Success is getting what you want. Happiness is wanting what you get.>

සාර්ථකත්වය යනු ඔබ කැමති දේ ලබා ගැනීමයි. සතුට යනු ඔබට ලැබෙන දෙය රැක ගැනීමයි.

Mind precedes all knowables, mind’s their chief, mind-made are they. If with a corrupted mind one should either speak or act dukkha follows caused by that, as does the wheel the ox’s hoof.

(වේදනාදි චෛතසික) ධර්‍මයෝ සිත පෙරටු කොට ඇතියහ. සිත ශ්‍රේෂ්ඨ කොට ඇතියහ. සිතින් ම උපදනාහ. ඉදින් පහන් සිතින් කියන්නේ නම් හෝ කරන්නේ නම් හෝ ඒ හේතුවෙන් සැපය ඔහු කැටුව යෙයි. නොහැර කැටුව යන සෙවණැල්ල මෙනි.

I think nature’s imagination is so much greater than man’s, she’s never going to let us relax.

ස්වභාවධර්මයේ පරිකල්පනය මිනිසාගේ පරිකල්පනයට වඩා බෙහෙවින් වැඩි ය, ඇය කිසි විටෙකත් අපට විවේකීව සිටීමට ඉඩ නොදේ.

But I say to you, Love your enemies and pray for those who persecute you, so that you may be sons of your Father who is in heaven; for he makes his sun rise on the evil and on the good, and sends rain on the just and on the unjust.

නමුත් මම ඔබට කියමි, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න, ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න, එවිට ඔබ ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන්ගේ පුත්‍රයෝ වන්නහුය. මක්නිසාද ඔහු නපුරටද යහපත් අයටද තම හිරු උදා කරවනසේක.

“….so whenever guidance comes to you from Me, then whoever follows my guidance, then there will neither be any fear on them nor will they grieve.” Ayat 38

"....එබැවින් මා වෙතින් ඔබට මගපෙන්වීම පැමිණෙන විට, කවුරුන් හෝ මාගේ මඟ පෙන්වීම අනුගමනය කරයිද, එවිට ඔවුන් කෙරෙහි කිසිඳු බියක් හෝ ශෝකයක් ඇති නොවේ." ආයට් 38.

Sunday, September 18, 2022

දරුවෙක් බිහිවෙයි ඕපනායකින්









පුංචි කෝච්චිය... කොළඹ ඉදන් ඕපනායකට ආපු මතකය තියෙන අය බොහෝම අඩුයි. මීට අවුරුදු විසිපහකට විතර ඉස්සර  1997-1998 තරම.ඕපනායක ඉදන් කොළඹ ගිය පුංචි කෝච්චිය ආපසු අපිට දකින්නට ඕපනායක ට ආවේ නැහැ .අවසාන චාරිකාවට එක්වෙලා තිබුනේ සංචාරකයන් පිරිසක්.

පසු කාලයේ කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා පටු අමාන මාර්ගය නවීකරණය වෙලා  පුළුල් අමාන දුම්රිය මාර්ගයක් වෙනවා.

සුද්දන්ගේ හිරු නොබසින අධිරාජ්‍යයයේ පැවත්ම උදෙසා අපි වගේ රටවල් වල සංවර්ධණ කටයුතු සිද්ධවුනා.ඒවා අපිට ඕන දේවල් නෙමෙයි. එයාලගේ ව්‍යාපාර පැවත්ම සදහා අවශ්‍යවු යටිතල පහසුකම්. තේ පොල් රබර් වැවිලි නිෂ්පාදන කොළඹට ගේන්න මාර්ග පහසුකම් ඕන.එයාලා ඒකාලෙට ගැලපෙන විදියට මාර්ග පද්ධතිය සකස් කර ගත්තා. අපිට නිදහස ලැබුනාලු. නම වෙනස් වෙලා ලොකු ලොකු වගන්ති එක්ක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා හදා ගත්තත් තාම අධිරාජ්‍යයට වැද නමස්කාර කරනවා.

කෝච්චිය අමතක වුනා...මම පාසල් ගියේ පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය විද්‍යාලයට. සති අන්තයේ ගෙදර එනවා.  හුණුවල ඉදන් ඕපනායකට පුංචි කෝච්චිය ගමන් ගන්න මාර්ගය පිහිටා තිබුනේ මහා මාර්ගයට සමාන්තරව. ඒකාලේ බස් රථත් අශ්ප වේගයෙන් ගමන් නොගන්නා නිසා, පුංචි කෝච්චියේ කාල සටහනහට මගේ කාල සටහනත් ගැලපුනොත් පුංචි කෝච්චිය හමුවෙනවා.එතකොට කෝච්චියයි බස් එකයි කිලෝමීටර හතරක් විතර ඉබි ගමනේ ඇවිත් ඕපනායකින් වෙන් වෙලා යනවා. ඒ කාලේ ඒකත් චමත්කාරයක්.

පුංචි කෝච්චියේ උපතත් අහම්බයක්. ලංකාවට ආපු චීන පොහොර නැව (ගූ නැව) ආපහු ගියා වගේ මේකත් ආපහු අරින්න ඒ කාලේ ඇත්තන්ට දැනුම ශක්තිය තිබුනේ නැහැ. ගැහිල්ල කලේ පරිත්‍යාග විදියට. නැත්නම් සංවර්ධණය විදියට. සුද්දන්ට ලාභ ලැබෙන විදියට.සුද්දෝ යටත් විජිතයේ එක් එක් රටවල් සංවර්ධණ කටයුතු කලා කියලා මුලිනුත් සදහන් කලානේ. දකුණු අප්‍රිකාවෙත් මේ වගේ සංවර්ධණ ව්‍යාපෘතියක් ලෙස දුම්රිය මාර්ගයක් ඉදි කරන්න සැලසුම් කරනවා. මේ ව්‍යාපෘතිය අනුව කිලෝමීටර් 100ක් පමණ දිගින් යුත් දුම්රිය මගක් සහ පද්ධතියක් ඉදිකිරීමට ඇනවුම් කරනවා. මෙම ඇනවුම සම්පූර්න වෙනවා.පටු අමාන දුම්රිය මාර්ගයක ලෙසයි ව්‍යාපෘතිය සකස් වන්නේ.

දුම්රිය ව්‍යාපෘතිය දකුණු අප්‍රීකාවේ ස්ථාන ගතකරන්නට යන විට අප්‍රීකාණුවෝ පුංචි කෝච්චියක් ස්ථාන ගත කරනවාට විරුද්ධ වෙනවා. එවකට සිටි යටත් විජිත ආණ්ඩු කාරයත් මේ මතයට එකග වෙනවා.ඔවුන් බලාපොරොත්තුවූයේ  පුළුල් අමාන දුම්රිය මගක්

 විරෝධතාවය බරපතල නිසා කරන්න දෙයක් නැහැ.පාඩුව විද දරා ගන්නත් බැහැ. කර කියා ගත නොහැකිව අතරමංවු  ව්‍යාපෘතිය පසුව යටත් විජිත භාර ලේකම් වරයා සහ ලංකාවේ ආන්ඩුකාරයාගේ මැදිහත් වීමෙන් කැළණිවැලි දුම්රිය මාර්ගය ලෙස කොළඹ -රත්නපුර ඕපනායක දක්වා ඉදිවෙනවා.පරිත්‍යාගයක මුවාවෙන් අපිට හිසරදයක් ලැබෙනවා.

 ඕපනායක කෝච්චිය හැදින්වුනේ කැළණි වැලි දුම්රිය මාර්ගය ලෙසටයි. 1890 සැප්තැම්බර් මාසේ දෙවැනිදා තමයි කැලණිවැලි දුම්රිය මාර්ගය  හදන්න පටන්ගන්නේ. 1902 සැප්තැම්බර්  මාසේ 15 වෙනකොට පුංචි කෝච්චිය අවිස්සාවේල්ලට එනවා. ඊළඟට 1912 අපේ‍්‍රල් 18 වෙනකොට රත්නපුරේට එනවා. ඔන්න ඔහොම 1919 මැයි 2 වෙනකොට පුංචි කෝච්චිය  ගමනාන්තය වෙන ඕපනායකටම ආවා. 

 කැළණී වැලි  ( කැළණි මිටියාවත ) සුද්දන්ගේ වැවිලි ආර්ථිකය නිසා ඇතිවුන නමක්. ඔවුන්ගේ වැවිලි නිෂ්පාදන කොළඹ එන්න මේ දුම්රිය මාර්ගය බොහෝම ප්‍රයෝජනවත් වුනා. ඔවුන්ට  මගී ගමනාගමන ප්‍රවාහන  සේවාවක අවශ්‍යතාවයක් නොතිබෙන්න ඇති.

 1830 ලිවර්පූල්  හා මැන්චෙස්ටර් අතර දුම්රිය සේවය අයත් අයිතිකරුවෝ හොඳම දුම්රිය ඇන්ජිම සඳහා පවුම් 500 ක ත්‍යාගයක් පිරිනමන බව ප‍්‍රකාශ කරනවා. මෙම තරගයට ඉදිරිපත් වන  රොකට්’ නැමැති දුම්රිය ඇන්ජිම නිපදවූ ජෝර්ජ් ස්ටීවන්සන්ට”  ‘රොකට්’ නැමැති මේ දුම්රිය ඇන්ජිම මගින් කිලෝමීටර් 56 ක දුරක් පැය දෙකක් වැනි කාලයක් ඇතුළත ගමන් කර පෙන්වීමෙන් ජෝර්ජ් ස්ටීවන්සන් සහ ඔහුගේ පුත් රොබට් ස්ටීවන්සන් ප‍්‍රසිද්ධියට පත්වනවා .  ජෝර්ජ් ස්ටීවන්සන් ගෙන් ඇරඹුන කෝච්චියේ වංශ කතාව දහ නව වන ශතවර්ෂය වන විට ලොව පුරා ප්‍රචලිත ප්‍රවාහන මාර්ගයක් බවට පත්වනවා. මේ කෝච්චියේ අතීතය.





පුංචි කෝච්චිය ආපු මාර්ගයවත් දැන් තියෙන්නේ තැනින් තැන. සමහර තැන් වල ග්‍රාමීය මාර්ග ඉදිවෙලා.තවත් සමහර තැන්වල ගොඩනැගිලි ඉදිවෙලා. ඕපනායක ස්ටේෂමේ හිටපු ස්ටේෂන් මාස්ටර්  අද කාලේ පොලිස් ඉන්ස්පැට්ටර් මහත්තයා වෙලා. ඕපනායක  දුම්රිය ගොඩනැගිලි වල තමයි අද ඕපනායක පොලිසිය පිහිටලා තියෙන්නේ.

එකල පැවති ස්වාධීන පත්‍ර සමාගම ගුණසේන මුද්‍රණකරුවන්ගේ ආයතනයක්. ඒ කාලේ සති අන්ත පත්‍රයක්  වුන රිවිදින පත්‍රයට චන්ද්‍රා අනගිරත්න කෝච්චි ගමන ගැන ලියපු කොළමක මේ වගේ කවියක් පළවෙලා තිබුනා.  මේ කවිය ඕපනායක කෝච්චියේ ගමනේ ලතාව ගැන කියන හොද උදාහරනයක්.

 පුංචි කෝච්චිය යයි හරි වේගෙන් - පැය හතරට එක හැතැම්මේ වේගෙන්

කොල්ලයි කෙල්ලයි නැගුනම කොටුවෙන් - දරුවෙක් බිහිවෙයි ඕපනායකින්

 



notes of imaginary

Thursday, September 15, 2022

අමුඩේ

අමුඩය අපුරූයග අපේ උද්ඝෝෂකයින්ට හිතුනොත් ඇද ගෙන අගනුවර එන්න පවා ස්මාට් ඇදුමකි අමුඩය. කාන්තා පක්‍ෂය අමුඩ වාගේ ඇදුම් අදිතත් ඒවාට කියන්නේ වෙනත් නම්ය. පසුගියදාක ගෝල්පේස් පිටියේ ජනාධිපති මණ්දීරයට පෙනෙන්න මේවා වැටවල් වල වනා තිබුනේය. ලාමක යයි සිතුන එක්කෙනාට ලැජ්ජා සිතී එයා යන්නම ගියේය.ඒ මෑත අතීතයේ අමුඩ කතාය.

පසුගිය දාක වත පොතෙහි එහාට මෙහාට යන කොට අමුඩ කතාවක් මුණ ගැහුනේය. එය ඒ අයුරින්ම පල කරන්නේ අමුඩයටත් යම්කිසි පිලිගැණීමක් ඇති බව දැනගන්නා පිණිසය.

ඒ අමුඩ කතාවත් අහමු 

 ........................අමුඩ කොටේ (1කොටස)

මෑතකදී බොහෝ දෙනාගේ ..කතා බහට ..විහිලුවට ලක් ..වුණත්..අමුඩය

එකළ සෑම සිංහල පිරිමියෙක් ඇද්ද එකක්.

මෙම කතාවේ පළමු ජායාරූපයේ අමුඩය ගසා නාන පිරිස 1949/50 වකවානුවේ නිට්ටඹුව ගුරු අභ්යාස විදුහලේ වාර්ෂික චාරිකාව ගිය ගුරු සිසු පිරිසකි..මේ සිසුන් අතර මහගම සේකරයන් මහාචාර්ය මැන්දිස් රෝහණධීරයන් ද ගුරු සිසුන් ලෙස විය.

කෘෂිකාර්මික ජීවන රටාවක් පැවැති මේ දේශයේ වැඩ කරන ජනතාවගේ නිල ඇඳුමක් ලෙසින් පැවත ආ අමුඩය අද අප අතරින් තුරන්වී ගොසිනි. වියළි කර්කශ දේශගුණික තත්ත්වයන්ට උචිත ආකාරයෙන් මෙන්ම චාමි සරල ඇඳුමක් වශයෙන් ද අමුඩය අනාදිමත් කාලයක සිට අපේ අනන්යතාවය සුරැකූ ඇඳුමකි.

අතීතයේ ගැමි තාරුණ්යය මෙන්ම ජවසම්පන්න බවත් හැඩි දැඩි බවත්, ප්රදර්ශනය කිරීමට ද අමුඩය ඉවහල් විය. අමුඩය ගසා වැඩ බිමේ වැඩ කරන තරුණයකුගේ දේහ ලක්ෂණ හා සිරුරේ නම්යතාවය තරුණියක් තුළ ඇති කළේ ආලවන්ත හැඟීම්ය. අමුඩය ගසා ඇඳිවත සුම්බරය කොට හිසේ බැඳගත් තරුණයන් තරුණියන්ගේ සිත් ගැනීම සඳහා සිය යොවුන් දේහය මැනවින් උපයෝගී කර ගත්හ. වැදි ජනතාව අතර පැවැති සිරිතක් වූයේ අමුඩය ගැසීම සඳහා ඉණ වටා බඳින සිහින් ලනුපට යෝජිත මනමාලිය ලවා සකස් කර මනමාලයාගේ ඉනේ බැඳීමයි.

මෙය අතීත ගම්මානවල තරුණියන් විසින් ද සිය පෙම්වතා වෙනුවෙන් රහසිගතව ප්රතිඥා දුන් ආදරණීය තෑග්ගක් ලෙස පැවතිණි. දියකෝනම අමුඩ ලේන්සුව ආදී නම්වලින් හඳුන්වන ලද අමුඩය දුහුල් රෙද්දෙන් නිමාකළ හරි හතරැස් ලේන්සුවකි. අමුඩ ගැසීමේදී ද විලාසිතා කීපයක් අනුගමනය කළහ.

1.හඟල අමුඩය

හඟල අමුඩය ගසන්නේ මාමලා නැන්දලා ආදී වැඩිහිටියන් සමඟ වැඩ කරන විට ය. හඟල අමුඩය ගසන විට අමුඩයේ ඉදිරි පසින් එල්ලෙන කොටසේ රැළි දිග හැර ඉණ වටා වැටෙන හඟලයක් සේ සකසා ගනී. එවිට ඉණෙන් පහළ අඩියක් පමණ ප්රමාණය හොඳින් ආවරණය වෙයි.

2.දිය අමුඩය

දිය නෑම සඳහා අමුඩය ගැසීමේදී විලි වැසී අඩියක පමණ කොටසක් අමුඩයෙන් ආවරණය වෙයි. එය දිය අමුඩේ නමින් හැඳින්වෙයි.

3.ගැට අමුඩය

වල් කෙටීම, නියර බැඳීම ආදී කටයුතුවල නිරත වන විට ගැට අමුඩය ගැසීමට ගොවීහු වග බලා ගනිති. හෙවන සහිත ගසක් දිවා ආහාරය ගැනීම සහ තේ බීම, බුලත්විට කෑම ආදී අවශ්යතා සඳහා උපයෝගී කරගනී.බුලත්විට කා ගස් සෙවණේ සිට වැඩ කරන තැනට යනවිට ත්රිකෝණාකාරව ඉදිරිපසින් ඇති අමුඩයේ කෙළවර දුන්කොළ ටිකක් ගැට ගසාගැනීමට බොහෝ අය පුරුදු වී සිටිති. ටික වේලාවක් වැඩ කරන විට බුලත්විටේ තෘප්තිය හීනවී යන අතර එවිට අමුඩ ගැටේ ඇති දුම්කොළ ටිකක් කටේ දමාගන හපමින් තවත් හෝරා කීපයක් වැඩ කිරීම ඔවුන්ගේ සිරිතකි.

තවද අලුතෙන් ඉදිකරන නිවසක වහලය සෑදීමට ගන්නා උමන් (පරාල ලෙස පාවිච්චි කරන ලී) කැපීමට කැලයට යන පිරිස උමන් කපන විට අමුඩය ගලවා කරේ දමාගෙන නිරුවතින් ලී දඬු කපති. ඔවුන් එසේ කරන්නේ වහලේ උමන් ගුල්ලන් කෑමෙන් ආරක්ෂා කර ගැනීමට කරන කෙමක් වශයෙනි.

අමුඩය හිසේ බැඳගන ගමනක් යන විට ඉන් අදහස් කරන්නේ සිය ගව රංචුව බැලීමට හෝ වෙනත් අවශ්යතාවයකට කැලෑ වදින බවයි. එහෙත් අමුඩය කරේ දමාගන යන ගමන රහසිගත හමුවීමක් සඳහා යන ගමනක් බව සැක කෙරේ. අමුඩය ගසා ඊට උඩින් ඇඳිවත හරස් අතට ඇඳගෙන යාමෙන් පැවසෙන්නේ ඔහු වැඩිහිටියන් හෝ වියපත් දරුවන් අසලට යන ගමනක් බවයි.

අමුඩය හා බැඳුණු උපහැරණ අතර අමුඩය දීලා කෑවා වාගේයන කියමන අදට ද ගම්මාන තුළින් ඇසේ. මෙය ගැඹුරු අරුතක් ඇති කියමනකි. බඩගින්නේ නිරාහාරව සිටින අයකු නිරාහාරව සිටින බව කාටත් ප්රදර්ශනය නොවේ. එහෙත් නිරාහාරව සිටීමට නොහැකිව අමුඩය විකුණා කුසට අහරක් සපයා ගත් පසුව ක්ෂණිකව කුසගින්න නිවුණත් නිරුවතින් සිටීමේ අවමානයෙන් මිදිය නොහැකිය.

අමුඩ කෙටිය, දිය කෝනම, දිය අමුඩය ආදී නම්වලින් හඳුන්වන අමුඩය ගෘහ මූලිකයාගේ සිට වයස 10-12 දරුවා දක්වාම වැඩ කරන විට උපයෝගී කරගත්හ. කාර්යයක නිරත වන විට නිල ඇඳුමක් වූ අමුඩය අතීත ගැමියා ගමනක් බිමනක් යනවිට යට ඇඳුමක් වශයෙන් ද පාවිච්චි කළහ.

අතීත යුගයේ පිළිගත් පවුල්වල තරුණයන් පාවිච්චි කරනු ලබන අමුඩය මිදුලේ හෝ එළිපහලියේ වනා තැබීම තහංචියක් සේ සලකනු ලැබීය. ඒ අමුඩයෙන් ගන්නා නූලකින් අදාළ තරුණයාට වශී ගුරුකමක් කළ හැකි නිසා එසේ අමුඩය සුරක්ෂිත කළහ.

අසම්මත ගමන් බිමන් යනවිට අමුඩය හොඳ සාකිෂ්කාරයෙක් වූ අවස්ථා ද අතීත ගම්මානවලින් අනාවරණය වෙයි. එක්තරා ගරු ගාම්භීර ගමරාල කෙනෙක් සිය කුලයෙන් පහත් තරුණියක සමඟ ආලයෙන් වෙලිණි. ඔවුන්ගේ හමුවීම ඉතා රහසිගතව කැලෑවේ දී සිදුවූ අතර දිනක් මේ දෙදෙනා මුණගැසී සිටින විටෙක ගමේ වෙනත් ගැමියකුගේ පැමිණීම නිසා හදිසියේ වෙන්ව යාමට සිදුවිය. ගමරාල කඩි කුලප්පුවට දිව යාම නිසා ඔහුගේ කරේ තිබුණු අමුඩය කටු ගාලක පැටලී තිබී කටකාර ගැමියකුට අසුවිය. පසුදින උදේ හන්දියේ පලුගසේ ගමරාලගේ අමුඩය එල්ලා තිබූ අතර ඊට යටින් මේ කවිය ලියන ද කොළය ද අලවා තිබුණි.

කර ආලේ නැහුනත්

කටු බැදි අස්සේ

ගමරාලේ දැන්නම්

රහසක් නැත්තේ

හොර පාරේ ගිය මඟ

සලකුණ ඇත්තේ

කටු ගාලේ තිබු අමුඩේ

පලු අත්තේ

මේ ආදී බොහෝ තොරතුරුවලට පාදක වූ හෙළ ගොවි අමුඩය හෙට දවසේ කෞතුක වස්තුවක් වීමට ඇති ඉඩකඩ ද බැහැර කළ නොහැකිය.

 

(උපුටා ගැනීම අන්තර්ජාලය තුලින් )

අයිතිය මුල් අයිතිකරුට


notes of imaginary

Saturday, September 10, 2022

සබද අපි කුදු නොවෙමු............


ම කාලයක් දින පොතක් ලියමින් සිටියා . මගේ කඩුල්ල බ්ලොග් අඩවියට. මේ පහතින් පලවෙන්නේ 2015 ලියන ලද සටහනක්. පුංචි පුංචි වෙනස් කම් ටිකක් කලත් එදා ලියු විදියටම සටහන තියෙනවා. දින පොත ලියන එක හිටි හැටියේ නතර වෙනවා. ආයෙත් ලියනවා. පිලිවෙලකට නැතිවුනත් මේ වැඩේ ටික කාලයක් කර ගෙන ගියා.

ජීවිතය ගෙවෙන්නේ එදාට වැඩිය වේගයෙන්. මම ඉස්සර කාලේ දිනපොතක සටහන් තිබ්බා වයසත් සමග මෝරන ජීවිතයට ඒ දිනපොත් අතර තියෙන සටහන් නැවත කියවන විට මළවිකාර කියලා මටම හිතුනා. මේ සටහනුත් දිනපතාම ලියවිලා තිබුන සටහන් නෙමෙයි.

 

පසුකාලෙක මගේ මාමන්ඩියගේ දිනපොත් කිහිපයක් කියවන්න ලැබුනා ඒ එතුමාගේ මරණින් පසුව. එතුමා ගිය ගමන් බිමන් වන්දනා ගමන් දවසේ දේශපාලන තොරතුරු සමග කාලගුනය.දවසේ වැඩකටයුතු හමුවු පුද්ගලයින් පිලිබද දීර්ඝ දවසේ සටහන් ඒ දිනපොත් වල සටහන්ව තිබුනා.

 

මම 1989 ප්‍රේමදාස කාලේ ඒ කාලෙ පැවත්වුන මැතිවරණයෙදී මගේ සහෝදරයෙකුගේ (ශ්‍රීලනිප) මැතිවරණ ජයග්‍රහණයට උරදීලා හිටියා.  මම නිතර ගැවසුන ගම්මාන එකල සහෝදරවරු දෙස හැදුන්වුන සහෝදර පිරිසගේ අර් ධ පාලනයට යටත්ව තිබුනේ. මගේ දෛවය මේ කාලේ දෙපැත්තට දෝලනය වුනා. මට මැතිවරණ ප්‍රචාරක කටයුතු පවත්වා ගෙන යන්න අවකාශ ලබා දුන් සහෝදරයෝ මහ මග මගෙන් සමු අරන් තිබුන වාර අනන්තයි. මට තිබුන ප්‍රජාතාන්ත්‍රික අරමුණ විරුද්ධ දේශපාලනිකයන් හදුනා ගෙන තිබුන නිසාදෝ මම නිරුපද්‍රිතව රැකුනා.

ඒ දේව වරප්‍රසාදයකින් දෝ මගේ අදහස් ප්‍රකාශ කිරිම සහ මා හදුනාගෙන   තිබීම නිසා කියලා අවුරුදු  විසිහයකට පස්සේ මම හිතනවා.

දවසක දවස ගැන හිත හිතා ඉන්න මට කොල කෑල්ලක සටහන් වෙලා තියෙන මේ පදවැල හමුවෙනවා. අවුරුදු හතලිහක් විතර වෙන ඒ කාලේ මගේ වයස මේ ගීතය හදුනාගන්නේ අපි පසු බසිමු ,  අපි හෙමින් කතාකරමු, එකිනෙකා පරදා අපි ඉහල යා යුතු නැහැ කියන්නා වගේ. හැපෙන්න බැරි තැන පසු බහින්න මගේ හිත මේ ගීතය නිසා ඒ  කාලේ පුහුණු වුනා. පරිසරයේ ගොඩනැගෙමින් තිබුන මූසල නිහඩතාවය මැදින් මට විශාල වැඩිහිටියෝ පිරිසක් ඇතිවුනා.

මේ විවරණිකාවත් එක්ක අද දිනපොතේ ලියවෙන්නේ විශාරද ගුණදාස කපුගේ යන් ගැයු ගීතයක් ගැන සටහනක්.

 

සබඳ අපි කඳු නොවෙමු

උනුන් පරයා නැගෙන

සුනිල දිය දහර වෙමු

එකම ගඟකට වැටෙන…..//.

වියරු ගිනි දැල් නොවෙමු  

වනය අවුලා තබන

සිහිල දෙන වැස්ස වෙමු

දැවෙන කැළයට වසින……

සබඳ අපි කඳු නොවෙමු

උනුන් පරයා නැගෙන

සුනිල දිය දහර වෙමු

එකම ගඟකට වැටෙන……

නපුරු හීනය නොවෙමු  

ළමුන් නිදි සුව බිඳින

සොඳුරු අඬහැරය වෙමු

දනන් නින්දෙන් මුදන….

සබඳ අපි කඳු නොවෙමු

උනුන් පරයා නැගෙන

සුනිල දිය දහර වෙමු

එකම ගඟකට වැටෙන….//

 

 

1971 තරුනයන්ගේ අවදි වීම මම දැක්කේ සතුටු සිතකින්. ඒ කාලේ මගේ වයස අවුරුදු 23යි. 1989 දි මගේ වයස අවුරුදු හතලිස් එකයි.උදාසීන සිතිවිල්ලක් ඇති වෙලා තිබුනා වගේම කොහේදෝ බලපෑමකට අපේ රට විනාශය කරා ගෙන යනවා කියන හැගීමක් ඒ කාලේ ඇති වෙලා තිබුනා.

 පෞද්ගලීකරනය කරන්නට නොහැකිවූ රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් සහෝදරවරුනුගේ ගිනුමට ලා ගිණිබත් කලා. ඒ තැන්වල සහෝදරයොත් වැටී ගිණි බත්වුනා.

පසුකාලයක මේ ආයතන පෞද්ගලිකරණය වුනා. නැත්නම් අර් ධ රාජ්‍ය සමාගම් බවට පත්වුනා.

අද මම 67 වියේ.

අද මේ දේශපාලන විකාර දැකලා මගේ හිත කම්පා වෙනවා. සියල්ලෝම උත්සහා කරන්නේ කදු වෙන්න !.දේශපාලන කදු වෙන්න.

කිසිවෙකුට සොදුරු අඩහැරයක් , සිහිල දෙන වැස්සක් වන්න ඕන කමක් නැහැ. -අපේ දරුවෝ දකින්නේ නපුරු හීනයක් !.ඒ නපුරු හීනය එක් එක්  දේශපාලන කෝන වලින් කැමරා ගත වෙලා අපේ දරුවන්ගේ අනාගතය පේනවා.ඒ හීනය තුලින් ගීණි දැල් මැවෙනවා

1989 දරුවන් 2015 වන විට අවුරුදු විසි හයක දරුවන් බවට පත්වෙලා.මේ අයට සුනිල දිය දහරක් ,සිහිල දෙන වැස්සක සොදුරු අඩහැරයක් වෙන්න  මේ මකබාස්ලාට ඕන කමක් නැහැ.

රාජ්‍ය නායකයා පටන් සියල්ලෝම විකාර දොඩවනවා.පිස්සන්ගේ දේශයක අපිත් පිස්සෝ බවට පත්වෙනවා.

අපි බෙලහීන වන විට බාහිර බලවේග අපිව බිලි ගන්නවා.

 

👮👮👮👮👮👮👮👮👮👮මේ 2015  සටහනක්. අද 2022 සැප්තැම්බර් මස 09 වැනිදා සිකුරාදා .  2015 වසරේ අවුරුදු 67ක් වුන මට අද  74 ගෙවෙනවා. ඒත් මේ විෂම චක්‍රය එලෙසම පරිභ්‍රමනය වෙනවා. ඊටත් වඩා අනතුරු දායක ලෙසට.

ගුණදාස කපුගේ ගායනා කල මගේ ජීවිතයයේ ගමන් මගට පහනක් වු “ සබද කදු නොවෙමු “ වර් තමානයේ  දේශපාලකයන් ( මුන් දේශපාලනඥයෝ නොවෙයි.)  තේරුම් ගන්නේ “සබද අපි කුදු නොවෙමු”  කියලා. උන් කුදු තමයි. නපුරු හීනයක් දකිමින් අපි ඉන්නව. 71 දරුවන්ට , 89 වන විට වයස 18 යි.  89 දරුවන්ට 2022 වන විට වයස අවුරුදු 33 යි. පාඩම් ඉගන ගෙන ක්‍රමය වෙනස් කර ගන්න දරුවන්ට හැකි වෙලා තියෙනවා. පාලකයෝ තේරුම් ගත යුත්තක්. "කුදු වෙලා හරියන්නේ" නැහැ.

අරගලය කැරැල්ලක් නොවුනත් කැරල්ලක් බවට පත්කර නිශ්ක්‍රීය කර බවයි මට හිතෙන්නේ.?.ළමුන් සුව නින්දේ නොනිදන බව පාලකයෝ තේරුම් ගනිමින් සිටිනවා.👮👮👮👮👮👮






notes of imaginary

Friday, September 09, 2022

චක්කරේ The Circle of Poverty




















පොඩි සන්දියෙ ලොකු හරියක් 
චක්කරේට මට යි ලැබුනෙ 
කොටුවෙ ගෙදර ගමරාළගෙ 
කේ .ජී .ජී .සිරියලතා.

පන් ඉදිරුවෙ ,පාට දැම්මෙ 
ලොකු හැළියේ තම්බන්නට 
අත්තම්මට උදවු දුන්නෙ 
පැදුරු රටා දා වියන්න 
බත් පෙට්ටිද ,ඇතුල් පත්ද 
ලොකු එකියක් උණාට පහු 
අපූරුවට කළා නෙ  මං .

එහෙම උණත් දැන් කාලේ 
ලිග්ගල් තුන තරහවෙලා 
ගිණි නිවිලා හැම වෙලේම 
අත්තම්මට කාසි හිඟයි.
අත පය උස මහත් වෙලා 
මහ බඩවැල් උන්ඩිවෙලා.

දුප්පත් කම හරස්වෙලා 
ඉරුණු තැනින් ඇඟ  පෙනිලා 
ගමේ කඩේ මුදලාලිට 
අපි ගැන හරි දුක හිතිලා .

දහයෙ වසරෙ විසම චක්රෙ 
ආයෙ ආයෙ කැරකෙනවා .
සාධක ටික පන් මල්ලේ 
මං මුදලාලිගෙ තුරුලේ .
සා.පෙළ සහතිකෙ  තවමත් 
අත්තම්මගෙ හිත මුල්ලේ.

විෂම චක්කරේ කඩන්න 
අකමැති උණු  රූප ලතා 
ආන් තාම ,කඩුල්ල ළඟ !
බඩ පොත්තට ඇලිල ගියත් 
වංසෙ කබල් ගාන එකී 
මොනා කරන්නද එහෙනං 
චක්කරේට .හිරවෙලානෙ.!!

රෝ.සි.

(කේ.ජී.ජී .සිරියලතා දිළිඳුකම නමැති 
විෂම චක්‍රයෙන් එසේ පිටතට පැමිණි බවයි.)    
notes of imaginary

Thursday, September 08, 2022

මළක් ගසක් විය


 “ටීචර්............. ” ය යි මුව පුරා පියකරු සිනහවකින් පිරි ඈ   දැන්  අවුරුදු 42 ක පමන වයසැති  කාන්තාවකි. මගේ මතකය ඈ හදුනාගත්තේ මා පලමු පත්වීම ලබා ඉගැන්වු පාසලේ  ආදි සිසුවියක ලෙසිනි.එක් තරා සුවිශේෂවු සිදුවීමක් ඈ වටා ගෙතී ඇති බැවින් ඈ මගේ මතකයේ අමතක නොවෙන දරුවෙකි.සුරතල් සිගිත්තියක ඇගේ අතේ එල්ලී සිටී මගේ අනුමානය වසර පහක් පමණ ඇයට වයස ඇති බවයි.

ඇය තිදරු මවක වන බවත් ලොකු පුතා අවුරුදු විසිපහක් පමන බව පවසමින් මා සමග දොඩමළුව  බසයක් ඈ එන මග බලාසිටි බැවින්  “යන්නම් ටීචර් ............”  යයි පවසා සතුට්න් නික්ම ගියාය. ඒ සතුට ඇගේ ජීවිතය පුරා පවතින්නේද ? මම මගෙන් විමසමින් සිටිමි. ලොකු පුතාට වයස අවුරුදු විසි පහකි. පුංචි සිගිත්තියට අවුරුදු පහකි..වයස අවුරුදු 41ක් වු ඇයට වදයක් නොවුවත්  මිත්තනියක ලෙස  දූ දරුවන් රැක බලා ගැනීම ඉතාමත් අපහසු කටයුත්තක් බව  මට අවබෝධ වී ඇති බැවිනි. එමෙන්ම ඇගේ ජීවන ගමන් මග මෙනෙහිවීමේදී ඈ තම ජීවිතය ගැන පශ්චාතාප වනු ඇත්දැයි මට සිතෙන්නට විනි.

මේ  මුණ ගැසීම  මගේ මතකය මීට වසර  විසිපහකට පෙර  (  1997 හෝ 1998 වර්ෂයේ)  මා එවකට සේවය කළ පාසලේ පැවති නිවාසාන්තර ක්‍රීඩා තරගය වෙත  රැගෙන ගියේ  මටත් නොදැනීමය.

එම පාසලේ සිසු සිසුවියන්  “සූර ,වීර, ධීර” යනුවෙන් නිවාස තුනකට බෙදා තිබිනි. මා අයත් වූයේ “සූර’ නිවාසයටය.

සෑම වසරකම පලමුවන වාරයේ දී ක්‍රීඩා තරග පවත්වයි.එය එක්තරා අන්දමක  පාසලට සැණකෙළියකි.ගුරුවර ගුරුවරියන් හා සිසු සිසුවියන් අතර මෙම කාලයේදී පවතින්නේ දැඩි බැදීමකි.දැඩි සුහදතාවයකි. සමහර ගුරුවර ගුරුවරියන් හා සිසු සිසුවියන් ගුරුගෝල සම්බන්‍ධතාවයෙන් මිදී මිතුරු මිතුරියන් ලෙස කටයුතු කරන්නේ ඔවුන්ටද නොදැනුවත්ය.ඒ තරම්ම ක්‍රීඩා උත්සවය අපගේ  ඇට මිදුළු හා  බද්ධ කර ගන්නා බැවිනි..

නිවාසන්තර ක්‍රීඩා තරගය දින තුනක් තිසිසේ පැවත්වේ.අවසාන දිනයට පවත්වනු ලබන්නේ බාධක දිවීමේ තරග සහය දිවීමේ තරග මීටර 100,200 සහ 400 දුර දීවීමේ තරග හා සරඹ සංදර්ශණයයි.තම තමන්ගේ නිවාස වලින් ඉදිරිපත් වන තරගකරුවන්ට ජය අත්වන විට එම නිවාසයේ ජය ඝෝෂා පාමින් මුළු පරිසරයම ගිගුම් දෙයි.

අද දින ක්‍රීඩා තරගයේ අවසාන දිනයයි.තරගකාරී ලෙස නිවාස ඉදිකර තිබිනි.එක් නිවාසයක් පොල් අතු වලින්ද තවත් නිවාසයක් තල අතු  (තල මල පිපිලා........... එන ගීතයේ  අතු)  වලින්ද අපේ නිවාසය ඉදි කලේ හණ පිතිවලිනි. ( මේ හණ වර්ගත් අද පරිසරයෙන් වද වී ගොසිනි.) මම සිතිවිලි චාරිකාවක අතරමංව සිටින්නෙමි .යලිත් පාසල් බිමට පාවෙන්නේ නිතැතිනි.

දැන් ආරම්භ වන්නේ 17පහල කාන්තා මීටර් 200 දුර දීවීමේ තරගයයි.මේ අතරට ශබ්දවාහිණීයෙන් ඒ ඒ නිවාස ලබා ගත් ලකුණු වරින් වර ප්‍රචාරය කරයි.මේ වන විට අපේ නිවාස පලමු ස්ථානයට ලකුණු රැස්කරගෙන තිබිනි.නිවාසයේ ගුරුවර ගුරුවරියන් සහ ශීෂ්‍ය ශිෂාවන් ගේ සතුට උතුරා යන මුහුණු වලින් පිම්බිලාය. එක් එක් නිවාස වල නිවාස වල ජයග්‍රහණයන් නිකුත් කරන විට සතුට ගලා යන්නේ තම ලෝකය  ජයගත් අයුරිනි.

17 පහල කාන්තා මීටර් 200  දුර දිවීමේ තරගය .....ශබ්ද විකාශණයෙන්  නිවේදනය වෙයි. සියළුම තරගකාරිනියන් ආරම්භක ස්ථානය වෙත වාර්තා කරණ මෙන් දන්වයි.. අප නිවාසයෙන් ගීතාණී තරග කරයි ඈ පෙර දින තිබු මීටර් 100 දුර දිවිමේ තරගයට සහ දුර පැණිමේතරගයට සහභාගිවි ප්‍රථම ස්ථාන දෙකම රැගෙන විත් තිබිනි.අද ඈ සහභාගි වන්නේ  ඇගේ අවසාන ඉසව්ව වන මීටර් 200 දුර දිවිමේ තරගයටයි.නිවාසයට තවත් පළමු ස්ථානයක්. නිවාසයේ සියල්ලෝගේම අවධානය ගීතාණි වෙතටයි. ඇයට උණුසුම් අත් පොලොසන් නාදයක් සමග මහත් ජය ඝෝෂාවක් නිවාසය දෙසින් ගිගුම් දෙයි.

ගීතාණී තරගබිමට උද්යෝගයෙන් තරග බිමට පිවිසියාය.දැන් තරගය පටන් ගැන්මට ආසන්නය. නිවාස තුනේම සිසු සිසුවියන් තම තමන්ගේ නිවාස වලින් ඉදිරිපත් වන ක්‍රීඩිකාවන් දිරි ගැන්වීමේ ඝෝෂාවකි.තරගය ආරම්භ විනි. ගීතාණි ආරම්භයේ සිටම ඉදිරියෙන් සිටිමින් ජයග්‍රාහීව තරගය ජයග්‍රහණය කළාය.පිටියම ගිගුරුම් දෙමින් කාහල නාදයකය. ගීතාණි කලාන්තව බිම ඇද වැටිලාය. ඇයට කිසිවක් ඇසෙන්නේ නැත. පෙනෙන්නේ නැත.

ඇගේ ජයග්‍රාහීව තරගය අවසන් කරන මොහොතේ ඈ අසලසිටි  යෙහෙලියන් ගේ තුරුලට ග්‍රහනයවීම නිසා ඈ බිම ඇද නොවැටුන අතර ඇසිල්ලකින් ප්‍රථමාධාර ඒකකයේ  සිසු සිසුවියන් විසින් වහාම ප්‍රථමාධාර දීම සිදු කරන අතර ඈ යථා තත්වයට පත්නොවුනේය.ඇය තවත් අප්‍රාණිකව වැතිර සිටි අතර බොහෝ විඩාවට පත්ව සිටි බව නිරීක්‍ෂණය විය.කාලය විනාඩි තිහක් පමණ පත්වීත් ඇයගේ තත්වය යහපත් තත්වයට පත්වන ලකුණු පහල නොවු බැවින් වහාම ළගම ඇති බලන්ගොඩ මූලික රෝහල වෙත ඇය කැටුව යාමට තීරණය විය.

මා ද ඇතුලත් තවත් ගුරු මහත්මියන් දෙදෙනෙකු කැටුව ඈ බලන්ගොඩ මූලික රෝහල වෙත කැටුව ඒමට පිටත්වුනෙමු .කි.මි 15ක් පමණ දුර ඒ දුර මට දැනුනේ කි.මි 100 ක් පමණ දුර වෙන්නාසේය.තවත් විනාඩි තිහක් පමණ ගතවන විට අප රෝහලට පැමිණයෙමු .මේ අතර ඇය රෝහල වෙත කැදවා යන බව ඇගේ දෙමව්පියන් වෙත නිවාස භාර ගුරු භවතුන් විසින් දන්වා තිබිනි.

රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරු පරීක‍්‍ෂා කිරිමෙන් අනතුරුව ඈ  ට්‍රොලියක සතපවා නේවාසික  වාට්ටුටක් වෙත යොමු කර ක්‍ෂණික ප්‍රතිකාර විධි ආරම්භ කරන ලද්දේ අපද  අසල සිටියදීය.ඇයට සේලයින් ලබා දී තිබු අතර ඈ නින්දකට වැටී සිටියාය. පැයක් පමණ ගතවු පසු ඈ නින්දෙන් අවදි විය.ඒ වන විටත් වෛද්‍යවරු දෙදෙනෙකු ඈ පිලිබදව බොහෝ  විමසිලිමත් ප්‍රතිකාර විමසමින් සිටියාය. නින්දෙන් අවදි වු පසු  විඩාව පහව යම්තරමක ප්‍රානවත් බවක් දක්නට විය. අනතුරුව වෛද්‍යවරු ඈ  සමග අදහස් හුවමාරු කර ගන්නවා දකින්නට ලැබිනි.

පසුව වෛද්‍යවරු අප දෙදෙනා කැදවා රෝගියා ගේ තත්වය අනාවරණය කරමින් පැවසුවේ ඈ මේ වන විට පස් මසක් වු ගැභණියක බවයි.මගේ ඇස් නීලංකාර විය.අවට ලෝකය කැරකෙන බව දැනෙන්නට විය. ඈ”මාස  පහක්වු ගැබිණියක්” ?

මේ දැරිවිය මෙතරම් ලා බාල වියේ ගැබිණියක් බවට පත්ව ඇත.ඇය වසර අවසානයේ පැවත්වෙන සාමාන්‍ය පෙ විභාගය ඉලක්ක කර ගෙන අධ්‍යාපනය ලබමින් සිටින්නීය.ඇය ඉදිරි අධ්‍යාපන කටයුතු කරගෙන යන්නේ කෙසේද ?.වෛද්‍ය මතය පළවුයේ ඈග කරන ලද සාකච්ඣා වෙන් අනතුරුවය. අප හට ඈ ගැබිණියක බව පිලිගත යුතුය.

මේ අතර ඇගේ දෙමව්පියන්ද රෝහලට පැමිණියාය.ඔවුන් දෙදෙනා වෛද්‍යවරු මුණ ගැසුන අතර මේ සිද්ධිය  ඔවුන් දෙදෙනාට විස්තර කර කියා දී ඇත.අප බලාපොරොත්තුවුයේ වෛද්‍ය මතය දැන ගැණිමෙන් ඔවුන් කලබල වෙනවා දකින්නටය. එහෙත් එවැන්නක් සිදු නොවීය.ඒ වන විට විඩා ගතිය බැහැරව රෝගිය යථා තත්වයට පත්වෙමින් සිටින බැවින් ඇයට විශේෂ අසනී තත්වකුත් නොතිබු බැවින් රෝතියා නිවසට කැදවා ගෙන යාමට වෛද්‍යවරු  අවසර දෙන ලද බැවින් අපටද විසිර යාමේ අවස්ථාව එළඹවෙම්න් තිබුනාය.

ආපසු පාසලට පැමිණි විගසම විදුහල්පති වරයා හමුව රෝගියාගේ වර්තමාන පසුබිම  ඔහුට විස්තර කර දෙන විට මහත් වු කම්පාවෙන් අසා සිටියත් ඔහු නිහඩ ප්‍රතිචාරයක් දැක්වීම තරුන පහේ ගුරුවරුන් වු අපට ප්‍රෙහෙළිකාවක් විය.

 ගීතාණි සිසුවියගේ පාසල් දිවිය නිවාසාන්තර ක්‍රීඩා තරගයත් සමග අවසන් විය.දෙමව්පියන් දරුවාගේ පීතෘ භාවය සොයා ඔහුට ගීතාණිව විවාහ කර දුන් බව පසුව ආරංචි විය.

ගීතාණි ගේ ජීවිතයට   වසර විසිපහකට පෙර පැවති   නිවාසාන්තර ක්‍රීඩා තරගය බොහෝ දේවල්  ඉතිරි කර නිමාවට පත්විය.



notes of imaginary