ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ඒවාට ස්වාධීන පැවත්මක් නොමැත. සිතිවිලි සහ ආවේග වලට තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . ඒවායින් මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

සුබ අළුත් අවුරුද්දක් වේවා !.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2026-03-03

පරණ මතක




ඉද හිට  පරණ මතක 

අවදි වෙනවා.

තාප්පෙන් පැනලා වේලාසන ගෙදර යන

හවස් වෙනකම් බලා ඉද

නාන්න දොළට යන

චිත්‍රාව බැහැ දකින


දශම තිත්,  

තිත් කොමා          

එකතුකළ  ජීවිතේ                 

ධණ ලකුණු  ඍණ ලකුණු .......                                 

මහාපොදු සාධක ද ...               

 සරල රේඛා මෙන්ම                   

X = Y          

සමීකරණම නිසා                             

අත් හැරුණු පෙම්කතා ....  


අතර මැවෙන

නානා විධ ආදරණීය චරිත 

වියකිලා ගිහින්  එක තැනක 

නතරවෙලා….

                                                          .                 

වෘත්තයක පරිධියේ    

දුව ගියපු අවදියේ            

රතු ඉරට බය නොවුන

හිතුමතේ ජීවිතේ 

සුලු කෝන මහ කෝන 

අන්තිමට                   

සුළු කෝණයක් වෙලා 

ත්‍රිකෝණෙක හැංගුණා.  

ජීවිතේඑහෙමමයි    

ගලාගෙන ඔහෙ ගියා. ..........      


ධනලකුණු අඩුවෙලා 

ඍණ ලකුණු වැඩිවෙලා…

පාට දැන් අඩුවෙලා.......        

හමත් දැන් හැකිලිලා       

පෙනීමත් අඩුවෙලා .............

ඒත් ඉඳහිට තාම .......

සරල රේඛා මැදින් ....

තරුණ කම එබෙනවා .    


අපි අපිටම හිනා වෙනවා..                 

යහලුවන්   දුටුවාම 

තිත් කොමා මැකී ගොස් සතුට පුරවං හිතේ 

අපි තාම නටනවා.🙂🙂🙂🙂🙂 

වැලි මාළිගා හදනවා…………

 









A day in the life

2026-03-02

අපව නිර්වචණය කරයි.




මිනිස්සු හරි දේ වෙනුවෙන් පෙනී සිටි කාලයක් තිබුණා.

දැන් බොහෝ දෙනෙක් පෙනී සිටින්නේ 

තමන් කැමති අය වෙනුවෙන් පමණයි.


සත්‍යය සාකච්ඡා කළ හැකි වුනත්  

නොබෙදුනු බව  තෝරා බේරා ගන්නා තැනට පත්වෙලා.

එකගතාවයක් නැහැ.

පක්ෂපාතීත්වය... 

අන්ධභාවයට පත්වෙලා .


අපි වැරදි පැහැදිලිව දකිනවා.- 

අප ආදරය කරන, අගය කරන හෝ අපේ යයි කියන  

කෙනෙකු විසින් කරන තුරු පමනයි. 

එමෙහ වුනාම  හදිසියේම ප්‍රමිතීන් වෙනස් වෙනවා.

වැරදි වලින් නිදහස් කරන අයුරු.

පුදුම සහගතයි.

නිශ්ශබ්දතාවය වගකීම තහවුරු කරනවා..


අපි ඇත්ත දන්නවා පැහැදිලිවම ඇත්ත දකිනවා. 

නොදන්නා නිසා නොවෙයි.

සත්‍යය බැඳීමට තර්ජනයක් වන බව දකින විට 

 අපහසුතාවයක් දැනෙන නිසා.

දෑස් පියාගෙන කට වසා ගෙන ඉවසනවා.


එවිට

මිනිසුන් සාධාරණත්වයට වඩා 

මිතුරන් ආරක්ෂා කරනවා,

කරුණුවලට වඩා පවුල,

සත්‍යයට වඩා ගෝත්‍රය,

වැදගත් වෙනවා.


නමුත් 

සැබෑ චරිතය හෙළි වන්නේ 

ඉතාමත් අපහසු අවස්ථාවන් වල

සැලකිලිමත් වන කෙනෙකු 

විශේෂිතයෙකු වැරදි වූ විට

ඔබ අනුමැතියට වඩා අවංකකම 

තෝරා ගන්නා විට.

හානියට ඉඩ දීම 

පක්ෂපාතී බව  නොවන බැව් පසක් වු විට.


අපි

එයට සහභාගීත්වය කියනවා. 

හරි දේ වෙනුවෙන් කෙනෙකු ආරක්ෂා කිරීම 

අපි ඔවුන් ආරක්ෂා කිරීමක් නොවෙයි.

අපේ  සැනසීම ආරක්ෂා කිරීමක්. 

.

“ඔබ සමඟ මගේ සම්බන්ධතාවය 

ඔබේ ක්‍රියාවන්ගේ බලපෑමට වඩා වැදගත් වේ.”

යැයි කියනවා.

අසාධාරණය නිහඬව පවතින්නේ එලෙසයි -


ඝෝෂාකාරී දුෂ්ටයන් හරහා නොව, 

නිහඬ පක්ෂපාතීත්වය හරහා.

අසාධාරණය නිහඬවනවා


අඛණ්ඩතාව යන්නෙන් අදහස් කරන්නේ 

ඔබ වටා සිටින මුහුණු සමඟ 

ඔබේ වටිනාකම් වෙනස් නොවන බවයි.


වැරදි කරන්නා ආගන්තුකයෙකු වුවද 

හෝ ඔබේ සමීපතම සගයා වුවද 

ඔබ එකම රේඛාව තබා ගන්නා බවයි.


“මම ඔබ ගැන සැලකිලිමත් වෙනවා… ඔබ වැරදියි.”


“ඔබ වැරදියි… 

මම තවමත් ඔබ ගැන සැලකිලිමත් වෙනවා” 

යනුවෙන් පැවසීමට පරිණතභාවය අවශ්‍යයි.


අපට වඩා හොඳ ලෝකයක් අවශ්‍ය නම්, 

මනාපයට වඩා මූලධර්මය,

ගෝත්‍රයට වඩා සත්‍යය,

සැනසීමට වඩා හෘද සාක්ෂිය තෝරා ගන්නා පුද්ගලයින්ගෙන්.

අපට වඩා හොද ලෝකයක් පටන් ගනී. 


අප ආරක්ෂා කරන දෙය අවසානයේ 

අපව නිර්වචනය කරන බැවිනි. 🕊️



A day in the life

2026-03-01

'Rebuilding Sri Lanka' සහ දිට්වා.



ශ්‍රී ලංකාව 'දිට්වා' සුළි කුණාටුවට මුහුණ දී මාස තුනක් ගත වී තිබේ.

'දිට්වා' සුළි කුණාටුවෙන් සිදුවූ අතිවිශාල හානියෙන් පසුව රට යළි ගොඩනැංවීම අරමුණු කර ගනිමින් 'Rebuilding Sri Lanka' නමින් අරමුදලක් ස්ථාපනය කිරීමට රජය කටයුතු කළ අතර, එම අරමුදලේ කළමනාකරණ කමිටුවක් ලෙස කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දුගේ සභාපතීත්වයෙන් යුතු කමිටුවක් පත් කිරීමට රජය කටයුතු කර තිබිණි.


2005 වසරේ සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත යටතේ මෙවැනි අවස්ථාවලදී අවශ්‍ය අරමුදල් එක්රැස් කිරීම සහ අවශ්‍ය කටයුතු සඳහා මුදල් යෙදවීම වෙනුවෙන් පිහිටවනු ලැබූ අරමුදලක් ද පවතින පසුබිමක මෙලෙස නව අරමුදලක් පිහිටුවීම සම්බන්ධයෙන් විශාල වශයෙන් විවේචන එල්ල විය.


එම විවේචන මධ්‍යයේ රට යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා ක්‍රියාත්මක 'Rebuilding Sri Lanka' ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උළෙල ජනවාරි 13 ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.


කෙසේ වෙතත් මෙම අරමුදලේ නීත්‍යනුකූලභාවය සහ එහි පසුබිම සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහා බීබීසී සිංහල සේවය 2026 ජනවාරි 23 වන දින ජනාධිපති කාර්යාලය සහ මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය වෙත 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ඉල්ලීමක් කළේ ය. මේ, එම තොරතුරු ඉල්ලීමට එම ආයතනවලින් ප්‍රතිචාර දක්වා තිබූ ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමකි.

01. 'ජනාධිපති කාර්යාලයේ විෂය පථයට අයත් කරුණක්'

අප විසින් යොමු කරන ලද තොරතුරු ඉල්ලීමට පළමු ප්‍රතිචාරය මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයෙන් ලැබුණු අතර, 2026 ජනවාරි 30 වන දින ලැබුණු එම පිළිතුරේ සඳහන්ව තිබුණේ, Rebuilding Sri Lanka සම්බන්ධයෙන් අප විමසා තිබූ තොරතුරු ජනාධිපති කාර්යාලයේ විෂය පථයට අයත් බවට නිරීක්ෂණය වන බව ය.

එම නිසා එම තොරතුරු ඉල්ලීම ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යැවීමට ද උක්ත අමාත්‍යංශය කටයුතු කර තිබිණි.

එම පිළිතුර අනුව පෙනී යන මූලික ම කරුණ වන්නේ, Rebuilding Sri Lanka යනුවෙන් අරමුදලක් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතේ නොමැති බව ය.

02. Rebuilding Sri Lanka අරමුදල පවතින්නේ කුමන ආයතනය යටතේ ද?

'Rebuilding Sri Lanka යනුවෙන් අරමුදලක් ඔබ ආයතනය යටතේ පවතින්නේ ද?' යනු අප විසින් ජනාධිපති කාර්යාලය සහ මුදල් අමාත්‍යංශය වෙත යොමු කරන ලද පළමු ප්‍රශ්නය යි.

මුලින් සඳහන් කළ පරිදි මුදල් අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ, එය ජනාධිපති කාර්යාලයේ විෂය පථයට අයත් වන බැවින්, එම අමාත්‍යංශය යටතේ එවැනි අරමුදලක් නොමැති බව පවතින තොරතුරු අනුව පෙනී යයි.

2026 පෙබරවාරි 24 වන දින ජනාධිපති කාර්යාලය විසින් අපගේ විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන ලද තොරතුරු අනුව ඉහත ප්‍රශ්නයට ඔවුන් ලබා දී තිබෙන්නේ, "Rebuilding Sri Lanka අරමුදල ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටුවීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින," බව ය.

එසේ නම් මේ වන විට එම කාර්යාලය යටතේ ද තවමත් එවැනි අරමුදලක් පිහිටුවා නොමැති බව පෙනී යයි.

03. අරමුදල පිහිටුවා ඇති නීතිමය ප්‍රතිපාදන මොනවා ද?


ජනාධිපති මාධ්‍ය අංශය විසින් දෙසැම්බර් 01 නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක මෙම අරමුදල සම්බන්ධයෙන් සඳහන් වූ අතර, පරිත්‍යාගශීලීන්ට තම මුදල් ආධාර දේශීය හෝ විදේශීය ඕනෑ ම පුද්ගලයෙකුට, ශ්‍රී ලංකා රුපියල්වලින් හෝ ඕනෑ ම මුදල් ඒකකයකින් පරිත්‍යාග කිරීම සඳහා බැංකු ගිණුම් විස්තර ද එම නිවේදනයේ සඳහන් කර තිබිණි.

විපක්ෂය එල්ල කළ ප්‍රබල චෝදනාවක් වූයේ, මෙම අරමුදල පිහිටුවීමට අදාළ නීතිමය ප්‍රතිපාදන නොමැති බවත්, අවශ්‍ය නම් 2005 වසරේ සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත යටතේ මෙවැනි අවස්ථාවලදී අවශ්‍ය අරමුදල් එක්රැස් කිරීම සහ අවශ්‍ය කටයුතු සඳහා මුදල් යෙදවීම වෙනුවෙන් අරමුදලක් පවතින බවත් ය.


'Rebuilding Sri Lanka' අරමුදල පිහිටුවා ඇති නීතිමය පසුබිම කුමක් ද? යන්න අපගේ තොරතුරු ඉල්ලීමේ දෙවන ප්‍රශ්නය විය.


"Rebuilding Sri Lanka අරමුදල පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත සකස් කෙරෙමින් පවතින බව" ජනාධිපති කාර්යාලයේ පිළිතුර විය.

“කෙසේ වෙතත්, www.rebuildingsrilanka.gov.lk යන රජයේ අරමුදල් රැස් කිරීම සඳහා හඳුන්වා දී ඇති වෙබ් අඩවියේ සඳහන් වන ආකාරයට රජය Rebuilding Sri Lanka අරමුදල ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පිහිටුවා තිබේ.” 

 කෙසේ වෙතත් මෙම තොරතුරු ඉල්ලීම අනුව පෙනී යන්නේ, තවමත් එවැන්නක් පිහිටුවා නොමැති අතර, ඒ සඳහා තවමත් අවශ්‍ය කටයුතු සිදු කෙරමින් පමණක් පවතින බව ය.

04. අරමුදල විගණනය කෙරෙන ක්‍රියාවලිය කුමක් ද?

අරමුදල විගණනය කෙරෙන්නේ කෙසේ ද? යන්න තොරතුරු ඉල්ලීමේ තෙවන ප්‍රශ්නය විය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ද ජනාධිපති කාර්යාලයේ තොරතුරු ලබා දීමේ ලිපියේ සඳහන්ව තිබුණේ "Rebuilding Sri Lanka අරමුදල ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටුවීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බව," පමණකි.

05. අරමුදලට එකතු වී ඇති දෙස් විදෙස් අරමුදල් ප්‍රමාණය කොපමණ ද?

www.rebuildingsrilanka.gov.lk යන අරමුදල් රැස් කිරීම සඳහා රජය හඳුන්වා දී ඇති වෙබ් අඩවියට අනුව, 2026 පෙබරවාරි 10 වන විට රු. බිලියන 6.072ක් එකතු වී තිබූ අතර, රුපියල්වලට අමතරව ඇමෙරිකානු ඩොලර් මිලියන 10.29ක් ද එයට එකතු වී තිබිණි.

කෙසේ වෙතත්, තොරතුරු ඉල්ලීම සිදු කළ 2026 ජනවාරි 23 වන දින දක්වා අරමුදලට එකතු වී ඇති අරමුදල් ප්‍රමාණය විමසා තිබූ නමුත් ජනාධිපති කාර්යාලය පිළිතුර වී ඇත්තේ, "Rebuilding Sri Lanka අරමුදල ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටුවීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බව," ය.

06. 'Rebuilding Sri Lanka අරමුදල ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටුවීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතී'

ඉහත සඳහන් වූ ප්‍රශ්නවලට අමතරව "Rebuilding Sri Lanka අරමුදල ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටුවීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතියි" යන පිළිතුර ලැබුණු තවත් ප්‍රශ්න කිහිපයක් තොරතුරු ඉල්ලීමේ විය.

අරමුදල පවත්වාගෙන යාම, පරිපාලනය ඇතුළු කටයුතු සඳහා කොපමණ සේවක සංඛ්‍යාවක් සිටිනවා ද?, 

ඔවුන්ට වැටුප් ගෙවීමක් සිදු කරන්නේ නම් වැටුප් ගෙවීම සිදු කරන ආයතනය කුමක් ද?, මෙම අරමුදල හරහා සිදු කළ වියදම්, එම වියදම්වලට අනුමැතිය ලබා දුන්නේ කවු ද? 

යන ප්‍රශ්න සඳහා ද ජනාධිපති කාර්යාලයේ පිළිතුර වී ඇත්තේ, "Rebuilding Sri Lanka අරමුදල ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටුවීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතියි" යන්න පමණි.

07. අරමුදලට කළමනාකරණ කමිටුවක් සිටිනවා ද?

මෙම අරමුදලට සඳහා කළමනාකරණ කමිටුවක් නොමැති බව ජනාධිපති කාර්යාලය පවසයි.

කෙසේ වෙතත්, ජනාධිපති මාධ්‍ය අංශය විසින් 2025 දෙසැම්බර් 01 දින නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ, 'රජයේ සහ පෞද්ගලික අංශයේ නියෝජිතයන්ගෙන් සමන්විත 'Rebuilding Sri Lanka' අරමුදලේ කළමනාකරණ කමිටුව පත් කෙරේ,' යනුවෙනි.


එය ජනාධිපති මාධ්‍ය අංශයේ නිල වෙබ් අඩවියේ ද පළ කර තිබේ.

"මෙම අරමුදල ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ව්‍යවස්ථාපිත අරමුදලක් ලෙස පිහිටුවීමට නියමිත අතර එහි කළමනාකරණ කමිටුව රජයේ සහ පෞද්ගලික අංශයේ නියෝජිතයන්ගෙන් සමන්විත ය," යනුවෙන් එහි සඳහන් ය.

කෙසේ වෙතත් තොරතුරු ඉල්ලීමට ලැබුණු ප්‍රතිචාරයේ සඳහන් වන්නේ 2025.01.01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව අරමුදල සඳහා පත් කර ඇත්තේ පාලක මණ්ඩලයක් බව ය.

එහි සාමාජිකයන් මෙසේ ය.

  • කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු

  • බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්

  • මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම

  • ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව

  • විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ යුරෝපය සහ උතුරු ඇමරිකාව සඳහා අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න

  • හේලිස් සමූහයේ සභාපති මොහාන් පණ්ඩිතගේ

  • ජෝන් කීල්ස් සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍රන්

  • එයිට්කන් ස්පෙන්ස් උප සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය පරාක්‍රම දිසානායක

  • බ්‍රැන්ඩෙක්ස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඔමාර්

  • LOLC විධායක සභාපති ඉෂාර නානායක්කාර

මෙම සාමාජිකයන් මෙම අරමුදලේ "පරිපාලන කමිටුව" ලෙස පත් කිරීමට සලකා බැලූ කරුණු ජනාධිපති කාර්යාලයේ තොරතුරු ලබා දීමේ ලිපියේ සඳහන්ව තිබේ.

විශ්වාසනීයත්වය, කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය ශක්තිමත් කිරීම සඳහා රජයේ සහ පෞද්ගලික අංශයේ නියෝජනය සහිතව පාලක කමිටුව පත් කිරීමට යෝජනා කර තිබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.

08. ඔවුන් තෝරා ගත්තේ කෙසේ ද? ඔවුන්ගේ බලතල සහ වගකීම් මොනවා ද?

ඉහත සඳහන් කළ කළමනාකරණ කමිටුවේ කාර්යය "අරමුදල ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේ බලය කළමනාකරණ කමිටුවට හිමි වන අතර, අවශ්‍යතා තක්සේරු කිරීම, ප්‍රමුඛතා සැකසීම, අරමුදල් වෙන් කිරීම සහ අනුමත ප්‍රතිසාධන කටයුතු සඳහා මුදල් නිකුත් කිරීම," යනුවෙන් 2025 දෙසැම්බර් 01 ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වේ.

"මෙම කමිටුව විසින් අරමුදලට අදාළ මූල්‍ය කළමනාකරණය, විගණනය සහ සියලු ම අරමුදල් ක්‍රියාකාරකම්වල පූර්ණ විනිවිදභාවය සහතික කරනු ඇත," යනුවෙන් ද එහි වැඩිදුරටත් සඳහන් ය.

කෙසේ වෙතත්, තොරතුරු ඉල්ලීමෙහි සඳහන් වන මෙම "පාලක කමිටුවේ" කාර්යය සීමාව දක්වා ඇත්තේ මෙසේ ය.

"මහජන විශ්වාසය පවත්වා ගැනීම වැඩිදියුණු කිරීම සහ ආපදා ආශ්‍රිත දායකත්වයන් සඳහා මහජන සහභාගිත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා වන කඩිනම් ජාතික අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන විනිවිදභාවය, වගවීම පවත්වා ගනිමින් සහ නිසි ආයතනික ක්‍රියාපටිපාටි මූලධර්මවලට අනුකූල වෙමින්, පරිත්‍යාගයන් යොදවා ගැනීමට උපාය මාර්ගික මග පෙන්වීම සහ සම්බන්ධීකරණය සැපයීමට මෙන් ම අදාළ දැනුවත්භාවය සහ ප්‍රජා සම්බන්ධතා ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා පාලක කමිටුවේ කාර්යයන් සීමා කර ඇත."

මුදල් කාරක සභාවේදී සිදු වූයේ කුමක් ද?

පසුගිය පෙබරවාරි 17 වන දින සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් කැඳවූ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ ද මෙම අරමුදල සම්බන්ධයෙන් සාකච්ඡාවක් මතු විය.

එහිදී ආචාර්ය හර්ෂ ද සිල්වා, නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් අරමුදල සම්බන්ධයෙන් විමසා සිටියේ ය.

"සල්ලි ටික ඔක්කොම DST අකවුන්ට් [Deputy Secretary to the Treasury - අරමුදලට මුදල් රැස් කිරීම සඳහා රජය නිවේදනය කළ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයාගේ ගිණුම] එකට ඇවිල්ලා තියෙනවා. ඒකට ලෝ එකක් [නීතියක්] හැදිලා නෑ," නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයා පැවසුවේ ය.

එහිදී රජයේ අරමුදල් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ මුදල් කාරක සභාව බව ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ ය.

"අපි තමයි මේක අධීක්ෂණය කරන්නේ, අපි තමයි මුදල් කාරක සභාව... එක්කෝ තීරණයක් ගන්න ආණ්ඩුව. එක්කෝ කියන්න අපි DST අකවුන්ට් එකේ ම මේක තියන් යනවා, එහෙම නම් Rebuilding Sri Lanka ෆන්ඩ් එකක් ගැන කතා කරන්න එපා," ඔහු පැවසුවේ ය.

"මොකද Rebuilding Sri Lanka ෆන්ඩ් එකක් මෙහෙ නෑ


BBC වෙතින් ලබාගන්නා ලද්දකි.



A day in the life

2026-02-28

සුනිල් මාධව - ජයලාල් රෝහණ කියූ කතාව





1985 පමණ වන විට මම එක්තරා දේශපාලන පක්ෂයක සාමාජිකත්වය දැරුවෙමි. කෝට්ටේ පාගොඩ ආනන්ද බාලිකා මාවත [එවකට පස්වන පටුමග] වරක් රතු කොඩි වලින් ‍පිරී ගියේය. "ශාන්ත බණ්ඩාර ස‍හෝදරයා එනවා" බොහෝ දෙනා කියවන්නට විය. ආනන්ද බාලිකා මා‍වතේ ආණ්ඩුවේ පයිප්ප තුනක් විය. එකක් ආනන්ද බාලිකාව ළඟය. අනෙක ගුණසිරි අයියාගේ ගෙය ළඟය. අනෙක මාවතේ කෙළවර අමරසිංහ ගේ නිවස ළඟය. මේ ස්ථාන තුන අසළ ශාන්ත බණ්ඩාර සහෝදරයා ඇතුළු පිරිස-
-ඉතා ශූර විලාසයෙන් රැස්වීම් පවත්වමින් ජනතාව ඇමතුවේය. ඒ අතර එකෙකු මගේ කරට අතදාමින් "මල්ලි මට පුංචි උදව්වක් කරනවද?" යි ඇසුවේය. ඔහුට අවශ්‍යව වූයේ පෑනක් සහ කඩදාසියකි. නිවසට ගොස් එය ගෙනැවිත් දෙන අතර ඔහු මා සමඟ විය. ඒ ටිකට මට කොක්ක ඇමිණී අවසානය.
එදා ඒ විප්ලවකාරී දේශපාලන පක්ෂය විසින් සාමාජිකයින් එකතු කළේ අන්න ඒ ආකාරටයි. කාලය ගෙවී යමින් 1987 උදා විය. අපි නාට්‍ය කලාවේ ක්‍රමයෙන් හිස ඔසොවන පිරිස වීමු. 1987 දී යෞවන සම්මාන දිනා ගන්නා විට මට වයස අවුරුදු විසි තුනකි. පොත් පත්තර කියවීම විනෝදාංශය කරගත් අපට කවදාවත් අමතක නොවන නමක් වූ සුනිල් මාධව ප්‍රේමතිලක අහම්බෙන් මෙන එක්තරා පත්තර කන්තෝරුවක දී මට මුණ ගැසුනි.
"කවුද මල්ලි සොයන්නේ?" ඒ ඔහුය.
මට ඔහුව හරියට හඳුනා ගත නොහැකිය.
"මම හොයන්නේ ... අහවලා..." කියමින් ඉදිරියට ඇදුනෙමි.
"උඹගෙ නාට්‍යය මරු මචං, ඒකේ සුරා කෑම ගැන නියමෙට කියවෙනවා."
"ඇත්තමයි මල්ලි මං බැලුවා... " ඔහු දිගටම පවසයි.
"මං චූටි එකක් අරගෙනයි උන්නේ..." ... මම කල්පනා කළෙමි‍.
මචං, මල්ලි, චූටි එකක්, ඒ අතර ඇස් දෙක වරින් වර ගැස්සීම ... ඒ වචන කෝෂය මට තරමක් හුරුය. මම ඔහුට කතා කළෙමි.
"මං පුංචි ප්‍රශ්නයක් අහන්නං අයියේ?"
"ඔව් මල්ලි"
"ඔයා .... සුනිල් මාධව ද?"
"ඔව් බං ... ඇයි මාව මතක නැද්ද අපි මීට කළින් හම්බු වුණේ?"
සමහර විට අප මීට පෙර හමුවී නැත. එහෙත් සුනිල් අයියා කුළුපග බව රැක ගන්නට එසේ කියන වග මට හොඳින් වැටහුණේ තරමක් කල් ගෙවුණු පසුයි.
"මං මේ අහන්නමයි හිටියේ අයියාගේ තාත්ත ද මීමන ප්‍රේමතිලක කියන කවියා?"
"හ්ම්හ්... උඹ එහෙනං අපේ තාත්තා ගැනත් දන්නවා ඈ!"
"ඔව් මම දවසක් කඩල ගොට්ටක් කාල කොලේ කියවද්දි ඔයාගේ තාත්තගෙ කවියක් කියවන්න ලැබුණා. ඒක මගේ ජීවිතේ අහපු හොඳම කවි වලින් එකක්."
රුදු මරුවා ඇවිත් මගේ ඇඳ ළඟ ගාටත්
ජීවිතයම අවිස්වාසයි අද රෑටත්
දැන්විය යුතුයි සොඳුරිය මළගම කාටත්
මගේ සොහොයුරාටත් දරුවන් තිදෙනාටත්
"හරි‍ නේද?" ඔහු ඉතා ආසාවෙන් මා දෙස බලා සිටියේය.
"තාම මතකයි නේද?..." ඔහු එක එල්ලේ මා දෙස බලා සිටියි.
"අපි බොමු මල්ලි ප්ලේන්ටියක්." කියමින් ඔහු සාක්කුවට අත දා මාරු සල්ලි කිහිපයක් හිතවතෙකුට දෙයි. මම තව තවත් ඔහු සමග කියවමිනි.
"මම ඔය කවියට ආස කරන්නේ, ඉතාමත් අසීරු එළිවැට රැකීම නිසයි. ඒ වගේම කවිය ලියල අතේ තියාගෙනම ඔහු මිය ගිය එකයි. මරණය අභියස දී කවියෙන් දැකීම පුදුම කවියෙක් නේද?"
එදා ඉඳන් සුනිල් අයියාත් අපිත් අතර හිතවත්කම් වැඩි දියුණු විය. මෙතැන දී අපි කිව්වේ කවුද?
* කාලෙකදි 1989 මිය ගිය කිහිප දෙනෙක්. [ඔවුන් සැබවින්ම ජීවිතය විප්ලවය උදෙසා පුදනු ලැබූවන්ය. අද ඔවුන් සිටියා ද නැද්ද සමහරුන්ට මතක නැත.]
* පසුකාලීනව X කණ්ඩායම නිර්මාණය කල දීප්ති කුමාර ගුණරත්න ඇතුළු සර්පයා සහ පිරිස [පසුව ඉතා වේගයෙන් ආශ්‍රයෙන් ඉවත් වී X කණ්ඩායම පිහිටුවා ගත්තේය]
* අශෝක හඳගම ප්‍රමුඛ නාට්‍ය කණ්ඩායමේ පිරිසක්. අද හඳගම ඒ තැන්වල නැත.
* පසුකාලීනව විකල්ප පුවත්පත් හැටියට නිර්මාණය වූ "රාවය" සහ සුනන්ද දේශප්‍රිය සංස්කරණය කළ "යුක්තිය" පත්තර සහ සඟරා වලට ලියපු පිරිසක්‍.
* විකොසෙන් [විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය] ගැල වී ආ කීප දෙනෙක්.
* වීදි නාට්‍ය කණ්ඩායම් වල [ගාමිණි හත්තොට්ටුවේගමගේ හා විවෘත කලා කවයේ] සිටි පිරිසක්
මේ සියළු කණ්ඩායම් කොළඹ කේන්ද්‍ර කරගෙන යම් කිසි උප සංස්කෘතියක් ගොඩ නගාගෙන තිබුණේ යැයි කීවොත් නිවැරදිය. මහජන පුස්තකාලය, සෝවියට් සංස්කෘතික මධ්‍යස්ථානය හා සුදර්ශිය ඉහත කී කල්ලිවල නවාතැන් විය. ඔය සෑම තැනකම අප සියළු දෙනා එල්ලීගෙන ගන සම්මන්ත්‍රණ සංවාද වලට සහභාගි වූයෙමු. මේ අතර සංවාද වල යෙදෙන විද්වත් මණ්ඩල අතරේ සිටි පණ්ඩිතයින් කාර්වලින් ආපසු ගිය විට අප සමග අත්වැල් බැඳගත් එකම පුද්ගලයා‍ වූයේ සුනිල් මාධව ප්‍රේමතිලකයන් ය. මහජන පුස්තකාල කැන්ටිම බිත්ති කතා කරන්නේ නම් මොන මොන දේ කියයිද?
ඔතන ඉඳගෙන ප්ලේන්ටිය බොන ගමන් ඩලස් අලහප්පෙරුමලා විමලසිරි ගම්ලත් ලා [අද එහෙම කෙනෙක් නැත] මොන මොන දේවල් කතා වෙන්න ඇත්ද?
ඔහ හැම තැනකම කතා කළත් නොකළත් සුනිල් අයියා සිටියේය. දවසක් මම ලිපි රචනා කළ 'දෙසතිය' සඟරාවේ හිටපු කර්තෘ ගාමිණි විජේතුංගයන් අමුතු කතාවක් කීවේය. "සුනිල් මාධව හොඳ වැ‍ඩකාරයෙක්. වැඩේ තියෙන්නේ මනුස්සය එක එක ගුබ්බෑයම් කාරයෝ අල්ලගෙන තියෙන අගේ නැති කරගන්නවා."
මම එදා ගාමිණි විජේතුංගයන්ට මුවින් නොබැණ ඉවසා එතැනින් පිට වූයෙමි. නමුත් අද මම ඔහුට එකඟ වෙමි. මේ වන විට ඔහුද මිය ගොස්ය.
විවිධ විකල්ප මතධාරීන් සමඟ එකතු වූ සුනිල් අයියා ඔවුන් සමග කරට කර වැඩ කරන්නට යෙදුණේය. මෙතැන දී මම ඔහුගේ දුර්වලතාවයක් දකිමි. [වර්තමානය සමාජය මෙවැනි සත්ගුණ දකින්නේ දුර්වලතාවක් හැටියටයි.]
කාලයක් ආතක් පාතක් නැති වැඩිදුර අධ්‍යාපනය නොලැබූ බොහෝ දෙනෙක් පත්තර කලාවට පැමිණි යුගයක් විය. ඇත්තටම එය ඛේදවාචකයකි. එකී බොහෝ දෙනෙක් හරියට ආකර්ශනීය ලෙස වාක්‍යයක් ලි යන්නේ කොහොම ද කියා අවබෝධ කරගත්තේ සුනිල් අයියාගෙනි. ඔවුන්ට හරි මඟ පෙන්වාදී ම සුනිල් අයියා කළ දුර්වල කටයුත්තයි. කිමද ඔවුන් බොහෝමයක් සුනිල් අයියාගේම කටට පැහැරුවා හැරෙන්නට වෙන යමක් කළේ නැත.
ඔහුගේ අනෙක් දුර්වලකම [සත් ගුණය] නම් තමා ඉදිරියට පැමිණ දුක් වේදනා කියන හැම කෙනෙක් ම පිළිගැනීමයි. විශ්වාස කිරීමයි. මේ කාළකණ්නි සමාජයේ සිටින දුර්දාන්ත මුදලාලිලා කපටි කුහකයෝ සුනිල් අයියා සමග මීවිත තොල ගෑවේ ඔහුට ඇති ආදරයකට නොවෙයි. පොත් පත් නොකියැවූ ඔවුන් සුනිල් අයියා‍ගේ දැණුම වක්‍ර ආකාරයකින් ලබා ගත්තේ ඒ මාර්ගයෙනි. මේ පුද්ගලයා කිසිම ලෝබ කමක් නැතිව වට වූ සෑම කෙනෙකුටම යමක් කියා දෙයි. ඔවුන් පසුදා උදේ පත්තර කන්තෝරු වලට ගොස් ඊයේ රෑ සුනිල් අයියා කියා දීපු දේවල් හරියටම තමන් කියවා ලැබූ දැනුම වාගේ සෙස්සන්ට කියන්නට විය. පිටවෙන්නේ සුනිල් අයියාගේ වචනයි.
වර්තමානයේ අමනයෝ මේවා උගැන්වීම් හැටියට නොගනිති. ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයා ඉදිරියේ ඇඳිවත උණා අපර් එකක් ගත්ත කෙල්ලෙක් ඉන්පසු කථිකාචාර්යවරියක් වී පොත් බලාගෙන උගන්වන විශ්වවිද්‍යාල දේශනවලට උගැන්වීම යැයි කියති.
ඉහත කී දුර්වලතාව සුනිල් අයියා තුළ තවමත් රජ කරයි. ඕනෑම එකෙකු විශ්වාස කිරීම නිසා ඉතා ඉක්මණින් කළකිරෙන ඔහු නැවතත් නිවෙසට වී කල්පනා කරයි. ඔහුගේ පිහිට පතමින් ඔහුගේ නම විකුණමින් ජනතාවගේ මුදලින් 'පත්තර' ආරම්භ කළ සමහර නිවටයෝ පසුකාලීනව සුනිල් අත හැර දමා දේශපාලන වේදිකාවේද අර බොරුවම කළේය. ජනතාවද රැවටුණි. සමහරු ඇමතිකම් දැරීය. සමහරු වර්තමානයේ පාර්ලිමේන්තුවට වැදී බණ දෙසති. ‍මේ සියළු දෙනාම සුනිල් අයියාට සදාකල් ණයගැතිය.
2001 මැතිවරණයේදී මට නැවතත් 'සුනිල් අයියා' මුණ ගැසුණේ අපූරු විදියකටය. ඒ නුගේගොඩ ජනතා විමුකති පෙරමුණ විසින් සමාජවාදී කලා සංගමය යටතේ පැවැත්වුණු මහා රැස්වීමේදීය. මුළු රැස්වීම සඳහා එදා විශාල ජනකායක් පැමිණ සිටියහ. එහෙත් වේදිකාවට නගින්නට සිටියේ කලාකරුවෝ කී දෙනාද? පරාක්‍රම කොඩිතුවක්කු, ගුණදාස කපුගේ, ඩබ් එස් විජේසිංහ, සුනිල් මාධව, රංජිත් බාලසූරිය, උදය ආර් තෙන්නකෝන් සහ මමයි. ලූෂන් බුලත්සිංහල, හර්ෂ බුලත්සිංහල, රනිල් මල්ලවආරච්චි පසුව වේදිකාවට පිවිසුණි. ප්‍රේමසිරි කේමදාස මහතා එනවා ය කීවත් එහු අසනීප යැයි පැවසීය. එවකට පැවති ආණ්ඩුව යූඇන්පී යයි. මේ නිසා සමහරු බයෙන් තැති ගත්හ. ජවිපෙ වෙනුවෙන් අපි නිර්භයව වේදිකාවේ කතා කළෙමු.
වේදිකාවෙන් බැස සතියක් ගෙවෙනවාත් සමගම පරාක්‍රම කොඩිතුවක්කු ජවිපෙ දුර්වලතා කියමින් පත්තරවල ලිපි දෙකක්ම පළ කරවා තිබුණි. පරාක්‍රම කැඳවාගෙන ඒම සඳහා ජවිපෙන් රත්නපුරයට වාහනයක් යවා තිබිණ. ඔහු ආපසු ගියේද එම වාහනයෙනි. එය පරාක්‍රමගේ කොන්දේසියකි. සෙස්සෝ බස් රථ වලම එතැනට පැමිණියහ. සුනිල් අයියාද එදා ඉතාමත් ආවේගශීලි ලෙස තම අදහස් ප්‍රකාෂ කරමින් ජවිපෙට ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. වේදිකාවෙන් බහිනවාත් සමගම පරාක්‍රම ඇසුවේ වාහනය කෝ කියාය. ඩිමාන්ඩ් කරන මිනිහාට ජවිපෙන් සළකනු ලැබීය. මෙය අනෙකුත් සාමාන්‍ය දේශපාලන පක්ෂයක ක්‍රමවේදයමය.
නැවත 2004 මහා මැතිවරණය උදා වූයේ හදිසියේම සිදු වූ ආණ්ඩුව විසුරුවා හැරීමත් සමගය. ඒ සඳහා 'ජනතා කලාකරුවෝ' නම් කණ්ඩායම නිර්මාණය විය. එදත් නුගේගොඩ බස් නැවතුම් පොළ අසළ රැස්වීමට සුනිල් අයියා පැමිණියා මතකයි. රැස්වීම සම්පූර්ණයෙන්ම සංවිධානය කළේ ජනතා විමුක්ති පෙරමුණයි. එදා නම් බොහෝ දෙනෙකුට 'සුනිල් අයියා' ගැන විශේෂයක් නොවීය. කලාකරුවෝ වේදිකාවට නගින්නට පොරකමින් සිටියි. දුටු දුටු තැන කලා‍කරුවෝය. "මටත් කතාවක් ඕන, මටත් කතාවක් ඕන" හැම තැනම උනන්දුව. ඇයි? මේ ආණ්ඩුව එන බව විශ්වාසයි. 'අසූචි කන බල්ලාට අධෝ මාර්ගයේ හැ‍ඩයෙන් වැඩක් නැහැ' කියන්නාසේ ලියාපදිංචි වී සිටි කලාකරුවෝ පිරිසක් යූඇනපී යත් අතහැර එතැනට රොක් වූහ. 'සුනිල් අයියා' ද එහි දී කථාවක් කළේය. ඔහුව හඳුන්වා දුන්නේ ද මමයි. සමහර කලාකරුවෝ තමාට කථාවක් නොදීම පිළිබඳ උරණ විය. නමුත් කෝට්ටේ නගර සභාව කළ කෙණෙහිලිකම් නිසා අපට කාලය සීමා කරන්නට සිදුවී තිබිණ.‍
ආණ්ඩුව නැවතත් පත්විය. දැන් සුනිල් අයියාව ඔවුන්ට උවමනා කවදාටද? සමහරු මෙසේ අසති.
"ඇයි සහෝදරයා සුනිල් අයියා ගැන හිතන්නේ නැත්තේ?" ‍උත්තරය...
"මේකයි සහෝදරයා එයා ඩ්‍රින්ක් එක ගන්නවනේ, කොහොම ද පක්ෂෙ ප්‍රතිපත්ති එක්ක තැනකට ගෙනියන්නේ?"
"එහෙනං ඒ දවස්වල වේදිකාවට නග්ගන කොටත් එයා එහෙමනේ. එතකොට ප්‍රතිපත්තිවලට මොකද වුණේ?"
"මේකයි සහෝදරයා ධනවාදී ආකෘතිය තුළ අපි ඒ ගොල්ලන්ව පාවිච්චි කළා."
'සුනිල් අයියාට' අත් වූ ඉරණම ඒකයි.
දැන් වීප්ලවීය පක්ෂවලට සුනිල් වැන්නවුන් උවමනා නැත. ආයෙත් දවසක අන්ත කඩා වැටීමකට පත් වි ඔවුන් 'සුනිල් අයියා' සොයා ගෙන එනු ඇත. එවිට ඔහු මෙසේ කියනු ඇත.
"පව්... මල්ලී ... මචං උන්‍ දුකේ ඉන්නේ..." [ඇස් වේගයෙන් ඇරෙයි, වැහෙයි] "මට කතා කළා ... ආයෙත්. මේ වෙලාවේ උදව් කරන්න එපායැ. අපි නගිමු වේදිකාවට. නැගල මේ සූරා කෑමට විරුද්ධ හඩ නගමු."
අර බොරුකාරයින්ට ඔහු අනුකම්පා කරනු ඇත. ඔවුන් නැවතත් ධනවාදී ආකෘතිය ගැන කතා කරනු ඇත. සුනිල් අයියා ආයෙත් පාවිච්චි වෙනවා සිකුරුයි.
‍අනේ සුනිල් අයියේ ආයෙත් කවදාවත් එහෙම වෙන්න එපා. උන් අපිට වඩා සදාචාරෙයි ප්‍රතිපත්තියි දෙකම නැති කරගත් එවුන්.











Jayalal Rohana | ජයලාල් රෝහණ
බූන්දි, අඟහරුවාදා, මැයි 18, 2010

ප්‍රේමලාල් කුමාර - මුණු පොතට.
A day in the life

2026-02-27

කෙණ්ඩ පෙරලෙනවා



රෑට හොඳටම නිදාගෙන ඉන්නකොට එකපාරටම කකුලේ මස්පිඬුවක් (ගොඩක් වෙලාවට කෙන්ඩය) තද වෙලා, ඉවසගන්න බැරි කැක්කුමක් ඇවිත් කෑගැහිලා ඇහැරෙනවා නේද? කකුල හොලවන්නවත්, බිම තියන්නවත් බැරුව විනාඩි ගාණක් ඇඳේ පෙරළි පෙරළි විඳවන මේ තත්ත්වයට අපි සාමාන්‍යයෙන් කියන්නේ "කෙන්ඩ පෙරළෙනවා" කියලයි.
ගොඩක් අය හිතන්නේ මේක සීතල නිසා, එහෙමත් නැත්නම් වැරදි විදියට නිදාගත්ත නිසා වෙනවා කියලා. හැබැයි මේක ඔබේ ඇඟෙන් දෙන බරපතල අනතුරු ඇඟවීමක්! ඔබේ ශරීරයේ අත්‍යවශ්‍ය ඛනිජ ලවණයක් වන "මැග්නීසියම්" (Magnesium) හිඟ වුණාම තමයි මේ ලෙඩේ එන්නේ.
ඇයි මැග්නීසියම් නැති වුණාම කකුල් පෙරළෙන්නේ? (The Science)
අපේ ඇඟේ මාංශ පේශි වල ක්‍රියාකාරිත්වයට ප්‍රධාන ලවණ වර්ග දෙකක් ඕන වෙනවා.
කැල්සියම් (Calcium): මස්පිඬු සංකෝචනය කරන්න (තද කරන්න) උදව් වෙනවා.
මැග්නීසියම් (Magnesium): තද වුණු මස්පිඬු නැවත ලිහිල් කරන්න (Relax) උදව් වෙනවා.
ඔබේ ඇඟේ මැග්නීසියම් අඩු වුණාම, කැල්සියම් වල ක්‍රියාකාරිත්වය වැඩි වෙලා මාංශ පේශි දිගටම තද වෙලා හිරවෙනවා. ආයේ ලිහිල් වෙන්නේ නෑ. අර ඉවසගන්න බැරි කැක්කුම එන්නේ අන්න ඒ වෙලාවටයි. කාලයක් තිස්සේ මැග්නීසියම් අඩු වුණොත්, මේක හදවතේ මාංශ පේශි වලටත් බලපාලා හෘදයාබාධ පවා එන්න පුළුවන්.
ෆාමසියෙන් පෙති ගිලින්න කලින්, මේ කෑම 2 කන්න:
මැග්නීසියම් ඌනතාවය නැති කරන්න අපේ කුස්සියේම තියෙන මේ කෑම දෙක ප්‍රමාණවත්:
1. විසිකරන වට්ටක්කා ඇට (Pumpkin Seeds):
අපි වට්ටක්කා උයන්න අරගෙන ඇට ටික කුණු කූඩෙට විසි කරනවා නේද? හැබැයි වට්ටක්කා ඇට කියන්නේ ලෝකයේ මැග්නීසියම් බහුලවම තියෙන සුපිරි ආහාරයක් (Superfood). මේ ඇට ටික සෝදලා, අව්වේ වේලලා, කබලේ ලාවට බැදලා (Roast කරලා) කෑම කන ගමන් හැපුවොත්, දවස් කිහිපයකින් කකුල් පෙරළෙන එක සම්පූර්ණයෙන්ම නැවතිලා යාවි.
2. තද කොළ පැහැති පලා වර්ග (Dark Leafy Greens):
නිවිති, මුරුංගා කොළ සහ කතුරුමුරුංගා වගේ තද කොළ පාට පලා වර්ග වල මැග්නීසියම් පිරිලා තියෙනවා. සතියට දවස් 3ක්වත් මේවා ඔබේ කෑම වේලට එකතු කරගන්න. (ඒ වගේම කෙසෙල් ගෙඩි කන එකත් ගොඩක් ගුණදායකයි).
හදිසියේම කකුල පෙරළුණොත් ක්ෂණිකව කැක්කුම යවන රහස:
කැක්කුම ආපු ගමන් කකුල අතගාන්න එපා. කකුල දිග ඇරලා, කකුලේ ඇඟිලි ටික ඔබේ මුහුණ දෙසට (ඉහළට) තදින් අදින්න. එතකොට කෙන්ඩයේ තද වුණු මාංශ පේශිය ඇදිලා ගිහින් තත්පර 10න් කැක්කුම නැති වෙලා යනවා.
නින්දෙන් කෑගහන තරමට වේදනා විඳින අම්මලාට, තාත්තලාට සහ ගැබිනි මව්වරුන්ට මේ වටිනා පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න.
#LegCramps #MagnesiumDeficiency #MuscleSpasms #HealthyDiet #PumpkinSeeds #HealthTips #SriLankaHealth #NaturalRemedies










වෙද මහතා - මුණු පොතෙන්.
A day in the life