පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Sunday, September 18, 2022

දරුවෙක් බිහිවෙයි ඕපනායකින්









පුංචි කෝච්චිය... කොළඹ ඉදන් ඕපනායකට ආපු මතකය තියෙන අය බොහෝම අඩුයි. මීට අවුරුදු විසිපහකට විතර ඉස්සර  1997-1998 තරම.ඕපනායක ඉදන් කොළඹ ගිය පුංචි කෝච්චිය ආපසු අපිට දකින්නට ඕපනායක ට ආවේ නැහැ .අවසාන චාරිකාවට එක්වෙලා තිබුනේ සංචාරකයන් පිරිසක්.

පසු කාලයේ කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා පටු අමාන මාර්ගය නවීකරණය වෙලා  පුළුල් අමාන දුම්රිය මාර්ගයක් වෙනවා.

සුද්දන්ගේ හිරු නොබසින අධිරාජ්‍යයයේ පැවත්ම උදෙසා අපි වගේ රටවල් වල සංවර්ධණ කටයුතු සිද්ධවුනා.ඒවා අපිට ඕන දේවල් නෙමෙයි. එයාලගේ ව්‍යාපාර පැවත්ම සදහා අවශ්‍යවු යටිතල පහසුකම්. තේ පොල් රබර් වැවිලි නිෂ්පාදන කොළඹට ගේන්න මාර්ග පහසුකම් ඕන.එයාලා ඒකාලෙට ගැලපෙන විදියට මාර්ග පද්ධතිය සකස් කර ගත්තා. අපිට නිදහස ලැබුනාලු. නම වෙනස් වෙලා ලොකු ලොකු වගන්ති එක්ක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා හදා ගත්තත් තාම අධිරාජ්‍යයට වැද නමස්කාර කරනවා.

කෝච්චිය අමතක වුනා...මම පාසල් ගියේ පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය විද්‍යාලයට. සති අන්තයේ ගෙදර එනවා.  හුණුවල ඉදන් ඕපනායකට පුංචි කෝච්චිය ගමන් ගන්න මාර්ගය පිහිටා තිබුනේ මහා මාර්ගයට සමාන්තරව. ඒකාලේ බස් රථත් අශ්ප වේගයෙන් ගමන් නොගන්නා නිසා, පුංචි කෝච්චියේ කාල සටහනහට මගේ කාල සටහනත් ගැලපුනොත් පුංචි කෝච්චිය හමුවෙනවා.එතකොට කෝච්චියයි බස් එකයි කිලෝමීටර හතරක් විතර ඉබි ගමනේ ඇවිත් ඕපනායකින් වෙන් වෙලා යනවා. ඒ කාලේ ඒකත් චමත්කාරයක්.

පුංචි කෝච්චියේ උපතත් අහම්බයක්. ලංකාවට ආපු චීන පොහොර නැව (ගූ නැව) ආපහු ගියා වගේ මේකත් ආපහු අරින්න ඒ කාලේ ඇත්තන්ට දැනුම ශක්තිය තිබුනේ නැහැ. ගැහිල්ල කලේ පරිත්‍යාග විදියට. නැත්නම් සංවර්ධණය විදියට. සුද්දන්ට ලාභ ලැබෙන විදියට.සුද්දෝ යටත් විජිතයේ එක් එක් රටවල් සංවර්ධණ කටයුතු කලා කියලා මුලිනුත් සදහන් කලානේ. දකුණු අප්‍රිකාවෙත් මේ වගේ සංවර්ධණ ව්‍යාපෘතියක් ලෙස දුම්රිය මාර්ගයක් ඉදි කරන්න සැලසුම් කරනවා. මේ ව්‍යාපෘතිය අනුව කිලෝමීටර් 100ක් පමණ දිගින් යුත් දුම්රිය මගක් සහ පද්ධතියක් ඉදිකිරීමට ඇනවුම් කරනවා. මෙම ඇනවුම සම්පූර්න වෙනවා.පටු අමාන දුම්රිය මාර්ගයක ලෙසයි ව්‍යාපෘතිය සකස් වන්නේ.

දුම්රිය ව්‍යාපෘතිය දකුණු අප්‍රීකාවේ ස්ථාන ගතකරන්නට යන විට අප්‍රීකාණුවෝ පුංචි කෝච්චියක් ස්ථාන ගත කරනවාට විරුද්ධ වෙනවා. එවකට සිටි යටත් විජිත ආණ්ඩු කාරයත් මේ මතයට එකග වෙනවා.ඔවුන් බලාපොරොත්තුවූයේ  පුළුල් අමාන දුම්රිය මගක්

 විරෝධතාවය බරපතල නිසා කරන්න දෙයක් නැහැ.පාඩුව විද දරා ගන්නත් බැහැ. කර කියා ගත නොහැකිව අතරමංවු  ව්‍යාපෘතිය පසුව යටත් විජිත භාර ලේකම් වරයා සහ ලංකාවේ ආන්ඩුකාරයාගේ මැදිහත් වීමෙන් කැළණිවැලි දුම්රිය මාර්ගය ලෙස කොළඹ -රත්නපුර ඕපනායක දක්වා ඉදිවෙනවා.පරිත්‍යාගයක මුවාවෙන් අපිට හිසරදයක් ලැබෙනවා.

 ඕපනායක කෝච්චිය හැදින්වුනේ කැළණි වැලි දුම්රිය මාර්ගය ලෙසටයි. 1890 සැප්තැම්බර් මාසේ දෙවැනිදා තමයි කැලණිවැලි දුම්රිය මාර්ගය  හදන්න පටන්ගන්නේ. 1902 සැප්තැම්බර්  මාසේ 15 වෙනකොට පුංචි කෝච්චිය අවිස්සාවේල්ලට එනවා. ඊළඟට 1912 අපේ‍්‍රල් 18 වෙනකොට රත්නපුරේට එනවා. ඔන්න ඔහොම 1919 මැයි 2 වෙනකොට පුංචි කෝච්චිය  ගමනාන්තය වෙන ඕපනායකටම ආවා. 

 කැළණී වැලි  ( කැළණි මිටියාවත ) සුද්දන්ගේ වැවිලි ආර්ථිකය නිසා ඇතිවුන නමක්. ඔවුන්ගේ වැවිලි නිෂ්පාදන කොළඹ එන්න මේ දුම්රිය මාර්ගය බොහෝම ප්‍රයෝජනවත් වුනා. ඔවුන්ට  මගී ගමනාගමන ප්‍රවාහන  සේවාවක අවශ්‍යතාවයක් නොතිබෙන්න ඇති.

 1830 ලිවර්පූල්  හා මැන්චෙස්ටර් අතර දුම්රිය සේවය අයත් අයිතිකරුවෝ හොඳම දුම්රිය ඇන්ජිම සඳහා පවුම් 500 ක ත්‍යාගයක් පිරිනමන බව ප‍්‍රකාශ කරනවා. මෙම තරගයට ඉදිරිපත් වන  රොකට්’ නැමැති දුම්රිය ඇන්ජිම නිපදවූ ජෝර්ජ් ස්ටීවන්සන්ට”  ‘රොකට්’ නැමැති මේ දුම්රිය ඇන්ජිම මගින් කිලෝමීටර් 56 ක දුරක් පැය දෙකක් වැනි කාලයක් ඇතුළත ගමන් කර පෙන්වීමෙන් ජෝර්ජ් ස්ටීවන්සන් සහ ඔහුගේ පුත් රොබට් ස්ටීවන්සන් ප‍්‍රසිද්ධියට පත්වනවා .  ජෝර්ජ් ස්ටීවන්සන් ගෙන් ඇරඹුන කෝච්චියේ වංශ කතාව දහ නව වන ශතවර්ෂය වන විට ලොව පුරා ප්‍රචලිත ප්‍රවාහන මාර්ගයක් බවට පත්වනවා. මේ කෝච්චියේ අතීතය.





පුංචි කෝච්චිය ආපු මාර්ගයවත් දැන් තියෙන්නේ තැනින් තැන. සමහර තැන් වල ග්‍රාමීය මාර්ග ඉදිවෙලා.තවත් සමහර තැන්වල ගොඩනැගිලි ඉදිවෙලා. ඕපනායක ස්ටේෂමේ හිටපු ස්ටේෂන් මාස්ටර්  අද කාලේ පොලිස් ඉන්ස්පැට්ටර් මහත්තයා වෙලා. ඕපනායක  දුම්රිය ගොඩනැගිලි වල තමයි අද ඕපනායක පොලිසිය පිහිටලා තියෙන්නේ.

එකල පැවති ස්වාධීන පත්‍ර සමාගම ගුණසේන මුද්‍රණකරුවන්ගේ ආයතනයක්. ඒ කාලේ සති අන්ත පත්‍රයක්  වුන රිවිදින පත්‍රයට චන්ද්‍රා අනගිරත්න කෝච්චි ගමන ගැන ලියපු කොළමක මේ වගේ කවියක් පළවෙලා තිබුනා.  මේ කවිය ඕපනායක කෝච්චියේ ගමනේ ලතාව ගැන කියන හොද උදාහරනයක්.

 පුංචි කෝච්චිය යයි හරි වේගෙන් - පැය හතරට එක හැතැම්මේ වේගෙන්

කොල්ලයි කෙල්ලයි නැගුනම කොටුවෙන් - දරුවෙක් බිහිවෙයි ඕපනායකින්

 



notes of imaginary

2 comments:

Anonymous said...

මේ වෙනකොට මගේ අතේ තියෙන්නෙ රුපියල් නමසීයයි..
ඩෙනිම් දෙකයි කලිසමයි ශර්ට් තුනයි.බාටා දෙකයි.ඊට අමතරව වරෙන්තු එකයි.ගෙයක් දොරක් නෑ කොටින්ම පුට්සයිකලයක් වත් නෑ.කැප් එක තියෙනවා .මේසේ උඩ බීඩි පහයි.කාමරේ පොත් 1011 යි.. ෆෑන් එකයි.කේතලෙයි ජොග්ගුවයි,රයිස් කුකර් එකයි.පිගන් 32යි කෝප්ප 43යි.. වලං දෙකයි. තාච්චි එකයි..බෙඩ් ශීට්දෙකයි ,ජොක්කු දෙකයි . ආහ් තව රස්සාවකුත් නෑ..කකුලක බැට්ල් කැශුවල්ටියක් තියෙනවා.හුවාවේ y5 ෆෝන් එකක් තියෙනවා..පැහැදිලිව කිව්වොත් මගේ කියලා බිම් අගලක් මේ මහපොලවේ නෑ..මේ මුලු ලෝකෙටම මට කියලා තියෙන්නේ ඔය ලියපු ටික තමයි.සෘජු ෆෝම් පෙට්ටි තුනක් තියෙනවා..ඒ තුනට මේ ටික දාගත්තම මගෙ මුලු ලොවම ඔබයි ,හෙට දවසේ මගේම කියලා හයියකින් දෙයක් පටන් ගන්නවනම්, ඔලුවේ තියෙන්නේ "මේ තුසිත දෙවුලොවෙන් " නික්මෙන්න කෝච්චියට අඩයක් තියන්න වගේ දෙයක් තමා,

හැබැයි දන්නවද... මම අද දවසත් මේ ගෙව්වේ
මට කවුරු හරි ආදරේ කරාවි කියලා..ඒ නිසා මට ආදරෙන්...මම ඕක ඔය විදියටම හෙට දවසෙත් හිතලා ජීවත් වෙයි..අනිද්දත් වෙයි..ඉන් අනිද්දත් වෙයි.බාගවිට තව අවුරුදු තිහක් වත් ඉදියි..

ආදරය මිනිස්සු ජීවත් කරවනවා කියන්නේ ඒකයි..ඒකට ඒක ලැබෙන්නම ඕන නෑ...

මොකද මට ඒක ලැබෙනවා කියන්නේ ඒක දුන්න පාර්ශවය ඉතිහාසය පුරාම වින්දේ දුක්.. අත්දැකීමක් ඒක....මොකද මට පුලුවන් ආදරේ දැකලා ලියන්න විතරයි..පවත්වාගෙන යන්න මට බෑ...මම ඒකට දුර්වලයි.කොටින්ම මට පුලුවන් ඔබේ ජීවිතේ ජයගන්න හැටි අඬ අඬ හිනා වෙවී කියවන්න ලියන්න..හැබැයි මගේ ජීවිතේ කතාකරලා වැඩක් නෑ...

මම මේ පෝස්ට් එකේ ලිව්වේ තිත්ත ඇත්ත..
ඒ ඇයිද දන්නවද?
මට දැන් වෙන වැඩක් නෑ..
මට වැඩක් තිබුනොත් මම ලියන්නේ පට්ට බොරු..ලෝකෙටම තිත්ත ඇත්ත උනත් මට ඒවා පට්ටපල් බොරු 😊
ඇයි ඒ?

අර ජීවිතේ ජයගන්න ලියපු එකත් මම පත්තරේකට කරපු වැඩක්..ඒවගෙන් ජීවිතේ ජයගත්තු උන් මට ඉස්සර කෝල් කරනවා..මම උන්ගෙන් කීයක් හරි ඉල්ලගන්නවා...

තවදෙයක්...

මම හිස් කොලයක්..
ඔබ මේ කියෙව්වේ ඒක උඩ මම ලියපු අකුරු !

miduma said...

අපුරුයි සංවේදීයි. ජීවිතය...............