ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

ලොව දිනු පුවත දැනගෙන පින්වත් කුමරූ සත් පියුමන් පිපුණි පින් සුවඳින් මියුරූ සිහිකර යළිත් අසිරිය සිදුවූ අයුරූ සමරමු වෙසක් මෙවරත් මිතුරු

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2026-04-30

මියනපලාවේ අලි වෙදකම .


අලි – ඇතුන් බැලීම, අලින්ගෙ නිල ශාස්ත්‍රය, අලි මන්තර, අලි වෙදකම ආදී අලි – ඇතුන්ට සම්බන්ධ සියලු අංශයන්ගෙ දැනුමක් ඇති පුද්ගලයන් සැබැවින්ම දක්ෂයන් ය. අලි – ඇතුන් සම්බන්ධ එවැනි දැනුම් සහිත පුද්ගලයන් මෙකල විරල ය. එහෙත් අලි පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත පුද්ගලයෙක් අපට හමු විය. හේ, දළදා මාලිගාවේ ඇත් පන්ති භාරකරු ප්‍රදීප් මියනපලාව මහතා ය.
අලි වෙද පරම්පරාවකින් පැවතෙන ‘ප්‍රදීප් මියනපලාව’ අලි – ඇතුන්ට ප්‍රතිකාර කරන වෙද මහත්මයෙකි. අලිහිමිකරුවෙකි. ඇත් පන්ති භාරකරුවෙකි. ඇත්ගොව්වෙකි. කුඩා වියේ සිට අලි – ඇතුන් සමග ම ජීවත් වන ඔහුට දැන් වයස අවුරුදු 46 කි. කාලයක සිට දළදා මාලිගාවේ ඇත් පන්ති භාරකරු ලෙස කටයුතු කරන හේ, අතිශය කාර්යබහුල ය. එහෙත් අපි ඔහුව කතාවට සම්බන්ධ කර ගත්තෙමු. අලි – ඇතුන්ට පමණක් නොව, මිනිසුන් සමග ද සුහදශීලීව කටයුතු කරගෙන යන ඔහුට කතා කිරීමට ඉඩහැර අපි අසා සිටියෙමු.
“අපේ රටේ රජ කාලේ ඉඳල අලි වෙදකම් පරම්පරා දෙකක් තිබිලා තියෙනවා. එකක් ‘හත්පොතේ’ පරම්පරාව. අනික ‘මියනපලාව’ අපේ පරම්පරාව. හත්පොතේ පරම්පරාවේ වර්තමාන සාමාජිකයො වෙදකම කරන්නෙ නෑ. ඒත් ඔවුන් සතුව වෙදකම තවම තියෙනවා. වෙද පොත්පත්, පුස්කොළ ලියවිලි තවම තියෙන බව හත්පොතේ ඥාතියෙක් මෑතකත් මට කතා කරල කිව්වා. හත්පොතේ පරම්පරාවෙන් අලි වෙදකම ඉගෙනගෙන අදටත් කරගෙන යන ‘කපුගොඩ’ පරම්පරාවක් ඉන්නවා. මේ වෙනකොට වෙදකම කරගෙන යන්නෙ කපුගොඩ වෙද මහත්තයාගෙ පුතා. අලි – ඇතුන්ට විතරක් නෙමෙයි, මිනිසුන්ටත් වෙදකම් කරන දක්ෂ සිංහල වෛද්‍යවරයෙක් විදිහට ප්‍රසිද්ධයි. ඒ වගේම හත්පොතේ පරම්පරාවෙන් සහ මියනපලාව පරම්පරාවෙන් අලි වෙදකම ඉගෙනගෙන අදටත් ප්‍රතිකාර කරන වෙද මහත්වරු කිහිපදෙනෙක් ඉන්නවා…”
හත්පොතේ පරපුර ජීවත්වන ගම රඹුක්කන ය. මියනපලාව පරපුර ජීවත් වනුයේ, මාවනැල්ලේ ය. ගම් දෙක අතර වැඩි දුරක් නැත. මියනපලාව පරපුරේ මහගෙදර පිහිටා ඇත්තේ මා ඔය ආසන්නයේ ය. මා ඔය හරහා වැටුණු සංගිලි පාලමෙන් එගොඩ වී මා ඔය සහ කුඹුරු යාය අතරින් වැටුණු පොල්වේල්ල දිගේ මීටර් දෙසීයක දුරින් මියනපලාව මහගෙදර පිහිටා තිබේ. සංගිලි පාලමෙන් එගොඩ වී පොල්වේල්ල දිගේ ඇවිදගෙන එන මිනිසුන්ට අලි – ඇතුන්ව ඈත සිටම මියනපලාව මහගෙදරට පෙනේ. එය අතිශය සුන්දර, නිදහස් පරිසරයකි. එම පරිසරයේදී ගතට, සිතට දැනෙන සුවදායක බව ශරීරයට ඔසුවකි. රෝගී අලි – ඇතුන්ව එම පරිසරයට රැගෙන ඒම ම ප්‍රතිකාරයකි. අලි – ඇතුන් සියයකට වුවද නිදහසේ ජීවත්වීමට තරම් එහි වත්ත ද විශාල ය.
“අපේ මුත්තගෙ කාලය තමයි අලි වෙදකමේ ස්වර්ණමය යුගය. ඒ කාලේ විස්මිත වෙදකම් සිද්ධවෙලා තියෙනවා. පොල්වේල්ල දිගේ ඇවිදගෙන එන අලි – ඇතුන් නිරීක්‍ෂණය කර වෙදකම් කරන්න පුළුවන්ද? බැරිද? කියලා මුත්තා තීරණය කරනවලු…” ප්‍රදීප් මියනපලාවගේ මුත්තා මියනපලාව රාළලාගේ මියනපලාව ය. සීයා පියසේන මියනපලාව ය. පියා සුගතරත්න මියනපලාව ය. මුතතගේ කාලයේ සිට ප්‍රදීප් මියනපලාව පරපුරේ හතරවැනි අලි වෙදැදුරු ය. මුත්තාගෙ කාලයට පෙර සිට මියනපලාව පරපුර අලි වෙදකම කර ඇති බවද සැබෑ ය. එහෙත් මියනපලාව වෙද පරපුරේ ස්වර්ණමය යුගය ප්‍රදීප්ගෙ මුත්තාගෙ කාලය ලෙස ප්‍රසිද්ධ ය. එකල සෑම දිනකම ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි අලි – ඇතුන් තිහකට ආසන්න සංඛ්‍යාවක් මියනපලාව මහගෙදර වත්තෙ බැඳ සිටි බව ප්‍රදීප් අප සමග පැවසුවේ ය.
“දළදා මාලිගාවේ රාජා ඇතා එක්ක හිටිය කන්ද ඇතා මැරිල තියෙන්නෙත් අපේ මහගෙදර වත්තේදී. ඒ කාලේ අලි හාම්පුතුන් මුත්තා එක්ක ගනුදෙනු කරල තියෙන්නෙ ලියුම් හුවමාරුවෙන්. අලි – ඇතුන්ට අසනීපයක් හැදුණු හැටියේ හාම්පුතුන් ලියුමක් ලියල දීලා ඇත්ගොව්ව සමග මියනපලාව වෙද ගෙදරට එවනවා. ඒ සතුන් සනීප වෙලා යනකොට හාම්පුතුන්ට දෙන්න කියල, මුත්තා ඇත්ගොව්වට ලියුමක් දෙනවා. ප්‍රතිකාරවලට මුදල් අය කරල නෑ. මුත්තා අරගෙන තියෙන්නෙ බුලත් අතක් විතරයි. ඒත් අසනීප අලි – ඇතුන් අරගෙන එනකොට ඇත්ගොව්වො කදමලු බැඳගෙන ඇවිත් තියෙනවා. ඒ කාලේ ඇත්ගොව්වො අලි – ඇතුන් එක්ක කිලෝමීටර් සිය ගණන් පයින් ඇවිත් තියෙනවා. අලි – ඇතුන්ට ප්‍රතිකාර කරල ඉවර වෙනකම් ඇත්ගොව්වත් වෙදගෙදර නතර වෙලා. ඇත්ගොව්වන්ටත් කෑම බීම දීලා තියෙන්නෙ වෙදගෙදරින්. දවසකට තිහ – හතළිහකට කෑමට අවශ්‍ය එළවළු මහගෙදර වත්තෙ වගා කරගෙන තියෙනවා. වත්ත පහළ කුඹුරෙන් කන්නයකට සෑහෙන්න වී අස්වැන්නක් ලැබිල තියෙනවා. වෙදගෙදර නතර වෙලා ඉන්න ඇත්ගොව්වො සේරම ගොවිතැන් වැඩවලට සහභාගි කරගැනීම මුත්තගෙ සිරිතක් වෙලා. ගොවිතැන් වැඩවලට සහභාගි නොවෙන ඇත්ගොව්වන්ව අලි – ඇතුන් එක්කම වෙදගෙදරින් පිටමං කරල. මුත්තගෙ දරදඬු පාලනයක් තිබිල තියෙනවා…” ප්‍රදීප් මියනපලාව අතීතය රස කරනවිට මම පැනයක් යොමු කළෙමි.
අලි – ඇතුන්ට වැඩිපුර හැදෙන රෝග මොනවද?
“මිනිසුන්ට හැදෙන සෑම රෝගයක්ම අලි – ඇතුන්ටත් හැදෙනවා. ඒ වගේම පාදවල හැදෙන කුර රෝගය අලි – ඇතුන්ට විශේෂ රෝගයක්. උෂ්ණ ගතිය වැඩිකමට සමහර අලි – ඇතුන්ගෙ පාදවල යටිපතුල් පැළෙනවා. ඒ පැළීම්වල ජරාව තැන්පත් වෙනකොට කුර රෝගය හැදෙනවා. යටිපතුල් පැළුනෙ නැති වුණත් අපිරිසිදුකමට ඉන්නකොට කුර රෝගය හැදෙනවා. ඇස්වල සුද මතුවීමේ රෝගයත් අලි – ඇතුන්ට බහුලව තියෙනවා. ඒ වගේම අලි – ඇතුන් නිදාගන්නකොට බර වැඩිකමට තැළීම් ඇති වෙලා, ඒ ස්ථානවල ගෙඩි හටගෙන තුවාල බවට පත් වෙනවා. ඒ රෝගයට ප්‍රතිකාර කරන්නෙ මියනපලාව වෙද පරපුර විතරයි. රෝගය හඳුනාගෙන දින කිහිපයක් ප්‍රතිකාර කර, ගෙඩිය පුලුස්සා විවෘත කරගෙන, අනවශ්‍ය කොටස් පුච්චලා ඉවත් කරල පිරිසිදු තුවාලයක් බවට පත් කරගෙන ප්‍රතිකාර කරනවා. ඒ ශල්‍යකර්මයට අවශ්‍ය පාරම්පරික උපකරණ අදටත් අපි ළඟ තියෙනවා. බෙහෙත් වතුරේ දාලා, පණ පොවල ඒ උපකරණ පාවිච්චියට ගන්නවා. ඒ වගේම ගෙඩි වෙදකමට විශේෂ බෙහෙත් වට්ටෝරුවකුත් තියෙනවා. පොල්ගෙඩියක් තරම් ගෙඩියක් වුණත් පුච්චල ප්‍රතිකාර කරල, කැළලක්වත් නැති වෙන්න සනීප කරන්න පුළුවන්…” නැවතත් ප්‍රදීප් දුරකථන ඇමතුමකට සම්බන්ධ විය.
මේ වන විට මෙරට ජීවත්වන හීලෑ අලි – ඇතුන් සංඛ්‍යාව අනූදෙකකි. එම සංඛ්‍යාවෙන් හැත්තෑපස් දෙනෙක්ට ප්‍රදීප් මියනපලාව ප්‍රතිකාර කර තිබේ. ගෙඩි පිලිස්සීම් ද පහළොවකට වැඩි සංඛ්‍යාවක් සිදු කර ඇත. ආරියසේන මුදලාලිගේ ‘කොටා අලියා’ගෙ හටගෙන තිබුණු විශාල ගෙඩිය පුලුස්සා ප්‍රතිකාර කර සුවපත් කිරීමට ප්‍රදීප් සමත් වී ඇත. දළදා මාලිගාවේ ඇත් පන්තියේ ‘තායි රාජාගේ’ සද්දන්ත ශරීරයේ තිබුණු ගෙඩිය පුලුස්සා ප්‍රතිකාර කර තිබේ. මීරිගම ‘කුමර අලියා’ගෙ ශරීරියේ හටගෙන තිබුණු ගෙඩිය ද පිලිස්සීම් ශල්‍යකර්මයකින් සුවපත් කර තිබේ. එම ශල්‍යකර්මය පහසුවෙන් සිදු කළ නොහැකි බව ද ප්‍රදීප් පැවසුවේ ය.
“අලි – ඇතුන්ට පහසුවෙන් ප්‍රතිකාර කරන්න බෑ. ඒ සතුන් පහසුවෙන් ප්‍රතිකාර කරන්න දෙන්නෙත් නෑ. වෛද්‍යවරයෙක් කිට්ටු වෙනකොට ප්‍රතිකාරයක් කරන්න හදන බව අලි – ඇතුන්ට දැනෙනවා. සමහර අලි – ඇතුන් අපි කිට්ටු වෙනවටත් අකැමැතියි. අල්ලන්නවත් දෙන්නෙ නෑ. වෛද්‍ය දංගොල්ල ඇවිත් ඉන්නකොට නිදාගන්නෙ නැති අලි – ඇතුන් ඉන්නවා. ඒ, ඉන්ජෙක්ෂන් ගහයි කියන බයට. තුවාලයකට ප්‍රතිකාරයක් කළත් ගානකට ගන්නෙ නැති අලි – ඇතුනුත් ඉන්නවා. මීරිගම කුමර ඇතාගෙ ගෙඩියට ප්‍රතිකාර කරන්න කකුල පුච්චනකොට එයා කෑම කෑවා. අපි දිහා බැලුවේ නෑ. කිසිම ගානක් නෑ. මොරැවත්තෙ වලව්වේ ‘දන්නොරුව අලියා’ගෙ ගෙඩිය පුලුස්සල ප්‍රතිකාර කරන්න කිහිප සැරයක් අපිට යන්න වුණා. ඇත්ගොව්ව එකතු වෙලා අලියව අවශ්‍ය විදිහට බැඳගෙන තමයි අපිට එන්නෙ කිව්වේ. ඒත් අපි ළඟට ගිහම පළාතම දෙවනත් වෙන්න කෑගහල දැඟලුවා. එහෙම දඟලනකොට පිලිස්සීම් ප්‍රතිකාර කරන්න බෑ. දවස් ගාණක් ගිහින් පිලිස්සීම් ප්‍රතිකාර කරල අලියව සුවපත් කළා. ඒ විදිහට ප්‍රතිකාර කරල මැරෙන්න ගිය අලි – ඇතුන්ගෙ ජීවිත බේරල තියෙනවා. ඒත් මගෙ තාත්තගෙ ජීවිතය බේරගන්න බැරි වුණා…” ප්‍රදීප් සංවේදී විය.
පියසේන මියනපලාව අකාලයේ මියපරලොව ගොස් ඇත්තේ ප්‍රතිකාර කරමින් සිටි අලියෙක් පහරදීම නිසා ය. එම පහරදීම සිදු වී ඇත්තේ 2002 වර්ෂයේදී ය. ඒ වන විට ඔහුට වයස අවුරුදු 56 කි. පහරදීම සිදු කර ඇත්තේ නුවර කතරගම දේවාලයේ ‘උදය’ අලියා ය. කම්මුල්වල මද හිරවී ගෙඩි හටගෙන දැඩි වේදනාවෙන් පසු වූ උදය අලියා කාලයක්ම මියනපලාව වෙදගෙදර බැඳගෙන ප්‍රතිකාර කර ඇත. පියසේන මියනපලාවට පහරදී ඇත්තේ අලියාව වතුරේ දාගෙන සිටියදී ය. නැවතත් ප්‍රදීප් කතාවට සම්බන්ධ විය.
“අපේ අත්ත, තාත්තට වෙදකම පුරුදු කළා. අලි – ඇතුන් පරීක්‍ෂා කරන්න යන හැම අවස්ථාවකදීම තාත්තාව එක්කරගෙන ගියා. ප්‍රතිකාර කරන අවස්ථාවලදී ළඟින් තියාගෙන පුරුදු පුහුණු කළා. පුතාට වඩා වෙදකම පුරුදු කළේ මුනුපුරාට. ඒත් තාත්ත අපිට වෙදකම පුරුදු කළේ නෑ. අයියවයි මාවයි ළඟින් තියාගෙන බලහත්කාරයෙන් වැඩ ගත්තා. අත්උදව්කරුවන්ට රහසිගත බෙහෙත් හදන්න දුන්නෙ නෑ. තාත්ත කියන බෙහෙත් පැළෑටි ඇත්ගොව්වො සොයාගෙන ආවාට පස්සෙ, බෙහෙත් කෙටෙව්වෙ අපි දෙන්නට කියල. අලි – ඇතුන්ට ප්‍රතිකාර කරන සෑම අවස්ථාවකම අත්උදව්වට ළඟින් තියාගත්තෙ අපිව. ඒක තමයි මගෙ පුහුණුව. හැම බෙහෙතක්ම හැදුවේ මමයි, අයියයි. ඒත් අලි වෙදකම පුරුදු වෙනවට වඩා මගෙ ආසාව වුණේ අලි බලන්න. ඇත්ගොව්වෙක් වෙන්න. අයියා බෙහෙත් හදන එකට මුල් තැන දීලා ඒ වැඩ කරගෙන ගියා. අලි පස්සෙ වැඩිය ගියේ නෑ. මම තාත්ත එක්ක අලින්ගෙ පස්සෙ ගියා. සමහර අවස්ථාවල තාත්ත එපා කියද්දී මම අලි පස්සෙ ගියා. එහෙම ගිහින් තමයි අලි බලන්න ඉගෙනගත්තෙ…” දිප්පිටිය රාජකීය මහා විද්‍යාලයේ 1 වසර පන්තියෙන් අධ්‍යාපනය ආරම්භ කර ඇති ප්‍රදීප් මියනපලාව 6 වසර පන්තියේදී අරණායක රිවිසඳ මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වී ඇත. සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වී ඇති ප්‍රදීප්, එම පාසලේම කලා අංශයෙන් උසස් පෙළ විභාගය ද සමත් වී ඇත.
“හය වසර පන්තියේ ඉගෙනගන්න කාලේ ඉඳල තාත්තා මාව වෙද හෙදකම්වලට සම්බන්ධ කරගත්තා. සමහර දවස්වලට ඉස්කෝලෙ ඇරිල ඇවිත් බත් කාලා අත හෝදනකොට තාත්තා කතා කරල බෙහෙත් කොටන්න භාර දෙනවා. ඒ වෙලාවට නම් කේන්තිත් යනවා. ලොකු අසනීපයක් තියෙන අලියෙක් ගෙදර හිටියොත් අපි ඉස්කෝලේ ඇරිල ගෙදර එන්න ප්‍රමාද වෙනවා. එහෙම කට් කරනකොට තාත්තට තේරෙනවා. එතකොට ෆනිස්මන්ට් එකටත් එක්ක රෑ වෙනකම් බෙහෙත් කොටන්න දෙනවා. අයියවයි මාවයි අලි වෙද හෙදකම්වලට සම්බන්ධ කරගත්තට අක්කාව සම්බන්ධ කරගත්තෙ අඩුවෙන්. ඒත් අපේ අම්මා අලි වෙදකම හොඳට ඉගෙනගෙන තියෙනවා.
ගෙදර හැමෝම වෙදකම දැනගෙන හිටියත් අලි තුන් හතරදෙනෙක්ට බෙහෙත් හදනව කියන එක ලේසි නෑ. අලි – ඇතුන්ට බෙහෙත් කොටන තරම් අමාරු වැඩක් තවත් නෑ. බේසම්, තඹ හැළි පිරෙන්න බෙහෙත් කොටන්න ඕනෑ. අලියෙක්ට පත්තුවක් හදනකොට තඹ හැළියක් පිරෙන්න හදන්න ඕනෑ. එච්චර ගොඩක් හදලත් දවස් තුනක් පත්තුව බඳිනකොට ඉවර වෙනවා. බෙහෙත් වර්ග හොයන්න නම් ඇත්ගොව්වො වගේම ගමේ වැඩිහිටියොත් අපිට උදව් කළා. අදටත් මට බෙහෙත් හොයල දෙන්නෙ තාත්තාට බෙහෙත් හොයා දුන්න පරණ කෙනෙක්. ඒ මිනිස්සු කැලේ හැදෙන බෙහෙත් වර්ග හොඳට හඳුනනවා. බෙහෙතෙ නම කියනකොට කැලේ කොතැනද තියන්නෙ කියල දන්නවා. අලි – ඇතුන්ට ප්‍රතිකාර කරන්න ගන්නෙත් මිනිසුන්ගෙ ප්‍රතිකාර සඳහා ගන්න බෙහෙත් වර්ගමයි. ප්‍රතිකාර සඳහා ගන්න බෙහෙත් ප්‍රමාණය, පිළියෙල කරන ක්‍රමය වෙනස්. ඒ වගේම අලි ප්‍රතිකාරවලදී බෙහෙත්වල සැර වැඩි වෙන්න ඕනෑ…”
රෝගී අලි – ඇතුන්ගෙ ජීවිත බේරාගැනීමට අතිශය අවදානම්සහගත මෙහෙවරක නිරත වී සිටින ප්‍රදීප් මීයනපලාවට ද ‘අලි වෙදකම’ එපා වූ අවස්ථාවක් තිබේ. ඒ අලියෙක් පහරදීමකින් පියා මියගිය අවස්ථාවේදී ය. පියාගෙ අභාවයත් සමග වනජීවී දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටි ප්‍රදීප්ගෙ සහෝදරයා ද රැකියාවෙන් සමුගැනීමට තීරණය කර ඇත. එහෙත් පියාගෙ මියයෑමෙන් පසු මාස හතරකට වැඩි කාලයක් වෙද වෘත්තියෙන් ඉවත් වී සිටීමට ප්‍රදීප්ලට ඉඩ ලැබී නැත. හෙම්මාතගම ගනේගෙදර ඇතින්නට අසනීප වී ප්‍රතිකාර ලබාගැනීමට අලි අයිතිකරුම මියනපලාව මහගෙදරට පැමිණ ප්‍රදීප්ට බුලත් හුරුලක් දී වෙද මහත්තයා කියා ආමන්ත්‍රණය කර ඇතින්නට ප්‍රතිකාර කරන ලෙසට ඉල්ලීමක් කර ඇත. ඉල්ලීමට ප්‍රතිචාරයක් දැක්වීමට නොහැකිව අසරණ වූ ප්‍රදීප් අසල පුටුවක හිඳගෙන සිටි මව දෙස බලා තිබේ.
“මේ මහත්තෙලාගෙ ඉල්ලීම අහක දාන්නත් බෑ නෙවැ. ගිහින් ඇතින්න බලලා ඕක විතරක් කරල නතර කරමු…” ප්‍රදීප්ගේ මව එසේ උපදෙස් ලබා දී ඇත. ඇය චන්ද්‍රලතා ය. රෝගී අලි – ඇතුන්ට වෙදකම් කරන ඇතැම් අවස්ථාවලදී අදටත් ප්‍රදීප් මවගෙන් උපදෙස් ලබා ගන්නා බව අප සමග පැවසුවේ ය.
අලි වෙදකම අවසාන නැත…
තරංග රත්නවීර

A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-04-29

මළ ගෙවල් .....




දැන් ඕනවට වඩා පොෂ් වෙලා. වියදම් කිරීම අධිකයි.ඒක අපරාධයක්.. අනවශ්‍ය වියදමක් ..මඟුලක් කන එක ලේසියි . මඟුල එක දවසයි. මළ ගේ දවස් 7 යි. ව්‍යාංජන 3 -4 ක් කෑමට අනිවාර්යයෙන්ම තියෙන්ඩ ඕනි. උයන්න ලේසි වෙන්ඩ ඕනි නිසා #සම්බා හාලේ බත ගේන්ටම ඕනි.. අන්තිමට දාට ප්‍රයි කරපු බත ඕනිමයි. මස් හරි මාළු හරි නැති වුණොත්
" බැරි නම් නොකර ඉන්න ඕනි.."
කියන තැනට අවසන් ගෞරව දක්වන්න එන ඇත්තන්ගෙ කටින් පිට වෙන තැනට ලංකාව පත් වෙලා ඉවරයි.
දැන් මැරෙන මනුස්සයටත් මැරෙන්න ආශ හිතෙන තැනට ඒ තරම් සාරයි .. මළ ගෙවල්.
ප්ලෑන් කරලත් මඟුල් ගෙයක් කර ගන්න බැරි මිනිස්සු කොහොමද මළ ගෙයක් මෙච්චර ලොකුවට කරන්නේ.. අධික වියදම් සහිතව.
මළගෙයක් උනාම අපිට හුඟක් අය උදව් කරනවා.ලංකාවේ මිනිසුන්ට ගොඩක් මරණාධාර සමිති තියෙනවා. එහෙම නැත්නම් සුභසාධක සමිති තියෙනවා. එහෙමත් නැත්නම් තමන්ගේ සේවා ස්ථානවලින් සහෝදර සේවකයින් මුදල් එකතු කරලා දෙනවා. ඉතින් තමන් ඉතුරු කරපු මුදලක් වෙන් කරන්නේ කලාතුරකින්. ඒකට හේතුවක් හුඟක් අයට ඉතුරු කරන්න මුදල් නැහැ
සල්ලි ලැබෙන එක හරි.උදව් කරන එකත් හරි. ඒත් මේ මුදල් දවස් හතක් ඇතුළත නිකරුණේ නාස්ති කරන එකේ වැරදි.
හේතුව තමයි මරණයට පත්වුණු පුද්ගලයා නිසා, එතනින් එහාට ඒ කෙනාගෙන් පවුලට වෙච්චි අඩුපාඩුව මකන්න එහෙම නැත්නම් ඔහුගෙන් වෙච්චා කොටසක් කළමනාකරණය කරගන්න එක ඒ පවුලේ අනිත් උදවියට ලේසි වෙන්නේ නැහැ.
ඉතින් දවස් හතක මළගෙයක් උත්සවයක් විදිහට කරනවට වඩා, ඇයි අපිට බැරි වුණා අර ජීවත් වෙලාවා පවුලෙ අනිත් උදවිය වෙනුවෙන් එකතු වෙන මුදල් කළමනාකරණය කරලා ඔවුන්ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් යෙදවීමක් කරන්න..
ලංකාවේ අතීත මළ ගෙවල්වලින් මිනිස්සු ආවේ අවසන් ගෞරව දක්වන්න මිසක් රසට කෑම එකක් කාලා යන නෙමෙයි. ඒත් අද එන්නෙ රසට කෑම එකක් කාලා යන්න මිසක් අවසන් ගෞරවය සඳහාම නම් නෙවෙයි.
ඉස්සරහා මිනිස්සුන් සාමාන්‍යයෙන් ම මළ ගෙදරකින් කන්න ටිකක් අදි මදි කළා. ඒ විතරක් නෙවෙයි කෑම වේලක් දුන්නත් ඒ මළ ගෙදර ඉඳන් ටිකක් ඔබ්බෙන් තිබිච්චච ගෙදරක.
මිනිස්සුන් පිරිසිදුකම ගැන ගොඩක් හිතුවා.
දැන් මිනිස්සුන්ගේ උගත් විද්‍යාව තිබුනට, භාවිතාව zero.
මේ සටහන ලියන්න ලොකුම හේතුව මම යටකී #ජීවනාධාර ක්‍රමය. මරණාධාර සමිති සමහර ගම්වල 4 - 5 තියෙනවා. ඒ සමිති ව්‍යවස්ථාව වෙනස් කරන්න කාලේ හරි. අපි හයිය වෙන්න ඕනි. අම්මා හෝ තාත්තා නැති වුණාම ඒ දරුවන්ගේ අනාගතේ වෙනුවෙ න් . අධ්‍යාපනය ට හයියක් වෙන්න. තනි වුණේ බිරිඳ නම් රැකියාවක් හෝ ව්‍යාපරයක් වෙනුවෙන් අත්වැලක් වෙන එක්. එහෙම සැලසුමක් තිබිය යුතුමයි. හුඟක් දරුවො අනාගතේ නාස්ති වෙන්නෙම මේ කළමනාකරණය නිමැති නිසා.
මං ආරාධනා කරනවා ඉතාම ගෞරවයෙන් සියළුම සුබසාධක හෝ මරණාධාර සමිති වලට
මැරුණු මනුස්සයට #හයිය_දෙනවා වෙනුවට #ජීවත්_වෙලා_ඉන්න මිනිස්සුන්ට හයියක් වෙන වැඩ පිළිවෙලක් යොදන්න පුළුවන් උපරිමය කරන්න.
පාරමිතා සිත්තම් අපි ඒ දේ දැනට උපරිමයෙන් කරනවා. ඒ වෙනුවෙන් ඇප කැප වෙනවා. අපේ හැකියාවෙන් ...!
මේ ආරාධනවා ඔබට..! මළගේ උත්සව සිරි ය වෙනුවෙන් වෙන් කරන මුදල් කාලය ශ්‍රමය ජීවත් වෙලා ඉන්න මිනිසුන්ගේ හෙට දවස් අසිරිමත් කිරීමට යිදවමු.
තෙරුව්න් සරණයි..!
පැතුම් ගුණවර්ධන
2026 - 04 - 17 සිකුරාදා
@followers #followerseveryone @everyone #everyoneシ゚ @highlight #highlight #මළගෙවල්
#ලංකාවේ_මළ_ගෙවල් #Millionthoughts #SriLankaTraditionalCulturel #funeralservice #trendingpost #crazy_Cultural #CM_Tool










A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-04-28

වෙනසත් වෙනස් වෙලා .




අවුරුදු හැත්තෑ හතරක් තිස්සේ මේ රට විනාශවුනා.

48 ඉදන් 56 වෙනකම් රටේ පාලන තිබුනේ ධනපති ප්‍රභූ පන්තියට.

56 දී සග වෙද ගුරු ගොවි කම්කරු බලවේගය බලයට ඇවිත් රෙද්ද බැණියම ඇන්ද දහනායකලා,ඉලංගරත්නලා තේමිස්ලා වගේ පැලන්තියක් පාර්ලිමේන්තුවට ආවා.

ඒත් පාලනය අර්ධ ධනපති පාලනයක් තිබුනේ.

සිරිමා බණ්ඩාරනායක මැතිනියත් ඒ පාලනය පවත්වා ගෙන ගියා.

JR මැතිදුන්ගේ පාර්ලිමේන්තුව සංකලනයක් වුනත් උන්නැහේගේ යකඩ හස්තයට යටත්වයි රට පැවතුනේ.

ප්‍රෙමදාස පාලනය 1977 ආකෘතියක් . වෙනස් වුනේ ලේ මස් යකඩ සංස්කෘතියක් ඇති කරවමින්.

දවසින් දවස දේශපාලන සංස්කෘතිය වෙනස් වුනා.

1948 ඉදන් සංවර්ධණය වුනේ 48 පරපුරමයි.

චණ්ද්‍රිකා , රාජපක්‍ෂ යුගයන් පවත්වාගෙන ගියේ ඒ පිලිවෙතමයි.

මිනිස්සු වෙනසක් බලාපොරොත්තු වුනා.

මේ පන්තියෙන් පාලනය වෙනස් විය යුතු කියලා.

70 වේ 71 ඉදන් මිනිස්සුන්ගේ හිත්වලට වෛරය ද්වේෂය කාණ්දු කරන්න පටන් ගත්තා.

2024 වෙන කොට උපරීමයට ආවා.

ඒ වෙන කොට 71 දරුවන්ට වයස අවුරුදු පනස් පහයි.

88 දරුවන්ට තිස් අටයි.

ඔය වයස් පරතෙරය අතර වෛරය ද්වේශය කාණ්දුවුන හිත් බලය ලබා ගැණීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට බල ඇණියක් සකස් වුනා.

ඒ පරපුර අද පාලන බලයත් සමග වෙනසක් ඇති කරයි කියලා හිතුවත් තාම කරගන්න බැරිවෙලා.

එයාලත් පරණ පාරේම යනවා.

නැත්නම් නොදැනුවත් කමින් වලවල් වල වැටෙනවා.

කිසිදු අධ්‍යාපන වටිනාකමක් නැති වල් පැළ ටික පන්නලා හිටවපු 

අධ්‍යාපනයෙන් පොහොසත් මල් පැළ ටික කරන්නෙත් වල්පැලයයි කියාපු කට්ටිය කරපු වැඩ ටිකමයි.

පරණ පාර්ලිමේන්තුව එක්ක ගලපන කොට මේ පාර්ලිමේන්තුවේ ඉන්නවායි කියන්නේ මහාචාර්ය ,ආචාර්ය , වෛද්‍යවරු  ,ඉන්ජිනේරුවරු නීති විශාරදයන් විශේෂඥයින් කියන බුද්ධිමතුන් පිරිසක් !.

ඉදලා හිටලා බොර්ඩ් ලෑලි ගලවන අවස්ථාත් තියෙනවා 

නැතිවාම නෙමෙයි .

අළුත්ම සීන් එක හැකර්ලා ඇවිත් මහ බැංකුව සූරා ගෙන යනවා.

අර උන්නැහේලා ම දවල් බැංකුව මංකොල්ල කෑවා. ඒ නූගත් කමට.

මෙයාලා උගත් කමට විද්‍යාව හා තාක‍්ෂණය යොදවලා ඩොලර් මිලියන 2.5 කට කෙළලා. ?.










A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-04-27

මහා භාණ්ඩාගාර මුල්‍ය අපරාධය - 03



මාලිමා ආණ්ඩුව බලයට එද්දි දීපු ප්‍රධාන පොරොන්දුව දූෂණ, වංචා සහ හොරකම් නතර කිරීම.
හැබැයි අද ඉතිහාසයේ කවරදාකටත් වඩා මාලිමා ආණ්ඩුව යටතේ රටේ හැමතැනින්ම හොරකම්, දූෂණ, වංචා සිද්ද වෙනවා.
ඊලගට මාලිමාව ඔවුන්‍ට ඉන්න සුපිරි කණ්ඩායමක් ගැන පුන පුනා කිව්වා.
හැබැයි අද ඒ කණ්ඩායම කොතරම් දුර්වල, වැඩ බැරි සහ දූෂිත කණ්ඩායමක්ද කියලා දවසින් දවස ඔප්පු වෙනවා.
ඉතිහාසයේ කවදාවත්, කවුරුත් ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරයේ ගණුදෙනු අතරමැද හොරකම් කරලා තිබුණේ නැහැ.
එවැනි ගණුදෙනු සාමාන්‍යයෙන් හොරකම් කරන්න බැහැ.
ඒවාට ලෝකයේ ආරක්ෂිතම ක්‍රමවේද භාවිතා කරනවා.
ඒ වෙනුවෙන් අපි ඩොලර් මිලියන ගණන් වියදම් කරනවා. අපි කෝටි ගණන් සේවා ගාස්තු ජාත්‍යන්තර ආරක්ෂණ සේවා සමාගම් වලට ගෙවනවා.
එවැනි පසුබිමක ඉතිහාසයේ මුල්ම වරට මාලිමා ආණ්ඩුව යටතේ මහා භාණ්ඩාගාරයේ ගණුදෙනුවක් හොරා කාලා.
පැහැදිලිවම මේ ගණුදෙනුව සිදුවෙලා තියෙන්නේ මහා භාණ්ඩාගාරයේ සුපුරුදු ක්‍රමවේදයට නෙවෙයි, ඉන් පිටතින්.
මේ මුදල හොරකම් කෙරෙන්නෙත් ඒ නිසා.
එවැනි තීරණයක් එනම් සුපුරුදු ක්‍රමවේදයට පිටතින් ගෙවීම් කිරීමට තීරණයක් භාණ්ඩාගාර නිළධාරීන්ට ගන්න බැහැ.
නිළධාරීන් ජීවිත කාලය මේ රැකියාව කරන, ලංකාවේ ජීවත් වෙන මිනිස්සු.
ඔවුන් මේවායේ ප්‍රතිඵල සිරගෙදර බව දන්නවා. ඉතිහාසයේ කවදාවත්, නිළධාරියෙක් හෝ කිසිම රජය භාණ්ඩාගාරය කඩලා නැහැ.
හැබැයි අවුරුදු පහකින් ආත්ම හතකට උපයන්න ආපු කට්ටියක් වෙනස්. ඔවුන්ට සීමා නැහැ.
මෙවැනි ගණුදෙනුවක් වෙනස් කිරීමට අවම වශයෙන් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගේ සිට ඉන් ඉහළට දේශපාලන බලපෑමක් අවශ්‍යයි.
මේ හොරකම සිදුවෙන්නේ හරියටම මාසයකට කළින්.
නමුත් ආණ්ඩුව ඒ හොරකම වහගෙන හිටියා.
මේ මුදල ඩොලර් මිලියන දෙක හමාරක්. රුපියල් කෝටි අසූවක්.
මේ අපේ රටේ මිනිස්සුන්ගේ බදු මුදල්. විදේශ ශ්‍රමිකයො රටට එවන ප්‍රේෂණ.
හැබැයි කෝටි අසූවක හොරකමක් වුනාමත් ආණ්ඩුව නිහඬව, නොතකා හිටියා.
මේ ගැන ප්‍රසිද්ධ සහ විධිමත් පරීක්ෂණයක් ආරම්භ වෙන්නේත් මේ ගැන විපක්ෂය හෙළිකලාට පස්සේ.
එතකන් ආණ්ඩුව උත්සාහ කළේ මේ හොරකම යට ගහන්න.
පැහැදිලිවම දැන් ආණ්ඩුව මේ වංචාව 'හැකරෙකුගේ' පිටේ දාලා කර අරින්න හදනවා.
හැබැයි මේ ගණුදෙනුව ගැන හැකරෙකුට විස්තර දුන්නේ කවුද ?
මහා භාණ්ඩාගාරයේ ආරක්ෂිත සහ සංවේදි තොරතුරු හැකරෙකුට දුන්නේ කවුද ?
ගණුදෙනුව සිදුවෙන වෙලාවන් සහ ක්‍රමවේදය ගැන හැකරෙකු දැනුවත් කළේ කවුද ?
මාසයක් තිස්සේ මේ හොරකම යට ගහගෙන හිටියේ කවුද ?
මේ ප්‍රශ්න වලට උත්තර හෙව්වා නම් හැකරෙකුට එහා ගිය මහ මොලකරුවෙකු ගැන තොරතුරු ජනතාවට දැනගැනීමට ඉඩ ලැබේවි.
පැහැදිලිවම මේ ලෝකයේ කිසිම රටක සිදුනොවෙන ආකාරයේ, විහිලු සහගත හොරකමක්.
මේ සඳහා මුදල් අමාත්‍යවරයා වගේම මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වගකිව යුතුයි.
මේ පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් සිදුවිය යුතුයි.
මේ ගණුදෙනුව පසුපස සිටින මහමොලකරුවා රටේ ජනතාවට හෙළිවිය යුතුයි.
වෙනත් රටක මෙවැන්නක් සිදුවූවා නම් ඊලග මොහොතේම මුදල් අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ඉල්ලා අස් වෙලා.
මාලිමාව බලයට ආවේ එවැනි සංස්කෘතියක් ජනතාවට පොරොන්දු වෙලා.
හැබැයි ඒ වෙනුවට අනුර සහ හර්ෂන සූරියප්පෙරුම මාසයක් තිස්සේ මේ හොරකම ජනතාවගෙන් සඟවලා.
දැන්වත් මේ පිළිබඳ ස්වාධීන සහ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුවිය යුතුමයි.
ජනතාවට හැකරෙකුගේ කතාවක් උවමනා නැහැ.
හැකරා සහ මහා භාණ්ඩාගාරය අතර සිටිනා 'හතුරා' කවුද ?
ජනතාවට දැනගැනීමට අවශ්‍යය එයයි.











- සචින් රත්වත්ත.
A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-04-26

මහා භාණ්ඩාගාර මුල්‍ය අපරාධය - 02 .




මහා භාණ්ඩාගාරය බින්ද ‘හැකර්’ කවුදැයි පියවරෙන් පියවර මෙලෙස පැහැදිලි කළ හැකිය.
මහා භාණ්ඩාගාරයෙන් ‘ටර්ම් ලෝන්’ ( ණයක්) සම්බන්ධ ගෙවීමකට අනුමැතිය දිය හැකි එකම පුද්ගලයා ST හෙවත් භාණ්ඩාගාර ලේකම් ය. භාණ්ඩාගාර ලේකම් යනු රට බංකොලොත් භාවයෙන් මුදවා ගත් සමයේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ සිරිවර්ධන මහතා ගෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් කර, එම අසුනේ වාඩි කරනු ලැබූ හර්ෂණ සුරියප්පෙරුම මහතා ය.
මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ ගේ අනුමැතියෙන් ණය ගෙවීමේ අනුමැතිය ලැබිය යුත්තේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අතිනි. ඊලඟට අදාළ කොට්ඨාශයේ (Division) එකේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (ADG) අනුමත කළ යුතුය. ඊලඟට එය ඩිවිෂන් එකේ අධ්‍යක්ෂක (Director) වෙතින් අනුමත විය යුතුය.
ඊලඟට එය කොට්ඨාශයේ සහකාර අධ්‍යක්ෂට (AD) එය ඉදිරි කටයුතු සඳහා ලැබේ. ඔහුගෙන් එය ලැබෙන්නේ සංවර්ධන නිලධාරි (DO) හෝ MSO කෙනෙකු වන විෂය භාර ලිපිකරු වෙතය . මුදල් ගෙවීම සඳහා රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙත ඊමේල් එක ලියන්නේ විෂය භාර ලිපිකරුවන සංවර්ධන නිලධාරි (DO) හෝ MSO කෙනෙකු විසිනි.
ටර්ම් ණය ගෙවීමක හත්වන පියවර ලෙස එම ලිපිය රාජ්‍ය ණය කළමනාකාරණ දෙපාර්තමේන්තුවේ ADG වරයෙකු වෙත ලැබේ. අටවන පියවර එ් සම්බන්ධයෙන් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ (ERD) අධ්‍යක්ෂ වෙත ලැබේ. ඇය විසින් එය නැවත සංවර්ධන නිලධාරි (DO) හෝ කලමනණාකරණ සහකා (MA) කෙනෙකු වෙත ලැබේ.
මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින්, ටර්ම් ලොන් එකක් ගෙවීමට මේ කාර්ය පටිපාටිය/පියවර සම්පූර්ණ විය යුතුය.
සුපුරුදු පරිදි ‍රාජ්‍ය නිලධාරීන් ගණනාවක් යටකර ගනිමින් පහත් තැනින් වතුර ගලා යාමට නියමිතය. නමුත් ‘අපරාධමය නොසැලකිල්ල’ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත පැවරෙන වගකීම කිසි ලෙසකින් හෝ බැහැර කළ නොහැකිය. අමාත්‍යාංශය ලේකම්වරයාගේ අනුදැනුමකින් තොරව ‘ව්‍යාපාරික විද්‍යුත් ලිපියක්’ compromise කර එයට පියවර 13 ක දී, උඩ සිට පහලට නිර්දේශ, අනුමැතිය හා ගෙවීම සිදු කර ඇත්තම් රටේ භාණ්ඩාගාරයක් පැවතිය නොහැකිය. භාණ්ඩාගාරයේ පරිපාලනය පැවතිය නොහැකිය!
ඩොලර් මිලියන 2.5 ක මුදල ඕස්ට්‍රෙිලියාවට යැයි කියා වෙනත් ගිණුමකට යැවීම තනි විද්‍යුත් ලිපියකට අනුව සිදුව තිබේදැයි විමර්ශනයක හෙළිකර ගත යුතුය. දිත්වා කුණාටු සමයේ සිට මෙම හැකර් සහ භාණ්ඩාගාරයේ ඉහළම නිලධාරීන් අතර පෙම් හසුන් සේ ඊමේල් හුවමාරු වි ඇති ද යන්න විමර්ශකයන් සොයා බැලිය යුතුව ඇත.
ණය ගිවිසුමක ගෙවීම් සිදු වන්නේ, ගිවිසුම්ගත ගිණුම් අංකයකට මිස පෙම් හසුන් වැනි ඊමේල් පණිවුඩයකට නොවේ. පුදුමය නම් ගිවිසුමේ අදාළ බැංකු ගිණුම් අංකය තිබිය දී, එය මේ කළමනාකරණ පියවර 13 අතර තැනක දී වෙනස් වූයේ කෙසේද යන්නය.
මේ සිද්ධිය අනාවරණය වීමෙන් පසුව එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරනු ලබන්නේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයෙකි. ඔහු මුලින් ස්ථාන මාරුකර පසුව, වැඩ තහනමට ලක් කර ඇත.
අනෙක් අතට මෙම ගෙවීම ඕස්ට්‍රෙිලියානු රජයට සෘජුව සිදු කරන (රජයෙන් - රජයට) ගෙවීමක් ද යන්න විමර්ශකයින් සොයා ගත යුතුව ඇත. ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව පුද්ගලික ණයකරුවන්ට තවමත් ගෙවීම් කරන්නේ නැත. එනම්, ණය ගෙවන්නේ ‘බහු පාර්ශවීය ණයකරුවන්ට පමණී. එසේ නම් මේ ගෙවීමට අදාළ ක්‍රියාවලිය ආරම්භ වූ තැන සොයාගත යුතුය.
වත්මන් මුදල් අමාත්‍යවරයාට ‘රාජ්‍ය මුල්‍ය’ පිළිබඳ ව්‍යාවහාරික දැනුමක් තිබේ නම් එය අල්ප ය. මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සුරියප්පෙරුම ජීවිත කාලය පුරාම ඕස්ට්‍රෙිලියාව සහ තවත් රටවල් කිහිපය පුද්ගලික අංශය සමඟ වෘත්තීය අත්දැකීම් ඇත්තෙකි. ඔහුට රාජ්‍ය පරිපාලනය ගැන ප්‍රායෝගිය හා ව්‍යවහාරික අත්දැකීමක් නැත. ඒ නිසාම සියළු කටයුතු සඳහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සහ ඉන් පහල සංවර්ධන නිලධාරීන් දක්වා වන පරාසයක නිලධාරීන් වෙතින් යැපීමට සිදුව ඇත.
මේ හැකර් හා ඔහුගේ ක්‍රියාමාර්ගය සොයා ගැනීමට නම් මෙයට පෙරත් මෙවැනි සිදුවීම් හෝ උත්සාහයන් වාර්තා වී තිබේද යන්න විමර්ශකයින් විසින් සොයා ගත යුතුව ඇත. මෙයට සති කිහිපයකට පෙර ඉන්දියාවට ගෙවීමට නියමිත අති විශාල මුදලක් සම්බන්ධ ගණුදෙනුවේ දී ද, මෙවැනිම පටලැවිල්ලක් සිදුවී තිබේ දැයි සොයා බැලිය යුතුව ඇත. එවැනි උත්සායන් වලක්වා ගෙන ඇත්තේ ඉහළම නිලධාරීන් නොව, ඉණිමගේ පහළම නිලධාරීන් බව විමර්ශකයින් තහවුරු කර ගත යුතුය. මේ වංචාව හෙළිවූයේ එවැනි විමසිලිමත් පොඩ්ඩෙකු නිසා ය.
මුදල් රෙගුලාසි 135 මගින් මුදල් ‍බලතල බෙදීම සම්බන්ධ ලියවිල්ල අතට ගත් විට අත්දැකීම් සහිත රාජ්‍ය සේවයේ නිලධාරියෙකුට වැඩේ වැරදී ඇත්තේ කෙසේදැයි අවබෝධ වනු ඇත. මෙය පුද්ගලයෙකු විසින් කළ වරදක් ද? නැතිනම් පද්ධතියේ මෑතක දී සිදු වු වෙනස්කමක් නිසා ඇති වූ තත්වයක් දැයි ගණකාධිකාරීවරයෙකු හෝ බහුතරයක් විශේෂ ශ්‍රේණියේ පරිපාලන සේවා නිලධාරියෙකුට අනුමාන කළ හැකිය.
දැනට වැඩ තහනම් කර ඇති පළමුවැන්නිය සහාකාර අධ්‍යක්ෂිකාවකි. ඇයගේ සේවා ස්ථානයේ කාලය මාස කිහිපයක් පමණී.
දෙවන නිලධාරියා, මේ ගැන පැමිණිල්ල ඉදිරිපත් කළ ණය කලමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ය.
තෙවන නිලධාරියා, සැලසුම් සේවයේ රාජකාරියට අතිශයින් ලැදි, අධ්‍යක්ෂවරයෙකි. ඔහුගේ දැඩි දේශපාලන පක්ෂපාතීත්වය වත්මන් රජයට ය.
සිව්වන නිලධාරිනිය, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහාකාර අධ්‍යක්ෂවරියයි.
මහා භාණ්ඩාගාරය රාජ්‍ය මුල්‍ය කලමනාකරණයේ හදවත යි. එහි බහුතරය ඉහළම සුදුසුකම් සහිත වෘත්තිකයින් විය. ඉතා මෑතක දී එම ව්‍යවහාරය වෙනස් වී ඇත්තේ කුමන අකාරයකට යන්න විමර්ශනකයින් සොයා ගත යුතුව ඇත.
විශේෂයෙන්ම භාණ්ඩාගාරයේ විෂය භාර ලිපිකරු තනතුරු සඳහා පවා නම් නි‍ර්දේශ කිරීමේ බලය පසුගිය කාලය පුරාම තනි නිලධාරියෙකු අත පැවතියේ ද යන්න ත්, එම පුද්ගලයා කවුරුන්ද යන්නත් විමර්ශකයින් සොයා ගත යුතුය.
සැබෑ හැකරා හදුණාගැනීමට එය උපකාර විය හැකිය.
මේ සියළු කරුණු අනාවරණය කර ගන්නට වසර 72 ක් පුරා මහා භාණ්ඩාගාරයේ ගෙවීම් ගැන සොයන්නට කොමිසමක් පත් කළ යුතු නැත.
රාජ්‍ය සේවයේ බහුතරයක් නිලධාරීන් දක්ෂයන් ය. එම දක්ෂතාවය වෙනුවට ‘පක්ෂපාතීත්වය’ ප්‍රමුඛ සුදුසුකම බවට පත් වූ විට ඇති විය හැකි ව්‍යසනය භාණ්ඩාගාරය හැකරුන් අතට පත්වීමය.
ලංකාවට ටර්ම් ලෝන් ගෙවිය යුතුව ඇති රාජ්‍යයන් හා ආයතන ගණන සියයකට වඩා නැත. ඉස්සර මේ ආයතනයන් හි සේවය කළේ එම ගෙවීම් සිදු කරන අනෙක් රටේ, ආයතනයේ නිලධාරියාට නම කියා ආමන්ත්‍රණය කළ හැකි, ඔවුන් සමඟ අධ්‍යාපනය ලැබූ, පුහුණුව ලැබූ හා සම ව කටයුතු කිරීමේ පරිචයක් සහිත පිරිසකි.
සැබෑ හැකරයා දක්ෂතාවය වෙනුවට පක්ෂපාතීත්වය මුලික සුදුසුකම බවට පත් කළ ‘මහමොළකරුවා' ය.

රංජිත් කීර්ති තෙන්නකෝන්

A day in the life 
ජීවිතයෙන් දවසක් .