පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-09-30

වෙනසක් කරන්න පුළුවන් නේද?



හිරිපොද වැස්සක් එක්ක ගහකොළ තෙමෙන
සුන්දර දවසක අළුත් බලාපොරොත්තු දවසින්
දවස ටික ටික මල් පල ගැන්වෙන වෙලාවක්.
ඒ සතුට තව ටිකක් අර්ථවත් කරගන්න ඔබටත්
දායක වෙන්න පුළුවන් .
තමන්ගෙ ප්රොෆයිල් එකට ගියාම ඒකෙ තවමත්
එක එක අයට රිදවන විදිහෙ පෝස්ට්ස් වැඩිපුරම
තියෙනවනම් ඔබටත් වෙනසක් අවශ්යයි. පරණ
විදිහට තමන් ට විරුද්ධ දේශපාලන අදහස් තියෙන
අයට අවලාද නගන .ඔවුන් හාස්යයට හා උපහාසයට
ලක් කරවන නිර්මාණ දැන් අවසන් කළොත්
හොඳ නැද්ද? ඒ වෙනුවට තමන් ගේ ප්රදේශයේ
අඩපාඩු ;අළුත් නිර්මාණශීලී නිෂ්පාදන ; සුන්දර ගීතයක්
රට ගොඩ නැංවිය හැකි ව්යවසායක අදහස් ;වෙනත්
දියුණු රටවල ආදර්ශ ; අපේම දුර්වලතා ගැන හාස්යය
දනවන අහිංසක විහිළුවක් ..ඔබේ පිටුවේ පල කළ
හැකි නම් මොනතරම් වටිනවාද ?
ස්වභාව ධර්මය විසින් අනිවාර්යයෙන්ම දඬුවම හිමි
විය යුත්තාට දඬුවම් දෙනවාමයි. එය මෙසේ කළ යුතු යැයි
අප කෑ ගසා පෝස්ට්ස් දැමිය යුතුද ? එවිට ඔබත් .....
වරදකරුවන් ලෙස සමාජය හංවඩු ගසා ඇති ඔවුනුත්
එකම මල්ලේ නො වේද ?
වෙනස් විය යුත්තේ සිස්ටම් එක නම් ....සිස්ටම් එක
සකස්වන්නේ ඔබේත් මගේත් සිතුවිළි හා චර්යාවන්
අනුවය. නායකත්වය විසින් එය ඔප්පුකොට හමාරය.
අඩු වශයෙන් මුහුණු පොත ; රට ගොඩනැගීමට ශක්තිමත්
පවුරක් කරගැනීමට නම් ; සෑම දෙනාම එකතු කර ගැනීමට
ඔබේ පන්හිඳ මෙහෙයවිය යුතුයි නේද? සංයමයෙන් හා
ඉවසීමෙන් ඔබේ වචන යොදාගෙන මුහුණු පොත සරසන්න.
ඔබේ කාරුණික මග පෙන්වීම් නිසා තමන් ගේ
දේශපාලන චින්තනය යළි සකසා ගැනීමට එක් අයෙකුට
හෝ සිතුණොත් ....වෙනස එයම නොවේද?
අළුත් රටක් නිර්මාණය විය යුත්තේ හැම දෙනා ම
එකම අච්චුවට දැමීමෙන් නොව ...විවිධත්වයට ගරුකරමින්
සමානාත්මතාවය අගයමින් ...ලස්සණ රටකට
විවිධ හැඩයේ විවිධ ප්රමාණයේ ..විවිධ පාටින් යුත්
සියළුම දෑත් එකතු කර ගැනීමෙනි.
හැමදාම share වෙන එකම පෝස්ට් එක තමනුත්
Share කර තවෙකෙකුට රිදවනවා වෙනුවට ...අපේ
නිර්මාණාත්මක බව වැඩිකර ගණිමින් ...අනිකා ද
නායකයාගේ කකුලෙන් අදින්නකු නොව ..රට ගොඩ
දමන්නට අවංකවම වෙනස් වන කෙනෙකු කරන්නට
ඔබට අවශ්ය නම් ; ඔබ වෙනස් විය යුතුමයි.
එයට මානව දයාව දෙකෙන් පංගුවක් එකතුකර
ඔබේ වටිනාකම ඔබ ඉදිරිපත්කරන නිර්මාණය තුළින්
පෙන්වන්න .
වෙනසක් කරමු.
ඔබට ඒ සඳහා ශක්තිය මෙන්ම බලවත් අවශ්යතාවයක් ද
ඇති බව දනිමි.
“කළල් මඩෙන් මතුවී පිපෙන පියුමක් ”වෙන්න .
ඔබ මෙන්ම පරිසරය ද සුවඳවත් වනු ඇත.

 

රෝ.සි.
2024 .09.29.


A day in the life

2024-09-29

බණ්ඩාරලාගේ වගතුග




නිමේෂ තිවංකර සෙනෙවිපාල විසින් රචිත පර්‍යේෂන වාර්තා ඇසුරින්..
උඩරට පළාත්වල බණ්ඩාර ලා බෙහෙවින් සුලබ ය. බණ්ඩාර යන්න නොයෙක් වගවාසගම් සමඟින් යෙදෙන අතර, එම නාමයේ ආරම්භයක් හෝ විකාශනයක් ගැන ස්ථිර මතයක් තවමත් ගොඩනැගී නැත. කෙසේ වෙතත්, බණ්ඩාර යන නමින් ම යමෙක් උඩරට වැසියෙකු යැයි ගම්‍ය වේ. මේ බණ්ඩාරලා ගැන විද්වතුන් අදහස් පළ කර ඇතත් ඒවා එතරම් තාර්කික ප්‍රවේශයන් ලෙස සැලකිය නොහැක. උදාහරණයක් ලෙස ආචාර්ය පරණවිතානගේ මතය වනුයේ පැරණි අභිලේඛනයන් හි එන, 'බඩගරික' යන්නෙන් 'බණ්ඩාර' යන්න සම්භවය වී ඇති බවත්, ඇතැම් විට මැලේසියානු 'භණ්ඩාර්' යන නාමයෙන් තත්සම වන්නට ඇති බවත් ය. මේ මතයට දෙස් දෙමින්, මහනුවර යුගයේ 'බණ්ඩාරගම්' යනුවෙන් මහා භාණ්ඩාගාරයට ආදායම්/සම්පත් රැස් කළ ගම්බිම් පැවති බවත් දක්වනු ලැබේ. එම ගම්මාන 'ගබඩාගම්' යනුවෙන් ද ව්‍යවහාර වේ.
'බණ්ඩාර' යන්න ද්‍රවිඩ 'පණ්ඩාරම්' යන්නෙන් සකස් වූවා වන්නට ද පිළිවන. හින්දු පණ්ඩාරම්ලාගේ කාර්යය වූයේ කෝවිල්වලට මල් අඩුක්කු කිරීම ය. අරාබියාවේ ද 'පන්දාර්' යනුවෙන් රාජවංශයක් පැවතුණි.
මේ හැරුණු විට 'බණ්ඩාර' යන්න ගොවිකුල ඇත්තන් අතර බෙහෙවින් සුලබ බව පෙනෙන්නට තිබේ. ඇත්ත වශයෙන් ම, 'බණ්ඩාර ඇත්තන්' යනුවෙන් ආමන්ත්‍රණය කරන ලද්දේ ගොවිගමයන් ය. බණ්ඩාරලා වනාහි කෙත්වතු හිමිව සිටි නිදහස් ගොවීන් ය. මේ නයින් බලන කල, 'රදල' යනුවෙන් පිම්බී ගියත්, 'බණ්ඩාර' නමක් යෙදේ නම් තෙමේ නිසැකයෙන් ම 'ගොවිගම' වන බව පෙනේ.
උඩරට පළාත්වල, විශේෂයෙන් ම පැරණි ලේඛණ පිරික්සන විට 'බණ්ඩාරවලිය' යනුවෙන් පාරිභාෂික වදනක් හමුවේ.
'වලිය' යනු 'ව<ලිය' නොව, 'ව>ලිය' විය යුතු ය. ඉන් ගම්‍ය වන අර්ථය නම්, 'සමූහය' යන්න ය. නැත්නම් 'සෙට් එක' යන්න ය. සරළව ම කිවහොත් 'බණ්ඩාරලා සෙට් එක' ය.
උඩරට බණ්ඩාරවලිය වනාහි එක ම අවුල් ජාලාවකි. ඒ පිළිබඳව හදාරන විට අගමුල් සොයාගැනීමට නොලැබේ. විටෙක, බණ්ඩාර හත්කට්ටුව ලෙස ද, බණ්ඩාර දොළොස් කට්ටුව ලෙස ද, බණ්ඩාර හැටහත් කට්ටුව ලෙසද, බණ්ඩාරවලිය ලෙස ද මේ ගැන කියවේ.
මේ වර්ගීකරණ අතරින් 'කට්ටු' යනුවෙන් හැඳින්වෙන තුන ම කංකාරි මඩුවේ ත්, යාතිකාවලත් ඇසේ. අනෙක වන, බණ්ඩාරවලිය පැරණි කඩයිම්වලත්, විත්තිපොත්වලත්, ලේකම්මිටිවලත් යෙදේ. සිඳුරුවානාබද උඩුනුවර බණ්ඩාරවලිය, මාතලේ මහදිසාවේ බණ්ඩාරවලිය යනාදි වශයෙන් ප්‍රාදේශීය බණ්ඩාරවලි රැසක් මට හමු වී තිබේ. යට කී 'කට්ටු' සහ 'වලි' ගැන කරන ලද විමැසුමේ දී පෙනී යන්නේ, 'කට්ටු' යනුවෙන් ව්‍යවහාර වන්නේ 'මල පසු දෙව් බවට පැමිණැවූ' පුද්ගල පිරිසක් වන බවත්, 'වලි' යනු ජීවමාන පෙළපත් වන බවත් ය. නුවර යුගයේ දී, උඩුනුවර හා යටිනුවර දෙපලාතට එවැනි බණ්ඩාර පවුල් දහඅටක් ප්‍රබල ව සිටියෝ ය. ඔවුන් පහත සඳහන් බණ්ඩාරලාගෙන් ආරම්භ වූවන් යැයි කියනු ලැබේ.
1. උරුලෑවත්තේ විජයසුන්දර බිසෝබණ්ඩාර
2. ගංගොඩ යාපා බණ්ඩාර
3. රඹුංගොඩ කුමාර බණ්ඩාර
4. දන්තුරේ තුනයාර බණ්ඩාර
5. පීලිගම කඳුරේ බණ්ඩාර
6. සිද්දවුලේ සෙනෙරත් බණ්ඩාර
7. උනම්බුවේ යාපා බණ්ඩාර
8. අලපලාවෙල අබේසිං බණ්ඩාර
9. අළුදෙණියේ මායිං බණ්ඩාර
10. යාලේගොඩ මහ බණ්ඩාර
11. පිලීගල්ල කුමාර බණ්ඩාර
12. සිඳගල නීලවතී බණ්ඩාර
13. පායිංගමුව ඉරුගල් බණ්ඩාර
14. කිරිබත්කුඹුර පණික්කි බණ්ඩාර
15. වෙලම්බොඩ විජයරාජ බණ්ඩාර
16. ඕකේවෙල සූරියදාස් බණ්ඩාර බ්‍රාහ්මණ රාළ
17. ඇරැව්වාවල කුමාර පනික්කි බණ්ඩාර
18. මාත්ගමුවේ සෙණෙකඳ බිසෝ බණ්ඩාර
මේ ලේඛනයට අමතරව තවත් බණ්ඩාරවලි ප්‍රාදේශීය වශයෙන් තිබෙන්නට පිළිවන. එවැනි කිහිපයක් මා සතුව ද පවතියි.
කෙසේ වෙතත්, බණ්ඩාරලා ගැන බොහෝ විස්තර වේ.
බණ්ඩාරලාගේ කාන්තාවෝ, බිසෝබණ්ඩාර ලා ය. එවැනි බිසෝබණ්ඩාරලා බොහෝ ය.
1. යටිගල්ඔලුවේ බිසෝබණ්ඩාර
2. කුඹල්ඔලුවේ බිසෝබණ්ඩාර
3. සෙණකඳ බිසෝබණ්ඩාර
4. නීලවතී බිසෝබණ්ඩාර
5. උඩුකිඳ බිසෝබණ්ඩාර
6. දුනුමාලේ බිසෝබණ්ඩාර
යනු ඉන් කිහිපයකි.
දරුවන්, 'කුමාරබණ්ඩාර' වේ. පිරිමින් විශේෂයෙහි, මහබණ්ඩාර, කුඩාබණ්ඩාර, ළමා බණ්ඩාර, ටිකිරිබණ්ඩාර වශයෙන් විශේෂණ් යෙදේ.
කෙසේ වෙතත්, බණ්ඩාර යන්න වැද්දන් කෙරෙහි ද යෙදි තිබේ. 'බණ්ඩාර වැද්දන්' ලෙස කංකාරියේ දී පිදෙන දෙවි කට්ටුවක් ද සිටී.
මාගේ විශ්වාසය නම්, බණ්ඩාර යන්න ගොවිගමයන් සඳහා හෙදුණු හුදු ගෞරව නාමයක් පමණක් වන බව ය. උඩරට ඇතැම් ප්‍රදේශවල, කිසියම් ගමකට අලුතින් පැමිණ බින්න බහින පිරිමියෙකු හැඳින්වීමට නිරායාසයෙන් ම බණ්ඩාර නම යෙදෙයි. දන්තුරෙන් ආ තැනැත්තා, දන්තුරේ බණ්ඩා(ර) ය. දුම්බරින් ආ තැනැත්තා දුම්බර බණ්ඩා(ර) ය. එය වර්තමාන ව්‍යවහාරයේ 'මහත්තයා' යනුවෙන් යෙදෙන ආමන්ත්‍රණයට සමාන යැයි මගේ විශ්වාසය වේ. 'බිසෝබණ්ඩාර' යනු ද එවැනි ම ය. ගොවිකුල කාන්තාවන් විෂයෙහි එය යෙදෙන්නට ඇතැයි සිතිය හැක.
සැබෑ හන්දුරු හෙවත් ව්‍යවහාරිත රදල උප කුලයේ කිසිවෙකුට 'බණ්ඩාර' යෙදී නැත. යම් රදල යැයි කියනු ලබන පෙළපතකට 'බණ්ඩාර' යන්න එකතු වී ඇත්නම් ඉන් ස්ඵුට වන්නේ ඔවුන්, ගොවිගම කුලයට අයත් බවත්, පසුව රාජප්‍රසාද ලබා හිමි වූ තනතුරුධාරින් වන බවත් ය.
උඩරට සැබෑ රදළ පේරුවේ පෙළපත්වලට 'බණ්ඩාර' යන්න එක් වී නැත. ඇතැම් විට පසුකාලීනව එකතු කරගෙන තිබිය හැකි වුවත් 1815ට පෙර සන්නස් ආදියෙහි එසේ යෙදී ඇති තැන් සෙවීම දුෂ්කර ය.
එවැනි පෙළපත්වලට උදාහරණ කිහිපයක් මෙසේ ය.
1. ඇහැලේපොල විජයසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර
2. කපුවත්ත විජයසුන්දර රාජකරුණා නවරත්න බණ්ඩාරනායක
3. කැප්පෙටිපොල රාජකරුණා චන්ද්‍රසේකර වාහල තෙන්නකෝන්
4. අමුණුගම දුම්බර රාජකරුණා සෙනෙවිරත්න අභයකෝන්
5. ඇරැව්වාවල සේනානායක භුවනෙකබාහු නාරායන රාජගුරු වාහල පණ්ඩිත
6. මාම්පිටියේ අමෘතහස්ත නවරත්න වික්‍රමසිංහ සේනානායක පණ්ඩිත වාහල
7. මුල්ලේගම හේරත් දවුන්ඩසේකර වික්‍රමසිංහ ඒකනායක අභයකෝන් පණ්ඩිත රාජපක්ෂ
8. රත්වත්තේ විජයවර්ධන සෙනෙවිරත්න පණ්ඩිත අභයකෝන් බන්ඩාරනායක
9. දුනුවිල රාජකරුණාධර ඒකනායක ඒකනායක ධර්මකීර්ති පණ්ඩිත වාහල
10. කොබ්බෑකඩුව රාජකරුණා රාජපක්ෂ නවරත්න වික්‍රමසිංහ සෙනෙවිරත්න දිසානායක
මේ අනුව බණ්ඩාර යන්න සැබෑ රදල පවුල් විෂයෙහි නොයෙදෙන බව වටහාගැනීම දුෂ්කර නොවේ.
නැවත බණ්ඩාර 'කට්ටු' දෙසට හැරෙමු.
උඩරට ප්‍රදේශවල මලවුන් දේවත්වයට පත්කිරීම සුලභව සිදු වී ඇත. හැටහත් කට්ටුව, දොලොස්කට්ටුව, හත්කට්ටුව ලෙස කාණ්ඩ කොට, පුදලබන්නේ ද එසේ මරණයෙන් පසු දෙවි බවට පත් වූ උඩරට වැසියෝ ය.
ටිකිරි බණ්ඩාර, හෙණකඳ බිසෝබණ්ඩාර, කුඹල්ඔලුවේ බිසෝබණ්ඩාර, යටිගල්ඔලුවේ බිසෝබණ්ඩාර, වන්නි බණ්ඩාර, ගඟේ බණ්ඩාර, නමනැති බණ්ඩාර, අලුත් බණ්ඩාර, කිවුලේගෙදර බණ්ඩාර, දුනුමාලේ බිසෝබණ්ඩාර ඇතුළුව එසේ මරණයෙන් පසු දෙවි බවට පත් බණ්ඩාරලා සිය ගණනක් සොයාගත හැකිය.
එමෙන් ම, අලුත්නුවර දේවතා බණ්ඩාර, ඉරරැස් බණ්ඩාර, සඳරැස් බණ්ඩාර, සූනියම් බණ්ඩාර, කලු බණ්ඩාර ආදි, ඉතිහාසයක් අපැහැදිලි පැරණි දෙවිවරු රැසකට ම ද 'බණ්ඩාර' ලෙස යොදා තිබේ.
මේ බණ්ඩාර දෙවිවරු සිය බලය පතුරුවා හරින්නේ කිසියම් සීමිත ප්‍රදේශයක් තුළ ය. ගඟේ බණ්ඩාර කොත්මලේ ද, ඉරුගල් බණ්ඩාර හන්තාන ද, වත්හිමි බණ්ඩාර කුරුණෑගල ද ආදි වශයෙන් බලය පතුරුවයි. සෑම බණ්ඩාර දෙවි කෙනෙකුට ම එවැනි බලප්‍රදේශයක් පැවති යි.
'බණ්ඩාර' යන්න උසස් කුලවතුන් සඳහා උඩරට ප්‍රදේශවල දී පොදුවේ යෙදුණු ගෞරවාන්විත ආමන්ත්‍රණයක් බව මා කියන්නේ මේ පදනමෙහි පිහිටා ය. ඒ ගැන දෙස්දෙන ලේඛණ රැසක් පවතියි.
කුල සම්ප්‍රදායන් කෙසේ වෙතත්, උඩරට පළාත්වල මානවවිද්‍යා පර්යේෂණයන්ට මෙවැනි අපූරු තැන් ගෝචර වී නොතිබීම සැබැවින් ම කණගාටුදායක කරුණකි.
(මෙතුමා විසින් ප්‍රකාශනයට පත් කරන ලද 'කන්ද උඩරට පැරණි පුස්කොළ ලියවිලි, කුරුණෑගල විස්තරය කියවන්න.)
ස්තුතිය 'Old images of Ceylon's

A day in the life