Sunday, March 30, 2025

ඌවේ කතා.




හුවේ දුරයි මීදුමට ඌවට යන්න. 
කොළඹ පැත්තෙන් එන කොට බෙලිහුල්ඔය පහුකරලා මරන්ගහවෙලට ආපුවහම ඌවේ මායිම.
ලංකාවේ උසම දිය ඇල්ල බමර කන්ද .සුප්‍රසිද්ධ ඩබල් බ්‍රිජ් තියෙන්නේ කලුපහන ඌවත් සබරගමුවත් මායිමේ.
කොළඹ - මඩකලපුව ඒ 04 මාර්ගයේ 181 කිමි.පටන්ගන්නේ මේ මායිමෙන්.
සති අන්තයක් ගෙවා දමන්න ....යකාගේ පඩිපෙල ඔස්සේ හෝටන්තැන්නට යන්න. මේ ඌව මායිමෙන් පුලුවන්.
ඌවේ ඇත්තෝ හමුවුනොත් කතාබහත් ටිකක් අමුතු අත්දැකීමක් වේවි.
අහලා බලමුකෝ එහෙනම්......

1.පාන් කළුව/පාන්දර/පාන්දොඩ =අඳුර නැතිකරගෙන ආලෝකය ඇතිවීම

2. වෛතාලෙ/ඉරිමාඋදේ =උදෑසනින්

3.කනිසම =වේලාව

4. කිරිවේලාව =උදෑසන සිට අට පමණ වනතෙක්වේ

5.ඇටබගව්ව =ඉර මුදූන් වන වේලාව

6. හීම්පීර/හිටිපියර/හිටිබීරම =මද්දහන

7. ඉරගල වැටුණා=ඉර බැසිම

8. වවුලන් බඩගගන ජාමය =ඉර බැසගෙන යන වේලාව

9. ගොංමං වේලාව/කුකුළන් ගස්යන යාමය =ඉර බසින වේලාව

10.බසමන්ද කළුවර =ඉර බැසගෙන ගොස් ටිකවේලාවයි

11. කිතයියා =හඳ

12.ගජරා/බොටකඳා/ අල්ලිස්අප්පු/අලි‍බොටා =අලියා

13. බණ්ඩාර හඳ =කිරි බැබළෙන හඳ

14. හෙවන් බෑම =හිරු රැස් ආවරණය වීම

15. සාක්කුලය =පෑවිල්ල

16.බීරනීබාලා =වැහි වළාකුළු මුදූන්වීම

17.නිල්ල =පොද වැස්ස

18.වැහි නිල්ල =වැස්ස පෑයු වේලාව

19.කුලන්තරය =මහවැස්ස

20.අන්දන් බුරුවා/කරකොළයා =ගෝනා

21.පරියා/සෝමා =වළහා

22.පරියාපුල්ලියා/දීයා/කොටිහපුවා =කොටියා

23හොටබරියා/මඩවල පසිම්බුවා= ඌරා

24. කෑටා/කුඩුවා/ඇදූරුකුක්කා =බල්ලා

25. කුංචා/පොන්නා =පුසා

26.අප්පල්ලෑවා =හෝතම්බුවා(මුගටියා)

27.තඹරැණියා =සැළලිහිණියා

28.ගම්පාළුවා =උළමා(ඔගම්පාළුවා)

29.ගස්බෝදා =කටුස්සා

30.ගම්බලයා =කොට්ටෝරුවා

31.ගොන්කඩුවා =මයිනා

32.මීච්චා =පොල්කිච්චා

33.දියකුකුළා =ඉබ්බා

34.ගස්ගෝනා =වඳුරා

35.පුක්ගැටයා =කිඹුලා

36.කම්බැල්ලා දේහිනී =සමුහයක් එක්ව කරන ගෝෂාව

37කොම්බා =දඟකාර කොල්ලා

38.කීකල බා‍සෙට නෑ =අකීකරු කොල්ලා

39.කුකාඩියා =හිතුවක්කාරයා

40.කුඩුම්බරයා =කොල්ලා

41. කෙලිගහ/කෙල්ලී/ කෙලී =දියණිය

42.කෝනමා =නිරුවතින් සිටින්නා

43.කෙලිහැලේ කරනවා =කුඩා ළමයින් සෙල්ලම් කිරිම

44.නට්ටාලී =සෙල්ලම

45.පුන්නනවා =නිදිකරනවා(නිදාගන්නවා

46කිස්කනවා =කෝටුවෙන් තැලීම


 



A day in the life

Friday, March 28, 2025

අන්දරේ යුවතියනට කී කවි.




අන්දරේ දකුනේ ඉපදී කන්ද උඩරට මහවාසලට සේවය කල රාජ්‍ය නිලධාරියෙකි. ඔහු වටා ගෙතුන කතා බොහොමයක් අදටත් ජනප්‍රියය. ඒවා ඔහුගේ බාලකාලය සහ තරුන මැදිවිය යන වයස් හී  වයසට ගැලපෙන කතාය.

අද මීදුම අන්දරේ  තරුන වියේ කාන්තාවන් ඉලක්ක කර ගත් කාව්‍ය ප්‍රබන්ධ කිහිපයක් ඉදිරිපත් කරනු ලබයි.


දිය ගෙන එන්නට ලිදට යන ගැටවරියක් දකින අන්දරේ එගමන වර්ණනා කරන්නේ මෙසේය.

“රණ්වන් එරන් වන් රණ්වන් රණ් රුවට

නිල්වන් පීරාලා පිට දිගට

රණ්වන් වලලු අත දමලා කලය වට

සෙල්ලම් ගමනින් යනවද ලිද ලගට 


සදක් මෙන් මුහුන ඇගෙ රූසිරු සමග

ලදක් වෙන නුදුටුවෙමි මේ මුලු දෙරණ 

මොලොක් මට සිලිටු ගත ඔප ලු ලෙසින

මලක් මෙන් ළපටි රතු මුවින සොබින


සවන පිනවන ළද බොළද සුමිරිය

බදින සිතු බදේ ඈ වෙත වී පිරිය

කුමන ලෙස මැවීදෝ සුරගණ සරිය

වචන නැත කියන්නට ඇගේ රු සිරිය.”

සුරූපිණයක් දකින අන්දරේ නිදිවරමින් 

“වතට ලවනතට නුබ බලන බැල්මට

වරලට ගෙලට නලලට නාසිකාවට

ගමනට බසට නුබ හට ලොල් කල මෙමට

කුමකට කියමි නිදි නැත රැය තුන්යමට”

ඈ සිහිපත් කරන්නීය.

පොකුණකට බැස නෙලුම් අල උදුරන තරුණියකට ලොබ බදින අන්දරේ 

“පතුල බැසා අල උදුරන කලට ලියේ

මකුල සේම වත ඉහලට යාය ලියේ

මුකුලු සිනා අප දැක කෝඩුකාරියේ

කැකුලු තන තෙමෙයි නොබසින් ගැඹුරු දියේ”

යයි අවවාද කරයි. “ කැකුලු තන තෙමෙයි “ 


අන්දරේගේ පළමු බිරිය මියයයි. එයින් සංවේගයට පත් අන්දරේ මැවුම්කරුවු මහපඹාට 

“පටුවන් නළල දිලිසෙන සුරතලු දිගැසේ

බටුවන් සුරගනන් පරදන මැණික යසේ 

කෙටුවත් බඹා පල නැති ලෙස මගේ හිසේ 

දුටුවොත් යම් දිනක මම කොටමි උගේ හිසේ”

යයි දෙස් දෙයි.

ගමනක් යන අන්දරේ දෙස දොර අස්සෙන් මුකුලු කරන ගැටවරියක් දෑක

“ඉහළ ගෙදර වී පැදුරේ පරෙයියා

පහළ ගෙදර වී පැදුරේ කොබෙයියා

ටිකිරි ලියක් දොර අස්සෙන් එබෙයියා

ටිකිරි නගේ පියයුරු කයි කොබෙයියා”

……ටිකිරි නගේ 

සුන්දර යුවතියක් දකින අන්දරේ………….

“මහ මී කුඩා මී හිමයේ බොහොම ඇති

කොයි කොයි මලෙත් මුත් බමරුන් රොන් ගනිති

කොතන වුවත් හරි නෙද  මැණිකේ රුව ඇති

රුව ඇතිනම් අඩුකුලයද කමක් නැති.”

හැඩ රැව ඇත්නම් අනෙකුත් අඩුපාඩු නොසලකන බව සිහිපත් කරයි.

ඔක්කොටම කවි කියනවා. මටත් කවියක් කියනවකෝ ……අන්දරේගේ බිරිද ඇවිටිලි කල විට මෙසේ කීවේය

“ඉස දෙස බැලිමිපොල් කෙදි වැන්න පීරනා

බද දෙස බැලිමි හෙරලිය වැන්න ආරනා 

තන දෙස බැලිමි වැටකොලු වැන්න එල්ලෙනා

නුබ දෙස බැලිමි වැදිරිය වැන්න දලු කනා.”

බිරිදට මළ පැන්න විට අන්දරේ කවිය ප්‍රතිශෝධණ කරමින් 

“ඉස දෙස බැලිමි රණ්කෙදි වැන්න පීරනා

බද දෙස බැලිමි රණ් කද වැන්න ආරනා

තන දෙස බැලිමි තැඹිලිය වැන්න දිලිසෙනා

නුඹ දෙස බැලිමි සුරගන වැන්න රුසිරෙනා”

කියා ජාම් බේරා ගත් බවකි.

දිය පහස පිණිස පොකුණට යන කුමාරිකාවට අන්දරේ මගදී මුණ ගැසිනි.

අන්දරේ ඇමතු ඈ තමාටත් කවියක් කියන ලෙස ඉල්ලීමක් කෙරෙනි.

අන්දරේ……

“කට කැඩි කළේ දිය උකුලේ තබා ගෙන

ලොට තන දෙකත් ගෙරි සමතින් වසාගෙන

තඹත් පිත්තලත් දෙවගේ පැළද ගෙන

රොඩී කෙල්ල කොයි යනවද උදෑසන”

කීවය. මින් උරණවු කුමාරිකාව රජතුමාට තමන්ට කල අපහාසය ගැන පැමිණිලි කලාය.

රජවාසලට කැදවු අන්දරේ .කල වින්නැහිය කුමක්දැයි විමසීය.

පස්වාන්දහසකට බුදුවන්න දේවයන් වහන්ස මම මෙන්න මේ පද හතර කුමාරිගේ ඉල්ලීමට කීවායයි කීවේය.

“රණ් කැටි කලේ දිය උකුලේ තබාගෙන

රණ්කුඹු දෙකත් සලුපටකින් වසා ගෙන

රිදී රත්තරන් දෙවගේ පැළද ගෙන

මල් මද බිසව් කොයි යනවද උදෑසන”

අන්දරේ මහවාසල සිට ගම් බිම් බලා එන අතර මග මලල දී පලා නෙලන ලියක් දැක ලොබ බැදි අයුරුයි මේ.

“පුල පුලා ඇවිත් බැස මලල ආරට

හෙල හෙලා බදින වරලස පිට කරට

බල බලා මදෙස  මුව රද සිනාවට

විල පලා නෙලන කත හොදලු පහසට”


A day in the life

Wednesday, March 26, 2025

මළවුන් උදෙසා දානමාන.




අපට මළවුන් උදෙසා දාන මාන දී පින් පමුනුවන සිරිතක් ඇත. 

සතියෙන් තුන්මාසයෙන් ,අවුරුද්දෙන්. අවුරුද්දෙන් අවුරුද්දට මෙසේ දානමාන , ධර්ම දේශනා පවත්වා ලැබෙන්නාවු අනිශංස මළවුන් උදෙසා අනුමෝදන් කර ඔවුන් සුගතිමත් කිරීම බෞද්ධ අපේ අරමුණය.

වර්තමානයේ ඇති හැකි අය සින හතෙන් තුන්මාසයෙන් අවුරුද්දෙන් පුන්‍ය කටයුතුවල යෙදී පින් අණුමෝදන් කලත් එසේ කරගත නොහැකි සාධු ජනයාද අප අතර ඇත.ඔවුන් උවත් අපහසුවෙන් හෝ හත් දවසේ දානය සහ තුන්මාසේ දානමය පුන්‍යකර්මයන්  නොවැරදීම කරන්නේය.

පරම පූජනිය රේරුකානේ චන්දවිමල මාහිමියන්”ධර්ම විනිශ්චය” සංග්‍රහයේ  දේශිත ලිපියක මේ සම්බන්ධව කර ඇති පල කිරීමක් මෙසේය.


මළවුන් උදෙසා දෙන හත් දවසේ දානය දන් දීමට දින නියමයක් ඇත්තේ ද?


"මළවුන් උදෙසා දෙන දාන අසවල් දිනවල දිය යුතුය කියා නියමයක් බුදු දහමෙහි නැත. දෙන තැනැත්තා කැමති දිනයක එය කළ හැකි ය. මිය ගිය තැනැත්තා පින් ගන්නා තැනක ඉපිද සිටිනවා නම් කෙදිනක දන් දී පින් දුන්නත් ඒ පින මිය ගිය තැනැත්තාට ලැබෙන්නේ ය.. පින් දීම පින් ගැනීම සම්බන්ධයෙන් එය කරන දිනයේ සැටියට සිදුවන වෙනසක් නැත.


සත්වන දිනය, පන්සාළිස් වන දිනය, තුන්මස පිරෙන දිනය, අවුරුද්ද පිරෙන දිනය යන මේවා මළවුන් උදෙසා දන් දෙන පින් කරන දවස් සැටියට ජන සම්මුතියක් ඇත්තේ ය. ඒවා බුදුන් වහන්සේ ගේ නියමයන් නො වේ. සත්වන දිනය මළවුන් උදෙසා දන් දෙන දිනය ලෙස විශේෂයෙන් ම සම්මත ය. තමන් ගේ නෑයකු මළහොත් අනික් දිනවල දී දන් දීමක් නො කළත් නො වරදවා ම සියලු ම බෞද්ධයෝ සත්වන දිනයේ දානයක් දෙති. සත්වන දිනය ගැන ඇති මේ විශේෂ සැලකිල්ල යම් කිසි වැරදි හැඟීමක් නිසා පුරුදු වූවක් වන්නට බැරි නැත.


“මළ තැනැත්තා ගේ ප්‍රාණය නැතහොත් ආත්මය සතියක් ම ගෙදර සිට සත්වන දිනයේ යම්කිසි තැනකට යන්නේ ය” යන ගැමි කතාවක් ඇත්තේ ය. ඒ කතාව අන්‍යාගම්වලින් බෞද්ධයන් අතරට පැමිණියක් විය හැකි ය. එය විශ්වාස කළ අය සත්වන දිනයේ දී පින් ගෙන මළ තැනැත්තාට සුගතියට යා හැකි වනු පිණිස සත්වන දින දානය ආරම්භ කරන්නට ඇතය යි ද සිතිය හැකි ය.


ථෙරවාද බුද්ධාගමේ සැටියට කිය යුත්තේ අතර කොහිවත් මොහොතකුදු නැවතීමක් නැතිව මැරෙන අය මරණයට අනතුරුව කර්‍මානුරූපව කොතැනක හෝ උපදින බව ය. මහායාන බෞද්ධ පොත්වල අන්තර භවයක් ඇති බව කියයි. මරණයට පැමිණීම් වශයෙන් වර්‍තමාන ශරීරයෙන් පහවූ ආත්මය කර්‍මානුරූපව ඉපදීමට තැනක් සොයමින් එක්තරා කාලයක් පවත්නේ ය.


ඒ කාලය තුළ පවත්නා ආත්මය “අන්තර භවය” යි මහායානිකයෝ පිළිගනිති. අන්තරාභවයේ කාලය සතියක් සැටියට ගැනීමෙන් සත්වන දින දන් දීම ආරම්භ වීය යි සිතන්නට ද ඉඩ ඇත්තේ ය. කිනම් කරුණක් නිසා පටන් ගත්තත් සත්වන දින දානයක් දීමෙන් වන වරදක් නම් නැත. මතක දානය සත්වන දිනයට කලින් හෝ පසුව දීමෙන් ද වන වරදක් නැත.


මරණයක් සිදු වූ අලුත ඒ ස්ථානයේ රෝගබීජ ඉතිරි වී තිබිය හැකි ය. එබඳු තැන්වලට ජනයා රැස්කොට දන් දුන්නා ම අන්‍යයන්ට ඒ රෝගය වැළ‍ඳෙන්නට ඉඩ ඇත්තේ ය. දින පසු කොට දන් දීම වඩාත් යහපත් බව කිය යුතු ය.


මළවුන් උදෙසා දන්දීමට ජනසම්මත දින නො මැති නම් ඒවා නො කෙරී අතපසු වී යාමටත් ඉඩ ඇත්තේ ය. එබැවින් දන් දීමේ දින නියමය ආගමේ නියමයක් නො වූව ද ඒ නියමය තිබීම යහපත් බව කිය යුතු ය."


ධර්ම විනිශ්චය

පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහ හිමිපානන්.


 












A day in the life

Tuesday, March 25, 2025

මගේ කතාව





ජීවිතය……..

මට හිතුනා තාත්තගෙන් පටන් ගන්න.

ගම්පෙරලියේ ජිනදාස "මලය රටට" යනවා.ඒ කියන්නේ වියලි කලාපයට. ජිනදාස අසාර්ථක වෙනවා.

පියල් කොළඹට සේන්දු වෙලා සාර්ථක වෙනවා.

ගම්පෙරලිය සිදුවන කාලේ දකුනේ උදවිය රැකියා සොයාගෙන දිවයිනේ සී සී කඩ වෙනවා.

දකුනේ නතරවුන අයට ප්‍රශ්න ,ගැටලු විසදා ගන්න දහ අතේ කල්පනා කර කර ඉන්න කොට මේ සී සී කඩ ගිය පරපුර එක එකතැන්වල සාර්ථක වෙනවා.

අසාර්ථකවුනා නම් චූටිම චුටී දෙනෙක්.

දිවයිනේ හැම ගම්පියසකම මාතර වැලිගම අහංගම ගාල්ල නමින් ස්ටෝර්ස් , හෝටල් ,බේකරි.ග්‍රොසරීස් , ටෙක්ස්ටයිල් ව්‍යාපාර ඇරඹෙනවා. මේවා පුංචියට පටන් අරන් ස්ථාවර වෙනවා.

මේවායේ අර්ථපතීන් “ මුදලාලි “ ලා වුනා. වැලිගම මුදලාලි ඉන්නේ හැටන් වල. ඒ වගේ හැම නගරයකම වැලිගම , අහංගම ගාල්ලේ මුදලාලිලා හිටියා.

අන්තිමට කතාවක් හැදුනා “ බෙන්තර ගගෙන් එහා ඉදන් ඇස් ඇරුන පූස් පැටියෙක් වත් මෙගොඩට ගේන්න එපා “ කියලා

මාර්ග පද්ධතිය අද වගේ නොදියුණු ඒ කාලේ කොළඹට නැත්නම් පානදුරේට ඇවිල්ලා තමයි දකුනේ උදවිය සී සී කඩ වුනේ .ඒක කරන්න බෙන්තර ගගෙන් එගොඩ වෙන්න එපාය.

අපේ තාත්තත් ගැටවරකාලේ දකුණට ආයුබොවන් කිව්වා. දැන් වගේ ලොකුවට අඩුම කුඩුම ගොඩක් පොදි බැදගෙන නෙමෙයි.

තාත්තා අබිමානෙට කියන්නේ “ මම ගෙනාවේ සරමයි බැනියමයි විතරයි බන් “ කියලා.

ඒ ඇවිල්ලා නුවරඑළියේ , දික්ඔයේ., තලවාකැලේ තැනින් තැන කලින් කල පලින් පල ඉදලා හපුතලේට ඇවිල්ලා

අහංගම ව්‍යාපාරිකයෙක් ගාවා වැඩ කරලා .

හපුතලේ ව්‍යාපාරිකයාට විවිධ තැන්වල ව්‍යාපාරික ස්ථාන කිහිපයක් තිබිලා .අවසානයේ බෙලිහුල්ඔය තිබුන එතුමාගේ ව්‍යාපාරක ස්ථානයේ කටයුතු කරමින් ඉන්න ගමන්.

.පුංචි කාමරයක් කුලියට අරන් බුලත් දුම්කොල පුවක් වගේ පුංචි පුංචි දේවල් අළවි කරන්න පටන් ගත්තා.

එතන තමයි තාත්තගේ ඇරඹුම.

අපේ උපත. තාත්තාට අම්මා මුණ ගැහුනා. ගෙවල් දොරවල් හැදුවා වතුපිටි උරුම කරගත්තා අහංගමින් සහෝදරයෝ එක් කරගනවිත් එයාලා ව්‍යාපාරිකයෝ කලා.

අවුරුදු අසු අටක් ආයු විද මිය පරලොව ගියා.

අද තාත්තගේ දරුවෝ රත්නපුර දිස්ත්‍රික්කයේ සී සී කඩ ගිහින් පැල වෙලා. සමහරු ඇමරිකාවේ. තවත් සමහරු ඔස්ට්‍රේලියාවේ.ජාතික තලයේ සමාජ සේවකයෝ ,රාජ්‍ය නිළදාරින් ව්‍යාපාරිකයෝ..

තාත්තට සමවෙන්න අපිට කවදාමවත් බැහැ. තාත්තා විශිෂ්ඨයෙක්.

කාලය ගෙවෙනවා ..වසරින් වසරට

දැන් මම ජීවිතය සැදෑසමයේ.
day in the life

Monday, March 24, 2025

සබරගමුවේ පුරාණ නින්දගම් .



 


පුරාණ ලංකාවේ රදළයන් සතුව තිබූ ඉඩකඩම් හැඳින්වෙන්නේ නින්දගම් ලෙසය. ලංකාවේ වැඩිම නින්දගම් ප්‍රමාණයක් තිබූ ප්‍රදේශය ලෙස සබරගමුව සැලකේ. රත්නපුර දිස්ත්‍රික්කයම නින්දගමක් ලෙස හැඳින්වුවද එහි වැරැද්දක් නැත. මේ නින්දගම්වල ජීවත් වූ ප්‍රභූවරුන් සහ ඔවුන්ට මෙහෙ කළ ජනපදවාසීන් අතර තිබූ සංස්කෘතිකාංග කිහිපයක් අදටද ජන සමාජයට ආගන්තුකය. දික්ගෙයි නැටුම එදා වලව් සමාජයේ තිබූ එවැනි නර්තනයකි. වලව්වාසී ප්‍රභූවරුන් සතුටු කිරීම සඳහා නින්දගම්වාසී කාන්තාවන් මෙම නැටුම නටන්නේ උඩුකය නිරුවත්වය. එය අද ඇතැම් ඉහළ පෙළේ හෝටල්වල සිදු කෙරෙන කැබරේ නැටුමට සමානය. 
සබරගමුවේ ප්‍රධානීන් 13 දෙනකුට නින්දගම් ලැබුණේ මාතර කටුවන තිබූ ලන්දේසි බළකොටුව වටලා විනාශ කිරීමේ ජයග්‍රහණය වෙනුවෙනි. උඩරට රාජ්‍යයට අයත් සීමාවේ පිහිටි එකම ලන්දේසි බළකොටුව වූයේ මෙම කටුවන කොටුවය. අනෙක් සියලුම ලන්දේසි බළකොටු තිබුණේ පහත රටය. මේ නිසා කටුවන විනාශ කිරීම උඩරට මහ වාසලට අවශ්‍ය වී තිබුණත් එයට නිසි නායකත්වයක් ලබාදී සටන මෙහෙයවීමේ හැකියාවෙන් යුතු රණකාමී නිලමේවරුන් උඩරට හමුදාවේ සිටියේ නැත. මේ නිසා රාජසිංහ රජ්ජුරුවන් සිටියේ බලවත් කනගාටුවෙනි. සබරගමුවේ ප්‍රභූවරුන් පිරිසක් කටුවන කොටුව වටලා පහරදීමට තීරණය කරන්නේ මේ අතරවාරයේය.
කටුවන සටන යනු සිංහල රාජ වංශයේ අවසන් ජයග්‍රාහී සටන විය. මෙම සටනට කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ ආශිර්වාදය ලැබූ මුත් රජතුමා සටනට සහභාගි වූයේ නැත. ඒ වෙනුවට රජතුමාගෙන් ලැබුණේ තම ආශිර්වාදයත් දිසාවේලා දෙදෙනකු සහ භට පිරිසකුත්ය. මෙම සටනට සබරගමු ප්‍රභූවරුන් යටතේ පන්දහස් පන්සියයක හමුදාවක් ද දකුණු පළාතෙන් තිස් දහසක හමුදාවක් ද සහභාගි වූ බව කියැවේ.
දිගු සටනකින් පසු සටන ජයග්‍රාහීව අවසන් විය. එහි සිටි ලන්දේසි හමුදාව සමූල ඝාතනය කළ සබරගමු හමුදාව මාතර දිසාවේ පිහිටුවා තිබූ සෙසු ලන්දේසි බළකොටු වූ හක්මන, මාතර, මාර කඩේ ආදී මාතර සියලු ලන්දේසි බළකොටුවලටද පහර දුන්හ. ලන්දේසීන් දිවි බේරා ගත්තේ මාතර කොටුවට ඒකරාශිවීමෙනි. 
මෙම ජයග්‍රහණයෙන් පසු කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ලන්දේසි බළකොටු බිඳ දමා එම ප්‍රදේශ තම රාජ්‍යයට ඈඳා දුන් සබරගමු ප්‍රධානීන් දහතුන්දෙනා කන්ද උඩරට මහ වාසලට කැඳවා ගරු බුහුමන් දක්වා ගම්වරද පිරිනැමීය.
ඔවුන්ට නිලමේවරුන් ලෙස උසස්වීම් ද පිරිනමා රාජකීය වරප්‍රසාද ද පිරිනැමීය. රාජකීය වරප්‍රසාද යනු රජකු ජීවත්වන ලෙසම ජීවත්වීම සඳහා නිලමේවරුන්ට ලබාදෙන අවසරයයි. රජු වෙනුවෙන් අයබදු අයකිරීම, නින්දගම් පාලනය කරමින් රජු වෙනුවෙන් අවශ්‍ය වේලාවට සටන් සඳහා සේනාංක කැඳවාගෙන ඒම, ජීවත්වීම සඳහා උළු සෙවිලි කළ වලව්වක් ඉදිකර ගැනීම ඒ රාජකීය වරප්‍රසාද අතරට ඇතුළත් වෙයි. 
රජවාසලට ගිය නිලමෙලාට උණුසුම් පිළිගැනීමක් රජතුමාගෙන් ලැබිණි. එතෙක් සතුරා සමග සටන් කර හෙම්බත් වී සිටි කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජ්ජුරුවන් ලන්දේසි බළකොටුවක් අල්ලා ගත් නිලමෙලා පිළිගත්තේ උණුසුම් ලෙසය. මඩුවන්වෙල දිසාවේ තමන් කළ සටන විස්තර කරමින් රජතුමා නොමැතිව සටනට යෑම ගැන රජතුමාගේ සමාවද අයැද සිටියේය. රජතුමා සටනට ​ෙස්නාව එව්වා වුවත් රජු නොමැතිව සටන් කිරීම රාජ උදහසට ලක්විය හැකි හේතුවකි.
පළමු වරට තමාගේ සංවිධානයකින් තොරව නිලමේවරුන් පිරිසක් එක්ව සතුරු බළකොටුවක් අල්ලාගෙන ඇත. එම බළකොටුවේ සිටි සියලු ඕලන්ද සතුරන්ද මරා දමා එහි සිංහල කොඩිය ඔසවා තිබේ. උඩරට රාජධානියට අයත් කටුවන නමැති ප‍්‍රත්‍යන්ත දේශය සතුරාගෙන් මුදාගෙන උඩරට කිරීටයට යළිත් ලබා දී තිබේ. මෙය නම් මහත් වීරකමකි. ‘ 
‘හහ්.. හහ්.. තමුන් එහෙනම් තනියම සටනක් කළා.. ඈ..’’ රජතුමා රදළයන් දෙස බලා විමසුවේය.
“මගේ රාජධානියේ කවුරු වුණත් කමක් නෑ සතුරු බළකොටු බිඳිනව නම් මං ගම්වර පුදනවා.. ඔව් ගම්වර පුදනවා..’’ රජතුමා හිස ඔසවා මහ හඬින් ගුගුළේය. 
ඒ හඬ අසහාය ය. කිසිදා කිසිවකුට යටත් නොවූ රණ හඬකි. කීර්ති ශ්‍රී රාජසිංහ යනු එසේ මෙසේ බලවතකු නොවේ. සතුරා බියෙන් මුසපත් කළ රණ ශූරයෙකි. නුඹලා වැනි වීරයෝ තමයි මගේ රාජ්‍යයට අවශ්‍ය.. මේ කළ වීර වික‍්‍රමාන්විත සටන වෙනුවෙන් මම අදම නුඹලා නිලමේවරුන් ලෙස ඔසවා තබනවා.. නුඹලාට ගම්වර පුදනවා.. මා මෙන්ම සතුටින් ජීවත්වීම සඳහා වලව්වක් සාදා ගැනීම සඳහා අවසරය දෙනවා..’’ රජතුමා එසේ කියද්දී රදළවරු ප්‍රීතියෙන් පිනා ගියහ. 
ඉන්පසු උදාවූයේ රජතුමාගේ ලාංඡනය එබ්බවූ තඹ උළු කැටය බැගින් රදළවරුන් අතර බෙදාදීමය. එය රදළකමේ සංකේතය ය. සුදු හුණු කපරාරු කළ වලව්වක් තනා ගැනීමටත් තඹ උළු කැටය මැදිකර උළුවලින් වහලය සෙවිලි කර ගැනීමටත් එමගින් අවසර ලැබේ. නිලමේ හෝ මුලාදෑනි නොවන කිසිවකුට උළු වහලයක හිමිකම නැත. ඒ මොහොතේ සිට නිලමේවරුන්ට එම හිමිකම ලැබේ. එවක් පටන් නිලමේවරු හැම දෙනා සබරගමුවේ ප‍්‍රභූවරු වූහ. ඔවුන්ට ගම්බිම්ද වලව් සාදා ගැනීමේ අවසරයද ලැබිණි. මඩුවන්වෙල, ඇමිටියගොඩ, කිරිඇල්ල ඇතුළු නිලමෙලා රජුගෙන් තෑගි ලැබුණු තඹ උළු කැට තබා තම වලව් පිහිටුවා ගත්හ. ඇමිටියගොඩ ගුණතිලක අලහකෝන් ද කටුවන ලන්දේසි බළකොටුවෙන් ගලවා ගෙන ආ ස්මාරක ඔබ්බවා වලව්වේ බිත්ති බැඳගත්තේය. කළුගල් පලා බිමට ඇතිරුවේ කිසිදා ගිලා නොබසින අංගණයක් වලව්වට උරුම කර දෙමිනි. 
“ඇමටියගොඩ ගුණතිලක අලහකෝන් තමයි මෙසේ රාජසිංහ රජ්ජුරුවන්ගෙන් රදළයකු ලෙස වරප්‍රසාද ලබා ගත්ත අපේ මීමුත්තා. මේ රාජ අනුග්‍රහයයත් සමග සබරගමු පළාතේ වලව් 13ක් ඉදිකර තිබෙනවා. මෙම වලව් සඳහා රාජකාරි වැඩ ලේඛන ද පවරා තිබෙන බව බ්‍රිතාන්‍යයන් යටතේ 1870 ලියවුණු කොමසාරිස් ලේඛණයේ සඳහන් වෙනවා.” අම්මඩුව, කුඩා කතරගම දේවාලයේ බස්නායක නිලමේ උදය ඇමටියගොඩ මහතා සඳහන් කරයි. ඔහු ඇමටියගොඩ වලව්වේ වත්මන් හිමිකරුය. 
මෙම කටුවන සටන කෙරුණේ එවකට සංඝරාජ ධුරය දැරූ වැලිවිට අසරණසරණ සිරි සරණංකර නාහිමියන්ගේ අනුශාසනා අනුවය. වේහැල්ලේ ධම්මදින්න නායක හිමියන්ගේ මූලිකත්වයෙන් පන්සීයයක භික්ෂු පිරිසක් ද කටුවන සටන් බිමට ගියහ. මේ මහා සංඝරත්නයට උපහාරයක් ලෙස සටන් දිනූ ප්‍රභූවරු තමන්ට ලැබුණු නින්දගම් තුළ විහාරස්ථාන ද ඉදිකළහ. ඇමටියගොඩ නින්දගම තුළ ඇමිටියගොඩ විහාරයද මඩුවන්වෙල නින්දගම තුළ මඩුවන්වෙල විහාරය ද ඉදිකරන ලදී

එක්දහස් පන්සිය පහේදී පළමු යුරෝපීය හමුදා සෙබළා ගාලු වෙරළට පය තැබූ තැන් පටන් ලක්දිව පාලන රටාවද වෙනස් වන්නට පටන් ගත්තේය. ගැමියාගේ සිරිත් විරිත්ද රදළ පාලකයන්ගේ සිරිත් විරිත්ද අතරට අලුතෙන් ආ සුදු ජාතික පාලකයන්ගේ රටවල සිරිත් විරිත්ද මුසුවෙන්නට පටන් ගත්තේය. පැරණි ලක්දිව ඉඩම් හිමිකම පැවැතියේ දෙයියන් හෙවත් රාජ්‍ය පාලකයා අතය. රට වැසියන්ට තිබුණේ ‘දෙයියන්ගේ’ ඉඩම්වල තමන්ට ඉන්නට පැල්පතක් සාදා ගැනීමේ හිමිකම පමණකි. ‘දෙයියන්’ හෙවත් රජුගේ රාජ්‍ය පාලන නීති රීති රට වැසියන් වෙත ගෙන යන නිලමේවරුන්ට ‘දෙයියන්ගෙන්’ ලැබුණු ඉඩම් කොටසක් විය. මේවා නම් කෙරුණේ නින්දගම් නමිනි. ජනයා පදිංචිව සිටි ගම්බිම් පිටින්ම නිලමේවරුන්ට නින්ද හිමිකම් කොට පවරා දීම සිදු විය. 
එදා පටන් මේ ගැමියන් රදළ නිලමේවරයාට සේවය කළ යුතු විය. නින්දගම් වාසීන්ට තමා පදිංචි ඉඩමේ හිමිකමක් තිබුණේ නැත. එහි සම්පූර්ණ හිමිකම රදළ හාම්පුතා සතු වූ අතර නින්දගම්වාසීන්ට තිබුණේ තමාගේ ඉහට සෙවනක් ලබාදීම වෙනුවෙන් තම රදළ හාම්පුතාට සේවය ලබාදීමය. නින්දගම් යායක ඒ ඒ කුල සඳහා වෙන වෙනම ඉඩම් යාය වෙන්ව තිබිණි. වළං සාදන අය සඳහා බඩහැල ගොඩැල්ලද යකඩ තලන්නන් සඳහා ආචාරි ගොඩැල්ලද ආදී වශයෙනි. තමා පදිංචිව සිටින ඉඩමේ වළක් කැපීමට පවා නින්දගම් හිමියාගෙන් අවසර ගැනීමට ඔවුනට සිදුවිය. 
දික්ගේ නැටුම නින්දගම් වාසී කාන්තාවන් කළ යුතු පුරාණ රාජකාරියකි. රදළයන්ගේ නේත‍්‍ර සංතර්පණය පිණිස නින්දගම්වාසී මාණික්‍ය මහගේ පවුල්වල ගැහැනුන් දික්ගෙයි නැටුමට පැමිණිය යුතුය. ඒ සඳහා හිලව්වට ගොඩ මඩ ඉඩම් කට්ටියක් නින්දගමෙන් ලැබෙයි. එම ඉඩම් කට්ටියේ ගෙපැලක් හදාගත හැකිය. ගොඩ ඉඩමේ ගොඩ ගොවිතැන්ද මඩ ඉඩමේ මඩ ගොවිතැන්ද කළ හැකිය. එහෙත් පොළොවේ වෙනත් කිසිම ඉදිකිරීමක් හෝ පොළොව හෑරීමක් හෝ කළ නොහැකිය.


දික්ගේ නටන්නේ මාණික්‍ය මහගේ පවුල්වල ගැහැනුන්ය. මාණික්‍ය මහගේ පවුල් හතර වරිගයක් සබරගමුවේ ජීවත් වූහ. සබරගමුව මාණික්‍ය මහගේ ඉන් එක් පිරිසකි. මේ පවුල්වල ගැහැනුන්ගේ සේවය සැපයිය යුතු වූයේ මහ සමන් දේවාලයටය. දේවාලයේ පෙරහරටත් පෙරහරෙන් පසු නිලමේවරුන් සන්තෝෂ කිරීමටත් මේ පවුලේ ගැහැනු නැටිය යුතුය. ඊළඟට එගොඩ කුට්ටමේ මාණික්‍ය මහගේලා ය. හුණුවල මාණික්‍ය මහගේලා සහ හිරිකත්දෙණියේ මාණික්‍ය මහගේලා ඉතිරි පවුල් දෙකය. මේ පවුල් හතරේ ගැහැනු උදවිය රත්නපුර දිසාවේ නින්දගම් හිමි ප්‍රභූවරුන් සඳහා නර්තනයෙන් තම සේවය සැලසිය යුතු විය. ඉතා රූමත් මෙම කතුන් ඉලන්දාරින් පමණක් නොව මහල්ලන් පවා වශීකරගන්නා සුලු ය. 
ඇමිටියගොඩ සන්නසට අක්කර නවදහසක් අයත්ව තිබූ බව කියති. ඇමිටියගොඩ නින්දගමද පුරාණ රාජකාරි ක‍්‍රමයට අනුව හැඩ ගැසුණු ගංගොඩැලි ගණනාවකින් යුතු භූමි ප‍්‍රදේශයක් විය. වලව්වේ හිමිකාරයෝ අක්කර නව දහසක භුමියේ ජීවත් වන ගැමියන්ගේ ප‍්‍රධානියාය. ප‍්‍රධානියාට වඩා හිමිකාරයාය. ඔවුන්ගේ සියලු ආවාහ, විවාහ සිදු කෙරෙන්නේ වලව්වේ ප‍්‍රධානියාට පවසා ඔහුගේ අවසරය ලැබුණොතිනි. 
ගෙවල් කීපයක් ඇති තැන ගංගොඩය. වලව්වක් වටා මෙවැනි ගං ගොඩැලි කීපයක් තිබේ. මේ ගොඩැලිවල ජීවත් වන අය බණ්ඩර හාංදුරුවන්ගේත් වලව්වේ හාංදුරුවන්ගේ හා ඩිංගිරි අප්පොලාගේත් ප‍්‍රයෝජනයට තමාගේ රාජකාරි ඉටු කර දිය යුතුය. වලව්වේ හාංදුරුවන් කියන්නේ බණ්ඩර හාංදුරුවන්ගේ බිරිඳය. ඩිංගිරි අප්පෝ කියන්නේ වලව් හිමිකරුගේ නැගණියන් හෝ දියණියන්ය. මේ කාට කාටත් අවශ්‍ය දේ ඉටුකර දීම නින්දගම්වාසීන්ගේ රාජකාරිය ය. නින්දගමක් යනු කුඩා රාජ්‍යයකි. යටත් වැසියන් පිරිවරා ගෙන සිටින රජකමට සමානය.
සබරගමුවේ බිහිවූ මුල්ම වලව් දහතුනේම දික්ගෙයි නැටුම් කාමර තිබූ බව විශ්වාස කෙරෙයි. මඩුවන්වල වලව්වේ දික්ගෙයි නැටුම් කාමරය අදට ද සුරක්ෂිතව පවතී.
දික්ගෙයි නැටුම් නැරඹීම වලව්වේ ප්‍රභූවරුන්ගේ වරප්‍රසාදයකි. බාහිර පුද්ගලයන්ට එය නැරඹීම තහනම්ය. සමහර වලව්වල දික්ගෙයි නැටුම් කාමරය ලෙස භාවිත වූයේ සුදු තිරවලින් වට කළ කාමරයකි. එසේ කළේ ද බාහිර අය ඇතුළුවීම වැළැක්වීම සඳහාය. 
ප්‍රභූවරයකු වලව්වේ සංචාරය පිණිස පැමිණෙන අවස්ථාවේ ඔහු සතුටු කිරීම පිණිස දික්ගෙයි නැටුම් නැටීම සිදුවිය. අද මෙන් ගුවන්විදුලි, රූපවාහිනී හෝ සංගීතමය වැඩසටහන් නොවූ එකල වලව්වලට පැමිණෙන අමුත්තන් සතුටු කළේ ගැමියන් ඒකරාශි කර පවත්වන උත්සව මගිනි. එයට සහභාගි වන ගැමියෝ වලව්වේ නින්දගම්වල ජීවත් වන අය වෙති.

වලව්වට එන අමුත්තා බොහෝ විට තවත් ප්‍රභූවරයකු හෝ ආණ්ඩුවේ නිලධාරියෙකි. වලව්වේ හිමිකාරයා වන බණ්ඩර හාංදුරුවන් මෙවැනි රාජ්‍ය ප්‍රභූවරයකුගෙන් බලාපොරොත්තු වන වරප්‍රසාද ද තිබිය හැකිය. මේ නිසා රාජ්‍ය අමුත්තා සතුටු කළ හැකි ආකාරයේ නිවාඩුවක් තම වලව්වේදී ගත කිරීමට දීම බණ්ඩර හාංදුරුවන්ගේ අපේක්ෂාවය. මේ නිසා දඩමස් ඇතුළු රසමසවුලෙන් යුතු ආහාර ද කන පිනවන සංගීතය සහ නෙතු පිනවන නර්තනවලින් රාජ්‍ය අමුත්තා සතුටු කිරීමට නින්දගම් වලව් හිමි බණ්ඩර හාංදුරුවරු සැදී පැහැදී සිටියහ.
කනට සංගීතය ද නෙතට නර්තනය ද සපයන්නේ නින්දගම් වාසී ජනයාය. ගීත ගැයීම සඳහා පිරිමි ද නර්තන කටයුතු සඳහා කාන්තාවන්ද සහභාගි වෙති. මෙය එක් අතකින් අද භාවිත වන ආකාරයේ පැදුරු සාජ්ජයක් ලෙස ද සැලකිය හැකිය. පළමුව පිරිමි සීප ද කියති. එයට තාලය අල්ලති. සමහරු පැල්කවි කියති. කාන්තාවන්ගේ නැටුම එන්නේ ඉන්පසුවය. මෙම කාන්තාවන්ගේ ඇඳුමකින් වැසී ඇත්තේ යටිකය පමණි. උඩුකයට ඇඳුමක් නැත. 
‘‘මෙම නැටුම තිබිල තියෙන්නේ මැද මිදුල අයිනේ කොටසක. සුදු රෙදිවලින් ආවරණය කරලයි මෙම කුටිය හදාගෙන තිබෙන්නේ. දේවාලවල දෙවියන් සතුටු කිරීම සඳහාත් රජුන් හා රදළයන් සතුටු කිරීම සඳහාත් දික්ගේ නැටුම නටා තිබෙනවා. දෙවියන් වර්ණනා කරමින් තමයි දේවාලවලදී නටල තියෙන්නේ. අදටත් ඒ වචන යොදා කරන ගීතිකා දේවාලවල ගැයෙනවා. අපේ ඇමිටියගොඩ වලව්වේ ආදි මුතුන් මිත්තන් දික්ගේ නැටුම නැරඹුව කියා සංකේතවත් වන ගිරයක් අදත් වලව්වේ තිබෙනවා’’ උදය ඇමිටියගොඩ මහතා සඳහන් කරයි.
A day in the life
 

මීදුම Published @ 2014 by Ipietoon