පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2025-12-25

සුබ නත්තලක් .



25.12.2025

බෙලිහුල්ඔය.

සුබ නත්තලක් වේවා !.

ඉතින් ,

ලියුම් ලිවීමේ කලාව අපි අතරින් වියකිලා ගිහිල්ලා. මම ඉතිහාස ගත පෙට්ටගමක් අවුස්සන කොට මේ සුන්දර කලාව කතාවක් වෙලා සිහිපත් වෙන්න පටන් ගත්තා.

දැන් නම් ෂෝරට් ඇන්ඩ් ස්වීට් නැත්නම් ගත්තා ඇන්නා මැරුවා මෝස්තරයෙන් අදහස් හුවමාරු වෙන්නේ.

ලියුම් ලියන කලාවේ ගහ මරා ගත්තෙත් ආදරේ කලෙත් සුන්දර විදියට.

කේන්තියක් පලකරන්න පිටු ගානක් ලියන්න වුනා.අන්තිමට කේන්තිය අවසන් කලේ “ තෙරුවන් සරණයී නැත්නම් ජේසු පිහිටයි “ කියලා.

ආදරේ ගැන කුමණ කතාද ?.

හදත් පායාල බැහැලා යනවා. ගගවල් පෙන පිඩු නංවමින් ගල්පරවල හැපෙමින් ගලා යනවා………..

අද නත්තල් දවස. මම හිතුවා ලියුමක් ලියලාම සුබ පතන්න.

කිතු උපත හා බැදි උත්සවය නත්තල කියලා අපි හදුන්වනවා. අපි දේවාස්ථානයට යන්නේ නැති වුනත් සහෝදරත්වයෙන් කිතුනුවන් හා බැදී සිටියා. ඔයාට මතක ඇති නත්තල් දවසට අපේ ගෙවල් වලත් නත්තල් රසකැවිලි ආහාර පාන ආදියෙන් පිරෙනවා.අසල්වාසින්ගේ ආදරයෙන්.

ක්‍රි.ව1505 -1658 දක්වා අපේ රට පාලනය කලේ පෘතුගීසීන් විසින්.1658 සිට 1796 දක්වා ලන්දේසීන් 1796 සිට 1948 දක්වා ඉංග්‍රීසින්. මොවුන් සියල්ලෝම කතෝලික ආගම ඇදහු ජාතීන්. මොවුන් විසින් ආගමික ප්‍රචාරණයත් කතෝලික ප්‍රජාවක් මෙරට ඇතිකිරීමත් සමග නත්තල අපේ සංස්කෘතිය හා බද්ධ කරනු ලැබුවා.

“නතාල් “ යන වචනය බිදී තහවුරු වී “ නත්තල් “යන වචනය අපේ වහරට එකතු වුනා.

අපි බෞද්ධාගමිකයෝ .,තවත් විවිධ ආගමිකයෝ අපත් සමග ජීවත් වෙනවා.කිතු දහම ගැන අප හදුනා ගන්නේ “ නත්තල් උත්සවයත් සමග“

නත්තල් උත්සවයත් වානිජකරණය වෙලා. කියලා මම කිවුවොත් අපේ අසල්වාසී කිතුණු ඥාතිවරු අපිත් එක්ක උරණ වෙයි කියලත් හිතෙනවා.

ඒත් මම එහෙම ලීවේ අහිතකින් නෙමෙයි.

“නත්තල් සීයා“ කේන්ද්‍රකර ගනිමින් වානිජ ආයාතන කරනු ලබන්නේ අති විශාල ප්‍රචාරණයක්.

ඔබට මේ ලියන (25) අද නත්තල ගෙවී යන දවසේ..අපි සතුටින් ගත කරමින් සිටිනවා.මුහුදු තීරයේ වාසය කරන ධීවර ජනතාව , උතුරේ දකුණේ සහ අගනුවර නත්තල මහා ඉහලින් සමරනවා.

නත්තල සමරන අපේ ඥාතීන් උප සංස්කෘතීන් කිහිපයකට අයත්. එම ප්‍රදේශවල ජීවත්වන බෞද්ධ, හින්දු, මුස්ලිම් සහ විවිධ සංස්කෘතීන්ට සහ ජාතීන්ට අයත් අනෙකුත් අයටද විවිධ උප සංස්කෘතීන් තිබෙනවා. ඔවුන්ද කිතුනු බැතිමතුන් සමඟ නත්තල් සැමරීමට එක්වෙනවා.මේ සම්මිශ්‍රණය සංස්කෘතිය හා මුසුවී තිබෙනවා.

නත්තල් සමයේදී එකිනෙකා අතර තෑගි පිරිනමනවා.සුබ පැතුම් පත් එකිනෙකාට සුබ පතා ගැනීම් , නත්තල් ගස් හදලා ගෙවල් දොරවල් සරසනවා. , නත්තල් කැරොල් ගායනා සහ ඉටිපන්දම් දැල්වීම වැනි විසිතුරු සිරිත් පවත්වනවා.බටහිරයන්ගෙන් මෙරටට පැමිණි මේ සිරිත් ශත වර්ෂ දෙක තුනකට පස්සේ දේශිය සංස්කෘතිය හා මුසුවෙලා.

බෞද්ධ හා හින්දු සාරධර්මවලින් සැදුම්ලත් ජනප්‍රිය සංස්කෘතිය තුළ ඉතා ප්‍රමුඛස්ථානයක් ගන්නා, කුසල් රැස් කිරීම නිසා අප සන්දර්භය තුළ නොදැනුවත්වම මෙම තෑගි පිරිනැමීම අර්ථවත් වෙලා.

ගස්වැල්වලට ගරු බුහුමන් දක්වන පසුබිමක් තුළ නත්තලේ ජීව ගුණය නියෝජනය කරමින් නත්තල් ගස අර්ථවත් වෙලා.

ඉටිපන්දම් දැල්වීමෙන් මෙය තවත් වැඩි දියුණු වන අතර හින්දු උත්සවය වන දීපාවලි උත්සවය (වචනාර්ථයෙන් ආලෝක පෙළ) සහ බෞද්ධයන්ගේ වෙසක් උත්සවය (බුදුන් වහන්සේගේ උපත, බුද්ධත්වය සහ පිරිනිවන් පෑම සිහිපත් කිරීම) සමඟින් මෙම උත්සවය ආලෝකයේ උත්සවයක් බවට පත් කරලා.

බුද්ධාගමේ ගාථා ගායනා කිරීම සහ හින්දු ආගමේ භජන් ගායනය වැනි චාරිත්‍ර අංග තිබෙන පසුබිමක් තුළ නත්තල් කැරොල් ශ්‍රී ලංකාව තුළ ඉතා ජනප්‍රිය හා අර්ථවත් වී තියෙනවා.

ප්‍රධාන ක්‍රිස්තියානි ප්‍රදේශවල සහ අනෙකුත් නාගරික ප්‍රදේශවල වෙනත් ආගම්වල අයද නත්තල් කැරොල්වලට සම්බන්ධ වීමේ ප්‍රවණතාවක් වර්ධනය වෙමින් තියෙනවා.

සන්දර්භගත වීමේ ක්‍රියාවලිය හරහා නත්තල යන ජනප්‍රිය හා වාණිජකරණය වූ සංස්කෘතියට එහායින්, මෙය ආලෝකයේ සහ ජීවයේ මංගල්‍යයක් ලෙස ශ්‍රී ලංකාව තුළ මුල් බැස ගෙන ඇති බවයි මම හිතන්නේ.

ඉතින් මම මේ දිග වැඩිවුන ලිපියෙන් අදට ඔබෙන් සමු ගන්නවා.

කිතුණු ඥාතීන්ට ‘ ජේසු පිහිටයි “

තෙරුවන් සරනයි.









මම - මීදුම.








A day in the life

2025-12-23

මහ ගෙදර



බොහෝ පවුල්වල කේන්ද්‍රය උනේ තමන්ගේ "මහගෙදර" ඒත් සමහර පවුල් වල නැත්නම් ගෙවල් වල කේන්ද්‍රය වු මිනිස්සු ඉන්නවා කිව්වොත් පිළිගන්නවද....
ගොඩක් පවුල් වල තියෙනවා අපි නොහිතන කේන්ද්‍රීය ස්ථානයක් ඒක බොහෝවිට පවුලේ කෙනෙක් වෙන්න පුලුවන් නැත්නම් පවුලක් ජීවත්වෙන තැනක් වෙන්න පුලුවන්. සමහර විට ඒ කේන්ද්‍රය බිඳ වැටුනාම සියලු දේ සී සී කඩ යන එක යනවා මයි. මම එහෙම වුන පවුල් සහ මිනිස්සු ඕනතරම් දැකලා තියෙනවා.
සමහර පවුල් වල ගෘහ මූලිකයා තාත්තා කිව්වාට පවුලේ න්‍යෂ්ටිය වෙන්නේ ඔහුම නෙවේ. ගොඩක් ගෙවල්වල මේ කේන්ද්‍රය වෙන්නෙ අම්මා. සමහර පවුල් වල එක්කෝ ලොකු අයියා නැත්නම් නංගී එක්කෝ අක්කා. මේ වගේ විවිධාකාර චරිත ඒ තැනට එනවා.
මේ න්‍යෂ්ටිය සිඳී බිඳී ගිය දාට එක්කෝ නැත්තටම නැතිවු දාට මේ ගොඩක් පවුල් එකාට එකා නැතිව වෙන් වෙලා යනවා.ඒ කියන්නේ පවුලේ බැඳීම ගිලිහිලා යනවා.
ඉස්සර උඩහමුල්ලේ ඩිපෝව ඉස්සරහා වලව්වක හැඩ තල තිබූ ගෙයක් තිබුණා ඒක වලව්වක් නෙවේ ඒත් ඒ පෙනුම තිබුනා කියල මම හිතනවා. පොල්ගස් කිහිපයක් ගේ වටා තිබුනා ඒ පොල්ගස් වටේට මල් පිරුනු ඇඩ්සෝරා මල්ගස් තිබුණා. ඒවා ගානට කප්පාදු කරලා හොඳටම නඩත්තු කරලා තිබුනා.
ඩිපෝව ලඟ අනිවාර්යයෙන්ම බස් එක විනාඩි පහක් වත් නතර කරලා තියෙන නිසා මේ ගෙදර දසුන මම හිතන්නේ හැමෝටම ඉතා ප්‍රිය ජනක සිතිවිලි ගේන්න ඇති.ඒ කාලේ ඒ වගේ ගෙවල් වැඩිපුර දකින්න තිබුනේ නැහැ.ඒ නිසාම ඒ ගෙදර හැමෝටම අයස්කාන්ත දසුනක් වුනා නිසැකයි. තරමක විශාල ඉඩමක් උනත් නිවැසියෝ හැමදාම මිදුල අතුගාලා ගස් කප්පාදුකරලා ලස්සනට තියාගන්න ගොඩක් මහන්සිවුන පාටක් පේන්න තිබුනා.ඒ නිසාම හිතෙනවා ගෙදර ඇතුලත් එහෙමම පිරිසිදුවට පිලිවෙලට තියෙන්න ඇති කියලා.
මම හැමදාම ඉස්කෝලෙ ගියේ ඔය ගේ ඉස්සරහින් අනෙක් පැත්ත බලාගෙන ආවත් ඩිපෝව ඉස්සරහින් යනකොට නොදැනීම බෙල්ල ඒ නිවස දෙසට හැරෙනවා .ඒක හිතාමතා කරන දෙයක් නෙවෙයි.ඒත් ඒ නිවස දැක්කම මොකක්දෝ හිත පිරෙන ගතියක් තිබුනා.
කාලයක් ගිහින් මම නුවර පදිංචියට ගියාට පස්සෙත් මට ඒ ගෙදර මතකයේ තිබුනා. ඒත් දවසක් ඒ ගෙදර ශ්‍රී විභූතියට කනකොකා හැඬවිලා තිබුනා.....
ඇඹුල්දෙණිය හන්දිය තියෙන්නේ උඩහමුල්ලට එක බස් හෝල්ට් එකක් එහායින්.එක්තරා මුස්පේන්තු දවසක අර ගෙදර ආච්චිඅම්මා තමන්ගේ කුඩා මිනිබිරිය ඉස්කෝලෙ රැගෙනයමින් සිටියදී ඇඹුල්දෙණිය හන්දියේදී සිදුවු දරුණු බස්රථ අනතුරකින් ඔවුන් ගිය ත්‍රීවීල් රථය අනතුරට පත්වී එම ස්ථානයේදීම මියගිහින් තිබුනා.ඒක ඒ දවස්වල පුවත්පත් වල සහ ප්‍රවෘත්ති වල පලවුනා.ඒත් පුරුදු විදියටම මිනිස්සුන්ට ඒක අමතකවෙලා ගියා.
එයිනුත් වසරක් විතර යන්න ඇති. දැන් අර ගෙදර වෙනදාට තිබුන ශ්‍රී විභූතිය දකින්න තිබුනේ නෑ.මිදුල අතුගාලා තිබුනේ නෑ ගස් කප්පාදු කරලා තිබුනේ නෑ. මල් ගස් ඒවාට ඕනෑ විදියට ඔහේ හැදිලා තිබුණා.එලියෙන් බැලුවාම තිබුන අපිළිවෙළ බව ඒ නිවස තුල දැන් රජකරනවා ඇතැයි මට සිතුනා. පිට කවරේ බලලා පොත තීරණය කරන්න එපා කියලා සින්දුවෙන් කිව්වට පිටකවර දිහා බලලා පොතේ අන්තර්ගතය හිතාගන්න පුදුවන් කතා බොහෝමයක් අපි අතර තියෙනවා.ඒක තේරුම්ගන්නත් පැසුණු මනසක් තියෙන්නට ඕන.
ඔහොම තව ටික දවසක් යනකොට ඒ ගෙදර ලදරුපාසැලක් පවත්වාගෙන යනවා පෙනුනා.එතකොට තමයි මට හිතුනේ එතන මොකක්හෝ ව්‍යාකූල භාවයක් ඇතිවෙලා ඇති කියලා.මම කිසිදා අනුන්ගේ දේ නොසෙවුවත් මට ඇත්තටම දැනගන්න ඕනකම තිබුනා ඒ නිවැසියන්ට සිදුව ඇති දේ.පස්සේ මම අපේ පරණ මිතුරන් ගෙන් විමසුවා ඒ නිවසේ විස්තර. එතකොට මට දැනගන්න ලැබුනේ මෙන්න මෙහෙම දේවල්.
ඒ මරණ දෙකෙන් පසු පවුලේ සමගිය ක්‍රම ක්‍රමයෙන් වියැකී ගියාලු. ඒ ගෙදර පුතා රෝගාබාධයකින් රෝද පුටුවට උනාලු.ඒ මදිවාට ඔහුගේ පවුල් ජීවිතය ද අවුල්වී වෙන්වී ගියාලු දේපොල පිලිබඳව ආරවුලක් ඇතිවී ඒ ඉඩම කොටස් කර විකුණුවා ලු....
මම ඔය ලූ...ලූ...කියලා ලිව්වේ මට අනෙක් අය කියපු කරුණු නිසා.මොකද ස්ථිරවම මට එහෙමයි කියලා කියන්න පුදුවන් මම ටක්කෙටම දන්නා කරුනු නම් පමණයි.වෙන අය පැවසූ දේවල් නිසා මට ඒවා හරියටම එහෙමයි කියලා කියන්න බැහැ. ඒත් බහුතරයක් ඒ පැත්තේ පැරැන්නන් කීවේ ඔන්න ඔයවගේ කතාවක්.
ඒත් ඇත්තටම වසරක් දෙකක් යන්නත් මත්තෙන් ඒ ඉඩම කට්ටි කරලා වටේට බිල්ඩින් ගොඩනැගෙමින් තිබුනා මේ වනවිට මම ඔය කියපු ලස්සන මිදුල සහිත ඉඩම සහ ගේ හුදෙක් මතකයක් පමණක් වෙලා ඉවරයි. ඒත් තවමත් උඩහමුල්ල ඩිපෝව ලඟින් යනකොට මට ඒ පැත්ත බැලෙනවා නිරායාසයෙන්....තට්ටු පිට තට්ටු ගැසූ බිල්ඩින් හා කාර්යබහුල වටපිටාව ට යටින් මට බිල්ඩින් අතරින් ඇති චූටි ඉඩෙන් පේනවා අර පැරණි ගේ....හරියටම ගෙදරින් එලියට එන්නට වරම් නැති අයෙක් ආයාසයෙන් කවුළුවෙන් බලාගෙන ඉන්නවා වගේ.
දැන් ඒ ගේ හැමෝටම අමතකවෙලා ගිහිල්ලා.සමහරවිට තව ටික කාලෙකින් ඒ පැරණි ගෙදර බිමට සමතලා කොට අලුත් නිවසක් ඒ මතින් ඉදිවේවි. ඒ ඉඩමේ අලුත් අයිතිකාරයෝ දන්නෙවත් නැතිවේවි ඒ ඉතිහාසය. මං හිතන්නේ ගොඩක් මහගෙවල් වලට වෙලා තියෙන්නේ මේන් මේක තමයි. අපි ආසාවෙන් හදාගන්නා ගෙවල් දොරවල් වලටත් කවදාහරි වෙන්නේ මෙන්න මේක තමයි.ඒක ලොකු ඛේදවාචකයක් උනත් ඒක තමයි යථාර්ථය.අස්ථිර ලෝකයේ කිසිම දෙයක් ඉස්ථීර නැහැ.
මට හිතෙන්නේ ඒ ගෙදර සතුට සාමය අර ආච්චිඅම්මා සහ මිනිපිරියගේ මරණයන් එක්කම වැලලිලා යන්න ඇති. සමහරවිට ඒ නිවසේ න්‍යෂ්ටිය වන්නට ඇත්තේ එක්කෝ ඒ ආච්චිඅම්මා වෙන්න ඇති එක්කෝ ඒ කුඩා දියණිය වෙන්න ඇති. ඔවුන්ගේ අහිමිවීමත් එක්කම ඒ පවුල් බිඳවැටෙන්න ඇති.කොච්චර කිව්වත් සමහර මිනිස්සු සමහර දේවල් වලින් කඩා වැටෙනවා. ඒක නිසාම තමයි මම හැමදාම කියන්නේ ශාරීරිකව දුර්වල වුනත් මනසින් කඩාවැටෙන්න එපා කියලා
මනස කඩාවැටුනොත් තමන්ගේ පරිහානිය පටන්ගන්නේ එතනින්.එහෙම මිනිස්සුන්ව ආයේ නැගිට්ටවගන්න එක ඉතාම අමාරුයි. ඔවුන්ටම හිතිලා නැගිට්ටොත් විනා මනසින් කඩාවැටුන මිනිස්සුන්ව නගාසිටුවන්නට බැහැ.ඒ වගේම අධ්‍යාත්මිකව ශක්තිමත් මිනිස්සු ලේසියට වට්ටන්නත් බැහැ.
මේ මම පෞද්ගලිකවම ලබපු අත්දැකීමක්.ඔයවගේ අධි සංවේදී සිද්ධි ගොඩක් මගේ හිතේ තියෙනවා. ඒ දේවල් වලින් මම ගොඩාක් දේවල් ඉගෙනගන්නවා. මට හිතෙන මම දකින ජීවිතයේ අනිත්‍ය බව ඔබ සමග බෙදාගන්නවා. දැනුම ස්වයංජාතයි තනියම අවබෝධකරගන්න හැමදේම අධ්‍යාත්මිකව ඔබව යම් තලයකට ගේනවා.
අපි කිසිම දේකට ඇලී ගැලී ඉන්න ඕනෑ නැහැ.මොකද අපි ආසාවෙන් රකින ගෙයක් දොරක් වේවා බැඳීමක් වේවා කැඩී බිඳී සුනුවිසුනු වෙන්න යන්නේ තත්පරයයි.අනික අපි ආදරයෙන් රකින ඒවා වල වටිනාකම ඔක්කොම අපෙන් පස්සේ අහෝසිවෙලා යනවා.
ඒ නිසා ඇලී ගැලී රැකියයුතුයි කියලා කිසිම දෙයක් මේ ලෝකේ නෑ.

#චතුරිකා_අනුරාධා
ප.ලි.- මේ ඒ ගෙදර නෙවෙයි ඒත් ඊට බෙහෙවින් සමාන එකක් වෙනසකට තියෙන්නේ මම කියන ගෙදර මිදුලේ හරියට මල් ගස් තිබුනා එච්චරයි.

A day in the life