Monday, August 29, 2022

රන්ජන් ගේ පාඩම





අපේ රටේ දේශපාලනය වෛර්නය. දේදුන්නක් වගේය. පුංචි ලමයි ප්‍රිය කරන සුරංගනා කතාවකි බදුය.

වරෙක දුමින්ද සිල්වා වැනි අය නිදහස්ව සභාපති කම් දරන අතර රන්ජන් වැනි අය එළියට එන්නට බලාපොරොත්තු ඇතිව හිර ගෙදරය. තවත් වරෙක දුමින්ද සිල්වා නැවතත් ඇතුලට යන අතර රන්ජන් එළියට විත් ආණ්ඩුවෙන් තනතුරුද විපක්‍ෂ නායකයා ගෙන් තනතුරු වරප්‍රසාද පෝලිමක් ලබන්නට හේතු වාසනා ඇතිවන්නේය.

වරද දේශපාලකයාට මෙන්ම අවශේෂ ජනතාවටද සමවන්නේය. එය කතාවකි. නීතිය ඉදිරියේ කවුරුත් සමානව සලකන බව කියවෙන්නේය. එහෙත් පාර්ලිමේන්තුවේ පලාත් සභාවේ රස්සාව කරන අයට මෙය වෙනස්ය. තමන්ගේ ලොක්කා රජවු පමනින් නීතිය ඒ දෙසට නැමෙන්නේය. හිරු දෙසට නැමෙන පීණිබර මළක් සේය.

ධිකරණයට අපහාස කිරීමේ වරදට අවුරුදු 4ක් හිරේ ගිය රංජන් අවුරුදු දෙකක් ගතවීමටත් පෙර ගෙදර ආවේය.රජන්ට හිරේ යන්න වුණේ විනිසුරුවන්ගෙන් සහ නීතිඥයන්ගෙන් සියයට 95ටත් වඩා දූෂිතයැයි කීම නිසාවෙනි.

 මෙම වරදට රංජන්ට හිරේ නොගොස් බේරෙන්න අවස්ථාව තිබුණි. ඒ මුල් අවස්ථාවේදී ම ප්රකාශය ඉල්ලා අස්කර ගැනීමෙනි. එහෙත් රංජන් නැවත නැවතත් කීවෙ තමන් කී දේ සත්ය බවත් එය කිසිසේත් ඉල්ලා අස්කර නොගන්නා බවයි. එසේම ජීවිත කාලයම හිරේ දැම්මත් සමාව ගන්නේ නැති බවද කීවේ පුදුම වීරත්වයක් නිර්භීත කමක් පෙන්වමිනි.

 එහෙත් ඊයේ පෙරේදා රංජන් වචනයෙන් පමණක් නොව ලිඛිතව දිවුරැම් ප්රකාශයක් ලබා දෙමින් තමන් කී දේ මුලුමනින්ම වැරදි බවත් තම ප්රකාශ පිළිබඳ සමාව ගන්නා බවත් කියා සිට ඇත.

රන්ජන්ද මුලදී සිටියේ කේසර සිංහයෙකු විලසිනි. පසුව ටිකින් ටික සිංහ සෙයියාව අතහරින්ට ඇරෙන්ට ඇත. පසුගිය මාධ්‍ය හමුවකදී දුටුවේ ගෙදර ඉන්නා සුරතලෙක්ගේ තත්වයෙන්ය.

කවුරුත් ජීවිතය අවබෝධයෙන් හැසිරිවිය යුතුය. රන්ජන් කියාදෙන පාඩම එයයි සිතෙන්නේය.


notes of imaginary

Wednesday, August 24, 2022

තණ්හාව (The Lust)




බංගලාවෙ ලොකු හාමුට 
අසනීපයි කිව්ව හන්ද 
එයා තමයි ,මාව ගෙනැත් 
පංගාර්තු කළේ එහෙට .

පෙරිය දොරේ කළු උනාට 
හතර රියන් මනුස්සයා 
ලැයිමෙ එවුන් පද හැදුවට 
හොර බැල්මක් දැක්කෙම නෑ .

රෝදපුටුව තල්ලු කරන් 
ඉස්තෝප්පුවට ආවම 
මලක් ඉඹිනවා වාගේ 
ලොකු හාමුගෙ මූණ ඉඹල 
පැට්ටේරියෙ වැඩට යන්න 
පඩිපෙළ බහිනව අගේට.

හැන්දැජාමෙ බලන්නෙපැයි 
කුරුළු ජෝඩුවක් වාගේ 
ලොකු හාමුට තේ පොවනව...
ඔළුවත් අතගෑවානේ .
මං හිටියට ගානක් නෑ 
මට නම් මහ මොකද්ද වගෙ.

ඒත් එකට අපෙ මිනිහා 
මහ රෑ කරුවලේ ඇවිත් 
ගෙට එනකොට බීඩි ගඳයි 
පෙරිය දොරේ මතක් වෙලා 
මට හරියට දුක හිතෙනව.

ළඟින් යද්දි හරි පුසුඹයි 
ආසාවෙන් පපුව ගැහෙයි.
ආයකටුව නැතුව ගියත් 
ඇහැක් ඇරල බලනව බොරු .

මූණෙන් පැත්තක් පිච්චුණු 
ලොකු හාමුව මල් මසුරං! 
අනේ එහෙවු ආදරයක් 
මට කවදාවත් ලැබුණද?

අපේ එකාලට ඕනෑ
ජීවිතේම එකම දෙයයි.
පොඩ්ඩක් හුරතල් කරලා 
මූණ ඉඹින්නවත් බැරිද?

බංගලාව ඔළුවෙ තියං 
ලැයිමේ ඉන්නෙ කෝමද?
ලොකු හාමුට වගේ නැතත් 
මාදිහාව බැළුවොත් ඇති 
මට පුළුවන් ඊට පස්සෙ 
ළඟින් ඉඳන් සලකන්නට . 

හැම දාකම ගෙදර ඇවිත් 
හූල්ලලා මං මැරේවි .
කන්දෙන් පහළට ලිස්සල 
රෝද පුටුව පෙරළුනොතින් 
හදිසි අනතුරක් කියාවි 
වෙන මොනවද උන් කියන්නෙ ...
එතකොටවත් .........................
පෙරිය දොරේ වෙනස් වෙයිද?

රෝ.සි.                                                                      notes of imaginary

Tuesday, August 23, 2022

නිලාවරෙයි පතුළක් නැති ළිඳ - යාපනය


බිත්ති නිර්මාණය වෙලා තිබෙන්නේ හිරිගල්වලින්  
ළිඳේ යටම තිබෙන්නේ මුහුදු වතුර...



සොබා දහම තැන තැන අපූරු නිර්මාණ බිහිකරයි. ඉන්දියානු උප මහද්වීපයේ දකුණු කෙළවර පිහිටා ඇති ශ්‍රී ලංකාව යනු සොබා දහමේ තවත් අපූර්වතම නිර්මාණයක් බව නොරහසකි.   

දූපතක් ලෙස පිහිටා ඇති ශ්‍රී ලංකාවේ උතුරේ පිහිටි යාපනය අර්ධද්වීපය මෙහි අපූර්වත්වය තවත් තීව්‍ර කරයි. වසර මිලියන ගණනක් පුරා නිර්මාණය වූ හුණුගල් ස්ථරයකින් යාපනය අර්ධද්වීපය නිර්මාණය වී තිබේ.   
මේ භූමි නිර්මාණය තුළ හිරිගල් ආවාට හා ඛාදනය හේතුවෙන් නිර්මාණය වූ ගුහා හෝ දෝනා තිබිය හැකි බව භූ විද්‍යාඥයෝ විශ්වාස කරති.   

බොහෝ දෙනකුගේ මතය වන්නේ යාපනයේ නීලාවරෙයි හන්දියට ආසන්නයේ පිහිටා ඇති සුවිසල් ළිඳ පතුළක් නොමැති මහ කුහරයක් බවයි. ඒ නිසා එය පතුළක් නොමැති ළිඳ යැයි හැඳින්වීමට ශ්‍රී ලාංකිකයෝ පුරුදුව සිටිති. 
 
ඉතා දැඩි සංචාරක ආකර්ශනයක් දිනා ඇති මේ පතුළක් නැති ළිඳ ගැන ඇති කතාවකින් කියවන්නේ සටන් විරාම කාලයේ මේ ළිඳට වැටුණු පුද්ගලයකුගේ සිරුරක් සොයාගත නොහැකි වූ බවයි. දින ගණනකට පසු ඔහුගේ සිරුර කන්කසන්තුරේ මුහුදේ පාවෙමින් තිබිය දී හමුවූ බව ද පැවසේ.   

“එක වතාවක් මෙතැනට ආපු තරුණයෝ වගයක් මේ ළිඳේ වතුර කොතැනට සම්බන්ධ වෙලා තියෙනවා ද කියා බලන්න දෙහි ගෝනියක් මේකට දැම්මා. මේ දෙහි මතුවුණේ කීරමලෙයි මුහුදෙන්” ගැමියකු එසේ කීවේය.   

ඔවුන් පවසන්නේ මෙහි පතුල සෙවීමට ගත් සියලු‍ උත්සාහයන් ව්‍යර්ථ වී ඇති බවයි. ඇතැමුන් පවසන්නේ මෙය කිලෝ මීටර 04ක් දුරින් ඇති කීරමලේ පොකුණ හා සම්බන්ධ බවයි. තවත් පිරිසක් කියන්නේ මේ ළිඳට ජලය ලැබෙන්නේ මාතලේ ප්‍රදේශයේ උල්පත්වලින් බවයි.   

මෙහි සත්‍ය අසත්‍යතාව සෙවීමේ ගවේෂණයකට මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා කණ්ඩායම අත ගැසූහ. 
 
ඔවුන් පවසන්නේ මෙය ළිඳක් ලෙස හැඳින් වුව ද බැලූ බැල්මටම එය හුණුගල් ආවාටයක් බව පැහැදිලි වෙන බවයි. ඉතාමත් පිරිසිදු නිල්වන් ජලයෙන් පිරී ඇති මෙම ළිඳ ඉතාමත් ගැඹුරු බව මතුපිට සිට බලන්නකුට පවා අවබෝධ වන කරුණකි. ප්‍රදේශයේ ජනතාවගේ ජල අවශ්‍යතාව වසර සිය ගණනක් පුරා සපුරමින් පැවැති මේ ළිඳ අසල පැරණි දාගැබක නටඹුන් හා හින්දු කෝවිල් කිහිපයක් දක්නට ලැබේ. දාගැබේ නටඹුන් හේතුවෙන් මේ ස්ථානය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම් කර ඇත. මීටර 14.5ක් දිගැති හා පළල මීටර් 10.7ක් වන මේ ළිඳ වටා සිමෙන්ති යොදා ළිං බැම්මක් සකසා තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂිත දැලක් ද ඉදිකර තිබේ.   

මෙම ගවේෂණය සඳහා හිරිගල් ගුහා සහ දෝනා ආශ්‍රිත කිමිදුම් කටයුතු කිරීමේ ප්‍රවීණයකු වන රුසියානු ජාතික වයිලි කෂ්කිනොව් මහතාගේ සහ ප්‍රවීණ කිමිදුම් ශිල්පියකු වන හික්කඩුවේ එම්.ජී. ප්‍රියන්ත මහතාගේ සහය ලබාගෙන තිබේ.   

වයිලි මහතා වසර ගණනාවක සිටම ජලාශ්‍රිත උමං හා හිරිගල් ගුහා තුළට කිමිදුම් කටයුතු කිරීමේ පළපුරුද්දක් ඇති එවැනි කිමිදුම් සඳහා උපදේශකයකු මෙන්ම තාක්ෂණික කිමිදුම් කටයුතු පිළිබඳ පුහුණුව ලද අයෙකි.   

වයිලි මහතා සහ ප්‍රියන්ත මහතා පළමුව මේ ළිඳට බැස්සහ. සියලු‍ ම ආරක්ෂිත ක්‍රමෝපායයන් අනුගමනය කරමින් මේ කටයුත්තට පිළිපන් දෙදෙනාගේ පළමු ඉලක්කය වූයේ ළිඳට බැස එහි වටේ පරීක්ෂා කිරීමයි. දෝනාවක් තිබේ නම් ඒ තුළින් ගමන් කිරීම දෙවැනි අදියරේ සිදුකිරීම අපේක්ෂාව විය.   

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මුහුදු පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ මහතා මෙසේ කීවේය.   
“මේ සැලැස්මට අනුව කිමිදුම් කටයුතු ආරම්භ කරලා මිනිත්තු අටක් වැනි කෙටි කාලයකින් ළිඳේ පහළට ගොස් තත්ත්වය පරීක්ෂා කර මතුපිටට ආපු වයිලි මහතා කීවා ළිඳෙහි වතුර නිශ්චලව පවතින බව. ඒ වගේම මීටර 10-20ත් අතර ගැඹුරේ දී ජලය අපහැදිලි බවත් එම ජලයේ මඩ අංශු පවතින බවත් ඔහු කීවා. ඉන්පසු පතුලේ ඇති ජලය ඉතා පැහැදිලි නමුත් මැද ස්ථරයේ මඩ අංශු නිසා හිරු එළිය නොවැටීමෙන් පතුළ අඳුරු බවත් කීවා.”   

ඉන්පසු මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ඒ.එම්. දයානන්ද, එස්.එම්. නන්දදාස සහ රසික මුතුකුමාරණ යන තිදෙනා ද වයිලි සහ ප්‍රියන්ත සමඟ ළිඳ තුළට බැස කිමිදෙමින් පරීක්ෂා කරන්නට වූහ.   

මෙහි ජලය මදක් කිවුල් ස්වභාවයෙන් යුක්තය. එසේ වුව ද ජලය පිරිසිදුය. මීටර 10-20 පමණ ගැඹුරට යන විට ජලයේ ලා දුඹුරු පැහැති මඩ අංශු මිශ්‍රවී තිබේ. එමෙන්ම ජලයේ කිවුල් ස්වභාවය මතුපිටට වඩා වැඩි බව ද මුතුකුමාරණ මහතා පවසයි.   

තවත් ගැඹුරට යමින් මීටර 20 ගැඹුර පසුකරන විට ජලයේ පැහැදිලි බව යළි වැඩිවෙයි. මීටර 23-25ත් අතර ප්‍රමාණයේ දී ජලය ඉතා පැහැදිලි තත්ත්වයක පවතින බවත් එකවරම ජලයේ ලවණ ගතිය අතිශය ඉහළ යන බවත් ඔහු කීවේය. මුතුකුමාරණ මහතා පවසන්නේ මීටර 25න් පසු ජලය සම්පූර්ණයෙන්ම මුහුදු ජලය හා සමාන බවයි. එතැන් සිට ළිඳ පතුළට යනතුරුම දැඩි අන්ධකාරයක් පවතින අතර විදුලි පන්දම් නොමැතිව කිමිඳුම් කටයුතු කිරීම අපහසු කාර්යක් බව ද ඔහු පවසයි.   

“මේ ළිඳේ ජලය සැලකූ විට ඉතාමත් අපූරු දසුනක් දක්නට ලැබුණා. ඝනත්වයෙන් වැඩි පතුලේ අැති මුහුදු ජලයත් ඉහළින් ඇති ඝනත්වයෙන් අඩු මිරිදියත් වෙන්වන මායිම මෙහි පැහැදිලිව දකින්නට ලැබෙනවා. එම ස්ථානයේ විදුලි පන්දම් ආලෝකයෙන් ලවණ අංශු භ්‍රමණය වන ආකාරය ඉතා ආකර්ශනීය දර්ශනයක්. ඒ වගේම ළිඳට වැටී තිබුණු ප්ලාස්ටික් වතුර බෝතල් සහ පොලිතීන් මලු‍ කිහිපයක් මේ ස්ථර දෙක වෙන්වන සීමාවේ ඉහළටත් පහළටත් ගමන් නොකර ස්ථාවරව පතින ආකාරය දක්නට ලැබුණා.”   

පර්යේෂකයන් පවසන්නේ මෙහි ජලය ඉතා නිශ්චල බවයි. මතුපිට ජල මට්ටමේ සිට මීටර 40ක් පමණ ගැඹුරට ගිය විට ළිඳේ පත්ල හමුවී ඇත. වසර සිය ගණනක් පුරා ළිඳට වැටුණු ඇතැම් අපද්‍රව්‍ය මෙහි මැද එකතුවී තිබෙන්නේ කුණු ගොඩැල්ලක් ගැසූ ආකාරයෙනි. මේ අතර අසල ඇති බෝගසින් සහ අවට ශාකවලින් වැටුණු පත්‍ර හා රිකිලි රැසක් ඇති බව ඔවුහු කියති. ඒ අනුව ළිඳේ ගැඹුර අඩුම ස්ථානය ළිඳේ මැද බවට පත්ව ඇත.   
ගවේෂකයන් වසන්නේ ළිඳෙහි කට ප්‍රදේශයට වඩා පතුළට යනවිට වට ප්‍රමාණය වැඩි වන බයි. ඒ අනුව පතුළට යන විට ගුහාවක් තුළට යන ආකාරයක් දක්නට ලැබෙන අතර මීටර 15ක් පමණ ගමන් කරන විට පහළට ලැබෙන ආලෝකය අඩු වෙයි. මෙහි බිත්ති නිර්මාණය වී ඇත්තේ හිරිගල්වලිනි. ඒ මත ඉතා සියුම් දුහුවිලි වැනි අංශු රැඳී තිබේ. ඉතා සුළු කැළඹීමකින් වුව ද ඒවා ලිහිල් වෙයි. 
 
හුණුගල් ස්ථරයේ ස්වභාවය හා සැකැස්ම පරීක්ෂා කරමින් ගවේෂණ කණ්ඩායම ළිඳ පැති බිත්ති පවා ඡායාරූප හා වීඩියෝ ගතකර තිබේ. ළිඳෙහි බටහිර මායිමේ පතුලෙහි ගැඹුර මීටර 55කි. ජලයේ උෂණත්වය සෙල්සියස් අංශක 28-30ත් අතර ප්‍රමාණයක් බව ද ඔවුහු කියති.   

“අපි මේ හිරිගල් බිත්තියේ සාම්පල කිහිපයක් ගත්තා. ඒවා පරීක්ෂා කිරීමේ දී මේ හිරිගල් ස්ථරය මයෝසීන යුගයට අයත් බව හඳුනාගත හැකි වුණා. ඒ හිරිගල් සාම්පල අතර කවච සහිත මුහුදු බෙල්ලන්ගේ ෆොසිල අවශේෂ දක්නට ලැබුණා” යැයි මුතුකුමාරණ මහතා කීවේය.   

ගවේෂණය අවසන් කළ පර්යේෂකයන් පවසන්නේ මේ පතුලක් නොමැති බව පවසන ළිඳට හිරිගල්වලින් සෑදුණු පතුලක් තිබෙන බවයි. එමෙන්ම අවට ගම්වැසියන් සහ සංචාරක මඟ පෙන්වන්නන් පැවසුවාට මේ ළිඳ මුහුද හා කිසිදු සම්බන්ධයක් නොමැති බව ද අනාවරණය වී තිබේ. 
 
මෙම පර්යේෂණය සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ස්ථානභාර නිලධාරි ඩබ්ලිව්.එම්. චන්ද්‍රරත්න මහතා, සමුද්‍ර පුරාවිද්‍යාඥයන් වන රසික මුතුකුමාරණ මහතා, චමල් කේ. ගමගේ මහතා, සමීර ප්‍රසංග කරුණාරත්න මහතා, නදීකා කුමාරි මහ්තමිය, මහින්ද කරුණාරත්න මහතා සහ චමිලා කුමාරි මහත්මිය යන කණ්ඩායම සහභාගි වූහ. 
 
ඔවුන්ගේ ගවේෂණයෙන් යාපනය අර්ධද්වීපයේ පතුලක් නැති ළිඳේ අභිරහස විසඳී ඇත.   
 
 
සජීව විජේවීර
ඉරිදා ලංකාදීප                                                                  notes of imaginary

Friday, August 19, 2022

ගමුකෝ රෙද්දක් අමුඩේ ගහන්න.



දේශපාලනය සමහරුන්ට උණකි. දේශපාලනය දන්නා එවුන් නොව ගොම රිටි දේශපාලනඥයන් වු විට අම්බරුවන් විලස හැසිරෙන අන්දම  දකින කතාන්දර අපි ඕනා තරම් අසා ඇත්තෙමු. මෙයත් එවැනි එක් කතාවකි.

 මේ රණිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවු සමයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ එතුමා ගේ රජයේ මංත්‍රීවරයෙකුගේ හැසිරීමකි.

නන්දසේන මහතා පොලොන්නරුව අධ්‍යාපන ක්‍ෂෙත්‍රයේ බොහෝ දෙනා දන්නා කියන ජනප්‍රිය විදුහල්පති වරයෙකි.  

මේ කතාන්දරය දිග හැරෙන සමයේ ඔහු නගරයට ආසන්න විදුහලක විදුහල්පතිවරයෙකු ලෙස සේවය කලාය. ජනප්‍රිය විදුහලක විදුහල්පතිවරයෙක් ලෙස කටයුතු කිරීම අසීරු කටයුත්තකි. 

පන්තියක සිටිය යුතු උපරීම ශිෂ්‍ය සංඛ්‍යාව එකල සීමාවුයේ හතලිහකටය.මේ සීමාව ඉක්මවා කටයුතු කිරීමට ඔහුට බාදා ඇත. සිසුන් සංඛ්‍යාව වැඩිවු විට ගුරුවරුන්හට තම සිසුන්ගේ ක්‍රීයාකාරකම් අගයමින් ඉගැන්වීමේ කටයුතු සිදුකිරීම අසීරුය. ගුරුවරුන්ගේ මේ දුෂ්කරතා දෙමව්පියන් අදහන්නේ නැත.

තම විද්‍යාලයේ සිසුන්ගේ අධ්‍යාපනය සහ අධ්‍යාපන ප්‍රමිතීන් මුල්තැන ලා සලකන දඩබ්බර පන්නයේ ප්‍රතිපත්ති දරන  විදුහල්පතිතුමා යකාටවත් තම අදහස් වෙනස් කරන්නට කැමතිවුයේ නැත.

 

මේ කියන වකවානුවේ පොලොන්නරුව ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ  ගෝල බාලයෙකුට තම දරුවා මේ විදුහලට ඇතුලත් කර ගැණිමට අවශ්‍ය විය. විදුහල්පති වරයා හමුවු ගෝල බාල තුමා  තම අදහස සාකච්ඡා කලද විදුහල්පති තුමාට අනුව පංති කාමරයේ ඉඩ නැති පදනම මත දරුවා පාසලට ඇතුලත් කර ගැනීමට නොහැකි බව පවසා යෝජනාව ප්‍රතික්‍ෂෙප විය. එතනින් නොවැතුන ඔහු තමන්ගේ මංත්‍රීරයාවු   උත්තමයා වෙත අදහසත් විදුහල්පතිවරයාගේ තීරනයත් සැලකර සිටියේය.

මංත්‍රීවරයා  විසින් ලීඛිත ඉල්ලීම් විදුහල්පතිවරයාගේ කුණු කූඩයට විසි වුන බැවින්  ගෝලයා මංත්‍රීතුමා වෙත නිතර පැමිණිලි කරන්න විය. ඇතිවු මදි පුංචි කම නිසා මංත්‍රීතුමා  කෝප පයට පත්ව පසු දිනක තම පැජරෝවට මංත්‍රී ගෝලයාද නන්වා  ගෙන පාසලට පැමිණ විදුහල්පතිවරයා සොයා  කාර්යාලයට කඩා වැදුනේය.

 

💢💢💢💢💢💢💢එතැන් සිට   එදා සිදුවු  කතා බහ මෙලෙස විය  “කෝ මේකේ විදුහල්පති ?. 

ආයුබොවන් ! 

වාඩිවෙන්න මංත්‍රීතුමා.

වාඩිවෙන්න නෙමෙයි මොනවද තමුසේ කරන මේ වැඩ?

මෙයාගේ ළමයා අදම පාසලට ඇතුලත් කර ගන්න ඕනි .

මංත්‍රීතුමා ,  පන්ති කාමරවල ඉඩ නැහැ පන්තියේ ලමයි හතලිහකට වැඩියි. 

 නිසා තවත් බරක් වෙන්න ලමයි බාරගන්න බැහැ. 

තමුසේගේ කතා වලින් වැඩක් නැහැ  මේ ලමයා ගන්න ඔනී.

මට නම්  වැඩේ කරන්න බැහැ.  

මන්ත්‍රී  උත්තමයාට අන්තිමේදී මල පැන්නේය.

තමුසේ අමුඩයක් ගස්සලා මේ ස්කොලෙන් පන්නන්නේ තේරුනාද ? 

තමුසේ කතා කරන්නේ කා එක්කද ?💢💢💢

 

💣💣💣💣💣මෙච්චර වෙලානම් මංත්‍රීතුමාත් එක්ක.

මංත්‍රීතුමා ,  මම මෙහේට ආවේ දකුණු පලාතේ ඉදන් . 

මගේඅප්පච්චි ගොවියෙක්. කුඹුරු පිටි වගේම හරකා බාන අප්පච්චිගේ උරුමේ. අප්පච්චි වැඩපලට ඇන්දේ අමුඩේ. මාත්මෙහේට ( උතුරුමැද පලාතට ) එන්න ඉස්සෙල්ලා 

අප්පච්චීගේවැඩපලට උදව් උනේ අමුඩේ ගහගෙන.

ඉතින් ඔබතුමාට අරුමයක් උන මේ අමුඩේ මට නම්  අරුමයක්නැහැ. ගම්මුකෝ රෙදිකෑල්ලක් දැන් අමුඩයක් ගහන්න !.💣💣💣💣💣

 මේ වනවිට මංත්‍රීතුමාගේ ගෝරණාඩුවට වටාපිටාවේ ගුරුවරුන්ද කාර්යාලයට රොක්වෙලාය. විදුහල්පතිවරයාගේ දේශණාවට  මන්ත්‍රී උත්තමයාට කට උත්තර තිබුනේ නැත.    

පිරිස මැද මංත්‍රීතුමා කරකවලා අතහැරියාක් මෙන් විය.

ඔහු ගෝලයාත් නන්වා ගෙන මේ දඩබ්බරයාට හොද පාඩමක් උගන්නම්යයි සිතා  පලාත් අධ්‍යාපන කාර්යාලය දක්වා පසුබැස්සේය.

මෙකල කොන්ද පණ නැති විදුහල්පතිවරු , නියෝජ්‍ය  විදුහල්පතිවරුතමන් දුන් සාක්‍ෂි කට උත්තර පවා  දිවුරුම් පෙත්සම් මගින් අස්කර ගන්නා රටක මේ විදුහල්පතිවරයාට  තිබුනේ නොනැමෙන කෂේරුවක් වීම නිසා උතුරු මැද පලාතේ සිට මධ්‍යම පලාතට ක්‍ෂණික මාරුවක් ලැබ කොට්ට මෙට්ට අකුලාගෙන යාමට එදා සිදුවිය. 

රනිල්ගේ දෙවර්ෂ පුර්ණය අවසානයේ   මන්ත්‍රී උත්තමයාට පාර්ලිමේන්තුව අත්හැර ගෙදර නතරවන්න සිදුවිය. 

විදුහල්පතිවරයා  මධ්‍යම පලාතේ සිට නැවත එම පාසලටම විදුහල්පතිවරයා ලෙස  පත්ව  පසු කාලයේ අධ්‍යාපන නිලධාරියෙක්ව විශ්‍රාම ගියේය.










notes of imaginary

Tuesday, August 16, 2022

හදවතටවන කම්පන (Heart Attack )



Heart Attack එකක් එන විදිය ගැන ඔයාලට මොන වගේ දැනුමක් ද තියන්නේ?
පොතේ නම් තියන්නේ පපුවේ වම් පැත්තේ ඇට කටු වලට ඇතුලින් එන දැවිල්ලක් නොවන හිරවෙනවා වගේ විනාඩි 20කට වඩා තියෙන කැක්කුමක් ය කියල. මීට අමතරව මේ කියන කැක්කුම පැනඩෝල් වලට අඩුවෙන්නේ නැති වම් අත දිගේ හරි බෙල්ල දිගේ ඉහළට පැතිරිලා යන ගතියකුත් තියනවා. මේ හැර 
දාඩිය දැමීම, හුස්ම ගන්න බැරි ගතියක්, වමනේ ගතියක් වගේම පපුවේ ගැස්ම ගතියක් ද ලෙඩා අත්දකිනවා. 

ලෙඩා මහන්සි වෙච්ච වෙලාවක, බර කෑමක් ගත්තු වෙලාවක, සීතල වෙලාවක (රෑට නාපුවා ම වගේ) සහ හිතට දුකක් දැනිච්ච වෙලාවක හරි තමයි ගොඩක් වෙලාවට මේ තත්වය ඇතිවෙන්නේ.
ඒ තමයි පොතේ තියන විදිය. හැබැයි මේ විදියට ම ලෙඩ්ඩු එන්නේ ටිකක් අඩුවෙන්. 

එතකොට ගෑස්ටික් කැක්කුම ?

හැදුනු අය දන්නවා ඇති. මේකෙදි එන්නේ බඩේ උඩ හරියේ දැවිල්ලක් වගේ කැක්කුමක්. මේක පපුව දිගේ උඩට පිච්චෙනවා පිච්චෙනවා වගේ පැතිරිලා යන ගතියක් තියනවා. ඒ වගේ ම වමනේටත් එනවා. 
ඉතින් මේ දෙකේ තියන සම්බන්ධය මොකද්ද කියල ඔයාල දැන් බලනවා ඇති. මේ කැක්කුම් දෙක හරි විදියට අදුරගන්න ටිකක් විතර අමාරුයි. ඒ කිව්වේ ඔයා කැක්කුම ගෑස්ටික් කියල හිතුවට ඒක ඊට වඩා ගොඩක් භයානක heart attack එකක් වෙන්නත් පුළුවන් කියන එක. මේ කියන කාරණය හන්දම ගොඩ දෙනෙක් අමාරුවේ වැටෙනවා දකින්න පුළුවන්. 
මේ ඒ වගේ ලෙඩ්ඩු දෙතුන්දෙනෙක් ගැන කතා ටිකක්...

පළවෙනි ලෙඩා

මෙයාට පාන්දර දෙකට විතර එක පාරටම බඩේ දැවිල්ලක් ඇවිල්ල. කලින් ගෑස්ටික් තිබිලත් නැහැ. ඒ පාර කෑම ටිකක් එහෙම කාල ආයෙත් නිදාගෙන. ඒත් කැක්කුම අඩුවෙලා ම නැහැ. කොහොමින් කොහොම හරි පාන්දර 6 වෙනකන් ම ගෙදරට වෙලා ඉදල. අඩුවෙලා නැති තැන මෙයාල hospital ගිහින්. යන අතර මගදී මෙයා නැතිවෙලා... 
පහුවෙනිදා මෙයාගේ මරණ පරීක්ෂණය සිදුවෙනවා. ඒකෙදි හෙළිවෙනවා හදවතට රුධිරය සපයන ප්‍රධාන රුධිර නාලිකාවක් අවහිර වෙලා තමයි මෙයාගේ මරණය සිදුවෙලා තියන්නේ කියන කාරණය. ඒ කියන්නේ මෙයා ගෑස්ටික් කියල හිතන් හිටියට ඇත්තටම වෙලා තියන්නේ Heart Attack එකක් ආපු එක. දන්නේ ම නැතිව තත්වය උත්සන්න වෙලා තමයි මෙයාගේ මරණය සිදු වෙන්නේ.

දෙවැනි ලෙඩා.

මෙයා මට හමුවෙන්නේ පහුගිය සතියේ දවසක. 
ඩොක්ටර් මං අද දවල් ඇඹරැල්ල මාළුවක් එක්ක බත් කෑවා. තව මිරිස් මාළුත් තිබුණ. දැන් නිකන් බඩ අප්සට් වෙලා වගේ... 
එහෙම කියද්දී මට හිතුනේ මෙයා කොහෙන්ද ජරාවක් කාල දැන් බඩේ අමාරුවක් හදාගෙන කියල.
වමනේ ගියාද ? නැහැ. 
බඩ එළියේ ගියාද ? නැහැ
බඩ නිකන් පෙරළෙනවා පෙරළෙනවා වගේ ද? ඒත් නැහැ. ඒත් මගේ පපුව නිකන් පිච්චෙනවා පිච්චෙනවා වගේ.
කලින් ගැස්ටික් හැදිලා තියනවා ද? ඔව් 
කැක්කුම ඒ වගේ ද? 
ටිකක් විතර කල්පනා කරපු ලෙඩා එකනම් හරියට හිතාගන්න අමාරුයි කියල කියපු හන්ද ම මං ECG එකක් ගන්නයි කියල කිවුවා.
ECG එක ආපුවාම දැකපු දෙයින් මං අන්දුන් කුන්දුන් වෙලා ගියා. මේ බඩේ අජිරනයක් කියල තව ටිකෙන් බෙහෙත් ටික දීල ගෙදර යවන ලෙඩාට Heart Attack එකක්. 

මං හදිසියේ දෙන්න ඕනි බෙහෙත් ටික දීල ලෙඩාව වහාම ඉස්පිරිතාලෙට පිටත් කරලා ඇරිය. මේ ලෙඩා තාමත් ඉස්පිරිතාලේ.
එක පාරක් Heart Attack එකක් හැදුනු ලෙඩෙක් ටිකට් කපල ගෙදර එවනකොට පොඩි උපදෙස් ටිකක් දෙනවා. 
ඔයා සතියක් යනකම් හොදට rest කරන්න ඕනි. හෙට ඉදන් දවසට පොඩ්ඩක් ගේ වටේ එහෙම ඇවිදින්න ඕනි . ටික ටික ඇවිදින ප්‍රමාණය වැඩි කරන්න ඕනි. 
සති තුනක් යනකම් බර වැඩ, වාහන එලවන වැඩ, දර පලන වැඩ එහෙම මුකුත් බැහැ. ඒ වගේම වැදගත් ම එක සති දෙකක් යනකම් ලිංගික ක්‍රියාකාරකම් තහනම්. 

මෙහෙම නීති දාන්නේ මේ කියන කාල සීමාවේ දී ආයෙම Heart Attack එකක් එන්න ගොඩක් ලොකු chance එකක් තියන හන්ද...
මෙහෙම කීවට දවසක් Heart Attack එකක් හැදිලා ටිකට් කපල ගෙදර ගියපු ලෙඩෙක් අමාරුවක් නැති හන්ද පහුවෙනිද ම වෙළට ගිහින්. දෙපාරයි උදැල්ලෙන් කොටලා තියන්නේ. පපුවේ කැක්කුමක් ඇවිත්. මනුස්සයාට වෙලෙන් ගොඩ එන්න වත් හම්බවෙලා නැහැ. 
තව එකක් තමයි වරක් Heart Attack එකක් ආපු ලෙඩෙක් ජිවිත කාලයටම ගන්න ඕනි බෙහෙත් ටිකක් තියනවා.. 
ඔයා Heart Attack එකක් ඇවිත් තියන ලෙඩෙක් නම් දන්නවා ඇති ක්ලිනික් ගියාට ඔයාව හරියට බලන්නෙත් නැහැ. doctor එකම බෙහෙත් ටික ඔහේ ලියල දෙනවා.

ඇත්තම කිවොත් ඇඟට අමාරුවකුත් නැති හන්ද ටිකෙන් ටික ලෙඩාට හිතෙනවා මේ බෙහෙත් නතර කරන්න ඕනි කියල. 
එහෙම නතර කරපු ගොඩක් ආයෙම Heart Attack හදාගෙන hospital එනවා... ගොඩ දෙනෙක් අමාරුව වැඩිම වෙන්න කලින් එන හන්දම බේරිලා ගෙදර යනවා... 

ඉතින් අන්තිමට කියන්න තියන්නේ ඔයාට ගෑස්ටික් වගේ කැක්කුමක් ආවොත්. කලින් ගෑස්ටික් හැදිලා නැතිනම් අනිවාර්යයෙන් ම ECG එකක් ගහල බලන එක ඇඟට ගුණයි කියන එකයි.
කලින් ගෑස්ටික් හැදිලා තියන කෙනෙක් නම්, කැක්කුම වෙනද වගේ නැතිනම් ඒත් ECG එකක් ගහල බලන්න. 

private බෙහෙත් ගන්න එන ගොඩ දෙනෙක් ECG එකට රුපියල් 500ක් විතර යන හන්ද වැඩේ අදිමදි කරනවා. ඒත් එක කරන්න එපා කියල මං ඔබෙන් ඉල්ලන්නම්. එහෙම සල්ලි නැතිනම් ළඟම රජයේ රෝහලට එන්න. සේරම නිකන් කරලා දේවි.

ඒ වගේ ම Heart Attack එකක් ආවොත් අර සති තුන අනිවාර්යයෙන් ම doctor උපදෙස් දෙන විදියට ම ඉන්න. ඒ වගේ ම එකම බෙහෙත් ටික දුන්නත් ඒ ටික කියන කාලයක් යනකන් ගන්න.
Heart Attack එකක් එන එක වළක්වා ගන්න එකත් මේ වගේ ම වැදගත්. 
සරලව කිවොත් තෙල් කෑම වැඩිය කන්න එපා. සිනි කෑම වැඩිය කන්න එපා.
දුම් පානය කරන්න එපා. මත් ද්‍රව්‍ය ගන්න එපා. 
දවසට අඩුම පැය භාගයක් වත් හොදට දාඩිය දාන්න excercise කරන්න.අඩුම තරමේ ඇවිදින්නවත් යන්න. 

ඔයා වයස 30ට වඩා වැඩිනම් අනිවාර්යයෙන් ම රුධිර පීඩනය, රුධිරයේ සීනි මට්ටම සහ කොලෙස්ටෙරෝල් මට්ටම කොහොමද කියල වසරකට සැරයක්වත් බලාගන්න. මොකද ඒ දේවල් heart attack එකක් එන්න තියන chance එක ඉහල දමනවා...

💢💢💢💢💢උපුටා ගැනීම - ඩොකාගේ ඩයරියෙනි... මුහුණු පොත
notes of imaginary

Sunday, August 14, 2022

කදුලක්.



ආදරය ප්‍රේමය කවදා කොතනක කොයි මොහොතක සිත් තුල ඇතිවුනදැයි අප නොදන්නා සේම ආදරය ප්‍රේමය කවදා කොයි මොහොතක අප අත්හැර යන්නේදැයි නිශ්චිතයක්ද නැත.
සොදුරු පාසල් දිවියේ එක් දවසක ඔහුගේ නෙත් ඇගේ නෙත් හමුවුනා ය. පසුදින මේ අරුමය මා සමග බෙදා ගත් ඔහු අපමන සතුටකින් මා හා දොඩමළු වූ අන්දම මට සිහිවිය. පාසල් වියේ පිළිසිද තරුනවියේ ගබ්සාවු ඔහුගේ ආදරයේ සහ ප්‍රේමයේ වියෝ ගීතය මා කලක් අසා සිටියාය. මුල් අවධියේ බලවත් කම්පාවට පත්ව සිටි ඔහුට ටික කලකින් ඒ කතාව අසන්නට මා මෙන්ම තවත් අසන්නියක් සිටි බව මට තවත් දිනක ඔහු කීවාය. පාසල් වියේ උපන් ආදරය වසර ගනනාවකට පසු ඒකාත්මීයවන්නට පෙර සිදී බිදී ගියත් ඒ විරහයේ කතාව බෙදා හදා ගත් අසන්නිය ඔහුට දශක තුනකටත් වඩා කාලයක් තවමත් ඒකාත්මීව ආදරය කරන්නීය. ප්‍රේමකරන්නීය.

අප ඉදිරියෙන් සෙමින් ඇදෙන අවමංගල්‍යය රථයේ ගමනට අනූරූපව සෙමින් මාද ඔහුද එකම මාවතක පියමනිමින් සිටියෙමි. මේ ගමන කෙළවරවන්නේ සුසානයේ පිහිටි ආදාහනාගාරය අභියසින් බව දැන සිටියත් ඒ බවක් මා සිතට නො අවාය. ඒ වෙනුවට මගේ සිත ඔහුගේ අතීතයට ඔහුත් සමග පියමැන්නාය. මා මෙන්ම ඔහුත් සෙමින් සෙමින් ඒ අතීතයට පියමනින්න ඇතැයි මා සිතුවේ මගේ නිහඩතාවය ට ඉඩ දී ඔහු ගොළුව සිටි යයි මගේ සිත කියන්න වු බැවින්ය.
අප සමග අවමංගල්‍ය රථය තුල නිසලව‍ ‍මේ ගමන් කරන්නේ ඔහු සමග පාසල් වියේ සිට තුරුණු විය දක්වා ගමන් කර ඔහු ඔසවා පොලොවේ ගසන ලද ඔහුගේ ආදරයයි. ඔහුගේ ප්‍රේමයයි.

ඔහු නිර්දය ලෙස දෝෂාභියෝගයකට ලක් කර ඇය , ඇයට ඇය ප්‍රේම කරන බවත් ඇයට ඇය ආදරය කරන බවත් ඔහුට කීව බව මා හා වේදනාවෙන් පවසා ඔහුට ආදරය කරන්නත් ඔහුට ප්‍රේම කරන්නත් ඈ මග පෙන්වු බව කියමින් ඔහුගේ සිත සැහැල්ලු කර ගත් ඒ අතීත දවස මට සිහිපත් විය.

ආදරය සහ ප්‍රේමය අතහැර ඈ අපටත් කලින් නිසල චාරිකාවක යෙදී සිටින විට අප ඈත් සමග අනිත්‍යවු සංසාර ගමනක පසු ගමන් කරුවන් බවට පත්ව ඈ හා සුසානය කරා යන්නට මදක් පින් කර ඇති බව මා සිහිපත් කර ගත්තාය. එහෙත් එය අසන්නට මා සමග පියමන් වන ඔහුට කන් නැත.


ඔහු තවමත් නිහඩය. දෙනෙත් කෙවෙනි තුල උපන් කදුලක් දෙනෙත් තුලම වියකී යන්නට තතනන විට මා දැහන බිද අපි යමුයැයි ඔහුට යෝජනා කලාය. වතාවත් එවරවෙලාම යමු.ඔහු නිහඩතාවය සිද දැම්මේය. ඈ ජීවත්වු සමාජය නවීකරනයව වැලදගත් සිරිත් විරිත් අකුරට යමින් දේහය ආදාහනාගාරයෙ කවුළුවෙන් රිංගා දිදුලන්නට පටන්ගත්තාය. උස්වු කුලුණින් වලාවක් මිදෙන්නට විය.

ඔහුත් මාත් මගට පිවිසුනාය. සුදුවැලි ඇතූරු මාවතක සුදු කොඩි සැරසු දෙපසක ගොක්කොල සැරසිලි මැද මාද පෙර ගමන් යන්නේ ?.යයි විමසු විට නෑ ..නෑ ..අපි දෙන්නාමයයි කී බවක් ඔහු මා සමග අතීතයේදී කියා ඇත. ආදරය ප්‍රේමය අධිතක්සේරුව මුලාවක් වු ඈ මින් බොහෝ කාලයකට පෙර ඔහු සුසානයකට තල්ලු කර වාසනාව සොයා ගියාය. ඔහු සුසානය තුලින් යලිත් ජීවිතය සොයා ගත්තාය.

ඈත් ඔහුත් දෙමගක ගියත් කවදා හෝ එක් මගකට පිවිසෙන බව එදා ඈ හට නොසිතෙන්නට ඇත.වාසනාව විසින් තවමත් ඔහුට ආදරය සහ ප්‍රේමය ඉතිරි වී ඇති බවක් ඔහුට කියන්නට මගේ සිත කීවත් එය අසන්නට ඔහු සුවපත්වී නැති බව ඔහුගේ දෙනෙත මට කීවාය.

රිය තුල ගොළුවු අප ගලා ආ අදුරත් රැගෙන ආපසු පැමිනෙමින් සිටියාය. මා නිවස අසල හැර දමා ගොළුවතින්ම විසිර යන්නට ඉඩ දී ඔහුගේ රිය කවුළුව වැසීගියේය. මම දෑත වැනුවත් ඔහු ඒ බව ග්‍රහණය නොකල බව මතේ සිත සටහන් කර ගත්තාය.

2011.07.25 දින ම විසින් කඩුල්ලට කල සටහනකි. 

අද 2022 අගෝස්තු 14 දා.

ඔහු මට දෑත වනන්නේ නැතිවම මගෙන් සමු අරන්. දින දෙකකට කලින් අපි රෝගී මිතුරෙකු හට සුවපතන්නට ගොස් වෙන්ව ගියෙමු.නිවසට පැමිණ " මට මහන්සියි " කියා ඇලවුන ඔහු ගේ අවසන් වදන් පෙල වුයේය.ඔවු මිත්‍රයා දැන් අපිට මහන්සියි.




notes of imaginary

Friday, August 12, 2022

Vesi nisa kiwwe





‘’මන් අම්මත් එක්ක ගමනක් යනවා. Bye
Me maha vesith ekka parissamin yanna
Idakin balla
Mn ubwa block karanawa
Vesi nisa kiwwe
Balla
Akunuth gahana nisa kiwwe . ai me baninne “
 

සිංහල භාෂාවේ අකුරු තිබියදී ,
සිංගිලිස් වලින් ලියන්න ගිහින්  කර ගෙන තියෙන විනාශයක්.
අම්මා සංනිවෙදන වෙලා තියෙන අයුරු.
නිව්ස් ඇලර්ට් ඔය භාෂාවෙන් එනවා.
ශ්‍රේෂ්ඨාකරණය වගේම නිතර  භාවිතයේ නොමැති වචනත් හරිම හොල්මන්.
සිංහල අකුරු භාවිතය හරි පහසුයි.
නිතරම සිංහල අකුරු යොදා ගනිමු.














notes of imaginary

ධනෝපායන හැකියාව සහිත රාජ්‍යයක් උ⁣දෙසා...


💞💞💞💞(රසික ජයකොඩිගේ  - Rasika Jayakody-සටහනකි)
09 - 08 - 2022.💢💢💢💢💢💢💢💢
ලංකාවේ ජන සමාජයේ ඉතා ගැඹුරට කිඳා බැස ඇති විශාල පිළිලයක් වන්නේ පොදුවේ මිනිසුන් තුළ තිබෙන 'ධන විරෝධී' ආකල්පයයි. 

ඒ කියන්නේ, ධනය උත්පාදනය කිරීම පිළිබඳ ශ්‍රී ලාංකිකයන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ නඩත්තු කරගෙන එන බියක් සහ සැකයක් තියෙනවා. 

ධනය උත්පාදනය කිරීම සහ ඒකරාශී කිරීම (wealth creation and accumulation) යනු අපරාධයක් හෝ අයහපත් දෙයක් ය යන මතය සමාජය තුළ ඉතා ම සියුම්ව මුල් බැසගෙන තියෙනවා. 

ධනය ඉපැයීමට දක්ෂ පුද්ගලයා "නරක මිනිසෙකු" හෝ "සූරා කන අදමිටු මිනිසෙකු" ලෙසට චිත්‍රයක් සමාජයේ නිර්මාණය වී තිබෙනවා. 

සරල උදාහරණයක් ගැන හිතුවොත් බොහෝ ගැමි කතන්දරවල, සාහිත්‍ය පොත්වල, ටෙලිනාට්‍ය හා චිත්‍රපටිවල අන්තර්ගතය අධ්‍යයනය කොට බැලුවොත් 'කඩේ මුදලාලි' බොහෝ විට චිත්‍රණය කොට තිබෙන්නේ අයුතු ලාබ උපයන කළු චරිතයක් ලෙසයි. මුදලාලිට එළිපිට මිනිසුන් ගරුසරු ඇතිව කතාකළත් යටින් ඔහු පිළිබඳ තරහවක් ඔවුන් ගේ සිතේ දිවෙනවා. 

සාධාරණ මිනිසා සැමදාම දුප්පතෙකු ලෙස සිටින බවත්, දුප්පතා ගේ හිත හොඳ බවත්, ධනවතා අසාධාරණ සහ අධර්මිෂ්ඨ මිනිසෙකු බවත් මේ හුඟක් කතාවල යටිපෙළෙන් කියනවා. මෙය හුදෙක් අහම්බයක් නොවෙයි.

මෙය ආගමික බලපෑමක් නිසා සිදුවන දෙයක් ද, එසේත් නැත්නම් 1930 ගණන්වල සිට ලංකාවේ මුල්බැස ගත් වාමාංශික අදහස්වල බලපෑම නිසා ඇතිවූවක් ද, එහෙම නැත්නම් ඒ දෙකේ ම සංකලනයක් ද යන්න වෙන ම අධ්‍යයනය කොට බැලිය යුතුයි.

ඒ කෙසේ වෙතත්, මේ ධනය උත්පාදනය කෙරෙහි දක්වන අනියත සහ අතාර්කික බිය ශ්‍රී ලංකාවට දිගුකාලීනව විශාල අගතියක් සිදුකොට තිබෙනවා. 

මේ නිසා ලංකාවේ ජන සමාජය තුළ බොහෝ විට සිදුවන්නේ ධනය උත්පාදනය කිරීම ප්‍රවර්ධනය කෙරෙනවා වෙනුවට එය පිළිකෙව් කොට දුර්මුඛ කිරීමයි. 

මධ්‍යම පංතියේ දෙමව්පියන් බොහෝ විට තම දරුවන් පොළඹවන්නේ ටයි පටියකින් ගෙල සිර කරගෙන, සීතල කාමරයක කාර්‍යාල රැකියාව කිරීමට මිස ව්‍යවසායකත්වය පැත්තට නෙවෙයි. පාසල් අධ්‍යාපනය බොහෝ සෙයින් නැඹුරු වී ඇත්තේ සේවා අංශයට ගැලපෙන වෘත්තිකයන් නිර්මාණය කිරීමට මිස ව්‍යවසායකයන් බිහිකිරීමට නෙවෙයි.

ලංකාවේ නීති සහ රාජ්‍ය ප්‍රතිපත්ති සකස් වී ඇත්තේ ද ව්‍යවසායකයන් දිරි ගන්වන ආකාරයට නොව දුර්මුඛ වන ආකාරයටයි.

ආයෝජකයන් සම්බන්ධයෙන් අප දක්වන්නේ ද එවැනි ම ප්‍රතිපත්තියක්. ආයෝජකයන් සම්බන්ධ නීති රීති සහ ක්‍රමවේද සකස් වී ඇත්තේ ද ආයෝජකයන් යනු ලංකාවේ සාරය උරාගෙන යන්නට පැමිණි සූරාකන්නන් පිරිසක් ය යන ස්ථාවරයේ සිටයි.

එවැනි රටකට සෘජු විදේශ ආයෝජන අහිමි වීම ගැන කිසිවෙකුත් පුදුම විය යුතු නැහැ. 

මා මේ කියන්නේ ව්‍යවසායකයන්ට සහ ආයෝජකයන්ට කිසිදු නියාමනයක් නැතුව ක්‍රියාත්මක වීමට සහ බදු නොගෙවා සිටීමට ඉඩ දිය යුතුයි කියන අදහස නෙවෙයි. ඒත් අපේ රටේ නියාමනයකට වඩා සිදුවන්නේ දුර්මුඛ කිරීමක්. එම ව්‍යාපෘති කෙරෙන තැනට නොව නොකෙරෙන තැනට කටයුතු කිරීමක්.

ආයෝජකයන් යනු රටේ සම්පත් සූරාගෙන යන්නට පැමිණෙන පිරිසක් ය යන මනෝභාවය නිසා අප ගනුදෙනුව පටන් ගන්නත් කලින් ඔවුන්ට වැට බැඳ සිරකොට දමනවා. 

මේ ව්‍යවසායකත්ව සංස්කෘතිය මරා දැමීම නිසා ලංකාවේ සැබෑ ව්‍යවසායකයන් කියන පිරිස වඳ වෙලා ගිහින් තියෙනවා. ඒ වෙනුවට ලංකාවේ ව්‍යාපාර ලෝකයේ ආධිපත්‍යය දරන්නේ manipulators ලා පිරිසක්. ඔවුන් තමන් ගේ දේශපාලන සම්බන්ධතා හරහා නීති සහ රාජ්‍ය ප්‍රතිපත්ති අස්සෙන් රිංගා ගොස්, බදු දැලෙන් රිංගා ගොස්, 'ක්‍රමය' manipulate කොට අති විශාල ධනස්කන්ධයක් උපයනවා. ඔවුන් ගේ පැවැත්මට ප්‍රබල හේතුවක් වන්නේත් ව්‍යවසායකත්ව සංස්කෘතියක් නැතිකමයි. 

පාලකයන් ගේ ගජමිතුරන් වන මේ පිරිස බලයට එන ඕනෑම ආණ්ඩුවක් වටා දූෂිත ජාවාරම්කාර වළල්ලක් සේ සිටිමින් ධනය මංකොල්ල කනවා. මොවුන් ඇත්තෙන් ම හැඳින්විය යුත්තේ ව්‍යාපරිකයන් ලෙස නොව ගිලාබත් වෙන රාජ්‍යයක් මංකොල්ල කන මුහුදු මංකොල්ලකාරයන් ලෙසයි.

මේ 'ධන විරෝධී' මානසිකත්වයේ තවත් විශාල අහිතකර බලපෑමක් වන්නේ පොදු ජනතාව ඉතා ම දැඩි ලෙස සහනාධාරවලට හුරු වී තිබීමයි. 

ව්‍යවසායකත්ව සංස්කෘතියක් වෙනුවට සහනාධාර සංස්කෘතියක් මේ රටේ ඉතා ම ගැඹුරින් ස්ථාපිත වී තිබෙනවා. හැම දෙයක් ම රජයෙන් කළ යුතු යැයි ද, රජයේ පරම යුතුකම ජනතාවට සහනාධාර දීම යැයි ද රටේ ජනතාවගෙන් සැළකිය යුතු පිරිසක් සිතා සිටිනවා. 

මේ සහනාධාර නම් කැරට් අලය පෙන්වා බලයට පැමිණි බොහෝ ආණ්ඩු ඉතා ම අතාර්කික, අස්ථාවර සහ තිරසර නොවන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කොට රට විශාල ප්‍රපාතයකට ඇද දැමුවා. 

එහෙත් සහනාධාර මත ම යැපෙන්නට හුරු වී ඇති ජනතාව තවමත් තමන් වැටී ඇති ප්‍රපාතයේ ගැඹුර දන්නේ නැහැ. 

කවුරුන් ආණ්ඩු කළත් ලංකාවේ ජනතාවගෙන් බහුතරයක් ඉතා දීර්ඝ කාලයක සිට මොළ ශෝධනයකට ලක්ව තිබෙනවා. මේ නිසා ඇතිවුණු විකෘතියෙන් අප තවත් සෑහෙන කාලයකට නිදහස් වන බවක් මට පෙනෙන්නේ නැහැ. 

ඒ වගේ ම, ඒ විකෘතියෙන් කවදා හෝ නිදහස් වන තුරු අපට කිසි දිනක ආර්ථික සමෘද්ධිය පිළිබඳ සියුම් බලාපොරොත්තුවක්වත් දල්වා ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. 


 


Note of imaginary

Wednesday, August 10, 2022

fish oil ගැන දැනගමු. Omega 3.

1.මොනවද fish oil කියන්නේ.
2. fish oil ගැනීමේ වැදගත් කම.
3.omega-3 මුලාශ්‍රයක් ලෙස fish oilහි වැදගත්කම.
4.ගතයුතු මාත්‍රාව සහ සුදුසු වෙලාව.
5.ස්වභාවික ආහාර මුලාශ්‍ර සහ supplements.

 fish oil ප්‍රධාන වශයෙන් නිෂ්පාදනය වන්නේ ගැඹුරු සිතල මුහුදේ වෙසෙන තෙල් සහිත මසුන්ගේ පටක වලින් ලබාගන්නා තෙල් මගිනි.මෙයිනුත් අපට වඩා වැදගත් වන්නේ fish oil වලින් සාන්ද්‍රණය කරගත් omega-3 fatty acid නම් කොටසයි.තවද මෙය ω-3 fatty acids හෝ n-3 fatty acids නමින් හැඳින්වෙනවා. omega-3 යනු භහු දිගුදාම අසංතෘප්ත මේද අම්ල (long-chain polyunsaturated fatty acids) වේ. 

omega-3 PUFAs වර්ග තුනකි.එනම්, 
1.ALA.(alpha-Linolenic acid)
2.EPA.( eicosapentaenoic acid)
3.DHA.( docosahexaenoic acid)

මේ අතරින් EPA සහ DHA omega3 මේද අම්ල fish oil වල ප්‍රධාන වශයෙන් අන්තර්ගත වේ.මෙම මේද අම්ල දෙක ශරීරය තුල නිෂ්පාදනය නොවන අතර අනිවාර්යෙන් භාහිරින් ලබාගත යුතුය.එමනිසා මේවා අත්‍යාවශ්‍ය මේද අම්ල ලෙස හඳුන්වනවා.ALA ශාක අහාර මුලාශ්‍ර වලින් පමණක් ලැබේ.මෙසේ ලබාගන්න ALA වලින් 5% සිට 20% දක්වා අගයක් EPA සහ DHA බවට පරිවර්තනය කරගනී.

මෙහි වැදගත්කම කතාකිරීමේදී ඉතා වැදගත් පර්යේෂණයක් හාර්වර්ඩ් විශ්වවිද්‍යාලය මගින් සිදු කර තිබෙනවා.එනම් omega3 ඌනථාව ඇමරිකාව තුල සිදුවන මරණ වලට  හයවන හේතුව බවට පත්ව තිබෙනවා.සාමාන්යෙන් අපි ගන්නා ආහාර වල omega6 : omega3 අගය 20:1 පමණ අනුපාතයක් වෙනවා.මෙම අගය නිර්මාංශ ආහාර වේලක් ගන්න කෙනුකුගේ මිට වඩා වැඩිවන්නත් පුළුවන්. ඉතින් මෙය ඉතා අධික පරතරයක් වෙනවා.සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකු මෙම අනුපාතය 2:1 දක්වා අගයකින් පාලනය කරගත යුතුයි.මක්නිසාද යත් omega6 වැඩිපුර ගැනීම ශරීරයේ ප්‍රධාහ නැතිනම් ඉදිමුම් ඇතිකරවන( inflammation) අතර omega3 එයට ප්‍රතිවිරුද්ධව ක්‍රියාකර(anti- inflammatory) එම ප්‍රධාහ නැති කරයි.තවදුරටත් fish oil ලබාගැනීමේ වැදගත් කම සාකච්චා කරමු,

1.හදවත නිරෝගිව පවත්වාගෙන යාමට.
 මෙමඟින් HDL ප්‍රමාණය වැඩි කරන අතර LDL ප්‍රමාණය අඩු කරමින් යහපත් කොලේස්ටර්රෝල් ප්‍රමාණයක් පාලනය කරයි.සමස්තයක් ලෙස Triglycerides ප්‍රමාණය 15%-30% දක්වා අගයකින් අඩු කරයි. තවද අධික රුධිර පීඩනය අඩු කරන්න උදව් වෙනවා. හදවතේ රිද්මය ක්‍රමානුකුලව පවත්වාගැනීම  සඳහා මෙය වැදගත් වෙනවා.

2.මොලයේ ක්‍රියාකාරිත්වය සඳහා.
 මිනිස් මොලය සෑදී ඇත්තේ 60% පමණ fats වලිනි.ඒ අතරින් භහුතරය omega3 ය.මොලය සම්බන්ධ බොහෝ ලෙඩරෝග(ADHD, Alzheimer’s Disease, Anxiety...) සඳහා මෙය භාවිතා කරනවා.මානසික අවපිඩනය වැනි අවස්තා සඳහාද භාවිතා කරනවා.

3.ඇසේ ක්‍රියාකාරිත්වය සඳහා වැදගත්වනවා.    
මොලයේ වගේම ඇසේද බොහෝ ව්‍යුහයන් සැදී ඇත්තේ omega3 මගිනි.වයසට යනවිට ඇතිවන අක්ෂිදෝෂ(AMD) සඳහා භාවිතා කරනවා.

4.අස්ථි වල නිරෝගී භාවය පවත්වාගැනීමට.
5.පිළිකා වලට ප්‍රතිරෝධිව ක්‍රියා කරයි.
6.දියවැඩියාව පාලනය කරයි.
7.ප්‍රතිශක්තිය වර්ධනය කරන අතර සම සහ හිසකෙස් සඳහා වැදගත් වේ.
8.ශරීරයේ බර අඩු කිරීමට වැදගත් වේ.
9.දරුඵල සහ සාඵල්‍යතාව වැඩි කරයි.
10.ප්‍රෝටීන් අවශෝෂණය වැඩි කරයි.
මෙය සිදුවන්නේ omega3 මගින් mTOR(Mechanistic target of rapamycin) ක්‍රියාකාරිත්වය වැඩිකිරීම මගිනි.මෙහි අවසාන ප්‍රතිඵලය මාංශ  වර්ධනයෙහිලා ඉතා වැදගත් වීමයි.
11.ඉදිමුම් සහ වේදනා අවම කරයි.

Omega-3 මුලාශ්‍රයක් ලෙස fish oil විශේෂයෙන් වැදගත් වෙන්නේ අනෙකුත් මුලාශ්‍ර වලට සාපේක්ෂව fish oilතුල ඉතා වැඩි ප්‍රතිශතයකින් Omega-3 අඩංගු වීමයි.අනික් කාරණය තමයි ඉතා පහසුවෙන් සොයාගත හැකිවීමත් මහාපරිමාණයෙන් නිෂ්පාදනයකිරීමේ හැකියවත්ය.

ගතයුතු මාත්‍රාවන් ගැන සැලකීමේදී ඔබ කිසියම් විශේෂිත ක්‍රීඩාවක නොයෙදෙන්නේකුනම් හෝ ආධුනිකයෙක් නම් EPA සහ DHA අගයන්ගේ එකතුව 500 mg පමණක් සෑහේ.නමුත් ඔබ කායවර්ධනය වැනි ක්‍රීඩාවක් කරන්නෙකු නම් EPA අගය 500mg සිට1g දක්වාද DHA අගය 200mg -500mg දක්වාද ගත යුතුයි.ගත යුතු වේලාවන් සැලකීමේදී උදේ ආහාරයට පසුව හෝ රාත්‍රී ආහාරයට පහුව සුදුසු වනවා.

දැන් අපි බලමු  Omega-3 අඩංගු ආහාර මුලාශ්‍ර මොනවද කියල.ප්‍රධාන වශයෙන්ම සිතල මුහුදේ වෙසෙන මාළුන්ගේ වැඩි ප්‍රතිශතයකින් Omega-3 අඩංගු   වෙනවා.උදා.සැමන්,මැකරල්,කෝඩ්,හුරුල්ලන් වැනි මත්සයන් වේ.මිට අමතරව නිර්මාංශ ආහාර මුලාශ්‍ර ගැන සඳහනක් කලොත් ෆ්ලස් සීඩ්,වෝල් නට්,චියා සීඩ්,නිවිති,සෝයා,හෙම්ප් සීඩ්,ඇල්ගී සඳහන් කල හැක.

Thushara De Silva - Fb
Chemistry  වෙතින් උපුටාගැනිමකි .

පසු සටහන.💙💙💙💙
දිය වැඩියාව පාලනය සහ ඇසේ ක්‍රියාකාරිත්‍වය සදහා Omega-3 යොදා ගැනීමෙන් ප්‍රතිපල ලබා තියෙනවා.

Note of imaginary                                            

Tuesday, August 09, 2022

දුක හිතෙනවා


                                                සුන්දර ඇමෙරිකන් ජිව්තය ..

ටිකක් දිග කතාවක්,හැබැයි ගොඩක් වැදගත් 

මේ කතාව මගේ නෙමෙ ..ඒත් එය අතිශයින්ම සංවේදියි...ඇමෙරිකාවට යන්න සුන්දර සිහින මවන අයට මෙය සුවිශේෂීයි..

මේ කතාව කොහොම පටන් ගන්නද කියල මටම තේරෙන්නෙ නැහැ.
අපි මෙහෙම පටන් ගමු. මගේ නම සමන්. සමන් ජයසිංහ. ගම කඩවත.
මම සිංහ සමාජයේ සාමාජිකයෙක්. සිංහ සමාජයේ වාර්ෂික සමුලුවකට තවත් කට්ටියක්
සමඟ ඇමරිකාවේ චිකාගෝවට යන්ට මට වාසනාව පෑදුනා. ඇමරිකන් උණ සෑදී
වලිප්පුව සෑදී සිටි මම ආපසු ආවේ නැහැ. මට එහේ පොඩි ජොබ් කට්ටක් සෙට් උනා.
දැන් අවුරුදු හතරක්. තව අවුරුද්දකට වීසා තියෙනවා. තව කීයක් හරි හොයා ගෙන
ආපහු යනවා.

මට රැකියාවක් ලැබුනේ ගෑස් ස්ටේෂන් එකක. ගෑස් ස්ටේෂන්
කියන්නේ පැට්‍රල් ෂෙඩ්.
පැට්‍රල් ෂෙඩ් එකක වැඩ කරනවා කියන කොට ඔබට මතක් වෙයි
කාකි කොට කලිසමක් ඇඳල කාකි අත් කොට කමිසයක් ඇඳල රබර් සෙරෙප්පු දෙකක්
දෙපයට දාගත්තු බුලත් හපයෙක්.
ඒත් ඇමරිකාවෙ එහෙම නැහැ. අපිට ලස්සන යුනිෆෝම් එකක්
තියෙනවා. ටයි එකකුත් දාන්න ඕන.
මෙහේ ( ගෑස්) පැට්‍රල් ගහන්නේ වාහනය පදවන්නාමයි. පොම්ප
10 ක් 12 ක් විතර තියෙනවා. ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරල තමන්ටම ගෑස්
ගහගන්නත් පුලුවන්. එහෙම නැත්නම් ඇතුළට ගිහිල්ලා පොම්පයේ අංකය කියල මුදල්
ගෙව්වාම මට කරන්න තියෙන්නේ කොම්පියුටරයෙන් පොම්පය ව්වෘත කරන එකයි. ඊට
අමතරව හදිසියෙන් ගන්න අවශ්‍ය බෙහෙත් පෙත්තේ සිට කොන්ඩම් එක දක්වා බඩු
විකුණන මිනි මාකට් එකකුත් තියෙනවා.
මේවා හදිසියට හොයා ගන්න පුලුවන් අඩුවෙන් ගෙවන පොඩි
රස්සාවල්. තනිකඩයෙකුට යම්තම් ජීවිතේ ගැට ගහ ගන්න ඒ මුදල ප්‍රමාණවත්.
වැඩිපුරම මේවායේ වැඩ කරන්නේ නීති විරෝදී සංක්‍රමණිකයන්. මට බැංකු ගිණුමක්
අරින්නවත් , වාහනයක් එළවන්නවත් බැහැ. not authorized to work කියල
පාස්පෝට් එකේ ගහල තියෙනවා. නිකමට හරි පොලිසියට මාට්ටු වුනොත් ඩී- පෝට්
තමයි.

ඇමරිකන් ඉංග්‍රීසිය අමුතු ඉංගිරිසියක්. උන්ගෙ “ඇ” කාරය
වැඩි. ඩාන්ස් – ඩෑන්ස් ,… ක්ලාස් – ක්ලෑස්.. පාස් – පෑස් වගේ. ඒ අනුව මගේ
නම සමන් :…. සැමන් විය යුතුය. ඒත් උන් මගේ නම වෙනස් කෙරුවා ” සෑම්”
කියලා. මම සැමන් නොවී සෑම් වීම ගැන සතුටු උනා.
ගෑස් ස්ටේෂන් එක ඇතුලේ තියෙනවා කස්ටමස්ලට යන්න
වැසිකිළියක්. ඒවාට කියන්නේ “රෙස්ට් රූම් ” නැත්නම් “වොෂ් රූම්” කියලා.
ඇමරිකාව කියන්නේ ගෙදරට මරගාතෙ- ලෝකෙට පරකාසෙ කරන රටක්.
මෙහේ තරම් හිඟන්නෝ නැතිව ඇති ලෝකෙ කොහේවත්. මුන්ට කියන්නේ “හෝම්ලස්
පීපල්” කියල. “බෙගර්ස් ” කියන වචනය පාවිච්චි කරන්නෙ නැහැ.

අ. පො. ස. විභාගයේදී මට විශිෂ්ට සම්මාන තියෙනව ඉංග්‍රීසි
භාෂාවට සහ සාහිත්‍යයට. ඊට අමතරව උසස් ආයතනයකින් ලද සහතිකයකුත් තියෙන නිසා
මා හිතා හිටියේ මා තරම් ඉංග්‍රීසි උගතෙක් තවත් නැතිව ඇති කියාය. එහෙත් මා
කියනා දේ මුන්ට නොතේරෙයි. උන් කියනා දේ මටද නොතේරෙයි.
ඒ නිසාම මට දී තිබුනේ කස්ටමර්ලා අඩු රෑ සේවා මුරයයි.

දිනක් එක් හෝම්ලස් මිනිහෙක් ඇතුළට ඇවිත් ” may I use
your rest room ” කියල මගෙන් ඇහුවා.
“rest room only for customers” කියලා මම මිනිහව එළවා
ගත්තා. මගෙ තාත්තගේ වයසේ මිනිහෙක්. මට පස්සෙ දුක හිතුනා. උගෙ මූන
අමුතුයි. හමේ පාට සුදුත් නෙවෙයි.. කලුත් නෙවෙයි. ඇස් දෙක පැහැදිලියි.
බැල්ම තියුණුයි.
පසුවදා සුපුරුදු රෑ ෂිෆ්ට් එක නිම වෙලා මම පයින්ම මගේ
නවාතැනට ගාටමින් හිටියා. වෙලාව උදේ 7.30 ට විතර ඇති. පාර අයිනෙ බංකුවක්
උඩ හෝම්ලස් මිනිහෙක් ඉඳගෙන හිටියා. මිනිහා මොනවද තාලෙට කියනව මට ඇහුනා.
” ඩූව් ඩීමට් කාරෙ බෙන්ඩා…” ටිකක් පුරුදු හඬක්. ඒ අර මම
එළව ගත් මිනිහා. මම මිනිහට කිට්ටු කළා.
හලෝ.. are you singing ?
මිනිහ පැහැදිලි ඉංග්‍රීසියෙන් ” cold….can you buy me a
coffee ? මිනිහගේ කකුල් දෙකම වන වෙලා. ඒවාට දැමූ දම් පාට බෙහෙතට උඩින්
සාරෙ ගලමින් තිබුණා. මම වහාම කෝපි එකක් අරන් දී,
” are you sick?”
“I am having cold and fever”
මගේ සාක්කුවේ ලංකාවෙන් ගෙනා පැනඩෝල් පෙති වගයක් තිබුණා.
ඉන් දෙකක් මම මිනිහට දුන්නා.
” Panadol ? are you sri lankan ?”
” my god ! are you sri lankan too ?
දිග සුසුමක් හෙලූ එයා මොනවදෝ කියන්න ලෑස්ති උනා.
මට මහන්සියි. නිදිමතයි. අපි පස්සෙ හමුවෙමු කියල , රෑ
ෂිෆ්ට් එකෙන් මාටියා ගහපු ඩොලර් කීපයක් මම මිනිහගේ අතේ තියල නවාතැනට
ගියා.
රෑ නිදි වරා සිටියත් උදේ සිදුවූ දේ නිසා මට නින්ද ගියේ නැහැ.
කොහොමටත් රෑ නින්ද වගේ නෙවේ දවල්ට නිදා ගන්න එක.
ඊට පස්සෙ දින කීපයක් යන තුරු මම මිනිහව දැක්කෙ නෑ.
එදත් සුපුරුදු පරිදි මගේ රෑ ෂිෆ්ට් එක. හදිසියේම ” අරයා”
ආවා. රෑ 12.30 ට විතර. ඇතුලට නෑවිත් වීදුරු ජනේලෙන් මා දිහා ඔරවා ගෙන
හිටියා. ඔහුගේ රැවුල , කොන්ඩේ දිගටම වැවිලා තිබුනා. වැඩි හරියක් සුදු
කෙස්.
ඒ වෙලාවේ කස්ටමර්ලා අඩුයි. මම කෝපි එකකුත් හදාගෙන මිනිහ ළඟට ගියා.
” Are you speaking Sinhala ?” මිනිහා මගෙන් අහනව.
” මම හිතුවේ සෑම් මහත්තයා ඉන්දියන් හරි මෙක්සිකන් හරි
කියල. ලංකාවෙ කොහේද ?”
මටයි මිනිහගේ විස්තර දැන ගන්න ඕන. මිනිහ මං ගැන අහනව.
මෙතන ඉඳල ලියන්නම් ඔහු මට කී කතාව.
මගේ නම සිරිල් සපරමාදු. මගේ වයිෆ් පද්මිනී. අපි හෝමාගම.
ලොතරැයි දිනුම් වලින් හරි ගියේ කීයෙන් කීදෙනාටද සෑම්
මහත්තයෝ. මටත් ඇදුනා ලොතරැයියක්. වීසා ලොටරි එක. දැනට අවුරුදු 25 කට
ඉස්සර මම මහ බැංකුවේ මාණ්ඩලික නිලධාරියෙක්. මගෙ වයිෆ් ගුරුවරියක්. අපි
ලංකාවෙ හොඳ ජීවිතයක් ගත කළා. ඇමරිකන් එම්බසියෙන් ලියුම ආදා ඉඳල සතියක්
අපේ ගෙදර ලිප පත්තු උනේ නෑ සෑම් මහත්තයෝ. අපෙ සේරටම ඇමරිකන් උණ හැදුනා.
අපිට ළමයි තුන් දෙනයි. වැඩිමළා පුතා ඊළඟට දූලා දෙන්නා. අපි මෙහේ එනකොට
පුතාට 7 යි. දූලට 6 යි, 5 යි. අපි තිබ්බ සේරම සේසත විකුණලයි ආවෙ.
මාත් ඔයා වගේ ගැස් ස්ටේෂන් එකක වැඩ කළා. වයිෆ්ට
මොන්ටිසෝරියක රස්සාව ලැබුණා. අපි දෙන්නාගෙ පඩියෙන් පවුලක් නඩත්තු කරන්න
අමාරු නිසා මම ජොබ් දෙකක් කළා. ඒක හරිම අමාරු වැඩක්. හිතේ වේගෙට කළාට මම
නිතර නිතර ලෙඩ වුනා.
විවිධ හැල හැප්පීම් මැද කාලය ගෙවී ගියා.
පුතා නම් ඉගෙනීමට වැඩි උනන්දුවක් පෙන්නුවෙ නෑ. දූල
දෙන්නම ” මාස්ටර්ස්” දක්වා ඉගෙන ගෙන දෙන්නම ඇමරිකන් කාරයො දෙන්නෙක් එක්ක
විවාහ උනා.
ඒව නිකම් ” නමට විවාහ” ලාස් වේගාස් වල තියෙනව ” drive
through ” කසාද බඳින්න තැනක්. ලොකු දුව වෙන ස්ටේට් එකකට ගියා පදිංචියට.
ඉන්න තැනක අපි කාටවත් කීවෙ නැහැ.
පුතා මෝටර් මෙකැනික් කෝස් එකක් කරල මෝටර් රථ හදන
කොම්පැනියකට බැඳුනා. මිනිහට හොඳයි. හැබැයි නාස්ති කාරයා. බීමට ඇබ්බැහි
උනා. ඉතිරියක් , අනාගතයක් ගැන හිතුවෙ නැහැ.
පොඩි දුවට බබා ලැබිල අවුරුදු 5 කට පස්සෙ අපිව එක්ක ගියා
එයාලගෙ ගෙදරට. අපි එහේ හිටියේ ආගන්තුකයෝ වගේ. මගෙ වයිෆ්ට නම් වැඩ තිබුනා.
ඒ මිනිපිරී – නිකෝල් – බලා ගන්න එක. කෙලීට තිබුනේ නිල් පාට ඇස් දෙකක්.
සුදු පාට හමක්. කොන්ඩෙ නම් කලු පාටයි. ටිකක් මගෙ වයිෆ් පද්මිනිත් වගෙයි.
සමහර දාට නිකෝල් මගෙ උනුහුමට තුරුල් වෙලා නිදා ගත්තා. මම ඇගේ හිස පිරි
මැද්දා. ඈ ඊට ආසා කළා. මම ඈට ” කිරි සුදු හාවා” ඉගැන්නුවා.
දවසක් අපේ බෑණා – මයික් පියර්සන්- අහනව මගෙ දුවගෙන් what
the hell that old man doing here කියල.
Don’t talk like that. He is may dad. ඒ මගෙ දුව.
But this is my house– ඒ බෑණා.
OK I will ask them to leave. You can hire a baby
sitter for 600 dollars for a week.
මම එදා හිතා ගත්තා මම තව දුරටත් මෙහේ හිටියොත් ඒක
මෙයාලගෙ පවුල් ජීවිතයට බාධාවක් කියල.
” පද්මිනි… මම යනව පුතා ළඟට. ඔයාට මෙහේ කරදරයක් නැහැනෙ.”
අපි දෙන්නා බැන්දට පස්සෙ කවදාවත් වෙන් වෙලා ඉඳල නෑ. එයා
කඳුලු පුරවා ගෙන මා දිහා බලා ගෙන ඊට කැමැත්ත දුන්නා.
” මතක් කරල බෙහෙත් ටික අරගෙන යන්න”
පුතා ජීවත්වුනෙ single bed room අපාර්ට්මන්ට් එකක. මිනිහ
මාව සතුටෙන් පිළිගත්ත. ඒත් වැඩි විස්තර ඇහුවෙ නෑ. ඒ එයාගෙ හැටි.
මම ගිය ගමන්ම කළේ ගේ අස් කරන එක. පුතා කැම බීම කරල
තියෙන්නෙ පිටින්.
” තාත්ත බියර් එකක් බොනවද?” පුතා බියර් බෝතලයක් කටේ
තියාගෙන බොන ගමන් මගෙන් ඇහුව. 
මම මගේ තාත්ත ඉස්සරහ වාඩිවෙලාවත් නැහැ.
මම මටම සාප කර ගත්ත. දුර දිග නොබලා ගත්තු තීරණ නිසා අද
අපේ පවුල සී සී කඩ. දරුවන් දෙමාපියන් අතර සම්බන්ධයක් නැහැ. දරුවො හිත්
පිත් නැති මැෂින් වගේ. රොබෝල වගේ.
මම මාකට් එකට ගිහින් පුංචි රයිස් කුකර් එකක්, තේ හදන්න
අවශ්‍ය කරන දේ සහ තවත් දේ ගෙනාවා.
” පුතා මීට පස්සෙ පිටින් කෑම කන්න එපා. අද ඉඳල මම උයනව”

“ඉතින් කොහොමද මේ තත්වෙට වැටුනේ ?” මම එයාගෙ කතාවට බාධා කලා.
” අනේ සෑම් මහත්තයෝ, මං ගැන කාටවත් කියන්න එපා. ඒක අපේ
රටට කරන අගෞරවයක්.”
පුතා මගෙත් එක්ක මුලින් හොඳට කතා බහ කළා. පස්සෙ පස්සෙ
අහන දේට විතරක් උත්තර දුන්න. සුමානයක් දෙකක් යනකොට මට එයාගෙ වෙනසක්
තේරුනා. මිනිහ මාව නොරුස්සන ගතියක් මට දැනුන.
එදා ජූනි 15. පුතාගෙ උපන් දිනෙ. මම උදේම නැගිටල කිරිබත්
ඉව්වා. පුතා කිරිබත් කන්න හරි ආසයි.
” පුතා අද කලින් ගෙදර එන්න. මම ඩිනර් ලෑස්ති කරනව.”
මට හොඳට උයන්න පුලුවන්. මම කහ බතක් උයල චිකන් උයල,
පරිප්පු වේලෙන්න උයල, ලූනු සම්බෝලයකුත් හැදුව. පුතා ආවෙ නැහැ. මම රෑ 11
වෙන තුරු බලා ඉඳල තනියම කෑම කෑවා.
තව ටිකක් බලා හිටියා. මට දන්නෙම නැතිව ඉඳගෙන හිටි
පුටුවෙම නින්ද ගියා. පුතා තව කට්ටියක් එක්ක එනකොට පාන්දර 3.00 ට විතර
ඇති. සේරටම හොඳටම වෙරි.
උන් ළඟ වස ගඳයි. මරිජුවානද මොනවද ගහල. සාලෙ ලයිට් පත්තු
උනා. එකෙක් අහනව “Who the fuck is this ?” කියල.
“Are you living with your dad ?” ඒ තව එකෙක්.
මම දවසක් පුතාගෙන් ඇහුව ” පුතාට මම ඉන්න එක කරදරයක්ද ?” කියල.
” කරදරයක් නම් නෑ. ඒත් යාලුවෙක් වත් ගෙන්න ගන්න විදිහක්
නෑ. “I too have a life තාත්තෙ”
මට දැනුන ලොකු විනාශයක් අත ළඟ කියල. මම දවස් කීපයක්ම
පොඩි දුවටත්, පද්මිනීටත් කෝල් කරන්න උත්සාහ කළා. එයාලගෙ ෆෝන් එක
ඩිස්කනෙක්ට් කරල. එයාල වෙන කොහාටද ගිහිල්ල.
පුතා හදිසියෙම එයාගෙ කාර් එක වික්කා.
” තාත්තෙ මම යනව නිව්යෝර්ක් වලට . ට්‍රේනින් එකකට. සති දෙකකට.”
එයා ඇඳුම් බෑග් එක, ලැප්ටොප් එක එහෙම අරගෙන පිටත් උනා.
එදා ඉරිදා දවසක්. මම ටිකක් දවල් වෙන තුරු නිදා ගත්ත.
කවුදෝ දොරට ගහනව. මම ගිහින් බැලුව.
නෝටන් ලෝපෙස්- අපාට්මන්ට් මැනේජර්.
“Your son didn’t pay the rent. You have to pay or leave the
apartment”
” Can’t you wait? He will be back in two weeks”
” No he is not coming back. He moved to NewYork”
මගේ පුතා අභිනිෂ්ක්‍රමණය කරලා.
පුතා ඉපදුනේ ජයවර්ධනපුර රෝහලේ. මට පනිවිඩේ ලැබෙන කොට හවස
3.00 ට විතර ඇති. සීසර් සැත්කම නිසා පද්මිනීට සිහිය ඇවිත් තිබුනේ නැහැ 
පුතා කොට් එකේ හිටියා. අඬ අඬා. මම ඇඟිල්ලෙන් එයාගෙ ලපටි ලා රෝසපාට
කම්මුල් ස්පර්ශ කළා. ඇඬිල්ල නැවතුනා. ළඟ ඇඳක හිටි ගැහැණියක් ” දැක්කද
තාත්ත අඳුර ගත්තු හැටි කීවා. මට අද වගේ මතකයි.

සපරමාදුගෙ කතාව ඇහුවට පස්සෙ මෙතෙක් කල් ජීවිතය ගැන තිබූ
ආසාවන් සේරම වෙනස් වුනා වගේ කියල මට හිතුනා. මම නවාතැනට ගිය ගමන්ම අම්මට
කෝල් කළා. මගෙ තාත්ත ජීවතුන් අතර නැහැ. ෆෝන් එක ගත්තෙ අම්ම.
මම “හලෝ” කිව්වම” ආ මගෙ පුතේ.. දැන් කාල බීලද ඉන්නෙ?
දැන් ඔහේ වෙලාව කීයද?” කියල ඇහුව. මට එක පාරටම ඇඬුම් යන්න ආවා.” ඇයි
පුතාට සනීප නැද්ද?” අම්ම අහනව.” ඔය හිටිය ඇති පුතේ ඉක්මණට ආපහු එන්න”
ෆෝන් කාඩ් එක ඩොලර් පහයි. ඒක ඉවරවෙන තුරුම මම අම්මත්
එක්ක කතා කළා. ඒත් මගේ හිතේ ඇතිවුනු පීඩනය ඉවත් වුනේ නැහැ.”

ඇයි සපරමාදු අන්කල්ට පංසලට යන්න තිබුණනේ?” බුද්ධාගමේ නේද ?
ඔය සිංහළ ඇසෝසේෂන් එකට එහෙම ගියෙ නැද්ද?”
ඒව තියෙන්නෙත් ලොකු මිනිස්සුන්ට විතරයි. ඒවයින් කෙරෙන්නේ
බාස්කට් බෝල් ටූනමන්ට්/ ඩිනර් ඩාන්ස් වගේ ඒව කරන එක විතරයි.
හැමදාම ජොබ් දෙකක් කරල මම ගෙදර එන්නේ කොයි වෙලාවෙද ඇඳට
වැටෙන්නෙ කියල බලා ගෙන. ඒ නිසා මට යාලුවෙක් ආශ්‍රය කරන්නවත්, පංසලකට
පල්ලියකට යන්නවත් බැරි වුනා. මගේ හිතේ තිබූ හීන මාණය නිසා ලංකාවෙ
මිනිස්සු ගැවසෙන තැන් වලට නොයා ඉන්න මම පුරුදු උනා.
මම කීප වතාවක්ම ලංකාරාමයට ගිහින් තියෙනව. ඒ කඨින දවස්
වල. කටට රහට කාල එන්න. මට ජිනානන්ද හාමුදුරුවන්ට මූන දෙන්න බෑ.

මගෙත් එක්ක වැඩ කරන උන් මම නිතරම හෝම්ලස් මෑන් කෙනෙක්
එක්ක කතා කරනව නෝට් කරල. උන් කියන්නේ ඒ මගෙ ඩෑඩ් කියල.
මගේ තත්වයත්, සපරමාදුගෙ තත්වය වගේම බරපතල එකක්. “මටත්
වඩා අබලන් මගෙ හැරමිටිය” කිව්ව වගේ අනේ අපොයි කියල හිත හදා ගන්නව ඇරෙන්න
මට වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ . ඉඳල හිටල මම කීයක් හරි සපරමාදුට දුන්න.
” ඉතිං සපරමාදු අන්කල්, ආංඩුවෙන් ගානක් හම්බ වෙනව නේද?”
මුලදී මට සෝෂල් සෙකුරිටි ලැබුණා. ඒත් දැන් මට ඉන්න තැනක්
නෑ. ඇඩ්‍රස් එකක් නෑ.
මට හිඟමන් ලැබෙන්නෙ කලාතුරකින්. උන් හිඟමන් දෙන්නෙත් පාට බලල.
” දැන් කොච්චර කල් වෙනවද මෙහෙම වෙල?”
දැනට අවුරුදු 5 කට වඩා .. සමර් එකට නම් ගානක් නැහැ.
වැටිච්ච තැන නින්ද යනව. වින්ටර් එකට අපි ගිහින් දානව කෑම්ප් එකකට.
” ඉතිං අංකල් ගෙ වයිෆ් දැක්කෙ නැද්ද ඊට පස්සෙ?”
ඇයි නැත්තෙ ?
දවසක් මම පාක් එකේ බංකුවක ඇලවෙලා හිටියා. මං දැක්ක හැඩ
රුව හුරු පුරුදු කෙනෙක් පොඩි බබෙක් කාට් එකක දාගෙන පාක් එකට එනව. ඒ
පද්මිනී. දිග කලිසමක් ඇඳල. අඳුරන්නත් අමාරුයි.
මම ඒ වෙනකොටත් හොඳටම ජරා ජීර්ණ වෙලා. මම එයා ළඟට ගියා.
එයා ඇස් උඩ තියා ගත්තා.
” ඔයාට මොකද මේ උනේ?” මම ඔයා හැම තැනම හෙව්වා”
” පුතා මාව දාල ගියා.. ඔයා දැන් කොහේද ඉන්නේ?”
“පොඩි දුවලත් වෙන කොහාටද ගියා. මං හිතන්නෙ ෆ්ලොරිඩා වලට…
බේබි සිටින් කරල පළපුරුද්ද තියෙනව කියල මට සහතිකයක් දීල ගියා.. මම දැන්
ගෙදරක බබෙක් බලාගන්නවා.. ඔයා කොහේද ඉන්නේ ?”
” මට ඉන්න නියම තැනක් නෑ. හුඟක් වෙලාවට ෆ්‍රී වේ එක යට
තමයි නිදා ගන්නෙ”
” ඔයා කෞන්ටි හොස්පිටල් එකකට ගිහින් ඔය තුවාල වලට බෙහෙත් දාගන්න”
ඉස්සර මට ලෙඩක් හැදුනම වැඩියෙන් කලබල වෙන්නෙ පද්මිනී.
මාව බලෙන්ම දොස්තරගාවට ඇදගෙන යනව. ලෙඩේ කියන්නෙත් එයාමයි. හැමදේම වෙනස්
වෙලා.
” මට පරක්කු වෙනව. 5.30 වෙන කොට මේ බබාගෙ අම්ම එනව”
මගේ පපුව හෝස් ගා ගෙන ගියා. හැමෝම වෙන් වෙලා යනව. අපි
ආයෙ කවදා හමුවෙයිද ?

දවසක් මං හම්බ වෙන්න රෑ 12.30 ට විතර සපරමාදු ආව. එයා මට
දුන්න පොලිතින් වලින් ඔතාපු පාර්සලයක්
” සෑම් මහත්තයා මට පොඩි උදව්වක් කරන්න. මේ අපේ ෆොටෝ
ඇල්බම් එක. ඔයාට පද්මිනී අඳුරගන්න අමාරු වෙන එකක් නෑ. ඔය ඇල්බම් එක එයාට
දෙන්න. ඕක ඇතුලේ සල්ලි වගයක් ඇති . ඒකත් එයාට දෙන්න.”
ඔයා ආපහු ලංකාවට යනව කිව්වා නේද ? යන්න…… මේක හොඳ රටක් නෙවි.”
සපරමාදු එදා නම් කතා කලේ සිහි විකලෙන් වගේ.
‘ඔයාට මගෙ වයිෆ් හම්බ උනේ නැත්නම් ඔය සල්ලි වලින්
මහත්තයගෙ අම්මට මොනව හරි අරන් යන්න..”

පහුවදා පාන්දර මට කස්ටමර් කෙනෙක් ඇවිත් කිව්ව ට්‍රෑෂ්
බින් එක ළඟ හෝම්ලස් මිනිහෙක් වැටිල ඉන්නවා කියල. මම විගහට ගිහින් බැලුව.
ඒ සපරමාදු. මම 911 කෝල් කළා.
ටික වෙලාවකින් ඇම්බියුලන්ස් එක ආව. මම වීදුරු කවුලුවෙන්
බලා හිටියා.
සුදු රෙද්දකින් වහපු සපරමාදුගෙ සිරුර ඇම්බියුලන්ස් එකෙන්
කොහාටද අරන් ගියා.
සපරමාදු මැරිලා. 

මූනූ පොතෙන් උපුටා ගැනිමකි.
--------------------------------------
     

notes of imaginary