Sunday, October 22, 2023

මනාලිය

මනාලිය


















සඳ එළිය යහන මත
තවරා කවුළු හැර
තරු දෙනෙත්
අඩවන් කරාවී .
රත ලවන් පෙති නුරා
විවරකොට මුතු පටින්
සුසුදු කැල්මන්
විහිදුවාවී .
පිච්ච මල් පැළඳි සිකි
පිල් කළඹ මුදා හැර
සිථිල සළු පටක්
දවටාවී .
මධු විතක් වී තිළිණ
රැය පුරා උණුසුමට
හද ගැබේ පියුම්
අතුරාවී.
රෝ.සි.


notes of imaginary

මහනුවර අපේ රජවරුන්ගේ සොහාන්

මහනුවර තිබු අපේ රජවරුන්ගේ
සොහාන්වලට වෙච්ච දේ මෙන්න
දින 11ක් දැල්වු රජතුමාගේ
සොහාන නිවන්නේ කිරෙන් හා
පොල් වතුරෙන්...
මහනුවර යුගයේ සිටි රජවරුන් ආදාහනය කර තිබෙන්නේ එකම ස්ථානයක.ඒ තමයි ගෙඩිගේ විහාර බිම හෙවත් රාජකිය ආදාහන මළුව.මෙහි තිබු එම රජතුමන්ලාගේ සොහොන් කොත්වලට මොකද වුණේ කියන ප්රශ්නයක්.අද කියන්නේ ඒ රාජකිය ස්මාරකවලට වෙචිච දේ ගැනයි.
නුවර යුගයේ රජතුමන්ලා ආදාහනය කරන්නත් පෙර ගම්පොළ යුගයේදිත් මෙම ස්ථානයේ රාජකීයයන් ආදාහනය කර තිබෙනවා..ගම්පල යුගයේ තුන්වැනි වික්රමබාහු රජතුමාගේ( 1347-1375) මව්බිසව තමයි චන්ද්රවති දේවිය.එතුමියට අස්ගිරි දේවි කියලත් කියනවා.චන්ද්රාවති දේවිය මියගියාම තුන්වන වික්රමබාහු රජතුමා විසින් මව්බිසව ආදාහන කළේ ගෙඩිගේ විහාර ආදාහන මළුවේදි..ඒ අදාහන කරපු තැන රජතුමා බෝධියක් රෝපණය කළා.ඒ බෝධිය අදත් තිබෙනවා.චන්ද්රාවති බෝධිය කියල තමයි ඒ බෝධින් වහන්සේ හදුන්වන්නේ.ඉතින් රජතුමා එම ස්ථානයේ විහාරයකුත් හැදුවා .ඒක තමයි අස්ගිරි ගෙඩිගේ විහාරය කියන්නේ.
ඉතින් අද අස්ගිරි ගෙඩිගේ විහාරය හෙවත් ආදාහනමළුව විහාරය සුළු ප්රමාණයක පැතිර තිබුණත් අතීතයේ මේ විහාරයට උඩවත්ත කැළයෙන් මෙපිට හා බහිරවකන්දට මෙපිට සියළු ඉඩම් රජවරු පූජාකර ඇති බව අදත් විහාරයේ ඇති සන්නස් තුළින් පැහැදිලි වෙනවා.ඒ වගේම මේ විහාර භුමිය මහල් තුනක් තිබිලා තියෙනවා අතීතයේ.
උඩමළුව,මැදමළුව,පාත මළුව කියලා ඒ මළු තුන හදුන්වනවා.උඩමළුවේ තමයි බෝධින් වහන්සේ ඇතුළු විහාරය පවතින්නේ.දෙවැනි මළුවේ රජවරු ආදාහනය කළ බවත් තුන්වැනි මළුවේ මහජනයා රැස්වු බවත් විහාරයේ පැරණි පොත්පත්වල සදහන්වනවා.
ශ්රි වීරපරාක්රම නරේන්ද්රසිංහ රජතුමා (1707- 1739) හා කීර්ති ශ්රි රාජසිංහ රජතුමා ( 1747- 1782) කුමාර අවධියේ අකුරු කරවා තිබෙන්නේ මේ පන්සලෙන්.ඉතින් ඒ රජවරු වගේම මහනුවර යුගයේ සිටි සියළු රජවරු මේ විහාරස්ථානයට විශේෂ අනුග්රහයක් දක්වා තිබෙනවා.
එසේම 1753 දි කීර්ති ශ්රි රාජසිංහ රජසමයේ තායිලන්තයෙන් ලංකාවට උපසම්පදාව රැගෙන ආ උපාලි මහ තෙරණුවන් අපවත්වු පසු ආදාහනය කර තිබෙන්නෙත් මේ ආදාහනමළුව විහාර⁣ භූමියේදි. එය සිහිවීම සදහා තායි රජ පවුල විසින් විහාර භූමියේ ඉදිකළ ස්මාරකය අදත් දකින්න තියෙනවා.
ඒ අනුව පළමුවැනි විමලධර්මසූරිය රජතුමා, සෙනරත් රජු, දෙවැනි විමලධර්මසූරිය රජු, විජය රාජසිංහ රජු, ශ්රී වීර පරාක්රම නරේන්ද්රසිංහ රජු,විජය රාජසිංහ රජු, කීර්ති ශ්රී රාජසිංහ රජු, රාජාධි රාජසිංහ රජුගේ ආදාහන සිදුකළේ ගෙඩිගේ විහාරයේ දෙවැනි මළුවේදීය. කන්ද උඩරට දෙවැනි රාජසිංහ රජතුමාගේ අදාහනය සිදුකර ඇත්තේ හඟුරන්කෙතයි නමුත් රජතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් කරනු ලැබුවේ ගෙඩිගේ විහාර බිමේ ස්මාරකයකය. සිංහලේ අවසන් රජු වූ ශ්රී වික්රම රාජසිංහ මියගියේ වෙල්ලෝරයේ නිසා එතුමාගේ භෂ්මාවශේෂ එහිම තැන්පත් කර තිබෙනවා
එපමණක් නොව මේ රජවරුන්ගේ බිසෝවරුන් වගේම මව්බිසෝවරුන් මියගිය පසුත් ආදාහනය කර ඇත්තේ මේ ස්ථානයේ බව පොත්පත්වල සදහන් වෙනවා.
එසේම රජවරුන් හා බිසෝවරුන් ආදාහනය කර එම භෂ්මාවශේෂ තැන්පත් කරලා ගෙඩිගේ විහාර භූමියේ කුඩා චෛත්ය වැනි ස්මාරක හදා තිබෙනවා.ඉංග්රීසි පාලනය එනතුරු මේ ස්මාරක විහාර භූමියේ තිබුණත් ඉංග්රීසි පාලකයන් ඒවා බොහෝමයක් වැනසි යෑමට සලස්වා තිබෙනවා.එසේම ඉංග්රීසින් ඒවායේ තිබු ආභරණ ආදිය කොල්ලකෑවා.
එසේම ඉතිරිවු රාජකීය ස්මාරකත් විනාශවුයේ නුවර මාතලේ දුම්රිය මාර්ගය හැදිමේදි. 1878- 1880 කාලයේදි එම දුම්රිය මාර්ගය හැදුවේ ගෙඩිගේ විහාරය හෙවත් ආදාහන මළුවට යටින්.ඉතින් ඒ ඉදිකිරිමෙිදි ඉතිරිව තිබු රාජකීය ස්මාරකය ටිකත් ඉංග්රීසින් විනාශකර දැම්මා. නමුත් විහාර භුමියේ ඉපැරණි අරලිය ගස් දෙකක් පමණ අදත් දකින්න තිබෙනවා.බොහෝවිට එම ගස් රාජකීීයයන් ආදාහනය කර භෂ්මාවශේෂ තැන්පත් කර ⁣ රෝපණය කළ ගස්විය හැකි බවද කියනවා.
එසේම රජතුමාගේ මව හා රජුගේ වැඩිමහල් සොයුරියගේ ආදාහන සඳහාද ගෙඩිගේ විහාරයේ ආදාහන මළුව යොදාගෙන ඇත්තේ විශේෂ වරප්රසාදයක් වශයෙනි. රජ පවුලේ සෙසු සාමාජිකයන්ගේ ආදාහන මහනුවර උඩවත්ත කැලයේ රාම විහාරය පිටුපස ‘බණ්ඩහේතැන්න’ නමැති ස්ථානයෙහි සිදුකර ඇත.
වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ ආදාහනය ගෙඩිගේ විහාර ආදාහන මළුවේදී සිදු නොකළත්, ලංකාවට උපසම්පදාව ගෙනා සියම් උපාලි හිමිගේ ආදාහනය සිදුකළේද ගෙඩිගේ විහාරයේය.
රජතුමාගේ දේහය දැවීමෙන් දින එකොළහක් යනතුරු ගින්න නිවෙන්නට ඉඩ නොදෙන බව ඉංග්රීසි ආණ්ඩුකාර සර් රොබට් බ්රවුන්රිග්ගේ වෛද්යවරයා වූ ජෝන් ඩේව් සඳහන් කර ඇත. දින එකොළහෙන් පසු කිරි හා පොල් වතුරවලින් ගින්න නිවා දමයි. පිලිස්සුණු ඇට කැබලි මැටි බඳුනකට දමා සීල් තබනු ලබයි. අළු තවත් බඳුනක දමා සොහොනක තැන්පත් කරයි. රජතුමාගේ අස්ථි කොටස්, අළු හා දැවී ඇති ආභරණාදිය එකතු කිරීමේ රාජකාරිය පැවරී ඇත්තේ අරුප්පොළ හෙවත් අළුපොළ ගම්වාසීන්ටය.
1825දී හර්බර් නමැති ඉංග්රීසි ජාතික කාන්තාව ලියූ සටහනක දැක්වෙන්නේ සොරුන් විසින් මෙම රාජකීය සොහොන් විවෘත කර තිබූ බවයි.ඒ කියන්නේ කඩා එහි ආභරණ ආදිය සෙවු බවයි
ඉංග්රීසි ජාතික බිෂොප් හර්බර් 1824දී සිය දිනපොතේ ‘නගරයේ කෙළවරක තිබුණු රාජසිංහගේ සුසානය බිඳ දමා රන්, මුතු, මැණික් මෙන්ම ඔහුගේ ඇටකටු එළියට ගෙන ඇති බවත්, එම බිමෙහි තිබූ ගල් කැටයම් සහිත අලංකාර සොහොන් ස්මාරක බොහොමයකට හානි සිදුකර ඇති බවත් සදහන් කර තිබෙනවා.එසේම ගෙඩිගේ විහාරයේ හිටපු ප්රධාන හිමියන් රාජසිංහ රජතුමාගේ සොහොනේ තිබු මිනිස් අස්ථි මහජන ප්රදර්ශනයයට තැබු බවත් සදහන් වෙනවා
රාජසිංහ රජුගේ සොහොන 1824දී ඉංග්රීසීන් විසින් විනාශ කර ඉංග්රීසීන්ම යළිත් එය යථා තත්ත්වයට පත්කර තිබෙනවා .මෙම භූමියෙහි ඉංග්රීසි ආණ්ඩුකාර ටොරිංටන්ගේ සහභාගිත්වයෙන් උඩුමුල්ලේ නාහිමිගේ ආදාහනය සිදුකළ බව මේජර් ෆොබ්ස් සඳහන් කරනවා.
ධර්ම ශ්රී තිලකවර්ධන


notes of imaginary

Thursday, October 19, 2023

කුමට බරක් වුන නටුවක් ගහකට



දළු කොළ ඉති අතරෙහි හිඳ හිනැහෙන
දසදහසින් ගැවසී නිති දිදුලන
කැකුළු අතර සිටියේ නුඹ දින ගැන
නවමු පැතුම් පතමින් ලොව පිබිදෙන
සරු පොහොරද ලබමින් දියවර හා
ගස සියලුම රස බෙදමින් අප හා
නුඹ ඒ හැම ලැබුයෙන් මා හරහා
බැඳුණු සෙනේ පවසමි නොම වළහා
ගතවන විට මෝරා මේ ලෙසිනා
නිරතුරුවම මට කරුණකි දැනෙනා
දිනයකි නුදුරුම මල ලෙස පිපෙනා
උතුරා යන සතුටකි හද අරණා
අඳුර පිරුණු එක් මූසල උදයක
බිඳී වැටුණු මුදු සුමුදුම පෙත්තක
උණුසුම හා එක් වූ පිනි කඳුලක
පහස නිමා කළෙ මා දුටු සිහිනෙක
සසැලී මා සිටියත් වාවනු බැරි
එබිකම් කළ සඳ කව්රුද පෙති ඇරි
දුටුවේ දසුනකි බිහිසුණු ගති පිරි
කැකුළු නසන පණුවෙකි නපුරුම හරි
මතු දිනයක රස පලයක් නිමකොට
මාත් පෙරුම් පිරුවා මිය යන්නට
මැලවී ගිය කල කැකුළත් අකලට
කුමට බරක් වුන නටුවක් ගහකට
පී. ජී ආරියපාල

notes of imaginary

Wednesday, October 18, 2023

“පොහොරක්” වන මිනිස් සිරුරු



මිනිස් සිරුරු කොම්පෝස්ට්කරණයට අවසර ලබාදුන් නවත ම එක්සත් ජනපද ප්රාන්තය බවට “නිව් යෝර්ක්” පත් වී තිබෙනවා. පුද්ගලයෙක් මිය ගිය පසු භාවිතයට ගත හැකි පොහොරක් බවට මිනිස් සිරුරු මෙමඟින් පරිවර්තනය කෙරෙන අතර, භූමදානය හෝ ආදාහනයට වඩා පරිසර හිතකාමී විකල්පයක් ලෙසත් එය සැලකෙනවා.
මානව කොම්පෝස්ට් නිෂ්පාදනය කිරීමට අවසර දුන් ප්රථම එක්සත් ජනපද ප්රාන්ත ආණ්ඩුව වන්නේ වොෂිංටනය යි. 2019 දී පළමු වරට නීතිගත කිරීමෙන් පසු මේ දක්වා ප්රාන්ත හතරක් “මානව කොම්පෝස්ට්කරණය” සඳහා නීතිමය අවසරය ලබා දී තිබෙනවා. කොලරාඩෝ, ඔරිගන්, වර්මොන්ට් සහ කැලිෆෝනියා එම ප්රාන්ත හතර වන අතර, නිව් යෝර්ක් ප්රාන්තය එක් වීමත් සමඟ ප්රාන්ත ගණන හය දක්වා ඉහළ යනවා...
විවිධ ආගමික විශ්වාස හමුවේ “මානව කොම්පෝස්ට්කරණය” විවේචනයට බඳුන් වීමේ ඉහළ හැකියාවක් තිබෙනවා. එය සනාථ කරමින් නිව් යෝර්ක් ප්රාන්ත ආණ්ඩුවේ තීරණය ප්රශ්න කිරීමට ඇතැම් ආගමික නායකයන් දැනටමත් පෙළ ගැසී අවසන්. මීට අමතර ව, සදාචාරාත්මක සහ වෙනත් ප්රායෝගික ගැටලුත් ඉස්මතු වෙමින් තිබෙනවා.
“Recompose”
පුද්ගලයෙක් මිය ගිය පසු දින කිහිපයක් මළ සිරුර කල්තබා ගැනීම, චාරිත්රානුකූල ව ආදාහනය හෝ භූමදානය සිදු කිරීම, අවමංගල්යයේ සංවිධාන කටයුතු, වැනි වගකීම් දරණ ව්යාපාරික ආයතන ඕනෑ තරම් තිබෙනවා. එහි නව මානයක් සනිටුහන් කරමින් විද්යාත්මක ව සහ ආරක්ෂිත ලෙස “මානව කොම්පෝස්ට්කරණය” සේවාවක් ලෙස ලබාදෙන ආයතනත් එක්සත් ජනපදයේ ප්රචලිත වෙමින් තිබෙනවා. “Recompose” යනු එවැනි ආයතනයක්.
ආදාහනය හෝ සාම්ප්රදායික භූමදානය හා සසඳන විට මෙම ක්රියාවලිය හරහා කාබන් ටොන් ගණනක් ඉතිරි කරගත හැකි යි. “Recompose” ආයතනයේ ප්රධාන විධායක සහ නිර්මාතෘ වන කැත්රිනා ස්පේඩ් පවසන පරිදි දේශගුණික විපර්යාසය සම්බන්ධයෙන් කනස්සල්ලට පත්වන ඕනෑම කෙනකුට මෙම සේවාව ලබා ගැනීමට පුළුවන්. දැනටමත් “මානව කොම්පෝස්ට්කරණය” එක්සත් ජනපදය තුළ ප්රචලිත වෙමින් තිබෙනවා.
භූමදානයේ සහ ආදාහනයේ ගැටලු
සාම්ප්රදායික භූමදානයක දී මිනිස් සිරුරු සොබාදහමට එකතු වන බැවින්, “මානව කොම්පෝස්ට්කරණය” හරහා විශේෂිත ප්රතිපලයක් අත් නොවන බව කෙනකුට සිතෙන්නට පුළුවන්. භූමදානයක් බොහෝවිට සිදු කරන්නේ “සුසාන භූමිය” නමැති විශේෂිත ස්ථානයක පමණ යි. මළ සිරුරෙන් පොළවට ලැබෙන පෝෂක, සීමා සහිත ප්රදේශයකට සංයෝජනය වීම පමණක් එවිට සිදු වෙනවා. ඒ භූමියෙන් වෙනත් ප්රයෝජනයක් ලැබෙන්නේත් නැහැ.
“සාමාන්ය පරිදි වැතිර තිබෙන මළ සිරුරක් නැවත පෘථිවියට ලැබීම සඳහා මාස කිහිපයක් ගත වෙන්න පුළුවන්. වියළි දේශගුණයක් තුළ එය වසර කිහිපයක් මමීකරණය වී තිබීමේ හැකියාවකුත් තිබෙනවා.”
අධිකරණ වෛද්ය සහ මානව විද්යාඥයෙක් වන ඩැනියෙල් වෙස්කොට් පවසනවා.
“හොඳ බැක්ටීරියා ක්රියාකාරීත්වයක් තිබෙනවා නම් මාසයක් ඇතුළත මළ සිරුර දිරාපත් වෙන්න පුළුවන්.”
සාම්ප්රදායික භූමදානය හෝ ආදාහනය සමඟ පැමිණෙන තවත් ගැටලු තිබෙනවා. භූමදානයේ දී සිරුර පෙට්ටියක තැන්පත් කිරීම තමයි සුලබ ව සිදු වෙන්නේ. ඇතැම් විට සුරක්ෂිතාගාරයක තැන්පත් කිරීමත් සිදු කරනවා. එම ක්රියාවලියේ දී දැව හෝ වෙනත් ස්වභාවික සම්පත්, ඉඩකඩ, පරිභෝජනය වීම වැලැක්විය නොහැකි යි. අද වනවිට සීමිත වෙමින් තිබෙන සම්පත් වන්නේ ද මේවා යි.
පරිසර හිතකාමී සමුදීම
ආදාහනයේ දී බලශක්තිය අධික ව වැයවන අතර, ඉන් පිටවන වායුවෙන් සිදුවන පාරිසරික හානියත් සැලකිල්ලට ගත යුතු වෙනවා. අප දැන් සිටින්නේ පාරිසරික හදිසි තත්ත්වයක් මැද යි. අප ගන්නා ඉතා කුඩා පියවර පවා අපේ අනාගතයට වැදගත්. දැනටමත් එක්සත් ජනපදය තුළ භූමදාන කටයුතුවල දී පැන නැඟෙන ප්රායෝගික ගැටලු සම්බන්ධයෙන් හඬක් නැඟෙමින් තිබෙනවා.
අපේ ශරීරය පසට හරවන අන්දම ස්වභාවධර්මය හොඳින් දන්නවා. මා මියගිය පසු මට සහාය වූ මේ පොළොවට මගේ ශරීරය ලබා දීමත්, ඒ හරහා නව ජීවයක් නිර්මාණය කිරීම තමයි මට වැදගත් වෙන්නේ.”
සියැටල් නගරයේ පදිංචිකරුවෙක් වන නීනා ෂෝන්, මිය ගිය පසු සිය සිරුර හරිත සංකල්පයක් යටතේ සොබාදහමට ලබා දෙන්නට උන්නදු වන පුද්ගලයෙක්.
සාම්ප්රදායික ක්රම ඔස්සේ පැමිණෙන ප්රායෝගික ගැටලු මතත් මානව කොම්පෝස්ට්කරණයට යොමු වන පිරිස් සිටිනවා.
පරිසර හිතකාමී ක්රියාවලියක් වුවත්, මිනිස් සිරුරු පොහොර බවට හැරවීමේ ක්රියාවලිය දැඩි සෞඛ්යාරක්ෂිත ක්රමවේදය ඔස්සේ සිදු කළ යුතු යි. දැන් අපි ඒ පිළිබඳත් සොයා බලමු.
දිරාපත් වීමක් නොව විසංයෝජනයක්
කැත්රිනා ස්පේඩ් පවසන පරිදි “දිරාපත් වීම” යනු පොළෝ මට්ටමට ආසන්නයේ දී සිදුවන ක්රියාවලියක්. එය එක්තරා අන්දමකින් සීමා සහිත අවකාශයක සිදුවන ස්වභාවික ක්රියාවලියක් බඳු යි. කොම්පෝස්ට්කරණයේ දී මිනිස් ශරීරය නැවත පස සමඟ ඒකාබද්ධ කිරීමක් සිදු කරනවා. එය “විසංයෝජන” ක්රියාවලියක් ලෙස හැඳින්වීම වඩාත් නිවැරදි ය
ප්රථ්මයෙන් මළ සිරුර දැව කැබලි, පිදුරු සහ ඇල්ෆල්ෆා සහිත සංවෘත කුටීරයක තැබීම සිදු කරනවා. ඇල්ෆල්ෆා යනු රනිල කුලයට අයත් ශාකයක්. එය සත්ත්වාහාරයක් ලෙස අතීතයේ පටන් වගා කරන අතර, නයිට්රජන් සහ ප්රෝටීන් ප්රභවයක් ලෙස ක්රියා කරමින් කොම්පෝස්ට් ක්රියාවලිය වේගවත් කිරීමට උර දෙනවා.
පසුව ක්ෂුද්ර ජීවින්ට මළ සිරුරේ සංඝටක බිඳ දැමීමට සහාය වීමක් වශයෙන් ශරීරය සහිත සංවෘත කුටීරය සෙමෙන් භ්රමණය වීමට ඉඩ හරිනවා. දින තිහකට පසු දේහය කුටීරයෙන් ඉවතට ගනු ඇති...
සෞඛ්යාරක්ෂිත පසක්
ක්රියාවලිය සරල වුවත්, කොම්පෝස්ට්කරණයට අදාළ තාක්ෂණය පරිපූර්ණ කිරීම සඳහා වසර හතරක් මුළුල්ලේ විද්යාත්මක පර්යේෂණ පැවැත්වූ බව සඳහන්.
වොෂිංටන් ප්රාන්තය තුළ පශු සම්පත් කොම්පෝස්ට් කිරීම හොඳින් ස්ථාපිත කළ ක්රියාවලියක්. එය මිනිසුන්ට ගළපා ගැනීමේ දී දේහය පාරිසරික වශයෙන් සහතික කිරීමේ අවශ්යතාවක් පැන නැඟුණා.
ඊට පිළිතුරක් වශයෙන් කැත්රිනා ස්පේඩ්, තම අදහසට උද්යෝගයෙන් යුතුව කැමැත්ත ලබාදුන් ස්වෙච්ඡා සේවකයන් සය දෙනකු සමඟ නියමු ව්යාපෘතියක් ක්රියාත්මක කළා. පාංශු විද්යාඥයෙක් වන මහාචාර්ය කාපෙන්ටර් බොස් ද ඊට සහයෝගය ලබා දුන් විද්වතෙක්.
යම් කාලයක් පුරා සෙල්සියස් අංශක 55 ක් වැනි උෂ්ණත්වයකට මළ සිරුර නිරාවරණය කරන්නේ නම්, රෝගාබාධ ඇති කරන ජීවින් සහ සිරුරට කිසියම් රසායනිකයක් යොදා ඇත්නම් ඒවා ද විනාශ වන බව ඔවුන් අවබෝධ කර ගත්තා. සිරුරේ සිටින තාපකාමී ක්ෂුද්ර ජීවින්ට තවදුරටත් ශරීරයේ සංඝටක බිඳ හෙළීම සිදු කළ බැවින්, දිරාපත් වීම අඩාල වන්නේ නැහැ. අවසාන ප්රතිපලය වශයෙන් ලැබෙන “කොම්පෝස්ට් පස” සෞඛ්යාරක්ෂිත වන්නේ ඒ අයුරින්.
මරණයෙන් ජීවයක්
“මානව කොම්පෝස්ට්කරණ” ක්රියාවලිය යනු ක්ෂුද්ර ජීවි සහ යාන්ත්රික යන ක්රියාකාරීත්වයන් ද්විත්වයක එකතුවක්. ක්ෂුද්ර ජීවින් සිරුර වියෝජනය කරන අතරතුර යාන්ත්රික ක්රියාවලිය මඟින් දත් හා අස්ථි බිඳ හෙලීම සිදු කරනවා. ක්රියාවලියේ අවසාන පියවරේ දී සෙන්ටිමීටරයකට වඩා විශාල අස්ථි කොටස් ආදාහනයට ලක් කරනවා. අස්ථි කොටස් පමණක් ආදාහනය කරන බැවින්, විශාල බලශක්ති හානියක් සිදු වන්නේ නැහැ.
මානව කොම්පෝස්ට්කරණ ක්රියාවලියේ දී එක් මළ සිරුරකින් කියුබික් යාරයක පසක් නිර්මාණය කරන බව පැවසෙනවා. සංවෘත බඳුනෙන් පාංශු අවශේෂ ඉවත් කළ පසු සති 2-6 දක්වා කාලයක් පදම් කිරීමකට ලක් කරන අතර, විශ්ලේෂණයක් ද සිදු කරනවා. ඒ අනුව සම්පූර්ණ ක්රියාවලිය සඳහා සති 6-10 අතර කාලයක් ගත විය හැකි යි. ඉන්පසු අවශේෂ ඥාතීන්ට භාරදෙන අතර, ඉඩම්, වනාන්තර හෝ උද්යාන සඳහා ඒවා භාවිත කළ හැකි යි. නමුත්, මෙහි දී යම් නීතිමය ගැටලුවකුත් පැන නඟිනවා. පාංශු අවශේෂය තුළ ඉතා කුඩා අස්ථි කැබලි පැවතිය හැකි බැවින්, උද්යානයක්, වනාන්තරයක් වැනි පොදු ස්ථානයකට බැහැර කිරීමේ දී යම් නීතිමය ක්රියාවලියක් හරහා ගමන් කිරීමට සිදු වෙනවා. නමුත්, එය විශාල බාධාවක් වී නැහැ.
උදාහරණයක් ලෙස වොෂිංටන් ප්රාන්තයේ පිහිටි “බෙල්ස් මවුන්ටන්ස්” රක්ෂිත වනාන්තරයට “Recompose” ආයතනය ලබා දෙන පස භාවිත කරනවා. අවදානමට ලක්විය හැකි දේශීය ශාක සහ අනෙකුත් වනජීවින්ට පුනර්ජීවනයක් ලබාදීම එහි අරමුණ යි.
“පිරිවැය” ප්රධාන ගැටලුව යි
ධනාත්මක කාරණා රැසක් තිබුණ ද “මානව කොම්පෝස්ට්කරණය” සම්බන්ධයෙන් මතුවන ප්රායෝගික ගැටලුවක් තිබෙනවා. ඒ පිරිවැය යි. “Recompose” ආයතනයට අනුව මේ සඳහා අමෙරිකානු ඩොලර් 7000 ක පමණ මුදලක් වැය වෙනවා. අනෙකුත් විකල්ප සහ පාරිසරික හිතකර බව සැලකීමේ දී එවැනි මුදලක් වැය කිරීම ප්රතිපලදායක බව ඔවුන් ගේ අදහස යි.
එක්සත් ජනපදයේ ජාතික අවමංගල්ය අධ්යක්ෂවරුන්ගේ සංගමයට (NFDA) අනුව භූමදානයක් සහිත අවමංගල්යයක් සඳහා එක්සත් ජනපදය තුළ වැයවන සාමාන්ය මුදල 2021 දී ඩොලර් 7848 ක් වැනි අගයක පැවතුණා. ආදාහනයක් සහිත අවමංගල්යයක් සඳහා වැය වන්නේ ඩොලර් 6971 ක් වැනි සාමාන්ය අගයක් පමණ යි. ඒ අනුව මානව කොම්පෝස්ට්කරණයක් සහිත අවමංගල්යයක් හරහා විශාල මූල්ය ඉතිරියක් බලාපොරොත්තු විය නොහැකි යි.
ක්රියාවලියේ ඇති පාරිසරික හිතවාදී බව සහ අවම සම්පත් භාවිතය යන කරුණු එක්සත් ජනපද පුරවැසියන් අතර ප්රචලිත වෙමින් තිබෙනවා. වොෂිංටන් ප්රාන්තයෙන් ඇරඹුණු “මිනිස් සිරුරු කොම්පෝස්ට් බවට හැරවීම” තවත් ප්රාන්ත පහක් පුරා ප්රචලිත වූයේ ඒ නිසා යි.
ආදාහනයත් එතරම් ලාභදායී වන්නේ නැහැ
නිව් යෝර්ක් හි ආණ්ඩුකාරවරිය වන කැතී හෝකල්, පසුගිය දෙසැම්බර් 31 වැනිදා සිට මානව කොම්පෝස්ට්කරණ ක්රියාවලියට අවසර ලබා දීමත් සමඟ අධි නාගරික පෙදෙස්වල ජීවත් වන වැසියන්ට විශාල සහනයක් ලැබී තිබෙනවා. සුසාන භූමිවල ඉඩකඩ අවම වෙමින් පැවතීම ඊට හේතුව යි. ලෝකය ම බලශක්ති අර්බුදයකට මුහුණ පාමින් සිටින යුගයක ආදාහනයත් එතරම් ලාභදායී වන්නේ නැහැ.
එක්සත් ජනපදයට අමතරව මිනිස් කොම්පෝස්ට් නිෂ්පාදනයට අවසර ලබාදුන් ප්රමුඛත ම රට වන්නේ ස්වීඩනය යි. කෙසේ නමුත්, මෙම ක්රියාවලිය විවිධ සංස්කෘති සහ ආගමික විශ්වාස සමඟ සෘජුව ගැටෙනවා. තවදුරටත් එවැනි විශ්වාස සැලකිල්ලට ගන්නවා ද නැතහොත්, පාරිසරික හදිසි අවස්ථාවකට ඇතුළු වෙමින් සිටින යුගයක වඩාත් ප්රායෝගික පියවර ගන්නවා ද යන්න සිතා බැලිය යුතු කාරණයක්...
සටහන මිලාන් පෙරෙරා ✍️
උපුටන Roar Media Sinhala lk වෙතින්




notes of imaginary

Tuesday, October 17, 2023

ආච්චිගෙ සාක්ෂි 😀


----මූනු පොතෙන්
විත්තිකරු ලබා දෙන පිළිතුරට පෙර සූදානම් නොවී ප්රශ්න කිරීම හේතුවෙන්, නීතිඥවරු වුවත් අමාරුවේ වැටුණු අවස්ථා එමට ඇත.
විදේශ රටක එක්තරා ප්රාදේශීය නගරයක උසාවියකි. පළමු සාක්කිකරු ලෙසින් සිටියේ වයස අවුරුදු 75ක් පමණ වූ කාන්තාවකි . ඇය වෙත ළං වූ පැමිණිල්ලේ නීතිඥවරයා මෙසේ ඇසුවේය.
" මිසිස් ජෙනිෆර් ... ඔබ මාව හඳුනනවද..? "
" අපොයි ඔව්... ඇයි විළියම් මහත්තයා, මම මොකද ඔහේ නොදන්නේ...! මම ඔහේව දන්නේ ඔහේ පුංචි කාලේ ඉඳලම. ඇත්තම කියනවනං.. ඔයා මහ පච මෝලක්...ඔයා ඔයාගේ බිරිඳව රැවැට්ටුවා. ගොඩාක් මිනිස්සු ඔයා නොමග යැව්වා... විතරක් නෙමෙයි... එයාලගේ පිටිපස්සෙන් ගිහින් පිහියෙන් අනින ජාතියේ මිනිහෙක් ඔයා. ඒ උනාට ඔයා හිතාගෙන ඉන්නේ, ඔයා තද පොරක් කියලා ..! ගමේම මිනිස්සු දන්නවා ඔයා කවුද කියලා . ඔව් මම ඔයාව හඳුනනවා හොඳට..! "
මේ අපහාසය හේතුවෙන් පැමිනිල්ලේ නීතිඥයාට කර කියා ගන්නට දෙයක් නැති විය.
කුමක් කරන්නදැයි සිතා ගත නොහැකි වූ ඔහු විත්තියේ නීතිඥ දෙසට ඇඟිල්ල දිගු කර,
" හොඳයි ජෙනිෆර් මහත්මිය. දැන් මට කියන්න ඔබතුමී.. මේ විත්ති පාර්ශවයේ නීතිඥතුමා ව හඳුනනවා දැයි..? " ඇසුවේය.
ජෙනිෆර් මහත්මිය නැවත පිළිතුරු දෙන්නට පටන් ගත්තේය.
" ඔව් ඇයි මොකද මම නොදන්නෙ..! ඔය ජොන්සන් මහත්තයත් , මම පුංචි කාලේ ඉඳලම දන්නවා. මහා කම්මැලියා . ආත්මාර්ථකාමී මහා කුහක මිනිහෙක්. අරක්කු පෙරේතයා. එයාට බෑ.. කා එක්කවත් සාමාන්ය සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න. මේ පළාතේම ඉන්න ජරාම නීතිඥයා තමා එයා. මම ඉතිං අමුතුවෙන් කියන්න ඕනේ නෑ. එයා එයාගේ නෝනා රැවැට්ටුවා. හොර ගෑණු තුන්දෙනෙක් ඉන්නවා එයාට. එක්කෙනෙක් ඔහේගේ නෝනා. "
පැමිනිල්ලේ නීතිඥයාට උන්හිටි තැන් අමතක විය.
මේ දෙස බලාසිටි විනිශ්චකාරතුමා, විත්තියේ හා පැමිණිල්ලේ නීතිඥවරුන් දෙදෙනාම තමන් අසලට කැඳවූයේය.
අනතුරුව පහත් හඬින් ඔවුන් දෙදෙනාට මෙසේ කීවේය.
" මදැයි කෙරුවා. තොපි දෙන්න ගෙන් කවුරුහරි එකෙක්, ඔය නාකි ගෑනිගෙන් ඇහුවොත් එහෙම, මාව අදුරනවද..? කියලා ආයෙ දෙකක් නෑ , මම තොපි දෙන්නම එල්ලනවා.

notes of imaginary

Monday, October 16, 2023

මා පිය සබද මා ගැන මතක ද ? තවම




මට හැකි පමණ අත්වැල් පටලා ලොවම
සිතුවිලි පෙලගසා මානයකින් නවම
රතුපැහැ රුවින් හැඩගන්වූ ලක්දිවම
මා පිය සබඳ මා ගැන මතකද තවම

සැම තොරතුරම සුරැකිව රඳවමින් මුවේ
මාකල මෙහෙය සුළුපටුසේවයක්නොවේ
පරසිදු වුවද එදවස මා මිතුරු ලොවේ
අද නම් විවේකීවම කල දවස ගෙවේ

කුසතුළ හොවාගෙන සිට කරදහි කඳුම
තවමත් රෝග⁣යක් නැති එකමය පුදුම
රෑ දහවලේ සිදුවී දුහුවිලි වැදුම
අවපැහැ වෙලාදෝ මගෙ රතුපැහැ ඇඳුම

ගරුතර ලියුම් රජයේ සලකුණුද තියා
ලියවුනු හසුන් නෑකම් මිතුරන්ද සොයා
යායුතු මංතලය පසුවට සොයන නියා
පුදුමයි නේද පළමුව මගෙ කුසට ගියා

එනමුදු හෙනහුරා පැන මගෙ කුස මතට
කටකන පෙත්ත ආවා ඔබ ගේ අතට
පණිවුඩ දුන් සැනින් ලැබුනත් ඔබ අතට
මහ කණගාටුවක් ඇත මගෙ නම් සිතට

එදවස ලිපි සමග මාවෙත පියමැන්න
රසබර කතා ඇත තවමත් පවසන්න
ඔබටත් අවැසි නම් ඒවා දැනගන්න    
ළඟදිම දිනක ලිපියක් ගෙනවිත් දෙන්න

--සුරංග බණ්ඩාර

notes of imaginary

Saturday, October 14, 2023

දුකට කියන කවි














ගොම්මන් පාළුවේ පිල්කඩ උඩින් හිඳ
සන්සුන් වෙන්න හැදුවත් කොච්චරක් අද
හොල්මන් කරන බියකරු සිතුවිළි නිබඳ
සැනසෙන්නට නො හැක හිමියනිනො දැක බිඳ
වැවේ මායිමේ තනියා දුටුවාද
රැලේ ගමන් යන නපුරන් හමුවීද
උදේ කාපු කුරහන් රොටි විතරමද
මගේ හිතට සැක සංකා නැතුවා ද .
රෑ බෝවන්ට පෙර එන බව කිව්වාට
වෑ කන්දේ කරුවල ඇවිදින් පිලට
කණාමැදිරි එළි දෙවැටේ නටන කොට
උල ලේනියක් අඬනව ඇහෙනව දුරට .
පොඩි පුතු කුසේ හිඳ දඟලා පහර ගසයි.
වැදුම් ගෙයට හෙට පුරහඳ ඒවි වගෙයි
අලිමංකඩේ තනියා ගැන හිතට බයයි
හිමි ඔබ තවම නැති හින්දා ම’සිත තැවෙයි .
සංහිඳ පාමුලේ දෙවියන් සිටින තුරා
රන්කඳ මගේ රැකදීපන් සමා වෙලා
තනියෝ මංකඩ දි මගෙ හිමි ඇහැ ගැහිලා
හදියක් නො කර පලයන් පුතු ගැන හිතලා .
රෝ.සි.

notes of imaginary

Friday, October 13, 2023

සිතන්නට යොමු කරමු.


එක දවසක් ගුරුවරියක් තමන්ගෙ පන්තියේ ශිෂ්යන්ට කිව්වා කොළයක් අරන් පන්තියේ ඉන්න අනිත් යාළුවන්ගෙ නම් ඒ කොළේ ලියන්න කියලා. ලියන හැම නමක් අතරෙම එක රූලක් ඉඩ තියන්න කියලා ඇය දිගටම එයාලට මතක් කරා. ඊටපස්සෙ ඇය කිව්වා ඒ එක එක නමට යටින්, ඒ කෙනාගෙ දැකලා තියෙන ලස්සනම ගතිගුණය ලියන්න කියලා. පීරියඩ් එකේ ඉතුරු වෙලාව ගත වුණා හැමෝටම ගතිගුණ ටික ලියන්න. පීරියඩ් එක අවසානයේ ඇය ඒ කොළ ටිකත් එකතු කරන් පන්තියෙන් පිටත්වෙලා ගියා.
ඒ සතියේ අග එළැඹුණු සෙනසුරාදාවේ මේ ගුරුතුමිය හැම ශිෂ්යයෙක්ගෙම නමින් එක කොළයක් බැගින් වෙන් කරලා, ඒ හැම කොළයකම, මුළු පන්තියෙම දරුවො ඒ කෙනා ගැන ලියලා තිබ්බ ලස්සන ගතිගුණ ලැයිස්තුව ලිව්වා. පන්තියේ හැම ළමයෙක්ගෙම නමින් කොළයක් නිර්මාණය වෙලා අවසන් වුණා සති අන්තය අවසන් වෙද්දි. සඳුදා පන්තියට ගිහින් ඇය එක එක දරුවට, එයාට අදාළ වුණු කොළේ අතට දුන්නා. වැඩි වෙලා යන්න කළින් මුළු පන්තියමෙ, හැම ළමයෙක්ගෙම මූණුවල හිනාවක් ඇඳෙන්න පටන් ගත්තා. ගුරුතුමීට ඇහුණා එක්කෙනෙක් මුමුණනවා,
"ඇහ්..ඇත්තටම? මම දැනන් හිටියෙ නැහැ මගෙන් කාටවත් වැඩක් තියෙනවා කියලා"
ආයෙත් ඇයට ඇහුණා තව කෙනෙක් කියනවා " මම හිතුවෙ මටනම් කවුරුත් කැමති නැහැ කියලයි"
පන්තිය පුරාම තිබ්බේ ඒ වගේ පොඩි පොඩි අදහස්. කෙඳිරීම්...
ඉන්පස්සෙ කිසිම දවසක්, කිසි කෙනෙක් ඒ කොළේ ගැන කවදාවත් කතා කරේ නැහැ. අඩුමගාණේ පන්තියෙන් පස්සෙ හෝ දෙමාපියො එක්ක හෝ කිසිම විශේෂ දෙයක් සිද්ධ වුණේ නැහැ. ඒත් ඒ කොළය විසින් කලයුතුව තිබූ කාර්යය සිද්ධ වෙලා තිබ්බා. හැම ශිෂ්යයෙක්ම තමන් එක්කත්, අන් අය ගැනත් සතුටට පත්වෙලයි හිටියෙ. ඒ ශිෂ්යයො කණ්ඩායම ඒ පන්තියෙන් ඉවත් වෙලා ඊළඟ පන්තියට ගියා. කිසිම අමුතු යමක් වුණේ නැහැ.
අවුරුදු කිහිපයකට පස්සෙ වියට්නාමයේදී ඒ ශිෂ්යන් අතරින් කෙනෙක්ව හිටපු, පසුකාලීනව සොල්දාදුවෙක් වුණු මාර්ක් මිය ගියා. මේ ගුරුතුමියත් ඒ අවමංගල්ය උත්සවයට සහභාගී වුණා. ඇය ඇගේ මේ විශාල ජීවිතයේ කිසිදාක එතරම් ලස්සන මෘත දේහයක් දැකලා තිබ්බෙ නැහැ. මාර්ක් ඉතාම කඩවසම්ව, පරිණත පෙනුමක් සහිතව ශාන්තව වැතිරිලා හිටියා. පල්ලිය පිරෙන්න මාර්ක්ගෙ මිතුරො පිරිලා හිටියා. හැම කෙනෙක්ම නිසල සිරුරු ළඟට ඇවිත් තමන්ගේ අවසන් ගෞරවයත්, ආශිර්වාදයත් ලබා දෙමින් හිටියා. අවසාන කෙනා වුණේ මේ ගුරුතුමිය. ඇය මාර්ක්ගෙ ළඟ හිටගෙන ඔහු දිහා බලාගෙන ඉද්දි, මාර්ක්ගේ අවමංගල්ය උත්සවයට සහභාගී වුණු හමුදා නිළධාරීන් අතර ප්රධානියා ඇයගෙ සමීපයට ඇවිත් "ඔයාද මාර්ක්ගෙ ගණිත ගුරුතුමිය?" කියලා ඇහුවා.
"ඔව්" ඇය උත්තර දුන්නා.
"ඕහ්! මාර්ක් ඔයා ගැන නිතරම කතා කරා" ඔහු ප්රශ්නයක් හෝ උත්තරයක් නොවන විදිහට කියලා යන්න ගියා.
පල්ලියේ චාරිත්රවලින් පස්සෙ හැමෝම කුඩා ආපනශාලාවකට එකතු වුණා මාර්ක්ගෙ දෙමාපියන් එක්කම. මාර්ක්ගෙ දෙමාපියන් බලාගෙන හිටියා ගුරුතුමිය එක්ක කතා කරන්න.
"අපිට ඔයාට යමක් පෙන්නන්න ඕනේ" තමන්ගෙ සාක්කුවෙන් පසුම්බියක් එළියට ගන්න ගමන් මාර්ක්ගෙ තාත්තා කිව්වා.
"මාර්ක් මියගියාට පස්සෙ එයාලා මාර්ක්ගෙ ළඟ තිබිලා මේක හොයාගත්තා. අපි හිතුවා ඔයා මේක අඳුරගනී කියලා"
ඔහු කිව්වෙ අතටම දියවුණු පෙණුමක් තියෙන කොළ දෙකක් පෙන්නමින්. ඒ කොළ දෙක ඉතා විශාල වාර ගණනක් නවපු සහ දිග ඇරපු බව පේන්න තිබුණා. ඒ කොළ දැකපු ගමන් ගුරුතුමිය දැනගත්තා ඒ තිබ්බේ මාර්ක් ගැන එයාගෙ පන්තියේ අනිත් අය කිව්ව සේරම හොඳ ඇතුළත් කරලා එයා ලිව්ව කොළ දෙක තමයි ඒ කියලා.
"ඔයා ඒක කරාට ගොඩාක් ස්තූතියි. මාර්ක් හුඟාක් අගය කරා ඒක. එයා හුඟාක් පරිස්සම් කරා මේ කොළ දෙක" මාර්ක්ගෙ අම්මා හෙමින් කිව්වා.
මාර්ක්ගෙ පන්තියේ හිටපු පරණ යාළුවෝ හැමෝම මේ වෙද්දි ගුරුතුමිය සහ මාර්ක්ගෙ දෙමාපියන් වටේ වටවෙන්න පටන් අරන් තිබුණා. ඒ අතරෙ චාර්ලි ලැජ්ජාවෙන් හිනාවෙවී කිව්වා
"මගේ ළඟත් මේ කොළේ තාම තියෙනවා. ඒක මගේ කබඩ් එකේ උඩ ලාච්චුවේ තියෙනවා" කියලා.
චක්ගෙ බිරිඳ කිව්වා " චක් මට කිව්වා එයාගෙ කොළේ අපේ වෙඩින් ඇල්බම් එකට දාමු කියලා. ඉතින් එයාගෙ කොළේ අපේ වෙඩින් ඇල්බම් එකේ තියෙන්නෙ" කියලා.
මැර්ලීන් අනිත් අය දිහා බලමින් කිව්වා "මගේ කොළෙත් තියෙනවා. ඒක මම මගේ ඩයරි එක ඇතුළෙ තියලා තියෙන්නෙ" කියලා.
ඒ පන්තියේම කෙනෙක් වෙච්ච විකී එයාගෙ සාක්කුවේ තිබ්බ පොඩි නෝට්බුක් එක අතට අරන් ඒකෙන් කුණු ගෑවුණු, ඉරුණු කොළයක් එළියට ගන්න ගමන් කිව්වා "මම යන ඕනෑම තැනක මම මේක අරන් යනවා" කියලා. ඒ කියලා ඇහිපිල්ලමක් ගහන්නවත් ප්රමාද නොවී ඇය කිව්වා "මං හිතන්නෙ අපි හැමෝම අපේ ලිස්ට් එක පරිස්සම් කරගත්තා" කියලා.
හරියටම අන්න ඒ මොහොතේ තමයි එයාලගෙ ගුරුතුමිය ඒ ළඟ තිබුණු පුටුවක ඉඳගෙන අඬන්න පටන් ගත්තෙ. ඇය මාර්ක් වෙනුවෙන් වගේම ආයේ කිසිම දවසක මාර්ක්ව දකින්න නොලැබෙන ඔහුගෙ යාළුවො වෙනුවෙන් ඇඬුවා.
-----
සමාජයක් විදිහට අපි කොච්චර ඝන කටු සහිත මිනිස්සු බවට පත්වෙලාද කියනවනම්, අපිට සමහර වෙලාවට අමතක වෙනවා අපේ ජීවිත යම් මොහොතක නැති වෙන්න පුළුවන් කියලා. අපි අඩුගාණේ ඒ දවස මොකක්ද කියලවත් දන්නෙ නැහැ.
ඒ නිසා මතක ඇතුව, ඔයා ආදරේ කරන අයට ඒ බව කියන්න. ඔයාට විශේෂ අයට ඒ ගැන කියන්න. ඔයාට වැදගත් අයට ඒ බව කියන්න. ඔයාට වැළඳගන්න පුළුවන් අයව වැළඳගන්න. සිපගන්න පුළුවන් අයව සිපගන්න. පරක්කු වැඩි වෙන්න කළින් ඒක කරන්න. කිසිම දාක, තව කෙනෙක්ගෙන් ආදරේ වචනයක් නොඅහපු, ප්රශංසාවක් නොලබපු, තමන් වැදගත්බව හෝ වටිනබව අහන්න නොලැබුණු ජීවිත දහස් ගාණක් අපි වටේ ඉන්නවා. ඇස් ඇරලා බලලා කියන්න.
එහෙම කිව්වට පස්සෙ ප්රාතිහාර්යක් වෙලා, එකපාරටම සියල්ල යහපත් වෙන එකක් නැහැ. ඒත්,
පසු වදන...
ඔව් ඒත්, අවුරුදු ගාණකට පස්සෙත් නෝට්බුක් එකක් ඇතුළෙන් මතුවෙන දියවුණු පොඩි කොළයක් වගේ බලාපොරොත්තුවක් විදිහට ඒක මතුවේවී!! මතුවිය හැකි යමක් නිර්මාණය කරන්න
අද දිනට යෙදෙන සියදිවි හානිකර ගැනිමේ දිනයට සමගාමි
දරුවන්ට සතුටින් සිටින්නට හිතන්නට
අපි වෙනස් වෙමු...වැඩ සටහනේ තේමාව
උපුටාගැනීම: බෙටී බයිරම්
අනුවාදය: ෂෙනූ පෙරේරා


notes of imaginary