පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-10-10

කසාද බදිනවා නම්






කසාද බදිනවා නම් අඩුම තරමේ තමන්ගේ අධ්‍යාපන මට්ටම තරමටවත් ඉගෙන ගත්ත මනුස්සයෙක් කසාද බදින්න කියලා මම කියනවා.
මෙහෙම කියන්නේ උපදේශනය සදහා මා වෙත ආපු කාන්තාවක්.
මේ ඇය කියපු කතාව...
මම ඉපදුණේ දුප්පත් මනුස්සයෙක් නූගත් මනුස්සයෙක් ගෑවිලාවත් නැති පවුල් පරම්පරාවක පවුලක වැඩිමල් දරුවා විදියට. අපි හරිම සාම්ප්‍රදායික මධ්‍යම පාන්තික පවුලක්, අපේ පවුලේ හැමෝම හොදට ඉගෙන ගත්ත අය, ඒ වගේම අපේ පවුල්වල අයගේ විදිය තමයි අධ්‍යාපනය තුළින් සාර්ථකත්වය සදහා යොමු වීම, ඒ නිසා පවුල් වල හැමෝම රජයේ සහ පෞද්ගලික ආයතනවල විවිධ මට්ටමමේ ඉහළ නිලතල දරපු අය.

නමුත් අපේ පවුල්වල තිබුණේ මේ සම්ප්‍රදාය කඩ කරපු කෙනා මමයි.
මම විවාහ උනේ කොටින්ම කියනවා නම් අපොස සාපෙලවත් හරියට සමත් නැති ඉතාම දුප්පත් පවුලක පිරිමි කෙනෙක්. නමුත් කියන්න ඕන තමන්ගේ උත්සාහයෙන් කැපවීමෙන් යම් රැකියාවක් කරලා බොහොම ඉහළට ආපු කෙනෙක් විදියට තමයි මම ඔහුව හදුනා ගන්නකොට හිටියේ.
අපි දෙන්නම එකම වයසේ අපි එකිනෙකා හමු වෙද්දී අපි දෙන්නටම වයස අවුරුදු තිහ සම්පූර්ණ වෙලා, ලොකු ඇසුරක් ඇති කර ගත්තෙ නැති නමුත් අපි හමු වෙලා අවුරුදු එක හමාරක් යන්න කලින් විවාහ උනා. මේ විවාහයට මගේ පවුලේ කිසිම කෙනෙක් කැමැති උනේ නැහැ. හැමෝම එක හෙලාම විරුද්ධ උනා.

හැමෝම එක හඩින් කිව්වේ දුව ඔය පිරිමි ළමයා අපේ පවුලට ගැලපෙන කෙනෙක් නෙවෙයි, ඔයා මොකක්ද ඔය කර ගන්න හදන්නේ කියලා.
නමුත් මම නෙවෙයි ඒවා කනකට ගත්තෙ, මම හිතුවා මට වරදින්නේ නැහැ, මම මේ ගන්නෙ ජීවිතයේ මම ගන්න හොදම තීරණය කියලා.
අපි විවාහ උනා, අපේ පවුලේ කිසිම කෙනෙක් ඒ කෙටි විවාහ උත්සවයට සහභාගි උනේ නැහැ. එයාගේ පවුල්වල දුප්පත් නෑදෑයන් සහ එයාගේ සහ මගේ මිතුරන් මිතුරියන් පමණක් සහභාගි උනා අපේ විවාහ උත්සවය සදහා.

විවාහ උත්සවය සදහා මගේ පවුලේ කිසිම කෙනෙක් සහභාගි නොවීම ගැන Husband ගෙ අම්මා තරමක් නොරිස්සුම් බවක් පෙන්නුවට ඒක තනිකරම රගපෑමක් බව මට තේරුම් ගියා, එයාලට දැක්කෙ හදපානේ හරි කමක් නැහැ අපේ වගේ පවුලකින් කසාදයක් කර ගන්න ලැබීම ලොකු භාග්‍යායක් හැටියට.
අපි විවාහ වෙලා වෙනම ගෙදරක පදිංචි උනේ, මොකද එයාලට තිබුණේ සාමාජිකයන් වැඩි පිරිසක් ඉදපු පවුලක්, සහ මම කැමැති උනේ වෙනම අපි ජීවත් වෙන එකට, ඇත්තටම කිව්වොත් අපේ කසාදය මෙච්චර කල් හරි තියෙන්න වෙනම ජීවත් වෙන්න ගත්ත තීරණය ලොකු හේතුවක් උනා, මොක බැරි වෙලාවක් අපි එයාගේ මහ ගෙදර ඉන්න හිටියානම් සතියෙන් දෙකෙන් කසාදය කඩාගෙන මම යනවා යන්න.

මොකද ඒ තරම් වෙනම ඉදලත් එයාගේ පවුලේ අයගෙන් වෙච්චි අපහසුතා නිසා අපි අතරේ ප්‍රශ්න ඇති උනා.
හැමෝම අතමාරුවට සල්ලි ඉල්ලා ගන්න එන්නේ මෙයා ගාවට.
පස්සේ පස්සේ එයාලා මගෙනුත් ඒක බලාපොරොත්තු උනා.
හැබැයි ගණු විතරයි දෙනු නැහැ..
ගෙදර තියන දේවල් ගෙදරකට අත්‍යාවශ්‍ය දේවල් එයාලා අරන් යන්නේ මේක ඒ ගෙදර මිනිස්සුන්ට ආයේ ඕන වෙයි කියන හැගීමකින් නෙවෙයි, ඒ දේ අපිට ඕන උනාම අපි ගිහිල්ල අරන් එන්න ඕන.

දුකක් කරදරයක් විපතක් උනාම හැමෝම ඇවිල්ලා වැටෙන්නෙ දුක කියන්නේ අපිට, ඒකට කමක් නැහැ කියමුකෝ, නමුත් අපිට කරන්න පුලුවන් දේවල් තියනවා බැරි දේවල් තියනවා කියන එක එයාලට අදාල නැහැ, ඒ වගේම අපි දෙන්නට පෞද්ගලිකත්වය තියනවා අඹු සැමියන් විදියට ජීවත් වෙද්දී නිදහසක් අත්‍යාවශ්‍ය වෙනවා කියලා හැඟීමක් ඒ පවුලේ කිසිම අයකුට නැහැ, එයාලට මොකක්ද වෙන්න ඕන මහ රෑද මහ පාන්දරද කියලා නැහැ CALL කරනවා නැත්නම් ගෙදරට එනවා.
 
ඇත්තටම කිව්වොත් ඒ මිනිස්සුන්ට තරම් ප්‍රශ්න ගැටලු අඟහිගකම් නැතිව ඇති මේ ලෝකේ කාටවත්.
හරි ඔය කිව්වේ Husband ගේ පවුලේ අය ගැන, මේ Husband ගැන.
එයාගේ පිළිවෙළ පිරිසිදුකම අන්තිම බිංදුවේ තිබුණේ, කවදාවත් තමන්ගේ පිරිසිදුකම ගැන හිතුවේ නැහැ, පෞද්ගලික සනීපාරක්ෂක කටයුතු අන්තිමයි, එයා එක්ක තවත් පිරිසිදුවට පිළිවෙළකට ඉන්න කැමැති එහෙම ජීවත් ⁣වෙච්ච මනුස්සයෙක් තව ඉන්නවා කියලා කිසිම ගාණක් නැහැ,
Toilet එකට ගියොත් හරියට වතුර ප්ලශ් කරන්නේ නැහැ නාන කාමරයක් හරියට පාවිච්චි කරන්න දන්නේ නැහැ, ඔය ටිකයි.
අද ඇදලා අපිරිසිදු වෙච්චි සර්ට් එක එයා හෙටත් අදිනවා, කොලරයේ අත්වල කුණු. යට ඇදුම් බැනියම් ඉරිලා හිල් තිබුණත් ඒවා ගැන ගාණක් නැහැ, කොච්චර අලුත් ඒවා ඇරන් දුන්නත් අදින් පරණ ඒවා.
කොලරයේ අත්වල කුණු සහ අපිරිසිදු බව එයා මාත් එක්ක යාලු වෙලා ඉන්න කාලෙදි මම දැකලා තිබුණට මම හිතුවේ එයා දවසෙම මහන්සි වෙලා වැඩ කරලා අපිරිසිදු ⁣වෙලා ඇති කියලා මොකද ඉස්සර එයා මට හමු වෙන්නෙ හැන්දෑවට නිසා.

ඔන්න ඔය දේවල් එක්ක අපි අතරේ ටික ටික ප්‍රශ්න ඇති වෙන්න පටන් ගන්නවා, පස්සේ පස්සේ එයා ඔය පුරුදු ජීවිතය මට රිද්දන්න මාව අපහසුතාවයට පත් කරන්න හිතගෙනම කරා කියලා මට පස්සේ ⁣තේරුම් ගියා.
මෙයාගෙ මේ අපිරිසිදුකම අපිළිවෙළ නිසා එයා එක්ක ලිංගිකව එකතු වීම පවා මට තරයේ අප්‍රසන්න උනා, පස්සේ පස්සේ මම එයා එක්ක එකට ඉන්න එක ප්‍රතික්ෂේප කරන තැනට ආවා, ඒකට එයා මට කරපු චෝදනාව තමයි මට වෙන මිනිස්සු ඉන්නවා කියන එක.

කාලයක් ඔහොම යද්දී මේ මනුස්සය මම ගැන තද ඉරිසියාවකින් කටයුතු කරන්න ගන්නවා, හිතා මතා මාව අපහසුතාවයට පත් වෙන විදියට කටයුතු කරනවා.
මමත් එක්ක තැනකට ගියත් යන්නේ යන්නම් වාලේ ඔහේ මොකක් හරි ඇදුමක් ඇදගෙන, මගේ Office එක ළගට මාව ගන්න එන්නේ හරිම අපිළිවෙළට, මට තේරෙන්න ගන්නවා මෙයා එහෙම කරන්නේ මට ලැජ්ජා කරන්න කියලා.

මට ආරාධනා ලැබෙන සාද වලට උත්සව වලට සහ විවිධ අවස්ථාවලට මට මෙයා එක්ක යන්න බැරි තරම්, ඒ තැනකට ගියාම හොදටම බීලා කාලා එතන පිරිහෙනවා, නැත්නම් එතන ඉන්න මිනිස්සුන්ට විහිළුවක් වෙනවා.
මගේ තත්වය මගේ තනතුරේ ගෞරවය කෙලෙසනවා. පස්සේ පස්සේ මම එයා නැතුව ඒවාට සහභාගි වෙන්න ගත්තම ඒකටත් එක එක කතා කියන්න පටන් ගත්තා, එයා එක්ක ගියාම මට හරියට පිරිමින්ට බැල්ම දාන්න බැරි නිසා එයාව තියලා යනවා කියලා.
මම කිව්වම එහෙම එකක් ⁣නෙවෙයි ඒවාට ගිහිල්ල තමුන් හරියට හැසිරෙන්නෙ නැති නිසයි එක්ක නොයන්නෙ කිව්වම, එයා මගෙන් අහනවා මොකක්ද මගේ හැසිරීමේ තියන වරද ඕවාට යන්නේ කන්න බොන්න විනෝද වෙන්න තමයි කියලා.

නමුත් ඒක කරන්න එක පිළිවෙලක් තියනවා, ඔයා පැයකට දෙකකට කරලා එන දේවල් හෙට අමතක උනාට මම එතන හැමදාම ගිහිල්ල රාජකාරි කරන්න ඕන එතන මිනිස්සු කරන කියන කතා දන්නේ මම නේ, මටනේ ඒවයි ලැජ්ජා වෙන්නෙ ඒවාට මම තමයිනේ මුහුණ දෙන්න ඕන, ඔයාට කවුරුත් මුකුත්ම කියන්නේ නැහැ තමයි කියලා.

ඒ කොහොම මාව අපහසුතාවයට පත් කරත් මට අපහාස කරත්, ඕන තැනක ගිහිල්ල මම ගැන මගේ තනතුර ගැන කියන්නේ හරිම ආඩම්බරයෙන්, එයා මගේ Wife එයා අහවලා කියලා.
කවදාවත් අතක් උස්සලා මට පහර නොදුන්නට වචනවලින් ක්‍රියාවෙන් මාව මානසිකව වට්ටන්න පුලුවන් උපරිම තැනට දමන්න එයා කටයුතු කරා.

ඔය ප්‍රශ්න ඔහොම ඇති වෙන්න පටන් අරන් අවුරුදු දෙකක් යද්දී අපිට අපේ පුතාව ලැබෙනවා, මම හිතුවා දැන් දරුවෙක් ඉන්න නිසාවත් ටිකක් පිළිවෙලට වැදගත විදියට හැසිරෙයි කියලා.
නැහැ, එයා අන්තිමට කරේ දරුවටත් ඒ නරක වැරදි පූර්වාදර්ශ ලබා දෙන්න ගත්තා. එයාගේ විදියට දරුවව හැඩ ගස්සන්න කටයුතු කරා, කොටින්ම කියනවා නම් මට ළමයවත් ළමයට මාවත් එපා කරලා දැම්මා.

දරුවා එක්ක මට ඇණුම් පද කියනවා මට විහිළු තහලු කරනවා මගේ වැරදි අඩුපාඩු කියනවා, කොටින්ම මම මහ නරක නපුරු ගැහැණියක් කියලා දරුවට ඒත්තු ගැන්නුවා.
සමහරවිට මම නපුරු වෙන්න ඇති තරහා යන ගැහැණියක් අම්මා කෙනෙක් වෙන්න ඇති, මම ඒ තත්වයට පත් කරේ Husband පුතාවත් එකතු කරගෙන කියලා මම කියන්න ඕන.
මගේ ඒ නපුරු වීම තරහා ගැනීම නිසා පුතා තවදුටත් ළං උනේ එයාගේ තාත්තට, තාත්තා කියන දේවල් තමයි එයා ඇහුවේ කෙරුවේ.

අන්තිමට මට විවාහය දරුවා රැකියාව ⁣මේ සේරම එපා වෙන්න ගත්තා. විශාදයට පවා ගොදුරු ⁣වෙලා වෛද්‍ය ප්‍රතිකාර පවා ගත්තා, අන්තිමට මට Doctor කිව්වේ මගේ කතාව අහන් ඉදලා මට මේකට විසදුමක් කියන්න කිව්වම, හොදම දේ ළමයවත් ඒ අයට දීලා ඔයා ඔතනින් අයින් වෙන්න කියලා. නැත්නම් ඔයා ලොකු කරදර ගොඩක පැටලෙයි කියලා. ඒ වගේම ඔහු තවදුරටත් මට කිව්වේ දරුවා ලැබෙන්න කලින් තමන් හමුවීමට ආවා නම් දරුවෙක් හදා ගැනීමට ඉක්මන් නොවන ලෙස මට යෝජනා කරන බව පැවැසුවා.

අන්තිමට මම දික්කසාදය ගැන Husband ට කෙලින්ම කිව්වා, එයා ඒකට කැමැති උනේ නැහැ, මොකද එයා දන්නවා ආයේ මම වගේ ගැහැණියක් එයාට හමු නොවන බව. දික්කසාද ⁣වෙමු කියලා මම කොයි තරම් පෙරැත්ත කරත් එයා ඒකට ඉඩ දුන්නේ නැහැ. මට කියලා කාත් කවුරුත් නැති තරම් මොකද මගේ පවුලේ අය මාව දුරස් කරලා තිබුණේ. මම ගැන ⁣හොයන්න බලන්න කිසිම කෙනෙක් හිටියේ නැහැ.

අවසානයේදී මම තීරණය කරා විදේශගත වෙන්න, ඒ සදහා අවශ්‍ය කටයුතු මම ඉතාම ⁣
හොර රහසේ සූදානම් කර ගත්තා.
කොහොමත් මම වැඩිදුරටත් අධ්‍යාපනය සදහා රට යනවා කියලා එයාට කිය කියා තමයි හිටියේ ඒකට ⁣ලොකු අකමැත්තක් තිබුණේ නැහැ හැබැයි, මොකද මම කිය කියා හිටියේ මම මුලින්ම ගිහිල්ලා බබයි එයාවයි දෙන්නම එහෙට ගන්නම් කියලා.

අන්තිමට මම එංගලන්තයට ආවා, මම ලංකාවෙන් එද්දි හිතා ගත්ත ආයේ ලංකාවට ආවත් ඔය මනුස්සය ළගට නම් මම යන්නේ නැහැ කියලා, දවසක පුලුවන් උනොත් දරුවා කැමැති නම් එයාව එහෙට ගන්නවා ඇරෙන්න කියලා, දරුවත් තාත්තට තියලා මම ආවා.
ඒ විදියට මමමගේ අවුරුදු දහයක විවාහ ජීවිතයට සමු දීලා මෙහෙට ඇවිල්ල දැන් අවුරුදු දෙකක්, දැන් නම් එයාට හැමදේම තේරිලා කියලා මට කියනවා, නමුත් මම ආයේ ඒවා ගැන හිතන්නේ නැහැ. මොකද ලිහලා බලපු මල්ල ඔබලා බලන්න ඕන නැහැනෙ.

ලංකාවේ ඉද්දි ගත කරපු ජීවිතය සහ දැන් මම ගත කරන ජීවිතය සංසන්දනය කරලා බැලුවම මම ලංකාවෙදී ජීවත් වෙලා තියෙන්නෙ මල ප්‍රේතයකු සමඟ අපායක කියලා තමයි මට දැණෙන්නෙ.

ඉතින් මම ඔබලාට කියන්නේ කිසිම දවසක තමන්ගේ තත්වයට අධ්‍යාපන මට්ටමට නොගැලපෙන නොපෑහෙන මනුස්සයෙක් කසාද බදිනවා නම් ඒක ගැන හොදින් හිතන්න. විශේෂයෙන්ම ගැහැණු අයට මේක අදාලයි.

කොච්චර කිව්වත් ආදරයට ජාති ආගම් කුල මල උස් පහත් කම් දුප්පත් ⁣පෝසත් බේද අදාල නැහැ කියලා මම තරයේ විශ්වාස කරනවා අනිවාර්යයෙන් ⁣පොඩිම හරි විදියට ඒවා අදාල බව.
ආයේ කියන්නම් ඒ දේවල් ආදරයට බාදා නොවුණත් කසාදයට නම් බාදාවක් වෙනවාම තමයි. සමහරු බොහොම දරුණු විදියට මාව විවේචනය කරයි, නමුත් මම කියන්නේ ඒ ගැන අවුරුදු දහයක් විතර අද්දැකීම් විදලා.

මමත් මුලදී ඔය දේවල් විශ්වාස කරලා රැඩිකල් වෙන්න ගිහිල්ල තමයි අමාරුවේ වැටුණේ.
මොකද මම මගේ විවාහ ජීවිතය තුළ ඔය හැමදේකම මකන්න බැර ගලපා ගන්න බැරි නොගැලපීම් නොපෑහීම් නිසා අනේක විද දුක් වින්දා, අපහාස උපහාස ලැජ්ජාවන්ට මුහුණ දුන්න.
සමහර මිනිස්සුන්ට තියන හීනමානය ජන්මාන්තර වෛරයක් කරයෙක්ට හපන්.

කසුන් රාජපක්ෂ
ප්‍රවීණ මනෝ උපදේශක.

A day in the life

2024-10-08

නාලන්දා ගෙඩිගේ




මේ දවස් ටිකේම මුහුණු පොත ට එන්න බැරි උණා .

ඔයාල අහල තිබුණ “ සනීපෙන්ද ?” කියල .
ඔව්. ඇත්තටම පුංචි චාරිකාවක් ගිය නිසා තමයි
පොඩ්ඩක් මුහුණු පොත ට එන්න බැරි උණේ .
ජීවිතේ කවදාවත් මුණ ගැහිල නැති කට්ටියක්
එක්ක ට්‍රිප් එකක් යන කොට සැක සංකා ගොඩක්
මතුවෙනව තමයි. බුම්මගෙන ඔහේ පාඩුවෙ ගිහිං
එන්න බැරියැ ...කියල තමයි මටත් හිතුණෙ . “හැබැයි
සුමී මාත් එක්ක ඉන්නවනෙ , ඒ මදෑ .” කියල හිතාගෙන
තමයි මාතලේ චාරිකාවට Infinity Travelers එක්ක
එකතු උණේ .
චලිත් ,ගයාන් වගේම අපේ සුව පහසු යානයේ මාතලී
රියැදුරු පුතා ත් ඔයාල ගෙ වචන වලින් කිව්වොත්
“ පට්ට” තමයි. අපිට කිසිම අඩුවක් තිබ්බෙ නෑ .
අපි අතරෙ ගුරුවරු, විදෙස් රටවල ඉඳල නිවාඩුවට ආපු
තරුණ දරුවො , ඩොක්ටර්ස්ල , ව්‍යාපාරිකයො ,
ඉංජිනේරුවරු ස්ටෙනෝ ල ,සරසවි සිසුන් වගේ නොයෙක්
තරාතිරමේ කට්ටිය හිටිය . ගමනාන්තය වෙනකොට
මුළු නඩේම හිටියෙ එක පොකුරක් වෙලා .
ඒතරම් හිනාවෙලා සතුටින් හිටපු දවසක් මතක නෑ වගේ .
මේ චාරිකාවෙ තැන් දෙකක් මට අමතක වෙන්නෙ නෑ .
එකක් ; නාලන්දා ගෙඩි ගේ .
අනික ඇළහැර ගල් අමුණ ..
නාලන්දා ගෙඩිගේ ගැන අද ලියන්න හිතුණා .

අඩුගානෙ තුන් හතර දෙනෙක් වත් කියවාවිනෙ .



මාතලේ ඉඳල නාලන්දා ගෙඩිගේ බලන්න කිලෝ මීටර් 35 ක්
විතර දුර ගියා මං හිතන්නෙ .වාහනේ නවත්තල ,ගුරු පාර දිගේ
මීටර් තිහක් විතර ඇවිදගෙන යන්න ඕනෙ . දෙපැත්තෙ
පුරා විද්‍යා නටබුන් ගල් කණු විදිහට අපි දිහා බලා හිටිය .සිරස්
තිරස් දෙයාකාරයෙම නටබුන්. දෙපැත්තෙ නිල් පාට තුරු ලිය
ආවරණයක්. හරිම ලස්සණයි . ඈත පේන තෙක් මානයෙ
දුම්බර කඳුවැටිය . නිල්පාට ට බබළන බෝවතැන්න ජලාශය
මනහර දර්ශනයක්.!
නාලන්දා ගෙඩිගෙය හරියටම ලංකාවෙ මධ්‍ය කේන්ද්‍රයේ
පිහිටලා තියෙන බවට මතයක් තියෙනවා .ඒ නිසාම ජන ප්‍රවාද
පුරා වෘත්ත ගොඩයි.
අපිට පුරා විද්‍යා නිලධාරි මහත්මයා කියපු විදිහට මේ ස්ථානය
කැලයෙන් වටවී තිබූ අතර ලංකාවෙ හිටපු ආර් .එල් .බ්‍රෝහියර්
මහතා ගෙ සටහන් වල තමයි මුලින්ම මේ ගැන සඳහන් වෙන්නෙ.
පස්සෙ 1893 ඉංග්‍රීසි ආණ්ඩුවේ වාර්තාවල ගෙඩිගේ ගැන ලියවිලා
තියෙනවා . විශේෂයෙන් එච්.සී .පී බෙල් මහතාත් මේ ගැන
හුඟක් උනන්දු වෙලා . 1970 මහවැළි සංවර්ධන කටයුතු වලදි ,
බෝවතැන්න ජලාශයට යටවෙන්න පුළුවන් නිසා ,කුඹුරු
යායක් අසල තිබුණු මේ වටිනා ගොඩනැගිල්ල ගලෙන් ගලට
අංකනය කරල ,බොහොම සීරුවට ගලවල තියෙනව .
අඩි 27 ක් ඒ භූමිය පස් පුරවල උස් කරල ආවෙත් ප්‍රති නිර්මාණය
කරල තියෙනව. ඒ එක්කම අද ආඩම්බරෙන් හිස ඔසවගෙන ඉන්න ,
විසිතුරු ගහ කොළ ආරක්ෂක පවුර ,බෝධිය හා ගඩොලින් කළ
චෛත්‍යය අපූරුවට ප්‍රති නිර්මාණය කරපු බවයි අපට කියල දුන්නෙ.
. 1985 තමයි නැවත විවෘත කරල තියෙන්නෙ .
ඔයාල අහල ඇති නෙ ,ඊජිප්තුවෙ අස්වාන් වේල්ල හදන්න ගිය වෙලාවෙත්
අබුසිම්බල් කියන ප්‍රසිද්ධ දේවස්ථානය ගලවල ප්‍රති නිර්මාණය
කරපු බව.
නාලන්දා ගෙඩිගේ ,දකුණු ඉන්දියාවෙ ඒකාලෙ තිබුණු පල්ලව ගෘහ
නිර්මාණ ශිල්පයට අනුව කළ නිර්මාණයක් කියලයි කියන්නෙ . කැණීම්
කරනකොට ලැබුණු සාක්‍ෂි අනුව ,ක්‍රිස්තු වර්ෂ 8 -10 අතර හදපු එකක් .
දකුණු ඉන්දියාවෙ ඒ කාලෙ හිටපු නරසිංහ වර්මන් රජු බොහොම
බලවත් කෙනෙක් ලු . අපේ මානවම්ම කියන කුමාරයා ලංකාවෙ
රජකම ගන්න නරසිංහ වර්මන් ගෙන් ආධාර අරං තියෙනව .කාලයක්
ඉන්දියාවට පැනගිහින් ,පල්ලව හමුදාවක් එකතු කරගෙන ආවලු .අන්න
ඒ සමගම පැමිණි පල්ලව ගෘහ නිර්මාණ ශිල්පීන් නාලන්දා ගෙඩි ගේ
කියන විහාර සංකීර්ණය හදපු බවටයි කියැවෙන්නෙ.
මානවම්ම රජු ගැන චූල වංශයේ සඳහන් වෙන්නෙ විහාර ආරාම බොහෝ
කොට සාදපු බවයි.
වහළේ සිට පාදම දක්වාම කළුගලින් නිර්මාණය කළ නිසා , ගෙඩිගේ නමින්
ප්‍රචලිත උණාලු . . හින්දු හා බෞද්ධ සම්ප්‍රදායයන් මෙහි දකින්නට පුළුවන්.
• ස්ථූප කැටයම්
• මිථුන කැටයම්
• වාමන කැටයම්
• ප්‍රතිමා රූප
• නෙළුම් මල්
• දේවතා රූප
• මුනිවර රූප
මේ සියල්ලම කළුගලින් ඉදිකරපුවා .
හැබැයි මට හිතුණෙ අපේ ශිල්පීන් ගෙ කැටයම් මීට වඩා සියුමැළි යි
කියලයි.
රාවණා රජුගේ සූර්ය වන්දනාව සඳහා ,ඉන්ද්‍රජිත් හෙවත් මේඝනාද නම් පුත්
කුමරු විසින් මෙම ස්ථානය යොදාගත් බව ,ලංකාවතාර සුත්‍රයේ
කියැවෙනව. මෙහි විශ්ව ශක්තිය කේන්ද්‍ර ගතව තිබුණා කියලයි කියන්නෙ.
ඉතිහාසය නිවැරදිව තෝරන එක අමාරු වැඩක්.මොන විදිහේ
මත තිබුණත් ,මෙහි තිබිල සොයා ගත් ටැම් ලිපියකට අනුව ..
හාමුදුරුවරුන් ගේ යහ පැවැත්මට අවශ්‍ය කරුණු ලියැවී තිබෙනවා.
ධාතුසේන රජතුමා කලා වැව ගාව හදපු අවුකන පිළිමය වගේම පිළිමයක්
දකින්න පුළුවනි. හරිම ශාන්තයි. ඒක හිටි පිළිමයක් .ගණ දෙවි රූපයක්
සහ බෝධිසත්ව පිළිමය ක නටබුන් ගොඩනැගිල්ලේ මැද කුහරයේ තියෙනවා .
ගෙඩිගේ වටේම පල්ලව කැටයම් තියෙනවා .
අපේ බෞද්ධ විහාරවල දකින්නට නො ලැබෙන එක්තරා විශේෂ කැටයමක්
කණ්ඩායමේ කුතුහලය ඇවිස්සුවා .පුද බිමකට නො ගැළපෙන දෙයක්
ලෙස තර්ක කරන්නට පිළිවන් එක්තරා කැටයමක් පිටත කැටයම් අතර
කැපී පෙනුණා. ලිංගික ඉරියව් පැහැදිලිව දැක්වෙන කැටයමක් නෙලා
තිබෙනවා .ස්ත්‍රියක් පුරුෂයෙක් හා තවත් කාන්තාවක් හැසිරෙන ඉරියව් වක්
එහි පෙන්වනවා .පුරාවිද්‍යා නිළධාරී මහතා පැවසුවේ තුන් වැන්නිය
සිංහ ධේනුවක් විය යුතු බවයි.එය ඒතරම් පිළිගත හැකි නිගමනයක් දැයි
සිතුණා .කොහොම උණත් ඉසුරුමුණි පෙම් යුවළ නෙළා ඇති සංවර බව
එහි දකින්නට නැහැ .
අපේ කණ්ඩායමට එය නැවත නැවත විහිළු තහළු සඳහා කදිම නිමිත්තක්
උණා .
නාලන්දා ගෙඩිගෙය ..ජීවිතයේ වරක් හෝ සියැසින් දැකගත යුතු යි.
ලංකාවේ පල්ලව අභාෂය ලබා කළ එකම නිර්මාණය එය බව කියනවා .
ඉතින් ..ඔබේ දැනුමට එහි මා විසින් සටහන් කරගත් සේයා රූ දෙකක්
ඇතුලත් කරන්නම් .(පුළුවන් නම් දවසක යන්න බලන්න.)


රෝ.සි .
2024.10 .08.

A day in the life