ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

පොසොන් පෝය 29 වෙනිදා.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2010-01-09

නාහේ වැරැද්දට මූණ කපා ගමු ද ?.




බල ලෝභයට ප්‍රඥාව නැති බවක් දැන් දැන් වේදිකාවේ පෙනෙන්ට තිබෙනා කාරණාවක් වී ඇත. මේ අධම මිනිසුන් ඔට්ටු අල්ලන්නේ අපේ මව් බිම සමග යයි මිදුම අනන්ත වාරයක් සිතමින් සිටින්නේ ය.
බලය ලබා ගන්නා පිණිස මේ මිනිසුන් නො කියනා දෙයක් නැත. නො දෙනා පොරොන්දුවක් නැත.

දුවිඩ සංධානය පාර්ලිමේන්තුවේ කොටි නියෝජනය කල දේශපාලන අංශය විය. ඔවුන් ඒකීය රටක් සංකල්පය වෙනුවට දෙමළ රාජ්‍යයයක් ඉල්ලා සිටි කඳවුරේ නියෝජිතයෝ වූහ. දුවිඩ සංධානය ජනාධිපතිවරණයේ දී සහය දෙන අපේක්ෂකයා සපුරා ලිය යුතු පොරොන්දු පත්‍රයක් ඔවුන් ඉදිරිපත් කර ඇත. කොතරම් නැහැයි කීවත් කොන්දේසි විරහිතව ඔවුන් සහයෝගය දෙනු ඇතැයි සිතිය ද නො හැක.
එමෙන්ම කොටි සංවිධානය නියෝජනය කරන දුවිඩ සංධානයට එසේ සීමා කොන්දේසි පැණවීමට සදාචාරාත්මක අයිතියක් ඔවුන් ගේ පාර්ශවයෙන් ඇත.

එම පොරොන්දු මෙතෙක් පවත්වා ගෙන ගිය ක්‍රියා දාමයන් ආපසු හරවන තත්වයන් නිර්මාණය කරන්නේ නම් දකුනේ දේශ හිතෛෂි කිසිම පාර්ශවයකට එම යෝජනා පිළිගත හැකි යෝජනා විය නොහැක. අවුරුදු තිහක් තිස්සේ පීඩා විදිමින් පසු ගිය කාල පරාසයේ ජීවිත පූජා වෙන් සහ මහත් ධනස්කන්දයක් වියදම් කරමින් අපි සොයා ගන්නා ලද සාමය දුවිඩ සංධානය හවුල් කාර පාර්ශවයක් විසින් ආපසු නො හරවනු ඇතයි අපට විශ්වාස කල හැකි ද යන්න විමසා බැලිය යුතු කාරණයකි .
දුවිඩ සංධානය ඉදිරිපත් කර ඇති , සරත් ෆොන්සේකා පිළිගෙන ඇතැයි සලකන යෝජනා රටට හිතකර දැයි සිතා ජනාධිපතිවරණයේ ඡන්දය පාවිච්චි කිරීම අද දවසේ අපට බාරදී ඇති කටයුත්තකැයි මීදුම සිතයි.

මාධ්‍ය පල කරන තොරතුරු අනුව ද්‍රවිඩ සංධානය හා එකඟ වී ඇති වරදාන සමහර කොටසක් මීදුම ලඝු කොට පහත සඳහන් කරනු ලැබේ.

1. අධි ආරක්ෂ ක කලාප ඉවත් කිරීම
2. උතුරු නැගණහිර හමුදා සහ පොලිසි අඩු කිරීම
3. උතුර නැගණහිර යළිත් ඒකාබද්ධ කිරීම
4. රජයේ බුද්ධි අංශ අඩු කිරීම
5. 12000ක්වු කොටි සාමාජිකයන් පුනරුත්තාපනයකින් තොර ව නිදහස් කිරීම

මේ කරුණු කාරනා අපට කියන්නේ කුමක් ද ? . අපි යළිත් ප්‍රභාකරන් සිටි තැනට ගෙන යාමක් නොවන බවට අනතුරක අපට පෙනෙන්නේ නැද්ද ?.

මහින්දට පුන පුනා චෝදනා කරනු ලබන්නේ රාජපක්ෂ පවුලේ සමාගම විසින් සියලු ක්‍ෂෙත්‍රයන් තම ග්‍රහණයට ගෙන ඇති බව පමනකි. ඔහුට දුවිඩ සංධානය ඉදිරිපත් කළ යෝජනා බැහැර කල බැවින් ද්‍රවිඩ සංධානය සරත් ෆොන්සේකා සමග සාකච්ඡා කල බව පැවසේ . මෙහි දී මහින්දගේ දේශප්‍රේමි ස්ථාවරය පදවි තන්හාවෙන් බැහැරව තිරණයකට පත්වු බව පෙනේ.

මේ මැතිවරණයේදී අප රටේ ඊ ලග නායකයා තෝරා ගත යුතුය. ඒ නිසා චන්ද පොලට අනිවාර්යෙන්ම යා යුතුයැයි මීදුම සිතයි.
දුෂණය සහ වංචාව දේශපාලන වේදිකාවේ පමනක් රග දක්වක සමයම්‍ක් බව මිදුම අදහස් කරයි. කොයි බෝධි සත්වයාත් ගරන්නට ගිය තැන ගරනවා මිස සිල් ගත් බවක් කිසිම පොතක පලවි තිබු බවක් මීදුමට සිහියට නොනැගේ. හිටපු ඇත්තෝද හත්මුතු පරම්පරාවම මොනයම් ක්‍රමයකින් හෝ ස්වයං පෝෂිත කරගෙන ඇත. එ බැවින් තනතුරු සමග බැදුණු කවුරුත් කර ඇති : කරන්නට බලාපොරොත්තු වන දුෂණය සහ වංචාව ගැන මීදුම මායිම් කරන්නේ නැත.

පතරංග ජාතකය බදු අපේකක ලැයිස්තුවේ ඉදිරියෙන් දුවන්නේ මහින්ද හා සරත්ය.

සරත් උතුරට ගිය විට - උතුර ද්‍රවිඩ ජනයාට දෙයි. දකුණට ආ විට - දකුනේ දේශප්රේමියෙකි. නොරච්චෝලය අසලට ගිය විට නොරච්චෝල ව්‍යාපෘතිය නතර කරයි. රාජ්‍ය සේවකයින් හමු වු විට වැටුප් අසමාන‍ ලෙස වැඩි කරයි. හමුවෙන හැම දෙනා ගේම සිත් ගන්නා අයුරින් හැමට ම මොනවා හරි දෙයි. ඔහු දෙවියෙකි.

මහින්දට හෙන පාත්වේ. හොරා හොරා යයි කියයි. පෝඩා ( පලයන් ) පෝඩා කියයි. ඔහු නම් දුෂිත ව පවුල් සමාගම පමනක් සංවර්ධනය කරන රට සංවර්ධනය ගැන නො සිතන බියකරු යක්ෂයෙකි. වේදිකාව දෙදරන්නේ මෙවන් ප්‍රලාප වලිනි.

නොදන්නා දෙවියන් රටට වඩා කතා කරන්නේ “ තමන්“ ගැන යයි මීදුම සිතයි. දෙන්න පුළුවන් රට නම් ( මව් බිම සහ අම්මා සමාන වටිනාකමක් ඇතැයි කියනු ලැබේ. ) එය දී හෝ තනතුරට පත් විය යුතු යැයි සිතන බවක් පල කරයි.

දන්නා යක්ෂයා බඩ ඉබේම පිරේ යැයි සිතා ගෙන රට ගැන කතා කරයි .

මේ කවුරුන් මොන වරදානයක් දී මඩිය තර කර ගැණීමට උත්සහා දැරුවත් ඒ උත්සහායන් ව්‍යාවර්ථ කිරීම බහුතර ලාංකේය හැගිමක් ඇති චන්ද දායකයන් ට හැකි විය යුතුවේ.

2010-01-05

ජනාධිපතිවරණය.



මහින්ද තම නිලකාලය තව අවුරුදු දෙකක් ඉදිරියට තිබිය දී  ජන මතය විමසීමේ අරමුණෙන් මැතිවරණයක් කැඳවනු ලැබීය.  මීදුම මෙම ක්‍රියාව දුටුවේ මේ අවස්ථාවේ නොකළ යුත්තක් ලෙසය. අවුරුදු දෙකක් කාලය තිබියදී මැතිවරණ සදහා වියදමක් දැරීම මීදුම අනුමත කල වැයක් නොවීය. පාර්ලිමේන්තු මැතිවරණය නියමිතව තිබෙන බැවින්   ඒ සදහා ජාතික ධනය වියදම් කල යුතු වීම අනිවාර්ය විය. මේ නිසා ජනාධිපතිවරණයක් කැදවිම  බලය අනිසි භාවිතයක් ලෙස මීදුම හදුන්වා දුන්නේය.


රෙද්දෙන් වසනු ලැබුව නිර්පාක්‍ෂික අපේක්‍ෂකයෙකු කරළියට ආවේ මැතිවරණ කතා බහ ජනතාව අතර පැතිර යාමත් සමගය. නිර්පාක්‍ෂික අපේක්‍ෂකයා  මහින්ද වෙව්ලා වැටෙන මාදිළියේ චරිතයක් බව ඒ අතර පැතිර ගියේය. සරත්ලා දෙන්නෙක් මේ කතා බහ අතර සිටි අතර ජෙනරාල් සරත් කරළිය එළිය කල චරිතය බවට අවසානයේදී පත් විය.


මේ වන විට ජෙනරාල් වරයා නිර්පාක්‍ෂික අපේක්‍ෂකයා ලෙස  සාදරයෙන් පිළි ගැණීම ට  මීදුම අදහසක් ඇති කර ගන සිටියේය. ඒ ඔහු හමුදාපති වරයා වශයෙන් සිටි අවදියේත්  යුද්ධය පවතින අවදියේත් කොටි සංවිධානය කෙරෙහි ඔහු දැක්වු ප්‍රතිපත්තිමය  විග්‍රහයන් සහ පුතිචාර නිසා වෙන් සහ ඔහු  පාබල හමුදාවන් මෙහෙයවමින් නායකත්වය දෙමින් කටයුතු කළ ආකාරය ගැන ප්‍රසාදයක් මීදුමට ඇතිව තිබිණි .ඔහු දේශපාලකයෙකු නොවීය. දේශපාලන පක්ෂ‍ සහ එම පක්ෂ මෙහෙයවන නායක කාරක ආදී න් ගැන මීදුමට මහත් අප්‍රසාදයක් ඇත. ඇත්තෙන්ම ඔවුන් “ හක්කේ බුදු රැස්  -බොක්කේ දඩ මස්“ මොඩලයේ   මිනිසුන් ලෙස දශක හතරක පමණ අතීතයක සිට අත්දැකීම් තුලින් ලබා ගත් ආකල්ප  මීදුම ට ඇතිව ඇත. ඒ තුලින් ඇතිවු අප්‍රසාදය ජෙනරාල් වරයා සාදරයෙන් පිලිගැණිමේ උවමනාව දක්වා මීදුම තල්ලු කලේය.





මුල් වටයේදීම   නිර්පාක්‍ෂික අපේක්‍ෂකයා  කලඑලි බැස්සේ  හමුදා ඇදුම ගලවමින් සිවිල් ඇදුමට මාරු වෙන අන්දමින්ම  රාවුෆ් හකීම් ,මනෝ ගනේෂන් , මංගල සමරවීර . ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය සමග ඔවුන්ගේ  සළු පිළි ඇද ගෙන “ නිර්  “ ඇදුම  පසෙක තබා “පාක්‍ෂික “ සළු පිළි වලින් සැරසී ගෙනය. ටිකක් කළකිරුණු හිතින් ඒත් ඉවසුමෙන්  බලා සිටිය යුතුයයි මීදුම තීරණය කලේය. එයට හේතු කාරක වූයේ ජේ.ආර් ගේ අපරාජිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවය.





ජේ.ආර් ගේ ව්‍යවස්ථාව කිසි දා වෙනස් කළ හැකි ව්‍යවස්ථාවක් නොවන බව මීදුම හදුනා ගෙන ඇත. මීදුම මේ සම්බන්ධව කියවා ඇති අන්දම නිවැරදි නම්  පාර්ලිමේන්තුවේ 2/3 අනුමැතියකුත් ජන මත විචාර ණයකුත් මේ වෙනස් කම සදහා අවශ්‍ය වන්නේ ය. ඉතින් මේ ටික මේ කප දී  ලැබෙන්නේ නැති බව අප  කවුරුත් දන්නා දෙයක් ව ඇත.





ජේ.ආර් ගේ ව්‍යවස්ථාව  තුල විධායක ජනාධිපති තනතුරට  ඇති බලතල ඔහු ම විග්‍රහ කලේ “ මෙයින් බැරි ගැහැණියක පිරිමියෙක කරන්නත් -  පිරිමියෙක ගැහැණියක විතරක් බැරි “ තනතුරක් ලෙසටය. මෙම තනතුරට පත්වු කිසිවෙකු තම අභිමතය පරිදි කටයුතු කලා විනා අන් මතයට ඇහුම් දී කටයුතු කල අය සිටියේ නැත. “ දෑළි පිහිය බාබර් අතට පත්වු විට රැවුල කැපුවත් - වදුරා අතට පත් වු විට  ඌ කලේ බෙල්ල කැපීමය “ . වංචාව දූෂණය  සමාජ ව්‍යුහයම ඉහල සිට පහලටම ගිල ගෙන ඇති සමාජයක් පවිත්‍ර වන්නට නිර්පාක්‍ෂික අපේක්‍ෂකයාට  තනතුර ලැබීමෙන් පසු තීරණයක් ගැණිමට ජනතාවට අවංක විය හැකිය . දේශපාලන පක්ෂ වලට ගැති නොවු විට දේශපාලන වේදිකාවෙන් බැස ගිය පසු ජනතා හිතවාදී වන්නට හැකිවෙනු ඇතැයි මීදුම කල් බලමින් සිතුවේය.





අද වන විට  ජෙනරාල් වර සරත් ෆොන්සේකා  මහතා රාවුෆ් හකීම් ,මනෝ ගනේෂන් , මංගල සමරවීර . ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය යන බන්ධනාගාර නිලධාරීන්ගේ අත් අඩංගුවට පත්  හිරකාරයෙක් වී ඇත. ඔහු ඇද බාන්නේ ඔහුත් සමග අපත්  වල පල්ලට යවන  දේශනාය. රටේ පැවති ආරක්ෂක කටයුතු ගැන ඔහු වේදිකාවේ කතා කළ යුතු නැත. ඒ අදීන සමුහ ක්‍රියාදාමය තුළ සිදුවු ක්‍රියාකාරකම් සිදුවුයේ රට වෙනුවෙන් යහපතට මිස අයහපතට නොවන බව ජනතාවගේ පිළිගැණිම බවට පත්ව ඇත.


එක්සත් ජාතික පක්ෂය , මංගල සමරවීර . ජනතා විමුක්ති පෙරමුණ තිස් අවුරුද්දක් රට මුහුණ දුන් කාළකින්නිම ගැට‍ළුවේ දී  සිට ගත්තේ ප්‍රභාකරන්ගේ පැත්තේ සිටය. රාවුෆ් හකීම්ට ,මනෝ ගනේෂන් ට ඒ සම්බන්ධව අයිතියක් ඇතැයි අප සිතමු. එහෙත් එක්සත් ජාතික පක්ෂය ට, මංගල සමරවීරට ඒ සදහා අයිතියක් නැත. ජනතා විමුක්ති පෙරමුණ අයවැයේ දී ආණ්ඩුව අක්‍රීය කරන්නට තැත් කරන තෙක් ජනතාව සමග  සිට මේ වන විට ජනතාව වෙනුවෙන් කරනු ලබන කොන්ත්‍රාත්තුවෙන් බැහැරව වෙනත් පෞද්ගලික ගමනක යෙදී සිටින බවක් මීදුම අප්‍රසාදයෙන් යුතු ව හඳුනා ගෙන ඇත.





දෙපාර්ශවයේ ම  ජනාධිපතිවරණ වේදිකාව අද පිරී ඇත්තේ අවලාද  වලින් මිස ප්‍රතිපත්තිමය සාකච්ඡා වලින් නොවන බව පැහැ දිලිය. මහින්දට එරෙහිව රාජපක්ෂ පවුලේ වර්ධනය  එම පවුල වටා ගෙතෙන ගනුදෙනු සරත් ෆොන්සේකා  වමාරන විට මහින්දගේ වේදිකාවේ සරත් ෆොන්සේකාගේ පවුල වටා ගෙතෙන  ගනුදෙනු දිග ඇරෙන්නේ ය. සුපිරි සිදු චරිතයක් බවට හඳුන්වා දුන් සරත් ෆොන්සේකා  ද අද එකම ගණයේ දූෂිතයන් බව ජනතාව හඳුනා ගෙන ඇත. වේදිකාවේ වෙනසකට ඇත්තේ මහින්ද සරත්ට එරෙහිව අවලාද නොනගන අතර ඒ කටයුත්ත ගෝලයින්ට බාර දීමය. නු පුරුදු කාරයෙක් වු සරත් හිරිකිතයකින් තොර ව එම කටයුත්ත තමුන්ම කිරීමය.





මේ රාවුෆ් හකීම් ,මනෝ ගනේෂන් , මංගල සමරවීර . ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂ නඩයත් සමග වේදිකාවේ එදා වේල සොයන  කතා වලින් අද වන විට   ජෙනරාල් වර සරත් ෆොන්සේකා  මහතාගේ  අනාගත දේශපාලනය ක්‍රියාකාරකම්  පිළිබදව මැවී ඇති චිත්‍රය කෙසේවත් ඒ  මහතා අගය කිරීමට පුමානවත් නැත. 





එතුමාට සැබැවින්ම තිබුණේ නිර්පාක්‍ෂික අපේක්‍ෂකයා  වීමය. එහෙත් අද සිදුව ඇත්තේ දේශපාලන අපේක්ෂකයෙක් වීමය. ඒ මදිවාට ඒ අයගේ පදේට නැටීමය.





 මීදුම ජෙනරාල් වර සරත් ෆොන්සේකා  මහතාට ඉතා ඉහලින්ම ගෞරව කරයි .


ඒ  සමග ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා  මහතා  නො වටිනා පුද්ගලයෙකු බවට පත්වීම ගැන කනගාටු වෙයි.

2010-01-03

ඔබ හැමට සෞභාග්‍යමත් ජීවිතයක්






අපි සැම ජනවාරි 01 දාමත් , සිංහල හින්දු අළුත් අවුරුදු උදාවත්මත් සමග එකිනෙකාට “ සුබ නව වසරකට “ ආසිරි පතන්නට පුරුදු වී සිටින්නෙමු. වසර තිහක ඉතිහාසයේ එවන් පැතුම් පැතුවත් ඒවා පල දරා ගන්නට අපට නොහැකිවිණි.
වසර තිහක් ම අප ඇසුවේ කුරිරු ත්‍රස්ත්‍රවාදයේ බියකරු බෝම්බ හඩය. බසයක ,ගොඩනැගිල්ලක, මායිම් ගම්මානයක පිපිරුණ බෝම්බයක , කිසිදු සම්බනයක් නැති පිරිසක් ඉලක්ක කර ගත් ප්‍රාහාරයක විලාපය නොඇසු දිනක් වසර තිහක් තුල නොවීනි. පාන්දර නිවසින් පිට ව නැවත නිවසට එන තුරු බියෙන් සැකෙන් විසු අපි අද සැහැල්ලුවෙන් ගමනක් බිමනක් රැකියා කටයුත්තක් සදහා ගොස් එන්නට වාසනාව ලබා ඇත්තෙමු.


2009 වසර දක්වා වසර තිහක් අපට වධ වේදනා දුන් අශිෂ්ට පව් කාර මෘග මිනිසා සදහට ම නිහඬ කරමින් වන්නි වන පෙතේ නන්දිකඩාල් කලපුවෙන් අහසට නැගුණු ජයගොස සමග අපි නැවතත් සම්පුදාණුකූල සුබ ප්‍රාර්ථනාවන්ට අර්ථාන්විත බවක් ඇති කරමින් මෙම වසරේ ජනවාරි 01 දා අනාගත බලාපොරොත්තු හිත පුරවා ගෙන “ සුබ නව වසරක් වේවා ! යි සුබ පැතීමට හැකිවීම පමනක්ම භාග්‍යයක් යයි සිතමු.


මෙවන් සිසිලක් අපට උරුම කර දීමට අපේ ලක් මවගේ දහස් ගනනක් විරු දරුවන් ඇස් , අත්, පා අහිමි කර ගනිමින් අප වෙනුවෙන් අසරණ වන්න ඇත. තම ජීවිත ලක් මව වෙනුවෙන් පූජා කරමින් තමන්ගෙන් යැපෙන මව්පියන් අඹු දරුවන් අසරණ කරන්නට ඇත. අප නිදහසේ හදවතේ පුරවා ගන්නා සෑම සුසුමක් ම ඔවුන්ට කරන උපහාරයක් බවට පත් වේවා යයි අපේ ප්‍රාරථනය විය යුතු ය.ඔවුන් අපට උරුම කර දුන්නේ නිදහසයි.


මේ දෙවන ජාතික නිදහස් ගමන නම් එහි පෙර ගමන් කරුවන්ට අපි සදා ණය ගැති වෙමු.


මේ ජනාධිපතිවරණයක් කැදවා ඇති සමයක නොකිය යුතු දේ ඇති වුනත් සිහි කල යුතු දේ සිහි නොකලහොත් ඒ අප ගුණමකුවෝ වන නිසාම දෙවන ජාතික නිදහසේ සටනට නායකත්වය සැලසූ මහින්ද රාජපක්ෂ ජනපතිඳුන්ට අපි අපගේ ප්‍රණාමය පලකරමු. ඒ ඓතිහාසික විමුක්‌ති සටනේ මුදුනෙහිම සිටි ගෝඨාභය රාජපක්ෂයන් සහ ත්‍රිවිධ හමුදාපතිවරුද පොලිසිපතිතුමන් ඇතුළු සියලු සිවිල් බලකායද අපි හද පිරෙන බැති යෙන් සිහි කරමු.


මේ දිනවල අසන්නට ලැබෙන යම් යම් ප්‍රවෘත්ති ගැන සිතන විට අප ලද ජයග්‍රහණයන් වටා එතෙන
අඳුරු වළා සෙවණැලි ගැන සිත් සංකා ඇති වෙයි. අශිෂ්ට පව් කාර රැල මෙහෙයවන ලද සහ බලල් අත් කර ගත් අපරදිගයන් අපගේ උදාර මාතෘභූමිය යළිත් ගොදුරු කරගන්නට තතනන බවක් සිතෙයි.
අපි විමසිල්ලේ සිටිමු.


අප යලිත් අපගේ දෙවන නිදහස්‌ සටනේ විජයග්‍රහණය ආපසු හරවන්ට ඉඩ නොදෙමු.
සිය රුධිරයෙන් ,ලක් මව නැහැවු අපගේ විරු දරුවන්ගේ සහෝදරවරුන්ගේ ඒ අප්‍රමාණ පරිත්‍යගයන් යලි පාවා නොදෙමු.

2010 වසරේ ඔබ හැමට සෞභාග්‍යමත් ජීවිතයක් උදා වේවා!

සෞභාග්‍යමත් වසරක්‌ම වේවා!





අපි සැම ජනවාරි 01 දාමත් , සිංහල හින්දු අළුත් අවුරුදු උදාවත්මත් සමග එකිනෙකාට “ සුබ නව වසරකට “ ආසිරි පතන්නට පුරුදු වී සිටින්නෙමු. වසර තිහක ඉතිහාසයේ එවන් පැතුම් පැතුවත් ඒවා පල දරා ගන්නට අපට නොහැකිවිණි.
වසර තිහක් ම අප ඇසුවේ කුරිරු ත්‍රස්ත්‍රවාදයේ බියකරු බෝම්බ හඩය. බසයක ,ගොඩනැගිල්ලක, මායිම් ගම්මානයක පිපිරුණ බෝම්බයක , කිසිදු සම්බනයක් නැති පිරිසක් ඉලක්ක කර ගත් ප්‍රාහාරයක විලාපය නොඇසු දිනක් වසර තිහක් තුල නොවීනි. පාන්දර නිවසින් පිට ව නැවත නිවසට එන තුරු බියෙන් සැකෙන් විසු අපි අද සැහැල්ලුවෙන් ගමනක් බිමනක් රැකියා කටයුත්තක් සදහා ගොස් එන්නට වාසනාව ලබා ඇත්තෙමු.

2009 වසර දක්වා වසර තිහක් අපට වධ වේදනා දුන් අශිෂ්ට පව් කාර මෘග මිනිසා සදහට ම නිහඬ කරමින් වන්නි වන පෙතේ නන්දිකඩාල් කලපුවෙන් අහසට නැගුණු ජයගොස සමග අපි නැවතත් සම්පුදාණුකූල සුබ ප්‍රාර්ථනාවන්ට අර්ථාන්විත බවක් ඇති කරමින් මෙම වසරේ ජනවාරි 01 දා අනාගත බලාපොරොත්තු හිත පුරවා ගෙන “ සුබ නව වසරක් වේවා ! යි සුබ පැතීමට හැකිවීම පමනක්ම භාග්‍යයක් යයි සිතමු.

මෙවන් සිසිලක් අපට උරුම කර දීමට අපේ ලක් මවගේ දහස් ගනනක් විරු දරුවන් ඇස් , අත්, පා අහිමි කර ගනිමින් අප වෙනුවෙන් අසරණ වන්න ඇත. තම ජීවිත ලක් මව වෙනුවෙන් පූජා කරමින් තමන්ගෙන් යැපෙන මව්පියන් අඹු දරුවන් අසරණ කරන්නට ඇත. අප නිදහසේ හදවතේ පුරවා ගන්නා සෑම සුසුමක් ම ඔවුන්ට කරන උපහාරයක් බවට පත් වේවා යයි අපේ ප්‍රාරථනය විය යුතු ය.ඔවුන් අපට උරුම කර දුන්නේ නිදහසයි.

මේ දෙවන ජාතික නිදහස් ගමන නම් එහි පෙර ගමන් කරුවන්ට අපි සදා ණය ගැති වෙමු.

මේ ජනාධිපතිවරණයක් කැදවා ඇති සමයක නොකිය යුතු දේ ඇති වුනත් සිහි කල යුතු දේ සිහි නොකලහොත් ඒ අප ගුණමකුවෝ වන නිසාම දෙවන ජාතික නිදහසේ සටනට නායකත්වය සැලසූ මහින්ද රාජපක්ෂ ජනපතිඳුන්ට අපි අපගේ ප්‍රණාමය පලකරමු. ඒ ඓතිහාසික විමුක්‌ති සටනේ මුදුනෙහිම සිටි ගෝඨාභය රාජපක්ෂයන් සහ ත්‍රිවිධ හමුදාපතිවරුද පොලිසිපතිතුමන් ඇතුළු සියලු සිවිල් බලකායද අපි හද පිරෙන බැති යෙන් සිහි කරමු.

මේ දිනවල අසන්නට ලැබෙන යම් යම් ප්‍රවෘත්ති ගැන සිතන විට අප ලද ජයග්‍රහණයන් වටා එතෙන
අඳුරු වළා සෙවණැලි ගැන සිත් සංකා ඇති වෙයි. අශිෂ්ට පව් කාර රැල මෙහෙයවන ලද සහ බලල් අත් කර ගත් අපරදිගයන් අපගේ උදාර මාතෘභූමිය යළිත් ගොදුරු කරගන්නට තතනන බවක් සිතෙයි.
අපි විමසිල්ලේ සිටිමු.

අප යලිත් අපගේ දෙවන නිදහස්‌ සටනේ විජයග්‍රහණය ආපසු හරවන්ට ඉඩ නොදෙමු.
සිය රුධිරයෙන් ,ලක් මව නැහැවු අපගේ විරු දරුවන්ගේ සහෝදරවරුන්ගේ ඒ අප්‍රමාණ පරිත්‍රාගයන් යලි පාවා නොදෙමු.


2010 වසරේ ඔබ හැමට සෞභාග්‍යමත් ජීවිතයක් උදා වේවා!

2009-12-28

රොමානිස් සංශෝධන.


අපේ අසල් වාසියෙක් රොමානිස් . 
 වැඩිහිටියෙක් නිසා කවුරුත් කිව්වේ රොමානිස් අයිය කියලා. 
සති කීපයක් ආ ගිය අතක් නැතිව හිටිය රොමානිස් අයියගේ මළසිරුර පුංචි වන රොදක් තුල තිබිලා හමු වෙන විට මිය ගොස් දින දෙක තුනක් ගත වෙලා තිබුණා.

මේ වන විට ඔහුගේ වයස අවුරුදු අසූවක් විතර වෙන්න ඇති. අපි දන්න කාලයේ සිට මනුස්සයාගේ ජීවන වෘත්තිය ආණ්ඩුවේ කැලෙන් දර කපා ගෙන ඇවිත් විකුණන එක.
ගමේ තිබුණා කම්හලක් . පිහිය මන්න කැති වගේ උපකරණ හදන. මේ කම්හලේ ලිපට ඕන කරන දර සදහා යොදා ගත්තේ ප්ර දේශයේ තිබුන “මරන් “ කියන ගස් වර්ගය. ප්‍රදේශයෙන් මේ ගස් වර්ගය වද වෙන තුරු ම දර සපයන්න ජීවිත කාලය ම කැප කර රොමානිස් අයියා මියයන වකවානුව වන විට කම්හලත් වැසී ගිහින්.

මුල් කාලයේ කැලේ දර විකුණන්න පුළුවන් වුනත් කාලයක් යන විට දර සොයා ගන්න අපහසු වුනා. ගමේ ජනගහනය පසු ගිය දශක පහේ දස ගුණයකින් විතර වැඩි වුනා. කාලයක් යන විට වැඩි වුන ජනගහනය ට නිවාස ප්‍රශ්නය විසඳන්න ආණ්ඩුවේ කැලෑව වැසියන් අතර බෙදා දුන්නා. නැත්නම් ඉඩම් අනවසරයෙන් අල්ලා ගෙන පැල් කොටයක් අටවා ගෙන පදිංචි වුනා. ගම විසින් ගිල ගත් කැලෑව ජනා වාස වුනේ ඔය විදියටයි.

කැලේ දවසින් දවස අඩු වුනා. අපේ කථානායකයා වන - රොමානිස් අයියට දර සොයා ගන්න බැරි අවස්ථාව ආවාත් ඔහු රස්සාව අත් හැරියේ නෑ. කැලේ ගස් කපලා දර බවට පත් වෙන්න හැරලා ඉන් පස්සේ විකුණන්න පටන් ගත්තා. අන්තිමේ කැලේ නැත්තට ම නැති වුනා. වන සංරක්ෂණ‍ය උදෙසා වගා කර තිබූ වන වගාව ආක්‍රමණය කරලා දරට විකුණා දමමින් පොලිසි උසාවි ගානේ යාමිනුත් මරණය තෙක් ම තම රක්ෂාව නම් අත් හැරියේ ම නැහැ. රජයේ නිලධාරියන්ගන් රැකියාවට පීඩන වැඩි වෙන කොට තාවකාලික රැකියාවකට ගමෙන් බැහැර වුනත් ටික දවසකින් ගමට ආ විට ආයෙත් පරන රස්සාවට බැස්සා.

ඔහුගේ දේශපාලනය හැමදා මත් ප්‍රතිසංස්කරනවාදියි. අප දැනුම් තේරුම් ඇති කාලයේ සිටම තදබල සමසමාජ පාක්කයෙක්. අවුරුදු හත අටකට ඉස්සර සමෘද්ධි සහනාධාර පිළි බද ප්‍රශ්ණයක් ඇතිවී එජාපයට ගිය ඔහු තද බල එජාප වාදියෙක් වුනා. ඔහු ගම් වැසියන් දරන හැම මතයම දැක්කේ එහුතේ කෝණයෙන් වැරදි මතයක් ලෙසයි. ඒ හැම මතයට ම ප්‍රති විරුද්ධ මතවාදයක් ඔහු ට තිබුණා. කැලේ විනාශ කිරීම හැර. ඒ ඔහු ගේ රස්සාව නිසා කරන වැඩේ වැරැද්දක් දුටුවේ නෑ. නිතරම කතා කලේ ගමේ සිදු වන දේවල් ගැන විරුද්ධ මතයක සිට ඔහු සෑහීමකට පත්වෙන මතවාදයක් ගමේ කවදාවත් තිබුණේ නැහැ. පාරක් හැදුවත්, ළිඳක් හැදුවත් ,ජල නල මාර්ගයක් එළුවත්, ඒ වැඩේ කරන අන්දම ගැන වැරදි පැත්තක් තමයි ඔහු දුටුවේ.

මොහු හොද කියවන්නෙක් . දිනපතා ම පුවත් පතක් කොයි තරම් අමාරු කම් මැද්දේ උනත් මිළ දි ගැණීමේ පුරුද්දක් ඔහු ට තිබුණා. කලින් “ඇත්ත , රාවය , දිවයින ,හිරු වගේ විකල්ප පුවත් පත් , පසු කාලයක ලංකාදීපය වැනි පුවත් පත් කියවන බව ගම් වැසියන් නිරීක්ෂණ‍ය කරලා තිබුණා. මේ පුවත්පත අකුරක් නෑරම කියවීම ඔහුගේ පුරුද්ද. මේවායින් ඔහු දැනුවත් වුනා. කේන්ති කාරයෙක් වුන රොමානිස් අයියා සමග වාද විවාදවල පැටලෙන්න නම් කවුරුත් කැමති වුනේ නැහැ.

ජීවිතයේ අවසාන මාස දෙක ටිකක් අවසිහියෙන් වගේ ගත කල ඔහුට ගම්වැසියන්ගේ ආධාර උපකාරයෙන් යැපෙන්න සිද්ධ වුනා. අවසාන කාලයේ දී ඔහු අවසිහියෙන් දේශපාලන මතවාදී තර්ක දොඩවන්න පටන් ගත්තා.
ව්‍යවස්ථාව ගැන අපූරු අර්ථ කථනයක් ඔහුට තිබුණා. එයාගේ මතයේ හැටියට මේ පවත්වන මැතිවරණ ප්‍රමානය ඕනාවටත් වඩා වැඩියි. මේවා ඔක්කොම එක දවසින් තියන්න පුළුවන් මැතිවරණයක් බවට පත් කරන්න ඕනි.

ජනාධිපතිවරණයයි පාර්ලිමේන්තු මැතිවරණයයි එකක් වෙන්න ඕනී. ජනාධිපතිවරණයේ දී දෙවැනි තැනට පත් වෙන එක් කෙනා පාර්ලිමේන්තුවේ අගමැති වෙන්න ඕන. ඇමති මණ්ඩලය වැඩි වුනාට කමක් නෑ. තරග කරන පක්ෂ ලබා ගන්නා ඡන්ද ප්‍රමානය අතර මන්ත්‍රීවරු පත් කරගෙන ඒ අනුව එම අනුපාතයට ම ඇමතිවරු පත් කර ගන්න ඕනී. “ ඇන කොටා ගන්නේ නැතිව බෙදා ගෙන කන්න හොද ක්‍රමයක් “ කියලා තමයි ඔහු ගේ අදහස.

අසල්වාසීන් රොමානිස් අයියගේ ව්‍යවස්ථා සංශෝධනට හිනාවුනත්, අපුරු මතවාදයක් මේ අහිංසක මනුස්සයා අවසිහියෙන් වුනත් කියවන්නේ කියලා මට හිතුණා.

මීදුම මේ අහිංසක ව්‍යවස්ථා යෝජකයාට නිවන් සුව ප්‍රර්ථනය කරනවා.


( සත්‍ය සිද්ධියකි.)

2009-12-23

මහින්ද ද ? සරත් ද?.






ජනාධිපතිවරණයේ ප්‍රතිපල මොන වගේ වෙයි ද ? 
 අනාගත ජනාධිපතිවරයා මහින්ද ද ? 
නැත්නම් සරත් ද?.

මීදුම බලන්ගොඩ මැතිවරණ කොට්ඨාශය ඡන්ද පදනම දෙස බලා ගෙන පල කරන මේ අනාවැකි මුළු රටේ ම ඡන්ද දායකයින්ට පොදු නො වෙන්න පුළුවන්.

මේ මැතිවරණ කොට්ඨාශයේ ජනතාව 87% ක් පමණ සිංහල බෞද්ධ. 3% ක් පමණවු මුස්ලිම් ජනගහනය නාගරික පරිසරයේ ජීවත් වනවා. වතු ආශ්‍රිත ද්‍රවිඩ ජනගහනය 8 % ක් පමණ වනවා. ඉතිරි ජනතාව විවිධ ජන කණ්ඩායම්.

බහුතර සිංහල ජන කණ්ඩායම ගේ ජීවන වෘත්තිය වන්නේ වී ‍ගොවිතැන, මීට අමතරව කුඩා ප්‍රමානයන්ගෙන් තේ වගාව, එළවළු සහ කෙසෙල් වැනි වගාවල නිරත ගොවීන් විශාල ප්‍රමානයක් සිටිනවා ඉතාමත් සුළු සංඛ්‍යාවක් රජයේ සහ පෞද්ගලික රැකියාවල නිරත වනවා.
මුස්ලිම් ජනගහනය ව්‍යාපාරික කටයුතු වල හෝ රජයේ සහ පෞද්ගලික අංශයේ රැකියාවල නියුක්ත වනවා. වතු ආශ්‍රිත ජනතාව තේ වතුවල කම්කරුවෝ. මේ පිරිස අතර සීමිත පිරිසක් පමණක් එළවළු ගොවියෝ.

ජීවන වියදම ඉහල යාම දෛනික ආදායම් ලබන ජන කණ්ඩායම් වලට තද බල පීඩනයක් වුවත් බහුතර වී ගොවිතැන් සහ කුඩා වගා කරුවන් ඒ තරමට සැලකිල්ල කට ගත් බවක් පළවන්නේ නෑ. පොහොර සහනාධාරය සහ තම නිෂ්පාදන වල වැඩි වු වෙළද අගය මේ පීඩනය මකා ඇති බවක් පෙනෙනවා. නාගරික නොවන ජනගහනය එදිනෙදා ආහාර අවශ්‍යතාවයන් නිවසෙන් ,ගෙ වත්තෙන් සපයා ගැණීමත් ජීවන වියදම ඉහල යාම තුලනය කරන්න හේතු වන්න ඇති. සමෘද්ධිලාභී අඩු ආදායම් ලබන පවුල් පවා, ඉඩම් හිමියෝ නො වුනත් බොහෝ පවුල් අද ගොවියන් ලෙසින් හෝ ප්‍රමානවත් පරිදි වී ගොවිතැනේ යෙදෙන්නන්.

පොහොර සහනාධාරය සහ සමෘද්ධිලාභීන් ට ලැබෙන ආධාර මුදල පාසල් දරුවන්ගේ අවශ්‍යතා ඉටු වීම ආදිය ගැන සලකන ජනතා කොටස් රජය ගැන කරන විවේචන එතරම් තැකීමට ගන්නා බවක් පෙනෙන්නට නැහැ.

1977 මැතිවරණයේදී මෙම මැතිවරණ කොට්ඨාශය එජාපයට හිමි වුනා. ඉන් පසුවත් 1956 සිටමත් වාමාංශික නැඹුරුවක් දැරු මැතිවරණ කොට්ඨාශයක්. පසුගිය ආසන්නතම මැතිවරණයේ දී 60% කට ආසන්න ප්‍රතිපලයක් පොදු ජන එක්සත් පෙරමුණ ලබා ගන්න සමත් වුනා. එහි පසුබෑමක් මෙම මැතිවරණයේ දී දක්න ට නැහැ. එජාපයේ මැතිවරණ සංවිධාන කටයුතු තවමත් ඇරම්භ වී නැති තරම්. ආසන මට්ටමේ නායකයින් පවා බොහෝම උදා සීන බවකින් ඉන්නේ. ඔවුන්ට සෘජු නායකත්වයක් නොමැති කම බලවත් ගැවළුවක් බවයි එජාප ආසන සංවිධායක වරයාගේ අදහස.




පොදු ජන එක්සත් පෙරමුණ බිම් මට්ටමේ සංවිධාන කටයුතු වල කාලයක සිට රැදී සිටියත් එජාපය අවුරුදු ගණනාවකින් බිම් මට්ටමේ සංවිධාන කටයුතු සක්‍රීය තලයක පවත්වාගෙන ගොස් නැහැ. එබැවින් සම්ප්‍රදායික පාක්‍ෂිකයන් පවා සිටින්නේ අතරමං ස්වරූපයෙන්. සමහර පාක්ෂිකයන් ජවිපෙයට වාසිදායක අන්දමින් තම ඡන්දය පාවිච්චි කිරීමට අකමැත්තක් දක්වනවා. වතුකරයේ දුවිඩ ජනතාවට අලියා නැති වීම බලවත් පාඩුවක් .මේ වාසිය ලබාගන්නේ පොදු ජන එක්සත් පෙරමුණ..

යුද්ධය මේ ජනතාවට තීරණාත්මක සාධකයක් නෙමෙයි. යුද්ධය නිසා පීඩාවට පත්වුනේ හමුදාවට බැදුන දරුවන් අහිමි විමෙන් සහ ආබාධිත වීමෙන් පමනයි. දැන් ඒ තත්වයත් නිමා වෙලා. බොහෝ පවුල්වල දරුවන් රජයේ රැකියාවලට පාට භේදයකින් තොර ව පසුගිය අවුරුදු හතරේ යොමු වුනා. පොදු ජන එක්සත් පෙරමුණ ට සම්බන්ධව පවුල්වල දරුවන් ද යම් යම් විශේෂිත රැකියා අවස්ථා ලබා ගෙන තියෙනවා. එයින් ඇතිවූ විරසක බව පොදු විභාග පවත්වා ලබා දුන් රැකියා අවස්ථා අනෙක් පාක්ෂිකයනට ද ලැබීම නිසා තුලනය වී ඇති බවයි ඔවුන් සමග කතා බහේදී හිතෙන්නේ.

රජයේ දූෂණය ගැන කරන විවේචන ඒ තරම් ප්‍රතිපල දායක ලෙස සමාජ තලය පිළිගන්නා බවක් දක්නට ලැබෙන්නේ නෑ. ඒවා සාමාන්‍ය සිද්ධි ලෙස උපේක්ෂාවෙන් සිතන ස්වරූපයක් තමයි දක්නට ලැබෙන්නේ. “කොයි කා කලත් කරන්නේ ඕකම නේ.......“ යන්න බොහෝ දෙනා ගේ අදහසයි.

බලන්ගොඩ මැතිවරණ කොට්ඨාශයේ දී පොදු ජන එක්සත් පෙරමුණ ගිය වරට වඩා ඉදිරියෙන් සිටින බවක් තමා පෙන්නුම් කරන්නේ. ප්‍රකාෂ කරන චන්ද ප්‍රමානයෙන් 65% ක් පමණ මහින්ද රාජපක්ෂ මහතාට ලැබෙයි කියලායි මීදුම උපකල්පනය කරන්නේ.රට වටේ අනෙක් මැතිවරණ කොට්ඨාස මේ වගේද කියලා මීදුම දන්නේ නෑ.

මීදුම කාටවත් කඩේ යන්න හිතන්නේ නෑ. මැතිවරණ කොට්ඨාශව පිළිබදව පොදු තත්වයයි පල කලේ.

2009-12-21

නිවරදිව දකිමු



“ඉත්තේ කොස් ලොකු වුනාට  - ඇත්තේ ගෙඩි පුස්
ගත්තේ දෙවි වෙස් වුනාට         - නැත්තේ අනුහස්
රැක්කේ පෙහෙවස් වුනාට          - දැක්කේ වස් දොස්
හක්කේ බුදු රැස් වුනාට              - බොක්කේ දඩ මස්.”


කතෘ අප්‍රකාශිතයි. පැරණි ජන කවියකි

2009-12-14

බොඳ වී යන සිහිනය .




දේශපාලනයට පිවිසෙන විට සාදරයෙන් පිලි ගත්ත ජෙනරාල් වරයා අද දේශපාලන ළදරුවෙක් වෙලා.
දඹ රන් පිළිරුවක් ලෙසින් ජනතාව අතරට පත් ඔහු ඒ පිළිරුව රනින් නොව තඹ වලින් කර රන් ආලේප කල පිළිරුවක් බව ජනතාවට පෙන්වා දෙමින් සිටිනවා. දවසින් දවස ඒ තඹ දේශපාලන වා තලයේ ඇති ඔක්සිජන් සමග ගැටෙමින් තම පිළිරුව මත තඹ ඔක්සයිඩ් ආවරණයක් සදා ගනිමින් තම ප්‍රතිරූපය විනාශ කර ගනිමින් සිටිනවා.
සමූහව යුධ ක්‍රියා දාමයකට එක්ව රට වෙනුවෙන් කටයුතු කළ කණ්ඩායමක් අද දෙපස ට වී මඩ ගසා ගන්නවා. කෙනෙක් ගසන මඩ සෝදා හැරීමට අනෙකා කරුණු ඉදිරිපත් කරනවා. රටට හිතැති ව එක කණ්ඩායමක් ලෙස ගත් තීන්දු තීරණවල වගකීම් වල අප්‍රසන්න කොටස කලේ මම නොවේ කියලා කියනවා. ප්‍රසන්න කොටස මගේ කියනවා.

“වල් ඌ රෝ කැකුණ තල න කොට හබන් කුකුළන්ට මඟුල්” කියලා කතාවක් තියෙනවා.

රටට ප්‍රභාකරන්ගේ නික්ම යාම සටහන් කල අන්තිම දවස් ටිකේ ආ බලපෑම් අපට මතක් වෙනවා. ඉන් පසුව ඇමරිකාව ඇතුළු යුරෝපා ප්‍රජාව හැසුරුන අන්දමත් මහින්ද , ගෝඨාභය සරත් ෆොන්සේකා ඇතුළු කණ්ඩායම ජාත්‍යන්තර යුධ අධිකරණයකට යොමු කිරීමට ගත් වෑයමත් අපට මතක තියෙනවා. ඒ අභියෝග ඉතාමත් සාර්ථකව විසඳා ගන්න මහින්දටත් මහින්දගේ රජයටත් මෙතෙක් හැකි වෙලා තියෙනවා. තවමත් ඒවා ඉවර වෙලා නැහැ. ඇමරිකාව ඉරාකයේ දී කලේ තමන්ට අභියෝග කල නායකයෙක් එල්ලා මරලා තමන්ට හිතැති පාලනයක් රට තුල ස්ථාපිත කර ගැණීම. මීදුම මෙම ජාත්‍යන්තර බාධක හඳුනා ගන්නේ මහින්දට පෞද්ගලිකව කරන බාධක ලෙසින් ම නොවෙයි. අද පැමිණිලි පක්ෂ‍ යේ සාක්ෂි‍ කාරයාගේ කොටස කරමින් ජෙනරාල් වරයා කරන්නේ මහින්දට තරවටුවකට වඩා රටට ‍ද්‍රෝහී වීමක්.

ජෙනරාල් වරයා කාගේවත් පොදු අපේක්ෂකකයා නොවී , ජනතාව ගේ පොදු අපේක්ෂකයා බවට පත්ව ජනධිපතිවරණයට තරග කලා නම් කොයි තරම් යහපත් ද කියලා මීදුම හිතනවා. අද දවසින් දවස ජනතා අපේක්ෂාව බවට පත් වෙමින් ලකුණු රැස් කරන්නේ මහින්දයි.

සරත් ෆොන්සේකා කියවන කතා පිටපත් රචනා කරන අය ජනතාවට චුවිංගම්, ‍බ්‍රෙස්ලට්, ඩෙනිම්,දීපු යුද්ධෙ පවතින අවස්ථාවේ පාමංකඩ, මැදවච්චි, ගිය තොප්පිගල කියන්නේ කැලෑවක් කියපු යුද්ධ කරන්න ඕනෑම ගොනෙකුට පුළුවන් යයි කියපු අය නම් , යුද්ධය උපරිම තලයක ප්‍රභාකරන් පීඩනයට පත් කරන විට පාර්ලිමේන්තුව අස්ථාවර කරමින් අයවැය පරාජය කරන්නත් ඒ මගින් යුද්ධය නතර කරන්න හැදු උදවියත් නම් එතුමාගේ චින්තනයත් ඒ අයුරින් නිර්මාණය වී ඇති බව ජනතාව හඳුනා ගනිමින් සිටිනවා.

ඒ නිසා පොදු අපේක්ෂතකයා ගේ ජනාධිපති සිහිනය දවසින් දවස බොඳ වී යනවා.

2009-12-12

’SORRY’ කර ගන්න එපා.



රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 10,000/= කින් වැඩි කරන බව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පුකාශ කරයි. එතුමා වැදගත් හොද මහත්මයෙකි. ආවාට ගියාට පොරොන්දු නො දෙන බැවින් දෙගිඩියාවෙන් සිටින රජයේ සේවකයන් ට තීරණයක් ගැණීමට අත්වැලක් සපයා දී තිබේ.

ලංකාවේ සහල් මිල පාලනය කරන ගොවියාත්, පාරිභෝගිකයාත් සූරා ගෙන කන සමාගමක ගරු කටයුතු සාමාජිකයෙක් කලබල වී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගෙන් රුපියල් 10,000/=ක් දෙන්නේ කොහොම දැයි ප්‍රශ්න කරයි.
ආර්ථික විශ්ලේෂකයෝ කලබල වී මාධ්යන්ට පුකාශ නිකුත් කරමින් රුපියල් 10,000 X 120,0000 = 1200000,0000 ක් අවුරුද්දකට ගෙවන්නේ කෙසේ දැයි විමසති. මේක අවුරුද්දක් නොවේ රාජ්‍ය සේවයේ යලිත් වැටුප් යාවත්කාලීන කරන තුරු ගෙවිය යුතු වේ. ඉන් පසු වද නො නවත්වා වැටුප් වැඩිවේ.

මහින්ද ට ජවිපෙ පැත්තෙන් නිතර කරන වර්ජන තර්ජනත් පහ වී අනාගතයේ දී වර්ජන තර්ජන සදහා පහලවිය හැකියැයි අප බියට පත් කරවන ප්‍රකාශ මගින් පෙන්වා දෙන හමුදා මැදිහත් වීම් ආදී යත් ඇති නොවන පුවේශයකට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගෙන් හොද උත්තරයක් දී තිබේ .

වැඩි වැටුප් ලාබෙන විට මොන වර්ජන තර්ජන ද ?. දැනට අවම වැටුප රුපියල් 14,000/= පමන වන සේවකයෝ එක්වර රුපියල් 24,000/= ක වැටුපකට හිමිකම් ලැබෙන විට එය නම් කෙතරම් අසිරියක් ද ?.

වැඩේ සිම්පල් බව නම් මීදුම දනී. 
ඇති තැන් හඳුනා ගෙන නැති තැනට යොමු කල විට වැඩේ කෙරේ. එය කල හැක්කේද ජවිපෙටත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාටත් පමනි.

120,0000ක්වු රජයේ සේවකයන් සහ පවුල් වල සාමාජිකයෝත් ජනාධිපතිවරණයේ දී තීරණයක් ගැණීමට ලබා දී ඇති මෙම අත්වැල නම් අවධාරණයට ලක් කල යුතු වේ.

කපුටා සහ කේජු කෑල්ලේ කතාව සිහිපත් වී මෙන් මහින්දට ඡන්දය දෙන්න හිත හදා ගත්තොත් වැඩි වෙන රුපියල් 10000/=ට ‘සොරිම තමයි”

2009-12-07

දැන් රග දැක්වේ.....“ජවිපෙය”



ජනතා විමුක්ති පෙරමුනේ මහත්වරුන්ගේ හැසිරීම් රටාව ජනතාවට විහිළු සපයන රංගනයකට පත්වී තිබීම මීදුම වර්තමානයේදී දකියි.අතිතය හරබර තාර්කික දේශපාලන සංවාදවලට ජනතාව යොමු කල පක්ෂයක් අද බුද්ධිමය බංකොලොත්භාවයකින් නන්දොඩවමින් අපේක්ෂා භංගත්වු බවට පත්වු ප්‍රදර්ශණය කරමින් වෛරය ද්වේශය කෝපය වේදිකාවේ මුදාහරිමින් සිටී.මේ වෙනස එතුමන්ලා බුද්ධිමය පරිහාණියකට පත්වී ඇති බව දක්නට ලාබෙන ලක්ෂණයකි.

සෝමවංශ අමරසිංහ මැතිතුමා ( සහෝදරයා ලෙස වර්තමානයේ හදුන්වන්නට මීදුම අකමැති වෙයි. ) විදේශීය සංචාරයකට ගොස් අපේ මවුරටට ගොඩ බැස්ස මොහොතේ වික්ටෝරියානු ක්‍රමයට අත් දෙකෙන්ම ඇගිලි වලින් “ V ” අකුර පෙන්වා ජයග්‍රහනය සංකේවත් කරමින් ඔහු සංචාරය කල රටවල රාජ්‍ය නායකයින් හමුවී රටට ලැ‍බෙන්න තියෙන GSP බදු සහනය දෙනවාට බාදක ඇති කල බව ප්‍රකාශ කලේය. අපි මාධ්‍ය තුලින් දුටුවේ ඔහු මහත් ජයග්‍රහනයක් කල මානසිකත්වයෙන් ඒ බව රටට ප්‍රකාශ කල බවකි. ( සටහනට පිවිසීමට පෙර රාජ්‍ය මාධ්‍ය හැසිරෙන අන්දම ගැන විරෝධතාවය පමනක් සටහන් කරන්නේ මතු වියමනක් ඒ වෙනුවෙන් කරන්නට මීදුම අදහස් කරන බැවිනි.)


GSP බදු සහනය නිසා බඩ වියත රැක ගන්නේ ප්‍රධාන කොට නිදහස් වෙලද කලාපයත් රට වටා පිහිටුවා ඇති ඇගළුම් කර්මාන්ත ශාලා වල සේවය කරන සේවක තරුන තරුනියන් විශාල ප්‍රමානයක් විසිනි .ඒ දරුවෝ වර්තමානයේ සෝමවංශ අමරසිංහ මැතිතුමාගේවත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ වත් පැලන්තියේ අය නොවේ. තුන් වේල නොදකින මේ අසරනයින්ට අවැඩක් කර ලබන යස ඉසුර , විප්ලවයක් කර පීඩිත ජනතාවට ඉසුරු ලබා දීමට 1971 ටත් පෙර සිට සැලසුම් කල මැතිතුමන්ලාගේ සිත්තුල පහලවුයේ ජනතාවගේ පින් පිරිහී ඇති නිසාද? ජවිපෙය අප හදුනා ගන්නේ දේශපෙමී දේශපාලන මතිමතාන්තර වලින් පෝෂිතවු පුද්ගලයෙක් වටා කේන්ද්‍ර ගත නොවු පක්ෂයක් ලෙස නම් මේ පෙරළියේ අරුමය තේරුම් ගත නොහැක. මේ දරුවන්ගේ රැකියා අවදානමකට ලක් කර අපට නම් සතුටක් ලබා ගත නොහැක.

මහින්ද සමග තියෙන වෛරයට GSP බදු සහනයට වැට බදින්නේ නම් එය ජාතිහිතෛෂි තීරනයක් වන්නේ කෙසේද යන්න සිතන්නට ජනතාව බුද්ධි මත් වනු ඇත. ‍‍‍‍‍‍

මහින්දගේ වත් රනිල්ගේවත් සෝමවංශ අමරසිංහ ගේවත් සරත් ෆොන්සේකාගේවත් අභිලාෂයන් ජනතාවගේ අභිලාෂයන් වන්නේ නැත. ජනතාවගේ අභිලාෂයන් නියෝජනය කරන අය සිටී නම් ඔවුන්ගෙන් කෙනෙකුට මේ මැතිවරනය ජයග්‍රනහණය කල හැක.අපට ඒ බව මැතිවරණ ප්‍රතිඵල තුලින් අනාගතයේ දකින්නට ලැබෙනු ඇත.ඒ සදහා නිකරුනේ මුදල් වියදම් කරමින් සෝබන වර්ගයේ වේදිකා රංගන අවශ්යඵ නැත. ඒවාට මුලාවෙන ජනතාවක් අද නැති අතර මනා විශ්ලේෂණයෙන් කටයුතු කිරීමට ජනතාව බුද්ධිමත්ය.

වෛරය ද්වේශය කෝපය වපුරවමින් වේදිකාව දෙදරවන මේ මැතිතුමන්ලා පැරනී ද්‍රවිඩ චිත්රතපටි වල අප දුටු නම්බියාර් වර්ගයේ රංගනයක යෙදෙමින් කතා පවත්වති. මේ කතා වර්තමානයට ගැලපේ දැයි එතුමන්ලාම විමසීම වටි. උදාහරනයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කරන කතා මේ ඇත්තෝ එය පැය විසි හතරකින් , එක පෑන් පහරකින් කල හැකි වෙනස් කමක් ලෙස අපට තහවුරු කරන්න “තටමයි”. එහෙත් එතනට යාමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් සපුරා ගත යුතු සීමා අපට නොපෙන්වන්න පරිස්සම් වෙති. එමෙන්ම එතනට යාමට ඇති ඉඩ කඩ අසුරා කටයුතු කිරීමටද පරිස්සම් වෙති.

මැතිවරණ කොට්ඨාශ මට්ටමේ නියෝජිතයන් පත්කිරීමේ චන්ද ක්‍රමයකට යාම චන්ද දායකයාට ප්‍රතිඵලදායක ක්‍රමයකි. එහෙත් එකද නායකයෙකු වත් එතනට යාමට අකමැතිවෙති. එසේවුව හොත් ජනතා විමුක්ති පෙරමුන වැනි පක්ෂ වලට එකම නියෝජිතයෙක්වත් පත් කරවා ගන්නට නොහැකිය.වර්තමානයේ නම් එජාපයටද සිදුවන්නේ ආසන දහයක පමණ රැදී සිටීමටය.

සුළු ජාතීන් , සහ ජවිපෙ වැනි දේශපාලන මතධාරී පක්‍ෂවලටද වෙනත් දේශපාලන ආයාතන වල නියෝජනයක් වන පරිදි , පාර්ලිමේන්තුවේදී කරන ලබන සංසෝධනයකදී මැතිවරණ කොට්ඨාශ මට්ටමේ චන්ද ක්‍රමය ප්‍රතිනිර්මාණය කර ආණ්ඩු ක්‍රම සංසෝධනයක් සිදු කලහැකිවූවත් මේ සදහා දේශප්‍රේමයෙන් මොරදෙන හැත්ත කවර කවදාකවත් එකග නොවී විවිධ හේතුන් දක්වමින් මග හරිමින් සිටින බව රටට මෙතෙක් කරන ලද ක්‍රියාකාරකම් වලින් පැහැදිලි කර දී ඇත.

වේදිකාවේ දෙන රංගනය වේදිකාවෙන් බැස ගියාට පසුව නැත්නම් මේ බොරුවෙන් ජනතාව රැවටිය හැක්කේ වරක් දෙවරක් හෝ තුන්වරකි. හැමදාමත් ජනතාව රැවටිය නොහැක.

2009-12-01

SF මෙහෙයුම


දේශපාලනය යනු දැලි පිහියෙන් කිරි කෑ යුතු විෂයයකි. දැන යා යුතු මගකි.

පලමු මාධ්‍ය හමුවේදීම සරත් ෆෝන්සේකා මැතිතුමා මෙම විෂයය පිළිබද අත්දැකීම් නොමැති බවත් උපදේශකයන් එතුමා පිටුපසින් සිටින බවත් ඒ අයගේ පිහිටෙන් රට නිසි මාවතට පත්කරන බවත් පුකාශ කිරීමට නිහතමාණීවීම පිළිබදව මීදුම එතුමාට ස්තුතිවන්තවේ.

මීදුම කිසිවිටකත් සරත් ෆෝන්සේකා මැතිතුමා නම් යුද වීරයා හෑල්ළුවට පත්වීම නොඉවසයි.ඔහු ගැලවීමේ හමුදාවටවත් නායකත්වරය දිමට නොසුදුසුයැයි කී විටත් , ඕනෑම ගොනෙකුට යුද්ධ කල හැකියයි කී විටත් මීදුමට එසේ කී විද්වතුන්ට සහ විශ්ලේෂකයින්ට එරෙහිව හිතේ ඇතිවුන වෛරය තාමත් හිතෙන් පහ කිරීමට නොහැකිවීම පෘථග්ජන මනසක පිළිසිදන ලද හැගීමකි.

සරත් ෆෝන්සේකා මැතිතුමා එසේ නොවේ. එතුමා මීදුමට වඩා දියුණු මනසකින් යුත් උතුමෙකි. ඒ නිසාදෝ එජාපයට ත් ගොන් මනසින් පිරි මහත්වරුන් රැලක් ගලවා ගැණීමටත් “ ගලවා ගැණීමේ මෙහෙයුමක්” ආරම්භ කර අනාගත ශ්‍රී ලංකාවේ සෞභාග්‍ය උදෙසා ඔවුන්ගේ උපදෙස් රැගෙන කටයුතු කිරීමට අපෙන් ජනවරමක් අයදියි. සරත් ෆෝන්සේකා මැතිතුමා දශක ගනනාවක් හමුදා සේවයෙන් මනසට ජීර්ණය කරගත් ආභාශයෙන් නිර්මාණයවු පලමු ප්‍රචාරක පෝස්ටරය මගින් එතුමාගේ මැතිවරණ ව්‍යාපාරය ‘SF මෙහෙයුම" ලෙස රටට හදුන්වා දී තිබේ.හමුදා වර්ණවත් පසුබිමේ “ALGERIAN ” අක්ෂරයෙන් මුද්රිතවු මෙම පොස්ටරය දුටු ගමන් සිහි වන්නේ එතුමායග් හමුදා චින්තනයයි.

මීදුම ජෙනරාල් වරයෙකු ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රීය සමාජවාදී ජනරජයේ ජනාධිපති මැතිවරණයට පොදු අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වීම අගේ කොට සැලකුවෙකි.මේ රට ආපස්සට ගෙන යන “ දියව් “ කාරයින්ටත් දූෂිත අක්‍රීය රාජ්‍යතන්ත්‍රයටත් තම ආකල්ප වෙනස් කරගෙන රටට වැඩදායි ලෙස ක්‍රියාත්මක කරවීමේ සක්‍රීය මෙහෙයුමක් උපන්දා සිට ජනතාව සමග ගැවසෙන කුරහන් පාට සළුධාරී මහින්දට වඩා හමුදා විනයෙන් සහ නායකත්වයෙන් පන්නරය ලැබු තේජස්වී ඇදුමකට හිමිව සිටි ජෙනරාල් වරයෙකුට හැකිවේයැයි මීදුම සිතුවිලි අතර රදවා ගෙන සිටියෙකි.

මාළුවාට ජලය නැතිව ජීවත් වීමට බැරිවා සේම දේශපාලකයාට මිනිසුන් නොමැතිව තම දේශපාලන වෘත්තිය පවත්වා ගෙන යා නොහැකිවේ. ඔවුන් මල නොතලා රොන් ගන්නා න්‍යාක හෝ සාස්ත්‍ර කියා මිනිස් සිත රවටමින් මුදල් කඩා ගන්නා අහිකුන්ටිකයන් මෙන් ජනතාව රවටා චන්දය කඩාගෙන යස ඉසුරෙන් ජීවත්වේ. මිදුම හිතේ මවා ගත් ජෙනරාල්වරයා එවැනි “ අළුගුත්තේරුවෙකු” නොව සැබැ ජනහිතකාමී දේශප්‍රේමියෙකි.

එහෙත් සරත් ෆෝන්සේකා මැතිතුමා යන පාර මංමුලාවු සෙයකි.

මේ රට විකුනාගෙන කෑ ඔප්පු පිටින්ම නෝර්වේ බ්‍රෝකර්වරුන් හරහා ප්‍රභාකරන්ට ලියා දුන් , ප්‍රභාකරන්ට එරෙහි සටනේ තීරණාත්මක මොහොතේ පවා රටට එරෙහිව දේශීය මෙන්ම විදේශීය කුමන්ත්‍රණ කරුවන් සමග සිටගත් දේශද්‍රෝහී සර්පයින් ආධාරකරුවන් සහ උපදේශකයින් ලෙස ඔලගුවේ දමාගෙන යන මේ ගමන දේශප්‍රේමී ගමනක් ලෙස මීදුම දකින්නේ නැත.මීදුම සරත් ෆෝන්සේකා මැතිතුමාගේ මේ ගමන් මග තෝරගැණීම ගැන කම්පාවේ.

තමන්ටවු පෞද්ගලික අව තක්සේරුවන් නිසා රටට හාණිවුවත් මම ජයගෙන හොදපාඩමක් මහින්දට උගන්වන්න යන මේ ගමන තුල කිසිදු දේශ හිතෛෂී ස්වරූපයක් නොමැති බව මීදුම සටහන් කරන්නේ සංවේගයෙනි.

දශක තුනක් තිස්සේ වද විදි ත්‍රස්තවාදය මහින්ද නම් කුරහන් පාට සළුධාරීයාගේ කොන්ද දේශීය හා විදේශිය බලපෑම් හමුවේ කෙලින් තිබු නිසා අද්විතිය ජේ.ආර්ටත්, ජනතා විමුක්ති පෙරමුනේ තරුන දේශපාලන නැගිටීම පුනරුත්තාපනයනින් තොරව ජෙනරාල්වරුන්ගේ පිහිටෙන් අතුගා දැමීමට හැකිවු ආර් .ප්‍රේමදාසටත් සහ නෝබල් තෑග්ගට පවා නම කියවුන චන්ද්‍රිකාටත් මෙල්ල කිරීමට නොහැකිවුන පුභාකරන්, නන්දිකඩාල් කලපුවේදී අපායට යවිමට ජෙනරාල්වරුන්ට හැකිවිය .

එහිදි සියළු පොදු සාධකයන් වරහන් තුලින් ඉවතට ගෙන සමීකරනය විසදු විට වරහන් තුල ඉතිරිවන්නේ රට තුල සාමය ස්ථාපිත කල එක් අයෙකුගේ නමක් පමනි .අනෙක් සියළු නම් පොදු සාධකයවී වරහන් වලට පිටතින් පිහිටන්නේය.

2009-11-30

මුනි සිරිපා පියුමේ – රොන්සුනු සිත තැවරේ


අද උදුවප් පෝයයි.
ශ්‍රීපාද වන්දනා සමය මෙම පෝයත් සමග ආරම්භ වේ.
චිරාගත සම්ප්‍රදායනට අනුව පැල්මඩුල්ල ගල්පොත්තාවෙල කීර්ති ශ්‍රී රාජසිංහ රජමහා විහාරයේ සිට මැයි- දෙසැම්බර් දක්වා ශ්‍රීපාද වන්දනාවේ නොයන අවාරයේ තැන්පත්ව පවතින සුමන සමන් දේව ප්‍රතිමාව සහිත පුරා වස්තු ශ්‍රී පාදයට උත්සවශ්‍රීයෙන් වැඩමවාගෙන යාම උදුවප් පෝදා සිදුවේ.
එතැන් සිට වන්දනා සමය ඇරඹුනා යයි සලකනු ලැබේ.

අපි අද ශ්‍රී පාද වන්දනාවේ යමු.

ශ්‍රී පාද වන්දනාව පිලිබදව ශාස්ත්‍රීය කතිකාවකට යනවාට වඩා දශක දෙකකට තුනකට එහා වන්දනා නඩයකට එකතුව ශ්‍රී පාදය වන්දනා කරන්නට යාම සිත් සනසන බැතිබර අත්දැකීමකි.
දැන් දැන් නම් ශ්‍රී පාද වන්දනාව විනෝද චාරිකාවකි. අපි අතීත නඩයක් සමග ශ්‍රී පාදයට කරුනා කරමු.

“සුර රද සමන් සමගින් සුරගන එවර
පැහැනද මදාරා පරසතු මල් පතර
කැර පුද වදින රැදිමුනි සිරිපා තඹර
සකිසද පෙනේ සමනල ගල නැගනහිර ”

සැළලිහිණියා ට සැළලිහිණි සන්දේශ කතුවරයා ශ්‍රී පාදයට මග දක්වන විට

හංස සන්දේශ කතුවරයා හංසයාට මග පෙන්වන්නේ මෙලෙසනි.

සමනොල මුහුල සිරිපද ඔබන මගුලට
නිකසල මහ සගන ගෙන වඩින මුනිදුට
පැහරදුල සුනිල් මැණිකෙන් කළ මග ලෙසට
මනදොල පිරෙයි ගග සිරි සර දුටු තොපට

………………මහින්ද හිමියෝ

මුනි සිරිපා සිඹිමින් නේ
සමනල ගල පෙදෙසින් නේ
මද සුළගයි මේ එන් නේ
මගේ පුතා නැළවෙන් නේ

යනුවෙන් සිහිපත් කරන විට “ අපට මේ වසර තැන තැන බෝම්බ පුපුරන්නේ නැති හෙයින් පුතාට නැලවෙන්න ඉඩක් ඇති බව නම් සිහිවෙයි.

දශක දෙකකට තුනකට එහා සිරිපා වන්දනාව මෙත් සිතින් ගරු සරුව අනෙක් වන්දනා කරුවන්ගේද සිත සුව සදමින් කල වන්දනාවක් විය. ගමනේ මහන්සියත් දුෂ්කරබවත් නිවි පහන් වුයේ සිත් සනසන මෙවැනි ගායනාවන් ගෙනි.

“බුද්ධං සරණේ සිරස දරා ගෙන
ධම්මං සරණේ සිත පහදා ගෙන
සංඝං සරණේ සිවුරු දරා ගෙන
ඉඤ්ඤයි තුන් සරණේ අදහා ගෙන”
සිරිපා වැද පුදා ආපසු බහින නඩයක් අතරමගදී හමුවන නන්නාදුන වන්දනාව සදහා මලුව වෙත කරුණා කරන නඩයකට වුවද ආශිර්වාද කරණුයේ,
“වදින්න යන මේ නඩේට - සුමන සමන් දෙවි පිහිටයි”
යනුවෙන් ඉතා බැතියෙන් යුතුවය.
එවිට නිතැතින්ම “වැදලා බහින මේ නඩේට – බුද්ධං සරණේ සරණයි.” පිළිතුරු ආශිර්වාදයක් ලැබේ.මෙ අයුරන් වන සංවාදයන් කොයිතරම් අපූරුද.

“වදින්න යන කිරි කෝඩුට – සුමන සමන් දෙවි පිහිටයි
වැදලා බහින කිරි කෝඩුට – සමන් දෙවිදු කරුණාවයි” සිරිපා කරුණාකරන පුංචි එකෙකුට කරන ආශිර්වාදයකි.
වෙහෙස මහන්සිය නිමාගන්න තැනක් හමුවු විට
“මෙන්න මෙතන තැනිතලාව – කෝපි බොන්න හොද වෙලාව”
යනුවෙන් පැවසීමෙන් නඩේ අවධානය විරෝධයකින් තොරව ලබා ගැණීමට කරනු ලබන හොද යෝජනාවකි.

වේගයෙන් ගමන් යන තරුන පිරිස් ගාටන අන් අයගෙන් මග ඉඩ ඉල්ලන්නේ
“දෙන්න අපට සන්හිදේ – දුන්න අයට පින් පිරේ” යනුවෙනි.
අළුත විවාහවු යුවලකට හෝ තරුන යුවලකට කරන සුහද විහිළුවකට පිළිතුරු ලැබෙන්නේ
“අපේ බුදුන් – අපි වැදගෙන - ගමට යන්න යනෝ
- එන මත්තේදි කෝඩු සමග බුදු පුදයට එනෝ.” ………. යනුවෙනි.

පහසු ගමන් මගේදී මද රිද්මයකින්
“දිදි සාදු නාදේ – යමු අපි සිරිපාදේ ” යනුවෙන්ගායනය කලත්

හෙල ගමන් මග අපහසුවු විට මහන්සිය දුරුලන්නෙ වේග රිද්මයකට ගමන දිරිමත් කරන රිද්මයකිනි.

“අපේ බුදුන් – අපි වදින්න
පෙරලි පෙරලි - අපි වදින්න
සමන් දෙවිදු පිහිට වෙන්න
නළල තබා - අපි වදින්න
දොහෙතේ නගා - අපි වදින්න
දෙ‍දන නමා - අපි වදින්න
මලුත් පුදා - අපි වදින්න
තෙලුත් පුදා – අපි වදින්න
සුවද පුදා – අපි වදින්න
පහන් පුදා – අපි වදින්න…………….” .

පුංචි එවුන්ට ගමනේදී ගැම්මක් දෙන්නේ “අග්ගල කං ඩෝං පුතා - හෙලේ නගිං ඩෝං පුතා ” අයුරුන්ය.

ශ්‍රී පාද වන්දනාවේදි භාවිතාවන විශේෂිත පද කිහිපයක්ද වේ. වන්දනාවේ ගෙන යන අඩුම කුඩුම පොදිය කර තබාගෙන යන තරම් බරවුවත් හදුන්වන්නේ “සැහල්ලුව”යනුවෙනි. පලමුවරට වන්දනාවට එක්වන පිරිස “කෝඩු” වන අතර කිහිප වරක් වන්දනාවේ යෙදුන වැඩිහිටියෝ “දඩු කෝඩු ”වෙති.පුංචි එවුන් “කිරි කෝඩු” වෙති.

අමරදේවයන් ගේ හඩ
“මුනි සිරිපා පියුමේ – රොන්සුනු සිත තැවරේ
නිවි පහන් වී – සිත සැනසේ. ………………………”

නිසංසල මොහොතක ඇසෙනවිට අපිටත් මේවාරයේ සිරිපා කරුනා කිරිමට සිත් පහල වෙනු ඇත.



2009-11-28

මහින්ද සහ දූෂණය.








මහින්ද යුද්දෙට හොදයි. දුෂණයට සහ නාස්තියට නම් ගැලපෙන්නේ නෑ කියලා මතයක් තියෙනවා. මීදුම මේ මතවාදය ගැන යමක් සටහන් කරන්න උත්සහා කරනවා. ඌණ පුරණය කරන්නත් සමබර කරන්නත් ඔබට බාරයි.

මහින්ද පටන් ගත්ත තැන ඉදලා ජනාධිපතිවරයෙකු වෙනකම් දුෂණ මඩ තවරා ගත්තේ ගිය ජනාධිපතිවරණය වෙලාවේ හෙල්පින් හම්බන්තොට ගණුදෙණුව ගැන කතා කරමින්. ජනාධිපතිවරණය උදෙසාම කරළියට ආ මේ කතා ඉන් පසු ව ඉදිරිපත් කල අය විසින්ම අමතක කරලා දැම්මා. ජනාධිපතිවරයෙකු වු පසු මිළ මුදල් හම්බු කර ගත්තා කියන කතාව දැන් වේදිකාවට ඇවිල්ලා. මාධ්ය වලින් පල වෙන ඕපාදුපත් කටින් කට ( දැන් යොදා ගන්නේ දුරකතන) පතුරුවා හරින ඕපාදුපත් හැරෙන්න මේවා තහවුරු කරන වාර්තා ලිං මැඩියන් සහ බයියෝ වන අපට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ වෝදනා සත්යද අසත්යද කියලා අපිට හිතා ගන්න බැහැ.

මහින්දගේ පාලනය නම් වියදම් අධික පාලන රටාවක්. ඒකට අපිත් වග කිවයුත්තෝ වෙනවා.

පොදු ජන එක්සත් පෙරමුණ 2005 පාර්ලිමේන්තු මැතිවරනයේදී අපේක්ෂකයෝ ඉදිරිපත් කරන කොට දිස්ත්රික් ලැයිස්තු වල ජනතා විමුක්ති පෙරමුනේ අපේක්ෂකයොත් හිටියා. ශ්රී ලංනිප අපේක්ෂකයින්ට චන්දේ දෙන ගමන් මනාප තුනෙන් අපි කොල්ලෝත් ඉන්න ඕනිනේ කියලා එක මනාපයක් ජවිපෙ අපේක්ෂයටත් දුන්නා.රිමෝට් කන්ට්රෝලරය අතට ගත්ත මේ ඇත්තෝ යුද්ධෙ උපරීමව ප්ර්භාකරන් මහත්තයාව පීඩනයට පත්කරන වෙලාවේ, අයවැය ලේඛණය චන්දේ වෙලාවේත් මහින්දට ගනන් පෙන්නුව. ජවිපෙ චන්ද පදනම පිම්බුව අපිට ...දෙයියෝ මතක් වුනේ ඒ වෙලාවේ.

අපේ වීරවංශ සහෝදරයාගේ “ඇත්ත හා නැත්ත” පොතට අන්තර්ගතය වෙලා තියෙන්නේ ජවිපෙ සෝමවංස අමරසිංහ මැතිතුමා ( සහෝදරයා කියන්න බැහැනේ) ටිල්වින් මැතිතුමා වගේ මැතිතුමන්ලා එතුමන්ලාගේ දේශපාලන මණ්ඩලයේ දී හුවමාරුවු ලේඛණ සහ අදහස් .ඒවා කියවන කොට මේ තිරණයට සෝමවංස අමරසිංහ මැතිතුමා (එකල) රජයත් සමග සිටිය යුතුයැයි දරන ලද අදහස්තුල සිටි බව දක්නට ලැබෙනවා. ඒත් කුමක්දෝ රටේ අහේතුවකට ඔවුන් මහින්ද සමග විරසකවුනා.

එයාලා ආණ්ඩු‍ව පීඩනයට පත්කරන විට ආණ්ඩුවට එකතුවු එජාපයේ පිරිසටත් කරු ජයසූරිය මහතා අපසු ගියත් මීදුම කෘතවේදිත්වය රට වෙනුවෙන් පල කරනවා.නැත්නම් ප්රභාකරන්ගේ රාජ්‍යයේ අපි තාමත් මර බියෙන්.

මේ ව්යවස්ථාවම තම පක්ෂය අත්හැර ආණ්ඩු පක්ෂයට එකතු වන්නන් ආරක්ෂා කරන්න විධි විධාන ඇති කරලා තියෙනවා. ජනාධිපතිවරයා අභිමත ව්යාපෘතියක් පැවරීමෙන් ( ඇමති කමක්) තමන් නියෝජනය කරන්නාවු පක්ෂයෙන් විනය කටයුත්තක් කර මංත්රී ධුරයෙන් නෙරපන්න බැරි නීතිමය ආවරණයක් ලැබෙනවා.මේ ආවරණය ඇමති කමක් ලබා ගැණිමේ සාදාචාර සම්පන්න ඇමක් බවට වර්තමානයේ පත්ව තිබෙනවා. මේ ආකාරයෙන් ලෝකයේ වියදම් අධිකවූ ලොකුම ඇමති මණ්ඩලය ශ්රී ලංකාවේ ඇතිවීමට හේතුවී තිබෙනවා.මෙය මහින්දට පමනක් පාලනය කල හැකි දෙයක් නොවෙයි.ධාර්මිෂ්ඨර් කාලයේ සිටම පැවත එන්නක්.

අපිට හිතන්න වෙනවා.....
සමානුපාතික නියෝජන ක්රමයන් බිහිවුන වල් බූත චන්ද ක්රමයෙන් තනි පක්ෂයකට බලයට එන්න මේ කපේදී බැහැ. බලය පවත්වා ගෙන යන්න නම් එක්කෝ පූට්ටු කරගෙන එන්න ඕනී . නැත්නම් ඇවිත් පූට්ටු වෙන්න ඕනී. කෑලී කෑලි පුට්ටු කරගන්න වරදාන දෙන්න සිද්ධ වෙනවා මංත්රී ගොල්ලන්ට. අධික වියදම් රටාවක් නිර්මාණය වන්න පටන් ගන්නේ එතනින්.එහෙම උනේ නැත්නම් චන්ද කොමසාරිස් වරයාට වෙන්නේ මාසයකට වරක් මැතිවරණයක් පවත්වන්න.


මහින්දට යුද්ධෙ කරන්න උනේ දේශීය හා විදේශිය බලවේග බාහිරෙන් එල්ලකරපු විවිධ කෙනෙහලි කම් වලට මුහුණ දෙමින්. ඒවා අපි දැක්කේ පාමංකඩ, කිලිනොච්චි, ගැලවීමේ හමුදාව වගේ දේශිය වචන වලින් සහ විදේශිය තහංචි වලින්.මහින්දට තිබුනේ කතානායකවරයා තම පක්ෂයෙන් පත්කරගන්න පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට බහුතර ඡන්ද නොතිබුණු ආණ්ඩුවක්. අධික පිරිවැයක් දරමින් මේ මංත්රීවරුන් සල්ලි වලින් නඩත්තු කරන තත්වයක් තුල අන්තිමට පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්නත් පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්නත් පුළුවන් වෙලා තියෙනවා.

මේ තත්වයන් මහින්දට විතරක් බැර කරන්න බැහැ. ජේ.ආර්ගේ පටන් අද දක්වා පාර්ලිමේන්තුවේ බලය රදවා ගෙන තියෙන්නේත් තුලනය වෙලා තියෙන්නෙත් මේ ක්ර්මයටයි.මේක වෙනස් කරන්න 2/3 බලයක් ජනමත විචාරණයක් එක්ක තවත් ඩිංගක් ඕනී. ඒක කවදාද අපි දෙන්නේ ?. කාටද දෙන්න පුළුවන් විස්වාසවන්තයා?. අපිට පිළිතුරක් සොයා ගන්න බැහැ.

දැන් පොදු අපේක්ෂකයා නිරාවරණය කරලා ඉන්නේ. ජෙනරාල් සරත් ෆොන්සේකා.එයා බලයට ඇවිල්ලා මේ වැඩේ කරන්න පුළුවන්ද?. බලය පාර්ලිමේන්තුවේ පවත්වා ගෙන යන්න එතුමාට වියදම් කරන්නේ නැතිව පුළුවන්ද?. උත්තරය බැහැ. එක ක්ර මයක් තියෙනවා. ආණ්ඩු ක්ර්ම ව්ය වස්ථාව බල රහිත කරලා හමුදා ආණ්ඩුවක් පිහිටුවලා එතුමාට අවශ්ය දිනක අවශ්ය විදියට නැවත ආණ්ඩු ක්රිම ව්යාවස්ථාවක් ඇති කරලා මේ ක්රමය වෙනස් කරන්න පුළුවන්. ඔය හමුදා පාලකයෝ ඉන්නා රටවල් පූර්වාදර්ශයට අරන්.දැන් තියෙන ධාර්මිෂ්ඨර් මොඩලය වෙනස් කරන්න චන්ද ක්රමයෙන් නම් බොරු.

අපි ඒකට ඉඩ කඩ සලසමුද ?.

2009-11-27

නාමයෝජනා 17 වෙනිදා.


ජනාධිපතිවරණයට නාමයෝජනා දෙන්නත් අපිට චන්දය දෙන්නත් දින නියම වෙලා. දැන් දැන් අපට වේදිකාවෙන් රස කතා ඇහෙන්න පටන් ගන්න කාලේ ඇවිත්.මේ උත්තමයෝ කට අරින්නේ අපි මැරිලා අද උදේ උපන් ගානටනේ.

තෙවෙනි පන්තියේ කතාවලින් ඉල ඇදෙන ඒවා අතහැරපුවම , ඒ පැත්තට මේ පැත්තට මඩ පාරවල් විසිකරපුවම , ද්වේශය වෛරය වපුරපුවම චන්ද ගොඩ ලොකුවෙයි කියලයි මේ උත්තමයෝ හිතන්නේ. මේ කතා කාරයින් හරියට සීතාම්බර පට සළුව දාගෙන ගිය රජතුමා වගෙයි. අපි හිනා වෙන කොට අත්පුඩි තලනවිට බූරු පැටව් හිතන්නේ වැඩේ හරි කියලා. චන්ද ගොඩ ගනන් කලා දාට තමයි ඇගේ නූල් පොටක්වත් නැති බව තේරෙන්නේ.

මැතිවරනේ සයිස් එකට තමයි මඩ නිර්මානය වෙන්නේ. small, large , xl ,xxl වගේ. ප්‍රාදේශිය සභා, නගරසභා small සයිස් එකේ .පලාත් සභාවලට එන කොට large සයිස් එකේ පාර්ලිමේන්තුවට xl ජනාධිපතිවරණයට එන කොට xxl සයිස් එකේ මඩ එහාට මෙහාට විසිවෙන්නේ.

ආසන්නතම මැතිවරණයේ මහින්ද මහත්තයාගේ දෙණියායේ මාලිගාව මඩ ගොඩක් වුනා. වැඩේ වැරදි කිවුව උත්තමයෝ, මාළිගාව වටලපු උත්තමයෝ මැතිවරණයෙන් පස්සේ මාළිගාව අත්හැරලා දෑම්මා.දැන් ඒ වැඩේ වැරදි නැහැ වගෙයි. ඔන්න ඔහොම තමයි දෑන් xxl සයිස් එකේ මඩ ප්‍රහාරත්. බිලියන ගනනේ ගනුදෙණු ගැනත් අනිත් කෙළවරෙන් බෝධිසත්වයෝ ගැනත් කතා කරාවි.දෙකෙලවරෙන්ම වෑහෙන දුර්ගන්ධේය අපිට ඉවසා ගෙන ඉන්න වෙනවා ජනවාරි 26 වෙනිදා වෙනකම්ම.ඊට පස්සේ ඔක්කොම අමතක කරලා උත්තමයෝ එකගෙයි දා ගෙන අපිව මරා ගෙන කනවා.

මාතෘකාවට අදාල නැතිවුනත් යුද්ධෙ ගැනත් පුංචි සටහනක් මේ මඩ අස්සේ තබන්න මීදුමට ඕනෑ උනා.

ප්‍ර භාකරන් ඒ දවස්වල කියලා තිබුනා දකුනේ ජනාධිපතිවරු එනවා යනවා . ජේ.ආර්. ., ෙප්‍ර්මදාස,ඩී.බී ,චන්ද්රි කා, අග්‍රමාත්‍ය රනිල් ආවා ගියා. මහින්ද ආවා .ඒත් උතුරේ හිටියේ එක ප්‍රභාකරන් කෙනෙක් විතරයි කියලා.

යුධ හමුදාපතිවරුත් ඔය අස්සේ කීදෙනෙක් ඉන්න ඇද්ද.අපේ සරත් ෆොන්සේකා මහත්තයාත් හිටියා.ඒත් යුද්දේ තිබුනා. ඩෙන්සිල් කොබ්බෑකඩුව වගේ රණවිරුවෝ ප්‍රභාකරන්ට තිත තියන මොහොත දක්වා ගමන් කලා. නොයෙක් බලපෑම් හමුවේ සේනාධිනායකයා නොහොත් ජනාධිපතිට කොන්ද කෙලින් තියා ගන්න බැරි උන හින්දා ප්‍රභාකරන් අපිව පෝරකයට යවමින් උතුරේ නිල වශයෙන් සහ දකුනේ නොනිල පාලකයා වශයෙන් අපිව බිලි ගනිමින් වැජඹුනා.

අද ජනතාව නිරුපද්රිහතව ජීවත් වෙනවා. ඒ මහින්දට කෙලින් තියෙන කොන්දක් තිබුන හින්දා. සහ තියෙන හින්දා.නැත්නම් අපි තාමත් ප්‍රභාකරන්ගේ ප්‍රාන ඇප කාරයෝ. මිදුම මෙහෙම සටහන් කලාට උතුරේ ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්නවලට ගැටළුවලට තාම විසදුම් ලැබිලා නැහැ. ඒ වැඩේ ගැන දැන් දෙපැත්තෙම උදවිය කතා කරන්නේ අඩුවෙන්.එකතු වෙලා කරන්න ඕනී වැඩ කරන්න හදන්නේ තනියෙන්.මේක වෙනම කතා කරන්න ඕනී මාතෘකාවක්.

සල්ලි තිබුනට ගොඩනැගිල්ලක් හදන්න තනියෙන් බැහැ.අත්වැඩකාරයෝ, මේසන්ලා ,වඩුවෝ ,පින්තාරු කරන්නෝ වගේ ශිල්පකාරයෝ එකතු කරගෙන සාමුහික ප්‍රයත්නයෙකින් තමයි ගොඩනැගිල්ල නිම වෙන්නේ . මේසන් තම ශිල්පයේ දක්ෂව වුනාට වැඩක් නැහැ,වඩුවා අබ්ලික් පොරක් නම්. ඔක්කොම තිතට කලත් වැඩක් තියෙනවද පින්තාරුව නියමෙට කලේ නැත්නම්. මේ ඔක්කොම නියම විදියට තෝරාගෙන කන්ඩායම හසුරුවන නායකයාගේ (ඉංජිෙන්රුවා)දක්ෂවකම මත තමයි යහපත් ගොඩනැගිල්ල නිම වෙන්නේ.

වඩුවා දක්ෂයා කියලා ගොඩනැගිල්ල හදන්න බාර දුන්නොත් මොකද වෙන්නේ ?.

මීදුම අද මහින්දට කඩේ ගියා., කියලා කියයි. එහෙම නැතිව ඉදිරියේදී කරන වියමන් ගැනත් අවධාණය යොමු කරන්න.

2009-11-25

මේ ගුරු පාරේ



මේ ගුරු පාරේ -මේ දොල අයිනේ
අපේ රහස් ඇත සැගවීලා - අපේ රහස් ඇත ලියවීලා
පටු මාවත් වල දූවිලි අතරේ - අපගේ ඉපැරණි පිය සටහන් ඇත
පටු මාවත් වල දූවිලි අතරේ - අපගේ ඉපැරණි පිය සටහන් ඇත
පටු මාවත් වල දූවිලි අතරේ - අපගේ ඉපැරණි පිය සටහන් ඇත
දොල මත දිදුලන පෙන පිඩු අතරේ - අපේ කතාවේ කෙටි පටුනක් ඇත.
මේ ගුරු පාරේ - මේ දොල අයිනේ
අපේ රහස් ඇත සැගවීලා -අපේ රහස් ඇත ලියවීලා
ඉර හද ඇසුවා ඇල දොල දුටුවා - අතිනත්ගෙන අප දෙඩු කතා බහ
ඉර හද ඇසුවා ඇල දොල දුටුවා - අතිනත්ගෙන අප දෙඩු කතා බහ
එනමුදු එදවස් සගවනු හැකිවී - ඉරට හදට ඇල දොලට කතා බැහැ
මේ ගුරු පාරේ මේ දොල අයිනේ
අපේ රහස් ඇත සැගවීලා - අපේ රහස් ඇත් ලියවීලා

-ආචාර්ය අමරදේවයන්
දර්ශනය
පේරාදෙනිය උද්භීද උද්‍යානය.



2009-11-20

ජනරාල් සාදරෙන් පිළිගනිමු.



පොදු අපේක්ෂ්කයා තවමත් නිර්නාමිකය. 
නොයෙක් කතා පොදු අපේක්ෂකයාට පුර්ව ප්‍රචාරක පට බවට පත්ව අැත.

පොදු අපේක්ෂ්කයා කවුරුන් වුවද ජනරාල් වරයෙකුට මීදුමද වැඩි කැමැත්තක් දක්වයි. ඒ ජනරාල් යනු හමුදා චින්තනයක් ඇති වරිතයක් බැවිනි. ජනරාල් තනතුරට හමුදාව තුල නිකම්ම පැමිනෙන්න බැරිය.ඒ ආ ගමන තුල දැඩි ස්වයං විනයකුත් අන් හමුදා සාමාජිකයන් තුල දැඩි විනයක් ඇති කිරීමේ සංකල්පයන් යුත් නම්‍යශීලි නොවන චින්තනයකුත් තමන්ට වෘත්තීය තුලින්ම ආරෝපනය වී තිබිය යුතුය. හමුදාවෙන් ඉවත්ව ගියද දශක තුන හතරක් මනසට ජීර්ණයවු හර පද්ධතින්ගෙන් මෙම මනුස්ස සතාට මිදෙන්න බැරි නිසා පාලකයෙක් නායකයෙක් වශයෙන් ජනරාල්වරයෙකු අපේ රටේ පාලකයා වශයෙන් හොදටම ගැලපෙන්නේය.

සංධාණ ගත පක්ෂත් ජවිපෙයත් වක්කඩය යට සිට එම වක්කඩය කඩා ගන්නට හැදීම ඔවුන්ගේ පැත්තෙන් මෝඩ කමක් වුනත් ජනතාවගේ පැත්තෙන් නම් මේ තීරණය සුබදායි තීරණයක් බව පල නොකරම බැරිය.

අපේ දේශපාලන ඉතිහාසයේ හමුවන හමුදා චින්තනයක් යුත් දේශපාලන චරිතය සර් ජෝන් කොතලාවල මහතාය.එතුමා ද මීදුම දකින්නේ අර්ධ හමුදාමය සහ අර්ධ දේශපාලන චරිතයක් ලෙසය.කෙලින් කියා කියු දේ කරන්න ගිය සර් ජෝන් ගැන රසකතා බොහොමයක් අප අසා ඇත. 1956 බණ්ඩාරනායක ජයග්‍රණයෙන් පසු වැල නොකැඩී ආ වර්ජන තර්ජන ගැන සර් ජෝන් කීවේ “ මම බැදලා තිබු බල්ලෝ ටික බණ්ඩා ලිහා ගත්තා ” යනුවෙනි. විනයක් නොමැති රාජ්ය ,සංස්ථා ,මණ්ඩල සහ රාජ්‍ය උසස් අධ්‍යා පන ක්ෂෙත්‍රයේ මහත්වරුන් සහ නෝනා මහත්වරුන් බැද දැමීමට අද විනයක් අවශ්‍යමය. එය කුඩු කෑ දේශපාලනඥයින්ට කවදාමත් කරන්න බැරි කටයුත්තක් බව පසු ගිය දශක කිහිපයම අපට පෙන්වා දී ඇත.

අද වර්ජන ගර්ජන පවා ඇති වන්නේත් ශිෂ්‍ය සටන් ව්‍යාපාර ඇතිවන්නේත් පූර්ව මැතිවරණ ව්‍යාපාර බලා ගෙන මිසක ජනතාහිතවාදීව නොවන බව ඉතාමත් පැහැදිලිය.ජනතාවගේ හුස්ම හිරකර දෙනවද නැද්ද අසන මේ අවලං ව්‍යාපාරත් , දුප්පත් මව්වරුන්ගේ සහ පියවරුන්ගේ දූ දරුවන් ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන යක්ෂයිනුත් මෙල්ල කිරීමට නම් තුවක්කුව පිටිපස සිටිය මනුෂ්‍යයෙකුට මිස ජනතාව සමග සිටින මනුෂ්‍යයෙකුට අපහසුය.

අපේ රට නායකයාගෙන් නායකයාට අත්හදා බැලීමේ ව්‍යාපෘති පටන් ගන්නා රටක් මිස ජාතික ප්‍රතිපත්තියක් මත පවත්වා ගෙන යන රටක් නොවේ යයි මීදුම උපකල්පනය කරයි. 1948 සිට ජාතික ප්‍රතිපත්තියක් මත පාලනය හිමිවු ඇත්තන් ප්‍රතිපත්ති යාවත්කාලීන කරමින් රට පවත්වා ගෙන ගියා නම්. අවුරුදු 62 ක් වයස ශ්‍රී ලංකාව අද සිටිය යුත්තේ හිගමනේ නොවන්නේය.අපි තවමත් හිගමන් යදින ජාතියක් ව IMF ,GSP දෙස බලා සිටිමු. යුද්ධයට වෙන්කරන ලද මුදල්ද යුද්ධය වවා ගෙන කමින් ඒ සදහා වියදම් කල මුදල්ද ජාත්‍යන්තරයෙන් ගත් ණය මුදල් ලෙස සැලකිය හැකිය.
බටහිරයන් අපට ණය දෙන්නේ ආදරයට නොව අප බල හීනයන් ලෙස පවත්වා ගෙන යාමේ අරමුණින් බව තුන් වේලබඩ පුරවා ගෙන රූපවාහිණී තිරය දෙස විවේක සුවයෙන් සිටින අපට තේරෙන්නේ නැත. ගමේ සිටින කපටි මුදලාලියා ගම්වැසියන් ගේ දේපල දෙස බලා ගෙන ඇප උපකාර කරමින් පලමුව ණයකාරයෙක් කර පසුව ඉඩකඩම් අත්පත් කරගන්නා ස්වරූපය බටහිරයන් තුල ඇති බව අපට නොපෙනේනේ අපි අන්ධව විවෘත ආර්ථිකය බදා ගෙන සැප සම්පත් බදා ගෙන සිටින නිසා විය හැක.

මේ සියල්ල වෙනස් කරමින් රට සංවර්ධණය කිරීමට දෑඩි පාලනයක් රටට අවශ්‍ය වන්නේය. වල්බුරු නිදහස පාලනය වී විනයාත්මක නිදහස භාවිතයට ගැණිම මුලින්ම අසීරු කටයුත්තක් බව පිලිගත යුතුය.සමාජය තුලින් ගොඩ නැගුණ පාලකයෙකුට වඩා හමුදාව තුලින් ගොඩනැගුණ නායකත්වයකට ඒ සත් කාර්ය කිරීමට හැකිවෙන බව සක්සුදක් මෙන් පැහැදිලිය.

අනාගතයේ වර්ජන තර්ජන ශිෂ්‍ය සටන් නැති පාලනයක් බිහිවනු දකින්නට ජනතාව සිහින දකිමින් සිටින අතර , ඕනෑ වුන විට පුටුවටත් - එපාවුන විට අටුවටත් දමන්න බැරි පාලනයක් තුල වියකි සිදී බිදි යන “බණ්ඩා විසින් ලිහාදමන ලද - ජෝන් විසින් බැද දමන ලද ” පැලැන්තිය ගැන දැන් සිටම අනුකම්පා කිරීමට ජනතාව පුහුණු වෙමින් සිටන බව සටහන් කරමු.

“ජනරාල් වරයෙකු පොදු අපේක්ෂකයා වේවායි” මීදුම ප්‍රාර්ථණය කරයි.

2009-11-18

සංඝාඥා



සංඝාංඥා වක් නිකුත් කිරිමේ අනතුරු හැගවීමක් ජනරාල් වරයාට පසු ගියදා නිකුත් කර තිබිණි . මීදුම අවදානය යොමු කරන්නේ මේ අනතුරු හැගවීමට නොව ආඥාව මොකක්ද යන්නට සහ එයින් “කරන්න පුළුවන් කෙං ගෙඩිය” මොකක්ද යන්නටය.
‘අප දන්නා සංඝාංඥා පැනවිය හැක්කේ , ධර්මයට සහ සමාජයට අහිතකර ක්‍රියාවක යෙදෙන හෝ අත්‍යවශ්‍ය අ හිතකර ක්‍රියාවක නොයෙදෙන හෝ පුද්ගලයන්ට එරෙහිවය.එවැනි පුද්ගලයින්ගේ ධර්මාණුකුල කටයුතු වලට සහභාගී නොවිමේ සිට පොදු ආගමික සමාජ කටයුතු වලදි ඔවුන් ප්‍රතික්‍ෂෙ කිරිම දක්වා සංගාංඥාවල බලය විහිදිය හැකිය.
එහෙත් ඒ ඕනෑම ආඥාවක් පැනවීම යථාර්ථයක් වන්නට නම් , ඒ ආඥා හෙවත් නිති පිලිගැණිමට කැමති පුද්ගලයින් සිටිය යුතුය.අතීතයේදී රජවරුන්ට හෝ අන් අයට එරෙහිව සංඝාංඥා පනවන්නට හැකියාව තිබුනේ නම් ඒ, එසේ බලපැමක් කිරිමට තරම් ගෞරවාන්විත හා බලවත් පැවදි දිවියකට භික්ෂුන් උරුම කම් කි නිසාය. ”
-15 රාවය - කේ.ඩබ්.ජනරංජන
වර්තමාන සමාජයට එවැනි සංඝාංඥා අපේ හාමුදුරුවරුන්ට කල නොහැකිය. අපි හාමුදුරුවරුන්ගෙන් බලාපොරොත්තුවන පුර්වාදර්ශ අද එතුමන්ලා තුල නොමැත. ඉතාමත් සංවර දිවිපෙවෙතක අල්පේච්ඡ ජීවිත ගත කරන ,සමාජයට ගුරුහරුකම් දෙමින් ආගමික සංවර්ධණයේ යෙදෙමින් පන්සල් තුල වැඩ වාසය කරන හාමුදුරුවරු අද නැත.
එතුමන්ලා බොහෝ කාර්ය බහුලය. ගිහියෙකුගේ දානයයකට බැතිසිතින් වඩම්මවා ගන්නද පන්සලට දානය ගෙන ගොස් පුජා කරන විට බාරගන්න තරම්වත් එතුමන්ලාට විවේකයක් නැත. එක්කෝ රැකියාවකය. නැත්නම් රැකියාවක් ඉලක්ක කරගත් අධ්‍යාපනයකය. තව තවත් අය දේශපාලන වේදිකාවේ පලාත් සභාවේ සහ පාර්ලිමේන්තුවේ වැඩ වාසය කරමින් ශිලයේ පිහිටා කටයුතු කරන්නේය. පන්සල පාළුවට ගොස් පන්සල් පරිසරය විනාශයට ගොස් ඒ තුල නන් වැදෑරුම් ව්‍යාපාර ඇරඹි සාදු මචංලා ,අයියලා සහ නංගිලා වැද සමුගන්නවා වෙනුවට පිටට තට්ටු කර “යන්නම් සාදු ” කියන තැනට පන්සල් පැවතුම් වෙනස් වන විට ආඥා බලපවත්වන්නට බැරි බව සිහිපත් වන්නේය.
අපේ හාමුදුරුවරුන් හට ගිහි සමාජයට බලපැමක් වන අන්දමින් ජීවත් වීමේ පරිසරය අහිමි කර ගන්නා කාලය 1956 සිට ඇරඹුනා විය හැක. සග-වෙද-ගුරු-ගොවි -කම්කරු බලවේගය දේසපාලනයට පිවිසි එම වකවානුවෙන් පසු ගුරු වාත්තිකයා හට ජන හදවත් තුල තිබු ගෞරවය නැති කරගෙන නිකම්ම වැටුප් ලබන වෟත්තිකයෙක් පමනක් බවට පත්විය. වෙද පරපුර සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව දොස්තර බිහිවිය. අද ගෞරාන්විත දේශීය වෙද කම නැති වී ඇති නිසා වෙද මහතා දකින්නට නැත.සග පරපුරද මා මුලින් සදහන් කල වෘත්තිකයන් ගොන්නට ක්‍රමයෙන් පත්වෙමින් සිටින බව ගමේ පන්සලට ගිය විට පැහැදිලිව දකින්නට ඇත.
සමාජය විසින් රක්ෂා කරන ලද අපේ හාමුදුරුරවරු දුන් දේ බාරගෙන පුණ්‍යානුමෝදනාවෙන් සමාජයේ සිත් පහන් කරවා -පන්සල සිත් පහන් කල “පහන් -සලක් “ බවට පත් කරමින් වැඩ වාසය කල සමයේ සංඝාඥාවක් වී නම් එය බලවත් වනු ඇත.

වර්තමානයේ නම් එය විහිළුවක් සහ හිතළුවක් බව සදහන් කල යුතු වන්නේමය.

2009-11-17

ප්‍රේම වසන්තය නෙමේ







පාට පාට මල් වැටිච්ච
පාර දිගට අතිනත් ගෙන
ඈත ඈත යන්න තියෙන
ආසාව නොහිමි
මාරු කාසි නැතිවුනාම
හිතට දුකක් ඇති වුනාම
ප්‍රේම වසන්තය නෙමේ

- පිනිවැස්ස 2003
- අදහස ප්‍රසාද් වීරසේකර

2009-11-12

අපිට කරන තර්ජන .

කාටූනය එස්.සී.ඹ්පාතයන්ගෙනි.

රනිල් වික්‍රමසිංහ මහතා ජවිපෙ වෘත්තීය සමිති ව්‍යාපාරත් සමග පඩි වැඩිකරනු !. යන්නෙන් සටන් පාඨය අතට ගෙන වරාය ,තෙල්, විදුලිය සහ ජලය සේවකයින් සමග වෘත්තීය සමිති වයාපාරයක.
මීදුමට යන්තමට මතකයක් තියෙනවා යුද්ධය නිසා වෘත්තීය සමිති එකමුතුව අවුරුදු තුනකට පස්සේ 2009 දී ලබන්න තිබුන පඩි වැඩිවිම 2010 දී ලබන්න එකගවු බව. ආණ්ඩුව 18% -22% අතර පඩි වැඩිවීමක් නොවැම්බර් සිට ගෙවන බවත් එය 2010 ජනවාරි මස සිට ලැබෙන්න සලස්වන බවත් පවසනවා.
ජනාධිපති තුමා “අපි කියන්නේ කරන දේවල් - කිවුවොත් කරනවා “ කියලා කියන කොට රනිල් වික්‍රමසිංහ මහතා “ ආණ්ඩුව කියන්නේ බොරු - ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමකට බැදිලා ඉන්නවා රජයේ සේවකයින්ගේ පඩි වැඩි නොකරන බවට ” කියලා අනිත් පැත්තට හැරිලා කියනවා.

ජවිපෙය වර්තමානයේ සිදුකරන්නේත් සහ අතීතයේදි සමසමාජ කොමිනියුස්ට් පක්ෂය සිදුකලේත් එකම රගපෑම.බණ්ඩාරණායක අගමැති තුමා තරම් වර්ජන වලින් පීඩාවට පත්කල ‍රාජ්යාපාලකයෙක් නැති තරම්. බණ්ඩාරණායක මහතාට කීවේ “ සෙවල බංඩාට පිට කොන්දක් නෑ” කියලා. ජේ.ආර්.ජයවර්ධණ මහතා සමග සෙල්ලම පටන් ගත්තේ ඒ කාලෙට අනූරූපව රුපියල් දහයක වැටුප් වැඩිවීමක් ඉල්ලලා.ලත් තැනම වැඩේ ලොප් කරපු උන්නැහේ මී කතුරට තියන ඇම වගේ ඇමට තිබ්බ අසරන රාජ්‍ය සේවකයෝ සහ පවුල් කී දාහක් ජීවිත කාලයම බඩගින්නේ තියන්නත් සියදිවි නසා ගන්වන්න තරම් සහාසික වුනා අපිට මතකයි.

අපේ රටේ ජනගහනයෙන් රාජ්‍ය සේවකයින්ගේ සහ යැපෙන්නන්ගේ ප්‍රතිසතය 5% කටත් අඩුවෙන්න ඇති. ( රාජ්‍ය පාලකයන්ගේ ප්‍රතිසතය නම් කොයිතරම්ද කියලා හිතා ගන්න බැහැ.) 95%ක්ම යැපෙන්නේ පෞද්ගලික ආයාතන ස්වයං රැකියා සහ හෙට වැඩක් ලැබෙයිද කියන අවිනිස්චිත රැකියා වලින්.මුළු ජනගහනයම උපයන සෑම සතයෙන්ම රජය නොයෙක් ආකාරයෙන් අයකරන බදු වලින් තමයි රට සමබර වෙන්නේත් මේ ඇත්තන්ට පඩි ගෙවන්නෙත්.

රාජ්‍යසේවකයින් ඉන්නේ පුරවැසියාට සේවය කරන්න වුනත් අපි වගේ හුදී ජනයාට සේවය කිරීමේ මානසිකත්ව යක් එතුමාලට නැහැ.රාජ්‍ය සේවය තුල කාර්යක්ෂමතාවය බිංදුව බවයිමීදුම අදහස් කරන්නේ.
කවදාවත් ජනතාවට හිතකාමි කියාගන්නා වාමාංසික ව්‍යාපාර ජනතාවට ලෙන්ගතුව රාජ්‍ය සේවයේ කාර්යක්ෂාමතාවය වැඩි කරන්න කියලා උද්ඝෝෂනයක් කල බවක් ජීවිත කාලයටම අහල නැහැ. මේ ඇත්තෝ කරන්නේ පිදුරු ගොඩේ ඉන්න බල්ලගේ රාජකාරිය විතරයි.
මහින්ද නායකත්ව ය පහුගිය අවුරුදු හතරේ හැසුරුන ආකාරය උතුරේ - දකුණේ සංහිදියාව සහ රාජ්‍ය අංසය වර්ධණය කිරීම වගේම රාජ්‍ය සේවකයින්ගේ දුක් ගැණවිලි වලට ඇහුම් දිම වගේ දේවල් වලදි පසුගිය පාලනවලට වඩා හිතකාමී බවක් දැක්වුවා කියලයි මීදුම හිතන්නේ. ( සුද්දේ අතින්........... යම් මත වාද තියෙන්න පුළුවන්.) ජනාධිපති තුමා “අපි කියන්නේ කරන දේවල් - කිවුවොත් කරනවා “ කියලා කියන කොට අපිට විස්වාස කරන්න වෙනවා “මේ මනුස්සයා කියනවා වගේ ජනවාරි වල සිට එරියස් එකත් එක්ක වැඩි පඩි දෙයි කියලා ”. ඉතින් එහෙම තියෙද්දිත් මොකටද ජනතා හිතකාමී රනිල් වික්‍රමසිංහ මහතා සහ ජවිපෙ මේ වර්ජනයක් පවත්වා ගෙන යන්නේ. ජනතාව පීඩාවට පත් කරමින්.

පාලන බලය ලබා ගැණිමට මේ වගේ සිල්ප ක්‍රම යෙදවීම වර්තමානය වන විට යල් පැණගිය උපක්‍රම කියලයි මීදුම හිතන්නේ.ජනපීඩකයෙක් ලෙස ජනතාව හදුනාගත් විට පිරිබාහරන්ට විමුක්තිකාමියෙක් ලෙස මීට දසක දෙකකට ඉහතදී තිබු පිලිගැණිම තිබුනේ නැහැ.බලය මිසක වෙනත් කිසිවක් අරමුණු කර ගත් චින්තනයක් රනිල්ට හෝ ජවිපෙයට නැහැ කියලා ජන විඤානය තේරුම් අරගත්දාට ජනතාව තුල ඹවුන් පිරිහිමට පත්වෙනවා හැරෙන්න වෙනත් දෙයක් වෙන්නේ නැහැ. සමසමාජ කොමිනියුස්ට් පක්ෂ අද යුනියන් පෙදෙසෙත්,බොරැල්ල කොටා රෝඩ් එකෙත් බෝර්ඩ් ලෑලි විතරයි.ජනතා හදවත් තුලින් මැකිලා ගිහින්. එහෙත් එම පක්ෂ1956 -1977 යුග වල මේ රටේ ප්‍රබල දේසපාලන පක්ෂ. වෙලා තිබුනා.

ජවිපෙයට ඒ වින්නැහිය වෙනවා දකින්න අපි කැමති නැහැ.චන්දදායකයින්ට එජාපයත් ග්‍රීලනිපයත් එපාවුනාම යන්න තැනක් හැටියට ජවිපෙය තුන්වන බලවේගයක් ලෙස පිබිදෙමින් තිබුනා. “මහින්ද ගෙදර යවා මිස නොනවතිමි ”යි පාරම්බාන්නේ නැතිව මහින්දත් සමග සංහිදියාවෙන් කටයුතු කලා නම් ඒ බලවේගය ග්‍රීලනිපයත් දියකරමින් වර්ධණය වෙන්න ඉඩ තිබුනා. රටට පේන්න හරි අද මහින්ද ජවිපෙ කොඩියේ බාගයක් අරගෙන යනවා. ජවිපෙය මහින්දට බැන බැන වෛරය වපුරනවා. ජවිපෙයත් රනිල් වික්‍රමසිංහ මහතාත් තේරුම් අරගෙන ජනතාව කටයුතු කරනවා.

අනාගතය උදෙසා පැහැදිලි දැක්මක් මිසක වෛරය ද්වේසය වැපිරීමෙන් අද දේසපාලන වේදිකාව සැරසුවට පලක් නැහැ.ඒ සැරසිලිවල තියෙන අවලක්ෂණ ජනතාව වහාම තේරුම් ගන්නවා. බලය නෙමෙයි තිබෙන ඉඩකඩ තුල සේවය කරලා පෙන්නුවොත් බලය නිකම්ම අතට ඒවී කියලා මිදුම හිතනවා.

2009-11-08

අංතට්ටුව




මේ දවස්වල මාධ්‍ය ඇස් පුරවන්නෙත් කන පුරවන්නෙත් අං තට්ටුව කාටද දෙන්නේ කියලා.
මහින්ද මහත්තයාට ව්‍යස්ථාවෙන් හිමි අවුරුදු හයක් තියෙනවා ජනාධිපති ධුරයේ වගකීම් ඉටුකරන්න. ගතවුනේ අවුරුදු හතරක් විතරයි නොවැම්බර් 18 වෙනිදා වෙන කොට.ජනාධිපතිවරණ ප්‍රතිඵල එතුමාගේ උපන් දිනේට ජනතාව දුන්න තෑග්ග කියලයි ඒ දවස්වල කිව්වේ. තෑග්ග තව අවුරුදු දෙකක් තියාගෙන ඉදලා එලියට ගන්න එක තමයි හොද කියලයි මීදුම හිතන්නේ.

අවුරුදු හතරකට පස්සේ යලිත් ජනාධිපතිවරණයකට මුහුණ දෙන පූර්වාදර්සයක් අතීත ජනාධිපතිවු පුද්ගලයින් විසින් ඇතිකරලා තියෙනවා. තමන්ට කැමති නම් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කලොත් දිවුරුම් දීම නියමිත නිලකාලය අවසන් වුනාම කරන්න පුළුවන්. පරාජයවුනොත් ප්‍රතිපලත් සමග තනතුර අත්හැර යන්න වෙනවා.

අප්රේල් මාසය වන විට නිලකාලය අවසන් වන පාර්ලිමේන්තුවකුයි අපට තියෙන්නේ . නෛතික වසයෙන් පාර්ලිමේන්තු මැතිවරණයක මුව දොර තමයි අපි ඉන්නේ. දැනට මාස කිහිපයකට ඉස්සර ජනාධිපතිවරණක් පිළිබද කතා බහ වේදිකාවට ආවා.මිදුම හිතන්නේ යුධ ජයග්‍රහණත් සමග මහින්ද මහත්තයා පපඩම් ජනප්‍රි යතාවයකින් පිම්බුන හින්දා වට පිටාවේ ඉන්න කේවට්ටයෝ තමන්ගේ නොහැකියාව වහ ගන්න මේ සින්දුව ගායනා කරන්න පටන් ගන්න ඇති මුලදී.

රනිල් මහත්තයා කලබල වුන බවක් ඒ දිනවල මාධ්‍ය වාර්තා සිහිපත් කරවනවා.මලික් සමරවික්‍රම නොනිල මට්ටමෙන් ජනාධිපතිවරණ ඉක්මනින් පවත්වන්න එපා කියලා මහින්ද මහත්තයාගෙන් ඉල්ලීමක් කලා කියලත් වාර්තා වුනා.කොහොමත් රනිල් මහත්තයා නම් මේ දඩිබිඩි වැඩේට කැමති වන්නේ නෑ එතුමා ඉන්න සෲණ- 30% මායිමෙන් එතුමාට කොහොමවත් ගොඩ එන්න බැහැ.පොදු අපේක්ෂතකයෙකු බිල්ලට දීමේ කතා වස්තුවක් නිර්මාණය වන්නේ මේ අතරතුරේදී. දැන් ඒකත් යථාර්තයක ස්වරූපයට පත්වෙමින් තියෙනවා.

මේ ව්‍යවස්ථාවේ අඩුපාඩු තියෙනවා.ඒක හින්දා අධික පිරිවැයක් දරමින් ආණ්ඩුවක් පවත්වා ගෙන යාම සදහා නොයෙක් මාදිලියේ වරදාන දෙමින් පාර්ලිමේන්තුව නඩත්තු කිරීමට රාජ්‍ය නායකයින්ට සිදුවෙලා තියෙනවා.මහින්ද මහත්තයා යුද්දෙ පවත්වා ගෙන ගියේ පාර්ලිමේන්තු දේස හිතෛසීන්ට බඩ පිරෙන්න අල්ලස් දීලා. අයවැයක් වෙලාවේ රිමෝට් කොන්ට්‍රෝලරයේ හයිය පෙන්නපු ඇත්තෝ යටවෙලා හිටපු බලවේග ගැන අපිට නැවත සිහිපත් කරන්න පුළුවන්නම් ඒ ගොල්ලෝ ඉන්නේ කොහෙද කියලා අපිට හිතා ගන්නත් පුළුවන්.එදා අයවැය පරාජය වෙලා පාර්ලිමේන්තුව බිද වැටුනා නම් අපිට මේ නිදහස තියෙන එකක් නැහැ.

යුද්ධය මහින්ද මහත්තයාගේ ව්‍යාපෘතියක් වුනාට බටහිර බලවේග හසුරුවන ලද කන්ඩායම් අනුගමනය කලේ කොටි හිතවාදී ව්‍යාපෘතියක්. චන්ද්රිකා සමයේත්,රනිල්ගේ අගමැති ආණ්ඩු සමයේත් කොටි යනු පරාජය කල නොහැකි බලවේගයක් ලෙසටයි අපිට හදුන්වා දිලා තිබුනේ.ඩී.බී. විජේතුංග සමයේ එතුමාගේ ස්ථාවරය නම් මහින්ද ස්ථාවරයට සමපාත වෙලා තිබුනා.මීදුම හිතන්නේ කොටි අවුල නියම විදියට කළමනාකරණය කලේ මහින්ද මහත්තයා කියලා. බටහිර බලවේග වලට ඇහුන් කන් නොදෙමින් අසල් වැසි ඉන්දියාවෙන් උපරීම සහයෝගය ලබාගනිමින් ගිය ගමන බොහෝ ජත්‍යාන්තර සම්බන්ධ තා තිබුන අපේ රටේ නායක කාරක ආදීන්ට වඩා ඉහල මට්ටමක් "ගොඩේ මහින්දට" තිබුනා.
බලය බෙදා හැරීමේ සුදු අලියා පලාත් සබාව. මේ ක්‍රමය නැගණහිර පලාතේ ජනතාවට අත්හදා බැලීමේ අවස්ථාව උදාවුනා. උතුරටත් මේ තත්වය ඇතිවුනාම යම් තරමකින් ද්‍රවිඩ ජනතාවගේ සිත් සතන් තුලනය වෙයි කියලා මීදුමට හිතෙනවා. මේවායේ පාලනයට එන ජනතා නියෝජිතයෝ නේ සියල්ලම අවුල් වියවුල් කරමින් රට විනාසයට පත් කරන්නේ.එයාලට සුපිරි රැකියාවක් ලැබුනම තෘප්තිමත්ව සියල්ල සන්සුන් වෙනවා.ද්‍රවිඩ ජනතාවට ගැටළු තියෙනවා කියන සද්දේ නැති වෙනවා.

මහින්ද පුටුවට තල්ලු කලේ කව්ද කියන එකට නම් අයිතිකාරයෝ බොහොමයි. අයිතිවාසිකම් කියන එක්කෙනෙකුටවත් ඒ වැඩේ කරන්න බැහැ. ඒක කලේ අපි වගේ අය. අපි තමයි නියම උරුමක්කාරයෝ.අපි වේදිකාවවල ගයන බයිලා මායිම් කරන අය නෙමෙයි. 1956 දී දන ගෑවට නිදහස් අධ්යායපනයේ පිහිටෙන් දැන් අපි හොදට ඇවිදින්න පුළුවන් අය. කිරලා මැනලා වැඩ කාරයා- කවුද බොරු කාරයා -කවුද හොරා- කවුද මිණිමරුවා කවුද කියලා තක්සේරු කරලා 'වැඩ කාරයාට' කතිරේ ගහන්න අපිට කාගෙවත් උපදෙස් වැඩක් නැහැ.ඒ තරමට ජනතාව වන අපේ බුද්ධි මට්ටම දියුණුයි.

මහින්ද මහත්තයාත් සාක්කුවෙන් වියදම් කරනවා වගේ චන්ද වලට අපේ සල්ලි දියකරන්නේ නැතිව , අපිට නිවී හැනහිල්ලේ කාලා බීලා ඉන්න පරිසරයක් හදලා අවුරුදු දෙකක් ඉදලා තව වැඩ ටිකක් පෙන්නලා ජනාධිපතිවරණයකට ගියොත් තමයි හරි..
පාර්ලිමේන්තුවේ ඉන්න බඩගෝස්තරවාදීන්ට අපි ගාවට එන්න ඉඩ සලස්සලා., නිසි කලට පාර්ලිමේන්තුව විසුරුවා හැරියොත් අපිටපුළුවන් තෝරලා බේරලා එවන්න. තවත් ඒ වගේ කට්ටියක්.ඇයි අපට නාමයෝජනා තෝරන්න පක්ෂවල ඉඩක් නැහැනේ.ප්‍රජාතන්ත්‍රවාදය කියලා අර්ථ නිරුපනය කරන්නේ ඒ ගොල්ලන්ට කැමති අය අපි තෝරන එකටනේ.