Friday, July 15, 2022

අවනඩුවක් .


විදුලිය කපනවා. ජවිතේ අවුල්. ගෙදර  දොරේ කඩපිලේ කතාව මේ කැපිල්ල ගැන. මහජන උපයෝගීතා කොමිසම කියලා එකක් තියෙනවා . ඒකේ ලොක්කා රූපවාහිනියට ඇවිල්ලා රස කර කර කැපිල්ල ගැන කියනවා .A to Z කලාප ටිකක් එක්ක.

මේක අවනඩුවක් .එහෙම හිතලා අපේ එකෙක් මානව හිමිකම් කඩකරලා කියලා අපේ ගමේ කොල්ලන්ගේ අධිකරණයේ නඩුවක් ගොනු කලා කියමුකෝ...

නඩුව විභාග කරන්න දිනයක් ස්ථානයක් නියම වුනා.

පැමිණිලි කාරයෝ විත්තිකාරයෝ තම තමන්ගේ හරක්  දිගේලි කරලා කමතේ අධිකරණයරැස්වුනා අපේ ගමේ නඩුකාරයා තමයි හරමානිස්. මිනිහා මාසෙකට දෙකකට වරක් උසාවි යනවමයි. එක්කෝ කා එක්ක හෝ දඹරයකට ගිහිල්ලා නැත්නම් ඔය කසිප්පු ටිකක් පෙරලා වගේ දේවල් වලට. හරමානිස් කියන්නේ “ඇස්පීරියන්ස්” ගන්න යනවා කියලා.

කමතේ නඩුකාරයා වුනාට පස්සේ පොරගේ නම මාරුවුනා. හරමානිස් දැන් “හර්මන්” හර්මන්ගේ වැඩ කිඩ දැක්කම මතක් වුනේ හුණුවටයේ අසඩක්. හර්මන් හොදට බීලා වෙරි මරගාතේ  කෝට් බෑය ගසා බසා දාලා වී හුලං කරන අට්ටාලෙට නැගලා.

පිරිසේ හිටපු බබානිස් තමයි මුඩ්ලියර්. මුඩ්ලියර් උනාට පස්සේ පොරගේ නම” බබ් ඹ් නිස්” වෙලා.මුඩ්ලියර් බබ් ඹ් නිස් කල් දාන නඩු මුලින්ම කැදවලා කල්දාලා අධිකරණයේ තදබදය අඩුකරගත්තා. පයෝරිටි ලිස්ට් එකෙන් අද විභාගෙට තියෙන නඩුවක් කැදෙව්වා. බොහෝම සැරට නඩු අංක 20220410 ........විත්තිය ඊ .ලෙක්ට්‍රි සිටි ..............පැමිණිල්ල  ජහමනගේ බඩිගිනිස්.

පිට කොන්ද බඩට ඇළුනු  ජහමනගේ  බඩගිනිස් පන්මල්ලකුත් කිහිල්ලේ ගන්න ගෙන පැමිණිල්ල පැත්තේ හිට ගන්නවා.

අධිකරණයට ගරු කටයුතු ලෙස නොහැසිරීම ගැන. මුඩ්ලියර්  බබ් -ඕ- නිස්ට මල පැනලා. මොකක්ද ? මේ මල්ල -තියෙනවා ඕක එලියෙන් තියලා  - එනවා. හ්ම් . මේක ඉරිදාපොල නෙමෙයි - මේක අධිකරනය. ගෙරවිලි වැලයි.

 ජහමනගේ  බඩගිනිස්  බයාදුව  දෙකට තුනට නැමිලා විධානය ඉටු කරලා හාන්දුරුවනේ කියලා මුමුන ගමන් විනිශ්චාශනයට බයාදු බැල්මක් හෙලනවා.

විත්තිය - ඊ .ලෙක්ට්‍රි සිටි ගරු ගාම්බීරව “ ස්වාමීනී  පෙනීසිටිනවා ස්වාමිනී”  . කියලා බැබලි බැබලි විත්තිය පැත්තෙන්  හිටගන්නවා .  විත්තිය දැකලා මුඩ්ලියර්  බබ් -ඕ- නිස් ගල් ගැහිලා . පැමිණිල්ල කියවන්නත් බැරිව ගොත ගහනවා.

ජහමනගේ  බඩගිනිස් ගල් ගැහිලා බලා ඉන්නවා. විත්තිකාර ඊ .ලෙක්ට්‍රි සිටි ගෙන්  නඩුකාර හර්මන් වෙනුවෙන් මුඩ්ලියර් අහනවා තමන් මේ චෝදනාවට වැරදි කරුද නිවරදි කරුද කියල?.

අනේ ස්වාමීණි මම මේ මොනවත් දන්නේ නෑ මගේ පුර්වගාමියා තමයි මේ  සැලසුම් කලේ - මම පත්තු කලා විතරයි ස්වාමිණි

කවුද පුර්ව ගාමියා ඔහු වහාම කැදවනු . අධිකරනයේ මහ කලබලයක් පොලිසියේ මහත්තුරු, පන්සලේ ඉදලා උස මහත්තෙක් ඇදගෙන එනවා මෙන්න මෙයා තමයි පුර්වගාමියා ස්වාමිණි.  තමුන් ද මේ අපරාධය කලේ පුර්වගාමියාගෙනුත්  ප්‍රශ්නේ අහනවා .

මම මුලින්ම කිව්වා මෙහෙම ගියෝත් මේ වැඩේ කරන්න වෙනවා කියලා. ඒත් ඇහුවේ නෑ. කාලා බිලා ජොලි කරනවා. ඉතිරි ටික සනුහරේට බෙදලා දෙනවා විතරයි. ඉතින් කොහොමද ජහමනගේ  බඩගිනිස්ට අපරාධයක් නොවන විදියට වැඩ කරන්නේ ?. ”

ඒත් මම මේ සංගදිය කරන්න කිසිසේත්ම අනුබල දුන්නෙත් නෑ කරන්න කිව්වෙත් නෑ. අන්න අරයාගෙන් තමයි අහන්න ඕන කියලා කමතේ ලියක මානලා තිබුන පින්තූරයක් පෙන්නුවා.

නඩුකාර හර්මන් ආපහු හැරිලා බැළුවා. හොදටම දාඩිය දාන්න පටන් ගත්තා . කුල්ලක් අරන් පවන් ගහන්න සුළු සේවකයෙකුට අණ කලා.

උසාවියේ අවධානය වෙනත් පැත්තකට යොමු කරලා මේ ගැන හොයලා බලන්න  ඉන්න හොදම කෙනා ‍හොයා ගෙන එන්න කියලා අණ කලා. තොරතුරු විමසා සාක්‍ෂියක් ගන්න.පින්තූරේ ඉන්න කෙනා ඔරවා ගෙන ඉන්නවා වගෙයි හර්මන්ට පේන්නේ.

පොලිසියේ මහත්තුරුන්ට මතක් වුනා වැල් ආරච්චි. හර්මන්ගේ නියෝගයට වැල් ආරච්චි කැදවා ගෙන ආවා. උන්නැහේට පැමිනිල්ල ගැන කරුනු පහදලා මෙහෙම වෙන්න හේතුව මොකක්ද කියලා ඇහුවා. නැතිවුනාම වැඩියෙන් අරන් දෙන්න ඕනි. එකත් කරන් අමාරු නිසා කපන්න පටන් ගත්තා. එතුමා උත්තර බැන්දා.

නඩුව යන හැටි හොදනෑ කියලා ජහමනගේ  බඩගිනිස්ට හිතෙනවා. ඒත්  ඉතින්  මෙනවා කරන්නද ?  දැන් ඔහේ අහගෙන ඉන්නවා. නඩුකාර හර්මන්ටත්  කැරකිල්ල වගෙයි .  වැඩිදුර විභාගෙ පැයකට කල්දාලා තව දෙකක් දාගෙන ආයෙත් නඩුව කැදෙව්වා.

විත්තිය වෙනුවෙන් කරුණු පැහැදිලි කරගන්න එක එක අය කැදෙව්වා. ආ අය තවත් එක්කෙනෙක් ගැන කියලා ඇග බේරා ගන්නවා.

ඔහොම යන කොට  නඩුකාර හර්මන්ට , ලක්‍ෂපාන පැත්තේ වැදගත් පහේ මහත්තෙක් මතක් වුනා . සාක්ෂියක් ගන්න එතුමාත් කැදෙව්වා. එතුමාගෙන් ඇහුවා කවුද මේ පත්තුවෙන මල ඉලව්ව හැදුවේ ?. කියලා.

. “තෝමස් අල්වා එඩිසන් කියලා මහත්තෙක් තමයි ඕක හැදුවේ”  කියලා ඒ මහත්තයා උත්තර බැන්දා.

අම්මෝ අදට ඇති කියලා   නඩුකාර හර්මන් ට හිතුනා   “ වහාම තෝමස් අල්වා එඩිසන්” ඊලග නඩුවාරෙට කැදවන්න අණ දීලා නඩුව කල්දැම්මා.

ජහමනගේ  බඩගිනිස් මල්ලත් අරගෙන නඩුකාර හර්මන්ගේ උසාවියෙන් යන්න ගියා “ඒකත් එහෙමයි එහෙනම්” කියලා.  හර්මන් තවත් දෙකක් දාගෙන හරක් ටිකත් දක්ක ගෙන ‍වැනී වැනී ගෙදර ගියා.

 


notes of imaginary

Wednesday, July 13, 2022

නරිත් හිතන්න පටන් අරන් .

notes of imaginary

 

අපි ඉන්නේ ගිණි ගොඩක් උඩ.

මේක කොයිතැනකට ගිහින් නතර වෙයිද හිතා ගන්න බැහැ.

අදහස් දැක්වීමත් භයානක වෙන්න පුළුවන්.

මට පරණ කතාවක් මතක් වෙනවා.

මේක ඊෂොප්  කිව්ව කතාවක් කියලයි කියන්නේ.

ඊෂොප් ග්‍රීසියේ ක්‍රි.පු අටවන සියවසේ පමන ජීවත්වු

උපමා කතා කරුවෙක් ලෙසත් සැලකෙනවා.

කතාව දිග හරින්නම්.එක දිගටම අපි දකින්නේ බිහිසුනු දේවල්.

සමථයකට පත්වෙන්නේ නැති අරගලයක් සමග අපි නිදාගන්නවා .

අවදි වෙනවා.

එක් දිනක නරියෙක්

ගංවතුරකට අසුව ගැඹුරු දිය පහරකට අසුවෙනවා.

නරියාගේ ඇගේ වසා ලේ උරා බී

තරවුන සිටි කිනිතුල්ලන් පොකුරක්

සිරුරේ ජලයේ ගිලී නොමැති  උගේ පිටමතට එක් වෙනවා

නරියා වෑයමෙන්  ජලයෙන් ගොඩ වෙනවා.

මෙතනට පැමිනෙන ඉත්තෑවෙක්

නරියා ගෙන් විමසනවා

 “ යාළුවේ. මම කිනිතුල්ලන් පොකුර ගලවාදමන්නද ?” කියා.

එපා යාළුවා.

මේ කිනිතුල්ලන් රෑන මගේ ඇගේ ලේ උරා බී තර වෙලා ඉන්නේ.

මුන් ටික ගැලෙව්වොත්

තවත් කිනිතුල්ලන් රෑනක් මගේ ඇගට ගොඩවී

ලේ උරා බොන්න පටන් ගනීවී.

දැන් ඉන්න කිනිතුල්ලන් ලේ බී තරවී සිටින නිසා

උන් ලේ බොන්නේ අඩු වේගයකින්.                          

අළුතින් එන අය එන්නේ හාමතේ

උන් තරවෙන තෙක් වැඩි වේගයකින් ලේ බොන්න පටන් ගනීවී.

ඒ නිසා ඔය කිනිතුල්ලෝ ටික ඔහොමම හිටියාවේ.

ඉත්තෑවා එකත් ඇත්ත තමයි යාළුවා

කියලා නරියාගෙන් සමුගන්න හැදුවත්,

නරියා කිවුවා “ පොඩ්ඩක් ඉන්න යාළුවේ .

මගේ අදහස වෙනස් කලා “

මේ කිනිතුල්ලෝ ටික අයින් කරන්න මම ආයෙත් දියට බහින්නම්.

අළුත් කිනිතුල්ලෝ ටිකක් ඒවී . මාත් නැතිවෙලා යයි.

නරියා හිතන්න පටන් ගත්තා.


Friday, July 08, 2022

කාලය ගලා යන හැටි.


 

කාලය බොහෝ අරුමයන් මවනවා .වෙනස් වීම් සිදුකරනවා. යහපතට වගේම අයහපතට.  අපේ දැනුම සහ අවබෝධයේ තරම   කාලයේ අරුමයෙන් ඇති කරන්නේ විශාල පරතෙරයක්.

ජීවිතයෙන්  දශක පහක් හයක්   ආපසු ගමන් කල විට  අවුරුදු  පහලොවක දහ අටක පමණ ගැටවරයෙක්. එකලත් අදත් සමාජ විශ්වාශයන් බරපතල ලෙස අභියෝගයටත් වෙනස් වීම් වලටත් පත්වෙලා.

එදා අපිත් අද පුංචි දරුවෙකුටත්  ඇති අවබෝධය සහ  තාර්කික බුද්ධිය  විශාල පරස්පරයක් තියෙනවා කියලයි මට දැන් හිතෙන්නේ. අපි එදා  හිතලා තියෙන්නේ ගතානුගතිකව .

 

එක් එක් පවුල් වල  ජීවන රටා වෙනස් . අපි ගම්බද පදිංචි කරුවන්.  එකල ගොවියාගේ පුතු දෙමවව්පියන් අනුව ගොවිපලට  යනවා.   මවුපිය සහයට ගොවිපලට යන්නේ පෙළඹවීමකින් තොරවයි. මගේ පියා සාමාන්‍ය වෙලෙන්දෙක්. මමත් ඔහු පවත්වාගෙන ගිය වෙළද සැලට උදව්වට යාම පුංචිකාලේ සිටම සිදුවු දෙයක්. වයසේ තරමට සුළු සුළු අත් උදව් දීමෙන් ඇරඹී මේ කටයුතු පසුකාලය වන විට පියා අනුගමනයකිරීම දක්වා පුහුණුවක් වුනා.අධ්‍යාපනයට යොමු කලත් ජීවිතය වැලද ගත්තේ පියාගේ වෘත්තීය පුහුනුව.යි.

 

මේ මුලපිරීම බරපතල සාකච්ජාවක් සදහා වගේ පෙනුනත් වියමන්  වෙන්නේ වෙනත් සරල සිදුවීමක්.     තැතිගත් මනස මට කල හදියක් කීමටත් ,  අපේ පැරන්නන් ස්වභාව ධර්මය උපයෝගී කරමින් කල නිෂ්පාදනයක් හදුන්වා දිමටයි. ඒ අතර තවත් අතුරු කතාවකුත්  තියෙනවා.

 

මේ කතා  අවසාන විට ඔබ හිතාවි දෑන් සීයා වන මමත් ,   මගේ පුංචි මුණුපුරාත්  අතර වෙනස.

 

කතාවට ප්‍රවේශවුනේ තාත්තාගේ වෙළද සැලේ අත් උදව්වට ගිය බව කියමින් . පැතුරුන විශාල වපසරියක  අපේ තාත්තාගේ ගණුදෙණු කරුවන් විශාල පිරිසක් වාසය කලා. ගම් දහයක් දොළහක සිංහල ජනතාවත්   අක්කර දහසකටත් අධික ප්‍රදේශයක් පුරා පැතුරන තේ වතුයායක දමිළ ජනතාවත් මේ පිරිසට  අයත් වුනා. වතුයායේ    සේවය කල වතු ජනතාව හට ආහාර පාන වගේම ඇදුම් පැළදුම් වැනි අවශ්‍යතා මාසික ණය පදනම මත මිලදී ගත්තේ පියාගේ වෙළද සැලෙන්. සෑම මසකම දහවෙනිදා හෝ ඊට ආසන්න දිනක කම්කරු වැටුප් ගෙවන විට මටත් මගේ වසසේ සිටි මගේ නැන්දාගේ පුතාගේත් රාජකාරිය වුනේ කුඩා පොතක සටහන් කරගත් ඒ ඒ ගණුදෙණු , ණය  ගනුදෙණු කරුවන්ගෙන්   එක් රැස්කරගෙන ඒම සදහා ඔවුන් විසු නිවෙස් වලට යාමයි.

 

දින දෙකක් ගතවු මේ ගමන අපි දෙදෙනාට විනෝදමත් චාරිකාවක්. සෑම වාරයකම පෙර දින පිටත් වන  අපි දෙදෙනා ආපසු නිවෙස් වලට ඒමට සිදුවන්නේ  පසුදා  රාත්‍රී  දෙගොඩ හරියේ රාත්‍රී දොලහට එකට.

 

1976 දක්වා අවුරුදු විස්සකට අධික කාලයක් කරන ලද මෙම කාරිය අවසන් වුනේ සිරිමා ශාස්ත්‍රී ගිවිසුමෙන් වතු කම්කරුවන් ශ්‍රී ලංකාවෙන් පිටත්වීමත් සමගයි. එම වකවානුවේ ඉන්දීය පුරවැසි කම ලැබ මෙම  දමිළ ජනතාවගෙන් අඩකටත් වඩා පිරිසක් ඉන්දීයාවට පිටත්ව ගියා. එදා පැවති අක්කර දහසක් පමණවු වතුයාය අද වන විට අක්කර සීයයකට පමණ සීමා වීම ඇරඹුනෙත් මේ හේතුව නිසයි.

 

අතුරු කතාවත් සටහන් කරන්නම් .

 

ඉතින් ….. එක් දවසක චරෙිකාව අවසන් කරලා අපි දෙන්නා ඒ කිව්වේ මස්සිනාලා දෙන්නා මහ රෑ ඝණ අන්දකාරය මැදින්  ගෙදර එනවා. දැන් වගේ නෙමෙයි. විදුලි පන්දමට අතිරේක බැටරි කෑලි ගෙන යන්න අපිට ලැබෙන්නෙත් නැහැ. පෙරදා ගෙන ගිය විදුලි පන්දම් දෙකේ  බැටරි කලා මැදිරි එළි වගෙයි. බැටරි බැහලා. අතුරු පාරවල් ( ෂෝර්ට් කට් ) හරහා අපි ගමන ඉක්මන් කරනවා. තේ වතු යාය අවසන් වෙන්නේ වෙල් යායක් මැදින් වැටී ඇති අතුරු මගකින්.

අපි දෙන්නට ඇහෙනවා අමුතු සද්දයක්  ටකස් –  ටොකස්  , ටකස් –  ටොකස්  , ටකස් –  ටොකස් ” . නොනැවතීම ඇහෙනවා.

අපිට මතක් වෙනවා අපි ගමන් කරන අතුරු මාර්ගය පිළිබදව. ගම්මුන් බලි තොවිල් කර මල් තට්ටු ගෙනවිත් දමන තැන, යකුන් ප්‍රේතයන් අල්ලා ගෙන විත් ඇණ ගසන සුවිසල් ඇටඹ ගස. අපි නිශ්සබ්දයි. ගල් ගැහිලා. තීරණයක් නැතිව හිටිවන ඉන්නවා . ටකස් –  ටොකස්  , ටකස් –  ටොකස්  , ටකස් –  ටොකස් ” . නොනැවතීම ඇහෙනවා.

 

 අයියේ මස්සිනා මට කියනවා. මොකද කරන්නේ ?  අපි ආපහු යමු මම කියනවා . සැතපුම් භාගයක් විතර ආපසු  ගොස් අපි ආපසු හැරී ප්‍රධාන මාර්ගය තෝරා ගෙන  ඒ  ඔස්සේ යලිත් එනවා. ගමන සැතපුම් එකයි භාගයක් විතර දික්වෙනවා. මේ එන අතර වතු කම්කරුවන්ගේ සොහොන් කොත් කිහිපයක් පහුකරන්න ඕන. මේ සොහොන් කොත් අතර එක් සොහොනක් ගම් වැසියන් අතර සුප්‍රසිද්ධ සෙහොනක් තියෙනවා. හදුන්වන්නේ කනක්කයාගේ සොහොන කියලා.මේ කනක්කයාගේ සොහොන පහු කරන අපි දෙන්නාට ඉස්සරහට යන්න දෙන්නේ නෑ. පසු පසට තල්ලු කරනවා විශාල මාර ගස් විලාප දෙනවා. අපිට බුදු හාමුදුරුවෝ සිහිවෙනවා. ඉතිපිසෝ ගාථාව අපි මහ හයියෙන් ගායනා කරනවා.

වෑයමෙන් ඉස්සරහට තල්ලු වන අපි ඒ බාධකයත් ජය ගෙන යාන්තම් ගෙදරට එනවා.

 

පහුවදා දෙන්නටම සහලෝල උණ.තොවිලයක් නොකර බේරුනත් තෙල් සාත්තුවකින් යාන්තම් බේරුනා.මතක් වෙන කොටත් දැන්නම් හිනා යනවා.

සතියකට විතර පස්සේ අපි දෙන්නට ලැබුන විවේකයකින් මේ  “ටකස් ටොකස් ජංජාලේ සුලමුල හොයන්න ගියා කියමුකෝ . මහ දවලුත්  ටකස් –  ටොකස්  , ටකස් –  ටොකස්  , ටකස් –  ටොකස් ” . නොනැවතීම ඇහෙනවා. ඇහෙන්නේ වෙල් යායෙන්. හඩ ඔස්සේ ගිහින් බලපුවම දිය පාරකට සවි කර තිබු දිය උගුලතමන් ගේ රාජකාරිය ඉටු කරනවා. 

 

අපි පිටුපසට තල්ලු කල බල වේගය සොයාගන්න නම් සෑහෙන්න කාලයක් ගතවුනා. ජුනි සැප්තැම්බර් කාල පරාසය මේ ප්‍රදේශයට තද හුලං හමන කාලයක්.මේ කියන බිම් කොටස හරහා හමන තද සුළග වාහන වලට පවා ප්‍රතිරෝධ දක්වනවා. කනක්කයගේ සෙහොන’  පිහිටුවා තියෙන බෑවුම් සහිත මහා මාර්ගයේ ග මේ කාලවලට හමා යන හුළග හරි වේගවත්   . කනක්කයගේ සෙහොනඅදත් තියෙනවා. තද හුලං තියෙන දවස් වලට අදත් මේ හරියෙන් යන්න අපහසුයි. අපි දෙන්නට එදා  කනක්කයගේ සෙහොනේඅභිරහස නිරාකරනය කරගන්න බැරිවුනා. ඒ .රමට විචාරත්මක බවක් අපිට තිබිලා නැහැ.

 

අපේ පුංචි එකා මුනුපුරාට පොඩි අසනීපයක් හැදෙනවා. මම යෝජනා කරනවා පැටියෝ අහවල් සීයට කියලා වතුර ටිකක් මතුර ගෙන එන්නද කියලා. සීයේ එයාට පියාඹන්න පුළුන් වෙන්න මතුරන්න පුළුවන් ද ?. ” පුංචි එකා මගෙන් අහනවා.

 

එහෙමයි. කාලය වෙනස් වෙලා තියෙන්නේ. දැන් දරුවෝ අපේ කාලේ දරුවන්ට වඩා විමසිලිමත්.

 







notes of imaginary

Wednesday, July 06, 2022

සුන්දර විරෝධයක්.


 භාෂාව සුන්දර ලෙසත් ආන්දෝලාත්මක ලෙසත් හසුරුවන ලද අවමංගල නිවේදන දෙකක් පිළීබදව මට යම්තම් මතකයක් රැදී තිබිණි.

 එක් නිවේදනයක් වුයේ ජවිපෙය 1971 අප්රේල් 05 දා තම පලමු වෙඩිමුරය පත්තුකිරීම සදහා කාඩරයන් වෙත කරන ලද නිවේදනයයි.ජේ.වී.පී අප්පුහාමි මියගිය බවත් අවමගුල් උත්සවය පවත්වන වෙලාව ස්ථානය 

සදහන් කරමින් තම පලමු වෙඩි මුරය පත්තු කිරීමේ නිවේදනය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් මරණ දැන්වීම් ඔස්සේ ප්‍රචාරය කර ගැනීමට සමත්ව තිබිනි.

 අනෙක 1974 අප්රේල් 23 දින Ceylon daily news පුවත් පතේ ශ්‍රී ලංකාවේ පුජාතන්ත්‍රවාදය මියගිය බවත් අවමගුල 20 වෙනි සෙනසුරාදා පවත්වන බව පලකර තිබු අවමංගල දැන්වීමය. මේ වකවානුව සමගි පෙරමුන රජය දවස පත්‍ර ආයතනය සීල් තබා විපක්‍ෂයේ දේශපාලන රැස්වීම් පැවත්වීම වැලක්වීම අරමුනින් හදිසි නීතිය මෙන්ම අදුරු නීතිය පවා යොදාගත් අවධියක් විය.

 1974 අප්රේල් 23 දින Ceylon daily news පුවත් පතේ අවමංගල්‍ය දැන්වීම් තීරුවේ පලවූ  නිවේදනය මා පසුකලක පැරණි පුවත් පත් ගොන්නක් අතරින් වෙන් කරගෙන තිබු අතර පසුබිම් කතාව ලක්බිම ඉරිදා පුවත්පතට සපයා තිබු ලිපියකින් නැවත කියවන්නට ලැබිනි.

 අවමංගල්‍ය දැන්වීම මෙසේය.

 O’CRACY – the death Occurred under the tragic Circumstance of D.E.M.O.CRACY, beloved husband of T. truth. Loving father of L. I. Bertie, Brother of Faith, Hope and Justitia interred on Saturday 20th ,inst-Araliya Medura, Panagiyawaththa, Andurwala. 

‘ඕ.ක්‍රසි සත්‍යයේ ආදරණීය ස්වාමිපුරුෂයා වූදනිදහසේ දයාබර පියානන්වූද විශ්වාසය ,අපේක්‍ෂාව, හා යුක්තියේ සොහොයොයුරාවූද, පුජාතන්ත්‍රවාදය කනගාටුදායක තත්වයක් යටතේ අභාවප්‍රාප්තවිය. භූමදානය 20 වෙනි සෙනසුරාදා සිදුකෙරේ. අරලිය මැදුර   පනලියවත්ත, අදුරුවෙල.

 මෙම අවමංගල්‍ය දැන්වීම් නිසා එකල මහත් ආන්දෝලනයක් ඇති කල අතර ආණ්ඩු පක්‍ෂයට පාර්ලිමේන්තුවේ ප්‍රශ්න වැලකට උත්තර සපයන්න සිදුවිය. දැන්වීම නිසා ලේක් හවුස් ආයතනයේ දැන්වීම් අංශයේ සේවකයෝ හය දෙනෙකුගේ සේවයද අත්හිටවන ලදී.රහස් පොලිසියට ලේක්හවුසියේ සිට රට පුරා දැන්වීමේ සුලමුල සෙවීමට සිදුවිය.

 එහෙත් මෙම දැන්වීමේ සුලමුල රට දැන ගනු ලැබුවේ 1977 එජාපය බලයට පත්වූ පසුවය.වෛ

ද්‍යවරයෙකුවු රයිලි ප්‍රනාන්දු මහතා දෙහිවල පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය වෛද්‍යවරයෙකි.ඇදිරි නීතිය නිසා රෝගීන් නොමැතිව පාළුවේ ඉන්නා විට හිතේ පිළිසිද ගත් අදහස ක්‍රියාවට පත් කලේය.

එහෙත්  ඔහුට සමගි පෙරමුණට  පාලන බලය අහිමි වන තුරු කොයි වෙලාවේ පොලිසිය ඔහු සොයාගෙන ඒදෝයි සැකයෙන් සහ බියෙන් සිටින්නට සිදුවී ඇත.






notes of imaginary

Monday, July 04, 2022

හිගා කෑම - ඉන්ධන.




 යකඩ මල්ලට හෙන ගසා ඇත. දැන් පුළුන් හොයා පලක් නැත.ආහාර , ඖෂධ නැත. මිනිසුන් කෙසේ හෝ ජීවත් වෙති. අපේ බඩ පලා කෑවේ මොනවාදැයි බලන්නේ නැත. එහෙත් බොහෝ දෙනාගේ බඩ පලා බැළුවොතින් කම්පා වෙන්න හේතු කාරනා දකින්න හැකිය.

ඉන්ධන මේ හැමට වඩා වැදගත් බව රට පුරා දකින උනන්දුව අනුව සිතා ගත හැක. ආණ්ඩුව ( ඇත්දැයි නොදනිමි) ඉන්ධන සෙවීමට ප්‍රමුඛතාවයක් දක්වන බවක් පෙනෙයි. මොළ හතානෝ මැදිහත්ව ඉන්දියාවෙන් තෙල් ගෙනාවේය. Indian credit line ‘කියා උජාරුවට මෙයට කියවිනි . දැන් ඒකත් වාෂ්ප වී ඉවරය.

අළුත්ම කතාව කෙලින්ම තෙල් සමාගම්  තෙල් ගෙනත් මෙරට ඉන්ධන පාරිභොගිකයන්ට බෙදා හැරීමය. එතකොට ඉන්ධන හිගය හමාරවී සෞභාග්‍යය උදාවන්නේය. මේ සමාගම් මෙරට පාරිභොගිකයන්ට තෙල් අළවි කරන්නේ රුපියල් වලින්ය. ලංකාවේ රුපියල් වලින් තෙල් ගෙනවිත් සමාගම් වින් තම මව් ආයතන පිහිවි විදේශයන්ට ගෙන යන්නේ ඩොලර් වලින්ය. නැත්නම් ඉන්දියානු රුපියල් වලින්ය. එහෙම ගෙනියන්න රුපියල් ඩොලර් කර ගැනීමට අපට විදේශිය විනිමය  තිබේද ?. නැත්නම් අපිට ඉන්ධන ගන්න වෙන්නේ ඩොලර් වලින්ද ? නැත්නම් ඉන්දියාණු රුපියල් වලින්ද ?.නැත්නම් සදාකාලිකවම අපට ඉන්ධන ගෙනවිත් දීමට සුභසාධක වැඩපිලිවෙලක් වත් අරඹයි ද ? මේවා “ මීදුමට “ ඇතිවි තිබෙන ප්‍රශ්ණයන්ය.

.Indian credit line මේ ණයට  ගෙනා ඉන්ධන ටික එවර වෙනතුරු ඊලට මොකක් කරන්නද ? කියා සැලසුමක් ඇති කරගත්තේ නැති නිසා දැන් ඉන්ධන  බින්දුවක් වත් නැත. ප්‍රවාහණය ටිකින් ටික නතර වෙන්න පටන් අරගෙන දැන් සම්පූර්ණයෙන් නතර වෙන්න ඔන්න මෙන්න වී ඇත. සියළුම පාසල් , කාර්යාල නිල වශයෙන් වසා දමනු ලැබීය. විනිමය පොඩ්ඩක් හෝ උපදන තේ රබර් වැනි කර්මාන්තද ඇන හිට ඇත  

මෙතරම් අර්බූද රැසක් ඇති රටේ පාර්ලිමේන්තුව ( ජුලි 04 ) අද රැස්වී කල කතා බහ විමසා බලන්න. පෞද්ගලික ප්‍රහාර වලින් එහාට මෙහාට කටින් ගහ ගනිමින් හූ කියමින් බාධා කරමින් කාලය ගත කිරීමය.ලස්සනට තිබූ ලිබියාව පාර්ලිමේන්තුව ගිනි තැබීමට තරම් පිරිහිමට ගත වුයේ සුළු කාලයකි. අපේ රටේද පාර්ලිමේන්තුවක් 225 සමග නඩත්තු කිරීමෙන් පලක් නැත්නම් එය තිබිය යුතු නැත. 








notes of imaginary

Friday, July 01, 2022

හාමතේ අනතුරේ.



මවක් දරුවන්  දෙදෙනාත් සමග චන්ද්‍රිකා වැවට පනී. දියණිය මිය ගිහින්.

වාහනේ පෙරලිලා සිසුන් රෝහලේ

කෑම සොයා ගිය පියා සිහිසුන්ව වැටිලා

මේ ප්‍රවෘත්ති තුනම අද සමාජයේ බිදවැටීම කියා පාන ඛේදවාචක.

ආහාර මිළ ගනන් හතර පස් ගුණයකින් ඉහල ගිහින්. දෛනික ආදායම රුපියල් දාහක් වත් නැති, එලෙසවත්  දෛනිකව ආදයමක් නොලබන  දරු පවුලක් කෙලෙසද කන්න බොන්නේ. හාල් කිලෝවක් රුපියල් දෙසිය පනහක් හෝ ඊට ආසන්නව. පොල් ගෙඩියක්,එලවළු ටිකක් මිළදී ගත්තම රුපියල් දාහ වාෂ්ප වෙලා යනවා.

මිනිස්සු IMF යන්නද ? ලෝක බැංකුවට යන්න ද? රජයේ මහා පරිමාන ආර්ථික ව්‍යාපෘති වලට පෙර මෙවැනි ව්‍යාසන පිලිබදව අවධානය යොමු විය යුතුයි.

අසල්වාසීන්ට උනත් උදව් කරන්න හැකියාවක දැන් නැහැ. ඔවුනුත් මේ බෝට්ටුවේ.ඒ වුනත් සංවිධාත්මක වැඩ පිලිවෙලක් ඇති කරගත්තෝත් එයත් අපහසු නැහැ.

මවකට දරුවන්ට කන්න බොන්න දෙන්න විදියක් නැතිව සිය දිවි නසා ගන්න හිතෙනවා නම් එය අසාධාරන තීන්දුවක්ද ?.

පියෙක් හාමතේ ඇද වැටෙනවා නම් එය රගපෑමක්ද ?.

 මෙවැනි ශෝකාන්ත වලක්වා ගැණීමට රජය වහා වැඩ පිලිවෙලක් ඇති කරගත යුතුයි. මෙවැනි පවුල් ගැන සොයා බලා උදව් උපකාර කිරීමට ග්‍රාම සේවක කොට්ඨාශයක සිටින නිකම් පඩි ලබන රජයේ නිළදාරින් ටික යොදා ගන්න පුළුවන් වෙයි. එවැනි අයට ක්‍ෂණිකව ආධාර සැපයීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වැඩ පිලිවෙලක් සකස් කර ගත හැකියි.

ආගමික පූජ්‍ය පක්‍ෂයටද මේ අවස්ථාවේ තමන්ගේ අනුගාමිකයින් ගැන සොයා බලන්න සහය වන්න පුළුවන්. අපේ රටේ බහුතරය  බෞද්ධාගමිකයෝ. මේ සිදුවීම් දෙකටම පාදක වුන ප්‍රදේශ බෞද්ධ පරිසරයක්. පන්සල ලගට පීඩීතයන් , අසහනයට පත් දායකයින් එනවාට වඩා ඔවුන් ලගට පන්සල යනවා නම් කොයිතරම් අගේද ?.

තාමත් අපේ පන්සල් එතරම් දියුණු අධ්‍යාත්මයක් ඇති කරගෙන නැහැ. දේශපාලන වන්දනාවේ යන යතිවරුන් බහුලයි.දායක වන්දනාවේ යන්නෝ නැති තරම්.

පාලම් බෝක්කු හදලා දැන් වැඩක් නැහැ. මිනිසුන් ජීවත් කරවන්න වැඩ පිලිවෙලක් දැන් ඕන





notes of imaginary

Wednesday, June 29, 2022

මුක්කු හොයන රාජ්‍ය සේවය .




රටේ පාලනයක් නැතිවා වගෙයි. ඔහේ පාවෙනවා. නුල කැඩුන සරුංගලයක්  ගානට.
අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛ හරි අප්‍රබංශයි. වංකගිරියේ ගියා වගේ ඒවා ඒවයේ තියෙන්නේ. මේ ඊයේ පෙරේදා ඉන්ධන නැති නිසා දරුවන්ට නිවාඩු දෙන්න කියල නිකුත් කල චක්‍රලේඛය මහා හෑල්ලක් කියලා පාසල් වහන්නත් එපාළු. පාසල් අරින්නත් එපාළු කියලා වගෙයි මට තේරුනේ.

ඛනිජ තෙල් ඇමතිත් ඒ වගේ  ඒවා මයි ප්‍රකාශ කරන්නේ. දැන් තෙල් නැහැ. ටෝකන් දෙනවා.
එකම කතාවයි තියෙන්නේ ඒක කියලා දාන්න ජනාධිපතියි ,අගමැතියි කම්මැලි පාටයි. “ රටේ විනිමය ආදායම නැහැ .ඒ නිසා ඩොලර් නැහැ.” කියලා කියන්න බයයි. නොකියා කියනවා නැව් එනවා, හරවලා යනවා. තව පරක්කුයි ඔන්න ඔය වගේ කතා.ජනතාව නොමග යවනවා.

විපක්‍ෂය ඊට දෙවෙනි නැහැ. මට දුන්නොත් මාස තුනෙන් ගොඩ දානවා කියලා එක් කෙනෙක් කියන කොට අනෙක් එක්කෙනා අවුරුදු පහකින් සුඛිත මුදිත කරනවා කියලා කියනවා. අන්දරේ හීනටි හාලේ බතුයි කුකුල් මසුයි කාලා ගල උස්සලා කරෙන් තියන්න මම ගෙනිහින් දාන්නම් කියලා කිව්වා වගෙයි.

මේ වෙලාවේ කවුරුත් එකතු වෙලා තම තමන්ගේ හැකියාවන් වලින් රට ගොඩ දාන්න එපාය. ඒත් එහෙම නැහැ. පාර්ලිමේන්තුවෙන් එලියට බැහැලා ජනතාව අවුස්සලා ගෙදර යනවා.
ජනතාවත් නිවී සැනසිල්ලේ හිතන්නේ නැතිව විවිධ දුක්‍ඛ දෝමනස්සයන්ගෙන් ආතතියට පත්වෙනවා.

225+1 කරන්නේ ව්‍යාපාරයක්. ලාබයි ලාබයි කිය කෑ මොර දෙමින් තමන්ගේ ව්‍යාපාරය සරු කරගෙන තමුන්ට ලාබ ගන්න හදනවා මිසක් පාරිභෝගිකයාට ලාබයක් කරන්න අරමුනක් එයාලට නැහැ.

මේ වනවිට දේශපාලනයට එහායින් රාජ්‍ය සේවය ඉහල නිලධාරි වැජඹෙනවා කියලයි මීදුම හිතන්නේ. දේශපාලනයේ හැල හැප්පීම් නිසා මේ ගොල්ල තීන්දු තීරන ගන්නේ නැහැ.මේ නිසා රටම අස්ථාවර වෙලා කියලයි මීදුම දකින්නේ.
අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් හොදම උදාහරනය. පාසල් වහන්න කියලා ගහපු චක්‍රලේඛය අප්‍රබංශයක් වෙලා තියෙන්නේ මේ අස්ථාවරයේ පිලිබිඹුවක්. 
මෙයාල ඔක්කොම වැඩ කරන්න ඕනි ජනතාවට. ඒත් වෙන වෙන න්‍යය පත්‍රවල ඉන්න මේ අය වැඩ කරන්නේ දේශපාළුවන්ට.

අවිනිශ්චිතතාවය නිසා ගෝඨා යයිද ?අනුර එයිද ? ස ජිත් එයිද?  රනිල් දිගටම ඉදිද ? ඔය වගේ ප්‍රශ්නවල ඉදන් තම තනතුරු වලට මුක්කු හොයනවා මිසක් මේ දවස් වල වෙන වැඩක් නැහැ.    




notes of imaginary