බැහැලා යහ පාලන තහවුරු කරන්න බරටම කඩේ යනවා. සහයෝගයට නැගණහිර මායිමේ ඉන්න නිහාල් අයියත් එකතු වෙලා. අක්කගේ දුවට රස්සාවක් නිහාල්ගේ පුතාලට රස්සා වගේම ඉඩමක් පරමාර්ථ කරගෙන ජයටම වැඩ.
බලන කොට අපි තුන්දෙනාගෙම පරමාර්ථ එකයි.
දේශයේ හෘද සාක්‍ෂියට අත තියාගෙන  මහින්දට පළු යන්න බනින අජිත් සහෝදරයා පහුගිය කාලේ තමන්ගේ කොල්ලෝ කෙල්ලන් ට රස්සා වල් අරන් දුන්නේ සන්ධානයෙන්. හිතවත් ඇමතිතුමෙක් අජීත් සහෝදරයට උදව් කලේ. ඉතින් අජිත් සහෝදරයා දේශයේ හෘද සාක්‍ෂිය සුරකින ගමන් ඇමතිතුමාට ඡණ්දය දෙනවා කියලා කියනවා. විද්‍යාත්මක දේශපාලනයයි - ප්‍රාෙයා්ගික  දේශපාලනයයි ගැටෙනවා තමයි. ඒත් මම ඇමතිතුමාට යුතුකම් ඉටු කරන්න එපායැ. අජිත් සහෝදරයාගේ මත වාදය වෙලා.
මේ ඔක්කොමත් ඔළුවේ තියාගෙන ඡණ්දෙන් පස්සේ වෙන්නේ මොනවද කියලා බැළුවා.හත්වලාමේ ...... ඡණ්දෙන් පරාද කරලා ගෙදර යවපු කට්ටිය , ජාතක ලයිස්තුවෙන් පාර්ලිමේන්තු යනවා.එතකොට එතන ජන මතය නියෝජනය වෙන්නේ නෑ කියලා කවුරු හරි හිතනවා නම් ඒක වැරදි සංකල්පනාවක්.
අපි කරලා තියෙන දේමයි මහ කට්ටිය කරලා තියෙන්නේ ......කොටින්ම ආත්මාරථකාමී ලෙස එතුමන්ලා හැසිරෙනවා .ජනමතය බල්ලට දාලා.
මගේ කොල්ලටයි මටයි වෙච්ච දේ කියලා මේ සටහන අවසන් කරන්නයි බලා පොරොත්තුව.
අර ගොරක මුලක බිලී කොක්ක පැටලිලා ගමත් එක්කම තරහ වුන මසුන් මරන්නා වගේ ජයග්‍රහණය ඇස් පනාපිට දැක්ක නිහාල් සහෝදරයයි - අක්කයි අසල්වාසී මාත් එක්ක කතාව අත්හැරියා. චණ්දේ ගනන් කරලා බලාපුවම යහ පාලනේ දිනලා. මැතිවරණ කොට්ඨාසෙත් දිනලා. ඒත් නියෝජනය කරපු අපේක්‍ෂකයෝ තුන්දෙනාම පරාද වෙලා !.
දැන් මූණ පුළුටු කරගෙන ගලේ පහරපු බලල්ළු ගානට වැටිලා.

මටත් උනේ ඒ  සන්තාසියමයි.කොල්ලා   ප්‍රතිපල කියන කොට නතරවුනේ බවුන්ඩ්‍රියේ . දැන් ඉතින් පේන බල බලා ඉන්නවා.................

 දේශපාලනයේ නිර්දූෂිතයෙක් නොවන කොල්ලා   ජාතික ලයිස්තුවට යන්න තරම් දේශපාලනයේ මස්තබාල්දු වෙලා නැහැ. ඒ නිසා නායක කාරකාදීන්ට පේන චරිතයක් නොවෙයි. දැන් බවුන්ඩ්‍රිෙය් ඉදන් ජයවර්ධන පුරය පැත්තෙන් හමන හුලං බොන්න සිද්ධ වෙලා.............ජන මතයයේ වටිනාකමක් නැති රටක හිටපු ඒකාට වඩා මේකා හොදයි කියන්න බැහැනේ !.
notes of imaginary

Wednesday, August 05, 2015

මැකෝට ස්තුතියක් !


අද අගෝස්තු මාසේ පස් වෙනිදා මැතිවරණයට තියෙන්නේ තව දින කිහිපයයි. මැතිවරණ සමයක  නැති නිහඩ තාවයක් මේ දවස් වල තියෙනවා. තැන තැන පාට පාට පොලිතීන් වලින් පිරිලා නානාප්‍රකාර අනවරථනාම ඉස්සරහට දා ගත්ත පාප්ප කුමාරයන්ගේ  පින්තූර ලයිට් කනුවල මහපාරේ තැනින් තැන දකින්න නැහැ.ලයිට් කනු බෙදා ගන්න බැරිව යුද්ධ කරන පාප්ප කුමාරවරුන්ගේ අම්බැට්ටයින්ට යම් තරමක් නිවාඩු ලැබිලා.

ඉස්මුරුත්තාවට 'ජන්ද උණ' වැළඳුණු උදවිය කෝල වෙලා ඡණ්දේ ප්‍රකාශ කරන්නේ අතින් පයින්..............., ගලෙන් මුගුරෙන්.............., කිනිස්සෙන් කඩුවෙන්............., උණ්ඩයෙන් බෝම්බයෙන්. ජන්ද අපේක්ෂකයන්ගේ  මනාප අංකයි සත්ගුණවත් බවයි ජය සක්හඩක් වගේ  රැ දෙගොඩයාමේ පාර තො‌ටේ යකඩ කටවල් වලින් මුදා හරිනව. කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි  මේවා අපි අහගෙන ඉන්න එපාය. මෙවර ඒකත් සෑහෙන්න දුරට පාලනය වෙලා.  

මැතිවරණ නීතී පොතේ තිබුන නීතී මෙතෙක් කල් නිදා ගෙන ඉදලා මෙවර මැතිවරණයේදී අවදි  වෙලා.ඒ  නිසා  මෙවර මැතිවරණයේදී   සුවසේ අවදිවීමටද, සුවසේ නින්දටයැමටත් පුළුවන් .මේ වගේ නින්ද යාමට බැරිවුන  1989 මැතිවරණයේදීත් ඡණ්ද  ගාය අඩුවෙලා තිබුනා මතකයි. මැතිවරණ කොමසාරිස්තුමාගේ නීති පොතේ තිබුන නීතී නිසා නෙමෙයි.අනුර කුමාර මහත්තයලාගේ නීති පොතේ තිබුන නීතී නිසයි.

 මෙ මැතිවරණය  හා සමාන නිහඩ  ජන්ද සමයක් ඉතිහාසයේ නොතිබූන තරම්. මේ තත්වය මට නම් ජනතා ජයග්‍රහනයක් .ඉතින් මේ  අප අත්විඳින මේ නිස්කලංකය  අපට අත් කර  දුන් මහින්ද දේශප්‍රිය මහතාට ප්‍රනාමය පුදන්න ඕනී. 

එක් එක් පක‍්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශණ ජනතාව අතට පත් කරලා. මේ වයේ තියෙන දේවල් අපේ රටේ කරන්න පුළුවන්ද ?. කියන එක මට නම් ප්‍රශ්නයක්. 1948 ඉදන් බැළුවම අද ජනගහනය දෙගුණ වෙලා. අපේ සම්පත් ප්‍රමාණය දෙගුණ වෙලා නැහැ. භූමිය , සම්පත් උපදවන්නේ නෑහැ.අපිට  දියුණු රටවල් වල වගේ ඛනිජ සම්පත් නැහැ. අපිට තියෙන්නේ එකම සම්පතයි ශ්‍රමය පමණයි. මේ හැම ප්‍රතිපත්ති ප්‍රකාශණයක්ම කියවලා බලලා පැත්තකින් තිවුහම ඉතිරි වෙන්නේ එකම පාඨයයි. “අපි ණයට අරන් කන්න දෙනවා “ කියන එකයි. ණයට අරන් ඒ ණය මුහුදේ පීනලා සාක්කු පුරවා ගන්නා දේශපාලකයෝ පිරිසක් අපට  ඉන්නේ. දශක තුනක් බඩ පුරවා ගත්ත කොටසට එරෙහිව තවස් කොටස් දෙක තුනක්  දැන් අපිටත් අවස්ථාවක් දෙන්න කියලා කියනවා. 

අපි කා ගැනත් අනුකම්පා වෙන් බලන්න එපාය.






notes of imaginary

Sunday, August 02, 2015

තරහට කියන කතා.



කලින් කලට අළුත් අළුත් වචන භාවිතයට එක් වෙනවා . ඩයස්පෝරාවත් අපේ වහරට යුද්ධයත් සමග එක්වු වචනයක් .
තමන් උපන් බිමෙන් පන්නා දමන ලද වෙනත් රටක ජීවත් වෙන ජන කොටසක් ඩයස්පෝරාව ලෙස හදුන්වනවා. බයිබලයේ පරණ තෙස්තමේන්තුවේ  තම නිජබිමෙන් පිට කෙරී ඊජිප්තුවේ ජීවත්වන යුදෙව්වන් මේ නමින් හදුන්වලා තියෙනවා. මේ අරුතින් ගත් කල නම් දෙමළ ඩයස්පෝරාව කියලා එකක් තියෙන්න බැහැ. 
මට හිතෙන්නේ දෙමළ ජනතාව තම මව් බිමෙන් පිට කරලා නැහැ. පිට වෙලා ගිහින් තියෙනවා. ඔවුන්ගේ සුඛ විහරණය උදෙසා. රැකියාවන්ට අධ්‍යපන අවශ්‍යතාවයටවගේ පෞද්ගලික උවමනාවන්ට. මෙ විධියට පිට වෙලා ගිය ප්‍රමාණය ලක්‍ෂ සංඛ්‍යාතයි.  මේ කොටසට දේශපාලනය විසින් හදුන්වන අන්වර්ථ නාමයක් තමයි ඩයස්පෝරාව.

ඕනම එකට දේශපාලනය ගෑවුනහම ඒක විනාශ වෙනවා.ගුණ යහපත් මිනිස්සුන්ට වගේම රටටත් වෙලා තියෙන්නේ ඒ සංගදියමයි.

මේ ආඩපාලි නෙමෙයි. යහපාලනයේ දවස් සීයය ගැන හිතමු.කරන ලද හොද වැඩ අස්සේ සාක්කු පිරෙන මහ බැංකු සෙල්ලම,කැපී පෙනෙන දෙයක් වුනා. පොදුවේ කවුරුත් දේශපාලකයෝ රටට , රටේ ජනතාවට ආදරේ ඇති අය නෙමෙයි.රණිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු නඩය තම දේශනා තුල කියන්නේ   පහුගිය කාලේ රාජපක්‍ෂලා තර වුනා දැන් අපිට තර වෙන්න අවස්ථාව දෙන්න කියලා.බඩ පිරිලා ඉන්න එකා කන ප්‍රමානයට වඩා බඩ ගින්නේ ඉන්න එකා කන ප්‍රමාණය වැඩියි.
එක අතකට බඩ ගින්නේ ඉන්න එකාට බඩපුරවාගන්න දෙන එකත් ලොකු පිනක්.
පහුගිය කාලෙම කතා කලේ එතනෝල් ගැන. සුරා බදු දෙපාර්තමේන්තු කියන විධියට එතනෝල් සම්බන්‍ධ වෙන්නේ දේශපාලකයන් එක්ක. සත්ගුනවත් බලවත් ව්‍යාපාරික  දේශපාලකයන්ට මුදල් ගලන ව්‍යාපාරයක් සහ කළු සල්ලි උල්පතක් වෙන්නේ එතනෝල්. 2014 අවුරුද්දටම එතනෝල් ලීටර් ලක්‍ෂ 14.7 ක් බීපු අපිට2015 වසරේ මුල් මාස හයට ජනවාරි ඉදන් මැයි වෙන කොට බොන්න දෙන්න ලීටර් 13.9ක් රටට ගෙනවිල්ලා.තව මාස හයක් තියෙනවා.පසුගිය මාස හයට බාර් ලයිසන් 28 ක් දීලා. චන්ද්‍රිකාගේ පටන් මහින්ද දක්වා සලකන්න බැරිව හිටිය රණිල් ආව හැටියෙම තමන්ගේ ඇත්තන්ට සලකන්න පටන් අරන් තියෙන හැටි ඔහොමයි.


මේ හවු අස්සේ ජනාධිපතිවරයා කියනවා මම 20යි 20 දී ජාතික අයවැය හදන්නේ සුරා බදු දෙපාර්තමේන්තුවේ ආදායම නැතිව කියලා. දකුණු අත කරන දේ වම් අත දන්නේ නැතිවද ? නැත්නම් අපි රවටනවද ? කියලා හිතා ගන්න බැහැ.


notes of imaginary

Saturday, July 18, 2015

සබද අපි කදු නොවෙමු .



දිනපොත ලියවෙන්නේ කාලෙකට පස්සේ. හැමදාමත් මේ පදවැලෙන් තමයි ලියන්න පටන් අරන් තියෙන්නේ. හෙටත් ලියන්ම් කියලා සමුගන්න මම ඒ හෙට උදා කරගන්න ලොකු කාලයක් ගන්නවා.

ජීවිතය ගෙවෙන්නේ එදාට වැඩිය වේගයෙන්. මම ඉස්සර කාලේ දිනපොතක සටහන් තිබ්බා වයසත් සමග මෝරන ජීවිතයට ඒ දිනපොත් අතර තියෙන සටහන් නැවත කියවන විට මළවිකාර කියලා මටම හිතුනා. මේ සටහනුත් දිනපතාම ලියවිලා තිබුන සටහන් නෙමෙයි.

පසුකාලෙක මගේ මාමන්ඩියගේ දිනපොත් කිහිපයක් කියවන්න ලැබුනා ඒ එතුමාගේ මරණින් පසුව. එතුමා ගිය ගමන් බිමන් වන්දනා ගමන් දවසේ දේශපාලන තොරතුරු සමග කාලගුනය.දවසේ වැඩකටයුතු හමුවු පුද්ගලයින් පිලිබද දීර්ඝ දවසේ සටහන් ඒ දිනපොත් වල සටහන්ව තිබුනා.

මම 1989 ප්‍රේමදාස කාලේ ඒ තාලෙට පැවත්වුන මැතිවරණයෙදී මගේ සහෝදරයෙකුගේ (ශ්‍රීලනිප) මැතිවරණ ජයග්‍රහණයට උරදීලා හිටියා.  මම නිතර ගැවසුන ගම්මාන එකල සහෝදරවරු දෙස හැදුන්වුන සහෝදර පිරිසගේ අර්ධ පාලනයට යටත්ව තිබුනේ. මගේ දෛවය මේ කාලේ දෙපැත්තට දෝලනය වුනා. මට මැතිවරණ ප්‍රචාරක කටයුතු පවත්වා ගෙන යන්න අවකාශ ලබා දුන් සහෝදරයෝ මහ මග මගෙන් සමු අරන් තිබුන වාර අනන්තයි. මට තිබුන ප්‍රජාතාන්ත්‍රික අරමුණ විරුද්ධ දේශපාලනිකයන් හදුනා ගෙන තිබුන නිසාදෝ මම නිරුපද්‍රිතව රැකුනා. ඒ දේව වරප්‍රසාදයකින් දෝ මගේ අදහස් ප්‍රකාශ කිරිම සහ මා හදුනාගෙන   තිබීම නිසා කියලා අවුරුදු  විසිහයකට පස්සේ මම හිතනවා.
දවසක දවස ගැන හිත හිතා ඉන්න මට කොල කෑල්ලක සටහන් වෙලා තියෙන මේ පදවැල හමුවෙනවා. අවුරුදු හතලිහක් විතර වෙන ඒ කාලේ මගේ වයස මේ ගීතය හදුනාගන්නේ අපි පසු බසිමු ,  අපි හෙමින් කතාකරමු, එකිනෙකා පරදා අපි ඉහල යා යුතු නැහැ කියන්නා වගේ. හැපෙන්න බැරි තැන පසු බහින්න මගේ හිත මේ ගීතය නිසා ඒ  කාලේ පුහුණු වුනා. පරිසරයේ ගොඩනැගෙමින් තිබුන මූසල නිහඩතාවය මැදින් මට විශාල වැඩිහිටියෝ පිරිසක් ඇතිවුනා.

මේ විවරණිකාවත් එක්ක අද දිනපොතේ ලියවෙන්නේ විශාරද ගුණදාස කපුගේ යන් ගැයු ගීතයක් ගැන සටහනක්.

සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන.....//.

වියරු ගිනි දැල් නොවෙමු  වනය අවුලා තබන
සිහිල දෙන වැස්ස වෙමු දැවෙන කැළයට වසින......

සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන......

නපුරු හීනය නොවෙමු  ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු දනන් නින්දෙන් මුදන....

සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන....//

1971 තරුනයන්ගේ අවදි වීම මම දැක්කේ සතුටු සිතකින්. ඒ කාලේ මගේ වයස අවුරුදු 23යි. 1989 දි මගේ වයස අවුරුදු හතලිස් එකයි.උදාසීන සිතිවිල්ලක් ඇති වෙලා තිබුනා වගේම කොහේදෝ බලපෑමකට අපේ රට විනාශය කරා ගෙන යනවා කියන හැගීමක් ඒ කාලේ ඇති වෙලා තිබුනා. පෞද්ගලීකරනය කරන්නට නොහැකිවූ රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් සහෝදරවරුනුගේ ගිනුමට ලා ගිණිබත් කලා. ඒ තැන්වල සහෝදරයොත් වැටී ගිණි බත්වුනා.
පසුකාලයක මේ ආයතන පෞද්ගලිකරණය වුනා. නැත්නම් අර්ධ රාජ්‍ය සමාගම් බවට පත්වුනා.
අද මම 67 වියේ.
අද  දේශපාලන විකාර දැකලා මගේ හිත කම්පා වෙනවා. සියල්ලෝම උත්සහා කරන්නේ “ කදු වෙන්න !.“දේශපාලන කදු වෙන්න.
කිසිවෙකුට සොදුරු අඩහැරයක් , සිහිල දෙන වැස්සක් වන්න ඕන කමක් නැහැ. -අපේ දරුවෝ දකින්නේ නපුරු හීනයක් !.ඒ නපුරු හීනය එක් එක්  දේශපාලන කෝන වලින් කැමරා ගත වෙලා අපේ දරුවන්ගේ අනාගතය පේනවා.ඒ හීනය තුලින් ගීණි දැල් මැවෙනවා
1989 දරුවන් 2015 වන විට අවුරුදු විසි හයක තරුන තරුණියන්  බවට පත්වෙලා.මේ අයට සුනිල දිය දහරක් ,සිහිල දෙන වැස්සක සොදුරු අඩහැරයක් වෙන්න ඔන මේ මකබාස්ලාට ඕන කමක් නැහැ.
රාජ්‍ය නායකයා පටන් සියල්ලෝම විකාර දොඩවනවා.පිස්සන්ගේ දේශයක අපිත් පිස්සෝ බවට පත්වෙනවා. අපි බෙලහීන වන විට බාහිර බලවේග අපිව බිලි ගන්නවා.


notes of imaginary
 

මීදුම Published @ 2014 by Ipietoon