Tuesday, September 02, 2014

ප්‍රේමය.


යොවුන් ආදරය  වැඩිහිටි දෑසින් දකින්නේ විවිධාකාර කෝන තුලින් බොහෝ වැඩිහිටියන් තමන් ජීවිතයේ පසුකර ආ තරුන ගැටවර වියේ දුර තමන් ලද අත්දැකීම් දූ දරුවන්ගේ ආදර සම්බන්‍ධතා දකින විට  ඒවාට ආදේශ කරගන්නේ විරෝධාත්මක හැගීම් මතු කරමින්.  එක් වරම තම දූ දරුවන් කෙරෙහි  තද බල විරෝධතාවයන් වාරනයන් වලට එළබීම බොහෝ දෙනා තුලින් මීදුම දකිනවා. තම අත්දෑකීම් ඇසුරු කරගෙන වාරණයන්ට වි‍රෝ ධතාවයන් දක්වනවාට වඩා දූ දරුවන් සමග සාකච්ඡා කරන තැනකට යනවා නම් අපූරු බවයි මීදුම හිතන්නේ.
අප තරුන විය පසුකල හැත්තෑව දශකයට වඩා  ගෙවී ගිය දශක හතරක අතීත කාලය  - වර්තමානය වන විට කාලය විසින් අපේ ජීවන වට පිටාව වෙනස් කරලා.  ලිහිල් වෙලා. ඉතින් අපිට ඒ අතීතයේ ජීවත් වෙන්න බැහැ. අපි එදා බැද දමා තිබු තහංචි අද විහිළුවක් කෝළමක් ලෙස දකින දූදරුවන් සමගයි අද අපි ජීවත් වෙන්නේ. වැඩිහිටියන් අතර දියණියකට තියෙන වැට කඩොළු ඒ වැඩිහිටියන් අතර පුතනුවකට ඇත්තේ නැහැ. මේ වෙනස දෙමව්පියන්ගේ ආත්මාර්ථකාමී හැගීමක් වගෙයි කියලයි මීදුම දකින්නේ.
අද තරුන වියේ  දරුවන්ගෙන් වැඩි පිරිසක්  ආදරය ප්‍රේමය විවාහයම ඉලක්ක කරගත්ත ඉමක් සදහා තෝරා ගත් මාවතක ගමන් කරනවා කියලා නිශ්චිත කරන්න අපහසුයි. විවාහ වන විට ඔවුන් ප්‍රථම ප්‍රේමයන්  ගණනාවක් පසුකර විවාහය ප්‍රථම ප්‍රේමය බවට පත් කරගන්නවා යයි මීදුම හිතනවා. අහිමිවු ප්‍රේමය ගැන සිත සිතා හඩා වැලපෙනවාට වඩා තමන්ට ප්‍රේමකරන ආදරය කරන කෙනෙක් සොයා යාම වැදගත් බව බොහෝ දෙනා තේරුම් අරන් ඇති බවයි මීදුම සිතන්නේ. මේ දියුණු මානසික තත්වයක්ද විය හැකියි. මීදුම අනුමානය කරනවා.
මීදුම තම අත්දැකීම් වර්තමානය වන විට විග්‍රහ කරන්නේ අහිමිවු ආදරයට හඩා වැලපීම  නිශ්පල ප්‍රයත්නයක් ලෙසටයි. ඒ අත්දැකීම් මත සිට ගෙන අතීත කතා දකින්නේ   
වියෝ වූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අබිමන්
හැඞූ දා කඳුළයි දකින්නේ 
සිනාවේ සරදම්....
ඉවුරු දෑලේ හිඳ බැලූ විට 
ගඟ හැඩයි කදිමයි
දියට වන් විට එවන් ගඟුලම 
බිහිසුණුයි චන්ඩයි....
හඳක් නැතිදා අහස් තලයට 
තරුව දෙයි සැනසුම්
පුන් පොහෝදා එවන් තරුවම
ලබන්නේ ගැරහුම්....
මේ ගී පද වැල අයිති
ගී පද - බන්දුල නානායක්කාරවසම්
ගී තනු - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ

මේ තුන්දෙනා  ආදරය ප්‍රේමය දිහා බලපු ආකාරයටයි. පනින්න පෙර සිතා බලන්න කියනවානේ. ප්‍රෙමයත් ඒ වගෙයි  පටන් ගන්න පෙරත් ඒ වගේ හිතා බලන්න ඕනි.  තම තමන්ගේ වැඩිහිටියන් අනුමත කරයිද ? යන ප්‍රශ්නයට කලින්ම විසදුම් සොයා ගත්තොත්  වැඩිහිටියන් හා කතා බහ කර ඇතිවිය හැකි බාධක  ප්‍රශ්න  සමනය කරගතහොත්  ආදරයෙන් වියෝවීමක් ඇතිවිය හැකිවෙන්නේ නෑ.


notes of imaginary

Friday, August 29, 2014

ජීවිතය

ඉද හිට හෝ ජීවිතය   බ්ලොග් පිටුවේ දියකරන්න සිද්ධවෙනවනම් හොදයි කියලා හිතුනත් ටයිප් කරපු පිටුව ආපහු කියවලා බැළුවම මේ වල් පල් කියවන්නෙකුට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියලා නැවත හිතන කොට සිද්ධ වෙන්නේ වමාරපු මතක - මතක පිටුවේම  Delete කරලා දාන එක.
හිස් පිටුවක් කොහොම පලකරන්නද ?. ඉතින් කවරදාවකවත් කියවන්නත් පලකරන්නත් නොලැබෙන මේ කතාව අද නැවත කියවන්නේ නැතිව පලකරනවා  කියලා හිත හදාගත්තා
සංස්කරණය නොවු මේ ලියවිල්ල පිස්සු මරගාතයක් වේවි.
ලයනල් මහත්තයා...... ඒ පිය බිරිද මා අමතන හැටියි. මට මේක ටිකක් අමුතු උනත් කාලයක් යන විට මේ ඇමතීමට මම පුරුදු වුනා. ඇමතීම රාජකාරී ස්වරූපයක් ,රිද්මයක් තිබුනත් ඒ හඩට මම ආදරේ කරන්න පටන් ගත්තේ මීට අවුරුදු තිස් අටකටත් ඉස්සර ඉදන්.
ඈ ගුරුවරියක්ව අවුරුදු තිහක් වගේ කාලයක් එකම ස්කෝලේ  ඉගැන්වුවා. ලමයි ආවා ගියා. ඒ ලමයින්ගේ දූ දරුවොත් පාසලට ආවා ගියා. ඒ දරුවන්ගේ දූ දරුවෝ එක දෙක වසර පන්තිවලට එනකනුත් ස්කොලේ හාමිනේ පරම්පරා තුනකට සමාජ අධ්‍යයනය සහ ඉතිහාසය පරිසරය කියන විෂයයන් උගන්වමින් ඉදලා විශ්‍රාම යන්න පස් වසරක් තියෙද්දී අධ්‍යාපන පරිපාලනයට එකතු වුනා.
තිස් වසරක් තිස්සේ වෙනස් නොවුනේ ස්කෝලේ හාමිනේ  විතරයි. අවුරුද්දෙන් අවුරුද්ද ලමයි ගුරුවරු .විදුහල්පතිවරු , පාසල් ගොඩනැගිලි , පාසලේ  පරිසරය පාසල් වත්තේ ගහ කොල වෙනස් වුනා.  දෙමව්පියෝ දරුවෝ කලින් කලට හිටි විදුහල්පතිවරු , ගුරුවරු ඈ හට කොයිතරම් කැමතිද අකමැතිද කියන එක කිසිම විරෝධයක් නැතිව දශක තුනක් එකම පාසලේ සිටිය නිසා මැන ගන්න පුළුවන්.
ඈ පන්ති කාමරේට ගියේ “ ආයුබෝවන්   කියලා ලමයින්ට අත් දෙක එකතු කරලා ආශිර්වාද කරගෙන . “ගන්න බලන්න පොත් ටික“  පලමු විධාණය. දෙවනි ප්‍රශ්ණය “අපි ඊයේ නතර කලේ...................... ?.“  පංතියට ප්‍රශ්නයක්. ඒ ටික අවුරුදු තිහක් තිස්සේ හැමදාමත් මේ වාක්‍ය පේලි දෙක පන්ති කාමරේට අහන්න  සිද්ධවුනා. දශක තුනක් තිස්සේ  ඈ ඇසුරු කල සිසු දරුවෝ අදත් වැඩිහිටියන්ව  හමුවු  විටක් සිහිපත් කරන්නේ  “ඊයේ අපි නතර කලේ........... “ ටීචර් කියාගෙන.
අවුරුද්දටම ගනන නිවාඩු ගාන වසර තිහක් තිස්සේ දහයට පහතයි.මම මෙවට උදව් උනාද නැද්ද කියන එකත් තීරණය කරන්න ඔබටම බාරයි. මම උදව් උනා නම් හිටපු එකම දරුවා බලා ගෙන තමයි.
එක දවසක කට  කාර සිසුවෙක් - අපි ඊයේ නතර කලේ...................... ? කියන ප්‍රශ්නයට දීලා තිබුන උත්තරේ “ බණ්ඩාරනායක මහත්තයට වෙඩි තියලා“ ................ කියලයි . “ ඔව්“ ඊට පස්සේ විජයානන්ද දහනායක මහත්තයා අගමැති වුනා කියලා ඈ සිසුවාගෙන් ෂේප් වෙලා එතැන් සිට පාඩම පටන් ගත්තා කියලා ගෙදර ඇවිත් වමාරන්නේ බොහොම සැහැල්ලළුවෙන්. සහ විනෝදයෙන්.
ගෙදර ජීවිතය නම් මට හරි කරදරයක්.
ඈ ගෙදර ඇවිදින් කලෙත් උගන්නන එක. ගෙදර පංතියේ එකම සිසුවා මම. මට තාමත් ඈ උගන්නනවා. මම තාමත් ඉගණ ගන්නවා. “ ලයනල් මහත්තයා ........ “ කී පමණනින් මම උත්තර දෙන්න ඔනී. නැත්නම් ඒ කටත් සද්දේ දානවා. මම “ඉන්නවා .............. . කියලා උත්තර දෙන්න මුලින්ම පුරුදු වුනේ ඔලොක්කුවට. ඒත් දැන් ඒක පුරුද්දක් සාමාන්‍ය දෙයක් වෙලා. ටීචර් නම් අඩ ගහනවා - පංති කාමරෙන් ඇහෙන්නේ ඉන්නවා හඩ විතරයි.
ජීවිතයේ හොදයයි සම්මත පුරුදු සියල්ලට මා පුහුණු  කලේ ටීචර්. ඇගේ හොදම ශිෂ්‍යා මම කියලා ඈ හිතනවා ඇති. දැන් අපේ පංතියේ මුණුපුරෙකුත් එක්ක හතර දෙනයි. අපි හතර දෙනාගේම ටීචර් වෙලා ඈ  සතුටු වෙනවා.

අදට මේ ලියවිල්ල නතර කරනවා. මේවගේ සංස්කරණය නොකරන ලද ලියවිලි පලකරන්න “ ජීවිතය “ කියලා ලේබලයක් අළුතින් අලවා  ගත්තා ලිපි එකතුව කොහොම වෙයිද කියලා බලමු.

notes of imaginary

Wednesday, August 27, 2014

නොදන්නා දෙමලේ .


එළ හරකයි - මී හරකයි.

ලෙව්කේ මැතිදුත් වෙල මැද්දේ තනිවුනා . ඒ වගේ අපේ සෞඛ්‍ය ඇමතිතුමා ත් අමාත්‍යාංශයේ තනි වෙලා කියලා එතුමාම කියනවා.  පහුගිය දවස් වල මේ කතාව අහන්න ඇති. මතක් වෙන්න  මම ආයේ ලියන්නම්.

සෞඛ්‍ය  ඇමැතිතුමා  පසුගිය සතියේ  (22 වැනිදා) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පැවැති උත්සවයකට ගිහිල්ලා.

ඇමතිතුමා යන කොට සහ පිරිවරත් එතුමන්ලා පටිපස්සෙන් යන්න එපාය. වතුර...........   කියනකොට වීදුරුව අතට දෙන්නත් සර්ව්යට් පේපරය අතට වඩම්ම්මන්නත්. ටොයිලට් පේපරය දික්කරන්නත් පිරිවර ඉන්න එපාය .නැත්නම් පුළුවන්ද රාජකාරි කරන්න ?. ඒත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේදී ඒ පිලිවෙල බිදවැටිලා. එතුමාගේ අදෝනාව පිටවුනේ මේ විදියටයි - සෞඛ්‍ය  අමාත්‍යාංශයේ ජෙනරාල්ලා අට දෙනෙක්ඉන්නවා. නියෝජ්‍ය ජෙනරාල්ලා පඳුරු ගාණක්ඉන්නවා. නමුත් අද මේ උත්සවයට ජෙනරාල්ලා, නියෝජ්‍ය ජෙනරාල්ලා පඳුරු නෙමෙයි, සෝල්ජර් කෙනෙක්වත් ඇවිත් නැහැ. එහෙම අයත් එක් තමයි, අපට වැඩ කිරීමට වෙලා තියෙන්නේ.

"ඇත්තටම මට තියෙන්නේ කනගාටුවක්‌. මම තනිවෙලා වගේ කියලා තමයි හිතෙන්නේ. මම ඇළේ, දොළේ, කුඹුරේ හැදුණු වැඩුණු මිනිහෙක්‌. මේ රෝහලේ විශේෂඥ වෛද්‍යවරු මගෙන් සාකච්ඡාවක්ඉල්ලුවා. මට සාකච්ඡාවක්දෙන්න පුළුවන්. නමුත් අද සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කවුද ඇවිත් ඉන්නේ. මම දන්න දේවල්වලට උත්තර දෙන්න පුළුවන්. නමුත් මම සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයෙක්නෙවෙයි නේ. මේ වගේ අයත් එක් තමයි වැඩ කරන්න වෙලා තියෙන්නේ.

ඇමතිතුමා කනගාටුවෙන් වුනත් තමන්ගේ නොදන්න කමත් පිලිගත්තා. මොන දේශපාලනඥයාද තමන් දන්නා විෂයය පථයක ඇමති තනතුරක් දරන්නේ. අපිට වැරදිලා තියෙන තවත් තැනක් එලියට පැන්නට මට නම් හිතේ ඇතිවුනේ සතුටක්. විදුලිය ගැන දන්න කෙනා ට යන්න කියලා නීතිය ගැන දන්න කෙනෙකුට විදුලිය භාර දුන්න රටක් මේක. 

මේ  ඇළේ, දොළේ, කුඹුරේ හැදුණු වැඩුණු මිනිහාට දොස්තර වැඩේ භාරදීලා පාලනය කරගන්න බැහැ කියලයි මේ මැසවිල්ල.ඉතින් ලෙඩ්ඩුන්ට ලඩ්ඩු හමුවුනාට පුදුම වෙන්න දෙයක් නැහැ.

අමාත්‍යාංශයේ ඉන්න ජනරාල්ලා අටදෙනා වගේම ‌ නියෝජ්‍ය ජනරාල්ලා පඳුරම කියන්නේ මේ වගේ කතාවක්.

 සෞඛ්‍ය ඇමැතිතුමා -  ඇමැති තනතුර ගත් දා පටන් අමාත්‍යාංශ නිලධාරීන්ට එරෙහිව කරන ප්‍රකාශ නිසා තමන්ට පාරේ බැස යැමට නොහැකි තත්ත්වයක්‌  ඇතිවෙලා. අප කලින් යොදාගත් වැඩසටහන් තිබුණා. අනෙක එදා ගාල්ල කරාපිටිය රෝහලේ තිබුණේ මුල්ගල් තැබීමේ උත්සවයක් .
අපිට දේශපාලකයන්ගේ පසුපස යන්න වුවමනාවක්‌ නෑ. 

අපි වෛද්‍යවරු. වෘත්තියෙන් හොරකම් කරන පිං බතාලා ලෙසයි ඇමැතිවරයා අපව හඳුන්වන්නේ. ඇමැතිවරයා සෞඛ්‍ය විෂය භාර අරගෙන වසර හතරයි. මේ අවුරුදු හතර තිස්‌සෙම නිලධාරීන් හොරු කියමින් ඇමැතිවරයා චෝදනා කරනවා. ඒත් කාටද දඬුවම් දුන්නේ? වෛද්‍ය සැපයීම් අංශයේ ලිපිකරුවකු විතරක්‌ ගෙදර යෑව්වා. මේ අවුරුදු හතරටම කළේ එපමණයි වෛද්‍යවරු කියන හැටියට සද්දේ විතරයි තිබිලා තියෙන්නේ . වැඩක් වෙලා නෑ මේ අවුරුදු හතරටම.
 

වැරද්ද කොතනද කියලා හිතා ගන්න පුළුවන්නේ. හුණුවටයේ කතාවේ මෙහෙම තියෙනවා. “ දෙයක් වේ නම් හිමිවිය යුත්තේ සුදුස්සාටමැයි “ කියලා. දැන් කාලේ සුදුස්සනට හිමි වෙන්න දෙයක් ඉතිරි වෙලා නැහැ. පුස්සෝ සියල්ලම ඩැහැගෙන.වෛද්‍යවරුත් දේශපාලනඥ යනට එරෙහිව මෙහෙම කතා කරන එක ආදර්ශයට අරගෙන අනෙක් ක්‍ෂේත්‍රවල අයත් කෙලින් කතා කලොත් දේශපාලකඤයෝ නොදන්නා දෙමලෙට ගිහින් වරිගේ නසා නොගන්න කටයුතු කරාවි.

notes of imaginary

Tuesday, August 26, 2014

ඉවසන්න බැරිම තැන




පෙරදා ලියු වියමනේ මත්පැන් වලට  ඇබ්බැහිවුවන් වියපැහැදම් කරනා අකාරය පිලිබද සටහනක් කලෙමි. දවසේ අදායමෙන් දෙකෙන්  කොටසකටත් වඩා වියදම් කරන සැමියන් බිරිදටත් දරුවන්ටත් යැපෙන්න නිවසට ගෙන යන්නේ තම ආදායමෙන් අඩකටත් වඩා අඩුවෙනි. බිරිදත් උපයන්නියක නම් යම් තරමකින් නිවසේ කටයුතු පිරිමසා ගන්නට හැකිවන අතර එසේ නොවුන විට නිවසේ නිර්මාණය වන්නේ අපායකි.

පසුගියදාක බිරිදක විසින් බීමත්ව නිදා ගත්  තම සැමියා සමග නිදා සිට් ඇඳටත් ගිනි තබන ලද ප්‍රවෘත්තියක් පලවිය. මත්පැන් නොබොන යහ සිහියෙන් සිටින බිරිදකට  දිනපතාම  බීමත්ව නිවසට එන සැමියෙකු ඉවසිය නොහැක. ඒ පීඩනය හැමදාමත් දරාගත නොහැකිවු විට  මේ බිරිද  සැමියාත් සිරි යහනත් ගිණි තැබීය.

ඈ මේ බිහිසුණු කටයුත්තට ක්‍ෂණිකව පෙලබුනා විය නොහැක. මෙැවැනි කටයුත්තකදී අවසානයේ අත්වන ප්‍රතිපලය  වන මිනීමැරුම් චෝදනාවට වරදකාරිය වී හිරේ තැපීමට සිදුවන බව දැන දැනත්  “ ඉවසන්න බැරිම තැන ඈ සැමියා ගිණි තැබීය.“ යන්න සාධාණියකරනය කරන්නට අපට හැකිය.
ඈ මේ අවධානමට ලක් වන්නේ විද දරා ගත නොහැකි ආතතියකින් පෙළුන නිසාවෙන් විය හැක.

පසුගියදාක බඩල්කුඹුර අලුපොත බලකොටුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු හයක්‌ වයසැති දැරියක ඇයගේ එකොළොස්‌ හැවිරිදි සහෝදරිය විසින් පිහියෙන් ඇනීම නිසා මියගියාය. මෙයත් පසුගිය සතියේ අසන්න ලැබුන “ඉවසන්න බැරිම තැන“ ප්‍රවෘත්තියක් විය.
මියගිය දැරියගේ පියාත්   මවත් දෙදෙනාම දෙවන වරට විවාහ කර ගත් අය වුහ.  පළමු විවාහයෙන් දෙදෙනාටම දරුවෝ සිටියේය.  දෙවැනි විවාහයෙන්ද ඔවුන්ට  දියණියන් දෙදෙනකු සිටින අතර දහතුන් හැවිරිදි හා සය හැවිරිදි එම දියණියෝ දෙදෙනා ගේ මව මැදපෙරදිග ගෘහ සේවිකාවක ලෙස සේවය කොට මීට මාස තුනකට පමණ ඉහතදී මෙරටට පැමිණ ඇත.

ලබන සතියේ නැවත වරක්‌ ඇය මැදපෙරදිග සේවයට යැමට සූදානම්ව සිට ඇත.වැඩිමහල් දැරියගේ පාසල් ගමන ද ඇනහිට ඇත්තේ මව විදේශගත වීම නිසාවෙනි. තම නැඟනිය කුඩා කාලයේ සිටම රැකබලාගෙන ඇත්තේ අක්‌කා විසිනි. එපමණක්‌ ද නොව ඉවුම් පිහුම් ඇතුළු නිවසේ සියලු කටයුතු කර ඇත්තේ ද ඇය විසිනි. ඇය අම්මා නැවත විදේශගතවීම පිළිබඳව කැමැත්තක්‌ දක්‌වා ද නැත.ඇය නංගීව නිවස පිටුපසට කැඳවාගෙන ගොස්‌ පිහියෙන් යටි බඩට ඇන්නේ  මේ දුක් කන්දරාව උහුලා ගෙන තවත් දවස ගෙවන්නට බැරි නිසා වෙන් විය යුතුය.

අවුරුදු එකොළහ යනු තුන් වේලට උයමින්, ළමයින් බලා ගනිමින් ගෙදරක වැඩිහිටි  භූමිකාවක් රගපාන වයසක්‌ නොව සෙල්ලම් වයසකි.  ඇය නංගිට පිහියෙන් අනින්නට ඇත්තේ අම්මා නැවත පිටරට යැමට එරෙහිව ඇය තුළ හටගත් විරෝධාකල්පය හෙළිදරව් කිරීම සඳහා විය යුතුය.

ඈ පීඩනයට පත් කල ආතතිය අසරණ නංගී හරහා මුදා හැරියේය. ඒ සිගිත්තිය අකාලයේ මියගියාය. මෙහි වැරද්ද කර ඇත්තේ දෙමාපියන් මිස නංගී ට පිහියෙන් ඇන්න අක්කා නොවන බව ඇත්ත වුවත් නීතිය හමුවේ දඩුකදේ වැටෙන්නේ අසරන අක්කාය.

සමාජයේ පැවත්ම  ඉතා සංකීර්ණය.  සියලුම දෙනාගේම හිත් පීඩනයට පත්ව  දූෂණයවී ඇත. පීඩාවට පත්ව ඇත. අප රටේ අතලොස්සකට හැරෙන්න බහුතරයකගේ ආර්ථිකය දිළිදුය. මේ දිළදු බව තිබෙන තුරු අපට මෙවැනි සිද්ධීන දිනෙන් දින වැඩියෙන් අසන්නට සිදුවනු ඇත. මෙයට පිළියම් සොයන්නට  නම් අපි  පලමුව අපේ ආර්ථික විමුක්තිය සොයා යායුතුය. ඒ ගමන් අපේ අතීතයේ අපේ පැවතුම් රටා සොයා යා යුතුය.

ආර්ථික විමුක්තිය සොයා වැලි කතරක සිට දැලි වලං සෝදන  “ රට විරුවන් “ නොවී මේ රටේ ජීවත් වෙමින් මේ රටේ නිෂ්පාදනය තර කරමින් නැගී සිටින විරුවන් බිහි විය යුතුය. 




notes of imaginary
 

මීදුම Published @ 2014 by Ipietoon