Success is getting what you want. Happiness is wanting what you get.>

සාර්ථකත්වය යනු ඔබ කැමති දේ ලබා ගැනීමයි. සතුට යනු ඔබට ලැබෙන දෙය රැක ගැනීමයි.

Mind precedes all knowables, mind’s their chief, mind-made are they. If with a corrupted mind one should either speak or act dukkha follows caused by that, as does the wheel the ox’s hoof.

(වේදනාදි චෛතසික) ධර්‍මයෝ සිත පෙරටු කොට ඇතියහ. සිත ශ්‍රේෂ්ඨ කොට ඇතියහ. සිතින් ම උපදනාහ. ඉදින් පහන් සිතින් කියන්නේ නම් හෝ කරන්නේ නම් හෝ ඒ හේතුවෙන් සැපය ඔහු කැටුව යෙයි. නොහැර කැටුව යන සෙවණැල්ල මෙනි.

I think nature’s imagination is so much greater than man’s, she’s never going to let us relax.

ස්වභාවධර්මයේ පරිකල්පනය මිනිසාගේ පරිකල්පනයට වඩා බෙහෙවින් වැඩි ය, ඇය කිසි විටෙකත් අපට විවේකීව සිටීමට ඉඩ නොදේ.

But I say to you, Love your enemies and pray for those who persecute you, so that you may be sons of your Father who is in heaven; for he makes his sun rise on the evil and on the good, and sends rain on the just and on the unjust.

නමුත් මම ඔබට කියමි, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න, ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න, එවිට ඔබ ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන්ගේ පුත්‍රයෝ වන්නහුය. මක්නිසාද ඔහු නපුරටද යහපත් අයටද තම හිරු උදා කරවනසේක.

“….so whenever guidance comes to you from Me, then whoever follows my guidance, then there will neither be any fear on them nor will they grieve.” Ayat 38

"....එබැවින් මා වෙතින් ඔබට මගපෙන්වීම පැමිණෙන විට, කවුරුන් හෝ මාගේ මඟ පෙන්වීම අනුගමනය කරයිද, එවිට ඔවුන් කෙරෙහි කිසිඳු බියක් හෝ ශෝකයක් ඇති නොවේ." ආයට් 38.

Friday, March 08, 2024

කාන්තා දිනය.

ක්ලාරා සෙට්කින්  - 1910







 

අද ජාත්‍යන්තර කාන්තා දිනයයි.

 ජාත්යන්තර දිනයක් බවට පත් කිරීම පිළිබඳ අදහස ඉදිරිපත් කළේ, කොමියුනිස්ට් ක්රියාකාරිනියක සහ කාන්තා හිමිකම් පිළිබඳ නීතිඥවරියක වූ ක්ලාරා සෙට්කින් නම් කාන්තාව ය. ඇය එම යෝජනාව 1910 වසරේදී කෝපන්හේගන්හි පැවති වැඩ කරන කාන්තාවන් පිළිබඳ ජාත්යන්තර සමුළුවකදී ඉදිරිපත් කළා ය. එම සමුළුවට රටවල් 17ක් නියෝජනය කරමින් කාන්තාවන් 100 දෙනෙකු සහභාගි වූ අතර,ඇයගේ යෝජනාව ඒකමතිකව පිළිගැනිණි.

කෙටියෙන් IWD ලෙස හැඳින්වෙන ජාත්යන්තර කාන්තා දිනය, එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) විසින් පිළිගත් වාර්ෂික උත්සවයක් බවට පත්වීම දක්වා කම්කරු ව්යාපාරය හරහා වර්ධනය වූවකි.

එහි මුල් බීජ රෝපණය වූයේ, 1908 වසරේදී කාන්තාවන් 15,000ක් වැඩ කරන පැය ගණන අඩු කිරීම, වඩා හොඳ වැටුප් සහ ඡන්ද අයිතිය ඉල්ලා නිව් යෝර්ක් නගරය හරහා පෙළපාළියක නිරත වීමත් සමග ය. ඉන් වසරකට පසු ඇමෙරිකාවේ සමාජවාදී පක්ෂය පළමු වරට ජාතික කාන්තා දිනය ප්රකාශයට පත් කළේ ය.

1911 වසරේදී එය පළමු වරට සමරන ලද්දේ, ඔස්ට්රියාව, ඩෙන්මාර්ක්, ජර්මනිය සහ ස්විට්සර්ලන්තය යන රටවල ය.ජාත්යන්තර කාන්තා දිනයේ සියවස් සැමරුම 2011 වසරට යෙදී තිබිණි.

මෙය නිල වශයෙන් ප්රකාශයට පත් වූයේ, 1975 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම දිනය සැමරීමට පටන් ගත් පසුව ය. 1996 වසරේදී මේ සඳහා වන පළමු තේමාව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හඳුන්වා දුන් අතර, එම තේමාව වූයේ, "අතීතය සැමරීම සහ අනාගතය සැලසුම් කිරීම" (Celebrating the Past, Planning for the Future) .

ජාත්යන්තර කාන්තා දිනය සමාජය තුළ, දේශපාලනය සහ ආර්ථික විද්යාව යන ක්ෂේත්රයන්හි කාන්තාවන් කෙතරම් ඉදිරියට පැමිණ තිබේ ද? යන්න සැමරීමේ දිනයක් බවට පත්ව ඇති අතර, වත්මන් දේශපාලන මූලයන් අදහස් කරන්නේ, අඛණ්ඩ ස්ත්රී පුරුෂ සමාජභාවය පිළිබඳ අසමානතාව සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා වැඩවර්ජන සහ විරෝධතා සංවිධානය කරන බව ය.

 ජාත්යන්තර කාන්තා දිනයක් වෙනුවෙන් ක්ලාරා ඉදිරිපත් කළ යෝජනාවේ එය සමරන නිශ්චිත දිනයක් ගැන සඳහන් නොවීය.

1917 වසරේදී රුසියානු කාන්තාවන් "පාන් සහ සාමය" ඉල්ලමින් නිරත වූ යුද්ධ කාලීන වැඩවර්ජනය තෙක් එය විධිමත් තත්ත්වයක නොපැවතිණි. වැඩවර්ජනය ඇරඹී දින හතරක් ගත වෙද්දී සාර් රජුට බලය අත්හැරීමට බල කෙරුණු අතර ඉන්පසු පිහිටවූ තාවකාලික රජය කාන්තාවන්ට ඡන්දය ප්රකාශ කිරීමේ අයිතිය ලබා දුන්නේ ය.

රුසියාවේ එවකට භාවිතයේ පැවති ජූලියන් දින දර්ශනයට අනුව කාන්තා වැඩවර්ජනය ආරම්භ වූ දිනය පෙබරවාරි 23 ඉරිදා ය. ග්රෙගරියානු දින දර්ශනය අනුව එම දිනය, මාර්තු 8 වන දා විය. අද දිනයේ එය සමරන්නේ, එහෙයිනි.

 

දම් පාට බොහෝ විට ජාත්යන්තර කාන්තා දිනය සමඟ සම්බන්ධ වන්නේ එය 'යුක්තිය සහ අභිමානය' සංකේතවත් කරන බැවිනි.

ජාත්යන්තර කාන්තා දිනය වෙනුවෙන් ඇති වෙබ් අඩවියෙහි දැක්වෙන පරිදි, ජාත්යන්තර කාන්තා දිනයේ වර්ණ වන්නේ, දම්, කොළ සහ සුදු ය.

"දම්පාටින් යුක්තිය සහ ගෞරවය සංකේතවත් වෙනවා. කොළ පාටින් සංකේතවත් වෙන්නේ, අපේක්ෂාව. මතභේදාත්මත් සංකල්පයක් වුණත්, සුදු පැහැය පාරිශුද්ධත්වය නියෝජනය කරනවා.

මේ වර්ණ භාවිතයේ මූලාරම්භය වුණේ, 1908 වසරේදී එක්සත් රාජධානියේ කාන්තා සමාජ හා දේශපාලන සංගමය (WSPU) යි,

කාන්තා දිනය සැමරෙන්නේ කෙසේ ද?

ජාත්යන්තර කාන්තා දිනය රුසියාව ඇතුළු බොහෝ රටවල ජාතික නිවාඩු දිනයක් වන අතර, එහිදී මාර්තු 8 වන දිනට ආසන්න දින තුනක් හෝ හතරක් තුළ මල් අලෙවිය දෙගුණ වේ.

චීනයේ, රාජ්ය කවුන්සිලයේ උපදෙස් පරිදි මාර්තු 8 වන දා බොහෝ කාන්තාවන්ට දින භාගයක නිවාඩුවක් ලැබේ.

la Festa della Donna ලෙස හැඳින්වෙන ඉතාලියේ ජාත්යන්තර කාන්තා දිනය සමරනු ලබන්නේ, මිමෝසා මල් තිලිණ කිරීමෙනි. එම සම්ප්රදායේ මූලාරම්භය පැහැදිලි නැති වුව ද, දෙවන ලෝක යුද්ධයෙන් පසු රෝමයේදී ආරම්භ වූ බවට විශ්වාස කෙරේ.

ඇමෙරිකාවේ, මාර්තු මාසය යනු කාන්තාවන්ගේ ඉතිහාස මාසය යි. සෑම වසරක ම නිකුත් කරන ජනාධිපති ප්රකාශයකින් අමෙරිකානු කාන්තාවන්ගේ ජයග්රහණ අගය කෙරේ.

BBC NEWS --සිංහල
A day in the life

Thursday, March 07, 2024

ඌරුවරිගේ වන්නිලැත්තෝ

මං මේ කැලේ ඉපදුන නිකම්ම නිකං වැද්දෙක්. මං හිතන්නේ නැහැ මං කියන දේවල් ලෝකේ මිනිස්සු පිළිගනියි කියලා.
මේ මහ පොළොවේ කොතනැක හරි අපේ දරුවන්ගේ ළපටි හුරතල් අත්වලින් එකම එක පැලයක් හිටවලා, ඇටයක් හිටවලා, ඒ හැදෙන ගහට තමන්නේ යහළුවෙකුට වගේ, තමන්ගේ සහෝදරයෙකුට වගේ ආදරය කරන්න අපේ දරුවන්ට කියා දෙමු.
මගේ වයස අවුරුදු 65 යි. මේ 65 තුළ පසුගිය කාලේ මම බොහෝ දේවල් දැක්කා. මට අවුරුදු 7-8 කාලේ ඉඳලා දැක්ක දේවල් මට හොඳට මතකයි. මම කුඩා කාලේ ජීවත් වුණ ලෝකෙයි, අද ලෝකෙයි අතර තියෙන්නේ ලෝක දෙකක වෙනසක්.
එදා පායපු ඉර හඳ නෙවෙයි අද පායන්නේ. එදා දැක්ක අහස නෙවෙයි අද දකින්නේ. එදා හිටපු මිනිස්සු නෙවෙයි අද ජීවත් වෙන්නේ. මේ සියල්ල ගත්තහම මට හිතෙන්නේ මම ජීවත් වෙන්නේ ලෝක දෙකක කියලයි. ඒත් අපේ ආත්තිල ඇත්තෝ, මුත්තිල ඇත්තෝ (අත්තා මුත්තා) ජීවත් වුණෙත්, මිය ගියෙත් එකම ලෝකයකමයි.
අවුරුදු 60 ක් තරම් කෙටි කාලයකදී මේ වගේ වෙනසක් වෙන්න හේතුව මිනිස්සුන්ගේ ඔලූගෙඩි නරක්වීම. අපි ඉස්සර කැලේට ඇතුල්වුණේ ගහක අත්තක් තව ගහක අත්තක එල්ලලා. අපේ පරපුරේ මිය ගිය නැයින්ට වැඳලා අවසර අරගෙන. ගහක අත්තක් කැපුවේ ගහට වැඳලා. බිම හෑවේ වැඳලා අවසර අරගෙන. පොළොවේ ඇට හිටවන්නේ අවසර අරගෙන.
ඒ කාලේ අපි ඉරට කිව්වේ ඉර දෙය්යෝ කියලා. හඳට කිව්වේ හද දෙය්යෝ කියලා. වැස්ස, පොළාව, සුළං අපි සැලකුවේ දෙවිවරු හැටියට. ගංගා, කඳු ඇල දොලවල අරක්ගත් යක් යකින්නන් අපි පිදුවා. අපේ ඇඟට, ඇහට නොපෙනුනාට ඒවාට ලොකු බලයක් තියෙනවා කියලා ඒ කාලේ අපි හිතුවා. ඒක අපිට දැනුනා. ඒ නිසා ඒවාට වඳිමින්, පුදමින් ගරු කරනකොට, ඒවා රකින කොට, ඒ බලය අපිට ලැබුණ බව අපිට දැනුනා.
ඉස්සර අපිට උවමනා කෑම-බීම, ආරක්ෂාව විතරක් නොවෙයි සතුටත් ඉබේම ලැබුණා. ඒ නිසා අපි නිදහසේ ජීවත් වුණා. ඒත් අද? අපි ඒ සඳහා කොච්චර මහන්සි වෙනවද? ඒ කාලේ අපි කැලේ හැම තැනක්ම, හැම දෙයක්ම අපිට ඕන හැටියට පාවිච්චි කළේ නැහැ. ලොකු ගස් පේලියක දුනුහන (දුන්නක සලකුනක්) කොටලා සීමාවක් හදාගෙන ඒක ඇතුලෙයි අපි දඩයම් කළේ. මී කැඩුවේ. අල හැරුවේ. ඒක ඉඩ අපිට හොඳටෝම ඇති වුණා.
අපි හේන් කළා. අපේ හේනේ සීමාව වුනේ මැද ඉඳලා කෙළවරට ගලක් විසිකරන දුර විතරයි. අපි හේනකට හොයාගත්තේ මහා ගස් තියෙන ලොකු කැලෑවක් නෙවෙයි.
අපි කඳු මුදුන්, කදු බෑවුම්, උල්පත්, වතුර පාරවල් ලඟ, අඩි පාරවල් ලඟ, බුරුල් වැලි තියෙන පොළොව වගාවට තෝරා ගත්තේ නැහැ. අපි එක යායට හේන් ගොඩක් හදන්නෙත් නැහැ. අපේ හේන් දෙකක් අතර හූවක දුර කැලෑවක් ඉතුරු කළා. ඊලඟ අවුරුද්දේ ඒ හේන අපි වවන්නේ නැහැ. අපි ඉන් ඒහායින් අලූත් හේනක් සොයාගන්නවා. අවුරුදු හතකට පස්සෙයි අපි ආයෙමත් පරණ හේනට එන්නේ. "අපි දඩයම් කළෙත් ක්රමේකට කවදාවත් අබ්බගාත සතෙක්, ගැබ්බර දෙනෙක්, පැටියෙක් මරන්නේ නැහැ. කවදාකවත් රැලේ යන, දිය බොන, වල් කන, සෙල්ලම් කරන වෙලාවක ඒ සතාව මරන්නේ නැහැ. වේලට හරියන සතෙක් මිසක්ලොකු සතෙක් මරණ එක අපි කරන්නේ නැහැ. වැඩුණු පිරිමි සතෙක් මරණ එක තමයි අපේ හොඳම දඩයම."
"අපි දන්නවා කැලේ තියෙන කිසිම දෙයක් අපිට අයිති නැති බව." ඒවා අයිති සත්තුන්ට. පරිසරයට. අපිට කැලෙන් ලැබෙන දෙයින් මුල් කොටස යකුන්ට පුදන්න ඕනේ.
වැඩිපුර දේවල් ගන්නවට පරිසරයත්, නෑ යක්කුත් අපිත් එක්ක අමනාප වෙනවා. ඊට පස්සේ අපිට කිසිම දෙයක් දෙන්නේ නැහැ. ලෙඩ රෝග හදනවා. කැලේ සත්තු ලවා අපිට කරදර කරනවා. සමහර විට අපිව මරා දානවා. ඕවා අපි දන්නේ අපේ පරම්පරාවෙන්.
අපේ නෑ ඇත්තෝ විතරක් නෙවෙයි, මේ රටේ ලෝකේ ඉස්සර හිටිය මිනිස්සු මේ විත්තිය දැනගෙන හිටියා. ඒ අයටත් අපිට වගේම සිරිත් විරිත් තිබුණා. ඒත් පස්සෙන් පහු ඒ අය ඒ සිරිත් විරිත් අමතක කෙරුවා. මිනිස්සු සත්තුන්ගෙන්, කැලෙන්, අව්වෙන්, වැස්සෙන් සුළගින් ලැබුණ දේවල් මගේ කියලා බදා ගන්න පටන් ගත්තා. මහ පොළොවේ වැට කොටු බැඳලා සීමා හදා ගත්තා. සිරිත් විරිත් අතහැරලා ඉවක් බවක් නැතිව හූ දෙක තුනේ දුරට ගස් කොළන් පිරුණු කැලෑව කපලා දැම්මා. ඒක දවසකට ඇහැට පේන නොපෙනෙන සත්තු අනන්ත අප්රමාණ ප්රමාණයක් මරලා දැම්මා. ඔය විකාර කෙරුවාට මිනිස්සු කියන්නේ ”දියුණුව” කියලා.
මට ඒ වචනේ ඇගෙන කොටත් හරි අපුලක්, පිළිකුලක් දැනෙනවා. තරහක් දැනෙනවා. අපේ ගතිගුණ සිරිත් විරිත් විතරක් නෙවෙයි අපිවත් නැති කළ හතුරා තමයි ‘‘දියුණුව’’. මේක කරේ තියාගන්නඅය සමහර වෙලාවට ඒකේ ප්රතිඵල වලින් මිදෙන්න ක්රමයක් හොයාගත්තා. අහක හිටපු අපිට ගැලවීමක් නැහැ.
"දියුණුවේ” විපාක ඔක්කොම විඳින්න වුනේ අපිට. නිදහසේ ඉපදිලා නිදහසේ මැරිච්ච අපිට සිද්ධ වුණා අනිත් අයට අතපාල ජීවත් වෙන්න. තවත් වෙලාවක අපිට වුණා අනිත් අයගේ බැල මෙහෙවර කරන්න. ඒක තමයි දියුණුවෙන් අපිට ලැබුණා දේ. මේ විකාර වලින් මිනිස්සුන්ගේ ඔලූව නරක් වෙන්න කලින්, කලට වැස්ස වැස්සා. කාලෙට පැව්වා. හරියට දිනේට වෙලාවට හුළං හැමුවා. අපි හඳ, තරු, ගහකොළ දිහා බලලා හෙට වෙන දේ ගැන කිව්වා. ඒ අනුව අපේ එදිනෙදා ජීවිතේ හදාගත්තා. ඒත් අද වහින්න ඕනේ කාලෙට පායනවා. පායන්න ඕනේ කාලෙට වහිනවා. වෙන දේ ගැන හිතාගන්නවත් බැහැ.
ඉස්සර අපි හැමෝම සතා සීපාවට ආදරය කළා. උන්ව හුරතල් කළා. උන්ව ආරක්ෂා කළා. දැන් මිනිස්සුන්ට ඒ සේරම පේන්නේ හතුරෝ වගේ. සත්තු නොදැක ඉන්න, උන්ගෙන් ඈත් වෙන්න හදනවා.
"මිනිස්සු දැන් මුලූ ඇඟම රෙදි වලින් වහගෙන ශීත කාමරවල හැංගිලා. සත්තු වෙනුවට සත්තුන්ගේ රූප බිත්තියේ අලෝගෙන. ගස් කපලා දාලා ගෙවල් ඇතුලේ බොරුමල් (ප්ලාස්ටික්) ගස් ගෙනත් තියා ගන්නවා."
"පොළාවට පොහොර කියලා වස විස ඉහලා ඒක වී ඇටයක් ගන්න හිරිකිතයක් නැතිව සත්තු කෝටි ප්රකෝටි ගානක් මරනවා."
මං හීනෙකින්වත් හිතුවේ නැහැ මෙහෙම ලෝකයක්. ඉස්සර අපි කෑම බීම ආරක්ෂාව ඉල්ලූවේ කිරි කොරහ නටල අපේ නෑ යකුන්ගෙන්. අද අපිට විනාශ කරපු මිනිස් ඇත්තන්ගෙන්ම අපේ කෑම වේල ඉල්ලන්න වෙලා. තමන්ගෙම දෙමාපියන් මහළු වුනාම අනාථ නිවාසෙට දාන ඔය මිනිස්සු අපිට කන්න දෙයි කියලා කොහොමද විශ්වාස කරන්නේ.
"මං මේ කැලේ ඉපදුන නිකම්ම නිකං වැද්දෙක්.මං හිතන්නේ නැහැ මං කියන දේවල් ලෝකේ මිනිස්සු පිළිගනියි කියලා." ඒත් දන්න දේ, දැනෙන දේ, හිතන දේ කියන්න ඕනේ. දැන් වෙච්ච දේ වෙලා ඉවරයි. ගහ කොළ ඉවරයි. සතා සීපාව ඉවරයි. ඊලඟට මිනිස්සු.
දැන් එක එක හුළං එනවා. කඳු කඩා පාත් වෙනවා. මුහුදු ගොඩ ගලනවා. ගංගා ඇල දොළ උතුරනවා. දන්නෙවත් නැති අලූත් ලෙඩ හැදෙනවා. මේක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. මිනිස්සු ලෝකෙට කරපු කරන විනාසෙට හම්බ වෙන උත්තර තමයි මේ. පුදුම වෙන්න දෙයක් නැහැ.
දැන් අපි එක් එක්කෙනාට දෙස් දෙවොල් කියලා වැඩක් නැහැ. දියුණු වෙන්න ගිහින් මේ කරපු විනාසේ නවත්තමු. අපි ආපහු අත්තලාගේ මුත්තලාගේ ලෝකෙට යමු. නැත්නම් "මේ ලෝකේ මිනිස්සු කියලා සත්තු ජාතියක් ඉපදිලා අනිත් අයත් මරාගෙන ඒ සත්තු මැරුණා කියලා පිට ලෝක වල අය කියයි."
මේ වැඩිහිටි අයට මොනව කිව්වත් වැඩක් නැහැ. අපි අපේ දරුවන්ට ඇත්ත කියමු.
"අපි වැඩිහිටියෝ වුණාට මේ ලෝකේ ඉපදුන ලොකුම මෝඩයෝ අපි කියලා අපේ දරුවන්ට කියමු."
අපි කරපු මෝඩකම් නොකර තමන් කව්ද කියලා තෝරාගෙන, තමන්ට සෑහෙන තරමට ජීවත් වෙන්න ඒ අයට උගන්වමු. තමන් ජීවත් වෙන ගමන් අනිත් අයටත් ජීවත් වෙන්න ලෝකයක් ඉතුරු කරන හැටි ඒ අයට තේරුම් කරමු.
මේ මහ පොළොවේ කොතනැක හරි අපේ දරුවන්ගේ ළපටි හුරතල් අත්වලින් එකම එක පැලයක් හිටවලා, ඇටයක් හිටවලා, ඒ හැදෙන ගහට තමන්නේ යහළුවෙකුට වගේ, තමන්ගේ සහෝදරයෙකුට වගේ ආදරය කරන්න අපේ දරුවන්ට කියා දෙමු. ඉරට, හඳට, තරුවලට, ගහට, කොළයට, මල්වලට, ගගට, ඇලට, විලට, වැවට විතරක් නෙවෙයි හීතලට, උණුසුමට, සුළඟට පවා ගරු කරන්න අපේ දරුවන්ට කියා දෙමු.
"එහෙම කළොත් අපේ පුංචි පැටව් අමාරුවෙන් හරි මේ ලෝකේ ආපහු හදාගනියි. ඒක දකින්න අපිට වාසනාව නැති වුනත් අපේ දරුවන්ට අපේ පුංචි කාළේ සතුට සැනසීම ලැබෙන එක ගැන හිතලා අපි සතුටු වෙමු."
ඌරුවරිගේ වන්නිලැත්තෝ


A day in the life

Wednesday, March 06, 2024

සොඳුර නුඹ ,මා තනිකළා.
















එදා වාගෙම අදත් පුරහඳ කඳු වළල්ලට උඩින් පායා
මුදා හළ දිගු නීල වරළස සිකිපිළක් සේ මැවේ ඡායා
විදා දෙඅදර මඳ හසින්මා නිවා සැනසූ කිඳුරු සේයා
දෙවා දුක් ගිනි ගිරිහිසෙන් පැන සැඟව ගියෙ දෝ ලෙසින් මායා.
ගොකටු කිරි හා සාදිලිංගම් පාට තැවරූ නුඹේ සිතුවම්
බුහුටි ලෙස පින්සලේ හරවා ඉනේ රැළි පෙළ සැකසු අන්දම්
නුදුටුවාසේ වරින්වර නුඹ ඌට හෙළනා කෝළ සරදම්
සතුටු මුහුණ ක් මවාගෙන මා බලා සිටියා එවැනි විගඩම් .
නිරතුරේ නුඹ ,නයිදෙ සිත්තර හා මනාපෙන් දොඩනු ඇසිලා
ඇතොවුරේ සිටි බොළඳියන්ගේ මුසාබස් දෙසවනේ වැටිලා
සිහිකරේ "ඌ එකට දුව පැන ගමේ එකටම හැදුණෙ "කියලා
සිරකරේ නුඹ කුටිය ඇතුළේ ඉරිසියාවක් හිතේ මැවිලා .
මෙහෙසියක් කර ගම් තුලානෙන් මාළිගාව ට කැන්ද ආවට
ලැදිකමක් වූ පළමු ප්රේමය ,නයිදෙටයි පුද කළේ ඇත්තට
ඔවදනක් දී උස් හඬින් මා තිට කතාකෙරුවේ සෙනේහෙට
පාපයක් නොවැ නයිදෙ එළවා දැම්ම නම් සිතුවමත් බාගෙට .
වඳින්නට යෙහෙළිය න් හා නුඹ ගියේ පිදුරංගල බලා
රිදෙන්නට ඕනෑ තරම් ඇති පපුතුරේ දුක් උහුළලා
සමුගන්ට පෙර මා දෙපා මත කඳුලු බිඳුවක් තවරලා
පනින්නට හිත හහදාගත්තද....සොඳුර නුඹ ,මා තනිකළා.
රෝ.සි.
වළප = වැළපිල්ල
සිකිපිළ= මොණරපිල
සාදිලිංගම් =රතු වර්ණය සඳහා භාවිතා කළා.
ගොකටු කිරි = කහපාට සඳහා යොදන ලදී
.සිත්තර නයිදෙ =චිත්ර ශිල්පියා
ඇතොවුර= අන්තහ්පුරය
2024.03.05.

A day in the life

Tuesday, March 05, 2024

සෘෘණ සහ ධණ



 







උක්දඩූ රොඩු වෙනවා එහි පැණි ගත් දාට

හැර මිටි විසිවෙනවා හෙල පහුවූන දාට

ඉණිමග අමතකයි ඉහලට නැගිදාට

සැලකිලි අඩුවෙයි පැන්ෂන් ගියදාට


 ලෙඩ දුක් හැදෙයි අපි පූරුවෙ කල පවට

පැන්ෂන් පඩිය දියවෙයි ෆාමසි වලට

නෑයොත් දුරස් වෙයි අතමිට හිගකලට

පල නැති රූක් වෙතට ගල් ගසනුයෙ කුමට

 

පාළුයි මහගෙදර පෙර පිිරිලා තිබුනු

සුවදයි හැමතැනම දරුවන් හා බැදුනු

රිදවයි විටින් විට සිත දුක හා ඇදුනු

ඉවසනු බැරිය පාළුව තනිකම රැදුනු


 පෙර කල හිටිය මිතුරන් සැම දුරස් වෙලා

ඉදහිට හමුුවුුනත් යයි දැන් ඉවත බලා

දුරකතනයත් දැන් උන්ගේ නිහඩ වෙලා

කාලය ගොළුයි බිහිරියි ලොව වෙනස් වෙලා

 -Face book

ධනාත්මකව.

 පැණි ගත් පසුව උක් රොඩු රකිනුයෙ කුමට

හැරමිටි විසි කෙරෙයි හෙල නැඟලා බිමට

ඉණිමග කොහොම ගන්නෙද නැඟි පසු කරට

සැනසුම ඉතිරිවෙයි ඉසිඹුව ලත් කලට

 

ගඟකින් එතෙර වන්නට ඕනෑ ඔරුවක්

මහමඟ යන්න වේවිද ඒකට හුරුවක්

ඔරුකඳ යම් දිනෙක වූයේ නම් දිරුවක්

අළුතින් ඇවැසි වෙයි හයිහත්තිය දැරුවක්

 

ඉදිරිය සිතා කය වෙහෙසා නිසි ලෙසට

ඇවිදීමවත් කළහොත් පෙරයම් කලට

සුවපත් බවෙන් මුදලත් ඉතිරිව අතට

නෑයොත් නොනෑයොත් එනු ඇත නුඹ ළඟට

 

පාලුව හැරයන්න මහගෙදරට පැමිණී

දොඩමළු වන්න නිරතුරු ඔබ හා ඇඹෙණී

දරුවන් උස් තැනෙක රඳවා ඇති බැවිනී

දිවියම ගෙවෙනු ඇත ඒ පිළිබඳ තුටිනී

 

නුඹ දොම්නසින් ගතකරනා විට දිවිය

නෑ මිතුරන්ට සැනසුම නොකළැකි මැවිය

මියෙනා තුරුම සතුටින් සිටිනා සවිය

රැකගත යුතුම සම්පත දිරියෙහි අවිය

 

පී.ජී. ආරියපාල 



A day in the life

Monday, March 04, 2024

ඉගෙනගත් කාලයටයි මිළ.

යෝධ නෞකාවක එන්ජිමක් කැඩී ගොස් කිසිවෙකුට එය අලුත්වැඩියා කිරීමට නොහැකි වූ නිසා ඔවුන් වසර 40 කට වැඩි පළපුරුද්දක් ඇති යාන්ත්රික ඉංජිනේරුවරයෙකු කුලියට ගත්හ.
ඔහු ඉහළ සිට පහළට එන්ජිම ඉතා පරිස්සමින් පරීක්ෂා කළේය. සියල්ල නිරික්ෂණය කර අවසන් වූ පසු ඔහුගේ ආම්පන්න ඇති බෑගය විවෘත කර කුඩා මිටියක් එළියට ගත්තේය.
ඔහු යම් ස්ථානයකට මෘදු ලෙස තට්ටු කළේය ඔහු වැඩි කාලයක් නොගෙන විනාඩි 20කට පසු නැවේ එන්ජිම නැවත පණ ගන්වා ගැන්වීමට ඔහු කටයුතු කලේය.
සතියකට පසු ඉංජිනේරුවරයා සඳහන් කළේ යෝධ නෞකාව අලුත්වැඩියා කිරීම සඳහා තමන්ගේ මුළු වියදම ඩොලර් 20,000 ක් බවයි.
"කුමක් ද?!"
අයිතිකරු පැවසීය.
"ඔබ කිසිවක් කර නැත. අපට සවිස්තරාත්මකව බිල්පතක් දෙන්න."
පිළිතුර සරලයි:
මිටියෙන් තට්ටු කරන්න: $ 2 යි.
තට්ටු කළ යුතු ස්ථානය සහ කොපමණ තට්ටු කළ යුතු වාර ගාන දැන ගන්න:
$ 19,998 යි.
කෙනෙකුගේ විශේෂතාව සහ අත්දැකීම් අගය කිරීමේ වැදගත්කම තේරුම් ගන්න මන්ද ඒවා, අත්හදා බැලීම් සහ කඳුළු වල ප්රතිපල වන බැවිනි.
වැඩිදුරටත් ඔහු මෙසේ පැවසුවා මම විනාඩි 30 කින් වැඩේ අවසන් කලොත් එය අවසන් කරන්න ඉගෙන ගන්න මට අවුරුදු 20 ක් ගතවී තිබෙනවා.
ඔබ මට ගෙවන්නේ මම වැඩේ අවසන් කරන්න ගත් කාලයට නොවේ ඒ වැඩේ අවසන් කරන්න මම ඉගෙනගත් කාලයටයි ඔහු සදහන් කරා.
මිනිසෙක්ට යම් කටයුත්තක් ඉක්මනින් අවසන් කරන්න හැකි වීමට නම් එය ඉක්මනින් සිදුකිරීමට බොහො දේවල් ඉගෙන ගැනීමට සිදුවේ. ඒ ඔහුගේ හැකියාව සහ දක්ෂතාවයයි. කිසිම දිනෙක කිසිවකුගේ හැකියාවක් සහ දක්ෂතාවයක් අඩුවෙන් තක්සේරු නොකරන්න.
උපුටා ගැනීමකි


A day in the life

Sunday, March 03, 2024

ලෝක වනජීවි දිනය


ලෝක ජනතාවගේ අවධානය යොමු කළ යුතු ගෝලීය වශයෙන් වැදගත් වූ විවිධ කරුණු කාරණා සහ ගැටලූ අවම කිරීම අරමුණු කර ගෙන එහි වැදගත්කම පිළිබඳව ලෝක ජනතාව අවස්ථානුකූලව දැනුවත් කිරීම සහ ඒ වෙනුවෙන් ක‍්‍රියාකිරීමට බල කිරීම සඳහා වාර්ෂිකව විවිධ දිනයන් සහ සති ප‍්‍රකාශයට පත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පියවර ගෙන තිබේ.

වනජීවී සම්පත තිරසර ලෙස භාවිතයට ගැනීම පිළිබඳව ලෝක ජනතාවගේ අවධානය යොමු විය යුතු මෙන්ම ඒ සඳහා ක‍්‍රියාකාරීව දායක විය යුතු වේ. ගහකොළ සතා සීපාවගෙන් ද ඇළ දොළ ගංගාවන්ගෙන් ද පිරිසිදු වාතාශ‍්‍රයෙන්ද සාරවත් පොළවකින්ද තොරව මිනිසාගේ පැවැත්ම ගැන සිතිය නොහැකිය. අපට ජීවත් වීමට ඇවැසි හුස්ම පොද ලබා දෙන්නේද ජලය සහ ආහාර ලබා දෙන්නේද ඉඳුම් හිටුම් සහ බෙහෙත් හේත් ලබා දෙන්නේ ද ස්වාභාවික පරිසරයයි. එවන් වූ ස්වභාවික පරිසරය ආරක්ෂා කර ගැනීම පිළිබඳව ලෝක ජනතාවගේ අවධානය වාර්ෂිකව යොමු කිරීම සඳහා එක්සත් ජාතීන් විසින් දිනයන් ගණනාවක් ප‍්‍රකාශයට පත් කර තිබේ. ඒ අතර මාර්තු 03 දිනට යෙදෙන ලෝක වනජීවී දිනය ද සුවිශේෂි වේ. මිනිසාගේ පැවැත්ම උදෙසා වනජීවීන්ගෙන් සිදුවන පාරිසරිකමය, ජානමය, සමාජීයමය, ආර්ථිකමය, විද්‍යාත්මක, අධ්‍යාපනිකමය, සංස්කෘතිකමය සහ සෞන්දර්යාත්මක වටිනාකම් අගැයීමට ලක් කරමින් එක්සත් ජාතීන්ගේ 68 වන මහා සමුළුවේදී මාර්තු 03 ලෝක වනජීවි දිනය ලෙස ප‍්‍රකාශයට පත් කෙරිණි.

ලෝකයේ වනජීවි සම්පත දිනපතා ලක්ෂ ගණනින් මිනිසාගේ භාවිතය සඳහා විනාශයට පත් වේ. ආහාර, ඇඳුම් පැලඳුම්, ඉඳුම් හිටුම්, බෙහෙත් හේත්, රූපලාවන්‍ය, මෝස්තර, පාරිසරික සංචාරය සහ විනෝදාස්වාදය සඳහා මෙලෙස වනජීවීන් විනාශයට පත් වන අතර ජීවී විශේෂ දස දහස් ගණනින් දෛනිකව ජාත්‍යන්තර වශයෙන් වෙළෙඳාමට ද යොදා ගැනේ. ලෝකයේ වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටින වනජීවි ප‍්‍රජාවගේ වාසස්ථාන සංරක්ෂණය කර ඔවුන්ගේ පැවැත්ම තහවුරු කිරීමත් වනජීවී සම්පත මිනිසාගේ පැවැත්ම උදෙසා ලබා දෙන්නා වූ දායකත්වය පිළිබඳවත් ලෝක ජනතාව දැනුවත් කර ඔවුන් වනජීවී සංරක්ෂණය කෙරෙහි නැඹුරු කරවීම එක්සත් ජාතීන් විසින් ලෝක වනජීවි දිනය ප‍්‍රකාශයට පත් කිරීමේ මුඛ්‍ය පරමාර්ථය විය.

වනජීවීන් ගැන ලෝකයම කතා කරන දිනය අදයි
ලෝකයේ තර්ජනයට ලක් වූ ජීවී විශේෂයන්ගේ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ සම්මුතිය (CITES) 1973 දි පිහිටුවන ලද ලෝකයේ වනජීවී සංරක්ෂණය පිළිබඳව පවත්නා ප‍්‍රබල සම්මුතියකි. 2013 වසරේ මාර්තු මාසයේදි බැංකොක් නුවර පැවැති එම සම්මුතියෙහි 40 වන වාර්ෂික සැසියේදි ලෝකයේ වන සත්ව සහ ශාක විශේෂ නිතී විරෝධි ලෙස වෙළඳාමෙහි යෙදවීම වැළැක්වීමත් වනජීවි සංහාරය මැඬපැවැත්වීමත් අරමුණු කරගෙන ලෝක වනජීවී දිනය ප‍්‍රකාශයට පත් කිරිම පිළිබඳව යෝජනාව ඉදිරිපත් විය. එම යෝජනාව මල්ඵල ගන්වමින් 2014 මාර්තු 03 ප‍්‍රථම ලෝක වනජීවී දිනය ලෝක ජනතාව විසින් සමරන ලදි. පාර්ශ්වීය රටවල් 184 කින් සමන්විත CITES සම්මුතියට 1979 දී ශ‍්‍රී ලංකාව ද පාර්ශවීය රටක් ලෙස ගිවිසුම් ගත වූ අතර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එහි අධිකාරි බලය ලත් ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනය වේ. ඒ අනුව 2014 දී මාර්තු 01 දා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප‍්‍රථම ලෝක වනජීවී දිනය සමරනු ලැබුවේ මුද්දරයක් හා මුල් දින කවරයක් ද ප‍්‍රකාශයට පත් කරමිනි. වාසස්ථාන අහිමි වීම හේතුවෙන් වඳවීමේ තර්ජනයට මුහුණු පා සිටින තෙත් කඳුකර කලාපයේ ජීවත්වන ශ‍්‍රී ලංකාවට ආවේණික මැඩියකු වන කඳුකර පඳුරු මැඩියා (Taruga eques) නිරූපිත මුද්දරය වනජීවි දිනය නිමිත්තෙන් ප‍්‍රකාශයට පත් කළ ලෝකයේ මුල්ම මුද්දර කිහිපය අතරට එක් විය. හෝර්ටන්තැන්න ජාතික උද්‍යානය, නකල්ස් ලෝක උරුම වනාන්තරය සහ හග්ගල දැඩි ස්වාභාවික රක්ෂිතයේදී පමණක් කඳුකර පඳුරු මැඩියා හඳුනා ගැනීමට හැකි වන අතර තර්ජනයට ලක් වූ සත්ව විශේෂයක් ලෙස 2012 දී කඳුකර පඳුරු මැඩියා රතු දත්ත පොතට ඇතුළත් කර ඇත.

 මානව ක‍්‍රියාකාරකම් හේතුවෙන් බොහෝ වනජීවි විශේෂ ලොවින් වඳවීමේ තර්ජනයට මුහුණ පා තිබේ. විශේෂයෙන් වනාන්තර මිනිසුන් විසින් අත්පත්කර ගැනීම, ගිනි තැබීම, නීති විරෝධී ගස් කැපීම සහ වනාන්තර වගා කටයුතු වෙනුවෙන් යොදා ගැනීම, දඩයම ආදි විවිධ මානව ක‍්‍රියා හේතුවෙන් මෙලෙස ජීවී විශේෂ රාශියක් වඳවී යෑමේ තර්ජනයට මුහුණ පා සිටියි.

 වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ක‍්‍රියාත්මක කරනු ලබන වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත මගින් මෙරට වනජීවින් සහ ඔවුන්ගේ වාසස්ථාන ආරක්ෂා වනවා මෙන්ම වනජීවි අපරාධ ද පාලනය වී තිබේ. එහෙත් ශීඝ‍්‍ර සංවර්ධන ක‍්‍රියාවලිය හමුවේ සියලූ අභිප‍්‍රායන් අභියෝගයට ලක්ව ඇත. මෙවැනි තත්ත්වයන් යටතේ වනජීවි සම්පත සංරක්ෂණය කිරීම වෙනුවෙන් ජීවිතය පරදුවට තබා ජාතික කාර්ය භාරයක නියැලි සිටින වනජීවි සංරක්ෂණ විරු පිරිසද වනජීවී දිනයේදි නිතැතින්ම ඇගයීමට ලක් විය යුතු වේ. මෙරට වනජීවී සම්පත සංරක්ෂණය කිරීම වෙනුවෙන් 1949 ඔක්තෝබර් 01 දින වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ස්ථාපිත කර ගත වූ වසර 73 කට ආසන්න කාලය තුළ වනජීවි නිලධාරීන් 83 දෙනෙකු වනජීවි සංරක්ෂණය වෙනුවෙන් ජීවිත කැප කර ඇත. එසේම වනජීවි ක‍්‍රියාන්විතයේදී සදාකාලික ආබාධිත තත්ත්වයට පත් නිලධාරීන් ද රාශියක් සිටියි. වනජීවී නිලධාරියකුගේ මුළු ජීවිත කාලයම කැප වන්නේ දරු පවුලෙන්ද දුරස්ව වනාන්තර ප‍්‍රදේශයේ වනජීවී සම්පත රැුක ගැනීමේ භාරධූර කාර්යභාරයටය. එහිදී ඉතා විශිෂ්ට ලෙස තම රාජකාරිය දේවකාරියකට ද වඩා ඉහළින් සලකමින් දිවා ? වෙහෙසෙමින් වනජීවී සංරක්ෂණ ක‍්‍රියාවලියට දායක වන නිලධාරීන් ඇගයීම ද ප‍්‍රථම වනජීවි දින උත්සවයේදි මෙන්ම ගතවූ වනජීවි දින ගණනාවකදීම වනජීවි සංරක්ෂණය දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලැබීය.

ශ‍්‍රී ලංකාව ශාක සහ සත්ව විවිධත්වය අතින් කලාපීය මෙන්ම ගෝලීය වශයෙන් ඉතා ඉහළ ස්ථානයක සිටියි. ශ‍්‍රී ලංකාව ආසියානු කලාපයේ පිහිටි ජීවී විශේෂ ඝනත්වය (ව.කි.මී.10,000 ජිවත් වන ජීවී විශේෂ සංඛ්‍යාව) වැඩිම රටක් ලෙස පිළිගනු ලැබේ. මෙරට සුපුෂ්පික ශාක, උභය ජීවීන්, උරගයින් මෙන්ම ක්ෂිරපායී සත්ව විශේෂ සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගනී. එසේම මෙහි පවත්නා උස් ශාක සහ පෘෂ්ඨ වාංශිකයින් පිළිබඳව තව දුරටත් අධ්‍යයනය කරන්නේ නම් තොරතුරු රැුසක් අනාවරණය කරගැනීමේ හැකියාව පවතී. සමනලූන්, බත්කූරන්, ගොළුබෙල්ලන් සහ ඇල්ගි විශේෂද රාශියක් මෙහි පවත්නා අතර කෘමි විශේෂ පිළිබඳව ද වැඩි අවධානයක් යොමු විය යුතුව තිබේ. උඩුවියන් ආශ‍්‍රිතව ජීවත් වන සත්ව විශේෂ රාශියකට ද ශ‍්‍රී ලංකාව වාසස්ථාන සපයයි. මෙරට සිදු වන ශීඝ‍්‍ර වන හානිය හේතුවෙන් ඇතැම් ජීවී විශේෂයන් හඳුනාගැනීමටත් පෙර මෙරටින් විනාශ වී ගොස් ඇත.
ලෝකයේ වනසත්ව හා ශාක විශේෂ 8400ක් පමණ උග‍්‍රලෙස වඳවී යෑමේ තර්ජනයට මුහුණ පා සිටින අතර තවත් ජීවි විශේෂ 30,000ක් පමණ වඳවී යෑමේ තර්ජනයට වේගයෙන් ළඟා වෙමින් පවතී. මේ අනුව ලෝකයේ මිලියනයක් පමණ ජීවි විශේෂ තර්ජනයට ලක්ව ඇති බව තහවුරු වේ. උග‍්‍ර ලෙස වඳවී යෑමේ තර්ජනයට ලක් වූ වනජීවී විශේෂ ආරක්ෂා කර ගැනීම කෙරෙහි ජනතා අවධානය යොමු කිරීමටත් ඒ අනුව එම ජීවි විශේෂයන්ගේ ස්වාභාවික වාසස්ථාන සංරක්ෂණය කිරීම සඳහා විධිමත් කතිකාවක් ගොඩනගා විසඳුම් ක‍්‍රියාත්මක කිරීමත් අරමුණු කර ගෙන  (Recovering key species for eco system restoration) ”ජීවී විශේෂ රකිමින් පරිසර පද්ධති සුරකිමු” යන තේමාව යටතේ වනජීවී දිනය සැමරීමට ලෝක ජනතාව පෙළගැසෙමින් සිටියි.

 මෙවර වනජීවී දින තේමාව ”ජීවී විශේෂ රකිමින් පරිසර පද්ධති සුරකිමු” (Recovering key species for eco system restoration) යටතේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පරිසර පද්ධති සංරක්ෂණය සහ කළමනාකරණ ව්‍යාපෘතියේ ද සහභාගීත්වය ඇතිව තරුණ පිරිස වෙනුවෙන් ආධුනික ඡුායාරූප තරගයක් පවත්වා එයින් ජයග‍්‍රහණය කළ පිරිසට හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේදි වනජීවී ඡුායාරූප වැඩමුළුවක් සහ තරගයක් පවත්වා එයින් ජයග‍්‍රහණය කරනු ලබන ආධුනික ඡයාරූප ශිල්පීන්ට හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේදී වනජීවි දින සමරු උත්සවයේදී සම්මාන සහ සහතිකපත් ලබාදීමට සැලසුම් කෙරිණි. එසේම එදින සවස විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය යූ.කේ.ජී. පද්මලාල් විසින් ප‍්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතය.

 * හසිනි සරත්චන්ද්‍ර
 ප‍්‍රචාරක අංශ ප‍්‍රධානි
 වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව




A day in the life