කවි
මඩුවේ නම් දෙකක් කියවෙනවා.
අමරෙයි – කහවත්තේ නංගියි .
මේ දෙන්නා වාදෙක
පැටලිලා
අපි කවි ටික අහලම ඉමුකෝ.
https://www.youtube.com/watch?v=kvAiHMg5UJo
අමරේ:
දිගු කාලෙකට පසුවයි අද දැක ගත්තේ
මට නම් මැරෙන්ටත් පුළුවනි ඔබ මත්තේ
හොඳ උපමාවක්ය නංගිට දිය යුත්තේ
රතු කැටයක් වගෙයි හරියට කහවත්තේ
කහවත්තේ නංගී:
උපමා කියයි දම දම බොරු හිනාව
මට තේරුණා අමරෙගෙ උවමනාව
වයසට ගියත් ඉස්තිරි වර්ණනාව
හොඳ නෑ වගෙයි තමුසෙගෙ කල්පනාව
අමරේ:
අඩ සඳ නලල නා දළු තොල් හරිම යසයි
කටහඬ ඇසෙන විට මී පැණි පරිදි රසයි
දිස් වුනෙ ළමැද මෙතැනදි රණ තිසරු ලෙසයි
මම කවියෙකු වුනෙත් ඇය වැනි ගැහැණු නිසයි
කහවත්තෙ නංගී:
රණ හංසයින් පෙන්නා ළැම මත පීනූ
අමරේ කවි ලියයි උපමා අඩු නූනූ
වරලස සිකි පිළලු හඳ වාගෙලු මූණූ
කොයි ලෝකයෙද ඉන්නේ ඔය වගෙ ගෑණූ
අමරේ:
කන් පෙති සිනිඳු අරලිය මල් පෙතිය ඇගේ
පස්සා පැත්ත හරියට පුන් කළස වගේ
සුව දෙන මෙට්ටෙකට දෙවෙනිද සිරුර ඇගේ
දුටුවා එවැනි එකියක මගෙ තරුණ යුගේ
කහවත්තෙ නංගී:
කැත එකියකට බොරු උපමා හරි ගස්සා
ඔල්මාදයෙන් දොඩවයි මේ කවි පිස්සා
පුන් කළසකට සමවේ නම් පිටි පස්සා
පාරේ ගියේ කොහොමද ඇය අඩි උස්සා
අමරේ:
කුඹුකේ ළිඳෙන් දිය නා ගෙන අසල වෙලේ
තාලෙට කළය රඳවාගෙන උකුලු තලේ
සුවඳට ඇගේ මල් පිපුණා අසල කැලේ
අප වැනියන්ට පමණකි එය දකින මොලේ
කහවත්තෙ නංගී:අමරේ ගැහැණු ගැන මෙහි බොරු සිහින දකී
කවි යයි කියා පවසන්නෙම බොළඳ වැකී
සතියක් යන්න පෙර මංගල නැකත මැකී
වෙන මිනිහෙකුට බහ දුන්නලු ගෙදර එකී
අමරේ:
කවි පද වලට කොතැනකවත් නෑ මෙල්ල
ඔබ හින්දයි ගියේ වෙනතක ඒ කෙල්ල
මට පෙම් පිපාසය – හරියට පෑවිල්ල
නංගියෙ, චූට්ටක් දෙනවද නා දල්ල?
කහවත්තෙ නංගී:
අප වැනි ගැහැණු දුටු දුටු තැන කෙළ ගිල්ල
වැටහෙයි නාකි අමරෙගෙ බොරු දැඟලිල්ල
දැන්නම් මගෙත් නැතිවෙනවා ඉවසිල්ල
නා දළු නොවෙයි අරගන්නෙමි දොර පොල්ල
අමරේ:
කවියට කොතැන මුත් ඇත්තේ බාදකය
බැලුවම ගැහැණු වන මල් මෙන් ළාමකය
දැමුවට පසු ඇයට උපමා රූපකය
ඔලුවට එන හැඩයි දොර පොලු මාරකය
කහවත්තෙ නංගී:
උපමා උපමේය දම දම පුරාණේ
එන්නෙම ළඟට මුල’සුනටත් හොරානේ
ඉන්නෙත් තවම අකලට දිරවලානේ
මට මොනවටද මේ වයසක පරානේ
අමරේ:
සුන්දර ගැහැණු ගැන ඔබ දන්නවද මොකක්
නෙත යොමු කරනු පරිසරයට අවට ටිකක්
සිහිනිඟ මිටින් අරගත හැක නැතුව සැකක්
කහවත්තෙදිත් දැකගත්තෙමි එහෙම එකක්
කහවත්තෙ නංගී:
හිර කොට කලිසමක් ඇඳගෙන පටි දාලා
සක්කරවට්ටමක් යනකොට නළවාලා
ඉඟ සුඟ මිටින් ගත හැකියයි රැවටීලා
අමරේ ඉන්ඩ ඇති නහුතෙට බඩුනාලා
මුලාසනය:
හැඩවැඩ අගය කොට වනිතා පරපුරට
කවියෙකු මෙසේ ආවා දුටුවද පෙරට
ළතැවෙනු කුමට උපමා කිය කිය බරට
කොයි ගෑණිත් එකයි අමරේ කළුවරට !